Thursday, March 10, 2011

ආදරණීය ඩ්‍රොයිඩයන්....

ANDROID ගැන මේ දවස් වල නොදන්න කෙනෙක් නෑ නේ (අපේ අම්මලගේ පරම්පරාවේ අය නැතුව). මමත් මේ අද ඉඳල පොඩි ANDROID ඇප්ලිකේෂන් එකක් හදන්න පටන් ගත්ත නිසයි මේ ලියන්නෙ හිතුනෙ. මම ANDROID ගැන දන්න දෙයක් නම් නෑ. තාම ඉගෙන ගන්නවා. 


ANDROID ලෝගෝ එක දැක්කම කෙනෙක් ව මතක් උණා. ඇත්තටම ඒක නිසයි මේක ලියන්න හිතුණේ... ටී.වී එකේ කාටුන් බලපු... මම හිතන්නේ ITN එකයි රූපවාහිනියයි විතරක් පෙනුන කාලේ වගේ ට්.වී එකේ කාටුන් බලපු අය ඉන්නවනම් මෙයාව මතක් වෙන්න ඕනේ... 


මේ ඉන්නෙ C3PO(See-Threepio). 


මේ ඉන්නේ ලෝකප්‍රසිද්ධ චරිතයක්. අපි හැමෝම දන්න Star Wars  කතා මාලාවේ ඉන්න දන්න කියන ඩ්‍රොයිඩයක්. 




මේ ඉන්නේ R2D2 (Artoo-Detoo). See-Threepio ගේ අතිජාත මිත්‍රයා.  මේකේ C3PO කියන්නෙ පිස්සු ලෝකයක් හැබැයි මේ බට්ටා R2D2 මොළ කාරයා. C3PO ගේ පිස්සු වැඩ වලට උදව්පදව් දෙන්නෙ වගේම ටිකක් හිතල බලල වැඩ කරන්නෙ මෙයා තමයි. එකම දේ මෙයාට තේරෙන්නේ මැෂින් භාෂාව විතරයි. ඒ කියන්නේ ඔය එක එක බීප් සද්ද වගේ දේවල්. මිනිස්සු එක්ක වැඩ කරද්දි මෙයාගේ සහයට ඉන්නෙ C3PO. මොකද මෙයාගේ යන්ත්‍ර භාෂාව තේරෙන්නෙ C3PO ට විතරයි.

ලියාගෙන යනකොට ලුක් ස්කයිවෝකර්ඩාත් වේඩාර් ,ඔබී-වන්-කෙනෝබි ඔය ඔක්කොම ඉතින් මතක් නම් වෙනවා. 


ඔක්කොම ගැන ලියන්න ගියොත් මේ ඩ්‍රොයිඩයන් ගැන මතක් වෙලා ලියන්න පටන් ගත්ත එකට නිකන් හරි නෑ වගේ නේ. කොහොම හරි  Star Wars ගැන අහලවත් නැති කාලේක ටී.වී එකේ මේ රොබෝල දෙන්න ඉන්න කාටූන් එක බලන්න හරි ආසවෙන් හිටපු හැටි මතක් වෙනවා.. පස්සේ කාලෙක  Star Wars  ෆිල්ම් එක බලද්දි තමා මෙයාල කවුද කියල හරියටම දැන ගත්තේ.  R2D2 සහ ANDROID ලෝගෝ එක අතර සම්බන්ධයක් තියෙනව ද කියල නම් මම දන්නේ නෑ. නමුත් ANDROID දැන් දැන් මොබයිල් මාකට් එක වේගයෙන් ආක්‍රමණය කරන්න හේතුව මිනිස්සුන්ගේ හිත ඇතුළේ ඉන්න මේ පුංචි රොබොට්ට ද කියල නිකමට වගේ හිතුණා. 


ANDROID Open source කියන එක වගේ තාක්ෂණික දේවල් පාවිච්චි කරන ගොඩක් මිනිස්සු දන්නෙ නෑ නේ..


කොහොමත් අපේ හැංඟිච්ච සිතුවිලි මාකට් කරන එක තමා මේ කාලේ ගොඩක් අය කරන්නේ... 







Friday, March 04, 2011

ජීවිතේ ගැන අපි දන්න බම්බුව

අපි ගොඩක් අය හෙන පොර ටෝක් දානවා (මමත් ඇතුළුව) ජීවිතේ අපි විඳල තියෙන දේවල් බැලුවම ඕව මොනවද කියල... අනිත් අයට හෙන උපදෙසුත් දෙනවා... (මමත් ඇතුළුව).... මේ පහළින් තියෙන වීඩියෝව මම මීට අවුරුදු 3-4 කට කලින් දැක්ක... මගේ ජීවිතේ සෑහෙන්න වෙනස් වුණා... මේක ඔනලයින් හම්බ වුණේ අද... තම තමන් දුක් වෙන දේවලුයි... අනිත් අයට උපදෙස් දෙන්න තරම් තමන් විඳල තියෙන දුක් ගැනයි දෙපාරක් (එක පාරක් හරි කමක් නෑ) විතර හිතල බලන්න මේක උදව් වෙයි කියල හිතුණ.

සතුට සහ දුක කියන්නේ තමන්ගෙම හිත මිසක් වෙන කිසිම දෙයක් නෙවෙයි කියන එක තේරුම් ගන්න මේක අපි කාට කාටත් උදව් වෙයි....



මේක නැවත මතක් කරල දුන්නෙ මෙන්න මෙයා .

Tuesday, March 01, 2011

රෑට නැති නුවණ උදේට ලබා දෙන ලස්සන වසීලිස්සා



                      අපේ පවුලේ පරම්පරා 3ක විතර ළමා කාලය සුන්දර කළ ලස්සන වසීලිස්සා පොත

ලස්සන වසිලිස්සා පොත කියවල නැති කෙනෙක් ඉන්නවනම් වයස තාරාතිරම ගැන හිතන්නේ නැතුව අදම ඒක කියවන්න කියල මුලින් ම කියන්නම්... මොකද ඉවාන් කුමාරය,බාබයිගා යකින්න,නිදිමන්තර කාර පූසා, නොමැරෙන කසෙයි රාක්ෂයා,රන්කෙඳි අස්සයා, අන්ද්‍රේ, සිමියොන්ලා 7 දෙනා, මාර්යා මොරෙව්නා  වගේ කට්ටිය අදුරන්නේ නැතුව මේක කියවන එක වැඩක් නෑ. අඩුම තරමේ නපුරු බිරියෝසා ගස් ගැනවත් දැනුමක් නම් තියෙන්නම ඕනේ.. හප්පා.. නැති රටේ ඉන්න නැවුං මස්සිනාව අමතක වුණා නේ... අනේ සොරි මචං...

 බාබායිගා යකින්න වංගෙඩියක් උඩ නැගල කොස්සෙන් පාර පිහදම දමා අහසින් යන්නේ මෙන්න මෙහෙම. මෙයාගේ නහය ගොඩාක් දිග නිසා රාක්කයක් උඩ තමා තියල තියෙන්නෙ... යටිපතුල් පොරවගෙන තමා නිදා ගන්නේ... ඔය ලොකුවට තියෙන්නෙ නපුරු බිරියෝසා ගහ.  ළඟට එන මිනිස්සුන්ගේ ඇස් උගුල්ලලා දානව ඔය ගහ. හරිම භයානකයි... වසිලිස්ස ඉතින් කාටත් කරුණාවෙන් සළකන නිසා නපුරු බිරියෝසා ගහත් මෙල්ල වුණා.


කුකුලෙකුගේ කකුලක් උඩ කරකැවෙන යකින්නගේ ගේ පොඩිත්ත. වටේටම තියෙන්නෙ මිනී ඔළු ගහපු වැට. වැට ගාව තියෙනවා නපුරු බිරියෝසා ගහක්.. සෙල්ලං නෑ... ගේ ලඟට ආපූ කෙනෙක් ලේසියෙන් යකින්නගෙන් ගැලවිලා නම් යන්නෙ නෑ... බොහෝම හිත හොඳ කරුණාවන්ත, බුද්ධිමත්, දක්ෂ අයට විතරයි බේරිලා යන්න පුළුවන්...ඒකත් යකින්න පවරන වැඩ ටික ඉවර කලොත් විතරයි...
නිදිමන්තර කාර පූසා තමයි පූසා... ඌ කියන නින්ද යන කතන්දර අහගෙන මෙලෝ මිනිහෙකුට ඇහැරගෙන ඉන්න බෑ... අනිත් එක පේනවනේ නපුරු කම, අන්ද්‍රේ යාන්තම් ගැලවුණේ එයාගේ බිරිඳගේ මොලේ නිසා තමා.  අන්දරේ ඉතින් අහිංසක මනුස්සයනේ හැබැයි එයාගේ ලස්සන නෝනා එහෙම නෑ.. එයා මායා කාරියක්...
    
ඉවාන් කුමාරය ලස්සන යෙලේනා කුමරියත් එක්ක රන්කෙඳි අශ්වයා පිටේ එන අපූරුව බලන්න එපෑ... අල්ලගත්ත ගිනි කුරුල්ලවත් කූඩුවේ දාගෙන... මොන සටනක් දීල ද මේ තුන් දෙනාව ලබා ගත්තේ... ඉවාන් කුමාරයට රජ්ජුරුවන් ගෙන් තියෙන කරදර ගැන නම් කියල වැඩක් නෑ...දැන් කාලේ වගේම තමා...ලස්සන කෙල්ලෙකුට ඉස්සරත් නිදහසේ ඉන්න නෑ... කොහොම උනත් අන්තිමට ඉතින් දුෂ්ටයට කෙල වෙනවා..


මේ ඉන්නේ නොමැරෙන කසෙයි රාක්ෂයා... මෙයාව කවදාවත් මරන්න බෑ... බොහෝම ලස්සන මාර්යා මොරෙව්නා ගේ ආදරේ වෙනුවෙන් නිර්භීත කුමාරයෙක් නොමැරෙන කසෙයි රාක්ෂයා එක්ක කරන දරුණු සටන්...  අන්තිමට මොකෝ වෙන්නේ කියන එක කියවලම තමා බලාගන්න වෙන්නෙ.... බාබායිගා යකින්න ගේ අස්ස ඉස්තාලේ ඉන්නව නේ කසෙයි ගේ අශ්වයට වඩා බලවත් අශ්වයෙක්...


ඕං රීං.... පුදුම අශ්වයා වරේන් කියල පාළු සොහොනකට ගිහින් මතුරල බලන්නකෝ... හැබැයි ඉතින් දෙමව්පියන්ට සළකන අය විතරයි ... මෝඩ ඉවාන් කොච්චර මෝඩ උණත් ගති ගුණ අතින් බොහෝම උසස්.. අන්තිමට ඉතින් තට්ටු ගානක් උඩට පුදුම අස්සයව පන්නල රටේ ලස්සනම කුමාරිව සිප ගන්න තරම් මෝඩ ඉවාන් දක්ෂයෙක් වෙනවා...


සිමියොන්ලා හත් දෙනා තරම් දක්ෂ වැඩ කාරයෝ මුලු ලෝකෙම නෑ... කියන පරක්කුවෙන් ඕනේ දෙයක් කරන්න එයාලට පුළුවන්...සිමියොන් වඩුවා,සිමියොන් නාවිකයා, සිමියොන් ගණන් කාරයා ඒ විතරක් යැ.. පුංචි සිමියොන්... පුංචි සිමියොන් දක්ෂ බටනලා වාදනයට.. නපුරු යුධ නායකයගේ නපුරු වැඩ මේ අයියල මල්ලිලා ගේ දක්ෂ කමින් පරද්දන හැටි කියල වැඩක් නෑ... අන්න කතා..

අලෝනුෂ්කා අක්කගෙයි ඉවානුෂ්කා මල්ලිගෙයි සහෝදර ප්‍රේමය, රතු එළදෙනගේ ආදරය, හිම සීයා නපුරු කුඩම්මට දෙන දඩුවම්... මෝඩ එමලිය මාළුවට අණ දි දී කරන පිස්සු වැඩ... දුප්පත් ඉවාන් ට ඉර,සුළඟ දුන්න තෑගි... රාජ අලියගේ පිහාටුවට මතුරන අහිංසක මර්යුෂ්කාගේ ආදරය, රිදී පීරිසිය සහ රත්තරන් හදවත

අනේ මන් ද මේ දැනුත් මම ඉන්නේ ඒ ලෝකේ වගේ...

පින්තූරයක් දාන්න බැරි උණාට නැවුං මස්සිනා ගැන නම් මොකුත් නොකියම බෑ.. පින්තූර දාන්නෙ කොහොම ද ඉතින් නැති දේක... කාට හරි කරන්න බැරි වැඩක් පවරන්න ඕනේ නම් මෙන්න වැඩේ... කියන්න ගිහින් නැති රටෙන් නැති දේ හොයාගෙන එන්න කියල... හික්.. හික්... ගිය මිනිහෙක් ආයෙ එන්නෙ නෑ... අපායට ගිහින් ඉන්නෙ කෙනෙක් ගේ දුක සැප හොයාගෙන එන්න පුළුවන් නැති රටෙන් නැති දෙයක් නම් කාටවත් ගේන්න බෑ...

කොහොම වුණත් ඉගෙන ගන්න තියෙන්නෙ එකම පාඩමයි.. රෑට නැති නුවණ උදේට පහළ වෙනවා... අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි..ඒ නිසා ඔය ඔළුවේ නට් බුරුල් වෙනකම දවස තිස්සේ හිත හිත දඟලන ප්‍රශ්නයක් ආවම රෑට නැති නුවණ උදේට පහළ වෙනව කියල 3න් පාරක මතුරල ගිහින් නිදා ගන්න... (ඊට පස්සෙ පහුවදාට ආයේ මුල ඉඳල හිතල අරක කොහොම හරි ගොඩ දාන්න..)