Tuesday, October 26, 2021

අධික බුසී හෙවත් හෙන වැඩ


        රට්ටු නම් කියයි කොච්චර වැඩ තිබ්බත් බ්ලොග් එකක් ලියන්න වෙලාවක් හොයා ගන්න පුළුවන් කියල ... හැබැයි රට්ටු දන්නේ නැහැ මම අලුතින් දාපු දේවල් කියවන්න කියල මාසයක් විතර බ්‍රව්සරේ වහන්නේ නැතුව තිබිච්ච බ්ලොග් එකක් රිෆ්‍රෙස් කරලා, ඒක රිෆ්‍රෙස් වෙන ටිකට වෙන වැඩකට ගිහින් ආයේ අර රිෆ්‍රෙස් වෙච්ච එක බලන්න ආවේ දවස් තුනකට පස්සේ කියල ... වෙන කොහෙවත් ගිහිල්ලා නෙමේ .. ඒ කොම්පුටරේම උදේ ඉදන් හවස් වෙනකම් වෙන වැඩ .. අරක රිෆ්‍රෙස් වෙන්න යන වෙලාව වත් බලන් ඉන්න බැරි තරම් වැඩ තියෙනකොට කොහොමද මනුස්සයෙක් බ්ලොග් ලියන්නේ ... රට්ටු දන්න බම්බුව ...හුහ් ..

දැන් කියයි ඔය කොච්චර කිව්වත් බ්ලොග් එකේ බොරු ටිකක් ලියන්න පැයක් හොයා ගන්න බැරි මොකද කියල ... එහෙම කරන්ඩ තිබ්බා පහුගිය කාලේ මේ රටේ Disney+ දුන්නේ නැත්නම්, මෙච්චර කල් කාලේ කන්ඩ හිටියේ Netflix විතරයි .. Disney+ ආවට පස්සේ මොකක් බලන්නද කියල හිතන්නම විනාඩි 10ක් විතර යනවා .. ඊට පස්සේ ඒකෙයි මේකෙයි තියෙන කතා ටික බලන්න තව විනාඩි 10ක් විතර යනවා .. ඊට පස්සේ කතාවක් හොයාගෙන බලන්න හදද්දී එක්කෝ චු බරයි , එක්කෝ තේ බොන්න ඕනේ .. අරව මෙව්වා ඒවා ඉවර වෙලා කතාව බලන්න තියෙන්නේ පැය බාගයයි ..  ඔය කතාවක් පැය බාගෙන් බලන්න බෑනේ .. කොහොමත් එක සැරේට කොටස් 3-4ක් වත් බලන්ඩ ඕනේ ... එතකොට කොහෙද ඉතින් බ්ලොග් ලියන්න වෙලාවක් ... රට්ටු දන්න බම්බුව ...හුහ් ..

මේ බ්ලොග් කලාව නගා හිටවන්න ඕනේ කියල ඔය ඔක්කොම බාධක මැඩගෙන මම මේ දැන් මාසෙකට විතර කලින් ඔන්න ලියන්න හිතුවා .. ඒ හිතද්දීම මෙන්න Apple TV එකේ Foundation යන්න ගත්තා .. Foundation කිව්වේ මේ ඔය අල්ලපු ගෙදර මනුස්සය ගේ හදන්න දාන Foundation නෙමේ .. Asimov ගේ Foundation. ඉතිං දැන් කාටද පුළුවන් ඕක නොබලා බ්ලොග් ලියන්න ... බ්ලොග් කලාව යකාට පලයන් කියල මම Foundation බැලුවා..   Disney+, Netflix වගේද Apple TV.  රට්ටු දන්න බම්බුව ...හුහ් ..

රට්ටුන්ටයි , බ්ලොග් වලටයි  බම්බු ගහන්න කියල ඔන්න ඔහොම ගැලක්ටික් එම්පයර් වල ප්‍රස්න ඔලුවේ දාගෙන අධික බුසි වෙලා ඉද්දි තමා අපේ හිතාදර නීදී ඊයේ දාපු කොමෙන්ට් එක දැක්කේ ..... අන්න ඒ වෙලාවේ තමා ඔන්න බ්ලොග් කියන්නෙත් යකඩෝ හෙනම ආතල් ජනක මෙව්වා එකක් නේද , මේ අපබ්‍රංස බල බල ඉන්නේ නැතුව අච්චර අපුරු මිනිස්සු පොඩ්ඩක් ආස්සරේ කරන්න ඕනේ නේද කියන මෙව්වා එක මගේ මෙව්වා එකට මෙව්වා උනේ ...

එහෙම මෙව්වා වෙලා මේක බැලුවම තමා මතක් වුනේ ... අන්න අර කෙල්ලෙකුයි , රාස්සයෙකුයි  දාගෙන ලියපු කතාවකුත් තිබ්බ නේද බොලේ කියල ...  මම හිතන්නේ ඒ කතාව දැන් වෙන විදියකට ඒ විශ්වය ඇතුලේ ඉවර වෙලා ඇති .. මම ඕක ආයේ ලියන්න ගිහින් නිකං මොකටද ඒ මිනිස්සුන්ට ප්‍රශ්න ඇති කරන්නේ ... සමහරවිට ස්කෘලොක් කියන්නේ හෙන බොරුවක් කියල ඔය රටේ එකෙක් වර්ගපුර්නිකාවක් ලියල ස්කෘලොක්ව චාටර්ම කරලා දාල ඇති ...  අර ඇලෙන්ඩි  කෙල්ලත් දැන් පවුලක් පන්සලක් වෙලා ඇති ... නහින දෙහින කාලේ හිටපු නෙමින්දෙර් රජ්ජුරුවන්ටත් ඇල්සයිමර් හැදිලා ඇති .. ආයේ ඕවා ඇදල අරං තේරුමක් නැහැ ..ඒ මිනිස්සු  ඔන්න ඔහේ හිටපුවාවේ .. 

අධික බුසි නැති වෙලාවක ආයේ මොනවා හරි ලියන එක ලියනවාමයි ...එතකං  බායි !


Saturday, June 12, 2021

සෙල්ලම් කාලේ - 1


     අපේ ගෙදර තිබ්බේ ප්‍රධාන පාරෙන් කිලෝමීටර් එකක් විතර ඇතුලේ... ගෙදරට යන්න පැති දෙකකින් පාරවල් දෙකක් තිබුන. එයින් කෙටි පාර තමා ඔය කිලෝමිටරේ . අනිත් පැත්ත මං හිතන්නේ කොහොමත් කිලෝමීටර් 2-3ක් වත් දුර ඇති.  කෙටි පාරෙන් ආවොත් එක කන්දයි, දුර පාරෙන් ආවොත් කඳු දෙකයි.      

මම අර බයිසිකල් මතක පොස්ට් එකේ ටිකක් ලිව්වනේ අපේ ගෙවල් පළාතේ විස්තර. දැන් මේ ගෙයක් අස්සට කොටු වෙලා ඉන්නකොට තමා හිතුනු වෙලාවක හිතුනු  තැනක දුවල එන්න  තිබ්බ ඒ නිදහස මතක් වෙන්නේ.  මම පොඩිම කාලේ අපේ ගේ මැටි ගඩොල් වලින් හදල තිබුනට මට යමක් තේරෙන වයස වෙද්දී ඒක කපරාරු කරපු කාමර දෙකයි සාලෙයි කුස්සියයි තිබ්බ තරමක් ලොකු ගෙයක්. උළු හෙවිලි කරලා තිබුනේ. 

මේ තියෙන්නේ 2017 දී ඒ ගෙදර. ඒ වෙද්දී පාලුවට ගිහින් තිබුනේ  
   

මට අවුරුදු 13-14ක් වෙනකම් හිටියේ මේ ගෙදර. ඊට පස්සේ තමා ඔය පහලින් පේන අනිත් ගෙදර හැදුවේ. ඊට කලින් ඒ පැත්ත තනි කැලේ සහ හෙන පල්ලම.  ඔය දර ගොඩක් දාල තියෙන  හරියේ තිබ්බ ලොකු පේර ගස් දෙකක්, අක්කයි මායි ඒ ගස් දෙක බෙදාගෙන හිටියේ...  ඔය එක ගහක  හරහට ගිය  අත්තක කකුල් දෙකෙන් එල්ලිලා පේර කන එක ඉස්සර තිබ්බ ආසම වැඩක්. ඔලුවෙන් හිටගෙන තමා පේර කන්නේ හෙහ් හෙහ්...

ඒ දවස් වල මට අවුරුදු 7-8 ක් ඇති.  අක්කා මට වඩා අවුරුදු 7ක් වැඩිමල් හින්ද මාත් එක්ක සෙල්ලම් කරන්න එච්චර සෙට් වුනේ නැහැ... වැඩිම උනොත් හැංගිමුත්තමක්, බට්ටෝ පැනිල්ලක් තමා. යාලුවොත් එක්ක සෙල්ලම් නොකරන වෙලාවට ගේ ඇතුලේ තනියම සෙල්ලම් කිරීම තමා ඉතින් . ඔය  කාලේ අපේ ගෙදර පරණ බඩු තිබුනා. ඒ කිව්වේ තාත්තගේ ගමේ ඉඳල  එනකොට ගෙනාපු දේවල් ඒවායින් මතක් වෙන කිහිපයක් තමා අමුතු හැඩයේ පෝසිලෙන් බඩු, ඒ කියන්නේ ටී සෙට් තව සත්තු වගේ දේවල් , ඊළඟට ෆොටෝ  නෙගටිව්, තව බණ්ඩාරනායක මැතිනිගේ/ මහත්තයාගේ  සහ තව එක එක අයගේ ෆොටෝ,  එක එක පොස්ට් කාඩ්,  අර හුරනකොට කීන් ගාල සද්ද එන පොඩි ත්‍රිමාන ගතියක් තිබ්බ කාඩ් ,  පරණ ආයුධ , ඒ කිව්වේ ඔය ට්‍රැක්ටර් එකකින් ගලවපු කෑල්ලක් දෙකක් ,  තව රතුපාට පතුරොම් කොපු  කිහිපයක්, මලකඩ කාපු  කඩුවක් ,  තව  ඉතින් ඔය එක එක ජාතියේ පරණ ලි බඩු එහෙම. ඊට පස්සේ අපේ අම්මගේ පරණ පත්තර මට මතක තියෙන්නේ කුමරි කියල එකක්, එක එක පොත් සහ ඉංග්‍රීසි මැගසින්.. ඉතින් මම තනියම ගෙදර ඉන්න වෙලාවට කරන  ප්‍රියතම වැඩක් තමා ඔය ලට්ට ලොට්ට ඇදගෙන බලන එක.  අර නෙගටිව් වලට ටෝච් එක ගගහ බලන එක. ඊට පස්සේ පත්තර වල තියෙන ඇඳුම් මෝස්‌තර මහන සත්තු, මල් වගේ ඒවා බලාගෙන අඳින එක.. 

මොකද ඒ කාලේ සෙල්ලම් බඩු කියන්නේ හෙනම ලක්සිරි බඩු හින්ද මට තිබ්බේ වයින් කලාම  පී-පෝ පී-පෝ ගාගෙන යන පොලිස් කාර් එකකුයි තව බැටරි වලින් දුවන ඉබ්බෝ පෙලියකුයි විතරයි. ඒ ඉබ්බෝ ටික නම් මම කසාද බඳිනකම්ම තිබ්බ ද කොහෙද .. හෙහ් හෙහ් .. බැටරි කියන්නෙත් හෙන ලක්සිරි බඩු හින්ද ඉබ්බා වැඩි හරියක් කැබිනට් එකක් අස්සේ තමා හිටියේ.. ආ තව අර නුලක් පස්සට ඇදල අත්හැරියම කඩාගෙන දුවන රතු පාට කාර් එකකුත් තිබ්බා.. මට හොඳට මතකයි ඔය ගෙදර එළියේ තියෙන රතුපාට පේමන්ට් එකට ඇවිල්ල ගෙදර කවුරුත් නැති වෙලාවක ඒකට මිටියකින් ගහල කඩපු හැටි...  එහෙම තමා කාර් එක වැඩ කරන්නේ කොහොමද කියල දැන ගන්න තිබ්බ ආසාව ඉස්ට සිද්ද කර ගත්තේ..

මම පොඩි කාලේ අපේ අම්මා වැඩට ගියා. තාත්තා, තාත්තගේ යාලුවෝ කීප දෙනෙක් එක්ක ගිහින් ඔය මේසන් වැඩ එහෙම කළා. ඉතින් තාත්ත වැඩි පුර ගෙදර හිටියා. අම්මට වඩා තාත්තා එක්ක අපි සමීපව හිටියා.  ඉස්කෝලේ තිබ්බේ අර දුර පාරෙන් යන පැත්තේ. ඉතින් එක්කෝ උදේට තාත්තා බයිසිකල් එකෙන් ඉස්කෝලෙට ගිහින් දානවා අක්කවයි මාවයි... නැත්නම් පයින් යනවා.  හවසට නම් කොහොමත් පයින් තමා.. 

තාත්ත ඉන්න දවසක් නම් තාත්ත එනවා ඉස්කෝලේ ලඟට එක්කන් යන්න. ඒ දවස් වල අපේ තාත්ත හෙන හැන්ඩ්සම්. සුදු, උස , ක්‍රේල් කොණ්ඩයක් තිබුනේ... අක්කගේ ඉස්කෝලේ යාලුවෝ ඒ දවස් වල තාත්තට ඉව්වේ මයිකල් නයිට් කියල .. අර නයිට්‍රයිඩර් එකේ නළුවා වගේ තමා කොන්ඩේ තිබුනේ .   තාත්ත ළමයි එක්ක හරි එකතුයි ..මගදී හම්බ උනොත් අහල පහල ගෙදරක අපේ යාලුවෙක් උනත් බයිසිකල් එකේ දාගෙන එක්කන් එනවා.. 

ඉස්කෝලේ ගිහින් ඇවිල්ල හවස් වරුවේ ඉතින් තනි සෙල්ලම තමා.  යාලුවොත් එක්ක කරපු සෙල්ලම් ගැන ලියන්න මහා ගොඩක් ජාති තියෙනවා ඒවා තව කොටසකින් ලියනනම්...  වැස්ස නිසා එලියට බහින්න බැරි දවස් නැත්නම් හවස් වෙලාවට ඉතින් මගේ ලොකුම වැඩේ චිත්‍ර අඳින එක තමා.  ඊට අමතරව, බින්කුන්ඩෝ හාරන එක , ටික්කො පනින එක , ඊට පස්සේ ගේ වටේ තිබ්බ ගස් වල කොළ කඩල එක කොටලා එක එක බීම  ජාති හදන සහ තව රටේ නැති නොයෙක් විකාර කළා. ඔය වැස්ස වෙලාවට අපේ ගෙදර ඇතුලට වහලෙන් වතුර වැටුණා. ඒ වැටෙන වතුර බිම දිගේ ඇඟිල්ලෙන් අඳින වාරි මාර්ග ක්‍රම ඔස්සේ ගේ පුරා අරන් යන එකත් හරි ජොලි වැඩක්.

මට ඒ දවස් වල පොඩි බයිසිකලයක් පදින්න හෙන ආසාවක් තිබ්බ හැබැයි ඉතින් බයිසිකලයක් හම්බ වුනේ නැහැ. අඩුම තරමේ කරත්තයක්වත් තිබ්බේ නැහැ.  මට මතකයි මම ගෙදර තිබ්බ පොඩි ලි බංකුවක කකුල් වලට කෙහෙල් ලෙලි තියෙන ගේ පුරා තල්ලු කරපු හැටි... අම්ම බැන්න කියල ආතල් ගන්න එක නතර කරන්න බැහැනේ.. හෙහ් හෙහ් ..     

තව ඉතින් කඩදාසි ඔරු සෑදීමත් , ඊට අමතරව හපුතලේ ලොකු අයිය කියල දුන්න ඔරිගාමි බඩු හදන එකත් හෙනම ආතල් වැඩ. යාලුවෙකුගේ ගෙදරට යන්න හරි යාලුවෝ අපේ ගෙදර ආවොත් හරි ගෑනු පිරිමි මල් පළතුරු දාන එකත් අපේ ප්‍රියතම වැඩක් වුනා ඒ දවස් වල , තව ඉතින් පංච දාන එක , දාම් ඇදිල්ල , කැරම් තිබ්බා කවුරු හරි සෙට් වෙච්ච ගමන්. 

ඔය කාලේ අපි සුගත්ලගේ ගෙදර ගිහින් චිත්‍රකතා පත්තර බැලුවා. ඒ වයේ හිටපු වීරයෝ අඳින එක තවත් මම ආසම වැඩක්.  සුගත් ගාව තිබුනා ඔය සෙන්රෝ හරි මොකක් හරි නමක් තියෙන වීරයෙක් ගැන ගිය කතාව එකතු කරලා හදපු ලොකු පොතක්. ඒක තමා අපේ ෆැන්ටසි වීර කතාව.  ඒ වගේ අමුඩ ගහ ගත්තු වීරයෝ අඳින්න ඇති එපා වෙනකම්... ඒ කාලේ ගෑනු රූපෙට ඒ හැටි හිත ගියේ නැහැ.. අපි මල් වගේ හැදුනු ළමයි..       

මම පහ වසරේ සිස්සත්තේ කරන කාලේ ඉස්කෝලේ ටීච කරපු පන්තියකට ගියා .. ඊට අමතරව බෝගහමුල පන්සලේ තිබ්බ ඉංග්‍රීසි පන්තියකට ගියා ... ඒ දෙකම ඉතින් ඔන්න ඔහේ ආවට ගියාට තමා කලේ ..සිස්සත්තේ පන්ති කට් කරලා ඇවිල්ල ගෙදරින් බැනුම් අහපු දවසුත් තිබ්බා ..  මල වදේ කියන්නේ එහෙම පන්ති කට් කරලා  ගෙදර ආවම අක්ක උගන්නන්න ගත්තා .. ඒක නම් එපාම කරපු වැඩක් ...  කොහොම උනත් මං සිස්සත්තේ පාස් වුණා.

ඔය සිස්සත්ත කාලේ තමා මට ගෑනුළමයෙක් ගැන පොඩි මෙව්වා එකක් දැනෙන්න පටන් ගත්තේ මුලින්ම.. ඒක හරි සෝක් හැඟීමක්... ඒ ළමයට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්, මටත් පුළුවන් ඒක තමා අපි දෙන්නගේ තිබ්බ ගැලපීම ... හෙහ් හෙහ් .. එකත් වෙනම ලියන්න පුළුවන් කතාවක් ..හෙහ් හෙහ්    

ඒ දවස් වල තව කරපු ආසම සෙල්ලමක් තමා දුනු ඊතල අරං රොබින් හුඩ් දැමීම, ඊට අමතරව ටාසන් , ටුවර් ඔෆ් ඩියුටි කියන්නේ අපි කරපු තව සෙල්ලමක් ... ටුවර් ඔෆ් ඩියුටි  එකේ තිබ්බ බෝම්බ ගැහිල්ලට හරි යන්න අපි  කලේ පස් කුට්ටි වලින් දමලා ගහන එක එහෙම මම ගහපු පාරකින් අල්ලපු ගෙදර සුදුවගේ ඔලුව පැලුනට පස්සේ ද කොහෙද ඒක නතර වුණේ... මේවා එක්ක තව ආතල් සිද්දි තියෙනවා ඒවා ටික පස්සේ ලියන්නම්කො 

යාලුවෝ එක්ක නම් එපා වෙනකම් සෙල්ලම් කරන්න ඇති .  

යාලුවෝ කවුරුත් නැති වෙලාවට කඩදාසි ඊතල රබර් පටි වල අමුණලා යවන එකත් හෙන ආසාවෙන් කළා ..ආ  තව එතකොට රබර් ගෙඩි වලින් කරත්ත හදපු එකත් හෙනම ආස වැඩක් .. රබර් ගෙඩි එක්කෝ කොටස් 4 ට හෝ 3 ට බෙදිලා හැදෙනවා.. ජයසිංහ අංකල්ලාගේ  ගෙවල් පිටි පස්සේ තිබ්බ රබර් වත්තේ ඒ දවස් වල ඕනේ තරම් රබර් ගෙඩි ... ඔය ගෙඩි දෙකක් අරන් මැද්දට කොටුවක් ගහල , තව කරුවක් තියෙන කොටුවකින් තල්ලු කරන එක තමා රබර් කරත්තේ...


මේ තියෙන්නේ රබර් ගෙඩි 

රබර් ඇට බිම අතුල්ලලා රත් කරලා කාගේ හරි ඇඟේ තියෙන එක,  නැත්නම් ඉඳගන්න පුටුවේ කකුල් වලට රබර් ඇට තියෙන එකෙත් තිබ්බේ පුදුම ආතල් එකක් නේ... දැන් මේ ආතල් ගන්න ලක්ස ගණන් සල්ලි වියදම් කලාට   

මිට අමතරව ඒ දවස් වල හපුතලෙන් ගෙනාපු පයිනස් මල්, ටුන මල්  සහ ඉත්තෑ කූරූ කියන්නේ අපේ ගමේ යාළුවන්ට නොතිබ්බ මට විතරක් තිබ්බ ලක්සිරි බඩු ...   

ඔය දවස් වල යුද්ධේ ගොඩක් දරුණුවට තිබ්බා .. අපිට යුද්ධේ නැති රටක් කියන්නේ හීනයක් විතරයි ඒ දවස් වල .. මට මතකයි මම පත්තරේ තිබ්බ ආමි සෙබලෙකුගේ ෆොටෝ එකක් බලාගෙන ඇන්ද චිත්‍රයක් ..චිත්‍ර ගැන හිතන හැම වෙලේම මට ඒක මතක් වෙනවා. 88-89 භීෂණ කාලේ එද්දී මට අවුරුදු 7-8ක් ඒ ගැන වැඩි මතකයක් නැතත් ඒ දවස් වල  තාත්තාගේ දේශපාලන වැඩ ඔක්කොම නතර වුනා.  අපේ තාත්තට ගොඩාක් දේශපාලන සම්බන්ධකම් තිබ්බා .. දේශපාලන රැස්වීම වල නැතිවම බැරි කතිකයෙක් අපේ තාත්තා .. නමුත් මේ දවස් වල අම්ම රණ්ඩු වෙලාම තාත්තා ඒවා ඔක්කොම නතර කළා ..ඊට පස්සේ ගෙදර තිබ්බ මැතිනිගේ සහ බණ්ඩාරනායක මහත්තයාගේ ෆොටෝ , තව තාත්තා ඔය එක එක රැස්වීම වල ගත්ත ෆොටෝ , තව පොත් සඟරා එහෙම ඔක්කොම අල්ලපු වත්තේ තිබ්බ පාලු ලිඳකට දාපු හැටි මට මතකයි .. 

භීෂණ බිය මට නොදැනුනාට අපේ ගෙවල් කිට්ටුවෙන් ගලාගෙන ගිය කැළණි ගගේ පාවෙච්ච මිනී ගැන , හන්දිවල ටයර් දාපු මිනි ගැන අම්මල, තාත්තල කතාවෙන දේවල් ඇහිලා බය වෙලා හිටියා .  ඒ දවස් වල තරුණ වයසේ හිටපු අක්කා හින්ද අම්මයි තාත්තයි හොඳටම බය වෙලා හිටියේ ... එක දවසක් JVP එකෙන් ළමයි අල්ලන්න එනවා කියල ආපු ආරංචියකට අක්කයි, තව අක්කගේ වයසේ යාලුවෝ දෙන්නෙකුයි තව මට වඩා අවුරුදු 4-5 වැඩි මල් අක්කගේ යාලුවාගේ මල්ලියි, සුදුලාගේ ගෙදර වතුර ටැංකිය හිස් කරලා එකේ බස්සල තිබ්බා.  JVP කියන්නේ ඉතින් අපේ පවුල් වල පාරම්පරික හතුරෝ තමා ..  88-89 වගේ කාලයක් නොතිබුනා නම් JVP ගැන මිට වඩා සුබවාදී හැඟීමක් අපේ පරම්පරාවත් ඊට පෙර පරම්පරා වලටත් තියෙන්න ඉඩ තිබුණා.

අම්මා වැඩ කලේ කොළඹ කච්චේරියේ හින්දා චන්ද කාලෙට අපිට හෙන වාසියි ... බීම කේස් පිටින් හම්බ වෙනවා... බත් මුල් , තව බනිස් වර්ග , එක්කන් යන්න එන වාහන , ඒ වයේ එන අම්මගේ යාලුවෝ එහෙම හරි හිතවත් වුණා. මම මුලින්ම කොත්තු රොටි කෑවේ එහෙම ආපු අංකල් කෙනෙක් දීලා...

 ඒ දවස් වල බිම කේස් පිටින් අපි යාලුවන්ගේ ගෙවල් වලට බෙදුවා...ඉතින්  චන්දෙ කියන්නේ අපේ ගෙවල් අහල පහල හැමෝටම ආතල් කාලයක් තමා හෙහ් හෙහ්   මම ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා ෆැන්ට, කොකාකෝලා, ස්ප්‍රයිට් තුනම එකට දාල හැදෙන බිම තමා බොන්නේ හෙහ් හෙහ්   

ඊට පස්සේ ඉතින් චන්දෙ අහන දාට එලි වෙනකම් කාඩ් ගැහිලි, අවුරුදු 10-12 වෙද්දී අපි ඕමි, 304 කාපර්ල වෙලා හිටියේ.. 

තාත්ත මැයි පෙළපාලි වලට වරද්දන්නෙ නැතිව ගියා... ඒ ගිහිල්ලා ආවම දවස් 2-3ක් යනකම් තාත්තට කතා කරන්න බැරි තරමට උගුර බැරැන්ඩි වෙනවා.. මට  ඒ කාලේ ඒවා  හෙන වීරක්‍රියා විදියට තමා හිතුනේ. 

ඔය දවස් වල තාත්ත නිතර අසනීප වුණා, තොවිල් එහෙමත් නැටුවා අපේ ගෙදර, ඒ තොවිල් නටද්දී පාන්දර  වත්තේ කොනට වෙන්ඩ තිබ්බ කොස්ගහක අත්තක් කඩාගෙන යාකා දුවපු සීන් එක මතක් වුනේ ඩ්‍රකියගේ කතාව කියවද්දී... හෙහ් හෙහ් ... ඒ දවස් වල අපේ ගමේ හිටියා  ඊටින් මාමා කියල කට්ටඩියෙක්... ඒ මාමා තමා තොවිලේ කලේ... ඒ හැමදේම පොඩි කාලේ ජිවිතේ හරිම ලස්සන කළා කියල දැන් හිතෙනවා.

ඔය තොවිල් වැඩ හින්දා , ගොක්කොල වලින් එක එක ජාති ගොතන්න , ඊට පස්සේ දුම්මල ගහල ගිනි අවුලන වැඩ එහෙම අපි කළා .. හරි ආතල් ඒවා .. ගමේම අය එකතු වෙලා ඒවගේ වැඩ කරද්දී  දැනෙන හැඟීම හරිම වැදගත්. කොච්චර දුප්පත්, අසරණ ජිවිත ගෙව්වත්  ඒ දවස් වල මිනිස්සු හැමෝටම උදව් පදව් කළා, හැමෝම එක පවුලක් වගේ එකට හිටියා.. ගහ බැන ගැනිලි , වලි නොතිබුනා නෙමෙයි හැබැයි අහිංසක ලෙන්ගතු කමක් ඒ දවස් වල මිනිස්සුන්ගේ හිත් වල තිබුණා කියල මට හිතෙනවා. අපිට කවදාවත් තරඟයක් තිබුනේ නැහැ.

මට වයස 11-12 කාලේදී මෙනින්ජයිටිස් හැදුනා. ඔය ගෙදර ඉන්නකොට.. අපේ තාත්තගේ තිබ්බ හැකියාවත් කඩිසර කමත් හින්දා හරි වෙලාවට මාව ඇම්බියුලන්ස් එකක පවා දාගෙන අරං ගිහින් තමා බේරගෙන තියෙන්නේ..   ඇම්බියුලන්ස් එක පාරේ පේව්මන්ට් එකෙන් පවා එලොගෙන ගිහින් තියෙනවා. ඒ තරමට අමාරු වෙලා. ආමර්විදියේ තිබ්බ සුලෙයිමන් ඉස්පිරිතාලෙ ඩොක්ටර් කෙනෙක් තමා බෙහෙත් කලේ , පස්සේ ළමා රෝහලේ නතර වෙලා හිටියා සති දෙකක් විතර.. අත්දෙකටම කටු ගගහා ඉන්ජෙක්සන් ගහපු හැටි,  නර්ස් ඇන්ටිල, ඊට පස්සේ බලන්න ආපු අම්මගේ යාලුවෝ ගෙනාපු කෑම එහෙම දැනුත් මතක් වෙනවා වගේ හෙහ් හෙහ් ..

ඔය ලෙඩේ හැදිලා ටික කාලයක් යනකම් මම හෙනට දුර්වල වෙලා හිටියේ... අදටත් මගේ අත්  දෙක වෙව්ලනවා ඔය පොඩි සියුම් වැඩ කරද්දී .. ඒ දවස් වල ඉස්කෝලේ ගියාම කොල්ලෝ කියන්නේ අඩෝ අත්දෙක පොඩ්ඩක් දික් කරගෙන හිටපන්කෝ කියල .. මොකද එහෙම ඉන්නකොට අත්දෙක හොඳටම වෙව්ලනවා .. උන්ට ඒක ආතල් හෙහ් හෙහ් ...  

ඒ වෙද්දී මම ඉස්කෝලේ ගියේ ගම්පහ...  ඔය දවස් වල තමා මම ඉලෙක්ට්‍රොනික් සර්කිට් හදන්න ඉගෙන ගත්තේ...  ඉස්කෝලේ යාලුවෝ එක්ක එකතු වෙලා හැදුවා , ඊට පස්සේ ලොකු අම්මගේ පුතා වෙච්ච චුටි අයියගෙන් අහගෙන හැදුවා ..බුදු රැස් කරකවන එකයි, තිස්ස පස්සේ මුවා එලවන එකයි තමා ඉතින් ලොකුම වැඩේ , පස්සේ එෆ්. එම් මයික් , රේඩියෝ දක්වා ඒක දියුණු උනා .    විජය, විදුසර කියවන්න අරන් තිබ්බ හින්ද කියවීමත් නැගලම ගියා.. ගෙදර තිබ්බ පරණ නවකතා , සඟරා ඔක්කොම කියවන්න ඇති. 

ඒ දවස් වල අම්ම වැඩට යද්දී මම ඔය සර්කිට් බඩු ලිස්ට් එක ලියල දෙනවා. තව මම ඔය දවස් වල එක එක රසායනික ද්‍රව්‍ය එහෙම මිශ්‍ර කර කර හෙන පරීක්ෂණ කරනවා කියල හිතාගෙන එක එක විකාර කළා.. අර හිරි ලඹ සහ හිරි ටැඹ කියල මැග්නීසියම් සල්ෆේට් වලින් ද කොහෙද හදන්නේ .. අන්න ඒවා, තව ඔය ඉස්කෝලේ පොත්වලයි , පත්තර වලයි තියෙන පොඩි පොඩි පරීක්ෂණ කරන එකත් ප්‍රියතම වැඩක්... අම්මයි තාත්තයි ඉතින් පුළුවන් විදියට හැමදේම ගෙනල්ල දුන්නා .

මට චිත්‍ර අඳින්න පුළුවන් කම හින්දා මම මැටි වලින් පිළිම අඹන එකත් කළා.. අපේ ගෙවල් කිට්ටුව බණ්ඩාරවත්ත කියන්නේ කුඹල් කර්මාන්තෙට ප්‍රසිද්ධ පැත්තක් , තාත්තා එහෙන් හොඳට පදම්  කරපු මැටි ගෙනල්ල දුන්න.. මම සෑහෙන්න හොඳ පිළිමයක් හැදුව මතකයක් තියෙනවා මැටි වලින් ...  මේ ලඟදි ඒ මතකේ හින්ද ඔන්ලයින් කඩෙන් පැකට් කරපු  මැටි ටිකක් ගෙනල්ල එකක් අඹන්න හැදුවට හරි ගියේ නැහැ.. දැන් නම් ඒ හැකියාවල් යට ගිහිල්ලද කොහෙද. නැත්නම් මැටි අවුල් ද කොහෙද. 

මේක ලියද්දි මට හිතුනේ පොඩි උන්ට ආතල් ගන්න මහා ලොකු දේවල් ඕනේ නැහැ නේද කියල.. දෙමව්පියෝ දරුවන්ට සියලු සැප දෙන්න කියල ලොවෙත් නැති දේවල් කර කර නානාප්‍රකාර ජාති ගෙනල්ල දුන්නට පොඩි වයසේදී තියෙන ඕනේ දෙකින් සතුටු වෙන්න, ඉන්න ඕනෙම පරිසරෙකට හැඩගැහෙන්න අපිට පුළුවන්... ඒ දේවල් පසු කාලෙකදි ජිවිතේට අපුරු මතක ඉතිරි කරනවා.  ඇත්තටම ප්‍රස්නේ තියෙන්නේ දරුවන්ට නෙමේ දෙමව්පියන්ට !    

සෙල්ලම්  කාලේ  කිව්වම  වයස අවුරුදු 40 වෙනකම් විතර අයිතියි නේ ... ඒ ඔක්කොම සෙල්ලං ලියන්න ගියොත් මේක ඉවර වෙන්නේ නැහැ...  ගමේ යාලුවොත් එක්ක කරපු සෙල්ලම් කාලෙත් එක්ක තව කොටසක් ලියන්නම්. දැනුත් මේ ගෙයක් අස්සට කොටුවෙලා ඉද්දි කරන්න පුළුවන් වැඩ ගැන හිතද්දී  ඒ කාලේ තනියම ඉන්නකොට කරපු දේවල් මතක් කරගන්න ඕනේ නිසා මේක ලියවුනේ..  හෙහ් හෙහ් ..          


Friday, April 30, 2021

කාල යක්ෂ - 13 - සියුම් රහස්



11 වන කොටසින්

“ඔබ හිතනවට වඩා සිදුවන දේ සංකිර්ණයි.. හැමදේම ටිකෙන් ටික තේරුම් යයි..

“දැන්… ඔබගේ වෙහෙස නිවී ඔබ සූදානම් නම් අපිට පුළුවන් අපේ කටයුතු වලට යන්න.. ජඩ් හිඳ සිටි තැනින් නැගිටිමින් පැවසීය…”

“හ්ම්ම්.. මේ..මේ.. මගේ ඇඳුම.. මම ටිකක් අපහසුවෙන් ඉන්නෙ.. මේ ඇඳුම ඇදගෙන එලියට යන්න…”

ජඩ් ඇය දෙස බැලුවේය…

ඔබට ඔය ඇඳුම තිබීම වැදගත් වෙයි.. අපේ ඊළඟ කටයුත්තට..

“මොකක්….!!! “

අද එතැන් සිට …

ඇලෙන්ඩි සහ ජඩ් පිවිසියේ ගොඩ නැඟිල්ල්ලලේ ඉහල මාලයටය.. එහි වූ  අලංකාර උද්‍යානය ඇලෙන්ඩි මින් පෙර කිසි දිනෙක දැක නොතිබුනු රමණීය ගස් වැල් සහ මල් වලින් යුතු විය.. දවසේ කුමන වේලාවදැයි කීමට නොහැකි තරමට උද්‍යානය තුල තිබුනේ ඉතාමත් සුවබර පරිසරයකි..  සිය දිවියේ ප්‍රථම වතාවට එවැනි පරිසරයක් දුටු ඇලෙන්ඩි වශීකෘත වී සිටියාය.

හරිම අමාරුවෙන් ලියා ගත්තේ... සෑහෙන දවසක් බාගෙට ලියල ඔහේ පැත්තකට දාල තිබ්බා.. අධික බිසී වීම සහ හදිසියේ අසනීප වීම හින්ද ලියන එක නතර වෙලාම ගියා... කියෙව්වෙත් නැහැ.. යන්තම් පහුගිය දවස් දෙක තුනේ බස්සා සහ නිදී  ලියපුව බලල පොඩි කොමෙන්ට් එකක් දාල ලියන ගතිය ඇඟට ගත්තේ...  බලමු තව කොටසක් දෙකක් වත් ලියා ගන්න.... 

ලියන්න ජාති හෙනට මතක් වුනාට පුදුම කම්මැලි කමක් නේ එන්නේ ...  රොබෝලා ඕනේ කියල හිතෙන්නේ මේ වෙලාවට... මට හිතෙන දේ ලියන රොබෝ කෙනෙක් !

Sunday, March 07, 2021

බුදු දහම සහ අපේ දැක්ම


මේ ආගම් අප තුල තියෙන ස්භාවික බවට, අවබෝධයට, සංතෘප්තියට , ජිවිතයේ විඳීමට, සතුටට  කරන බලපෑම ගැන හිතල බලල තියෙනවද කවදාවත්... 

මේක ලියන්න හේතු වුණේ  මගේ ඥාති සහෝදරයෙක් දැන් ටික දවසකට කලින් කියපු දෙයක් නිසා..  මම හිතන්නේ ගොඩක් අය The Matrix චිත්‍රපටය නරඹල ඇති..   දැන් අවුරුදු 20කටත් වඩා පැරණි මේ චිත්‍රපටිය ගැන විවිධ විචාර එහෙම ලියවිලා තියෙනවා..  ලංකාවේ එහෙම ලියවෙච්ච විචාර වලින්  2013 දී බූන්දියේ  ලියපු මේ ලිපිය සෑහෙන්න නැගල ගිය එකක්  මේ ළඟදී තව කෙනෙක් මෙන්න මේ වීඩියෝ එකත් හදල තිබුණ ඔය චිත්‍රපටය ගැන විචාරයක් විදියට.  මම දන්නේ නැහැ මේ ලිපිය සහ වීඩියෝ එක කරලා තියෙන්නේ එකම කෙනා ද කියල.. නමුත් තියෙන්නේ එකම අදහස. ඒ ලිපිය කියවපු කෙනෙක් ඒක වීඩියෝ වලට ගෙනල්ල කියලයි මට හිතෙන්නේ...   

මගේ ඥාති සහෝදරයා මට ඔය වීඩියෝ ලින්ක් එක එව්වා. ඔහුගේ අදහස වුණේ ව වීඩියෝ එකෙන් නියමෙට ෆිල්ම් එක පැහැදිලි කරනවා කියල. 

1999 දී  නිකුත් වෙච්ච ඔය ෆිල්ම් එක මම සමහරවිට 2000-2002 අතර කාලේ බලන්න ඇති.. මොකද A/L  කරලා ඉවර වෙච්ච ගමන් නිසා සහ මගේ සයි-ෆයි  උණ තදේටම තිබ්බ කාලයක් නිසා. තාත්තගේ මරණෙත් එක්ක මමත් බුදු දහම ගැන සහ ධර්මය ගැන උනන්දුවෙන් හොයපු ඔය ඒ කාලේ මේ ෆිල්ම් එක බැලුවම මටත් ඒ ලිපියේ සහ වීඩියෝ  එකේ  ඔය  කියන සමානකම් සහ    ෆිල්ම් එක තුලින් බුදු දහම දැකීමට  පුළුවන් කම තිබුණා.  ඇත්තම කිව්වොත් ෆුල් හොල්මන් වෙලා යන සිරා ෆිල්ම් එකක් නේද කියල තමා ඉතින් හැමදාම   The Matrix ගැන ඔලුවේ තිබුනේ.  මම හිතන්නේ මේ ෆිල්ම්  එක  ලෝකේ පුරා අතිශය ජනප්‍රිය වෙන්න හේතුවක් වෙන්න ඇති  එකේ තියෙන මේ අමුතුම අදහස්..  

මුලින් බැලුවට පස්සේ මම තව වතාවක් හෝ  දෙකක් ඔය ෆිල්ම් එක බලන්න ඇති... ඉතින් මේ සිද්දියෙන් පස්සේ නෙට්ෆ්ලික්ස් එකේ තිබ්බ ෆිල්ම් එකේ කොටස් තුනමත් මම ආයෙත් බැලුවා...  

නමුත් දැන් බලද්දී මට මොනම විදියකටත්වත් ඔය ෆිල්ම් එක බුදු දහමට  හෝ   වෙනත් කිසිම ආගමකට සමපාත කර ගන්න බැරි වුණා. කොටින්ම එහෙම කරන එක  මහ විකාර වැඩක් විදියට තමා මට හිතුණේ. 

මට හිතුන දේ තමා මම  එහෙම කරන්න යන එක නිසා මට  මේ ෆිල්ම් එකේ සැබෑවට පෙන්නන දේ දකින්න බැරි වෙනවා කියන එක. 

මේ ලිපියෙන් මම ෆිල්ම් එක ගැන විචාරයක් හෝ  ආගම් සමග තියෙන සම්බන්ධය ගැන ලියන්න බලාපොරොත්තුවක් නැහැ.  තමන් කැමති විදියට ෆිල්ම් එකක් දකින්න (කියවන්න) සහ විචාරය කරන්න ඕනේ කෙනෙකුට පුළුවන්..  

දැන් මේ ලිපියෙන් මම කියන්න අදහස් කරන දේට එමු.

බුදු හාමුදුරුවෝ උත්සාහ කලේ මේ විශ්වයේ පවතින යතා ස්භාවය අපිට පැහැදිලි කරල දෙන්න. බුදු දහම හැම මොහොතෙම පවතින දෙයක් මිස, අවබෝධ කරගෙන ඉවර වෙන හෝ යම් අවබෝධයක් ලැබූ පසු පැහැදිලි වෙන දෙයක් කියල මම හිතන්නෙ නැහැ. මම හිතන්නේ වර්තමානයේ බුදු දහම ගැන උනන්දු වෙන අය මේ අදහස දන්නවා ඇති. 

ඔබ ආගම ඉගෙනගෙන, ඒ තුලින් හැමදෙයක් දෙසම බැලීමට යාම නිසා ඔබට දෙයක යථා ස්භාවය, ඔබ දකින මොහොතෙදි,  ඒ ආකාරයෙන් දැකීමට තිබෙන උපන් හැකියාව යටපත් වෙනවා. අපිට එහෙම නැවුම්ව , කිසිම විනිශ්චයකින් තොරව  දේවල් දිහා දකින්න පුළුවන් කියල අපිට අමතක වෙන තරමට අපේ ඔලු දැන් කුරුවල් වෙලා.  ඉතින් යම් කිසි දෙයක ඇති දේ ඇති සැටියෙන් දැකීම අපිට බොහෝ විට මගහැරෙනවා. 

දැන් මේ කියන ෆිල්ම් එක බලන කෙනෙක් තමන්ගෙ ආගමේ කියවෙන අදහස් වලට සමපාත කරගෙන ෆිල්ම් එක බලනකොට ඇත්තටම ඒ ෆිල්ම් එකේ තියෙන දේ දකින්න බැරි වෙනවා කියලයි මම හිතන්නෙ. උදාහරණයක් විදියට එහි ඇති තාක්ෂණික දේ, නැත්නම් නළු නිළියන්ගේ රඟපෑමේ විශිෂ්ටත්වය,  නැත්නම් ආදරය, රාගය,  හාස්‍යය වැනි ස්භාවික මිනිස් හැඟීම් ප්‍රතිනිර්මාණය වී ඇති හැටි දකින එක මග හැරී යනවා. ඇසින් දකින්න පුළුවන්, නමුත් ෆිල්ම් එක පුරා ආගම දකින කොට අපිට ඇත්තටම ෆිල්ම් එක බලන්න වෙන්නේ නැහැ.   ෆිල්ම් එකේ එක එක චරිත වල කාර්යය, තමන්ගේ ආගමේ කියවෙන දේ මවා පෙන්වීම කියන දෘෂ්ටියෙන් බලනකොට ෆිල්ම් එකේ නිර්මාපකයා කියන්න අදහස් කරන නැවුම්, නිර්මානාත්මක බොහෝ දේ අපිට මග ඇරිලා, පොඩි කාලේ ඉඳල අපේ ඔළුවට දාගෙන ඉන්න ආගමික සංකල්ප විතරක් පේන්න පටන් ගන්නවා.      

ආගමික මනසකින් ලෝකය දෙස බලන හැම මොහොතේම අපට සත්‍යයය ඇති හැටියෙන් දකින්න බැරි වෙනවා කියලයි මම හිතන්නේ.

ආගමික අන්තවාදය ගැන අපි හැමෝම දන්නවනේ..

නමුත් අපිට මගහැරෙන දෙයක් තමා උපතින් නිර්මල ව සහ කිසිම සංකල්පයකින් තොරව මෙලොවට එන අපි, අපට උරුම වන ආගම නිසා අප දෙසත්, අප ජිවත් වන ලෝකය දෙසත් නිර්මල සිහියකින් යුතුව බැලීමට ඇති හැකියාව යටපත් කරගෙන සිටින බව.

අගමක් නිසා අපිට ලැබෙන දැනුමෙන් හැමදෙයක් ම විනිශ්චය කිරීමට යාම සහ ජීවිතය දෙස බැලීමට පුරුදු වීම නිසා අපේ සැබෑ මනුෂ්‍යත්වය මග හැරෙනවා කියලයි මම හිතන්නේ.

උදාහරණයක් විදියට අසරණ සතෙක්, මනුස්සයෙක්  දිහා බලල  ... එක්කෝ ඔය ඉතින්  පෙර කරුමේ තමා කියල අහක බලාගෙන යන ස්භාවය හෝ   අනේ  පිං සිද්ද වෙනවනේ කියන තමාට  අනාගතයේදී පිං නිසා ලැබෙන වාසියක් වෙනුවෙන් ඒ අසරණයාට උදව් කිරීම ගන්න පුළුවන්. 

මේක ඉතා සරලව තේරුම් ගන්න ඔබට පුළුවන් දැඩි ආගම් භක්තිකයෙක් සමග ටික වෙලාවක් ගත කිරීමෙන්... ඔහුට හැමදේම ඔහුගේ ආගමට අනුව විතරයි පෙන්නේ..

ආගම නිසා මිනිසුන් යහපතක් වන බව බොරුවක් නෙමේ... සමස්ත සමාජයක් විදියට ගත්තම ආගම නිසා හොඳක් වෙන්න පුළුවන්... නමුත් සත්‍යයය සහ සැබෑ ධර්මය හොයා යන කෙනෙකුට ආගම නිසා වෙන්නේ හානියක් කියල මට හිතෙනවා . 

ශ්‍රී ලාංකික අපි උපතින්ම බෞද්ධ, නමුත් අපි තුල ප්‍රාථමික මට්ටමේ  මිනිස් ගති ගුණ වත් නැති අවස්ථා ඕනෑ තරම් තියෙනවා.. අනිත් ආගම් වලටත් මේක පොදුයි.

නමුත් අපේ අවාසනාව තමයි කිසිම දෘෂ්ටියකින් තොරව, කිසිම විනිශ්චයකින් තොරව, යතා ස්භාවය ඒ විදියට දකින්න උගන්නන ධර්මයක් උපතින්ම උරුම වෙලා තියෙද්දී, ඒ ධර්මයම දෘෂ්ටියක් විදියට අරගෙන, හැම දෙයක්ම ඒ තුලින් විනිශ්චය කරමින්, හැම දේකටම ආගමික නිර්වචනයක් දෙමින්, තම පුද්ගල ස්භාවය වර්ධනය කර ගන්න අප උත්සාහ කරන එක.  මම හිතන්නේ බොහෝ දෙනෙකුට මේ කියන දේ තේරුම් ගන්න පුළුවන් ඇති. 

ආගම පිළිබඳව තමා තුල ඇති දැනුම නිසා ඔබ තුල ගොඩනැගෙන මමංකාරය ඉතා සියුම් විදියට අපිට මගහැරෙනවා. අපිට සල්ලි නිසා ඇතිවන මමංකාරය, සමාජ තත්වය, රැකියාව ආදිය නිසා ඇතිවන මමංකාරය දකින්න ලේසියි. නමුත් ආගම නිසා ඇතිවන මමංකාරය දකින්න බොහෝ දෙනෙකුට බැහැ. මොකද ඒක හැමවිටම හරි දෙයක් ලෙසයි අපි දකින්නේ.  නමුත් ඔබ පිළිනොගන්නා ආගමක් අදහන කෙනෙක් තුල ඇති ආගමික මමංකාරය සමහර විට ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි.  ආගම තුලින් විනිශ්චය කරන්න කරන්න අපිට අපි දකින, අහන, දැනෙන දේ සම්පුර්ණයෙන් විඳින්න නොහැකි වෙනවා..    හරියට විඳින්න බැරි වූ විට හැමවිටම ඉතිරි වෙන්න අසංතෘප්ත ස්භාවයක්.

දැන් කෙනෙක් තර්ක කරන්න පුළුවන් බුදුදහමේ තියෙන අනිත්‍යය තේරුම් ගන්න නම් හැම දෙයක් දෙසම මේ  ආගමේ උගන්නල තියෙන ආකාරයෙන් දකින්න ඕනේ කියල.  මේක සංකල්පයක් වශයෙන් ඇත්ත නමුත් ප්‍රායෝගිකව මේක කරන්න ගියාම ඇතිවන්නේ ව්‍යාකුල තත්වයක් කියල බොහෝ දෙනෙකුට තේරුම් ගන්න පුළුවන්.  ඉතින්  අප කල යුතු වන්නේ මේ අනිත්‍ය දේවල් වලට ඇලීමක් බැඳීමක් නැතිව ජිවත් වීමයි කියලත් අපිට තේරුම් ගන්න පුළුවන්.  ඉතින් බොහෝ දෙනෙක් එක්කෝ ආගමේ නාමයෙන් මේ ආශාවල් යටපත් කරගෙන , මතුපිටින් සංවර නමුත් ඇතුළතින් අසංතෘප්ත ජිවිත ගෙවනවා. අනිත් අය වැඩිපුරම වචනාර්ථයෙන් පමණක් මේ දේවල් දැනගෙන රිසි පරිදි ලෞකික ජිවිත ගෙවනවා. ඔවුන් බොහෝ විට දැඩි ආගම් භක්තිකයින් සහ ආගමේ විදියට ජිවත් වන බව ලෝකයට පෙන්නන්න කැමති පිරිස්.   මෙහි ඇති වරදක් එක වර ඔබට පෙනෙන එකක් නැහැ නමුත් ඔබ සැබවින්ම බුදු දහමේ ඉගැන්වෙන නිර්වාණය හෝ විමුක්තිය සොයන කෙනෙක් නම්  මීට වඩා ගැඹුරින් මේ දෙස සිතා බැලිය යුතුයි කියල මට හිතෙනවා. 

හැම විටම ගැටලුව ඇතිවන්නේ මෙසේ ඇලීමක් බැඳීමක් නැතිව ජිවත් වන්නට යාමේදී. මොකද කොපමණ තේරුම් අරන් තිබුනත්, කොපමණ ඉගෙන ගෙන තිබුනත් නොඇලී, නොබැඳි ඉන්න පෘතක්ගජන පුද්ගලයෝ වශයෙන් අපිට අමාරුයි. ඒක තමා මනුෂ්‍යයා කියන ජිව කොට්ටාශයේ ස්භාවය. ආශාව සහ බලාපොරොත්තුව අපිව ජිවත් කරවනවා.  ඉතින් අපිට බැරිද අපි ආස කරන දේවල්, අපිට ඕනේ වෙලාවට උපරිම ලෙස රස විඳලා එයින් සංතෘප්ත වෙන්න.  එහෙම සංතෘප්ත  වුණාම ඒ දේට තියෙන ඇලීම බැඳීම අඩු කරගන්න පහසුයි කියල හිතෙන්නේ නැද්ද ? නමුත් ඔතන තියෙන ගැටලුව තමා අපේ සිත එහෙම ලේසියෙන් සංතෘප්ත වෙන්න කැමති නැති එක. ඒකට තියෙන විසඳුම තමා සිහිය. සිහිය මනාව තියෙනවනම්, සිත විසින් ඇලෙමින් බැඳෙමින් යන්න හදන ආකාරය දැකල, ඇතිවන මොහොතේම ඒ ඇලීමේ හෝ බැඳීමේ ඇති අනිත්‍ය බව දකින්න පුළුවන්. ඒ දැකීමත් සමග ඒ ඇලීම, බැඳීම නැති වෙලා යනවා. ඔබේ සිහිය මේ තත්වයට දියුණු කර ගැනීමයි ඔබ කල යුත්තේ. 

දැන් ඔබට සිතෙයි මේ කියන හැමදේම තියෙන්නේ ආගමේ නේද ඉතින් ආගමික වීමේ වැරැද්ද මොකක් ද කියල.

ඔබ හොදින් සිතා බැලුවොත්, ඔබට තේරෙයි ආගම තුලින් මේ දේ වටහා ගැනීමට යාමේදී අපිට බොහෝ වෙලාවට සිදුවන්නේ ආගම් දේශනා, සුත්‍ර හෝ වෙනත් ඉගැන්වීම් අතර හිර වීම හෝ ඒවා විශ්ලේෂණයට,  සාකච්චා කිරීමට, බෙදා හැරීමට, අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීමට කාලය ගත කිරීම මිස, මුලික කරුණ තමන් විසින් ප්‍රගුණ කිරීම මග හැරී යාම බව . ආගමික දෘෂ්ටිය තුල හිර වූ විට බොහෝ අයට යම් කිසි දෙයක නියම ස්වභාවය සිහියෙන් දකින්න තියෙන හැකියාව ඇහිරී යනවා. ඔවුන්ගේ මනසේ පිරි ඇති ආගමික දැනුමෙන් විවිද සංකල්ප ගොඩ නගමින්, තර්ක විතරක් කරමින් මනසේ කූට උපක්‍රම වල හිරවෙමින්  ආගමික මමංකාරයක්  තමා තුල ගොඩ නගමින් සහ එය රැක ගැනීමට වෙහෙසෙනවා මිස මේ සියල්ල විශ්වයේ පවතින ස්භාවික තත්වයන්  බවද  සහ තමා ද ඒ විශ්වයේම කොටසක් බව අමතක වී යනවා.

ඉහත උදාහරණය ගැන නැවත හිතුවොත් අසරණ සතා හෝ මනුස්සයාට  අප උදව් කල යුත්තේ ඒ ඉන්නෙත් තමා මෙන්ම අසරණ වූ තවත් ජීවියෙක් යන හේතුව නිසා මිස  ආගමෙන් උගන්වා ඇති පින නිසා නොවෙයි.  බුදු දහමේ තියෙන්නේ මේ විශ්ව මනුෂ්‍ය සංකල්පය නමුත් අපි බුදු දහමෙන් තේරුම් අරන් තියෙන්නේ අපිට වාසි ලැබෙන පින කියන කොටස විතරයි. සමාජය යහපත් කරන්න පින පව කියන සංකල්ප ප්‍රයෝජනවත් වුණාට  පුද්ගල විමුක්තිය සොයන කෙනෙකුට පින සහ පව යන සංකල්ප දෙක නිසාම හානියක් වෙනවා.

මේ කරුණු ගැන කතා කරන හැම වෙලාවෙම මට හිතෙන දෙයක් තමා අනාගතේ දවසක අඟහරු හෝ වෙනත් ලොවක ඇතිවන මිනිස් ජනාවාසයක් දැනට මේ ලොවෙහි තියෙන කිසිම ආගමික සංකල්පයක් නැතුව බිහි කලොත්, ඒවායේ උපදින දරුවන් කොහොම හැසිරෙයි ද කියන එක,  ඔවුන්ට ආගම නැතුව ජිවය සහ ජීවයේ පැවැත්ම විතරක් උගන්නල, ජීවයේ පැවැත්මට අවශ්‍ය යහපත සහ අයහපත විතරක් කියල දුන්නොත්,  ඔවුන් පෘතුවියේ ඉන්න අපිට කලින් මේ සංසාර චක්‍රයෙන් මිදෙන්න ඉඩක් තියෙනවා කියල හිතෙන්නේ නැද්ද..? 

ආගම තුලින් අපිට උගන්නල තියෙන ජීවිතය කියන්නේ දුකක්.. නමුත් අපි ජිවත් වෙන මේ සුළු කාලය ජිවිතයේ ඇති දුක් ස්භාවය ගැන මෙනෙහි කරමින් ජිවත් වීමෙන් ඔබට කවදා හරි ඒ දුකින් ගැළවීමට පුළුවන් වේ යැයි සිතන එක ප්‍රයෝජනවත් දෙයක් ද ? කවදා හෝ දුකින් මිදීමට නම් ඔබ ප්‍රගුණ කල යුත්තේ සතුට නොවෙයි ද ? සතුට ඇතිවන්නේ මනසේ කාවැදී ඇති සංකල්ප විශ්ලේෂණය කරමින් සිටීමෙන්ද නැත්නම් ඒ මොහොත තුල අසන දෙය, දකින දෙය, දැනෙන දෙය විඳ තෘප්තිමත් වීමෙන් නොවේද ?

මේ වන විට The Matrix චිත්‍රපට මාලාවේ රචකයින් සහ අධ්‍යක්ෂකයින් වූ Wachowski සහෝදරයින්,  Wachowski සහෝදරියන් බවට පත් වී සිටිනවා. ආගම් වල ඇති ලිංග භේද සංකල්ප වලට අභියෝග කල  the Wachowskis න්  මේ වසරේ බොහෝ විට අපට  The Matrix චිත්‍රපට මාලාවේ 4 වෙනි කොටස දකින්න සලස්වනු ඇති.   


Sunday, February 28, 2021

කාල යක්ෂ - 12

 10 වෙනි කොටස ඉවර වුනේ මෙහෙම 

"ඇලෙන්ඩි ගැන මොනවත් හොයා ගත්තද තාත්තෙ?"

"මම හිතන්නෙ ඇලෙන්ඩි ඉන්න තැන මම දන්නවා... බලමුකො.."

"අහ්.. කොහොමද හොයා ගත්තෙ..?" පුදුමයට පත් ෆෝමැටෝ එකවරම ඇසීය..

රජු ඔහු දෙස තියුණු ලෙස බැලුවා මිස කිසිවක් නොකියා පහලින් පෙනෙන නගරය දෙස බලා සිටියේය..
මොහොතක නිහැඬියාවක් තිදෙනා තුලම මද අපහසුවක් ඇති කළේය.

ෆෝමැටෝ ද තමාගෙ දෑස් දෙස කෙලින් බලා සිටි නීෂාගෙ දෑස් මඟ හැර යානයෙන් ඉවත බැලුවේ නීෂාගේ සිතේ වූ සැකය තවත් තීව්‍ර වීමට හේතුවක් වෙමිනි.

අද එතැන් සිට ....

නෙමින්දෙර් රජු  සිය පෞද්ගලික කුටියට වී ජනේලයෙන් ඈත පෙනෙන සාගරයත්. එපිටින් වූ නගරයත් දෙස බලා සිටියේය. ඔහු මදක් කල්පනා කරමින් සිට සිය හිස් වැසුම ගෙන ඩෙලෝ ට ඇමතුමක් ගත්තේය..

"මොකද ...?"

"මේ  ඩෙලෝ ,  අර උමං ජාලේ මතකයි නේද ? එකේ හොලොග්‍රෑම් එක තියෙනවනම් ටක් ගාල වයිසර්  එකට ලෝඩ් කර ගන්න.."

"අහ්... පොඩ්ඩක් ඉන්නවා... මම මේ .. මේ .. වෙන වැඩක ඉන්නේ ..."

"මේක හදිස්සියි... ලෝඩ් උනා ද ?"


ඉතිරි ටිකට....  



Sunday, February 14, 2021

මගේ පුංචි රොබොට්ටා සහ තවත් කතා....


කොරෝනා කාලේ සිද්ද වෙච්ච නරක ගොඩ අතරින් වෙච්චි හොඳම දෙයක් තමා වැඩි පුර සහ කොටින්ම එපා වෙනකම් ගෙදර ඉන්න පුළුවන් කම ලැබීම. ගිය මාර්තු මාසේ ඉඳල මේ අද වෙනකම් මං ගෙදර.

ඔය ගෙදර හිටපු කාලේ ඔන්න මුල් ටික පොඩ්ඩක් තක්බීර් වෙලා වගේ හිටියා මොකක් ද යකෝ මේ ලෙඩේ , මාර සීන් එකක් නේද ? කවද මැරෙයි ද දන්නේ නැහැ  . ඉන්ඩ  ඩිංග කාල බිල තන්තොසෙන් ඉන්ඩ ඕනේ කියල. එහෙම හිතල ඔය නානාප්‍රකාර කෑම ජාති කකා ගෙදරට වෙලා ටීවී සීරීස්  තුන 4ක් ම ඉවර කරලා දැම්ම. ඒ කියන්නේ ඔය සීසන් බර ගානක් තියෙන ඒවා. 

ඔහොම මාසයක් දෙකක් ඉද්දි තේරුනා මැරෙයි කියල හිතුවට අපිට එහෙම චාන්ස් එකක් දැම්ම එන්නේ නැහැ තව කට්ට කන්න වෙනවා කියල.  ඊට පස්සේ ඉතින් ඔය තව කර ගන්න තිබ්බ  වැදගත් වැඩ රාජකාරි ටිකකුත් කරලා ඉවරයක් කරලා දැම්ම.  

ඊටත් පස්සේ  කල්පනා කරලා බැලුවම මේ ඉස්සර කාලේ ඉඳල හිතේ තිබ්බ පොඩි පොඩි ආසාවල් සහ කවද හරි ලොකු වුනාම කරන්න ඕනේ  කියල හිතපු වැඩ දෙක තුනක් ගැන  මතක් වුණා . මොකද තව ලොකු වෙනකම් කියල හිටියට සමහර විට මීට වඩා ලොකු වෙන්න කලින් යන්න වෙන්නත් පොඩි චාන්ස් එකක් තියෙන හින්ද ඔන්න ඔහේ ඒ වැඩ දෙක තුනකටත් අත ගැහුවා.

ඔය ඔහොම කවද හරි ලියන්න හිතපු කතාවක් තමා මම මේ දවස් වල ඔය  ලියාගෙන යන්නේ. මේ කොරෝනාව ආවේ නැත්නම් ඕක  කවදාවත් නොලිය වෙන්න ඉඩ තිබ්බා. පටන් ගන්න එකනේ අමාරුම. යන්තම් ඉතින් දැන් පටන් ගත්ත හින්ද ලියාගෙන යනවා. හොඳ නරක කෙසේ වෙතත් ලියල දාපුවම හිත හදාගෙන මැරෙන්න පුළුවන්... හෙහ් හෙහ් .. ඔය බුද්ධාගමේ තියෙන වැදගත්ම කරුණක් නේ Unfinished Business තියා ගන්ඩ එපා කියන එක. ඒ කියන්නේ තමන්ට කරන්න ආස දෙයක්, කාටහරි කියන්න හිතාගෙන ඉන්න දේවල් එහෙම  හිතේ තියාගෙන ඉන්ඩ එපා කියන එක. ඕනේ මංගල්ලයක් වෙන්න කරලා  දාන්න ඕනේ.  පතේ පොතේ ඕක කොහොම තියෙනවද කියල මන් දන්නේ නැහැ. හැබැයි එහෙම එකක් තියෙනවා. 

ඔයිටත් අමතරව මට තිබ්බ මේ පොඩි ආසාවක් තමා රොබෝ කෙනෙක් හදන එක. හෙහ් හෙහ් ... දැන් ඔය රොබෝලා හදන එක හෙන ලේසි වුනාට අපි පොඩි කාලේ රොබෝලා කියන්නේ  නිකන් තනිකර  හීන. පොඩි රොබෝවෙක් වගේ සෙල්ලම් බඩුවක් ගන්න ඒ කාලේ තිබ්බ ආසාව මතක් වෙද්දී අපි හරි පව් කියල හිතෙනවා නේද ... ?

ඉතින් ඔය රොබෝ ආසාව තිබ්බට ඕවට වැඩ කරන්න කොහෙද වෙලාවක්. අනිත් එක රොබෝලා කියන්නේ දැන් මේ පොඩි ළමයි හදන දේවල් නේ. ඉස්සර තමා රොබෝ කෙනෙක් හදන්න නම්  හොඳට ඉගෙන ගෙන විශ්ව විජ්ජාලේ ගිහින් හෙන පොරක් වෙන්න ඕනේ  කියල කිව්වේ. දැන් මේ යූ ටියුබ් එකේ ඕනේ තරම් තියෙනවා හදන හැටි .

මට ඔය ඉලෙක්ට්‍රොනික් සහ ගැජට් ආසාව ඉස්සර ඉදල තිබ්බ කියල මං ඔය පරණ කතා දෙක තුනකම කියල ඇතිනේ.

මේ තියෙන්නේ එහෙම කරපු එක වැඩක් . මේ තියෙන්නේ තව එහෙම කරපු මක බාස් වැඩක්.   ඉතින් ඔය වැඩේටත් මං අත ගැහුවා. ඇත්තටම රොබෝ කිව්වට මේක රොබෝ නෙමේ මේ ඉබේ දුවන පොඩි කාර් කට්ටක්. මේ වැඩේ හරි බේසික් දෙයක්.  ඉන්ටර්නෙට් එකේ ඕනේ තරම් තියෙනවා හදන හැටි. කෑලි ටික ගෙනල්ල අටවන්න තියෙන්නේ.  මේවා කොච්චර බේසික් දේවල් උනත් කරලා බැලුවම පොඩි මෙව්වා එකක් තියෙනවා. ඒ කියන්නේ මේ තාක්ෂනෙත් එක්ක දැන් මේ බේසික් කාර් එකකට සෑහෙන වැඩක් කරන්න පුළුවන් විදියට හදන්න පුළුවන්. 

ඒ කියන්නේ ඔය කාර් එකට අපිට කතා කරලා අරෙහෙට මෙහෙට යන්න කියන්න පුළුවන්.

ඔන්නම්  අපේ පස්සෙන් එන්න කියන්න පුළුවන්.

ඕනනම් අර නයිට්‍රයිඩර් කාර් එකට වගේ ෆෝන් එකෙන් කතා කරලා ළඟට ගෙන්න ගන්න පුළුවන් 

ඊට අමතරව ලෝකේ ඕනෙම තැනක ඉඳල කන්ට්‍රෝල් කරන්න හදන්න පුළුවන් 

ඔය වගේ තව නානාප්‍රකාර ජාති කරන්න හරිම ලේසියි .

මේවා කොච්චර කරන්න පුළුවන් කියල දැනගෙන හිටියත් කවදාවත් කරල බලල නැති හින්ද මම ඔන්න ඔහේ ඔය කාර් එකක් හැදුවා රොබෝලා හැදීමේ ආරම්බයක් විදියට.

මේ තියෙන්නේ ඔය හදපු කාර් කටුව.





 මේ තියෙන්නේ වීඩියෝ එකකුත්... 




මේක මම හැදුවේ ගිය අගෝස්තු වගේ. ඊට පස්සෙ  සැරෙන් සැරේ ඔය පොඩි පොඩි සෙන්සර්  කෑලි එහෙම එකතු කරල ඕක වැඩි  දියුණු කරන්න හිතුවට ඒ හැටි දෙයක් කර ගන්න බැරි වුණා. ඔය දෙපත්තෙයි, පිටි පස්සෙයි තියෙන IR සෙන්සර් 3තුනත් හරියට වැඩ කරන්නේ නැහැ... මොකක්  හරි අවුලක් තියෙනවා.. මම ඒ සෙන්සර් ටික හයි කලේ මේ කාර් එක ඔය ගේ ඇතුලේ පුටු , මේස අස්සේ රිංගනකොට හිර වෙනවනේ.. අන්න ඒ වෙලාවට  ඉබේම හැරවෙන විදියට .. හැබැයි මට ඕනේ විදියට වැඩ කරන්නේ නැහැ තාම.... ඒ සෙන්සර් ඇක්ටිවේට් කරපු ගමන් කාර් එක ඉස්සරහට යන එක නතර වෙනවා... මේවා ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩි උපදෙසක් දෙන්න..
 
දැන් මේ වෑසක ඩයල් වෙන්න පටන් අරන් ඉන්න අපි මේ පොඩි පොඩි කොල්ලෝ කුරුට්ටෝ කරන වැඩ කරද්දී රට්ටු එක එක කතා කියන හින්ද මට ඕනේ උනා මේක ටිකක් ඇඩ්වාන්ස් විදියට හදන්න... ඒ හින්ද තමා ඔය තව සෙන්සර් කෑලි ටිකක් වැඩිපුර එල්ලුවේ... කොහොම හරි ඉතින් ඒක සාර්ථක නැහැ... හැබැයි මම මේක  මගේ ෆෝන් එකෙන් වගේම ලැප්ටොප් එකෙන් කන්ට්‍රෝල් කරන්න හැදුවා..  කතා කලාම එන එකයි, ඉන්ටර්නෙට් එකෙන් කන්ට්‍රෝල් කරන එකයි කරන්න එච්චර අමාරු නැහැ.. හැබැයි මට කම්මැලියි.. පස්සේ ඉන්න ගමන් කරන්ඩ ඕනේ...

මේ වැඩේ හරි විනෝද ජනක වැඩක්... කෑලි බෑලි ඕනේ එකක් ඔන්ලයින් ගන්න පුළුවන් හින්ද ගෙදරට වෙලා ඉන්නකොට කරන්න හොඳ විනොදාන්සයක්...

මේ දවස් වල 3D ප්‍රින්ටරයක් ගන්නත් පොඩි මෙව්වා එකක් ඇති වෙලා තියෙනවා...  මොකද ඔය මට කරන්න හිතෙන සමහර වැඩ කරන්න ගියාම අදාළ කෑලි නැති උනාම වැඩේ එපා වෙනවා... අර දියුණු වෙන උත්සාහවන්ත මිනිස්සු වගේ නැති කෑලි සෑහෙන්න මහන්සි වෙලා හොයාගෙන කොහොම හරි වැඩේ කරන ගතිය පිහිටලා නැහැ... වැඩක් කරන වෙලාවට අදාළ කෑල්ල අතේ දුරින් නැති උන ගමන් කරන වැඩේ නතර කරලා දාන වස කම්මැලි කමකුත් එක්ක තමා ඉතින් මම මේවා කරන්නේ... හෙහ් හෙහ් ...

3D ප්‍රින්ටර් හදන විදිත් ඕනේ තරම් තියෙනවා... ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න ආසයි,  හැබැයි  කම්මැලි කම ඊට වඩා ලොකුයි...  දැන් හෙන අඩු ගානට 3D ප්‍රින්ටර් තියෙන හින්ද හදන්න මහන්සි වෙන එක තේරුමක් නැහැ වගේ....


කොහොම හරි ඉතින් කොරෝනා තව කොච්චර කාලයක් ඇදෙයිද  කියල තවම විශ්වාසයක් නැති හින්දා තව මොන මොනවා හරි කරන්න පුළුවන් වෙයි... බලමුකෝ...        


      

Monday, February 08, 2021

කාල යක්ෂ - 11- අමුත්තෝ

මෙතෙක් කතාවේ සාරාංශයක් මෙතන තියෙනවා...

 9 වෙනි කොටසේදී අලෙන්ඩි ව පැහැර ගෙන ගිය කණ්ඩායම  ඇයව අමුතු ගොඩනැගිල්ලක් තුලට අරන් යනවා.. එහි යම් ප්‍රතිමා වන්දනාවක් මෙන්ම අධි තාක්ෂණික කර්මාන්තශාලාවකුත් ඇයට දකින්න ලැබෙනවා..  ඒ වගේම අමුතු ඇඳුමක් අද ගත්ත මනුස්සයෙක් ඇය සමග කතා කිරීමට කාමරයක් තුලට ආරාධනා කරලා ඇගේ වෙහෙස නිවා ගැනීමට ඇයට කාමරය ඉහලින් වූ නාන කාමරයක් වෙත යන්න කියනවා..

ඒ අතරේ ප්‍රයිකුල් ඇතුළු සෙබළ පිරිස එක දිගට එල්ල වෙච්ච අමනුෂ්‍ය ප්‍රහාර වලින් හොඳටම හෙම්බත් වෙලා විවේක ගන්න තීරණය කරනවා. ඒ අතරේ ප්‍රයිකුල් සහ සෙන්ට්‍රිනෝ ඊළඟට වෙන්න පුළුවන් ප්‍රහාරය ගැන සාකච්චා කරනවා. ඔවුන්ගේ අරමුණ වෙන්නේ කෙසේ හෝ ඒ ප්‍රහාරයෙන් ජීවිතය බේරා ගන්න එක.

10 වෙනි කොටසේ කර්වියෝ සහ විටාසෝ ඔවුන් රඳවා සිටි තැනින් උපක්‍රමශිලිව එලියට ගිහින් නිෂාට ඇමතුමක් දෙනවා. ඒ සිදුවීම් හැම දෙයක් ඇතුලෙම ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා කියල කර්වියෝ තේරුම් ගන්නවා. ඒ අතරේ නෙමින්දෙර් රජු නීෂා සහ ෆොර්මැටෝ එක්ක යනවා බ්‍රයිටෝ ව මරා දාල ඇලෙන්ඩි ව  පැහැර ගත්ත ලැබ් එක බලන්න. කර්වියෝ කලින් නීෂා ට  කියනවා ඔහුට ෆොර්මැටෝ ගැන සැකයක් තියෙනවා කියල. ලැබ් එකට ගිහින් එද්දී සිදුවන කතා බහේදී නිෂාටත්  ෆෝමැටෝ  ගේ හැසිරීම ගැන සියුම් සැකයක් ඇති වෙනවා.          

9 වෙනි කොටස ඉවර උනේ මෙහෙම 

එහි බිම එලා තිබුනු තද වර්ණයෙන් ‍‍‍‍‍‍‍‍‍‍යුතු බුමුතුරුණු මත වූ පැතලි ආසන 4ක් විය. කාමරයේ බිත්ති යම් කිසි රටාවක් සහිත අකුරු සහ රූපාක්ශර වැනි සිතුවම් වලින් පිරී තිබිනි. එහි ඇතුලු බිත්තියෙ වූ වසා තිබුනු දොර හැරුනුකොට කාමරයෙහි වෙන කිසිවක් නොවීය. කුඩා ගිනි දැල් සහිත අමුතු ලාම්පු කාමරයේ කොන් වල තබා තිබුනි.

"මම හිතන්නෙ ඔබට දැන් මහන්සි ඇති. ඒ වගේම මේ සිද්ද වෙච්ච දේවල් නිසා ඔබ කැළඹිලා ඇති. පොඩ්ඩක් ඉන්න යැයි පැවසූ ජඩ්, අත්පුඩියක් ගැසීය.

කාමරයේ අඳුරු වහලය විවර වී තරමක වේදිකාවක් එහි හරි මැදට පහත් විය.

"උඩට ගිහින් සූදානම් වෙලා එන්න. ඊට පස්සෙ අපි කතා කරමු." ජඩ් කාරුණික ලෙස පැවසීය.

අද එතැන් සිට..... 

වෙහෙසට පත්ව සිටි ඇලෙන්ඩි නාන කාමරය තුල වූ කුඩා තටාකයට බැස සිය සිරුර සැහැල්ලුවට පත් කර ගත්තාය. ඇගේ සෑම ක්‍රියාවක්ම නීරීක්ශනය වන බව දැන සිටියත් මෙවෙලෙහි ඇය ඒ ගැන වද නොවූවාය. ඇයට අවශ්‍ය වී තිබුනේ නිදහසේ මද වේලාවක් ගත කරමින් සිදුවූ සහ සිදුවන සියල්ල ගැන සිතා බැලීමට සහ සියල්ල මොහොතකට අමතක කර සැහැල්ලු වීමටත් ය. කුඩා ජල තටාකයේ වූ පිරිසිදු ජලය ඇයට ඒ අවස්ථාව ලබා දී තිබිණි. 



ඉතිරි ටික කියවන්න මෙතෙන්ට යන්න ....

මේ කතාව මීට පස්සේ දිගටම මිඩියම් එකේ ලියන්න මම තීරණය කළා.  මේ විදියට  කොටසක් දැම්ම කියල පොඩි පෝස්ට් එකක් එක්ක ලින්ක් එක විතරක් බ්ලොග් එකේ දාන්නම්. ඒකට හේතුව මම මේක දිගටම බ්ලොග් එකේ දානකොට මට අනිත් දේවල් ලියන්න හිතෙන්නේ නැති එක.  මම කැමති මේ බ්ලොග් එක මට හිතෙන දේවල් හිතෙන වෙලාවට ඔහේ ලියල දාන තැනක් කරන්න. කතන්දර ලියන්න ගියාම මට ඒ ආතල් එක ගන්න බැහැ .... හෙහ් හෙහ් ..

කතාව උනන්දුවෙන් බලන අයට සිදුවන පොඩි මෙව්වා එකට මගේ බලවත් කණගාටුව... තරහ නැතුව ඔය ලින්ක් එක ක්ලික් කරලා මිඩියම් එක බලන්න කියල ඉල්ලා සිටිනවා...  මිඩියම්  එකේ කමෙන්ට් කරන්න අපහසු නම්  බ්ලොග් එකේ ඕනෑම පොස්ට් එකක කමෙන්ට් එකක් දාන්න... 

මේ විදියට අත්හදා බලන්නම් කොටස් කිහිපයක්...  

  

Monday, January 11, 2021

බදුල්ල නයිට් මේල්


බදුල්ල නයිට් මේල් එක ගැන ෆේස්බුක්  එකේ ළඟදී දැකපු  ෆොටෝ ටිකක් හින්දා  මගේ පරණ මතක ආයේ අලුත් වුණා. 

බදුල්ල නයිට් මේල්  එකේ ගිහින් උදේ පාන්දර එළිවෙන කොට කඳුකරයේ ලස්සන නොදැකපු කෙනෙක් ඉන්නවනම් ඉස්සෙල්ලා ඒක කරලා ඉන්න. මම හිතන්නේ ලංකාවේ කෙනෙකුට ගන්න පුළුවන් අමතක නොවෙන අත්දැකීමක් ඒක.

දැන් මේ නොරටක හිර වෙලා හිටියට මමත් කඳුකරයේ උපන් කොල්ලෙක්.  

ඔබ 1960-80 අතරේ හපුතලේ පළාතේ ජිවත් වෙච්ච වැඩිහිටි කෙනෙක් නම් සමහර විට ඒ කාලේ හපුතලේ හේරත් විදියට ගොඩක් අය අඳුරන අපේ තාත්තව මතක ඇති. ඒ කාලේ දේශපාලන ලෝකේ,  ඒ පළාතේ හිටපු ජනප්‍රිය චරිතයක් වගේම, දේශපාලන රැස්වීම් වලට නැතුවම බැරි  අති දක්ෂ කථිකයෙක් අපේ තාත්තා.  තාත්ත ගැන නොකියා මට හපුතලේ ගැන කියන්න බැරි නිසයි මේ චුට්ටක් කිව්වේ. තාත්ත ගැන මම ඉස්සරහට ලියන්නම්.

මම ඉපදුනේ හපුතලේ උනාට හැදුනේ වැඩුනේ කොළඹට කිට්ටුව අපේ අම්මලාගේ ගමේ. මම ඉපදිලා අවුරුදු 2ක්  විතර යද්දී තාත්තා හපුතලේ අතෑරලා අම්මලාගේ ගමේ ගෙයක් හදාගෙන පදිංචි වෙච්ච නිසා  අපි හපුතලෙන් දුරස් වුණා. ඒත් ඒක හින්ද මට මං හැදුනු  ගමේ හිටපු  මගේ යාලුවෝ සෙට් එකට  නොලැබුණ විදියට කෝච්චියේ යන්න පුළුවන් උපන් ගමක් ලැබුණා.

ඒ කාලේ තරමක් වියදම් අධික වැඩක් වෙච්ච කොච්චි ගමන් අපිට එතරම් කරදරයක් නොවුනේ අම්මට ඔෆිස් එකෙන් වොරන්ට් ලියා ගන්න පුළුවන් වෙච්ච හින්දා. මට මතකයි අම්මා ඔය වොරන්ට් ගැන හරියට කතා වෙනවා. මට ඒ දවස් වල ඒ මොනවාද කියල ඒ හැටි අවබෝධයක් තිබ්බේ නැහැ ( බොරු කියන්නේ මොකටද අදටත් මම දන්නේ නැහැ ඔය වොරන්ට් කියන්නේ මොනවද කියල ... හෙහ් හෙහ් )

කොහොම හරි ඉතින් අම්ම අපි 4 දෙනාට වොරන්ට් ලියාගෙන නයිට් මේල් එකේ හපුතලේ යනවා.

හපුතලේ යෑම කියන්නේ මට කවදාවත් එපා නොවන වැඩක්. විශේෂයෙන් කෝච්චියේ යන එක. පොඩි කාලේ බස් එකේ යද්දී නම් බලන්ගොඩින්  එහා ටික තනිකරම වමනේ ගොඩක් වුනත්, බස් එකෙන් බැහැල ගෙදරට යන කොට දැනෙන සුවඳ, හීතල, වටපිටාවේ ලස්සන හැමදාම අර වමනේ අපහසුව අමතක කරලා දැම්මා.   කෝච්චිය කියන්නේ හැබැයි වමනේ ප්‍රශ්න නැති තනිකරම ආතල්ම ගමනක්.

මට මතක විදියට නයිට් මේල් එක කොළඹ කොටුවෙන් රෑ 8.15 ට කොහෙද පිට වෙනවා. ඉතින් ඔය හපුතලේ යන දවස් වලට අපි ගෙදරින් හවස 5 ට විතර පිටත් වෙනවා. අපේ ගෙදර තිබ්බේ ප්‍රධාන පාරෙන් 900m  විතර දුරින් හින්ද ලොකු ට්‍රැවලින් බෑග්  එහෙම උස්සගෙන ඔය ටික පයින් යද්දී ගමේ හැමෝම දැනගන්නවා අපි හපුතලේ යනවා කියල.  ඔන්න ඉතින් ගෙදරින් එලියට බැහැපු  වෙලාවේ ඉඳල මගදී  හම්බෙන හැමෝම,

"ආ කට්ටියම ගමේ යනවා වගේ ...."

අපේ තාත්තා .. "ඔව් මේ ගෙවල් පැත්තේ ගිහින් එන්න කියල..."

ආ කවද්ද එන්නේ ..

දවස් දෙක තුනකින් එනවා ...

හා හොඳයි හොඳයි ...

"මෙන්න මේ ඉලන්දාරියට දෙන්න ඔය බෑග්  එකක් උස්සන් යන්න .."

එහෙම කියල මගේ ඔලුවත් පොඩ්ඩක් අත ගාල තමා ඔය ගොඩක් වැඩිහිටි උදවිය යන්නේ...

අපරාදේ කියන්න බැහැ ඔය දුර යද්දී අවම 10 පාරක් වත් ඔය ටික කියවෙනවා

ඔය ඔහොම යද්දී හම්බ වෙච්ච එක සීය කෙනෙක් හිටියා. ඒ දවස් වල එයාට කිව්වේ පොඩි මහත්තය කියල...    

අඩි 6කට වඩා උස කළු කෙට්ටු චරිතයක්. කොයි වෙලේ බැලුවත් සුරුට්ටුව කටේ. ඉතින් ඔය මනුස්සය මගදී හම්බ උනොත් , ඔය ටිකට අමතරව අපේ අම්මයි අක්කයි "අම්මෝ සුරුට්ටු ගඳ කියලත් කියනවා.. " හෙහ් හෙහ් 

මම  නම් ඒ සුරුට්ටු  සුවඳට හෙන ආසයි. තව චුට්ටක් විතර ලොකු වෙලා හොඳ කියුබන් සුරුට්ටුවක්ම උරන්න කියල තමා මම නම් හිතාගෙන ඉන්නේ..

ඉතින් ඔහොම බස් එකේ ඇවිල්ල කොහොම හරි 7 විතර වෙද්දී අපි කොටුව ස්ටේසමට එනවා.  ඒ  ආපු ගමන් අපේ තාත්තට කොහේ හරි කඩේකින් කන්න ඕනේ වෙනවා.  අම්ම එදාට වැඩට නොගිහින් හදන එළවලු රොටි, රෑට කන්න උයා ගන්න බත් මුල්, බිස්කට් ජාති එහෙම මොනවා තිබ්බත් අපේ තාත්තට කඩේකට ගිහින් මොනවා හරි කාල ප්ලේන්ටියක් බොන්න ඕනෙම වෙනවා. ඉතින් අම්ම බනිද්දි යනවා ඔය බස් ස්ටෑන්ඩ් එකේ එක කිට්ටුව තියෙන කඩේකට..  ඒ දවස් වල කොත්තු රොටි කියල ජාතියක් නම් තිබ්බද කියල මට මතක නැහැ. හැබැයි ඉතින් කොටුවේ කඩවල තියෙන නානාප්‍රකාර කෑම ජාති වල සුවඳ මේ දැනුත් දැනෙනවා වගේ.

ඔය කෑමට අමතරව තාත්තා බුලත් විට කනවා. ඉතින් බුලත් විටක්, දෙකක් එහෙම දැක්කොත් ගන්නවා. ඊට පස්සේ ඉතින් කෝච්චිය එනකම් බලන් ඉන්නවා. 

කෝච්චියට නැගල ඉන්නකොට ඉස්සෝ වඩේ, කඩල එහෙම ආවම අම්ම බනිද්දි ඒවත් ගන්නවා. ගමන පටන් ගත්තම ඉතින් අක්කයි මායි රණ්ඩු වේවි ඕවා කකා යන එක තමා කරන්නේ.  කෝච්චියේ ගමන පටන් ගත්තම ජනේලෙන් එන හුලං පාරත් වැදී වැදී පාර දෙපැත්තේ පාස් වෙන ගෙවල්, වාහන , කළු වරට පේන ගස් කොලන් දිහා බලාගෙන යන එක මට නම් හරි විනෝද ජනක වැඩක්. වැදගත්ම දේ තමා බස් වල යද්දී වගේ නෙමේ කෝච්චියේ ෆුට් බෝඩ් එකේ යන එකට අම්මයි තාත්තයි වැඩිය විරුද්ධ වෙන්නේ නැති එක. මුලින්ම යද්දී තාත්ත ඇවිල්ල අතින් අල්ලන් මට ෆුට් බෝඩ් එකේ යන්න ඉඩ දෙනවා. සමහර දවස් වලට තාත්තා එක්ක පත්තර කොලයක් එලාගෙන ෆුට්බෝඩ් එක ළඟ බිම වාඩි වෙලත් ගිහින් තියෙනවා. මට මතකයි ගොඩක් වෙලාවට කෝච්චියේ බිම මිනිස්සු වාඩි වෙලා යනවා. ගොඩක් වෙලාවට දෙමළ මිනිස්සු තමා. මට මතකයි අපි සීට් වල වාඩි වෙලා යද්දී බිම ඉඳගෙන යන ඒ මිනිස්සු දැක්කම මට හරි අප්සට්... හැබැයි ඉතින් මාත් බිම ඉදගෙන යද්දී ඒක ගානක් නැති වෙනවා.  

ගමනේ මුල් හරිය ඔය විදියට ගිහින් ටිකෙන් ටික බිම් ගෙවල් අහුවෙද්දී ඔන්න හූ කියන වැඩේ පටන් ගන්නවා. බිම් ගේ ඇතුලෙන් යද්දී ජනේලෙන් ඔලුව දාල හූ කියන එක හරි ජොලි වැඩක්. අක්කයි මායි තරඟෙට හූ කියනවා. මට මතකයි කෝච්චිවල යන ගොඩක් ළමයි වගේම ලොකු අයත් ඒ දවස් වල ඔය හූ කියන වැඩේ කරනවා. දැන් නම් දෙමව්පියෝ එහෙම කරන්න දෙනවද දන්නේ නැහැ. අපිට නම් අම්මයි තාත්තයි තමා ඕව පුරුදු කලේ. කොටින්ම මට දැනටත් කාර් එකේ උමගක් අස්සෙන් යද්දී ඔය හූ කීමේ ආසාව එනවා. සමහර දවස් වලට එහෙම හූ කියනවා කාර් එක ඇතුලෙත්... ඒවා හරි ජොලි වැඩ..

ගමන අතර මගදී ඉතින් ගෙනාපු බත්මුලක් , පාන් ටිකක් එහෙම කනවා. ගොඩක් වෙලාවට කෝච්චිය සිග්නල් පරක්කු වෙලා නතර කරන් ඉන්නවනේ. ඒක තමා ඒ දවස් වල එපාම කරපු වැඩේ. අනිත් එක ඔය පේරාදෙණියේදී ද කොහෙද මොකක් ද මාරුවක් තියෙනවා නේද බදුලු යන කෝච්චියේ.. ඒකත්  එපා වෙන වැඩක්.. මොකද පොඩි කාලේ වෙලාව යන්නේ හරි හෙමින් නේ...  නතර කරගෙන ඉන්නකොට එපා වෙනවා.    ඊට අමතරව ඔය ස්ටේෂන් වල නතර කරපුවහම එක දොරකින් බැහැල ගිහින් අනිත් දොරෙන් නැගල එන එක එහෙම  හරි ලොකු වැඩක් වගේම ජොලි වැඩක්...  

ඔය අතරේ සැරෙන් සැරේ ගිහින් පොඩ්ඩක් නිදත් ගන්නවා. 

අපි එක සැරයක් හෝ දෙසැරයක් නිදන මැදිරි බුක් කරගෙන ගියා. මට මතක විදියට හපුතලේ පොඩි අක්කගේ වෙඩින් එකට යද්දී එහෙම ගියා  ඒ වෙඩිමේ  ජය මංගල ගාථා කියන්න හිටියේ අපේ අක්කයි, ලොකු අම්මගේ දුව වෙච්ච චූටි අක්කයි, තව අක්කගේ යාලුවෙක් වෙච්ච ගීතානි අක්කත් හිටියද මන්ද, කොහොම හරි ඔය ගමනේදී අපි ගියේ නිදන මැදිරි බුක් කරන් තමා ගියේ .. ඒ ගමනට නම් අපේ නංගිත් ආවද කොහෙද අපිත් එක්ක කෝච්චියේ යන්න.  නිදන මැදිරි ගමන හරි ජොලි මොකද කට්ටිය ගොඩයි නේ.. උඩ ඇඳයි යට ඇඳයි ද කොහෙද තිබුනේ.  අපි කට්ටිය සිංදු කිය කිය, ගෑනු පිරිමි මල් පලතුරු දදා තමා  මුළු රෑම ගමන ගියේ... මං හිතන්නේ කාඩ් ගහන වැඩෙත් කළා. ඒ වෙද්දී  අපේ තාත්තා කාඩ් කුට්ටමේ සෙල්ලම් සෑහෙන ගොඩක් අපිට උගන්නල තිබුනේ. ඒ දවස් වල අපේ ගෙදර තමා කට්ටිය කාඩ් ගහන්න සෙට් වෙන්නේ, ඕමි, බුරුවා, 304, තව අර කොළ පෙරලන සෙල්ලමක් තිබ්බා, හෙන ගොඩක් සෙල්ලන් ඒ දවස් වල දැනගෙන හිටියා...  කොටින්ම එලි වෙනකම් නින්දක් නැතුව නටනවා එහෙම දවස් වලට 

ඉතින් ඔහොම යන නයිට් මේල් ගමනේ මම ආසම ටික එන්නේ උදේ පාන්දර... මම හිතන්නේ කෝච්චිය හපුතලේ ස්ටේෂන් එකට යද්දී පාන්දර 5.30-6.30 වගේ වෙලාවක් වෙනවා.. ඒ වෙද්දී කඳු අතරෙන් ඉර එළිය  ලාවට වැටීගෙන,  කැලෑවයි,  මිදුමයි  අස්සෙන් කෝච්චිය යන එක තරම් ලස්සන  අත්දැකීමක්  මට නම් මතක් කර ගන්න බැහැ... ඒ පරිසරෙන් එන සුවඳ තාමත් දැනෙනවා වගේ...  ඒ වෙලාවට කොච්චි පාරේ ඉන්න මිනිස්සු හිනා වේවි අත වනනවා. පරිසරයේ තියෙන්නේ පුදුම නැවුම් ගාම්භීර බවක්.. ඔය නයිට් මේල්  ගමනට මම ආස ඔන්න ඔය කොටස හින්ද..    ඊට පස්සේ හීතලේ වෙව්ල වෙව්ල හපුතලේ ස්ටේෂන් එකෙන් බැහැල ඉන්න එකත් ඒ වගේ... පුදුම සුන්දර හැඟීමක් ඒක.

හපුතලේ ස්ටේෂන් එකේ ඉඳල තාත්තගේ මහ ගෙදරට ටිකක් දුරයි.  ස්ටේෂන් එකෙන් බැහැල පොඩ්ඩක් එලියට එද්දී ගොඩක් දවස් වලට තාත්තව දන්නා අය හම්බ වෙනවා. කීප වතාවක් ඒ අයගේ වාහන වල අපිව ගෙනත් බස්සපු අවස්ථා තිබුණා. ඒ කාලේ ඉතින් වෑන් එකක වගේ ගමනක් යන්න ලැබෙන එක අමුතුම විදියේ ආතල් එකක් නේ.. එහෙම කවුරුවත් සෙට් වුනේ නැත්නම් බස් එකේ. තාත්තගේ මහ ගෙවල් තිබුනේ හල්දුම්මුල්ල,  වල්හපුතැන්න මහා විද්‍යාලේ ගාවින් ඇතුලට යන්න තියෙන පාරේ. ඒ කියන්නේ හපුතලේ ටවුන් එකේ ඉඳල කොළඹ පාරේ. ඔය ගමන බස් එකේ එද්දී බෙරගල හරිය එනකොට හෙන බයයි ඒ දවස් වල. පාර හදන්න කලින් ඒ ටික හරි පටුයි. මහා ප්‍රපාතේ පේනකොට ඉස්සර හරි බයයි. දැන් නම් එහෙම ගතියක් දැනෙන්න නැහැ ඒ පාරේ යද්දී.  




මට මතක විදියට ඔය බස් එන්නේ හාල්අටුතැන්නට විතරයි. දිගටම එන බස් එකක් හම්බ වුනේ නැත්නම් එතනින් බැහැල ඒ ටික පයින්. ඉතින් අර බෑග්  ටිකත් උස්සන් බස්සෙකෙන් බැහැල එන ටිකත් අර මුලින් ගමන පටන් ගත්තා වගේම තමා..

"අහ්... හේරත් මහත්තයා... ගොඩක් කාලෙකින්..."

"දැන් එන ගමන් ද ..?"

"දැන් කොළඹ නේද ඉන්නේ...?" 

" නයිට් මේල් එකේද  ආවේ..."

"මේ පුතා ද ...?" දුව නම් දැන් හරි ලොකුයි නේ.. 

"කවද්ද අපහු යන්නේ... ? "

ඔය ප්‍රශ්න ටිකට අමතරව හම්බ වෙන පුද්ගලයා අනුව තව තව එකතු වෙනවා. සමහර වෙලාවට  ඉතින් දේශපාලන කතාත් ඇදිල ඇවිල්ල තාත්තත් කතාවට සෙට් වෙනවා.. 

ඔහොම අඩුම තරමේ දහ පාලොස් දෙනෙක් එක්කවත් මග නතර වේවි කතා බහ කර කර තමා ගෙදරට යන්නේ... 

මට හොඳට මතකයි අපි තාත්තත් එක්ක අන්තිමට ඔහොම ගිය ගමනේදී කතා වුනා ඊළඟ සැරේ එද්දී බෝඩ් එකක  ඔය ප්‍රශ්න ටිකට උත්තර   ලියාගෙන අරන් එමු කියල... හෙහ් හෙහ්.. මම හිතන්නේ ඒ වෙද්දී මම A/L  කරන්න කිට්ටුවද කොහෙද.

මේක ලියද්දි මතක් වෙච්ච තව සිද්දියක්. එක සැරයක් ඔහොම ආපු ගමනකදී තාත්තා කිව්වා ඉදල්ගස්හින්න ස්ටේෂන් එකෙන් බැහැල ඔය හල්දුම්මුල්ලට එන්න පුළුවන් කියල. ඉතින් අපි එදා හපුතලේ ස්ටේෂන් එකට යන්නේ නැතුව ඉදල්ගස්හින්න ස්ටේෂන් එකෙන් බැහැල ස්ටේෂන් එකට පිටි පස්සෙන් තිබ්බ පොඩි අඩි පාරක් දිගේ හෙන පල්ලමක් බැහැගෙන ආවා. වතු වල වැඩ කරන මිනිසුන්ගේ ලයින් කාමර අස්සෙන් ගල් උඩ නැග නැග ආපු ඒ ගමනත් කවදාවත් අමතක නොවන ගමනක්. මට මතකයි ඒ ලයින් වල හිටපු පොඩි ළමයින්ට අපි ළඟ තිබ්බ බිස්කට් එහෙම දුන්නා.  මට ඒ පාර කොහෙටද වැටෙන්න කියල මතක නැහැ හැබැයි එතන ඉඳල  ගෙදරට පයින් යන්න පුළුවන් කම තිබ්බා.        

ඉතින් නයිට්මෙල් එකෙන් බැහැල ඔය විදියට පාර දිගේ ගමේම මිනිස්සු එක්ක කතා කර කර පයිනස් කැලයක් අස්සෙන් ගිහින් යන්න තිබ්බ තාත්තගේ ගෙදර සහ තාත්තගේ අක්කා හිටපු ගෙදරට තමා අපි යන්නේ. තාත්තගේ ගෙදර මම පොඩි කාලේ ඉඳලම අතැරලා දාල තිබුනේ. පොඩිම කාලේ එහෙ හිටියා ඇල්බට් සියා කියල තාත්තගේ මාම කෙනෙක්. එයා මැරුණට පස්සේ ඒ ගෙදර කවුරුත් හිටියේ නැහැ. අපි ගිහින් නතර වුනේ තාත්තගේ අක්කගේ ගෙදර. 

ඒ ගෙදරත් එක්ක තව අපුරු මතක ගොඩක් තියෙනවා... ලිප්බෝක්කක් ලඟට වෙලා හීතලේ උණු කෝපි බිබී නැන්දම්මා (තාත්තගේ අක්කට අපි කිව්වේ නැන්දම්මා කියල..) උයල දෙන රතු කැකුළු බතුයි,  ගෝව කොළ මැල්ලුමයි, ඔය තව මොකක් හරි හොද්දක් එක්ක බත් කන එක,  ලස්සන වසිලිස්සා, තොල්යා සහ ඔහුගේ යහළුවෝ, මගේ හපන්කම්.. මම රුසියන් කතා ඔක්කොම කියෙව්වේ එහෙදි...  පයිනස් කැලෑවේ සුවඳ, ගෙදරට පල්ලෙහා තිබ්බ දොලෙන් නාපු හැටි... තව කතන්දර ගොඩක් මතක් වෙනවා... හෙහ් හෙහ් ..        

කවද හරි ටයිම් ට්‍රැවල් කරන්න පුළුවන් උනොත් මම ඉස්සෙල්ලම යන්නේ මෙන්න මේ කාලෙට....