Sunday, April 27, 2014

චිත්ත විකාර පොලාරිස්ලාගේ ග්‍රහලෝක විනාශය

බලෝන්මාද රටේ ඒකාධිපතියා සාධාරණත්වයේ ආණ්ඩුව බිඳ දැමුවේය. ඒකාධිපතියාගේ "වෛර කිරීම උගැන්වීම" සාර්ථක වුයේ පොදු වෛරය  තරම් අන්කිසිවක්  මිනිසුන් එක්සත් කිරීමට අසමත් වන බැවිනි. වර්ණ වාදී උපදේශක මණ්ඩලය ඔහු තෝරාගත්තේ  ඔහුගේ මෙම සංකල්පය නිසාවෙනි. 

වටකුරු හිස් ඇතියවුන්ගෙන් ශ්‍රේෂ්ඨතම මිනිසා ලෙස සැලකු විද්‍යා ප්‍රබුද්ධ ගේ න්‍යෂ්ටික පෘථක්කරණය වටකුරු හිස් ඇත්තන්ගේත් ,දිගැටි මුහුණු ඇත්තන්ගේත් විනාශය ළඟා කරවුයේය.  මහද්වීප දෙකේ න්‍යෂ්ටික සමතුලිත තාවයක් ඇතිකර අන්නෝන්‍ය වශයෙන් ඇතිවන බිය නිසා මහා විනාශය වැලකි යනු ඇතයි සිතු අසරණ විද්‍යා ප්‍රබුද්ධ ගේ බලාපොරොත්තුව සුන්ව ගියේ ය.

ගුප්ත දොර කපොල්ල, චිත්ත බලයෙන් විවෘත වන දොරවල්, ලුවා අම්මා, යාර් අල්ටයිර් ...

දනිජාබ් රටේ  ආවේ කුජටත්  , බලෝන්මාද රටේ මාදා ගුරුටත්  විනාශ වී ගිය පයේත් වරුන්ගේ ලෝකය පටවි ග්‍රහයා තුල නැවත ගොඩ නැගිය හැකිවේද? 

කුට්සි බුදහු නම් කුදා ඇත්තටම කවුද? 

දුට්ට පුළුටු ගේ කුමන්ත්‍රණ, ඩේයිමෝස් අජටාකාශ කඳවුර...

සතුටු සිරියුස් ගේ පොබෝස් අජටාකාශ කඳවුර, එතකොට බලවති සිරියුස්, දුට්ට පුළුටු ගේ බිරිඳ විරුපා පුළුටු...

වීර සිකුරු, ඉංජිනේරු ශාන්ත වේගා,  රතු මැණිකේ වේගා, පසන්වති ලුවා,  ලුවා ශිල්පියා 
සදාකාලික හිතවතා වූ ගිරි පටවි..

විද්‍යා ප්‍රබුද්ධ ගෙන් තැන ගන්නට සමත් වූ දක්ෂයා චිත්ත විකාර පොලාරිස්...

පටවි ග්‍රහයා මත බිහිවන අලුත් ජිවිත......

විකාරයි වගේ ද? හෙහ් හෙහ්


ඉස්සර අපේ අක්ක මට කිව්වේ චිත්ත විකාර පොලාරිස් කියල.. එයා විද්‍යා ප්‍රබුද්ධ ලු.. නැත්නම් මාදා ගුරු ලු... හෙහ් .. මම එයාට කිව්වේ හැබැයි විරුපා පුළුටු කියල...

දන්නා කට්ටියට මේ වෙන කොට මතක් වුනාට නොදන්න අයට නිකන් අර මාන්දමික ගතිය දැනෙනවා ඇති..

හරි බ්ලොග් ලියන අය බොහෝ වෙලාවට කතා කරන රුසියන් සාහිත්‍යය පිලිබදව ලියවෙච්ච පෝස්ට් වල මිට කලින් මම නොදැකපු එක පොතක් ගැන නිදහස් සිතිවිලි ලියන රවී අයිය ලියල තිබ්බ.. ඒ ගපුර් ගුල්යාම් ගේ මගේ හපන්කම් ගැන..  මම මෙච්චර කල් හිතාගෙන හිටියේ ඒ පොත වැඩිය සිරා පොතක් නෙවෙයි වෙන්න ඇති එකයි කවුරුත් ඒ ගැන කතා නොකරන්නේ කියල.. හැබැයි පෝස්ට් එක බලද්දී තවත් අඹ ගස් තියෙනවා කියල දැක්ක..

රුසියන් සාහිත්‍යය ගැන පොර ටෝක් දෙන්න මට බෑ.. නමුත් රුසියන් සාහිත්‍යයේ පිහිටෙන්  හීන දකින්න පුරුදු නොවන්නට මමත් මොකක් හරි කර්මාන්ත ශාලාවක මැෂිමක් ඔපරේට් කර කර ඉන්න තිබ්බා.. (දැන් කියලත් වෙනසක් නෑ.. හැබැයි දැන් මම මැෂිමට ඕනේ විදියට වැඩ කරන්නේ නෑ.. මැෂිම මට ඕනේ විදියට වැඩ කරනවා)

දැදිගම වී. රුද්රිගු මහත්මය විසින් පරිවර්තනය කරපු ,ඇලෙක්සන්දර් කසාන්ට්සෙව් විසින් රචිත ග්‍රහ ලෝකයක විනාශය පොතේ ඉන්න චරිත කීපයක් ගැන තමයි මම ඔය උඩින් ලිව්වේ..



අපි බොහෝ විට කතා කරන රුසියානු සාහිත්‍යයේ සමාජයීය, දේශපාලන, විප්ලවියය සහ සුරංගනා කතා වලට අමතරව බිහිවුණු විද්‍යා කල්පික නවකතාවක් තමයි මේක.

මේ කතාව තුල ඇති අපුර්වත්වය ලෙස මා දකින්නේ එහි චරිත වලට  පර්වර්තකයා  යොදා ඇති සිංහලකරණය කල  අපුරු විද්‍යා නම් දැමීමයි.

චරිතය ගැන අමුතුවෙන් විස්තර කිරීමක් නැතිව නමෙන් චරිතය විස්තර කරන මෙවන් නම් දැමීමක් මම මෙතෙක් කිසිම පොතක දැකල නෑ

අපිට දුට්ට පුළුටු ලා, චිත්ත විකාර පොලාරිස් ලා, විද්‍යා ප්‍රබුද්ධ ලා, වීර සිකුරු ලා ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නෑ වගේ නේද ... මුල් කෘතියේ මේ නම් කෙසේ සඳහන් වුවා දැයි මා දන්නේ නැත. නමුත් දැදිගම වී. රුද්රිගු  මහතා ඒ නම් සදාකාලිකව මතකය තුල රැදෙන විදියට  කතාවට යොදා ගෙන තියෙනවා...

කතාව අපූරු ලෙස ගලා යනවා.. වෙන ඕනෙම රුසියන් පොතක් කියවන්න කැමති කෙනෙකුට මේ පොතත් රසවිඳින්න පුළුවන්...

ඇත්තටම මේක තුන් ඈදුතු නවකතාවක පළවෙනි කොටස, මටත් තාම හම්බවෙලා තියෙන්නේ මේක විතරයි... දැන් අවුරුදු 15ක් විතර තිස්සේ මම මේක 10-15 සැරයක් විතර කියවල ඇති.. ලංකාවෙන් මෙහෙ ආවට පස්සේ අම්ම ලව්වා මම ගෙන්න ගත්ත පොත් ගොඩේ මේක තියෙනවා දැක්කේ අහම්බෙන්... එදා රවී අයියගේ පෝස්ට් එකේ මගේ හපන්කම් ගැන දැක්කම මට ඒක කියවන්න පට්ට ආසාවක් ආව.. ඒ අස්සේ පොත් ගොඩේ මේක දැක්කේ..

සදා අමරණිය සෝවියට් සාහිත්‍යය ගැන අපි කොච්චර  ලිව්වත් මදි කියල හිතෙනවා මේ පොත් ගැන එක එක්කෙනා මතකයන් අවදි කරද්දී...

සුරංගනා හීන දකින්නට කැමති, ස්ටෙප්ස්  තැනිතලාවන් දිගේ  ඔහේ ඇවිදන කමකට නැති එකෙකුගේ ජිවිතයට පෙම් බඳින, අබලන් තානායම් අස්සේ අඳුරු මුළු වල දුම් උරන සැබෑ මිනිසෙකුගේ කතාවක් අවසානයේ ඉතිරි කරන්නට හිතෙන, එහෙත් වයිෆ් ගෙන් නිතර බැනුම් අසන තවත් එක චිත්ත විකාර පොලාරිස් කෙනක් හැදු රුසියාවට...  ජයවේවා (කොම්පුටර හැදු ඇමරිකාව භංග වේවා!)  

Friday, April 04, 2014

හැඩ වැඩ අකුරින් සිංහලෙන් යුනිකේත ලියන්න

හැඩ වැඩ අකුරින් සිංහලෙන් යුනිකේත ලියන්න තිබ්බ නම් හොඳයි කියන එක මට මතක විදියට බොහෝ කාලයක් තිස්සේ සිංහලෙන් ලියන අය අතරේ තිබ්බ ආසාවක් ඉතින් දැන් ඒ වැඩේ බොහොම සරලව කරන්න පුළුවන් කියල පණිවිඩයක් මේ සිංහල යුනිකේත සමුහයට කෙනෙක් එවල තිබ්බ . ඒ කියන්නේ විවිද හැඩයේ යුනිකේත ෆොන්ට්ස් වගයක් දැන් තියෙනවා.
මම අප්ඩේට් වෙන්නේ ටියුබ් ලයිට් ක්‍රමයට නිසා මේවා මිට කලින් දන්නා සහ දැනටමත් පාවිච්චි කරන අයත් ඇති..

අපි බලමු අභය ෆොන්ට් එක කොහොමද කියල.. ඉස්සර හෝඩි පොතේ තිබ්බ වගේ රවුම් ලොකු අකුරු

කෝ බලන්න අර්ජුන කොහොමද කියල .. මට නම් ටිකක් විතර නුවර යුගේ ගතියක් මතක් වෙනවා හැබැයි ලස්සනයි නැළවිලා තියෙනවා

බාසුරු ලිව්වම බෝල්ඩ් කරන්න ඕනේ නෑ වගේ.. හෙඩින් දාන්න හොඳයි..  මම හිතන්නේ ඩිසයිනින් කරන අයට සැහෙන ප්‍රයෝජනයි

බින්දුමති දැක්කම නිකං බිංදුමති මතක් වෙනවා රවුම් අකුරු

මේ තියෙන්නේ මගේ ෆේරිවට් එක. මට ඉස්සර මගේ සිංහල අත් අකුරුත් මේ වගේ ඇදට ලියන්න ඕනේ වුණා.. ඉතින් අවුලක් නැතුව ඇදට ලියල දැම්ම.. යාන්තම් මට කියව ගන්න පුළුවන්. මේකේ නම දෙරණ

ඉමානි කියල එකකුත් තියෙනවා ඉමානිත් ඉතින් නරකම නෑ... විවිද රස සඳහා කදිමයි..

මේ අපේ ගංගානි නේ.. දන්නවනේ ගංගා.. පොඩි ලතාවක් නැත්තෙමත් නෑ..

කෝ බලන්න ගැමුණු.. සිත්තර පත්තරේ හෙඩිම මතක් වුණා... නමට හරියන කෙලින් අකුරු

මලිති නගා නම් කාලයක් තිස්සේ හිටියනේ... පරණ වුණාට තාම හැඩයි..

රජන්ත දැක්කම මතක් වෙන්නේ මොකක් ද කියල මතක් වෙන්නේ නෑ.. පොඩි කාටුන් ගතියක් තියෙනවා

මේ ඉන්නේ සමන්ත රජන්තගේ ලොකු අයියා වගේ මට හිතෙන්නේ මේ අයියලා මල්ලිලා අක්කල නංගිලා ටිකෙන් අපිට (ඒ කිව්වේ වැඩක් ගන්න අයට) සැහෙන්න ලොකු දේවල් ටිකක් කරන්න පුලුවන්

ඔය අයියල කවුරු හිටියත් මයික්රෝසොට් එකේ බිල් මාමා අතින්ම හදල එවපු ඉස්කෝල පොත එහෙම අමතක කරන්න බෑ..

දැන් ඉතින් අපිට ලස්සන ලස්සන අකුරින් එක එක විච්චුරණ සිංහල යුනිකේත වලින් ම බලා ගන්න පුළුවන් වෙයි.

මේක වර්ඩ් වල නම් ගින්දර වගේ වැඩ.. ගුග්ල් ඉන්පුට් ටුල්ස් වලත් වැඩ කළා හැබැයි කෙලින්ම බ්ලොග් එකේ ලියනකොට ටිකක් අවුල් ගියා. ෆොන්ට් එකේ සයිස් එක 12 වගේ ටිකක් ලොකු එකක් දාගත්තම හරි ගියා.

අනිත් සොෆ්ට්වෙයාර් වලට කොහොම සපෝර්ට් කරනවද නම් දන්නේ නෑ.. කට්ටිය පාවිච්චි කරලා බලන්නකෝ


මේ තියෙන්නේ බාගන්න ලිංකුව


මේ තියෙන්නේ ඒ ඊමේල් එකේ තිබ්බ එක ඒ විදියටම. සිංහල යුනිකෝඩ් ගෘප් එකේ නැති අය වෙනුවෙන් තමයි මේ ටික දැම්මේ.


ඔබ ඉස්කෝල පොත ෆොන්ට් එක පාවිච්චි කරන අයෙක් නම් ඒ වෙනුවට විකල්පයක් ලෙස භාවිතා කල හැකි FM ෆොන්ට්ස් වලට සමාන ෆොන්ට්ස් දොළහක් පහතින් ඇත

මෙතනින් බාගත කරගන්න.




zip file එක හරි වෙන වෙනම files හරි බාගත කර ගෙන install කර ගන්න. වෙනත් ඕනෑම ෆොන්ට් එකක් වගේ මේකත් ස්ථාපනය කල හැකියි. ඉස්කෝල පොත වෙනුවට මෙම ෆොන්ට්ස් ඔබ භාවිතා කරන මෘදුකාංගයේ select කල හැකියි.

FM ෆොන්ට්ස් ටික unicode ෆොන්ට්ස් වලට convert කිරීමෙන් මේවා සාදා ඇත.
මේ ෆොන්ට්ස්
1) web site development සඳහා
2) google input tools පාවිච්චි කරන අයට
හා
3) iskoola pota ෆොන්ට් එක පාවිච්චි කරන අයට යොදා ගත හැකියි.

දශකයකට අධික කාලයක් තිස්සේ unicode ෆොන්ට්ස් වල තිබුණු අඩුවක් මෙමගින් නැති වෙනවා.

දැනට සිංහල website හැම එකක්ම එක්කෝ ඉස්කෝල පොත, නැතිනම් malithiweb. මේ අලුත් ෆොන්ට්ස් ටික නිසා අඩුගානේ ඒවායේවත් විවිධත්වයක් ඇතිවෙයි යයි සිතනවා



මේක online forum එකක තිබුණු පොස්ට් එකක්. එයින් copy කර මෙසේ පල කළෙමි


උපුටා ගැනීම මෙතනින් අවසානයි...

තාම මේ ෆොන්ට්ස් දාගත්තේ නැති අයට අකුරු කොහොමද කියල බලා ගන්න පොඩි පින්තුරයක් දාන්නම්

මේකත් අර ඊමේල් එකෙන්ම තමයි උපුටල ගත්තේ