Monday, August 17, 2026

Tough Guy Book Club හෙවත් බාර් එකට පොත් ගෙනියමු

ඔය බාර් ඇතුලේ සිද්ධ වෙන කතා බහ වලට කතන්දර ,  චිත්‍රපටි වල එහෙම නම් සෑහෙන වටිනාකමක් තියෙනවා . හැබැයි ඇත්ත ලෝකේ ඕක ඔහොමද ? ඉඳල හිටලා බාල වයින් ෂොට් එකක් විතරක් දාන මට ඔය ගැන එච්චර අත්දැකීම් නැහැ . 

ලංකාව බීම අතින් සෑහෙන ඉදිරියෙන් ඉන්න රටක් හින්ද මම මේ කියන්න යන අමුතු ක්ලබ් එක ලංකාවේ අයට සෑහෙන වැදගත් වෙයි .. ලංකාව සාක්ෂරතාව අතිනුත් ඉහලින් ඉන්න රටක් හින්ද මේක තවත් වැදගත් .. ඉඳල හිටලා හරි අපි වැදගත් දේවලුත් ලියනවා හරිද ? හෙහ් හෙහ් ..

මෙල්බන් හන්දියේ හිටපු Shay Leighton කියන හාදය එයාගේ යාලුවෙක් එක්ක දවසක් බාර් එකකට වෙලා පොතක් ගැන කතා කර කර ඉන්නකොට තවත් අමුත්තෙක් එයාලට සෙට් වෙලා .. ඊට පස්සේ මේ හාදයා ෆ්ලයර් ටිකක් හදල ඒ අවට තිබ්බ බාර් වලට , ජිම් වලට ,  සැලුන් වලට, ටැටූ ෂොප් වලට බෙදල දීලා  ගෙදරින් පොඩ්ඩක් එලියට බැහැල බාර් එකට සෙට් පිරිමි අයට අලුත් අදහසක් දීලා මේ ක්ලබ් එක ගැන .

මේක පිරිමින්ට විතරක් වෙන් වෙච්ච ක්ලබ් එකක් .. ඒ කියන්නේ ගැහැණු පිරිමි බේදයක් නිසා වෙච්ච දෙයක් නෙමේ නමුත් ගෙවල් වල එදිනෙදා ජිවිත සටනේ මහන්සි වෙන පිරිමින්ට , තමන්ගේ පාලුවට ,තනිකමට පොඩි ෂොට් එකක් දාන ගමන් පොතක් කියවල  ඒක  ගැන කතා බහ කරන්න පුළුවන් වෙන්න හදපු ක්ලබ් එකක් .

මේ ක්ලබ් එක ටිකක් අමුතුයි . මේකේ බොහොම තද නීති ටිකක් තියෙනවා 


ප්‍රධානම එක 

1. No work talk හෙවත් තමන්ගේ ජොබ් එක ගැන කතා කිරීම තහනම් .. තහනම් කියන්නේ චුට්ටක්වත් කියන්ඩ බෑ .. ඔයා මොන පොරක් උනත් කමක් නැහැ .. අපිට වැඩක් නැහැ .

ඊට පස්සේ එක 

2. Don't be a F**k  head ඕක පැහැදිලි කරන්ඩ දෙයක් නැහැ මගේ හිතේ .. තේරෙන ඉංග්‍රීසියෙන් කිව්වොත් එහෙම නිකන් බොරුවට පොර වෙන්න හදන්න එපා කියන එක තමා ඔය සිංහලෙන්ම කියල තියෙන්නේ .. පොත් ගැන කියවල උනත් පොරක් වෙන්න දැඟලුවොත් ඔයාව අපි පන්නනවා කියල තමා ඔය කියන්නේ ..

3. ඊළඟ එක 

හැම මාසේම පළවෙනි බදාදා හවස  7ට  තමන්ගේ චැප්ටර් එකේ මීටින් එක තියෙනවා. ඒක වෙනස් කරන්ඩ බැහැ  

4. ඊට පස්සේ එක 

දැනට ඔක්කොම චැප්ටර්ස්   189 ක් තියෙනවා , එකෙන් 152ක් ඕස්ට්‍රේලියාවේ සහ ඉතිරි 37 chapters Canada, Hong Kong, New Zealand, Singapore, Myanmar, Spain, Sweden, the UK, and the USA  යන රටවල තියෙනවා . වැදගත්ම  දේ තමා මේ හැම රටකම ඉන්න අය කියවන්නේ එකම පොත සහ ඒ  ඒ මාසේ බදාදා සෙට් වෙලා කතා කරන්නේ පහුගිය මාසේ කියවපු ඒ එකම පොත ගැන .

5. ඊටත් පස්සේ එක 

පොත කියවන්නම ඕනේ කියල එකක් නෑ .. වැදගත් වෙන්නේ ක්ලබ් එකට ඇවිල්ලා කට්ටියත් එක්ක සෙට් වෙලා පොඩ්ඩක් කතා බහ කරලා යන එක .

පහුගිය අවුරුද්දේ ජුලි මාසේ දවසක මෙහෙ ඉන්න මගේ යාලුවෙක් ඔය ක්ලබ් එක ගැන දැනගෙන මට කතා කළා යන්ඩ ..  මේ අමු සිංහලෙන්  අවුරුදු 20ක් තිස්සේ තේරුමක් නැති මගුල්  බ්ලොග් එකේ ලියන යක්ඛ පුතා සුද්දොත් එක්ක ඉංගිරිසියෙන් පොත් ගැන කතා කරන හැටි මම පෙන්නමි කියල අර පුරුස මෙව්වා එක අරගෙන ගියා බලන්ඩ .. ඒ කියන්නේ ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ මිටීමට තමා මම ඉස්සෙල්ලම ගියේ .

ඔහෙලට කියන්ඩ සන්තෝසයි ජිම් පප්පල වගේ නාකි සුද්දෝ සෙට් එකක් හිටියේ නැතැයි මේසයක් වටේට වාඩි වෙලා...

අපි දෙන්නව බොහොම ආදරයෙන් ඒ අය ක්ලබ් එකට පිලි ගත්තා .. මේ ක්ලබ් එක සම්පුර්ණයෙන්ම නොමිලේ , ඕනේ කෙනෙකුට ඔය කියන දවසට තමන් ඉන්න පළාතේ ක්ලබ් එක හොයාගෙන යන්න පුළුවන් .. 

 ක්ලබ් එකේ වැඩේ වෙන්නේ මෙහෙමයි 

කට්ටිය එන එන විදියට ආචාර සමාචාර කරලා , හැමෝම වගේ ගිහින් බියර් එකක් , වයින් එකක් , නැත්නම් ඔය තමන් කැමති ජාතියේ මොනවා හරි බිමක් අරගෙන ඇවිල්ලා වාඩි උනාට පස්සේ මිටීම පටන් ගන්නවා .

හැම චැප්ටර් එකකටම ඉන්නවා චැප්ටර් ප්‍රසිඩන්ට් කෙනෙක් . එයා ක්ලබ් එකේ නීති ටික ඉස්සලම මතක් කරලා දෙනවා , ඊට පස්සේ ලෝකේ වටේ තියෙන අනිත් ක්ලබ් ගැන මොනවා හරි වැදගත් නිවුස් එකක් තියෙනවනම් ඒවා ගැන දනුවත් කරනවා , ඊට පස්සේ එනවා ඒ මාසේ චැලෙන්ජ් ඒක . ඒ චැලේන්ජ් වැඩේ මරු , එක එක මාසෙට පොඩි වෙනස් විදියේ වැඩ තියෙනවා කරන්න 

මෙන්න මේ වගේ 

  • පරණ පොත් විකුණන කඩේකට ගිහින් පොතක් ගන්න 
  • පරණ පොත් කඩේකට ගිහින් ෆොටෝ එකක් දාන එක 
  • ගස් හිටවන්න තහනම් තැනක ගහක් හිටවන එක - එකියන්නේ නීති විරෝධී හෝ අනතුරුදායක තැන් නෙමේ .. පොලිසිය ඉස්සරහ , බස් හෝල්ට් එකක වගේ අහිංසක තැනක 
  • තමන්ගේ ෆෙල්ෆියක් අතින් අඳින එක 
  • එක්කෝ තමන් කාගෙන් හරි උදව්වක් ඉල්ලන එක , නැත්නම් තමන්ගේ ක්ලබ් එකේ හෝ වෙනත් ක්ලබ් එකක කෙනකුට උදව්වක් කරන එක 
  • දොස්තර ගාවට ගිහින් බ්ලඩ් ප්‍රේසර් චෙක් කරන එක 
  • තමන් කැමති කවියක් හොයල කට්ටිය ඉන්න තැනක කියන එක හෝ රෙකෝඩ් කරලා වීඩියෝ එකක් දාන එක 
  • තමන්ගේ පැත්තේ කනත්ත සුද්ද කරන එක 

ඔය පහු ගිය අවුරුද්දේ අපි කරපු වැඩ වලින් ටිකක් 

අවුරුද්දක් ඇතුලත ඔය චැලේන්ජ් ඔක්කොම කරන අයට ක්ලබ් එක ගානේ කොයින් එකක් දෙනවා .. ඒක සල්ලි දීලා ගන්න බැරි චැලේන්ජ් වලින්ම විතරක් ගන්න පුළුවන් එකක් 

හරි ඉතින් ඔය විදියට ඊළඟ මාසේ චැලේන්ජ් එක ගැන කිව්වට පස්සේ හැමෝම තමන් පහුගිය මාසේ මොකද කලේ කියල විනාඩි 3-4ක් කතා කරන්න ඕනේ .. මෙතන තහනම් වචනය තමා රස්සාව හෝ , රස්සාවට සම්බන්ධ දේවල්.  ඒ ඇර තමන්ගේ ගේ දොර ප්‍රශ්න ළමයින්ගේ ප්‍රශ්න ආදී ඕනේ දෙයක් කියන්න පුළුවන් , සරලව පහුගිය මාසේ මොකද උනේ කියල යාලුවෙකුට කියනවා වගේ කතා කරන එක , මේක ඇතුලේ ඉතින් එක එක කතන්දර තියෙනවා , අපි කරපු දේවල් ,  කරන්න බැරි වෙච්ච දේවල් වගේ , 

මේ ක්ලබ් එකේ අරමුණ තමා වැඩිහිටි පිරිමි අයට තමන්ගේ වයසේ වගේ අයත් එක්ක තමන් කැමති දේවල් කතා කරලා ,  හිතේ තියෙන දේවල් එලියට දාන්න පුළුවන් අවස්තාවක් දෙන එක . මේ කතා බහ බොහෝවිට විනාඩි 10ක් විතර එක්කෙනෙක් වෙනුවෙන් වෙන් වන අවස්ථා තියෙනවා .. එයාලගේ තියෙන ප්‍රශ්න ගැන හැමෝම අහල ,  උදව්වක් වශයෙන් මොනවා හරි කියනවා .. 

 වැදගත්ම දේ තමා ඔය අපි සෙට් උනාම , එක්කෝ මැද  පාරක් ගහල , නැත්නම් ගොං ජෝක් එකක් දාල අර කතා කරන කෙනාව අපහසුතාවයට පත් කරන්නේ නැහැ .. වැදගත් විදියට කතා බහ කරනවා අර Don't be a F**k  head කියන්නේ එහෙම වැදගත් විදියට හැසිරෙන එකට  

හරි එදා ඉන්න සාමාජිකයෝ හැමෝම කතා කලාට පස්සේ බාත්රුම් බ්‍රේක් එකක් එහෙම අරගෙන කෑම ගන්න අය ඒවා ඕඩර් කරලා ,  බීම වීදුරුව එහෙම ආයේ රිෆිල් කරගෙන සෙට් වෙනවා පොත ගැන කතා කරන්න .

මේ ක්ලබ් එකේ කියවන්නේ නවකතා විතරයි . ඒවාත් බොහෝ විට පිරිමි චරිතයක් මුලික කරගත්ත කතා තමා , ෆැන්ටසි , Sci-Fi ශානර වල ඒවත් තියෙනවා .

පොත ගැන කතා කරන්නේ මෙහෙමයි 

ක්ලබ් එකේ ප්‍රසිඩන්ට් ළඟ තියෙනවා ගිය මාසේ කියවපු පොතට අදාළ හැදුව ප්‍රශ්න 50ක් විතර , මේ ප්‍රශ්න එදාට  හැම ක්ලබ් එකේම කතා කරන ඒවා .. එකම පොත ගැන , එකම ප්‍රශ්න ටිකක් ගැන තමා ලෝකේ වටේ තියෙන ක්ලබ් හැම එකේම එදාට කතා වෙන්නේ .

මේ ප්‍රශ්න නිකන් ආවට ගියාට අහන කතාවේ වීරයාගේ දුස්ටයාගේ නංගිගේ නම මොකක් ද වගේ ප්‍රශ්න නෙමේ ..

නිකන් හරියට කතාවේ වීරයා ,  දුස්ටයාගේ නංගි ට පැණි බූන්දි ගෙනත් දීම ඔබ සාධාරණීකරණය කරන්නේ කෙසේද වගේ .. අ . පො. ස  A/L සිංහල දෙවෙනි කොටසේ ප්‍රශ්න ජාතියේ ප්‍රශ්න ... !

ඕවා ගැන ඉතින් මේ ඉන්න සුදු මහත්තුරු හරිම ලස්සනට කතා බහ කරන හැටි පළවෙනි දවසේ අපි දෙන්නා කට ඇරගෙන බලං හිටියා ..

ඒ කතා බහ බොහොම වැදගත්, විනොදශීලි විදියට ගෙනියනවා , කොයි වෙලාවකවත් කෙනෙකුගේ හිත රිදෙන විදියට කවුරුත් කතා කරන්නේ නැහැ ..

අපි ගිය  පළවෙනි දවසෙම  ඒ කතා වල ,  පොත් ගැන , ඒ චරිත ගැන එයාලගේ අදහස් ඇහුවම ඇත්තටම මම නම් අර සිංහලෙන් blown away උණා කිව්වොත් හරි ..

ඔය විදියට ආසන්න වශයෙන් පැය 2ක්  විතර පොත ගැන සහ ඒ පොතේ සිදුවීම් වලට අදාලව එකිනෙකාගේ අත්දැකීම් ගැන එහෙම සෑහෙන රසබර සාකච්චාවක් යනවා .. 

කතාව ඉවර උනාට පස්සේ ඊළඟ මාසය , ඒ කියන්නේ දැන් අගෝස්තු නම් සැප්තැම්බර් මාසයට කියවන්න තියෙන පොත ඕඩර් කරන්න අවස්තාව සමාජිකයින්ට ලැබෙනවා සහ , අගෝස්තු මාසය වෙනුවෙන් පොත ඕඩර් කරපු අයට  ඒ පොත ලබා දීම සිද්ද වෙනවා .

මේ පොත ඕඩර් කරන්නෙ ඔන්ලයින්  , නමුත් කැමති කෙනෙකුට කඩේකින් ගන්න හෝ Kindle වැනි ඉලෙක්ට්‍රොනික් ක්‍රමයකට පොත හොයාගෙන කියවන්න පුළුවන් .. ඕඩර් කරන එක අනිවාර්ය නැහැ .. නමුත් විනෝද ජනක දේ තමා , ඒ මාසය වෙනුවෙන් කියවන්නේ මොකක්ද කියල නොදැන තමා මේ පොත හැමෝම ඕඩර් කරන්නේ .. ඒ කියන්නේ අගෝස්තු මාසේ පලවෙනි බදාදා තමා හැමෝම දැනගන්නේ ඒ මාසෙට  කියවන පොතේ නම , නමුට් ඒක කලින් මාසෙදි ඕඩර් කරන්නේ නම දන්නේ නැතුව 

මේ පොත් බෙදා හැරීමේ කටයුතු ආදිය හරිම පිළිවෙලට සිද්ද වෙනවා . ක්ලබ් එකේ නිල ලාංචනය අලවපු පොතක් තමා එහෙම ඕඩර් කරන අයට ලැබෙන්නේ .

ඊට පස්සේ ඉතින් කට්ටිය තම තමන් කාපු බීපු දේවල් වල බිල ගෙවලා සන්තොසෙන් විසිරිලා යනවා ,

ඒ ඒ චැප්ටර් වල අය තමන්ගේ සමාජිකයින් සමග කටයුතු කිරීමට පහසු වෙන්න facebook ගෘප් හදාගෙන තියෙනවා වගේම Tough Guy Book Club එක වෙනුවෙනුත් page එකක් තියෙනවා .. නමුත් ඒක සමාජිකයින්ට විතරක් සීමාවුණු private එකක් 

මම  ගිය අවුරුද්දේ අගෝස්තු ඉඳල මේ වෙනකම් , එක මාසයක් ඇරුනම හැම මාසෙම ඔය මිටිමට ගියා , ඒ මාසේ පොත කියෙව්වා , මගේ කැඩුණු ඉංගිරිස් වලින් , මට හිතෙන දේවල් ඒ මිනිස්සු එක්ක කතා කළා , ඔවුන් දැන් කාලයක් දන්නා කියන හොඳ යාලුවෝ 

දිල්ශානයටයි මටයි ගොඩක් දවස් වලට සමහර සුද්දෝ කියන ඒවා තේරෙන්නේ නැහැ .. ඒ උනාට අපි තේරුනා වගේ ඔලුව වනල , යෑස් හරි නො හරි මුණේ හැඩය අනුව හිතලා කියල බොහොම සුහදව මේ ක්ලබ් එකේ යාවජිව සාමාජිකයෝ බවට මේ වෙනකොට පත්වෙලා ඉන්නවා ..  

 මේ ඉන්නේ අපි සෙට් එක - ගිය මාසේ ආපු සෙට් එක 


මේ ක්ලබ් චැප්ටර් එකක් ලංකාවේ නම් තාම නැහැ .. උනන්දු කෙනකුට පටන් ගන්න පුළුවන් .. නමුත් ඉංග්‍රීසි කියවන අය වෙන්න ඕනේ .. 

සිංහල පොත් කියවන අයටත් ඉතින් මේ අදහස තියෙන වෙනම ක්ලබ් එකක් පටන් ගන්න පුළුවන් ඉතින් 

කියවපු පොත් 12 ගැන තව පොස්ට් 12ක් හෝ ඔක්කොම දාල තව එකක් ලියන්නම්කො 

 ප . ලි 

අදට මම මේ බ්ලොග් එක ලියන්න පටන් අරන් අවුරුදු 20ක් . දැකපු නැති කෙනෙක් ඉන්නවනම් මේ තියෙන්නේ පලවෙනි පෝස්ට් එක 

විසි වසරක බ්ලොග් ලිවිල්ල ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න හිතාගෙන ඉන්නවා .. බලමුකෝ ඉතින් නේද .. 



Thursday, July 30, 2026

මගේ කාලය කවුද කන්නේ හෙවත් ජිවිතේ හැටි

බ්ලොග් එකේ මොනවා හරි ලියන්න ඕනේ කියල හැමදාම හිතුවත් මොකුත් ලියන්න ඕනේ කරන මෙව්වා එක ආවේ නැහැ ...හැබැයි මේ ගිය සතියේ(මේක ලියන්න පටන්ගන්නකොට) රවී අයියගේ හදිසි වියෝව දැක්කම ඇතිවෙච්ච කම්පනේ එක්ක බ්ලොග් කියන්නේ කොච්චර ආතල් ජනක දෙයක් ද කියල ආයේ  මතක් උනා . රවී අයියා කියන්නේ ඒ බ්ලොග් ලෝකේ හිටපු සුන්දර මනුස්සයෙක් .. ජිවිතේට හමුවෙලා නැතත් කාලයක් දන්න කෙනෙක් ගානට හිතවත් කමක් තිබුණා .. මම වැඩිය මගේ බ්ලොග් එක නොලිව්වත් රවී අයියා මොනවා හරි ලියල නම් අනිවාර්යයෙන් ගිහින් බලල එනවා .  ජිවිතේ හැටි .. අපි කාට කවද ඔහොම යන්න වෙයිද කියල කවුද දන්නේ ..

රවී අයියව හම්බවෙන්න බැරි වීමේ කනගාටුව නම් කවදාවත් නැති වෙන එකක් නැහැ .

මගේ තියෙන ලොකු අවුලක් තමා යාලු මිත්‍ර ආශ්‍රය දිගින් දිගට නොපැවතීම .. ඒ කියන්නේ ඒ ඒ කාල වලදී හම්බවෙන අය  ඒ ඒ කාලෙන් පස්සේ නිකම්ම මග ඇරිලා යනවා .. අමතක වෙනවා නෙමේ .. නමුත් සම්බන්ධය නතර වෙනවා . මම නොකරන දෙයක් තමා ඒ සම්බන්ද කම් නිතර අලුත් කර ගන්න උත්සාහ නොකරන එක . ඒක වැරැද්දක් කියල මට හිතෙනවා .. හැබැයි ඉතින් මගේ හිතේ ඒ අය ගැන හොඳ මතක ගොඩක් තියෙනවා .. නමුත් මම ඒවා ආයේ ආයේ අලුත් කරගන්න යන්නේ නැහැ .. 

රවී අයියා ගැන බ්ලොග් වල මතක ටික ඉතින් හැමදාම තියෙනවනේ .. හැබැයි ඔය ගිය මාසෙම අපේ තව අයියා කෙනෙක් නැති උනා .. එයා ගොඩක් අසනීප වෙලා හිටියේ .. මම මේ සැරේ බලන්න යන්න හිටියත් යන්න බැරි උනා .. නමුත් ගිය අවුරුද්දේ ලංකාවට ගිය වෙලාවේ ගිහින් බලල කතා කරලා ආවා ..

හැමදාම හිතෙනවා අපරාදේ ගියා නම් කියල , අපරාදේ කෝල් එකක් වත් දුන්න නම් කියල , හැබැයි ඉතින් ඒ සමහර තීරණ අපි ගන්නේ නැහැ .. ඔහේ බලන් ඉන්නවා .. පස්සේ දුක හිතෙනවා ..

ජිවිතේ හැටි ද මගේ හැටි ද කියල මට හිතා ගන්ඩ බැහැ ..

මේ අවුරුද්දට දෙපාරක් ලංකාවට ගියා , මුල් මාස ටික ඔය ලංකා ගමන් සහ ඒ ඒ වැඩ හින්ද ගෙවිලා ගියා , දෙවෙනි සැරේ ගියේ වෙඩින් එකකට නමුත් කලින් ගිහින් නිවාඩු ඔක්කොම ඉවර කර ගත්ත හින්දා මේ සැරේ ලංකාවේ ඉඳන් වැඩ කළා .. ඒක නරක නෑ උදේ 5ට පටන් අරන් උදේ 11:30-12:00 වෙනකොට වැඩ ඉවර නිසා හවස් වරුව නිදහස් . හැබැයි දවස හරියට වෙන දෙකට යොමු කරන්න බැහැ .. මම ඉතින් දවස් 3-4ක් අම්මත් එක්ක ගෙදරට වෙලා හිටියා .. ලංකාවට ගියාම අපිට කරන්න වැඩ ලක්සයක් විතර තියෙනවා අන්තිමට වයසක දෙමව්පියෝ එක්ක ඉන්න වෙලාවක් තමා නැති වෙන්නේ .. මම ඒක නිසා මේ සැරේ ගෙදර හිටියා . පොල් ලෙලි ගහනවා , පොල් ගානවා , කෙසෙල් ගස් කපනවා , කැඩිච්ච බඩු හදනවා , කඩේ යනවා ... අම්මත් එක්ක ඉස්සර හිටපු ජිවිතේ දවස් දෙක තුනක් වින්දා ..

දැන් ඔය ලංකා ගමන් ඉවර වෙලත් මාස දෙකක් විතර උනාට මේකේ මොකක් වත් හරියට ලියා ගන්ඩ බැරි උණා .. කියෙව්වෙත් එහෙන් මෙහෙන් .. කියවල මාරු උනාට මොකුත් ලියන්න බැරි වෙච්චත් තියෙනවා ..

ඔය නොලියන එකට හේතුව කාලය නැහැ කියන එක මගේ ස්භාවය අනුව නම් වැරදි .. මම පහුගිය 2020 ජනවාරි වලින් පස්සේ ඔෆිස් එකක වැඩට ගිහින් නැහැ .. ඕස්ට්‍රේලියාවට ආවා කියල මෙහෙ තියෙන නානාප්‍රකාර දේවල් බලන්ඩ කියල ඇවිදින්න ගිහින් නැහැ .. කොටින්ම මෙල්බන් හන්දියට ගිහින් තියෙන්නෙත් දෙතුන් පාරයි .. 

එතකොට ගෙදරට වෙලා මොකද කරන්නේ ?

ඕක තමා මටත් තියෙන ප්‍රශ්නේ ..

ඉස්සර නම් නෙට්ෆිල්ක්ස් බලනවා කියන්ඩ තිබ්බා .. දැන් ඒවා බලන්නෙත් නැහැ ..

දැන් ඔය 2020 කොරෝනා කාලේ අපේ ගෙදරට ආවා අමුත්තෙක් .. අවුරුදු ගානක් බලන් හිටියත් ආපු නැති කෙනා .. මුළු ලෝකෙම වසන්ගතෙකින් වැහිලා අපිට කාත් කවුරුවත් නැතුව ගෙවල් අස්සට හිර වෙලා ඉන්නකොට ආවා අපිව බලන්න ..

එයත් එක්ක තමා ඔය පහුගිය අවුරුදු 6න් වැඩි කාලයක් ගෙවිලා ගියේ .. දැන් ඉතිං එයත් ටික ටික ලොකු වෙලා හින්ද ටිකක් විතර මට කාලය තියෙනවා 

ඒ වුණාට බ්ලොග් එකේ මොනවත් ලියන්නේ  නැහැ ..

ඔය කිව්වට හැබැයි  මම පහුගිය අවුරුදු ටිකේ සෑහෙන දෙයක් ලිව්වා .. හෙහ් හෙහ් බොරුනම් ගිහින් බලන්ඩ 

හැබැයි මේ අවුරුද්දේ වැඩේ ගොඩ දාගන්නම බැහැ 

තව පොස්ට් 12ක් විතර ලියන්න පුළුවන් හේතුවකුත් තියෙනවා හැබැයි .. ඒක පස්සෙම ලියන්නම්කො.

මම මේ හීතලේ මේක ලියන ගමන් කූල්  කරපු තිත්ත කෝපි  ටින් එකකුත්  බොන ගමන් කල්පනා කලේ ඇත්තටම මොකාද මේ මගේ 20 වසරක් තිස්සේ නොකඩවා කොටාපු බ්ලොග් එකට හෙනේට හිටියේ කියල ..

ඔහෙලා හිතුව හරි ..

දැන් මේ ලෝකේ හැම දේටම හෙනයක් වෙලා තියෙන අයියා තමා මටත් කෙල වෙන්ඩ  වැඩේ දීලා තියෙන්නේ 

උදේ ඉඳල රෑ වෙනකං  ඒ අයි යා  තමා ..

ඉස්සර නම් වැඩ කරනකොට අපිට එක එක ජාතියේ සොෆ්ට්වෙයා කෑලි , අර සර්විස්  මේ සර්විස් , අර බකට් මේ බකට් ආදී ගොඩක් ජාති තිබ්බා හැබැයි දැන් තියෙන්නේ එකයි 

ආ A අයියේ , මෙන්න මේක පොඩ්ඩක් බලපන් කියල ඉතාම කෙටියෙන් වචන දෙකෙන් තුනේ වැඩේ ගැන කියනවා .. 

එච්චරයි ..

ඊට පස්සේ ඉතින් මුළු දවසම මු කරන වැඩේ දිහා බලන් ඉන්නවා ..

ඉඳල හිටලා ප්‍රස්නයක් දෙකක් ඇහුවට වැඩේ සියයට සීයක් ම කරලා දෙනවා ..

ඉතින් එතකොට වැඩ කරනවා කියල මොනවද හැබෑටම කරන්නේ ..?

අන්න ඒක හොඳ ප්‍රස්නයක් ...

ඕකට උත්තරේ රෙදි හේදීම, ගේ අතු ගෑම, ඉවීම  සිට ඉස්කෝලේ යෑම,  කඩේ යෑම,  ෆිල්ම් බැලීම ආදී නොයෙක් පරාස වලට විහිදෙන දවස් තියෙනවා .

ඉඳල හිටලා A අයියා පිස්සු කෙලිනකොට පොඩ්ඩක් හරි පාරට ගන්නත් තියෙනවා ඉතින්.. හැබැයි එහෙම දවස් හරි අඩුයි දැන් දැන් .. 

නමුත් ඔහොම කඩේ යන එක හැමදාම කරන්නත් බෑනේ .. ඉතින් මම ගත්තා KVM  switch එකක් 

ඔය ගැජට් කෑලි ගන්නකොට මම ගන්න බ්‍රෑන්ඩ් එකක් තමා UGREEN කියන්නේ . මෙච්චර කාලෙකට ගත්ත බඩු / වයර් හැමදේම ගින්දර වගේ වැඩ .. ගාන චුට්ටක් වැඩි උනත් සෑහෙන උසස් තත්වයේ තියෙන බඩු .

ඔය KVM  switch කියන්නේ මොකක් ද කියල දන්නේ නැති කවුරු හරි ඉන්නවනම් 

මෙන්න මේ තියෙන්නේ 


ඕකෙන් කරන්නේ මගේ ඔෆිස් ලැප්ටොප් එකයි , මගේ පුද්ගලික ලැප්ටොප් එකයි එක ස්විච් එකකින් ටක් ගාල මාරු කරගන්න එක. එක මොනිටර් එකයි ,  කීබෝඩ් ,  මවුස් ඔක්කොම ටක් ටක් ගාල මාරු වෙනවා ..හරි ලේසියි ..

හරි ඉතින් ඔහොම මාරු කර කර මොනවද කරන්නේ ..

දෙයියෝ තමා ඉතින් දන්නේ .. කරන මගුලකුත් නැහැ 

මේ මාසේ නම් කොහොම හරි මොනවා හරි ලියනවා කියල ගිය මාසේ පටන් ගත්ත පෝස්ට් එක , ලබන මාසේ වෙන්න කලින් මේ මාසේ ම කොහොම හරි පබ්ලිස් කරගත්ත එකත් මදැයි නේද ..

ජිවිතේ හැටි !

Monday, April 20, 2026

අම්මට 75

 
පහුගිය පෙබරවාරි  28 වෙනිදා අපේ අම්මට වයස අවුරුදු 75ක් පිරුණා. ඇගේ ජිවිතෙන් 3/4ක් විතර මේ වෙනකොට ගෙවිලා . 

අපේ අම්මා ගැන මම ටිකක් කලින් පෝස්ට් වල ලියල තියෙනවා .  හැම උපන්දිනෙම වගේ ගොඩක් වෙලාවට ගෙවෙන්නේ ඔය පොඩි කිරිබත් ටිකක් කාල , එක්කෝ අක්කල එක්ක කොහේ හරි ට්‍රිප් එකක් ගිහිල්ලා , නැත්නම් ඔය කඩේකින් කාල , ගෙදර අවට ඉන්න අම්මගේ නෑයෝ ටික එකතු වෙලා ඔය මොනවා හරි උයාගෙන කාල සෙට් වෙන අවස්ථාත් තිබ්බා . ගොඩක් උපන්දින හැබැයි නිකන්ම ගෙවිලා යන ඒවා .. අපේ අම්මලට ඕවා කොහොම උනත් වෙනසක් නෑ .

මේ සැරේ 75 නිසා අපි පොඩි වෙනසක් කළා . ඕස්ට්‍රේලියාවේ වෙසෙන අප තිදෙනාත්,  නංගීත් ඇගේ ලොකු පුතාත්  ඒ වෙනුවෙන්ම ලංකාවට ගියා. අක්කා  ගෙවල් කිට්ටුව තියෙන හොටෙල් එකක් බුක් කරලා ඒ අවට සිටින අපේ සියලු නෑදැයින්ට ආරාධනා කරලා තිබ්බා . අම්මා දැනට ආශ්‍රය කරන ඇගේ පරණම මිතුරු මිතුරියෝ කිහිප දෙනෙකුත් එක්ක අපි පොඩි  උත්සවයක් ලැස්ති කළා .

උපන්දිනේ දවසේ උදේ අම්මා දහවල් දානයක් ලැස්ති කරලා අම්මා නිතර යන එන පන්සලේ හාමුදුරු දෙනමට දානයක් දුන්නා . මේ දානේ දීම හැම මසකම වගේ වෙන දෙයක් .

උත්සවේ ෆොටෝ ටිකක් පහලින් දාන්නම් .



මේ ඉන්නේ අම්ම


මාව දැකල නැති අයට 




මේ ස්ථානය තමා වාසල නේචර් රිසෝට් 

අපි උත්සවේ ගත්තේ රෑ . සෙනසුරාදා දවසේ  හැමෝටම තියෙන වැඩ ටික ඉවර කරලා එන්න පහසු විදියට . මේ අවස්ථාවට අපි ආරාධනා කරපු හැමදෙනාම ඇවිල්ලා හිටියා .  උත්සවය බොහොම සරල නමුත් ලස්සනට තිබුනා . නංගි සහ අපේ ළමා පිරිස විසින් අම්මා සහ අපේ නෑ  හිත මිතුරන් එකට සිටින ෆොටෝ අලවපු පොතක් හදල ඒ හැමෝටම දුන්නා අම්ම ගැන එයාලට දැනෙන දෙයක් ලියන්න කියල . හැමෝම සිය අදහස් දක්වල තිබුණා.

අපේ අම්මගේ පවුලේ සහෝදර සහෝදරියෝ 5, අපේ අම්මා තුන් වෙනියා , ලොකු අම්මලා දෙදෙනාගෙන් එක්කෙනෙක් දැනට අවුරුදු කීපයකට කලින් නැති වුණා . අම්මට බාල මල්ලියි , නංගියි . ආච්චි නැති වුනේ 2022. සීයා  නම් අපි පොඩි කාලේම පරලොව ගිහින්.

අපේ මාමා සෑහෙන උගත් , දක්ෂ කෙනෙක් . එයා තමා අපේ පවුලේ හැමෝගෙම රෝල් මොඩ්ල් එක වගේ ඉන්නේ . ලොකු අම්මලා දෙදෙනා එතරම් ඉගෙන නැතත් අපේ අම්මා සහ පුංචි මම හිතන්නේ   A /L  දක්වා පමණ ඉගෙන ගෙන තියෙනවා.

ඔය අවස්ථාවේදී මාමා ,  ලොකු අම්මා , සහ ඇවිල්ල හිටිය ගොඩක් අය තම තමන්ට අපේ අම්මා ගැන  දැනෙන දේ , ඇය ඔවුන් වෙනුවෙන් කරපු දේ ගැන කතා පැවැත්තුවා . අවුරුදු 25කට පස්සේ මමත් රැස්ව සිටි 80ක් පමණ පිරිස ඉස්සරහ  කතාවක් පැවැත්තුවා . මම මුලින්ම ඒ වගේ කතාවක් පැවැත්තුවේ මගේ පොත එලි දක්වන දවසේදී . එදාට පස්සේ ඔය ඔෆිස් වල කිහිප දෙනෙකු ඉන්න තැන කතා කරලා තිබ්බට මම කතා පවත්වල නැහැ . 

ඔය අම්මගේ පවුලේ නෑදෑයෝ හරිම හොඳ සහ තවමත් කිසි අහිතක් නැතුව ඕනේ වෙලාවක ඕනේ කෙනෙක් වෙනුවෙන් ඉන්න පිරිසක්. මම හිතන්නේ මම කලිනුත් ඔය නෑදෑයෝ ගැන කියල තියෙනවා. එයාල එදිනෙදා කීයක් හරි හම්බ කරන රස්සාවල ඉඳල NASA එකේ වැඩ කරන කෙනෙක් දක්වා විවිද රැකියාවල් කරන අය . නමුත්  ඕනේ වෙලාවක 50-60ක් පිරිස එකතු කරගන්න අපිට පුළුවන් . ඔක්කොම නෑදෑයෝ. කිසි අවුලක් නැතුව තමන්ගේ දේවල් කතා බහ කරලා නිදහසේ ඉන්න පුළුවන් පිරිසක් . මම හිතන්නේ එහෙම නෑයෝ හම්බවෙන්නේ කළාතුරකින්.  

තාත්තගේ පැත්තේ අයත් එහෙම තමා . එයාල පදිංචිය දුරින් නිසා වැඩිය හම්බවෙන්නේ නැහැ .. නමුත් එයාලගේ ආදරය හිතවත් කම තවම එහෙමම තමා .

අපේ ආච්චි 5 වෙනි පරම්පරාවේ කුඩා දියණියක් දකින්න තරම් වාසනාවන්ත වුණා. අම්මගේ පවුලේ අය හරියට වැඩ කරනවා . එයාල වැඩ කරන්න කැමතියි . වැඩ කියන්නේ වදයක් විදියට සලකනවා මම කවදාවත් දැකල නැහැ . අපේ අම්මා අවුරුදු 30-40ක් රජයේ රස්සාවක් කළා . 60න් පැන්ෂන් ගියේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩ කරලා .

හැමදාම උදේට සාරියක් ඇදගෙන බස් එකේ හිර වේවි කොළඹ කොටුවේ වේල්ල විදියේ තිබ්බ කච්චේරියේ (කොළඹ දිස්ත්‍රික් ලේඛම් කාර්යාලේ) වැඩට ගිය හැටි මට තවම මතකයි.  වේල්ල විදිය කියන්නේ  ඔය කොළඹ තියෙන අපිරිසිදුම පැත්තක් . දැන්නම් අවුරුදු 10-15කින් ගියේ නැහැ .  නමුත් ලොකු වෙනසක් වෙලා ඇති කියල මම හිතන්නේ නැහැ . වැස්සට මඩ ගොහොරු වෙන කොටුවේ පාරවල් වල, නාටාමිලාගේ කරත්ත  අස්සෙන් හැමදාම අම්මා වැඩට ගියා .  කවදාවත් රස්සාව වදයක් කියල හිතුවේ නැහැ ..

අම්මා ඔෆිස් වල අයත් එක්කත් හිතවත්ව කටයුතු කළා . ඉස්සර මම අම්මගේ ඔෆිස් එකට යනවා ඉස්කෝලේ නිවාඩු දවස් වලට . මම හිතන්නේ මම මුලින්ම කොම්පුටර් අත පත ගාන්න ගත්තේ ඔෆිස් එකෙදීද කොහෙද . ඒ පරණ කච්චේරි බිල්ඩින් එක එහෙම දැන් මතක් වෙනකොට හරි අමුතු හැඟීමක් දැනෙන්නේ .. යන්න ඕනේ ආයේ බලන්න අම්මත් එක්කගෙන 

මම එදා ඔය කරපු කතාවේදී මතක් කරපු කරණු  දෙක තුනක් ලියල දාන්නම් . එකක් තමා අපේ ගෙදර අම්මා හෝ තාත්තා කවදාවත් මට ගහල බැනල නැහැ . ඒ කියන්නේ ඉඳල හිටලා මොනවා හරි දඟ වැඩක් කලොත් දෙන ආදරණිය ෂොට් එකක් ඇරෙන්න තරහින් , වද දීමේ චේතනාවෙන් ගහපු බැනපු කිසිම අවස්තාවක් නැහැ . ගොඩක් වෙලාවට දෙමව්පියෝ හිතනවා කොල්ලෙක් හදනකොට ගහල බැනල රළුවට හැදුවට කමක් නැහැ කියල . හැබැයි මගේ අදහස නම් සුමට ලෙස හැදුනු පිරිමි ජිවිතේට වඩා ශක්තිමත්ව මුහුණ දෙනවා කියන එක . මම පෙනුමෙන් , සමාජ වැඩ වලදී එතරම් රළු ,  දැඩි චරිතයක් නොවුනට බොහෝ එවැනි චරිත ෆේල් වෙනකොට මම අවුලක් නැතුව ඉඳල තියෙනවා .  මේකට හේතුව විදියට මම හිතන්නේ මට සමාජයෙන් approval එකක් validation එකක් අවශ්‍ය නොවීම වෙන්න ඇති . සමාජේ මට මොනවා කලත් මට ගෙදර යන්න පුළුවන් , අම්මයි තාත්තයි මට ඉන්නවා කියන දේ විතරක් මට හැමදාම තිබ්බා .

ඊට පස්සේ අපේ අම්මා මට කියපු දේවලින් මට කාවැදුණු දෙයක් තමා ඔයාට ඉන්නේ ඔයා විතරයි කියන එක . මේකේ අදහස ආත්මාර්ථකාමී වෙන එක නෙමේ , ජිවිතේට ශක්තිමත්ව මුහුණ දෙන්න පුරුදු වෙයන් කියන එක තමා මම තේරුම් ගත්තේ . ඔය ශක්තිමත් කම එන්න වැදගත්ම සාධක තමා  ආර්ථික ශක්තිය සහ  මානසික ශක්තිය. ඔය දෙක සමබරව හදා ගැනීම ඉතා වැදගත් . අපි කවුරුත් මිලියන පතියෝ නෙවෙයි නමුත් , අනුන්ට වදයක් නොවී , කෙනෙකුට අවශ්‍යතාවයකදී උදව්වක් කරගෙන ඉන්න පුළුවන් තැනක ජිවත් වෙනවා .  ජිවත් වීම වදයක් වෙලා නැහැ 

ඊළඟ කරුණ තමා අපිව ආගමකට හිර නොකිරිම . අපි බෞද්ධ , දාන මානාදී වැඩ ගොඩක් කරනවා . හැබැයි මට ආගම ගැන තද භක්තියක් , බයක් හෝ එවැනි කිසිම බැඳීමක් නැහැ . අපේ අම්මා ජිවත් වෙන්නෙත් එහෙම තමා . ඇය රැඩිකල් බෞද්ධ නෙමේ . නමුත් හැමදේම පහසුවෙන් කරගන්න පුළුවන් තරමේ බෞද්ධ කියල මට හිතෙනවා .  අම්මා අපිව දහම්පාසල් යැව්වා , බෞද්ධ ජීවිතය ඇගේ ජිවිතයෙන් ගෙවලා අපිට පෙන්නුවා . එච්චරයි  ඊට පස්සේ එයා උඹලට ඕනේ විදියකට හිටපල්ලා කියන නිදහස අපිට දුන්නා .

ඊළඟ එක තමා විවාහයෙන් පස්සේ මට දුන්න වැදගත් උපදෙසක් තමා "ඔය ළමය කියන දේ අහගෙන හිටපන් කියන එක " හෙහ් හෙහ් .. අම්මා දන්නවා එදා ඉඳන් මගේ හැටි .. ඔය ගැන විස්තර මම කතාවේ ටිකක් පැහැදිලි කලාට මේක කියවන ඔහෙලට මෙන්න මේක පොඩ්ඩක් කියෙව්වනම් ආයේ වැඩි විස්තර ඕනේ වෙන එකක් නැහැ හෙහ් හෙහ් .

බොහොම අමාරුවෙන් මේ අවුරුද්දට එකක් ලියල දා ගත්තා . බ්ලොග් එක නොලියන්න හේතු වෙච්ච තව ආතල් ජනක දේවල් ටිකක් එක්ක තව එකක් ලියන්නම්කො (මේ අවුරුද්දේ ද කියල අහන්ඩ එපා )


Saturday, December 06, 2025

වෙනස් නොවන අසරණයෝ !

2016 ගංවතුර ආපු වෙලාවේ ලියු සටහන මේ .  ආයේත්  ඒ වගේම කාලයක් ඇවිත් .  ගං වතුර තාමත් එහෙමමයි , අපේ ගමේ අපිත් එක්ක ගංවතුරට කොටු වුනු බොහෝ දෙනාත් තාමත් එහෙමමයි .

සමහර ජිවිත අලුත් නොවෙන්න පරිසර සාධක බලපානවද ?  ඔය අපි හිටපු පළාත දැන් අවුරුදු 30-40කට පස්සෙත් එච්චර වෙනසක් වෙලා නැහැ .. ඒ පාර , ඒ පැත්තේ මිනිස්සුන්ගේ ගෙවල් , රස්සා ආදිය ලොකු වෙනසක් වෙලා නැහැ .. මම ගිය අවුරුද්දේ ගියා පරණ යාළුවන් ගේ ගෙවල් කීපෙකට , ඒ ගෙවල් මිට අවුරුදු 30-40කට කලින් තිබ්බ තත්වෙට වඩා දශම ගානකින් ඕනනම් වෙනස් වෙලා ඇති . බොට්ටා තාම ඉන්නේ උන්ගේ මහ ගෙදර , ඒ ගෙදර අපි පොඩි කාලේ ගිය ගෙදරමයි , ඉස්සර කුප්පි ලාම්පු තිබ්බ ගෙදරට දැන් ලයිට් තියෙනවා . අජ්ජා ඉන්නෙත් තාත්තා හදපු පුංචි ගෙදරමයි , ලොකු දොඩ්ඩ අලුතින් ගෙයක් හදන්න පටන් අරගෙන හැබැයි මම කලුවරට දැක්කේ යන්තම් උස්ස ගත්ත බිත්ති ගොඩක් විතරයි , උගේ ජිවිත කාලෙම ඌ ඒ ගේ හදයි ..

සුගත් , චමින්ද හොඳ ගෙවල් දෙකක් හදාගෙන තරමක් හොඳට ඉන්නවා , උන්ගේ ජිවිත වෙනස් වෙන්නේ හරි හෙමින් .

අපි හිටිය බියගම කියන්නේ කොළඹ ඉඳල 20km වත් නැති තරම් රටේ ප්‍රධානම  නගරයට ළඟ තැනක්  හැබැයි ඒ ජීවිතයි , ඈත දුම්බර මිනිස්සුන්ගේ ජීවිතයි අතර මහා වෙනසක් නැහැ . මොකක් හරි හේතුවක් නිසා අපේ රටේ දියුණුව කියන එක මහා අබූත විදියකට තමා ව්‍යාප්ත වෙන්නේ .

මම මේ ජිවත් වෙන්නේ තුන් වෙනි රටේ . අනිත් රටවල් දෙකේම ප්‍රධාන නගර වල ඉඳල 20km කියන්නේ ඒ රටේ prime location විදියට සැලකෙනවා . ලංකාවේ ප්‍රධාන නගරය තුලම කොච්චර අවාසනාවන්ත ජිවිත තියෙනවද ?

අපි ඔය ගමට පිටින් ඇවිල්ලා පදිංචි වෙච්ච අය . ඒ කියන්නේ අපේ තාත්තා එහෙට ආවේ හපුතලේ ඉඳල . ඔය මගේ යාලුවෝ ඔක්කොම පරම්පරාවෙන් ඒ ගමේම උපන් අය . ඉස්සර මට මතකයි ඔය ගමේ කට්ටිය කියනවා ගමට පිටිං ආපු මිනිස්සු හැමදාම දියුණු වෙනවා , ගමේ උන් එකම තැනමයි කියල ..ඒක ඇත්ත 

නගරෙට කිට්ටුව තියෙන තැනකට දුර ඉඳල එන කෙනෙක් දියුණු වෙන්නයි , උපන්දා ඉඳල එක්කෝ නගරෙම හැදුනු , නැත්නම් ඒ ආසන්නයේ ජිවත් වෙච්ච මිනිස්සු ඔහේ ඉන්නං වාලේ ඉන්නයි හේතුව මොකක් ද මන්ද ?

මම හිතන්නේ risk ගන්න තියෙන අකමැත්ත වෙන්න පුළුවන් කියල , උන්න තැන අතෑරලා අලුත් තැනකට යන කෙනා යන්නෙම risk එකක් ගන්නනේ , එතන ඉඳල කරන හැමදේම risk තමා , හැබැයි අතාරින්නෙ නැතුව ඇදගෙන යනවා , නමුත් උපන්දා ඉඳල එකම තැන ඉන්න මිනිස්සු වෙනසක් වෙන්න කැමති නැහැ .. ඔය ඇති , මේ හොඳයි , අපේ පරම් පරාවම හිටියේ මෙහෙම තමා , තණ්හාය ජායති සෝකෝ නේ  කියල ඔහේ තියෙන දෙයක් කාල වැටිලා ඉන්නවා වගේ දෙයක් කියල තම මට නම් හිතෙන්නේ ...

ඒකෙ ඇති වැරැද්දක් නැහැ .. හැබැයි ඒ ජිවිත අපරාදේ , ඔවුන්ට හැමදාම ප්‍රශ්න , ජීවිතේම දුකක් කියල හිතෙනවා , ඔවුන් සැප හොයන්නේ කෙළවර තමා ...  ඒ වෙනකම් ඔවුන්ට  මොනවා හරි කරදරයක් උනාම රටේ ඉන්න අර risk අරගෙන, දැඩි මහන්සියකින් වැඩ කරන මිනිස්සු ඔවුන් වෙනුවෙනුත් මහන්සි වෙලා, ඔවුන්ව ජිවත්  කරලා දෙන්න ඕනේ .

මේ අදහස වැරදියට ගන්න එපා , නමුත් අපේ වගේ රටවල මිනිස්සුන්ගේ ආකල්ප වල ලොකු අවුලක් තියෙනවා . ඒ අවුල අපි දකින්නේ රටේ දේශපාලනයේ අවුලක් කියල නමුත් ඇත්තටම මිනිස්සුන්ගේ අවශ්‍යතා මොනවාද කියල ඔවුන් නොදැනීම තමා තියෙන අවුල කියල මට නම් හිතෙන්නේ ..

උදාහරනෙකට ඔය බියගම කියන්නේ හැමදාම ගංවතුරට යටවෙන පලාතක් . මම මේ ජිවත් වෙච්ච දසක 4ටම ඔය පළාතේ කිසිම සංවර්ධනයක් ගංවතුර වැළැක්වීමටවත් , අඩුම තරමේ ගංවතුරක් ආවම  නිසි පරිදි ඒක කළමනාකරණය කරගන්න වත් ක්‍රමයක් නැහැ .. කොළඹ නුවර යන අලුත් පාර තියෙන්නේ ඔය පලාත හරහා  , පිටත වටරවුම් පාරේ ප්‍රධාන exit තුනක් ඔය අවට තියෙනවා. මේ වගේ රටේ ප්‍රධාන නගරයට කිට්ටුව තියෙන ප්‍රදේශ  ගොඩක් කිසිම සැලකිල්ලකින් තොරව දශක ගානක් තිස්සේ ඔහේ තියෙන්නේ  කොහොමද කියල හිතල බලනකොටත් පුදුමයි .

ලංකාවට සිදුවෙන විනාස හැමදේකින්ම , හැමදාම වෙන්නේ අසරණ වෙන මිනිස්සුන්ට කට්ටිය හෝ ගාල උදව් කරනවා , සති දෙකකට පස්සේ හිටපු විදියටම ආයේ ඔහේ ඉන්නවා , ආයේ විනාසයක් එනකම් !

මම සරල දෙයක් විදියට   කිව්වොත් , ඔය බියගම අපේ ගෙවල් තිබ්බ හරිය ගොඩක් උසයි , කවදාවත් යටවෙන්නේ නැහැ . ඒ මිනිස්සු හැමදාම කොටුවෙනවා .හැබැයි එක ගෙදරකවත් පොඩි මෝටර් බෝට්ටුවක් නැහැ .  වතුර ටිකක් වැඩිවෙනකොට පළාත යටවෙනවනම් අත්‍යාවශ්‍ය බදු ටිකක් ගෙනල්ල ගබඩා කරලා තියන්න පුළුවන් පොඩි  ගබඩා සංකීර්ණයක් හදන්න මහා වියදමක් යන්නේ නැහැනේ ..  වටේ 5km විතර කොටුවෙලා අසරණ වෙන මිනිස්සුන්ට දවස් දෙක තුනක් අනුන්ගෙන් යැපෙන්නේ නැතිව ඉන්න පුළුවන් මුලික පහසුකම් ටික හදන්න කාටවත් සැලසුමක් නැහැ , ඒ පළාත් වල ඉන්න මිනිස්සුන්ට එහෙම දේවල් තමන්ට ඕනේ කියල අඩුම තරමේ හැඟීමක් වත් නැහැ . 

මම හිතන්නේ නැහැ කිසිම රජයක් ඔය ඔක්කොම ගැටළු වලට හිතල උත්තර හදල දෙයි කියල . ඒ ඒ පලාත්වල ඉන්න මිනිස්සුන්ට රජයට සහ දේශපාලනයට බල කරලා තමන්ගේ ආරක්ෂාව , තමන්ගේ සුව පහසුව සඳහා වැඩ කරව ගන්න දැනුම සහ අවශ්‍යතාව තියෙන්න ඕනේ .

අසරණ මිනිස්සු අසරණ වෙලා තියෙන්නේ , අසරණ නොවී සිටින්න තමන්ට අවශ්‍යතාවයක් නැති හින්ද කියල හිතෙන්නේ නැද්ද ?

හැබැයි අපිට අසරණයින්ට සරණ වෙලා පින් කරලා කෙළවර සැප විදින්න තියෙන චාන්ස් එක අඩුවෙනවා !!!

Saturday, November 08, 2025

පළමු යාලුවාගේ මරණය !

ගිය සෙනසුරාද උදේ සුදුව මැරුණා . සුදුවා ගැන මම මිට කලින් ලියල තියෙනවා . ඌ මගේ හොඳම යාලුවා කියල මම කවදාවත් කියන්නේ නැහැ .. හැබැයි ඌ තමා මගේ පළමු යාලුවා. 

සුදුවගේ නම චමින්ද , මම ජිවිතේට ඌට චමින්ද කියල කතා කරලා නෑ ..හැමදාම සුදූ , සුදුවා තමා .. ඌට සුදූ කිව්වේ මොන මගුලටදැයි අපි කවදාවත් අහලත් නෑ, හිතලත් නෑ .. 

උගේ මරණය ගැන අහපු වෙලාවේ මට දැනුනේ දුකක් නෙමේ සංවේගයක් ! ඒ කියන්නේ යාලුවෙකුගේ මරණයට වඩා මේ ලෝකේ ඕනෙම කෙනෙක් මැරුණා කියල ඇහුවම දැනෙන හැඟීම වගේ දෙයක් .

මම අර සෙල්ලම් කාලේ පොස්ට් එකේ දී දාල තියෙන අපේ පරණ ගෙදර ඉන්න කාලේ ඉඳල සුදුලෑ පවුලයි , අපේ පවුලයි අඳුරනවා .. ඒ කියන්නේ අපේ අම්මයි තාත්තයි හපුතලේ ඉඳල බියගමට පදිංචියට ආපු කාලේ ඉඳල අපේ අසලවැසියෝ උනේ සුදුලයි, සුගත්ලයි .. මට මතකයි අපේ අම්මා කියනවා අම්මලට බොන්න තේ ටිකක් වත් හදා ගන්න විදියක් නැතිව ඉන්නකොට ඒ මිනිස්සු කෑම  බිම ගෙනල්ල දුන්න හැටි ගැන .

මට සුදුව කියන්නේ ජිවිතේ මම හැමදාම දැනගෙන හිටිය එකෙක් වගේ .. ඒ  කියන්නේ ඌව අඳුරගත්ත දවසක් මගේ මතකේ නැහැ ...  ඌ මට වයස අවුරුදු දෙකේ තුනේ විතර ඉඳල මාත් එක්ක සෙල්ලං  කරන්න ඇති .. ඌයි මායි එක වයසේ ..!

අපි දෙන්නා ගියේ එක ඉස්කෝලෙට, හිටියේ එකම පන්තියේ ..සෙල්ලං  කලේ කෑවේ බිව්වේ එකට ..

හැබැයි ඌ මැරුණා කියල ඇහුවම මට සංවේගයක් එක්කම සහනයකුත් දැනුනා කියල මට හිතෙනවා!

සුදුවා කියන්නේ තනිකර බුලියෙක් ! ඌ මාව පොඩි කාලේ ඉඳල බුලි කළා කියන එක තමා මට ඌ ගැන තියෙන මතකේ 

ඒක මට තේරෙන්න පටන් ගත්තේ ගොඩක් පහු වෙලා ...  මට ඒක පොඩි කාලේ ප්‍රශ්නයක් උනත් , මම ගණන් ගන්නේ නැතුව හිටියා .. හැබැයි අවුරුදු 18-20දී තේරෙන්න ගත්තට පස්සේ මම ටික ටික උගෙන් ඈත් වුණා ..

උගේ ඒ  බුලි කම මට විතරක් තිබ්බ දෙයක් නෙමේ ... ඌව ආස්සරේ කරපු ගොඩක් උන්ව ඌ බුලි කළා ..

ඒ දවස් වල අපේ පැත්තේ ගොඩක් මිනිස්සුන්ට තිබ්බේ එක්කෝ පොල් අතු ගෙවල් නැත්නම් යන්තම් කටු මැටි / ඔය මැටි ගඩොල් වලින් හදපු ගෙවල් .. ඒ කාලෙත් සුදුලට තිබ්බ සිමෙන්ති වලින් බැඳලා කපරාරු කරපු ගෙයක් ... පොඩි ගෙයක් නමුත් ඒක අනිත් ඒවට වඩා හොඳ ගෙයක් 

සුදුලෑ තාත්තා වැඩ කලේ විදුලි බල මණ්ඩලේ .. මම හිතන්නේ මනු කියවන්නෙක් ලෙස පටන් අරන් ඊට පස්සේ ඉහලට යන්න ඇති .. නමුත්  මොනවා කලාද කියල මම දන්නේ නැහැ .. හැබැයි ඔහුව තාමත් ගමේ හැමෝම දන්නේ ලයිට් බාසුන්නැහැ කියල .. ඉලෙක්ට්‍රික් වැඩ එහෙම හොඳට දන්නවා  .

සුදුලෑ අම්මා ගෙදර හිටියේ .. සුදුලෑ  අම්මා අපි පොඩි කාලේ හරි සැර නපුරු කෙනෙක් විදියට තමා අපිට පෙනුනේ .. කොයි වෙලෙත් රණ්ඩු වෙන ,  සුදුවට ගහන , බනින අර නපුරු කුඩම්මා කියන චරිතේ වගේ කෙනෙක් ... හැබැයි අපි ලොකු වෙනකොට සුදුලෑ අම්මා මාත් එක්ක ගොඩක් හිතවත් උනා .. මට ගොඩක් හොඳින් සැළකුවා ..  ඇය මිය ගිය දවසේ මට ඇත්තටම ලොකු දුකක් පාළුවක් දැනුනා කියල මට අදටත් මතකයි !

සුදුවා බුලියෙක් වෙලා , සමාජෙට බරක් වෙච්ච , අකාලයේ අන්ත අසරණව සෑහෙන දුකක් විඳලා මැරෙන්න හේතුව ඒ දෙමව්පියෝ කියල තමා මට අදටත් හිතෙන්නේ ..

ඌයි මායි හැදුනේ එකම පරිසරයක , ආස්සරේ කලේ එකම යාලුවෝ , ගිය එකම ඉස්කෝලෙට , ඌට නැති වුණේ දෙමව්පියන්ගේ ආදරේ කියල විතරමයි මට හිතෙන්නේ .. සමහරවිට ජාන වලින් එන අවුල් තියෙන්න ඇති .. නැත්නම් කර්මය හරි සර්වබලදාරි වහන්සේගේ කැමැත්ත වෙන්න ඇති .. හැබැයි සියයට සියක් මට කියන්න පුළුවන් උගේ ජිවිතේට අඩුවෙන්ම ලැබුනේ කරුණාවන්ත කම , ආදරය , රැකවරණය ආදී මුලික මිනිස් අයිතිවාසිකම් කියල ..

ඌ අම්මගෙනුයි තාත්තගෙනුයි අමු තිත්ත කුණු හරුපෙන් බැනුම් අහද්දී ඌට වයස අවුරුදු 10ක් වත් නැතුව ඇති ..  ඒ දෙමව්පියෝ ඌව හැදුවේ වදයක් විදියට සලකල .. සුදුවට හිටියේ අක්කා කෙනෙක් විතරයි ..  මට හිටියෙත් අක්කා විතරයි .. අපේ ගෙදරයි උන්ගේ ගෙදරයි  අහසයි අපායයි වගේ කියල තමා මට හිතුනේ ..

ඌ අඬපු හැටි මට මේ දැනුත් මැවිලා පේනවා ..   O/L  විබාගෙට කලින් දවසේ පන්සලට  ගිහින් එන්න කියල ගෙවල් වලින් ළමයින්ට කියන එක සාමාන්‍ය දෙයක් නේ ..

සුදුවට ඒක උගේ අම්මා කිව්වේ " කාලකන්ණි වේ* ගේ පුතා පලයන් පන්සලට ගිහින් වැඳලා වරෙන් .. තෝව මරණව දැනගනින් .."  මේ වචන මම  උන්ගේ ගේ ඉස්සරහ ඌ එනකං ඉන්න ටිකට මට ඇහුන ටික .. ඌ ගෙදරින් එලියට බැස්සෙත් අම්මට අමු කුණුහරුපෙන් බැනගෙන .. හැබැයි ඌ මග දිගට අඬ අඬ ගිහන් බියගම ගනේවත්ත පන්සලේදී හොඳටම අඬුව .. මට ඒක  ජිවිතේට අමතක නොවෙන සිද්ධියක් .. 

උගේ ඉගෙනීම ගැන මම මොකුත් කියන්නේ නැහැ ..!

බියගම වෙළඳ කලාපෙට ආපු ගෑනු ළමයින්ට බෝඩින් කාමර හදන එක ඒ පැත්තේ මිනිස්සුන්ට හොඳ ආදායම් මාර්ගයක් .. සුදුලා එයාලගේ ගෙදරට පිටිපස්සෙන් තව ලොකු ගෙයක් හැදුවා ඔය කාලේ .. ඒ කියන්නේ අපේ ගෙදරයි උන්ගේ ගෙදරයි අතර ...

ඔය කෙල්ලෝ නාන ලිඳ තිබ්බේ අපේ ගෙදරට හොඳට පේන විදියට , මම මුලින්ම ගෑනු නිරුවත දැක්කේ ඒ කාලේ .. මොකද ඒ කෙල්ලෝ නාද්දී දිය රෙද්ද හදන්නේ අපේ ගේ පැත්ත හැරිලා .. 

මම ඕවා බලල තේ ගහනකොට සුදුවා මම හිතන්නේ ඒ බෝඩිමේ හිටපු හැම කෙල්ලටම ගහන්න ඇති !.. ඒ අතින් ඌ ලෙජන්ඩ් එකක් !!!

මම දන්න විදියට A/L  ඉවර වෙලා අවුරුද්දක් දෙකක් යනකම් අපි හොරෙන් වැල පීස් බලනකොට සුදුවා ඒ පැත්තේ හිටපු වයස 30,40,50 වෙච්ච ඇන්ටිලා කිහිප දෙනෙක් එක්කත් සෑහෙන සෙල්ලං දදා හිටියේ .. 

ඔය කාලේදී සුදුලෑ ගෙදරට වෑන් එකක් ගත්තා .. ටොයෝටා හයිඑස් එකක් .. සැරයක් මගේ කොම්පුටර් එක කැඩිලා එක හදන්න බම්බලපිටියේ MC  එකට එහා පැත්තේ unity plaza එකේ  තිබ්බ  PC හවුස් හරි මොකක් හරි ඒ දවස් වෙල හෙන ජනප්‍රිය කොම්පුටර් කඩේට ඌයි මායි සුදුලෑ අම්මයි ගියා ..

සුදුවගේ වයිෆ්ව යාලු කරගන්න ලියපු පළවෙනි ලව් ලෙටර් එක ඕකට ලියල දුන්නේ මම .. ඌ එක ඌ ලිව්වා වගේ ගිහින් දීලා කොහොමහරි ඒ කෙල්ලව යාලු කරගත්ත ..  පස්සේ අපි දෙන්න ඒ කතාව උගේ වයිෆ්ට කියා කියා හිනා වෙවී හිටියා ..

ඌයි මායි O/L  ඉවර වෙලා මියුසික් ක්ලාස් ගියා ඔය දෙල්ගොඩ හරියේ .. ඌ ගිටාර් ඉගෙන ගත්තා මම කීබෝඩ් , මට ඒ වැඩේ සෙට් උනේ නැති උනත් සුදුවා ඒ වැඩේ දිගටම කළා .. ඌ ලීඩ් ගිටාර් ගහන බෑන්ඩ් එකක් හදා ගත්තේ පස්සේ කාලෙක .. පස්සේ පස්සේ කලේ ඔය Sounds බඩු එහෙම කුලියට දෙන එක තමා .. මම හිතන්නේ මැරෙනකම් ම කලේ ඒක .. වෙන කිසි දෙයක් ඉගෙන ගත්තේවත් කවදාවත් රස්සාවක් කලේ වත් නැහැ ..

ආ වෙළඳ කලාපෙට කෙල්ලෝ අරන් හයර් දිව්වා වෑන් එකේ ..

සුදුවා බුලියෙක් හින්දා ඌට බජාර් එකේ කට්ටිය හිටියා .. ඌ වචන වලින් එහාට මිනිස්සුන්ව බුලි කරන ජාතියේ එකෙක් .. 

අපේ ගෙදරයි උන්ගේ ගෙදරයි අතර දුර මීටර් 50-100ක් ඇති ඕනනම් .. මම කඩේට ගිහින් උන්ගේ ගේ පාස් කරලා එන ටිකට ඕක මාව අල්ලගෙන එක්කෝ කඩෙන් ගෙනාපු දේ බලෙන් අරන් කනවා .. ඊට පස්සේ මට ගෙදර යන්න ඇරලා මු මට ගල් වලින් ගහනවා .. ඒක විහිලුවට වරක් දෙවරක් කරපු දේකට  වඩා අර හිංසා කරලා සතුටු වෙන්න කරපු වැඩක් .. මේ විදියේ වැඩ ඕනේ තරම් ඕක අපේ සෙට් එකේ සහ ඌව ආස්සරේ කරපු බොහෝ දෙනෙකුට කරලා තියෙනවා .. ඒ පොඩි කාලේ,  පස්සේ ඒවා ඊට වඩා දුර දිග ගිය බව මට ආරංචි උණා ..

මම කොහොමත් A/L කාලෙන් පස්සේ ගමේ උන්ගෙන් ටික ටික ඈත් උණා .. සුදුවත් ඔය යන එනකොට එහෙන් මෙහෙන් හම්බුනාට වැඩි ගනු දෙනුවක් තිබ්බේ නැහැ .. මම ඌට සෑහෙන වතාවක් ඔය කුපාඩි වැඩ නතර කරලා මනුස්සයෙක් වෙයං කියල කියල තියෙනවා.. හැබැයි ඌට ඒ කාලේදී බජාර් එකේ ලොකු කකුල් සෙට් වෙලා හිටියා .. අපිව ගණන් ගන්න තරම් ඌට උවමනාවක් තිබ්බේ නැහැ ..

සුදුලෑ අම්මා නැති උනේ ඊට අවුරුදු 5-6කට පස්සේ .. එතකොට සුදුව බැඳලා හිටියේ .. සුදුලෑ අම්මා ඒ වෙනකොට පොඩ්ඩක් සතුටින් ඉන්න , හිත හොඳ කෙනෙක් විදියට තමා මට හිතුනේ ..  උන්ගේ ගෙදරට ටෙලිපොන් හම්බ උනේ අපිට කලින් .. ඒ කාලේ මම මම ඔය එව්වා මෙව්වා තිබ්බ කෙල්ලන්ට දෙන්නේ උන්ගේ ගෙදර නම්බරේ ..  සුදුලෑ අම්මා ඉතින් එක්කෝ එනවා වැට අයිනට ඇවිල්ලා කෑ ගහනවා "මෙන්න කෝල් එකක් එන්ඩෝ .."කියල .. එහෙම නැත්නම් දොර ගාවට ඇවිල්ලම කියනවා "අන්න ගෑනු ළමයෙක් කතා කරනවා ඔයා දුවල යන්න මම හෙමින් එන්නම්.." කියල .. හෙහ් හෙහ් ..

සුදුලෑ අම්මා, සුදුවටත් ඒ කාලේ වෙනකොට එච්චර බැන්නේ නැද්ද කොහෙද .. මම හිතන්නේ ඒ වෙද්දී අම්මලා තාත්තල උගේ හැටි දැනගෙන හිටියේ .. බැනල හදන්න ගියේ නැහැ ..

සුදුවා ගැන මට තියෙන්නේ අන්තිම මතක කීපයක් විතරයි .. එක දවසක් මම ඔය මැලේසියාවේ ඉඳල ලංකාවට ගිය දවසක මු මට කෝල් කළා . බිලද,  කුඩු ගහලද මම දන්නේ නැහැ .. ඒ කෝල් එකෙන් පස්සේ මම ආයේ ඌ දැක්කේ 2023 ලංකාවට ගිහින් ගෙවල් පැත්තේ ඇවිදලා එන්න ගිය වෙලාවේ .. එතකොට ඌ හොඳටම අසනීප වෙලා හිටියේ .. දිය වැඩියාව වැඩිවෙලා ..  මම ගෙදරට ගියා ඌව බලන්න , හොඳටම අමාරුවෙන් හිටියේ .. වයිෆ් හිටියේ නැහැ, ළමයි තුන් දෙනෙක් ද කොහෙද ඉන්නවා  .. මුළු ගෙදරම චු ගඳයි , අපාය වගේ .. මූ ඇත්තටම වේදනාවෙන් ඉඳගෙන මට කිව්වා පොඩ්ඩක් මේ පිට අතගාපන්කෝ රිදෙනවා බන් කියල ..  මම ටික වෙලාවක් පිට අත ගගා ඉඳල එන්න ආවා ..

2024  දෙසම්බරුත් මම ගියා සුගත්ලගේ ගෙදර රෑ කෑමට ... ඒ සැරේ සුදුව බලන්න යද්දී සුගත්ලගේ තාත්ත ගාමිණි මාමා කිව්වා "ඔයා යන්න එපා පුතේ අපාය වගේ විසබීජ ගොඩක් , යන යන මිනිසුන්ට කියල වැඩ ගන්නවා .. ඔයා යන්න එපා කියල ..  මම එදා රෑ අනිත් ගොඩක් කොල්ලෝ හම්බවෙන්න උන්ගේ ගෙවල් වල ගිහින් ආපහු ආවා .. සුදුවව බලන්න ගියේ නැහැ ..

මම එත් සුගත් අතේ ඌට පණිවිඩ යැව්වා ඔය දියවැඩියාවට බෙහෙත් ගන්න මම දන්නා දොස්තරලා ගැන .. නමුත් ඌ ඒවා ගණන් ගන්නේ නෑ කියල සුගත් කිව්වා 

ඊට මාස දෙක තුනකට පස්සේ  සුගත් මැසේජ් එකක් දැම්මා සුදුවගේ කකුල කැපුවා බන් කියල .. 

ඒ වෙද්දී සුදුවගේ වයිෆ් රට ගිහින් .. හැබැයි ඌව දාල ගිහින් නෙමේ .. ළමයි ටික හදා ගන්න හිතාගෙන ගිහින් තියෙන්නේ ..

ඊට පස්සේ ගිය සෙනසුරාද මැසේජ් එක  ආවා සුදුවා මැරුණා බන් කියල .. ඌ සෑහෙන දුකක් විඳලා , මුළු ඇඟටම විසබීජ ගිහින් ඉස්පිරිතාලේදී මැරිලා තියෙන්නේ ..

සුගත් අන්තිමට කිව්වෙත් ඌ මැරුණේ විහින් බන් .. මැරිච්ච එක හොඳයි බන් කියල ..

ගෙවුණු සතියේ කීප සැරයක් මට ඌව මතක් වෙලා ඇඩුනා.. ඒ ඌ නැති දුක හින්දා නෙමේ . ඌ පව් කියල ..   මට ඌ පොඩි කාලේ අම්මලට බයේ අඬපු හැටි මතක් වෙනවා .. උගේ මුනේ තිබ්බ අසරණ කම සමහර වෙලාවට මැවිලා පේනවා .. ඌ ලොකු වෙලා බජාර් එකේ මැරයෙක් වෙච්ච චරිතේ මම ආස්සරේ කරලා නැති හින්දා මට උගේ ඒ නරක රූපේ මැවෙන්නේ නැහැ ..  හොඳටම රිදුනු අසරණ පොඩි එකෙකුගේ රුපයක් විතරයි මගේ ඔලුවේ තියෙන්නේ ..

නිවන/ ස්වර්ගය/ දෙව්ලොව කියල දේවල් මේ ලෝකේ තියෙනවනම් ඇත්තටම ඒවා අත්විඳින්න ලැබෙන්න  ඕනේ මේ විදියට අපා දුක් විඳලා, මේ ජිවිතේ සතුට කියල දෙයක් විඳින්න නොලැබු න සුදුවා වගේ මිනිස්සුන්ට තමා. කෙළවර තියෙනවයි කියන අමාමහ  සැනසීමවත් උන්ට ලැබෙන්න ඕනේ ! 

උඹට නිවන් සුව ලැබෙයි මචං !!!!


Monday, August 11, 2025

හිපියෙකුගේ නිවන

හිපි සංස්කෘතිය ජනප්‍රිය වෙලා තිබුනේ 1960-1970 දශක වල . අපි පොඩි කාලේ හිපියෝ කියන්නේ මහා නරක මිනිස්සු ජාතියක් විදියට තමා ඔලුවේ තිබුණේ . මම හිතන්නේ හිපි සංස්කෘතිය මේ වෙද්දී දකින්න නැති තරම් ... නමුත් මම හිතනවා 2000 විතර වෙනකම් ඔය සමාජයේ අය හිටියා කියල .. (මම හරියට දැනුවත් නැහැ .. දන්නා කෙනක් විස්තර කියයි කියල හිතමු )

අපි තරුණ කාලේ වෙද්දී (15-20) වගේ ඔය හිපියන්ගේ ගන්න තරම් දේවල් අපේ ලෝකේ තිබුනේ නැහැ .. ගංජා ගහපු එවුන් කොහොමත් හිටියා .. අනිත් විෂයන් වලට ඇදිලා ගිය කොල්ලොත් ඕනේ තරම් හිටියා .. නමුත් ඒවා කෙලින්ම හිපි සංස්කෘතියේ බලපෑම කියල මම හිතන්නේ නැහැ .. 

ගෙවල් වලින් පැනල ගිහින් වීරක්‍රියා කරපු ළමයි ගැන නම් අපිට කියවන්න ඔය කාලේ හැකිවුනා .  මඩොල් දුවේන් වෙන්න ඇති ඔය කතා අපි අතරට එන්න පටන් ගන්න ඇත්තේ . පොඩි කාලේ එහෙම වීරක්‍රියා කියෙව්වට කවද හරි ගෙදරින් පැනල ගිහින් හිපියෙක් වගේ ඉන්න නම් මට හිතිලා නැහැ ..එහෙම හිතුනු අය ඉන්නවද ? නමුත් මම රට රටවල ඇවිදින්න ආසාවෙන් හිටියා . 

මට මතකයි පත්තර වල හිපියන්ට/ ඕෂෝ ට එහෙම බනිනවා සහ ඒ කාලේ තිබ්බ සමහර කල්ට් ගැන ලිපි .. මම එහෙම ලිපි කියවල තියෙනවා ..  හැබැයි ඒ මේ මොනවාද කියල දැන ගන්න මිසක් එච්චර අවබෝදෙකින් නෙමේ . අපි තරුණ කාලේ හිපි සංස්කෘතිය විනාස වෙමින් තිබුනේ .

අපි පොඩි කාලේ සුද්දෝ අපේ ගෙවල් පැති වල පාරවල් වල දුවනවා උදේට .. එයාල සමහර හන්දි වල සුදු පාට පොඩි කොළ කෑලි දදා යනවා පාරවල් හොයා ගන්න පහසු වෙන්න .. අපිට තිබ්බ විනෝදයක් තමා ඒ පොඩි කොළ කෑලි (සෙන්ටිමීටරයක් වගේ දිග ත්‍රිකෝණාකාර පොඩි කඩදාසි කෑලි ) ඔක්කොම එකතු කරලා පාර වරදින විදියට වෙන කොහේ හරි හන්දියකට ගිහින් දාන එක හෙහ් හෙහ් .

අපි හිටියේ බියගම නිසා මේ සුද්දෝ බොහෝ විට කොකා කොලා කොම්පැනියේ වැඩට ආපු අය හෝ නැත්නම් බියගම වෙළඳ කලාපේ ෆැක්ටරි හදන කාලේ ආපු ය වෙන්න ඇති .  වෙන සංචාරකයෙක් හෝ හිපියෙක් වෙන්න ඉඩක් නැහැ ..

මම මේ ටිකේ පොතක් කියෙව්වා. කියවල ඉවර කළා . One Night's Shelter කියන පොතේ සිංහල පරිවර්තනය එක් රැයෙක නවාතැන - පරිවර්තනය  කුරුණෑගොඩ ධම්මාලෝක හිමි

මේක සරසවි ප්‍රකාශනයක් . 

මේක ඇමරිකානු ජාතික යෝගාවචර රාහුල හිමියන්ගේ ස්වයං චරිතාපදානය. පොත කියවල හොයල බලද්දී ඒ හාමුදුරුවොත් බ්ලොගර් කෙනෙක් . මේ තියෙන්නේ බ්ලොග් එක   



මේ පොතේ තියෙන්නේ ඇමරිකන් ජාතික තරුණයෙක් යුරෝපෙට ගිහින් එතනින් ආසියාව හරහා හිපියෙක් විදියට ඇවිදිමින් ගෙවන ජීවිතය ගැන . රසවත් කතාවක් . මත්කුඩු බාවිතය , වෙළඳාම සහ රටවල් අතර මත්කුඩු ගෙනියද්දි අහුවෙලා හිර ගත වෙච්ච හැටි .. නිදහසේ කාන්තාවන් සමග හිටපු හැටි ආදී වශයෙන් නියම හිපියෙකුගේ ජීවිතය ඒ කතාවේ තියෙනවා .

ඔවුන්ට තිබුණු ඒ නිදහස නිසා ඔවුන් ජිවිතයේ විවිද සැප දුක් විදපු හැටි ගැන සමහර වෙලාවට ඉරිසියා හිතෙන තරම් දේවල් තියෙනවා . 

කතාව අවසන් වෙන්නේ මේ ඇමරිකන් ජාතික තරුණයා ලංකාවට ඇවිල්ලා යෝගාවචර රාහුල නමින් පැවිදිවෙලා .

ඒ ගමන ඔහු ආපු හැටි සහ සියලු සැප අත්හැර මහණ වීම තෙක් ඔහුගේ සිතුවිලි කොහොමද වැඩ කලේ කියන දේ ලස්සනට ලියල තියෙනවා . මම කෙනෙක් මහණ වීම කියන අදහස ගැන මෙච්චර කල් ගැඹුරට හිතල තිබුනේ නැහැ .. ලංකාවේ අපි දකින පන්සල් මහණුන් ගැන අපිට තියෙන නොපහන් හැඟීමට එහා ගිය , හුදෙක් භක්තිය හෝ මොළ සෝදනය නිසා නොව , තම හිත ගැන සැබෑ විදර්ශනාවකින් පසුව මහණ වෙච්ච කෙනෙකුගේ කතාවක් 

ඔහු හිනයානයට කලින් මහායානය ඉගෙන ගන්නවා . ඒ නේපාලයෙදී ටිබෙට් ලාමා වරුන්ගෙන් , ඊට පස්සේ භාවනාව , යෝග ඉගෙන ගන්නවා , දවසට එක වේලක් කනවා නැත්නම් නොකා දින ගණන් ඉන්නවා . අල්පේච්ච ලෙස ජිවත් වෙනවා .. මත් ද්‍රව්‍ය වලින් දැනෙන මනසේ සැහැල්ලුව භාවනාවෙන් ලැබෙන කම් ගැඹුරට භාවනා කරනවා . මේ භාවනාව එස් එන්  ගොඑන්කා තුමාගෙන් සහ කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ නේවාසිකව ඉඳලත් ඔහු ඉගෙන ගන්නවා . ඒ හැම අවස්තා වලදීම ඔහුට සිතුනු දේ , ඔහු ඔහුගේ සිත දැකපු හැටි ලස්සනට පැහැදිලි කරලා තියෙනවා . 

මම මේ ඊයේ පෙරේදා අපේ නිහඩපාල මහත්මයා ලියපු මේ ලිපියට කමෙන්ට් එකක් විදියට මම මම මිට අවුරුදු 10කට විතර කලින් ලියපු ලිපි දෙකක් ගැන දැම්මා . ඒක දාලා මම ආයෙත් ඒ ලිපි දෙකම සහ දෙවෙනි ලිපියේ තිබ්බ දීර්ඝ කමෙන්ට්ස් ඔක්කොම ආයේ කියෙව්වා . ආසන්න වශයෙන් අවුරුදු 15-20ක් විතර කාලයක් තිස්සේ මගේ හිත කොහොමද වැඩ කරන්නේ කියල මම අවදියෙන් ජිවත් වෙනවා . මේ හාමුදුරුවන්ගේ කතාව කියවද්දී මට හිතුනේ ඇත්තටම අවශ්‍යතාවය සහ කැපවීම තියෙනවා නම් බුදු හාමුදුරුවෝ කියපු දේ තේරුම් ගන්න අමාරු නැහැ කියල . නමුත් ඒ ගමන යන්න ඕනේ . වචන වලින් එහා ගිය අවබෝධයක් දක්වා සිත පත් කරගන්න ඕනේ . ඒක හිපියෙක් ලෙස යන්නත් පුළුවන් , මහණෙක් ලෙස යන්නත් පුළුවන් , ගිහියෙක් ලෙස යන්නත් පුළුවන් .

හිපියෙකුට හෝ ගිහියෙකුට වඩා මහණෙකුට ඒ ගමන යන්න තියෙන බාදක අඩුයි .. නමුත් මහණ වුණ පමණින් ගමන ලේසි වෙනවා කියල මම නම් හිතන්නේ නැහැ .. 

මේ කතාවේ තියෙන්නේ අසීමිත නිදහසකින් ජිවිතය ජිවත් වෙන ගමන් එකේ තියෙන නිෂ්පල බව දැකීම සමග එයින් පස්සේ ඒ නිෂ්පලතා වලින් පුළුවන් තරම් ඈත් වී ජිවත් වීමටත් , තමා අවබෝධ කරගත් දෙය අනුන්ට වටහා  දීමටත් පහසු වෙන අයුරින් මහණ වූ කෙනෙකුගේ කතාවක් කියල තමා මම හිතන්නේ . 

නමුත් අපි හිතන්නේ සියලු දෙයින්ම ඈත් උනාට පස්සේ විතරක් ඔය සත්‍යය අවබෝධ කරගන්න පුළුවන් කියල ..  ඒක අපිට කුඩා කාලේ ඉඳල කාවැදිච්ච වැරදි වැටහීමක් කියල තමා මට තවමත් හිතෙන්නේ .. 

අර ලිපි දෙකේ දී , නුවර කුමාරි සහ අනිත් අයගේ තර්කය උනෙත් , අපිට ඔය බණට කියන මාර්ගයේ ඒ විදියට යන්නේ නැතුව ඔය අවබෝධයට ලගා වෙන්න බැහැ කියන එක . නමුත් මට  ඒ ලිපි ලියල අවුරුදු 11කට විතර පස්සෙත් , ඒ තර්කයට එකඟ වෙන්න බැහැ .. 

නිවන කියන්නේ මේ දැන් මෙතන තියෙන දෙයක් . ඔබට එය දැකීමට අවශ්‍ය නම් එව බලව කියල තමා බුදුන් වහන්සේ කියල තියෙන්නේ .  ඔබ එය දකින්නේ ඔබ ඔබේ මනසින් නිදහස් උනාම , ඔබත්, මනසත්,  ලොවත් කියල දෙක තුනක් නැහැ කියල ඔබට ප්‍රත්‍යක්ෂ වෙන ඕනෙම අවස්තාවක ඔබ ට නිවන් දකින්න පුළුවන් . නමුත් එහෙම දකින්න නම් ඔබේ හිත ගැන ඔබට මනා අවබෝධයක් තියෙන්න ඕනේ , 

හිත ගැන ඔබට එන අවබෝධය ජිවිතයේ ඔබ සිහියෙන් සිටින හැම මොහොතකම වැඩි වෙනවා . ඔබ කරන කාර්යය කුමක් උනත් ඔබ ඒක  කරන්නේ සිහියෙන් නම් ඒක මේ සත්‍යාවබෝධයට හේතුවෙනවා. 

1970 දශකයේදී හිපියෙකුව ඇවිදලා ,  ලංකාවේ ජිවත් වෙලා , ලංකාවේදී මහණ වෙලා නැවත ඇමරිකාවට ගිහින් මම හිතන්නේ තවම ඇමරිකාවේ ජීවත්වෙනවා මේ හාමුදුරුවෝ . 

ගිහින් බලන්න බ්ලොග් එකට..


Thursday, July 03, 2025

ලියනාඩෝ මෙල්බන් ආපු හැටි The Lume "Leonardo da Vinci – 500 Years of Genius"

මම ඉඳල හිටලා ජිවිතේ බුද්ධිමත් වැඩ කරනවා .  ඒ කියන්නේ ජිවත් වෙන්ඩ කියක් හරි හම්බ කරලා දෙන රස්සාවට බම්බු ගහ ගන්ඩ කියල , බොරුවට හොර ලෙඩ නිවාඩු දාල , (Not Well කියන්න ලෙඩක් තියෙන්න ඕනෙම නෑනේ .. උපන්දා ඉඳල අපි Well හිටියා කියල නම් මතකයක් නෑ .. හැමදාම Not Well .. හෙහ් හෙහ් ) රස්තියාදු ගහන්න යනවා .. 

මේ ලඟදි දැන් අවුරුද්දකට විතර කලින් මම ඔහොම බුද්දිමත් වැඩක් කළා ..

(මම මේ පොස්ට් එක ලියන්න ගත්තේ මේකට ගිහින් ඇවිල්ලා මාසෙකට විතර පස්සේ .. නමුත් ඉතින් ලියල ඉවර කරන්නේ මේ දැන්  කෝච්චිය ගියාට පස්සේ . )

මෙල්බන් හන්දියේ ඉස්ටේසමේ ඉඳල පයින් යන දුරින් තිබුණ මරු තැනක් 

The Lume

ඔය immersive කියල සිංහලෙන් කියන ජාතියේ අමුතුම අත්දැකීමක් ගන්න පුළුවන් තැනක් මේ ..  

වැඩි විස්තර ඕනේ නැහැ . ෆොටෝ බලන්න . 

Leonardo da Vinci ගැන සෑහෙන වටින විස්තර ගොඩක් තිබුනා , ඔහුගේ නිර්මාණ ඒ විදියටම හදල , ගොඩක් ලිපි ලේඛන වල නම් මුල් පිටපත් මට්ටමේ ඒවා තිබුනා .. නමුත් ඔරිජිනල් එකමද කියල කියන්න බැහැ .




මේ තියෙන්නේ ඩා වින්චි ගේ සමහර ප්‍රසිද්ධ ඉංජිනේරු නිර්මාණ වල ආකෘති 





මිනිස් ශරීරය මේ තරම් දක්ෂ ලෙස අඳින එකම විශ්මය ජනකයි 
CV එක 
කටු සටහන් 



සිය ආලේඛ්‍යය පින්තුරය 


මොනාලිසාගේ ඇස් 
දැනට ප්‍රංශයේ ලුවර් කෞතුකාගාරයේ තියෙන මොනාලිසා ගේ පින්තුරේ දැනට තියෙන වර්ණ වම්පස රුපයේත් , එම චිත්‍රයේ තිබුණු ඇත්තම පාට දකුණු පස පින්තුරයේත් තියෙනවා . මේ පින්තුරේ ගැන සෑහෙන විස්තර ගොඩක් තිබ්බා .


මේ තියෙන්නේ මොනා ලීසා ගේ කොපිය 

මේ තියෙන්නේ ඔය immersive දර්ශන 

මම පොඩි VR එකක නැගල ෆ්ලොරන්ස් නගරය උඩින් පියාඹන ආකාරය . වැඩිහරියක් හැබැයි වහලවල් උඩට වැටිච්ච එක තමා උනේ 






මේ තියෙන්නේ ඔහුගේ ඉංජිනේරු අදහස් වල ආකෘති . තව ගොඩක් ඒවා තිබුනා 




වෙලාව තියෙනවා නම් Data ප්‍රශ්නයක් නැත්නම් මේ වීඩියෝ එකෙන් වැඩි විස්තර බලා ගන්න පුළුවන් 


වැඩේ කියන්නේ මේ තැන මේ පෙන්නන shows පසු ගිය ජුනි 1 වෙනිදා ඉඳල නතර කළා . අන්තිමට තිබුනේ Vincent Van Goah ගැන මෙහෙම එකක් , මම එක බලන්න යන්නම් කියල හිත හිත හිටියටත් යන්න බැරි උනා .

අඩුම තරමේ මේ පොස්ටුව ගිය අවුරුද්දේ ලියා ගන්න පුළුවන් උනා නම් තව නොදැක්ක කෙනෙකුට දැනුවත් වෙන්න හරි තිබ්බා .. 

නමුත් ඔවුන් නැවතත් අලුත්ම විදියකට මේ දේවල් අරගෙන එන කතාවක් මම දැක්ක . සමහරවිට ඉස්සරහට මිට වඩා Immersive විදියට මේවා තියෙයි .