Wednesday, September 16, 2020

මීඩියම් මුල සිට සරලව


  මුල සිට සරලව කියල පටන් ගත්තට මම දන්නෙත් මේ ටික විතරයි. කමක් නැහැ කොහෙන් හරි පටන් ගන්න ඕනේ නිසා දන්න ටික ලියල දාමු.

අපි කලින් කොටසේ පොඩ්ඩක් මීඩියම් ගැන කතා කරපු හින්ද කැමති කෙනෙක් ඉස්සෙල්ල ඒක බලල එන්න මේ මොකක් ද කියල අදහසක් ගන්න.

හරි මෙතන ඉඳල පින්තූර ටිකක් දාන්නම්. 

අනිත් හැමදේටම වගේ මීඩියම් එකටත් අපිට එකවුන්ට් එකක් හදා ගන්න ඕනේ.  මෙන්න මේ පෙන්නන විදියට තමන් කැමති සේවාවකින් මීඩියම් එකවුන්ට් එකක් හදා ගන්න පුළුවන් .





ඔය ලිස්ට් එකෙන් තමන් කැමති සේවාව තොර ගත්තම මේ විදියට එකවුන්ට් එක හදා ගන්න පුළුවන් .

මේ වැඩේට තාක්ෂණිකව කියන්නේ සිංගල් සයින් ඔන්  (Single  Sign  On ) ඒ කියන්නේ අපි නිතර පාවිච්චි කරන ප්‍රසිද්ද සේවාවක් පාවිච්චි කරලා වෙනත් සේවාවන් වල එකවුන්ට් හදා ගන්න පුළුවන් වීම. මේක ඉතාම ආරක්‍ෂිත වැඩක්. ඒ නිසා මීඩියම් එකට වෙනම එකවුන්ට් එකක් හදන්න ඕනේ කියල හිතන්නේ නැතුව මේ විදියට ලොග් වෙන්න.   


හරි  මේ වැඩෙන්  පස්සේ දැන් ඉබේම මීඩියම් එකේ අපේ එකවුන්ට් එකක් හැදෙනවා.
ඊට පස්සේ මීඩියම් අපිට පෙන්නේ මෙහෙම 

 
 ඔච්චරයි කරන්න තියෙන්නේ .
දැන් මීඩියම් එකේ මොනවා හරි ලියන්න ඕනේ නම් මෙන්න මෙහෙම ඔබගේ පින්තුරය උඩ  ක්ලික් කලාම අදාළ දේවල් ටික පෙන්නනවා 


ඔය මම රතු පාට ඊතලයකින් පෙන්නුම් කරලා තියෙන්නේ අලුත් කතාවක් (Story ) එකක් පටන් ගන්න තැන.

ඒක ක්ලික් කලාම මෙන්න මෙහෙම අපිට ලියන්න ඕනේ පිටුව එනවා .මාතෘකාව ලියල කතන්දරේ ලියාගෙන යන්න තියෙන්නේ 


මේකේ තියෙන්නේ බ්ලොගර් එකට වඩා වෙනස් විදියක්. වැදගත්ම දේ බය නැතුව ටයිප් කරලා ,මකල, එඩිට් කරලා බලන්න. ටක් ගාල අල්ල ගන්න පුළුවන් .

ලියපු එක හයිලයිට් කලාම මේ විදියට එඩිට් කරන්න පොඩි ඔප්ෂන් ටිකක් එනවා . ඔබ එඩිට් කරන්නේ මාතෘකාවද , උප මාතෘකාවද , කතාවද යන්න අනුව මේ ඔප්ෂන් ටිකක් වෙනස් වෙනවා.  ඒ කියන්නේ අපිට හුරු පුරුදු හැමදේම තියෙන තනි ලොකු ටූල් බාර් එක වෙනුවට මේ වගේ සරල පොඩි ටූල් බාර් එකක් තමා තියෙන්නේ.

 

පින්තුරයක් , වීඩියෝ එකක් වගේ දේවල් දාන්න  නම් ඔය කතන්දරේ ලියන කොටසේ සයිඩ් එකෙන් මතුවෙන + ලකුණ ක්ලික් කරන්න . එතන මතුවෙන පුංචි රූප කෑලි ටික උඩ ක්ලික් කරලා තව දුරටත් අවශ්‍ය දේවල් එකතු කර ගන්න පුළුවන්. 

කතාව ලියල Publish  බොත්තම එබුවම මේ විදියට අපේ කතාවට ගැලපෙන ටැග්ස් ටිකක් එකතු කරන්න පුළුවන්. මේ ටැග්ස් වලින් තමා කවුරු හරි අපි ලියන විෂයට අදාළ දේවල් හොයනකොට අපේ ලිපිය එයාලට පෙන්නන්න උදව් වෙන්නේ. එක හින්ද ඒවා 5ක්  විතර දාන එක ඉතා ම වැදගත් .

අපි පින්තුර කිහිපයක් කතාවට දාල තියෙනවා නම් ඒවායින් අපි කැමති පින්තුරේ ප්‍රධාන එක විදියට තෝර ගන්නත් මෙතනින් පුළුවන් .  



ඊට පස්සේ ඔබට ලියපු කතාව ඒ වෙලාවේ පබ්ලිෂ් කරන්න හෝ පස්සේ වෙලාවක ඉබේ පබ්ලිෂ් වෙන්න කියන දෙකෙන් එකක් තෝරන්න පුළුවන් .


එහෙම පබ්ලිෂ් කරපු කතන්දරේ තව තව අය එක්ක ටක් ගාල බෙදා ගන්නත් පහසුකම් දීල තියෙනවා .


ලියපු දෙයක් වෙනස් කරන්න නම් ඔය තියෙන තිත් 3 සලකුණ  ඔබල ඒ වැඩේ කරගන්නත් පුළුවන් .
 



මීඩියම් එකේ තියෙන්නේ අපි කරන වැඩේ සහ අපි ඉන්න තැන අනුව වෙනස් වෙන මුහුණතක්. උදාහරනෙකට ඔබ කිසිවක් ලියන්නේ නැතුව ඔබට අර තිත් 3 ක්ලික් කරලා බලන්න බැහැ . ඉතින් බය නැතිව ඔබට ඕනේ දේ කරගෙන යන්න. ඒ කරන වැඩේට අදාළ උපකරණ සහ ඔප්ෂන් ඒ වෙලාවට මතුවෙනවා.

ඔක්කොම ගානට තියෙනවද බලල ලියන්න පටන් ගන්න දෙයක් නැහැ. ලියාගෙන යනකොට අදාළ දේවල් එනවා. මීඩියම් එකෙයි, බ්ලොග්ස් වලයි තියෙන ලොකු වෙනසක් ඒක .     

    


ලියපු කතාවකට ඔය තියෙන අත්පුඩි සලකුණ ඔබල ඔබේ මනාපය පල කරන්න පුළුවන් . ඔය කමෙන්ට් දාන සලකුණ ඔබල ඔබේ අදහස ලියන්නත් පුළුවන් .

මේ තියෙන්නේ මම ලියපු කතාවට ඩ්‍රකියා දාපු කමෙන්ට් එකක් සහ ඒකට මම උත්තරයක් දෙන්න යනකොට වෙනස් වෙන හැටි.  



මේ තියෙන්නේ සරලව කොහොමද ඔබේ කතාව මීඩියම් වලට දාන්නේ කියන දේ ගැන.  මේකේ තියෙන ගොඩක් දේවල් මමත් තාම දන්නේ නැහැ. නමුත් ලියාගෙන යනකොට ඉගෙන ගන්න පුළුවන් .

වැදගත්ම දේ තමා ඔබ මේ විදියට එකවුන්ට් එකක් හදල මීඩියම් පාවිච්චි කරද්දී ඔබට මාසයකට කියවන්න පුළුවන් ලිපි ගණන සිමා වෙන එක. ඔබ ඊට වඩා කියවන කෙනෙක් නම් ඔබට මසකට ඩොලර් 5ක්  හෝ අවුරුද්දට ඩොලර් 50ක්  ගෙවල සාමාජිකත්වයක් ගන්න පුළුවන්. නැත්නම් ඔබගේ එකවුන්ට්  එකෙන් ලොග් අවුට් වෙලා කියවන්න පුළුවන්. නමුත් කමෙන්ට් කරන්න බැහැ එතකොට.

අර කලින් පෝස්ට් එකේ දේසකය  කිව්වේ ඔය සුපියල් පහ ගැන තමා. හෙහ්  හෙහ් 

ඉතින් මේ ටික තමා දැනට මම දන්නේ. ඉස්සරහට තව ටිකක් හොයල බලල තව ලිපියක් ලියන්නම්. මම හිතන්නේ මීඩියම් වල ලියල පළපුරුදු අයට පුළුවන් කමෙන්ට් වලින් මම නොදන්නා සහ තව වැදගත් දේවල් එකතු කරන්න. බුරා එහෙම දන්නවා ඇතිනේ .         


 

Monday, September 07, 2020

අපි මීඩියම් යමුද ?


      මම මේ බ්ලොගේ ලියන්න අරං දැන් අවුරුදු 14ක්  වෙනවා. ඒ දවස් වල සිංහල අකුරු වලින් ඉන්ටර්නෙට් එකේ කියවන්න දේවල් ඒ හැටි නොතිබුණු නිසා  ආසාවට ලියන්න අරන් කොහොම හරි අද වෙනකම් ඇදගෙන ඇවිල්ල මටත් නොදැනිම.

කාට හරි මේ සිංහල බ්ලොග් සහ යුනිකේත වල ඉතිහාසේ ගැන සරල විස්තරයක් දැන ගන්න ඕනේ නම් මෙන්න මේකේ මම දන්නා දේවල් ටික ලිව්වා  .  

අද මේ පොඩි සටහන ලියන්න හිතුනේ මේ සිංහල බ්ලොග් අවකාශේ සෑහෙන කාලයක් තිස්සේ රසවත් කරන අපේ බ්ලොග් කරුවන් හැමදෙනාටම පොඩි යෝජනාවක් කරන්න.

මම හිතන්නේ  හැමෝම දන්නවා ඇති මේ https://medium.com/ වෙබ් අඩවිය ගැන.  නොදන්නා කෙනෙක් ඉන්නවනම් Medium කියන්නේ මේ වෙද්දී ලෝකේ තියෙන ජනප්‍රියම Publishing Platform එකක්.  ඒ කියන්නේ බ්ලොගර් සහ වර්ඩ්ප්‍රෙස් වගේ තවත් අඩවියක්. නමුත් මීඩියම් වල වෙනස තමා අපි ලියන ලිපි කියවන පාටක සංඛ්‍යාව සහ ලිපි වල තියෙන ගුණාත්මක බව අනුව ඔවුන් ගෙවීමක් කරන එක. හරියට යුටියුබ් වගේ.

නමුත්  දැනට තියෙන තත්වේ හැටියට නම් ලොකු ආදායමක් ගන්න එතරම් ලේසි නැහැ. නමුත් මසකට USD  30,000ක්  පමණ ආදායමක් ගන්න අය පවා Medium වල ඉන්නවා. ඒ කියන්නේ කරන්න බැරි දෙයක් නෙමේ. මම හොයාගත්ත විදියට සාමාන්‍යයෙන් සතියට පැය කිහිපයක් මහන්සි වෙලා හොඳ ලිපි 5-6ක්  ලියන කෙනෙකුට ආසන්න වශයෙන් USD 100ක්  වගේ මාසෙකට හොයන්න පුළුවන්. නමුත් මේ දත්ත දැනට අදාළ වෙන්නේ English  වලින් ලියන ලිපි වලට තමා.

මගේ යෝජනාව අපිට පුළුවන් Medium වල සිංහල කන්ටෙන්ට් එක වැඩි කරලා, Medium අවකාශය තුල සිංහල ජනප්‍රිය කරන්න. ඔවුන්ගේ සමහර සේවාවන් තවම ලංකාවට දීලත්  නැහැ මම දන්න විදියට  නමුත්  අපිට පුළුවන් කාලයත් එක්ක ටිකෙන් ටික සිංහල භාෂාව Medium  වල ප්‍රචලිත කරලා ඔය සේවාවන් ලබා ගන්න.   

මම දන්න විදියට මේ සිංහල බ්ලොග් ලියන බොහෝ අය මේ වැඩේ කරන්නේ හුදෙක් ආසාවට සහ තමන්ගේ ආත්ම තෘප්තිය වෙනුවෙන්. සල්ලි හොයන්න සිංහල බ්ලොග් ලියන අයත් නැතුව නෙමේ නමුත් බොහෝ වෙලාවට එහෙම කරන බ්ලොග් වල තියෙන්නේ දැන්වීම් සහ ඕපාදුප  තමා වැඩි හරියක්.  නමුත් Medium වල සල්ලි හම්බ කරන්න ගුණාත්මක බව සහ උසස් තත්වයේ ලිපි ලියවෙන්න ඕනේ. පාටක ප්‍රතිචාර අනුව ගෙවීම වැඩියි. 

අපි ගොඩක් වෙලාවට හිතන දෙයක් තමා සල්ලි බලාගෙන වැඩ කරන්න හොඳ නැහැ කියන එක. නමුත් මගේ අදහස නම් උසස් තත්වයේ දෙයක් කරලා ඒ වෙනුවට යම් මුදලක් ලබා ගැනීම කියන්නේ අපි කල යුතු දෙයක් කියන එක. ඒකෙන්  අපි කරන වැඩේ තත්වය සහ අපේ තෘප්තිය දෙකම ඉහල යනවා.  කොහොමත් තමන්ගේ රස්සාව වශයෙන් ලියන අයට Medium වලින්  ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්.   

මම මුලින්ම Medium එකේ ලිව්වේ 2013 දී වගේ. හැබැයි ඊට පස්සේ එහෙමම නතර වුණා. ඇවිද්ද පය ලියන සුදීක අයියගේ ලිපියක් දැකල තමා ඒක ලිව්වෙත්.  මේ තියෙන්නේ සුදීක අයියා මීඩියම් ආපු මුල්ම කාලේ ඒ ගැන ලියපු ලිපියක්  පස්සේ මේ ළඟදී තමා මේ අදහස ආයේ ආවේ . 

එකටත් හේතුව මම මේ ලියන්න පටන් ගත්තු කාල යක්ෂ කතාව හින්ද. මොකද මම මේ බ්ලොග් එකේ මට ඒ ඒ වෙලාවට හිතෙන දේවල් ඔහේ ලියල දානවා මිසක් පිළිවෙලකට යමක් ලිව්වේ නැහැ මෙච්චර කාලෙකට. නමුත් කතාවක් ලියන්න ගත්තම ඒ විදියට ලියන්න බැරි නිසා මට ඒක පොඩි වදයක් වුණා. ඒ කියන්නේ දිගටම කතාව ලියන්න ගත්තොත් අර මට හිටපු ගමන් ලියන්න හිතෙන දේවල් ලියා ගන්න බැරි ගතියක්. හැම වෙලේම බ්ලොග් එක ගැන හිතුවොත් කතාව ලියන්න ඕනේ කියන එක තමා ඔළුවට එන්නේ. එතකොට අර මම මෙච්චර කල් බ්ලොග් එක ලියල ගත්ත හීනි ආතල් එක පොඩ්ඩක් අවුල් වෙනවා වගේ දැනුනා.. හෙහ් හෙහ් .. ඉතින් මට හිතුනා අපි උනන්දු වෙලා, මහන්සි වෙලා ලියන සමහර දේවල් Medium වගේ තැනක දැම්ම නම් හොඳයි කියල. එකෙන් බ්ලොග් එක ඒ විදියටම තියාගෙන,  අපේ මහන්සියට පොඩි ගානක් හම්බ කර ගන්නත් පුළුවන් වෙයි.

මට හිතෙනවා බ්ලොග් ලියන හැමෝම මේ වෙද්දී තම තමන් ලියල තියෙන කතා සහ වෙනත් දීර්ඝ ලිපි ටික Medium වල දැම්මොත් අපිට ගොඩක් කෙටි කාලෙකින් සෑහෙන සිංහල ප්‍රමාණයක් ගොඩ නගන්න පුළුවන් වෙයි කියල. 

මගේ යෝජනාව තමා අපි Medium එකේ ලියන දේට ලින්ක් එකක් දාල පොඩි පෝස්ට්  එකක් බ්ලොග් එකෙත් දාමු කියන එක. උදාහරණෙකට මම දැනටම මම ලියපු කතාව Medium එකට දැම්ම. මේ තියෙන්නේ. සමහර විට ඉතිරි කොටස් මම දිගටම Medium එකේම ලියන්න ඉඩ තියෙනවා. නමුත් බ්ලොග් එකේ කොටසක් දාල දැනුවත් කරනවා.     

Medium වලත් මේ වගේම කොමෙන්ට් වලින් මරා ගන්නත්, අප්පුඩියක් ගහල සපෝට් එක දෙන්නත් ඒ මහත්තුරු පහසුකම් දීල තියෙනවා.

මොකද කියන්නේ බ්ලොග් වල දෙවන අදියර විදියට Medium වලට ගිහින් බලමුද ?