Thursday, January 31, 2013

සිලිකන් නිම්නයේ වීර සොරු හෙවත් පරිගණකය මේසේ උඩට ආපු හැටි 1 කොටස


සිලිකන් නිම්නය ගැන අපි හැමෝම වගේ දන්නව. දන්නේ නැත්නම් මෙතනින් විස්තර දැන ගන්න පුළුවන්. සිලිකන් නිම්නය අපේ කාලයේ තාක්ෂණික වීරයෝ ඔක්කොගෙම වගේ උපන් ගම කියන්න පුළුවන්. ඒ සිලිකන් මහගෙදර හිටපු සාමාන්‍ය කොල්ලෝ දෙතුන් දෙනෙක් මුලු ලෝකෙම වෙනස් කරපු කතාව නොදන්න අයට දැන ගන්න සහ දන්න අයට වඩා විස්තර සහිතව දැන ගන්න නියම වීඩියො ටිකක මට හම්බ වුණා.



ඔන්න ඔය ලින්ක් දෙකෙ තියෙන වීඩියෝ ටික පුළුවන් නම් හොයා ගෙන බලන්න. අපිට හිතන්නත් බැරි දේවල් 1970 දශකය වගේ කාලෙක පුංචි කොලු ගැටව් ටිකක් කරපු හැටි බලන්න පුළුවන්. ඉස්සෙල්ල Pirates of Silicon Valley බලල පස්සෙ The Triumph of the Nerds: The Rise of Accidental Empires (මේකේ කොටස් 3ක් තියෙනවා. 3ම බලන්න) තමයි මම නම් බැලුවේ. කොහොම බැලුවත් එකයි. 

මේක යාලුවෙකුගෙන් මට ලැබුණ එකක් නිසා ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක්ස් දෙන්න විදියක් නෑ. හැබැයි හොඳ ටොරන්ට්ස් හොයා ගන්න අමාරු නෑ. මට කෝල් එකක් දීල ඔපිස් එක පැත්තේ ආවොත් පෑනකට ඔය ටික කොපි කරල දෙන්න පුළුවන් කැමති කෙනෙකුට..

හරි ඩවුන්ලෝඩ් කරල බලන්න විදියක් හරි එච්චර උනන්දුවක් හරි නැති අය වෙනුවෙන් මම සරලව පොඩ්ඩක් විස්තර කරන්නම්. 

කොම්පියුටර් කියන සංකල්පේ ගොඩක් පරණ දෙයක්. සාමාන්‍ය සැලකීම චාල්ස් බැබේජ් කියන කෙනා මුල්ම කොම්පියුටරේ හැදුව කියන එක. ඒ කියන්නේ 1812 දි විතර. මේ තියෙන්නේ සියවස් 2ක විතර තිස්සේ දියුනු වෙලා කාමර පුරා පැතිරුණ මේන්ෆ්‍රේම් යුගයෙන් ගෙදර මේසෙ උඩට කොම්පියුටරය කියන උපකරණය ගෙනාපු කතන්දරේ..

1970 ගනන් වලදි පරිගනක ලෝකයේ දැවැන්තයා වෙලා හිටියේ IBM සමාගම හැමෝම ආදරේට කිව්වේ BIG BLUE කියල. ඔවුන් පරිගණකය සැලකුවේ අතිශයින්ම සුදුසුකම් ලත් වැදගත් යැයි සම්මත මිනිසුන් කොට්ටාශයක් විසින් අතිශය වැදගත් කටයුතු සඳහා පමණක් භාවිතා කළ හැකි සම්භාවනීය යන්ත්‍රයක් විදියට. IBM කොම්පියුටර් ගැන අදටත් මිනිස්සුන්ගේ ඔලුවේ තියෙන්නේ ඒ වගේ හැඟීමක් (ටිකක පරණ පරම්පරා වල අයගේ). ඔවුන් ඒ සංකල්ප වලින් මිනිස්සුන්ව බ්‍රේන් වොෂ් කරල තිබ්බ කිව්වත් හරි..

1984 දි ස්ටීව් ජොබ්ස් විසින් ප්‍රකට සිනමා අධ්‍යක්ෂක Ridley Scott ගේ අධ්‍යක්ෂනයෙන් නිපදවමු මේ වෙළඳ දැන්වීමෙ ඔය අදහස නියමෙට තියෙනව. මෙම දැන්වීම අදටත් ලෝකයේ හොඳම වෙළඳ දැන්වීම් අතර තියෙනවා. 




හරි ඔන්න ඔහොම BIG BLUE ඒකාධිකාරයකට යටත්ව මේ පරිගණකය තිබිච්ච කාලෙ ගැටවර වයසේ හිටපු නර්ඩ් කොල්ලො ටිකක් කරපු හපන් කම් ටිකක් තමයි මෙච්චර දුරක් මේ ලෝකේ ගෙනාවේ. 

කොම්පියුටරේ වැඩ කරන හැටි ගැන උනන්දු වෙච්ච ගොඩක් අය ඒ කාලේ ඔය සිලිකන් නිම්නය කියන හරියේ හිටියා. අපේ නම් නිකන් පංචිකාවත්ත වගේ කියල හිතමු. එක එක ගැජට් කෑලී වලින් එක එක සර්කිට් අටෝ අටෝ වැඩ කරන කොල්ලෝ තරඟෙට වගේ තම තමන්ගේ මිතුරන් අභිබවන්න එක එක විදියේ ගැජට් හදපු අපූරු පළාතක් මේක.

ඔය කාලෙදි MITS Altair 8800 කියල කොම්පියුටරයක් ගැන ඒ කාලේදි යන්තම් අවුරුදු 16-18 වගේ වෙලා හිටපු බිල් ගේට්ස්,පෝල් ඇලන්,ස්ටීව් ජොබ්ස්,ස්ටීව් වොස්නියැක්,ස්ටීව් බෝල්මර් කියන අපේ වීරයෝ සෙට් එකට අහන්න ලැබෙනවා. මෙතන බිල් ගේට්ස්,පෝල් ඇලන්, ස්ටීව් බෝල්මර් කියන්නේ එක සෙට් එකකුත්

බිල් ගේට්ස්,ස්ටීව් බෝල්මර් 



බිල් ගේට්ස්,පෝල් ඇලන්



ස්ටීව් ජොබ්ස්,ස්ටීව් වොස්නියැක් කියන්නේ තව සෙට් එකකුත් විදියට තමා හිටියේ. ඒ කාලේදි Altair 8800 කියන්නේ සුපිරි භාන්ඩයක්. පොඩි පොඩි ස්විච් ටිකකුයි බල්බ් ටිකකුයි විතරක් තිබ්බට ඒක ඇතුළේ පරිගණක වල මූලික සංකල්ප කිහිපයක් තිබිල තියෙනවා. අන්න ඒ නිසයි මේ කොල්ලන්ට කාල ඉන්න බැරි වෙලා තියෙන්නේ. කොහොම හරි Altair 8800 එකක් ගන්න එක තමා ඔවුන්ගේ සිහිනය. තමන්ටම කියල පරිගණකයක්.

ස්ටීව් ජොබ්ස්,ස්ටීව් වොස්නියැක් 


මේ තියෙන්නේ MITS Altair 8800




ඔය කාලේ වෙනකොට COBOL, FORTRAN, BASIC වගේ පරීගණක භාෂා නිපදවල ඒවයෙන් මිනිස්සු වැඩ කර කර ඉඳල තියෙනවා. බිල් ගේට්ස් කියන්නේ අති දක්ෂ ප්‍රෝග්‍රැමර් කෙනෙක්. ස්ටීව් ජොබ්ස් ඒතරම්ම ටෙක්නිකල් නොවන නමුත් අනාගත දැක්මක් තිබ්බ අමුතුම විදියේ නිර්මාණශීලී චරිතයක්. කොහොම හරි ස්ටිව් ජොබ්ස් MITS සමාගමට ගිහින් ඒ කාලේ හැටියට ලොව පළමු පුද්ගලික පරිගණකය නිපදවපු Ed Roberts ගෙන් Altair 8800 එකක් සල්ලි වලට අරන් එනවා. හැබැයි බිල් ගේට්ස් කරන්නේ Altair 8800 පරිගණකයට දත්ත දාන්න පුළුවන් විදියේ වැඩසටහනක් BASIC වලින් ලියල ඔය MITS සමාගමට විකුණන එක.

මේ ඉන්නේ එඩ් රොබට්ස්



බිල් ගේට්ස්,පෝල් ඇලන් මයික්‍රෝසොෆ්ට් කියල සමාගමක් හදාගෙන ප්‍රොග්‍රෑම් ලියන අතරෙදි ස්ටිව් ජොබ්ස් එයාගේ යාලුවා ස්ටීව් වොස්නියැක් එක්ක තමන්ගෙම කියල පුද්ගලික පරිගණකයක් හදන්න සිහින දකිනවා. සිහින දකිනව විතරක් නෙවෙයි ඒ සිහින හැබෑ කරගන්න දිවා රෑ වෙහෙසෙමින් ගෙදර ගරාජ් එකේ හදාගත්ත 

APPLE COMPUTERS සමාගමේ වැඩ කරනවා.


ස්ටීව් ජොබ්ස් ටිකක අසාමාන්‍ය චරිතයක්. ඔහු සම්ප්‍රදායෙන් පිට තමයි හැම වෙලේම වැඩ කලේ.. ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙලා පිස්සුවෙන් වගේ ඒ දේවල් අදහන (අපි දන්න තේරවාදී ආධ්‍යාත්මික සංකල්ප නෙවෙයි). හරියට කුඩු ගහපු චරිතයක් වගේ පොරක්. ඔහු ජීවත් වුණේ මේ ලෝකෙ නෙවෙයි. හැමදේම සම්පූරණයෙන් ම වෙනස් පැති වලින් ඔහු දැක්කේ. ඔය කියන කාලෙදි මිනිහා කෑවේ පළතුරු විතරයි සහ රැවුල කොන්ඩේ 2කම වවාගෙන ආතල් එකේ හිටපු චරිතයක්.

අන්තිමට කොම්පැණිය දියුණු කරන්න ලෝන් එකක් ගන්න බැංකුවට ගියාම තමයි පොර තේරුම් ගන්නේ ඔය රැවුල් කොන්ඩ වවාගෙන ඉන්න චරිත වලට ලෝන් දෙන්න බැංකු කැමති නෑ කියන එක. කොහොම හරි සෑහෙන්න ගෙමක් දීල 1976 අප්‍රේල් මාසේ 1 ද පටන් ගත්ත APPLE COMPUTERS සමාගමේ පළමු නිර්මාණය වෙච්ච ස්ටීව් ජොබ්ස්,ස්ටීව් වොස්නියැක් විසින් අතින් සාදන ලද APPLE 1 පරිගණක වෙළඳ පොළට නිකුත් කරනවා. 

මේ තියෙන්නේ APPLE 1




Altair 8800 එකට වඩා APPLE 1 එක නැඟල යනව. පස්සේ ඒ ගැම්මෙන් ම APPLE 2 දක්වා ඔවුන් ඔවුන්ගේ පරිගණකය දියුණු කරල සෑහෙන ආදායමක් ලබල ඒ කාලේ හැටියට මිලියනපතියෝ බවට පත්වෙනවා.

මේ තියෙන්නේ APPLE 2


මේ මුල්කාලීන ඇපල් කොම්පියුටර් වල තිරයක් තිබිල නෑ, ඒ වෙනුවට ඔවුන් පාවිච්චි කරල තියෙන්නේ ටී.වී එක. හරියට අපි ඇන්ටෙනාවෙන් එන ජැක් එක ටී.වී එකට ගහල බලනවා වගේ තමයි මේ මැෂින් ටී.වී එකට ඒ ජාතියේ කොඇක්ෂියල් කේබල් එකකින් සම්බන්ධ කරල තියෙන්නේ.

මේ අතරේ බිල් ගේට්ස්,පෝල් ඇලන් සහ ස්ටීව් බෝල්මර් සෙට් එක කරන්නේ එක එක විදියේ සොෆ්ට්වෙයාර් හදන එක. ඇපල් ලක්ෂ ගනනින් හම්බ කරනකොට මයික්‍රෝසොෆ්ට් එක යාන්තම් ගැටගහගෙන දුවනවා. හැබැයි ඔවුන්ගේ ඉලක්කය පොඩි පොඩි සොෆ්ට්වෙයාර් කෑලි නෙවෙයි කෙලින්ම BIG BLUE ට සොෆ්ට්වෙයාර් දෙන්න. එතකොට බිල්ගේට්ස් ට වයස 17-18 ඇති.

ස්ටීව් ජොබ්ස් එක පැත්තකින් තමන්ගේ ඇපල් නිශ්පාදන වලට සොෆ්ට්වෙයාර් හාර්ඩ්වෙයාර් හදන අතරෙ, බිල් ගේට්ස් අනිත් පැත්තෙන් BIG BLUE එකට ප්‍රථම වරට ඔපරේටින් සිස්ටම් එකක් ලියන්නයි හදන්නේ. ඒ කාලේ වෙනකොට IBM සමාඟමත් පුද්ගලික පරිගණක හදන අදහස ගැන සැලකිලිමත්. ඔවුන් ඒ සඳහා ඔපරේටින් සිස්ටම් එකකට නිර්මාණ කරුවන් සොයන කාලයක් මේක. 

කොහොම හරි අමාරුවෙන් BIG BLUE එකේ ලොක්කන්ගෙන් ඇපොයිමන්ට් එකක් අරගෙන බිල් ගේට්ස් ස්ටීව් බෝල්මර් එක්ක යනවා BIG BLUE එකට. 

ඒ ටික නම් ෆිල්ම් එකේ බලන්නම වටිනවා...

බිල්ගේට්ස් IBM එකට ගිහින් කියනවා ඔයාලගේ කොම්පියුටර් වල දුවන්න මට ඔපරේටින් සිස්ටම් එකක් දෙන්න පුළුවන් කියල. ඒකේ නම DOS කියල ඔහු ඒ වෙනකොට ලියන්න හිතලවත් නැති ඔහුගේ සිහිනමය ඔපරේටින් සිස්ටම් එක IBM එකට විකුණනවා. 

ඊට පස්සේ තමා හොඳම හරිය. දැන් කොහොමද IBM එකට දෙන්න ඔපරේටින් සිස්ටම් එකක් ලියන්නේ. 

බිල් ගේට්ස්, බෝල්මර්, පෝල් ඇලන් එක්ක එකතු වෙලා ඕක හිතන අතරේ දි ස්ටීව් ජොබ්ස් යනවා එ කාලේ වෙනකොටත් laser printing, Ethernet,graphical user interface (GUI), සහ object-oriented programming කියන නිර්මාණ ලෝකයට හඳුන්වල දීල තිබුණු Xerox PARC සමාගමට. යන්නේ මොකටද කියල නිකමට හිතන්න පුළුවන් ද? ඔහුට ආරංවි වෙනවා මෙච්චර කාලයක් අකුරු ඉලක්කම් වලින් විතරක් වැඩ කරපු පරිගනකයට GUI දෙන්න පුළුවන් තාකෂණය Xerox PARC සමාගමේ තියෙනවයි කියන එක. ඒ විතරක් නෙවෙයි පරිගණක බාවිතය සම්පූර්ණයෙන්ම වෙනස් මගකට ගෙනාපු ලොව ප්‍රථම මවුස් එක නිර්මාණය කරන්නෙත් මේ Xerox PARC සමාගම.

මේ තියෙන්නේ 1979 දි Xerox PARC ස්ටීව් ජොබ්ස්ට තමන්ගේ GUI පෙන්නපු වීඩියෝ එක


ස්ටීව් ජොබ්ස්ගෙ සිහින යන්ත්‍රය හදන්න ඕනේ කරන තාක්ෂණය ඔහු Xerox සමාගමෙන් ලබා ගන්නවා. ඒ කියන්නේ ලොව ප්‍රථම වින්ඩෝස් සහිත පරිගණකය හදන්නේ Xerox සමාඟම.

ස්ටීව් ජොබ්ස් ඒ තාක්ෂණය තමන්ගෙ සමාගමේ නිර්මාණ වලට යොදාගන්න අතරේ බිල් ගේට්ස්ට එනව නියම අයිඩියා එකක්.. ඔය කාලෙදි Seattle Computer Products කියන සමාගමේ වැඩ කරන Tim Paterson කියන හාදය ලියන පොඩි ඔපරේටින් සිස්ටම් එකක් QDOS (Quick and Dirty Operating System) කියල. මේ කියන්නේ 1980 අවුරුද්ද. මට මතක හැටියට පෝල් ඇලන් යනවා මේ හාදය හම්බ වෙන්න. ගිහින් ඔහුගේ ඔපරේටින් සිස්ටම් එක $50,000කට මිලදී ගන්නවා. ඊට පස්සේ බිල් ගේට්ස් එයාගේ DOS එක ලියන්න පටන් ගන්නව අර QDOS එක මුල් කරගෙන.. 

හරි මේ කාලෙදි මේ වීරයෝ සෙට් එක විශ්වාස කරන එක ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. මේක කියල තියෙන්නේ පිකාසෝ

"Good Artists Copy, Great Artists Steal"

මේ තියෙන්නේ ස්ටීව් ජොබ්ස් පස්සේ කාලෙක දී ඔවුන් මේ සංකල්පය යොදාගත්ත හැටි කියන වීඩියෝ එකක්


මේ ඉන්ටර්විව් එක තියෙන්නේ The Triumph of the Nerds 3 වෙනි කොටසෙදි. 

ඊට පස්සේ එන්නේ මැකින්ටොෂ් යුගය සහ මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් යුගය. ස්ටීව් ජොබ්ස්ව ඇපල් සමාගමෙන් අයින් කරන එක... ස්ටීව් ජොබ්ස් මිනිස්සු ඉන්ටර්විව් කරන හැටි... ඇයි මේ කොම්පියුටර් සොෆ්ට්වෙයාර් ජොබ්ස් කරන කොල්ලෝ කොකාකෝලා බිබී,පීසා කකා පිස්සු හැඳිල වගේ ජීවත් වෙන්නේ.. ඇඩෝබ්,ඔරකල් ඉතිහාසේ.. තව හෙනට තියෙනවා.. 

දැන් ලිව්ව ඇති වගේ.මම හැමදාම ලියන විකාර අස්සේ පළවෙනි වතාවට මේ වගේ දෙයක් ලියන්නේ. කොහොමත් කොටස් 2ක් 3ක් ලියන්න වෙයි වගේ. ඒ අතරේ පුළුවන්නම් වීඩීයෝස් ටික හොයාගෙන බලන්න. 


Thursday, January 17, 2013

බල්ලෙකුගේ හදවත කියැවීමි....

බල්ලෝ සමාජ වාදී ද? ධනවාදී ද? බල්ලෝ වැඩියෙන් කැමති නිර්ධන පන්තියට ද ධනපති පන්තියට ද? නිකමටවත් බල්ලො මේ දේශපාලනය ගැන කොහොම දකිනව ඇත්ද කියල හිතල නැද්ද? ලංකාවේ නම් බල්ලෝ මහින්දටද රනිල්ටද නැත්නම් ෆොන්සේකට ද නැත්නම් ජෙප්පන්ට ද පක්ෂ ඇත්තේ..?නැත්නම් වික්‍රම කරන බාහූ ලට ද? 

ලංකාව තනි සිංහල බෞද්ධ රටක් කරන්න මහා වෙර වීරියක් දරණ මේ කාලෙදි අපිට බල්ලන් ව අමතක කරන්න බෑ. මොකද ලංකාවේ මිනිස්සු එක්ක නිතර දෙවේලේ රැඳිල ඉන්න, ඕනැම පාර තොටකදි හමුවන බොහෝම හිත මිත්‍ර වැදගත් සත්තු ජාතියක්.. මට හිතෙන්නේ කවද හරි මේක තනි සිංහල බෞද්ධ රටක් වෙච්ච කාලේක අපි බල්ලන්ට (පූසන්ටත්) සර්වබලු සහ සර්වපූස් ඡන්ද බලේ දෙන්න ඕනේ. මොකද සත්තව කරුණාව සිංහල බෞද්ධ රටක මූලික දේ වෙන්න ඕනේ. (හරක් මීහරක් නම් ඉතින් කොහොමත් හරක් ම නේ..)

ඔය කිව්වට මෙහෙ වගේ නෙවෙ රුසියාවේ. රුසියාවෙත් බල්ලෝ ඉන්නවා. ඒ බල්ලෝ වැඩියෙන් ම කැමති සමාජවාදෙට ධනවාදෙට ?

"අර ජරා තොප්පියක් දාගෙන ඉන්න වලත්තයා. ඒ කියන්නේ ජනතා ආර්ථික කටයුතු පිළිබඳ මධ්‍යම සෝවියට් සභාවේ කම්කරුවන්ට තියෙන අර සාමාන්‍ය බෝජන ශාලාවෙ කෝකියා, මගේ ඇඟට උතුරන වතුර වීසි කරල මගේ ඇඟේ වම් පැත්තම පුච්චල දැම්මා. අධමයා, ඒ මදිවාට ඌ කියාගන්නවා ඌ නිර්ධන පන්තිකයෙක්ලු.."

"නිර්ධන පන්තියේ එවුන්ගෙන් එපාම කරපු මදාවියෝ තමයි ඔය මුරකාරයෝ. එතකොට අරක්කැමියෝ? උන් නම් ඔය ඕනෙම ජාතියක වෙන්න පුළුවන්"

එම බල්ලාම ධනවාදී ලෙස

"ප්‍රභූ මහත්මයෙක්; මා එසේ තීරණය කරන්නේ හැඳ සිටින කබායෙන් යැයි ඔබ සිතනවාද? විකාර"

"මොන නමකින් කතා කළත් කමක් නෑ. මේ වගේ අසාමාන්‍ය දානයක් වෙනුවෙන් මොන නමකින් කතා කළහම මට මොකෝ? මං දැන් ඔබේ අත ලෙව කන්නම්. නැවත නැවතත් ලෙවකන්නම්. මං ඔබේ කලිසමත් ඉඹ්න්නම්. ඔව් පරිත්‍යාගශීලී හිතවත, මං ඔබේ කලිසමත් ඉඹින්නම්."

ෂාරික් අපූරූ වල් බල්ලෙක්! මට හිතෙන්නේ පීඩිත පන්තියේ බල්ලෝ නිර්ධන පන්තියට කැමති නෑ.. උන් කැමති ධනපති පන්තියට. ධනපති ගෙවල් වල හැදෙන බල්ලෝ හින්දි ෆිල්ම් වල වගෙ පීඩිත පන්තියේ බැල්ලියොත් එක්ක ප්‍රේම කරන්න හීන දකිනවද මම දන්නෑ.. නමුත් මම හදවත කියවපු ෂාරික් අපූරු බල්ලෙක්. 

ඒ වගේ බල්ලෙක් ධනවාදී ලෙස හිතන, බුද්ධිමත්,දක්ෂ,කාර්‍යයශූර මහාචාර්‍යය වරයෙකුට හම්බ වුනොත් මොනව වෙයි ද? මිනිස් මොළය පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරයෙකුට... 

පිටියුටරි ග්‍රන්ථියෙන් මොනවද වෙන්නේ? සමාජවාදේ ධනවාදේ තීරණය වෙනවද? හික්.. 

පොලිග්‍රාෆ් පොලිග්‍රෆොවිච් ෂාරිකෝව්ට ඇයි පූසෝ දැක්කම ඉන්න බැරි.. හිකිස්.. මිනිහට කරන්න හරි හමන් රස්සාවක් නෑ. ඉන්නේ අනුන්ගේ තැනක. හැබැයි විප්ලවවාදීයි, සමාජවාදියි ධනපති පන්තියට වෛර කරනවා.

ඔන්න ඔහොමලු රුසියාවෙ බල්ලෝ.

1925දී සෝවියට් රුසියානූ ලේඛක මිකායෙල් බුල්ගාකොව් විසින් ලියන ලද බල්ලෙකුගේ හදවත කියවා නැති කෙනෙකුට මේ දේවල් විකාර වගේ දැනෙයි. නිර්මාණශීලීත්වය උපරිමයි. දේශපාලනය,විද්‍යාව,හාස්‍යය නියමෙට ගැලපෙච්ච පොතක්.  ගිය අවුරුද්දෙ පොත් ප්‍රදර්ශනෙන් අරන් දෙසැම්බර් මාසේ අන්තිම කියවන්න පටන් අරන් අද කියවල ඉවර කරපු, කාලෙකින් කියවපු සිරාම පොතක්. 

අන්තිමටත් කියන්න ඕනේ අපි මේ තනිකර සිංහල බෞද්ධ රටක් හදන්න යන මේ අතිශය තීරණාත්මක ගමනෙදි අපිට බල්ලන්ව අමතක කරන්න බෑ. අපි බල්ලන්ගේ හදවත කියවන්න ඉගෙන ගන්න ඕනේ. උන්ටත් තනිකර සිංහල බෞද්ධ රටක ජීවත් වෙන හැටි උගන්නන්න අපි උන්ගේ හදවත කියවන්නම ඕනේ.

Sunday, January 06, 2013

ගුරුත්ව ලාම්පුව සහ සූර්‍යය බල සෙල්ලම් බඩු...

විකල්ප බලශක්ති ක්‍රම අපිට ඕනෙ වෙන කාලේ වැඩි ඈතක නෙවෙයි. දැනටමත් අපිට ඒක හොඳටම දැනෙන වෙලාවල ඕනෙතරම තියෙනවා. අපේ රටේ නම් 80-90% විතර විදුලිය තියෙනවා. නමුත් කුප්පි ලාම්පු එලියෙන ජීවත් වෙන මිනිස්සු ඕනේ තරම් මේ ලෝකෙ ඉන්නවා. ලංකාවෙත් ඉන්නව. කාලෙකට පස්සේ ඒ වගේ කුප්පි ලාම්පු එලියෙන් ජීවත් වෙන මිනිස්සුන්ට සාර්ථකව පාවිච්චි කරන්න පුළුවන් විදියේ නිර්මාණයක් ඇවිල්ල . තාම බොහොම ප්‍රාථමික අවධියේ තියෙන්නේ හැබැයි දියුණු කරල වැඩක් ගන්න පුළුවන් වගෙයි. 
මෙතනින් මේ ගුරුත්ව ලාම්පුවට අදාළ විස්තර බලා ගන්න පුළුවන්. මිලදී ගන්න පුළුවන් කොහොමද කියල නම් දන්නේ නෑ. නමුත් ඔබට ඔවුන්ගේ ඒ ව්‍යාපෘතියට ආධාර කරන්න පුළුවන්.

මේ තියෙන්නේ ගුරුත්ව ලාම්පුවක්

අපේ රටෙත් දැන් දැන් වීදි ලාම්පු ආලෝකයට සූර්‍යය ශක්තිය ලබා ගන්නවා. අලුතින් නවීකරණය කරපු දියවන්නා ඔය ආශ්‍රිතව තියෙන වීදි ලාම්පු මේ ක්‍රමයේ ඒව(අද දැනගත්ත විදියට ඒවා ආරක්ශා කරන්න පොලිසියෙනුත් ඉන්නවලු. දාපු ඒවා හොරු ගලෝලා). 

අපේ රටෙනුත් මේ වගේ විකල්ප බලශක්ති ක්‍රම ගැන සැරෙන් සැරේ අහන්න ලැබෙනවා. හැබැයි ඒවට මොකද වෙන්නේ කියන එක ගැටළුවක්. මේ ගුරුත්ව ලාම්පුවේ නිර්මාන කරුවන්ටත් මේව කරන්න රජයේ සහයෝගයක් නම් ලැබිල නෑ. නමුත් ඔවුන් ඒ දේ කරනවා. මම බොහෝ වෙලාවට දකින එකක් තමා ලංකාවේ මොකක් හරි දෙයක් හදපු මිනිස්සු ඒක දියුණු කරල එළියට දාන්න රජයේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. මම නම් හිතන්නේ නෑ මොනම නිර්මාණයක්වත් රජයේ සහයෙන් එළියට දෙන්න පුළුවන් වෙයි කියල. හදපු දේ තමන් ම වැඩි දියුනු කරල එළියට දෙන්න පටන් අරන් දියුණු වෙනකොට රජයේ සහයෝගය (හෝ කඩාකප්පල් කිරීම) ලැබෙයි. මේ ලෝකේ හදන උපකරණ හැම එකක් ම එහෙම හදපුව තමයි මම නම් හිතන්නේ.

කොහොම හරි අපිත් දැන්ම මේවගෙ දේවල් ගැන දැනුවත් වෙලා පුළු පුළුවන් හැටියට මෙවැනි දේවල දියුණු කරන්න උදව් කරන එක නම් වටිනව.

කවද හරි ගෙයක් හදන කොට සූර්‍යය ශක්තිය උපරිමෙන ලබා ගන්න මමත් හිතාගෙන ඉන්නව (ඒ කාලේ වෙනකොට සෝලර් පැනල් වල ගාන අඩුවෙලා තියෙයි). මේ ලාම්පුවත් මගෙ නම් හිතට අල්ලල ගියා. ඊ-බොක්කෙන් හොයල එකක් ගෙනල්ල බලන්න ඕනේ.

අවුරුදු 2කට විතර කලින් මම අක්කගෙ පුතාට ඊ-බේ එකෙන් සූර්‍යය බලයෙන් වැඩ කරන සෙල්ලම් බඩු සෙට් එකක් ගෙනත් දුන්නා. ඒ දවස් වල මිනිහා පොඩි නිසා එච්චරම තේරුමක් තිබුනේ නෑ. හැබැයි බැට්‍රි නැතුව වැඩ කරන්න පුළුවන් එකක් කියන එක තේරුම් ගත්තා. අව්ව තියෙන තැන් හොය හොය ගිහින් ඒකත් එක්ක සෙල්ලම් කලා.  කැමති කෙනෙක් ඉන්නවනම් ගෙනත් දෙන්න මෙතනින් බලන්න. මම තව එකක් ගෙනල්ල මිනිහට හොරෙන් හංඟල තියන් ඉන්නව තව ටිකක් ලොකු උනාම ආයෙත් දෙන්න. 

මම ඉස්සර ඉඳලම උනන්දු වෙච්ච විෂයක් මේක. මට මතකයි පේරාදෙනිය කැම්පස් එකේ ඉංජිනේරූ ප්‍රදර්ශනයක් බලන්න ගිහින් වැහි බිංදු වල චාලක ශක්තියෙන් කරන්ට් එක නිපදවන්න පුළුවන් කියල යාළුවෙක් එක්ක හෙන තර්කයක් දාගත්තා. හික්.. ඒ කියන්නේ ඔය ක්වොන්ටම් ශක්තිය ගැන (දන්න මඟුලක් නැති උනාට ඒලෙවල් කාලෙදි ඕව ගැන හෙන උනන්දුයි නේ.. ). එදා ත්‍රිකුනාමලේ බීච් එකට ගිහින් මුහුද් දිහා බලාගෙන ඉන්න්කොටත් ඔය ගැන හිතුණා. උදම් තරංග වලිනුත් බලශක්තිය උපදවා ගන්න පුළුවන්නේ. ලංකාවේ නම් තියෙනවද දන්නෙ නෑ.. 

කොහොම උනත් අනවශ්‍ය ලයිට් නිවල ලයිට් බිල අඩු කරගන්න එකනම් අපි හැමෝටම කරන්න පුළුවන් දෙයක්. අපි දෙන්නා හැම මාසෙම ලයිට් බිල රු 500ට අඩුවෙන් තියාගෙන ඉන්නවා. ටිකක් සිහියෙන් උනන්දුවෙන් කලොත් කරන්න අමාරු දෙයක් නෙවෙයි.