Tuesday, January 30, 2024

ඕස්ට්‍රේලියාවයි මායි ශිව දෙවියොයි

ඕස්ට්‍රේලියාවයි මායි හම්බවෙලා දැන් අවුරුදු 2ක් ඉවරයි . හ්ම්ම් වෙන ඕනෙම හමුවීමක් වගේ මේකත්  ආතල් සහ බෝරින් ..

ආතල් ගැන කිව්වොත් එහෙම හම්බකරන සියල්ල ජිවත් වෙන්න වියදම් කරලා ගෙයක් ඇතුලට වෙලා කාගෙන්වත් කරදරයක් නැතුව ඉන්න පුළුවන් .

හම්බ කරන එක මදි කියල හිතෙනවා නම් රස්සාවල් 3-4ක් හරි කරන්න පුළුවන් 

සහ අනිත් ඔය දියුණු රටවල තියෙනවා කියන පහසු කම් අඩු වැඩි වසයෙන් තියෙනවා 

ආ තව සමර් එකේ රස්නේ දවස් වලට බාගෙට ඇඳගත්ත සුද්දියෝ බලන්නත් පුළුවන් ...

බෝරීන්  වෙන්නේ පාරකට බැස්සට හෝන් සද්දයක් , අස්සෙන් දාන ත්‍රිවිල් එකක් , බයික්කෙකක් ආසාවට නැහැ ..

හදිසියකට විනාඩියෙන් දුවල  බඩුවක් අරන් එන්න කඩයක්, තේ කඩයක්  අහල පහලක නැහැ 

මොන මගුල කරන්න ගියත් පිළිවෙලකට ඇපොයින්මන්ට් දාල වෙලාවට ගිහින් කරගන්න ඕනේ... 

ඊට පස්සේ කොහෙට ගියත් හලෝ කොහොමද කියල අහල  මොනවා හරි කතා කරන්නම ඕනේ .. අපිට ඕන විදියට බුම්මගෙන, අහක බලාගෙන එන්න බැහැ .. එහෙම එන්න පුළුවන් .. ඒ උනාට අනිත් එකා ගැන දුක හිතිලා මොනවා හරි කියන්න සිද්ද වෙනවා ..

චුන් පාන් , මාළු කාරයෝ , ආදාර කාරයෝ නැහැ ..

ඉඳල හිටලා තැනක හෝම්ලස් වගේ ඩයල් එකක් සිංදුවක් කියල කීයක් හරි දාල යන්න පෙට්ටියක් තියාගෙන ඉන්නවා මිසක් අපිට පිනක් සිද්ද කරගන්න පුළුවන් විදියේ අසරණයෙක් දකින්නවත් නැහැ ..

තව ඉතින් වැඩිපුර ලියන්න ඕනේ නැහැනේ . ඔහෙලට හිතා ගන්න පුළුවන් ඇතිනේ  මම මේ කියන තත්වේ ගැන ..

********

මම මේ පහුගිය ටිකේ අර Amish Thripathi කියන ඉන්දියානු ලේඛකයා ලියපු Shiva Trilogy  එකේ සිංහල පරිවර්තන කියෙව්වා . කුමාර සිරිවර්ධන මහත්තයාගේ පරිවර්තනය ඉතාම රසවත්.. 

ඔය කතාවේ ඉන්නවා සූර්ය වංශිකයෝ සහ චන්ද්‍ර වංශිකයෝ කියල දෙපිරිසක් . 

සුර්ය වංශිකයෝ හරියට ඕස්ට්‍රේලියනුවෝ වගේ .. නීති ගරුක , ආචාර ශීලි , පිළිවෙලට වැඩ කරන හරි හොඳ මිනිස්සු, දුප්පතුන් කියල කොටසක් නැහැ ... ආණ්ඩුවෙන් හැමෝටම එකහා සමානව සලකනවා..  

චන්ද්‍ර වංශිකයෝ සිරි ලාංකිකයෝ වගේ .. නීතියට බය උනාට හීන් සීරුවේ තමන්ගේ වැඩේ කරගන්න ඕනේ ගේමක් ගහනවා.. ඊට පස්සේ එක්කෝ හිරේ යනවා , නැත්නම් චන්දෙ ඉල්ලලා පස්සේ හැප්පිලා මැරෙනවා ...  අචාර ශීලි කිව්වට ආචාරශිලිම නැහැ .. පිළිවෙලක් වැඩක් නැහැ වැඩේ කෙරෙන්නේ කොහොමද ඒක තමා ක්‍රමේ ... ආණ්ඩුවෙන් සැලකුවේ නැති උනාට තමන්ට කන්න තියෙන දේ උනත් අනුන්ට දීලා හිනා වෙලා ඉන්න මිනිස්සු ඉන්නවා .

හැබැයි එකේ ඉන්න චන්ද්‍ර වංශිකයින්ට  සුර්ය වංශික රට වෙච්ච ඕස්ට්‍රේලියාවට පැන ගන්න කිසිම උවමනාවක් නැහැ .

ඔය කතාවේ කතා නායකයා වෙච්ච ශිව දෙයියෝ මුලින්ම එන්නේ සුර්ය වංශිකයෝ ඉන්න  ඕස්ට්‍රේලියාවට, ඒ ඇවිල්ලා ඒ රටේ ක්‍රම සහ විධි දැකල ශිව දෙවියෝ වශී වෙනවා .. පස්සේ කාලයක් යනකොට ශිව දෙයියෝ ඉන්දියාව පුරා ඇවිදින්න යනවා ... ඒ යනකොට ශිව දෙවියන්ට තේරුම් යනවා මේ ඕස්ට්‍රේලියාවේ මිනිස්සුන්ගේ සිස්ටම් එකේ තියෙන අවුල. 

ඒ එක්කම චන්ද්‍ර වංශික සිරි ලාංකිකයෝයි, නාගයෝ වගේ ඉන්න අප්‍රිකානුවොයි , සල්ලි කාර බ්‍රන්ගා වරු වගේ ඉන්න චින්නුයි උන්ගේ රටවල ගෙවන්නෙත් වෙනස්ම විදියක ආතල් සහ සමහර විට සුර්ය වංශික ඕස්ට්‍රේලියානුවන්ට වඩා පරිපුර්ණ ජිවිතයක් කියන එක ශිව දෙයියෝ නම් තේරුම් ගන්නවා.

ඊට පස්සේ මොකද උනේ කියල දැන ගන්න ඒ පොත් ටික අරගෙන කියවන්න . ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් නම් https://www.yaaya.com.au/ ඕකෙන් ගන්න පුළුවන් සිංහල පරිවර්තන තුනම .

********

ඔබට ඕස්ට්‍රේලියාවට එන්න ආසාවක් තියෙනවා නම් කොහොම හරි ට්‍රයි කරලා එන්න. ඒක ජිවිතේට හොඳ අත්දැකීමක් !

මේ තියෙන්නේ ඕස්ට්‍රේලියාව 

වින්ටරයේ පාළු උදෑසනක මෙල්බන් හන්දිය 

ඕටමයේ  දිනෙක වයින් වත්තක් 

කැලේ මැද්දේ පාරක් 
 කොහේදෝ යනකොට දැක්ක මොකක් දෝ ජලාශයක් 
 හරි ලස්සන ගස් 
ඕස්ට්‍රේලියාවටත් ඉර බහිනවා . ඔය ඈතින් පේන්නේ මෙල්බන් හන්දිය 
මං ආසම පාළු පාරක් 


ලංකාවේ ජිවිතේ ස්ථාවර තැනක තියෙනවනම් ඒ කියන්නේ ගෙයක් දොරක් හදාගෙන , වාහනයක් දෙකක් තියාගෙන, දරුවෝ ඉස්කෝලේ යන, නෑදෑයෝ යාලු මිත්‍රයෝ එක්ක අවුලක් නැතිව ඉන්න පුළුවන් කෙනෙක් නම් , ඕස්ට්‍රේලියාව කියන්නේ අමුතු ලොකු සීන් එකක් නෙමේ ..  එහෙම ලොකු සින් මවන, රට ඉඳල එන අයගෙන් තමා පරිස්සම් වෙන්න ඕනේ .. හෙහ් හෙහ් 

ජිවිතේ තියෙන ප්‍රශ්න ටික ඕස්ට්‍රේලියාවේ නෙමේ මොන දිපන්කරේ ගියත් ඒ විදියටම තියෙනවා . ඒ ප්‍රශ්න ටිකට මුහුණ දෙන්න සාපේක්ෂව හොඳ සහ නරක ක්‍රම ඒ ඒ රටවල මිනිස්සු හදාගෙන තියෙනවා . අපි ඒ ප්‍රශ්න සහ තියෙන ක්‍රම දිහා බලන්නේ මොන විදියට කියන එක අනුව රටේ සහ අපේ ජිවිත වල හොඳ නරක තීරණය වෙනවා . 

ඕස්ට්‍රේලියන් ෆැන්ටසිය ඔයාගේ සිහින වලට ඉක්මනට යන්න උදව් කරයි. හැබැයි ඒ  වෙනුවෙන් ගෙවන්න වෙන මිල ගැන හරියට අවබෝධ කරගෙන ඒ ෆැන්ටසියට එන්න කියන එක තමා මගේ නම් අදහස.