Thursday, May 11, 2017

මැලේසියාව කෙටියෙන් - Glimpse of Malaysia


     මැලේසියන් ජිවිතයට අවුරුදු 4ක් පිරීමට ආසන්න වී ඇත. ජීවිතය ගලාගෙන යන හැටි අපුරුයි කියා සිතෙන්නේ කිසිදිනෙක පිටරටක වැඩ කිරීමට හෝ පදිංචියට කිසිදු කැමැත්තක් නැතිව සිටි මා දැන් මේ රටේ සිව් වසරක් ගෙවා ඇති බව සිතෙන විටය. මම නම් මෙහෙමයි, මම නම් මෙහෙම වෙන්නේ නෑ යනුවෙන් සිතා සිටීම හරිම විහිළු සහගත දෙයක් බව මගේ කුඩා මොළයට මේ වනවිට වැටහී ඇත.

කොහොමද ඔහේ ජිවිතේ යනුවෙන් අසන අයට මගේ පිළිතුර ඔන්න ඔහේ ඉන්නවා හෝ මෙලෝ රහක් නෑ යනුවෙන් බොහෝ විට ආරම්භ වේ. ඒ මට උපතින්ම ලැබී ඇති සහජ හැකියාව ඔහේ ඉඳීම නිසා හෝ රස දැනීම පිලිබදව ඇති පොඩි අවුලක් නිසා විය හැකිය.  කෙසේ හෝ ඉතින් අවුරුදු 4ක් ගෙවා දමා ඇත. 

මැලේසියන් ජීවිතය ගැන මට වඩා අත්දැකීම් ඇති සහ ඇසු පිරු තැන් ඇති බොහෝ අය මේ අවකාශයේ සිටී. මගේ සත දෙකත් ඉතින් මෙසේ ලියා තබමි.

ඔබ කෙදිනකවත් මැලේසියාවට පැමිණ නැත්නම්, ඇවිත් ගියාට පාඩුවක් නැති, පහසුවෙන් සහ අඩු වියදමකින් පැමිණිය හැකි රටක් නිසා පොඩි රවුමක් දමා යාමට ඉතා සුදුසු රටකි.

මම මැලේසියාවට පැමිණීම හා පහුගිය අවුරුදු 4 තුල විටින් විට ආගිය තැන් ගැන බ්ලොග් සටහන් කිහිපයක් ම ලියා ඇත. ඒ සියලු දේ අතරින් මගේ සිත් ගත් දේ සහ මේ ජීවිතය නීරස වීම ගැන ඔන්න ඔහේ ලියා තැබීම සුදුසු යැයි සිතමි.

ලංකාවද මැලේසියාවද යනුවෙන් සිතා බලනවිට නිතැතින්ම මට ලංකාව හොඳ වේ. හේතුව මෙය යැයි කීමට නොහැකි හොඳ කමක් ලංකාවේ ඇත. ඉතින් මැලේසියාවට වඩා මට ලංකාව හොඳය. නමුත් ලංකාවට වඩා මැලේසියාව හොඳ වන බොහෝ හේතු සාධක ඇත. තවමත් සංවර්ධිත රටක් ලෙස නිල වශයෙන් නම් වී නොමැති නමුත් භෞතික වශයෙන් සෑහෙන දුරට සංවර්ධය වී ඇති බැවින් ඒ සමග ලැබෙන පහසුකම් අතින් ලංකාවට වඩා බොහෝ ඉදිරියෙන් මැලේසියාව සිටී. ප්‍රධාන වශයෙන් වෙසන ජාතින් තුන් වර්ගයේම මිනිසුන් තුල බොහෝ ආචාරශීලි ගුණධර්ම ඇති අතර, වැඩි කලබලයකින් තොර සෞම්‍ය මිනිසුන් ලෙස මට දැනේ. මැලේ, ඉන්දියානු සහ චීන ජන වර්ග වලින් ප්‍රධාන වශයෙන් සමන්විත මැලේසියානුවන් ගෙන් මැලේ ජාතිකයින් ප්‍රියමනාප, මිත්‍රශීලි, කම්මැලි ගති ලක්ෂණ ඇති මිනිසුන් ලෙස හිතෙන අතර, ඉන්දියානුවන් කොහේ සිටියත් ඉන්දියානු ගති ලක්ෂණම පෙන්නුම් කරයි. සල්ලි කාර, වැඩ කාර,  උද්දච්ච චීනුන් නිසා මේ රට මෙලෙස දියණු වී ඇති බව සත්‍යයක් නමුත් චීනුන් සමග ගනුදෙනු කිරීම නම් ඉතා අමාරුය. මම මැලේ මිනිසුන්ට කැමතිය. චීනුන් අප්‍රිය වී ඇති අතර, ඉන්දියානුවන් සමග ගනුදෙනු අතේ දුරිනි.

දේශගුණිය අතින් ලංකාවට සමාන නමුත් ලංකාව වඩා සුවදායක බව සිතෙයි. මම දන්නා පරිදි රටේ ඉතිහාසය පෘතුගීසි, ලන්දේසි ඉංග්‍රීසි ආක්‍රමණ සහ ඊට මදක් එපිට කාලයක් තෙක් ලියවී ඇති අතර මම වැඩි දුරටත් ඒ ගැන සොයා බලා නැත. මේ අවුරුදු 4ටම ජාතික කෞතුකාගාරයට යාමට නොහැකි වීම කනගාටුවට කරුණකි.

ගත කල කාලය ඇතුලත මැලේසියාවේ 3න් කොනක ඇති බොහෝ ප්‍රසිද්ධ ස්ථාන දැක බලා ගැනීමේ අවස්තාව හිමිවීම නිසා ආයේ බලන්න ඉතිරි වී ඇත්තේ නැගෙනහිර කොනේ ඇති දුපත් කිහිපයක් පමණි.  ඒ ඒ ගමන් ගැන සටහන් කිහිපයක් ම දැනටමත් ලියා ඇති බැවින් වැඩි දුරට ඒ ගැන ලිවීමෙන් පලක් නැත.

මැලේසියාවේ රජයට සම්බන්ධ තොරතුරු තාක්ෂනය පිළිබඳව  ජාතික පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ ප්‍රධාන ව්‍යපෘති දෙකක මේ වන විට මමත් මගේ බිරිඳත් වැඩ කර ඇත. අප දෙදෙනා ගෙවුණු පසු ගිය අවුරුදු 4ටම  24x7 එකටම සිටියා යැයි කීම වඩා නිවැරදි වන්නේ මේ ගත කල අවුරුදු 4ම එකම ප්‍රොජෙක්ට් වල එකම මොඩියුල් වල එකට වැඩ කිරීම නිසාය. අප දෙදෙනාට එක ළඟ මේස පුටු ලබා දීමට මේ මිනිසුන් හැම වෙලේම කාරුණික වූ බව නොකියාම බැරිය.

මුල් අවුරුදු දෙක මැලේසියානු මුදල් අමාත්‍යංශයේ ව්‍යපෘතියකත් ඊළඟ අවුරුදු 2ක සෞඛ්‍ය අමාත්‍යංශයේ ව්‍යපෘතියකත් වැඩ කිරීමේ අවස්ථාව අපට හිමිවිය. රටක් වශයෙන් සැලසුම් සහගතව ඔවුන් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සහ විදෙස් දැනුම සිය රටේ දියුණුව වෙනුවෙන් යොදා ගැනීමත්, වසර 2020 වනවිට මැලේසියන් තාක්ෂණික යෝධයින් (Tech Giants)  බිහි කිරීමේ අරමුණත් ඇතිව ඔවුන් කරන මේ ව්‍යපෘති වලින් ඉගෙන ගැනීමට බොහෝ දේ ඇත. ලංකාවේ ICTA ආයතනය හා සමානව මැලේසියානු රජයට අවශ්‍ය තාක්ෂණික ව්‍යපෘති සිදු වන්නේ මේ ආයතනය හරහාය. නමුත් මම දිනක් මේ ආයතනයේ CTO හමුවූ විට ලංකාවේ ICTA ආයතනය ගැන දැනුවත් දැයි විමසු විට එහෙම ආයතනයක් ගැන කිසි දෙයක් නොදන්නා බව පැවසුවේය. ඇත්තටම නම් අපිට මොවුන්ගෙන් ඉගෙන ගත හැකි දේ බොහෝය. ඔවුන් ඒ සඳහා උදව් උපකාර කිරීමට පවා කැමති වනු ඇත. ඒවා ඉතින් ලොක්කන්ගේ වැඩය.

ගෙවී ගිය අවුරුදු 4ම එකම බොසෙක් යටතේ වැඩ කිරීමේ අවස්ථාව අපට හිමිවිය. ඇඟ පුරාම මොලේ තියෙන හැකර කටක් ඇති වැඩ කාර චීන බොසා සහ ඇල්වතුරත් නිවලා බොන හරිම අහිංසක නමුත් දැනුමෙන් ලොක්කාටත් උගන්නන තවත් චීන සහෝදරයෙකුත් අප සමග හැමදාම එකට වැඩ කළේය. ඔවුන් දෙදෙනා සැබවින්ම දක්ෂයින් වන අතර නොමසුරුව ඒ දැනුම තමන්ගේ කණ්ඩායමට ලබා දීමටත් ඔවුන් කාරුණික වීම සඳහන් කල යුතුය. ඔවුන් අප ලවා වැඩ කර ගත්තා සේම, නිසි ලෙස සිය වගකීම ගෙන අවශ්‍ය වෙලාවේදී ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් මැදිහත් වීම අගේ කල යුතුය.  පර්ෆෙක්ෂනිස්ට් කෙනෙකු වූ බොසා සමග වැඩ කිරීම අභියෝගයක් වූ බොහෝ දිනයන් අවසන් වුයේ ඌට හොම්බට දෙකක් දෙන්න සිත් වීමෙනි නමුත් ඒ හැම දිනම ඉගෙන ගත් දේවල් ජිවිත කාලයටම වැදගත් ය. බොසා දකින විට හොම්බට අනින්නට හිතුනත් ඌ කෙරෙහි ගෞරවයක් හැමදාම සිතේ ඉතිරි වී ඇත.

රැකියාවට එන්නට පෙර බොහෝ දේවල් ගැන හොයා බලා එන්නම් වාලේ එන්නේ නැතුව අපිට අවශ්‍ය පරිදි සියල්ල සුදානම් කරගෙන පැමිණීම නිසා මෙහි ජීවිතය සුවදායි ලෙස ගලා ගියේය. ආපු හැටි ගැන සටහනක් මෙහි ඇත.   රැකියාවේ තිබුණු අපහසුකම් සහ කාලයක් යන විට ඇති වන නීරස ගතිය හැරුණු කොට වෙන අවුලක් තිබුනේ නැත. කොහොමත් ගෙට වූ චරිතයක්  නිසා වැඩි සමාජ ආශ්‍රයක් නැතිව ඉතාම හිතවත් මිතුරන් කිහිප දෙනෙකුට ආශ්‍රය සිමා වීම නිසා සමහරවිට ඒ නීරස බව වැඩි වන්නට ඇත. නමුත් මම එසේ හිඳීමට ප්‍රිය කරමි. කෙතරම් සැප පහසුකම් තිබුනත් හිත පවුලේ අය සහ නෑ හිත මිතුරන් ගේ ඈත් වී ජිවත් වීම කාලයක් යන විට එපා වේ. සැපක් ලෙස දැනුනත් එය අමුතුම ආකාරයේ දුකකි.

ඔය නීරස ගතිය දුරු කර ගැනීමට සෑම සති අන්තයකම ෂොපින් මෝල් ගානේ කරක් ගැසුවද අවසානයේ සිදුවුයේ ෂොපින් මෝල් ද එපා වී යෑමය. කම්මැලි කම යන්නට තවත් නානාප්‍රකාර දේවල් කරන්නට පටන් ගත්තා වුවද ටික කලකින් සියල්ල එපා වී අමුතුම ආකාරයේ හොල්මන්ද පොල්කොළ ගතියක් සහිතව බොහෝ දින ගෙවී ගියේය. චීන නංගි කෙනෙක් සමග පුල් එකට බැස පිහිනීමට ඉගෙන ගැනීම ඔය අතර සිදුවූ වැදගත් වැඩකි. ආකිමිඩිස්ට යුරේකා කියන්නට උදව් වූ පරිදි ජබොස් ගා පුල් එකට පනින්නට පමණක් දැන සිටි මට දැන් යාන්තමට එගොඩ මෙගොඩ පිහිනා ගැනීමට ඒ නංගි උදව් උපකාර කළේය. රස්සාවෙන් ඉගෙන ගත් දේ හැර ජිවිතයට වැදගත් යමකට අලුතින් ඉගෙන ගත්තේ එපමණකි.

අප දෙදෙනාගේම පවුලේ අයත් සමග කිහිප විටක් මැලේසියාවේ විවිද ස්ථාන වල සංචාරයට අවස්තාව ලැබීමද, ලංකාවේ උදව් අවශ්‍ය කිහිප දෙනෙකුට නොමසුරුව උදව් පදව් කිරීමේ අවස්තාව ලැබීම ද රට සිටීමෙන් ලැබුණු අනෙක් ප්‍රයෝජන වේ. පිට රටක වැඩ කර අත්දැකීම් ලබාගැනීම, ලෝකයේ විවිධ රට වල ඇවිද ලෝකය කොතරම් විව්ධාකාරදැයි දැක බලා ගැනීම අපුරු වැඩකි. උපන් රටට ලැදි වීම නොවැලැක්විය හැකි දෙයක් වුවත්, උපන්දා සිට මැරෙන තුරු උපන් රටට වීම අනුවණකමක්  යැයි සිතේ. මට කෙදිනකවත් ලංකාව ගැන දුකක් කනගාටුවක් මේ රටේ සිටින විට ඇති නොවිනි. මන්දයත් මිනිසුන්ගේ ජිවන අරගල ලෝකයේ කොහෙත් එක හා සමාන බැවිනි. එකම දේ සමහර රටවලදී වඩා පහසුවෙන් ඒ අරගලය කිරීමට හැකි වීම පමණි. ලංකාවේ ජීවිතය සුවපහසු නැති වුවද එය එතරම්ම අපහසු යැයි ද මට නොසිතේ. ඉතින් වැඩි සැපක් යටතේ වුවද විඳින්නේ දුකක් නම් විඳින සැප මදක් අඩුවීම එතරම් ගැටලුවක් නොවේ. (මේවා ඉතින් තියරි පමණි. ගෙදර උන්දෑගේ කතන්දර අසා සිටිය යුතුය)

ඉතින් මැලේසියන් ජීවිතය ඔය ආකාරය. මේ අතරේ ඉන්න ඉන්න ගමන් ගත් පින්තුර ටිකක් දමා සටහන අවසන් කරමි. නැවත බ්ලොග් බැලීමට ලිවීමට හැකි වන්නේ මේ සියල්ල නිමාකොට ජිවිතයේ මැලේසියන් පරිච්චේදය නිමා කොට ලබන සතියේ ලංකාවට පැමිණි පසුය. ලංකාවේ ජීවිතය යටතේ වැඩිපුර යමක් ලියවේ යැයි සිතමි.

මැලේසියාවේ පළමු වසර දෙක ගෙවී ගිය මුදල් අමාත්‍යංශය. මැලේසියානු රාජ්‍ය සේවකයෝ ද 9ට විතර පැමිණ, පැය දෙක තුනක් කා බී 4.30 වෙනවිට සෙමින් මාරු වන ජනකොටසක් බව මෙහිදී අපි ඉගෙන ගත්තෝය.


මුදල් අමාත්‍යංශ ගොඩ නැගිල්ලේ ඇතුලත සිට ගත් පුත්‍රජයා නගරයේ පැනොරාමාවක්. පුත්‍රජය නගරය ගැන ලිවීමට සිතා සිටිය මුත් එය ඉටු නොවිණි. පසුව ලියමි.


පුත්‍ර ජයාවේ ඇති ප්‍රධාන මුස්ලිම් පල්ලිය.

ඔබ සැම අදුනන පෙට්‍රොනා කුළුණු


දිනෙක ඉර බැස යන වෙලාවක. මැලේසියාවේ වඩාත් ම සිත් ගත් දෙය වන්නේ සැම තැනකින්ම විසල්ව පෙනෙනා අහස සහ මෙවැනි තේජාන්විත ඉර බැසයාම්ය. අප සිටි කොන්ඩෝවට ඉතා අපුරු ලෙස මේ ලෙස ඉර බැස ගියේය.


කැමරන් හයිලන්ඩ්ස් නමින් හඳුන් වන මැලේසියානු කඳුකර තේ වගාවක්. අපගේ සුප්‍රසිද්ධ බ්ලොග් කරුවෙකු සමග ගිය ගමනක්දි ගත් පොටෝවකි. ඒ මහතා දැන් පේන්නට නැත.

චීනුන් ද බෞද්ධයෝය. නමුත් ඔවුන් අපට වඩා වෙනස් ය. ඒ වෙනසට මම කැමතිය.

මැලේසියාව ලංකාවට වඩා දියණු වන්නේ මේ ලෙසය.

ලංකාවී දුපතේදී වැස්සට හසුවූ උකුස්සෙක්.


අනේ මෙවැනි ලස්සන විදි චිත්‍ර ලංකාවේ නොඅදින්නේ ආණ්ඩුවෙන් උදව් උපකාර නොලැබෙන නිසා දැයි මට සැමදා සිතේ.