Monday, January 11, 2021

බදුල්ල නයිට් මේල්


බදුල්ල නයිට් මේල් එක ගැන ෆේස්බුක්  එකේ ළඟදී දැකපු  ෆොටෝ ටිකක් හින්දා  මගේ පරණ මතක ආයේ අලුත් වුණා. 

බදුල්ල නයිට් මේල්  එකේ ගිහින් උදේ පාන්දර එළිවෙන කොට කඳුකරයේ ලස්සන නොදැකපු කෙනෙක් ඉන්නවනම් ඉස්සෙල්ලා ඒක කරලා ඉන්න. මම හිතන්නේ ලංකාවේ කෙනෙකුට ගන්න පුළුවන් අමතක නොවෙන අත්දැකීමක් ඒක.

දැන් මේ නොරටක හිර වෙලා හිටියට මමත් කඳුකරයේ උපන් කොල්ලෙක්.  

ඔබ 1960-80 අතරේ හපුතලේ පළාතේ ජිවත් වෙච්ච වැඩිහිටි කෙනෙක් නම් සමහර විට ඒ කාලේ හපුතලේ හේරත් විදියට ගොඩක් අය අඳුරන අපේ තාත්තව මතක ඇති. ඒ කාලේ දේශපාලන ලෝකේ,  ඒ පළාතේ හිටපු ජනප්‍රිය චරිතයක් වගේම, දේශපාලන රැස්වීම් වලට නැතුවම බැරි  අති දක්ෂ කථිකයෙක් අපේ තාත්තා.  තාත්ත ගැන නොකියා මට හපුතලේ ගැන කියන්න බැරි නිසයි මේ චුට්ටක් කිව්වේ. තාත්ත ගැන මම ඉස්සරහට ලියන්නම්.

මම ඉපදුනේ හපුතලේ උනාට හැදුනේ වැඩුනේ කොළඹට කිට්ටුව අපේ අම්මලාගේ ගමේ. මම ඉපදිලා අවුරුදු 2ක්  විතර යද්දී තාත්තා හපුතලේ අතෑරලා අම්මලාගේ ගමේ ගෙයක් හදාගෙන පදිංචි වෙච්ච නිසා  අපි හපුතලෙන් දුරස් වුණා. ඒත් ඒක හින්ද මට මං හැදුනු  ගමේ හිටපු  මගේ යාලුවෝ සෙට් එකට  නොලැබුණ විදියට කෝච්චියේ යන්න පුළුවන් උපන් ගමක් ලැබුණා.

ඒ කාලේ තරමක් වියදම් අධික වැඩක් වෙච්ච කොච්චි ගමන් අපිට එතරම් කරදරයක් නොවුනේ අම්මට ඔෆිස් එකෙන් වොරන්ට් ලියා ගන්න පුළුවන් වෙච්ච හින්දා. මට මතකයි අම්මා ඔය වොරන්ට් ගැන හරියට කතා වෙනවා. මට ඒ දවස් වල ඒ මොනවාද කියල ඒ හැටි අවබෝධයක් තිබ්බේ නැහැ ( බොරු කියන්නේ මොකටද අදටත් මම දන්නේ නැහැ ඔය වොරන්ට් කියන්නේ මොනවද කියල ... හෙහ් හෙහ් )

කොහොම හරි ඉතින් අම්ම අපි 4 දෙනාට වොරන්ට් ලියාගෙන නයිට් මේල් එකේ හපුතලේ යනවා.

හපුතලේ යෑම කියන්නේ මට කවදාවත් එපා නොවන වැඩක්. විශේෂයෙන් කෝච්චියේ යන එක. පොඩි කාලේ බස් එකේ යද්දී නම් බලන්ගොඩින්  එහා ටික තනිකරම වමනේ ගොඩක් වුනත්, බස් එකෙන් බැහැල ගෙදරට යන කොට දැනෙන සුවඳ, හීතල, වටපිටාවේ ලස්සන හැමදාම අර වමනේ අපහසුව අමතක කරලා දැම්මා.   කෝච්චිය කියන්නේ හැබැයි වමනේ ප්‍රශ්න නැති තනිකරම ආතල්ම ගමනක්.

මට මතක විදියට නයිට් මේල් එක කොළඹ කොටුවෙන් රෑ 8.15 ට කොහෙද පිට වෙනවා. ඉතින් ඔය හපුතලේ යන දවස් වලට අපි ගෙදරින් හවස 5 ට විතර පිටත් වෙනවා. අපේ ගෙදර තිබ්බේ ප්‍රධාන පාරෙන් 900m  විතර දුරින් හින්ද ලොකු ට්‍රැවලින් බෑග්  එහෙම උස්සගෙන ඔය ටික පයින් යද්දී ගමේ හැමෝම දැනගන්නවා අපි හපුතලේ යනවා කියල.  ඔන්න ඉතින් ගෙදරින් එලියට බැහැපු  වෙලාවේ ඉඳල මගදී  හම්බෙන හැමෝම,

"ආ කට්ටියම ගමේ යනවා වගේ ...."

අපේ තාත්තා .. "ඔව් මේ ගෙවල් පැත්තේ ගිහින් එන්න කියල..."

ආ කවද්ද එන්නේ ..

දවස් දෙක තුනකින් එනවා ...

හා හොඳයි හොඳයි ...

"මෙන්න මේ ඉලන්දාරියට දෙන්න ඔය බෑග්  එකක් උස්සන් යන්න .."

එහෙම කියල මගේ ඔලුවත් පොඩ්ඩක් අත ගාල තමා ඔය ගොඩක් වැඩිහිටි උදවිය යන්නේ...

අපරාදේ කියන්න බැහැ ඔය දුර යද්දී අවම 10 පාරක් වත් ඔය ටික කියවෙනවා

ඔය ඔහොම යද්දී හම්බ වෙච්ච එක සීය කෙනෙක් හිටියා. ඒ දවස් වල එයාට කිව්වේ පොඩි මහත්තය කියල...    

අඩි 6කට වඩා උස කළු කෙට්ටු චරිතයක්. කොයි වෙලේ බැලුවත් සුරුට්ටුව කටේ. ඉතින් ඔය මනුස්සය මගදී හම්බ උනොත් , ඔය ටිකට අමතරව අපේ අම්මයි අක්කයි "අම්මෝ සුරුට්ටු ගඳ කියලත් කියනවා.. " හෙහ් හෙහ් 

මම  නම් ඒ සුරුට්ටු  සුවඳට හෙන ආසයි. තව චුට්ටක් විතර ලොකු වෙලා හොඳ කියුබන් සුරුට්ටුවක්ම උරන්න කියල තමා මම නම් හිතාගෙන ඉන්නේ..

ඉතින් ඔහොම බස් එකේ ඇවිල්ල කොහොම හරි 7 විතර වෙද්දී අපි කොටුව ස්ටේසමට එනවා.  ඒ  ආපු ගමන් අපේ තාත්තට කොහේ හරි කඩේකින් කන්න ඕනේ වෙනවා.  අම්ම එදාට වැඩට නොගිහින් හදන එළවලු රොටි, රෑට කන්න උයා ගන්න බත් මුල්, බිස්කට් ජාති එහෙම මොනවා තිබ්බත් අපේ තාත්තට කඩේකට ගිහින් මොනවා හරි කාල ප්ලේන්ටියක් බොන්න ඕනෙම වෙනවා. ඉතින් අම්ම බනිද්දි යනවා ඔය බස් ස්ටෑන්ඩ් එකේ එක කිට්ටුව තියෙන කඩේකට..  ඒ දවස් වල කොත්තු රොටි කියල ජාතියක් නම් තිබ්බද කියල මට මතක නැහැ. හැබැයි ඉතින් කොටුවේ කඩවල තියෙන නානාප්‍රකාර කෑම ජාති වල සුවඳ මේ දැනුත් දැනෙනවා වගේ.

ඔය කෑමට අමතරව තාත්තා බුලත් විට කනවා. ඉතින් බුලත් විටක්, දෙකක් එහෙම දැක්කොත් ගන්නවා. ඊට පස්සේ ඉතින් කෝච්චිය එනකම් බලන් ඉන්නවා. 

කෝච්චියට නැගල ඉන්නකොට ඉස්සෝ වඩේ, කඩල එහෙම ආවම අම්ම බනිද්දි ඒවත් ගන්නවා. ගමන පටන් ගත්තම ඉතින් අක්කයි මායි රණ්ඩු වේවි ඕවා කකා යන එක තමා කරන්නේ.  කෝච්චියේ ගමන පටන් ගත්තම ජනේලෙන් එන හුලං පාරත් වැදී වැදී පාර දෙපැත්තේ පාස් වෙන ගෙවල්, වාහන , කළු වරට පේන ගස් කොලන් දිහා බලාගෙන යන එක මට නම් හරි විනෝද ජනක වැඩක්. වැදගත්ම දේ තමා බස් වල යද්දී වගේ නෙමේ කෝච්චියේ ෆුට් බෝඩ් එකේ යන එකට අම්මයි තාත්තයි වැඩිය විරුද්ධ වෙන්නේ නැති එක. මුලින්ම යද්දී තාත්ත ඇවිල්ල අතින් අල්ලන් මට ෆුට් බෝඩ් එකේ යන්න ඉඩ දෙනවා. සමහර දවස් වලට තාත්තා එක්ක පත්තර කොලයක් එලාගෙන ෆුට්බෝඩ් එක ළඟ බිම වාඩි වෙලත් ගිහින් තියෙනවා. මට මතකයි ගොඩක් වෙලාවට කෝච්චියේ බිම මිනිස්සු වාඩි වෙලා යනවා. ගොඩක් වෙලාවට දෙමළ මිනිස්සු තමා. මට මතකයි අපි සීට් වල වාඩි වෙලා යද්දී බිම ඉඳගෙන යන ඒ මිනිස්සු දැක්කම මට හරි අප්සට්... හැබැයි ඉතින් මාත් බිම ඉදගෙන යද්දී ඒක ගානක් නැති වෙනවා.  

ගමනේ මුල් හරිය ඔය විදියට ගිහින් ටිකෙන් ටික බිම් ගෙවල් අහුවෙද්දී ඔන්න හූ කියන වැඩේ පටන් ගන්නවා. බිම් ගේ ඇතුලෙන් යද්දී ජනේලෙන් ඔලුව දාල හූ කියන එක හරි ජොලි වැඩක්. අක්කයි මායි තරඟෙට හූ කියනවා. මට මතකයි කෝච්චිවල යන ගොඩක් ළමයි වගේම ලොකු අයත් ඒ දවස් වල ඔය හූ කියන වැඩේ කරනවා. දැන් නම් දෙමව්පියෝ එහෙම කරන්න දෙනවද දන්නේ නැහැ. අපිට නම් අම්මයි තාත්තයි තමා ඕව පුරුදු කලේ. කොටින්ම මට දැනටත් කාර් එකේ උමගක් අස්සෙන් යද්දී ඔය හූ කීමේ ආසාව එනවා. සමහර දවස් වලට එහෙම හූ කියනවා කාර් එක ඇතුලෙත්... ඒවා හරි ජොලි වැඩ..

ගමන අතර මගදී ඉතින් ගෙනාපු බත්මුලක් , පාන් ටිකක් එහෙම කනවා. ගොඩක් වෙලාවට කෝච්චිය සිග්නල් පරක්කු වෙලා නතර කරන් ඉන්නවනේ. ඒක තමා ඒ දවස් වල එපාම කරපු වැඩේ. අනිත් එක ඔය පේරාදෙණියේදී ද කොහෙද මොකක් ද මාරුවක් තියෙනවා නේද බදුලු යන කෝච්චියේ.. ඒකත්  එපා වෙන වැඩක්.. මොකද පොඩි කාලේ වෙලාව යන්නේ හරි හෙමින් නේ...  නතර කරගෙන ඉන්නකොට එපා වෙනවා.    ඊට අමතරව ඔය ස්ටේෂන් වල නතර කරපුවහම එක දොරකින් බැහැල ගිහින් අනිත් දොරෙන් නැගල එන එක එහෙම  හරි ලොකු වැඩක් වගේම ජොලි වැඩක්...  

ඔය අතරේ සැරෙන් සැරේ ගිහින් පොඩ්ඩක් නිදත් ගන්නවා. 

අපි එක සැරයක් හෝ දෙසැරයක් නිදන මැදිරි බුක් කරගෙන ගියා. මට මතක විදියට හපුතලේ පොඩි අක්කගේ වෙඩින් එකට යද්දී එහෙම ගියා  ඒ වෙඩිමේ  ජය මංගල ගාථා කියන්න හිටියේ අපේ අක්කයි, ලොකු අම්මගේ දුව වෙච්ච චූටි අක්කයි, තව අක්කගේ යාලුවෙක් වෙච්ච ගීතානි අක්කත් හිටියද මන්ද, කොහොම හරි ඔය ගමනේදී අපි ගියේ නිදන මැදිරි බුක් කරන් තමා ගියේ .. ඒ ගමනට නම් අපේ නංගිත් ආවද කොහෙද අපිත් එක්ක කෝච්චියේ යන්න.  නිදන මැදිරි ගමන හරි ජොලි මොකද කට්ටිය ගොඩයි නේ.. උඩ ඇඳයි යට ඇඳයි ද කොහෙද තිබුනේ.  අපි කට්ටිය සිංදු කිය කිය, ගෑනු පිරිමි මල් පලතුරු දදා තමා  මුළු රෑම ගමන ගියේ... මං හිතන්නේ කාඩ් ගහන වැඩෙත් කළා. ඒ වෙද්දී  අපේ තාත්තා කාඩ් කුට්ටමේ සෙල්ලම් සෑහෙන ගොඩක් අපිට උගන්නල තිබුනේ. ඒ දවස් වල අපේ ගෙදර තමා කට්ටිය කාඩ් ගහන්න සෙට් වෙන්නේ, ඕමි, බුරුවා, 304, තව අර කොළ පෙරලන සෙල්ලමක් තිබ්බා, හෙන ගොඩක් සෙල්ලන් ඒ දවස් වල දැනගෙන හිටියා...  කොටින්ම එලි වෙනකම් නින්දක් නැතුව නටනවා එහෙම දවස් වලට 

ඉතින් ඔහොම යන නයිට් මේල් ගමනේ මම ආසම ටික එන්නේ උදේ පාන්දර... මම හිතන්නේ කෝච්චිය හපුතලේ ස්ටේෂන් එකට යද්දී පාන්දර 5.30-6.30 වගේ වෙලාවක් වෙනවා.. ඒ වෙද්දී කඳු අතරෙන් ඉර එළිය  ලාවට වැටීගෙන,  කැලෑවයි,  මිදුමයි  අස්සෙන් කෝච්චිය යන එක තරම් ලස්සන  අත්දැකීමක්  මට නම් මතක් කර ගන්න බැහැ... ඒ පරිසරෙන් එන සුවඳ තාමත් දැනෙනවා වගේ...  ඒ වෙලාවට කොච්චි පාරේ ඉන්න මිනිස්සු හිනා වේවි අත වනනවා. පරිසරයේ තියෙන්නේ පුදුම නැවුම් ගාම්භීර බවක්.. ඔය නයිට් මේල්  ගමනට මම ආස ඔන්න ඔය කොටස හින්ද..    ඊට පස්සේ හීතලේ වෙව්ල වෙව්ල හපුතලේ ස්ටේෂන් එකෙන් බැහැල ඉන්න එකත් ඒ වගේ... පුදුම සුන්දර හැඟීමක් ඒක.

හපුතලේ ස්ටේෂන් එකේ ඉඳල තාත්තගේ මහ ගෙදරට ටිකක් දුරයි.  ස්ටේෂන් එකෙන් බැහැල පොඩ්ඩක් එලියට එද්දී ගොඩක් දවස් වලට තාත්තව දන්නා අය හම්බ වෙනවා. කීප වතාවක් ඒ අයගේ වාහන වල අපිව ගෙනත් බස්සපු අවස්ථා තිබුණා. ඒ කාලේ ඉතින් වෑන් එකක වගේ ගමනක් යන්න ලැබෙන එක අමුතුම විදියේ ආතල් එකක් නේ.. එහෙම කවුරුවත් සෙට් වුනේ නැත්නම් බස් එකේ. තාත්තගේ මහ ගෙවල් තිබුනේ හල්දුම්මුල්ල,  වල්හපුතැන්න මහා විද්‍යාලේ ගාවින් ඇතුලට යන්න තියෙන පාරේ. ඒ කියන්නේ හපුතලේ ටවුන් එකේ ඉඳල කොළඹ පාරේ. ඔය ගමන බස් එකේ එද්දී බෙරගල හරිය එනකොට හෙන බයයි ඒ දවස් වල. පාර හදන්න කලින් ඒ ටික හරි පටුයි. මහා ප්‍රපාතේ පේනකොට ඉස්සර හරි බයයි. දැන් නම් එහෙම ගතියක් දැනෙන්න නැහැ ඒ පාරේ යද්දී.  




මට මතක විදියට ඔය බස් එන්නේ හාල්අටුතැන්නට විතරයි. දිගටම එන බස් එකක් හම්බ වුනේ නැත්නම් එතනින් බැහැල ඒ ටික පයින්. ඉතින් අර බෑග්  ටිකත් උස්සන් බස්සෙකෙන් බැහැල එන ටිකත් අර මුලින් ගමන පටන් ගත්තා වගේම තමා..

"අහ්... හේරත් මහත්තයා... ගොඩක් කාලෙකින්..."

"දැන් එන ගමන් ද ..?"

"දැන් කොළඹ නේද ඉන්නේ...?" 

" නයිට් මේල් එකේද  ආවේ..."

"මේ පුතා ද ...?" දුව නම් දැන් හරි ලොකුයි නේ.. 

"කවද්ද අපහු යන්නේ... ? "

ඔය ප්‍රශ්න ටිකට අමතරව හම්බ වෙන පුද්ගලයා අනුව තව තව එකතු වෙනවා. සමහර වෙලාවට  ඉතින් දේශපාලන කතාත් ඇදිල ඇවිල්ල තාත්තත් කතාවට සෙට් වෙනවා.. 

ඔහොම අඩුම තරමේ දහ පාලොස් දෙනෙක් එක්කවත් මග නතර වේවි කතා බහ කර කර තමා ගෙදරට යන්නේ... 

මට හොඳට මතකයි අපි තාත්තත් එක්ක අන්තිමට ඔහොම ගිය ගමනේදී කතා වුනා ඊළඟ සැරේ එද්දී බෝඩ් එකක  ඔය ප්‍රශ්න ටිකට උත්තර   ලියාගෙන අරන් එමු කියල... හෙහ් හෙහ්.. මම හිතන්නේ ඒ වෙද්දී මම A/L  කරන්න කිට්ටුවද කොහෙද.

මේක ලියද්දි මතක් වෙච්ච තව සිද්දියක්. එක සැරයක් ඔහොම ආපු ගමනකදී තාත්තා කිව්වා ඉදල්ගස්හින්න ස්ටේෂන් එකෙන් බැහැල ඔය හල්දුම්මුල්ලට එන්න පුළුවන් කියල. ඉතින් අපි එදා හපුතලේ ස්ටේෂන් එකට යන්නේ නැතුව ඉදල්ගස්හින්න ස්ටේෂන් එකෙන් බැහැල ස්ටේෂන් එකට පිටි පස්සෙන් තිබ්බ පොඩි අඩි පාරක් දිගේ හෙන පල්ලමක් බැහැගෙන ආවා. වතු වල වැඩ කරන මිනිසුන්ගේ ලයින් කාමර අස්සෙන් ගල් උඩ නැග නැග ආපු ඒ ගමනත් කවදාවත් අමතක නොවන ගමනක්. මට මතකයි ඒ ලයින් වල හිටපු පොඩි ළමයින්ට අපි ළඟ තිබ්බ බිස්කට් එහෙම දුන්නා.  මට ඒ පාර කොහෙටද වැටෙන්න කියල මතක නැහැ හැබැයි එතන ඉඳල  ගෙදරට පයින් යන්න පුළුවන් කම තිබ්බා.        

ඉතින් නයිට්මෙල් එකෙන් බැහැල ඔය විදියට පාර දිගේ ගමේම මිනිස්සු එක්ක කතා කර කර පයිනස් කැලයක් අස්සෙන් ගිහින් යන්න තිබ්බ තාත්තගේ ගෙදර සහ තාත්තගේ අක්කා හිටපු ගෙදරට තමා අපි යන්නේ. තාත්තගේ ගෙදර මම පොඩි කාලේ ඉඳලම අතැරලා දාල තිබුනේ. පොඩිම කාලේ එහෙ හිටියා ඇල්බට් සියා කියල තාත්තගේ මාම කෙනෙක්. එයා මැරුණට පස්සේ ඒ ගෙදර කවුරුත් හිටියේ නැහැ. අපි ගිහින් නතර වුනේ තාත්තගේ අක්කගේ ගෙදර. 

ඒ ගෙදරත් එක්ක තව අපුරු මතක ගොඩක් තියෙනවා... ලිප්බෝක්කක් ලඟට වෙලා හීතලේ උණු කෝපි බිබී නැන්දම්මා (තාත්තගේ අක්කට අපි කිව්වේ නැන්දම්මා කියල..) උයල දෙන රතු කැකුළු බතුයි,  ගෝව කොළ මැල්ලුමයි, ඔය තව මොකක් හරි හොද්දක් එක්ක බත් කන එක,  ලස්සන වසිලිස්සා, තොල්යා සහ ඔහුගේ යහළුවෝ, මගේ හපන්කම්.. මම රුසියන් කතා ඔක්කොම කියෙව්වේ එහෙදි...  පයිනස් කැලෑවේ සුවඳ, ගෙදරට පල්ලෙහා තිබ්බ දොලෙන් නාපු හැටි... තව කතන්දර ගොඩක් මතක් වෙනවා... හෙහ් හෙහ් ..        

කවද හරි ටයිම් ට්‍රැවල් කරන්න පුළුවන් උනොත් මම ඉස්සෙල්ලම යන්නේ මෙන්න මේ කාලෙට....