මීට වසර 17කට පමණ පෙර, ටීනේජ් වියේ අවසන් සමය ගත කරමින්, විවිද විකාර ඔලුවේ දමාගෙන ආතක් පාතක් නොමැතිව ආතල් ලෙස පාවෙමින් සිටි කාලයේ ඔහේ ලියවුනු කතාවකි. ලියා නිකන් සිටීමට නොහැකිව විදුසර පුවත් පතට දැමු විට එහි පලවී පොඩි කික් එකක් ලබා දුන් කතාවකි. එය කියවූ රසිකයෙකු විසින් කතාවට පිළිතුරක් ලෙස ලියු තවත් ලිපියක් හේතුවෙන් දෙවෙනි කොටසකුත් පත්තරයට ලියා ආතල් එක ඩබල් කර ගන්නට හේතු වූ කතාවකි. එතනින් නොනැවතී සියලු වැඩ අත හැර විද්‍යා ප්‍රබන්ධ ලිවීමට යොමු වී අවසානයේ මේ නමින් පොතක් එලි දක්වන්නටත්, මේ වන තෙක් ගෙවුණු ජිවිත කාලයේ හරි හමන් ලෙස නිම කල එකම දෙය ලෙස ඒ පොත මගේ ඉතිහාසයේ සටහන් වීමටත් මේ කතාව හේතු බූත විය.
එදා ඒ ලියූ ලෙසම කතාව මෙහි පල කර ඇති අතර වචන කිහිපයක තිබු අඩුපාඩු කිහිපයක් පමණක් මේ සටහන ලිවීමේදී වෙනස් කරන ලදී.
ක්‍රි.ව. 2423 පෙබරවාරි
14 වන දින,
ශ්‍රී ලංකාවෙන්
ශ්‍රී ලංකාවේ
ක්‍රි.ව. 2000 මාර්තු මස
2 වන දිනට,
මා මේ සැරසෙන්නේ තවත් එක් කාන්තාවක් හඳුන්වා දීමට නොවේ. පැමී යනු හුදෙක් දීප්තිමත් රවුම් ඇස් දෙකක් සහිත සම්පූර්ණයෙන්ම ජීව-යාන්ත්‍රික අවයව වලින් සැදුණ උපකරණයකි. මා මෙහිදී ජීව-යාන්ත්‍රික අවයව ලෙස හැඳින්වූයේ එය තුල වූ විවිධාකාර මයික්‍රෝචිපයන්ට සවි වූ ස්වාභාවික අත් පා ය. ස්නායු ලෙස ක්‍රියා කළ ප්‍රකාශ තන්තූන් ය. යාන්ත්‍රික රටාවකට ක්‍රියාත්මක වූ හදවතය. පරීක්ෂණාගාර තුළ කෘතිමව තැනූ රුධිරයය.
මෙය 24 වන සියවසේ රොබෝ විද්‍යාඥයන්ගේ අප්‍රමාණ ධෛර්යයේ හා උත්සහයේ අතී විශිෂ්ට ප්‍රතිඵලයකි. එනම් පැමී යනු අතිශය දියුණු තාක්ෂණයකින් යුතු වූ රොබෝවකි.
මා එයට පැමී යනුවෙන් ආමන්ත්‍රණය කළේ එයට තිබූ කුඩා දික්වූ මුහුණත්, කාන්තාවකගේ මෙන් ස්වාභාවික කෙස් යොදා තනා තිබූ දිගුවන් කෙස් කළඹත්, ඇගේ මිහිරි කටහඬත් හේතුවෙනි. එසේම වෛද්‍ය විද්‍යාවේ පිහිටෙන් ඇයට ලැබී තිබුණු ඇස් දෙක සහ ග්‍රීක දෙවඟනකගේ මෙන් පිහිටි සුදු පැහැති සමින් වැසුණු කෘතිම සිරුර ඇයට සුරූපී තරුණියකගේ පෙනුම ලබා දී තිබුණ හෙයින් පැමී යනු මාගේ දැකීමේ හැටියට නම් නියම කාන්තාවකි.
වෘත්තියෙන් රොබෝ ඉංජිනේරුවකු වූ මා පැමීව ලබා ගත්තේ මගේ පරීක්ෂණ කටයුතු වල සහයිකාව ලෙසය. ටික කලකදී ඇය මගේ හිතවතිය විය. මට සිටි එකම මිතුරිය විය. පැමී ඇත්තෙන්ම සර්ව සම්පූර්ණ සහයිකාවකි. ඇයට, පැවරූ කමන කාර්යයක් වුවද නොපිරිහෙලා අකුරටම ඉටු කිරීමේ හැකියාව තිබිණි. ඇය කරන සෑම ක්‍රියාවකින්ම ඇගේ මතකයේ වැඩිවීමක් මිස අඩු වීමක් නොවීය. මට අලුත්වැඩියාව සඳහා බාරදෙන සමහර රොබෝවන් නැවත ඇය විසින් පිළිසකර කළේ මගේ කිසිම උපදේශයකින් තොරවය.
20 වන සියවසේ සිට 24 වන සියවස දක්වා වූ අවුරුදු 400ක පමණ කාලය තුළ මිනිසාගේ ශරීරාංග වල පරිණාමයක් නොවූවද ඔහුගේ බුද්ධියේ හා බුද්ධියෙන් සිදකරන වැඩකටයුතු වල පරිණාමයක් සිදු වී තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස ජීව විද්‍යාව මෙන්ම භෞතික විද්‍යාවද දියුණුවේ ඉහළ තලයකට පැමිණ තිබේ. අවුරුදු 400කට පෙර මිනිසා දුටු සිහින දැන් සත්‍ය වී ඇත. මේ වන විට මිනිසාට ලබාගත නොහැකි වී තිබුණේ අමරණියත්වය පමණි. නමුත් සර්ව සම්පූර්ණ ජීවිතයක් ගත කිරීමට ඔහුට හැකියාව ඇත. එසේම මෙම දියුණුවට අඩිතාලම දැමූ විද්‍යාඥයන්ගේ හා දාර්ශනිකයන්ගේ මොළ, රෝපණ මාධ්‍ය තුළ වැඩෙන්නට සලස්වා එම විද්‍යාඥයන් අමරණියත්වට පත් කර ඔවුන්ට කළගුණ සැලකීම මේ සමයෙහි ඇති ඉතාමත්ම වැදගත් දෙය ලෙස සැලකිය හැකිය.
පැමීගේ මොළයද විවිද ඉලෙක්ට්‍රොනික කොටස් වල හා මිනිස් පටක වල එකතුවක් විය. පැමීගේ මොළය තුළ වූ පටක ලබා ගෙන තිබුණේද මිය ගිය විද්‍යාඥවරියකගේ මොළයෙනි. මෙයද මෙම කාලය තුළ රොබෝවන්ගේ ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමට යොදාගත් තාක්ෂණයකි. මේ නිසා මේ සමයෙහි රොබෝවන් යනු මිනිසාට බොහෝ සෙයින් සමාන උපකරණ විශේෂයකි. පැමී තුළ වූ පටක, ඉලෙක්ට්‍රොනික කොටස්වල සහයෙන්ද එම ඉලෙක්ට්‍රොනික උපකරණ පටක වල සහයෙන්ද වැඩ කළේය.
මෙය කිසිදා සිදු විය නොහැක්කක් ලෙස ඔබ සිතතත් අද එය සිදුවී ඇත. මෙම සියවස තුළ සිදු කර ඇති බොහෝ සොයාගැනීම් හා නිපදවීම් වලට මෙම ජීව-යාන්ත්‍රික යාන්ත්‍රණ යොදාගෙන ඇත. මෙයට මූලික අඩිතාලම වැටුනේ දැන් ඔබ ජීවත් වන සමයේදී සිදු වූ මානව ජිනෝම(Genome) ව්‍යාපෘතියේ අති සාර්ථකභාවයත්, කෘතිම අවයව නිපදවීමේ තාක්ෂණයේ දියුණුවත් හේතුවෙනි. මේ සියල්ලගේ අපූරු සංකලනයක් ලෙස පැමී බිහිවිය.
මට ඇය සමග ඕනෑම දෙයක් කතා කළ හැකි විය. නමුත් ඇය තුළ ආදරය, සෙනෙහස, කරුණාව, වෛරය, ක්‍රෝධය වැනි හැඟීම් පවතීදැයි මට කිව නොහැකිය.
“ට්‍රෙවෝ මම ඔයාට ආදරෙයි.” ලෙස පැමී කිසි දිනෙක මා හා පවසා නැත. මා ද එසේමය. නමුත් ඇය සැමවිටම මා ගැන සෙව්වාය. මා දකින්නට නැති විට ඒ ගැන සොයා බැලුවාය. නිෂපාදකයින් විසින් ඇගේ මතකයේ තැන්පත් කර තිබූ විවිධාකාර විහිළු කරමින් මා හා සිනාසුණාය. ඇගේ ඒ සිනාව මගේ සිත තුළ කම්පනයක් ඇති කළේය. ඇය එසේ සිනාසෙන විට මා ඈ දෙස ඇසිපිය නොහෙළා බලා සිටියෙමි. ඇත්තෙන්ම මට සිනාසෙන්නට අමතක විය. මෙවැනි සිදුවීම් නිසා මා තුළ පැමී කෙරෙහි ආදරයක් වැනි හැඟීමක් ඇති ව තිබිණි. නමුත් මෙය හුදෙක් මෝඩ සිතුවිල්ලකි. මක්නිසාදයත් රෝබෝවකට සාමාන්‍ය තරුණියකට මෙන් ආලය කිරීම මෝඩකමක් වීමය.
නමුත් කුඩා දරුවෙකුට ලබා දෙන සෙල්ලම් බඩුවකට ඔහු ආදරය කිරීම මෝඩකමක් ලෙස සැලකිය නොහැකිය. මා තුළ පැමී කෙරෙහි වූයේද එවැනි ආදරයක් දෝ යි මට විටෙක සිතුණි.
කුඩා දරුවකු තමාගේ සෙල්ලම් බඩුව වෙන කෙනෙකුට දෙනවාට, වෙන කෙනෙකු එය පාවිච්චි කරනවාට අකමැති වනවාක් මෙන්ම මගේ මිතුරන් පැමී සමඟ සිනාසීම, කතාබහ කිරීම වැනි දෑ කරනවාට මම අකමැති වීමි. ඒ මක්නිසාදැයි මට නොතේරේ.
“පැමී ඔයා ඒ ගොල්ලොත් එක්ක වැඩිය කතාවට යන්න එපා” දිනක් මම ඇයට කීවෙමි.
“ඇයි ට්‍රෙවෝ ඒ ගොල්ලෝ නිතරම මාව හිනස්සනවා. ඒකට මම කැමතියි” ඇය පැවසුවාය.
ඒ වුණාට එපා. මට බයයි ඔයා මට නැති වෙයි කියලා” මම කීවෙමි.
“මොකක්ද ට්‍රෙවෝ බය කියන්නේ? මගේ මතකයේ එහෙම දෙයක් නෑ.” ඇය පැවසුවාය.
“ඔව් ඔයාට ඒක කොහොම තේරෙන්නද? ඒවා මිනිසාගේ සිතේ ඇති වන සිතුවිලි. බය විතරක් නොවෙයි. ආදරය, සෙනෙහස, වේදනාව, වෛරය වගේ දේවලුත් මිනිසා තුළ ඇතිවන හැඟීම්. රොබෝවකට ඒ වගේ දේවල් දැනෙන්න විදිහක් නෑ. ඒවා හදවතින්ම ඇතිවන දේවල්”.
“ඒ වුණාට ට්‍රෙවෝ මටත් හදවතක් තියෙනවනේ. ඇයි මට ඒවා දැනෙන්නේ නැත්තේ” ඇය ඇසුවාය.
“මම දන්නේ නෑ පැමී... මම දන්නේ නෑ... ඒක ඔයාට විතරක් නෙමේ මටවත් තේරෙන්නේ නෑ. මිනිස්සු හිතන්න පුරුදු වෙච්ච කාලෙ ඉඳලම සිතුවිලි ඇති වන ආකාරය ගැන හොයකවා. අද වෙනකනුත් හරි උත්තරයක් නෑ.” මම ඇයට මෙසේ පවසමින් ඇගෙන් ඉවත්ව ගියෙමි. ඇයද ඉන්පසු ඒ පිළිබඳව මගෙන් ප්‍රශ්න නොකළාය.
සුපුරුදු පරිදි කාලය ගෙවිණි. නමුත් එක් දිනක් පැමීගේ කටයුතු පෙර පරිදි නොවීය. ඇයගේ කටයුතු අමුතු විය. ඇයට දෙන කුඩා කටයුත්තක් වත් කරගත නොහැකි තත්වයකට ඈ පත් වී සිටියාය. මම වහා ඇයව පරීක්ෂා කළෙමි. පුදුමයකි. ඇගේ මොළයේ වූ පටක අසාමාන්‍ය ලෙස වර්ධනය වී තිබුණු අතර එහි තිබූ සමහර පරිගණක ප්‍රොසෙසරයන් වසා එම පටක වැඩී තිබිණි. එසේ වැඩී නොතිබුණු සමහර කොටස් අක්‍රිය කළ විට ඇය නැවත ප්‍රකෘති තත්වයට පත් විය.
නමුත් ඇයගේ මොළයේ වූ මෙම අසාමාන්‍ය වර්ධනය මට මහත් ප්‍රහේළිකාවක් විය. එබැවින් මම ඇය නිපද වූ
“හියුමන් රොබෝට්ස්” ආයතනයේ ප්‍රධානියා වූ වෛද්‍ය විල්ස් කර්නෝව්ට කතා කළෙමි.
“බය වෙන්න දෙයක් නෑ ට්‍රෙවෝ. අපි ඕක හැදුවේ එහෙම වෙන්න තමයි. ඒකේ දැනුම වැඩිවෙන්න වැඩිවෙන්න මොළේ වැඩෙනවා. ඊට සමගාමීව ශරීරයේ අනෙක් කොටස් වලත් වර්ධනයක් පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි ඔයාගේ ඔය ආරංචිය අපේ ආයතනයට අති විශේෂ එකක්” ඔහු පැවසීය.
“ඒ මොකද ඩොක්ටර්” මම ඇසීම්.
“අපි ඔය P81A15M6I2 රොබෝව හැදුවේ ඔය වගේ දෙයක් වෙයි කියලා අනුමාන කරලා විතරයි. මීට කලින්
ඔහොම දෙයක් වෙලා නෑ. ඒක නිසා ඒක අපේ විශාල ජයග්‍රහණයක්.” ඔහු මහත් සතුටින් පැවසීය.
********************************************************************
********************************************************************
මේ අතර තවත් යමක් සිදු විණි. එනම් කාලයක් මා ඇසුරු කළ මගේ මිතුරියක් මා කෙරෙහි උනන්දුවක් දක්වන බවක් පෙන්වීමයි. මගේ සිත තුළද ඈ කෙරෙහි යම් ඇල්මක් තිබුණද එය ආදරයක් යැයි මම නොසිතමි. නමින් කැතී වූ ඇයද රූමත් මනා රූ සපුවකින් යුතු වූ අතර මට වඩා අවුරුද්දක් පමණ වයසින් අඩු විය. මගේ මිතුරන් මගේ නමත් ඇගේ නමත් පටලවමින් විවිධාකාර කතා කියමින් විහිළුකළ නමුත් මගේ සිතේ ඇය කෙරෙහි සාමාන්‍ය ලෙන්ගතුකමක් මිස ආදරයක් ඇති නොවීය. මගේ සිතේ සිටියේ පැමී පමණි.
මම පැමීට ප්‍රේම කරන බව දැනගත් මගේ යහළුවෝ “උඹට පිස්සු. යන්ත්‍රයකට ආදරය කරන්න පුළුවන්ද? පැමී
ගැන උඹ ඔහොම හිතුවට පැමීට උඹ ගැන ඔහොම හිතන්න බැහැනේ. නිකං පිස්සෙක් වෙන්න එපා.” යැයි කියමින් මට අපහාස කළහ.
මම ඒ සියල්ලම ඉවසා සිටියෙමි. නමුත් විටෙක මටද මා පිස්සෙක් යන හැඟීම ඇති විණි. මා ඉතා හොඳ මිතුරෙකු ලෙස ඇසුරු කරන පැමී මා දෙස පෙම්වතකු ලෙස නොබලන බව මම දනිමි. ඇයට ප්‍රේමය වැනි හැඟීම් ඇති නොවන බවත් මම දනිමි.
යන්ත්‍රයකට හිතන්න පුළුවන් වෙනම් කොතරම් හොඳදැයි මට අනේක වාරයක් සිතුණි. කවදා හෝ එසේ විය හැකි වී ඇය මට ආදරය කරතැයි මට අනන්ත වාරයක් සිතුණි. මම අහස් මාළිගා තැනුවෙමි. නමුත් ආදරය යනු හුදෙක් එක් වචනයක් පමණක් ලෙස සිතා සිටින ඇයට ආදරයේ නියම අරුත වටහාදෙන්නේ කෙලෙසකදැයි මට නොතේරේ.
යන්ත්‍රයකට හිතන්න පුළුවන් වෙනම් කොතරම් හොඳදැයි මට අනේක වාරයක් සිතුණි. කවදා හෝ එසේ විය හැකි වී ඇය මට ආදරය කරතැයි මට අනන්ත වාරයක් සිතුණි. මම අහස් මාළිගා තැනුවෙමි. නමුත් ආදරය යනු හුදෙක් එක් වචනයක් පමණක් ලෙස සිතා සිටින ඇයට ආදරයේ නියම අරුත වටහාදෙන්නේ කෙලෙසකදැයි මට නොතේරේ.
තවත් විටෙක මා පැමීට සිතින් ආදරය නොකර මට ආදරය කරන කැතීව විවාහ කර නොගන්නේ මන්දැයි මගෙන්ම ප්‍රශ්න කළෙමි. නමුත් ඊට විසඳුමක් දිය නොහැකි විය. මම සිතුවෙම්. පැමීද? කැතීද? අවසානයේ මම තීරණයක් ගතිමි. එනම් පැමීට මෙය පැවසීමය. ඇය මෙය කෙසේ තේරුම් ගනීවී දැයි මම නොදනිමි.කෙසේ නමුත් ඇයට මෙය පැවසීමට මම තීරණය කළෙමි.
එහෙත් ඇයට මට මෙය කෙළින්ම පැවසිය නොහැකි විය. සාමාන්‍යයෙන් තරුණයෙකුට තම සිත් ගත් තරුණියට ප්‍රථම වරට “මම ඔයාට ආදරෙයි” යන වදන් පවසන විට ඇති වන චකිතය මගේ සිත තුළ ද ඇති විය. මම මෙය ඇයට ආදී කාලයේ පෙම්වතුන් කළාක් මෙන් පෙම් හසුනකින් කීමට තීරණය කළෙමි. මම ඇයට අප දෙදෙනාම දැන සිටි සිංහල භාෂාවෙන් ලිපියක් ලිවීමි. (මේ වන විට ලෝකයේ කිබුණු සිය ගණනක් පමන භාෂා භාවිතයෙන් ගිලිහී ගොස් මිනිසුන් ඒ වෙනුවට ලොවටම පොදු වූ එක් විශ්ව භාෂාවකින් කතා කිරීමට පුරුදුව සිටියහ. නමුත් ක්‍රි.ව. 2212 දී පමණ පිටසක්වළින් පැමිණි ජීවීන් හා අදහස් හුවමාරු කර ගැනීමට සිංහල භාෂාවෙන් හැකි වූ නිසා එය විශ්වීය භාෂාවක් ලෙස සලකා තවදුරටත් භාවිතයේ තබාගන්නා ලදී. මීට වසර 2900 – 3000 කට පමණ ප්‍රථම ශ්‍රි ලංකාවේ ඇති වුණ මෙම භාෂාව මේ සියවසේ සිට පුද්ගලයින් සියලු දෙනාම අනිවාර්යයෙන් දැන සිටිය යුතු භාෂාවක් විය.) මීට හේතුව විශ්ව භාෂාවට වඩා හදවතට දැනෙන සේ යමක් ප්‍රකාශ කිරීමේ හැකියාවක් සිංහල භාෂාව සතු වීමයි.
මම ඇය හමු වන්නට ගියෙමි. ඇය දුටු මගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. මක්නිසාදයත් මට ඇය යන්ත්‍රයක් ලෙස නොව සාමානය මිනිස් සුරූපිනියක් ලෙස පෙනීමයි. ඒ තරමට ඇය මිනිස් ස්වරූපයක් ගෙන තිබිණි. ඇය යන්ත්‍රයක් යැයි කීමට තරම් දෙයක් ඇ කෙරෙන් දිසි නොවීය. ස්ත්‍රීයකට තිබිය යුතු සියලුම ශරීරාංග වලින් පිරිපුන් යුවතියක් මෙන් ඇය මා ඉදිරායේ සිටියාය.
“ඇයි ට්‍රෙවෝ උවමනාවක්ද?” ඇය මගෙන් ඇසුවාය. මම පැකිළුණෙමි.
“ඇයි ට්‍රෙවෝ උවමනාවක්ද?” ඇය මගෙන් ඇසුවාය. මම පැකිළුණෙමි.
නමුත් නැවත ධෛර්යය ගෙන, “පැමී මේක ඔයාට”යි කියමින් මා අත තිබූ හසුන ඇය වෙතට දිගු කළෙමි.
“මේ මොකක්දැයි” අසමින් එය අතට ගත් ඇය දිග හැර කියවන්නට විය.
මට මෙහිදී පෙනුණු එක් දෙවක් නම් කොතෙක් පරිණාමය වුවත් ඇගේ යම් යම් චලන තවමත් යාන්ත්‍රික ස්වරූපයක් ගත් බවය. මොහොතකින් එය කියවා අවසන් කළ ඇය මඳෙස බලා,
මට මෙහිදී පෙනුණු එක් දෙවක් නම් කොතෙක් පරිණාමය වුවත් ඇගේ යම් යම් චලන තවමත් යාන්ත්‍රික ස්වරූපයක් ගත් බවය. මොහොතකින් එය කියවා අවසන් කළ ඇය මඳෙස බලා,
“මට බැහැ. ට්‍රෙවෝ මම කැමති නැ” කීවාය. මට අදහාගත් නොහැකි විය.
“පැමී මේක නිකම්ම කොළයක් නෙවෙයි. ඔයාට මේකේ තියෙන දේවල් තේරෙනවද?” මම ඇසුවෙමි.
“ඔව් ට්‍රෙවෝ මට මේවා ඔක්කොම තේරෙනවා. මම දන්නවා, ආදරය කියන්නේ මොකක්ද කියලා. ඒක මනුෂ්‍ය වර්ගයා විසින් සිය පැවැත්මට උපකාරී කරගත් දෙයක්. මිනිස්සු ආදරයෙන් තමන්ගේ ඕනැ එපාකම් ඉෂ්ට කරගන්නවා විතරයි. මටත් දැන් ආදරය කියන හැඟීම දැනෙනවා. මට දැන් ඕනෙම දෙයක් හිතන්න පුලුවන්. මිනිස්සුන්ට ඇතිවන හැඟීම් සිතුවිලි ඔක්කොම මටත් දැනෙනවා. ඒ වුණාට ඔයාට ආදරය කරන්න මට බෑ.” ඇය එක දිගටම කියාගෙන ගියාය.
මට සිහි කල්පනාව නැතිව ගියේය. “ කොහොමද පැමී ඒක වුණේ” මම පිස්සුවෙන් කෑ ගැසුවෙමි.
“ඒක දිග කතාවක් ට්‍රෙවෝ. මතකද? එක දවසක් ඔයා මට ආදරය, සෙනෙහස, කරුණාව, බිය, වෛරය වගේ මිනිස් හැඟීම් ගැන කිව්වා. ඊට පස්සේ මම ඒවා ගැන ගොඩක් දුරට හෙව්වා. මම ලෝක තොරතුරු ජාලයට සම්බන්ධ වෙලා මිනිස් මොළය, මිනිස් සිරුර, මනෝ විද්‍යාව, සිත වගේ දේවල් ගැන තියෙන තොරතුරු ඔක්කොම හොයාගත්තා. ඒ වගේම ඔයා මට අලුත්වැඩියාවට දුන්නු රොබෝලාගේ ජීව කොටස් මම මගේ ඇඟට සම්බන්ධ කර ගත්තා. දැන් මම සම්පූර්ණයෙන්ම ජීවියෙක්. ඒ වගේම මගේ ඇඟ ඇතුලේ තවත් කාන්තාවක් ජීවත්වෙනවා වගේ හැඟීමක් දැනෙනවා. දැන් මම සම්පූර්ණයෙන්ම ගැහැණියක්” ඇය කීවාය.
මට කාරණය වැටහිණි. පැමිගේ නිෂ්පාදකයා කී කතාව මට සිහි විය. ඇ ලෝක තොරතුරු ජාලයෙන් ලබාගත් අතිවිශාල දැනුම් සම්භාරය හේතුවෙන් ඇගේ මොළයේ වූ පටක වර්ධනය වන්නට ඇත.
මොළයේ යම් කොටසක සිදුවන වරිධනයක් හේතුවෙන් හැඟීම් ඇති විය හැකිද? එසේනම් විඥානය ඇත වන්නේ මොළයෙන්ද? මට සිතුණි. හදිසියේ මට යමක් මතක් විණි. අතීතයේ තිබූ විවිධාකාර දර්ශන අතර වූ භෞතිකවාදී දර්ශනයට අනුව මිනිස් මොළයේ සංකීර්ණ වර්ධනයේ ප්‍රතිඵලයක් වශයෙන් තදනන්තරව විඥානය පහළ වේ. මේ ප්‍රකාශය සත්‍ය වී ඇත්ද? පැමී තුළත් මෙය සිදු වී ඇත්ද? මට ප්‍රශ්නයක් විය.
“මට දැන් තේරෙනවා. ඒත් ඇයි ඔයා මට අකමැති.” මම ඇසුවෙමි.
“මට කණගාටුයි ට්‍රෙවො, ඔයා ඔහොම හිතපු එක ගැන මට කණගාටුයි. මම ඔයාව ආශ්‍රය කළේ මට ඉන්න
හොඳම යාළුවා විදියට. මට ඔයා ගැන කවදාවත් ඔහොම හිතිලා නෑ. අනිත් එක ඔයත් මාත් අතර විශාල පරතරයක් තියෙනවා. මාත් එක්ක සසඳා බලද්දී ඔයාගේ දැනුම් මට්ටම් ගොඩක් පහළයි. මම දැන් විද්‍යාඥවරියක්. මම ගරු කරන්නේ බුද්ධියට මිසක් අධ්‍යාත්මයට නොවෙයි. අධ්‍යාත්මයෙන් එන හැඟීම්වලට මගේ හිතේ ඉඩක් නෑ. ඒක නිසා මට ඔයාට කැමති වෙන්න බෑ. මම ඔයාට ප්‍රේමවන්තියක් විදියට අකමැති වුණත් ඔයා තමයි මගේ හොඳම යාළුවා.
අපි හැමදාම එහෙම ඉඳිමු.” ඇය කීවාය.
මම නිරුත්තර වූයෙමි. මම මෙවැන්නක් කිසිසේත්ම බලාපොරොත්තු නොවූයෙම්.
“එහෙනම් ඔයා කාටද කැමති” මම අමාරුවෙන් වචන ගලපා ඇසුවෙමි.
“මට වඩා උගත් බුද්ධිමත් මං වගේම යන්ත්‍රයකින් උපන්. බුද්ධියට මිසක් අධ්‍යාත්මයට ගරු නොකරන
පුද්ගලයෙකුට” යැයි කියමින් ඇය යන්නට ගියාය.
මා තනි විය. මට අදහාගත නොහැකි විය. මට සිටි එකම මිතුරිය මා හැර ගියාය. නැවත කිසිදාක ලබා ගත
නොහැකි වනසේ මා හැර ගියාය.
යමක් වැරදි ඇත. එම වරද මගේ ද? පැමීගේ ද? පැමී තුළ ජීවත් වන කාන්තාවගේද? නැතහොත් බුද්ධියේද? නැතිනම් අධ්‍යාත්මයේද?
මම දැන් මෙය ඔබ වෙත එවමි. මා ජීවත් වන කාලයෙන් මට මෙයට විසඳුමක් සොයාගත නොහැක. ආදරය මත රඳා පවතින සමාජයකට මම මෙය එවමි. ඔබලාගේ අනාගතයේ සිටින විරහ වේදනාවට පත් වූ තරුණයකු ලෙස මම මෙය එවමි. කරුණාකර එබගේ් අත්දැකීම් ඇසුරින් ඔබගේ කාලයෙන් විසදුමක් මීළග කාල තැපෑලෙන් මා වෙත එවන මෙන් ඉල්ලමි.
මීට,
P.I.S.S.U ට්‍රෙවෝ Y.A.K.E.K,
වර්ෂ 2424ක් වූ පෙබරවාරි 14
බැරි වෙලා හරි මෙහෙම ලියුමක් ඇවිල්ලද කියල අද ගිහින් ලියුම් පෙට්ටිය බලන්න ඕනේ...
මේ තියෙන්නේ පත්තරේ ගිය හැටි
ඉතිරි කොටස ලබන වසරේ...