බ්ලොග් එකේ මොනවා හරි ලියන්න ඕනේ කියල හැමදාම හිතුවත් මොකුත් ලියන්න ඕනේ කරන මෙව්වා එක ආවේ නැහැ ...හැබැයි මේ ගිය සතියේ(මේක ලියන්න පටන්ගන්නකොට) රවී අයියගේ හදිසි වියෝව දැක්කම ඇතිවෙච්ච කම්පනේ එක්ක බ්ලොග් කියන්නේ කොච්චර ආතල් ජනක දෙයක් ද කියල ආයේ මතක් උනා . රවී අයියා කියන්නේ ඒ බ්ලොග් ලෝකේ හිටපු සුන්දර මනුස්සයෙක් .. ජිවිතේට හමුවෙලා නැතත් කාලයක් දන්න කෙනෙක් ගානට හිතවත් කමක් තිබුණා .. මම වැඩිය මගේ බ්ලොග් එක නොලිව්වත් රවී අයියා මොනවා හරි ලියල නම් අනිවාර්යයෙන් ගිහින් බලල එනවා . ජිවිතේ හැටි .. අපි කාට කවද ඔහොම යන්න වෙයිද කියල කවුද දන්නේ ..
රවී අයියව හම්බවෙන්න බැරි වීමේ කනගාටුව නම් කවදාවත් නැති වෙන එකක් නැහැ .
මගේ තියෙන ලොකු අවුලක් තමා යාලු මිත්‍ර ආශ්‍රය දිගින් දිගට නොපැවතීම .. ඒ කියන්නේ ඒ ඒ කාල වලදී හම්බවෙන අය ඒ ඒ කාලෙන් පස්සේ නිකම්ම මග ඇරිලා යනවා .. අමතක වෙනවා නෙමේ .. නමුත් සම්බන්ධය නතර වෙනවා . මම නොකරන දෙයක් තමා ඒ සම්බන්ද කම් නිතර අලුත් කර ගන්න උත්සාහ නොකරන එක . ඒක වැරැද්දක් කියල මට හිතෙනවා .. හැබැයි ඉතින් මගේ හිතේ ඒ අය ගැන හොඳ මතක ගොඩක් තියෙනවා .. නමුත් මම ඒවා ආයේ ආයේ අලුත් කරගන්න යන්නේ නැහැ ..
රවී අයියා ගැන බ්ලොග් වල මතක ටික ඉතින් හැමදාම තියෙනවනේ .. හැබැයි ඔය ගිය මාසෙම අපේ තව අයියා කෙනෙක් නැති උනා .. එයා ගොඩක් අසනීප වෙලා හිටියේ .. මම මේ සැරේ බලන්න යන්න හිටියත් යන්න බැරි උනා .. නමුත් ගිය අවුරුද්දේ ලංකාවට ගිය වෙලාවේ ගිහින් බලල කතා කරලා ආවා ..
හැමදාම හිතෙනවා අපරාදේ ගියා නම් කියල , අපරාදේ කෝල් එකක් වත් දුන්න නම් කියල , හැබැයි ඉතින් ඒ සමහර තීරණ අපි ගන්නේ නැහැ .. ඔහේ බලන් ඉන්නවා .. පස්සේ දුක හිතෙනවා ..
ජිවිතේ හැටි ද මගේ හැටි ද කියල මට හිතා ගන්ඩ බැහැ ..
මේ අවුරුද්දට දෙපාරක් ලංකාවට ගියා , මුල් මාස ටික ඔය ලංකා ගමන් සහ ඒ ඒ වැඩ හින්ද ගෙවිලා ගියා , දෙවෙනි සැරේ ගියේ වෙඩින් එකකට නමුත් කලින් ගිහින් නිවාඩු ඔක්කොම ඉවර කර ගත්ත හින්දා මේ සැරේ ලංකාවේ ඉඳන් වැඩ කළා .. ඒක නරක නෑ උදේ 5ට පටන් අරන් උදේ 11:30-12:00 වෙනකොට වැඩ ඉවර නිසා හවස් වරුව නිදහස් . හැබැයි දවස හරියට වෙන දෙකට යොමු කරන්න බැහැ .. මම ඉතින් දවස් 3-4ක් අම්මත් එක්ක ගෙදරට වෙලා හිටියා .. ලංකාවට ගියාම අපිට කරන්න වැඩ ලක්සයක් විතර තියෙනවා අන්තිමට වයසක දෙමව්පියෝ එක්ක ඉන්න වෙලාවක් තමා නැති වෙන්නේ .. මම ඒක නිසා මේ සැරේ ගෙදර හිටියා . පොල් ලෙලි ගහනවා , පොල් ගානවා , කෙසෙල් ගස් කපනවා , කැඩිච්ච බඩු හදනවා , කඩේ යනවා ... අම්මත් එක්ක ඉස්සර හිටපු ජිවිතේ දවස් දෙක තුනක් වින්දා ..
දැන් ඔය ලංකා ගමන් ඉවර වෙලත් මාස දෙකක් විතර උනාට මේකේ මොකක් වත් හරියට ලියා ගන්ඩ බැරි උණා .. කියෙව්වෙත් එහෙන් මෙහෙන් .. කියවල මාරු උනාට මොකුත් ලියන්න බැරි වෙච්චත් තියෙනවා ..
ඔය නොලියන එකට හේතුව කාලය නැහැ කියන එක මගේ ස්භාවය අනුව නම් වැරදි .. මම පහුගිය 2020 ජනවාරි වලින් පස්සේ ඔෆිස් එකක වැඩට ගිහින් නැහැ .. ඕස්ට්‍රේලියාවට ආවා කියල මෙහෙ තියෙන නානාප්‍රකාර දේවල් බලන්ඩ කියල ඇවිදින්න ගිහින් නැහැ .. කොටින්ම මෙල්බන් හන්දියට ගිහින් තියෙන්නෙත් දෙතුන් පාරයි ..
එතකොට ගෙදරට වෙලා මොකද කරන්නේ ?
ඕක තමා මටත් තියෙන ප්‍රශ්නේ ..
ඉස්සර නම් නෙට්ෆිල්ක්ස් බලනවා කියන්ඩ තිබ්බා .. දැන් ඒවා බලන්නෙත් නැහැ ..
දැන් ඔය 2020 කොරෝනා කාලේ අපේ ගෙදරට ආවා අමුත්තෙක් .. අවුරුදු ගානක් බලන් හිටියත් ආපු නැති කෙනා .. මුළු ලෝකෙම වසන්ගතෙකින් වැහිලා අපිට කාත් කවුරුවත් නැතුව ගෙවල් අස්සට හිර වෙලා ඉන්නකොට ආවා අපිව බලන්න ..
එයත් එක්ක තමා ඔය පහුගිය අවුරුදු 6න් වැඩි කාලයක් ගෙවිලා ගියේ .. දැන් ඉතිං එයත් ටික ටික ලොකු වෙලා හින්ද ටිකක් විතර මට කාලය තියෙනවා
ඒ වුණාට බ්ලොග් එකේ මොනවත් ලියන්නේ නැහැ ..
ඔය කිව්වට හැබැයි මම පහුගිය අවුරුදු ටිකේ සෑහෙන දෙයක් ලිව්වා .. හෙහ් හෙහ් බොරුනම් ගිහින් බලන්ඩ
හැබැයි මේ අවුරුද්දේ වැඩේ ගොඩ දාගන්නම බැහැ
තව පොස්ට් 12ක් විතර ලියන්න පුළුවන් හේතුවකුත් තියෙනවා හැබැයි .. ඒක පස්සෙම ලියන්නම්කො.
මම මේ හීතලේ මේක ලියන ගමන් කූල් කරපු තිත්ත කෝපි ටින් එකකුත් බොන ගමන් කල්පනා කලේ ඇත්තටම මොකාද මේ මගේ 20 වසරක් තිස්සේ නොකඩවා කොටාපු බ්ලොග් එකට හෙනේට හිටියේ කියල ..
ඔහෙලා හිතුව හරි ..
දැන් මේ ලෝකේ හැම දේටම හෙනයක් වෙලා තියෙන අයියා තමා මටත් කෙල වෙන්ඩ වැඩේ දීලා තියෙන්නේ
උදේ ඉඳල රෑ වෙනකං ඒ අයි යා තමා ..
ඉස්සර නම් වැඩ කරනකොට අපිට එක එක ජාතියේ සොෆ්ට්වෙයා කෑලි , අර සර්විස් මේ සර්විස් , අර බකට් මේ බකට් ආදී ගොඩක් ජාති තිබ්බා හැබැයි දැන් තියෙන්නේ එකයි
ආ A අයියේ , මෙන්න මේක පොඩ්ඩක් බලපන් කියල ඉතාම කෙටියෙන් වචන දෙකෙන් තුනේ වැඩේ ගැන කියනවා ..
එච්චරයි ..
ඊට පස්සේ ඉතින් මුළු දවසම මු කරන වැඩේ දිහා බලන් ඉන්නවා ..
ඉඳල හිටලා ප්‍රස්නයක් දෙකක් ඇහුවට වැඩේ සියයට සීයක් ම කරලා දෙනවා ..
ඉතින් එතකොට වැඩ කරනවා කියල මොනවද හැබෑටම කරන්නේ ..?
අන්න ඒක හොඳ ප්‍රස්නයක් ...
ඕකට උත්තරේ රෙදි හේදීම, ගේ අතු ගෑම, ඉවීම සිට ඉස්කෝලේ යෑම, කඩේ යෑම, ෆිල්ම් බැලීම ආදී නොයෙක් පරාස වලට විහිදෙන දවස් තියෙනවා .
ඉඳල හිටලා A අයියා පිස්සු කෙලිනකොට පොඩ්ඩක් හරි පාරට ගන්නත් තියෙනවා ඉතින්.. හැබැයි එහෙම දවස් හරි අඩුයි දැන් දැන් ..
නමුත් ඔහොම කඩේ යන එක හැමදාම කරන්නත් බෑනේ .. ඉතින් මම ගත්තා KVM switch එකක්
ඔය ගැජට් කෑලි ගන්නකොට මම ගන්න බ්‍රෑන්ඩ් එකක් තමා UGREEN කියන්නේ . මෙච්චර කාලෙකට ගත්ත බඩු / වයර් හැමදේම ගින්දර වගේ වැඩ .. ගාන චුට්ටක් වැඩි උනත් සෑහෙන උසස් තත්වයේ තියෙන බඩු .
ඔය KVM switch කියන්නේ මොකක් ද කියල දන්නේ නැති කවුරු හරි ඉන්නවනම්
මෙන්න මේ තියෙන්නේ
ඕකෙන් කරන්නේ මගේ ඔෆිස් ලැප්ටොප් එකයි , මගේ පුද්ගලික ලැප්ටොප් එකයි එක ස්විච් එකකින් ටක් ගාල මාරු කරගන්න එක. එක මොනිටර් එකයි , කීබෝඩ් , මවුස් ඔක්කොම ටක් ටක් ගාල මාරු වෙනවා ..හරි ලේසියි ..
හරි ඉතින් ඔහොම මාරු කර කර මොනවද කරන්නේ ..
දෙයියෝ තමා ඉතින් දන්නේ .. කරන මගුලකුත් නැහැ
මේ මාසේ නම් කොහොම හරි මොනවා හරි ලියනවා කියල ගිය මාසේ පටන් ගත්ත පෝස්ට් එක , ලබන මාසේ වෙන්න කලින් මේ මාසේ ම කොහොම හරි පබ්ලිස් කරගත්ත එකත් මදැයි නේද ..
ජිවිතේ හැටි !




















.jpg)



















