Thursday, February 09, 2023

21 වසරක්


ඉරි වැටුණු සරමයි  අත්කොට ෂර්ට් එකයි , නැත්නම් අත්දිග ෂර්ට් එකයි කලිසමයි එක්ක කලුපාට ලෙදර් බෑග් එක. 

බයිසිකලේ  උදේ හවස ගමන් බිමන් ගිය, තනි අතින්  ගෙදර දොරේ හැම වැඩම කරලා, පුදුම රසට උයල, ගෙදරට එන ඕනේ කෙනෙකුට කන්න බොන්න නොදී ආපහු යන්න නො දුන්න , යාලුවන්ගේ, නෑයන් ගේ , ගමේ අයගේ , දන්න කියන ඕනේ කෙනෙකුගේ වැඩකට බෑ නොකියා උදව්පදව් කරපු, 

පොඩි දේටත් සංවේදී වෙන, ඇස්වලට කඳුළු ගලන , පොඩි දරුවන්ට පණ වගේ ආදරේ කරපු .. හවසට පොඩි ෂොට් එකක් දාගෙන ඇවිල්ල සාලේ මැද්දේ නිදාගෙන පෙළපාලි යද්දී කෑ ගගහ කියපු  සිංදු කියන .. යූ.ඇන්.පි කාරයෝ  , ජෙප්පෝ පෙන්නන්න බැරි,

ජිවත් වෙන්න විදියක්  නැතුව  වගා කරපු , උගස් අඹරන මැෂිමකට  වම් අතේ මහපට ඇඟිල්ල විතරක් ඉතිරි කරන්න ඉඩ දීපු,   කසිප්පු පෙරපු,  බදාම අනපු , තමන්ගේම කියල ගොඩනැගිලි කොන්ත්‍රාත් සමාගමක් පටන් ගත්තු , සල්ලි හම්බ කරන්න නොතේරුණු     

වයස අවුරුදු 35-40 ක් විතර වෙද්දී ලෝකේ රටවල් විසි ගානක විතර ඇවිදලා තිබ්බ , එවකට රටේ හිටපු අගමැති, මැති ඇමතිල එක්ක එකට කාපු බීපු , ඕනේ තැනක, ඕනේ දේශපාලකයෙක් එක්ක, දේශපාලන වේදිකාවක  බය නැතුව කතා කරලා, තමන්ට ඕනේ වැඩේ කරගන්න පුළුවන්,  තමන්ගේ  අත්සනින්  මිනිස්සුන්ට රස්සා අරන් දීපු,  

කවදාවත් බණක් බාවනාවක් නොකරපු, පන්සලේ හැම වැඩේම කරට අරගෙන කරලා දීපු , හැම පෝයටම පොල්  සම්බෝලයක් , පරිප්පු හොද්දක් හදාගෙන පන්සලට ගිහින් දානේ  බෙදපු .., කවදාවත් ගාථා නොකියන ,  දණ ගහල වඳින්නේ නැති,  ලොකු හාමුදුරුවන්ගේ හොඳම හිතවතා වෙච්ච.. 

හොර ගණයින්ට කුණු හරුපෙන් බනින..

හතර වරිගේ නෑයින් හැමෝගෙම ආදරය එක විදියට ලබපු , ආස්සරේ කරපු හැමෝම හැමදාම ආදරයෙන් මතක් කරන චරිතයක් වෙච්ච, වචන වලින් නැතුව ක්‍රියාවෙන් හැමෝටම ආදරය කරපු අවුරුදු 55ක් විතරක් ජිවත් වෙච්ච තාත්තා නැතිවෙලා අවුරුදු 21 ක් ගෙවිලා..

තාත්ත ගැන මේ ලියපු සමරිය ඇතුලේ  තව කතා ගොඩක් තියෙනවා .. ඒ වගේ ජිවත් වෙච්ච චරිතයක්  මට තාම හම්බවෙලා නැහැ. 

තාත්තා පර්ෆෙක්ට් කෙනෙක් නෙමේ … හැබැයි සිරා චරිතයක්… සංවේදී ගැහැණු ආදරයත් , දඩබ්බර පිරිමි  කමත් දෙකම තිබිච්ච, ඒ දෙකම හංගන්නේ නැතුව පෙන්නපු  කෙනෙක්…

ආගමික පොත පතින් , ගැඹුරු බණ වලින් සංකීර්ණ නිවනක් හොයන අපිට මිස් වෙච්ච සරල ජීවිතය තාත්ත ගෙව්වා කියල මට හිතෙනවා ..