Tuesday, August 25, 2015

සොෆ්ට් සරණිය - පොතේ විදියට සොෆ්ට්වෙයාර් එකක් හදන හැටි

අද සොෆ්ට් සරණිය වැඩසටහනින් මම ඔයාලට කියල දෙන්න යන්නේ සොෆ්ට්වෙයාර් එකක් පොතේ විදියට හදා ගන්න හැටි.

මුලින්ම අවශ්‍ය ද්‍රව්‍යය
  1. සොෆ්ට්වෙයාර් (මෘදුකාංගය) එකක් හදන්න අවශ්‍යතාවයක් හෝ අවශ්‍යතාවයක් ඇති පුද්ගලයින් (Client) - 1යි
  2. එයින් ලබා ගත හැකි ප්‍රයෝජන, නැත්නම් ලාභය, කුමන අය වෙනුවෙන් ද, කුමක් සඳහාද  යන ආදී දේවල් ගැන හොඳ අධ්‍යයනයක් කර ලබා ගත්ත දත්ත - හැකිතරම්
  3. මෙම මෘදුකාංගය කුමන මාධ්‍යක් සඳහා බාවිතා වෙනවද කියන තීරණය. ඒ කිව්වේ වෙබ් අඩවියක් විදිහට ද නැත්නම් ඩෙස්ක්ටොප් එකේ බාවිතා කරන්නද නැත්නම් ජංගම උපකරණ ආදියට ද එහෙම නැත්නම් වෙන උපකරණ, වාහන ආදී දේ ට ද යන්න ගැන -  හරි තීරණ 1යි
  4. ඒ සඳහා මොන මොන විදියේ තාක්ෂණික දේවල් බාවිතා කරනවද යන තීරණය (Development Languages/Platforms etc). මේක තීරණය කරන්න ඉහත සඳහන් 1,2,3 යන කරුණු ගැන තීරණය කරලා තියෙන්න ඕනේ - හරි තීරණ 1යි
  5. පුද්ගලයින්  - අවශ්‍ය තරම්
  6. උපකරණ සපයා ගැනීම උදා : අවශ්‍යය කරන පරිගණක යන්ත්‍ර, ඉන්ටර්නෙට් සම්බන්ධතා සහ වැඩ කරන පුද්ගලයින් සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම් -  අවශ්‍ය තරම්
  7. වියදම් සඳහා මුදල් -  මිලියන වලින් කීපයක් සුදානම් කරගන්න

අවශ්‍යය පුද්ගලයින් ලැයිස්තුව
  1. සම්පුර්ණ ව්‍යාපෘතිය කළමනාකරණය කල හැකි කළමනාකරුවෙක් හෝ අදාල අංශ කළමනාකරණය සඳහා ඒ ඒ අංශ පිළිබඳව දැනුම සහ පළපුරුද්ද ඇති කළමනාකරුවන් කිහිප දෙනෙක්.
  2. මෘදුකාංගය එක සැදීම සඳහා අවශ්‍යතාවය ඇති පුද්ගලයා හෝ ආයතනය සමග කෙලින් සම්බන්ධ විය හැකි පුද්ගලයෙක් හෝ කීප දෙනෙක් (සංකීර්ණ තාවය අනුව)
  3. අදාල මෘදුකාංගය එක ගැන නියමිත විදියට විශ්ලේෂණය කල හැකි ඒ පිළිබඳව දැනුම ඇති  (Business Analysts වරුන් ) අවශ්‍ය තරමට
  4. අදාල මෘදුකාංගය තාක්ෂණිකව නිමවීම පිළිබඳව සැලසුම් සැකසීම එක පිළිබඳව දැනුමැති පුද්ගලයින් (Solution/Software Architects)එක් අයෙක් හෝ කිහිප දෙනෙක්  (සංකීර්ණ තාවය අනුව)
  5. එම තාක්ෂණික සැලසුම අනුව වැඩ කල හැකි ඒ ඒ තාක්ෂණික පැති ගැන දැනුම සහ පළපුරුද්ද ඇති ඉංජිනේරුවන් (Tech Leads/Senior/Junior Software Engineers) අවශ්‍ය තරමට
  6. මෘදුකාංගය සඳහා අවශ්‍යය දත්ත ගබඩාකරණය සහ කළමනාකරණය ගැන දනුම සහ පළපුරුද්දද ඇති ඉංජිනේරුවන් (Database Administrators) අවශ්‍ය තරමට
  7. අවශ්‍යය පරිගණක ජාල, පරිගණක සහ වෙනත් තාක්ෂණික උපකරණ නඩත්තු කටයුතු සඳහා දැනුම සහ පළපුරුද්ද සහිත ඉංජිනේරුවන් (System/Network  Administrators) අවශ්‍යය තරමට
  8. මෘදුකාංගය සඳහා අවශ්‍ය වන ග්‍රැෆික් නිර්මාණ සහ වෙනත් ශ්‍රව්‍ය දෘෂ්‍යය නිර්මාණ සඳහා ඒ පිළිබඳව දැනුම ඇති නිර්මාණකරුවන් අවශ්‍ය තරමට
  9. මෘදුකාංගයේ තත්ත්ව පරීක්ෂණය සඳහා ඒ පිළිබඳව දැනුම පළපුරුද්ද ඇති ඉංජිනේරුවන් (Quality Assurance Engineers) අවශ්‍යය තරමට
  10. මෘදුකාංගය අවසන් තත්ත්ව පරික්ෂා වලින් පසුව පාරිහොගිකයා වෙත ලබා දීම සඳහා නිදහස් කිරීමට අදාල කටයුතු කිරමට දැනුම සහ පළපුරුද්ද ඇති ඉංජිනේරුවන් (Release Engineers)  අවශ්‍යය තරමට
  11. මෘදුකාංගය වෙළඳ පොළට නිකුත් කරන්නේ නම් ඒ පිළිබඳව දැනුම සහ අවබෝධය ඇති පුද්ගලයින් (Sales/Marketing) (මේ අය මුල් අවදියේදී අවශ්‍ය නැත)
  12. සම්පුර්ණ කාලය තුල ආයතනයේ අනෙකුත් කටයුතු සඳහා අවශ්‍ය කරන පුද්ගලයින් (Human Resource/කා.කා.ස වරුන් ආදිය)
  13. මෘදුකාංගය නිපදවීමේදී ඇති පොඩි පොඩි වැඩ සහ කල් ගතවන, ඉංජිනේරුවන් ගේ කාලය අනවශ්‍ය විදියට වැය වන වැඩ කරවාගැනීම සඳහා විශ්ව විද්‍යාල වලින් පිටවන නවකයින් කිහිප දෙනෙක්. මෙවැනි නවකයින් පුහුණු කිරීමෙන් ඔබට මහත්ඵල මහානිසංස ලැබෙන පිං සිදුවේ.

සාදා ගන්නා ආකාරය

මුලින්ම මෘදුකාංගය සැදීම සඳහා ඇති අවශ්‍යතාවය ගන්න. 

ඉන්පසු එම අවශ්‍යතාවය පිළිබඳව මෘදුකාංගයේ ව්‍යාපාරික ස්වභාවය විශ්ලේෂණය කිරීමට හැකි ඒ පිළිබඳව සුදුසුකම් සහ පළපුරුද්ද සහිත Business Analysts වරුන් සහ අදාල පාර්ශව සමග සාකච්චා වට කිහිපයක් පවත්වන්න. මෙහිදී Software Architects, Tech Lead ලා ගේ සහය ලැබීම ද වැදගත් විය හැක.

මෙසේ හොඳින් සාකච්චා කිරීමෙන් පසු Business Analysts වරුන් විසින් මෘදුකාංගයේ ඒ ඒ කොටස් සඳහා අවශ්‍යය කරන තොරතුරු, ක්‍රියාමාර්ග, පරිශීලකයින්, නිපදවීමට පෙර තිබිය යුතු අවශ්‍යතා, නිපයුමින් පසු කෙසේ විය යුතු ද යනාදී දේ ඇතුලත් වාර්තා පිළියෙළ කරනු ඇත. මේ සඳහා මාස කීපයක් ගත විය හැක.
එසේම වරින් වර විවිධ සාකච්චා වට පැවැත්වීමට සිදුවේ.

මේ අතර තුර මුලින් තීරණය කරගත් තාක්ෂණික කටයුතු පිළිබඳව ඉංජිනේරුවන් පුහුණු කිරම, ආයතනයට අවශ්‍යය පරිගණක ජාල, වෙනත් සේවා මෘදුකාංග Source Control / Version Control/ Backup   ආදිය පිහිටුවීම, ඒවා පිළිබඳව පුහුණු කිරීම් කටයුතු මේ කාලය තුල පටන් ගත යුතුය.   

මේ අතර සම්පුර්ණ පද්ධතියේ තාක්ෂණික  සැලසුම Software Architecture එකේ  මුලික අදියරේ වැඩ ඔබට ආරම්භ කල හැක.

එසේම අවශ්‍යය කරන මෘදුකාංග පිහිටුවීමේ කටයුතු, ඒවා ට ආදාළ පරිගණක යන්ත්‍ර/සර්වර් ආදිය නිවැරදිව පිහිටුවීම ද කල යුතුය.  

මේ කටයුතු සඳහා ද මාස කිහිපයක් ගත වනු ඇත. මෙහිදී ඉංජිනේරුවන්ගේ කාලය නියමිත විදියට යොදාගැනීමෙන් ඔවුන් ෆේස්බුක්,යු ටියුබ් , ෆිල්ම්, බ්ලොග් ලිවීම් ආදියට ගත කිරීම අවම කරගැනීමෙන් ඔබගේ මුදල් ඉතිරි කර ගත හැකිය. නමුත් එවැනි සමාජ මාධ්‍ය සියල්ල බ්ලොක් කිරීමේන් ද ඉංජිනේරුවන්ගේ කාර්යක්ෂමතාවය අඩු විය හැකිය. එසේම තාක්ෂණික තොරතුරැ සෙවීම සඳහා ඔවුන්ට නිදහස දීමද, Skype, Google වැනි චැට් පහසුකම් සැලසීම ද වැදගත් ය. මේ සියල්ල බ්ලොක් කර වැඩ ගැනීම කිසිවිටෙක නොකළ යුතුය. මක්නිසාද යත් බොහෝ ඉංජිනේරුවන් මාස 2-3කින් හින් සීරුවේ අස් වී යාම මේ හේතුවෙන් සිදුවිය හැකිය.

අනෙකුත් දත්ත කළමනාකරණ , ජාල කළමනාකරණ, තත්ත්ව පරීක්ෂණ, ග්‍රැෆික් නිර්මාණ ආදී කටයුතු වලද මුලික අදියරේ පුහුණු වීම් / නියමිත මෘදුකාංග පිහිටුවීම් ආදිය මේ කාලය තුලදී සිදුකරන්න. මේ සඳහා නියමිත ලෙස කළමනාකරුවන් යොදාගන්න.

ජනතාවට විහිළු සපයන කළමනාකරුවන් යොදා ගැනීමෙන් ඔබගේ කාලයත් මුදලත් නිකරුනේ නාස්ති විය හැකි බව කරුණාවෙන් සලකන්න

මින් පසු හොඳින් සකස් කරගත් මෘදුකාංගයේ අවශ්‍යතා  සහිත වාර්තා (Software Requirement Specification/Business Requirement Book) ගෙන ඒවා නියමිත ලෙස කොටස් වලට බෙදා ගන්න.  ඒ ඒ කොටස් කණ්ඩායම් නායකයින් වෙත පවරා දී ඒ ඒ කොටස් නිර්මාණය කිරීම සඳහා නියමිත පරිදි Dead Line ලබා දෙමින් කොටසින් කොටස මෘදුකාංගය සැදීම පටන් ගන්න.

මෙසේ ඒක එක කොටස් සෑදීම ඉතා ඉවසිමෙන් කල යුතුය. හැමවිටම ප්‍රධාන සැලසුමට අනුව ,අනාගතයට අවශ්‍යවන වෙනස් කම් කිරීමට හැකි වන අයුරින් එසේම ආරක්ෂාව, කාර්යක්ෂමතාවය , දත්ත වල නිවැරදි භාවය ආදී කරුණු ගැන සැලකිලිමත්ව කළයුතුය. එසේ නොමැති වුවහොත් පසු කාලින ගැටළු වලට මුහුණ දීමට සිදුවේ. 

එසේම මෘදුකාංගයට අදාල සියලුම ඛෙත (Programming Codes) නිවැරදි ලෙස සුරක්ෂිත කර ගත යුතුය.මේ සඳහා ඔබට කලින් පිළියෙළ කරගත්  Source Control / Version Control/ Backup ආදිය බාවිතා කල හැක.

එසේම ඉංජිනේරුවන් විසින් සංවර්ධනය කරන ඛේත  (Code) වල තත්වය උසස් ලෙස තබා ගැනීම සඳහා නිතර Code Reviews කළ යුතුය. 

මේ ආකාරයෙන් මාස කිහිපයක් බොහෝවිට මාස 6- අවුරුදු 1,2 ක් තිස්සේ සංවර්දනය වන එක එක කොටස් නිවැරදි ලෙස තත්ත්ව පරික්ෂා කරන්න. බොහෝවිට ඒ ඒ කොටස් එකිනෙකට සම්බන්ද කර අවසන් පද්ධතියේ විවිධ වර්ෂන් පරික්ෂා කිරීම සිදු කළ යුතුය.

මේ අතර තුර ඔබ විසින් පෙරසුදානම් කරගත් මුදල් අවසන් වුවහොත් බැංකු ණයක් හෝ ලබාගෙන නියමිත වෙලාවට පඩිගෙවිය යුතු බව සිහිතබා ගන්න. පිං තකා සොෆ්ට්වෙයාර් ලියන පිංවතුන් මින් පෙරද සිට නැත මින් මතුවටද නොසිටිනු ඇත.

මේ කාලය තුල Business Analysts වරුන් හා මෘදුකාංග ඉංජිනේරුවන් අතරද මෘදුකාංග ඉංජිනේරුවන් හා Quality Assurance ඉංජිනේරුවන් අතරද ගැටුම් සහිත ස්භාවයක් වර්ධනය විය හැකි බව කරුණාවෙන් සලකන්න. Business Analysts වරුන් හා Quality Assurance ඉංජිනේරුවන් එකතු වී මෘදුකාංග ඉංජිනේරුවන්ට කචල් දැමීමද නිතර දැකිය හැකි තත්වයකි. මෙවැනි තත්ත්ව සමනය කිරීම සඳහා කොකා කෝලා, පිට්සා ආදිය යොදා ගත හැකිය.

ඉන්පසු මෙසේ සකස් කල ගත් මෘදුකාංගයේ මුලික වටයේ වර්ෂන් එකක් Release Engineers වෙත බාරදී නියමිත පරිදි පද්ධතිය Live යාමට අවශ්‍ය පසුබිම සකස් කරන්න. මෙහිදී Release Engineers වරු බබ්බු ලෙස හැසිරෙන අවස්ථා ඇති බැවින් මෘදුකාංගයේ සියලුම අංශ පිළිබඳව අවබෝධය ඇති Tech Leads/Senior Software ඉංජිනේරුවරයෙක් ඒ කටයුතු සඳහා එකතු කරගන්න. මෙසේ කිරීමෙන් ඔබට අවසන් අවස්ථාවේදී සිදුවිය හැකි චාටර් කේස් අවම කර ගත හැක. (චාටර් කේස් කිසි දිනෙක 0 නොවන බව මතක තබා ගත යුතුය)

මේ අතර තුර මෘදුකාංගය බාවිතා කිරීම, තාක්ෂණික තොරතුරු, දත්ත ගබඩා ආදිය පිළිබඳව නියමිත පරිදි Documentation සකස් කළ යුතුය. මේ සඳහා හරි නම් Documentation Specialists වරු සිටිය යුතු වූවද ඉහතදී බඳවා ගත් නවකයින් ලවා මෙවැනි වැඩ කරවා ගත හැකිය.  දැනුම ඇති ඉංජිනේරුවරයෙකුගේ අධීක්ෂණය යටතේ මේවා Review කළ යුතුය. 

මේ ආකාරයෙන් නියමිත ලෙස සකස් කරන ලද මෘදුකාංගය දැන් Live යැවීමට සියල්ල සුදානම් දැයි සැක සංකා රහිතව දැන ගන්න  ( සැක සංකා කිසි දිනෙක 0 නොවන බව මතක තබා ගත යුතුය) 

අවසන් වශයෙන් ඔබ විසින් මෙපමණ කාලයක් තිස්සේ අතේ තියෙන තඹ පිච්චිය පවා වියදම් කර, නයිට් ගසමින්, කොකාකෝලා බොමින් පිට්සා කමින් සාදන ලද මෘදුකාංගයේ අවසන් වර්ෂන් එක හෝ ලයිව් යන URL එක ඔබ අදහන ආගම සිහි කර ඔබගේ සේවා දායකයා වෙත ඉතා සැලකිල්ලෙන් ලියා අවම වශයෙන් 10 පාරක් වත් කියවූ ඊමේලය යවා දඩ බඩ ගා ඔබගේ පරිගණකය වසා ගෙදර යන්න. (ඔබගේ ජංගම දුරකතනය ක්‍රියාවිරහිත කිරීම ඔබට සහනයක් වනු ඇත)


ට්‍රින් ට්‍රින් ට්‍රින්.......

සමාවෙන්න, මෙන්න දැන් අපගේ කියවන්නෙක්  අපවෙත සජීවී ලෙස දුරකථන ඇමතුමක් ලබා දෙනවා. කරුණාකර අමතන්න. "මේ මහත්තයෝ මම මේ කොකිස් කඩේ හන්දියෙන් කතා කරන්නේ සේතන් කියල කෙනෙක් ... ඇහෙනවද? හලෝ සමාවෙන්න මොන තන් ද? කරුණාකර නම කියන්න.... "මම මේ සේතන් සේ තන්..." ආ හරි හරි සේතන් මහත්මයා කරුණාකර ඔබගේ ගැටලුව ඉදිරිපත් කරන්න

"මේ මහත්තයෝ ඔහෙලට පිස්සු ද හැබෑට.... මිලියන ගානක් අතේ තියෙනවනම් අවුරුදු ගානක් චාටර් වේවි ඔය සොප්ට්වෙයාර් හදන්නේ මොකටද.. අනිත් එක ඔහෙලා හිතුවද මෙතන UNP ආණ්ඩුවක් ආපු ගමන් අපිට මිලියන ගණන් සල්ලි හම්බ වෙනවා කියල .. කරුණාකර ප්‍රශ්නය කෙටියෙන් ඉදිරිපත් කරන්න බලන්න.. හරි හරි කෙටියෙන් තමයි මේ කියන්නේ... ඉස්සෙල්ල එයාල හම්බකරගෙන පස්සේ නේ ඉතින් අපට කියක් හරි හොයා ගන්න වෙන්නේ.. මේ එහෙම නෙවෙයි මහත්තයෝ බැරිද ඔය අපිට අඩු වියදමෙන් ගෙදර ඉඳන් ඔය මොකක් හරි එකක් අටවල කීයක් හරි හොයා ගන්න විදියක් කියන්න...නිකන් මෙතන බොරු වැඩ ගැන කියල අපේ කාලේ කන්නේ නැතුව... " 

"ඔව් බොහොම ස්තුතියි සේතන් මහත්මය... ට්‍රින් ට්‍රින් ට්‍රින්.......ආ මෙන්න තවත් කියවන්නෙක් අපට දුරකථන ඇමතුමක් ලබා දෙනවා.... අමතන්න.. කවුද මේ... හලෝ හලෝ හලොඕ ... ඇහෙනවද... ඔව් අමතන්න.. හරි හරි මම මේ මීගමුවේ ඉඳල ගලබොඩ අප්පුහාමි කියල කෙනක් කතා කරන්නේ... සමාවෙන්න ගලබොඩ කව්රු...නෑ නෑ නාන සාදු නෙවෙයි මම ගලබොඩ අප්පු හාමි.. හරි හරි ඔව් අප්පුහාමි මහත්තය මොකක් ද ඔබේ ගැටලුව.."

"මේකයි මහත්තයෝ මම මේ අපේ මායියත් එක්ක මිගමු පැත්තේ පොඩි ඉස්සෝ ටිකක් වගා කරගෙන ඉන්නේ.. මටත් ආසයි ඔය සොස්ට්වෙයා එකක් හදන්න.. බැරිද ඕක ගෘහ කර්මාන්තයක් නැත්නම් මේ ස්වයං රැකියාවක් විදියට අඩු ගානට අපේ ගෑනිටයි මටයි ඕනනම් ඔය තව කොල්ලෙක් දෙන්නෙක් දාගෙන කරන විදියක් කියා දෙන්න. අපි මේ කාටවත් කරදරයක් නැති අහිංසක මිනිස්සු. ඔය හැටි සල්ලි විසි කරලා ඔච්චර විච්චුරන නටන්න අපිට බෑ නෙව. එහෙනම් තියන්නං ඈ..."

ඔව් අපි දැන් ප්‍රධාන පාලක මැදිරිය වෙත මදකට යොමු වෙමු...




Tuesday, August 04, 2015

නැවතීමට මඟ පෙන්වූ ගුරුතුමාට - A tribute to a great teacher

සාමාන්‍ය ළමා කාලයක් සහ ජීවිතය ගැන ගැඹුරු වැටහීමක් නැති යොවුන් සමයක් පසුකරමින් පැමිණි මට ජීවිතය ගැන බොහෝ දේ සිතීමට මාගේ පියාගේ හදිසි වියෝව හේතු වූ බව කිව හැකිය. දරා ගැනීමට අතිශය අපහසු වූ ඒ වියෝව කෙසේ හෝ දරාගත යුතු බව තේරුම් ගෙන ජීවිතය සාමාන්‍යය පරිදි ගෙවීමට අප පුරුදු වී සිටියෙමු. ආර්ථික ගැටළු,අධ්‍යාපනික ගැටළු සහ අනෙකුත් ලෞකික ජීවන ගැටළු සමඟ ගෙවී ගිය තරුණ කාලය තුළ හුදෙකලා වූ හැමවිටම ජීවිතය ගැන අවබෝධකර ගැනීමට, තේරුම් ගැනීමට මම උත්සාහ කළෙමි. අනෙකුත් ලෞකික ගැටළු බොහෝවිට ඒ සිතීම වැඩි කිරීමට මිස අඩු කර ජීවිතය සතුටු කිරීමට එතරම් හේතු නොවීය. සාම්ප්‍රදායික ආගම තුළින් නොලැබෙන යම් කිසි සහනයක අවශ්‍යතාවක් බොහෝ විට දැනුනි.

බුදුදහම ඇදහීම සම්බන්ධයෙන් නිවස තුළ වූයේ ද මැද පිළිවෙතක් නිසා ආගම ගැන එතරම් භක්තියක් කුඩා කල සිටිම නොතිබූ නමුත් බුදු දහමේ සඳහන් වූ සමහර කරුණු ගැන  මගේ සිත පැහැදී තිබිණි. නමුත් එම කරුණු ප්‍රායෝගික ජීවිතයට යොදාගැනීම ගැටළුවක් ව තිබිණි. පන්සල කෙරෙහි එතරම් බැඳීමක්  නොතිබූ බැවින් බොහෝ විට දානමානාදී කටයුතු වලදි පවා එය තවත් එක් වැඩක් ලෙස කරනවා මිස ඊට එහා ගිය ගෞරවයක් හෝ භක්තියක් සිත තුළ නොතිබිණි. මියගිය පියාට පිනක් සිදුවේ යන චේතනාව පමණක් බොහෝවිට තිබිණි.

මේ අයුරින් කාලය ගෙවී ජීවිතයේ විවිද වෙනස් කම් සිදුවෙමින් යන අතර තුර කුඩා කළ සිටම කියවීමට දැක් වූ ලැදියාව නිසා චරිතාපදාන කියවා ජීවිතය තේරුම් ගැනීමේ පුරුද්දක් මා සතුව තිබිණි. ආචාර්‍යය ඊ.ඩබ්ලිව් අදිකාරම් චරිතය ලාංකික චරිතකතා අතුරින් මගේ සිත්ගෙන තිබිණි. ක්‍රිෂ්ණමූර්ති තුමා ගැන දැන ගැනීමට ලැබී එතුමාගේ පොතපත කියවීමේ උනන්දුවක් ද මේ කාලය වනවිට ඇති වී තිබිණි. අවස්තා කිහිපයකදී ක්‍රිෂ්ණමූර්ති මධ්‍යස්තාන වලට ගොස් දේශන වලට සවන්දීම, පොත පත පරිහරණය, සහ අන්තර්ජාලයෙන් එතුමාගේ දේශන වලට සවන්දීමට ද පුරුදු වී සිටියෙමි. ආගම තුළින් නොලැබෙන සහනය ඒ ජීවන චරිත සහ දේශන තුළ ඇතිබව වැටහී තිබිණි. නමුත් ඒවායේ වූ ගැඹුරුබව ප්‍රායෝගික ජීවිතයට කෙසේ යොදාගත හැකිද යන ගැටළුව හැමවිටම තිබිණි.

මේ අතර එක්තරා දිනෙක ඒ.එස් බාලසූරිය මහතා සමඟ සැදෑ වරුවක් ගතකිරීමේ අවස්ථාවක් උදාවුණි. රූපවාහිනියෙන් එතුමාගේ දේශන අසා තිබුණ නමුත් එදා හවස්වරුවේ එතුමා කතාකළ දෑ තුළ මෙතුවක් නොඇසූ තරමේ නැවුම් බවක් තිබිණි. අපට අහිමි වූ කාලයක ජීවත් වූ ක්‍රිෂ්ණමූර්ති තුමා, අදිකාරම් මැතිතුමා වැනි අයගේ පොතපත කියවන විට දැනුණු සහනශීලී හැඟීම බාලසූරිය මහතාගේ දේශන වල තිබුණි.

එතුමාගේ පොත පත වල සිතීමට බොහෝ නැවුම් කරුණු අඩංගු විය. ඒ කරුණු ගැන අවශ්‍යය ඕනෑම විටෙක කතාබහ කිරීමට තර්ක කිරීමට අවස්තාව ලැබීම අතිශයින්ම වැදගත් විය. හැකි හැමවිටම එතුමාගෙ දේශන වලට සහභාගී වීම පුරුද්දක් බවට පත්විය. බොහෝ කළණ මිතුරන්ගේ ඇසුර ඒ දේශන වලට සහභාගී වීමෙන් ලබා ගත හැකි විය. ජීවිතය පිළිබඳව වෙනස් ආකාරයකින් බැලීම ටිකෙන් ටික ආරම්භ විය. බොහෝ තරුණයින්ට ඇතිවන ලෞකික ගැටළු සහිත ජීවිතය දෙස යම් තරමකින් වෙනස් ලෙස බැලීමට මා පුරුදු විය.

ක්‍රම ක්‍රමයෙන් සිතිවිලි වල සිදුවන වෙනස් කම් නිසා ජීවිතය පහසු වීමක් ටිකෙන් ටික දැනෙමින් තිබිණි. යා යුතු නිවැරදි මාවතට පිවිසි බව මනාව වැටහී තිබිණි. අන් සියළු වැඩ වලට වඩා ප්‍රමුඛත්වයක් ඒ මඟ යාමට දීමට මා පුරුදු විමි. ලෞකික ජීවිතය සුපුරුදු ලෙස ගෙවී ගියේය. එහි කිසිදු කඩා වැටීමක් මේ මඟ යාම නිසා සිදු නොවුණි. සිදු වූ එකම දෙය ගමන පහසු වීම පමණි.

මේ අයුරින් ගෙවුනු වසර කිහිපය තුළ වුවද සැබෑ සහනය තවමත් නොලැබුණු බව දැනී තිබිණි. සැබෑ සහනය ලබාගත යුතු දෙයක් බව සිතා ඒ වෙනුවෙන් උත්සාහ කිරීමට ටිකෙන් ටික මා පෙළඹුනි. භාවනාවෙන් ලැබෙන දෙයක් යැයි ඉගෙන ගෙන තිබූ බැවින් භාවනාවෙන් ලැබීමට උත්සාහ කලෙමි. ලෞකිකව ගෙවන එදිනෙදා ජීවිතය තුළ භාවනාවට එතරම් තැනක් දීමට ප්‍රායෝගිකව අපොහොසත් වීම නිසා බාලසූරිය මහතා නිතර පවසන මේ මොහොත තුළ ඇති ජීවිතය දැකීමට පටන් ගතිමි.

බොහෝ කාලයක් තිස්සේ කෙසේ හෝ ලබා ගන්නට ඕනෑ යැයි සිතමින් කළ උත්සාහය අතහැර දමා, සිදුවන්නේ කුමක් දැයි හැමවිටම අවදියෙන් සිත දෙස බලාසිටින විට ක්‍රම ක්‍රමයෙන් සිත තුනී වී යන බවක් දැණිනි.  2011 වසරේ මැද භාගයේ එක්තරා දිනක රාත්‍රී නින්දට යාමට සැරසි  තවත් ඉතිරි වී ඇති මේ සිතිවිලි රාමුවෙන් ගැලවීමේ අවශ්‍යතාවක් මතුවී සිත දෙස බලා සිටින විට ක්ෂණයකින් පසු පෙර නොවූ ආකාරයේ සැහැල්ලුවක් දැනුන ආකාරයක් මට මතකය. ඉන්පසු ගෙවූ හැම දිනකම මා ජීවත් වූයේ අප්‍රමාණ සැහැල්ලු ස්භාවයකිනි. සිතට එන සියළු සිතිවිලි නෙලුම් පතකට වැටෙන දියබිඳු සේ ගලා ගොස් අතුරුදන් වන ආකරයක් මට දැනෙයි. එදිනෙදා වැඩ වලදී මේ තත්වය නොමැති වූවත් වැඩක් නොකරන සෑම විටම ස්භාවය මෙයයි.

බොහෝ ධර්ම කරුණු සැකයකින්, තර්කයකින් තොරව සත්‍යය ලෙස වැටහී යන ස්භාවයක් පවතී. සමාජ සම්මත යැයි සළකන දේ තුළ ඇති මුලාවන් වැටහෙන ස්භාවයක් ඇති අතර  ජීවිතය අතිශය සැහැල්ලු සහ ඉතා පහසුවෙන් ගලා යයි.  දුක,කණගාටුව, කෝපය වැනි සිතිවිලි විටෙන් විට පැමිණියද ඒවා ඇති බව පසෙක සිට බලා සිටිමින් ඔහේ සිදුවන්නට හැර සිටින ස්භාවයකින් ජීවිතය ගෙවීමට හැකි වී ඇත. ඒ ඒ සිතිවිලි වලට අදාළව ක්‍රියා කිරීම් සිදු කලත් කරන්නේ මොකක්දැයි අවදානයක් සහිත වීම,  විනාඩි කිහිපයකින් නැවත සැහැල්ලු ස්භාවයට පත්වීමට හැකි වීම නිසා එදිනෙදා කටයුතු සහ සබඳකම් ඉතා පහසුවෙන් පවත්වාගෙන යාමට හැකි වී ඇත. බොහෝ විට සිතුවිල්ලෙන් තොරව ඔහේ සිටීමට ඇති කැමත්ත නිසා පෙර කිසි කලක නොවූ ආශ්වාදයක් විදීමට මා පුරුදු වී ඇත. එය අලස කම නොව කිසිවක් නොකර නිදහස් මනසින් සිටීමේ කැමැත්තය. එදිනෙදා අවශ්‍ය දේවල් කිරීමේදී කලයුතු දේ කුමක් දැයි පෙර නොවූ ලෙස වැටහීම සහ සමාජ සම්මත බොහෝ දේ ඇසුරින් අවශ්‍යම දේ පමණක් තෝරා බේරා ගැනීමට සහ   එසේ කිරීමේදී සිදුවන ලාභ අලාභ කෙරෙහිද එතරම් වෙනසකින් තොරව බලා සිටීමට හැකි නිසා බොහෝවිට මිනිසුන් සමඟ කටයුතු කරන විට මහත් පහසුවක් දැනෙමින් පවතී. කිසිවක් මට නොවේ ලෙස සිටීමේ හැකියාව නිසා ජීවිතයේ ගැටළු වලින් මානසික පීඩාවක් ඇති නොවී ඔහේ නතර වී සිටීමේ ආසාව හැම විටම සිත තුළ පවතී.

සිතෙහි මේ පවතින ස්භාවය ගැන ගැඹුරුන් සිතා බලන විට එය ජීවිතකාලය පුරා සෑම දිනම තිබූ තත්වයක් මිස අමුතුවෙන් ලැබූ දෙයක් නොවන බවත් සිදුවී ඇත්තේ මෙතෙක් කලක් වැසී තිබුණු දෙයක් ටිකෙන් ටික නිරාවරණය වී මනාව පැහැදිලි වීමක් යැයි වැටහී ඇත. බාලසූරිය මහතා අමුතු දහමක් හෝ තිබෙන දහම වෙනස් ලෙසකින් හෝ දේශනා නොකර පවතින සත්‍යය ඒ ආකාරයෙන් ම පහදා දීම නිසා මගේ ජීවන දැක්ම වෙනස් විය. 2600 වසරකට පෙර මිනිසුන් ඇසූ ඒ නොකිලිටි සත්‍යයය සහ බාලසූරිය මහතා මේ වත්මනෙහි අපට පහදා දෙන සත්‍යයය අතර වෙනසක් නැති බව මට හැඟේ. විවිධ කඩතුරාවන්ගෙන් වැසී ගොස් ඇති ඒ සත්‍යයය සහ ඒ සත්‍යයය වෙත ළඟා විය හැකි මාර්ගය අපට නිවැරදි ලෙස පෙන්වා දී ලෞකික ජීවිතය තුළම නිදහස ලබා ගත හැකි බව පෙන්වා දුන් ඒ.එස් බාලසූරිය මහතාට මාගේ නමස්කාරය මෙසේ පුද කරමි.

ප.ලි

මේ සටහන මීට ටික කලකට පෙර ඒ.එස් බාලසූරිය මහතාගේ ජීවිතය සහ එතුමා කල සේවය ඇගයිම පිණිස නිකුත් කල කුඩා සමරු පොතක් සඳහා මා විසින් ලියන ලද සටහනකි. ගෙවුණු කාලය පුරාවට ලෞකික බැඳීම් සමග ගෙවී යන ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලා සිටීම නිසා මෙතුමාගෙන් මා උගත් දේ කෙතරම් මගේ ජීවිතය සාර්ථකව ගෙවීමටත් , මිත්‍යාවෙන් පිරුණු මතවාද වලින් බැහැරව පවතින සත්‍යයය එලෙස දැක ආත්ම පුර්ණයට පත්වීමටත් හේතු වූ බවත් අනාගත කාලය වෙනුවෙන් සටහන් කර තැබීමකි.

පෙර සටහන්

බුදු දහම සහ මම හෙවත් මගේ සත්‍යය ගවේෂණය 1 කොටස

බුදු දහම සහ මම හෙවත් මගේ සත්‍යය ගවේෂණය - 2 කොටස


කැමති කෙනෙකුට විමසා බලන්නට

Vimukthi Center For Spiritual Well-Being