Thursday, November 02, 2023

මැලේසියන් ටොපිය


යටගිය දවසක ඉස්පිරිතාලෙක කෙල වෙලා ඉන්න වෙලාවක  ලියන්න කියල පටන් අරන් ඉවර කරගන්න බැරිවෙච්ච මෙන්න මේක මේ ගිය ශනිදා උදේ 6.27ට යෙදෙන සුබ මොහොතින් ලියන්න පටන් ගත්ත ඉවරයක් කරලා දාන්න හිතාගෙන . 

මැලේසියාව කියන්නේ සිරා ටොපියක් .. ඉස්සර අපි කාපු ටොපි වලින් මම ආසම උනේ Milady ටොපි වලට .. තාම තියෙනවද කියල නම් දන්නේ නැහැ .. මේ තියෙන්නේ ෆොටෝ එකක් 




මම 2013දී මැලේසියාවට ගියා. ඔය මැලේසියන් කතා මේ බ්ලොග් එකේ සෑහෙන්න ලියල ඇති...

මොන ටොපිය උනත් ටික දවසක් කනකොට එපා වෙනවනේ ..  ඉතින් ඔන්න ඔහොම එපා වෙලා අපි 2017 ආයේ ලංකාවට ගියා ..  මේ තියෙන්නේ ඒ යන්න කලින් මැලේසියාව ගැන මගේ සත දෙක ලියල දාපු එකක්.

ඔය ගියාට අපිට සුන්දර සිරි ලංකාවේ අවුරුද්දක්වත් ඉන්න ලැබුනේ නැහැ ... අර වන පෙත අඬගසයි වගේ මැලේසියන් ටොපි රස අපිට ආයේ එහෙට යන්න වැඩ සිද්ද කලා .. 

2018 ආයේ මැලේසියාවට ගියාම තමා මේ ටොපියේ තියෙන බරපතලකම තේරුම් ගියේ .

ටොපි කියන්නේ කනකම් රසවත් උනාට දන්නේම නැතිව දිය වෙලා යන ජාතියක් .. 

මැලේසියාවත් ටොපියක් ! අපිට හැමදාම කන්න බැහැ ... 

ඔන්න ටොපියේ රසට වහ වැටිලා ගියාට අන්තිමේ යන්න එන්න තැනක් නැති වෙනවා නේද කියන මෙව්වා එක මෙව්වා උනාට පස්සේ තමා මේ නුතන සිරි ලාංකික ෆැන්ටසි දේශය වෙච්ච ඩවුන් අන්ඩරයට මෙව්වා වෙන එක ගැන මම තදින්ම මෙව්වා කරන්න පටන් ගත්තේ.. ඔහේලට කියන්න මට ඔය  ඩවුන් අන්ඩරය ගැන තඹ සතේක මෙව්වා එකක් ඒ වෙනකං තිබ්බේ නැහැ .. 

මට ඉස්සර ඉඳල ආස වෙලා තිබ්බේ යනවනම් ජර්මනි, රුසියා, ඕලන්දේ , එංගලන්තේ , ප්‍රන්සේ, හපුතලේ වගේ ලස්සන ස්විට්සර්ලන්තේ   වගේ රටවල් ගැන ආසාවක් .. මේ ඩවුන් අන්ඩර උණ තිබ්බේ ඩවුන්  සවුත් දේසේ උපන් අපේ උන්දැට .. කඳුකරේ උපන් කම්මැලි මම ඕස්ට්‍රේලියාව ගැන දැනගෙන හිටියේ කැන්ගරුවෝ සහ ඔපෙරා හවුස් එක විතරයි .. 

අපේ මැරිච්ච ආච්චිට හාල් ගරන්න මට තාම හිතා ගන්න බැහැ මේ සිරි ලාංකිකයින්ට තියෙන මෙල්බන් උණට හේතුව මොකක් ද කියල ...

ඔන්න ඉතින් කොහොම හරි මැලේසියන් ටොපිය  කකා හිටපු අපි අර යට ගිය දවස අවසන් රාජපස්ස රජු ලංකාව පාලනය කරන සමයේ ආපු කෝවිඩ් -19 මාරක වසංගතේ පාලොස්දාස් දෙවෙනි වෙරියන්ට් එක වෙච්ච ඔමික්‍රොන් ද මොකක් ද කියන එක ඇවිල්ල විසිපන්දාස් තුන්වෙනි  වතාවට විතර රටවල් ලොක් ඩවුන් කරන්නයි , එයාපෝර්ට් වහන්නයි පටන් ගන්නකොටම, තිබ්බ බඩු මුට්ටු, යාන වාහන, ගේ දොර ඔක්කොම දාල    ටාර් ගාල මෙල්බන් හන්දියට පැන ගත්තා ..  හරියටම  2021 දෙසැම්බර් මාසේ පළවෙනිදා උදේ ඕස්ට්‍රේලියාව වහන්න හදද්දීම  අපි ඇතුලේ ..

අවුරුදු 3ක් විතර ට්‍රයි කරලා, මොන මගුලක් ද කියල ඔන්න  ඔහේ අනාත නාථ  වෙලා  ඉන්නකොට  යාලුවෙක් එවපු වට්සැප් මැසේජ් එකක තිබ්බ ජොබ් එකකට CV එක දාලා , එකෙන් ආපු ඉන්ටර්විව් ගින්දර වගේ ගොඩ දාල , අලි දෙන්නම්, කොටි දෙන්නම් කියල පොරොන්දු වෙච්ච කොම්පැනියක අනුග්‍රහය යටතේ  එයාගේ   සිහින දේසය වෙච්ච මෙල්බන් ලන්තෙට එන්න ආදරණිය බන්ටි නගාට හැකි වුණා ... බන්ටි නගා දස්සයා  කියල මම කලිනුත් කියල ඇතිනේ ... 

ගානට ඔක්කොම කරන්න ප්ලෑන් කරගෙන හිටියත්  අන්තිමට  අපිට පැය  48ක් වත්  තිබුනේ නැහැ  ..   කෝවිඩ් කොයි පැත්තට හැරෙයි ද කියල ෂුවර් නැති කම හින්ද, අතාරින්න පුළුවන් හැමදේම අතෑරලා දාල ආව ඉතින් ..

ඔහෙලට කියන්න ලංකාවට යවන්නෙත් නැතුව කොහොම හරි යන දිපන්කරෙකට අරං යනවා කියල හිතාගෙන මැලේසියාවෙන් ලාබෙට ගත්ත සිරා ගැජට් පුරවපු බෑග් එකක් පෙනී පෙනීම දාල ආවා ..  සැක් ... තාම මතක් වෙනවා .. 

ඒ ගේ අස් කරන්න ආපු මිනිස්සුන්ට හරි ආතල් එකක් තියෙන්න ඇති ... හෙහ් හෙහ් 

පස්සේ අපරාදේ කියල හිතුනත් , ඒ වෙලාවේ හැටියට ගන්න තිබ්බ හොඳම තීරණේ ඒක .. 

ගෙදර අයිති කාර චීන මහතා අන්තිම මොහොතේ  සෑහෙන උදව්වක් කළා...  අන්තිම මොහොතේ ඇවිල්ලා ගෙදර තිබ්බ බඩු  වලින් ටිකක් ලංකාවට යවන්න උදව් කරපු මැලේසියන් ට්‍රයිකෝ ආයතනයේ සරත් මහත්තයා තමා මාස ගානකට පස්සේ කාර් එක විකුණා ගන්න උදව් කලේ ..

කොටින්ම වෙඩින් මුද්දත් දාල ඇවිල්ල ... හෙහ් හෙහ් ..

කොහොම හරි අපි බලාපොරොත්තු නොවුණු තරම් ඉක්මනට මැලේසියන් ටොපි රස ඉවර වුණා ..

නමුත් තාම ඒ ටොපි රස අපිට අඬගහනවා... 

මෙල්බන් ජිවිතේටත් දැන් අවුරුදු 2ක් වෙන්න කිට්ටුයි  හැබැයි මෙල්බන් වල තියෙන රස අපි කැමති රසද කියන ප්‍රස්නේ අපි දෙන්නටම තාම තියෙනවා .

ඕස්ට්‍රේලියන් ෆැන්ටසිය ගැන මගේ සත දෙක ඊළඟ කොටසින් ලියන්නම්කො ..