Sunday, November 09, 2014

බුදු දහම සහ මම හෙවත් මගේ සත්‍යය ගවේෂණය - 2 කොටස

මේ තියෙන්නේ මුල්  කොටස . ඒ කොටස කියවල මේ කොටස කියවන්න පුළුවන් නම් වඩා හොඳයි  


ඉතිරි ටික ලියන්න කලින් තව පොඩි දේවල් ටිකක් ලියල ඉන්නම් . කලින් කතාවට ඌණ පුරණයක් විදියට 

මට  මගේ හිත ඇනලයිස් කරලා බලන්න පුළුවන් .. මම මගේ හිත තේරුම් ගන්න උත්සාහ ගන්න ඇත්තේ සමහරවිට ඔය තාත්තගේ මරණෙන් පස්සේ වෙන්න ඇති . සරලම උදාහරනේ තමයි ඊට පස්සේ මට දුක හිතන ඕනෑම වේලාවකදී මම හිතල බලනවා ඇයි මම මේ සිද්දියට දුක් වෙන්නේ ? මිට වැඩිය දෙයක් මට වුනානේ. ඉතින් මේක මොකක් ද ? ඔච්චරයි.

හරි ඉතින් මම බණ පොත්, ජාතක කතා  එහෙම ඊට ගොඩක් කලින් ඉඳන් කියවල තියෙනවා.  මම මේ කතාව කෙටියෙන් පටන් ගන්න තමයි අර රේරුකානේ හාමුදුරුවන්ගේ පොතෙන් පටන් ගත්තේ. 

ඔය එහෙන් මෙහෙන් කියවපු දේවල් වලින් සහ දෙමව්පියන්ගෙන් මම හොඳ නරක කියන දේ දැනගෙන හිටියා ..ඒ කියන්නේ පන්සිල් රකින(ඉඳල හිටලා මදුරුවෙක්, කුඹියෙක්  මරල/ ඉස්කෝලෙට රස්සාවේ බොසාට බොරුවක් කියනවා ඇරුනම)  මහා ලොකු ලෙස පවක් නොකරපු කෙනෙක්. මේ අපි හැමෝම  වගේ තමයි.

මම ඔය බොහොමයක් පොත් වල දී දැක්කේ, එහෙම නැත්නම් ඔය බණ වලදී අහන්න ලැබෙන්නේ මිනිස්සුන්ගේ අන්න ඒ බේසික් ටික හදන්න ඕනේ කරන ධර්මය .. ඊට අමතරව ඉතින් මේ සංසාරේ දුකයි . අපි පින් කරලා කොහොම හරි කෙලවර නිවන් දකින්න ඕනේ කියන ටික තමයි මට නම්  ඔය හැම බණකදිම ඇහිලා තියෙන්නේ.

අපිට නිතර ඇහෙන්නේ සමස්ථ සමාජය හදන්න කියන බණ  මිසක් ධර්මයේ හරය නැත්නම් ගැඹුරු තැන් පැහැදිලි කරන බණ නෙවෙයි . අනිත් එක බණ අහනකොට මුලින් ම ඔළුවට දෙන්නේ මේක ඔය ආවට ගියාට තේරුම් ගන්න බෑ  .. මේවා පින් කරපු අයට විතරයි තේරෙන්නේ  වගේ  අදහස් ..

අවංකවම සමහරවෙලාවට ඒ වගේ බණ  කියන හාමුදුරුවන්ට වැඩිය නම් ගමේ කුලී වැඩක් කරලා , හවසට ෂොට් එකක් දාගෙන, සිංදුවක් කියාගෙන ඉන්න මනුස්සය තුල නිහතමානි කම , අව්‍යාජ කම , නිරහන්කාරය වගේ මහා සුත්‍ර වලින් පැහැදිලි කරන ධර්මය ප්‍රායෝගිකව තියෙනවනේ කියල මට හිතිලා තියෙනවා.

ඉතින් මට හිතුනේ හරි මේ ටික මම දැනටම දන්නවා . ඒ කියන්නේ හොඳට ජිවත් වීම කියන කොටස. කෙළවර තියෙන නිවන ගැන කවුරුත් දන්නේ නෑනේ. අඩුපාඩු ඇති. හැබැයි   මෙතනින් එහාට කොහොමද කියන එක 

ඊට පස්සේ අපි හැමෝම කරන භාවනාව, මමත් අනාපානසතිය, සමථ , විදර්ශනා  ආදී වශයෙන් ඔය උගන්නන හැම එකම වගේ ට්‍රයි කළා සැහෙන කාලයක් . බොරු කියන්නේ මොකටද එක විනාඩි යක් හිතේ සිතුවිලි නැතුව ඉන්න මට බැරි වුණා.  නමුත් අර හිත ඇනලයිස් කරලා බලන ගතිය නිසා විදර්ශනාව එච්චර අමාරු දෙයක් විදියට හිතුනේ නෑ .. නමුත් මම විදර්ශනා භාවනාව කියල මහ ලොකුවට භාවනා කලේ නෑ.. 

මට ඔය දවස් වල නිකමට වගේ හිතුනා භාවනා කරන්න, හිත එකග කරන්න මෙච්චර අමාරු නම් .. ඒ කාලේ කොහොමද තොග ගානට මිනිස්සු සෝවාන්  ආදී මාර්ග ඵල ලැබුවේ කියල ... හැබැයි ඒ පෙර පින නැත්නම් සසර පුරුද්ද කියන එකෙන් එහා ගිය උත්තරයක් මට හොයන්න ඕනේ වුණා. 

ඔන්න ඔය වගේ ආපු ප්‍රායෝගික ප්‍රශ්න වලට අර පොත් වල උත්තර නොතිබුන නිසා තමයි  ඒ දවස් වල මම ඒවා කියවන එක අතෑරියේ ...රේරුකානේ හිමියන්ගේ පොත් වල තියෙන ධර්මය හෝ ඒ මාර්ගය ගැන මට කිසි ගැටලුවක් නෑ .. ඒව  100% ක් ඇත්ත . හැබැයි මට ඒ මාර්ගය  හරි නොගිය නිසා අතෑරලා දැම්ම. 

මට ඕනේ වුනේ මම ගෙවන මේ ජීවිතය තියාගෙන මේක තේරුම් ගන්න . ඒ නිසා වෙන්න ඇති මට අධිකාරම් මහත්මය සහ ක්‍රිෂ්නමුර්ති තුමාගේ ජිවන චරිත සහ ඉගැන්වීම් අල්ලලා ගියේ ..

ඌණ පුරණය ඉවරයි ...

දැන් තමයි ඉතිරි කොටස ...

ඉතින් එක දවසක දිමුතු අයියා පොඩි කතාබහකට කියල මේ කියන කෙනාව එක්කන් ආවා . ඒ කතා බහ අපි කලේ අක්කලාගේ ගෙදර . මගේ ජීවිතේ එක හැරවුම් ලක්ෂයක් ඒ කතා බහේදී සිදු වුණා කියල කියන්න පුළුවන් .

මම හිතන්නේ බොහෝ දෙනෙක් මෙතුමාව අඳුරනවා ඇති. ලංකාවේ දැනට ඉන්න විද්වත් අධ්යාපනඥ්යෙක් ,ඒ වගේම කවියෙක් සහ ලේඛකයෙක් වෙච්ච ඒ.එස් බාලසුරිය මහතා තමයි ඒ අපුරු පුදගලය. 

ඉලක්කය , දොරමඩලාව , අසිරිමත් බුදු වදන් ,  ආදී රුපවාහිනි වැඩසටහන් වලිනුත් මේ දිනවල විකාශය වෙන ඉඳුරු දොර නම් පෙරදිග දර්ශනය පිළිබඳව කෙරෙන ගුවන් විදුලි වැඩ සටහනිනුත් ඒවගේ තව බොහෝ විද්‍යුත් මාධ්‍ය වල තියෙන  වැඩ සටහන් සහ පාසල්  සිසුන්, ගුරුවරුන් සමග කරන වැඩ සටහන් ආදියෙන් බාලසුරිය මහත්මය  ලංකාවට එතුමාගේ දැනුම අවබෝධය ලබා   දෙනවා . ලෝකයේ විවිද  රටවල තමන් ලද අවබෝධයෙන් සේවයක් කරපු කෙනෙක් සහ භාෂා කිහිපයකට පරිවර්තනය වෙච්ච පොත පත රාශියක් රචනා කරපු විද්වතෙක් .



බාලසුරිය මහත්තය බොහොම සරල හරි අපූරු කෙනෙක් . අපිත් එක්ක හොඳට හිතවත්ව කතා බහ කරලා කාලයක් තිස්සේ දන්න අය වගේ  ආශ්‍රය කලේ . මගේ ඔලුවේ තිබුනේ මේ ආධ්‍යාත්මික මාර්ගයේ ගමන් කරන මේ වගේ අය ගැන වෙනස් ප්‍රතිරූපයක්. ඒ කියන්නේ පොඩි ආරුඩ කරගත් සිල්වත් බවක්  එහෙම නැත්නම් ශාන්ත දාන්ත ගතියක් තියෙන අමුතු රුපයක් තමයි මට මැවිලා තිබුනේ . හැබැයි බාලසුරිය මහත්තය ඊට හාත්පසින් ම වෙනස් . හරිම නැචුරල් විදියට ඉන්න අව්‍යාජ ගමේ මනුස්සයක් .

නමුත් මම පස්සේ කාලෙක එතුමාව ආශ්‍රය කිරීමෙන් දැන ගත්තේ නවීන විද්‍යාව ගැන  නිතර අලුත්වන දැනුමකින් ඉන්න, විද්‍යාවේ අලුත් සොයා ගැනීම් , මතවාද ගැන බොහොම බුද්ධිමත්ව බලන ,  ඒ වගේම පුරාණ පෙරදිග දර්ශනය  ගැන එහෙම නැත්නම් සතර වේදය ගැන ව්‍යක්ත දැනුමක් තියෙන , නමුත් මේ නුතන විද්‍යාව ප්‍රතික්ෂේප නොකරන හරිම ප්‍රායෝගික කෙනෙක්. ඒ වගේම හරිම විවෘත කෙනෙක් . 

ඉතින් එදා පොඩි සතුටු සාමිචියකින් පස්සේ   අපි කට්ටිය බාලසුරිය මහත්තයත් එක්ක අක්කලාගේ ගෙදර තියෙන  සඳලු තලේකට සෙට් වෙලා ඉතින් මේ ධර්මය ගැන කතා බහ පටන් ගත්තා . 

මට එදා කතා කරපු  සියල්ල මතක නෑ. නමුත් ඒ කතාවේ හරය වුනේ මෙන්න මේ වගේ දෙයක්  . 

මුලින්ම අපි ඔක්කොම නිහඬව ටික වෙලාවක් ඉඳල අවට පරිසරයේ තියෙන නිහඩ බව අත්වින්ද ඊට පස්සේ බාලසුරිය මහත්තය අපට පැහැදිලි කරලා දුන්නේ මේ ආධ්‍යාත්මික මාර්ගයේ ගමන් කිරීම කියන්නේ  ස්භාව ධර්මය සමග ජිවත් වීම කියන දේ . අපි මනසින් ගොඩ නගාගෙන තියෙන ලෝකයෙන් මිදිලා සොබාදහමට එහෙම නැත්නම් මේ වීශ්වයට අප විවෘත වෙන්න ඕනේ කියන එක. ඒක අත්දකින්න අපිට අපේ මනසින් ගැලවෙන්න ඕනේ කියන එක එතුමා පැහැදිලි කරලා දුන්න . ඒ වගේම අපිට පැහැදිලි කරලා දුන්නා  මේ සිහිය පවත්වාගෙන යන හැටි ගැන  සහ සිහිය   (consciousness) ගැන සහ ආධ්‍යාත්මික ජීවනයට  මේ සිහිය කොහොමද උපකාරී වෙන්නේ කියන එක ගැන . 

ඒ කියපු ගොඩක් දේවල් අපිට එදා තේරුනේ නෑ .. නමුත් ඒ කතාවේ අපි මිට කලින් කවදාවත් අහල නැති නැවුම් බවක් තියෙනවා කියල අපිට වැටහුනා .

ඒ නැවුම් බව අපිට දැනුනේ ඒ කතා බහ තුල කිසිම වෙලාවක පාලි වචන  එහෙම නැත්නම් අපි බණ කියල දන්න වචන වලින් තොරව මේ ධර්මය  ගැන සහ අපේ සිත ගැන කතා කිරීම නිසා වෙන්න ඇති . 

ඔන්න ඔය විදියට මුල්ම හමුවීම සිද්ද වුණා. 

ඊට පස්සේ ඉඳන් අපි නිතර හමුවෙන නිතර කතාබහ කරන හිතවතුන් බවට පත්වුනා  . ඒ වගේම එතුමා විශිෂ්ට මනෝ උපදේශකයෙක් වශයෙන් සහ වැඩිහිටියෙක් වශයෙන් මගේ ජිවිතයේ ඒ ඒ කාල වලදී ආපු ගැටළු විසඳගන්න මට සැහෙන්න උදව් කළා .

බාලසුරිය මහත්මය විවාහකයි දරුවෝ ඉන්නවා . ඒ  දරුවන්ගේ දරුවොත් ඉන්නවා . ඒ වගේම හොඳ නවීන පන්නයේ ගෙදරක් එතුමාට තියෙනවා. ඒ කියන්නේ බොහොම හොඳ ලෞකික ජිවිතයක් එතුමා ගෙනියනවා . 

ඒ කියන්නේ ඇත්තටම මේ වගේ දෙයක් හොයන කෙනෙකුට තේරුම් ගන්න ඕනේ වැදගත් ම දෙයක් තමයි ආගමික හෝ ආධ්‍යාත්මික ජීවිතය කියල දෙකක් නෑ කියන එක . තමන්ගේ එදිනෙදා ජීවිතය තුලින් මේ ආධ්‍යාත්මික ජීවනය අපි ප්‍රගුණ කරන්න ඕනේ . 

ඒ කියන්නේ තමන්ගේ දැනට තියෙන ප්‍රශ්න ටික ඉවර කරගෙන , එහෙම නැත්නම් නිවාඩු දාල , නැත්නම් හැමෝම වගේ වයසට ගියාම කරන්න ඕනේ දෙයක් නෙවෙයි මේක . මේ දැන් මේ මොහොතේ ඔබේ ජීවිතය ඔබ ගෙනියන්න ඕනේ මේ මාර්ගයේ.

ඒකට හොඳ ජීවමාන උදාහරණයක් බාලසුරිය මහත්තයාගේ ජීවිතය තුල තිබුණා .

මේ ලෞකික ජිවිතයේ තියෙන ප්‍රශ්න එක්ක කොහොමද මේ දේවල්  කරන්නේ ? අපි කොහොමද භාවනා කරන්නේ ?එහෙම නැත්නම් අපි කොහොමද පින් කරන්නේ? වගේ අපි හැමෝටම තියෙන ප්‍රශ්න වලින් තොරව මේ ගෙවන ජීවිතය මීටත් වඩා හොඳින් සාර්ථකව ගෙවන ගමන් අපි ඇතුලතින් වෙන්න ඕනේ දේවල් කොහොමද අපි දියුණු කරගන්නේ කියල බාලසුරිය මහත්මයා කියල දුන්න  

මම මේ කාලයේ දී  එදිනෙදා  ජීව්තයේ සිද්දි වලට මුහුණ දෙනකොට මගේ හිත හැසිරෙන්නේ කොහොමද මගේ හිත වැඩකරන්නේ කොහොමද කියන දේ ගැන සංවේදී වෙන්න  පුරුදු වුණා . ඒ කියන්නේ දුක, කෝපය, ඉරිසියාව  වගේ දේවල් පමණක් නෙවෙයි අපිට නොපෙනී  අපි තුලින් හීනියට මතුවෙන ලොකු කම , උද්දච්ච කම , ආඩම්බරය වගේ දේවල් මතු වෙනකොටම කොහොමද ඒක  දකින්නේ කියන එක තේරුම් ගත්තා .

ඒ වගේම අනික් වැදගත්ම කරුණ තමයි ඔබ තුල තියෙන කරුණාව නැත්නම් හොඳ නිසා අනිත් අයට වඩා තමන් උසස් කියන මානසිකත්වය නැත්නම් අපි ධර්මය දන්නවා,  මම මේවා දන්නවා කියන අපේ දැනුම නිසා   අපි තුල ඉබේම ඇතිවෙන සියුම් මානය  පවා  ඒ සිතුවිලි ඇතිවෙන වෙලාවේදීම දැනගන්න  තරමට හිත සියුම් කරගන්න පුරුදු වුණා .

අනිත් එක අපි තුල තියෙන නිහතමානිකම ගොඩක් වෙලාවට අපිට වඩා සමාජ මට්ටමින් හෝ ධනයෙන් , බලයෙන් හෝ මොනයම් හරි දෙකින් අඩු අයත් එක්ක ඉන්නකොට හරිම ලේසියෙන් තිබුණට , අපේම මට්ටමේ  නැත්නම් අපේම රැකියාවේ ඉන්න අපිට වඩා පොඩ්ඩක් ඉහල කෙනෙක් එක්ක ඉද්දි ඒ නිහතමානිකම ඉබේම අතුරුදහන් වෙලා ego  එක (මමංකාරය) එලියට එන හැටි දකින්න තරම් අපේ හිත සියුම් වෙන්න ඕනේ.

අපිට ජීවිතය තියෙන්නේ මේ මොහොතේ විතරයි කියන දේ තේරුම් කරලා දුන්නේ බාලසුරිය මහත්තය . ඒක  තේරුම් ගන්න එක බලෙන් වෙහෙස වි කළහැකි දෙයක් නෙවෙයි . ඒකට අපි තුල තියෙන යහපත දියුණු කරන්න ඕනේ . ඒක ක්‍රියාවෙන්   කරන්න ඕනේ . ආදරය කරුණාව වගේ මානුෂික ගුණාංග අපි තුල දියුණු වෙනකොට මේ සොබාදහම ගැන අපේ තියෙන සංවේදී කම වැඩි වීම තුලින් මේ දේවල් තේරුම් ගන්න පුළුවන් කියල තේරුම් කරලා දුන්න. 

මට හිතෙන්නේ අපේ සිත සියුම් වෙන්නේ අපි සොබාදහමට ලං වෙන තරමට .. සිත බලෙන් සියුම් කරන්න බෑ... සිතට සිතිවිලි එන එක නවත්තන්න අපිට බෑ .. නමුත් එන සිතිවිලි වලට සංවේදී වෙන්න පුළුවන් .. හිතට එන හිතුවිලි වලට සංවේදී වෙනකොට හිත සියුම් වෙනවා . ඒක නිරායාසයෙන් වෙන දෙයක්.

අනිත් වැදගත් ම දේ තමයි  "Learn to unlearn" කියන එක. ඒ කියන්නේ  ජිවිත කාලයක් තිස්සේ අපි මේ සමාජයෙන්, ආගමෙන් ඉගෙන ගෙන තත්වාරෝපනය කරගෙන තියෙන ඒ කියන්නේ condition කරගෙන ඉන්න දේවල් වලින්  තොරව යමක් දිහා නැත්නම් පුද්ගලයෙක් දිහා බලන්නේ කොහොමද කියන එක.  

සරලව කිව්වොත්  judge  නොකර බලන්න. මේ ඉන්නෙත් මම වගේම මනුස්සයෙක්  නැත්නම් ප්‍රාණියෙක් එහෙම නැත්නම් මම හැදිච්ච සොබා දහමෙම තව නිර්මාණයක් විදියට  දේවල් දිහා ප්‍රායෝගිකව බලන්නේ කොහොමද කියන එක .

මේ විදියට ජීවිතය දිහා බලනවා කියන්නේ අපේ හිත්  ඇතුලේ රාගය, ද්වේශය,මෝහය නිකන් ම නැති වෙලා යනවා කියන එක . රාග  ද්වේශ  මෝහ  ආදී වශයෙන් ඇතිවන සිතුවිලි දකින්න ඕනේ ඒ මොහොතෙදිමයි. විභාගෙකට ඉගෙන ගන්නවා වගේ ධර්ම කරුණු ඔක්කොම ඉගෙන ගෙන ඒවා ප්‍රැක්ටිස් කරලා පස්සේ කොහොම හරි රාගයයි , ද්වේශයයි  මෝහයයි නැති කරගන්නවා කියන දේ වැරදියි කියන එක අපි ප්‍රත්‍යක්ෂයෙන්ම   තේරුම් ගත්තා .

ඒ වගේම අපි කළයුත්තේ  කවදාවත් දුක් නොවෙන , කවදාවත් රාගයක් ඇති නොවෙන, මොනම හේතුවකට වත් තරහක් ඇති නොවන  කවදාවත් සතුටක් නොදැනෙන, සියලුම බැඳීම් වලින් ඉවත් වෙච්ච ජිවිතයක් ලබා ගැනීමට උත්සාහ කිරීම නොවෙයි කියන දේත් අපි තේරුම් ගත්තා .

මේ විදියට අපි කිසිවක් නොදන්නා අලුත් මිනිසෙක් විදියට ලෝකය දිහා බලනකොට ඔබට නැවුම් ලෝකයක් පෙන්න පටන් ගන්නවා. ඒ ලෝකයේ හැමදේම නැවුම් හැම මොහොතක් ම අලුත්.

මේ විදියට ජිවත් වෙනකොට ඔබට වැටහෙයි නිවීම තියෙන්නේ මේ දැන් , මෙතන මිසක් කෙළවර නෙවෙයි කියන එක .

අපි මේ දැනටම දන්න, අපි වන්දනා කරන සංකල්ප ගැන අපේ ඔලුවේ තියෙන අදහස ගැන වෙනස් කෝණයකින්  නැත්නම් වෙන  perspective  එකකින් බැලුවම ඒ දේවල් අපිට තේරුම් ගන්න පහසුවෙනවා . අපේ ඔලුවේ ආගම විසින් ගොඩනගල තියෙන ප්‍රතිරුප සියල්ල බිඳ වැටුනම අපිට මේ දේවල් වටහාගන්න ලේසියි කියල මම තේරුම් ගත්තා.

අපි මෙහෙම ටික කාලයක් ඉන්නකොට අපිට තවත් අපි වගේම මේ වගේ දේවල් ගැන උනන්දු වෙච්ච බොහෝ දෙනෙක් හම්බ වුණා .   ඒ අය  එක්ක එකතු වෙලා කතා බහ කරපු දේවල්, අපි කරපු වැඩසටහන් , ගිය තැන්  ගැන විස්තර මහ  ගොඩක් තියෙනවා . 

සත්‍ය ගවේෂකයින් ගේ කණ්ඩායමක් අපිට හිටිය  (දැනුත් ඉන්නවා)

මම මේ හම්බවෙච්ච ගොඩක් අයගෙන් කීප දෙනෙක් ගැන විස්තර ලියන්නම් . නැත්නම් මේක ඉවර වෙන්නේ නෑ ..

අපි මේ විදියට ටික කාලයක් ආශ්‍රය කරද්දී බාලසුරිය මහත්මය කිව්වා අපි වගේම මේ ක්‍රමයෙන් මේ ගැන හොයන්න උනන්දු වෙන තව අය ඉන්නවා . අපි ඒ අයත් එක්ක එකතු වෙලා මේවා ගැන තව හොයමු  කියල

ඊට පස්සේ අපි කට්ටිය ගියා තවත් අපුරු තැනකට .

ඔය ගම්පහ පැත්තේ ඉන්න අය දන්නවා ඇති වතුරුගම පාරේ ටික දුරක් ගියාම තියෙනවා මාලිගාකන්ද පන්සල .. ඒ පන්සලට ටිකක් කලින් තැනක් තියෙනවා  සනාතන ධර්ම නිකේතනය (මේ වගේ නමක් ) කියල කඳු ගැටයක් උඩ  ගල්තලාවකට මුහුණ දාල හදපු පොඩි තැනක්.

නියම නිස්කලංක පරිසරයක තියෙන තැනක් .

මේ තැන 1950 ගණන් වල ඉඳන් අපි මේ කතා කරන ගිහි ජීවිතය තුල ඉඳගෙනම කොහොමද මේ සත්‍යය තේරුම් ගන්නේ නැත්නම් ධර්මය අවබෝධ කරගන්නේ කියන එක ගැන උනන්දුවෙලා ඒ මාර්ගයේ ගිහින් ප්‍රතිඵල ලබා ගත්තු එක්තරා මහත්මයෙක් හදපු තැනක් .  බාලසූරිය මහත්මය ඒ කාලේ සිටම ඒ අය  ඇසුරු කරපු ඒ වගේම ඒ ස්ථානය පටන් ගන්න මුලික වෙච්ච අයගෙන් කෙනෙක් .

මෙතන විවිධ වැඩසටහන් පැවැත්වෙන තැනක් . දැනට එතන පාලනය කරන අයගෙන් අවසර අරගෙන තමයි අපි ඔය වැඩසටහන් වලට ගියේ ..

 මේ තියෙන්නේ එම ස්ථානය.
බාලසුරිය මහතා සමග සාකච්චා කරමින් 

මේ හමුවීම්  වලදී බාලසුරිය මහත්මය අපිට බොහොම ගැඹුරු ධර්ම කාරණා පැහැදිලි කරලා දුන්නා .ඒවගේම වැඩි පුරම අපි කලේ ඒ අවට තිබුණු කැලෑවේ තිබිච්ච ස්භාවික පරිසරයේ හුදෙකලා වෙලා පරිසරයට සංවේදී වෙච්ච එක . ගහකොලට සංවේදී වෙච්ච එක . වත් පිළිවෙත් රැකීම් , සාම්ප්‍රදායික ඇදහිලි වලින් තොරව නිදහස් පරිසරයක නිදහසේ ඉන්න ගමන් මේ ධර්ම කරුණු කතා කරපු එක තමයි මේ වැඩසටහන් වලදී කෙරුනේ. ඒ කතා කරපු හැමදේම මේකේ ලියන්න බෑ .. නමුත් ඒ හැමදේම තුලින් මේ "මම" කවුද කියල හඳුනාගෙන "මම" නැති කිරීමේ මාර්ගය බාලසුරිය මහත්මය අපිට කියල දුන්නා .

අනිත් එක තමයි අපි කාලයක් මේ විදියට මේ දේවල් ගැන ඉගෙන ගන්නකොට අපිට පොඩි සැකයක් මතුවුණා  අපි මේ කරන්නෙත් තවත් දෘෂ්ටියක් ඇතුලේ හිරවිමද  එහෙම නැත්නම් "බාලසුරිය දහම" කියල අමුතුම දහමක් ඇතුලේ හිරවීමක් ද කියන එක. මට මතකයි දිමුතු අයියා මේ කතාව කෙලින් ම බාලසුරිය මහත්තයගෙන් ඇහුවා . මොකද ඒ කාලේ තමයි ඔය විවිධ බුදුවරු ගොඩක් එක පාර පහළ වුණේ . 

ඒ වෙලාවේ බාලසුරිය මහත්තය හිනා වෙලා කිව්වා . "එහෙම හිතෙන එක සාධාරණයි . මම මේ කතා කරන්නේ කිසිම ආගමකට , සංවිධානයකට අයත් නැති සොබා දහමේ පවතින සත්‍යය ගැන. මට කාගේවත් ගුරුවරයෙක් වෙන්න ඕනේ නෑ .. මමත්  ඔබ සමග එකතු වෙලා සත්‍යයය සොයන කෙනෙක්" කියල. එතුමාගේ තිබුණු මේ නිර්ව්‍යාජ බව නිසා අපි තුල තිබුණු ඒ සැකය ඉවත් වුණා.

ඉතින් දැන්  අවුරුදු 5-6ක කාලයක් තිස්සේ අපි මාසෙකට සැරයක් ඔය වගේ හමුවීම් තිබ්බා. සමහර වෙලාවට ඔය එකතු වෙච්ච අයගේ ගෙවල් වලදී අපි හමු වුණා .  බොහොම අව්‍යාජ මිනිසුන් රැසක් මේ ගමන් වලදී මට හමුවුණා . සමාජයේ බොහොම සරල දිවිපෙවෙත් ගෙවන නමුත් බොහොම උසස් තල වල ඉන්න අය  ඉන්නවා කියන එක මම තේරුම් ගත්තා .

විජේසිංහ මහත්තය , රත්නායක මහත්තය ඒ වගේ අපි නිතර ඇසුරු කරන දෙන්නෙක්. ඒ අය බාලසුරිය මහත්මය සමග බොහෝ කාලයක් .. ඒ කියන්නේ දශක ගණනාවක් තිස්සේ මේ දේවල් අධ්‍යනය කරමින් , ඒවා තුල හැසිරෙමින්  ඒ වගේම ඒ අවබෝධය නිහඩව ලබාදෙමින් මේ කටයුතු වල යෙදුන අය. විජේසිංහ මහත්මය විද්‍යා ගුරුවරයෙක් වගේම සියනෑ  කොරළයේ පාසලක හිටපු විදුහල්පති කෙනෙක් . රත්නායක මහත්මය තමන්ගේම කියල කර්මාන්තයක යෙදෙන ඉංජිනේරු මහත්තයෙක් .

මේ චරිත වල තිබ්බ මනුස්සකම  තමයි අපිට  ධර්මය ප්‍රයෝගිකව තේරුම් කරලා දුන්නේ. ඔවුන්ගේ හැසිරීමේ, කතාබහේ ධර්මය තිබුණ. 

මේ ගිය හැම ගමනකදීම අපිට හිතන්න බොහෝ දේවල් ලැබුන. බාලසුරිය මහත්මයාගේ හැම දේශනයකින් ම අපි ලෝකය දකින විදිය වැඩිදියුණු වුණා .  අපේ සිහිය දියුණු වුණා  කිව්වොත් හරි . සිහිය දියුණු වෙන විට සමාධිය දියුණු වෙනවා .  ඒ දේවල් වුනේ අපි මේ දුවන, ගැටෙන , සල්ලි පස්සේ යන  මේ සමාජයේ  ඔහේ ජිවත් වෙන අතර තුරම තමයි .

අවසානයේදී ධර්මයත් ඇතුළුව සියලු දේ අපෙන් ගිලිහි ගිය විට පමණක් ඔබට ඒ සත්‍යයට නිරාවරණය වීමට හැකි බව බාලසුරිය මහත්මය අපිට කියල දුන්නා 

පෞද්ගලිකව මං ගැන කිව්වොත් තාත්තගේ මරණයත් එක්ක අඩාල  වෙමින් ගිය ජීවිතය නැවත ගොඩ නගාගන්න මම මේ ගිය මාර්ගය උදව්වුනා . ජීවතේ කලකිරිච්ච  සමාජයට , රටට, ලෞකික දියුණුවට වෛර කරන, ආගම් වාදී ,  හිස් චරිතයක් වෙනුවට කාල ඇඳලා,  රටේ ලෝකේ ඇවිදලා, පවුලක් පන්සලක් වෙලා අනිත් මිනිස්සුන්ටත් උදව් පදව්වක් කරගෙන , සිහියෙන් යුතු මනුස්සයෙක් විදියට ලෞකික ජීවිතය ගෙනියන්නේ කොහොමද කියන එක මම තේරුම් ගත්තා .

ඒ වගේම තමයි මම සහ ලෝකය කියන්නේ තවදුරටත් 2ක්  කියල නොහැගෙන,  විශ්වයේ අපරිමිත බවට විවෘත වෙච්ච, නිරන්තරයෙන් පවතින හේතු විරහිත ප්‍රීතියක් , සතුටක් , මහා සැනසීමක් සමග නතර වූ සිතක් සහිතව ජීවිතය දුකින් විමුක්තව ගෙවන්නේ කොහොමද කියන සත්‍යයය මම ප්‍රයෝගිකව අත්දැක්ක කියන්න පුළුවන් ..

මේ සටහනේ මම ලිව්වේ බොහොම ටිකයි . මේ ගෙවුණු කාලය තුල අපි අවබෝධ කරගත්ත දේවල් කතා කරපු දේවල් සැහෙන්න තියෙනවා . මම මේ ලිව්වේ ඒ දේවල්  කැටි කරපු  පොඩි සාරාංශයක් විතරයි .

මේ සටහන කියවපු කාට හරි බාලසුරිය මහත්මයාගේ දේශන, වැඩසටහන්  ආදිය ගැන උනන්දුවක් ඇති වුණා  නම් මේ තියෙන අඩවි වලින්  වැඩි දුර විස්තර දැනගන්න පුළුවන්

මම හිතන්නේ එතුමා යු ටියුබ් එකේ දාල තියෙන වීඩියෝ වලින් එතුමා ප්‍රායෝගිකව කරන වැඩසටහන් ගැන ඔබට බොහෝ කරුණු දැන ගන්න පුළුවන් ..

මේ ලින්ක් එකෙන්  එතුමා ගැන සහ එතුමාගේ පොත් පත් ගැන ඔබට විස්තර දැන ගන්න පුළුවන් .

ඒ වගේ ම මේ අඩවියෙන් එතුමා විසින් රචිත තවත් ලිපි සහ සිංහල බසින් සහ ඉංගිරිසි බසින් කරන ලද විවිධ දේශන ඔබට බලන්න පුළුවන්

මේ තියෙන්නේ යු ටියුබ් ලින්ක් එක කෙලින් ම ඔබට වීඩියෝ බලන්න පුළුවන්.

කිසියම් කෙනෙකුට මට වගේම මේ වගේ දේවල් ගැන උනන්දුවෙන් හොයන්න ඕනේ කියල හිතෙනවනම්  ඒ වගේ අයට උදව්වක් වෙන්න කියල හිතාගෙන ලියපු සටහනක් මේක. 

ඒ වගේම තමයි මේ සමාජය තුල ඉන්න  මවා ගත්තු ප්‍රතිරුප නැති , එහෙත් ජිවිතයේ හරය වටහාගෙන බොහොම උසස් තල වල ජිවත් වෙන මින්සුන්  ගැන  පොඩි දැනුවත් කිරීමක් කරන්න ලියපු සටහනක්.  

Monday, November 03, 2014

බුදු දහම සහ මම හෙවත් මගේ සත්‍යය ගවේෂණය

ආගම ගැන මම මේ බ්ලොග් එකේ කවදාවත් ලියල නෑ ... හේතුව සමහරවිට මට ඒ සබ්ජෙක්ට් එක ගැන තියෙන උදාසීන කම නිසා වෙන්න ඇති . මේ සටහන ලියන්න මම සෑහෙන කාලයක් හිතුවා . ලියනවද නැද්ද කියල තීරණේ ගන්න බැරුව මම හිතන්නේ අවුරුදු 3-4ක් වත් ඉන්න ඇති . ඒකට ප්‍රධානම හේතුව මේ වගේ මාතෘකා ගැන කතා කරන්න තරම් මම මොනවාද දන්නේ කියන එක. 

එක අතකින් දන්න දෙයක් ලියල තිබ්බම කවදාහරි කාටහරි වැදගත් වෙයි නේ කියලත් හිතෙනවා . අනිත් අතින් මේ වගේ ගොඩක් අය  සංවේදී දේවල් ගැන කතා කරන එක ගොඩක් පරිස්සමින් කරන්න ඕනේ කියලත් හිතෙනවා  

කොහොම වුනත් දැන් බොහෝ කාලයක් තිස්සේ ලියම් දෝ නොලියම්දෝ කිය කිය හිතපු දිග කතාවක් මේ ලියන්න හදන්නේ .. සමහරවිට කොටස් කීපයක් ඇදෙයි ...

මේක තනිකරම මගේ අත්දැකීමක් . පහුගිය අවුරුදු 10-12ක් තිස්සේ මම කරපු එක්තරා විදියක රිසර්ච් එකක් එහෙම නැත්නම් යමක් පිළිබඳව සොයා බැලීමක් ගැන මගේ අත්දැකීම් තමයි මේ ලියන්නේ . හැඩ වැඩ කරන්න කිසිම දෙයක් අතින් නොදමා මම අත්විඳපු දේවල් ඒ විදියටම ලියන්නම්. 

අනිත් එක විශේෂයෙන් කියන්න ඕනේ මේ දේවල් තම තමන් ගේ දැනුමේ අවබෝධයේ හැටියට කෙනෙක් තේරුම් ගන්න ඕනේ දේවල් මිසක්  මතයක් විදියට කාගේවත් ඔළුවට දාල කෙනෙකුට උගන්නන්න පුළුවන් කියල මම හිතන්නේ නෑ .. 

මගේ අරමුණ මම දැනටත් අත්විඳින, සහ අත්විඳපු දේවල් ලියා තැබීම. මේ සටහනේ ලියවෙන කිසිම දෙකින් කිසිම පුද්ගලයෙකුගේ මතයක් ,දැකුමක් හෝ පුද්ගලයෙක් බලෙන් ප්‍රමෝට් කිරීමක් මට අවශ්‍ය නෑ .. අනිත් එක බුද්ධ ධර්මය ගැන අටුවා ටීකා ලියන්න හෝ ඒ ගැන නව මත ඉදිරිපත් කිරීම නෙවෙයි මේ ලිපියේ අරමුණ . මට ඕනේ මම කරපු සහ මම දැනගත් දේ බෙදා ගැනීමට විතරයි   . නමුත් මෙහි ඇති යම් යම් කාරණා ගැන වැඩිදුර විස්තර ඇත්තටම අවශ්‍ය කෙනෙකුට ලබා දෙන්න පුළුවන් .

මේ කතාව පටන් ගන්නේ 2002 අවුරුද්දේදී . ඒ කියන්නේ මට වයස 20-21 ක් ඇති . ජනවාරි මාසේ අන්තිම හරියේ දවසක අපේ තත්තා සදිසියේම අසනීප වුණා . සාමන්‍ය ලෙඩක් කියල හිතල බෙහෙත් ගත්තත් සති දෙකක් විතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගත්ත තාත්ත අපි කවුරුත් බලාපොරොත්තු නොවිච්ච විදියට ඒ  අවුරුද්දේ පෙබරවාරි මාසේ 7 වෙනිදා සදහටම අපෙන් සමු අරන් යන්න ගියා . තමන්ගේ මවගේ පියාගේ මරණයේ වේදනවා අත්දැකපු අයට මෙහෙම වුනාම දැනෙන දුක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ ... වයසින් මුහුකුරා ගිහින් ඉන්න තරම අනුව ඒ දුකේ ප්‍රමාණය පොඩ්ඩක් වෙනස් වෙනවා වුනත් කෙනෙකුගේ ලෝකය උඩුයටිකුරු කරන්න ඒ වගේ සිදුවීමක් හොඳටම ප්‍රමාණවත් .

උසස් පෙළ දෙපාරක් කරලා නමුත්  ඉදිරි අනාගතය ගැන පැහැදිලි විශ්වාසයක් නැතුව හිටි මම , අම්මාගේ උනන්දුව නිසා  මාමාගෙන් ණයට ගත්ත සල්ලි වලින් කරන්න පටන් ගත්ත පරිගණක ඩිප්ලෝමාවේ පලවෙනි සෙමෙස්ටර් එකේ අවසාන හරියේ  ඒ වෙනකොට හිටියේ .

ඒ  අතරෙදි ලෝකේ පෙරලුනා වගේ සිද්ද වෙච්ච මේ සිදුවීම  කොහොමත් ලාමක හිතක් තිබ්බ මට දරාගන්නම බැරි වුණා . අපේ පවුලේ කවුරුවත්  සිහිනෙන් වත් බලාපොරොත්තු නොවුන දෙයක් . ඒ වෙනකොට අක්ක කැම්පස් එකෙන් අවුට් වෙලා ජොබ් හොයන ගමන් හිටියේ . තාත්ත ඉස්පිරිතාලේ ඉන්න අතරෙදි  තමයි අක්ක පරිපාලන විභාගේ පාස් කියල දැන ගත්තේ . නමුත් ජොබ් එකක් තිබුනේ නෑ . අම්ම කරපු ආණ්ඩුවේ රස්සාව විතරයි තිබුනේ .

කොහොම වුනත් අපිට අපේ නෑදෑයෝ සෙට් එකම හිටියා .  කට්ටිය 50-60ක් විතර ඕනේ වෙලාවක ඉන්නවා . නමුත් ඒ හැමෝම අපි වගේ එකම මට්ටමේ . මාමා විතරයි ඉහල මට්ටමක හිටියේ . නමුත් ඒ නෑදෑයෝ ටික තාත්තගේ මරණේ දුක තුනී කරන්න අපිත් එක්ක හිටියා .

තාත්තගේ මරණේ දැන ගත්ත මොහොතේ මම කෑ ගගහ ඇඬුව. ජාතික රෝහලේ ප්‍රධාන ගේට්ටුව ගාව උදේ පාන්දර 7.30-8.00 වගේ වෙලාවේ මමයි අම්මයි අක්කයි කෑ  ගගහ අඬපු හැටි මට මැවිලා පේනවා .

මම  අඬන එක නතර වුනේ දවස් 2කට පස්සේ තාත්තගේ මිනිය උස්සගෙන කනත්තට ගිහින් අවසන් කටයුතු කරලා  ආපහු එනකොට . ඒ වෙනකොට තවදුරටත් අඬල වැඩක් නෑ  කියන එක මට දැනුන . මොකද තාත්ත නැති ගෙදර තව කරන්න බොහෝ දේවල් තියෙනවා කියල මට යන්තම් වගේ දැනුනා . 

මමයි අක්කයි දෙන්නම පොඩි කාලේ ඉඳලම තාත්තට ගොඩක් එකතුයි .  තාත්ත ගොඩක් වෙලාවට හිටියේ ගෙදර . තරුණ කාලේ බොහොම ජයට තාත්තගේ ගම වෙච්ච හපුතලේ දේශපාලනේ කරලා පස්සේ ඒ සියල්ල අතැරලා අම්මගේ ගමට ඇවිල්ල හිටියේ . මම පොඩි කාලේදී තාත්තා කලේ මේසන් වැඩට අත්  උදව් දෙන්න ගිය එක . පස්සේ පස්සේ පොඩියට කොන්ත්‍රාත් වැඩ කළා . අවසාන කාලේදී කොළඹ නිවාස සංවර්ධන අධිකාරියේ පොඩි පොඩි කොන්ත්‍රාත් වැඩ කළා . නමුත් ඒවා එතරම් සාර්ථක වුනේ නෑ . ඉතින් තාත්ත ගොඩක් වෙලාවට හිටියේ ගෙදර. අම්ම හැමදාම වැඩට යන නිසා අපි ගොඩක් කිට්ටු උනේ තාත්තට .

ඉතින් තාත්තගේ වියෝව අපිට බොහොම තදින් දැනුනා . 

මගේ කෝස් එකේ වැඩත් එහෙම් පිටින් ම කඩා වැටුන . ඒ කියන්නේ පළවෙනි සෙමෙස්ටර් එකේ ගොඩක් සබ්ජෙක්ට් ෆේල් වුණා. මම කොහොමත් ඉස්සර ඉඳලම ඉලක්ක හඹා යන කෙනෙක් නෙවෙයි . ඉතින් අර ෆීනික්ස් කුරුල්ලා වගේ අළු මතින් නැගිටින්න ඕනේ කියල ලොකු ශක්තියක් මට තිබුනේ නෑ ... පටන් ගත්ත කෝස් එක කොහොම හරි ඉවර කරන්න ඕනේ කියන හැඟීම විතරයි තිබුනේ . 

කොහොම හරි තාත්තගේ තුන් මාසේ දානේ දීලා ඉවර වෙලා අපි අක්කගේ වෙඩින්  එක බොහොම සුළුවට ඉවර කළා . ඒ වෙනකොට තාත්තත් දැනුවත් ව සියලු දේ තීන්දු වෙලා තිබුන  නිසා සියලු දෙනාගේම උපදෙස් මත තමයි අක්කගේ වෙඩින්  එක ගත්තේ . ඊට පස්සේ අක්කලත් අපිත් එක්කම ගෙදර නතර වුණා . තාත්තගේ මරණෙන් පස්සේ පොඩි කාලේ ඉඳල ලොකු අම්මලාගේ ගෙදර හැදුන නංගිත් අපේ ගෙදරට ආවා . එයා ඒ දවස් වල උසස් පෙළ කර කර හිටියේ .

ඊට පස්සේ ඉතින් අපේ ජිවිත ඔහේ ගලාගෙන ගියා . ඒ හැටි සාර්ථකව නොවුනත් මම කෝස්  එකේ වැඩ ටික කරගෙන ගියා . නමුත් තාත්ත නැති දුක අපේ ජිවිත අඳුරු වලාවක් වගේ වහගෙන හිටියේ .

ගොඩක් වෙලාවට ඇස්වල කඳුළු පුරෝගෙන බලාගත්තු අත බලාගෙන ඉන්න එක තමයි කලේ .. මග යන එක බස් වලදීත් , ඉගෙන ගන්න ලෙක්චර්ස් අතරේදීත් ඕනේ තරම් අඬල  ඇති . 

දුක තුනී කරගන්න පන්සල් යන එක කලාට මගේ හිතට පන්සලෙන් සැනසීමක් ඒ හැටි දැනුනේ නෑ .පන්සලේ තියෙන වට පිටාව නිසා සැහැල්ලුවක් දැනුනට ඇත්තටම හිතට දැනුන දුක අඩුවීමක පන්සල් ගියාට වත් බණ ඇහුවටවත් සිදු වුණේ  නෑ .. වෙච්ච එකම දේ පොඩි වෙලාවකට අවධානය බිඳිලා තාවකාලික සැහැල්ලුවක් දැනෙන එක විතරයි .

අපේ ගෙදර කොහොමත් ලොකුවට පන්සල බදාගත්ත , ආගම දහම ඔළුවට ගත්ත තැනක් නෙවෙයි . එහෙම පන්සල් වලට කරන්නවත්, අපිට මෙලොව පරලොව සඳහා පින් කරන්නවටවත් වඩා අපේ අම්මටයි තාත්තටයි එදිනෙදා ජිවත් වීමට ලොකු සටනක් කරන්න වෙලා තිබුණ . ඉතින් පන්සල කියන්නේ තවත් එක තැනක් විතරයි .

නමුත් තාත්ත හැමපෝයටම පන්සල් ගිහින් සිල් ගන්න අයට දානේ බෙදල, ඒවා ගානට සංවිධානය කරලා, පන්සලේ තියෙන වැඩ වලට උදව් පදව්  කරලා , ඔය ගමේ කාගේ කාගේත් වැඩවලටත් ඒ විදියට උදව් පදව් කරලා කාත් එක්කත් එක වගේ හොඳින් හිටපු  හවසට හීනියට පොඩ්ඩක් අනුමත වෙලා ගෙදරට වෙලා මැයි පෙළපාලි වල කියන සිංදු  කිය කිය ඉන්න ජාතියේ චරිතයක් .

තාත්ත ගැන වෙනම සටහනක් ලියන්නම්

අම්මත් රස්සාවට යන නිසා කොහොමත් වැඩිය පන්සල එක්ක සම්බන්ද වෙච්ච කෙනෙක් නෙවෙයි . නමුත් දානේ ටිකක් හදල යවන එක , ඔය බෝධි පුජාවකට යන එක එහෙම කළා .

අපි තාත්ත වෙනුවෙන් හැම අවුරුද්දේම දානයක් දුන්න . දැනටත් ඒක   කරනවා . පුළුවන් හැටියට පන්සලේ මල් ආසනයක් එහෙම හදල පින් දෙන වැඩ කළා .

ඒ දේවල් කිරීම නිසා අපිට පොඩි අස්වැසිල්ලක් තිබුනට හිත ඇතුලේ තියෙන දුක කිසි වෙනසක් වුනේ නෑ . ඒවත් කරගෙන ඔහේ ජිවත් වුණා . මේ කාලේදී මම ගොඩක් පොත් කියෙව්වා . මට අවංකවම ඕනේ වුනා බුදුහාමුදුරුවෝ මේ කියල තියෙන දුක නැති කිරීම ගැන ඉගෙන ගන්න . එක ගැන හොයන්න .



ඒ වෙනුවෙන් මම ඔය ගොඩක් හාමුදුරුවරුන්ගේ පොත් කියෙව්වා . බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ පොත් පත් , රේරුකානේ චන්දවිමල හාමුදුරුවන් ගේ පොත පත එහෙම . රේරුකානේ චන්ද විමල හාමුදුරුවන්ගේ පොත් වල බොහොම ගැඹුරු ධර්ම කරුණු තියෙනවා . නමුත් මට ටික කාලෙකදී ඒවා කියවන එක එපා වුණා . මොකද ඒක  තව එක විෂයක් ඉගෙන ගන්නවා වගේ කියල හැඟීමක් ආපු නිසා . ඒ හැම එකම කියවද්දී මට හිතුනේ පොත් වල දැනුම ගොඩක් තියෙනවා හැබැයි කොහොමද මේක මම ප්‍රායෝගිකව යොදා ගන්නේ කියන එක.

අනිත්  එක ඒ හැම එකම පැවිදි වෙච්ච අය  ලියපු දේවල් . ඒවා කියවද්දී ඔළුවට එන්නේ මේ දේවල් අපිට මේ අපේ ගිහි ජිවිතේ ඉන්න ගමන් කරන්න බෑ  කියන එක . නමුත් මට කවදාවත් ජිවිතේ ගැන කලකිරීමක් ආවේ නෑ. මොකද මම හොඳට තේරුම් අරන් හිටිය මට තිබ්බ ආසාවල් , බැඳීම්  එක්ක කවදාවත් මහන වෙන නැත්නම් එවැනි අපිස් ජිවිතයක් ගෙවන්න බෑ කියල .

තාත්ත නැතිවීමේ දුක සසර කලකිරවන තරම් වුනත්  ඔක්කොම අතාරින්න තරම්  හයියක් මට තිබුනේ නෑ .

අනිත් එක අපේ අම්ම පුදුම විදියට තාත්ත නැති ජිවිතේට හුරු වුණා . කාලයක් අඬමින්  දුක් වෙමින් හිටියට පස්සේ අම්මත් තේරුම් අරන් අපිටත් කිව්වේ මේ දේවල් ඉතින් කාටත් මෙහෙම තමයි . අපි පුළුවන් හැටියට තාත්තට පින් දීල ජිවත් වෙමු කියන එක . ඒක වචන වලින් කියපු අදහසකට සිමා නොකර  අම්මා ප්‍රායෝගිකව ඒ විදියට ජිවත් වෙන්න පටන් ගත්තා . ඉතින් එහෙම තියෙද්දී මට නිකමටවත් අම්මව තනිකරලා සත්‍යය සොයන්න යන්න ඕනේ වගේ හැඟීමක් ආවේ නෑ .

මට හොඳට මතකයි මම පර්ස් එකේ තාත්තගේ තරුණ කාලේ ගත්ත කලුසුදු  ෆොටෝ එකක් දාගෙන හිටිය . ටික දවසක් යනකොට පර්ස් එකේ ඉටි කවරේට ඇලිල ඒ පින්තුරේ ටික ටික දියවෙලා යන්න පටන් ගත්ත . ඒක දැකපු වෙලාවේ මම ඒ ෆොටෝ එක පර්ස් එකෙන් අයින් කරන්න හදනකොට මට එක පාරටම ඔළුවට ආවේ තාත්ත නැතුව මම මේ පින්තුරයක් රැක ගන්න හදන එකේ තේරුම මොකක් ද කියන එක . ඒවගේ වෙන පින්තුර එකක් වත් නෑ. හැබැයි මම ඒ පින්තුරේ රැක ගන්න ට්‍රයි කලේ නෑ. මම ඒ පින්තුරේ ඔහේ දියවෙන්න ඇරිය. මට එහෙම කරන්න පුළුවන් වුනේ අම්මගේ ඒ හැසිරීම නිසා වෙන්න ඇති .

ඔහොම කාලේ ගෙවෙද්දී මට එක්තරා පොතක් කියවන්න ලැබුන . ඒ තමයි අහිංසාවේ උල්පත කියන ආචාර්ය ඊ .ඩබ්ලිව් අධිකාරම් මහතාගේ ජිවන චරිතය ලියවෙච්ච පොත . ඒ පොතේ තිබුන සමහර කරනු කියෙව්වම මට හිතුනා මේ කියල තියෙන දේවල් ප්‍රායෝගිකයි කියන එක . අධිකාරම් මහත්මය ගිහියෙක් . ක්‍රියාවෙන් පරම අවිහිංසාවාදියෙක් . මට මග ඇරුණු කාලයකදී ඒ කියන්නේ මම ඉපදෙන්න කලින් එතුමා බොහොම ක්‍රියාශීලිව මේ අවිහිංසාවාදී වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරලා තිබුනා . මම හිතන්නේ තාමත් ඒවා තියෙනවා  නමුත් ඒ හැටි ඇක්ටිව් නෑ දැන්.

ආචාර්ය ඊ. ඩබ්ලිව් අධිකාරම් මැතිතුමා  (පින්තුරය ගුගල් වෙතින්)

ඉතින් ඔය පොතේ තිබුණු එක කරුණක් මගේ හිතට තදින් වැදුන .

"අපි කරන්නේ වෙදාටයි බෙහෙත්වලටයි වැඳ වැඳ ඉන්නවා විතරයි . කවදාවත් බෙහෙත් ගන්නේ නෑ  කියල " .

පොඩි කාලේ ඉඳන් එක එක අනම් මනම් පොත් කියවපු මට මේ වගේ රැඩිකල්  අදහස් හොඳට වදිනවා . ඉතින් මම සෑහෙන්න මේ ගැන හිතුව .

 ඒ වගේම උදේ හවස පන්සිල් ගන්න එක, ඔය පින්කම් කරන එක ගැනත් අධිකාරම් මහත්මය දරල තිබුන අදහස් මගේ සිත් ගත්ත . ඒ කියන්නේ  උදාහරනෙකට කෙනෙක් ජිවිතේ එක පාරක් පන්සිල් ගත්ත නම් ඇති කියන එක . මේ අදහස් මගේ සිත ගත්ත .  මටත් හැමදාම පන්සල් ගිහින් ගාථා කියවන වගේ දේවල් පොඩි කාලේ ඉඳන් ඒ හැටි අල්ලලා ගියේ නෑ ... ඕක නොකළ කියල මොනවා වෙන්නද කියල තමයි හිතිලා තිබුනේ .

කොහොම හරි මේ අදිකාරම් දර්ශනය මාව සම්පුර්ණයෙන් වෙනස් පාරකට  ගෙනිච්චා .  මම කොහොමත් අමද්‍යප චරිතයක් සහ ඒ හැටි වල බහින ජාතියේ නොවන, ගෙට වෙච්ච කොල්ලෙක් නිසා ඒ කියපු බොහෝ දේවල් නිරායාසයෙන් ම මගේ ළඟ තිබුන .

මේ ඉන්න අතරේ ඉතින් මගේ වැඩත්  ඔහේ කෙරීගෙන ගියා , අක්කටත් රස්සාවක් හම්බ වෙලා අක්කගේ මහත්තය වෙච්ච දිමුතු අයියටත් හොඳ රස්සාවක් ලැබිල ආර්ථික ප්‍රශ්න එතරම් දැනුනේ නෑ... අමාරුවෙන් රිපීට්  වේවි මමත් කොහොම හරි කෝස්  එක කර ගත්ත .

දිමුතු අයියත් අවංකවම මගේම සහෝදරයා වගේ තමයි . එයා අපි වෙනුවෙන් බොහෝ දේවල් කළා . අක්කත් එක්ක හොඳ සැප ජිවිතයක්  ගෙවන්න ඕනේ තරම් පුළුවන් කම තියෙද්දී අපිත් එක්ක අපේ ගෙදර නතර වෙලා සැහෙන උදව් කළා . ඒ වගේම වැදගත් ම දේ තමයි එයත් මම වගේම මේ ඇත්ත මොකක් ද කියල හොයන්නන් උනන්දු වෙච්ච චරිතයක් වීම . මගේ ජීවිතේ  කඩා වැටිච්ච ගොඩක් වෙලාවට ආයේ මාව ගොඩ ගත්තේ දිමුතු අයිය . අදටත් ඕනේ වෙලාවක ඉස්සෙල්ලාම ප්‍රශ්නේ කියන්නේ එයාට .

මේ අතරේ මමත් ජොබ් එකකට ගිහින් ඉතින් දැන් ඔහේ ජිවිතේ ගෙවාගෙන යනවා . නමුත් හිත ඇතුලේ තිබුණු දුක , තාත්තාගේ මතකය නිසා සැරින් සැරේ හිත අඳුරු වෙලා ජිවිතයම දුකින් බර වෙන ස්භාවය තිබුනා . ඒ එක්කම තව දුරටත් පන්සලෙන් හෝ හාමුදුරුවරුන් ගේ බණ  අසා වැඩක් නැති බවත් මට තේරුම් ගියා . ඒක  පුද්ගල සාපේක්ෂ දෙයක් . මට පුද්ගලිකව හිතුනේ එහෙමයි . නමුත් අම්මට අක්කට පන්සල සහ හාමුදුරුවරු ගැන ගැටලුවක් තිබුනේ නෑ .

ඔහොම විවිධ විදියට මේ බුදුදහම සහ ධර්මය ගැන විස්තර හොය හොයා ඉන්නකොට මට කියවන්න ලැබුන බුදුහාමුදුරුවන් සහ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට පසුව මෙලොව ඉපදුනු ශාස්තෘ කෙනෙක් විදියට මිනිස්සු සලකන ජේ. ක්‍රිෂ්නමුර්ති  තුමා ගැන . ක්‍රිෂ්නමුර්ති තුමා ගැන මම මුලින්ම කියෙව්වෙත් අදිකාරම් මහත්මය ගැන ලියවෙච්ච පොතෙන් .  මේ කාලේ 2007 වගේ . මේ බ්ලොග් එකේ මම 2007 අවුරුද්දේ ලියල තියෙන්නේ එකම එක ලිපියයි.  ඒ ලිපිය මේ ක්‍රිෂ්නමුර්ති  තුමා ගැන බොහොම සරල හැඳින්වීමක් .

ජේ.ක්‍රිෂ්නමුර්ති තුමා 

 ඒ  ලිපිය ලියන්න හේතු වුනේ මම දවසක් ඔය ඒ දවස් වල පොඩි සින්  එකක් තිබ්බ ගෑනු ළමයෙක් සම්බන්ධ මොකක් හරි වැඩකට බයික් එකේ නුගේගොඩ ගිය වෙලාවක නුගේගොඩ තියෙන ජාත්‍යන්තර ක්‍රිෂ්ණ මුර්ති මධ්‍යස්ථානය ගැන දැන ගන්න ලැබීම . ඒ බෝඩ් එක දැකපු මම යන්න ගිය ගමන පැත්තක දාල ඒ ක්‍රිෂ්නමුර්ති  සෙන්ටර් එකට ගියා .

එදා ඉඳන්, මම ඒ වෙනකොට හොයන්න උත්සාහ කරපු දේ ලැබෙන මාර්ගයේ මම යනවා කියන හැඟීම මට දැනෙන්න පටන්  ගත්තා .

මම ක්‍රිෂ්නමුර්ති තුමා විසින් කරපු හැම දේශනාවකවම වගේ වීඩියෝ හොයා ගත්තා . ඔය නුගේගොඩ තියෙන සෙන්ටර් එකේ හොඳ පුස්තකාලයක් තියෙනවා . ඒ වගේම එතන ක්‍රිෂ්නමුර්ති තුමාගේ දේශන අසන්න ඉඩ පහසුකම් තියෙනවා . මම ඉතින් සමහර වෙලාවට එතෙන්ට ගිහින් ඔය දේශනා අහගෙන ඉඳල එනවා . ඒ හැම එකම ඉංග්‍රීසියෙන් තියෙන ඒවා නිසා මට ගොඩක් දේවල් නොතේරුණත් ඒ කියන සමහර කරුණු ගැන හිතන්න සැහෙන දේවල් තියෙනවා කියල මම ඒ වෙනකොට තේරුම් අරන් තිබුනේ .

පස්සේ මම ගෙදර ඇවිත් ඉන්ටර්නෙට් එකේ තිබුණු ක්‍රිෂ්නමුර්ති  තුමාගේ දේශනා සහ සාකච්චා ඩවුන්ලෝඩ් කළා . ගොඩක් ඒව සබ්ටයිටල් එක්ක තිබුණු නිසා නතර කර කර බලල තේරුම් ගන්න පුළුවන් වුණා.

මේක කියවන කෙනෙකුට මේ කතාව ගැන නිකන් හරි උනන්දුවක් තියෙනවනම්  ඒ වගේම ඔබ බුදුදහම නැත්නම් මේ ආගම් ගැන විවෘතව  හොයල බලන්න කැමති කෙනෙක් නම් මම කියන්නේ ක්‍රිෂ්නමුර්ති  තුමාගේ දේශන, සාකච්චා  සහ ලිපි පොඩ්ඩක් කියවල බලන්න කියන එක . මේ කියන්නෙත් අර කියපු දේම නේ කියල ඔබට තේරෙයි . නමුත්  දවටන වලින් තොර හරය ඒ කතාවල තියෙනවා කියල ඔබට දැනෙයි .

ඒ වගේ ම ක්‍රිෂ්නමුර්ති  තුමාගේ ජිවිත කතාව කියවල බැලුවොත් ඔබට තේරුම් යයි  එතුමා තමන් විසින් අවබෝධ කරගත් ධර්මය දේශනා කරනවා මිසක් කටපාඩම් දැනුමක් දේශනා කරන කෙනෙක් නෙවෙයි කියල. ඒ ඔරිජිනල් ගතිය මම ඒ වෙනකොට කියවපු කිසිම පොතකින් වත් කතා බහ කරපු කිසිම හාමුදුරුකෙනෙක් තුල වත්  දැක්කේ නෑ ...

එසේම මේ ක්‍රිෂ්නමුර්ති තුමා ගැන සහ එතුමාගේ ඉගැන්වීම් ගැන බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන් ගේ අදහස්  හැකිනම් කියවා  බලන්න. අපි නොදන්න  තව බොහෝ දේවල් ඉතිහාසයේ තියෙන බව ඔබට වැටහේවි .

මෙන්න මෙතන තියෙනවා බලංගොඩ  ආනන්ද මෛත්‍රී හිමියන් ක්‍රිෂ්ණ මුර්ති තුමා ගැන ලියපු සටහනක්

ගොඩක් වෙලාවට අපි හිරවෙන තැනක් තමයි අපි මේ උපන්දා සිට උදේ හවස අහන බණ  ටික විතරයි හරි  එතනින් එහාට දෙයක් නෑ කියන  එක . මම හිතන්නේ ඒක තමයි අපිට මේ බුදු දහම තේරුම් ගන්න බැරි වීමේ මුලික අවුල. බුදු දහම තියෙන්නේ ලංකාවේ විතරක් නෙවෙයි . බුදු දහම ලෝකය පුරා තව විවිධ විදියට ව්‍යාප්ත වෙලා තියෙනවා . සෙන් දහම , මහායානය ආදිය කිසිත් නොදැන මේවා බොරු කියල ප්‍රතික්ෂේප නොකර ඒවා ගැන ඉගෙනීමෙන්  බුදු දහමේ අපෙන් සැඟව  ගිය බොහෝ කරනු හොයා ගන්න පුළුවන් .

බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ කවුරු කිව්වත් පිළිගන්න එපා . තමන් විසින් සොයා බලල තේරුම් ගන්න කියල. ඉතින්  ඇයි  අපි ඒක නොකරන්නේ ?  බුදු දහම කියන්නේ අපිට තර්කයෙන් හිතල , ඇනලයිස් කරලා  තමන් විසින් ප්‍රඥාව මෙහෙයවල තේරුම් ගන්න ඕනේ ධර්මයක් කියලයි මම විස්වාස කරන්නේ. මම ඒ දවස් වල කලේ අන්න ඒක.

කොටින් ම කිව්වොත් සමහර දවස් වල ඔය දේශනා වල තිබුණු සමහර කරනු ගැන ඔලුව කැක්කුම හැදෙන කම් මම කල්පනා කරලා තියෙනවා . ඒ කරුණු සැහෙන ගැඹුරුයි .

දිමුතු අයියයි  මමයි සැහෙන්න මේ කරුණු ගැන සාකච්චා කරලා තියෙනවා . ඔය ක්‍රිෂ්නමුර්ති තුමාගේ සාකච්චා දාගෙන ඒවායේ තියෙන කරනු ගැන අපි සැහෙන්න කතා කරනවා . ගොඩක් දේවල් අපි දෙන්නටම තේරෙන්නේ නෑ මොකක් කියන්නේ කියන එක. නමුත් අපි අත අරින්නේ නැතුව ඉතින් බලනවා.   

අක්කත් අපිත් එක්ක එකතු වුනාට  ඒ වෙනකොට අක්කට බබාලා ලැබිල එයා ඉතින් ඒ සම්බන්ධයෙන් ඒ හැටි උනන්දුවක් තිබුනේ නෑ. 

ඔය විදියට කාලේ ගෙවෙද්දී මම රස්සාවත් හොඳට කරගෙන ගියා . මේ දේවල් වලට යොමු වුණා කියල මගේ පුද්ගලික ජිවිතේ වෙනස් වුණේ  නෑ .. කෙල්ලන්ට ලයින් දාන ඒවා , පොඩි පොඩි රස්තියාදු ගහන දේවල් ඒ විදියටම තිබ්බා . හැබැයි ඉතින් ඒ වෙනකොට ජීවතේ දිහා බලන විදිය සහ ප්‍රශ්න වලදී මුණ දෙන විදිය සැහෙන්න වෙනස් වෙලා තිබුනා .  තාත්ත නැතිවෙලා අවුරුදු 4-5ක් ගෙවිලා තිබුන නිසා දුක තුනී වෙලා අපි තාත්ත නැති ජිවිතේට පුරුදු වෙලා තිබුනේ.

මෙහෙම කාලයක් ඉන්නකොට මට හිතෙන්න පටන් ගත්තා මේ ධර්මය තේරුම් ගන්න උත්සාහ කරන කොට අපිට එන ගැටළු  නැත්නම් මේ කියන්නේ මොකක්ද කියන එක තව ටිකක් පැහැදිලි කරගන්න විදියක් ඕනේ කියන එක . දිමුතු අයියත් ඒ ගැන සැහෙන උනන්දුවකින් හිටපු නිසා  අපිට මේවා ගැන කෙලින් කතා බහ කරන්න පුළුවන් කෙනෙක් හෝ  කණ්ඩායමක් ඕනේ කියන හැඟීම ඇවිල්ල තිබුනේ .

හැබැයි අපි තේරුම් ගත්ත හාමුදුරුවරුන් ගෙන් මේ දේවල් ගැන අහල ඒ හැටි වැඩක් නෑ  කියන එක. මොකද අපි ඔය දාන වලට එන හාමුදුරුවරු වාහනේ එක්ක යන අතරේ ඔය වගේ මාතෘකා ඇදල  ගත්තට ගොඩක් වෙලාවට හාමුදුරුවරු දෙන්නේ අර පොතේ තියෙන උත්තරේ. කණගාටුවෙන් වුනත් කියන්න තියෙන්නේ මෙච්චර කාලෙකට මට හම්බවෙච්ච කිසිම හාමුදුරු කෙනෙක් විවෘතව මේ ධර්ම කරුණු ගැඹුරින් සාකච්චා කරන්න තරම් ඒවා ඉගෙන ගෙන ඇති කියල මට හිතුනේ නෑ.  ඒ කියන්නේ එක්කෝ පොතේ තියෙන දෙයින්  එහා ගිය දෙයක් ගැන හාමුදුරුවරු හිතල බලල නෑ . නැත්නම් අපි ඇහුවට  කියන්නේ නෑ . මම මේ කියන්නේ ඉතින් ගමේ පන්සල් වල ඉන්න හාමුදුරුවරු ගැන . මේ දැනුම තියෙන හාමුදුරුවරු ඉන්නවා නමුත් අපිට හම්බ වුනේ නෑ .

මට ඒ වෙනකොට මේ ධර්මය ගැන තර්ක කරන්න දැනුමක් තිබුනේ නෑ . නමුත් කියන දේ ඒ කියන පුද්ගලයාවත් හරියට තේරුම් අරගෙනද කියන්නේ කියන එක ගැන අදහසක් ගන්න පුළුවන් කමක් තිබුණ. මම අදිකාරම් චරිතය සහ ක්‍රිෂ්නමුර්ති  ගේ ඉගැන්වීම් වලට කැමති වුණේ  තමන් විසින් පිළිපදින තමන් විසින් අවබෝධ කරගත්ත දෙයක් ඔවුන් ගේ දේශනා වල තිබිච්ච නිසා .  

ඉතින් මේ විදියට කාලයක් යනකොට අක්කල අලුතින් ගෙයක් හදල පදිංචි වුණා . මමයි අම්මයි නංගියි විතරක් ගෙදර හිටිය . ටික කාලෙකින් නංගිත් බැඳලා ගෙදරින් ගියාට පස්සේ අම්මයි මමයි විතරක් ගෙදර ඉතිරි වුණා.

මෙහෙම ඉන්නකොට අපේ දිමුතු අයියට තවත් අපුරු චරිතයක් හම්බ වුණා....

ඒ චරිතය අපි හැමෝගෙම ජිවිත වෙනස් කරපු හැටි පස්සේ ලියන්නම්