Friday, February 01, 2013

සිලිකන් නිම්නයේ වීර සොරු හෙවත් පරිගණකය මේසේ උඩට ආපු හැටි 2 කොටස

මේකේ මුල කොටස මෙතනින් බලන්න පුළුවන්...

ඊයේ සීන් එක නතර වුණේ බිල් ගේට්ස් එයාගෙ DOS ඔපරේටින් සිස්ටම් එක ලියන්න පටන් ගන්න තැනිනුයි ස්ටීව් ජොබ්ස් Xerox PARC එකෙන් ගත්ත තාක්ෂණයෙන් එයාගේ APPLE 2 පරිගණකයට අලුත් මුහුණුවරක් ගේන්න යන තැනිනුයි නේ.

ස්ටීව් ජොබ්ස් කියන්නේ මොනවගේ පාලකයෙක් ද කියන දේ මේ ෆිල්ම් එකේ සෑහෙන්න හොඳට මතු කරල තියෙනවා. ඔහු වෙනම ලෝකෙක ජීවත් වෙච්ච හැමදේම වෙනස් විදියට බලපු චරිතයක් නේ.. ඔහුගේ ඒ ගති ගුණ හොඳ සහ නරක යන දෙවිදියටම ඔහුට බලපාල තියෙනවා. ඔහුට දාව ඔහුගේ පෙම්වතියට උපදින දරුවා ඔහු ප්‍රතික්ෂේප කරනවා. සෑහෙන කාලෙකට පස්සෙ ඔහු ඒක පිළිගත්තත් මුල් කාලෙදි හරිම දඩබ්බර විදියට තමා හැසිරෙන්නේ.

ඇපල් 2 එකෙන් පස්සේ බිල් ඊළඟ නිපැයුම ලෙස Apple Lisa නමින් ඔහු තවත් පරිගණකයක් නිපදවනවා. මේකේ Lisa කියන නම ඔහු දාන්නේ ඔහු විසින් ප්‍රතික්ෂේප කරන ඔහුගෙ දියනිය ඔහු විසින් ම දාපු  නමමයි.
මේ කාලෙදි ඇපල් සමාගමේ සභාපති ලෙස ලෝක ප්‍රකට පෙප්සි කෝලා සමාගමේ සභපති ලෙස වැඩ කරපු John Sculley ව බඳවා ගන්න ස්ටීව් ජොබ්ස් සමත් වෙනවා. ඔහු එය කරන්නේ බොහෝම අපූරු කියමනකින්.. ඔහු John Sculley ගෙන් අහන්නේ. "Do you wanna sell sugared water for the rest of your life or you wanna make history?" කියල. 

Lisa  ග්‍රැෆිකල් යූසර් ඉන්ටර්ෆේස් යොදාගෙන හදපු පළමු වෙනි ඇපල් පරිගණකය උනත් ඒක එතරම් සාර්ථක වෙන්නෙ නෑ. 

මේ තියෙන්නේ Apple Lisa පරිගණකය.



මේ අතරේ බිල් ගේට්ස් IBM එකත් එක්ක එකතු වෙලා වැඩ කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ DOS එක සහ තව තව සොෆ්ට්වෙයාර් වැඩ. ඔය අතරෙදි බිල් ගේට්ස් දකිනවා මේ Lisa  පරිගණකය . එතෙන්දි ඔහු තේරුම් ගන්නවා IBM  සමාගමට ලේසි වෙන්නෙ නෑ කියන එක. මේ අතරේ ස්ටීව් ජොබ්ස් මේ අලුතින් ගත්ත තාක්ෂණ සියල්ල දාල හදනවා එයාගේ අලුත්ම MACINTOSH පරිගණකය. 1984 ජන්වාරි මසේ 24 වෙනිදා ඇපල් සමාගම නිල වශයෙන් මේක වෙළඳ පොළට නිකුත් කරනවා. මේක තමයි මවුස් එකක්, ග්‍රැෆිකල් යූසර් ඉනටර්ෆේස් එකක් ,සහිත එකම පුද්ගලික පරිගණකය.  මේ සමඟම ඇපල් සමාගමේ ආදායම් සිතාගත නොහැකි ලෙස වැඩි වෙනවා.. ඇපල් කියන නම ටිකෙන් ටික දැවැන්ත වෙනව මේ කාලෙදි

මේ තියෙන්නේ MACINTOSH  පරිගණකය.




මම පස්සෙ දැනගත්ත විදියට MACINTOSH  කියන්නේ ඇමරිකාවේ හැදෙන එකතරා ඇපල් විශේෂයක් ලු. 

මරු සීන් එකක් තියෙනවා ඔහු ඇපල් සමාගමට අලුත් සේවකයින් ගන්න ඉන්ටර්විව් කරන අවස්ථාවක්. බොහෝම රාජකාරි මට්ටමින් ඉන්ටර්විව් එක කරගෙන යන තැනට ස්ටීව් එනවා කොට කලිසමක් ගහගෙන සෙරෙප්පු නැතුව. ඔහු පෙම්වතිය සමඟ වලියක් දාගෙන ටිකක් තද වෙලා තමයි එන්නේ. ආපු ගමන් ඉන්ටර්විව් එක කරන කෙනා ස්ටීව් ව හදුන්වා දෙනවා. ඊට පස්සේ සිද්ද වෙන දේ දිහා ටිකක් බලා ඉඳල ස්ටීව් අර ආපු කෙනාට කියනවා "You are an IBM Type" කියල. අර මිනිහ පොඩ්ඩක් අවුල් ගිහින් ඒක සාධාරණීකරනය කරන්න ට්‍රයි කරනව. කතාව යන අතර තුරේදි ස්ටීව් ගන්නව කකුල් 2 මේසෙ උඩට.. අර පොර දැන් ෆුල් අවුල්... ඔහොම ටිකක් වෙලා අර මනුස්සය දිහා බලාගෙන ඉඳල ස්ටීව් අහනව "Are you a virgin?" කියල... හික් හික්... අනාතයි නේද? අර යකාට කට උත්තර නැති වෙනවා.. 

අන්තිමට ස්ටීව් ඔහුට කියනව එයාව ඇපල් සමාගමට සුදුසු නෑ කියල...

මේ වෙලාවේ මෙතන ඉන්නව ස්ටීව් ගේ යාළුවා වොස්නියැක්. ඔහු මේ ගැන හොඳටම කලකිරිල ස්ටීව් ට කියනවා ඒ කරපු දේ වැරදියි කියල. අන්න ඒ වෙලාවේ ස්ටීව් ජොබ්ස් බොහොම ලස්සන කතාවක් කියනවා. ඔහු කියනවා අපි දැන් මේ කරන්නේ අපේ ආයතනයේ දොරවල් විවෘත කරන එක. අපි එක වැරදි දොරක් හරි විවෘත කලොත් බොහෝ නරක දේවල් ආයතනය තුලට එන්න පුළුවන් කියල.

කොහොම වුනත් වොස්නියැක් ස්ටීව් ගේ ක්‍රියාකලාපයන් ගැන ඔහුට අවවාද කරනවා. 

බිල් ගේට්ස් මේකට හාත්පසින් ම වෙනස් චරිතයක්. මිනිහ කූල් එකේ වැඩ කරනවා ඒ වගේම හීන් නූලෙන් වැඩ කරන්න දක්ෂයා.ඇපල් සමාගමේ නිපැයුම් දකින බිල් ගේට්ස් තේරුම් ගන්නව ඔවුන් ඇපල් එකත් එක්ක වැඩ කිරීමේ අවශ්‍යතාවය. බිල්,පෝල්,බෝල්මර් 3 දෙනා යනවා ඇපල් සමාගමට. ස්ටීව් ජොබ්ස් මෙයාලව මායිම් කරන්නේ නැතුව ඉන්න අතරෙදි බිල් ගේට්ස් ලස්සනට ස්ටීව් ජොබ්ස්ට බෝලෙ බස්සනවා. කාගෙත් පොදු සතුරා වෙච්ච IBM එක බිල් ගේට්ස් එතෙන්දී ස්ටීව් ජොබ්ස්ට විකුණනවා.. කොහොම හරි බිල් ගේට්ස් ඇපල් එකට සොෆ්ට්වෙයාර් ලියන වැඩේ තමන්ගේ අතට ගන්නවා. මයික්‍රොසොෆ්ට් එක්සෙල් කියල අපි දැන් දන්න වැඩසටහන් තමයි බිල් ගේට්ස් මාකට් කරන්නේ. ඔය ස්ප්‍රෙඩ්ෂීට් සොෆ්ට්වෙයාර් එකත් මයික්‍රෝසොෆ්ට් එකෙන් සල්ලි දීල අරන් දියුණු කරපු එකක්. 

ඔන්න ඔය විදියට තමා මුල් කාලෙදි බිල් ගේට්ස්,ස්ටීවි ජොබ්ස්,ඇපල්,මයික්‍රෝසොෆ්ට් වැඩ කරන්නේ. ස්ටීව් ජොබ්ස් ඔහුගේ අනාගත දැක්ම නියම විදියට මේ කාලෙදි පාවිච්චි කරනවා. ඔහු සිය සේවකයින් ව පෙර කවරදාවත් නොවූ විරූ විදියට හිතන්න පුරුදු කරවනවා. ඒ වගේම බොහොම දරුණු විදියට මිනිස්සුන්ගෙන් වැඩත් ගන්නවා. ඔහුගේ සිතේ මැවෙන දේ ඒ විදියටම සිද්ද වෙනකම් ඔහු අතාරින්නෙ නෑ. බොහොම දරුණු පාලකයෙක් හැබැයි ඒ වගේම සමාගමේ සම්පූර්ණ අනාගතය නිවැරදිව තීරණය කිරීමේ හැකියාවත් ඔහු සතුව තියෙනවා. ඒක සේවකයෝ ඔක්කොමත් දන්නවා.

ෆිල්ම් එකේ එක තැනක දී මහ රෑ ස්ටීව් ඇවිල්ල බොහොම මහන්සිවෙලා වැඩ කර කර හිටපු සේවකයෙකුට බනිනවා. ඉවසගෙන ඉන්න බැරිම තැන මේ සේවකයා ජොබ්ස් ට කටින් ලේ එන්න ගහනවා.. හික්...

බොහෝ සේවකයෝ ඔහුට ත්‍රස්තවාදියෙකුට වගේ බයයි.. ඔහු ඇපල් සමාගමේ නිල කොඩිය විදියට ඒ කාලෙදි පාවිච්චි කරන්නේ අර මුහුදු හොරු පාවිච්චි කරන මීනී ඇටසැකිලි තියෙන රූපේ (දේදුනු පාට ඇපල් ගෙඩියකුත් එක්ක).  හැබැයි ඔහු ඒ හැම දේකින් ම නිර්මාණශීලී විදියට හිතන්න සිය සේවකයින්ට අනුබල දෙනවා. එහෙම කරන්න බැරි වෙච්ච එකා ඉවරයි.. :)

එක දිගට දවස් 2-3 මිනිස්සු වැඩ කරනවා. ඔවුන්ට ඇති තරම් බොන්න කොකා කෝල,පෙප්සි, කන්න පීසා සමාගම ගානේ ලබා දෙනවා.. හික් හික්... අවුරුදු බර ගානකට පස්සෙත් වෙන මොන සංකල්පේ නැති උනත්. ඔය කන්න බොන්න දෙන සංකල්පෙ නම් හැම සොෆ්ට්වෙයාර් කොම්පැනි එකකම තියෙනවා. 

ඔන්න ඔහොම දේවල් සිද්ධ වෙනකොට බිල් ගේට්ස් මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය එළියට 
දානවා. Microsoft Windows 1.0 විදියට. මේකත් ග්‍රැෆිකල් යූසර් ඉනට්ෆේස් එකක් සහිතව තමා එන්නේ. මේ 1985 අවුරුද්දෙ නොවැම්බර් මාසේ 20 වෙනිදා. 

කොහොම හරි මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් එළියට ආපු ඒක ස්ටීව් ජොබ්ස්ට ෆුල් අවුල් යන සීන් එකක් වෙනවා. ඔහු බිල් ගේට්ස් ට එන්න කියල බනිනවා ඔහුගේ තාක්ෂණය හොරකම් කළා කියල. බිල් ගේට්ස් වැඩි සද්ද බද්ද නැති හීන් නූල් කාරයනේ. ඔහු කවදාවත් ස්ටීව් ජොබ්ස්ට බනින් නෙ නෑ.. ඔහු බොහොම ලස්සනට ස්ටීව් ජොබ්ස්ට එත්තු ගන්නනවා තමන්ගේ මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් වලින් ඇපල් සමාගමට කිසිම තර්ජනයක් නෑ කියන එක. ඊට පස්සේ බිල් ගේට්ස්  ඔහුට කියනවා ඇපල් මැකින්ටොෂ් කියන්නේ කවදහරි බිල් එයාගේ අම්මට අරන් දෙන්න හිතාගෙන ඉන්න කොම්පියුටර් එක කියල... හි හි හි... බිල් ගේට්ස් ස්ටීව්ට කියනවා අපි ඔක්කොම එකම පවුලක් වගේ කියල..  හික් හික් හික්..

කොහොම වුනත් ඇපල් මැකින්ටොෂ් ලෝන්ච් කරන දවසෙදි ස්ටීව් ජොබ්ස් මයික්‍රෝසොෆ්ට් එක තමන් වෙනුවෙන් සොෆ්ට්වෙයාර් හදන බවටත් ඔවුන් එකම පවුලක් බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා . ඒ එක්කම IBM එකට විරුද්ධව ඔවුන් නිර්මාණය කරපු අර මුල් කොටසේ මම දාපු ඇඩ් එකත් ඔහු මේ වෙලාවෙ ප්‍රසිද්ධ කරනව.

ඇත්තටම් ස්ටීව් ජොබ්ස් දක්ෂයෙක්. නමුත් ඔහු සෑහෙන්න තමන් ව සහ තමන්ගේ නිර්මාණ අධිතක්සේරුවට ලක් කරගෙන හිටපු පුද්ගලයෙක්. අවංකවම ඔහුට එය හිමිවිය යුතු දෙයක්..

මේ සීන් ෆිල්ම් එකේ බලන්නම ඕනේ.. කිව්වට ඒ ගතිය එන්නෙ නෑ..

නමුත් පස්සේ ස්ටීව් දැන ගන්නවා තමන්ට ඉන්න ලොකුම තරඟ කරුවා IBM  නොවෙයි මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් කියන එක. ඒ වෙනකොට මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් සහිත පරිගණක ජපානයටත් අපනයනය කරන්න තරම් බිල් ගේට්ස් සමත් වෙනවා.  අන්න එතෙන්දි ඔහු බිල් ගේට්ස් ට නැවත බනිනව.

මෙච්චර කල් සද්ද නොකර අහගෙන හිටපු බිල් ගේට්ස් ඇත්ත මොකක් ද කියන එක ඒ වෙලාවෙදි පැහැදිලි කරනව. හැම කාර් එකකම ස්ටියරිං වීල් තිබුණට කවුරුවත් ඒක තමන් සොයා ගත්තා කියල කෑ ගගහ යන්නෙ නෑ කියල ඔහු කියනවා. ඊට පස්සේ බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස් ට මතක් කරනවා Xerox නොහිටින්න Xerox  ගෙන් ඔවුන් මේ අදහස් නොගන්න මේ කිසිදෙයක් මේ විදියට වෙන්නෙ නෑ කියල. ඒ එක්කම ස්ටීව්ට කලින් බිල්ගේට්ස් Xerox එකේ නවතම අදහස් තමන්ගේ වින්ඩෝස් වලට යොදා ගත්ත බවත් බිල් ගේට්ස් ස්ටීව්ට කියනවා. අන්න එතෙන්දි ස්ටීව් ජොබ්ස් බිල් ගේට්ස් ට පරදිනවා. මොකද බිල් ගේට්ස් ඇත්ත මොකක් ද කියන එක හරියට දැන ගෙන තමා වැඩ කරන්නේ. නමුත් ස්ටීව් ජොබ්ස් ඔහුගේ සිහින කෙසේ හෝ සැබෑ කරගෙන තමන් අනුන්ට වඩා ඉහළින් තබා ගෙන වැඩ කරන්න හදන කෙනෙක්. මෙතනදි අන්න ඒ දේ ස්ටීව් ජොබ්ස් තේරුම් ගන්නවා.

හරියට බුද්ධිමය යුද්ධයක් තිබුණු කාලයක් වගේ මේ කාලේ. බොහෝ වෙලාවට නියම දක්ෂයෝ සහ දක්ෂ කම් හරියටම ප්‍රයෝජනයට ගන්න නොදන්න දක්ෂයෝ අතරින් නියම දක්ෂයා නැත්නම් All Rounders ලා ජය ගන්නවා වගේ දෙයක් කිව්වොත් නිවැරදියි.

කොහොම හරි ෆිල්ම් එක ඉවර වෙන්නේ ස්ටීව් ජොබ්ස් සිය 30 වෙනි උපන්දිනය සමරන සාදයෙන්. එතනදි සමාගමේ සභාපති John Sculley බොහොම ලස්සන කතාවක් කරල ස්ටීව් ජොබ්ස්ට සුභ පතනව. නමුත් හරියටම ඊට මාස 3කට පස්සේ ඔවුන් ස්ටීව් ජොබ්ස්ව ඇපල් සමාගමෙන් ඉවත් කරන්න කටයුතු කරනවා. ඒ මොකද කියන එක ෆිල්ම් එකේ මම නොකියපු සමහර සිද්ධි නිසා බව ෆිල්ම් එක බලනකොට ඔයාලට තේරෙයි.

ෆිල්ම් එක ගැන ලියන්න තියෙන්නෙ මෙච්චරයි. මම බොහෝම සාරාංශ කරල මේ ලිව්වේ. මේ අපුරූ මිනිස්සු ගැන හැදුනු බලන්න වටින ෆිල්ම් එකක් ඒක. කොහොමද මිනිස්සු දියුණු වෙන්නේ කියන දේ ගැන අපිට අලුතින් හිතන්න පටන් ගන්න මේක නියමයි. ඇත්ත ඔවුන් නියම කාලෙදි නියම තැන ඉන්න වාසනාව ලබාපු මිනිස්සු. නමුත් ඔවුන් දියුණුව කවුරු හරි ගෙනත් දෙනකම් බලාගෙන හිටියේ නෑ. අවස්ථාවෙන් ප්‍රයෝජනේ අරගෙන ලෝක ඉතිහාසයම වෙනස් කලා. ඒත් අපි, තමන්ටම කියල ගෙයක් දොරක් හදාගන්නත් නොපෙනෙන දෙවියන්ගෙන් උදව් ඉල්ලනවා.