Monday, June 08, 2020

කාල යක්ෂ - 6 - පොළොවේ අයිතිය.




"හ්ම්ම්... මම ... හයිලැන්ඩර් නෙමේ . මම සෙන්ට්‍රිනොගේ කුලී හමුදාවේ . උපන්නේ හොවාග් වල ... නම ඩාකි "

"හාහ් ... හොවාග් වල උඹලත් දන්නවද ශුද්ධ මන්තර ... මම හිතාන උන්නේ කඳුකරේ අපිට විතරයි භූත බලපෑම් තියෙන්නේ කියල ... " 

වැල් ජෝන් නොසැලකිලිමත් ලෙස සිනා සෙමින් පැවසිය. 

අද එතැන් සිට ...

"සේනාව කැළේ ඇතුලට ගනින් සෙන්ට්‍රිනෝ.. මේ මීදුම එච්චර සුභ ලකුණක් නම් වෙන්න බෑ… ඈතින් ගලා එන අඳුරු පැහැති මීදුම් පටලය දෙස බලා ප්‍රයිකූල් කෑ ගැසූවේය..

සෙන්ට්‍රිනෝ ගේ සහ ප්‍රයිකූල් ගේ අණින් සෙබළුන් වනයේ ගස් අතරට වැදෙන්නට විය..

ඔවුන්ගේ මුහුණු තුළ මරණයේ බියක් සටහන් වූයේ නිතැතින්මය..

ක්‍රම ක්‍රමයෙන් මීදුම වනයේ ගස් අතරට ගලා එන්නට විය…

ගොම්මන් යාමයේ අදුරු මීදුමක් තුළ සිදුවිය හැකි දේ බොහෝ බව දත් සෙබළු සිය අවි ආයුධ සූදානම් කරගත්තෝය…

වනය තුළ පැතිරුණ නිහඩතාවය දෙබෑ කරමින් ගලා ආ කටෝර නාදයෙන් සෙබල හදවත් නතර විය…

"දෙවියනේ මේ මොක්කුද???"

"දුවපල්ලා…. මුන්ගෙන් බේරෙන්න නම් දුව පල්ලා… ක්‍රෑටස් කෑ ගැසුවේය.. කොහෙ දුවන්නද යකෝ… "අසළ සිටි වෙඩික්කරුවා බිම පෙරෙලෙමින් හඩ නැඟීය..

ඔහුගේ හිස වසා සිටි පිසාච මැස්සන් ගේ ප්‍රහාර වලින් සිදුරු වූ මුහුණින් ලේ පෙරෙමින් තිබිණි.

බිම පෙරෙලමින් මැස්සන් ගසමින් සෙබළුන් සී සී කඩ දිව ගියෝය..

දස අතින් නැඟුණ මරහඩ සහ වෙඩි හඩ අතරින් පියඹා ආ ලේ පිපාසිත පිසාච මැස්සන් ගේ හඩින් නිසල වනය සසල වී ගියේය.

************


ඇලෙන්ඩිගේ හදිසි අතුරුදහන් වීම ස්ප්ලේන්දි මාළිගය නොසන්සුන් කර තිබිණි. නෙමින්දෙර්  රජුගේ  සේනාවන් ඒ වන විට ඇය සහ බ්‍රයිටෝ සිටි පරික්ෂනාගාරය  සොයා ගෙන තිබුණද, බ්‍රයිටෝ ගේ මරණයටවත්,    ඇලෙන්ඩිගේ දෙවෙනි පැහැරගැනිමටවත් වග කිව යුත්තන් සොයා ගැනීමට තවමත් අසමත් වී තිබිණි.

බ්‍රයිටෝගේ  මිතුරන් වූ කර්වියෝ සහ විටාසෝ පැහැර ගැනීම සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්වී සිටියහ .  සිය මිතුරාගේ හදිසි වියෝවෙන් ඔවුහු බොහෝ සේ කම්පනයට පත්ව සිටියහ. 

ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටි රොබෝ ආරක්ෂකයා සියලු තොරතුරු ඇසෙන සැනින්,  ආරක්ෂක ප්‍රධානියා වෙතටත්,  රජු වෙතටත්  යැවීය.

"ඇයි  මේ පැහැර  ගැනීම සිදු කලේ ?" ආරක්ෂකයා ඇසීය.

"ඒක  පැහැර  ගැනීමක් වෙන්නේ නැහැ නේද ? අපි ඔක්කොම යාලුවෝ.    ඇලෙන්ඩි සහ බ්‍රයිටෝ  කියන්නේ එකට ඉගෙන ගන්න අය."

කර්වියෝ  පැවසීය.

"නමුත් සිය කැමැත්තෙන් තොරව කෙනෙක් ව රැගෙන යාම වරදක්. අනික ඒ තරුණිය  නිරුවතින් ස්නානය කිරීම වැනි අවස්තාවක මෙවැනි දෙයක් කිරීම  අශිලාචාරයි.

" අශිලාචාර වීම කියන්නේ වරදක් නෙමේ නේ. ඇයට කිසිම හානියක් නොවෙන විදියට අපි ඒ දේවල් කලේ. "

 විටාසෝ ද ඔවුන්ගේ ක්‍රියාව සාධාරණිකරණය කළේය.   

"ඒ  පර්යේෂණාගාරය කාගේ ද ? එතන මොනවද කෙරෙන්නේ ? රොබෝ ආරක්ෂකයාගේ හැඟීම් විරහිත ප්‍රශ්න කිරීම  කර්වියෝ  සහ විටාසෝ තුල ඇති කලේ  නොරිස්සුම් ගතියකි.  රජුගේ අනින් සිදුවන මේ ප්‍රශ්න කිරීම හුදෙක්  නිල යාන්ත්‍රණය ක්‍රියාත්මක වීමක් පමණක් මිස රජු සැබෑ ගැටලුව විසඳීමට ගන්නා උත්සාහයක් නොවන බව ඔවුන් දන්නා බැවින් පිළිතුරු දීමේ උදාසීන ගතියක් ඔවුන් තුල විය.

"එතන නිත්‍යානුකුල තැනක්. කිසිම රහසිගත හෝ නීති විරෝධී දෙයක් එතැන කෙරෙන්නේ නැහැ.  මෙටා දත්ත බලල දැනගන්න පුළුවන් දේවල් අපෙන් අහන එකේ තේරුම මොකක් ද ? "

නොරිස්සුම් ලෙස කර්වියෝ ඇසීය.

"රජුගේ හමුදාවට අයත් නොවන සෙබළුන්   සහ ඇලෙන්ඩි අතර තිබුණු සම්බන්ධය මොකක් ද ?"

"ඒක අපි දන්නේ නැහැ. "

"බ්‍රයිටෝ විසින් විවෘත කරන ලද සේප්පුවෙහි තිබුණු රහසිගත තොරතුරු මොනවාද ?"

"ඒ සේප්පුවේ ගොඩක් රහසිගත දේවල් තියෙනවා. ඒවා අපේ පරීක්ෂණවලට අදාළ දේවල්. පරීක්ෂණ වල ප්‍රතිපල සහ සැලසුම් වැනිදේ ."

"පෞද්ගලික දේවල් ඒ සේප්පුවේ තියෙනවා ද ?"

"තම තමන්ගේ චිත්ත තරංග වලින් විතරක් විවෘත කරන්න පුළුවන් නිසා පුද්ගලික දෙයක් වුනත් සේප්පුව තුල තියෙන්න පුළුවන්."

"බ්‍රයිටෝ ඇලෙන්ඩිට පෙන්වූ දේ කුමක් දැයි ඔබලා දන්නවද ?

"අපි කොහොමද ඒක දන්නේ ..?"

"ඇලෙන්ඩිව පැහැරගෙන යන්න ඔබලාත් සම්බන්ධ වුනානේ. මොකටද ඇයව පැහැරගෙන ගියේ ?"

"ඒක පැහැර ගැනීමක් නෙවෙයි. "

"ඇලෙන්ඩි  සහ බ්‍රයිටෝ අතර තිබ්බ විශේෂ සම්බන්ධෙ මොකක් ද ?   "

"එහෙම විශේෂ සම්බන්ධ කමක් තිබුන කියල අපි දන්නේ නැහැ .."

"බ්‍රයිටෝ සහ ඔබලා අතර සම්බන්ධය මොකක් ද ?"

"අපි යාලුවෝ..."

"පැහැර ගැනීමට පෙර   ඔබලා ඇලෙන්ඩි ව  අවසන් වරට හමු වුයේ කවද්ද ?"

"ඒක පැහැර ගැනීමක් නෙවෙයි. "

කර්වියෝගේ පිළිතුරු ඇසෙන විට විටාසෝ යටිතොල සපාගෙන සෙමින් සිනාසෙන්නට විය.

"බ්‍රයිටෝ  මිය යාමට පෙර අවසන් වරට ඔබලා ඔහුව හමු වුයේ කොහෙදිද ?"

"අන්තිමට අපි හම්බ වුනේ ලැබ් එකේදී "

" කවුද මේ පැහැර ගැනීම සැලසුම් කලේ ..?  ඔබලා මිතුරන් නම් ඇයි ඇලෙන්ඩිව  මේ විදියට රැගෙන ආවේ ? "

"ඒක පැහැර ගැනීමක් නෙමේ. "

" මේ වන විට ඇලෙන්ඩි සිටින තැන ගැන ඔබලා දන්නා දේ මොනවාද ?"

"ආරක්ෂක ප්‍රධානි තුමනි. ඔබට මේ සංවාදය ඇසෙනවා  යැයි මම සිතනවා. කරුණාකර අපිට රජතුමා හමුවීමට හැකිද..?" තවදුරටත් මේ ඒකාකාරී යාන්ත්‍රික සංවාදය ගෙනයාම වදයක් වූ කර්වියෝ ඇසීය. 

කර්වියෝගේ ඒ පිළිතුරෙන් පසු රෝබෝවා සිය කාර්යය මදක් නතර කළේය.

මොහොතකින් යලි ක්‍රියාත්මක වූ රෝබෝවා, "නැවත දැනුම්  දෙන තුරු ඔබලා දෙදෙනාව සිරබාරයට ගනු ලබනවා. "

"මොකක් .. අපි මොකක් ද කරපු වරද ? විටාසෝට පැවසීමට හැකි වුයේ එපමණකි.

මොහොතකින් එතැනට පැමිණි හැඩිදැඩි  නිලදාරීන් දෙදෙනෙකු විසින් ඔවුන් දෙදෙනා තදින් අල්ලා ගනු ලැබිණි.

"රෝබෝලට කපටි උත්තර දීලා බේරුනාට අපෙන් බේරෙන්න බැහැ. " යමු .

"අපිට රජතුමා හමු වෙන්න ඕනේ. " කර්වියෝ විරුද්ධ වෙමින් පැවසීය.

"එහෙම එක එක්කෙනාට ඕනේ විදියට රජතුමාව හම්බ වෙන්න බැහැ කියල දන්නේ නැද්ද...?"

"අපි වරදක් කරලා නැහැ..."

"ඒක අපි බලාගමු.  දැන් කරදර නොකර ආවොත් හොඳයි. මොකද මේ හැම දෙයක්ම තමුන්ට විරුද්ධව පාවිච්චි වෙන්න ඉඩ තියෙනවා. ආරක්ෂකයා ස්ථිර ලෙස පැවසීය.

"හරි අපිට රජු  හම්බ වෙන්න බැරි නම් රජුගේ  දුව නීෂා ව  හම්බ වෙන්න ඕනේ..."

කර්වියෝ එකට එක පැවසීය. 

"එහෙම රජ පවුලේ අයව හම්බ වෙන්න බැහැ. අනිත් එක නීෂා කුමාරිව දැන් මාළිගාවෙන් එලියට යවන්නේ නැහැ."

"හරි එහෙනම් අපිට ෆොර්මැටෝව හම්බ වෙන්න ඕනේ..."

"මම දැන් එක සැරයක් කිව්වනේ. කට වහගෙන ඉන්නවා. "   

"එහෙම බැහැ  අපිට අයිතියක් තියෙනවා අපිව වරදකරුවන් වෙන්න කලින් අපේ නිදහස වෙනුවෙන් එක් අයෙකුගේ සහය ගන්න."

"මේ ඉලන්දාරියා මෙතන මිනීමැරුමක් වෙලා තියෙනවා. පැහැර ගැනීමක් වෙලා තියෙනවා. මම හිතන්නේ නැහැ  කවුරු ආවත් තමුසෙලගෙ නිවැරදි බව ඔප්පු කරන්න පුළුවන් කියල." කටකාරී ආරක්ෂකයා පැවසීය.

"ඒක පැහැර ගැනීමක් නෙමේ "

එකවරම යන ගමන නතර කල ආරක්ෂකයා කර්වියෝගේ මුහුණට ලංවී නතර විය.

"මම රොබෝ කෙනෙක් නෙමේ.  වචන සෙල්ලම් වලින් මාව තම්බන්න බැහැ. තේරුණා ද ? අර තමුසෙගෙ යාලුවා වගේ කට පියාගෙන එනවා යන්න " 

ඔහු කර්වියෝ ගේ දෑත  වෙලා ගත්  ඉලෙක්ට්‍රොනික මාංචුවට ඇමිණු  පටියෙන් ඔහුව ඉදිරියට අදිමින් පැවසිය.   

"නෙමින්දෙර් රජතුමා ලොකු අමාරුවක වැටෙන්න යන්නේ. අපි වහාම රජුව හමු විය යුතුයි."

"රජතුමා අමාරුවේ වැටෙන එක නතර කරන්න තමා අපි ඉන්නේ... තමුසෙලා වගේ පණ්ඩිතයෝ දන්නේ රජවරු අමාරුවේ දාන්න තමා. "

"ස්කෘලොක් ආයේ නැගිටිනවා. අපි වහාම ක්‍රියාත්මක වෙන්න ඕනේ...."

"හහ් .. ඔය පැන්නේ එලියට... තමුසෙලා එතකොට මේ මන්තර පස්සේ දුවන කාන්ඩේට සම්බන්ධයි නේද....?

"මට හිතුණා..."

"අනේ මහා ලොකු උගත්තු, ඔය වල්බුත විශ්වාස කරනවනේ.  මම එකක් කියන්නම්. තමුසෙලා ඔය  නටන්න හදන නාඩගම වහාම නතර කර ගන්නවල . නේමින්දෙර්  රජ්ජුරුවෝ එක්ක  ලේසි නැහැ. අනිත් එක අයිසේ මෙච්චර මේ තාක්ශනේ දියුණු වෙලා තියෙද්දී, මෙච්චර මේ සැප පහසුකම් තියෙද්දී මොකටද අයිසේ මේ මන්තර කාරයෝ පස්සේ යන්නේ. මොන මෝඩ  වැඩ ද ?   "

"ලොකු උන්නැහේ, බැලස්ටිකා ප්‍රයිම් ගැන මොනවද දන්නේ ?"

"බැලස්ටිකා ප්‍රයිම්!"

ආරක්ෂකයා සිය ගමන නැවැත්වීය.

ඉදිරියෙන් යමින් සිටි සිය සහායකයාට අතින් සන් කර ඔහුගේ ගමන ද නතර කරවීය.

"බැලස්ටිකා ප්‍රයිම්, තමුසේ මොනවාද බැලස්ටිකා ප්‍රයිම් ගැන දන්නේ ? කොහෙන්ද ඔය වචනේ හොයා ගත්තේ..?" වික්ෂිප්ත බැල්මකින් යුතුව ආරක්ෂකයා ඇසීය.

"මට ඕනනම් පුළුවන් තමුන්නාන්සේට  බැලස්ටිකා ප්‍රයිම් එකක්  හොයල දෙන්න.." කර්වියෝ විශ්වාස සහගත ලෙස පැවසීය.

"මොකක්  බැලස්ටිකා ප්‍රයිම් හොයන්න... මොලේ විකාරද ?"  

"තාක්ශනේ වගේ නෙමේ උන්නැහේ මැජික්. නැති දේවල් මවන්න පුළුවන් ...  කැමති නැද්ද  බැලස්ටිකා ප්‍රයිම් එකක් ඉනේ ගහගෙන උජාරුවට යන්න. රජතුමා තියා රජතුමාගේ කිරි කිත්ත වත් දැකල නැති සුපිරිම ආයුධයක් අරන් පොඩි සෙල්ලමක් දාන්න කැමති නැද්ද... හෙහ් හෙහ් .." කර්වියෝ සෙල්ලක්කාර ලෙස පැවසිය.

"මේ ඉලන්දාරියා මම එක සැරෙකුත් කිව්වා. වචන සෙල්ලම් වලින් මාව රවට්ටන්න බැහැ. අපි රොබෝලා නෙමේ."

"බැලස්ටිකා ප්‍රයිම් කියන්නේ බොරුවක්. ඒක කවදාවත් තිබිච්ච ආයුධයක් නෙමේ.  හැබැයි මම අහල තියෙනවා ඔය ස්කෘලොක් ගේ අන්තිම සටනේදී බැලස්ටිකා ප්‍රයිම් පාවිච්චි කලාය කියල කතාවක්. හැබැයි ඉතින් එච්චර තිබිලත් ස්කෘලොක් පරාද වුණා. "

"මොකද කියන්නේ... අපි දෙන්නට යන්න ඇරියොත් මට පුළුවන් ඔහේට බැලස්ටිකා ප්‍රයිම් එකක් පෙන්නන්න. අද  රෑට..." කර්වියෝ  මුට්ටිය දමා බැලුවේය.

"හහ් ... මම ඕවට අහු වෙන්නේ නැහැ අයිසේ.  ඔය මන්තර පස්සේ දුවන නඩේ දෙන බොරු පොරොන්දු ගැන මම දන්නවා.  බැලස්ටිකා ප්‍රයිම් දෙන්න කතාව. "

"බොරු කතා කියල මගේ කාලේ කන්නේ නැතුව එනවල යන්න " යැයි  පවසමින් ඔහු කර්වියෝ සහ විටාසෝ රැගෙන රැඳවුම් මැදිරි පිහිටි සංකීර්ණය වෙත ගියේය .

ඔහු රැඳවුම් කාමරයට මිතුරන් දෙදෙනා දමා කාමරයේ දොර වැසීමට සැරසෙත්ම   වාඩිවී සිටි ලෝහ ඇඳට තට්ටු කරමින් කර්වියෝ සිහින් හඬින් මුමුණන්නට විය.... 

"මායාවේ උල්පත නුඹ , මායාවේ උල්පත නුඹ , මගේ සිතැඟි දැන ගන්නේ.."
"එහි ලියැවුනු මගේ සතුට මේ ලොව වෙත එවපන්නේ.."

"මේ කොලුවෝ ... ඔය මන්තර වලින් බඩු  මවන්න බැහැ. " ආපසු හැරුණු ආරක්ෂකයා පැවසීය.

"මායාවේ උල්පත නුඹ , මායාවේ උල්පත නුඹ , මගේ සිතැඟි දැන ගන්නේ.."
"එහි ලියැවුනු මගේ සතුට මේ ලොව වෙත එවපන්නේ.."

ඔහුව ගණනකට නොගත් කර්වියෝ දෙවෙනි වරටද මන්තරය මිමිනීය.

"ලොකු උන්නැහේ මොකද කියන්නේ ..? ගනුදෙනුවට කැමති ද ?

ඔහු දෙස කෝපයෙන් බැලූ ආරක්ෂකයා මහා හඩින්  දොර වසා යන්නට ගියේය...  


***********

නෙමින්දෙර් රජු  එදිනට යෙදී තිබුණු වෙළඳ සාකච්චාව සඳහා  යමින් සිටියේය. බොහෝ කලකට පසු තමන්ගේ සිත නොසන්සුන් වී ඇති බව ඔහුට දැනුනි. ඇලෙන්ඩිගේ අතුරුදහන් වීම ගණන් නොගතයුතු දෙයක් ලෙස සිතීමට තැත් කලද ඔහුගේ යටිසිත පැවසුයේ වෙනත් දෙයකි. ජිවිතයේ බොහෝ අත්දැකීම් විඳ ඇති රජු බොහෝ දේ උපේක්ෂාවෙන් බැලීමට පුරුදුව සිටියේය. නමුත් සිය ඉවට දැනෙන මේ නොසන්සුන් හැඟීම නොසලකා හැරීමට හේ පසුබට විය. 


"කොහොමද ක්‍රොෆින්ගර් ? කොහොමද කඳුකරේ තොරතුරු...?" රජු සාකච්චාව ඇරඹීය.

"කඳුකරය හැමදාම එක වගේ. අපි වෙනස් වෙන්නේ නැහැනේ. " ක්‍රොෆින්ගර් සිනාසෙමින් පැවසීය.

"හැබෑටම  මෙච්චර නවීන කාලෙක මොකද ඔය යල්පැනගිය විදියට ජිවත් වෙන්නේ ? "

නෙමින්දෙර් දන්නවනේ  අපිට ඔය විච්චුරණ වැඩ අල්ලන්නේ නැහැ කියල.  අපි කන්ද උඩට වෙලා පහල සෙල්ලම් කරන පොඩි උන් දිහා බලනවා වගේ මේ පළාත දිහා බලන් ඉන්නවා.  පොඩිඋන් කරන සෙල්ලම් කරන්න හිතෙන්නේ නැහැ..." ඔහු අවඥාවෙන් මෙන් පැවසීය.

"හහ් හහ් එතකොට අපි දැන් පොඩි උන් ද ..? ඒක හොඳ උපැහැරනේ ..." රජුද සිනාසෙමින් පැවසිය.

"අපිට ලොකු උදව්වක් ඕනේ වෙලා තියෙන මේ වෙලාවේ එහෙනම් කඳුකරේ ඉන්න වැඩිහිටියෝ අපිව බලා ගනියිනේ. මම එහෙනම් කෙලින්ම කියන්නම්කො "              
  
"මම හිතන්නේ අපි එවපු ගිවිසුම ක්‍රොෆින්ගර් කියවන්න ඇති නේ. අපිට මේ අමුද්‍රව්‍ය ඉතාම අවශ්‍යයි. අපිට අයිති වෙලා තිබුණු නිධි සියල්ලේම නිෂ්පාදනය සෑහෙන දුරකට අඩු වෙලා.   අපිට තව ප්‍රදේශ කිහිපයක අයිතිය අවශ්‍යයි."

"මම ගිවිසුම කියෙව්වා.   නෙමින්දෙර්  හිතන්නේ  මේ යන විදියට ඔය අලුතින් ගන්න හදන නිධි වලින් කොච්චර කාලයක්  වැඩ ගන්න පුළුවන් වෙයි කියලද ?"   මොකද පොලෝනියම් හැමතැනම නැහැ. අනිත් එක ඔය ඉල්ලලා තියෙන ප්‍රදේශ ඉතා සංවේදී පරිසර පද්ධති තියෙන පළාත්. සිද්ද වෙන පරිසර හානිය දරුණු වැඩියි.

"මම ඒක දන්නවා.  ඒ  නිසානේ  අපි ඇති තරම් ගෙවන්නේ. අනිත් එක කඳුකර ජනතාවගේ සුභ සිද්ධිය පිණිස අපේ තාක්ශනේ ඕනේ වෙලාවක දෙන්න ලෑස්තියි."

"නෙමින්දෙර්,  ඔයා දන්නවනේ අපි සරල මිනිස්සු. අපිට  රොබෝලා , මයින්ඩ් ජෙට් ඕනේ නැහැ අපේ වැඩ කර ගන්න. අපිට  ඔය අන්තර් ග්‍රහලෝක වෙළඳාම් කියන සෝබන වැඩ කරන්න ඕනෙත් නැහැ. ඉතින් ඔය තාක්ෂනෙන් අපිට ලොකු ප්‍රයෝජනයක් නැහැ."

"තාක්ෂනෙන් ප්‍රයෝජන තියෙන්නේ ඒවා ගන්න සුදානම් මිනිස්සුන්ට. අවංකව මට හිතා ගන්න බැහැ ඇයි කඳුකරේ මිනිස්සු මෙච්චර මුරණ්ඩු කියල.   

"හෙහ් හෙහ් ඕවා ගැන කතා කරලා වැඩක් නැහැ නෙමින්දෙර්, එදා ඉඳල අපි වෙනස් ඔයාල වෙනස්. අපි දෙන්න පැති දෙක පාලනය කරන්නේ ඒක හින්දනේ. "

"හරි මොකක් ද දැන් අපෙන් කෙරෙන්න ඕනේ. මම ඔයාලව වෙනස් කරන්න හදන එක නතර කරලා දැන් ගොඩක් කල්. අපේ ගිවිසුමේ හැටියට අපි කටයුතු කරන්න ලෑස්තියි."

"මම හිතන්නේ නැහැ අපිට මේ සෙල්ලම තව වැඩි කාලයක් කරන්න පුළුවන් වෙයි කියල. මේ ටික ඉවර වුනාම තව ඕනේ වෙයි.  මට දැනට මේ අමුද්‍රව්‍ය දෙන එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඊට පස්සේ මොකද වෙන්නේ ?"

"ක්‍රොෆින්ගර්, අපි බොහෝ පරීක්ෂණ කරනවා මේ මුලද්‍රව්‍ය වලට තියෙන යැපීම අවම කරගන්න. මම හිතන්නේ තව වැඩි කාලයක් යන එකක් නැහැ." රජු පැවසිය. 

"හහ් හහ් හා ... නෙමින්දෙර් ඔයා තාම වෙනස් වෙලා නැහැ. අපි දෙන්නා මේ දෙපැත්ත බෙදා ගන්න දවසෙත් ඔයා කිව්වේ ඕක. මේ වෙද්දී ගැලක්සිය වටේ අපි කොච්චර දුරක් ඇවිල්ලද... තාම ඔය කියන යැපීම නතර කරගන්න ක්‍රමයක් හොයා ගන්න බැරි වුනානේ."   


"ඔය පරණ කතා අල්ලලා දාන්න. මට කෙලින් කියන්න මේ වැඩේ කෙරෙන්න මොනවාද වෙන්න ඕනේ කියල. " රජු ක්‍රොෆින්ගර් ගේ අවලාද ගණනකට නොගෙන පැවසිය.

වීඩියෝ තිරයෙන් පෙනෙන ක්‍රොෆින්ගර්ගේ රුව රජු තුල පැහැදීමක් ඇති නොකළේය. ඔවුන් දෙදෙනා අතර වූ අතීත ගැටුම් සහ ඔහුගේ සැබෑ ගති ස්භාවය දන්නා රජුට, සිය නෑයා වුවත් ක්‍රොෆින්ගර් සමග ගනුදෙනු කිරීම සැමවිටම ආතතියක් ගෙන දුන් වැඩක් විය. ඔහුගේ උද්දච්ච සහ ගතානුගතික ස්භාවය සැමවිටම යමක් සාකච්චා කර විසඳා ගැනීම දුෂ්කර කළේය.


"නෙමින්දෙර්,  මම හිතන්නේ අපි මේ ක්‍රමේ වෙනස් කරන්න ඕනේ.  මම දන්නවා රටේ රජු වශයෙන් ඔබට පුළුවන් මම කියන දේට විරුද්ධ වෙන්න. හැබැයි ඔබට හා සමාන බලයක් සහ අයිතිවාසිකමක් කඳුකරය ගැන මට තියෙන නිසා විරුද්ධ වෙන්න කලින් දෙපාරක් හිතන්න. " ක්‍රොෆින්ගර්ගේ මුහුණෙහි වූ කූට පෙනුම රජු අපහසුතාවයට පත් කළේය.

"අපි මේ තාක්ෂනේ සහ ස්භාවධර්මය එකට එකතු කරන්න ඕනේ.  කොරන්වේලි වල, ටෙරමි වල මැෂින් වගේ රොබලත් එක්ක ජිවත් වෙන මිනිස්සුන්ට ගහ කොළ සතා සිපාවගේ අගය කියල දෙන්න ඕනේ.  ඔය බොරු සෝබන දිවිල්ල වෙනුවට මේ පරිසරයේ තියෙන අගය ඒ මිනිස්සුන්ට කියල දෙන්න ඕනේ. ජිවත් වෙන්න මැෂින් නැතුව පුළුවන් කියල ළමයින්ට උගන්වන්න ඕනේ."  විද්වත් පෙනුමක් ආරුඩ කර ගනිමින් ක්‍රොෆින්ගර් පැවසීය.

"හෙහ් හෙහ් ... දැන් කොහොමද ඕක කරන්න හිතාගෙන ඉන්නේ ? මේ දැන් කිව්වා නේද කඳුකරේ ඉඳල අපි දිහා බලන් ඉන්නවා කියල.  මේ පැත්තේ මිනිස්සුන්ව වෙනස් කරන්න කලින් නරකද ඔහේ ඉන්න නුගත් මිනිස්සුන්ට අපි හොයා ගන්න දැනුම ලබා දීලා ඒ මිනිස්සුන්ගේ ජිවිත දියුණු කරන්න උත්සාහ කරන එක ? "

"නෙමින්දෙර් .... නෙමින්දෙර් ... ඔයාට තාම මේක තේරෙන්නේ නැහැ . ඔය දුවන්න හදන දිවිල්ල තව වැඩි කාලයක් ඔයාට කරන්න බැහැ.  මේ මිනිස්සුන්ට තාක්ශනේ පුරුදු කරන එක නෙමේ අපි කරන්න ඕනේ. ඔයාගේ පැත්තේ මිනිස්සුන්ට ඇත්ත ජිවිතේ මොකක් ද කියල තේරුම් කරන එක. ඔය දුවන දිවිල්ල නතර කරන එක..."

"හෙහ්... ක්‍රොෆින්ගර් මම කැමති නැහැ ආයේ ඔය වාදේ ඇදල ගන්න. ඔය මතවාද හින්ද යුද්ධ කරලා, බැට කාල ඉවර වෙලානේ අපි දෙන්න දෙපැත්තට වුණේ. 

"හරි... මම කිව්වොත් පොලෝනියම් නිධි තියෙන හොවාග් වල අයිතිය දෙන්න බැහැ කියල ...තමුන් මොකද කරන්නේ ?  මට තමුන්ගේ සල්ලි වත් ඔය යකඩ කෑලිවත් වැඩක් නැහැ.

"එහෙම කරන්න උඹට අයිතියක් නැහැ. අපේ  රාජ්‍ය එකඟතාවයේ තියෙනවා සම්පත් බෙදීයාම ගැන.  මම ඕනනම් වගන්තියත් කියන්නම් ."

"නෙමින්දෙර් .... නෙමින්දෙර් ... ඔය වගන්ති ගැන නෙමේ මම කියන්නේ. මේ පෙරදිග රාජ්‍යය කවදාහරි විනාශ වෙලා යන එක නතර කරන්න ඕනේ.  මේ පොළව හූරගෙන කන එක අපි නතර කරන්න ඕනේ .  

"ඒක නතර වෙනවා අපි මේ පරීක්ෂණ ටික කරලා ශුද්ධ ශක්තිය නිපදවීම කරපු ගමන්. ඒ වෙනකම් අවශ්‍ය මුලද්‍රව්‍ය මට ඕනේ."

"මහ රජතුමනි, මම ඔබට මගේ සම්පත් දෙන්න එකඟ වුනාට මේ පොලොව විනාශ කරන්න එකඟ වෙන්නේ නැහැ .  දෙන්නගෙන් කවුරු හරි රටට හානියක් කරනවානම් ඒකට විරුද්ධ වෙන්න අයිතියක් දෙන්නටම තියෙනවා. මට හිතෙනවා මම මේ විනාශය දිහා බලාගෙන හිටියා ඇති කියල. "

"හුහ්... මම මේ රට හැදුවා. මම මේක විනාශ කරන්නේ නැහැ. මේ රට පස්සට ගන්නේ උඹල. ඔය මෝඩ අදහස් වලින්. " මේ වන විට රජුගේ ඉවසීම, එහි  සිමාවේ අගට ලං වෙමින් තිබණි.

"වැඩි කතා ඕනේ නැහැ. උඹට ඕනේ දේ කෙලින් කියපන්." රජු අණ කළේය.

"හරි... මට ඕනේ පහතරට මිනිස්සු, කඳුකර අපේ ක්‍රම සහ විධි වලට ගරු කරන්න, ඒවා පිළිගන්න. ඒක තමා මේ විනාශයෙන් මේ රට ගලවගන්න තියෙන එකම විදිය, සමබරතාවය. ඒක මිනිස්සුන්ට දැනෙන විදියට කරන්න නම්  කඳුකරය සහ ෆ්රිදොම් කන්ද අතර ස්ථිර බැඳීමක් ඇති වෙන්න ඕනේ. මිනිස්සු පිළිගන්නේ එතකොට..."

"නීෂා සහ ඇස්ඩෝව්ස් අතර විවාහය තමා ඒකට තියෙන හොඳම විසඳුම.

"මොකක්... මොකක් ද උඹ කිව්වේ....?" නෙමින්දේර් රජු කෝපයෙන් ගුගුලේය.

"ඇස්ඩෝව්ස්  කියන්නේ මගේ මස්සිනා. ඔහු හොඳ කෙනෙක්.    නීෂාගේත් වයස හරි නිසා මම හිතන්නේ මම මෙහෙම යෝජනා කරන එක වරදක් නැහැ." ක්‍රොෆින්ගර්  වැදගත් ලෙස පැවසීය.

"ඒක ... ඒක  කවදාවත් වෙන්නේ නැහැ.... වෙළඳාම එකක්, කසාදෙ එකක්. මගේ දුවගේ ජිවිතේ මේ වෙළඳාමට ගාව ගන්නේ නැහැ.  මේ අහ ගනින් ක්‍රොෆින්ගර්,  මම හොදින් හරි නරකින් හරි මට ඕනේ දේ ගන්නවා. එකක් මතක තියා ගනින් මගේ කෙල්ල මේවට ගාවන්න එපා.." රජුගේ ස්ථිරසාර ලෙස පැවසීය.

ක්‍රොෆින්ගර් කපටි ලෙස මහලු රජු දෙස බලා සිටියේය.    

"එහෙනම් රජතුමනි, අපි බලමු. මම දැන් නවතිනවා." ඔහු සංවාදය නිමා කර දැම්මේය.           
 

12 comments:

  1. පැතුම්, අද මම කියන දේ පොදුද කියලා නම් මම දන්නේ නැහැ. ඒත් ගත යුතු දෙයක් තියේ නම් ගන්න.

    මේ වගේ කතන්දරවලට මම කැමතියි. නමුත් පොතක් ක්යවනවා වගේ නෙවෙයිනේ බ්ලොග් ලිපියක්. ආපහු හොයා බලන්න ගියොත් වෙලාව යනවා.
    ඔයාගේ කතාවේ චරිත ගොඩයි. තැන්- දේවල් ගොඩයි. ඒවාට දී තිබෙන නම් අමුතුයි- දුරස්තයි. එක කොටසක් කියවලා දවස් ගණනාවක් ගියාම අර නම්-තැන් සමහරක් හරියටම මතක නැහැ වගෙයි.

    ඒ නිසා ඉකමනින් ලියන එක විතරයි දැනට ඔයාට ඉතිරිවෙලා තියෙන එකම විකල්පේ.

    ReplyDelete
    Replies
    1. නිදි, ගොඩක් ස්තුතියි ඔබේ අදහස් වලට. මට ඔය කියන තත්වය තේරෙනවා. මේ කොටස පරක්කු වුනේ නම් අධික වැඩ නිසා. කොහොමත් මේ යන විදියට මේක මට කෙටියෙන් ඉවර කරන්න බැරි වෙයි. බලමු ඉක්මනට ලියන්න.

      මම මේ පහුගිය දවස් ටිකේ මෙච්චර කාලෙකට ලෝකේ ලියවෙච්ච හොඳම සයන්ස් ෆික්ෂන් එකක් විදියට සලකන Isaac Asimov ගේ Foundation කියෙව්වා. මට තාම ඒ කතාව තේරෙන්නේ නැහැ. තව පොත් හතරක් තියෙනවා එකේ කියවන්න.

      ඔබේ වටිනා අදහස් දිගටම ලැබෙයි කියල බලාපොරොත්තු වෙනවා.

      Delete
  2. අර නිදි උඩ කියන දේ ට මාත් එකඟයි. ඒත් මේ වගේ කතා යන්නෙ වෙනම නිර්මාණය වුණු විශ්වයක් ඇතුළෙ. ඒක ගෝචර වෙන්නෙ අර ස්ටා වෝස් වගේ පිස්සුවෙන් කියවන, බලන, ාඨකයන් රැළකට මිස එදිනෙදා කියවන අපට නෙවෙයි. ඒ නිසා බ්ලොග් එකකට මේක කරන්න අමාරුයි. නමුත් බ්ලොග් එකෙන් මේක සංවර්ධනය කරලා, පස්සෙ පොත්වලට යමු.

    මටත් ඔය ගැටලුවම තියෙනව. ඒකයි...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී, මේ ශානරයට කැමති අය ගොඩක් අඩුයි. ඒ වගේම ලියන්නත් ලේසි නැහැ. මම ඔය සමහර දේවල් වලට සෑහෙන වෙන වෙන ලිපි, විකිපීඩියා එහෙම බලල තමා ලියන්නේ. අනිත් එක කතාව මවන්න ගියාම නොවැදගත් කියල හිතෙන දේවල් ගැන හිතන්න ඕනේ. උදාහරණ මේ කියන ලෝකේ කාලය මනින්නේ කොහොමද වගේ දේවල්..

      මේක බ්ලොග් එකට දාන්න මම තීරණයේ කලේ මට ලියන්න උත්තේජනයක් එකෙන් ලැබෙන නිසා. නැත්නම් එක සැරේ පොතක් විදියට ලියන්න හිතුවොත් කෙරෙන්නේ නැහැ.

      කොහොම උනත් නිකමට ඇවිල්ල පොඩි කොමෙන්ට් එකක් හරි දාන උඹල වගේ උන් හින්ද උනන්දුවෙන් වඩා හොඳට ලියන්න හිතෙනවා.


      Delete
    2. ඒක තමා. මේ වගේ වෙනම විශ්වයක යන කතා ලිවීම ඉතාම ලොකු වැඩක්. අර ලෝඩ් ඔෆ් ද රිංස් වගේ... ඒකෙන් රචකයා ම ගොඩක් සංවර්ධනය වෙනව.

      මම අවුරුදු දහයක් - විස්සක් උනත් බලාගෙන ඉඳල මේ කතාව කියවනව. අතාරින්ඩ එපා...

      Delete
  3. හොඳ- නරක විවේචන සේරම ලැබෙන්නේ සහෝදර හිතවත් අපි ඔයාව රචකයෙක් විදිහට ගණන් ගන්න හින්දා. අපට යමක් හිතට වැදෙන නිසයි විවේචන කරන්නේ. ඒ සේරම මල් කියලා හිතාගන්න.

    ReplyDelete
    Replies
    1. නිදි බොහොම ස්තුතියි නැවතත්. මම මේ දැනුත් කතාවේ ඉතිරි ටික ලියමින් ඉන්නේ. ඒ ඔබගේ උපදෙස නිසා. ඔබ කිව්ව දේ ඇත්ත. විවේචන සහ අදහස් නැතුව ලියන්න හරි අමාරුයි. ඔබ වගේ වැඩිහිටි කෙනෙක් මේ වගේ කතාවකට උනන්දු වීමත් මාව මේ විදියට දිරිගන්වන එකත් මට අවංකවම ඉතාමත් ලොකු දෙයක්.

      මම මේ බ්ලොග් එක ලියන්න පටන් අරන් මේ වෙද්දී අවුරුදු 14ක් වෙනවා. මේ වගේ එක දිගට සහ උනන්දුවෙන් දෙයක් ලිව්ව පලවෙනි වතාව මේ. හෙහ් හෙහ් ..

      ඊළඟ කොටසත් මේ සතියෙම දෙන්නම් කොහොම හරි.

      Delete
  4. පෑතුම් කොහොමටත් 206 ඉඳලම ෆෑන්ටසි පස්සෙ යන කොල්ලෙක්නෙ. ඔය මයින්ඩ් ජෙට් කතාව ඒ කාලෙ එකෙක්..
    අපි වගෙ පොලොවට බහින්න කෑමෑත්තක් නෑ

    මහ පොලොවෙ ප්‍රශ්න ගොඩයි. මනෝ ලෝකෙ තනියෙන් ඉන්න එක සෑපයි කියල හිතෙනවා ඈති..

    ReplyDelete
  5. හරිම බුඩ්ඩිමත් ඇනෝවෙක්. ඔය ඇනෝ කන්න ආසම කොකිස් නේද ? :)

    ReplyDelete