Friday, October 13, 2023

New Scientist ඇසුරෙනි


   ඉස්සර ඔය වචන තුන විදුසර පත්තරේ දැක්කම ඒ ලිපිය නොවරදවාම කියවනවා .. අවුරුදු 20-25 කට විතර කලින් ඒ කියවපු දේවල් හරියට නොතේරුණත් ,  හිතන පතන විදිය වෙනස් වෙලා, අලුත් දැනුම හොයන්න කුතුහලයත්, යල්පැන ගිය බොරු සංකල්ප  වලින් නිදහස් වෙන්නත් ඒ කියවපු ලිපි හේතු වෙන්න ඇති..

ඒ දවස් වල සතිපතා පත්තරේ ගන්න හැකියාවක් තිබ්බට සඟරා අරන් කියවන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ .. විශේෂයෙන්ම New Scientist කියන්නේ මට මේ ලඟක් වෙනකම් දකින්නවත් නොලැබුණු සඟරාවක් .

ආස කරන දේවල් ගැන හින විතරක් දකින්න උරුම වෙච්ච ළමා කාලයක්   තිබ්බ අපිට ඒ හීන වැඩිය නාකි වෙන්න කලින් සැබෑ වෙනවා දකින්න ලැබිල තියෙන්නේ මේ වගේ සඟරා වලට කරුණු හොයන, ලියන , ඒවා පරිවර්තනය කරලා ලෝකේ පුරා බෙදන දහස් ගණන් මිනිස්සු කරන ඒ මෙහෙවර හින්ද කියල මට හිතෙනවා ..

මේ සඟරාවල තියෙන කරුණු, මිට වඩා ගැඹුරින්, ලේසියෙන් සහ නොමිලේ ලබා ගන්න දැන් හැකියාව තියෙනවා නමුත් 1956 නොවැම්බර් 22  වෙනිදා  එංගලන්තේ ලන්ඩන් නගරයේ  නිකුත්  වෙච්ච පළවෙනි මුද්‍රණයේ  ඉඳල දශක 6 කට වැඩි කාලයක් සතිපතා ඉතාම උසස් සහ නිවැරදි විද්‍යා තොරතුරු ගෙනාපු මේ සඟරාව මේ වෙනකොට App එකක් , වෙබ් අඩවියක් සහ කඩදාසි මුද්‍රණයක් වශයෙන් තුන් ආකාරයකට පලවෙනවා .

AI වලින් ලෝකේ දුවන්න පටන් ගත්ත මේ කාලේ උනත් මෙහි තියෙන කරුණු මගේ දැනුමේ හැටියට නම් නිවැරදි සහ අලුත් ..   ඒ වගේම යන්තම් උඩින් පල්ලෙන් මොනවා හරි ලියල දාන ගතිය වෙනුවට හොඳ දැනුමක් තියෙන ලේඛකයෝ මහන්සි වෙලා කරුණු  හොයල  ලියන සඟරාවක්. මේ හා සමාන කල හැකි වෙනත් සඟරා ලෝකේ තියෙනවා නම් ඉතාම කිහිපයක් විතරයි ඇත්තේ ..Scientific American සමහරවිට මේ වගේ ඇති .

මේ කාලේ සඟරා  අරගෙන කියවන අය කොපමණ ඉන්නවද කියල හිතාගන්න අමාරුයි .. නමුත් මම හිතනවා අපි තොරතුරු  හුවමාරුව නොදියුණු  කාලේ  අපිට  දැනුම  ලබා  දීම වෙනුවෙන් ඒ මිනිස්සුන්ට කරන උපහාරයක් වශයෙන් මෙවැනි සඟරා, පත්තර වල පැවැත්මට ආධාර කරන්න ඕනේ කියල .

ඉතින් ඔන්න ඔහොම හිතල පොඩි කාලේ English  කියවන්න බැරි උනත් දකින්න හරි ආස වෙච්ච New Scientist සඟරාවේ දායකත්වය (Subscription)  මම ගත්තා ... (පන්සලේ දායකයෙක් වෙන්න තව ටිකක් නාකි වෙලා හිතල බලනවා )

දැන් සතිපතා තැපෑලෙන් මට වර්ණ කඩදාසියේ මුද්‍රිත සඟරාවක් එනවා  , App එකට සහ වෙබ් අඩවියේ පිවිසුමත් තියෙනවා ... ගත්ත අනිත් හැම පොතම වගේ මේ සඟරාවත් මට  කියවන්න වෙන්නේ අඩුවෙන් .. නමුත් මට කවද හරි කියවන්න වෙලාවක් ලැබෙන කන්  මේ මිනිස්සුන්ට මේ වැඩේ කරගෙන යන්න උදව්වක් වෙනවා නේද කියන පිං  චේතනාවෙන් මම මේක කරගෙන යනවා.

මේ වෙනකම් ලැබුණු සඟරා වලින් කිහිපයක් .. 




විදුසර කියන්නේ ලංකාවේ   New Scientist කියලයි මට හිතෙන්නේ .. මේක ලියන ගමන් https://epaper.upali.lk/ එකට ගිහින් නොමිලේම දෙන විදුසර දායකත්වයත් ගත්ත .. 


එකේ තිබ්බ  අවසන් කලාපේ නම් New Scientist ඇසුරෙනි කියල යටින් ලියපු ලිපියක් දකින්න බැරි උනා . නමුත් තවමත් විදුසර උසස තත්වයෙන් තියෙනවා දැකීම සතුටක් ...