මට කාලයක් මයිකල් ජැක්සන් පිස්සුව තදේට හැදිලා තිබ්බා.. ඒ කාලේ මම හිතුව කවදාහරි මයිකල් ජැක්සන්ගේ ලයිව් ෂෝ එකක් නම් බලන්න යනවමයි කියල.. ඒ කියන්නේ ජිවිතේ කවද හරි කරන වැඩ වලින් එකක් විදියට ඒක මම හිතාගෙන හිටියේ. අපේ වෙලාවට මයිකල් ජැක්සන් අකාලයේ අපෙන් සමුගත්ත නිසා මගේ ඒ හීනෙත් එහෙමම ඉවර වුණා...
ශාරුක් ඛාන් සහ මයිකල් ජැක්සන් කියන්නේ සමාන කරන්න බැරි චරිත දෙකක් වුණත් අපේ කාලයේ අපිට දැනෙන ලෝකයේ බොහෝ අයට දැනෙන විදියේ දෙයක් කරපු චරිතයක්... අපි සීනි බෝල කෝණයකින් මිනිහ දිහා බලල ගොඩක් වෙලාවට එච්චර ගණන් නොගෙන හිටියට මේ ලෝකයට බලපෑමක් කරන්න පුළුවන් මිනිසුන් 50 දෙනා අතර ඉන්න කෙනෙක් විදියට Newsweek සඟරාවෙන් ශාරුක් ඛාන් ව නම් කරලා තිබ්බා.. ඒ වගේම බිලියන ගානක් රසිකයෝ ඉන්න සුපිරි තරුවක්
නොසිතු වෙලාවක අපි දෙන්නට මේ සුපිරි තරුව සජීවීව දැක ගන්න අවස්තාවක් ඊයේ රෑ උදා වුණා... බට්ටි නංගිගේ සිහින කුමාරයා (මම ඇරුනම) වෙච්ච මේ සුපිරි තරුව හරියටම බට්ටි නගාගෙ උපන්දිනේ දවසෙම දැකගන්න බට්ටි නංගිට ලැබුණු උපන්දින තෑග්ගක් ... එකෙන් මට තැබුණු තෑග්ග ගානකට කෙලවිම වුනත් මගේ සිහින කුමාරියන් දෙදෙනාමත් (ඒ කියන්නේ බට්ටි නගා ඇරුනම ඉන්න හැටක් විතර වෙච්ච හොලිවුඩ්,බොලිවුඩ් ලයින් වලින් 2ක්) මටත් දැක ගන්න අවස්තාවක් උදා වුණා.. හෙහ් හෙහ් හෙහ්
ශාරුක් ඛාන් ,මධුරි ඩික්සිත් සහ රාණි මුකර්ජි එකම වහලක් යට.. එක ගලෙන් එක කුරුල්ලයි කිරිල්ලියෝ දෙන්නයි.. සෙල්ලන්ද
මම එළිමහන් සංගීත සංදර්ශන බලන්න මිට කලින් ගිහින් තිබුනේ එක වතාවක් ද කොහෙද.. ඒ ඔය අපේ ගෙවල් පැත්තේ තිබ්බ පොඩි සංගීතයක්... ඉස්සර අපේ ගමේ කොල්ලෝ සෙට් එක ඔය සංගීත සංදර්ශන බලන්න සෙට් වෙලා යනවා.. මට ඒක එච්චර අල්ලලා ගියේ නෑ.. අනිත් එක අපේ අම්ම කොහොමත් ඒ දවස් වල මට ඒවාට යන්න පර්මිෂන් දුන්නේ නෑ..
ගෘහස්ත ප්‍රසංග නම් කීපයක් ලංකාවේදී බලල තිබ්බ.. වික්ටර් රත්නායකගේ 'ස' ප්‍රසංගය එකක්.. ලංකාවේ තියෙන අනිත් ගොඩක් ප්‍රසංග ගොඩක් එච්චර එලව එලව බලන්නේ නෑ... කොහෙන් හරි සෙට් උනොත් බලනවා මිසක්...
ජිවිතේ ප්‍රථම වතාවට ජාත්‍යන්තර මට්ටමේ එවැනි ප්‍රසංගයක අද්දැකීම ඊයේ රෑ ලබා ගත්ත කිව්වොත් නිවැරදියි.. ඒ තරම්ම සුපිරි විදියට තිබුණු ප්‍රසංගයක්.. මිනිස්සු පිස්සු හැදිලා වගේ බලන්න යන්න සජීවී ප්‍රසංග ටීවී එකේ දකිනකොට ඒක පිස්සුවක් වගේ හිතුනට ඇත්තටම එවැනි අත්දැකීමක් ජිවිතේ ලබන්න ඕනේ මොකද අපි හැමෝගෙම ඇතුලේ රිද්මයට තියෙන ආසාව නිතැතින්ම එළියට එනවා ඒ වගේ ප්‍රසංග වලදී.. ඒක ගෘහස්ත ප්‍රසංගයකින් වත් ගෙදර කන පැලෙන්න සද්දෙට සිංදු දාගෙන ඇහුවත් ගන්න අමාරුයි..
මීට වසර කීපයකට කලින් ලංකාවේදී පවත්වපු Temptation ප්රසංගයේදී සිද්ද වෙච්ච අවාසනාවන්ත සිද්දිය නිසා ශාරුක් ඛාන් නැවත ලංකාවේදී ආයේ එහෙම ප්‍රසංගයක් පවත්වයිද කියල ෂුවර් නෑ ඉතින්..
ඉතින් හදිස්සියේම දැනගත්ත මේ අවස්ථාව මිස් කරගන්නේ නැතුව අපි දෙන්න ගියා මේ සුපිරි Temptation Reloaded 2014 ප්‍රසංගය දැක ගන්න. සැහෙන්න දිග පෝලිමක පැයක් විතර ඉඳල කොහොම හරි අපි දෙන්න ඇතුලට පැන ගත්තා.
මෙතන ඉඳන් විස්තරේ පොටෝ වලින් දාන්නම්..
මේ තියෙන්නේ වේදිකාව වැඩේ පටන් ගන්න කලින්.. අපි හිටියේ පිටිපස්සට වෙන්න ඒ කියන්නේ වේදිකාවෙන් 200m විතර පිටිපස්සේ ඉතින් හරියටම පෙනුනේ නෑ..
මුලින් තිබ්බ මම නම නොදන්නා තව කීප දෙනෙක් ගේ අයිටම් කීපයකින් පස්සේ රාණි නංගි එලියට බැහැපු අවස්ථාව.. ලෙන්ස් එක උපරිමත් සුම් කරලා තව පොඩ්ඩකුත් කරකවල ගත්ත පොටෝ ටික තමා මේ..
මධුරි ගේ ලස්සන
කිං කාන් ගේ පැමිණීමට සැරසීම
කිං කාන්
තවත් ඉන්දියානු ගායකයෙක් මම එච්චර දන්නේ නෑ..
ශාරුක් ඛාන් රසිකයන් සිහින ඉටු කිරීම. පිරිසේ හිටපු ගෑනු ළමයෙක්ව වේදිකාව උඩට ගෙනල්ල ඒ ළමයත් එක්ක බොහොම අපුරු විනාඩි කිහිපයක් ඔහු ගත කළා.. ෆිල්ම් වල විදියට රඟපාමින් මතක හිටින විදියේ දෙයක් ඒ තරුණිගේ ජිවිතයට එක් කරන්න ඔහු සමත් උනා..
ඔහුගේ අත්සන සහිත පොතක්, විශාල චායාරූපයක් සමග තවත් තෑගී කිහිපයක් අවසානයේදී ඒ තරුණියට ලබා දුන්නා...
ඊට පස්සේ වේදිකාව උඩට ගත්ත කපල් එක.. මේ දෙන්නටත් සිරාම ආතල් එකක් දුන්න.. කොල්ලට කෙල්ලට සලකන්න ඕනේ විදිය උගන්නල අන්තිමට කොල්ලගේ ඇඟ උඩ ඉදගෙන හෙන විකාරයක් කළා.. හැබැයි හරිම රසවත් විදියට ඒ සියල්ල කළා
කොල්ලගේ ඇඟ උඩ කෙල්ලත් එක්ක සැපට වාඩි වෙලා ඉන්න අවස්ථාව.. හෙහ් හෙහ්
ඊට පස්සේ අලුත්ම චිත්‍ර පටිය වෙච්ච චෙන්නායි එක්ස්ප්‍රස් එකේ තියෙන මේ ලුන්ගි ඩාන්ස් එක කරන්න රසිකයන් අතරින් තවත් විවාහක පිරිමි කෙනක් ව තොර ගත්තා.. ඒ මනුස්සයට සරමක් අන්ද වල නැටුම උගන්නමින් තවත් අපුරු රංගනයක් ඉදිරිපත් කළා..
වේදිකාවට ගත්ත හැමෝටම ඔහුගේ අත්සන සහිත පොතත්, අත්සන සහිත විශාල පොස්ටරය්කුත් තවත් තෑගී කිහිපයකුත් ලබා දුන්නා
මේ තියෙන්නේ මධුරිත් එක්ක කරපු රංගනය
මේ රාණි එක්ක
දෙන්නත් එක්කත් නැටුවා..
වියදම් කරපු ගානට පාඩු නෑ කියල හිතෙන අපුරු ප්‍රසංගයක්... මැලේසියාවේ (හිටපු ද ඉන්නද කියල ෂුවර් නෑ)අගමැති මහතීර් මොහොමඩ් මැතිතුමාත් මැලේසියානු රජ පවුලේ සියලු දෙනාත් මේ ප්‍රසංගය සජීවීව බලන්න එකතු වුණා.. මැලේසියාවේදී කෙනෙකුට ලබන්න පුළුවන් ඉහළම නම්බු නාමය වන "දාතුක්" කියන එකත් ශාරුක් ඛාන්ට ලැබිල තියෙනවා.. මිනිහ හැබැයි ඒක පොඩි ජෝක් එකක් විදියට ගත්තා ෂෝ එක පටන් ගන්නකොටම.. හෙහ් හෙහ්
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ලොවම වසඟ කරන්න පුළුවන් හැකියාවක් අවංකවම ශාරුක්ට තියෙනවා... කුඩා කාලයේදීම අහිමි වූ මා පිය සෙනෙහස නිසා ජීවිතය ජයගන්න පටන් ගත්ත බිංදුවෙ සිට හිනි පෙත්තටම නැගපු අපේ කාලයේ චරිතයක්..