Tuesday, October 26, 2021

අධික බුසී හෙවත් හෙන වැඩ


        රට්ටු නම් කියයි කොච්චර වැඩ තිබ්බත් බ්ලොග් එකක් ලියන්න වෙලාවක් හොයා ගන්න පුළුවන් කියල ... හැබැයි රට්ටු දන්නේ නැහැ මම අලුතින් දාපු දේවල් කියවන්න කියල මාසයක් විතර බ්‍රව්සරේ වහන්නේ නැතුව තිබිච්ච බ්ලොග් එකක් රිෆ්‍රෙස් කරලා, ඒක රිෆ්‍රෙස් වෙන ටිකට වෙන වැඩකට ගිහින් ආයේ අර රිෆ්‍රෙස් වෙච්ච එක බලන්න ආවේ දවස් තුනකට පස්සේ කියල ... වෙන කොහෙවත් ගිහිල්ලා නෙමේ .. ඒ කොම්පුටරේම උදේ ඉදන් හවස් වෙනකම් වෙන වැඩ .. අරක රිෆ්‍රෙස් වෙන්න යන වෙලාව වත් බලන් ඉන්න බැරි තරම් වැඩ තියෙනකොට කොහොමද මනුස්සයෙක් බ්ලොග් ලියන්නේ ... රට්ටු දන්න බම්බුව ...හුහ් ..

දැන් කියයි ඔය කොච්චර කිව්වත් බ්ලොග් එකේ බොරු ටිකක් ලියන්න පැයක් හොයා ගන්න බැරි මොකද කියල ... එහෙම කරන්ඩ තිබ්බා පහුගිය කාලේ මේ රටේ Disney+ දුන්නේ නැත්නම්, මෙච්චර කල් කාලේ කන්ඩ හිටියේ Netflix විතරයි .. Disney+ ආවට පස්සේ මොකක් බලන්නද කියල හිතන්නම විනාඩි 10ක් විතර යනවා .. ඊට පස්සේ ඒකෙයි මේකෙයි තියෙන කතා ටික බලන්න තව විනාඩි 10ක් විතර යනවා .. ඊට පස්සේ කතාවක් හොයාගෙන බලන්න හදද්දී එක්කෝ චු බරයි , එක්කෝ තේ බොන්න ඕනේ .. අරව මෙව්වා ඒවා ඉවර වෙලා කතාව බලන්න තියෙන්නේ පැය බාගයයි ..  ඔය කතාවක් පැය බාගෙන් බලන්න බෑනේ .. කොහොමත් එක සැරේට කොටස් 3-4ක් වත් බලන්ඩ ඕනේ ... එතකොට කොහෙද ඉතින් බ්ලොග් ලියන්න වෙලාවක් ... රට්ටු දන්න බම්බුව ...හුහ් ..

මේ බ්ලොග් කලාව නගා හිටවන්න ඕනේ කියල ඔය ඔක්කොම බාධක මැඩගෙන මම මේ දැන් මාසෙකට විතර කලින් ඔන්න ලියන්න හිතුවා .. ඒ හිතද්දීම මෙන්න Apple TV එකේ Foundation යන්න ගත්තා .. Foundation කිව්වේ මේ ඔය අල්ලපු ගෙදර මනුස්සය ගේ හදන්න දාන Foundation නෙමේ .. Asimov ගේ Foundation. ඉතිං දැන් කාටද පුළුවන් ඕක නොබලා බ්ලොග් ලියන්න ... බ්ලොග් කලාව යකාට පලයන් කියල මම Foundation බැලුවා..   Disney+, Netflix වගේද Apple TV.  රට්ටු දන්න බම්බුව ...හුහ් ..

රට්ටුන්ටයි , බ්ලොග් වලටයි  බම්බු ගහන්න කියල ඔන්න ඔහොම ගැලක්ටික් එම්පයර් වල ප්‍රස්න ඔලුවේ දාගෙන අධික බුසි වෙලා ඉද්දි තමා අපේ හිතාදර නීදී ඊයේ දාපු කොමෙන්ට් එක දැක්කේ ..... අන්න ඒ වෙලාවේ තමා ඔන්න බ්ලොග් කියන්නෙත් යකඩෝ හෙනම ආතල් ජනක මෙව්වා එකක් නේද , මේ අපබ්‍රංස බල බල ඉන්නේ නැතුව අච්චර අපුරු මිනිස්සු පොඩ්ඩක් ආස්සරේ කරන්න ඕනේ නේද කියන මෙව්වා එක මගේ මෙව්වා එකට මෙව්වා උනේ ...

එහෙම මෙව්වා වෙලා මේක බැලුවම තමා මතක් වුනේ ... අන්න අර කෙල්ලෙකුයි , රාස්සයෙකුයි  දාගෙන ලියපු කතාවකුත් තිබ්බ නේද බොලේ කියල ...  මම හිතන්නේ ඒ කතාව දැන් වෙන විදියකට ඒ විශ්වය ඇතුලේ ඉවර වෙලා ඇති .. මම ඕක ආයේ ලියන්න ගිහින් නිකං මොකටද ඒ මිනිස්සුන්ට ප්‍රශ්න ඇති කරන්නේ ... සමහරවිට ස්කෘලොක් කියන්නේ හෙන බොරුවක් කියල ඔය රටේ එකෙක් වර්ගපුර්නිකාවක් ලියල ස්කෘලොක්ව චාටර්ම කරලා දාල ඇති ...  අර ඇලෙන්ඩි  කෙල්ලත් දැන් පවුලක් පන්සලක් වෙලා ඇති ... නහින දෙහින කාලේ හිටපු නෙමින්දෙර් රජ්ජුරුවන්ටත් ඇල්සයිමර් හැදිලා ඇති .. ආයේ ඕවා ඇදල අරං තේරුමක් නැහැ ..ඒ මිනිස්සු  ඔන්න ඔහේ හිටපුවාවේ .. 

අධික බුසි නැති වෙලාවක ආයේ මොනවා හරි ලියන එක ලියනවාමයි ...එතකං  බායි !