Tuesday, June 28, 2016

කැප්ටන් නෙමෝ දුටු ඉන්දියානු සාගර පතුල

                  ඊයෙ ජුල්ස් වර්න් ගේ Twenty Thousand Leagues Under the Sea කෘතියේ සිංහල පරිවර්තනයක් වෙච්ච ජිනේන්ද්‍රවංශ ද සිල්වා මහතා විසින් පරිවර්තනය කරපු මහ මුහුදේ ගව් 20000ක් යට පොත කියවල ඉවර කළා. කියවපු නැති කෙනෙක් ඉන්නවනම් අර සුප්‍රසිද්ධ කැප්ටන් නෙමෝ සහ එයාගේ නෞටිලස් සබ්මැරින් එක තියෙන්නේ මේ පොතේ.. මරු කතාවක්.. මම මෙච්චර කල් හිතාගෙන හිටියේ ඒ පොත මම කලින් කියවල ඇති කියල.. මේ ඊයේ පෙරේදා ලංකාවට යද්දී ෆ්ලයිට් එකේදී කියවන්න කියල අරන් ගියේ.. කියවගෙන යද්දී තමයි තේරුනේ මේකේ තියෙන සිද්දි එහෙන් මෙහෙන් අහල තියෙනවා විතරයි කවදාවත් පොත කියවල නෑ කියල.. යන එන ගමන් ටිකක් කියෙව්වා.. ඊයේ හවස් වරුවේ ඉතිරි ටික කියවල ඉවර කළා..

කැප්ටන් නෙමෝ ඉන්න සහ නෞටිලස් තියෙන ෆිල්ම් එකකුත් තියෙනව. නම LXG (League of Extraordinary Gentlemen) ෆිල්ම් එක ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න පුළුවන්.. ෆිල්ම් එකේ තව මරු චරිත ටිකක් ඉන්නවා.. Allan Quatermain, Professor James Moriarty, Mina Harker, Rodney Skinner හෙවත් අදිසි මිනිසා  වගේ මරු චරිත ටිකක් ඉන්නවා.. 

බැරිවෙලා හරි මේක කියවන කෙනෙක් Allan Quatermain ගැන දන්නේ නැත්නම් ඒ කියන්නේ ශ්‍රීමත් රයිඩර් හැගාර්ඩ් ගේ King Solomon's Mines කෘතියේ ප්‍රධාන චරිතය. Professor James Moriarty කියන්නේ ෂර්ලොක්හෝම්ස් කතා මාලාවේ ඉන්න ප්‍රධානම දුෂ්ට චරිතේ.. මම වැඩිය එයා ගැන නම් දන්නේ නෑ.. Mina Harker කියන්නේ සුප්‍රසිද්ධ Dracula (ඔය වචනේ සිංහල ක්‍රමේට කියන්නේ දැතිහුලහ කියල) පොතේ  ඉන්න කාන්තා චරිතය. අදිසි මිනිසා කියන්නේ H.G Wells ගේ The Invisible Man පොතේ ඉන්න අදිසි මිනිසා.

Mina Harker ගේ හස්බන්ඩ් තමයි Jonathan Harker. පොර තමයි දැතිහුලහ ගෙන් ගේම ඉල්ලන්නේ. Jonathan Harker එදා ගේම ඉල්ලන්නේ නැතුව නිකන් පොඩි කාමරයක් වගේ ඉල්ලගෙන ශේප් එකේ හිටියනම් දැතිහුලහ අදටත් ඉන්නවා.. Mina Harker ටත් ඔය ළමයෙක් දෙන්නෙක් හදාගෙන ගේ දොර වැඩ ටිකක් කරගෙන ඉන්න තිබුනා.. කොහෙද ඉතින් ගේම මනේ ඉල්ලුවේ.. (කොහොමත් ගෑනු ඉතින් ලොකු ගෙවල් වලට ආසයි නෙ.. නැද්ද හා)

මේ වගේ පෝස්ට් ලියද්දි දේවල් ඔළුවට එන විදියට අර ඔපිස් එකේ වැඩ කරනකොටත් අපේ ඔලු හරියට වැඩ කරනවානම් අම්මපල්ල මහින්ද නැතුව උනත් ලංකාව ආශ්චර්යමත් කරන්න පුළුවන් නේ.. කරුමේ කියන්නේ ඔළුව වැඩ කරන්නේ මේ වගේ ෆැන්ටසි ලෝක වලදී විතරයිනේ.. 

හරි දැන් ආයෙත් මේ කැප්ටන් නෙමෝ දැක්ක සාගර පතුල ගැන කිව්වොත් එහෙම.. පොර ඒවා බලන්න මුහුදේ ගිලුනේ මිනිහම හදපු නෞටිලස් සබ්මැරින් එකෙන් . අපි මේ කතා කියවල මනෝ ගහල බුදිය ගත්තට ඒ මනෝ ලෝකවලින් එලියට ඇවිල්ල වැඩ කරන සුද්දෝ පස්සේ කාලෙක හදපු මුල්ම න්‍යෂ්ටික සබ්මැරින් එකට නම තිබ්බේ නෞටිලස් කියල.   ඒ සබ්මැරින් එකක් ගැන හිතාගන්නවත් බැරි තරම් ඈත කාලෙක සබ්මැරින් සංකල්පය මේ තරම් අපුරු විදියට කතාවකට ගොතපු ජුල්ස් වර්න් ට උපහාරයක් විදියට.. කතාව කියවද්දී ඇත්තටම මාර සංකල්ප ටිකක් පොතේ තියෙනවා... මම හිතන්නේ තාමත් ඒ කතාවේ ලෙවල් එකට අපි ඇවිල්ල නෑ..

හරි ඉතින් දැන් ඔය කතාවේදී කැප්ටන් නෙමෝ දැක්ක මුහුදු පතුල මොකක් ද..

හෙහ් හෙහ් මේ බ්ලොග් ලෝකයේ මාතෘකාවට අදාල නැති පෝස්ට් එකක් ලියල පොඩි ආතල් එකක් ගන්න එක හරි ම සුලබ දෙයක්.. මමත් මේ ඒ වැඩේ කරන්නේ..  දැන් මම කැප්ටන් නෙමෝ ගැන පෝස්ට් එකක් ලියන්න කියලද.. පොර ගැන මම දන්නෙත් පොත කියවපු අනිත් උන් දන්න ටිකමයි.. ඉන්දියානු සාගර පතුල ගැන ඉතින් මොනවා ලියන්නද.. මම මේ ස්විමිං පුල් එකේ යාන්තම් හුස්ම තදකරන් පොඩ්ඩක් අත පය ගහන මනුස්සය වෙච්චි කොට.. සාගර පතුල් ගැන ලියන්න.. .. හෙහ් 

මොනවා උනත් මාතෘකාවක් දැම්ම නම් එකට අදාලව මොනවාම හරි ලියන්න ඕනේ.. වැල් බයිලා කොච්චර ලිව්වත් කමක් නෑ..  (තනිකරම අදාලම නොවනම විදියටත් බ්ලොග් ලියනවද කියල මම දන්නේ නෑ..)

මේ තියෙන්නේ ඔය කැප්ටන් නෙමෝ දැක්කයි කියන සාගර පතුල නේ



අපූරුයි නේද..මේක බුකියේ යාලුවෙක් දාල තිබ්බ ෆොටෝ එකක් මට දැක්ක ගමන් ආස හිතුනා..මොනවා හරි ලියන්න හිතද්දී තමයි කැප්ටන් නෙමෝ ඔළුවට ආවේ.. පොරත් මේවා දකින්න ඇති නේද කියල හිතුනා.. අනේ අර Jonathan Harker දැතිහුලහ ගෙන් ගේම ඉල්ලුව වගේ මේ කැප්ටන් නෙමෝ ටත් පොඩි මුලග්ගින්නක් තිබුනා මගේ හිතේ..මිනිහටත් එක විදියකට ඉන්න බැරි වුනානේ..ඔය පාඩුවේ සබ්මැරින් එක එලොගෙන හිටියනම් අදටත් ඉන්නවනේ..  NatGeo එකට ෆොටෝ ගහන රස්සාවක් අපුරුවට කරන්න තිබුනා.. යු ටියුබ් එකේ, බුකියේ හොඳට හිට් වෙන චරිතයක් මෙලහට හිටියනම්..
ඔය තියෙන්නේ කැප්ටන් නෙමෝ ඉන්දියානු සාගරය හරහා ලංකාවට ඇවිල්ල ලංකාවේ මුතු පර වල මුතු හොයද්දි ගත්තු පින්තුරයක් නෙවෙයි.. මේ 1967 ඔක්තෝම්බර් මාසේ National Geographic සඟරාවේ පලවෙච්ච පින්තුරයක්. කවුද මන්ද කෙනෙක් ඇඳපු මැප් එකක්..  ඔය මැප් එකේ උඩ හරිය බැලුවොත් පෙනෙයි නිකන් රොන් මඩ තැන්පත් වෙච්ච ගතියක්.. මේ ෆොටෝ එක දාල තිබුණු reddit එකේ පොඩි කතා බහක් තිබුනා ඔය ලංකාව පැත්තට වෙන්න තියෙන රොන් මඩ වගේ ටික ඔක්කොම හැදිලා තියෙන්නේ ඉන්දියාවේ ගංගා නම් ගඟ නිසා කියල.. බැලු බැල්මට එහෙම හිතෙනවා.. හැබැයි ඇත්තද බොරු ද දන්නේ නෑ..


මට ඉතින් ඕක දැකල මේක ලියන්න කලින් හිතුනා මේ මැප් එක ඇත්තද බොරු ද කියල හොයන්න.. එහෙම හොයද්දී  Nasa එකෙන් පල කරපු මේ පින්තුරේ හම්බ වුණා..




පොඩ් සමාන කම් ටිකක් තියෙනවා නේද..මුල් පින්තුරේතරම් ගතියක් නැති උනාට..

සාගර පතුල ගැන හොයන්න මම ආසයි බයයි.. ඒ කියන්නේ ඔය ගැඹුරු මුහුදට නම් මම බයයි.. අර කැමරන් කාරයා.. (ඉල්ලලා අස් වෙනවයි කිව්ව කැමරන් හාදය නෙවෙයි.. චිත්‍ර පටි හදන බුවා) කොහොම මරියානා ආගාදෙට බැස්ස ද මංද..

අපි ඉතින් මේ වගේ මැප් වලින් ඔය තියෙන දෙයක් බලාගෙන ඉන්නවා.. හැබැයි බැරි වෙලා හරි නෙමෝ ලොක්කගේ නෞටිලස් එකේ අඩු ගානට ටුවර් පැකේජ් තිබ්බ නම් අපිත් බය නැතුව යනවා..  පේනවනේ හිටියනම් පොරට කරන්න තිබ්බ බිස්නස්..

කොටින් ම මේ කැප්ටන් නෙමෝ ගේ පොත කියවල ඉවර වෙලා ඊයේ ටීවී බලද්දී ටීවී එකේ තිබුනා එකක් ඔය මහ මුහුද මැද්දේ කිමිදිලා මාළු මරණ සීන් එකක්.. දැල් දාල අල්ලනවා නෙවෙයි කෙලින් ම උලකින් වගේ ඇනල අල්ලන්නේ.. ඕක බලද්දී මතක් වුනේ නෙඩ් ලෑන්ඩ්ගේ ඇවුලුම් බිලිය.. ඇවුලුම් බිලිය කියන්නේ මොකක් ද කියල මම දන්නේ නෑ හැබැයි ඒ පෙන්නපු ආයුදේ ඒ වගේ වෙන්න ඇති.. ඔය ඇවුලුම් බිලියෙන් තල්මස්සු මරණ කතාව මිට කලින් කියවල තියෙනවා.. මම හිතන්නේ මොබි ඩික් එකේ ද කොහෙද.. ෂුවර් නෑ..

දැන් මේ මැප් එක දකිද්දී මතක් වුනේ.. ඔය කැප්ටන් නෙමෝ දැක්කයි කියන ඇට්ලන්ටිස් මහාද්වීපයේ සුං බුං ටික..  ඔන්න බලන්න මම කිව්වේ බොරු ද කියල.. පොර අද හිටියනම් .. පවුලේ සැමට ඇට්ලන්ටිස් සවාරියක් යන්න තිබුනනේ ... අපිත් ඇට්ලන්ටිස් බලනවනේ එහෙනම්

දැන් ඔය කාරනා කාරනා දන්න අය කියයි ඇට්ලන්ටිස් කියන්නේ බොරුවක් කියල.. හැබැයි ඉතින් ඔය ඇට්ලන්ටිස් මහාද්වීපය තිබුනයි කියන්නේ දැන් අප්‍රිකානු සහ ඇමරිකානු මහද්වීප දෙක අතර ලු.. සෑහෙන්න දියුණු ශිෂ්ටාචාරයක් තිබුන(ලු) ..ලු.. අනේ මං ද

මම අර කලින් කිව්වා වගේ බැරිවෙලා හරි Jonathan Harker දැති හුලහ ගෙන් ගේම ඉල්ලන්නේ නැතුව ශේප් වෙලා දැතිහුලහ අද වෙනකම් හිටියනම්  ඔය දැතිහුලහ ට තියෙන නොමැරෙන ලේ වල රහස ශේප් එකේ එක්කෝ ගානක් දීලා.. නැත්නම් ඔය පොඩි සුදු ළුණු ටිකක් පොඩි කරලා  දැති හුලහව මඥ්ඥන් කරලා හොයාගෙන නෙමෝ ගේ ටෙක්නොලොජි පාවිච්චි කරලා මොන මොන දේ කරන්න තිබුනද...අනිත් එක අර අදිසි මිනිසා නොපෙනී ඉන්න ටෙක්නික් එක, අදිසි මිනිහ මලේ මක් වෙලා ද? මට මතක නෑනේ.. මට මතක එකම දේ තව අදිසි පුසෙක් මේ ලෝකේ ඉන්නවා කියල විතරයි... ඒ පුසාත් මලා ද? කාට හරි මතක ද?

කියල වැඩක් නෑ.. ගම්පහ ඉන්න තිබ්බ මිනිස්සු..

කැප්ටන් නෙමෝ වගේ නෙවෙයි ඇලන් ක්වාටර්මේන්,  වැදගත් මනුස්සය. අර සොලමන් රජ්ජුරුවන්ගේ වස්තුව හොයන්න ගිය හැටි කට්ටිය දන්නවා ඇති නේ.. ඔය සොලමන් රජ්ජුරුවොයි ෂිබා රැජිනයි කියන්නේ බයිබලේ එන චරිත දෙකක්.. දැන් ඔය King Solomon's Minesපොත සිංහල ට පරිවර්තනය වෙලා තිබුනා රත්නාගාරය කියල.. ඔය පොතේදී තමයි මම ඉස්සෙලම ඇලන් ක්වාටර්මේන් අඳුර ගත්තේ.. දැන් නම් ඒ පොත තියෙනවා ද දන්නේ නෑ සල්ලි දීල ගන්න. ඔකේ තියෙනවා ඇලන් ක්වාටර්මේන් සහ ඔහුගේ පිරිස කාන්තාරේ යද්දී ඈතින් පේන කඳු ශිකරය ගැන කියන්නේ ෂිබාගේ දෙපියයුරු කියල.. මට ඒ දවස් වල ඕක කියවද්දී නිකන් හෙන අවුල් වගේ.. හෙහ් හෙහ්.. දැන් මේ කොහෙන් හරි ඇලන් ක්වාටර්මේන් මතක් වුනත් මතක් වෙන්නේ පොතේ ඒ කෑල්ල හෙහ් හෙහ් හෙහ්...

රයිඩර් හැගාර්ඩ් ගේ ඈ හෙවත් අයේෂා කියන පොතේ තියෙන්නේ ඔය ෂිබා රැජින ගැන කියල මම හිතාගෙන හිටියේ හැබැයි මම හිතන්නේ ඒක එහෙම නෙවෙයි.. අයේෂා පොත ආයෙත් හොයාගෙන කියවන්න ඕනේ..දැන් මේ පොත් ගැන මතක් වුන වෙලාවේ මතක් වෙච්ච තව එකක් තමයි භුතාවේශය කියන පොත.. එකේ තිබුනෙත් ඔය කවුරු හරි කුමාරියක් ගැන තියෙන ඇඩ්වෙන්චර් කතාවක්.. එකේ චරිත නම් මතක නෑ.. හැබැයි පිට කවරේ තිබුණු දුහුල් සළුවක් ඇඳගත්ත නග්න ගෑනු රූපේ නම් ගලේ කෙටුව වගේ මතකයි හෙහ් හෙහ්..

එක පොතක් කියෙව්වම අපිට කොච්චර දුරක් යන්න පුළුවන් ද.. චිත්‍රපටයක් බැලුවට මේ විදියට මනස්ගාත ගොතන්න ටිකක් අමාරුයි මම හිතන්නේ.. මොකද චිත්‍රපටි වලින් අපේ ඔළුවේ සිද්දි ටික ඔක්කොම ඇඳලා ඉවර කරන නිසා අපිට අලුතින් අඳින්න දෙයක් නෑ.. පොත් වලින් ඉතින් පිස්සු හැදෙන කම් මවන්න පුළුවන්..

දැන් අර මම උඩින් කියපු LXG ෆිල්ම් එක මෙලෝ රහක් නැති එකක් වෙනවා ඔය චරිත ටික කලින් කියවල අඳුරගෙන හිටියේ නැත්නම්..

හරි එහෙනම් ඔය ඉන්දියන් සාගරේ උඩින් යද්දී හදිස්සියෙවත් ප්ලේන් එකක් කඩා වැටුනොත් සාගරේ තියෙන ඔය උස් කණ්ඩියකට නැගල පොඩ්ඩක් අල්ලන් ඉන්න පුළුවන්නේ කවුරු හරි බේර ගන්න එනකම්... පොඩ්ඩක් මැප් එක ඔළුවට දාගන්න.. කොයි එකටත් කියල..

කළුවරේ නිදා ගන්න ලැස්ති වෙලා ඉන්න අය මෙන්න මේකත් බලල අපේ හිතාදර දැතිහුලහා මහතා ගැන සිහිපත් කරගෙන ඔස්ති පාන් කෑල්ලක් කාල ,  සුදු ළුණු ටිකක් ඇඳවටේ තියාගෙන නිදා ගන්න.. සුබ රාත්‍රියක්!!

රිංගිට් 5ට ගත්තු මගේ රාජකීය දැතිහුලහ පොත