Friday, March 15, 2013

පිළිකාව, ජීවිතය සහ මරණය

තමන්ට පිළිකාවක් තියෙන බව දැන ගත්ත වෙලාවට කෙනෙකුට මොනවගේ හැඟීමක් එනව ඇද්ද? ඉස්සෙල්ලාම මරණ බය දැනෙනවා ඇති. ඊට පස්සේ ටිකෙන් ටික ලෙඩේ ගැන පොසිටිව් විදියට හිතල කොහොම හරි ඉස්පිරිතාලේ ගිහින් බෙහෙත් අරන් හොඳ කර ගන්න හිතෙනවා. ඊට පස්සේ එක එක දොස්තරවරු, ලෙඩේ හැදිච්ච අය/ හොඳ වෙච්ච අය ගැන හොයල බලනවා. ටිකෙන් ටික බෙහෙත් ගන්න, ඉන්ජෙක්ශන් ගහන්න, කරන්ට් අල්ලන්න පටන් ගන්නවා. ටික ටික කොන්ඩෙ එහෙම යන්න ගන්නවා. මේ ඉන්ජෙක්ශන් ටික ගහල ගෙදර යන්න පුළුවන්.ඊට පස්සේ හරි යයි. දොස්තර මහත්තයත් කිව්ව දැන් බය වෙන්න දෙයක් නෑ කියල... සැනසිල්ලක් හිතේ ඇඳෙනවා. 

ඊළඟ දවසේ ක්ලිනික් එකට ගියාම කර්න්ට් එක ටික අල්ලන්න ඕනෙ කියනවා. බය වෙන්න දෙයක් නෑ කියනවා. ටික කාලයක් කර්න්ට් එක අල්ලනවා. ටික ටික හම කළුවෙලා පිච්චිලා යන්න ගන්නවා. මේ සැරේ කර්න්ට් එක අල්ලල මේ ඉන්ජෙක්ශන් ටික ගැහුවට පස්සේ හරි..  සතියක් දෙකක් යනවා. කන්න බෑ.. කිසිම රසක් දැනෙන්නෙ නෑ.. ටික ටික කෙට්ටු වෙනවා. පොඩි ඔපරේෂන් එකක් කරන්න වෙනවා. දැන් සෑහෙන දුරට අඩුයි ඉතිරි වෙලා තියෙන ටික කපල අයින් කළාම හරි. ඔපරේෂන් එකෙන් පස්සේ නහයෙන් බටයක් දාල කෑම දානව. කතා කරන විදිය වෙනස් වෙනවා. වචන හරියට ශබ්ද වෙන්නේ නැතුව යනවා. දැන් හරි කෑම ටික වැටිල ඇඟට පණ ආවම හරි. 

ඔපරේෂන් එකෙන් කෑල්ලක් කපල අයින් උනත් මොකද අඩු වෙනවනම්... අසරණ කම ඇස් වලින් දෝරේ ගලනවා. ටික දවසකින් බට අයින් කරල කන්න ගියාම කෑම කන්න බෑ.. ගිල ගන්න බෑ.. රසක් දැනෙන්නෙ නෑ.  පිළිකා හොඳ කරන හාමුදුරු කෙනෙක් ඉන්නවලු. ගිහින් බැලුවනම් හරි. බස් එකේ නැඟල දවසක් තිස්සේ බස් එකේ මැදිරිගිරියට ගිහින් බෙහෙත් අරන් එනවා. ඒ කසාය,ගුලි හදල බොනවා. සති ගානක් කරනවා. සිංහල බෙහෙත් වලට මුලින් ලෙඩේ වැඩි කරලනේ අඩු වෙන්නේ. ඉවසන්නම බැරි තරම් තත්වේ අමාරු වුණහම ආයේ පිළිකා රෝහලේ ක්ලීනික් එකට යනවා......


මහරගම පිළිකා රෝහලේ මේ චක්කරේ ගෙවන පිළිකා රෝගීන් කී දාහක් ඉන්නව ද?  හැමෝගෙම මූණේ තියෙන්නේ බලාපොරොත්තුව.  ටික ටික වැහැරිලා දුර්වල වෙලා.. ඇවිදින ඇටසැකිලි වෙනකම් ම බලාපොරොත්තුව. ඊයේ රෑ අර ඇඳේ හිටපු ලෙඩා මළා, අන්න අර ඇඳේ ලෙඩාටත් හාමුදුරු කෙනෙක් ගෙනල්ල පිරිතක් එහෙම කියෙව්වා. අදත් සේලයින් වලට දාල බෙහෙත් දුන්නා. මේ බෙහෙත් ටික බිව්වට පස්සේ අඩු වෙයි. ගෙදර යන්න පුළුවන් වෙයි. පිළිකා රෝහලේ වාට්ටුවල්,කොරිඩෝවල දාල තියෙන ඇඳන් උඩ/යට  කී දාහක් මේ  වගේ ඉන්නවද?

මම කවදාවත් පිළිකා රෝහලට ගිහින් තිබුණේ නෑ. මීට මාස 8කට විතර කලින් ජයතිලක අයියට පිළිකාවක් තියෙනව කියල දැන ගත්ත දා ඉඳන් සතියට කීප සැරයක් උදේ හවස මම පිළිකා රෝහලට ගියා. ජයතිලක අයිය කියන්නේ අපේ ලොකු අම්මගේ දුවගේ මහත්තයා. වයස 52යි. ගොඩක් කල් හිටියේ රට. ලොකු ජොබ් එකක් නෙවෙයි මැදපෙරදිග ගිය තවත් එක් ශ්‍රමිකයෙක්. කන බොන චරිතයක් හැබැයි වලි නෑ සද්ද නෑ හරි නිදහසේ සැහැල්ලුවෙන් ජීවත් වුණා. හිත හොඳයි. කුහක කම්, මහන්තත්ත කම් නෑ. ඕනෙ වැඩකදි බැහැල කරනවා. කවුරුත් කියන්න ඕනෙ නෑ. දැක්ක තැන හිනා වෙලා කතා කරල පොඩි විහිළුවක් කරල ඉන්න චරිතයක්. මම දන්න කාලේ ඉඳන් අපේ 60ක් විතර ඉන්න පවුලෙ කවුරුවත් ජයතිලක අයියට බනිනවා මම අහළ නෑ. රට ඉන්නකොට නැති පාලුව ගැන තමා අවුරුද්දට කට්ටිය සැට් වුණාමත් කියන්නේ.

ඔය උඩින් මම ලිව්වේ පහුගිය මාස 8ටේ ජයතිලක අයියගේ ජීවිතේ ගෙවිල ගිය හැටි බොහෝම කෙටියෙන් සරලව මම දැක්ක විදියට. ජයතිලක අයියගේ පිළිකාව තිබුණේ එයාගේ දිවේ. බෙහෙත් වලින්, කරන්ට් එකෙන් හොඳ වෙන්නේ නැති වුණාම දිවෙන් කෑල්ලක් කපල දැම්මා. ඒත් ඉවරයක් වුණේ නෑ...

මම ගොඩක් දවස් වලට උදේ 6ට බලන්න යනවා. අද කොහොමද? අවුලක් නෑ මල්ලී.. දොස්තරල බෙහෙත් දෙනවා අපි බොනවා. ඒයාල එක එක ඒව කරනවා අපි බලන් ඉන්නවා. ඔය මොකක් හරි වෙන්නේ නැතෑ. වැඩිම වුනොත් මැරෙයි නේ. ඊට වඩා වෙන මොනව වෙන්නද? මමත් ඉතින් ඔය ඕපදූපයක් හරි මොකක් හරි බයිලයක් කියව කියව ඉඳල එනවා. මම ඒ ගිය මාස 8ම එකම දවසකවත් ලෙඩේ ගැන කලකිරීමෙන්, දුකින්, කතා කලේ නෑ.. කතා කරන්න බැරි නම් හිනාවක් දාල ඉන්නව මිසක් දරුවෝ ගැන, අක්ක ගැන පවුල ගැන කෙඳිරිගගා දුක කිව්වේ නෑ. ජීවිතේ ගැන කලකිරීමක් නෑ, සංසාර දුක වගේ මහ්ප්‍රාණ බුදු බණ කතා කලේ නෑ. සිද්ද වෙන දේට මූණ දුන්නා හැම වෙලේම සුභවාදීම හිනා වෙලා. ඇඳෙන් නැඟිට ගන්න බැරි වෙනකම් තමන්ගේ වැඩ ඔක්කොම කර ගත්තා. අඩුවෙලා ගෙදර ගිහින් හිටපු දවස් වල ගෙදර වැඩ කළා, දර පැලුවා, ලිඳෙන් වතුර ඇදල රෙදි සේදුව. ඔය හැම එකම කලා.. ඇඟේ ශක්තිය ඉතිරිවෙලා තියෙනකම් හිටියේ සැහැල්ලුවෙන්. ඒක මවාගත්ත සැහැල්ලුවක් නෙවෙයි. සිද්ද වෙන ඕනෙ දේකට මූණ දෙන්න සූදානම් වෙලා ජීවත් වෙච්ච නිසා ආපු සැහැල්ලුවක්.

පහුගිය පෝය දවසේ මම ගිය වෙලේ ළඟ තිබ්බ එක්ස්-රේ එකක් අරන් කියනවා දැන් මටත් මේව කියවල තේරුම් ගන්න පුළුවන්. ටික කාලෙකින් බෙහෙත් දෙන්නත් පටන් ගන්න පුළුවන් තරම් මම දැන් සබ්ජෙක්ට් එක දන්නව කියල.. එතකොට හිටියේ හරියට කතා කරගන්නවත් බැරි, කෙලින් ඉන්නත් බැරි තරම් අමාරුවෙන්. නාහෙට බටයක් දාල සෙම හිරවෙවී ඉන්න වෙලාවක ගොත ගගහ ඔය ටික මාත් එක්ක කිව්වේ. එදා මම ඔලුව අත්ගාල මම ගිහින් එන්නම් කිව්වම, ඇඟේ ඉතිරි වෙලා තිබ්බ ඔක්කොම ශක්තිය දාල මගේ අත මිරිකුවා. ඇස් වල තිබ්බේ කියා ගන්න බැරි හැඟීමක්.

පෝයට පස්සේ ආපු සෙනසුරාදා උදේ මම ගියාම බොහෝම අමාරුවෙලා හිටියේ. යන්තම් ඇස් දෙක ඇරල බලල නිදා ගත්තා. එදා හවස ගෙදර කට්ටිය ගමේ පන්සලේ හාමුදුරුවෝ එක්කන් ගිහින් පිරිත් ටිකක් කියල පිරිකරක් එහෙම පූජ කෙරෙව්වා. හොඳ සිහියෙන් ඒ හැම දේටම සහභාගි වුණා. 

ඉරිදා පාන්දර 3.30ට දිමුතු අයීයා මට කෝල් එක්ක දුන්නා ජයතිලක අයියා නැති වුණා කියල.

පාන්දර 2.00ට විතර කිසි සද්දයක් නැතුව නින්දෙන්ම පණ ගියා කියල ඉස්පිරිතාලේ ළඟ නැවතිලා හිටිය ජයතිලක අයියගේ මල්ලි කිව්වා.

එයා වැඩි කල් ජීවත් වෙන්නේ නැති බව අපි දැනගෙන හිටියා. දොස්තරල කිව්වා පිළිකාව ගොඩක් පැතිරිලා වැඩි කාලයක් ඉන්න එකක් නෑ කියල. හැබැයි ජයතිලක අයියගෙ ජීවිතේ ගැන තිබ්බ ආකල්පය, ලෙඩේ ගැන තිබිච්ච සැහැල්ලුව අපි හැමෝටම බලාපොරොත්තුවක් දුන්නා. ජීවිතේ ගැන එහෙම දකින්න එයා ඉගෙන ගත්තේ මොන ස්කෝලෙන් ද? මොන විශ්ව විද්‍යාලෙන් ද? හතර පෝයට සිල් අරන්, මහා පිං කම් කරල, දාන මාන දීල මහා ගොඩක් පින් රැස් කරල ඉවර වෙලා නෙවෙයි එයා ජීවිතේ තේරුම් ගත්තේ. මනුස්සයෙක් විදියට ගමේ ගොඩේ හන්දි ගානේ, ත්‍රීවීල් පාක් වල, කම්කරු රස්සාවල් වල, මැදපෙරදිග කාන්තාරවල ජීවත් වෙද්දි එයා ජීවතේ ගැන ඉගෙන ගන්න ඇති. සමහරවිට කට්ටිය එක්ක සෙට් වෙලා අඩියක් ගහද්දි, සිගරට් එකක් බොද්දි එයා ජීවිතේ ගැන තේරුම් ගන්න ඇති.

සාම්ප්‍රදායික ආකල්ප වලින් පිරිච්ච අහිංසක අම්මගේ, නංඟිලගේ, මල්ලිලගේ, දරුවන්ගේ,බිරිඳගේ හිත සැනසෙන්න දවස් කීපයක් ගෙදර තියාගත්ත මිනිය පාංශකූලේ දීල ඉවර වෙලා ගෙදරින් එළියට ගනිද්දි මොර සූරන්න වැස්සක් පටන් ගත්තා.  එකට කාපුබීපු නෑදෑයෝ ටික, හන්දිවල රස්තියාදු ගහපු කොල්ලො ටික මහ වැස්සේ හැතැක්ම 2ක් විතර පාර දිගේ පෙට්ටිය කරේ තියන් ගියේ, අකුණු ගහද්දි මඩ නාගෙන තමන්ගේ එකාගේ මිනිය තමන්ගේ අත්වලින් ම වළ දැම්මේ ඒ මනුස්සයගේ මොන දේ නිසාද? මොන වැදගත් කම නිසාද?  පාරවල් උතුරල යන්න ඒ වැහැපු වැස්සෙන් මිනිස්සුන්ගේ දුක හේදිල ගියා වගේ.

මට දුක ඒ වැස්සේ තෙමීගෙන ජයතිලක අයියගේ මිනියට කරගහන්න බැරි වෙච්ච එකට. මම ගරුතර මහා සංඝරත්නය වාහනයෙන් පන්සලට වැඩම කරවන්න ඒ වෙලාවේ ගිහින් හිටියේ.

මැරෙනව කියල දැන දැනත් ආතල් එකේ ජීවිතේට මුණ දීපු උඹ මළාට පස්සේ නරක තැනකට යන්න විදියක් නෑ අයියේ.. නිවනත් උඹට ගොඩක් දුර වෙන එකක් නෑ.  පස්සේ වෙලාවක ආයේ සෙට් වෙමු.

Friday, March 01, 2013

පෙබරවාරිය පාළු නොවනු පිණිස...

ලියන්නට කිසිවක් ඉබේ මතක් නොවූයෙන් ද
සිතා මතා කිසිවක් ලියන්නට තරම් ඉස්පාසුවක් නොමැති වූයෙන් ද
ප්‍රියකරන පෙබරවාරිය තනි නොකරණු පිණිස
මේ පද සතර මෙසේ ලියා නිදාගමි.