Wednesday, August 27, 2014

කරදරකාරී ඇනෝ ඊමේල්-කොමෙන්ට්ස්

දැන් ටික දවසක ඉඳන් noreply-comment@blogger.com කියන ඊමේල් එකෙන් ඇනෝ කොමෙන්ට්ස් වැටෙන අවුලක් තියෙනවා. මේ ලෙඩේ තියෙන්නේ සමහර පෝස්ට් වලට විතරයි. මම හිතුව මට විතරක් ආපු අවුලක් කියල නමුත් තවත් කිහිප දෙනෙකුට මේ අවුල තියෙනවා කියල දැන ගන්න ලැබුණ. 

මේ ඊමේල් ඇඩ්රස් එක අපි spam විදියට මාක් කලොත් දාන අනිත් කොමෙන්ට්ස් ඔක්කොමත් spam විදියට තමයි  අඳුර ගන්නේ.

මගෙන් උත්තරයක් හොයන් ආපු තිස්ස අයියා ගේ ඉල්ලීමක් උඩ මේ සටහන දැම්මේ මේ සම්බන්ධයෙන් යමක් දන්න අපේ ටෙක් බ්ලොග් කරුවන් ගෙන් උදව්වක් ලැබෙයි කියල හිතල.

මම දැන ගත්ත විදියට අපේ බ්ලොග් එකේ සැකසුම් වල ඇනෝ කොමෙන්ට්ස් ඇරලා තියෙනවනම් මේක සිද්ද වෙනවා. ඇනෝ බ්ලොක් කළාම හරි යනවා. හැබැයි ඉතින් අපේ ආතල් ඇනෝ වගේ බ්ලොග් රසවතුන් ගේ කොමෙන්ට්ස් මේ සැකසුම නිසා අපිට මිස් වෙනවා.

මේ කරදර කාරී කොමෙන්ට්ස් වල තියෙන තව විශේෂත්වයක් තමයි ඊමේල් එකක් විතරක් එන එක. ඒ කියන්නේ බ්ලොග් එකේ කමෙන්ට් එක පබ්ලිෂ් වෙන්නේ නෑ. කොමෙන්ට්ස් වලට රෙජිස්ටර් වුන අයටත් ඊමේල් එකක් යනවා. 

බ්ලොග් එකේ දාල තියෙන විජට්ටුවක් නිසා මේ ප්‍රශ්නේ එනවා කියල සැකයක් ආවත් මගේ බ්ලොග් එකේ නම් එහෙම අමුතු ගැජට් එකක් එල්ලුවේ නෑ ලඟදි. අර භාෂා ලංකා එකෙන් හදපු සිංහල බ්ලොග් වලට දාන්න පුළුවන් වෙළඳ දැන් වීම ටික එල්ල ගත්ත විතරයි මතක ඇති කාලෙකින් කරපු වෙනස.

 මේක ලොකු අවුලක් නොවුනත් දවසකට ඊමේල් 10-15ක් එන වෙලාවල් තියෙනවා. 

මේ තියෙන්නේ එහෙම ආපු ඊමේල් කීපයක්
1.
You just need to be coachable and able to follow step by step directions just having access to the internet and a cellphone.
You will need to begin by understanding the context of social media 
optimization itself. In this respect it is a very attractive alternative 
to PPC.

Feel free to surf to my page; online trade marketing assistant job description 

2.

There are many different ways to achieve this depending on your area and your market.
The important thing to take-away in the project is that marketing 
on it involves communication not advertising. There are several considerations to 
take into account when producing videos.

my web site free online marketing and advertising courses (

3.

SEO itself is not a hugely complex process, it is more about the time 
and effort you can put it, or alternatively the amount of money 
you can afford to pay someone else. They know that people will do business with responsible businesses.

It's best to choose a market where there are plenty of buyers, 
and not a lot of competitors.

My web site: online marketing agent description - exhibition-camillianhome-kiara.weebly.com - 

දැනට නම් පේන විදියට මේක blogger එකේ තියෙන blogs වලට විතරක් තියෙන අවුලක් වගේ. wordpress බ්ලොග් කරුවන්ටත් මේ ප්‍රශ්නේ තියෙනවද?

ප්‍රශ්නේ ගුග්ල් කළාට හරි හමන් උත්තරයක් හොයා ගන්න බෑ

ටෙක් ගීක් බ්ලොග් කරුවන්ගේ අවධානය පිණිස. (මම එහෙම එකෙක් නොවෙමි. :D)


Sunday, August 17, 2014

8 වසරක් සිංහලෙන් බ්ලොග් ලියා...



මම නොකඩවා එක දිගට මෙච්චර කාලයක් කරපු එකම වැඩේ මේක. ඒ කියන්නේ ඔය කන බොන නිදාගන්න වගේ දේවල් වලට අමතරව අතරමග නතර නොකර කරපු එකම වැඩේ.. මටම සමහර විට නිකන් හිතා ගන්න අමාරුයි ඇයි මට මේකේ මොනවා හරි ලියන එක එපා නොවුනේ කියල... එකට හේතුව මේ බ්ලොග් එක ලිවිම කිසිම හේතුවක් හෝ අරමුණක් ඇතිව කරන දෙයක් නොවෙන නිසා වෙන්න ඇති. අවංකවම කිව්වොත් මේ බ්ලොග් එකේ මම ප්ලෑන් කරලා දේවල් ලියල නෑ.. ලියන්න අදහස් සමහර විට ඔය යන එන වෙලාවට කල්පනා කරලා බලනවා. ඒ ඇරුනම යම් අරමුණක්, නැත්නම්  බලාපොරොත්තුවක් තියාගෙන මේකේ කිසිම දෙයක් මම ලියල නෑ. 

මම කලින් ඔය ඇනිවසරි පෝස්ට් වලදී කියල තියෙන විදියට සිංහල යුනිකෝඩ් අන්තර්ජාලය තුල බාවිතාව අරඹා ටික කාලෙකින් මම මේක ලියන්න පටන් ගත්තේ. ඒ දවස් වල සිංහල අකුරින් කොම්පියුටර් එකේ මොනවා හරි ලියන්න ආපු ආසාව නිසා මේක ලියන්න පටන් ගත්තේ. මොකද ෆොන්ට් ඉන්ස්ටෝල් කරගෙන , වර්ඩ් වල වගේ කි-පෑඩ් එකක් ඕපන් කරගෙන අමාරුවෙන් අකුරෙන් අකුර ගලපලා තමයි මම ඊට කලින් සිංහල ලිව්වේ. හැබැයි මේ යුනිකේත නිසා එහෙම ලියන්නේ නැතුව අපි කී-බෝඩ් එකේ ඉංග්‍රීසි ලියන විදියට ඉතා පහසුවෙන් සිංහල ලියන්න පුළුවන් වීම ඒ දවස් වල මට නම් ඇත්තටම හෙන සිරා දෙයක් විදියට පෙනුනේ. ඒ ආසාවට ඔහේ ලියපු එකයි කලේ.

මම සිංහල යුනිකෝඩ් සමුහය එක්ක එකතු වෙච්ච හැටි මම කලින් පෝස්ට් වල ලිව්වා. ගොඩක් අය මේ සිංහල යුනිකේත මේ අද තියෙන තත්වයට ගේන්න මහන්සි වෙලා තියෙනවා. ඒ වගේම මට කලින් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්ත අය හිටියා. දැන් වගේම නැති වුනත් බ්ලොග් වල හොඳ රසවත් කතා බහ තිබුන. 

ඉතින් බ්ලොග් ලියන එක මට නම් මෙච්චර කාලෙකට  මගේ පුද්ගලික ජිවිතේටවත්, රැකියාවටවත් අමුතු බාදාවක් හෝ වාසියක් වෙච්ච දෙයක් නෙවෙයි. මේක දවසේ පැය 24න් පැය 12ක් විතර පරිගණකය ඉස්සරහ ගත කරන රස්සාවක් කරන අතරේ සිංහලෙන් මොනවා හරි ලියන්න හිතුනහම ඔහේ ලියන්න පාවිච්චි කරනව එච්චරයි. 

ඒ ඒ කාල වලදී මුණ දෙන්න සිද්ද වෙච්ච  එදිනෙදා සිද්දි නැත්නම් ඒ ඒ කාලවලට ජිවිතේ ගැන හිතෙන හැටි, නැත්නම් ඔය වල් පල් ටිකක් ඇර වෙන වැදගත් වගේ දේවල් මේකේ නෑ.  ඊට වැඩිය සමාජයට ප්‍රයෝජනවත් වගේ දෙයක් ලියන්න ඇත්තටම මම දන්නේ නෑ කියන්න පුළුවන්. මොකද මම සාමාන්යෙන් මොනවා හරි ලියන්න කලින් හිතල බලනවා මේ ලියන්න යන එක ගැන මම හරියටම දන්නවද කියල. ඔහොම හිතල බැලුවම මම ඇත්තටම මොකුත් දන්නේ නෑ කියල තමයි මට හිතෙන්නේ. ඉතින්  නොදන්න දේවල් ලියන්නේ කොහොමද කියල මම ඕවා ලියන්නේ නෑ.

හැබැයි එක වෙලාවකට මම දන්නා සමහර දෙවල් ලියන්න ඕනේ කියල හිතෙනවා. හැබැයි තාම මට ඒ දේවල් ලියන්න හරියටම හිතුනේ නෑ. හිතුන වෙලාවක ලියන්නම්.

සිංහල බ්ලොග් ලෝකේ බොහොම අපූරු මිනිසුන් ඉන්න තැනක්. හැම දෙයකදිම වගේ හොඳ සහ නරක කියන දෙකම තියෙන නිසා මේ බ්ලොග් කියවීම රසවත් දෙයක් වෙලා තියෙනවා. මම බොහොම අඩුවෙන් බ්ලොග් කරුවන් සමග සම්බන්ධ වෙන කෙනෙක්. එහෙම වෙලා තියෙන්නේ එකක් ඒ මගේ හැටි වීම සහ අනිත් එක අන්තර්ජාලය ට වඩා මම සැබෑ ලෝකේ ඉන්න මිනිස්සු එක්ක හොඳින් එන්න කැමති වීම. ඒ කියන්නේ මම වර්චුවල් ප්‍රතිරූප ගැන තාම එතරම් විස්වාස කරන්නේ නෑ..  එකෙන් අදහස් වෙන්නේ නෑ වර්චුවල් ඉන්න අය නරක මිනිස්සු කියල නමුත් මම වඩා කැමතියි දන්න කියන ගෙදර මිනිස්සු ටිකත් එක්ක වැඩි පුර කාලයක් ගත කරන්න. 

බ්ලොග් ලෝකේ විවිධ දේවල් සිද්ද වෙනවා. බොහෝ අය ඇවිල්ල යනවා. බොහෝ හොඳ දේවල් සිද්ද වෙනවා. බ්ලොග් නිසා හඳුනා ගෙන බොහෝ උපකාර කරපු අය ඉන්නවා.  මමත් පුළු පුළුවන් හැටියට උපකාර කිහිපයක් කරලත් තියෙනවා. ඉතින් කොයි දේ වගෙත් මේකත් ජීවිතෙත් එක්ක ගලාගෙන යන තව එක දෙයක් විතරයි. අනිත් සම්බන්ද කම් වගේම බ්ලොග් නිසා ඇතිවුන සම්බන්ද කමුත් ඒ විදියට ගලාගෙන යයි.

මට ඉතින් කියන්න තියෙන්නේ දන්නා දෙයක් ලියල තමන්ටවත් අනුන්ටවත් ඇණයක් නොවී මේ වැඩේ කරගෙන යමු කියල.  අපි වගේම අනිත් මනුස්සයත් එක එක විදියේ ප්‍රශ්නත් එක්ක ජිවත්  වෙන තවත් කෙනෙක් කියන එක පොඩ්ඩක් කල්පනාවට ගත්තම අපිට කෙනෙකුගේ ජිවිතයට ඇණයක් වෙන්න හිතෙන්නේ නෑ. හැබැයි ආතල් එකට නම්  මල ඇණයක් වුනත් කමක් නෑ...

අට වසරේ පොර ටෝක් අවසානයි නමය වසරේදී නැවත හමුවෙමු




Sunday, August 03, 2014

බ්ලොග් එක CV එකට දැමීම. ඉනටර්විව් පොර ටෝක් සමග කරපු චාටර් වැඩක්...!!!

මම මගේ CV එකේ මේ බ්ලොග් එක ගැන සඳහනක් දාල තියෙන්නේ. ඔය එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් කියන අන්සෙට අදාලව. මගේ CV එකේ ඒ අන්සේ නම  දාල තියෙන්නේ Skills and Competencies කියල. ඒ කියන්නේ මට සිංහල සහ ඉංග්‍රීසි වලින්  යමක් ලිවීමේ හැකියාව තියෙනවා කියන එක ඔප්පු කරන්න තමයි ඕක දාල තියෙන්නේ..

බ්ලොග් එකක් CV එකට දාන එක ගැන අපි එච්චර නොහිතුවට එකෙන් සැහෙන ප්‍රයෝජන තියෙනවා. විශේෂයෙන්ම ඔය යම් කිසි විෂය කරුණු ගැන ලියන අයට, එහෙම නැත්නම් තාක්ෂණික දේ වල් ලියන අයට. තමන් කරන රැකියාවට කෙලින් ම අදාළ ව හෝ අදාළ නොවුනත් තමන්ගේ යම් හැකියාවක් පෙන්නුම් කරන්න CV එකේ තමුන්ගේ බ්ලොග් අඩවිය සඳහන් කිරීම වරදක් නෙවෙයි කියල මම හිතන්නේ.. ලියන දේවල් වල ස්භාවය අනුව පොඩි පොඩි අවුල් තිබුනට ලංකාවේ ජොබ් එකකදී නම් ඉතින් බ්ලොග් එක ගැන CV එකේ දාන එකෙන් හොඳක් වෙන්න තියෙන ඉඩ වැඩියි. ගොඩක් වෙලාවට අපි නොදන්නවා උනාට අපිව ඉන්ටර්විව් කරන කෙනා අපේ බ්ලොග් එක කියවන්නෙක් වෙන්න පුළුවන්..  ඉතින් පොඩි සපෝර්ට් එකක් ඉබේම ලැබෙන්නත් ඉඩ තියෙනවා ඒ වගේම ජොබ් එකට කෙල වෙලා යන්නත් පොඩි චාන්ස් එකක් තියෙනවා... හෙහ් හෙහ් මම නම් CV එකට බ්ලොග් එකේ ලින්ක් එක නම් දැම්මේ බ්ලොග් එක පටන් ගත්ත දවස් වලමයි. 

 කාලයක් එකම කොම්පැනියේ වැඩ කරනකොට මේ අපි වගේ සොෆ්ට්වෙයාර් ජොබ් කරන අයට නිකන් මාරු වෙන්න ඕනේ කියන හැඟීම එනවා. ඒ කියන්නේ අපි කරන දේවල් නිතර වෙනස් වෙන නිසා පොඩ්ඩක් අප්ඩේට් වෙන්නයි පඩිය පොඩ්ඩක් වැඩි කර ගන්නයි ඉතින් ඒක හොඳ වැඩක්.  කොහොමත් ඉස්සර වගේ දැන් දැන් අවුරදු 15-20 එකම තැන වැඩ කරනවා අඩුයි නේ පුද්ගලික අංශ වල රැකියා කරන අය.

ඉතින් මිට අවුරුදු එකහමාරකට  විතර කලින් මමත් ඔහොම CV එක දැම්ම. ඔය ඇබෑර්තු තියෙන තැන් වලට. මුලින්ම සෙට් වෙච්ච තැන ඉන්ටර්විව් එක පොඩ්ඩක් අවුල් ගියා මොකද අවුරුදු 3කට විතර පස්සේ මුලින් ම ගියාම අහන ප්‍රශ්න ගැන හරි අයිඩියා එකක් නැති නිසා. එතන පට්ට ටෙක්නිකල් සහ අනිත් එක මම කරපු දේවල් වලට අදාළව නෙවෙයි එයාලගේ අවශ්‍යතාවය තිබුනේ.  මගේ නම් අදහස සොෆ්ට්වෙයාර් ජොබ් කරන අය අවුරුද්දකට 2කට විතර සැරයක් නිකමට වගේ CV එක දාල ඉන්ටර්විව් ගිහින් බැලුවට කමක් නෑ. එතකොට තමන්ගේ දැනුම ගැන පොඩි අදහසක් ගන්න පුළුවන්.

ඊට පස්සේ තමයි මේ මැලේ රටේ එකේ ඉන්ටර්විව් එකට ගියේ. එතනත් ඉතින් 3 දෙනෙක් විතර ඇවිත් පැයක් විතර එක එක දේවල් ඇහුව. හෙනම ටෙක්නිකල් නෙවෙයි හැබැයි කරපු ප්‍රොජෙක්ට්ස් ගැනයි, සමහර ටෙක්නිකල් දේවල් ගැනයි ඇහුව. වැඩිපුරම ඔය කොම්පැනි ගැනයි, ලංකාව ගැනයි, ආගිය කතායි ඒව මේවා තමයි. පස්සේ පොඩි ටෙස්ට් එකක් කරන්නත් වුණා. 

ටික දවසක් යනකොට මෙන්න ආයේ තව කොම්පැනි එකකින් කෝල් එකක් ආවා. මැලේ රටේ එක ගොඩ යයි කියල පොඩි ෂුවර් එකක් තිබුනට ඔන්න ඔහේ කියල මේකටත් ගියා. මොකද ඒ කොම්පැනි එකට පොඩ්ඩක් හදිසි වෙලා තමයි මේ ගන්න හදන්නේ. මට පුළුවන් තරම් ඉක්මනට ඉනටර්විව් එකට එන්න කියල තමයි එයාල කෝල් කලේ. ඔතන අර මගේ අතීසාර මිත්‍රයින්ගෙන් එකෙකුත් වැඩ කළා. ඌට අනුව නිකන් ඉල්ලන ගානක් දීල ගන්න තරම් හදිසි තත්වයක් ලු තිබුනේ. 

එතන ඉන්ටර්විව් 3කට යන්න වුණා. පළවෙනි එක ටෙක්නිකල් එකක්. එයාලගේ අවශ්‍යතාවය වුනේ Android වලට කෙනෙක් ව ගන්න. මම ඒ දවස් වල Android කරපු නිසා ඒ ටෙක්නිකල් ඒවා ගේමක් නැතුව ගොඩ දැම්ම. පස්සේ අහපු සමහර දේවල් එහෙන් මෙහෙන් අවුල් ගියත් ඔන්න දැන් පලවෙනි එක ගොඩ. දැන් ඉතින් පඩි නඩි කොච්චර ඕනෙද එහෙම ඇහුවා. මට ඉතින් මෙතන සෙට් වුනත් එකයි නැතත් එකයි වගේ නිසා මම ටිකක් වැඩි පුර ඉල්ලුවා. ඉන්ටර්විව් එකේ හිටපු CTO බුවා හිනා වෙලා කිව්වා එච්චර නම් දෙන්න අමාරුයි ඕනනම් මෙච්චරක් දෙන්නම් කියල. මම කිව්වා එහෙනම් තේරුමක් නෑ. ඔය ගානට එන එක පාඩුයි කියල. 

කොහොමත් ජොබ් එකකට යනකොට මුලින් ම අපි කතා කරලා ගන්න ගානක් තමයි. ඊට පස්සේ ඉතින් ගොඩක් වෙලාවට කැරට් කකා තමයි ඉන්න වෙන්නේ. 

කොහොම හරි ඉතින් දවස් 2ක් විතර යනකොට මෙන්න මුන් මට ආයේ කෝල් කරනවා තව ඉන්ටර්විව් එකක් තියෙනවා පොඩ්ඩක් එන්න පුළුවන් ද කියල.. 

මට ඇති මහා වැඩක් නොතිබුනත් මම කිව්වා අද නම් හෙන බිසී අද එන්න බෑ ඕනනම් හවස 5න් පස්සේ එන්නම් කියල. එහෙම කියල 6ට විතර වෙලාව සෙට් කරන් ගියා. 

ගිහින් දැන් අර එදා හිටපු CTO බුවා එහෙම හම්බ වෙලා තව කෙනෙක් එක්ක පොඩි සාකච්චාවක් දැම්ම. ඔය පොඩි පොඩි  ප්‍රශ්න ටිකක් අහල දැන් මම ඉල්ලපු ගාන පොඩ්ඩක් අඩු කරගන්න හෙන ට්‍රයි එකක් දෙනවා. මම ඉතින් කිව්වා මට දැන් ඉන්න තැන කිසි අවුලක් නෑ ඉතින් ඒ ගානට වඩා අඩුවෙන් නම් එන එක තේරුමක් නෑ. අරකයි මේකයි කියල. මොකද මම දන්නවා දැන් මෙයාලට මාව ගන්න ෆුල් උවමනාවක් තියෙනවා කියල. අනිත් එක ඔය දවස් වෙනකොට මැලේ රටේ එක හරි ගිහින් තිබුනේ. ඒ කියන්නේ මාව සිලෙක්ට් කියල ඔෆීසියලි දන්නල තිබුනේ.  හැබැයි මම ඒ වෙනකොට ස්ථිරව තීරණේ කරලා තිබුනේ නෑ මැලේසියාවට එනවද කියල. මොකද මට රට යෑම ගැන එච්චර උනන්දුවක් කොහොමත් තිබුනේ නැති නිසා.

හැබැයි ඉතින් එදා ඉන්ටර්විව් එකෙන් පස්සේ මට තීරණයක් ගන්න වුණා. ඒ කියන්නේ එක්කෝ මැලේසියා යනවා නැත්නම් මේ කොම්පැනි එකට සෙට් වෙනවා. මෙතනට සෙට් වෙන්න මට පොඩි කැමැත්තකුත් තිබුන. මොකද එතන මට Android තමයි කරන්න තිබුනේ. මම ඒ වෙනකොට තීරණේ කරලා තිබුනේ දිගටම Mobile පැත්තෙන්ම කරනවා කියල මොකද මට එක එක තාක්ෂණික පැති වල වැඩ කරල ටිකක් ඇති වෙලා තිබුනේ.. ඔන්න ඔහේ  Android App එකක් හදාගෙන ඉන්න පුළුවන්නෙ කියල හිතාගෙන හිටියේ...

හැබැයි ඉතින් අනිත් අතට මැලේසියාවෙ අත්දැකීමත් වැදගත් කියල හිතුනා. ඔය අතරේ දැන් මම මැලේසියා ගියාම බට්ටි නගා ට ජොබ් එකෙන් අස් වෙලා එන්න වෙන ප්‍රශ්නෙත් තිබුනා. අපි දෙන්න නිකන් ගහයි පොත්තයි වගේ 24x7 එකටම හිටපු නිසා යනවනම් දෙන්නම යනවා කියල තමයි හිතාගෙන හිටියේ. ඊට පස්සේ මම ඕනේ එකක් වෙන්න කියල මැලේසියාවට දැන්නුව මම එන්නේ බට්ටි නගාටත් ජොබ් එකක් දෙනවනම් විතරයි කියල. එහෙනුත් කිව්වා හරි CV එක එවන්න එකක් සෙට් කරන්නම් කියල..

දැන් ඔහොම දවසක් දෙකක් ගියා.

මෙන්න අර කොම්පැනියෙන් මට ආයේ කෝල් එකක් එනවා. හරි අපි ඔයාව තොර ගත්ත තව ඉන්ටර්විව් එකක් තියෙනවා අපේ CEO ද කවුද එක්ක. වහාම එන්න කියල. දැන් ඉතින් මොකද කරන්නේ. ඔන්න ඔහේ ඕනේ එකක් වෙන්න කියල එකටත් ගියා.

දැන් තමා මාතෘකාවට අදාලව සිද්දිය  හෙහ් හෙහ්

වෙලාව රෑ 7ට විතර ඇති. මම ඉතින් පිළිවෙලකට ඇඳලා දැන් අර ඉන්ටර්විව් එකට සෙට් වෙලා ඉන්නවා. එතන ලොක්කා ගෑනු කෙනෙක්. අවුරුදු 40-45ක් වගේ ඇති.

සාමාන්‍ය විදියට දැන් කතාව පටන් අරන් යනවා.  මම ඉතින් පාඩුවේ අහන දෙකට උත්තරයක් දීගෙන ඉන්නවා.

මෙයා මගේ CV එක බලන ගමන් තමයි කතාව. 

ඉංග්‍රීසියෙන් ගිය කතාව සිංහලෙන් මෙහෙමයි

ලො :ඔයා බ්ලොග් එකක් ලියනව නේද?
මම : ඔව් ලියනවා. මම ලින්ක් එක දාල තියෙනවා
ලො: පොඩ්ඩක් ඉන්න මම බලන්නම්
(ලැප්ටොප් එකෙන් මගේ මේ බ්ලොග් එක බලන ගමන්)
ලො : සිංහලෙන් නේද ලියන්නේ ඇයි ඉංග්‍රීසියෙන් තාක්ෂණික දේවල් තියෙන බ්ලොග් එකක් ලියන්නේ නැත්තේ?
මම : දවසම ටෙක්නිකල් වැඩ කරන නිසා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න මම ඕක ලියන්නේ. ටෙක්නිකල් ඒවා ලියන්න මට කම්මැලියි.
ලො: ඒක හොඳයි හැබැයි ඔයා වගේ සීනියර් අය ටෙක්නිකල් එකක් ලියන්න ඕනේ නේ. ගොඩක් වටිනවා එහෙම එකක් ලියන එක.
මම : ඔව් මම දන්නවා. ඒ වුණාට මට කම්මැලියි. තව ගොඩක් ටෙක්නිකල් බ්ලොග්ස් තියෙනවනේ. සිංහල බ්ලොග්ස් අඩුයි නේ.
ලො: මොනවාද ඔයා නිතර බලන ටෙක්නිකල් බ්ලොග්ස්
මම : http://javarevisited.blogspot.com/,http://stackoverflow.com/
ලො: ඔයා පොත් කියවනවද?
මම : ඔව්
ලො :මොකක් ද අන්තිමට කියවපු පොත
මම : පාවුලෝ කොයියෝ ගේ විනාඩි 11 කියෙව්වා. තව එකක් කියවන්න ගත්තා මට නම මතක නෑ.
ලො: නෑ නෑ මම ඇහුවේ ටෙක්නිකල් පොත් කියවනවද කියල?
මම: නෑ. ගොඩක් ටෙක්නිකල් දේවල් ගුග්ල් එකෙන් හොයා ගන්න පුළුවන් නේ.
ලො: ඒ වුනාට පොත් වල ගොඩක් දේවල් තියෙනවා. වෙබ් එකේ තියෙන දේවල් විතරක් මදි හොඳ අවබෝධයක් ගන්න.
මම : ඔව් ඒක ඇත්ත. මම මොනවා හරි දෙයක් දැන ගන්න ඕනේ වෙලා ඒක වෙබ් එකේ නැත්නම් පොත් බලනවා. එහෙම නැතුව කියවන්නේ නෑ.
ලො: Effective Java කියවල තියෙනවද?
මම: ආ එකේ චැප්ටර්ස් 2-3ක් කියවල තියෙනවා. ඔක්කොම කියවල නෑ
ලො: වෙන මොන පොත් ද බලන්නේ?
මම: මම ගොඩක් වෙලාවට ඔය ස්පිරිචුවල් පොත් බලනවා. තව එතකොට ආචාර්ය ඊ.ඩබ්ලිව්.අදිකාරම් මහත්මයාගේ පොත් එහෙම බලනවා.
ලො: සිනාසෙමින්, මගේ තාත්ත ඩොක්ටර් අදිකාරම් ගේ හොඳ ෆෑන් කෙනෙක්. අපේ ගෙදර ඩොක්ටර් අධිකාරම් ගේ පොත් ගොඩක් තියෙනවා.
මම : ගොඩක් වටින දේවල් තියෙනවා ඒ පොත් වල
ලො: ඔව්. මමත් බලනවා
ලො: ඔයා මොකක් ද පාවිච්චි කරන ෆෝන් එක. මට බලන්න පුළුවන් ද?
මම : සිනාසෙමින්, ඔව් පොඩ්ඩක් ඉන්න
මම මගේ පතුරු ගිය nokia 1110i ෆෝන් එක සාක්කුවෙන් අරන් මේසේ උඩින් තිබ්බා
ලො: මොකක්, ඔයා කොහොමද මේ වගේ ෆෝන් එකක් පාවිච්චි කර කර Android Development කරන්නේ? ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි?
මම: මම Android Development කරන්න ඕනේ වෙලාවට ඔෆිස් එකෙන් දීල තියෙන ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරනවා. මේක මගේ පුද්ගලික පාවිච්චියට තියාගෙන ඉන්නේ.
ලො: ඔව් මම දන්නවා ඔෆිස් වල Development කරන්න වෙනම ෆෝන් තියෙනවා තමයි. හැබැයි ඔයාල වගේ තරුණ අය අලුත් ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරලා ඒ වයේ තියෙන අලුත් දේවල් ඉගෙන ගන්න ඕනේ නේ. නැත්නම් කොහොමද හොඳ Apps හදන්නේ?
මම: ආ එකට මගේ ළඟ තියෙනවා Galaxy Tab එකක්. මම ඒක පාවිච්චි කරන්නේ ඒ වගේ වැඩවලට. නමුත් දැන් මගේ ළඟ ඒක නෑ. ඔබට අවශ්‍ය නම් මම කාර් එකට ගිහින් ඒක අරන් ඇවිත් පෙන්නනම්
ලො: සිනාසෙමින් නෑ නෑ ඕනේ නෑ.. ඔයා හරි ඉන්ටරෙස්ටින් චරිතයක් වගේ..
මම: පොඩි හිනාවක්
ලො: ඔයා බැඳලා නේද? වයිෆ් මොනවාද කරන්නේ?
මම: එයත් Java කරන්නේ?
ලො: අ හොඳයි දෙන්නම ටෙක්නිකල් කරන නිසා මිට වැඩිය ටිකක් ටෙක්නිකල් පැති ගැන උනන්දු වුණා නම් නේද හොඳ?
මම: ඔව් ඒක ඇත්ත. මම වැඩ කරන පැය 8 වැඩ කරනවා ඊට පස්සේ නෑ.. ජිවිතේ තව ගොඩක් ඉන්ටරෙස්ටින් දේවල් තියෙනවා ටෙක්නිකල් දේවල් වලට වැඩිය.
ලො: සිනාසෙමින්, ඔව් ඒක හරි හැබැයි රස්සාව හරියට කරන්න තව අමතර දේවල් ඉගෙන ගන්න ඕනේ. අනිත් එක ඔයා සීනියර් කෙනෙක් විදියට ටීම් එකේ ඉන්න අනිත් අයට ඒවා කරන්න ආදර්ශයක් විදියට ඉන්න ඕනේ නේ. ඔයාගේ වයිෆ් ට වුනත් ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවනේ.
මම : සිනාසෙමින්. කරුණාකරලා මාව වැරදියට තේරුම් ගන්න එපා. මේ ජොබ් එක මට හම්බ වුනත් නැතත් මම අවංකවම දෙයක් කියන්නම්. 
ලො: සිනාසෙමින්, ඔව් කියන්න ඇය බොහෝ උනන්දුවෙන් බලා සිටියි.
මම:මම දැන් කාලයක් තිස්සේ වැඩ කරලා තේරුම් ගත්ත දෙයක් තමයි අපිට ගොඩක් ඉෆෙක්ටිව් විදියට වැඩ කරන්න නම් අපි රිලැක්ස් එකේ ඉන්න ඕනේ. ෆුල් ම ටෙක්නිකල් චරිතයක් කියන්නේ සාර්ථක මනුස්සයෙක් නෙවෙයි. ජිවිතේ තව ගොඩක් සුන්දර දේවල් තියෙනවා. අපි ටෙක්නිකල් රස්සාවල් කරනකොට අපිට ඒ වගේ දේවල් මිස් වෙනවා වැඩියි. ඉතින් මම හිතන්නේ වැඩ කරන පැය 8 හරියට වැඩ කරනවා ඊට පස්සේ මම කැමති විදියට ජිවත් වෙනවා. හැබැයි හදිසි වේලාවකදී මම රෑ එලි වෙනකම් වුනත් වැඩ කරන්න ලෑස්තියි නමුත් අනිත් වෙලාවට නම් එහෙම කරන්නේ නෑ. මගේ ටීම් එකේ අයටත් ඉතින් මම ඔය විදියටම කියයි. මම මගේ වයිෆ් ටත් ඕකම තමයි කියන්නේ. මේ අවංකවම මගේ හැටි. මට මේ රස්සාව ගන්න බොරු කියන්න ඕනේ නෑ..
ලො: සිනාසෙමින්, ඔයත් එක්ක කතා කරන එක හරිම ඉන්ටරෙස්ටින්, මම හිතන්නේ ඔයාට අපිත් එක්ක හොඳට වැඩ කරන්න පුළුවන් වෙයි. දැන් ගොඩක් වෙලා ගිය නිසා අපි පස්සේ වෙලාවක ආයේ කතා කරමු. 
මම: හරි බොහොම ස්තුතියි.

ලො: නමුත් මට ඔයා ඉල්ලපු පඩිය නම් දෙන්න අමාරුයි. මට තව මෙච්චරක් වැඩි කරන්න පුළුවන්.ඒක තමයි මට ඔයාගේ පොසිෂන් එකට දෙන්න පුළුවන් උපරිම ගාන.
මම: හරි කමක් නෑ. මම කැමතියි. 
ලො: හරි එහෙනම් අපි ඔයාට ඔෆර් ලෙටර් එක රෙඩි කරලා කෝල් එකක් දෙන්නම්
මම: හරි බොහොම ස්තුතියි.
------------------------------------------------------------------------------------------------------------
මේ දෙබස මේ විදියටම සිද්ද වුණා. අතින් දාපු කිසි දෙයක් නෑ. 

මම මේ විදියට මේ ඉන්ටර්විවී එකේ කතා කලේ මට මැලේසියාවේ ජොබ් එක හරි ගිය නිසා ඕනේ එකක් වෙන්න කියලම නෙවෙයි. ඒක තිබුන නිසා පොඩි කික් එකක් තිබුන එක ඇත්ත. හැබැයි මම දැන් යන ඕනෙම ඉන්ටර්විව් එකකදී මගේ ඇත්ත විදිය කෙලින් කියනව. ඒ කියන්නේ බැරි නම් බෑ. මතක නැත්නම් මතක නෑ. ඒ කියන්නේ ගහගන්න වගේ නෙවෙයි. උඹල ගන්න හදන්නේ මෙන්න මේ වගේ එකෙක් කියන එක කලින් ම කියනවා. හෙහ් හෙහ්. එහෙම කරන එකේ  පොඩි රිස්ක් එකක් තිබුනට මම හිතන්නේ අපි එහෙම කියන කොට අනිත් කෙනාට අපි ගැන ඇතිවෙන ඉම්ප්‍රෂන් එක හොඳයි. මවා පෑමක් කලොත් ගොඩක් වෙලාවට අනිත් කෙනාට ඒක දැනෙනවා. එකෙන් අපිට හොඳක් වෙන්න තියෙන ඉඩ අඩුයි. ඒ වගේම අපිත් කරන්නේ ඒ ආයතනයට හොඳක්. මොකද බොරු කියල ජොබ් එක අරන් පස්සේ චාටර් වෙන එක කාටත් වැඩක් නෑනේ.

හරි ඉතින් 

පහුවදාම මෙයාල මට ඔෆර් ලෙටර් එක ගන්න කතා කළා. හැබැයි මම ගියේ නෑ. මොකද මට හරි තීරණයක් ගන්න විදියක් නැතුව ඒ වෙනකොට හිටියේ.

මම දවසක් දෙකක් ලියුම ගන්න යන්නේ නැතුව ඇද ඇද හිටිය. ඒ අතරේ අපි දෙන්න තීරණේ කළා දෙන්නටම යන්න සෙට් වුනේ නැත්නම් මැලේසියා යන්නේ නෑ. ඒ නිසා ඕනේ එකක් කියල ගිහින් මේ ඔෆර් ලෙටර් එක ගන්නවා කියල. ඉතින් මම ගිහින් ලෙටර් එක අරගෙන ආවා. අවංකවම නම් මම ලියුම අරන් එන අතරේ තීරණේ කලේ මැලේසියා යන්නේ නෑ. මම මේ ජොබ් එකට යනවා කියන එක. මොකද මේ කොම්පැනිය සැහෙන ස්ථාවර තත්වෙක තිබුන තැනක්. මගේ සැලසුම් කල කැරියර් පාත් එකට හරියට සෙට් වෙන තැනකුත් නිසයි මම එහෙම හිතුවේ.

මට ලියුමේ හැටියට රස්සාව බාර ගන්න තිබුනේ 2013 ජුනි මාසේ පළවෙනිදා ඉඳල. මේ වෙනකොට අප්‍රේල් අන්තිම කාලේ හෝ මැයි මුල.

කොහොම හරි ඉතින් මම ඉන්න තැනට අස්වීමේ ලිපිය දීල එතන වැඩ ටික සෙට්ල් කරලා හිටියේ.

ඔය අතරේ මැලේසියාවෙන් බට්ටි නගාට ඔන්ලයින් ඉන්ටර්විව් එකක් සෙට් කළා. බස්ටි නගා ගානට ඒක ගොඩ දැම්ම. දවසක් 2ක් යනකොට එකත් ගොඩ ගියා කියල දැන ගත්ත. 

හුටා දැන් මොකද කරන්නේ. එක පැත්තකින්  අපි දෙන්නට මැලේසියාවේ එකම තැන වැඩ කරන්න ජොබ්ස් දෙකක් තියෙනවා. අනිත් පැත්තෙන් මම වැඩ කරන්න ආස විදියේ ජොබ් එකක් බලෙන්ම වගේ දෙන්න හදනවා.

පස්සේ ඉතින් මම දන්නා දන්නා අයගේ උපදෙස් ටිකක් ගත්ත මේ සම්බන්ධයෙන්. හැමෝගෙම අදහස වුනේ මැලේසියා යන එක හොඳයි කියන එක.

ෆුල් ම අප්සෙට් වැඩේ උනේ අපි විසා එහෙම හම්බවෙනකල් ෂුවර් නැති නිසා අර කොම්පැණියට මම එන්නේ නෑ කියල කියන්න දවසක් දෙකක් පරක්කු කරපු එක. ඔය අතරේ ඒ කොම්පැනියෙන් වෙල්කම් ඊමේල් එකක් යවල මුළු කොම්පැනියටම අහවල් දවසේ ඉඳන් මෙන්න මෙයා කොම්පැනියට ජොයින් වෙනවා. තව බ්ලා බ්ලා බ්ලා එක්ක...සාමාන්යෙන් නම් එහෙම ඊමේල් එකක් යවන්නේ අලුතින් කෙනෙක් ආවට පස්සේ නේ.. මේක ඊට සති 2කට විතර කලින් මෙයාල යැව්වා. මටත් සී.සී කරලා.. ඉතින් දෙයියනේ මම කියල මොනවා කරන්නද.. 

ආයේ ඉතින් මණ්ඩලේ රැස් කරලා උපදෙස් අරන් මම පහුවදා හරි ඊට පහුවදා හරි ඒ කොම්පැනියේ එච්.ආර් මැනේජර් ට ඊමේල් එකක් යැව්වා. මෙන්න මේ වගේ සිද්දියක් නිසා මට එන්න වෙන්නේ නෑ බොහොම කනගාටුයි කියල. අවංකවම කිව්වොත් මට කෝල් එකක් දීල ඒක කියන්න හිත හදා ගන්න බැරි වුණා. මොකද හෙන වරදකාරී හැඟීමක් තිබුන නිසා. 

ඊමේල් එක දාල මම අර අතීසාර මිත්‍රයට චැට් එකක් දාල බැලුව කොම්පැනියේ තත්වේ ගැන..

"අන්න අර ගෑනි උඹට අමු කුණු හරුපෙන් බනිනවා. තොට ඉතින් ආයේ මේ කොම්පැනියේ ජොබ් එකකට එන්න වෙන්නේ නෑ කවදාවත් කියල..." !!!!!!!!!!

ඒ වැඩේ තමයි මම මෙච්චර කාලෙකට රස්සාවක් වෙනුවෙන් කරපු චාටර්ම වැඩේ..!! හැබැයි ඉතින් ඒ වැඩේ කරන්න වෙන හොඳ විදියක් හිතා ගන්න මට අදටත් බෑ...

ඊට පස්සේ ඉතින් අපි දෙන්න ඕනේ එකක් වෙන්න කියල මැලේ රටට ආවා. දැන් ඇවිල්ල මෙතන චින්නුන්ගේ ආතල් බල බල මේසයක් වටේට වෙලා ඉන්නවා.