Thursday, May 31, 2012

ලංකාව නරක ද?

ලංකාව මේ කියන තරම් නරක රටක් ද? නරක නෙවෙයි.. ජීවත් වෙන්න සුදුසු නැති රටක් ද? දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉඳල හිටල බ්ලොග් එකේ මොනව හරි ලියාගෙන ඉන්න මටත් නිකමට වගේ මේ දේවල් ගැන හිතල බලන්න හිතුණා... රටේ වෙන දේවල් දිහා අඟල් 14-15 ක තිරයක් ඇතුළින් බලාගෙන ඉන්න අපිට ගොඩක් වෙලාවට පෙන්නේ මේක මහ එපා කරපු තැනක් වගේ.. කට ඇරියොත්(ඇඟිලි ඉස්සුවොත්) කියන්නෙ (ටයිප් කරන්නේ) මේක මහ එපා කරපු තැනක්.. මේ විදිය හරි නෑ.. මේකේ ඉන්නෙ ඔක්කොම පිස්සො... මුන් ඉන්න කම් මේක හදන්න බෑ.. මීට වඩා අරහේ හොඳයි... ඔන්න ඔය වගේ අදහස්..

මෙහෙම වෙලා තියෙන්නෙ ඇයි...

දැන් මේ රට නරක නම් රට මීට වඩා හොඳින් තිබුණු කාලයක් මින් පෙර තිබී ඇති ද? රජකාලය අතහැර 1900න් පසුව ගැන හිතා බලමු..

සුද්දා යන කම් මේ රට සුද්දා නිසා නරක් වී  තිබුණා යැයි ඒ කාලයේ සිටි මිනිසුන් කියපු කතා නිසා එය සාධාරණ යැයි සිතිය හැකිය..

සුද්දා ගිය පසු ලොව සාධාරණම දේශපාලන ක්‍රමය යැයි මා දන්නා (මා දන්නේ නැත) ප්‍රජාතන්ත්‍රවාදය අපේ පාලනයට එකතු වී ඇත..

ඊට පස්සේ නිල්පාට කොල පාට රතුපාට සහ තවත් පාට වලින් අපි අපේ රට දෙස බලන්නට පුරුදු වී ඇත...

මම කුඩා කළ සිටම මේ රට දැක්කේ නිල්පාටටය.. ඒ අපේ තාත්තා නිසාය

මට හිතෙන විදියට අපි හැමෝම තාම මේ රට දකින්නේ පුංචි කාලේදි අපිට බලන්න පුරුදු කරපු පාට වලින් කියලයි... කොතරම් උගත්ව බුද්ධිමත්ම සාධාරණව බලන්න උත්සාහ කළත් ඒ පාටින් බලන්න අපි ආසයි වගේ...
එහෙම නැතුව දකින අයත් ඇති..

මම හිතන්නේ රටක ජීවත් වෙන්න රටේ දේශපාලනය එතරම් වැදගත් නෑ.. දේශපාලනය කරන අයට සහ ඒ අයගේ උදව් කාරයින්ට ඇර අනිත් අයට තම තමන්ගේ අධ්‍යාපනය සහ හැකියාවන්ට අනුව උපයාගෙන ජීවත් වෙන්න රටේ පාට මොකක් වුණත් වෙනසක් වෙන්නෙ නෑ

සර්ව සම්පූර්ණ සමාජයක් ගොඩනඟන්න වෙර දරන එක තේරුමක් නෑ.. එහෙම සමාජයක් කවදාවත් ලෝකේ ඇති වෙන්නෙ නෑ කියලයි මම හිතන්නේ..

හැම සමාජෙකම හොඳ නරක තියෙනවා... සමාජේ හොඳ කරන්න හෝ හොඳ වෙනකම් ඉන්න හදන එක අපේම කම්මැලි කම සාධාරණීකරණය කරන්න අපි හදාගත්ත දෙයක් වගෙයි මට හිතෙන්නේ...

අප ජීවත් වෙන සමාජය බාහිර උපද්‍රව වලින් රැක ගන්න එකට උත්සාහ කරන්න ඕනේ.. ඒවට කැප වෙච්ච පිරිසුත් ඕනැම රටක ඕනැම සමාජයක ඉන්නවා... ඉස්සරහටත් ඉඳයි..

මම කියන්න හදන්නෙ මේකයි..

රටේ ජීවත් වෙන සාමාන්‍ය පුරවැසියෙක් ගත්තොත් ගොඩක් වෙලාවට කරන්න තියෙන්නේ තමන් කරන රස්සාවෙන් තමන්ගේ පවුල ජීවත් කරගෙන ඉන්න එකනේ.. රටේ හෝ සමාජයෙ සිද්ධ වෙන තමාගේ පාලනයෙන් තොර දේවල් ගැන කණගාටු වීම හෝ ඒවා වෙනස් කරන්නට යන එකෙන් ඒ පවුලට හෝ පුද්ගලයාට සෙතක් වෙන්න තියෙන ඉඩ හෙන අඩුයි... කරදර ගොඩක් තමයි ගොඩක් වෙලාවට එන්නෙ..

බොහෝ රට වල ස්වභාවය එහෙමයි..

මම දන්න විදියට නිදහසෙන් පස්සේ ඇතිවෙච්ච බොහෝ දේශපාලන පක්ෂ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න තිබිච්ච අයිතිය නැති කළේ නෑ.. යුද්ධය සහ 89-90 කාල ඇරුණහම

යුද්ධ සහ අඳුරු කාල වලට දැනට දියුණු යැයි සම්මත හැම රටම වගේ මූණ දීල තියෙනවා..

මිනිස්සු හැමදෙනාටම තියෙන පොදු ප්‍රශ්න වලදි මිනිස්සු එකතු වෙලා ඒව විසඳන්න පාලකයින්ට බලපෑම් කරනවා.. ඡන්දෙදි ඒ දේ කරන්න අවස්තාවකුත් දීල තියෙනව..

ඡන්දත් නැති යුද්ධත් නැති අඳුරුත් නැති මේ වගේ කාලෙක දි අපි කරන්න ඕනෙ මොකක් ද?

අපේ වැඩක් කරගෙන ඉන්න එකනේ..

ඔය අපේ වැඩ කරගෙන ඉන්න හදනකොට එක එකාගෙ බලපෑම්, අවනීතිය,අසාධාරණකම් සිද්ද වෙන නිසා තමයි අපිට මේ රටේ සිස්ටම් එක  අවුල් කියන එක ඔලුවට එන්නේ.. ඊට පස්සේ අපි තියෙන සිස්ටම් එක හරිගස්සවන්න හරි ඒකේ වැරදි ගැන කණගාටු වෙවී ඉන්න එක හරි නැත්නම් හතරවටේ සිස්ටම් එකට බැන බැන යන එක හරි කරනව. අපේ වැඩේ පාඩුවේ කරගෙන ඉන්න බැරි වීමට අපෙන් වෙච්ච අඩුපාඩුව හොයනවට වඩා රටේ සිස්ටම් එකේ අවුල් නිසා එහෙම උනයි කියල හිතාගෙන ඉන්න එකට අපි කැමතියි.. ඒක ලේසියි..

අපි සර්ව සාධාරණ වෙලා ඉද්දිත් අපිට එක එකා කෙලවන්න හදනකොට මොකද ඉතින් කරන්නේ... අපි සර්ව සාධාරණයි නම් ඉතින් ඔය පොඩි පාඩුවක් අලාභයක් දරාගෙන වැඩිය පැටලෙන්නෙ කරන්නෙ නැතුව ඉන්න එක අපිට කරන්න පුළුවන් නේ.. එතකොට සිස්ටම් එකේ අවුල් වැඩිය පේන්නෙ නැතුව යනවා.. කෙලවන්න හදන එකාට උනත් හිතෙයි පස්සෙන් එලෝ එලෝ වද දෙන එක තේරුමක් නෑ කියල.

හරි බහුතරයක් ඉන්නෙ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න අයනේ.. එයාලට තියෙන ඊළඟ ප්‍රස්නේ බඩුමිල නේ.. මම නොදන්න කමට අහන්නේ.. ඉතිහාසේ කවදාවත් බඩුමිල කියන එක සිරාවට අඩුවෙලා තියෙනවද? පාන් 3.50 ට දුන්න වගේ ටෙම්පරි අඩු වීම් නැතුව..

සමස්තයක් විදියට අතීතේ ඉඳන් මේ දක්වා වෙලා තියෙන්නෙ හැමදේකම මිල ඉහල ගිහින් තියෙන එක..ඒක අපේ රටේ විතරක් සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි නේ..

ඉන්ධන සහ අනෙකුත් සම්පත්  ජනගහනය වැඩි වෙනකොට ක්ෂය වෙන එක වැඩිවීම නවත්තන්න මොන රටේ මොන පාලකයටවත් බෑ.. ඒ සම්පත් තියෙන රටවල් ඒවා වැඩි මිලට විකුණන එක අපිට නවත්තන්න බෑ නේ..

රටේ නාස්තිය දූෂණය වංචාව පගා ගැනීම් වැඩි යි... ඔය තියෙන්නෙ මොන පාට ආන්ඩුවක් රට කරන්න ආවත් විපක්ෂෙ ඉන්න අයට සදාකාලිකව කෑගහන්න තියෙන පොයින්ට් එකක්... මොකද බලය තියෙන අය ඒ බලයෙන් තම තමන්ගේ පවුල් වලට හිතමිතුරන්ට සලකන එක රජ කාලේ ඉඳන් තිබුණු දෙයක්... අඩු වැඩි වීම් සිද්ද වෙන්න පුළුවන් හැබැයි කවදාවත් එහෙම නැති කාලයක් නම් තිබිල නෑ.. කොයි රටෙත් එහෙමයි කියලයි මම හිතන්නේ..

ලංකාවේ නැද්ද උත්සාහයෙන් දියුණු වෙච්ච,නිදහසේ සතුටින් ජීවත් වෙන මිනිස්සු? යාන වාහන අරගෙන ගෙවල් දොරවල් හදාගෙන රස්සාවල් කරගෙන දරුවෝ හදාගෙන බොහොම සැපෙන් සාමෙන් ඉන්න මිනිස්සු නැද්ද?

එහෙම ඉන්න මිනිස්සු ජීවත් වෙන්නේ මේ අසාධරණ සමාජේ ඇතුළෙ නෙවෙයි ද? දුෂණයෙන් වංචාවෙන් අවනීතියෙන් යට වෙච්ච අහස උසට නඟින බඩු මිලක් තියෙන සමාජේ එහෙම මිනිස්සු ඉන්න විදියක් නැද්ද?

ඇත්තටම මේ සමාජේ ඔය කියන තරම් නරක නම් මිනිස්සු කවුරුත් සතුටින් ඉන්න විදියක් නෑ.. අසාධාරණව සල්ලි හම්බ කරන මිනිස්සු ඇර සාධාරණ රස්සාවක් කරගෙන ඉන්න වෙන කාටවත් හොඳ වහනයක් ගෙයක් දොරක් හදා ගෙන්න ඉන්න විදියක් නෑ..

හිකිස්....

පාර පුරා යන මැක්සා වාහනයි හතර වටේම තියෙන සිරා ගෙවලුයි ඔක්කොම එතකොට හොරුන් ගේ,අපරාධකාරයින්ගේ වෙන්න එපෑ..

පිට රට ගිහින් සල්ලි හම්බ කරන් එන්න ඕනේ...

අන්න ඒකේ හොඳ පොයින්ට් එකක් තියෙනවා.. මොකද අපේ රටට වඩා පිටරටවලදි අපිට හම්බ කරන්න පුළුවන්...

එකක් එහෙ හොඳට ගෙවනවා.. අනිත් එක අපි එහෙදි හොඳට වැඩ කරනවා.. මොකද අපිට ඒ රටේ පවතින සිස්ටම් වෙනස් කරන්න යන්න හිතෙන්නෙ නෑනේ.. ඒවයේ අඩුපාඩු වැරදි හොයල අපිට වැඩක් නෑනේ.. අපි අපේ පාඩුවේ රස්සාව කරගෙන කීයක් හරි හම්බ කර ගන්නවා..

ඒ රටවලදිත් පාඩුවෙ ඉන්න නොදී ලෙඩ දාන උන් ඕනෙ තරම් ඉන්නවා.. හැබැයි වැඩිය කචල් බචල් දාගන්නෙ නැතුව ඉන්න එක නුවනට හුරුයි කියල ඕනෙම මැටි මොලේකට ඒ රට වලදි තේරෙනවා..

බඩු මිල කොහොම ද.. පිස්සු හැදෙයි.. පුළුවන් හැම වෙලේම ලංකාවෙන් තමා කෑම ටික ඇඳුම් ටික ඔක්කොම ගන්නේ... මෙහෙ කොච්චර බඩු ලාබද... හිකිස්...

ඒ රටවල වංචා දූෂණ නෑ.. එහෙනම් ඇයි එකම බඩුව එහෙයි මෙහෙයි ගනන් දෙකක්.. මෙහෙ රුපියල් 50 පාන් ගෙඩිය එහෙ 500 වෙන්නෙ ඇයි..

ඒ රටවල් කොච්චර ලස්සන ද? පිරිසිදු ද? හැමදේම ක්‍රමානුකූලයි...  ඒ මිනිස්සු අවුරුද්දකට ටැක්ස් කොච්චර ගෙවනවද කියල නිකමට හොයල බැලුව ද? ඒ රටවල ආදායම් මාර්ග මොනවද කියල එහෙම දන්නවද?

ලේසියෙන් නිවාඩු නම් ගන්න බෑ... හිකිස්.. මෙහෙ වගේ නෙවෙයි...ඒ මිනිස්සු කම්මැලි නෑ.. වෙලාවට වැඩ.. අපි වගේ නෙවෙයි...

හිකිස් බිකිස්...

නිදිමත වේගෙන එන නිසා දැන් ඇති

මට කියන්න ඕනෙ වෙච්ච දේ මේකයි... මේ රටේ දියුණු වෙන්න ඕනේ තරම් අවස්තා තියෙනවා... අඩුපාඩු නැතුව නෙවෙයි නමුත් කාගෙන් වත් බාධාවක් නැතුව ඕනෙ තරම් හම්බ කරගෙන සැපෙන් සාමෙන් ජීවත් වෙන්න කිසිම අවුලක් නෑ... එකම දේ අපි දේවල් දිහා බලන විදිය පොඩ්ඩක් වෙනස් කර ගන්න එක...  අපි දකින ලෝකය වෙනස් වුණාම ඒ ලෝකයට හරි යන්න අපිත් වෙනස් වෙනවා... පිටරට වල යන එන එක වරදක් නෙවෙයි... හැබැයි එහෙම යන්න ඕනේ මේ රටට බැන බැන නෙවෙයි... අපේ තියෙන අඩුපාඩු නිසා හෝ අවංකවම අපිට සිද්ධ වෙන අයුතු දේ නිසා කලකිරිල යන අය ඉන්න පුළුවන් නමුත් ඒකෙන් කියන්නෙ නෑ මුලු රටම එහෙමයි කියල..

පිටරට වල ගිහින් අපි ජීවත් වෙන ආකල්ප වලින් මේ රට ඇතුලෙත් ජීවත් වෙන්න අපිට පුළුවන්... එහෙම ඉන්නකොට මෙහෙයි එහෙයි වෙනසක් දැනෙන එකක් නෑ... මෙහේ වඩා සැපවත් වෙයි.. මොකද අපිට අයිති හැම දේම හැම කෙනාම ඉන්නෙ මෙහෙ නිසා...


අවසාන වශයෙන් මෙන්න මේක පොඩ්ඩක් බලන්න

'ශී‍්‍ර ලංකාව දූපතක් වුණාට පුංචි විශ්වයක්!' - ශී‍්‍ර ලංකාවේ සිට ලොව හෙල්ලූ විද්‍යාඥයා, ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක්

ලෝකයේ ජීවත්වීමට හොඳම රට ශී‍්‍ර ලංකාව කියල අපේ මේ පුංචි රට තෝරා ගෙන අවුරුදු 51ක් ම අපේ රටේ ජීවත්වෙමින් අපේ රටට කීර්තියක් ගෙන දුන් ලෝකයේ විසූ කීර්තිමත් ම විද්‍යාඥයා, විද්‍යා ප‍්‍රබන්ධකයා, ජනපි‍්‍රය විද්‍යා ලේඛකයා, විද්‍යා න්‍යායාචාර්යවරයා, විද්‍යා දේශකයා තමා ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක්. අපේ ම රටේ ඉපදිලා, අපේ ම රටේ, අපේ ම සල්ලිවලින් ඉගෙන ගෙන, ‘මේ රටේ ජීවත්වෙන්න බැහැ’යි කියලා රට ඇරලා යන උගත්තු ඉන්න මේ කාලේ එතුමා අපට දුන්නේ මහඟු ආදර්ශයක්.

‘ලංකාව කියන්නෙ දූපතක් වුණාට පුංචි විශ්වයක්. මෙය දර්ශනීය තැන්වලින්, විවිධ දේශගුණයන් වගේ ම විවිධ සංස්කෘතීන්ගෙන් පිරිලා. ඔබ මේ රටට ගේන දේ අනුවයි, ඔබට රටෙන් යමක් ලැබෙන්නෙ. කොළඹ නගරයේ බටහිර පන්නයට හැඩ ගැහුණු, දූවිලිවලින් පිරුණු වීදිවලින් පිටට නොගිහින් හෝටලයට වෙලා හිටියොත් එක සතියකින් ම මේ රට ඔබට එපා වේවි. ඒත් ඔබ ජනයා ගැන, ඉතිහාසය ගැන, කලාවන් ගැන, සොබා දහම ගැන, ඒ කියන්නෙ ජීවිතයට වටින ඒ වගේ දේවල් ගැන උනන්දු නම්, ඔබටත් මේ රටේදි, මේ මට වගේ ම, සුන්දර දේ හමුවේවි. ඒවා අත්විඳින්නට ඔබේ මුළු ජීවිත කාලයමත් මදි බව ඔබට වැටහේවි.’ එතුමා බි‍්‍රතාන්‍ය ගුවන් සේවාවේ ප‍්‍රකාශනයකට ශී‍්‍ර ලංකාව ගැන ලිව්වෙ එහෙමයි.

ශී‍්‍ර ලංකාව තරම් ලස්සන රටක් ලෝකයේ තවත් නෑ 

‘සමහර විට ලංකාවෙ ඇති ආකර්ෂණයන් ඉක්මවා යන දේවල් ලෝකයේ එක එක රටවල ඇති. පැරණි නටබුන් අතරින් කාම්බෝජයේ ඒවා මීට වඩා ආකර්ෂණීය ඇති. ටහිටි දූපතේ මීට වඩා ලස්සන වෙරළවල් ඇති. බාලි දූපතේ මීට වඩා දර්ශනීය තැන් ඇති. (ඒත් මට නම් සැකයි). තායිලන්තයේ මීට වඩා සුහදශීලී ජනයා ඇති. ඒත් මා නම් හිතන්නෙ නෑ මේ හැම ආකර්ෂණයක් ම ඇති වෙනත් රටක් ඇතියි කියලා මේ ශී‍්‍ර ලංකාව හැර.’ එතුමා මෙහෙම ලිව්වෙ 1970 දි ශී‍්‍ර ලංකාව ගැන ලියවුණු තවත් පොතකටයි.



උපුටා ගැනුම මල්කැකුළු අඩවියේ පූර්ණ අනුමැතිය සහිතව



Friday, May 25, 2012

අයියලාවත් දන් දුනෙමි

දන් දීම නිකං දීම තෑගි දීම පිනට දීම අපි හැමෝම නිතර කරන දෙයක් නේ... වැඩි වැඩියෙන් දන් දෙන්න හැමෝම කැමතියි... කලාතුරකින් කෙනෙක් ඇරෙන්න යම් දෙයක් කෙනෙකුට දීමෙන් සතුටු නොවන කෙනෙක් නෑ..

සතුටු වෙන්නේ අවංකවම අත්හැරීම නිසා දැනෙන සැහැල්ලුව නිසාද අනිත් කෙනා තමාට වඩා අසරණ නිසා ඒ පුද්ගලයාව සතුටු කිරීමට තමාට හැකිවීම නිසා ද සියුම් විදියට හිත යටින් බලාපොරොත්තු වෙන උසස් බව ලබා ගෙන සතුටු වීමට ඇති ආසාව නිසා ද යන්න එතරම් වැදගත් නොවුනත් දන් දීම නිසා ඕනෙම කෙනෙක්ගේ හිතේ පොඩි සතුටක් දැනෙනවා...

මමත් ඉතින් පොඩි කාලේ ඉඳලම මගෙ ලඟ තියෙන එක එක දේවල් ඔය කාට හරි දීල දාන්න හරි කැමතියි... සෙල්ලම් බඩු,ඉලෙක්ට්‍රොනික් සර්කිට් කෑලි, පොත්, මැගසින්, සඟරා, ස්ටිකර්,චිත්‍ර ඕවා තමා පොඩි කාලේ දන් දුන්නේ.. (ලෝක ප්‍රසිද්ධ වෙච්ච සමහර ධනවතුන් වගේ පොඩි කාලේ ඉඳලම තියෙන දෙය යොදාගෙන යමක් උපයා ගැනීමට වඩා තියෙන සියල්ල නැති කර ගැනීමේ උපන් හැකියාව සහිත වීම නිසා වෙන්න ඇති)..

පස්සේ කාලේ කොම්පුටර් දන් දීම කළා... මුලින් ම තාත්තයි අම්මයි අරන් දුන්න එක එක්කෙනෙකුට දන් දුන්නා.. පස්සෙ මම පඩි අරන් හදා ගත්ත එක ආයේ දන් දුන්නා... ඊට පස්සේ ගත්ත ලැප්ටොප් එකත් දීල දැම්මා... ( මටම කියල කොම්පියුටරයක් නෑනේ හැබෑටම.. දැන දුවන්නේ කොම්පැණි ප්‍රොපටි වලින්...)  බයික් එක ගත්තම ඒ වෙනකම් පැද පැද පට්ට ගහපු බයිසිකල් එකත් දීල දැම්මා..  කාර් එක ගත්තට පස්සේ බයික් එක දීල දාන අදහස නම් ගොඩක් සැරයක් ඔලුවට ආවා... තාම දුන්නෙ නෑ... කාර් එකෙන් විතරක් ගොඩ දාන්න අමාරු ගමන් බිමන් තියෙනවනේ... (බට්ටි නංඟි නම් උඩින්ම කැමතියි මම බයික් එක කාට හරි දීල දානවට.. මමනේ දන්නේ කාර් එක එහෙ මෙහෙ පාර්ක් කරන්න ගියාම කන්න වෙන කට්ට..)

මේ ළඟදි මම තවත් මහා දානයක් දුන්නා... එකට වැටිල දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන අයියයි මල්ලියි වගේ කාලයක් තිස්සේ හිටපු හෙලිකොප්ටර් අයියාව මම දීල දැම්මා... ඇත්තටම කිව්වොත් මුලින් ම ගත්ත  එකයි... ඊට පස්සේ ගත්ත එකයි දෙකම දුන්නා...

මුලින් ගත්ත එක මා වැනි ම පිස්සුවක් සහිත රුවන් මාමාගේ හිතසුව පිණිසද.. දෙවැනි එක මට වගේම පොඩි කාලයක් හිමි... බට්ටි නංඟිලාගේ පවුලට හිතවත් රත්නපාල අයියාගේ පුතාගේ සතුට පිණිස ද වශයෙන් දීල දැම්මා...




අයියා දන් දීමට පෙර දින රාත්‍රියේ මල්ලී සම්ඟ ගත් අවසන් පොටෝ කිහිපය

ඇත්තටම මගේ හෙලිකොප්ටර් උණ දැන් සනීප වෙලා... ගේ ඇතුළේ ඉඳන් යවන්න කියල හිතාගෙන මේ ලඟදි ගෙන්න ගත්ත හෙලිකොප්ටර් මල්ලියා හරියට වැඩ කරන්නේ නැති වුණාට පස්සේ නිකං කම්මැලියි වගේ.. (සෝරෝට ඇමතුමක් දීල උපදේසයක් ගන්නවත් හිතෙන්නෙ නෑ වගේ...) මේ සතියෙවත් ආයේ ට්‍රයි එකක් දීල බලන්න ඕනේ...

ඔන්න ඔහොම තමා ඉතින් මගේ දන් දීම්... මේ ඊයේ පෙරේදා ගත්ත ඩී.ඇස්.ඇල්.ආර් කැමරාවටත් ඔය ආනිසංසෙම වෙයි තව ටික කාලෙකින්.. හික්ස් බිකිස්...

ඉස්සර මට කොම්පුටරයක්, මේ වගේ හෙලිකොප්ටර් ,සෙල්ලම් බඩු සහ ආස හිතෙන තව එක එක දේවල් ගන්න බැරුව ගෙදර ඔහේ ඉන්න වෙලාවට අනන්තවත් හිතිල තියෙනවා මට ඒව අරන් දෙන්නවත් කවුරු හරි හිටියනම් කියල... එහෙම කවුරුවත් නෑ කියල ෂුවර් එකටම දැන දැනත්..  දැනුත් ඉතින් එහෙම හිතන පොඩි එවුන් ඕනේ තරම් ඉන්නවනේ... එහෙම කරන්න බැරි දෙමව්පියොත් ඕනෙ තරම් ඉන්නවනේ... ඉතින් එහෙම හිතෙන පොඩි එකෙකුගේ හීනයක් හීනියට හරි සැබෑ කරල පොඩි ආතල් එකක් ගන්න එක වරදක් නෙවෙයි නේ...

රස්සාව කරල ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අරගෙන තව අමතර ආදායම් මාර්ග හදාගෙන සල්ලි කාරයෙක් උනාට පස්සේ දාන දීල නැති බැරි අයට උදව් කරල පින් කම් කරල ඉන්නම් කියල කල් දාන්නෙ නැතුව දෙන්න හිතෙන වෙලාවට දීල ඔන්න ඔහේ පාන් කෑල්ලක් කාල ඉන්න එක හෙන ආතල් මට නම්...

Saturday, May 19, 2012

පොටෝ එක

ගෙවුනු වසරේ අපේ සවාරි වලට අදාල පොටෝ එක.. ඇනිවසරිය දිනට සති කිහිපයක සිට සෑදීම අරඹා මා දන්නා සියළුම පොටෝසොප් වැඩ කිඩ දමා මගේ අතින් නිෂ්පාදනය වූ අපේ ඇනිවසරි පොටෝව. නිතර කැඩෙන සුළු ලැප්ටොප් වල දමා රැක ගැනීම ෂුවර් නැති බැවින් මතු කලෙක බලා සතුටු වනු පිණිස මෙසේ බ්ලොගයට දමනු ලැබේ...
                                    
 ඇනිවසරි දින ඔපිසියෙන් පැනගොස් ලබා ගත් ප්‍රින්ටය බට්ටී නංඟී විසින් අධික පරිස්සමට කොහේ හෝ හංඟා ඇති බැවින් මට නිතර දැක බලා ගැනුම පිණිස මෙසේ ජාල ගත කළෙමි...

Saturday, May 12, 2012

ගෙවුනු වසරේ අපේ සවාරි.. ඡායාරූප රහිතයි

අපි දෙන්නගේ ෆස්ට් වෙඩින් ඇනිවසරිය පහුවෙලා දැන් සති 2ක් විතර.. ඇනිවසරි ටුවර් එකට රවුමක් ගහල ගෙදර ආපු ගමන් කොම්පීටරේට කෙල වෙච්ච නිසා මොකුත් කර ගන්න බැරි වුණා.. අලුතින් හම්බවෙච්ච එකට අවශ්‍ය අඩුවැඩිය දාලා හදා ගත්තේ මේ ඊයේ පෙරේදා...

අපි දෙන්නගේම හීනයක් වෙලා තිබ්බ දඹුල්ල කණ්ඩලම හෝටල් ගමන ෆස්ට් ඇනිවසරි එකේදි යන්න පුළුවන් වෙච්ච එක ගැන හරි සතුටුයි... පොඩි කාලේ ඉඳල තිබ්බ හීන එකින් එක හෙමින් හෙමින් හැබෑකරගන්න පුළුවන් වෙන එක හරි ජොලි... හැමදේම අපි දෙන්නම මහන්සිවෙලා හම්බකරගත්ත දේවල් වලින් කරනකොට අවංකවම හිතට සැහැල්ලුයි සතුටුයි..

කණ්ඩලම හෝටලය ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.. ස්වභාවික පරිසරයට සිදුවෙන හානිය අවම කරගෙන හදපු විශිෂ්ට නිර්මාණයක්... මම හිතන්නේ සම්මාන පවා හම්බ වෙලා තියෙනවා පරිසරය සුරැකීම සම්බන්ධව...මීට අවුරුදු 10-15කට කලින් ඔය හෝටලේ හදපු කාලේ ඉඳල හෙන ආසාවක් තිබ්බ ඕකට යන්න.. ඒ කාලේ ඒව නිකං හීනම විතරක් වෙලා තිබුණේ..

කණ්ඩලමෙන් පස්සේ රුවන්වැලි සෑයටයි,ශ්‍රී මහා බෝධියටයි ගියා පහුවදා රෑ.. අනුරාධපුරේ ගිහින් හතරවටේ ඇවිදින්නේ නැතුව රුවන්වැලි සෑ මළුවේ ගේට්ටුව වහනකම් වාඩිවෙලා හිටියා... එහෙම ඉන්නකොට දැනෙන දේ ගැනත් ඉතින් වචන වලින් කියන්න අමාරුයි..

පහුවදා උදේම නැග්ගා සීගිරී.... ඒකත් අවුරුදු 10-15කින් තමා ගියේ.. උඩටම නඟිනකොට නම් නිකන් සුදුකොඩි, ගොක්කොල පේන ගතියක් දැනුනා .. හිකිස්...ඒතරම් ඇඟේ ෆිට්නස් නේ...

ඇනිවසරි ටුවර් එක එතනින් ඉවරයි...

වෙඩිමෙන් පස්සේ දවසේ අපි දෙන්නා කෙලින් ම ගියේ නුවර හුනස් ෆෝල්ස් හොටෙල් එකටනේ.. බැඳපු අලුත යන්න තියෙන සිරාම හොටෙල් වලින් එකක් ඒක.. ගිය අය දන්නව ඇති.. පුදුම ලස්සනක්...  බඳින්න ඉන්න අය පුළුවන් නම් ගිහින් ආවට කමක් නෑ.. ජීවිතේටම මතක හිටින තැනක් වෙයි..

හෝම් කමිමෙන් පස්සේ දවසේ සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව තායිලන්ත සවාරියකුත් ගිහින් ආවනේ... දවස් 5ක් තායිලන්තෙ නැවතිලා රට තොට බලල එන්න එච්චර ලොකු ගානක් ගියෙ නෑ.. ලංකාවේ හිටිය හෝටලේට එක දවසට ගෙවපු ගානින් අපි දෙන්න සාමාන්‍යයෙන් 3-ස්ටාර් වගේ හොටෙල් එකක දවස් 4ක් හිටියා... හරිම ලාබයි.. කිසිම අඩුපාඩුවක් නෑ.. එහෙ ගිහින් ඩ්‍රීම් වර්ල්ඩ් එකේ රවුමකුයි, මැඩම් ටුසාඩ් වැක්ස් මියුසියම් එකේ රවුමකුයි ගහල ගෙවල් වල අයටයි අපිටයි පොඩි පොඩි තෑගියි (මට හෙලිකොප්පරේ) අරන් එන්න අපිට ගියේ යන්න එන්න ටිකට් වලටත් එක්කම 120,000ක් වගේ (ගාන දැම්මේ යන කෙනෙකුට අදහසක් ගන්න)

ඒ ගමනෙන් පස්සේ අපි කීප සැරයක් හපුතලේ ගියා.. ට්‍රිප්ම නුනත් ට්‍රිප් තමා ඉතින්.. නෑදෑ ගෙවල් වලයි ප්‍රේමසිරි අයියගේ මළ ගේ, බුද්ධික මල්ලිගේ දානේ වගේ හේතු නිසා. දියළුම, බබරකන්ද දිය ඇලි බලල, දොලපාරවල් වලින් නාලා, අලි බලල, මඩවල උපාලි හාමුදුරුවන්ගේ මියුසික් තෙරපි විඳල ආපු නිසා ඒ ගමන් ටිකත් ඉතින් ට්‍රිප් ම තමා..

ඔය අතරේ අපි දෙන්නා ආයේ ගියා මේ ළඟපාත පොඩි හොටෙල් එකකට... ඒ කියන්නේ කොළඹින් 20-30 කි.මි වගේ දුරකින් තියෙන සෙරනිටි විලේජ් කියල ලස්සන පොඩි හොටෙල් එකක්... දවස ගෙවල එන්න මරු තැනක්.. වැඩි ගානක් නෑ.. පෙට්‍රල් වියදමත් එක්කම 5000කට අඩුවෙන් ගියේ අපි දෙන්නට.. හැබැයි රෑ හිටියෙ නෑ...

ඊට පස්සේ කතරගම ටුවර් එකක් සෙට් වුණා... පවුලේ අයත් එක්ක... ඒකෙදි ලෝක ප්‍රසිද්ධ නැව් එන්නැති වරාය එහෙමත් දැකබලා ගත්තා.. හැබැයි ඇත්තටම මම නම් ගලක් දැක්කෙ නෑ...  කවුරු මොනව කිව්වත්..

කලින් වැඩ කරපු කොම්පැණියේ සැට් එකත් එක්ක ගිය නුවර එළි ට්‍රිප් එකත් මරේ මරු...  නුවර එළියේ ගිහින් ඉට්ටෝබෙරි ෆාම් එකේ ට්‍රැක්ටර් ගමනත් මරු.. කොත්මලේ ජලාශේ තත්වෙත් බලාගෙන තමයි ඒ රවුම කැරකිලා ආවේ...

නුවර එළියේ ටුවර් එකට කලින් (ලියපු ඕඩර් එක නම් වැරදියි... ගනන් ගන්න එපා) මම හිතන්නේ කතරගම ටුවර් එකටත් කලින් ද මන් ද... අකුරැස්සේ ගිය වෙලාවෙදි අපි ගියා කඹුරුපිටියේ එකෝ විලේජ් කියල තව පොඩි ලස්සන හොටෙල් එකකට.. ගෙදර කට්ටියත් එක්ක හවස් වෙලා ගිහින් රෑ කෑම කාල එන්න හෙන අඩු ගානක් ගියේ.. ලස්සන තැනක්...

අහ් කියන්න අමතක වෙච්ච තව සිරා ගමනක් තියෙනවනේ.. බට්ටි නංඟිගේ කොම්පැනිය ගානේ ජෙට් ලයිනර් නැව් සවාරියකුත් සැට් උණානේ... නොමිලෙම... යන්න වටින ගමනක් ඒකත්... නැව් කියන්නෙත් හෙන සිරා වාහන ජාතියක්...

අපේ කොම්පැණිය ගානෙත් වත්තල පෙගසස් හොටෙල් ගමනකුත් සැට් වුණා.. හැක්.. බැඳල මාසයයි ද කොහෙද.. කෙහෙල් ගහට ඩි.එස්.එල්.ආර් කැමරාවෙන් ගැහුව වගේ... බීච් වොලිබෝල් ගහන්න ගිහින් මගේ වෙඩින් මුද්ද නැත්තටම නැති උණා එහෙදි... හිකිස්..  කොම්පැනියේ කට්ටිය කොම්පැනිය ගානේ මට අලුත් මුද්දක් අරන් දුන්න එකත් කවදාවත් අමතක වෙන්නෙ නෑ...  ඩේ ඇන්ඩ් නයිට් සේවය කළත් කමක් නෑනේ ඉතින්...

දැනට මතක් වෙන විදියට ඔන්න ඔහොම තමා අපි දෙන්න රවුම් ගැහුවේ... අවර් කාර් අවර් පැට්‍රෝල් නේ කියල අපිට හිතුනම ඉතින් ඔය වගේ රවුම් යනවා.. (බැංකු වල සතපහක් වත් නැති එක වෙනම කතාවක්)

බැඳල අවුරුද්දක් 2ක් යනකම් සල්ලි පොඩ්ඩක් නාස්ති කලාට කමක් නෑ ඔන්න ඔහේ.... (ඊට පස්සෙත් කමක් නෑ ඉතින්)... ඊලඟ මාසේ ගානට බැලන්ස් කරගන්න පුළුවන් නම් විතරක් (හිකිස්... බැරිම උනොත්  ක්‍රෙඩිට් කාඩ් තියෙනවනේ ඉතින් )

ඉන්න ඩිංඟ ජීවත් වී සැපෙන් ඉම්මු අපි නංඟී කියන පිස්සු පූසාගේ තියරියට වන්දනා මාන කරලනේ මම ඉන්නේ.. බට්ටි නංඟිත් ඉතින් මම ම තමා නේ...

ප.ලි
ගිය ගමන් වල පින්තූර සියල්ල මදර්බෝඩ් එකට කෙලවී ගිය මගේ පරණ ලැප්ටොපයේ බැවින් මේ අවස්තාවෙදී ලබා ගත නොහැක..

ප.ප.ලි
සල්ලි සල්ලි කියා බලන්නේ නැතුව අම්මාගෙන්,අක්කාගෙන් සහ දිමුතුවාගෙන් බැනුම්/ අවවාද අසමින් බට්ටි නංඟිගේ පූර්ණ අනුමැතිය සහිතව කන්ඩලම් ටුවරය යන්න ඔන්න මෙන්න තියා තකහනියේ මිලදී ගත් මගේ ඩී.ඇස්.ඇල්.ආර් කැමරාවේ පින්තූර සමඟ නැවත හමුවෙමු...

ප.ප.ප.ප.ප.ලි.ලි.ලි.ලි.ලී

කොහොමද නයාගෙ තරම.. හිකිස් බිකිස්...