Wednesday, August 30, 2017

දෙවියෝ සහ භූතයෝ


             කොච්චර මතවාද තිබුනත් මේ දේව භූත සංකල්ප අපේ ඔලුවෙන් අයින් කරන්න හරි අමාරුයි. අපි කොච්චර උගත්, බුද්ධිමත්, දියුණු ජාතියක් කියල හිතුවත් ජීවිතේ යම් යම් අවස්ථා වලදි මේ දේවල් වලට යොමු වීම සිද්ද වෙනවා. හැමදේම හරියට ගානට සිද්ද වෙන තාක්කල් අපි මේවට බැන්නට අපේ ජිවිත වලට එන කරදර බාධක වලදී  අඩුම තරමේ අපේ පවුල් වල අය හරි අපි වෙනුවෙන් මේ දේවල් වලට යොමු වෙනවා.

           තම තමන්ගෙ පුද්ගලික මතවාද මොනව උනත් ඔන්න ඔහෙ ඕවා කරලා දානව මම නම්.  එහෙම කලාම දෙවියෝ භූතයෝ කොහොම වෙතත් ගෙදර දොරේ කනක් ඇහිලා සැනසිල්ලේ ඔය තියෙන ප්‍රශ්නෙකට විසදුමක් හොයන්න පුලුවන්. නැත්නම් ඉතින් මේ ඔක්කොම වෙන්නේ දෙයියෝ කෝප වෙලා හින්දා නැත්නම් මොනව හරි දෝශ හිංද තමයි කියන එක ඔලුවට ඇවිල්ලා සිහි බුද්ධියෙන් හිතල මතල වැඩක් කරන්නෙත් නැතුව යනවා. ඉතින් මුලින්ම දේව භූත සයිඩ් එක ඒ ඒ අයගෙ හිතේ හැටියට බැලන්ස් කරල හිටියහම වැඩක් කරගෙන යන්න ලේසියි.

             මම එක සැරයක් හෝ දෙසැරයක් ඔය දේවතා එලි කියන පාවෙන ලයිට් දැකල තිබීම ඇර වෙන කිසිම අත්දැකීමක් මෙච්චර කාලෙකට ඔය සම්බන්දයෙන් ලැබිලා නෑ.

හැබැයි මේ පහුගිය දවසක සිද්ද වෙච්ච දෙයක් නිසා මේ දේවල් ගැන අපි හැමෝම නැවත සිතා බැලිය යුතුයි කියල හිතුනා.

මොකද මේ විශ්වයේ තියෙන සමහර ශක්තීන් ගැන අපි තවම නොදන්න නිසා. පෞරාණික දැනුම හෝ විශ්වාස ගෙඩි පිටින් බැහැර නොකර සිහිබුද්ධියෙන් සිතා බැලිය යුතුයි කියල මට හිතුනා.

කතාව මෙහෙමයි.

අපි දෙන්න රට ඉදලා මෙහෙ ඇවිල්ලා දැන් මේ අපේ සකලසිරින් පිරි සිරි ලංකාවේ අලුතින් ගෙයක් හදන්න පටන් අරන්නෙ ඉන්නෙ.

"අයියෝ පිස්සුනෙ.. කවුද මේ රටට ආපහු එන්නෙ. මේක කවදාවත් හැදෙන රටක් නෙවෙයි. ඔය වයසට තව ටිකක් රට ඉදල, තව සල්ලි හොයල, ජොලි කරල ඉන්න එපැයි."

ඔහොම අවවාද අනුශාසනා බොහොමයක් ලැබෙද්දි අපි ඉතින් මෙහෙ ඇවිල්ලා අපිට පුලුවන් විදියට ගෙයක් හදන්න ගත්තේ මොනව උනත් මේක අපේ රට නිසාත් තමන්ගෙ රටේ තමන්ට කියල හරි හමන් තැනක් නැතුව නිකන් අහිගුන්ටික ජීවිතයක් ගෙවන්න අපි අකමැති වීම නිසා තමයි.

තව කොච්චර කාලයක් මෙහෙ ඉන්නවද කියන එක ගැන දැනට අපි අමතක කරලා මාතෘකාවට බහිමුකො... හෙහ් හෙහ්

ඔය ගෙවල් දොරවල් හදනකොට සුභ දවස්, නැකත්, වාස්තු එහෙම බලන එක අපේ සම්ප්‍රදායක් නේ. හරියට අවුරුදු නැකත් අපේ සම්ප්‍රදායක් වෙලා තියෙනවා වගේ... මට ඉතින්  ඕවා ගැන තියෙන්නේ පතෝල වගේ හැඟීමක් හින්ද උනන්දුවක් දැක්වුවේ නැති වුනාට ඉතින් සෙසු පිරිසගේ සිත් සතන් සනසවනු පිණිස ඔය හැමදේම බැලුව. මම ඉතින් ඔය ඩයිබර් වැඩේ, එතකොට ඔය අනිත කටු වැඩ එහෙම කරලා කොහොම කොහොම හරි අවශ්‍ය දේවල්, නැකත්, වාස්තු, ඊට පස්සේ ඔය එක එක දේවල් ඔක්කොම ලැස්ති කරලා ගත්ත.

ඔය වාස්තු බලපු කෙනා ඉතින් දකුණු ලකේ බොහොම පිළිගත් කෙනෙක්. ඒ වගේම උගත් කෙනෙක්. ව්‍යාපාරයක් විදියට නැතුව සේවයක් විදියට තමන් දන්න සාස්තරෙන් අනුන්ට උදව් කරන ඉංජිනේරු මහත්තයෙක්. කට්ටක් කාල තමයි හම්බ වෙන්න එහෙම පුළුවන්. කොහොම වුනත් ඉතින් ඒ මහත්මය කියපු විදියට අපි මේ වැඩේ පටන් ගත්තා. 

ගෙදර වැඩ කටයුතු පටන් ගන්න දවසට දවස් 3ක් කලින් ඉඳල රෑ 9න් පස්සේ අපේ ඉඩමට ගිහින්, පහන් පැලවල් හදල, පහන් පත්තු කරලා තුන් සුත්‍රය, ධජග්ග සුත්‍රය එහෙම කියන්න කියල තව තව පොඩි පොඩි දේවල් ටිකක් කරන්න තිබුනා. මේ වෙද්දී අපේ ඉඩමයි ඊට අල්ලපු ඉඩමයි දෙකම මම සුද්ද කරලා වැඩේට ලැස්ති කරගෙන තිබුනේ. අල්ලපු ඉඩමේ කෙනාගෙන් අවසර අරගෙන තිබුනේ ඒ හිස් ඉඩම අපි අපේ වැඩ වලට ගන්නවා කියල.  ඔය අල්ලපු ඉඩමේ තිබුනා ලොකු කැන්ද ගහක්. මම බැකෝ එකෙන් ඉඩම සුද්ද කරද්දී ඕක ගලවන්නත් හදල ඔන්න ඔහේ හෙවනටත් එක්ක කියල ඔහේ තියෙන්න ඇරිය.

ඉතින් කොහොම හරි අපි කට්ටිය ඒ කිව්වේ මමයි, මමයි, අම්මල දෙන්නයි දවස් 3ක් ඔය වැඩේට ගියා. කිසි අවුලක් නැතුව වැඩ ටික කළා. අන්තිම දවසේ ඒ කියන්නේ පහුවදා මුල් ගල තියෙනවනම් ඊට කලින්දා රෑ 10න් පස්සේ කරන්න කියල තව ඔය පොඩි පොඩි දේවල් ටිකක් එහෙම දුන්න. එදා ඉතින් මුළු දවසම එහෙට මෙහෙට දුවල, පහුවදා වැඩේට ඕනේ කරන දේවල් එහෙමත් ඔක්කොම ලැස්ති කරලා අපි රෑ වෙලා ඇවිත් ඔය කරන්න කියපු දේවල් කරන්න පටන් ගත්තා. 

ඔය ගෙවල් හදපු අය දන්නවා ඇති, සාමන්යෙන් ඉඩම් වලට ආරක්ෂාවල් එහෙම දාන සීන් එකක් තියෙනවනේ. මම පොඩි කාලේ අපේ තාත්තා ගේ හදනකොටත් ඕවා දැම්ම, ඊට පස්සේ අක්ක ගේ හදද්දීත් ඕව කළා. ඉතින් මේකත් අන්න ඒ වගේ දෙයක්. ඔය ආරක්ෂාවල් කරන්නේ ඉඩම් කඩම් වලට අයිතිවාසිකම් කියනවයි කියල කියන අමනුෂ්‍ය කොට්ටාශ වලින් ඒ ඉඩම් ආරක්ෂා කර ගන්නයි, හදන නිවසට ඔය ඒ වගේ බලවේග වලින් සිද්ද වෙන්න පුළුවන් කරදර වලක්වා ගන්නයි කියලයි මම නම් දන්නේ. ඔය වගේ දේවල් ප්‍රතික්ෂේප කිරීම හරි භාරගැනීම හරි තම තමන්ට ආදාල වැඩක් හැබැයි ඉතින් අර මම කිව්වා වගේ බොහෝ දෙනාගේ හිත සුව පිණිස ඕවා කරලා දැම්මම ලේසියි නේ. 

එතකොට වෙලාව රෑ 11 පහු වෙලා, වටේ පිටේ ගෙවල් වල මිනිස්සුත් ඔක්කොම ලයිට් නිවල නිදි, පහුවදා සතියේ වැඩ දවසක් නිසා පාරේ තොටෙත් කවුරුවත් නෑ. අපේ ඉඩම තියෙන්නේ කොහොමත් ප්‍රධාන පාරක් කිට්ටුව නොවන නිසා පැත්තම පාලුයි. 

අපේ ඉඩම කිට්ටුව ගස් කෝලන් ගොඩක් නෑ. තිබුනේ අර ලොකු කැන්ද ගහ විතරයි. ඔය ආපු දවස් ටිකේ අපි පහන් පැලවල් කීපයක් හදල පහන් පත්තු කළා කියල මම කිව්වනේ.  ඔය පහන් පත්තු කරද්දී මට තේරුණු දෙයක් තමයි අර කැන්ද ගහ කිට්ටුව තිබුණු පහන් පැලේ පහන අපි කොච්චර පත්තු කලත් ටක් ගාල නිවෙනව කියන එක. හුලං නිසා වෙන දෙයක් නෙවෙයි කියල හොඳටම තේරුණා ..පහන පත්තු කරන්න හරි අමාරු වුනා.  ඒ වෙලාවේ අපි කාටවත් ඕක ගානක් නැති වුනාට ඊට පස්සේ වෙච්ච සිද්දියත් එක්ක නම් හොල්මන් වෙලා ගියා.

අපේ ඉඩම පාරවල් දෙකකට මායිම් වෙනවා.  එකක් ප්‍රධාන පාර, අනිත් එක අතුරු පාර. ඔය පාරවල් දෙක සෙට් වෙන තුන්මන් හංදියට පස්ස හැරිලා මම මොකක් හරි වැඩක්, අනිත් කට්ටියත් ඉඩමේ ටිකක් එහාට වෙන්න ඔය පහන් පත්තු කරන, දුම් අල්ලන වැඩ. ඉඩමේ මුල්ලකට වෙන්න මම ෆෝන් එකේ යු-ටියුබ් එකෙන් තුන් සුත්තරේ දාල තිබුනා ටිකක් සද්දෙට. වෙන කිසිම කිසි සද්දයක් නෑ. එතකොට වෙලාව 11.30ට කිට්ටු වෙලා. වටේ පිටේ ඒ හැටි කරුවලක් තිබුනේ නෑ, මොකද පාරේ ලයිට් සහ අවට ගෙදරක එහෙම එළියේ ලයිට් දාල තිබුන නිසා. 

මම පාරට පිටුපාල හිටියා කිව්වනේ. ඊට විනාඩි 2-3කට කලින් මම පාර දිහාට හැරිලා තව මොන මොනවදෝ කළා, කොහොම හරි මම මගේ වැඩේ කරලා එක පාරටම අනිත් පැත්ත හැරුනා.

මුහුණ පුරා රැවුල වැවුණු, කොන්ඩේ උරහිස දක්වා විතර වැවුණු, කොන්ඩේ උඩ කොටස තාපසයෝ බඳිනවා වගේ උඩට ගෙඩියක් වෙන්න බැඳගත්තු, කෙට්ටු, කළු, උඩුකය නිරුවත්, කෙටි සරම් කෑල්ලක් වගේ ඇඳගෙන, මොනවදෝ පුරවපු මලු කිහිපයක් අතින් ගත්තු මනුස්සයෙක් මං ගාව හිටගෙන ඉන්නවා.

ඒ වෙලාවේ එතන අපි කරපු වැඩෙයි, වෙලාවයි, පරිසරයයි එක්ක බොරු කියන්නේ මොකටද මාව ගැස්සිලා ගියා. 

"අපි තමයි මේ ඉඩම බලා ගත්තේ, දැන් ඉන්නේ අර පල්ලෙහා". ඇසිපිය නොහෙලා නිකන් තියුණු හඩකින් මේ මනුස්සය එකපාරටම කිව්වා.

"මේ මොකාද යකෝ මේ.. කොහේ යන මරාලයක් ද දන්නේ නෑ... කොයි එකටත් වැඩිය ගණන් ගන්නේ නෑ.." ගැස්සිලා තිබුණු මගේ හිත ඇතුලේ වැඩ කලේ එහෙම. මොකා වුනත් කමක් නෑ කියල

"ආ එහෙමද? අපිත් මේ පොඩි වැඩක්" කියල මම ඕනෑවට එපාවට කිව්වා. මිනිහා මා දිහා නිකන් අමුතු හිනාවක් වගේ දාගෙන බලාගෙන හිටියා. දිලිසෙන ගිලුණු ඇස්, රැවුලෙන් වැසුනු තොල්, වක ගැසී ගිලි ගිය කම්මුල්, ගන ඇහිබැමී... හරියට ආත්මා ලියනගේ වගේ පොරක්. මුහුණේ ෂේප් එක, කොන්ඩේ රැවුල ඔන්න හිතා ගන්නල. ඊට වැඩිය වයසයි, අවුල් වෙච්ච කොන්ඩෙයි, රැවුලයි. පෙනුම හිඟන්නෙක් වගේ.

ටික වෙලාවක් මා දිහා කෙලින් බලාගෙන හිටපු මනුස්සය බුදු සරණයි කියල මෙන්න පාර දිගේ යන්න යනවා.

මේ මොකක් ද යකෝ මේ වුනේ කියල මම ඒ යන චායාව දිහා බලාගෙන හිටියා. අනිත් අය ඉඩම ඇතුලේ නිසා එයාල මේ යකාව දැක්කද කියල මට ෂුවර් නෑ...  ඒ වෙලාවේ මගේ ඔළුවට ඔය ඊට කලින් අහල තිබුණු දේව භූත කතා ඔක්කොම ආවා. යථාර්තය සහ ෆැන්ටසිය කියන දෙක අතර මැද තැනක තත්පර ගානක් හිටිය කියන්න පුළුවන්. හැබැයි බැරි වෙලා හරි මේ අර කියන ජාතියක අමනුෂ්‍යයෙක් ද කියන දේ ටෙස්ට් කරන්න ඕනේ කියල මට ක්ෂණිකව කල්පනා වුනා. මම ෆෝන් එක අරන් මේ යන රූපේ ෆොටෝ එකක් ගන්න හිතලත් හැබයි එහෙම කලොත් ඒ වෙනකොට සද්දෙට තිබුන තුන් සුත්‍ර දේශනාවට බාධාවක් වෙන නිසා ෆෝන් එක එහෙමම තියෙන්න ඇරලා යන චායාව දිහා බලාගෙන හිටිය.

මගේ අරමුණ වුනේ ඔය මේ වගේ අවස්තාවල බොහොමයක් දෙනා කියන විදියට ඔය හදිස්සියේම දකින මේ වගේ චරිත එක පාරටම අතුරු දහන් වෙනවද කියන එක ටෙස්ට් කරන්න. ඒ වෙද්දී මට නිකන් තුෂ්නිම්භූත වෙච්ච නමුත් පොඩි ආතල් excited ගතියක් තමයි තිබුනේ. ඒ කියන්නේ මේ මොකාද කියල දැන ගන්න ඕනේ වගේ එකක්. මමත් ඉතින් ඇසිපිය නොහෙලා බලාගෙන හිටියා මේ යකා දැන් අතුරු දහන් වෙයි දැන් අතුරු දහන් වෙයි කියල.

අපේ ඉඩම තිබුනේ ප්‍රධාන පාරේ ඉඳල ටිකක් දුරින්. ඒ කිව්වේ දැන් මේ මනුස්සය ඇවිදන් යන පාරේ 30-50m විතර ගියාම ප්‍රධාන පාරට පිවිසෙන තුන් මං හන්දිය තියෙනවා.

මම දිගටම බලාගෙන හිටියා. මේ මනුස්සය හෙමින් හෙමින් ඇවිදන් ගිහින් අර තුං මං හංදියෙන් හැරිලා නොපෙනී ගිය හැටි!












******************************************************************************












මේ සිද්දිය අපුරු ප්‍රවාදයක් හැටියට අපේ පවුලෙයි, අපේ අහල පහල නෑ හිත මිතුරන් ගේ පවුල් වලයි, තව එතකොට ඔය මල ගෙවල්, පාටි, ට්‍රිප් ආදී ඕනෙම තැනක හොඳට රස කර කර මට කියන්න පුළුවන්. එතකොට අපේ අනාගත දරු මල්ලොත් රස කර කර මේ කතාව අනාගත පරම්පරාවට අරගෙන යයි. කට්ටිය මේකේ එක එක විදියේ අතුරු කතා නිර්මාණය කරයි. දිලිසෙන රතුම රතු පාට ඇස් එකතු වෙයි. ඇඟ පුරාම මයිල් එහෙමත් තියෙයි.

මේ විදියෙම කතා තව තව අය එකතු කරයි.  මේ චරිතෙට නම් එහෙමත් වැටෙයි. සමහර විට යන්ත්‍ර මන්ත්‍ර එහෙමත් හැදෙයි මේ තාපස වෙස් ගත්තු අමනුෂ්‍යාගෙන් ආරක්ෂා වෙන්න.

හැබැයි ඔය ඔක්කොම ප්‍රවාද ඇතිවීම මට වලක්වන්න පුළුවන් ඊට දවසකට පස්සේ හවස් වරුවේ මම ඉඩමට යනකොට අහිංසක, පොඩි මානසික රෝගයක් සමහරවිට තියෙන්න ඉඩක් තියෙන මුහුණ පුරා රැවුල වැවුණු, කොන්ඩේ උරහිස දක්වා විතර වැවුණු, කොන්ඩේ උඩ කොටස තාපසයෝ බඳිනවා වගේ උඩට ගෙඩියක් වෙන්න බැඳගත්තු, කෙට්ටු, කළු, උඩුකය නිරුවත්, කෙටි සරම් කෑල්ලක් වගේ ඇඳගෙන, මොනවදෝ පුරවපු මලු කිහිපයක් අතින් ගත්තු මනුස්සයෙක්ව මට හම්බ වුනා කිව්වම.

ඒ මනුස්සය ඒ පැත්තේ ජිවත් වෙන අසරණ මනුස්සයෙක්! නොපෙනී ගියේ පාරෙන් හැරිච්ච ගමන් තියෙන ගස් පේලිය හින්ද! අපේ ඉඩම බලාගත්තු කතාව නම් දන්නේ නෑ.. හැබැයි ඉතින් ඔය කුලී වැඩ කරන මිනිස්සු ඉන්නවනේ අන්න එහෙම කාලෙකට කලින් ඔය ඉඩම් වල ඉන්න ඇති.

දෙවියෝ සහ භූතයෝ අපිම මවා ගත්තද කියල හිතෙනවා! පුරාවෘත අපිම මවනවද කියල හිතෙනවා!









Monday, August 28, 2017

The Eternal Torment of Unexpressed Love


මාතෘකාව ඉස්සුවේ රවී තුමාගේ පෝස්ට් එකකින්

නොහැඟවූ ආදරය 

නොහඟවන ආදරය අපුරුයි, කලාත්මකයි, වින්දනියයි. නමුත් ඒ ආදරයම  Eternal Torment වීම ඛේදනීයයි. සැඟවුනු, ඒක පාර්ශවික සහ හොරෙන් බලා අහිමි වී යන ආදරය සදාතනිකයි. හිමි වී, විඳ, එපා වී, දියවී යන ටිපිකල් ආදරේ පරදවා  අහිමි වී, සැඟවී ගිය ආදරය අපේ හිත් වල රැඳෙනවා.

ආදරය ප්‍රකාශයෙන් පමණක් හැඟවිය නොහැකි නිසා ප්‍රකාශනය කෙතරම් වැදගත් ද?

බටහිර සංකල්ප ප්‍රේමය සහ ඒ හා බැඳුනු දේ සැඟවීම අනුමත කරන්නේ නෑ. නමුත් ඔවුන්ගේ ප්‍රේමයන් Eternal ද? නිතර ප්‍රකාශ කරන ප්‍රේමය සමගම නිතර ප්‍රකාශ කරන අනෙකුත් හැඟීම් නිසා ඔවුන්ගේ පෙම් කතා තාවකාලිකව නිමා වෙනවා. නමුත් ප්‍රකාශිත හැඟීම් නිසා ඔවුන් තුල Torment නෑ. ඔවුන් එය විඳ අවසන් නිසා. 

පෙරදිග අපි ප්‍රේමය ක්‍රියාවෙන් පෙන්වීමට උනන්දු නමුත් වචනයෙන් ප්‍රකාශ කිරීමට එතරම් උනන්දු වන්නේ නෑ. බොහොමයක් දෙනා සිය ජිවිත කාලයම ඒ ප්‍රේමය වෙනුවෙන්, වරක් ප්‍රකාශ කළ ආදරය වෙනුවෙන් බැඳී ඉන්නවා. ඒ ජිචිත තුල Eternal නොවුනTorment නැතුවා නොවුනත් සමහර ඛේදාන්තයන් දක්වාම ඒ කැපවීම කරන මිනිසුන් බහුතරයක් පෙරදිග ඉන්නවා. පෙරදිග අපිට අනුව විඳීම වරදක් මිසක්  විඳ නිම කිරීම තවම නොතේරීම හේතුව විය හැකියි.

වඩා වටින්නේ කුමක් ද යන්න සාපේක්ෂ නමුත් ප්‍රේමය Torment එකක් කර ගත යුතු ද කියල තමුන්ම සිතා බැලිය යුතුයි.  

රවියාගෙන්ම  උස්සපු මෙන්න මේ ටිකට අනුව

Who was I to question a love that was whispering as a winnowing wind?
Who was I to question a love that was shooting up sprouts as when the spring comes? 
Who was I to question a love that was as gentle as a floating snowflake that heralds the winter? 
Who was I to question a love that would inside me every day for the rest of my life and even beyond? - Nicholas Sparks - The Notebook

ඉබේ හටගෙන සදා රැදෙන හැඟීම් වල සුන්දරත්වය දකින්න අප ඉගැනිය යුතුයි. හැඟීම් තෙරපීමට උගන්වා ඇති අපට හැඟීම් විඳීමට, විඳ අවසන් කිරීම ඉගෙනීමට කාලය එළඹ ඇත. 

හැඟීම් විදීම වරදක් ලෙස කාවැදී ඇති අපේ සිත් එයින් මුදවා ගත යුතු වන්නේ විඳීමේ සිමා මායිම් හරි හැටි තේරුම් ගැනීමෙනි. පෙරදිග අපට ලැබී ඇති වාසිය මේ සිමා මායිම් නිර්ණය කර ගැනීමේ පහසුවයි. 

ප්‍රේමය ප්‍රකාශ කිරීමේ සහ නොකිරීමේ අයිතිය හැමටම ඇති බැවින් අප්‍රකාශිත ප්‍රේමයන් යනු ජිවිත කාලයක් විඳවන Torment කර ගැනීම නිෂ්ඵලය.  විඳිය යුත්තේ අප්‍රකාශිත ප්‍රේමයේ සුන්දරත්වයයි. අප්‍රකාශිත ප්‍රේමයේ ඇති මමත්වය ඉවත් වූ විට එහි ඇති විඳවීම හීන වී යයි. 

දෙපසට වෙන්වී යන යුවලකගේ සෙවනැලි සිප ගන්නා ග්‍රැෆික් නිර්මාණයක් පින්තුරයේ ඇත

--------------------------------------------------------------------------

බොරු කියන්න ඕනේ නෑ. මම නම් කොල්ල කාලේ ඔය මගේ හිත ඇදිල ගිය ගෑනු ළමයින්ට මට හිතුනු දේවල් කියල දැම්ම. සමහර ඒවා නිකන් පොල්ලෙන් ගැහුවා වගේ හෙහ් හෙහ්. සමහර සිද්දි මතක් වෙද්දීත් ලැජ්ජයි. හැබැයි ඉතින් මට ඔය Torment ඉතිරි වෙලා නෑ. 

බැරි වෙලා හරි ඒ ඒ ළමයින්ට සහ තව වෙනත් අයට එහෙම ඒවා ඉතිරි වෙලා තියෙනවනම් නැට්ට පිටින් අලි මැරෙන එකේ ඕක මොකක් ද කියල ආතල් එකේ ඉන්නයි තියෙන්නේ. 

රවියා තරම් නාකි වුනාට පස්සේ විස්තර එක්ක ඒ කතා ලියන්න බැරියැ.


Tuesday, August 15, 2017

මල්ටි ලෝක


     දෙවියෝ සහ භූතයෝ ගැන මට තියෙන්නේ ඔය ගොඩක් දේවල් වලට වගේම නියුට්‍රල් හැඟීමක්.  ඒ කියන්නේ එයාල ඉන්නවනම් එයාල එයාලගේ පාඩුවේ හිටියාවේ මම මගේ වැඩක් කරගන්නම් වගේ ගතියක්. කොල්ලා කාලේ ඕවා ගැන හොයන්න උනන්දුවක් තිබුනට දැන් දැන් ඒ වගේ වැඩ ගැන ඒ හැටි උනන්දුවක් නෑ.  හැබැයි දේව භූත සිද්දි ගැන කතා අහන්න නම් ඉතින් කවදත් කැමතියි.

මිනිස්සු විදියට අපි කොච්චර දියුණුයි කියල පාරම්බෑවත් මේ නොපෙනෙන ලෝක සහ එහි වැසියන් ගැන තියෙන කුතුහලය නම් කවදාවත් අඩු වෙන එකක් නෑ.. හෙහ් හෙහ් කවද හරි දවසක ඔය නොපෙනන ලෝක වාසින් එක්ක භෞතිකව සම්බන්ද වෙන්න ලැබුනොත් ඒ කිව්වේ ඔය විද්‍යා ප්‍රබන්ධ වල වගේ අමුතු දොරවල් විවෘත වෙලා නැත්නම් මොනවා හරි මැෂින් වලින් හරි ඔය මොකක් හරි ආතල් ජනක විදියකට සෙට් වෙන්න ලැබුනොත් හරි ජොලියට තියෙයි නේද? එහෙම උනොත් අපිට අලුත් ප්‍රශ්න ටිකක් එහෙම ලැබෙයි.. ඒ කියන්නේ  මෙන්න මේ වගේ..



"අර දෙවියෝ අර කරන වැඩේ වැරදි නේද? අච්චර ගානක් වියදම් කරලා පලතුරු වට්ටි තියන මිනිස්සු  ගැන ඇහැක් ඇරලා බලන්නේ නෑනේ.. අනේ මන්ද සක්‍ර දෙවියෝ මොනවා කරනවද කියල? මෙච්චර කාලයක් තිස්සේ අපිව රවට්ටලානේ.. "

ඊට පස්සේ ඉතින් ඔය කපු උන්නැහලට පුළුවන් ඕනනම් ඔය දිව්‍ය ලෝකේ තියෙන මොකක් හරි වටරවුමක උද්ගෝෂණයක් එහෙම කරන්න.

ඊට පස්සේ ගෙවල් වල ඉන්න ඔය තරුණ ළමයින්ට පුළුවන් මේ ලෝකෙන් තමන්ට කියල සහකාරියක් , සහ කරුවෙක් හොයා ගන්න බැරි වුනොත් ඔය ඒ වගේ ලෝක වලට ට්‍රයි කරන්න. හෙහ් හෙහ් හරි ජොලියට තියෙයි නේද? ඉතින් එතකොට අපේ දෙමව්පියන්ට එහෙම අලුත්ම තාලේ ප්‍රශ්න තියෙයි.. හෙහ් හෙහ්.. 

මංගල දැන්වීම්
දෙව් සංගම් සාමාජික, විමාන 3ක් හිමි, වරම් හිමි දෙව් පුතුට මිනිස් ලොවින් මනාලියක් මව  සොයයි! කුල මල අනවශ්‍යයි! භූත මනාලියන් ද සලකා බැලේ! වරදට සමාව දීම දේව ගතියයි!

අඩි 2යි අඟල් 3ක් උස, සිහින් සිරුරැති, පියකරු ප්‍රේත දියණිය ඔලිම්පස් කුමාරයෙක් විවාහයට සොයයි! සියුස් ගේ කැමැත්ත නොසැලකේ. දායාද සහිතයි! 

"අල්ලපු ගෙදර ඇලිස් ගේ කෙල්ල බුතයෙක් එක්ක පැනල ගිහින් කියන්නේ... අනේ මන්ද මේ මල්ටිදස්ස කාලේට වෙන දේවල්.. ඒ කාලේ ඔය බුතයෝ අපි බෝතල් වල දාල හිර කරලා මුහුදට දැම්ම... දැන් මෙතන උන් එනවා අපෙන් හිර ගන්න.. අම්මපල්ල හැබෑට.. හරි හමන් කට්ටඩියෙක් නෑනේ හොයා ගන්න.."

"අඩේ කවුද බන් අර උඹට රික්වෙස්ට් එකක් එවල තියෙන පට්ට කෑල්ල.. ?  හෙහ් හෙහ් මහසෝනාගේ බාල දුව යකෝ.. මේ බලපන් ෆැමිලි ෆොටෝස්.. හෙහ් හෙහ් පට්ට නේද?"

මම දන්නවා ඔයා ඔය රෑ 12ට පාන් පත්තු කරගෙන මල් කඩන්නේ කාත් එක්ක ද කියල.. අනේ මම රැවටුනා.. ඉහි ඉහි ඉහි...!!

ඊට පස්සේ ඉතින් බුත ලෝක සවාරි ද , දිව්‍ය ලෝක සවාරිද වගේ ඒවත් තියෙයි..

"අනේ අර එහා ගෙදර කට්ටිය නම් අර කෝටි 5ට තියෙන තව්තිසා ටුවර් එක ගිහින් ඇවිත්.. හරි ශෝක්ලු අනේ.. අපිත් යමුකෝ.."

"මොන තව්තිසා ද අයිසේ... ඕනනම් ඔය පොඩ්ඩක් ළඟ තියෙන කොහෙට හරි ගිහින් එමු.. අම්මපල්ල මල කරදරයක් වුනානේ මේ ටුවර් කාරයෝ.."

සජීවී 7ට මෙහෙම තියෙයි

උතුරු කොරියාව සහ අකනිටා බ්‍රහ්ම ලෝකය අතර යුධ ගැටුම්.. බ්‍රහ්මයින් 24කට තුවාල. කොරියානු නායකයා තම ප්‍රහාර නොනවත්වන බවට තර්ජනය කරයි..!

දේව ලෝක අපද්‍රව්‍ය පිට කිරීම් පද්ධති ප්‍රේත ලෝකවලට හැරවීම සම්බන්ධයෙන් මහා විරෝධතාවක්.. !

අපද්‍රව්‍ය වලට අපි නිසි වටිනාකමක් දෙනවා..  සක් දෙවියන් ගෙන් ප්‍රතිඥාවක්!

මේ දේව මණ්ඩලයේ ඉන්නේ දුෂිත දෙවි වරු ඉල්ලා අස්විය යුතුයි.. හොරුන් එලවීය යුතුයි..! ඔලිම්පස් කන්දේ අද රණ්ඩු!!

හින්දු දෙවි වරුන් ගේ රන් ආභරණ ගැන පොලිස් පරීක්ෂණ! වත්කම් හෙළි කිරීමට නියෝග!

ඇතීනාගෙ පැපරාසි ෆොටෝව මල්ටි ලෝක කළඹයි!

හෙහ් හෙහ්.. තව මතක් වෙනවා.. ඔය ඇති.. හෙහ් හෙහ්

එතකොට යුනයිටඩ් නේෂන්ස් නැතුව යුනයිටඩ් වර්ල්ඩ්ස් වගේ එකක් තියෙයි.. අර ස්ටාර් වෝර්ස් ෆිල්ම් වල වගේ අමුතු අමුතු ඩයල් ඇවිල්ල රැස්වීම එහෙම තියයි..

සල්ලි කියල දෙයක් ඒ කාලෙට තියෙයි ද? හෙහ් හෙහ්.. සමහර විට පලතුරු යුෂ වලට හොඳ වටිනාකමක් ලැබෙයි..  වැසිකිලි වලවල් රන් ආකර වෙන්නත් පුළුවන්.. කවුද දන්නේ..

ඊට පස්සේ ඉතින් රියලිටි ෂෝස්, එතකොට ඔය මිස් යුනිවර්ස් තෝරන තරඟ එහෙම මරුවට තියෙයි නේද? 

මෙතන දෙවියෝ සහ භූතයෝ ගන්න කිව්වම අපිට ඉන්න 33න් කෝටිය ගැන විතරක් නෙවෙයි ඔය ඉංග්‍රීසි ෆිල්ම් වල ඉන්න පට්ට දෙවිවරු එතකොට දේවතාවියෝ ගැනත් සලකන්න ඕනේ.. 

(ඉංග්‍රීසි ෆිල්ම් ගැන හිතන්න ගියොත් මේක ඉවර වෙන්නේ නෑ.. තම තමන්ගේ වයසේ හැටියට කැමති දෙයක් හිතා ගන්නල...)

ඊට පස්සේ තව මරු මරු ගැජට් එහෙම තියෙයි.. ඔය තෝර් ගේ මිටියේ පොඩි මොඩ්ල්, ඊට පස්සේ ඉතින් ඔය තියෙනවයි කියන නානාප්‍රකාර ආයුද වල චයිනිස් මොඩ්ල් එහෙමත් අපිට ලාබෙට ගන්න පුළුවන් වෙයි..

"අඩෝ මේ බලපන් මේක ... අපෝ ඔය මොකක් ද බන්.. මොන බුත ලෝකෙන් ද ඕක ගත්තේ.. අපේ තාත්ත යක්ෂ ලෝකෙන් මේක අරන් තියෙන්නේ.. මේ.. කුඩු වෙන්න දෙන්නේ.."  ඒ කාලෙට පොඩි උන් ඔය විදියට රණ්ඩු වෙයි..



"මචං අපේ සයිට් එක අර ප්‍රේත ලෝකෙදි ඇක්සස් කරන්න බැලූ බන්... පොඩ්ඩක් බලපන්.. අනේ ඔය නෙට්වර්ක් එකේ මොකක් හරි අවුලක් වෙලා ඇති බන්.. . ඔය ප්‍රේතයෝ ඕකෙන් බඩු ගන්නේ නෑ බන්.. ඕක හෙට හදමු මම දැන් ගෙදර යනවා.. "

"අනේ මන්ද මම මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තට කොහොමද අප්පා හොටු වලින් බිල්ඩින් එකක් හදන්නේ.. අපේ කොම්පැනියටත් ඉතින් මේ ප්‍රොජෙක්ට් එකම කරන්න ඕනේ උනානේ.. ෂුවර් එකට ඔය මල පෙරේතයෙක් ගෙන් කුට්ටියක් ලොක්කට හම්බ වෙනවා ඇති.. මට නම් මේ රස්සාව එපා වෙලා තියෙන්නේ.."

"මෙවර අපගේ මහා තරු සම්මානය හිමි වන්නේ... යක්ෂ ලෝකයටද???? බ්‍රහ්ම ලෝකයටද???? ප්‍රේත ලෝකයටද???? නැත්නම් දේව ලෝකයටද....???? තවුතිසාවද? අවීචියද? ඔබේ මනාපයෙන් තේරුණු ජයග්‍රාහකයා මේ විරාමයෙන් පසු!!!!"

අපි වගේ අය ඔය පලතුරු වට්ටියක් දීල, විභාගයක් පාස් කරගන්න , ප්‍රශ්නයක් විසඳ ගන්න ට්‍රයි කලාට ඔය අනිත් රටවල මිනිස්සු නම් ඔය නොපෙනී ඉන්න තාක්ශනේ, එතකොට සෘදියෙන් යන තාක්ශනේ වගේ දේවල් ගැන පරීක්ෂණ එහම කරලා තව අපුරු දේවල් හොයා ගනියි.

සෘදියෙන් යන එකද වඩා හොඳ නොපෙනී ඉන්න එක ද? ඒ කාලෙට ඕවා දැවෙන ප්‍රශ්න වෙයි..

දැනටම ඉතින් ඔය පට්ට ෆිල්ම් එහෙම හදන්නේ ඔය ෆැන්ටසි කතා වලින්..  අපේ රටෙත් දැන් දැන් ඒ විදියේ ෆිල්ම් හැදෙනවා උනාට ඉතින් අපිට ඉන්න දෙවිවරු එච්චර හයි ෆයි සහ ගජමැටික්ස් භාවිතයෙන් තොර හින්ද බලනකොට කිසි ගතියක් නෑ.. අපිට හැබැයි ඔය ආධ්‍යාත්මික ශක්තින් ගැන හොඳ අපුරු නිර්මාණ කරන්න පුළුවන්... 

මේ දේව සංකල්ප සහ අමනුස්ස සංකල්ප මුළු ලෝකෙම මිනිස්සුන්ගේ හිත් වල තියෙනවා. ඒවා ඉතින් හරි හෝ වැරදි කියල වාද කරන එක තේරුමක් නෑ... තම තම නැණ පමණින් තේරුම් ගන්න ඉඩ ඇරලා ඉන්න ඕනේ.. නමුත් ඉතින් ඔය කවුරු උනත් අතේ දුරින් තියාගෙන ඉන්න එක තමයි කරන්න ඕනේ.. එහෙම නැති වුනාම අපිට තියෙන වටිනාම වස්තුව වෙච්ච අපේ නිදහස් චින්තනේට බාධා වෙනවා. මම නම් විශ්වාස කරන්නේ මෙලොව පරලොව දෙකේම දියණුවට අපිට කවද හරි හේතු වාසනා වෙන්නේ අපේ නිදහස් චින්තනය කියල..  මේ සංකල්ප ගැන බොහෝ දේවල් කතා කරන්න පුළුවන් උනත් ඉතින් අන්තිමට අපි විසින් ගොඩ නගා ගත්ත සංකල්පයක් ඇතුලේ අපි හිර වෙලා ඉන්නවා. කවද හරි තමන්ගේ සංකල්පේ හරි හෝ වැරැද්ද දැන ගන්න පුළුවන් වෙන්නේ අර මම කිව්වා වගේ ඔය ලෝක කවද හරි අපිට භෞතිකව අත්දකින්න පුළුවන් වුනාම තමයි. එතකම් ඉතින් ඔය හැමදේම තම තමන් ගේ හිත් වල තියෙන දෘෂ්ටි තමයි.

මට මේ එලෝ කෝටියක් වැඩ අස්සේ මේ එක පාරටම දෙවියෝ භූතයෝ මතක් වුනේ මොකද කියනවනම්.. මම මේ දවස් වල දෙවියෝ සිහි වෙන කටයුතු නිතර කරනවා. ඒ කියන්නේ බාස් උන්නැහේලා ටිකක් එක්ක ගෙයක් හදනවා. ඊට පස්සේ රස්සාවල් හොයන්න ඉන්ටර්විව් යනවා.. ඊටත් පස්සේ ඔය එක එක වැඩ වලට ආණ්ඩුවේ ඔපිස් වලට යනවා එනවා.. ඉතින් මට නිතර දෙවේලේ ඔය අපේ අසල් ලෝක වාසින් ගැන සිහි වෙනවා. 



මේ දවස් වල විද්‍යාවේදී ඔය අපේ විශ්වය වගේම තවත් විශ්ව ගොඩක් තියෙන්න පුළුවන් කියන සංකල්පයත් නැගල යනවනේ.. මම එහෙම ලිපියකුත් කියෙව්වා.. අනිත් එක මේ අපේ විශ්වය කියන්නේ තනිකරම කම්පියුටර් සිමියුලේෂන් එකක් (සිමියුලේෂන් එකක් කියන්නේ සිමියුලේෂන් එකකට.. ඒ කිව්වේ මේ සිමියුලේෂන් එකකට.. හරි නේ..) කියන සංකල්පෙත් තියෙනවා.. වැඩියෙන්ම ආතල් සංකල්පේ තමයි මේ ඔය අපේ දෙවියෝ, බුතයෝ ඔක්කොම ඉන්න විශ්වය කියන්නේ සක්වල දරුවෙකුගේ පාසල් ප්‍රොජෙක්ට් එකක් වෙන්නත් පුළුවන් කියන එක.. හෙහ් හෙහ් හරි ආතල් නේද එහෙම හිතන එක.

ඉතින් මේ පුදුමාකාර විශ්වයේ ඉන්න අපුරු ජීවියෝ වෙච්ච අපිට මේ තියෙන සිනි බෝල තරම් වත් වැදගත් නැති ප්‍රශ්න ටිකෙන් මිදිලා ආතල් එකේ ඉන්න බැරි මොකද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ.. හෙහ් හෙහ්..

අනිත් වැදගත් ම දේ තමයි මට මේ ළඟදී ඔය කියන අපේ අසල් ලෝක වාසියෙක් එක්ක close encounter එකක් වෙච්ච එක.. හෙහ් හෙහ් සෙල්ලන් නෑ ඉතින්..

 ඒ කතන්දරේ ලබන මාසෙට ලියන්න තියා ගන්නම්.. 

(ඔබගේ දේව භක්තියට අපහාසයක් ලෙස ලියුවක් නොවන බව කරුණාවෙන් සලකා විනෝදයෙන් සිටින්න. ස්තුතියි)