Tuesday, February 06, 2018

සෝර්බා ද බුද්ධ



සෝර්බා ගැන සම්භාව්‍ය විදියට කියන්න මගේ සාහිත්‍ය දැනුම මදි. හැබැයි සරල කියවන්නෙක් විදියට සෝර්බා ගැන මට දැනුනේ මෙහෙමයි.

අපි සෝර්බා වෙන්න ආසයි! ඒත් බයයි

මම මේ සැරේ පොත් ප්‍රදර්ශනෙන් ගත්ත පොත් කිහිපයෙන් එකක් තමා සෝර්බා නම් ග්‍රීකයා පොත. පොත ගත්තේ තරුරසී ගේ කඩෙන්. පොත කියවල ඉවර වෙලා අන්තිම පිටුව බලද්දී තමා දැක්කේ පොතේ දෙවෙනි මුද්‍රණය වෙනුවෙන් තරුරසී ගේ දායකත්වය ගැන. මෙවැනි පොතක් අප වෙත සිංහලෙන් ගෙන ඒමට දායකත්වය දක්වපු හැමෝටම ස්තුතිවන්ත වෙන්න ඕනේ.  මේ පොත ගන්න ප්‍රදර්ශනේ තිබුණු කුටියට ගිය වෙලාවේ මේ වසරේ තරුරසී එලි දක්වපු දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය කියන නවකතා පොත කඩේ තිබුනේ නෑ... පස්සේ මම ඒ පොත දැක්කත් මට ගන්න හිතුනේ නෑ... ඒ මොකද මට හිතුනු විදියට මම ඒ පොත ලියවිලා තියෙන කරුණු සහ ඒ සම්බන්ද කතා කියවන්න අකමැති නිසා. මම ඒක තරු රසිට කිව්වා. හැබැයි ඉතින් කවද හරි මම ඒ පොත ගනියි... කියවන්නත් ඉඩ තියෙනවා. මම වැඩිය කැමති ෆැන්ටසි කතා කියවන්න. ඩේලි දකින රියලටි එක ගැන කතා ආයෙත් පොත් වලිනුත් කියවන්න මම කැමති නෑ... ෆැන්ටසි කතා වල තියෙන විකාර අදහස් අපි හිතන පතන විදිය වෙනස් කරන්න පොළඹවනවා. අනේ මන්ද මට නම් එහෙමයි.


සෝර්බා නම් ග්‍රීකයා පොතේ පින්තුරයක්

සෝර්බා නම් ග්‍රීකයා පොත සද්ධාතිස්ස වඩිගමංගාව මහත්මයා විසින් සිංහලයට පර්වර්තනය කරලා තියෙන්නේ. මට පරිවර්තනය ගැන නම් කියන්න වරදක් තිබුනේ නෑ. නිදහසේ කියවගෙන යන්න පුළුවන්. 

සෝර්බා පොත ගැන මම එහෙන් මෙහෙන් කියවල තිබුනට කතාව දැනගෙන හිටියේ නෑ. දැන් ටික දවසකට කලින් පොත කියවන්න අරගෙන, සැරෙන් සැරේ ටික ටික කියවල තිබුනා.  මේ පහුගිය ඉරිදා එක හුස්මට කියවල ඉවර කළා. එක හුස්මට පිටු 250ක් විතර කියෙව්වා. 


සෝර්බා චරිතය අපුරුයි. ඒ චරිතය ගොඩ නගපු නිකොස් කසන්සාකිස් ගේ ජීවිතය ඊට වඩා අපුරු ඇති. මේ පොත The Life and Times of Alexis Zorba නම් කෘතියේ සිංහල පරිවර්තනය.



 නිකොස් කසන්සාකිස් ගේ පින්තුරයක්. විකිපීඩියාවෙන්


ඔරිජිනල් පොත කවද හරි කියවන්න ඕනේ. මට හිතෙනවා මේ පොතේ තියෙන අදහස් වල හැටියට මේ පරිවර්තනය සුමට වැඩියි කියල.

තරුණ කාලේ පටන් ගනිද්දී සෝර්බා කියන්නේ තනිකර විකාරයක්. මෙහෙම දේවල් නම් වෙන්න අමාරුයි. මිනිස්සු ඔහොම ඉඳල හරි යන්නේ නෑ. සමාජයට ක්‍රමයක් තියෙනවා. ඔන්න ඔහොම හිතෙයි.

දශක තුනක් විතර ගෙවෙන්න කිට්ටු වෙනකොට සෝර්බා වගේ වෙලා බෑ. හැමදේම පිළිවෙලක් තියෙන්න ඕනේ කියල හිතෙයි.

නෝටි ෆෝර්ටි කිට්ටු වෙනකොට සෝර්බා කියන්නේ ඇත්ත. හැබැයි සෝර්බා වෙන්න බයයි. සෝර්බා ගැන ඉරිසියයි.

ගිය සිකුරාදා හවස බාලසුරිය මහත්තය අපේ ගෙදර ආවා. සෑහෙන්න වෙලාවක් කතා කර කර හිටියා. බාලසුරිය මහත්තය ගැන මම කලින් ලියල තියෙනවා. අපි ගොඩක් දේවල් කතා කළා. ඒ දේවල් සැරෙන් සැරේ මම මේකේ ලියන්නම්. බාලසුරිය මහත්තයා ඉස්සර කියපු සමහර කරුණු තේරුම් ගන්න මට අවුරුදු 4-5ක් ගියා. අපේ ජිවිත දැක්ම වෙනස් කර ගන්න, හිතන පතන සාම්ප්‍රදායික ක්‍රමය වෙනස් කර ගන්න සහ ඒ වෙනස තුලින් සැබෑව අත්දකින්න හැකියාව ලැබුණා. 

ඔය කතා කර කර ඉද්දි මේ පොත ගැන මම කිව්වා. නමුත් බාලසුරිය මහත්තය පොත කියවල තිබුනේ නෑ. මගෙන් ඇහුවා කියෙව්වා ද කියල... මමත් ඒ වෙද්දී සම්පුර්ණයෙන් කියවල තිබුනේ නෑනේ. ඉරිදා තකහනියේ පොත කියවල ඉවර කරන්න ඒ කතා බහ හේතු වුණා.

සෝර්බා ගේ ජීවිතය පිස්සුවක්. හැබැයි ඒක ඇතුලේ නිදහස තියෙනවා. ඔහුට රාමු නෑ. හිර වෙලා නෑ. ඔහුගේ ජීවිතය සැපවත් නෑ එහෙම වෙන්නේ සැප කියන්නේ භෞතික සැප නම්... හැබැයි දුකකුත් නෑ...  දුක කියන එක භෞතික හෝ අභෞතික වෙන්නේ නැති නිසා ඔහු තුල දුක නෑ. දුකක් නැති වීමේ සැප හැම වෙලේම සෝර්බා තුල තියෙන්න ඇති.

මම ඕෂෝ ගේ පොත් කියවල නෑ. මට කවදාවත් කියවන්න හිතිලත් නෑ... ඕෂෝ ගේ දර්ශනය මට තේරුම් ගන්න පුළුවන් ද කියලත් මම දන්නේ නෑ. ඕෂෝ රාජිනිෂ් සෝර්බා ගැන කියල තියෙන්නේ දේ පොතේ පිටකවරේ තියෙන්නේ මෙහෙම

"සොර්බාත් බුද්ධත් එකට එකතු වෙනවා දකින්න මට අවශ්‍ය යි. සෝර්බා තනිකර ගත්තම ඔහුගේ නැටුමේ සදාකාලික විශේෂත්වයක් නෑ. එය මොහොතක සැපත විතරයි. ඔහු ඉන් වෙහෙසට පත් වෙනවා. ඒ නිසා සෝර්බා සහ බුද්ධ එකතු වුනොත් විතරයි පරිපුර්ණ මිනිසා ගොඩනැගෙන්නේ. 'සෝර්බා ද බුද්ධ' තමයි පිළිතුර. සෝර්බා ද බුද්ධ තමයි උසස් ම බලවේගය. සරල ව කිව්වොත් සෝර්බා ද බුද්ධ කියන්නේ

අලුත් නමක් - අලුත් මිනිසෙකුට,
අලුත් නමක් - අලුත් යුගයකට,
අලුත් නමක් - අලුත් ඇරඹුමකට,

සෝර්බා සහ බුද්ධ ගේ හමුවීම තමයි ඉතිරි ව තිබෙන එක ම ප්‍රාර්ථනාව"

සෝර්බා නම් ග්‍රීකයා පොතේ පෙර වදනට පසුව මෙන්න මෙහෙම තියෙනවා

"මං රටෙනුත්, පුජකයන්ගේනුත්, සල්ලිවලිනුත් බේරුණා.
මං තවත් හුඟක් දේවල්වලින් බේරී බේරී ආවා...
ඒ විදියට තමයි මගේ බර සැහැල්ලු කරගත්තේ.
මම - කොහොමද ඒක තේරුම් කරන්නේ?-
මගේ විමුක්තිය මම ම හොයා ගත්තා...
මං මිනිහෙක් වුණා!"


බුද්ධ ගේ ජිවිතය (සමාවෙන්න බුදුහාමුදුරුවන්ගේ ජීවිතය) ගැන අපිට පුජකයෝ (සමාවෙන්න ගරුතර සංඝ රත්නය) කියන දෙයට අමතරව හිතල බලන්න නිදහස තියෙනවා නේද?  සමහර විට ඕෂෝ(ල) ට අපිට වඩා නිදහසේ ඕවා ගැන හිතන්න පුළුවන් ඇති.  නිකොස් කසන්සාකිස් බුදු දහම හදාරපු කෙනෙක්. ඔහු ගේ අතින් සෝර්බා බිහිවෙන්න හේතුව සමහර විට ගරුතර පුජක රත්නය ග්‍රීසියේ බණ නොකියන නිසා වෙන්න ඇති.

සෝර්බා ගේ ජීවිතය සරලයි. ඇති සැටියෙන්ම ඔහු ජිවත් වෙනවා. ලොක්කා සහ සෝර්බා අතර වෙනස කතාව පුරාම තියෙනවා. අපි කැමති ලොක්කා වෙන්න. අපිට උගන්නල තියෙන්නේ ලොක්කා විදියට හැදෙන එක තමයි හරි කියල. විමුක්ති මාර්ගය තියෙන්නේ ලොක්කාගේ ක්‍රමය තුල කියන එක තමයි අපේ ඔලුවේ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ (ප්‍රෝග්‍රෑම් කිව්වම මතක් වුණේ, ඔය ප්‍රෝග්‍රෑම් කියන්නේ තනිකර බග්ස්  Program Bugs) ගොඩවල්. අපි වගේ අයි.ටි කාරයින් ජිවත් වෙන්නේ ඔය බග්ස් වලට පිං සිද්ද වෙන්න). හිතල බලන්නකෝ ඉතින් රටක මිනිස්සුන්ගේ ඔලුව එක විදියකට ප්‍රෝග්‍රෑම් කරලා, ඒ ප්‍රෝග්‍රෑම් වල අවුල් නිරවුල් කරන්න ඉදිරිපත් වීමෙන් කොච්චර සේවයක් කරන්න පුළුවන් ද කියල...

කලාතුරකින් සෝර්බා වගේ මිනිස්සු හමු වෙනවා. හැබැයි අපි ඒ මිනිස්සුන්ව නොසලකා හරිනවා. අර ප්‍රෝග්‍රෑම් එක ඔවුන් තුල රන් වෙන්නේ නැති නිසා. අපිට ඔවුන් සමග සංහිඳියාවට පත් වෙන්න අමාරුයි... සිංහලෙන් කිව්වොත් ඒ vibes එක්ක sync වෙන්න අපිට බෑ... 

ඊළඟට කියවන්න ඉන්නේ ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් ගේ සියවසක හුදෙකලාව. එක කියෙව්වම තව ටිකක් කොලොප්පන් වෙයි. කොහොම වුනත් මේ දවස් වල මම ගෙවන්නේ සෝර්බගේ පැත්තට චුට්ටක් බර අඥකොරොස් ජිවිතයක්. 





Monday, February 05, 2018

සියුම්


සියුම් තැන්
ගැන සියුම් සිතුවිලි
වසාලන සඳ දුවන සිත
දුරස් වී යයි
සහන හැඟුමන්

සිහිය මගහැර
සිතට මුල්තැන
එකක් පසු පස තව එකක් ලෙස
ගැටළු පැන එයි
දිවිය රළු කොට

ගැඹුරු දේ ගැන
වෙහෙස වන විට
පුංචි සිතුවිලි පසෙකලා
උදම් වී එයි
මාන හැඟුමන්

පිටට පෙන්වන
මවාගත් බව
දකින්නට හැකි වන
දිනක මතු යම්
නිසල වී යයි සැලෙන සිත

හොඳයි නම් මම
දනට පිනට ලැදි නම් සිත
බණත් දහමත්
පරතෙරට දැන
නිවන් මග ඒවි විවරව

සැබෑ සත්‍යය
දකින්නට නම්
ඔබත් ලොවත් යනු
එකක් මිස දෙකක්
නොවන වග

දනට පිනට ලැදි
බණෙන් පිරුණු
හරිම හොඳ ඔබේ සිත
කඩතුරා හැර
දැකිය යුතු මය එය

සොබා දහම ද
ජිවය ද
ඔබ සහ අනෙකා ද යනු
සත්‍යයේ පැවතුමයි
විශ්වයේ ඇති සැබෑවයි

කෙළවරක ඇති
නිවන පිළිබඳ
සිහින දකිමින්
පිං කරන සඳ
වැසී යන්නේ ඒ සැබෑවයි

සියුම් සිතිවිලි
මග හැරී යන
සිහින නිවනෙන්
මෙපිට ඇවිදින්
දකින්නට හැකිනම්

නිවන ඇත්තේ
මෙතැන මේ මොහොතේම බව