Sunday, October 19, 2014

ප්‍රේමය...




ආදරය, ප්‍රේමය ගැන එපා වෙනකම් අපි කතා කරනවා . ප්‍රේමය වෙනුවෙන් නොකරන දෙයක් නැති තරම් . සතා සීපාවා, ගහකොළ මේ හැමදේටම ප්‍රේමය අවශ්‍යයි. 

මොකක් ද මේ ප්‍රේමය . කෙනෙකුට මේක ලෞකික බැඳීමක් කියන්න පුළුවන් . තවත් කෙනෙක් ජීවයේ පැවත්මට වර්ගයා බෝ කිරීමට අවශ්‍යය තව එක්  දෙයක් විතරක් විදියට හදුන්වන්න පුළුවන්. තව කෙනෙක් බොහොම සරලව දෙදෙනෙකු අතර තියෙන ආදරය, සෙනෙහස විදියට මේක දකින්න පුළුවන් . මවක් සිය දරුවන් කෙරෙහි තියෙන ප්‍රේමය වඩා උතුම් විදියට තව කෙනෙක් දකින්න පුළුවන් .

කෙටියෙන් නම්  ප්‍රේමයෙන් මන රංජිත වේ  නන්දිත වේ කියල අපිට කියන්න පුළුවන්.

එකිනෙකා තුල අන් අය ගැන ඇතිවෙන ප්‍රේමය , ආදරය එකම විදියට ඇති වෙන්න ඕනේ ද ? ඒ කියන්නේ ආදරය නම් මෙන්න මේ විදියයි කියල අපිට රාමු කරන්න පුළුවන් ද ? 

උදාහරණයක් විදියට උදේ හවස වැඩට ගිහින් ගෙදර එන පියාගේ හෝ මවගේ ආදරය දවස තිස්සේ ගෙදර ඉන්න අම්මගේ හෝ තාත්තගේ ආදරයට වඩා හාත්පසින් වෙනස් ද ?

ගෙදර ඉන්න සැමියෙක්, බිරිඳක් අතර ඇතිවෙන ප්‍රේමය  උදේ හවස වැඩට යන එන  දෙපලක් අතර ඇති වෙන ප්‍රේමයට වඩා වෙනස් ද ?

වෙනස් වෙන්නේ හැසිරීම , කතා බහ , දක්වන සැලකිලි ආදිය මිසක් ඇත්තටම දෙන්න තුල තියෙන ආදරය ද ?

පොඩි එකෙකුට දක්වන ආදරය ලොකු කෙනෙකුට ඒ විදියටම පෙන්නන්න ගියාම  පොඩ්ඩක් අවුල් වගේ නේද ? 

ඒ වගේම පුංචි මනසක් තියෙන පොඩි දරුවෙකුට ඒ මට්ටමින් ආදරය දෙන්න අපිට ඉබේම පුළුවන් වෙනවා .

ලොකු වුනාම හම්බ වෙන සහකරුවාට හෝ සහකාරියට කරන ආදරයේ ස්භාවය සම්පුර්ණයෙන් වෙනස් . ඒ වෙනස් වෙන්නේ ආදරේ කරන විදිය මිසක් එකිනෙකා ගැන ඇතිවන ප්‍රේමය නෙවෙයි නේද ?

අපි බැඳීම හදා ගන්නේ අපිට හුරු වෙච්ච එහෙම නැත්නම් අපි අත්දැකපු දේවල් අනුව. බැඳීම කියන්නේ ලෞකික දෙයක් තමයි . නමුත් බැඳීම නැතිව ප්‍රේමය පවතිනවද ?

අපිට හිතෙන්නේ සැබෑ ප්‍රේමය නම් ඒ තුල බොහෝ ලෞකික දේවල් තියෙන්න ඕනේ කියල ...

ලෞකික දේවල් නැතිව ප්‍රේමයක් පවතින්න බැරි ද ?

ආදරය ප්‍රකාශ වෙන විදිය , හැසිරෙන විදිය , කරන ක්‍රියා නිසා අපි ප්‍රේමය ගැන තීරණ ගන්නවා . ඒක  ප්‍රයෝගිකව හරි . බැඳීමක් සාර්ථක වෙන්න මේ දේවල් යම් ක්‍රමයකට සිද්ද වෙන්න ඕනේ .

නමුත් සමස්තව ගත්තම ඔබ අප මේ හැමෝම බැඳෙන ප්‍රේමය ඒ  විදියට රාමු කරන්න පුළුවන් ද 

විශ්වය තුල ප්‍රේමය තියෙනවා කියල හිතෙන්නේ නැද්ද ? මහා ප්‍රේමයක්..... මේ හැමදේම මේ විදියට පවත්වාගෙන යන්න . මේවා විනාශ නොවී පවතින මහා ප්‍රේමයක් කරුණාවක් මේ විශ්වය තුල තියෙනවා නේද කියල මොහොතකට හිතිලා නැද්ද ?

ඒක දෙවියන් වහන්සේගේ ප්‍රේමය විදියට කෙනෙක් දකින්න පුළුවන් , සමහරවිට සර්ව බලධාරියාගේ කරුණාව විදියට දකින්න පුළුවන් . එහෙම නැත්නම් කෙනෙකුට ස්වභාවධර්මයේ තියෙන මහා සැනසිලි දායක සුවය විදියට මේ ප්‍රේමය දකින්න පුළුවන්. වෙන කිසිම විදියකින් අත්දකින්න බැරි සැනසිලි දායක සුවයක් අපට නිසංසල පරිසරයක , මුහුදු වෙරළක ඉන්න කොට දැනෙන්නේ මේ සමස්ථ විශ්ව ප්‍රේමය නිසා වෙන්න බැරි ද ?

ඒ සැනසිලි බව අපි රාමු කරලා හදාගත් බැඳීම සහිත ප්‍රේමය අත්විඳින කොට අපිට දැනෙනවා ද ? නැත්නම් එක වෙනස් ද ?

අපි මේ විශ්වයේ තියෙන සමස්ත ප්‍රේමය කුඩා කොටස් වලට වෙන් කරගෙන තව කෙනෙක් සමග බෙදා ගැනීම නෙවෙයි ද ඇත්තටම කරන්නේ .?

සමස්ත විශ්වයම ප්‍රේමයෙන් පිරිලා තියෙද්දී අපි කුඩා කොටස් වෙන්කරගෙන ඒ වෙන් කරගත් කුඩා කොටස් වලට විවිධ නම් දීල විවිධ ස්වරුපයෙන් ඒක අපේ කරගන්න එක නෙවෙයි ද ඇත්තටම කරන්නේ. අපිට  ඒ වෙන් කරගත්ත කුඩා කොටසින් එහා පවතින සමස්ත ප්‍රේමය දකින්න බැරි ද ?

සමස්ථ ප්‍රේමය දකින්න පෙර  තමා තුල ප්‍රේමය  කරුණාව තියෙන්න ඕනේ . ඒක  අනිත් පුද්ගලයට දැනෙන්නත් ඕනේ . එක පුද්ගලයෙකුට විතරක් නෙවෙයි , පවුලට , සමාජයට , පරිසරයට ඒ ප්‍රේමය දැනෙන තරමට අපි තුල තියෙන කරුණාව , ආදරය දියුණු වුනාම අපිට සමස්ථ විශ්වයම මේ වගේ නේද කියල දැනෙයි . 

ප්‍රේමති ජායතෝ සෝකෝ කියල අපි අහල තියෙනවා . ඒ කියන්නේ ප්‍රේමය නිසා දුක හට ගනී කියල. ඇත්තටම මේ කියන්නේ සැබෑ ප්‍රේමය ගැන ද  නැත්නම් අපි වෙන් කරලා ගත්ත කුඩා කොටස තුල අපි බලාපොරොත්තු වෙන සහ අපි කලින් විශ්වාස කරගෙන හිටපු "මේක නම් මෙහෙම විය යුතුයි" යන දෘෂ්ටිය නිසා ඇතිවෙන දුකක් ගැනද ?

ඇත්තටම ආදරය, ප්‍රේමය මනුෂ්‍ය බැඳීම් නිසා ලස්සන වෙනවා . ඒ සුන්දර බැඳීම් හැමදාම සුන්දරව තියෙන්නේ අපිට ඒ බැඳීමෙන් එහා ගිය සමස්ථ  ප්‍රේමය අත්දකින්න හැකි නම් නේද ?

බැඳීම තුලින් ප්‍රේමය හොයන්න ගියාම හැමදාම අපිට ඉතිරි වෙන්නේ දුක විතරයි . සමාජ සම්මත ප්‍රේමය අපිට ලැබෙනකම් අපි සතුටින් , ඒක වෙනස් වෙච්ච ගමන් සමස්ථ  බැඳීමම දුකක්  වෙනවා .

නමුත් මිනිසුන් බැඳීමත් එක්ක එකට එන දුක මිශ්‍ර වූ ප්‍රේමයට හැමදාම කැමතියි . ඔවුන්ට කවදාවත් විශ්වයේ පවතින නිකැළැල් ප්‍රේමය අත්දකින්න ඕනේ නෑ.

විශ්වයේ පවතින නිහැඬියාවට සවන් දෙන්න , ඒ නිහැඬියාවට සමවැදෙන්න  අපිට පුළුවන් නම්  මේ විශ්ව ප්‍රේමය අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි .

ඒ විශ්ව ප්‍රේමය කවද හරි අත්දකින කල් මගේ ආදරණිය සුදු ලස්සන කෙලි  පැංචියේ  මම ඔයාට ගොඩාරියක් ආදරෙයි ..!!!!





















--------------------------------------------------------------------------------------------------------------------------
රජයේ අවවාදය
(සියල්ලට පෙර තුන් වේල ගෙදරින් කෑම ගැන හිතන්න )

Tuesday, October 14, 2014

ගූග්ල් කාඩ්බෝඩ් සමග සියුම් නයෙක්

මම කොහොමත් මේ මහපොළවේ පය ගහල ඉන්න ඒ තරම් කැමති එකෙක් නෙවෙයි . ඒ කියන්නේ හුදී ජනයාට තියෙන ගොඩක් ප්‍රශ්න මට නෑ ... ඒ ඇවිල්ල මම හිතන විදියට මගේ මොලේ එක අයි.සී එකක පින් එකක් වැරදියට පාස්සල වෙච්ච අවුලක් වෙන්න ඇති . තාම හරියටම දන්නේ නෑ .. දයාබර බිරින්දෑ මේ දවස් වල මගේ වයර් මාරු නිවැරදි කරන ගමන් ඉන්නේ ... සමහර විට කල් යනකොට හරි යයි ..

හරි ඉතින් මේ බ්ලොග් එක කියවන තවත් ඒ වගේම වයර් මාරු වෙච්ච අයට වැදගත් වන විදියේ දෙයක් ගැන තමයි මේ කියන්න යන්නේ . ඉතින් තමුන්ගේ මොළයේ වයර් හරියට තියෙන, පොලවේ පය ගහල ඉන්න අය මේවා කියවල තමුන්ගේ වටිනා කාලය නාස්ති කර ගන්න එපා .. .

හරි දැන් ඔය කොයි කවුරුත් ගුග්ල් ගැන දන්නවනේ . මේ ගුගලා මිට මාස 2-3කට කලින් තිබ්බ උන්දැලගේ Google I/O එකේදී පොඩි අමුතු ගැජට් එකක් එලි දැක්කුව . දැන් ඔය ගුගල් අයි.ඕ කියන්නේ මොකක් ද කියල දන්නේ නැත්නම් ඒ කියන්නේ ගුග්ල් සමාගම වාර්ෂිකව සංවිධානය කරන ඔවුන්ගේ නවතම නිර්මාණ සහ එළිදක්වීම් ගැන ප්‍රසිද්ධ කරන උත්සවයක් . ගොඩක් වෙලාවට අලුත් android මෙහෙයුම් පද්ධති එලි දැක්වීම්, ෆෝන්, ටැබ්ලට් වල අලුත් මොඩල් එලි දැක්වීම් සහ වෙනත් ගූග්ල් නිෂ්පාදන එලි දැක්වීම් සිද්ද වෙන්නේ මේ කොන්ෆරන්ස් එකේදී . 

ඕක ඉතින් වයර් හරියට තියෙන සමාන්‍ය හුදී ජනයාට එක පාරටම් මෙලෝ වැඩක් නැති දෙයක් වගේ පෙනුනට ටික කාලෙකින් ඇඳන් ඉන්න කලිසම උගස් කරලා හරි කමක් නෑ ගන්න ට්‍රයි කරන්නේ ඔය මිනිස්සු හදන ගැජට් බැජට් තමයි . 

ඕකෙදි දැක්ක අමුතු ගැජට් එකක් තමයි මේ කාඩ්බෝඩ් කියන්නේ ..

හුදී ජනයාගේ කාඩ්බෝඩ් කෑල්ලටත් අම්මපල්ල මේ කාලකන්නි කෙලින්න නේ හදන්නේ ..

හරි මොකක් ද මේ කාඩ් බෝඩ් කියන්නේ 

මෙතන ඉඳන් කතාව අල්ලලා යන්නේ අර වයර් මාරු වෙච්ච මේ වගේ අයට තමයි 

අනිත් අය ඉස්සෙල්ල මේ පින්තුර බලල ඉන්න 















මම හිතන්නේ ගොඩක් අයට දැන් වැඩේ මීටර් වෙන්න ඇති . එහෙම නැති අයට තමයි මේ ටික 

මේ තියෙන්නේ virtual reality headset. ඒ කියන්නේ මේ හෙඩ් සෙට් එක දාගත්තම කලින් ප්‍රෝග්‍රෑම් කරපු අතත්‍ය (ඒ කියන්නේ තත්‍ය නොවන (තත්‍ය කියන්නේ ඇත්තට නොපවතින (ඇත්තට නොපවතින කියන්නේ පොලවේ පයගහල නැති ))) ලෝකයක් ඔබේ දෑස් ඉදිරියේ මැවෙනවා . කොටින් ම කිව්වොත් විනාඩි 2ක් යද්දී ඔබට ඔබ ඉන්න තැන අමතක කරන්න මේ ගැජට් වලට පුළුවන්. 

සම්පුර්ණයෙන් ත්‍රිමාන, බොහෝ දුරට සජීවී බවක් දැනෙන ඔබගේ ශරීරයේ චලන වලට විශේෂයෙන් ම හිසේ සහ ඇස් වල චලනයන්ට ප්‍රතික්‍රියා දක්වන කෘතීම පරිසරයක් මේ මගින් නිර්මාණය කරනවා. බොහෝ විට පරිගණක ක්‍රීඩා සඳහා මේක පාවිච්චි වෙනවා.

මේ වගේ ඒවා ඉස්සර ටීවී එකේ ඉඳල හිටලා පෙන්නපු කාලේ තමයි මම හිතන්නේ මගේ නම් අර වයර් මාරුවෙන් පොඩි පොඩි අනවශ්‍යය ප්‍රෝග්‍රෑම් රන් වෙන්න පටන් ගත්තේ . එච්චර කල් වයර් මාරු එක්ක වුනත් සිස්ටම් එක හොඳට රන් වුණා .

හරි දැන් ඉතින් ඔය මොනවා කිව්වත් මේ වගේ ගැජට් වලට ඔය හුදී ජනය වුනත් පිස්සු වැටෙනවා . ගන්න බැරි නිසා නිකන් හිටියට .

දැන් පින්වතුනි මේ ගූග්ල් සමාගමේ ඉන්න පින්වන්ත මහත්වරු... (උගුර පාදල ) සහ නෝනාවරු බොහෝ කාලයක් වෙහෙස මහන්සි වෙලා (වටපිට බලමින් ) තමන්ගේ දනය , මොලය , කාලය , සල්ලි , බියර් ,අරක්කු , විස්කි , බ්‍රැන්ඩි , ගල් , පොල් ආදිය වියදම් කරලා . ඇඩම් උන්නැහැ සහ ඒවා මැතිනියගේ කාලයේ සිට , මතු උපදින අප මහා හෝමෝ සේපියන් සේපියන් (දෙපාරයි නේ .. හරි හරි ) මහතා හෝ එම මහත්මිය ගේ කාලය දක්වා, මේ තුන් ලෝකයේ උපදින්නා වූ සියලුම වයර් මාරු වූ අප වැනි හුදී ජනයාගේ හිතසුව පිණිස මේ පිළියෙළ කළාවූ ද , අඩු වියදම් වුද , පහසුවෙන් අටවා ගත හැකි වුද, කොයි කාටත් තමන්ගේ අතේ ඇති ජංගම' දුරකතනය යොදා පාවිච්චි කල හැකි වුද මේ කාඩ්බෝඩ් virtual reality headset එක මේ පසුගිය ජුනි මාසයේදී යෙදුනු ඒ Google I/O උළෙලේදී ඒ ආකාරයෙන් එළි දක්වන්න යෙදුන. (කාරල කෙල ගහල ) ඒ කරපු මහත් වූ පින් බලයෙන් ගුගුල් සමාගමේ සියලුම මහත් තැන්ලාටත් එම නොනාලාටත් මෙලොව සියලුම සැප සම්පත් ලැබී ... කෙළවර බෝනසුත් ලැබේවා  කියල අපි ප්‍රර්ථනා කරනවා. 


ඔෆිසියල් කටයුතු අහවර වෙලා ඉන්න වෙලාවක මම මේ ගැජට්ටුව ගැන පොඩි වෙළඳ දැන්වීමක් දැක්කා . සල්ලි සල්ලි කියල බැලුවේ නෑ ඒ වෙලාවෙම ඕඩරේ දැම්ම. හැබැයි මිත්‍රවරුනි කිව්වට විස්වාස කරන්න ඒ වෙද්දී මගේ අතේ තිබ්බේ මේන් මේ 





අති නවීන ජංගම දුරකථනය . එහෙම තියෙද්දිත් මම අරවගේ කටින් එජ් (බ්ලිඩින් එජ් ද මන්ද ) ගැජට් එකක් ඕඩර් කළා කිව්වම හිතාගන්න පුළුවන් නේ වයර් මාරු වුනාම තියෙන තත්තේ ගැන .. 


ඕක ඕඩර් කරලා නිකන් හිටියේ නෑ .. මාසේ පඩිය අතට ආපු ගමන් සුද්දා වගේ ඊළඟ සති අන්තේ ගිහින් යට කියූ ගුගල් සමාගමේ ම නිර්මාණයක් වෙච්ච , කන්‍යා android මෘදුකාංගය සහිත LG Nexus 5 ෆෝන් එකක් අරන් අරන් ආවා ...

මේ තියන්නේ එම ෆෝනය හෙවත් සියුම් නයා 




කන්‍යා android කිව්වම කාට හරි මොනවා හරි හිතුන නම් ඒ කියන්නේ ගුගල් සමාගම විසින් නිපදවන ඔරිජිනල්, ජෙනුයින්, කොම්පැනියේ ගහපු, හොඳම, android මෙහෙයුම් පද්ධතිය තියෙන්නේ මේ ෆෝන් වල . අනිත් ෆෝන් වල තියෙන්නේ ඒ ඒ සමාගම් විසින් පොඩ්ඩක් කස්ටමයිස් කරපු android වර්ෂන්ස් .

කොහොම හරි ඔය ෆෝන් එක අරන් දවස් 4-5ක් ගියාට පස්සේ තමයි අර කාඩ්බෝඩ් ගැජට් එක තැපෑලෙන් ආවේ . ඒක එන්න පොඩ්ඩක් පරක්කු වුනාට සමාව ඉල්ලලා පොඩි ලියුම් කරදහියකුත් ඒ වෙළෙඳ මහත්තය මට එවල තිබුණ . කස්ටමර් සර්විස් නම් අන්න එහෙමයි .

රයිට් මේ තියෙන්නේ භාණ්ඩේ . අඩු පාඩු නෑ තනිකර කාඩ් බෝඩ්.

මෙතෙන්ට ඔලුව දාල තමයි බලන්නේ . (අපි ඔළුවට තෙල් දාල කොන්ඩේ පීරන හැදිච්ච ළමයි බවට ඕනේ නම් සාක්කිත් මේ පින්තුරේ තියෙනවා )





ෆෝන් එක තියන්නේ මෙතන . ඊට පස්සේ අර වෙල්ක්‍රෝ කෑලි දෙක අලවනවා. ගුග්ල් ප්ලේ එකේ මේකට හදපු පොඩි ඇප් එකක් තියෙනවා නොමිලේ බාගන්න . එක ඕන කරලා මෙතනින් තියල බලන්නයි තියෙන්නේ 



මෙන්න මේක තමයි මේ ගැජට් එකේ තියෙන මරුම කෑල්ල . මේක තමයි මේ සොෆ්ට්වෙයා එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් ස්විච් එක . හිතා ගන්න පුළුවන් ද මේක වැඩ කරන හැටි ? 

මේ ෆොටෝ එකේ තියෙන්නේ පොඩි කාන්දම් කෑල්ලකුයි පොඩි යකඩ රවුමකුයි . ඔය පෙන්නේ යකඩ රවුම. කාඩ්බෝඩ් එක යටින් ඔය වගේම පොඩි කාන්දම් කෑල්ලක් තියෙනවා. ඔය යකඩ රවුම අතින් පහලට අදාල අතාරින්න ඕනේ එතකොට ෆෝන් එක අවට සිදුවන සියුම් චුම්භක වෙනස් වීම ෆෝන් එකේ මැග්නෙටෝමිටර් (magnetometer) සෙන්සර් එකෙන් ඒ වෙනස ගණනය කරලා ඒ අනුව මෘදුකාංගය පාලනය කරනවා . 

ගුග්ල් එකෙන් හදපු එකේ NFC පහසුකමත් එක්ක තමයි මේ කාඩ්බෝඩ් එක එන්නේ 


හුදී ජනයනි බිය නොවන්න . NFC ගැන මම කියන්නම් 


NFC කියන්නේ Near Field Communication කියන එක . මේක ටිකක් සංකීර්ණ දෙයක් . මේකෙන් වෙන්නේ අපිට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් පොඩි චිප් එකක තියෙන දත්ත ෆෝන් එකේ තියෙන NFC සෙන්සර් එකෙන් කියවල මේ ගැජට් එකට ෆෝන් එක ඇතුල් කරපු ගමන් අර කියපු ඇප් එක ලෝන්ච් කරන එක .

මම ගත්ත මේ ගැජට් එකේ මේ NFC පහසුකම තිබුනේ නෑ මොකද මේක ගුග්ල් එකෙන් හදපු කාඩ්බෝඩ් එක අනුසාරයෙන් හදපු වෙන එකක් නිසා .


හරි දැන් මේකේ මොනවාද තියෙන්නේ . මොනවාද තියෙන්නේ කියන එක වචන වලින් විස්තර කරන්න අමාරුයි . සාම්පල් ඇප් එකේ තියෙනවා මොකක් දෝ මාලිගාවක ඇතුලත දර්ශනයක් , තව වෙස්මුහුණු වගයක් , අපුරු කාටුන් එකක් , ගුගල් අර්ත් මගින් අභ්යවකාෂගතවෙලා පොලවේ තියෙන තියෙන තැන කිහිපෙකට බැහැල ඇවිදලා බලන්න පුළුවන් , ඒ වගේම ගුග්ල් ස්ට්‍රීට් විව් සහ තමන්ගේම කියල සිනමා හලක වගේ යු ටියුබ් එකේ වීඩියෝ බලන්නත් පුළුවන් . ඔලුව හරවන හරවන් පැත්තෙන් වීඩියෝ පේනවා . ඒ වගේම කටහඩින් සෙවුමක් දාල අපිට ඕනේ වීඩියෝ එක ලෝඩ් කරගන්න පුළුවන් .


දම් පාට රතු පාට රෝස පාට පාට පාට ලෝකයක් අප්පා .. 



ඔය තියෙන්නේ තියෙන ජාති ටිකෙන් ටිකක් 

මේ තියෙන්නේ ගුග්ල් අර්ත් එකෙන් පේන සින් එකක් 

මේකේ තියෙන මෘදුකාංගය වැඩ කරන හැටි සරලව කිව්වොත් (මට තේරෙන්නෙත් නෑ හරියට ) අපිට අවශ්‍ය කරන පරිගණක වැඩසටහනක් මගින් නිර්මාණය කරපු අතත්‍ය ලෝකයක් හෝ යම් නිර්මාණයක් සමාන්තරව බෙදපු කැමරා රුප රාමු දෙකක් විදියට මෘදුකාංගය මගින් පෙනෙන්න සලස්වනවා . ඒ පෙනෙන දේ මේ ගැජට් එක ඔය රවුම් දෙකක් වගේ තියෙන පුංචි උත්තල (අවතල ද මන්ද ) කාච දෙක ඇතුලෙන් බලපුවහම අපිට තාත්වික විදියට පේනවා . මම හිතන්නේ පොඩි දෘෂ්ටි මායාවක් සිද්ද වෙනවා අපේ ඇසත් එක්ක . ඒ එක්කම අපි ඔලුව හරවන හරවන දිශාව අනුව මෘදුකාංගය මගින් පසුබිම වෙනස් කරමින් අතත්‍ය යාථාර්තය (virtual reality) නිර්මාණය කරලා දෙනවා 



මේ තියෙන්නේ උදාහරණයක් 


ඕකයි ඉතින් කතන්දරේ . 

මේක බලල ඉතින් මටත් නිකන් ඉන්න හිතුනේ නෑ .. නිකන් ඉන්න එකේ මාත් මේ වගේ එකක් ට්‍රයි කරන්න ඕනේ කියල ගුග්ල් අයියලා අපි වගේ අයගේ බුරුල් වෙච්ච නට් තද කරන්න කියල දීල තිය උදාහරණ කෝඩ් (software code) කෑලි ටික එකලස් කරලා පොඩි android app කෑල්ලක් හදල බැලුව (android දන්න ඕනේ කෙනෙකුට ඉතා පහසුවෙන් මේක අටව ගන්න පුළුවන් )

මේ තියෙන්නේ එකේ ස්ක්‍රීන් ෂොට් ටිකක් 








මේ ඇප් එකේ විදියට අපිට කරන්න තියෙන්නේ ඔය හතරැස් කොටු ඔලුව හරෝ හරෝ හොයන්න . එකක් හොයාගෙන අපි එක දිහා බලල කාන්දම් ස්විච් එක පහලට කරලා අත ඇරපුවහම ඒක කහපාට වෙලා අපිට ලකුණක් එකතු වෙනවා ... හෙහ් හෙහ් හරි ජොලි 

මේක ඇත්තටම ගුග්ල්  සමාගම විසින් කරපු පොඩි අත්හදා බැලීමක් . ඕනේ කෙනෙකුට මේවගේ එකක් තමන්ටම හදා ගන්න පුළුවන් . ඕනෙම android (iphone  වලත් පුළුවන් ඇති). ෆෝන් එකක රන් කරන්න පුළුවන් නමුත් අර කාන්දම් සුවිච් එක වැඩ කරන්න නම් magnetometer  එකක් තියෙන්න ඕනේ . NFC  අත්‍යාවශ්‍යය නෑ.

මෙතන තියෙනවා සම්පුර්ණ විස්තරේ  


Monday, October 06, 2014

Skype එකෙන් ලව් කිරීම කෙසේද යත් ..

මේක මේ කොල්ල කාලේ කරපු පොඩි ආතල් ජනක වැඩක්.

ස්ථානය : මම මුලින් ම වැඩ කරපු කොම්පැනිය

කාලය: 2004 හෝ 2005 වසරේ එක්තරා දිනයක්

චරිත : මම සහ ඒ දවස් වල මම කරපු කෝස් එකක හිටපු ලස්සන ගෑනු ළමයෙක්

චරිත ගැන කෙටියෙන්:

මම : හොඳ හැදිච්ච කොල්ලා

A ළමය : අපි සෙට් එකත්  එක්ක හෙන ෆිට්. ටිකක් සෝෂල් චරිතයක්. හෙන හොඳයි. මම වගේම හොඳ හැදිච්ච ගුණ යහපත් ළමයෙක්.

පසුබිම් විස්තර : 

මගේ :
කොහෙන් හරි කමක් නෑ  ඉතින් කෙල්ලෙක් සෙට් කරගැනීමේ මානසිකත්වය සමග ස්කයිප් , කපුටා චැට් ,I R C  චැට්  ආදී මෙකි නොකී සියලු චැට් අත්හදා බලමින් ඉන්න කාලේ . කෙල්ලෙක්  එක්ක චැට් එකක් සෙට් වෙනවා කියන්නේ ඉතින් සියලු වැඩ අමතකයි .

A ළමයාගේ : 
ඒ කාලේ වෙනකොට කොල්ලෙක් නම්  හිටියේ නැද්ද කොහෙද. හැබැයි සැහෙන කොල්ලෝ ගානක් ලයින් දමපු ඇත්තටම ලස්සන ළමයෙක්

කතාව 

A  ළමය  : ආ  කොහොමද? ඔෆිස් එකේ ද ඉන්නේ ?
මම : ආ හලෝ කොහොමද? ඔව් මේ පොඩ්ඩක් වැඩ කරන්න කියල හිතුව.

A  ළමය  : ඒක  හොඳයි ඉඳල හිටලා හරි වැඩක් කරන එක (ස්කයිප් හිනා )
මම : අපි හැමදාම වැඩ තමයි හලෝ . ඔයාල වගේ අයිස් ගහන්නේ නෑ .

A ළමය : අපි අයිස් ගහන්නේ නෑ හරි ද
මම : හරි හරි අපි දන්නවනේ (ස්කයිප් හිනා)

මම : මේ එක නෙවෙයි . කෙල්ලෝ නැද්ද ?
A ළමය : කෙල්ලෝ ඉන්නවා . ඇයි  මම

මම  : ඔයා නෙමෙයි. වෙන කෙල්ලෝ නැද්ද ?
A ළමය : මොකටද අහන්නේ ?

මම : නෑ මේ නිකන් (ස්කයිප් හීන්  හිනා)
මම : මේ ඒක  නෙවෙයි . අරූට කෙල්ලෙක් සෙට් වෙලා නේද ?

A  ළමය : අරු කිව්වේ කවුද ?
මම : අරු කිව්වේ X

A ළමය  : මම දන්නේ නෑ. මට කිව්වේ නෑ.
මම :  ඌ මට එහෙම එකක් කිව්වා නේ .

A ළමය : වෙන්න ඇති.
මම :  මාත් කෙල්ලෙක් හොයා ගන්න ඕනේ . මෙහෙම හිටිය ඇති.

A ළමය : ඒක හොඳයි .  දැන්  වයසයි නේ.
මම : කවුද වයස ? අපි තාම එල කොල්ලෝ හරි ද ?

A ළමය : අපෝ මම දන්නවා.
මම  : මොනව ද දන්නේ ?

A ළමය : නෑ මොකුත් නෑ.
මම : මේ ඒක නෙවෙයි . පොඩි බඩ්ඩක් කියන්න ද ?

A ළමය : මොකක් ද ?
මම : මේ පොඩි සීන් එකක්. එක්කෝ ඕනේ නෑ.

A ළමය : කමක් නෑ කියන්න. මටත් මේ වැඩකුත් නෑ කරන්න.
මම : ඕකනේ ඉතින් මම කිව්වේ අයිස් ගහනවා කියල (ස්කයිප් මහ  හිනා)  

A ළමය : අයිස් නෙමෙයි අනේ . මේ පොඩි රෙස්ට් එකක් ගත්ත .
මම : මම දන්නවනේ රෙස්ට් ගැනිල්ල ගැන .

A ළමය : මොකක් ද ඉතින් කියන්න තියෙනවා කිව්වේ ?
මම : ආ ඒක වැඩක් නෑ ..

A ළමය : අනේ කියන්නකෝ.
මම : කියන්න බෑ බෑ වගේ .. (ස්කයිප් ලැජ්ජා මූණ )

A ළමය : හරි හරි ඉතින් කියන්න මම කාටවත් කියන්නේ නෑ .
මම : (ස්කයිප් හිතන මූණ  )

A ළමය : (ස්කයිප් වේටින් මූන )
මම : ෂුවර් ද කාටවත් කියන්නේ නෑ කියල ?

මම : අරුන් එකෙකුටවත් කියන්න බෑ හරි ද ?
A ළමය : හරි හරි අනේ .

මම : මේකයි .මම මේක ඔයාට කියන්නමයි කියල හිටියේ.
මම : මට ලැජ්ජයි හලෝ

A ළමය : ඔහොම ලජ්ජා වෙලා බෑ අනේ . දැන් එල කොල්ලෙක් කිව්වා නේද .
මම : එල කොල්ලෙක් කියන්නේ ඉතින් ලැජ්ජා බයට හැදිච්ච කොල්ලෙක් කියන එක නේ.

A ළමය : අපෝ මම දන්නවා නේ . (ස්කයිප් හිනා )
A ළමය : කෝ ඉතින් කියන්නකෝ

මම : මම මේක කිව්වා කියල ඔයා  අප්සට් ගන්නේ නෑ නේද ?
A ළමය : අනේ නෑ අනේ . ඔයා දන්නවනේ මගේ ගැන .

මම : ඔව් ඉතින් ඔයා ගැන දන්නා නිසා තමයි මම මේක කියන්න හිතුවෙත් .
මම : හරි එහෙනම් ප්‍රොමිස් කියන්න මම මේක කිව්වට පස්සේ තරහ වෙන්නේ නෑ කියල .

A ළමය : හරි හරි ඉතින් ඔන්න ප්‍රොමිස්.
මම : හරි

මම : මේකයි ඉතින් මේක හිතේ තියන් ඉඳල තේරුමක් නෑනේ . ඔයා ගැන හොඳට දන්න නිසා මේ කියන්නේ .
A ළමය : ඉතින් කියන්න






























මම : මම දැන් සෑහෙන  වෙලාවක ඉඳන් හෙන චූ බරේ හිටියේ. ඔයාට කියන්න නිකන් මොකක් ද වගේ නිසා කිව්වේ නැත්තේ . අනේ මොකුත් හිතන්න එපා හොඳද .. මම යනවා චූ  දාන්න . ඔයා කාටවත් කියන්න එපා ප්ලීස් හරි ද ? (ස්කයිප් බිම පෙරෙලෙමින් හිනා )

මෙහෙම කියල ඉතින් මම ඇත්තටම චූ  දාන්න ගියා . ගිහින් එනකොට














A ළමය : මෝඩයා . මම යනවා (ස්කයිප් ඕෆ්ලයින් )







මට ඉතින් ෆුල් ආතල් හැබැයි ඉතින් පොඩ්ඩක් අප්සට්. ඇත්තටම ඒ ළමය ගැන කිසිම ලයින් එකක් ඒ දවස් වල තිබුනේ නෑ . (ඔය මම කීප තැනකම කියපු මගේ අතීසාර මිත්‍රයාගේ නම් පොඩි ලයින් එකක් තිබ්බ . හැබැයි ඒ  වැඩේ හරි ගියේ නෑ ) මම ඉතින් ෆිට් එකට ජොලියට වගේ බයිට් කරන්න හිතාගෙන කරපු වැඩක් .

දැන් තමයි කතාවේ ආතල් ම හරිය

මේ සීන්  එකෙන් පස්සේ ඉතින් මම ඉතින් ගෙදර ගිහින් හෙමිහිට රෑ වෙලා අර කියපු අතීසාර එකාට කෝල් එකක් දුන්න.

"අඩෝ මේ උඹ දන්නව ද අද අරකි මාත් එක්ක චැට් කලානේ .
කවුද ?

අර A ළමය බන්. උඹේ ලයින් එක .
අනේ පල $#$#@$@#$ යන්න . මගේ ඇති ලයින් එකක් නෑ.

හරි හරි ඉතින් අපි දන්නවනේ . මම ඕනනම් අහන්නම් උඹට බයයි වගේ නම් ..
අනේ පල යන්න .මම බය නෑ  යකෝ.

අපෝ ඔව් මම දන්නවා බය නෑ කියලා ළඟට ගියාම කලිසමේ චූ යනවා
අනේ පල #%%#$%%#$%#$% යන්න . ඉතින් ඒකී මොකෝ කියන්නේ.

මම මේ ආතල් එකට ඒකිව පොඩ්ඩක් බයිට් කළා . අප්සට් ගියා ද දන්නේ නෑ ..

අරූ  මහා හඬින් සිනා සෙයි .. අනේ උඹේ බයිට් කිරිල්ල. අපි දන්නේ නැද්ද උඹේ හැටි.

ඇයි මොකෝ උඹ මොනව ද දන්නේ ?

$%$%%$#% ඒ චැට් කලේ ඒ කෙල්ල නෙවෙයි. අරූ X ඒකිගේ නමින් ලොග් වෙලා ඇවිල්ල චැට්   කලේ උඹව අන්දන්න.


-----------------------------------------------------------------------------------------------------------------------
ප.ලි
(එදා වෙච්ච දෙබස් ටික මට හරියටම මතක නෑ . මීට ආසන්න විදියකට කතා බහ ගියා . සීන් එක ඇත්තටම වුණා . අදටත් A ළමය මෙහෙම සීන්  එකක් ගැන දන්නේ නෑ .. හෙහ් හෙහ් )