Friday, May 20, 2016

කොටු වීම

කොටු වීම කිව්වම මේ දවස් වල හැමෝටම මතක් වෙන්නේ ගංවතුරට කොටු වීම. කැළණි ගං මිටියාවතේ ජිවත් වෙන මිනිස්සුන්ට ඔය කොටු වීමට අවුරුදු කීපයකට සැරයක් මුහුණ දෙන්න වෙනවා. මේ සැරේ තරම් නැති වුනත් ගොඩක් අවුරුදු වලදී ගංවතුරෙන් නිතර හානි වෙන පැත්තක්.  මිට අවුරුදු 20කට විතර කලින් (20කට වැඩි මිසක් අඩු නෑ).. කාලේදී ආවට පස්සේ ආපු ලොකුම ගංවතුර කියල තමයි අපේ වැඩිහිටියෝ නම් කියන්නේ..  

ඔය ඉස්සර ආපු ගංවතුරෙදි අපි හොඳටම කොටු වුණා. ගෙවල් නම් යට වුනේ නෑ නමුත් අපිට වෙන කිසිම දිහාවකට යන්න එන්න බැරි විදියට හොඳටම කොටු වුණා.. ඒ දවස් වල මට ඕනනම් අවුරුදු 10ක් වගේ ඇති.. මහ ලොකු දෙයක් මතක නෑ හැබැයි බෝට්ටු වලින් කෑම ගෙනත් දෙනකම් බලන් හිටියා හොඳට මතකයි..වතුර බොන ලිඳ යටවෙලා අල්ලපු ගෙවල් වලින් තාත්තා වතුර ගෙනාපු හැටි මතකයි..ඒ වගේම හෙලිකොප්ටර් එකකින් ඇවිල්ලා ඔය වියලි ආහාර එහෙම දාල ගිය සීන් එකකුත් මතකයි.. අපිට ගංවතුර කියන්නේ පට්ට ආතල් දෙයක්.. පවුල් පිටින් යන්නේ වතුර බලන්න..  යන්න පුළුවන් උපරිම දක්වා වතුරේ බැහැල යනවා හෙහ් හෙහ් ...

මම හිතන්නේ ඔය ගංවතුරේ දී ද කොහෙද 1990 හරි 1989 වගේ කාලේ ද  කොහෙද මට හරියට ෂුවර් නෑ.. අපේ යාලුවෙකුගේ තාත්තා කෙනෙක් නැති වුණා ගංවතුරේ යද්දී කරන්ට් එක වැදිලා.. ඒ සිද්දිය ගැන මුළු ගමම කම්පා වුණා.. දැන් වගේ කරන්ට් එක ඕෆ් කරන වැඩ සමහරවිට ඒ දවස් වල තියෙන්න නැතුව ඇති..ඒ තාත්ත නැති වුනාට පස්සේ කොල්ලෝ හතර දෙනෙක් එක්ක තනි වෙච්ච අම්මා උන් ටික හදන්න වෙච්ච මහන්සිය මුළු ගමම දන්නවා.. අද උන් ඔක්කොම හොඳ තැන් වල ඉන්නවා.. 

ඒ දවස් වල ඔහොම දවස් ගණන් වහිද්දි ඉතින් අපිට කරන්න වැඩක් නෑ..ඉස්කෝල වහනවනේ.. අපේ ගෙවල් තිබ්බ හරිය යට වෙන්නේ නෑ.. ඒ නිසා කොල්ලන්ට ෆුල් ආතල්.. කෙහෙල් කොට ඔරු හදන එකයි, නැත්නම් කාගේ හරි ඔය තියෙන ඔරුවක නැගල වතුර පිරිච්ච වෙල වල් වල මාළු බාන එකයි, වතුර බලන්න යන එකයි තමයි එකම වැඩේ.. මම ජිවිතේ පළවෙනි සහ අන්තිම මාළුවා බෑවේ ඔන්න ඔහොම ආපු ගංවතුරකදී.. අපේ ගේ පල්ලෙහා තිබුනේ මහ විශාල වෙල් යායක්.. පුරන් වෙච්ච .. වෙල මැද්දේ තිබුන මහ වල කියල වතුර වලක්.. එකේ හැමදාම වතුර තිබුනා.. කැළණි ගඟ උතුරන්න ගත්තම ඔය පට්ටිවිල,රග්ගහවත්ත හරියෙන් දාන වතුර ඔක්කොම ඔය වෙලට එනවා.. මම දන්න විදියට ඔය සියඹලාපේ හංදියේ තියෙන වෙල පිරෙන්නෙත් ඔහොම ගලාගෙන එන වතුර වලින්..අනිත් පැත්තෙන් ඔය දෙල්ගොඩ උඩුපිල හරියෙන් එන වතුර..

එක සැරයක් ඔහොම ගංවතුර ආපු වෙලාවක මම ඔය අපේ කොල්ලෝ ටිකත් එක්ක ගියා ගංවතුරේ මාළු බාන්න.. ඒ කියන්නේ වෙල පිරිලා තියෙද්දී රබර් වත්තේ කොනකට වෙන්න තිබුණු කමත කියල අපි හඳුන්වපු ගොඩබිම් කෑල්ලේ ඉඳල පිරිච්ච වෙලේ මාළු බෑමක් තමයි අපි කලේ.. මට මතක විදියට කිතුල් පිත්තකට කිත්තන් නූලක් ගැට ගහල එකේ කොනට උල් වෙච්ච කම්බි කොක්කක් එල්ලලා.. ඔය ගැඩවිලෙක් හරි මොකෙක් හරි තමයි ඇමට දැම්මේ.. අපි ඉතින් ඕක වතුරට දාල කයිය ගගහ ඉන්නවා ටික වෙලාවක් ඔහොම අල්ලන් ඉද්දි මෙන්න එක පාරටම ඔය මොකෙක් හරි මාළුවෙක් අහුවුනා.. මාළුවාගේ ජාතිය නම් මොකක් ද මන්ද අඟල් 2-3 වගේ දිග පොඩි මාළුවෙක්.. කිතුල් පිත්ත උස්සල එක පාරට උඩට ගනිද්දී පට්ට ආතල් එකක් ගියා.. ඊට පස්සේ ළඟට අරන් බලද්දී අනේ ඒ මාළුවාගේ කට හරහා අර කට්ට ඇනිලා අනිත් පැත්තට මතු වෙලා තිබ්බා.. රතු පාටට ලේ ටිකකුත් තිබුනා මම හිතන්නේ..කොක්කේ එල්ලිලා දඟල දඟල හිටියේ.. ඒක දැක්ක ගමන් මට ෆුල්ම අවුල්.. අර තිබ්බ ආතල් එක කුඩේ කුඩු.. මට මතක නෑ අපි ඒ මාළුවට මොකක් කළා ද කියල.. මට ඕනේ වුණා ඌව ආපහු වතුරට දාන්න.. හැබැයි දැම්මේ නැද්ද කොහෙද.. මොකද ඒ වෙද්දීත් ඌ මැරිලා මම හිතන්නේ.. කොහොම හරි ඒක දැක්ක ගමන් මට මාළු ඇල්ලිල්ල එපාම වුණා..

වෙලේ වතුර වැඩි වෙලා ඊට පස්සේ පිරෙන්නේ වෙලත් එක්කම තියෙන රබර් කෑල්ල.. රබර් වත්තෙන් උඩහට වතුර එනවා කියන්නේ ගංවතුර සෑහෙන දරුණුයි කියන එක.. අපේ ගෙවල් තියෙන්නේ රබර් වත්ත මායිමේ ඉඳලත් තව මීටර් 30-40ක් උඩහට වෙන්න..  මේ සැරේ සහ ඔය අතීත දවසක ආපු වතුරේදී වගේ තමයි අපේ වත්තට අල්ලපු වත්ත වෙච්ච සුදු අක්කලාගේ වත්තට වතුර දැම්මේ..  ඒ හරියට බෝට්ටු වලින් එන්න තරම් වතුර දානවා.

ඔහොම වතුර දාල කොටු වුනාම තියෙන ජිවිතේ පුදුම අත්දැකීමක්.. ගෙදර හැමෝම ඉන්නවා.. කාටවත් කරන්න පුළුවන් දෙයක් නෑ.. ඉස්සර ඔහොම ඉද්දි තමයි අපේ තාත්තා අපේ ගෙවල් අවට හිටපු අපේ යාළුවන් වත් එක්ක අපිත් එක්ක කාඩ් ගහන්නේ.. අපි ඕමි ගහන්න, බුරු ගහන්න, 304 ගහන්න ඉගෙන ගත්තේ ඔහොම ගෙදරට කොටු වෙලා ඉන්න කාලේදී.. පංච දාන එක, නයයි ඉනිමගයි අදින එක ඒ දවස් වල ගෙට වෙච්ච අපිට තිබ්බ සෙල්ලං.. ඊට ටිකක් ලොකු අපේ අක්කල ගෑනු පිරිමි මල් පලතුරු දාන එක.. අම්මල තාත්තලත් අපිත් එක්ක සෙල්ලං කරන්න එන එක මරු ආතල්..

මම මෙහෙ ආවට පස්සේ මම ඔය පොත් සේල් වලට ගිහින් පොත් ගොඩවල් අරන් එද්දී මට හැමදාම හිතෙන දෙයක් තමයි.. කවද හරි ආයේ එහෙම කොටු වුනොත් කියවන්න තමයි මේ පොත් මම ගන්නේ කියන එක.. හෙහ් හෙහ්.. විකාරයි වගේ හිතුනට.. ලයිට් නැති, ටීවී නැති, ඉන්ටර්නෙට් නැති ඔය වගේ වෙලාවල් කොයි වෙලේ එයි ද දන්නේ නෑ.. දැන් මේ පේනවනේ..  අනිත් එක තමයි ඔහොම කොටු වෙලා ඉද්දි අපිට කියවන්න කියල පොත් ඒ දවස් වල තිබුනේ නැති එක...ඒ කාලෙට ඇරියස් එක්ක දැන් ගන්නවා හෙහ් හෙහ්..

තව ඔය දවස් ගණන් වහින කොට කරපු දෙයක් තමයි වහලේ උළු අස්සෙන් බේරෙන වතුර පුරවනන්න පොඩි පොඩි භාජන ගේ පුරා තියෙන එක.. හෙහ් හෙහ් ඒක හෙන ආතල් වැඩක්.. මොකද තෙමෙන්න ගත්තම හැම තැනම තෙමෙනවා.. බාජන තියල බේරන්න බෑ.. 

මට අදටත් චිත්‍රයක් අඳින්න කිව්වම එක පාරටම ඔළුවට එන අදහසක් තමයි වැසි දිනයක් කියන එක.. ඔහොම ගෙදරට කොටු වෙලා ඉද්දි කරපු තව වැඩක් තමයි ඒක.. වැස්සේ තියෙන ලස්සනට, ඒ පාටවල් වලට , මඩ පාටට, අඳුරු කොල පාටට මම හෙන ආසයි..

මේ වගේ දේවල් මතක් වෙන එක හෙන සුන්දරයි අපට කිසි කරදරයක් නැතුව මේ සැපට ඉන්න නිසා.ඒත් කී දාහක් දෙනා මේ මොහොතත් එහෙම ඉන්නවා නේ කියන දේ මතක් වෙන කොට ඒ ඔක්කොම ආතල් කුඩේ කුඩු වෙනවා..

වැඩි දුර යන්න ඕනේ නෑ.. මේ තියන්නේ ඔය මම උඩින් කිව්ව සුදු අක්කල කොටු වෙලා තියෙන හැටි..


 මේ තියෙන්නේ පෙරේදා වෙද්දී සුදු අක්කලාගේ වත්තට වතුර දාන්න අරන් තිබ්බ වෙලාව
 ඔය තියෙන්නේ වෙලට යන පාර..අබලන් වෙච්ච කෙහෙල් කොටඔරුවකුත් තියෙන්නේ..
 මේ තියෙන්නේ අද වෙද්දී බියගම ගනේවත්ත පන්සල පේන හැටි

දැන් දවස් 3ක් විතර කොටු වෙලා හිටපු සුදු අක්කලා අද හවස මේ විදියට වතුරේ බැහැගෙන සියඹලාපේ පැත්තට එන්න ඇවිල්ල තිබුනා..හැබැයි මම හිතන්නේ එන්න බැරුව ආපහු ගිහින්.. අපේ පවුලේ වයිබර් චැට් එකෙන් ආපු පිංතුර මේ...  මේ වෙද්දී අපේ ලොකු අම්මගේ පවුලේ අය කොහේටවත් යන්න බැරුව හිර වෙලා ඉන්නේ..

එයාල පෙරේදා දවාලේ සියඹලාපේ හංදියේ 13 නේ කණුව ගාවට එනකම් පයින් ඇවිල්ල තිබුනා හැබැයි එතන වතුර වැඩි කම හින්ද ආපහු ගිහින් තිබුනා.. එයාල ඉන්න ගෙවල් නම් යට වෙන්නේ නෑ.. හැබැයි මේ වෙද්දී කරන්ට් එක කපල කියල අන්තිමට පණිවිඩේ ආවේ..  අවුලක් නැතුව ඉන්න අපේ අනිත් කට්ටියට මෙයාලව ගේන්න ගන්න විදියක් නෑ මේ වෙද්දී..  අවුලක් නෑ ඉතින් ලොකු කරදරේක නෙවෙයි ඉන්නේ.. මම හිතන විදියට.. 

මේ දැන් කතා කරල දැන ගත්ත  විදියට අපේ සුප්‍රසිද්ද දේශපාලක තුමෙක් ඒ පැත්තට ඇවිල්ල  ඒක කෝල් එකක් දීලා කරන්ට් එක නම් අරන් දුන්නලු.. අනේ මන්ද.. කරන්ට් එක දුන්න වගේ නෙවයි මොකක් හරි කේස් එකක් වුනොත්..

දැන් අපිට ඕනෙම කරදරෙකදී යන්න එන්න තැන් තියෙනවා.. වාහන තියෙනවා.. හැබැයි ඉස්සර ඔහොම කොටු වුනාම කාත් කවුරුත් නෑ.. මොකද කාටවත් අනිත් අය වෙනුවෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් හැටියට නෙවෙයි හිටියේ.. 

ඉතින් ඒ වගේ අදටත් ඉන්න දස දහස් ගණනක් මිනිස්සු වෙනුවෙන් ඇත්තටම අපි මොනවා හරි කරන්න ඕනේ.. පොඩි උන්ට ගංවතුර ආතල් වුනාට.. ගෙවල් වල වැඩි හිටියන්ට දැනෙන හිතේ දුක ගැන මේ පින්තුර බලල හිතා ගමු.. 


පින්තුර උපුටා ගැනීම ෆේස්බුක් එකෙන්
 
වෙලාවට අපි දෙන්න හෙට ලංකාවට යනවා.. අඩුම තරමේ පොඩි හරි උදව්වක් කරන්න පුළුවන් වෙයි ලංකාවේ ඉන්න අපේ මිනිස්සු වෙනුවෙන්..