Monday, November 21, 2022

IELTS සිංහලෙන් පාස්වෙමු

IELTS කියන්නේ හරි ආතල් විබාගයක් .  කොච්චර ආතල් ද කියනවනම් මමත් හත් අට සැරයක් ම කළා.. හෙහ් හෙහ් 

මේ නවීන  කාලේ ඉංගිරිස් පන්නෙට හැදිච්ච කෙනෙකුට ඕක 7-8 සැරයක් කරන්න තරම් ආතල් නැති එක පාරින් ටක් ගාල පාස් කරලා දාන්න  පුළුවන් විබාගයක්  උනාට මීට දසක තුන හතරකට කලින්, ඔය කව්රු හරි සර් කෙනෙක් පන්සලක , නැත්නම් ඔය කොහේ හරි මඩුවක් අටවාගෙන කරපු ඉංගිරිස් පන්ති ගිහින් ,  ඊට පස්සේ තව මොකක් හරි ඊට වඩා ටිකක් හොඳයි කියල අල්ලපු ගෙදර කෙනා කියපු හින්ද තව කොහේ හරි පන්තියකටත් ගිහිල්ල , කොහොම හරි කරලා ඩිප්ලෝමා කියල සහතික කෑල්ලකුත් අරන්, සාපෙ ඉංග්‍රීසි වලට යන්තම් පාස් එකක් දාගෙන හරි නැත්නම් දෙතුන් පාරක් ලියල යන්තම් ඉංගිරිස් පාස් කරගෙන, ඊටත් පස්සේ අනිත් සියලු දේවල් ආයේ සිංහලෙන් ඉගෙන ගෙන , ඊටත් පස්සේ කැඩිච්ච ඉංගිරිසියෙන් වැඩ කරන කොම්පැනි වල වැඩට ගිහින්,  ඒ ඔක්කොටමත් වඩා ඉස්කෝලේ කරන්න පුළුවන් ඔක්කොම කුපාඩි වැඩ ටික ඉංගිරිසි පීරියඩ් එකේ කරලා ,    ඊට පස්සේ මේ සිරි ලංකාව බංකොලොත් වෙනවා, කොහේ හරි යං ඕයි  කියල ඉර්දියෙන් බලල කියන  දයාබර බිරින්දෑගේ කන්කරච්චලෙන් බේරෙන්න කොහේ හරි රටකට පනින්න කියල හිතාගෙන ගිහිල්ලා ඔය IELTS විබාගේ කරන්ඩ ගියාම එක පාරින් පාස් වෙනවා බොරු පින්වතුනි..  හෙහ් හෙහ් 

මට  ඒ කාලේ ඉඳල ඉංගිරිසි ඉගෙන ගන්න ආසාවක් තිබ්බ.. විබාග පාස් වෙන එක කොහොම උනත් මට ඉංගිරිසි කියවන්නයි  , ලජ්ජා බයක් නැතුව වැරදියට හරි ඉංගිරිසියෙන් මොනවා හරි කියා ගන්නයි අවුලක් තිබ්බේ නැහැ...

ඉතින් කවදාවත් මේ සිරි ලංකාව දාල වෙන රටකට යන්නෙම නෑ කියල සිංහනාද කර කර හිටපු මටත් පිංවතුනි සියලු සිරි ලාංකික සත්වයාට කවදාහරි  අවසානයේ  සිද්ද වෙන විදියටම  සිය බිරින්දෑගේ සිහින දේසය වෙච්ච ඩවුන් අන්ඩර් දේසයට යන්ඩ හිත හදා ගන්ඩ උනා.  

ඔය හිත මම හදාගත්තේ 2018 විතර... හෙහ් හෙහ්  ඉතින් අන්න ඒ කාලේ ඉඳල මම ඔය IELTS  විබාගේ කරන්ඩ ගත්තා 

අපි ඉතින් හිත හදා ගත්තොත්, ඒ කියන්නේ  බ්ලොක් ගල් වගේ තමා... කොයි වෙලේ ආයේ වෙනස් වෙයි ද දන්නේ නැති හින්ද මම ඔන්න ඔය Internet එකේ තියෙන දේවල කියවල බලල එක පාරක් විබාගේ කළා, ඒ කලේ සිරි ලංකාවේදී..

මට මතක විදියට ඒ පාර ආවේ 

අසාගෙන සිටීමට - 8.5 ( මේ නම් ඉතින් කසාද බැඳපු දවසේ ඉඳල කියන දෙයක් අහගෙන ඉන්න  පුරුදු වෙච්ච හින්ද වෙන්ඩ ඇති )

කියවීමට  - 8.5 (අර පොඩි කාලේ ඉදල අහුවෙච්ච පත්තර කෑලි කියවන ගතිය හින්ද වෙන්ඩ ඇති )

ලිවීමට - 6.5

කතා කිරීමට - 6.0/6.5

ඔය ඩවුන් අන්ඩරේ ඇතුළු ගොඩක් රටවලට යන්න ඔය හැම එකටම ලකුණු 7ක් ඕනේ.

ඉතින් මිත්‍රවරුනි ඔය පළවෙනි පාරෙන් පස්සේ කරපු හැම පාරම මට ආවේ ආසන්න වශයෙන් ඔය ප්‍රතිපලේම තමා... එක්කෝ ලිවිම නැත්නම් කතාව 7 දාගන්න බැහැ... 

පලවෙනි පාර ලංකාවේ කලාට පස්සේ ඉතිරි හැම සැරේම මම කලේ Malayasia වේ British Council එකේ 

කතාව කොච්චර ප්‍රැක්ටිස් කලත් , කොච්චර රචනා, ලියුම් ලිව්වත් එකම ප්‍රතිපලේ ආවේ 

මම මැලේසියාවේ හිටපු American teacher කෙනෙක් , තව Ireland ද කොහෙද සුදු අයියා කෙනෙක්  ආදී වශයෙන් නොයෙක් ගුරුවරු ගාවට ගිහින් බැලුවා.. එකම ආනිසංසේ 

මේ ආකාරයෙන් මම අවුරුදු 2ක් ට්‍රයි කළා... 

හරි මම හිතන්නේ ඔය විබාගේ කරපු ගොඩක් අය මුණ දෙන තත්වයක් ඕක.

දැන් මම කියන්නම් අන්තිමට මම ඕක ගොඩ දාපු හැටි 

ඔය විබාගේ ඇත්තටම හරි ලේසියි. හැබැයි අපි දන්න ටික හරියට දැන ගන්න ඕනේ. මම කරපු පලවෙනි පාර ඉඳල අන්තිම පාර වෙනකම් මට Listening, Reading දෙක 8-8.5 මාරුවෙන් මාරුවට ආවා. ඒ දෙක තනිකරම පොඩි ටෙක්නික් වලින් ගොඩ දාන්න පුළුවන් 

ඒව ගැන ගොඩක් දේවල් Internet එකේ තියෙනවා. ඕනේ කෙනෙකුට කරන්න පුළුවන් 

සිරි ලාංකික අපිට අපේ ඉස්කෝල වල උගන්නන ඉංගිරිසි සහ අපි එදිනෙදා පාවිච්චි කරන ඉංගිරිසි වල තියෙන අවුල් හින්ද තමා ගොඩක් වෙලාවට ඔය Speaking, Writing කෙල වෙන්නේ.. මේක හැමෝටම අදාළ නැහැ නමුත් බහුතර ගමේ ඉස්කෝලේ ගිය මම වගේ  අයට පොදු තත්වයක් කියල මට හිතෙනවා  

මම සෑහෙන කැපවීමකින් කොච්චර විබාගෙට අදාළ දේවල් ඉගෙන ගත්තත් මම නොකරපු එක දෙයක් තමා මම කරන බේසික් වැරදි තේරුම් නොගත්ත එක. 

ඉතින් අන්තිමට මම කරපු දේ තමා මුල සිට නැවත ඉංගිරිසි  ඉගෙන ගත්ත එක.  ඒ කියන්නේ හොඳ grammer පොතක් අරගෙන මට නොතේරෙන හරි, මම හරියට පාවිච්චි නොකරන grammer ඉගෙන ගන්න එක.

ඊට පස්සේ මම හොයා ගත්තා ලංකාවේ උපතින්ම ඉංග්‍රීසියෙන් කතා කරන පවුලක  IELTS කරන සර් කෙනෙක්. අනිත් විදෙස් රටවල ගුරුවරුන්ට වැඩිය, ඒ සර් ලාංකික අපි කරන, අපි වැරදි කියල නොදන්නා ගොඩක් දේවල් මට කියල දුන්නා.. 

උදාහරණයක් විදියට අපි pronounce            කරන වචන වල ගොඩක් අඩුපාඩු තියෙනවා. ඊටපස්සේ grammer පාවිච්චි කරන්නේ වැරදියට... සරලවම මම a, the කියන දෙක පවා ගොඩක් අවස්ථා වල පාවිච්චි කලේ වැරදියට. ඒ කියන්නේ මම රචනයක් කොච්චර කරුණු දාල කොච්චර හොඳට ලිව්වා කියල හිතුවත් ඒ ලියන වාක්‍ය වල අපි නොදන්නා පොඩි පොඩි වැරදි තියෙනවා. කතාවත් එහෙමයි. මට කිසි අවුලක් නැතුව හොඳට කතා කරගන්න පුලුවන් කම තිබ්බා නමුත් ඒ කතා කරන වාක්‍ය වල පොඩි පොඩි වැරදි තියෙනවා . IELTS කියන්නේ ඉංග්‍රීසි Test කරන විබාගයක් හින්ද ඒ පොඩි පොඩි වැරදි තියෙනකම් 6-6.5 කියන තැනින් උඩට යන්න බැහැ.

ලිවිම සහ කතාව, ඔය මට වගේ කෙල වෙන තව අය ඉන්නවනම් අනිත් වැදගත්ම දේ තමා  කතාව සහ ලියන දේ හරියට ප්ලෑන් කරන එක.  හිතට එන දේ කියාගෙන යන්නේ නැතුව හරි ප්ලෑන් එකකට ලියන්න සහ කතා කරන්න පුරුදු වෙන්න ඕනේ. 

IELTS  විබාගේ තනිකරම  සරල ඉංගිරිසි හරියට දැනගැනීම සහ පොඩ්ඩක් තාර්කිකව හිතල , ප්ලෑන් කරලා ගොඩ දාන්න පුළුවන්.

අපි කරන ලොකු වැරැද්දක් තමා ඔය internet එකේ තියෙන එක එක ක්‍රම ට්‍රයි කර කර විබාගේ ගොඩ දාන්න හදන එක. ඒ ක්‍රම හරි යනවා ඉංග්‍රීසි හරියට පුළුවන් අයට මේ විබාගේ පාස් වෙන්න සහ ඉහල Bands වලට යන්න නමුත් මේ මම වගේ බේසික ඉංගිරිස් වැරදි කර කර ඉංගිරිසි පුළුවන් කියල හිතාගෙන ඉන්න පුතාලට ඔය ටෙක් නික් වලින් ඕක ගොඩ දාන්න බැහැ. 

ඔබට ඔබගේ ඉංගිරිසි ගැන විස්වාසයක් නැත්නම්, තවදුරටත් කාලය සහ මුදල් ඔය විබාගය වෙනුවෙන් වැය නොකර හරි ගුරුවරයෙක් සමග ඉංගිරිසි ඉගෙන ගන්න.  මොකද  කොහොම හරි විබාගේ පාස් කරගෙන ඔය රටකට පැනගත්තත්, ප්‍රසිද්ධ ස්ථාන වලදී  රෙදි ගැලවී වැටෙන අවස්ථා එමට සිද්ද වෙනවා.

මේ රටවලදී ඉංගිරිසි අවුල් යන එක මෙහෙ ඉන්න අයට අවුලක් නැහැ. එයාල කියන්නේ උඹලට ඉංගිරිසි බැරි උනාට තවත් බාසාවක් පුළුවන්.. අපි දන්නේ ඉංගිරිසි විතරයි කියල.. නමුත් අපි මේ රටකට ඇවිල්ලා මේ රටවල් වල මිනිස්සු එක්ක  ජිවිතේ ඉදිරියට යන්න නම් මේ බාසාව හරියට දැන ගන්න එක ගොඩක් වැදගත්. ඔය ලංකාවේ තියෙන ඉංග්‍රීසි වැඩක් නෑ කියන ගොබ්බ මතය තමා අපිට කෙල වෙන්න ප්‍රධානම හේතුව.

හරි ඉතින් මමත් ඔහොම ගොබ්බ මත වල හිටපු එකෙක් තමා.. එකනේ මේ මෙච්චර ඉංගිරිසි පත්තර තියෙද්දී මේ බ්ලොගේ වල සින්හලෙන් කොටන්නේ...