Thursday, June 27, 2019

අමුතු සිත්තරා හෙවත් Zima Blue - 2 කොටස



මුල් කොටස


අප පැමිණි මගට වඩා වෙනස් මගකින් ඔහු මා සමග පිහිනුම් තටාකය වෙත ඇවිදගෙන  ගියා. බෝට්ටුවේ එන විට මා දුටු නිල්පාට රශ්මිය මේ තටාකයේ වූ නිල්පාට බව මට වැටහී ගියා.

"පිහිනුම් තටාකයක්?" මම ඇසුවා

"මෙතන තමා ඒ හැමදේම වෙන්නේ... මගේ අවසාන නිර්මාණය සහ සමුගැනීම"

එය එතරම් හොඳ තත්වයේ තිබුනේ නෑ... කුඩා රොබෝවන් කිහිප දෙනෙක් තටාකයේ කැඩුණු ටයිල් වෙනුවට අලුත් ටයිල් අල්ලමින් සිටි අතර, තවත් පිපිරුම් කිහිපයක් ද මා දුටුවා... 

"ග්‍රහලෝක පාට කරපු ඔබ අවසන් නිර්මාණය කරන්න මෙවැනි තැනක් තෝරා ගැනීම නිකං ගැලපෙන්නේ නෑ වගේ නේද..?"

"මට එහෙම හිතෙන්නේ නෑ... මෙතනින් හැමදේම ඉවර වෙයි... මං ඒ කරපු හැමදේම අවසානයේ මාව ගෙනාවේ මෙතෙන්ට..." ඔහු සන්සුන්ව පැවසුවා.

"මේ පරණ තටාකෙට..?"

"මේක පරණ තටාකයක් පමණක් නෙවෙයි..."

එසේ කියමින් ඔහු මා සමග ඇවිද ගියා...

"ඒ චිත්‍ර සියල්ල මම ඉතා කැමැත්තෙන් ඇන්දේ... ඒවා එතරම් විශාල වුනේ විශ්වය කියන්නේ විශාල තැනක් හින්ද..."

"ඒවා ඉතා විශිෂ්ටයි..!"

"ඒවා ජනප්‍රියයි, විශාලයි,  අමුතුයි.... නමුත් හැඟීම් විරහිතයි... මගේ හදවතින්ම මම ඇඳපු චිත්‍ර වුනත් ඒවායේ කිසිම ජීවයක් තිබුනේ නෑ...  "

මම කිසිවක් කිව්වේ නෑ... Zima ගේ චිත්‍ර ගැන මට හැමදාම තිබුනෙත් ඒ වගේ හැඟීමක්... ඒවායේ තිබුනේ ආකර්ශනීය  නමුත් හිතට හුදෙකලා ගතියක් දැනෙන හැඟීමක්. හරියට විශ්වය වගේ. බොහෝ දෙනෙක් ඒවා අගයන්න හේතුව වෙන්න ඇත්තේ ඒවා  Zima නම් සයිබෝගයාගේ  නිර්මාණ නිසා වෙන්න ඇති. හරියට කටින් පින්සලක් ගත්ත කෙනෙක් මොකක් ඇන්දත් මිනිස්සු ඒක අගයනවා වගේ ...

"මගේ චිත්‍ර වල තිබුනේ සක්වළ ඇති සැටියෙන්. අලුත් දෙයක් තිබුනේ නෑ. ඒ චිත්‍ර වලින් මම ගැන කිසිවක්  කියාගන්න මම අසමත් වුනා. මගේ සුපිරි ශරීරය නිසා මම ඇවිදපු,  දැකපු, මට දැනුන කිසිම දෙයක් ඒ තරම් වැදගත් දේවල් නෙවෙයි. අතත්‍ය යාතාර්ථික පහසුකම් සහිත ඩ්‍රෝන්  එකක් තියෙන වෙන ඕනෑම ශිල්පියෙකුටත් මේවා මේ විදියටම අඳින්න පුළුවන් ."

"මම හිතන්නේ ඔබ ඔබ ගැන ඔයතරම් අඩුවෙන් සිතිය යුතු නෑ..." මම කීවෙමි.

"ඇත්තටම එහෙම එකක් නෑ... මට දැන් මෙහෙම කියන්න පුළුවන් වෙලා තියෙන්නේ මම වැදගත් නිර්මාණ කරපු නිසා කියල මම දන්නවා. නමුත්, ඔහු මදක් නැවතුණි. " ඒක වුණේ කිසිම සැලසුමකින් තොරව... මගේ පාලනයකින් තොරව"

"ඔබ කියන්නේ නිල් වැඩ ගැනද ..?"

"නිල් වැඩ ..." ඔහු හිස සලමින් පැවසුවා. "ඇත්තටම ඒක පොඩි අත් වැරද්දක්... තනි කළු කැන්වස් එකේ ඔය නිල්පාට පැල්ලමක් වැටුණා.  හැබැයි ඒක දැක්ක ගමන් මාව තිගැස්සුනා. හරියට කරන්ට් එක වැදුනා වගේ. මගේ ඇඟේ සර්කිට් එකක වයර් මාරු වුණා වගේ හැඟීමක් ඒක. හරියට ඒ වයර් මාරුව කොහේදෝ තිබුණු අමතක වෙච්ච මතකයක් එක පාරට පත්තු කළා වගේ. මගේ ජිවිතේ තිබ්බ වැදගත්ම පාට ඒක කියන එක මට ස්ථිර වුණා... "

"මොකක් ද ඒ මතකය ..?

"ඇත්තටම එහෙම මතකයක් මට තිබුනේ නෑ... මට දැනුන එකම දේ ඒ නිල්පාට මට කතා කළා වගේ හැඟීමක්. හරියට මම මගේ මුළු ජිවිත කාලෙම ඒ පාට හමුවෙනකම් බලාගෙන හිටිය වගේ. මගේ ඇතුලේ හිර වෙලා තිබ්බ දෙයක් එක පාරට එලියට පැන්න වගේ... "

ඔහු මදක් නිහඩව කල්පනාවට වැටුනේය...

"ඒ නිල්පාටෙ මොකක් දෝ දෙයක් තිබුනා. අවුරදු දාහකට කලින් Yves Klein කිව්වේ එක වර්ණයක් අනිකුත් වර්ණ සියල්ලම අභිබවා යන්නේ ඒ වර්ණයේ සාරය නිසා කියල. එක්තරා මනුස්සයෙක් එයාගේ මුළු ජිවිතයම තමන් කුඩා කාලයේදී දුටු නිල්පාටක් හොයමින් ඉඳල තියෙනවා. නමුත් ඔහුට ඒක හොයා ගන්න බැරි වෙනකොට ඔහු අවසානයේ තීරණය කරනවා එය තමන් හිතෙන් මවා ගත් පැහැයක් මිසක් ඇත්තට තියෙන එකක් නෙවෙයි කියල, නමුත් එක දවසක් අහම්බෙන් වගේ ඔහු ඒ වර්ණය දකිනවා. ස්වභාවික විද්‍යා කෞතුකාගාරයක හිටපු කුරුමිනියෙකුගේ පාට ඒක..."

"Zima Blue කියන්නේ මොකක් ද? කුරුමිනියෙකුගේ පාට ද?" මම ඇසුවා

"නෑ...කුරුමිනියෙක් නෙවෙයි. නමුත් මට උත්තරේ හොයා ගන්න ඕනේ වුනා. මට ඕනේ වුනා ඒ වර්ණය මට මෙතරම් බලපෑමක් කරන්නේ මොකද කියල හොයා ගන්න...."

" ඔබ ඔබට බලපෑම් කරන්න ඉඩ ඇරලා හිටියා නේද...? "

"මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ... නමුත් නිල් පාටේ බලපෑම වැඩි වෙන්න වෙන්න මට තේරුම් ගියා උත්තරේට ළඟා වෙන්න  පහසු බව... නිල්පාට තුල ගිලී යන්න ඉඩ හැරියොත් මට ඒක හොයා ගන්න පුළුවන් වෙයි කියල මට හිතුනා. මම කියන්නේ කවුද කියල හොයා ගන්න මට පුළුවන් වෙයි කියල මගේ හිත කිව්වා..."

"ඉතින්...? හොයා ගත්ත ද...? "

Zima නිහඩව සෙමෙන් ඉදිරියට ඇදුනා... ඔහු ඉතා ගැඹුරු කල්පනාවකට වැටුනා වගේ... අඳුරත් සමග හමා ආ සිහිල් සුළං රැල්ලත් එක්ක මට සීතලක් දැනුනා. මගේ කෝට් එක දාගෙන ආපු නැති එක ගැන මට මතක් වුනත් Zima ගෙන් එකක් ඉල්ලගන්න මට හිතුනේ නෑ... ඔහුගේ කල්පනාවෙන් ඔහුව මුදවන එක පාඩුයි කියල මට හිතුනා...".

"මතකයන් වල ඇති වරදින සුළු බව ගැන අපි කතා කළා නේද...?" ඔහු ඇසුවා

"ඔව්"

"මගේ මතකයත් එතරම් සම්පුර්න වුනේ නෑ..."  මතක මොඩියුලයක් බද්ධ කර ගත්තට පස්සේ ඉඳල හැම දේම මතක තිබුනට ඊට කලින් ඒවා එතරම් පැහැදිලි නෑ...ඒ ටික පහුගිය අවුරුදු 300 ක් විතර... හැබැයි මම ඊට වඩා ගොඩක් වයසයි කියල මම දන්නවා". මතක බද්ධයට කලින් සිද්දි ගැන තියෙන්නේ තරමක් නොපැහැදිලි කමක්. සමහර දේවල් එකට එකතු කර ගන්න අපහසු කමක් තිබුනා."  සෙමින් නතර වූ ඔහු මා දෙස හැරෙමින් පැවසුවා.

බැසයන හිරුගේ මලානික තැඹිලි පැහැයෙන් ඔහුගේ මුහුණේ පසක් එලිය වැටී තිබුනා.

"මම තේරුම් ගත්තා මේ Zima Blue ගැන හරියටම හොයා ගන්න නම් මට මගේ මතකය සම්පුර්ණයෙන්ම අවුස්සලා එලියට ගන්න වෙනවා කියල... "

"ඉතින් කොච්චරක් දුරට හොයා ගත්ත ද...?"

"ඒක නිකන් පුරාවිද්‍යාව වගේ... මම ටිකෙන් ටික මතු කර ගන්න උත්සාහ කළා. මම  ඉස්සෙල්ලම කලේ මතක බද්ධයෙන් පස්සේ ඉතිරි වෙලා තිබ්බ එක පරණ මතකයක් ගැන හොයන එක.  ඒ මතකය මාව Kharkov 8 වලට අරන් ගියා.  ඒක Garlin Bight වල තියෙන ග්‍රහලෝකයක්. මෙහෙ ඉඳල ආලෝක වර්ෂ 90000ක්  විතර දුරින්. මට තිබ්බ මතකය තමයි එහෙ හිටපු එක මනුස්සයෙක්. ඔහුගේ නම කොබාගෝ..."

"AM ගේ උදව්වක් නැතුවත් මම Garlin Bight ගැන යම් යම් දේවල් දැනගෙන හිටියා. තව ජිවය තියෙන ග්‍රහ පද්ධතීන් 600ක් විතර ඔය Garlin Bight වල තියෙනවා. ඒ ටික ගැලක්ටික් බලවතුන් කිහිප දෙනෙකුට යටත් වෙච්ච චක්‍රාවාට නීති හරියට ක්‍රියාත්මක නොවෙච්ච ප්‍රදේශයක්."

"Kharkov 8 කියන්නේ එයින් එක තැනක්. ප්‍රසිද්ද වෙලා තිබුනේ වෛද්‍ය කටයුතු වලට. අයතා සයිබර්නතික වැඩ ඕනේ දෙයක් වැඩි කරදරයක් නැතුව කර ගන්න හැකියාව එහි තියෙනවා..."

" එහිදීද එතකොට...?

"එහිදී තමයි මම මේ ඉන්න තත්වෙට පත්වුණේ..." Kharkov 8 වලින් පස්සේ ගොඩක් වෙනස් කම් මම කර ගත්තා... හැබැයි මගේ ශරීරයේ මදය මේ හමට යටින් දැම්මේ කොබාගෝ ගේ ක්ලිනික් එකේදී...



"ඒ කියන්නේ Kharkov 8 යන්න කලින් ඔබ සාමාන්‍ය මනුස්සයෙක්...?" මම ඇහුවා

"එතෙන්දි තමා මේ කතාව සංකීර්ණ වෙන්නේ... මම Kharkov 8 වලට ගිහින් කොබාගෝ ගැන හොයා බැලුවා. මට ඕනේ වුනේ සුලමුල හොයා ගන්න කොබාගෝ ගෙන් උදව්වක් ගන්න නමුත් ඒ වෙද්දී මිනිහා අතුරුදහන් වෙලා. එයාගේ මුණුපුරා තමයි ක්ලිනික් එක කරගෙන හිටියේ."

"මුලින් පොඩ්ඩක් අදිමදි කලාට පොඩි සන්තෝසමක් දුන්නට පස්සේ සීයාගේ ලොග් සටහන් වල තියෙන තොරතුරු හොයල දෙන්න මුණුපුරා කැමති වුනා..."

මේ වෙද්දී අහසයි මුහුදයි දෙකම අලුපාටට හැරිලා තිබුනා...  නිල්පාට අතුරුදහන් වෙලා

"ඉතින් මොකද වුනේ...?"

"ඒ ලොග් සටහන් වලට අනුව මම කවදාවත් මනුස්සයෙක් වෙලා ඉඳල නෑ..." ඔහු මොහොතකට නිහඬ වුණා, ඔහුගේ හඬේ තිබුනේ විශ්වාසනීය බවක්. "මම ඒ ක්ලින්ක් එකට යන්න කලින් Zima කියල කෙනෙක් ඉඳල නෑ..."

"අයියෝ AM හිටියනම්...." මගේ හිත හිමිහිට මුමුනවා මට ඇහුනා

"ඒ කියන්නේ උඹ කවුද...?"

"යන්ත්‍රයක්... ඔහු කිව්වා. සම්පුර්ණ ස්වයංක්‍රීය කෘතීම බුද්ධියක් සහිත ඒ වෙද්දීත් ශතවර්ෂ ගණනාවක් පැරණි රොබෝවෙක්. නීතිමය වශයෙන් පුර්ණ ස්වාධින බවත් සහිතව."

"නෑ.... ක්ෂණිකව දැනුන කම්පනයත් එක්ක මට කියවුනා. "ඔබ යාන්ත්‍රික කොටස් සහිත මනුෂයෙක්. මැෂින් එකක් නොවෙයි."

"ක්ලින්ක් එකේ රෙකෝඩ් වල තිබුනේ මම යන්ත්‍රයක් කියල. මම එතෙන්ට ගිහින් තියෙන්නේ රොබෝවෙක් වශයෙන්. බුද්ධිමත් බවක් තිබුනට මම යන්ත්‍රයක්. එහිදී මගේ ඇඟේ තිබ්බ ඥානය සහ බුද්ධියට සම්බන්ධ කොටස් ජෛවමය සිරුරකට සම්බන්ද කෙරුවා." ඔහු ඇඟිල්ලකින් සිය හිසේ එක පසෙකට තට්ටු කළා. "මේක ඇතුලේ යාන්ත්‍රික සහ ජිව කොටස් දෙකම එක වගේ බැඳිලා තියෙනවා. මට හරියට කියන්න අමාරුයි මොකකින් මොකක් පාලනය වෙනවද කියල..."

මා ඉදිරියේ සිටින මේ රුව දෙස මම මොහොතක් බලා සිටියා. මෙතෙක් කල් මා දුටු ඒ රුව යන්ත්‍රයක් ලෙස දැකීමට හිත හදාගැනීම කෙසේ වේදැයි මට ඒ මොහොතේ හිතා ගන්න බැරි වුණා.

"ක්ලින්ක් එකේ කොල්ලා ඔබට බොරු කියන්න ඇති..."

"මම හිතන්නේ නෑ...". ඔහු ඉතා විශ්වාසයෙන් පැවසුවා.

"හ්ම් ..."  මට කියන්න දෙයක් හිතා ගන්න බැරි වුණා.

"ඒ තොරතුරු බොරු වෙන්න බෑ. මම චෙක් කරලා බැලුවා. Kharkov 8 වලට රොබෝවෙක් ඇතුල්වෙලා තියෙනවා ක්ලිනික්  එකේ වැඩේට මාස දෙක තුනකට කලින්...".

"ඒ උඹ නොවෙන්න පුළුවන්..."

" වෙන කිසිම රොබෝවෙක් දශක දෙක තුනකින් මෙහා එහෙට ගිහින් තිබුනේ නෑ. අනිත් එක ඒ රෝබෝවා කොහෙන්ද ආවේ කියලත් රෙකෝඩ් වල තිබුනා. "

"කොහෙන් ද? "

"Bight වලට එහා තියෙන තව ලෝකයක්.  Lintan 3, Muara දුපත් සමුහයේ..."

AM නැති අඩුව... ඒ කොහේදැයි මට කිසිදු අදහසක් නොවිණි.

"ඒ කොහෙද කියල මම නම් දන්නේ නෑ.."

"ඔව්... ඒ ලෝක කවුරුත් නිතර යන එන තැන් නෙවෙයි. මම හිතන්නේ ඒ පැත්තට යන lightbreakers වත් නැද්ද කොහෙද.. කොහොම වුනත් මම ඇවිල්ල තිබුනේ එහෙන්..."

"එහෙටත් ගිහින් බැලුව ද?"

"දෙපාරක් ගියා. ඔය Kharkov 8 වල ක්ලිනික් එකේ වැඩේට කලින් එක සැරයක් ගිහින් තියෙනවා. ඊට පස්සේ මේ ළඟදිත් මම ගියා... විස්තර හොයන එක අමරු වෙන්න ගත්තේ එහෙදි... " හැබැයි හැම වෙලාවෙම මම හරි තැනදි හරි ප්‍රශ්නේ අහල, හරි රෙකෝඩ් තියෙන තැන් හොයා ගත්තා. එහෙම නැත්නම් කවදාවත් හොයන්න වෙන්නේ නෑ. අන්තිමේදී මම කොහෙන්ද ආවේ කියල හොයා ගත්තා... හැබැයි... එකත් ආරම්භයම නෙමෙයි... නමුත් මම අතාරින්නෙ නැතුව දම්වැලේ පුරුක් එකින් එක හොයාගෙන ගියා... මට තිබ්බ එකම දේ තමා කොහොම හරි හොයා ගන්නවා කියන දැඩි උවමනාව..."

"ඇයි සල්ලි..."

"ඔව්.. සල්ලි නැත්නම් මොකුත් කර ගන්න වෙන්නේ නෑ... ඔහු මද සිනාවෙන් යුතුව පැවසුවා.

" ඉතින් මොකක් ද අන්තිමට හොයා ගත්තේ..?"

"Kharkov 8 වලට එද්දී මම මනුෂ්‍ය බුද්ධියට සමාන බුද්ධියකින් යුතු ස්වාධින රොබෝවෙක්. නමුත් මම ඒ මට්ටමට ඇවිල්ල තියෙන්නේ ක්‍රම ක්‍රමයෙන්...ටිකෙන් ටික මාව දියුණු කර ගනිමින්"

"ඒ කියන්නේ ඔබ විසින් ඔබව වැඩි දියුණු කරගෙන ද?"

"අන්තිම වෙනකොට මම ම කරගෙන තියෙනවා, ඒ කියන්නේ මට නීතිමය ස්වාධිනත්වය ලැබුනට පස්සේ. නමුත් එහෙම නීතිමය වශයෙන් මට බලයක් ලැබෙන්න නම් මගේ බුද්ධි මට්ටම යම්කිසි තලයකට එන්න ඕනේ... ඊට කලින් මම නිකන් සාමාන්‍ය යන්ත්‍රයක් එක වැඩක් කරන්න හදපු. නමුත් මාව පරම්පරාවෙන් පරම්පරාවට වැඩි දියුණු කරමින් ගෙනල්ල තියෙනවා. ඒ හැම කෙනාම මාව වැඩි දියුණු කරලා තියෙනවා."

"ඒ කියන්නේ ඔබේ මුල එතකොට....?"

"කාගේ හරි පොඩි ප්‍රොජෙක්ට් එකක්..."

ඒ වනවිට රාත්‍රිය උදාවී තිබිණි.  Zima සහ මම නැවතත් තටාකය දෙසට පැමිණ සිටියෙමු. ඒ වන විට  තටාකය අලුත්වැඩියා කරමින් සිටි රොබෝවන් ගේ වැඩ අවසන් වී තිබුණු අතර, තටාකය වටා තිබුණු නැරඹුම් ආසන ආලෝකවත් කර තිබිණි.

"ඒක ලෑස්තියි දැන්... Zima පැවසිය. හෙට මේක සීල් කරලා අනිද්දට වතුර පුරවනවා. වතුර නියම තත්වයට එනකම් පිරිසිදු කරන්නත් වෙනවා..."

ඊට පස්සේ...? මම ඇසුවෙමි.

"ඊට පස්සේ මම මගේ අවසාන සංදර්ශනය කරනවා"

----------------------------------------------------


තටාකය වෙත පැමිණෙන අතරතුර Zima මට ඔහුගේ ආරම්භය පිළිබඳව සියල්ල පැවසුවා. ඔහුගේ ආරම්භය සිදුවී තිබෙන්නේ පෘථිවියේ. මම ඉපදෙන්නත් ගොඩාක් කලින්. විනෝදාංශයක් විදියට රොබෝවන් හදපු තරුණ ගැහැණු ළමයෙකුගේ තවත් එක ප්‍රොජෙක්ට් එකක් ඔහු. ඒ කාලේ තමා ගොඩක් අය මේ රොබෝ තාක්ෂනය ගැන, කෘතීම බුද්ධිය ගැන එහෙම උනන්දුවෙන් පරීක්ෂණ කරන්න අරන් තියෙන්නේ.

මේ තරුණියගේ මුලිකම උනන්දුව වෙලා තියෙන්නේ ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කර ගැනීම, යාත්‍රා කිරීමේ  හැකියාව සහ ස්වාධීනව ගැටළු විසඳීමේ හැකියාව සහිත රොබෝවන් නිපදවීම.  ඇය මෙවැනි හැකියාවන් සහිත බොහෝ රොබෝවන් නිර්මාණය කරලා තියෙනවා. ඒ කාලේදී බොහෝ වෙලාවට කැඩුණු සෙල්ලම්බඩු, පරණ පරිගණක කොටස්, සහ එහෙන් මෙහෙන් හොයා ගන්න උපකරණ වලින් තමා මේ රොබෝ නම් යන්ත්‍ර හදල තියෙන්නේ. රොබෝ-මනස  විදියට ඔවුන් ඒ කාලේ යොදාගෙන තියෙන්නේ පරණ පරිගණක මතක කොටස් තමා. ඇත්තටම ඒවාට මනස කියන නම යොදන්න පුළුවන් ද කියල මට තේරෙන්නේ නැහැ. ප්‍රාථමික  මට්ටමේ වැඩසටහන් වලින් සකස් වුනු බුද්ධිමය හැකියාවන් සහිත රොබෝවන් මේවා.

මේ තරුණිය සිය නිවසේ බොහෝ කාර්යයන් සඳහා විවිද රොබෝවන් නිපදවපු කෙනෙක්. ගෙදර මකුළු දැල් කඩන්න, පින්තුර පිස දමන්න  බිත්ති පුරා දුවන රොබෝවෙක්,  ගෙදර ඉන්න පුංචි මැස්සන්, කැරපොත්තන් ගිල දමන යන්ත්‍රයක්, මේ යන්ත්‍රය බලය ලබාගෙන තියෙන්නේ මේ අල්ල ගන්න සතුන් ජීර්ණය කරගෙන ලැබෙන ජිව කොටස් වලින්. එක එක සෘතුවලට ගැලපෙන්න ගෙදර තීන්ත  ගාල පාට වෙනස් කරන තව රොබෝවෙක්.

මීට අමතරව ඇගේ පිහිනුම් තටාකයේ ජිවත් වෙච්ච පුංචි යන්ත්‍රයක්.



 මේ පිහිනුම් තටාකය පිරිසිදු කරන රෝබෝවා සම්පුර්ණ වර්ණ දෘෂ්ටිය සහිත, ඌ  ජිවත් වන පරිසරය පිළිබඳව සියලු දත්ත ලබාගෙන ඒ පිළිබඳව සරල හැඩයක් මවාගන්න පුළුවන් තරම් හැකියාවකින් යුතු වෙච්ච රොබෝවෙක්. තටාක පිරිසිදු කරන යන්ත්‍ර ඕනේ තරම් ඒ කාලේදී මිලදී ගැනීමට තිබුණත්, ඇය  සිය කැමත්තට අනුව හදපු රෝබෝවක් ඒක. ඒ ඒ අවස්ථාවට වඩා සුදුසුම සහ කාර්යක්ෂම ක්‍රමය තෝරාගෙන වැඩ කරන්න පුළුවන් මට්ටමට ඇය මේ රොබෝවට බුද්ධිය ලබා දී තිබුණා. ඒ වගේම ඇය සිදු කළ  සියලු නව අත් හදා බැලීම් වලට මේ පුංචි රෝබෝව ඇය පාවිච්චි කළා. ඇගේ  දැනුම සමග රෝබෝවාගේ හැකියාවන් ද මේ නිසා දිනෙන් දින වැඩි දියුණු වුනා.

ඇයගේ මේ රොබෝ නිෂ්පාදනය ඉතා කෙටි කලකින්ම විශාල ලාබ ලබන සමාගමක් බවට පත්කරන්න ඇයට හැකි වුනා. නමුත් ඇය කිසි කලක තමන්ගේ පරීක්ෂණ මී පැටියා වන්  වූ මේ පුංචි රෝබෝවා විකිණුවේ නැහැ.

කාලය ගෙවී ගොස් ඇය මිය පරලොව ගියා. මේ රෝබෝවා ඇගේ දරුවන් අතට ගොස් තව දුරටත් වැඩි දියුණු වුණා. තාක්ෂණයේ ඒ ඒ කාල වලදී ඇතිවූ නවතාවයන් ඒ හැම පරම්පරාවකම අය මේ පුංචි තටාක පිරිසිදු කරන්නාගේ හැකියාව දියුණු කරන්න සහ ඒවා අත්හදා බලන්න යොදා ගත්තා.

අන්තිමට  අඟහරු වල සිටි  ඇගේ මුණුපුරෙකුට  මේ පුංචි රෝබෝවා උරුම වුණා.


"මේ තියෙන්නේ ඒ පිහිනුම් තටාකය." Zima පැවසුවා. "මම හිතන්නේ ඔබ ඒක අනුමාන කරන්න ඇති නේද ?"

"මෙච්චර කාලෙකට පස්සේ...!"

"ඔව් ඒක සෑහෙන පරණයි  තමයි. හැබැයි  සෙරමික් කියන්නේ සෑහෙන කාලයක් ඔරොත්තු දෙන ජාතියක්. අමාරුම වැඩේ වුනේ තියෙන තැන හරියටම හොයා ගන්න එක. මට මතුපිට පස්තට්ටුව මීටර් දෙකක් විතර හාරන්න වුනා  මේක මතු කර ගන්න. Silicon Valley කියල ඔවුන් ඒ දවස් වල හඳුන්වපු පළාතේ එක්තරා තැනක තමා මේ තටාකේ තිබුනේ. "

"මේ ටයිල් වල පාට නේද Zima Blue..? " මම ඇසුවා

"Zima Blue කියන්නේ ටයිල් වල පාට තමා.. ඔහු ඉතා මෘදු ලෙස පැවසුවා.  "ඇය ඇගේ පිහිනුම් තටාකයේ ටයිල් වලට තෝරාගෙන තිබුනේ මේ පාට."



"ඒ කියන්නේ ඔබට වැදගත් සමහර දේ මතකයි නේද ?"

"මේක තමා මගේ ආරම්භය. මේ නිල්පාට බිත්ති වල එහාට මෙහාට යන්න විතරක්  තරම් මොලයක් තිබ්බ පුංචි මැෂිමක් මම. නමුත්, ඒක තමා මගේ මුළු ලෝකයම වෙලා තිබුනේ. මම දැනන් හිටපු එකම දේත් එච්චරයි. ඇත්තටම මට දැනගන්න ඕනෙ වුනෙත්  එච්චරයි."

"ඉතින් දැන්...?" මම සෙමින් ඇසුවා.

"දැන් ඉතින් මම ගෙදර යනවා... "


---------------------------------------------------


ඔහු ඒක කරනකොට මම එතැන සිටියා. ඔහුගේ අවසන් දර්ශනය නැරඹීමට  පැමිණි අයගෙන්  තටාකය වට කොට තිබූ ආසන පිරී ගොස් තිබුණා. අහසේ පාවුනු අභ්‍යවකාශ යානා රාශියක් දුපත වට කරගෙන සිදු වන දෙය දෙස බලා සිටියා.  දුපතට ඉහලින් වූ ආරක්ෂක ආවරණය මේ වෙන කොට ඉවත් කරලා තිබුනේ. යානා වල සිටි දස දහස් ගණනක් සහ තව යානා වලින් කරන ප්‍රක්ෂේපන නරඹමින් චක්‍රාවාට පුරා තව මිලියන ගණනක් මේ අවසාන දර්ශනය නැරඹීමට සැදී පැහැදී සිටියා. ඔවුන් ඒ වනවිට මේ පරණ තටාකය දෙස බලාගෙන හිටියේ. තටාකය කෙළවර සිටගෙන  සිටි Zima ගේ අභිමානවත් රුව මීළඟ මොහොතේ කරන්නට යන්නේ කුමක් දැයි ඔවුන් කිසිවෙකුට අදහසක් තිබුනේ නෑ... එහි ඇති වැදගත් කම ගැන ඔවුන් කිසිවෙකුට තේරුම් ගත හැකි වුණාදැයි මට හිතා ගන්න බෑ. ඔවුන් හැමෝගෙම බලාපොරොත්තුව වුණේ අවසාන දර්ශනය විදියට මෙතෙක් කිසිදාක නොදුටු උත්කර්ශවත් නිර්මාණයක් දකින්න.  නමුත් ඔවුන්ගේ දර්ශනපතය සම්පුර්නයෙන්ම වැසී තිබුනේ පරණ පිහිනුම් තටාකයකින්. ඔවුන් හැම දෙනාටම වගේ  තිබුන ප්‍රශ්නය වුනේ පරණ පිහිනුම් තටාකයක් කොහොමද අච්චර අහස ඉරාගෙන ඉහලට ගිය මහා නිර්මාණ, ග්‍රහලෝක  වට කරපු නිල්පාට පරද්දන විදියේ වැඩක් කරන්නේ කියන එක. ඔවුන් සැක කලේ  තටාකය නොමග යැවීමකට සුදානම් කරපු දෙයක් විදියට. කිසිදාක බලාපොරොත්තු නොවන මට්ටමේ මහා නිර්මාණයක්  කොහේ හෝ තැනක ඇතැයි ඔවුන් සියලු දෙනා සිතුවා. එය එලි දක්වන තුරු ඔවුන් දෑස් දල්වාගෙන බලා සිටියා.










ඒ ඔවුන් සිතු හැටි.

නමුත් මම ඇත්ත දැනගෙන හිටියා. Zima සිය සදාදර නිල් වර්ණයට මුහු වී යන හැටි මම බලාගෙන හිටියා. ඔහු මට කිව්වා හරියටම ඒක සිද්ද වෙන විදිය ගැන. ඉතා සෙමෙන්, ක්‍රමානුකුලව සිය සිරුරෙහි වූ අධි තාක්ෂණික සහ ඉහල බුද්ධියට සම්බන්ධ කොටස් ගලවා ඉවත් කිරීම. මේ ක්‍රියාව නැවත හැරවිය නොහැකි දෙයක් වුනත් ඔහුට ඒ පිළිබඳව කිසිදු ගැටලුවක් නොවනු ඇත. ඔහු ඔහුට නැතිවූ දේ පිළිබඳව හැඟීමක් නොදැනෙන මට්ටමට මේ සියල්ල ගලවා ඉවත් කරනු ලැබුවා.


නමුත් ඔහු සිය සිරුරෙහි වූ තමා පිළිබඳව මුලික හැඟීම් දැනෙන සහ සිය අවට පිළිබඳව අවධානය දැනෙන කොටස් හෝ ඉතා සුළු ක්‍රියාවන් තුලින්  සතුට සහ සංතෘප්තිය ඇතිවීමට මුලික වන කොටස් ඉතිරි කර ගැනීමට වග බලා ගත්තා. ඔහුට අවශ්‍ය වුනේ  ඔහු කරන ඉතා සුළු හෝ නොවැදගත් යැයි පෙනෙන ක්‍රියාවන් ගෙන් ආත්මපුරණය කොට ගෙන ජිවත් වීමට.

සැබවින්ම ඔහුට තටාකය පිරිසිදු කරමින්, ඔහු දුටු ප්‍රථම වර්ණය වූ නිල් පැහැය සමග  ජිවත් වීමට පමණයි අවශ්‍යය වුයේ. ඔහු සෙවූ සත්‍යය සහ අවසානය වුයේ එයයි.
ඔහු මින්පසු කිසිදිනෙක මේ තටාකයෙන් ඉවතට නොයනු ඇත. ඔහුට අවශ්‍යය බලය සුර්ය ශක්තියෙන් සහ අභ්‍යන්තර පරමාණුක බැටරි වලින් අවශ්‍යය තරම් ලැබෙනු ඇත. දුපතේ සියලු කටයුතු ඒ ඒ අදාළ රොබෝවන් විසින් සිදු කරනු ඇත. සොබා දහමේ කරදර වලින්  සිය සගයා සහ තටාකය රැකගෙන ඔහුගේ සරල ජීවිතය ගෙන යාමට ඔවුන් උපකාරී වනු ඇත.

කාලය සියවස් ගණන් ගෙවී යනු ඇත.

අවුරුදු දහස් ගණන් හෝ මිලියන ගණන් ගෙවී ගියද Zima ට කිසිදාට මේ ක්‍රියාව එපා නොවනු ඇත. ඔහු තුල එපා වීමට ඉඩක් නැත. ඔහු තුල ඇති ප්‍රත්‍යක්ෂයෙන් දකින සහ විඳින ස්භාවය ඔහු තුල නිරන්තර ප්‍රහර්ෂය තබා  ගැනීමට හේතු වනු ඇත. තටාකය තුල එහාට මෙහාට පිහිනිමෙන් ලබන සරල සතුට ඇර වෙන කිසිවක් ඔහුට අතීතයේ කැලිෆෝනියාවේ දී ද අවශ්‍යය නොවීය. ඉන් අවුරුදු දහස්  ගණනකට පසු, චක්‍රාවාටයේ වෙනස් පසෙක වූ තාරකාවක් වටා භ්‍රමණය වන වෙනස් ලොවකදී එම තටාකයේම පිහිනිමෙන් ඔහු ලබන්නේ එම සතුට සහ සන්තෘප්තිය ම වේ.

--------------------------------------------------

ක්ලෙයා සිදුවූ සියල්ල දෙස මතක් කර බැලුවාය. බලාපොරොත්තු නොවූ ලෙස එදා දුපතෙහි සිදු වූ කතා බහ ඇතුළු බොහෝ සිදුවීම් ඇයට හොඳින් මතක තිබිණි. AM  නොමැති වීම ඇයට සිතු තරම් පාඩුවක් සිදු කර නොමැත. Zima නිවැරදි බව ඇයට සිතිණි. සිය ජීවිතය පුර්ව සැලසුමකට අනුව ගලා යාමට ඉඩ හැර තිබුණු බව ඇයට වැටහිණි. එය සැමවිටම ඉර බසින සැන්දෑවක් නම් රතු වයින් ලෙස ක්‍රමලේඛනය වී තිබණි. සුදු වයින් වලට එහි ඉඩක් තිබුනේ නැත.

AM  ට සමුදී ඇය මතක පද්ධතියක් ස්ථාපනය කර ගත්තාය. AM  තුල වූ පෙර මතක සියල්ල යලි පිහිටුවා ගත්තත් නැවත නැවත මතක් කිරීමේදී එම මතක වල තිබුණු අමුතු බව සහ සමහර නොපැහැදිලි තැන් ගැන ඇයට අමුත්තක් දැනිණි.

Zima කී දෙය ඇයට සිහි විය.

"මතකයන් වරදින සුළුයි. ඒවා එහෙම තමා"

මට තේරුම් ගියා Zima මේ කතාව කියන්න මාව තෝරාගන්න හේතුව, ඔහුට ඕනේ වුනා මට නිවැරදි මාර්ගය පෙන්වන්න. මම හුදෙක් චරිත කතා පමණක් ලියන්නෙක් නොවන බව ඇත්ත. මම ඇත්ත ඇති සැටියෙන් ලියන කෙනෙක්. ඔහු ඔහුගේ කතාව සහ මගේ ජීවිතය වෙනස් කරන්න හිතාගෙන මාව තෝර ගන්න ඇති. නැත්නම් සමහරවිට ඔහු සිය ජිවිතයේ මුලින් ම දුටු ඒ තරුණියගේ රුව සහ මගේ රුවෙහි ඇති යම් සමාන කමක නොපැහැදිලි මතකයක් නිසා දැයි මට කිසිදා දැන ගත නොහැක.

අවසානයේ මම Zima ගේ කතාව මගේ මුල්ම පුවත් පත වෙච්ච  Martian Chronicle වෙත යැව්වා.

මේ සියල්ල සිදු වෙලා දැන් බොහෝ කාලයක් ගත වෙලා. නමුත් පුදුමයකට වගේ Zima සහ මම තවම එකට.

මම තවමත් අවුරුදු දහයකට විස්සකට සැරයක් lightbreaker එකක නැගල යනවා Murjek වලට. දුපතේ ඉතිරි වෙලා තියෙන සමහර දේ එක්ක අතිතකාමය විඳින්න සහ මම වගේම තටාකය දෙපසට වෙලා ඔහේ පිහිනන Zima දෙස බලන අය සමග කාලය ගෙවන්න. ඔවුන් බොහෝ දෙනෙක් පත්තරේ ගිය Zima ගේ කතාව දන්නවා. නමුත් ඔවුන් තවමත් මේ අපූරු සිත්තරා තවත් අලුත් දෙයක් කොයි මොහොතක හෝ ඉදිරිපත් කරයි කියල බොළඳ බලාපොරොත්තුවකින් මෙන් ඇවිල්ල බලාගෙන ඉන්නවා. නැරඹුම් ආසන කවදාවත් පිරිලා යන්නේ නැති වුනාට ඒවා කවදාවත් හිස්ව තියෙනවා මම දැකලත් නෑ... එක අතකට එකේ පුදුම වෙන්න දේකුත් නෑ.. සමහර අයට ඒක තේරෙනවා.. සමහර අයට කවදාවත් තේරුම් ගන්නත් බෑ...

හරියට චිත්‍ර වගේ!


නිමි.


මේ කතාව Alastair Reynolds ගේ Zima Blue කියන විද්‍යා ප්‍රබන්ධය සහ ඒ ඇසුරෙන් Netflix වල විකාශය වන Love, Death + Robots කියන කතා මාලාවේ එන  Zima Blue කාටුනය ඇසුරෙන් ලියන ලද්දක්. පුංචි පුංචි වෙනස් කම් කිහිපයක් ඇරෙන්න ඔර්ජිනල් කතාව ඒ විදියටම ලියන්න තමා ට්‍රයි කලේ. මේක තමා මම කරපු පළවෙනි පරිවර්තනය.  තියෙන අඩුපාඩු පෙන්නලා දෙන්න පුළුවන් නම් බොහොම වටිනවා.

Sunday, June 09, 2019

අමුතු සිත්තරා හෙවත් Zima Blue - 1 කොටස


හ්ම් ... විශ්වාස කරන්නත් අමාරුයි ...

අන්තිමට... ඔහු හමුවෙනවා...

ක්ලෙයා අධිවේගී බෝට්ටුව තුල හරි බරි ගැසී වාඩි වෙමින් සිතුවාය ...

ඒත් ඇයි ..?

ඇයි හදිස්සියේම ඔහු මට එන්න කිව්වේ ... මෙච්චර කාලෙකට පස්සේ ...

ඔහු අමුතු බව මම දන්නවා. ඔහු අමුතු බව හැමෝම දන්නවා...

සිය මාධ්‍ය ජීවිතය තුල ක්ලෙයාට මුණ ගැසුණු අපුරුම සහ ගුප්තම පුද්ගලයා ඔහු ය. මින් පෙර  ඇය හමුවූ කිසිවෙක් ඇගෙන් මෙසේ සැඟවී ගොස් නැත. නමුත් දැන් ඒ අවස්තාව උදා වෙමින් පවතී.

ඈතින් පෙනුණු චන්ද්‍රයන් දෙදෙනා සහිත පැහැබර  අහසේ පාවුනු සුදෝ සුදු  වලාකුළු පසුකරමින් නීලවරණ ජල තලය මත නොගෑවෙමින් ගමන් කරන යානය ඇගේ  කෙහෙරැල රන්වන් පැහැ වලා කැටිත්තක් මෙන් විහිදාලුවේය.



ඇයට ඇගේ පළමු පුවත් පත සිහිවිය.  ඇය පසුව සේවය කල වෙනත් පුවත්පත් සිය ගණනක් තිබුනත්, මේ මොහෙතේ පළමු පුවත්පත සිහිවීම,

"ඒයි  AM මොකක් ද ඒ පත්තරේ නම?"

සිය ගණනක් නම් අතුරින් ඒ නම සිහි පත් කර ගැනීමට නොවෙහෙසී ඇය සිය සගයාගේ පිහිට පැතුවාය.

"ඔහ් ! AM."

ඇරයුම්පත සමග පැමිණි ඔහුගේ ඉල්ලීම, කිසිම රෙකෝඩින් උපකරණයක්, අඩුම වශයෙන් පෑනක් හෝ කොලයක් වත් නැතිව පැමිණෙන්න. හ්ම්ම් ... ජැටියේ තනිකර පැමිණි ඇගේ පුංචි පියාඹන රොබෝවා ගැන අසරණ හැඟීමක් ජනිත විය. උඹ දැන් තනියෙන් ක්ලෙයා, දැන්වත් පුරුදු වෙයන්. ඇය සුසුමක් හෙලා කවුළුවෙන්  අනන්තය දෙස බලා සිටියාය.

"උඹට මගේ අන්තිම උපන්දිනේ සමරපු ග්‍රහලෝකේ මතකද AM?" සිය සගයාගේ පරාසය තුල ඇය සිටීදැයි බැලීමට ගත්  දඟකාර උත්සාහය නිෂ්පල විය.

ඇයට ඔහු  හමු වී ඇත. නමුත් ඒ ඔහු සමග ඔහු ගැන කතා කිරීමට නොව ඔහුගේ රසිකයෙක් ලෙස පමණි. 
ඇය අත වූ ඇරයුම් පතෙහි වූ ලා නිල්  වර්ණය වඩා සමාන වන්නේ ඈත පෙනෙන රැලි නොනගින දිය තලාවට ද  නැත්නම් නිල්වන් ගුවන් ගැබටදැයි ඇය සිත බැලුවාය. ඒ ඇය සදා ප්‍රිය කරන වර්ණයයි.



ඇය සැමදා චිත්‍ර වලට ඇලුම් කලාය. දැන් ඔහු ඔහුගේ අවසන් නිර්මාණය ඉදිරිපත් කිරීමට සැරසෙයි. ඇය  මෙන් තව දහස් ගණනක් ඔහුගේ මේ අවසන් එළිදැක්වීම ට පැමිණෙනු ඇත. ඔවුන් සැමටත් ඔහු ගේ කතාව අවැසි වනු ඇත.

"මට දැන ගන්න පුළුවන් ද මේ නිල්පාට කාඩ් එක තව කී  දෙනෙකුට විතර දුන්න ද කියල?" ක්ලෙයා ඇයට ඇරයුම් පත ලබා දුන්  රෝබෝවාගෙන් විමසිය.

"මම දන්න විදියට නම් ඔබට විතරයි ක්ලෙයා..."  ඒ වනවිට බොට්ටුවේම කොටසක් වී සිටි රොබෝ හඬ පැවසිය.

"හ්ම්ම්..."

"ඔහු මේ කරන්න හදන්නේ මොකක් ද කියල අදහසක් තියෙනව ද?"

"සමාවෙන්න ක්ලෙයා, මට ඒ ගැන නම් කිසිම අදහසක් නෑ... ඔබ දන්නවනේ ඔහුගේ විදිය."

"බැරිවෙලා හරි මම මේක ප්‍රතික්ෂේප කළා නම් වෙන කාට හරි කතා කරනවද?"

"නෑ..." රෝබෝවා පැවසිය.  "නමුත් ඔබ කීයටවත් මේක ප්‍රතික්ෂේප කරයි ද?" රෝබෝවා මද සිනාවෙන් ඇසීය.

-----------------------------------------------------------------

ඔහු චිත්‍ර ශිල්පියෙක්. 

නෑ... ඔහු තමා පසුගිය සහශ්‍රකයේ බිහිවූ හොඳම චිත්‍ර ශිල්පියා.

ඔහු මුලින්ම ඇන්දේ ආලේක්‍ය චිත්‍ර. ඒවා අති විශිෂ්ට සිතුවම්.  හැමෝටම ඕනේ වුනා ඔහු ලවා සිය ආලේක්‍යයක් ඇඳ ගන්න. අන්තර්තාරිය ගනුදෙනුකරුවන් පවා ඔහු සොයාගෙන ආවා.  නමුත් ඔහුට ටික කාලෙකින් මේ ඇල්මැරුණු, සෝබන මුහුණු අඳින එක එපා වුනා. ඔහුට ඕනේ වුනා ඊට වඩා ගැඹුරු  දෙයක් ඔහුගේ සිතුවම් වලින් ඉදිරිපත් කරන්න. ඔහු ආලේක්‍ය අඳින එක සම්පුරණයෙන් නතර කළා.  ඔහුගේ එම තීරණය නිසා  කලා ලෝකයම කැළඹී ගියා. නමුත් ඊට පස්සේ ඔහු ඇඳපු පළවෙනි සිතුවම ඔහු මෙතෙක් ඇඳපු සියලුම ආලේඛ්‍ය මුහුණු කුණු කූඩයට දැමිය යුතු තරම් විශිෂ්ට වුණා.




එහි ඔහු ඇන්දේ විශ්වය. 

විශ්වයේ නොයෙක් චක්‍රවාට, නෙබියුලා, මනස්කාන්ත ධුලි වලාකුළු ඔහු සිතුවම් කළා.

ඔහුගේ කිර්තිය චක්‍රාවාට පුරා පැතිරී ගියා.



ක්ලෙයා ඔහු සමග, ඔහුගේ මේ වෙනස් වීම ගැන කතා කරන්න දරපු සියලු උත්සාහයයන් ඔහු ප්‍රතික්ෂේප කළා. ඔහුට ඕනේ වුනේ නෑ තවත් එක තරුවක් වෙන්න. ඔහුට ඕනේ වුනේ විශ්වය වෙන්න.

ඔහු ප්‍රතික්ෂේප කලේ ක්ලෙයා පමණක් නොවෙයි. ඔහු ගැන සැබෑ තොරතුරු දන්න කිසිවෙකු කොහෙවත් හිටියේ නෑ...

ඔහු ඇන්දේ ඔහු දකින දේ.

Zima ගේ ශරීරය ඔහුට ඕනෑ තැනකට යන්න පුළුවන් විදියට හැඩ ගැහිලා තිබුනා. ආරක්‍ෂිත ඇඳුම් වලින් තොරව ඕනෑම පරිසරයකට ඔරොත්තු දෙන්න ඔහුගේ ශරීරය ඔහු නිර්මාණය කරගෙන තිබුනා. ඔහුට තිබුනේ හැඩිදැඩි පිරිමි ශරීරයක්. හරියට ඇඟට ඇලෙන ඇඳුමක් ඇඳ ගෙන සිටින ක්‍රීඩකයෙක් වගේ ඔහු. නමුත් ඔබ ඔහුට කිට්ටුවී බැලුවොත් ඒ ඔහුගේ සම බව ඔබට වැටහේවි. ඔහුගේ හැඟීම් වලට අනුව එහි පාට සහ ස්භාවය වෙනස් වන ඒ ආවරණය ඇඳුමකින් කෙරෙන මුලිකම දේ ඉටු කරලා දෙනවට අමතරව ඔහුට රික්තයන් තුල විසීමට අවශ්‍ය පීඩනය ලබා දුන් අතරම යෝධ වායු ග්‍රහලෝක වල ගුරුත්වයට හසුවී තැලී  පොඩි වී  නොයාමට තරම් ශක්තිමත් වුනා. ඔහුගේ මේ සම ඔහුගේ ශරීරයේ පැවැත්මට අවශ්‍ය සියලුම සංවේදන ලබා දීමට සමත් වුණා. ඔහුට කොහෙත්ම හුස්ම ගැනීමේ අවශ්‍යතාවයක් තිබුනේ නෑ. මොකද  Zima ගේ ශරීරයේ සියලුම ක්‍රියා සංවෘත චක්‍රීය ජිව සැපයුම් පද්ධතියකින් ක්‍රියාත්මක වුනේ. ඔහුට කෑම බීම වල අවශ්‍යතාවයක් හෝ කිසිදු අපද්‍රව්‍ය බැහැර කිරීමේ අවශ්‍යතාවයක් තිබුනේ නෑ. ඔහුගේ සිරුර පුරා දිව ගිය නැනෝ බෝට්ටන් අධික විකිරණතාවයන්  හෝ අභ්‍යවකාශයේ ඇති අනෙකුත් අන්තරායන් ගෙන් සිදුවන හානි වහ වහා පිළිසකර කිරීමට සමත් වුවන්.



ඔහුගේ අසමසම නිර්මාණ වලට පදනම් වූ නෙබියුලාවන්, වාමන තාරුකා,  යකඩ දියවී ගලායන ගංගා ඇති ග්‍රහලෝක, දියමන්ති වැසි වසින චන්ද්‍රයින් මේ කිසිවක් ඔහුගේ ඇසින් ගැලවී නොයාමට ඔහුගේ මේ සිරුර උපකාරී වුනා. ඔහුගේ ඇස්  අධි සංවේදී කැමරා. විද්‍යුත් චුම්භක වර්ණාවලියේ සියලුම පරාසයන්ට සංවේදී වූ මේ ඇස් වලින් එන සංඥයා විශ්ලේෂණයට සමත් මොලයක් ඔහුට තිබුනා  Synaes-Thesic පාලමකින් සමන්විත වෙච්ච මේ මොලය නිසා ඔහුට මේ අනන්ත වර්ණාවලියෙන් එන තරංග සංගීතයක් බවට හරවාගෙන සමාස්වාදය කරන්න හැකියාව තිබුනා හරියට වර්ණ සංධ්වනියක් වගේ.

මේ සියල්ල Zima ගේ චිත්‍ර විශිෂ්ටත්වය කරා රැගෙන ගියා. තාරකා මණ්ඩල සහ මන්දාකිණි  වල මින් පෙර නොදැකපු කෝණ වලින් සිතුවම් ඇඳීමට ඔහුට හැකිවුනා. මේ නිර්මාණ වල තිබුණු අපූරු වර්ණ, ගැඹුර සහ වර්ණ හැඩතල කලා ලෝකය කුල්මත් කළා. මේ මහාපරිමාණ සිතුවම් චක්‍රාවාට පුරා පැතිරිනු බොහෝ ගනුදෙනු කරුවන් Zima වෙත ගෙන ඒමට සමත් වුනා. එසේම බොහෝ ග්‍රහලෝක වල ප්‍රසිද්ධ ස්ථාන අඩි සිය ගණනක් දිග පළලින් යුතු වූ මෙම නිර්මාණ වලින් හැඩ වුනා. සැබෑවට ඉතා සමාන තරම් විස්තර සහිතව නිර්මාණය කර තිබු මේ සිතුවම්  ඔහු එක සැරෙන් නිම කරලා දැම්මා. ඔහුට කෑම බීම හෝ නිදා ගැනීමේ කිසිම අවශ්‍යතාවයක් නොතිබුන නිසා අඩි දහස් ගණනක නිර්මාණයක් වුවත් නිම කිරීම ඔහුට ප්‍රශ්නයක් වුනේ නෑ.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේවා විශිෂ්ට සිතුවම් උනත් ඒ කිසිම තැනක මිනිසෙකු හෝ අඩුම වශයෙන් මිනිසෙකුගේ සම්බන්ධයක් ඇති කිසිවක්  නොතිබීම බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර වී තිබුනා.

සමහර විචාරකයෝ මෙහෙම කිව්වා, "ඒවා අතිවිශිෂ්ට වෙන්න පුළුවන් හැබැයි මම කීයටවත් එකක් මගේ ගෙදර සාලේ එල්ල ගන්නේ නෑ.."

කොහොම වුනත් Zima ට ඒ විවේචන වල බලපෑමක් දැනුනේ නෑ... තාරකා ක්ලස්ටර් පුරා විහිදුනු ගැනුම් කරුවන් ඔහුට හිටියා.  නමුත් මට තියෙන ප්‍රශ්නේ කීයෙන් කීදෙනෙක් ශිල්පියා ගැන දැනගෙන මේවා ගන්නවද?

Zima ගැන මම මුලින්ම දැන ගන්නකොට ඔහුට තිබුනේ ඔය වගේ තත්වයක්. මම ඔහු ගේ සාමාන්‍ය දේවල් ගැන ලියන්න දෙගිඩියාවෙන් ඉන්න කොට ඔහු කරපු අමුතු වැඩේ මේ සියල්ලටම මුල් වුණා කියල මට හිතෙනවා.

ඇත්තටම ඒ වෙනස අපි හැමෝටම එක පාරට දැනුනේ නෑ...

එක දවසක්, ඔහු තව සිතුවමක් එලි දැක්වුවා. සමහරු කිව්වා ඔහු ඒ සඳහා වෙනදට වඩා කාලයක් ගත්තා කියල. ඒක විශ්වයේ කොහේ හෝ තැනක තිබ්බ තරු පැටලුනු නෙබියුලාවක මනස්කාන්ත දර්ශනයක්. මියැදුණු ග්‍රහලොවක ආවාට කොනක සිට බලන්නේකුගේ ඇසින් දකින ලෙස සිතුවම් වුනු මේ දර්ශනයේ මැදට  වෙන්න තිබ්බ  ඉතා කුඩා නිල්පාට කොටුව එක පාරට පෙනුනේ හරියට නිල්පාට කැන්වස් එකේ පාට කරන්න අමතක වෙච්ච කොටසක් වගේ. චිත්‍රයත් සමග ඒ පුංචි කොටුවේ ඇති සම්බන්දය තේරුම් ගන්න එතන සිටි කාටවත් බැරි වුනා. කිසිදු සෙවනැල්ලක් හෝ වර්ණ හැඩතලයක් පසුබිම් දර්ශනයට කිසිම අයුරකින් ගැලපුනේ නෑ. නමුත් ඒ පුංචි නිල්පාට කොටුව උවමනාවෙන් අඳින ලද්දක්. Zima විසින් ඉතාමත් පරිස්සමින් අඳින ලද ඒ කොටුවෙන් අදහස් කරපු දේ කාටවත් තේරුනේ නෑ...



එතැන් පටන් ඔහු මැවූ සියලු සිතුවම් වල මෙවැනි නිල්පාට වර්ණ කැබලි දක්නට ලැබුණා. විටෙක හතරැස්, විටෙක ත්‍රිකෝණාකාර හෝ රවුම් වූ මෙම වර්ණ අණ්ඩ වල හැඩය සහ ප්‍රමාණය වෙනස් වුනත් ඒ නිල්පාට සැමවිටම එකක්ම බව ඔහුගේ රසිකයින්ට තේරුම් ගියේ තවත් සෑහෙන කාලෙකට පස්සේ.



ඒ වර්ණය තමයි Zima Blue. රන්වන් අකුරු මුද්‍රිත ක්ලෙයා අත වූ ඇරයුම් පතෙහි පාට.

එතැන් පටන් ගෙවුණු දශකයම  Zima ගේ චිත්‍ර වල ආධිපත්‍යය දරුවෙ මේ නිල්පාට වර්ණ හැඩතල. මින් පෙර මායාකාරී ලෙස වර්ණවත් වූ කොස්මික් විස්ටාවන් වසාලමින් මේ නිල් වර්ණය ඔහුගේ සිතුවම් වසා ගත්තා. වැදගත් ම දෙය වුනේ මින් පෙර චිත්‍ර වලට විශිෂ්ටත්වය ගෙනදුන් ඔහුගේ අති ශූර පින්සල් පහරවල් සහ අනන්ත වරණ මැවූ වර්ණ මිශ්‍රණ වෙනුවට කැඩපතක සුමට බවින් යුතුව මේ නිල් වර්ණය ඔහු ඇඳ තිබූ ආකාරයයි.



මේ නිල්වර්නාධිපත්‍යයෙන් තැති ගැන්වුණු ඔහුගේ සමහර ගැනුම් කරුවන් ඔහුගෙන් ඈත් වන්නට පටන් ගත්තා. නමුත්  වැඩි කල් යන්නට මත්තෙන් සම්පුර්ණ නිල්වර්ණයෙන් යුතු වූ සිතුවම ඔහු එලි දැක්වුවා. අඩි දහසක් උස ගොඩ නැගිල්ලක ඒක පසක් ආවරණය කිරීමට තරම් ප්‍රමාණවත් වූ මේ තනි නීලවරණ සිතුවම බොහෝ දෙනෙක් හැඳින්වූවේ Zima නිල්වර්ණයෙන් කරන අවසාන නිර්මාණය විදියට.




නමුත් ඔවුන් වැරදි බව වැටහෙන්නට වැඩි කාලයක් ගියේ නෑ...

-----------------------------------------------------

ඒ වෙද්දී ගමනාන්තයට ළඟා වූ බෝට්ටුවේ මන්දනය ක්ලේයාව සිය සිතිවිල්ලෙන් මුදා ගත්තාය. ප්‍රමාණයෙන් කිලෝමීටරයක් පමණ වූ කුඩා දුපත හැර පෙනෙන තෙක්මානයේ වුයේ මහා සාගරය පමණි.

"මම හිතන්නේ ඔබ තමා මේක දකින පළවෙනි කෙනා." බෝට්ටුවෙන් ගැලවී ක්ලෙයා අසලට පැමිණෙමින් රෝබෝවා පැවසිය.  "අහසටවත් නොපෙනන විදියට ආරක්ෂක ස්ථරයක් දාල තියෙන්නේ."

කුඩා දිවයිනෙහි මැදට වන්නට වූ සානුවක් වන් කොටසේ ගහ කොල එළිපෙහෙළි වී සතරැස් නිල් පැහැ වන් රශ්මියක් විහිදෙමින් තිබිණි. ඒ වටකොට නැරඹුම් ආසන පේලි කිහිපයක් ද ක්ලේයාගේ නෙත ගැටුනාය.

සෙමින් නතර වූ බෝට්ටුවෙන් එළියට පැමිණීමට රෝබෝවා ඇයට උදව් කළේය. "Zima දැන් එයි. මොහොතක් ඉන්න" යැයි පවසා රෝබෝවා නැවත බෝට්ටුවට පැන ආපසු මහ මුහුදේ අතුරුදහන් වී ගියේය.

ගිලෙමින් තිබුණු හිරුත් සමග පැතිරෙමින් තිබුන අඳුර නිසා ක්ලෙයා තුල තනිකමක් මෝදු වන්නට ගත්තාය.

"ඔබ පැමිණ එක සතුටක් ක්ලෙයා.  මම ඔබව බලාපොරොත්තුවෙන් සිටියේ."

අඳුර තුලින් මතුවූ ගැඹුරු හඬකින් ඇගේ තනිකම මකාලුයේය.



ඔහුගේ සවීමත් දකුණත ඈ වෙත දිගු විය. ක්ලෙයා ඒ අත ගෙන ඔහු වෙතට ඇදී  ගියාය. ඔහුගේ කෘතීම සමෙහි වූ අමුතු ගතිය ඇයට දැනුනාය.

"අපි අර බැල්කනියට යමු... තව ටිකකින් ඉර බහිනවා බලන්න පුළුවන්"

"ඔව් ඒක හොඳයි." ඇයට ඉබේම කිය වුනාය.

ඔහු පසුපසින් ඇදෙන ක්ලෙයා ඔහුගේ හැඩි දැඩි සිරුර දෙස බලා සිටියාය. ඔහුගේ ප්‍රතාපවත් බව තවත් වැඩිවී ඇති බව ඇයට දැනුනි.  ඇගේ හදවතේ කම්පනය, ඔහුට එය කෙදිනක වත් දැනී ඇතිදැයි ඇය නොදන්නීය. සැබවින්ම ඔහුගේ පෙම්වතිය හෝ, ඔහුගේ පුද්ගලික ජීවිතය ගැන ඇය කිසිවක් නොදත්තාය. ඔහුට එවැනි ජිවිතයක් තියෙනවද...? ඇයට සිතුණි.  ඔහුගේ මුළු ජිවිතයම සිතුවම් විය.

පරණ තාලයේ කුස්සියක් සහ සාලයක් පසුකරමින් ඔවුහු ඉදිරියට ගියෝය. අවුරුදු දහස් ගණන් පැරණි ගෘහභාණ්ඩ සහ විසිතුරු බඩු වලින් අමුතු ලෙස හැඩ ගැන්වූ නිවස ක්ලෙයා තුල ඇති කලේ ගුප්ත බවකි.

"කොහොමද ඔබේ ගමන?"

"හොඳයි. වරදක් නෑ"

හදිසියේම නතර වී ආපසු හැරුණු ඔහු "මට අමතක වුනා.  ඔබගේ  Aide Memoire යාව නොමැතිව පැමිණෙන්න යැයි මා දුන් උපදෙස රෝබෝවා ඔබට පැවසුවාදැයි" ඇසුවේය.

"ඔව්"

"ඒක හොඳයි ක්ලෙයා. මට කතා කරන්න ඕනේ වුනේ ඔබත් එක්ක මිසක් මේ කෘතීම මතක රෙකෝඩරයක් එක්ක නෙමෙයි"

"මාත් එක්ක?"

"ඔබට බහු භාෂා හැකියාව තියෙනවද ක්ලෙයා? නැත්නම් ඔබ තවම ඉගෙන ගනිමින් ද සිටින්නේ?

"කලබල වෙන්න එපා. මම ඔබට එන්න කිව්වේ ඔයාව පරික්ෂා කරන්න නෙමේ. බය වෙන්න කිසිම දෙයක් නෑ.. ඔබට රෑ වෙද්දී ආපසු යන්න පුළුවන්"

"මම කලබල නෑ... මේ මේ පොඩ්ඩක්..."

"මම නෙමේ නේද ඔබ මුණ ගැහෙන පලවෙනි ප්‍රසිද්ද පුද්ගලයා? ක්ලෙයා ඇන්ඩර්සන්...  පුලිට්සර් සම්මානෙම කී සැරයක් ලැබිල තියෙනවද? ඔහු සිනා සෙමින් ඇසුවේය...

"මිනිස්සු මාව දැක්කම බය වෙනවා. මම එක දන්නවා. හැබැයි ඔවුන් මං ගැන දන්නේ නැති නිසයි ඒ.

"මම බය නෑ..නමුත් ඇයි මම ?"

"ඔබ හැමදාම කරුණාවෙන් ඉල්ලා සිටපු නිසා" ඔහු සිනාසෙමින් පැවසිය...

"මට ඕනේ ඇත්තම හේතුව..." ඇය පෙරලා ඇසිය.

"හරි, ඔබේ කරුණාවන්ත කම එකක්. ඒ ඇරුණාම මම ඔබේ වැඩ අගය කරන කෙනෙක්. බොහෝ දෙනෙක් ඔබව විශ්වාස කරනවා. විශේෂයෙන්ම ඔවුන් ගේ ජිවිත කතා ලියද්දි..."

"ඔබ මැරෙන්න යන්නේ නෑනේ...පෙන්ෂන් ගන්නවා විතරයි නේද"

"ඒ මොකක් වුනත්, මම මේ ප්‍රසිද්ද ජිවිතෙන් ඈත් වෙනවා. ඔබේ වැඩ වල විශ්වාසනීයත්වය මට ඉතා වැදගත්. මම මෙච්චර කාලෙකට කාටවත් හානිවෙන යමක් ඔබ අතින් ලියවිලා තියෙනවා කියල අහල නෑ..."

"ඒ වගේ දේවල් වෙනවා... කොහොමත් මම යන එන හැමතැනම AM එක්ක යන්නේ ඒ නිසා... එතකොට කාටවත් පස්සේ ඇඟිල්ල දික් කරන්න බෑ..."

"මගේ කතාවේදී ඔබට එය අවශ්‍ය වෙන්නේ නෑ..." Zima පැවසිය.

ඇය ඔහු දෙස තියුණු ලෙස බැලුවාය...  "ඊට වඩා දෙයක් තියෙනවා කියල මට හිතෙනවා"

"මම කැමතියි ඔබට උදව් කරන්න... "

Zima ගේ නිල් කාලය ලෙස බොහෝ දෙනෙක් හැඳින් වූ ඒ කාලය තුල ඔහු විසින් නිම කල සිතුවම් ප්‍රමාණයෙන් අතිවිශාල විය. තනිකර නිල්පාට පමණක් වූ මේ අති විශාල නිල්  හැඩතල යනු අහස සිඹින ගොඩ නැගිලි වසාලන තරමේ ඒවාය. අභ්‍යවකාශ කක්ෂ වල සිට නිරීක්ෂණය කල හැකි තරමේ විශාල නිර්මාණය. මේ බොහෝ නිර්මාණ අභාවකාශයේ හෝ ගොඩ බිමෙහි රඳවා තැබීමට වෙනමම තාක්ෂණික ක්‍රමවේද සොයා ගැනීමට සිදුවිය. ඔහුට ඒ සඳහා වූ වියදම් ගැන ගැටලුවක් නොවුයේ ඔහුගේ අනුග්‍රාහකයින් Zima ගේ ලොකුම නිර්මාණය වෙනුවෙන් තරඟකාරීව වියදම් කිරීමට පෙළ ගැසී සිටි නිසාවෙනි.

මේ වන විට Zima ගැන නොදැන සිටියෙක් නොවිය. චිත්‍ර කලාව ගැන උනන්දුවක් නොදැක්වූ පිරිසට පවා ඔහු අති විශාල නිල්පාට හැඩ කැබලි තනන විකාර කාර සයිබෝගයා විය.  තමා ගැන හෝ තම නිල්පාට ව්‍යුහයන් පිළිබඳව කිසිදු තොරතුරක් ලබා නොදුන් අමුතු මිනිසා විය.

නමුත් ඒ මීට අවුරුදු සිය ගණනකට පෙරය.

Zima සිය නිල් කාලය පටන් ගත්තේ එලෙසිනි. ඉන්පසුව එළැඹියේ  අන්තර ග්‍රහලෝක මට්ටමේ නිල් සිතුවම් එළිදැක්වීමේ කාලයයි. කිලෝමීටර් සිය දහස් ගණනක් විශාල ඔහුගේ නිල් සිතුවම් විශ්වයේ අඳුරු පදාර්ථයේ වූ ගුප්ත බව මදක් සමනය කිරීමට සමත් විය.  ඔහු තව දුරටත් සිතුවම් සඳහා තීන්ත හෝ පින්සල් බාවිතා නොකළේය. නැනෝ බෝට්ටන් ගෙන් සමන්විත හමුදාවන් ඔහුගේ අන්තර්තාරිය නිමැවුම් සඳහා දායක විය. ඔහු ඒ වෙනුවෙන් නව අමුද්‍රව්‍ය සොයා ගැනීමට ඇස්ට්‍රොයිඩ් කුඩු පට්ටම් කළේය. මින් පෙර නොවූ විරූ අන්තර් ගැලැක්සිය ප්‍රදර්ශන සහ කලා පොලවල් ආරම්භ විය.  කොටින්ම ඔහු කුයිපර් පටිය වැනි ඇස්ට්‍රොයිඩ් කලාප සිය නිල් වර්ණයෙන් පින්තාරු කළේය. විශ්වයේ නිල් සලකුණු තැබුවේය. සෞරග්‍රහමණ්ඩලය හරහා යමින් තිබුණු දුම කේතුවක සංයුතිය වෙනස් කරමින් එහි වලිගය ඔහුගේ නිල් වර්ණය පමණක් විහිදුවන ලෙස සකස් කළේය.





මම Zima අල්කට්‍රොස් පද්ධතියේ වූ චන්ද්‍රයෙක් සිය නීලවරණයෙන් වසාලමින් කරන ලද නිර්මාණය කරනයුරු නැරඹීමට ගියෙමි. ඔහු ගැන යටපත්වී තිබුණු උනන්දුව නැවත ඇති වුයේ ඔහු "චන්ද්‍රාවරණය" නමින් හැඳින්වූ අති විශාල පෙට්ටියකට සඳ දමා වසන ඒ අපූරු සංසිද්දිය නරඹන විටය.  නිල්පාට කෙරෙහි වූ මේ ඇබ්බැහිය කලාවට එහා ගිය යමක් බව මට ප්‍රත්‍යක්ෂ වූයේ ඉලොනෙක්ස් යානයේ නැරඹුම් මැදිරියේ සිට අනන්ත විශ්වය සහ නිල්පාට කොටුව දෙස බලා සිටින විටය. ඔහුත් සමග සාකච්ඡාවකට යොමු කල ඉල්ලීම් සියල්ල ඉතා කූට ලෙස  මග හැර දැමුයේ ලිස්සන සුළු රස කතාවක් ගොතාලමිනි. තවදුරටත් රසකතා ඇසීමට මට උවමනා නොවීය.



මේ සිදුවීම් වලින් පසු මම බොහෝ කාලයක් බලා සිටියෙමි. මා මෙන්ම තවත් බොහෝ පිරිසක් මා මෙන්ම බලා සිටින බව මම දැන සිටියෙමි.  ඔහුගේ මේ අවසන් නිර්මාණය හෙවත් සමුගැනීමට ආරාධනාවක් ලැබෙන්නේ මේ අතරය.

---------------------------------------------

අප විදුරු දොරකින් ඇතුල් වී බැල්කනියකට පිවිසුනෙමු. ආරක්‍ෂිත වැටකින් තොරවූ එහි සිට හිරු ගිලමින් සිටි මුහුදේ මනස්කාන්ත දර්ශනයක් දිස්විය. වයින් බෝතල දෙකක්, අලංකාර මල් බඳුනක් සහ පළතුරු  වට්ටියකින් යුතු වූ මේසය දෙපස වූ පුටුව පෙන්වා ඔහු මට අසුන්ගන්නට ඇරයුම් කළේය.

"රතු ද සුදු ද ක්ලෙයා?" වයින් බෝතල් වෙත අත ගෙනයමින් ඔහු ඇසුවේය.

පිළිතුරැ දීමට මුව විවර කලද කිසිවක් සිතා ගැනීමට නොහැකිව මම මොහොතක් ගත කලෙමි. AM සිටියා නම් මේ මොහොතට වඩා ගැලපෙන්නේ රතු වයින් ද සුදු වයින් ද යන්න මම කට අරින පමාවෙන් මට දන්වනු ඇත. AM අසල නොමැති කම මගේ සිතිවිලි මෙසේ සිර කරනු ඇතැයි මට මේ වන තෙක් වැටහී තිබුනේ නැත.

"රතු. මම හිතන්නේ." Zima මට පෙර ඇසුවේය.  ඔබේ අකමැත්තක් නැතිනම්!"

"මම තීරණයක් ගන්න බැරි කෙනෙක් නෙමේ..." මම කීවෙමි.

මගේ වීදුරුව ගෙන වයින් පිරවූ ඔහු එය මදක් ඔසවා වයින් තුලින් අහස දෙස බැලුවේ වයින් වල පැහැදිලි බව පරික්ෂා කිරීමට මෙනි. "මම එහෙම හිතුවේ නෑ..." ඔහු කියමින් ඔහු මා වෙත එය දිගු කළේය.

"AM නැතිව මට නිකන් හුරු නෑ වගේ... ඒකයි"

"ඔබට ඒක අමුත්තක් නොවිය යුතුයි නේද? ඔබ අවුරුදු සියගණනක් ජිවත් වුනේ එහෙම නේ..."

"මගේ ස්භාවික විදිය ගැන ද ඔබ කියන්නේ..?"

ඔහුගේ වීදුරුව පුරවා වයින් හලා ගත් ඔහු එය තොල ගෑම පසෙක තබා මල් බඳුනේ වූ මල් වල සුවඳ බැලුවේය.

"ඔව්"

"නමුත් අවුරුදු 1000ක් විතර ජිවත් වීම ස්භාවික දෙයක් නෙමේ නේද? මගේ උප්පත්ති මතකය මීට අවුරුදු 700කට විතර කලින් සම්පුර්ණයෙන්ම පිරිලා තිබුනේ. දැන් එක නිකන් ලී බඩු පිරිච්ච ගෙයක් වගේ. අලුතින් මොනවා හරි දාන්න නම් තියෙන එකක් විසි කරන්න වෙනවා." මම කීවෙමි.

"අපි වයින් ගැන හිතල බලමු පොඩ්ඩකට..." Zima  සන්සුන්ව පැවසුවේය. "සාමාන්යෙන් නම් මේ වගේ වෙලාවකට සුදුසු වයින් වර්ගය ගැන AM ඔබට කියනවනේ නේද... ?"

"ඔව්" මම නොසැලකිල්ලෙන් පැවසුවෙමි.


"AM හැමවෙලාවෙම තේරීම් දෙකකින් එකක් ගැන ඔබට කියනවද? උදාහරනෙකට එක්කෝ හැමවෙලේම රතු වයින් ද? නැත්නම් හැම වෙලේම සුදු වයින් ද?

"ඒක ඒ තරම් සරල නෑ... නමුත් මම දිගින් දිගටම එක වර්ගයකට කැමති වෙනවා නම් AM මට එහම කියාවි. නමුත් මම එහෙම නෑ... සමහර වෙලාවට මම රතු වයින් වලට කැමතියි, සමහර වෙලාවට සුදු. තවත් වෙලාවකට මට මොන වයින් ජාතියක් වත් ඕනේ වෙන්නේ නෑ. " රොබෝවෙක් පැමිණ ඇරයුම් පතක් දී, මගේ රෝබෝවාගෙන් මාව වෙන් කරගෙන බෝට්ටුවක දමා මෙහි ගෙනවිත් මේ කරන විකාරය මොකක් දැයි මා තුල නොරිස්සුමක් ඇති වුයේ නිරායාසයෙනි.

"ඒ කියන්නේ AM ගේ උත්තර සසම්භාවී ද?

"එහෙම කියන්නත් බෑ... AM මාත් එක්ක පහුගිය අවුරුදු තුන් හාරසීයක් තිස්සේ ඉන්නවා. මම වයින් බොන අවස්ථා සිය ගණනකදී මාත් එක්ක හිටියා. ඒ හැම අවස්තාවම එකිනෙකට වෙනස්. ඒ එක් ඒක අවස්ථාවට යෙදෙන පරාමිතීන් ට අනුකුලව මම ගන්න තීරණය ගැන ඉතා හොඳ අවබෝධයක් තියෙනවා. බොහෝ වෙලාවට ඒවා විශ්වාසනීයයි."

"ඔබ උගේ තේරීම සද්ද නොකර බාර ගන්නවද?"

"ඔව්" මම රතු වයින් ටිකක් තොලගා පැවසීමි. "නිකන් බොරුවට මගේ ස්වාධින තීරණ ගැන වද වෙන එක හරි ලාමකයි නේද..? ඌ කියන වයින් ජාතිය බිව්වා කියල මට මේ වෙනකම් නම් කිසි ප්‍රශ්නයක් වෙලා නෑ."

"හැබැයි ඉතින් ඔබ ඉඳල හිටලා වත් තමන්ගේම කියල තීරණ නොගත්තොත් ඔබේ මුළු ජිවිත කාලෙම සරලව ගණනය කරන්න පුළුවන් කෘතීම උත්තර මත දිවීමක් වෙනවා නේද?"

"වෙන්න පුළුවන්... හැබැයි ඉතින් ඒක ඒ තරම් නරක නෑනෙ... මට එහෙම ඉන්න එක මේ වෙනකම් නම් කිසි ප්‍රශ්නයක් වෙලා නෑ..."

"මම ඔබව අපහසුතාවයට පත් කරනවා නෙවෙයි. " Zima මද සිනාවෙන් යුතුව පුටුවේ හාන්සි වෙමින් පැවසිය.  "මේ දවස් වල ගොඩක් අය ළඟ ඔය AM ලා නෑ නේද?" ඔහු ඇතිවෙමින් තිබුණු අපහසුකාරී හැඟීම තුරන් කිරීමට උත්සාහ කළේය.

"මම දන්නේ නෑ..." මම පැවසීමි.

"මම හිතන්නේ ගැලක්ටික් ජනගහනයෙන් සියයට එකක්වත් නෑ..." ඔහු වයින් වීදුරුව තුලින් අහස බලමින් පැවසීය... "හැමෝම දැන් සාමාන්‍ය ක්‍රමේට හැඩගැහිලා..."

"අවුරුදු දහස් ගණනක මතකයන් යන්ත්‍ර විසින් පාලනය කරනවා... ඉතින් මොකද වෙන්නේ..?"

"වෙනස් ස්වරුපයක යන්ත්‍ර විසින්" Zima  පැවසිය. ස්නායුක බද්ධ කිරීම්!... එයින් පුද්ගලයාට ඔහු හෝ ඇය පිළිබඳව තිබෙන හැඟීම සමග සමෝධානය වෙලා පවතින්නේ. එසේම ඔබගේ උත්පත්ති මතකයෙන් වෙන් කර ගත නොහැකි වන ලෙස ඔබ හා බැඳී සිටිනවා. AM ගෙන් වයින් ගැන අහල උත්තරයක් එනකම් බලාගෙන ඉන්නවා වගේ නෙමෙයි. ඔබ ඉබේම දන්නවා ඔබට ඕනේ වයින් වර්ගය."

"මොකද්ද ඉතින් වෙනස? මගේ සියලු අත්දැකීම් 100% නිවැරදිව AM ගබඩා කර ගන්නවා. මට ඕනේ වෙලාවට මොහොතකින් මට ඒවා ලැබෙනවා. ඉතාම කාර්යක්ෂමයි... ඉතින්...?"

"නමුත් මේ යන්ත්‍ර ඔබ හිතන තරම් සුරක්ෂිත නෑ... " ඔහු පැවසිය.

"ඒවායේ ගබඩා වන දත්ත නිතරම නැවත සුරැකිමකට ලක් වෙනවා. ඔබ ඔය කියන නියුරල් ඉම්ප්ලාන්ට්ස් සහ මේ යන්ත්‍ර අතර ලොකු වෙනසක් නෑ... දත්ත අනාරක්ෂිතයි කියන එක එතරම් හොඳ තර්කයක් නෙමෙයි නේද?"

"ඔබ හරි. ඇත්තටම ඔබ හරි. නමුත් මෙතන ඊට වඩා ගැඹුරු ගැටලුවක් තියෙනවා. AM කියන්නේ ඕනෑවට වඩා නිවැරදි යන්ත්‍රයක්. කිසිම වරදකට හෝ අමතක වීමකට එහි ඉඩක් නෑ.."

"ඉතින්... ඒක නෙමෙයි ද අවශ්‍යය වෙන්නේ...?"

"අපි මෙහෙම හිතමු. ඔබ යමක් ගැන හිතනකොට... සමරවිට මේ කතාබහම වෙන්න පුළුවන්, තව අවුරුදු සීයකින් ඔබ මේ කතා බහ ගැන කල්පනා කරනකොට මේ අද සිදුවෙන සමහර පුංචි දේවල් ඔබේ මතකයෙන් ගිලිහී තිබෙන්න පුළුවන්...නමුත් ඒ අමතක වෙන පුංචි දේවල් වෙනත් විදියක මතකයක් ලෙස ඔබේ මතකයේ ගබඩා වෙලා තියෙන්න පුළුවන්. නැවත නැවත මතක් කරනකොට අලුත් ස්වරුපයෙන්, හැඩයෙන් ඒවා ඔබ වෙත එන්න පුළුවන්... තව අවුරුදු දාහකින් ඔබ මේ ගැන සිතද්දී මේ සියල්ල මායාවක් වගේ ඔබේ සිතේ තිබේවි. නමුත් මේ සිද්දිය සත්‍යයක් බවත් ඔබ දැන සිටීවි.

"නමුත් AM මා සමග සිටියානම් මේ සියල්ල කිසිදු බාධාවකින් තොරව මගේ මතකයේ හැමදාම තියේවි."

"ඔව් එසේ තියේවි. නමුත් ඒක ස්භාවික ද? ඒක ෆොටෝග්‍රෆික් මතකයක් නොවෙයි ද? යන්ත්‍රයක් තුල කෘතිමව ගබඩා වෙච්ච? ඔබට අලුතින් නිර්මාණය කරන්න දෙයක් හෝ අමතක වෙච්ච සමහර දේ නොතිබීම අස්වාභාවිකයි." ඔහු කතාව නතර කර මම නැවත වීදුරුව පුරවා ගන්නා තෙක් සිටියේය. "මෙහෙම හිතන්න, ඔබ මෙවැනි සැන්දෑවන් වලදී AM ගේ උපදෙස් මත දිගටම රතු වයින් ගත්තා කියල. ඔබට කිසි අමුත්තක් දැනෙන එකක් නෑ. නමුත් එක්තරා සැන්දෑවක ඔබ ඔබට ඕනේ නිසා සුදු වයින් බීලා ටිකක් වෙරි වෙනවා. ඔබට මේ හැමදේම ඉතා චමත්කාර ජනක ලෙස දැනෙන්න ගන්නවා. මේ රන්වන් පාට ආලෝකය පිරි සැන්දෑව, අහසේ මැවෙන වර්ණ රටා, මේ සුළඟ... හැමදේම ඔබ තුල අපුර්වත්වයක් ජනිත කරවනවා."

"මම තොර ගන්න වයින් වර්ගය ඒ වෙනසට බල පාන්නේ නෑ නේද..?"

"නෑ බලපාන්නේ නෑ... ඔබ හරි. නමුත් AM,  ඔබට ඒ දැනුන වෙනස ගැන සංවේදී වෙන්නේ නෑ.... එක හා සමාන අවස්තාවලදී ඔබ ගන්නා එක වෙනස් තීරණයක් AM ට අදාළ නෑ. උගේ ක්‍රමයට අනුව මීළඟට ඔබ සහභාගී වන මෙවැනි අවස්තාවන් වලදීත් ඌ ඔබට රතු වයින් ම බොන්න කියාවි. ඔබගේ රටාව පිළිබඳව දත්ත වෙනස් කරගන්න ඔබ කරපු ඒ එක වෙනස AM ට ප්‍රමාණවත් නෑ. "

ඔහු කුමක් කියන්නට සැරසේ දැයි යම් ගැටලුකාරී තත්වයක් මේ මොහොතේදී ක්ලේයාට දැනිණි. " සාමාන්‍ය මිනිස් මතකයත් ඒ විදියට හැසිරෙන්නේ නෑනේ..."

"නෑ එහෙම නෙවෙයි. මිනිස් මතකය ඔබට දැනුන ඒ අපුර්වත්වයට වඩා වැඩි ඉඩක් දෙනවා. ඒ හැන්දෑවේදී ඔබට දැනුන සොඳුරු හැඟීම් වලට ඉඩ දීලා පුංචි පුංචි අපහසු කම් යටපත් කරන්න පුළුවන්. ඔය ඔබේ මුහුණ ළඟින් පියාඹන මැස්සා, ආපසු යන්න බෝට්ටුව එයිද නොඑයි ද කියල හිතේ තියෙන නොසන්සුන් කම නැතුව ඔබට දැනුන රසය හොඳින් මතක තියේවි. ඉන්පසුව එන බොහෝ අවස්තාවලදී ඔබ ඊට පස්සේ සුදු වයින් තෝරා ගනීවි. කාලයක් තිස්සේ ඔබ රතු වයින් බීමෙන් ගොඩ නගා ගෙන තිබුණු එකාකාරී බව ඔබට එක්වරම වෙනස් කරන්න පුළුවන්. නමුත් AMට එහෙම කරන්න බෑ... ඔබ බොහෝ වාර ගානක් සුදු වයින් බිව්වොත් පමණක් සමහරවිට ඌ ඔබට නැවත සුදු වයින් යෝජනා කරාවි. නමුත් ඒක එක වර සිද්ද වෙන්නේ නෑ..."


"හරි... නමුත් මගේ මතකය මගේ ඔලුව ඇතුලත තිබීමත්, එළියෙන් පියාඹන රොබෝවෙක් ලෙස තිබීමත් අතර මොකක් ද තියෙන වෙනස...?" මගේ රොබෝ මතකයන් ගැන නොව ඔහු ගැන කතා කිරීමට තිබුනා යැයි සිතමින් මම ඇසුවෙමි.

"හෙහ්... එතන තමයි සියලු වෙනස් කම් තියෙන්නේ..." ඔහු කිවේය. "ඔය පියාඹන රෝබොට්ටන්ගේ මතකය සදාකාලිකයි... ඔබ කොපමණ වාර ගණනක් නැවත නැවත ඒවා ඉල්ලා සිටියත් කිසිම වෙනසක් නැතිව ඒවා ලැබෙනවා. නමුත් බද්ධ කරපු මතකය එහෙම නෙමෙයි. ඔබේ උත්පත්ති මතකය සමග අනුරුපිව ගලාගෙන යනවා. ඔබට කිසිම වෙනසක් දැනෙන්නේ නෑ... අන්න ඒ හේතුව නිසාම ඒවා නම්‍යශිලියි, වෙනස් වන සුළුයි, විකෘති වෙන්න පුළුවන්..."

"වරදින සුළුයි...." මම කීවෙමි.

"වැරදීම් නැති තැන කලාවක් කොහෙද...කලාවක් නැතිව සත්‍යයක් තියෙන්නේ නෑ.."

"හහ්... එහෙනම් වැරදීම් ඔබව සත්‍යය වෙත යොමු කරනවා...! " ඒක හොඳයි...

"මම අදහස් කලේ උපමා රූපක සත්‍යයයක් ගැන... හරියට රන්වන් පාට සැන්දෑව වගේ... පුංචි මැස්සා ගැන මතකය ඒ සත්‍යයට හානියක් ගෙන දෙනවා."

"මෙතන රන්වන් පාට සැන්දෑවක් හෝ මැස්සෙක් ඇත්තේ නෑ..." මම කීවෙමි. මේවන විට මගේ ඉවසීමේ සීමාව පනිමින් තිබිණි. "Zima මේ බලන්න. ඔබගේ මේ ආරාධනාව  ගැන මම අවංකවම ස්තුතිවන්ත වෙනවා. නමුත් මම ආවේ මගේ මතකය පාවිච්චි කරන විදිය ගැන ඔබ සමග හරබර සාකච්ඡාවකට නෙවෙයි."

"ඇත්තටම මේ හැමදේටම හේතුවක් තියෙනවා. ඒ හේතුව එක පැත්තකින් මම ගැන. ඒ වගේම ඔබ ගැන. හොඳයි, අපි දැන් පොඩ්ඩක් ඇවිදින්න යමු". ඔහු වීදුරුව තබමින් පැවසිය. "අපි යමු පිහිනුම් තටාකය පැත්තට..."

"නමුත් තවම ඉර බැහැල ගිහින් නෑනේ..."

"හෙට කොහොමත් අලුත් ඉරක් පායනවනේ... " ඔහු සිනා සෙමින් පැවසිය...

දෙවන කොටස