Sunday, June 14, 2020

කාල යක්ෂ - 7 - මිත්‍යා



මෙතෙක් කතාව 


Sombrero චක්‍රාවාටය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 31.1 පමණ දුරකින් පිහිටි ඇත. එහි වූ පැරදිසෝ නම් වූ ලොවක පිහිටි පෙරදිග රාජ්‍යය  නෙමින්දෙර් රජු විසින් පාලනය කරනු ලබයි. නෙමින්දෙර් රජු සාමකාමී, තාක්ෂණයට ලැදි, සිය ජනතාව සහ රටේ සංවර්ධනය ගැන සිතන පාලකයෙකි.  රසායනික මුලද්‍රවය මත දිවෙන ආර්ථිකයක් ඇති පෙරදිග රාජ්‍යයේ  මුහුදු බඩ  සහ පහතරට ප්‍රදේශ  මේ වන විට තාක්ෂණිකව ඉතා දියුණු මට්ටමකට ළඟා වී ඇත.   

තාක්ෂණයට සහ විද්‍යාවට ලැදි නෙමින්දෙර් රජු සිය රටවැසියාගේ හිතසුව පිණිස කැපවුනද, රටේ ව්‍යාපාරික ප්‍රජාව සහ ඇමති මණ්ඩලයේ සමහරක් රජුගේ  දේශපාලනික සහ ව්‍යාපාරික තීරණ පිළිබඳව එතරම්  ප්‍රසාදයක් නොදක්වයි. පැරදිසෝ ලෝකයේ අනෙකුත් දියුණු රටවල්  අන්තර් චක්‍රාවාට වෙළඳාම සහ සංචාර මේ වනවිට පටන් ගෙන තිබුණු අතර පෙරදිග රාජ්‍යය තවමත්  අන්තර් චක්‍රාවාට සංගමයේ සාමාජිකත්වය පවා ලබා නොගෙන සිටීම රජුගේ පාලනයේ ඇති දුර්වලතාවයක් බවට රාවයක් ද පැතිරෙමින් තිබේ.    

කඳුකරය හෙවත් හයිලැන්ඩර්වරු  සාම්ප්‍රදායික ජිවන රටාවකට හුරු වුනු සහ නවීනත්වය ප්‍රතික්ෂේප කරන,  රසායනික මුලද්‍රවය තැන්පත් නිධි  සහ වෙළඳාම මුලික කරගත්  ජනකොටසකි. ඔවුන්ගේ පාලකයා ක්‍රොෆින්ගර් වූ අතර ඔහු සහ නෙමින්දෙර් රජු අතර නෑ සම්බන්ධකමක්  තිබුණද එය එතරම් සුහද නොවීය. අතීතයේ සිදුවූ දේශපාලනික අර්බුධ වලින් පසුව ඔවුන් ෆෙඩරල් ක්‍රමයකට රටේ කොටස් දෙක පාලනය කළෝය.

බොහෝ කාලයක් තිස්සේ  ජනවහරේ මිත්‍යාවක් ලෙස  පැවති ස්කෘලොක් නම් මායාකාර රජෙකු සහ අතිශය දියුණු පුරාණ ශිෂ්ටාචාරයක් පිළිවඳව කතා බහ නැවත කරළියට පැමිණෙමින් තිබේ. නෙමින්දෙර් රජු  මේ කතා ප්‍රතික්ෂේප කලද, කඳුකර වැසියන් සහ ක්‍රොෆින්ගර් සිය නැතිවී ගිය පුරාණ දැනුම සෙවීමේ  සහ  ස්කෘලොක් ට  නැවත පණදීමේ උත්සාහයක යෙදේ.  ක්‍රොෆින්ගර් ගේ අනුදැනුම යටතේ ප්‍රයිකුල් නම් සෙනෙවියෙකු විසින් මෙහයවන 60000ක පමණ සේනාවක් ස්කෘලොක් ගේ සොහොන සොයා යන මෙහෙයුමක නිරතවෙමින් සිටින අතර ඔවුන් ඉතා කෘර, අමනුෂ්‍යමය  බලවේග සමග සටන් කරමින් සිටින අතර මේ වන විට සේනාවෙන් අඩක් පමණ මියගොස් ඇත.

මේ අතර සාමකාමී ලෙස පවතින  පහතරට පෙදෙසේ  නවීන ලේසර් සහ අධිතාක්ෂණික කිරණ පිළිබඳව විද්වත් තරුණියක වූ ද, නෙමින්දෙර් රජුගේ නෑයෙකු සහ ඔහුගේ දියණිය වූ නීෂා ගේ  සමීපතම මිතුරියක වූ ඇලෙන්ඩි අතුරුදහන් වෙයි.  මේ අතුරුදහන් වීමට සම්බන්ධව  ඇලෙන්ඩි  ගේ  මිතුරන් වූ බ්‍රයිටෝ, කර්වියෝ සහ විටාසෝ  පිළිබඳව රජුගේ හමුදාවන් විසින් තොරතුරු සොයා ගනු ලැබුවද,  බලාපොරොත්තු නොවූ ලෙස සිදුවූ බ්‍රයිටෝගේ ඝාතනයත්, ඇලෙන්ඩිගේ නැවත අතුරුදහන් වීමත් නිසා ෆ්රිදොම් කන්දේ පිහිටි ස්ප්ලේන්දී මාළිගය තුල කලබලකාරී ස්භාවයක් දක්නට තිබේ.

නාඳුනන තුවක්කුකරුවෙකුගේ හදිසි කිරණ ප්‍රහාරයකින් මිය ගිය බ්‍රයිටෝ, මිය යෑමට පෙර  ඇලෙන්ඩිට   ස්කෘලොක් නම් රජුගේ කාලයට අයත් යයි සැලකෙන වීඩියෝ දර්ශන සහ ත්‍රිමාන හොලෝග්‍රෑම් දර්ශන පෙන්වමින් සිටින අතර රහසිගත සේප්පුවක වූ එම දත්ත බ්‍රයිටෝ ලබා ගත්තේ කෙසේද යන්න දැනගැනීමට පෙර හමුදා ඇඳුමින් සැරසුණු තුවක්කුකරුවන් දෙදෙනෙකු පැමිණ බ්‍රයිටෝව මරා ඇලෙන්ඩිව නැවත  පැහැරගෙන යයි.

මේ පැහැරගැනීම සහ මරණය සම්බන්ධව  මේ වන විට කර්වියෝ සහ විටාසෝ ව රජුගේ ආරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගෙන සිටින අතර කර්වියෝ මුර සෙබළෙකුට අල්ලසක් දී පැන යාමට මාන බලමින් සිටී.

රටේ ආර්ථිකයට සහ නිෂ්පාදනයට ඉතා වැදගත් වූ විකිරනශීලි අමුද්‍රව්‍ය සම්බන්ද වෙළඳ ගිවිසුමක් පිළිබඳව නෙමින්දෙර්  රජු සහ ක්‍රොෆින්ගර් අතර සාකච්චාවක් සිදුවන අතර ක්‍රොෆින්ගර්ගේ  යෝජනාවක් නිසා  ඔවුන් අතර වචන හුවමාරුව උණුසුම් වී රජු කෝපයට පත්වෙයි. 

මේ සියල්ල කොහොමද වුනේ කියල හරියටම දැනගන්න මුල් කොටසට මෙතනින් යන්න





"ඒක ... ඒක කවදාවත් වෙන්නේ නැහැ.... වෙළඳාම එකක්, කසාදෙ එකක්. මගේ දුවගේ ජිවිතේ මේ වෙළඳාමට ගාව ගන්නේ නැහැ. මේ අහ ගනින් ක්‍රොෆින්ගර්, මම හොදින් හරි නරකින් හරි මට ඕනේ දේ ගන්නවා. එකක් මතක තියා ගනින් මගේ කෙල්ල මේවට ගාවන්න එපා.." රජුගේ ස්ථිරසාර ලෙස පැවසීය.


ක්‍රොෆින්ගර් කපටි ලෙස මහලු රජු දෙස බලා සිටියේය. 


"එහෙනම් රජතුමනි, අපි බලමු. මම දැන් නවතිනවා." ඔහු සංවාදය නිමා කර දැම්මේය.

අද එතැන් සිට 


නෙමින්දෙර් රජු  සිය සිත තුලට අවධානය යොමු කොට බැලුවේය.  ක්‍රොෆින්ගර්ගේ  පියා සහ තම පිය රජු අතර තිබු ගැටුම් සහ රට තුල තිබු අසහනකාරී වාතාවරණය නිසා ඔහුගේ ළමා විය සහ තරුණ විය ගෙවී ගිය ආකාරයත්,  බලය බෙදා දී, ගැටුම නිම වීමෙන් පසු ජීවිතය වෙනස් වූ හැටිත් ඔහුට එකින් එකින් සිහිවිය. සිය සිත තුල ඇති ආතතිය, සහ යමක් වරදින්නට යන බව දැනෙන සියුම් සංවේදනය ඔහුගේ සාමකාමී සිත පිඩාවට පත් කරමින් තිබිණි.

තම පියා බලය බෙදා ගැටලුව විසඳුවද, දැන් ඔහු සිටින්නේ එසේ  විසඳිය නොහැකි  මට්ටමක ගැටලුවක් තුලය. ගෙවුණු ජීවිතය තුල අනෙක වූ ප්‍රශ්න වලට මුහුණ දී පරිණත වී සිටියද, පහුගිය දින කිහිපය තුල සිදුවූ පුංචි සිදුවීම් කිහිපය තමාට මෙතරම් වදදෙන්නේ කිමදැයි ඔහුට වටහා ගැනීම දුෂ්කර විය. ඔහුගේ තාර්කික මොලයට හසු නොවන යමක් ගැන අනියත බියක් ඔහුට දැනුනේය.

"තාත්තා... මොකද වුනේ...? ඇලෙන්ඩි  ගැන මොනවහරි දෙයක් ක්‍රොෆින්ගර් මාමාගෙන්  අහල බලන්න පුළුවන් වුනාද...?"  ඈත පෙනෙන මහා සාගරය වෙත නෙත් යොමා කල්පනාවේ නිමග්න වෙමින් සිටි රජු සිහියට පත් වුයේ සිය දියණියගේ හඬිනි.


"අහ්... මට ඒක අහන්න අමතක වුනානේ. මේ ක්‍රොෆින්ගර් පිස්සෙක් වගේනේ වැඩ කරන්නේ... මට තේරෙන්නේ නැහැ මිනිස්සු මෙච්චර මෝඩ මොකද කියල... "

"ඇයි මොකද වුණේ...?"

"නැහැ ඒක එච්චර වැදගත් දෙයක් නෙමේ. දුව ඇලෙන්ඩි  ගැන බය වෙන්න එපා. මට නම් හිතෙන්නේ මේ කොල්ලෝ ටික මොකක් හරි විනොදෙට කරන්න ගිය වැඩක් මේක කියල.  ඇලෙන්ඩි  කොහොමත් ඕනේ දෙකට ඔට්ටු නිසා කලබල වෙන්න දෙයක් නැහැ.

"මම 116 දා ඩෙලෝ ට කියපු පණිවිඩේ දුව හරියටම කිව්වා නේද ? මට මිනිහා තාම කතා කලේ නැහැ.."

"හ්ම්ම්... ඔව් තාත්තේ මම කිව්වා. "

"හරි මම බලන්නම්...  අද කොහෙවත් යන්න එපා. ඔහු ආපසු මාලිගාව වෙත පියමනිමින් පැවසීය. 

"හරි... අද මට යන්න ගමනක් නැහැ... ෆොර්මැටෝ  එනවා කිව්වා හවස...  අර ඇලෙන්ඩි හිටපු ලැබ් එක ගැන තාත්ත එක්ක කතා කරන්න ඕනේ කිව්වා. නීෂා ද සිය පියා සමග මාළිගය දෙසට ඇවිද යමින් පැවසීය.

සැහැල්ලු ඇඳුමකින් සැරසුණු නෙමින්දෙර් රජු සිය ප්‍රියතම ස්පෝර්ට් ජෙට් යානයට නැගුනේ මේ සියල්ල මොහොතකට අමතක කර නැවුම් සුළඟක ආශ්වාදය විඳ ගැනීම පිණිසය. මාලිගා භූමියෙන් ඉවත්ව සෙමින් ඉහල නැගුනු කහ පාට නවතම මයින්ඩ් ජෙට් යානය ස්වයංක්‍රීය පාලනයෙන් මුදවා සිය අතට ගත් රජු හැකි පමණ වේගයෙන් අහස වෙත පියඹා ගියේ සිය නැතිවී යන තරුණ ජවයට නව පණක් එක් කරමිනි. පහලින් පෙනෙන තම රාජ්‍යයත්, ඈතින් පෙනෙන නිමක් නොපෙනන මහා මුහුදත්, විරුද්ධ පසින් මහා දැවැන්තයෙකු ලෙස පෙනෙන අඳුරු කඳුකරයත් මැවූ චිත්‍රය අතිශය මනස්කාන්ත විය. රජු  බොහෝ කාලයකට පසු සිත්සේ අහස පුරා යානය පැදවූයේ නැවත කවදා එවැනි අවස්තාවක් උදාවේදැයි සියුම් සැකයක් මතුවෙමින් තිබුණු බැවිනි. සිදු විය හැකි ඕනෑම දෙයකට මුහුණ දීමට උද්යෝගයක් සහ ශක්තියක් ලබා ගැනීමට ඔහුට අවශ්‍යය විය.


"තමුන්ගේ රටේ රජතුමා පණිවිඩයක් යැව්වම නොසලකා ඉන්නවා කියන්නේ බරපතල වරදක්..."  විසල් මන්දිරයක දොරෙන් ඇතුළුවෙමින් නෙමින්දෙර් රජු පැවසිය.

"මොකක් ... ඔහ්... පොඩ්ඩක් ඉන්න.. යැයි පවසමින් අතෙහි වූ  බීර  වීදුරුව සහ හිසෙහි වූ හෙල්මටය ගලවා  පසෙක තැබූ  මහලු ඩෙලෝ, සපමින් සිටි මස් කැබලි වල තෙල් ගතිය රැඳී සිය දෑත් කලිසමේ පිසදා ගත්තේය. 

"පස්වාන් දහසකට බුදුවන්ඩ මහ රජ, ඉඳල හිටලා වත් ඔය මාළිගාවෙන් එලි බැහැල තමන්ගේ යාලුවෙක් බලන්න ආව කියල ඔය රජ කමට හෙන වදිනවද...?"

"හෙහ් හෙහ් ... ඒක තමා මේ අද මම ආවේ. පණිවිඩ කියක් එව්වද..."

"මට වැඩ තියෙනවා... ඔය එහෙ මෙහෙ යන්ඩ වෙලාවක් නැහැ... "

"කාලෙකින් ආපු හින්ද බොමුද මොනවා හරි...?" ඩෙලෝ ඇසිය.

"ගෙදර නම් හොඳ මොකුත් නැහැ. ඔක්කොම ඉවරයි. යමුද වයිට් හාර්ට් එක පැත්තේ... ගිහිල්ලම කතා කරමු."

"හරි එහෙනම් යමු... සිය මහලු මිතුරාගේ සුපුරුදු කෙළිලොල්  ස්භාවය රජු තුල ප්‍රීතියක් ඇති කළේය.                        

වයිට් හාර්ට් තැබෑරුම සුපුරුදු ලෙස කාර්යබහුල විය. ඩෙලෝ  සහ රජුගේ පැමිණීම  බොහෝ දෙනෙකුට අමුත්තක් නොවූ අතර,   රජු අසුන්ගත් මේසය ගැන බැලීම තැබෑරුම් හිමිකරුගේ දියණිය බාර ගැනීම පමණක් විශේෂිත විය.






ඌරු  මස්  ස්ටු  සමග  ශීත කල හැලි අරක්කු ඇනවුම් කල මිතුරන් දෙදෙනා කතාවට වැටිණි.

"ඩෙලෝ, මතකද අර ෆ්රිදොම් කන්ද යටින් තියෙන ගුහා ටික? " ආගිය තොර තුරු වලින් පසුව නෙමින්දෙර් රජු ඇසීය.

"මොන...? "

"කොරන්වේලි වල න්‍යෂ්ටික බලාගාරේ පටන් ගත්තු කාලේ අපි කඳුකරේ ඉඳල පොලෝනියම්  ගෙනාවේ ඒ උමං මාර්ග වලින්."

"ආ... ඒවා තාම තියෙනවද ? මම හිතුවේ දැන් වැහිලා ගිහින් ඇති කියල.." ගිජු ලෙස ඌරු  මස් කමින්  ඩෙලෝ පැවසීය. 

"මට පේන විදියට කවුරු හරි ඒවා ආයේ පාවිච්චි කරනවා වගේ."

"මම කිව්වේ අර රෝසාගේ දුව ඇලෙන්ඩි අතුරුදහන් වෙච්ච සිද්ධිය. ඒ වැඩේ කරලා තියෙන්නේ ඔය උමං  ටික පාවිච්චි කරලා... "

"ඉතින් ඔය හමුදාව හරි රොබෝලා ටිකක් හරි දාල හොයල බැලුව නම් හරිනේ ..."

"ඔව් ඒක කරන්න බැරි කමක් නැහැ. හැබැයි මේ ක්‍රොෆින්ගර්  එන විදිය එච්චර හොඳ නැති නිසා මම ඒ ටික වැඩිය හාර අවුසන්න ගියේ නැහැ.." රජු කල්පනාකාරී ලෙස පැවසීය.

"ක්‍රොෆින්ගර්  ගේ කතා ඒ හැටි ගණන් ගන්න එපා. මිනිහා කොහොමත් වාචාල කමට කියවන්නේ. " 

"මම ඒවා  ගණන් ගන්නේ නැහැ. හැබැයි  මිනිහා අපිට බඩු  දෙන්න බැහැ කිව්වොත්  ප්‍රශ්නේ බරපතල වෙනවා."

"දැන් ඔය ඇමතිලා ටිකක් සහ උපදේශකයෝ ඉන්නේ ඕව විසඳන්න නේද..? මොකටද ඕව ගැන වද  වෙන්නේ...?" 

"ඩෙලෝ දන්නවනේ, වැඩ කරන්න  කවුරු හිටියත්, හරියටම වෙන්නේ මොකක් ද කියල දැ න ගන්න නම් තමුන් ම ඒ වැඩේට බහින්න ඕනේ.  කොහොමත් මට වෙළඳ ඇමති ගැන ඒ හැටි විශ්වාසයක් නැහැ. මිනිහා යටි කුට්ටු කාරය. බිස්නස් කාරයෝ ටික එක්ක එකතු වෙලා මට වැඩක් දෙන්න හදනවා කියල මම දන්නවා. මට සැකේ තියෙන්නේ ක්‍රොෆින්ගර්ව  කන්ට්‍රෝල් කරන්නෙත් අපේ උන් මද කියල. "

"නෙමින්දෙර්... මම මේ බිස්නස් ෆීල්ඩ් එකේ ඉන්න මනුස්සය ... දැන් ටිකකට කලින්  තමුසේ අපේ ගෙදරට එද්දිත්  මම හිටියේ  ගැලක්ටික් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ඩේටා විශ්ලේෂණය කරන ගමන්. බිස්නස් කාරයෝ තමුසෙට  විරුද්ධ වෙන එක සාධාරණයි. අපිට රටක් විදියට තව වැඩි කාලයක් මේ විදියට යන්න බැහැ. හයි ටෙක් ප්‍රඩක්ෂන් වලින් විතරක් දියුණු වෙන්න බැහැ.  අපි  ගැලක්ටික් බිස්නස් වලට යන්නම ඕනේ.  මම දන්නවා තමුසෙට බිස්නස් පැත්ත ගැන එච්චර උනන්දුවක් නැහැ කියල. නමුත් දැන් ට්‍රෙන්ඩ් එක තියෙන්නේ  ඉන්ටර් ගැලක්ටික් ටුවරිසම් වලට. මිනිස්සු තව දුරටත් මේ එකම රටක, එකම ලෝකෙක හිර වෙලා ඉන්න කැමති නැහැ. අපේ රටේ මිනිස්සුන්ගේ ආර්ථිකේ දියුණු කරන්න ඕනේ ඒ මිනිස්සුන්ටත් පොඩ්ඩක් එලියට බැහැල මේ විශ්වය දිහා බලන්න අවස්තාවක් දෙන්න ඕනේ ."

"මේ ඩෙලෝ,  අනිත් රටවල් ඕවා කරන්නේ ඒ රටවලට අපිට වගේ අමුද්‍රව්‍ය ගැටළු නැති නිසා, අනිත් එක අර ඇස්ට්‍රොයිඩ් එකේ අයිතිය තියෙන රටවලට කිසිම දෙකින් අඩුවක් නැහැ. කොහෙද අපි වගේ පොඩි රටවල් වලට අඩුම තරමේ  වෙන  ඇස්ට්‍රොයිඩ් එකකින් වත්  අමුද්‍රව්‍ය හොයන්න යන්න අවසර දෙනවද ..? "

"හෙහ් ඉතින් ඒක තමා අර චක්‍රාවාට සංගමේ සාමාජිකත්වය ගන්න කියන්නේ... බිස්නස් කාරයෝ ඔක්කොම කියන්නේ ඒක කරන්න කියල... නෙමින්දෙර් මොකද ඒකට අකමැති.?"

"අකමැත්තක් නැහැ. නමුත් ඔය වැඩේ කර ගන්න මම එකේ ඉන්න උද්දච්ච දේශපාලකයොයි, මොන ලෝකෙට අයිතිද කියල නොදන්න පිටසක්වලයොයි ඉස්සරහ දෙකට නැමෙන්න කැමති නැහැ ... "

"හෙහ් හෙහ් ... දේශපාලනේ කියන්නේ එක එකා ඉස්සරහ දෙකට තුනට නැමෙන එක තමා නෙමින්දෙර්... එහෙම නැතුව මේ කාලේ දියුණු වෙන්න බැහැ...  "  එහා මේසයට බීර රැගෙන ආ තැබෑරුම් කරුගේ රූමත් දියණිය දෙස බලමින් ඩෙලෝ පැවසීය. 

"තව ටික කාලයක් තිබ්බ නම් මට පුළුවන් මේ සියලු ප්‍රශ්න වලට උත්තර දෙන්න.  ශුද්ධ ශක්තිය කියන්නේ ඔය හැමදේටම උත්තරේ..." නෙමින්දෙර් හැලි අරක්කු උගුරක් බී ඌරු  මස් කැබැල්ලක් රස බැලීය.

"ෆැන්ටසි වල ජිවත් වෙන්න එපා නෙමින්දෙර්... ඔය ශුද්ධ ශක්ති පිස්සුව පස්සේ දැන් අවුරුදු කියක් එලෙව්වද ? එහෙම එකක් තියෙනවනම් මෙච්චර මේ සක්වල ඉන්න අනිත් මිනිස්සු සහ ජීවින් ඕක හොයාගන්නේ නැද්ද...?"

"මට මෙතන විද්‍යා පාඩමක් තමුසෙට උගන්නන්න බැහැ ඩෙලෝ... තමුසෙලා වගේ බිස්නස් කාරයින්ට මේවා තේරෙන්නේ නැහැ... මට තමුසේ එක උදව්වක් කරනවා. අර ක්‍රොෆින්ගර්ට මට ඕනේ විදියට බඩු ටික දෙන්න කියනවා. මොකද මට මිනිහත් එක්ක යුද්ධ කරන්නයි මගේ රිසර්ච් කරන්නයි දෙකක් බැහැ... අනිත් එක තමුසේ ක්‍රොෆින්ගර්ගේ ගෑනිගේ පරණ පෙම්වතානේ... පොඩ්ඩක් ඒ මාර්ගෙන් හරි කියල උගේ ඔලුවේ තියෙන අර විකාර කසාද අදහස අයින් කරවලා මෙච්චර කල් දීපු විදියට බඩු ටික දෙන්න කියනවා....හික්  පරණ පෙම්වතා ... "   වෙරිමතින් පසුවූ රජු අවඥාවෙන් පවසා මහ හඩින්  සිනා සෙන්නට විය..."

"අයිසේ මහ රජ, තමුසෙගෙ පරණ හුටපට මෙතන ප්‍රසිද්ධියේ ඇදල අරගෙන හිතාදර රටවැසියෝ ඉස්සරහ සළුපිලි ගලවගන්න කැමැත්තක් එහෙම තියෙනවද ..? " 

අවට මේස වල වාඩිවී සිටියවුන් හීන්  සැරේ හැරී බලමින්... සිනාසුනද කිසිවෙක්  මේ කතා බහ ගැන විශේෂ උනන්දුවක් දැක්වූ බවක් නොපෙනුණි.

"ඩෙලෝ  අපි දැන් යමු. තව බිව්වොත් මට මාලිගාවට යා ගන්න බැරි වෙනවා. " යන්නට නැගිටිමින් රජු පැවසීය.

රජු නැගිටිනු දුටු කිහිප දෙනෙක් රජු සහ කතා බහට උනන්දු වෙමින්  මේස වලින් නැගිට ඔහු වෙත ආ අතර  ඔවුන්ගේ සුවදුක් විමසු රජු  කවුන්ටරය නිමවන කොනෙහි වූ මේසයේ වාඩිවී සිටි හුරු පුරුදු රුවක් දැක ඒ දෙසට ගියේය. 

"කොහොමද ජෙප්, තාම ඉන්නව නේද ..? හෙහ් හෙහ්"

"ඔබතුමාලගේ පිහිටෙන් අපේ වියදමෙන් ජිවත් වෙලා ඉන්නව රජතුමනි...." සොල්දර ගෙදර මහලු ජෙප් මාමා අපහසුවෙන්  හුන් තැනින් නැගිට රජුට ආචාර කරමින් පැවසීය..."

"ඉතින් කොහොමද  ගම් පළාතේ තොරතුරු ...? පුතා එහෙම සනීපෙන් ද ?"

"ඌ  ගියානේ ප්‍රයිකුල් එක්ක... " මහලු ජෙප් වෙරි මතින් පැවසීය... 

රජතුමනි....රජතුමනි ... ජෙප් මාමා රජුගේ කරට අත දමා  ඔහුව සිය මේසය වෙත ඇද ගත්තේය... රජතුමනි ....වාඩි වෙන්න.... 

"මම මේ බීලා වෙරි වෙලා කියනවා කියල හිතන්ඩ එපා...  මම දන්නවා ඔබ තුමා කෙලින් මිනිහා... රට වැසියෝ වශයෙන් අපේ යුතුකමක් තියෙනවා මේවා ඔබ තුමාට කියන්ඩ... ඔහු කතාව නවත්වා තැබෑරුම සිසාරා බැලුවේය... "

"අපේ කොලුවා ගියා ප්‍රයිකුල් එක්ක... ස්කෘලොක් ගේ මිනීවල හොයාගෙන..."  

"මොකක් ... මොනවද  මේ කියන්නේ ....? කවුද  ප්‍රයිකුල් කියන්නේ..?"

"රජතුමනි....රජතුමනි ...ඔබ තුමා කෙලින් මිනිහා හින්ද මම මේ කියන්නේ... ප්‍රයිකුල්  ඇස්ඩෝව්ස්ගේ  මිනිහෙක් ... ඌ මහා මරුමුස් හාදයෙක්..දැනටම 30,000ක් මැරිලා කියලයි ආරංචිය... ඔක්ස්ෆොගේ පිහිටෙන් මගේ කොල්ලා තාම ජිවත් වෙනවා... හැබැයි රජතුමනි... ස්කෘලොක් නැගිට්ටොත් ඔබ තුමා ඉවරයි ... ඔබ තුමා ඉවරයි ...   "

"හරි හරි ජෙප් කවුද ඔය විකාර විශ්වාස කරන්නේ... ඔය මදැයි බිව්වා. දැන් ගෙදර යන්ඩ...මම බිල ගෙවන්නම් ... ඔය ඇති බිව්වා ... මම හොයල බලන්නම් මොකක්ද ඔය කතාව කියල... රජු හුනස්නෙන් නැගිට කවුන්ටරයේ සිටි ඩෙලෝ  වෙත ගියේය....

"මොකද නාකියා කියන්නේ...? කවුන්ටරයේ සිටි තානායම් කරුගේ දියණියට ඇසක් ඉඟි කරමින් පැමිණි ඩෙලෝ ඇසීය.

රජු  අවට සිටි කිහිප දෙනෙකුට අතවනා ආචාර කරමින් සිය යානයට  නැගුනේය.

"ඒ මිනිහා ඔය බොන හැටියට තාම ජිවත් වෙනවා පුදුමයි... "

සෙමින් ඉහල නැගුනු යානය අඩ  වටයක් කරකවා ක්ෂණිකව වේගවත් කල රජු  ඈත පෙනන ජල තලය උඩින් වේගයෙන් පැදවීය.

"තමුසේ ස්කෘලොක් ගැන දන්නවද ?"

"කවුද නොදන්නේ... " ඩෙලෝ  වෙරළෙන් ඔබ්බෙහි වූ නගරය දෙස බලමින් පැවසීය.

"තමුසේ මොනවද දන්නේ ....?" ඩෙලෝ  දෙස පුදුමයෙන්  බැලූ  රජු ඇසීය...

"මේ දවස් වල ඔය හැමතැනම කතාව යන්නේ...ස්කෘලොක්ට  පණ  දෙන්න  යනවා කියල.." යානයේ  කවුළුවෙන්  ඉවත බලාගෙන ඩෙලෝ පැවසීය.

"මොන බොරු මිත්‍යාද ඩෙලෝ  ඕවා... ඔච්චර බිස්නස් වැඩ අස්සේ තමුසේ ඔය කතාත් විශ්වාස කරනවද...?"

"අයිසේ නෙමින්දෙර් හොඳ බිස්නස් කාරයෙක් වුනාම රටේ වෙන්නේ මොනවද කියල දැනගෙන ඉන්න ඕනේ... ඇත්ත බොරුව මම දන්නේ නැහැ.. නමුත් මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන්නේ මොනවාද කියල මම අවධානෙන් ඉන්නේ ... බිස්නස් කරන්න බැහැ එහෙම නැතුව..."

"ඒක  ඇත්ත ... හැබැයි මේ වගේ මිත්‍යා පස්සේ දුවන එකෙන් වෙන්නේ මිනිස්සු කම්මැලි වෙන එක ...  පස්සට යන එක ... ඕවට වැදගත් කමක් දෙන්ඩ හොඳ නැහැ ..."

"ඒ කතා වල ඇත්ත බොරුව මට වැදගත් නැහැ ... හැබැයි රටේ රජු වශයෙන් තමුසේ මිත්‍යාව පිලි නොගන්නවා කියල කිව්වට තමුසේ දුවන්නෙත් ඒ වගේම මිත්‍යාවක් පස්සේ කියල තේරුම් ගන්නවා.  තමුසෙගෙ ඔය ශුද්ධ ශක්ති ෆැන්ටසියයි,  ස්කෘලොක්ට පණ දෙනවා කියන එකෙයි වෙනසක් මට නම් පෙන්නේ නැහැ."

"අනිත් එක ... වැඩිය කල් නොදා අර චක්‍රාවාට සංගමේ වැඩේ බලනවා.  මොකද ඒක  අපි නොහිතන තරම් වැදගත්. මිනිස්සුන්ව මිත්‍යාවෙන් ඈත් කරන්න නම් ඒ මිනිස්සුන්ට ඊට වඩා රස ටොපියක් දෙන්න වෙනවා කන්න. මේ දවස් වල නැගලම යන්නේ සක්වල සංචාර." 

වෙරිමතින් සිනාසෙමින් ඩෙලෝ පැවසිය.    

"ඩෙලෝ ඒක මම බලා ගන්නම්... මට අර උදව්ව කරලා දෙනවා. "

"හරි හරි ...ඕක මහ දෙයක් ද ...මම ක්‍රොෆින්ගර්ව බලා ගන්නම්...   මාව ඔන්න ඔය ඉස්සරහින් දාගෙන යනවා..                                 

මතු සම්බන්ධයි 

15 comments:

  1. රජෙකු එළිපිටම වයිට් හාර්ට් වැනි තැනකට යාම, හැලි අරක්කු බීම, ඔබතුමාලගේ පිහිටෙන් අපේ වියදමෙන් වැනි යෙදුම් කතාවේ කියවෙන කාලයට හා තත්වයට එතරම් නොගැලපේ යයි මට සිතුනි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිදි. මම රජුව වයිට් හාර්ට් එකට ගෙනිච්චේ හේතු කිහිපයක් හින්ද, එකක් වයිට් හාර්ට් එක කතාවේ ප්‍රධාන තැනක් විදියට කතාව පුරා ගෙනියන්න, අනිත් එක මේ රජු ජනතාව අතර ප්‍රසිද්ධ සහ ලොකු පොඩි බේද නැති චරිතයක්, වයිට් හාර්ට් එක කියන්නේ ලොකු පොඩි බේදයක් නැතුව කට්ටිය සෙට් වෙන තැනක් කියන්නයි මට ඕනේ උනේ .

      හැලි අරක්කු නොගලැපෙන කතාව මුලින්ම තිලක් අයියත් කිව්වා. එක ඇත්ත. අලුත් ජාතියක් ගැන කියන එක අමාරු දෙයක් නෙමේ හැබැයි මට හිතෙනවා ඒවගේ කවුරුත් දන්න කියන දුප්පතාගේ බිමක් මේ වගේ නවීන සහ අලුත් ලෝකෙක ජනප්‍රිය වෙන්න බැරිද කියල... හෙහ් හෙහ්..

      [ඔබතුමාලගේ පිහිටෙන් අපේ වියදමෙන් වැනි යෙදුම්] බීපු මිනිස්සු කියන වෙන මේ වගේ යෙදුම් මොනවද? මගේ ඔළුවට ආවේ මේක. ඔන්න් ඔහේ ලියල දැම්ම හෙහ් හෙහ් ..

      Delete
  2. හැලි අරක්කු නං අවුලක් නෑ. ඒක සීත කරන එක තමා අවුල...

    මට මතක් උනේම, ස්ටොයික් ද වාස්ට් සහ උන්ගෙ කම්මල් කාරයව.

    ඔය මැරිච්ච උන්ට පණ දීලා කෙලවගන්න කතාවක් තියෙනව කෝනෑන් කතා අතරෙ. මතකද? කේජී පරිවර්තනය කරපු මුල්ම කෝනෑන් පොතේ...

    මං මේ දවස්වල හිතන්නෙ, (මං අර ලියන කතාවත් එක්ක) මේ වගේ කතාවක, දවසකට මොකක් හරි එක උත්තේජකාරකයක් දෙන එකෙන් කියවන්නා ඇද බැඳ තියා ගන්නයි, කුතුහලය අවුස්සන්නයි පුළුවන් කියල. උත්තේජකාරකයක් කිව්වෙ ෆයිට් එකක්, අනතුරක් වගේ දේවල්... මට ඔය අදහස ආවෙ අර ඇලෙන්ඩි පැහැර ගැනීම කියවද්දි...

    ReplyDelete
    Replies
    1. [හැලි අරක්කු නං අවුලක් නෑ. ඒක සීත කරන එක තමා අවුල...] උඹ බිල තියෙනවද ??

      [ස්ටොයික් ද වාස්ට් සහ උන්ගෙ කම්මල් කාරයව] මම දන්නේ නැහැ .. කවුද මේ ?

      මගේ ළඟ විජයග්‍රාහී කෝනෑන් හෙවත් මකරාගේ හෝරාව ද මොකක්ද කියල එකක් තිබ්බ මතකයි. දැන් නම් කතාව මතක නැහැ බන් පොඩ්ඩක් වත්.

      ඔව් එහෙම එකක් නැති වුනාම කියවනකොට එපා වෙනවා. ලියන කෙනාට පසුබ්ම් විස්තර සහ කතාව ගොඩ නැගීම වැදගත් වුනාට කියවනකොට ආතල් එක තියෙන්නේ එක්සයිට්මන්ට් වැඩි වෙනකොට. අර Dan Brown ගේ කතා වල පටන් ගත්ත වෙලේ ඉඳල තියෙන්නේ ඒවා. පොත බිමින් තියන්න හිතෙන්නේ නැහැ. හෙන ගේමක් දෙන්න ඕනේ ඉතින් ඒවත් එක්ක කතාවක් ලියන්න.

      Delete
    2. ඇත්ත... කතාව ගොඩනගන්න පුළුවන්නං සිදුවීම් වලින්, ඒක මාර හැකියාවක් වෙනව. අපි බලමු...

      ස්ටොයික් ද වාස්ට් How to train your dragon ෆිල්ම් එකේ හිකප් ගෙ තාත්තා. එතනත් පොර ගම පාලනය කරන නායකයා. පොරගෙ හොඳම යාලුවා තමා කම්මල් කාරය...

      මං හැලි අරක්කු බීල නෑ. ඒත් විස්කියි බියරුයි ඇර වෙන මොනවත් අරක්කු ජාති සීත කරල බොන්ඩ හිතෙන් නෑ මට.

      Delete
    3. අර මකරාගෙ හෝරාවෙ තමා එය මැරිච්ච මායාකාරයෙක් නැගිට්ටවන්නෙ... ඒක තමා පොත!

      Delete
    4. එකේ එහෙම සින් එකකුත් තිබ්බද ? කොහොමත් ඔය කවද හරි කියවපුව තමා මේ එක එක විච්චුරන දාල අපි ආයේ ලියන්නේ .. හෙහ් හෙහ්

      Delete
  3. රාවණාවාදීන් නඩුදායි ඒගොල්ලන්ගෙ ෆැන්ටසි එක කොපි කලා කියල

    ReplyDelete
    Replies
    1. මට මේක ලියද්දි ඕක මතක් වුනා. හෙහ් හෙහ්...

      2007 දී මම මේක මුලින් ලියද්දි රාවනාව නැගිට්ටවන්න හදන කට්ටිය හිටියේ නැද්ද කොහෙද...

      බලමු මේ යකාව හරි නැගිට්ටව ගන්න පුළුවන් වෙයි ද කියල .. හෙහ් හෙහ්

      Delete
    2. 2035 withara wenakam inna weida ilaga kotas tika kiyawanna 🤔🤔🤔🤔

      Delete
    3. නැහැ නැහැ එච්චර කල් යන එකක් නැහැ. මම මේ විභාගෙකට හිර වෙලා හිටියනේ. අද හෙටම බලමු මොනවා හරි කරන්න . ස්තුතියි උනන්දු කිරීම ගැන... :)

      Delete
  4. අපේ රාවණාට අත නොතබනු..

    අම්මපා මෙහෙවු රජෙක්...මිනිහට කොරෝනා ඌස්නෙ ගහලා නෑ නේද ?

    ReplyDelete
    Replies
    1. කොරෝනා ඌස්නෙ නොගහපු රජවරු ඕනේ තරම් ඉන්නේ සෙන්නා. අපිට නැති වුනාට...

      මේක කියවලවත් අපේ ගොයියන්ට ඔය රාවනා උන්නැහේව නැගිට්ටවන්න ක්‍රමයක් හිතා ගන්න පුළුවන් වෙයි කියල මම මේ ලියන්නේ...

      හෙහ් හෙහ්

      Delete