Monday, October 22, 2012

තනිකම විඳීම...

තනිකමට  බයයි... තනිකම දුකක්...  තනිවෙන එක පවක්... (ද)?  මහ පාරවල් වල, අඟුපිල් වල තනියම හැදෙන පොඩි උන් ගේ හිතට දැනෙන දුකත් එක්ක අපි තනි උනාම දැනෙන දුක දුකක් ද?  අපි තනි උනාම අපිට දැනෙන දුක හෙන ආත්මාර්ථකාමීයි කියල හිතෙන්නෙ නැද්ද? මට සතුට දෙන්න වෙන කෙනෙක් මගෙ ලඟ නැති වීම ගැන දුක් වෙන එක හෙන පටු කමක් වගෙයි...

මේ ලෝකේදි මනුස්සයෙක් තනි වෙනව කියන එක කවදාවත් වෙන්නෙ නැති දෙයක්.. වෙන්න පුළුවන් එකම දේ අවට ලෝකය තමන්ට ඕනේ විදියට වැඩ නොකර ඒ ඒ අයගේ වැඩ කරගෙන ඉන්න එක.. ලෝකයේ ඉන්න බිලියන 7ක සෙනඟක්, අපි දන්න කියන ගහකොල, සතුන්, පරිසරය අපි සමඟ ඉන්නකොට අපි තනිවෙලා කියල හිතන එක සාධාරණ ද? ඔවුන් අපි වෙනුවෙන් මොකුත් නොකර ඉඳියි. නමුත් ඔවුන් හැම මොහොතෙම අපි අවට ඉඳිමින් අපේ තනිකම නැති කරනව නේද කියල හිතිල නැද්ද?

අසනීප වෙලා ගෙදර ඉන්න දවසවල/ඉස්කෝලේ නිවාඩු දවස් වල අම්මයි තාත්තයි දෙන්නම වැඩට යන කොට අඬපු හැටි මට තාම මතකයි.. අම්ම හරි තාත්ත හරි ගෙදරට ආවම දැනෙන සතුට...

මට ඒ තනිකම හරි පාළුව හරි කියන එක දැනෙන එක අඩු වෙලා ගියේ සා.පෙ කරන කාලෙදි විතර...

පස්සෙ පස්සෙ මම තනිකම විඳින්න පුරුදු උනා... ඒක හෙන සිරා කියල තේරුම් ගත්තම හරිම නිදහසක් දැනෙනව.. නිදහසේ හිතන්න.. වැඩ කරන්න... සතුටු වෙන්න පුළුවන්.  

මම තාමත් ආස ඩේවිඩ් බෝමන් වගේ තනිවෙන්න.. 

හැබැයි ඒ තනිකම මනුස්සයෙකුට දරා ගන්න බෑ කියලයි ඉස්සර මට හිතුනේ...  මුලු මිනිස් වර්ගයාගෙන් ම ඈත් වෙලා, දන්න කියන ගහකොල,සතුන්,පරිසරයෙන් ඈත් වෙලා  සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතර තනිවෙන එක කොහොමට දැනෙයි ද? කිසිම පණිවිඩ හුවමාරුවක් වත් නැතුව. 

මේ ලෝකේ බොහෝ මිනිසුන් ඉන්නව තමන්ට කියල කාත් කවුරුවත් නැති. ඒ මිනිස්සුගෙන් සමහරු ඒ තනිකම ආශිර්වාදයක් කරගෙන විශමය ජනක දේවල් කරමින් ජීවිතය සතුටින් ගෙවනවා.. සමහරු තනිකම දුකක් කරගෙන ඒ දුක හිතින් විඳගෙන ජිවත් වෙනවා.. ඒ දුක දරාගන්න බැරි වුණාම ජීවිතෙන් සමුගන්න අයත් ඉන්නවා.

මේ තරම් සියුමැලි ද කළුගල්
හිතන්නට වත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා.......

කළා වැව ළඟ..... ඉලුක් හෙවනක
මැටි පිළක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුනා
ඔහු තවම තනිකඩ යැයි කියා



මේ පද පෙළ දැකපු වෙලවේ හිතට ආපු දෙයක් මේ.. 

මේ සින්දුවේ තියෙන තේරුම මේක නොවෙන්න පුළුවන්.. හැබැයි මම ඒක දැක්කේ මේ විදියට...

ටිකක් හිතල බැලුවොත් අපි ලොකුවට දුක් වෙන තනිකම ගැන... අපි දුක්වෙන්නේ තේරුමක් නැතුව කියල හිතෙයි.. අපේ ඇතුලේ ඉන්න, අපි විසින් ම ගොඩනඟාගත් "මම" ව සනසන්න නේද මේ අපි දඟලන්නේ කියල නිකමට වගේ හිතෙයි.. 

කාත් කවුරුත් නැතුව අසරණ වෙච්ච පොඩි එවුන්ට මේක තේරුම් අරගන්න තේරෙන්නෙ නැති කම නිසා උන විඳින දුක ගැන නම් දැනෙන්නේ මහා දුකක්.. මොනව කරන්නද..

මොනව කිව්වත් ඉතින්...  සංසාරේ ගෙවන කම්... ඔයා නැතුව මට පාලුයි... 


Friday, October 12, 2012

බාත් රූම් එකේ සිංදුකීම...

මේ වැඩේ කරල තියෙන අය, කරන අය දන්නව ඇති මේකේ තියෙන ආතල් එක..  මොන මොන දේවල් ඔළුවේ තියාගෙන නාන්න ගියත් එළියට එන්නේ සින්දු කෑල්ලක් කියාගෙන... දොර වැහෙන්නෙ නැති වෙලාවට සිංදු කිය කිය නාන එක වෙනම කතාවක්.... මම කියන්නේ නිවාඩු දවස් වල ආතල් එකේ නානකොට ඉබේ සිංදු කියවෙන එක.. කන පැලෙන්න කෑ ගහ ගහ සිංදු කියන්න තියෙන හොඳම තැන.. සිංදු කවි කරන්න,රි-මික්ස් කරන්න,රැප් කරන්න, ඕනේ දෙයක් කරන්න ඉගෙන ගන්න,ප්‍රැක්ටිස් කරන්න ටොප්..

වැඩට ගිහින් ඇවිත් නානකොට සිංදු නොකියවුණත් එළියට එන්නේ සිංදු මෝඩ් එක ඔන් කරගෙන.. ගොඩක් වෙලාවට හිරවෙච්ච ප්‍රොග්‍රෑම් වල තියෙන බග්ස් වලට විසඳුම බාත් රූම් එක ඇතුළෙදි හම්බ වෙනව...

ඔය ගොඩක් අයට මේ ලෝකේ වෙනස් කරන්න තරම් අයිඩියාස් ඇවිල්ල තියෙන්නේ නානකොට නේ... මම ඉස්සර හිතුවෙ මොළේ පෙඟුනහම ඒ වගෙ අදහස් එනව ඇති කියල.. 

කොහොම හරි මේ ලඟදි දවසක ඔය ගැන හිතුවහම... අපිත් එක්ක ඉන්න ගොඩක් අයට ඔය පුරුද්ද ඇති කියල හිතුණා.. ගොඩක් වෙලාවට සැහැල්ලුවෙන් ආතල් එකේ ඉන්න නිර්මාණශීලී මිනිස්සුන්ගේ ඔය පුරුද්ද මම දැකල තියෙනවා..  

මට හිතෙන්නේ අපි ඇත්තටම අපි වෙන දවසේ තියෙන හොඳම අවස්තාව මේ නාන වෙලාව කියල... ඒ කියන්නේ.. අනිත් අය ගැන හිතන්න දෙයක් නෑ.. කවුරු මොනව හිතයි ද කියල වොරි වෙන්න දෙයක් නෑ.. කවුරුවත් දකියි ද කියල හිතන්න දේ කුත් නෑ (දොර වහල නම්).. අපේ නැචුරල් ස්භාවයෙන් ඉන්න පුළුවන් හොඳම වෙලාවනේ.. හිතේ ගැටළු නෑ.. නිදහස් මනසක්..

මොකුත් ම හිතන්න දෙයක් නැත්නම් නිකම් ම වගේ සිංදුවක් කියවෙනව ඇත්තේ මේ දැනෙන නිදහස නිසා වෙන්න ඇති.. මොනව හරි දෙයක් ඔළුවේ තියෙනවනම් ඒකට වෙන වෙලාවට නොඑන උත්තර ඔලුවට එනව ඇත්තෙත් ඒ දැනෙන තමා තමාම වීමේ නිදහස් ගතිය නිසා වෙන්න ඇති කියල නිකමට වගේ හිතුණා..

ගොඩක් වෙලාවට අපි ගෙදරින් එළියට බැස්සම ඉන්නේ අපේ ඇත්ත ස්වරූපයෙන් නෙවෙයි නේ.. ඒ ඒ අවස්තාවට ගැළපෙන ක්‍රමේට ඉන්නකොට අපිට නිදහසේ ඉන්න බැරි වෙන ගතියක් දැනෙනවා..  ගෙදර ඇතුළෙම උනත් 100% අපේ නිදහස කියන එක තියෙන්නේ ඔය නාන කරන විනාඩි 10-15 විතරයි කියලයි මට හිතෙන්නේ..

මම නිකන් හිතල බැලුව මම දන්න මේ පුරුද්ද තියෙන සහ නැති අයගේ චරිත ස්භාවය ගැන.. ඇත්තටම සැළකිය යුතු වෙනස් කම් තියෙනවා..  මේ පුරුද්ද තියෙන මිනිස්සු එක්ක වැඩ කරන්න, සතුටු වෙන්න හරි ලේසියි.. ඒ කියන්නේ ගොඩක් අය එක්ක සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් ගතිය තියෙනව කියල හිතුණා.. වැඩ වලදි අනිත් අයව තේරුම්  ගැනීම, ඊසි ගොයින් කියල සිංහලෙන් කියන ස්භාවය ගොඩක් වෙලාවට තියෙනවා..

මේ වගේ පුරුදු නැති.. ඒ කියන්නේ ජීවිත් වෙලා ඉන්න හැම වෙලේම මොකක් හරි දෙයක් ඔලුවට දාගෙන විසඳුම් හොයන්න ට්‍රයි කරන, සමාජය තුළ අමුතු ප්‍රතිරූපයක් ගොඩ නඟාගෙන ඉන්න ට්‍රයි කරන, වැඩ කරන්න්න ගියාම එයාට ඕනේ විදියට වැඩේ කෙරෙන කම් හරි යන්නේ නැති චරිත වල මේ පුරුද්ද නැතුව ඇති කියල මට හිතුණා.. නිකමට හිතල බැලුවොත් ඕනෙම පවුලකින් මේ වගේ අය හොයා ගන්න පුළුවන්.. 

මට හිතෙන්නේ නිදහස් පොඩි කාලයක් නැති වුණාම මේ වගේ ගති මිනිස්සුන්ට පිහිටන්නේ නැතුව ඇති.. නිදහස් පොඩි කාලයක් කියන්නේ අපිට හිතෙන දේ හිතෙන විදියට කරන්න නිදහස නොදෙන පවුල් පසුබිම් වල හැදෙන අයට මේ වගේ දේවල් නුහුරුයි.. මොකද හැම දේම කාගේ හරි උපදෙසක් අනුව, පිළිවෙලකට, සමාජ සම්මතේට අනුව කරන්න පුරුදු වුණාම ඒ පුරුදු මඟ ඇර ගන්න හරි අමාරු නිසා..

නිදහස් විදියට හිතල වැඩ කරල.. ඒ වැඩෙන් සිද්ද වෙන ප්‍රතිඵලය මොකක් වුණත් භාර ගන්න පුළුවන් තරම් ගටක් තියෙන මිනිස්සු මේ වගෙයි කියල හිතුණා..

මම කරන්නම දෙයක් නැතුව ඉන්න වෙලාවට http://www.ted.com/ එකේ වීඩියෝ බලනවා..  මේකේ තියෙන්නේ එක එක විදියේ නව අදහස් තියෙන මිනිස්සු ඒ අය හදපු දේවල, නැත්නම් තේරුම් ගත්ත දේවල් ප්‍රසිද්ධියෙ ඉදිරිපත් කරන වීඩියෝ.. හරිම අපූරු දේවල් තියෙනවා.. තාක්ෂණික,සමාජයීය,කල,විද්‍යාත්මක වගේ ඕනැම විෂයයකට අදාලව මිනිස්සු ඉදිරිපත් කරනවා..

මේ වීඩියෝ බලන වෙලාවක හිතිච්ච දෙයක් තමා මේ බාත් රූම් එකේ සිංදු කීම... නානකොට ඔය අදහස් ඔළුවට එනව කියල මම ප්‍රායෝගිකව ඕනේ තරම් අත් විඳල තියෙනවා.. ඉස්කෝලේ යන දවස් වල මම ලියල පබ්ලිෂ් කරපු පොතේ ගොඩක් කතා වල චරිත, ඒ කතා වල ආකෘතිය  නාන ගමන්  තමයි ඔලුවට ආවෙ.. ඒ දවස් වල මේ ගැන එච්චර වැටහීමක තිබ්බේ නෑ.. දැන් හිතල බලනකොට ඕනේ තරම් සිද්දි මතක් කරන්න පුළුවන්...

ඉතින් මට හිතුනේ.. අපිට මේ නාන ගමන් තියෙන සැහැල්ලුව, තමා තමා විදියට අව්‍යාජව හැසිරෙන්න පුලුවන් කම, සමාජයට අමුතු චරිතයක් විදියට නොගිහින් ජීවත් වෙන්න පුළුවන් නම් (ඒ කියන්නේ උපන් ඇඳුමෙන් යන එන නෙවෙයි.. එක එකා මොනව හිතයි ද කියල නොහිතා ජිවත් වෙන එක)  අපිටත් බොහෝම නිර්මණශීලි විදියට ජීවිතේ දිහා බලල මිනිස්සුන්ට සේවයක් වෙන විදියට ජීවත් වෙන්න පුළුවන්.. 

හැබැයි මම දන්නවා කොච්චර කිව්වත් ප්‍රායෝගිකව මේ විදියට ජීවත් වෙන්න බෑ කියල තර්ක කරන අය ඕනේ තරම් ඉන්නවා.. ඒ එක්කම මේ විදියේ නිදහස් මනසකින් ලෝකය දිහා බලපු, තමන්ගේ ප්‍රතිරූපය හෝ  බඩගෝස්තරේ රැක ගන්න පමණක් ම උත්සාහ නොකරපු මිනිස්සුන්ට පින් සිද්ද වෙන්න තමයි අපි අද මෙහෙම ඉන්නේ කියලත් නිකමට කල්පනා කරල බලන්න..

Wednesday, September 05, 2012

කඩදාසි සෙල්ලම් බඩු හෙවත් ඔරිගාමි...

මේක නම් මගේ ප්‍රියතම වැඩක්.. කොම්පුටරේ කොටන්නෙ නැතුව මේසයක් ලඟ වාඩි වෙලා ඉන්න වෙලාවට නිතර කරන වැඩ 2න් එකක් තමා මේ.. අනිත් එක අහුවෙන කොලේක (කොලයක් නැත්නම් අත, කකුල, බඩ) මොනව හරි බලි ඇඳීම (සම්භාව්‍ය බලිත් හිටපු ගමන් ඇඳෙනව).  බලි ඇඳිම ගැන වෙනම පෝස්ට් එකක් දාල මේකේ කඩදාසි සෙල්ලම් බඩු ගැන ලියන්නම්.

ඉස්සෙල්ලාම හදන්න ඉගෙන ගත්තේ බෝට්ටුවද කුරුල්ල ද කියල මතක නෑ..  හැබැයි වහලේ බෝට්ටුවට කලින් කුරුල්ලෝ හදන්න ඉගෙන ගත්ත වගේ මතකයි.. වහලේ බෝට්ටුව ටිකක් අමාරුයි නේ..

මම හිතන්නේ මේ කඩදාසි බෝට්ටු හදන එක මම අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි එදා සිට අද දක්වා සියළුම පොඩි උන් ඕක දන්නවා..  ඉස්කෝලෙ කාලේ සහ ටියුෂන් කාලේදි කුරුල්ලෝ,රොකට් එක්ස්පර්ට්ල නොවෙන්නේ ඔය ගෙවල් වල ටියුෂන් ගිය ළමයි තමා ඉතින්..

රබර් පටි වලින් වැලක් එකට ගැටගහල ඊතල වගේ යවන රොකට් ඒ දවස් වල මගේ ප්‍රියතම එකක්.. ඒක යවන්න සෑහෙන්න ඉඩක් ඕනේ (ටියුෂන් ක්ලාස් වල අන්තිම පේලියත් මදි රබර් බෑන්ඩ් දාල යවන ඒවට). යවල තියෙන අය දන්නව ඇති..

ඔය හැමෝම දන්න ඒවට අමතරව නෙලුම් මල්,ගෙම්බෝ,ප්ලේන්,තාරාවෝ,පෙට්ටි,පිරමීඩ, හංසයෝ වගේ සිරාම සිරා ඒවා මේ කොලවලින් හදන්න පුළුවන්. කොලෙන් විතරයි.. කතුරු ගම් වගේ දේවල් නැතුව

මම ඔය පොඩි උන් ඉන්න ගෙවල් වලට හදිසියේවත් ගිහින් පැයක් 2ක් චාටර් වෙන වෙලවක් ආපු ගමන් කරන්නේ ඉන්න පොඩි එකාට කොලේකින් ඔය මොකක් හරි එකක් හදල දෙනව.. කොල්ලෙක් නම් ප්ලේන් එකක්.. කෙල්ලෙක් නම් තාරාවෙක්.. දෙන්නෙක් හිටියොත් දෙන්නටම තාරාවෝ දෙන්නෙක් වගේ.. ඊට පස්සෙ ඉඳන් ඕනෙ පොඩි එකෙක් මාත් එක්ක ෆිට්.. ගොඩක් වෙලාවට පොඩි එකාලගෙ අම්මලත් ෆිට්..

මම දන්න ඒවා හදන හැටි ස්ටෙප් බයි ස්ටෙප් ලියන්න මට කම්මැලියි.. මට වඩා හොඳට ඕව හදන්න දන්න අය යූ බටේ ට දාපු වීඩියෝ ටිකක් දාන්නම්.. කැමති අය බලන්න..

මේවගේ ඒව එකක් දෙකක් හදන්න ඉගෙන ගෙන තියෙන එක පාඩුවක් නෑ.. ලොකු පොඩි සැමට වටින විනෝදාංශයක්

හපුතලේ ඉන්න අපේ ලොකු අයිය(අපේ කිව්වට අපේ තාත්තගේ අක්කගේ ලොකු පුතා දැන වයස 65ක් විතර ඇති.. මට අයියා,අපේ අම්මට පුතා, හැබැයි අම්මට වඩා වැඩිමල්) ඉස්සර මට ගනන් උගන්නන්න කඩදාසි වලින් ඝණකයි,පිරමීඩයි හදනවා... ඝණකය,පිරමීඩය වගේ දේවල් මුලින්ම තේරුම් ගත්තෙ මේ වයෙන් තමා..

අපි මේ ජොලියට පොඩි පොඩි දේවල් හැදුවට ඔරිගාමි කියන්නේ ලෝකෙ පුරා හරිම ජනප්‍රිය විනෝදාංශයක්.. සෑහෙන්න දේවල් තියෙනව ඉගෙන ගන්න.. කරන්න පුළුවන් නිර්මාණත් හරිම අපූරුයි..

හරි මේ තියෙන්නෙ වීඩියෝ ටික..

නෙලුම් මල
http://www.youtube.com/watch?v=eGPK1vvdyLE

ගෙම්බා
http://www.youtube.com/watch?v=2p4SyN8Y8Is

ප්ලේන් (එක එක විදියේ ප්ලේන් වර්ග තියෙනව)
http://www.youtube.com/watch?v=ox2djol29ts&feature=related

තාරාවා (මම තාරාව කිව්වට නියම ඔරිගාමි වචනේ ක්‍රේන් (කොකා))
http://www.youtube.com/watch?v=FSijU52XJ7w

හංසය (මේක මම හදන්න ඉගෙන ගත්තෙත් මේ වීඩියෝ බලල)
http://www.youtube.com/watch?v=f0zTNCRg-Uc&feature=relmfu

භණකය (ලොකු අයියා උගන්නපු ඝණකේ.. අමතක වෙලා තිබ්බේ)
http://www.youtube.com/watch?v=PNm7g7YVsgA

පිරමීඩේ (අමතක වෙච්ච එකක්)
http://www.youtube.com/watch?v=FaXqIoeIjak

ඔය වීඩියෝ බලනකොට තව තව ඒව හදන හැටි තියෙනවා.. ඒවත් බලල සිරා ඒව ටිකක් හදන්න ඉගෙන ගන්න පුළුවන්.. මේ දවස් වල ඔපිස් එකේ ලයිට් ගියාම මම කරන වැඩක් මේ.. අනිත් උන් කැරම් ගහනවා..හික්...

බලි ඇඳීමේ පෝස්ට් එකට නම් වීඩියෝ හොයා ගන්න බැරි නිසා මම ඉදිරි කාලයේ අඳින බලි එකතු කරල පොටෝ අරන් ලෑස්ති වෙලා ඒක ලියන්නම්..

Sunday, September 02, 2012

අපි කියවන්නෙ ඇයි..?

සාහිත්‍ය මාසේ පටන් ගන්න කොටම ලියන්න කියල හොඳ මාතෘකාවක් සෙට් වුණා.. හෙන සම්භාව්‍ය හෝ හර බර ලෙස නැතුව(එහෙම ලියන්න දන්නෙ නෑ) "මේ මාසේ ගිය මාසේ වාගේ නොවන්න..." කියල මේ ලියන්නේ...

ඇයි අපි කියවන්නේ කියල හිතල බලන්න කලින් මම කල්පනා කළා ඇයි මම කියවන්නේ කියල... අවංකවම බොන්න ඕනෙ ප්‍රශ්නයක්.. ඇයි මම කියවන්නේ...? එකක් පොඩි කාලේ ඉඳල ඇති වෙච්ච පුරුද්ද නිසා.. පොඩි කාලේ දි ඇයි කියවන්න ආස වුණේ ? සමහර පොඩි උන්ට පොත් දිය කරල පෙව්වත් ආසාවක් ඇති වෙන්නෙ නෑ නේ? දැන් මේ ලොකු වෙලා පොඩි කාලේ ගැන හිතල බලද්දි තේරෙනව.. පොඩි කාලේ ඉඳන් ම තිබ්බ ඔහේ පැත්තකට වෙලා ඉන්න කැමති ගතිය වගේ එක හේතුවක් වෙන්න ඇති..  අනිත් උන්ට සාපේක්ෂ්ව මට ටිකක් තිබ්බේ ගෑනු ගති(සුසන්තිකා ජයසිංහ වගෙ ගෑනු ගති නෙවෙයි හරිද) ඒ කිව්වේ මේ පැත්තකට වෙලා ඉන්න ගතිය විතරයි.. පොත් කියවන චරිත වල සාමාන්‍යයෙන් මේ ගතිය තියෙනව කියල මට හිතෙනව.. 

අනිත් එක පවුලෙ අයගෙන් එන පසුබිම... හැබැයි මම පොඩි කාලෙදි අපේ අම්මටයි තාත්තටයි නම් මාත් එක්ක පොත් කියවන්න තරම් නිදහසක් තිබුනේ නෑ.. අක්කටත් මට තරම්ම දැනටත් අවුල් නෑ...

හැබැයි එයාල මට එක එක පොත් ගෙනත් දුන්නා...  මුලින්ම කියවපු පොත් රසවත් වීම නිසා පොත් කියවීමට ආස වුණා වෙන්න පුලුවන්...

කොහොම හරි කියවන්න පටන් ගත්ත කෙනෙකුට ඇයි මේක දිගටම කරන්න ආස හිතෙන්නේ..මොනවද මේකෙන් ලැබෙන්නේ...නිකන් ඇබ්බැහි වීමක් ද?  සිංදුවලට, ෆිල්ම්ස් වලට වගේ..

හරි කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියල කවුද මන්ද කෙනෙක් කියල තියෙනවා.. කොහොමද මේ සම්පූර්ණ වීම වෙන්නේ? මලාට පොතක් නොකියවන වුන් ඔය අපූරුවට ඉන්නේ..? කියවන උන්ට වැඩිය හොඳ තැන්වල ගොඩක් වෙලාවට එහෙම නැති අය ඉන්නවා..(දේශපාලකයෝ ගැන නෙවෙයි මේ කිව්වේ)

ලෝකෙ ගැන හිතන්න කලින් ආයෙත් මං ගැන හිතල බැලුවොත් මට ඒ ඒ පොත් වල හිටපු චරිත වලට ආස හිතුණා.. ඒ මිනිස්සු කරපු වැඩ වලට ආස හිතුණා.. ඒ වගේ වෙන්න ඕනෙ කියල හිතුණා...

ඒ කියන්නේ සරලව ඇඳ උඩ ඉඳන් වීරයෝ වෙන්න අවස්තාව මට කියවීම නිසා ලැබුණ... හැබෑ ලෝකෙදි ඔහේ පැත්තකට වෙලා හිටියට..

අනිත් පැත්තෙන් කවද හරි කවුරුවගෙ වෙන්න ඕනෙද කියන හැඟමත් ඔලුවට ආවා..(මාර්කෝනි හරි, ලොගී බෙයාර්ඩ් හරි,එඩිසන් හරි වෙන කවුරු හරි එකෙක් ගෙදර බිං කාමරේ ඉඳන් පරීක්ෂණ කරපු කතාවක් කියවපු දවසේ ඉඳන් මටත් පරීක්ෂණ කරන්න බිං කාමරයක් ඕනෙ වුණා...)

බැරිවෙලාවත් කවද හරි මම ලොකුවෙලා ගෙයක් හැදුවොත් එහෙම එකක් හදන්න තාමත් මගේ ඔළුවේ තියෙනවා..(බට්ටි නංඟි ඇතුළු පවුලේ සැම කචල් නොදැම්මොත් තමා ඉතින්..)

අපේ පාළුව තනිකම වගේ දේවල් පොත් කියෙව්වහම නැති වෙනව ද? මට නම් ඔව්.. ඒ චරිත ඉන්නවනේ අපිට කතා කර කර ඉන්න.. ප්‍රශ්නයක් වුණාම අර පොතේ වීරය නම් මේ වෙලාවට මොනව කරයි ද කියල හිතිල නැද්ද? ෂර්ලොක් හෝම්ස් ගේ තියරි අපි තාම දානවනේ හිටපු ගමන්...

ඊට පස්සේ පොත්වල ඉන්න චරිතවලට සිද්ද වෙච්ච දේවල් හැබෑවටම අපිටත් වෙනකොට හරි ආතල් නේද? මේව නම් ඉතින් මොනවගේ කතාද කියල හැමෝම දන්නවනේ.. (අර කම්මුලේ හොටු කියල අලුත්ම නවකතාවක් ලියපු අඩන එක්කෙනාගේ ඒව වගේ ඒව)

ඒ ඒ චරිත කියපු කරපු දේවල් ඇත්තට කරන්න ගිහින් චාටර් වෙන්නත් වෙලා ඇති නේ.. හිකිස්..

අනිත් වැදගත් ම දේ දැනුම සහ අවබෝධය ලැබීම..

දැනුම ලැබීම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. හැබැයි අවබෝධය ලැබීම ටිකක් වෙනස් දෙයක්..

එකම කතාව කියවපු කිහිප දෙනෙක් ඒ කතාවෙන් අවබෝධ කරගන්න දේ එකිනෙකාට සාපේක්ෂයි කියල තමයි මට හිතෙන්නේ..

අනිත් අතට සමහර පොත් කියෙව්වහම දැනෙන රසය නම් හැමෝටම එකක් වගේ.. 

අපි කියවන්න ආස වෙන වැදගත්ම කාරණේ වෙන්නේ ඒ ඒ පොත් කියවීමෙන් ලැබෙන ඒ ඒ රස නිසා නේ.. මේ රසාස්වාදන හැකියාව හැබැයි හැමෝටමත් නෑ කියල මට සමහර වෙලාවට හිතිල තියෙනවා... සමහර අයට කෙලින්ම වචන වලින් කියපු අර්තයෙන් රස විඳිනව තවත් සමහරු කියවපු දෙය සාරාංශ කරල තේරුම් ගත්ත දෙයින් රස විඳිනව..(උ.පෙ ආර්ට් කරනකොට තියෙනව නේද රසාස්වාදන කියල සබ්ජෙක්ට් එකක්.. ඉස්සර නම් තිබ්බ කියල මට මතකයි.. හැබැයි මම කවදාවත් ඉගෙන ගෙන නෑ.. මං කලේ ගනන් )

දැන් එතකොට පොත් නොකියවන අයට මේ රස වින්දන ශක්තිය නැද්ද..?  අපිට එහෙම කියන්න බෑ නේද? ඒ අය වෙනත් දෙයක් ඒ වගේ රස විඳියි.. සමහර විට ක්‍රීඩාවක් වගේ දෙයකිනුත් පොතක් කියවල ගන්න ආතල් එක ගන්න පුළුවන් අය ඇති...

කියවීම නිසා දැනුම, අවබෝධය, රස වින්දනය,ආතල් හම්බෙනව කියල අපි හෙන ටෝක්ස් දැම්මට මලපොතේ අකුරක් නොදැනගෙන හිටිය අපේ පරණ කාලේ කට්ටිය කොහොමද ඔය සිරා වැඩ කරල තියෙන්නේ.. පරම්පරා ගානක් රස විඳින දේවල් ඒ මිනිස්සු කලේ කවුරුවත් ලියපු දේවල් කියවල ගත්ත දැනුමෙන්ද? අවබෝධෙන් ද? ශාස්ත්‍රය කාගෙන් හරි ඉගෙන ගන්න ඇති නමුත් නිර්මාණශීලි කම දියුණු උනේ කොහොමද? 

අපේ ජීවිත වෙනස් කරන්න පොත් වලට පුළුවන්... පොත් වල ඉන්න චරිත වලට පුළුවන්...

ඒක තීරණය වෙන්නේ අපි කොච්චර දුරකට විවෘත මනසකින් ලෝකය දෙස ජීවිතය දෙස බලනවද නැද්ද කියන එක මත නේද?  අපි අපේ ඔළුවේ පුරෝගෙන ඉන්න එක එක දෘෂ්ටි වලින් තොරව අලුත් දැනුමක් සහිත දෙයක් කියවීමෙන් සම්පූර්ණ පරිවර්තනයක් අප තුළ සිද්ද වෙන්න පුළුවන්.. හැබැයි ඒකත් එකිනෙකාට සාපේක්ෂයි..

මේ වගේ අංජබජල් මාතෘකාවක් ගැන පොර ටෝක් ටිකක් දාන්න හිතුනේ ෆේස්බුකියේ මගෙ යාළුවෙක් දාපු පින්තූරයක් දැකල.. ඒකෙ තිබ්බෙ මෙන්න මෙහම එකක් 

We Read to Know that We are Not Alone 

මේක නම් මටත් දැනිල තියෙන දෙයක්... 

අනේ මන්ද  මොකක් ද මම මේ ලිව්වේ කියල මටම නිකං මඤඤං  වගේ  කමක් නෑ ඔන්න ඔහේ කියවල අදහසක් දෙන්නකො බලන්න (තව මඤඤං අය ඉන්නවනේ)


Friday, August 31, 2012

අම්මපා හැබෑටම...

මේ මාසෙටම මේකේ ලියන්න හරි හමන් දෙයක්  කම්පනා වුණේ නෑනේ...

Friday, August 17, 2012

Saturday, July 21, 2012

"ස" නතර කළ හේතුව

"ස" කියන අකුරට අලුත් අරුතක් ලබා දුන වික්ටර් රත්නායකගේ "ස" ප්‍රසංගය ඊයේ  අවසාන විය. 1973 සිට 2012 දක්වා 1450 වාරයක් ප්‍රදර්ශනය කළ මෙම ප්‍රදර්ශනය අවුරුදු 39කට පසු අවසාන කිරීමේ තීරණය ගැන අප බොහෝදෙනෙක් කම්පා වුණද එය අවසාන කළේ ඇයි දැයි වික්ටර් රත්නායක කළ ප්‍රකාශය ඇසූ කළ එය කොතරම් සාධාරණ දැයි මට සිතිනි. කළ යුතු දේ නම් එයැයි වටහා ගත් පසු "ස" නැති ශෝකය නැති වී ගියා සේ දැණිනි.

වික්ටර් රත්නායකගේ සිංදු වල මා කැමතිම සිංදු බොහෝ තිබුණද ඔහු මගේ ප්‍රියතම ගායකයා නොවීය. බොහෝ විට මෙපමණ කලක් මා "ස" නැරඹීමට නොයාමට හේතුව එය වන්නට ඇත. අමරදේව,අමරසිරි පීරිස්,සුනිල් එදිරිසිංහ,දිවුල්ගනේ,කපුගේ සහ වික්ටර් රත්නායක ලෙස මාගේ ප්‍රියතම අනුපිළිවෙල සකස් කළ හැක.

කෙසේ හෝ මෙපමණ කළක් "ස" නොබැලූ මා අවසාන "ස" බැලීමට මීට මාසයකට පමණ පෙර මිලදී ගත් ටිකට් එකේ පිහිටෙන් ඊයේ ලුම්බිණි රඟහලට ගියේ මගේ ප්‍රථම සහ අවසාන "ස" නැරඹීමටය. මීට අවුරුදු 39කට පෙර "ස" ආරම්භයේදී ලුම්බ්ණි රඟහලේ ජනෙල් දොරවල් කඩාගෙන ආ ජන ගංඟාව ගැන අසා තිබූ කතාව සත්‍ය බව ඊයේ එළිමහනේ සාදා තිබූ ශාලාව තුළ සහ ඉන්පිටත රැස්ව සිටි ජනතාවගෙන් පැහැදිලි විය.

අවසාන ප්‍රසංගය වුවද එහි වූයේ සරල තවත් එක් ප්‍රසංගයක් වැනි සැරසීම් සහ සාමාන්‍ය වේදිකාවකි. පුරුදු නිහතමානී කමින් 39 අවුරුද්දක් කරගෙන ආ ආකාරයටම ආරම්භ කර ගලා ගිය ප්‍රසංගය තුළ සාමාන්‍ය අවසන් ප්‍රසංග තුළ නොදකින චාම් බවක් මම දුටිමි.

ආරාධිත අමුත්තන් පිළිගැනීම්,පිළිගැනීමේ කතා, නිවේදකයාගේ ගුණ වැයුම්, ආරාධිත අමුත්තන්ගේ ගුණ වැයුම්,දේශපාලන ගුණ වැයුම් කිසිවක් එහි නොවීය. විකටර් රත්නායක සුපුරුදු ලෙස ගී ගැයුවේය.

ගී අතර ලබා ගත් විවේකයකදී වික්ටර් රත්නායක සරලව එක් වදනක් කීවේය. "පටන් ගත්ත හැමදේම අපි ඉවර කරන්න ඕනේ නේ. ඒක නිසා මේකත් ඉවර කරල දානවා". සුපුරුදු පරිදි ගීතවල හරය,නියම අයිති කරුවන්, ඒ හා බැඳුණු රසවත් සිදුවීම් අතරින්  පතර මතක් කරමින් සෑහෙන වේලාවක් ගලාගිය ප්‍රසංගයේ අවසන් හරියේදී නිවේදක ලෙස කටයුතු කළ වසන්ත රෝහණ මහතාගේ ආරාධනාවෙන් වික්ටර් රත්නායක "ස" නැවතීම ගැන පැහැදිලි කළේය.

ඔහුගේ ඒ පැහැදිලි කිරීම මට මතක හැටියට මෙසේය.

"ඒක පුද්ගල ප්‍රසංග තව ගොඩක් තියෙනවා. ගොඩක් ඒව අපි දන්නෙම නැතුව ඉවර වෙලා යනවා. එක්කෝ මිනිස්සු ඒව අත ඇරල දාන නිසා ඒවා නතර වෙනවා. නැත්නම් වෙනත් විවිධ ප්‍රශ්න නිසා පටන් ගත්ත අයම ඒවා නතර කරල දානවා. ලංකාවේ ඒක පුද්ගල ප්‍රසංගයක් විදියට මුලින්ම පටන් ගත්ත මේ ප්‍රසංගයට නියම විදියේ අවසානයක් මට පුළුවන් කාලේදි දෙන්න ඕනේ නිසයි මම මේ තීරණේ ගත්තෙ. පටන් ගත්ත කාළෙට වඩා මගේ හඩ වෙනස්. මමත් වෙනස්. තව කාලෙකින් මේ තත්වෙන් වත් මේ ටික කියාගන්න බැරි වෙයි. ඊට කලින් මේක මේ විදියට නතර කරල දාල ඉවර කරන්න මම කැමතියි."

ඇත්තටම මම ලිව්වාට වඩා රසවත් සහ හරවත් ලෙස ඔහූ ඔය අදහස කිව්වා. බොහෝම සරල අහිංසක හිනාවකින් යුතුව කරුණාවෙන් ඔහු ඒ දේ පැහැදිලි කළ ආකාරය නිසා ලත් අවබෝධයෙන් මෙතෙක් කලක් "ස" නොබැලූ එක අපරාදේ කියා සිතුනත් මින් ඉදිරියට "ස" නැතිවීම ගැන බොහෝ අයට දුකක් නොදැනෙන්න ඇති.

ආරම්භයේ සිට මේ දක්වා ප්‍රසංගය සඳහා උදව් කළ අයට වික්ටර් රත්නායක නම් ඒ නිහතමානී මහා මිනිසාගෙ අතින්ම සම්මාන ලබා දුන් අතර, ඔහු වෙනුවෙන් ලබා දුන් උපහාර සම්මාන අතර මතට දුමට ඇබ්බැහි වී ඔහු ගත කළ ජීවිතයෙන් මිදීම වෙනුවෙන් ශ්‍රී ලංකා අමද්‍යප සංගමයෙන් ඔහුට ලබා දුන් සම්මානයෙන් ඔහුගේ නිර්ව්‍යාජ ජීවිත ගමන ගැන අප සැමට සිතන්නට දේ ඉතිරි කළ බව නොකියාම බැරිය.

රු 500 ටිකට් ගත් අපට 1000 හේ අසුන් වල සිට ප්‍රසංගය නැරඹීමට අවස්තාව උදා කළ ඒ පින්වත් සැමට ස්තූතිවන්ත වෙමින් බට්ටි නංඟී සහ (මම  "අපි ඔක්කොම රජවරු" තාලය කාර් එකට තට්ටු දමමින්) ගෙදර ආවෙමු.

Tuesday, July 17, 2012

ලෝකයම අතිශය සුන්දර වූ එක් මොහොතක්...

දිනය මට මතක නැත. බොහෝ විට 2008 හෝ 2007 වසරේ අග භාගය විය හැක. ජීවිතයේ වැදගත් තීරණයක් වෙනුවෙන් මහත් වේදනාවකින් යුතුව රැයක් ගත කළෙමි. හිත කැමති වී සිටි දෙය සහ හිත අකමැති වුවත් ප්‍රායෝගිකව කලයුතු දෙයක් පිළිබඳව තීරණය කිරීමට ගත කළ නිදි වර්ජිත රැයක අවසානයේදී එක්වරම....

මා කළ යුත්තේ මෙයයි යන්න මට ක්ෂණයකින් අවබෝධ විය. ඒ අවබෝධවූ දෙයත් සමඟ මුළු රැය පුරාම මා සිතින් ගතින් විඳි වෙහෙස එක මොහොතකින් අතුරුදන් වී ගිය හැටි මට තාමත් සංවේදනය කළ හැකිය. එය එතරම් සුන්දරය. අඳුරුව හිර වී තිබුණු කාමරය දීප්තියෙන් බැබලෙන සේ දැනිනි. දකින දකින හැම දෙයම පෙර නොදුටු තරම් ලස්සනකින් අතිශය චමත්කාර ලෙස පෙනෙන්නට විය. හිත තුළ වූ සැහැල්ලුව විස්තර කිරීමට හෝ පැහැදිලි කිරීමට නොහැකි තරම්ය. නමුත් ඒ සුන්දරත්වය මා සමඟ පැවතියේ විනාඩි කිහිපයකි. ඉන්පසුව සියල්ල යථා තත්වයට පත්විය. හිතේ සැහැල්ලුව පමණක් ඉතිරි විය. 

රැය පුරා මා පෙළු ගැටළුවට පිළිතුර හිත කැමති දේවත් හිත අකමැති දේවත් කිරීම නොව සිත කැමති දෙය ලබා ගැනීමට උත්සාහ නොකර සහ අකමැති දෙයට වෛර නොකර සිටීමය. එය වචන මාත්‍රයකින් කෙනෙකු දෙන උපදෙසකින් තේරුම් ගැනීමකට වඩා ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධයකි. 

අවසානයේදී මට කරන්නට සිදු වූයේ මගේ සිත අකමැතිව තිබූ දෙයයි. සිත කැමතිව සිටි දෙය කිසිසේත්ම සිදු නොකල යුතුව තිබුණු දෙයක් යැයි පසුව අවබෝධවිය. නමුත් සියල්ල අවසානයේ සිදුවූයේ  මා සිතාගෙන සිටි කිසිවක් නොව මගේ ජීවිතයට වඩාත්ම සුදුසු දෙය මට හිමිවීමය. කලින් මා විසින්  කැමති සහ අකමැති යැයි වෙන්කරගෙන තිබූ සියල්ල කිසිවකට බාදාවක් නොවී ක්ෂය වී ගියේය. ඒවා කොතරම් මට අදාළ නොවිය යුතුව තිබූ දේවල් දැයි පසුව මට වැටහී ගියේය.

ජීවිතයේ එක්වරක් හෝ ඔබත් මෙවැනි අත්දැකීමට මුහුණ දී ඇත්නම් හැර මා මෙහි විස්තර කළ දෙය නිවැරදිව තේරුම් ගත නොහැකි වීමට ඉඩ ඇත. හරියට ඔබ අඳුරු බැලුම් බෝලයක් තුළ හිරවී එළියට යා නොහැකිව, එළියට යාමට දඟලමින්, ඔහේ පාවෙමින් සිටින විට එක්වරම එය බිඳීයාමක් අත්දැකිය හැකිනම් අන්න එවැනි නිදහසක්, ක්ෂණික සතුටක් ඊට සමාන කළ හැකිය.

මෙය කිසිදිනක ලියා තැබීමට මට අවශ්‍ය නොවිණි. එතරම් වැදගත් යැයි කිසිදිනෙක නොසිතුවෙමි.  නමුත් අහේතුකවම අද ලියන්නට සිතුණු නිසාවෙන් ලියා තැබීමි.

Friday, July 13, 2012

වර්ධිත යතාර්ථය හෙවත් Augmented Reality (වීඩියෝ සහිතයි 18+ නෙවෙයි)

මට තියෙන උණ වලින් එකක් ගැන පහුගිය දවස් ටිකේ මම කරපු සොයා බැලීම් ගැන පොඩි සටහනක් දාන්න හිතුණා. අතත්‍ය යාතාර්ථ උණ දැන් ටිකක් හොඳ වෙලා ඒ ගැන දැන් එච්චර උනන්දුවක් නෑ. දැන් තියෙන්නෙ මේ උණ.

Minority Report, Iron Man, Avengers වගේ චිත්‍ර පටි බලල තියෙන අය දැකල ඇති මෙන්න මේ වගේ පොඩි ආතල් වැඩ කෑලි දාන ෆිල්ම් වල ඉන්න අයියලා..




ෆිල්ම් වලදි නම් මේ දේවල් පෙන්නන්නේ පොඩි පොඩි කොම්පියුටර් ජිල්මාට් කෑලි,වීඩියෝ එඩිටින් වගේ දේවල් කරල. නමුත් මේ වගේ දේවල් ඇත්තටමත් කරන්න පුළුවන් සැලකිය යුතු මට්ටමකින්. (ඔය මයිනෝරිටි රිපෝට් මට්ටමට එන්න නම් තව කාලයක් යයි)

මොකක් ද මේ වර්ධිත යතාර්තය කියන්නේ කියන එක මම තේරුම් ගත්ත විදියට කියනවනම් අපි මේ ඉන්න පරිසරයේ තියෙන දේවල් සමඟ පරිගනකය මඟින් නිර්මාණය කරපු දේවල් මික්ස් කිරීම වගේ වැඩක්. ඒ වැඩේ ගොඩක් වෙලාවට චිත්‍ර පටි වලදි කරනවා.. ඒ කියන්නේ සැබෑ මිනිසුන් සහ පරිසරය තුළට පරිගණකයෙන් හදපු කල්පිත සතුන්,ගොඩනැඟිලි, වාහන වගේ දේවල් දාල කෘතිම පරිසරයක් නිර්මාණය කරන එක. හැබැයි ඒක කරන්නේ ගොඩක් වෙලාවට ලොකු පරිස්‍රමයක් දරල ගොඩක් උපකරණ සහ විවිධාකාර තාක්ෂණ ක්‍රමවේද පාවිච්චි කරල.

අතත්‍ය යතාර්ථය සහ වර්ධිත යතාර්ථය අතර වෙනස තමයි අතත්‍ය යතාර්ථය කියන්නේ ස්වභාවිකව අපි දකින පරිසරය සහ මිනිසුන්,සතුන්,ගහ කොල මේ පරිගණකය ඇතුලේ තියෙන ලෝකය තුළ කෘතිමව නිර්මාණය කරන එක. ඒ කියන්නේ ඔය ගේම් වල තියෙන විදියට පරිසරය සැකසීම, වර්ධිත යතාර්ථයේදි කරන්නේ පවතින පරිසරය තුළට පරිගණකයෙන් නිර්මිත දේ එකතු කිරීම.

මේ දෙක ගැන තාක්ෂණික කරුණු ඕනෙ තරම් විකීපීඩියාවෙන් හොයා ගන්න පුළුවන්. (මට ඒකේ තියෙන සහ ඔය ගූගලය දෙන විස්තර සිංහලෙන් ලියන්න අවංකවම පට්ට කම්මැලියි. මේ ටික ලියන්න හිත හදා ගත්තෙත් සෑහෙන අමාරුවෙන්).

හරි අපි සරලව බලමු කොහොමද මේ වර්ධිත යතාර්ථය කියන එකක් පරිගණකය බාවිතාවෙන් හදා ගන්නේ කියල. මේ කියන්නේ හෙනම ප්‍රාථමික විදියට මේ වගේ එකක් වැඩ කරන විදිය. අපි වෙබ් කැම් එකක් හරි නිකන් කැම් එකක් හරි පාවිච්චි කරල ගන්න පින්තූරය හෝ වීඩියෝ ව තියෙනවනේ. අපිට පුළුවන් මේ පින්තූරය හෝ වීඩියෝව Image Processing හෝ Video Processing Algorithms බාවිතා කරල ප්‍රොසෙස් කර ගන්න. ඊට පස්සේ ඒ ප්‍රොසෙස් (ප්‍රොසෙස් කරනව කියන්නේ ප්‍රොසෙස් කරන එකට. ඒ කියන්නේ මේ ප්‍රොසෙස් කරනවට.. තේරුණානේ) කර ගත්ත පින්තූරෙට හරි වීඩියෝ එකට හරි පරිගණකය මඟින් නිර්මාණය කරපු වස්තුවක් Real Time එකතු කරන්න. මේ පහල පින්තුර බැලුවම තේරෙයි.




දැන් කොම්පියුටරය කොහොමද මේ කෘතිම වස්තු ස්ථාන ගත කරන්න ඕනේ නියමිත තැන හරියටම හොයා ගන්නේ. ඒකට අපිට තෝරාගත් Patterns පාවිච්චි කරන්න පුළුවන්. Patternස් කියන්නේ මෙන්න මේ වගේ ඒවා


අපි යොදා ගන්න පින්තූරේ හරි වීඩියෝ එකේ හරි තියෙන මේ Pattern එක අර ප්‍රොසෙසින් කරනකොට අඳුරගෙන ඒක තියෙන ඛන්ඩාංක වලට අදාල ස්තානයේ අපිට ඕනෙ කරන වස්තුව නිර්මාණය කිරීම තමා මේකෙදි කරන්නේ.

ෆිල්ම් වල දකින ඒවට අමතරව මෙන්න මේව බලන්නකෝ.. කොච්චර අපූරුද කියල..


                                          




හරි මෙන්න මේ වීඩියෝ 2ක බැලුවහම වෙන්නේ මොකක් ද කියල තව හොඳට තේරෙයි... හික්.. ඔය ඉන්නේ මම, අපේ ඔපිස් එකේ, මේ අද තමා වීඩියෝව ගත්තේ මේකට දාන්න .. ජීවිතේ ප්‍රථම වතාවට මේ වීඩියෝ එකක් රෙකෝඩ් කරන්නේ.. ඒ නිසා අවුල් වෙච්ච ගනන් ගන්න එපා. සිද්දිය විතරක් බලා ගන්න හික්...



මේ මගෙ අතේ තියෙන කොලේ ප්‍රින්ට් කරල තියෙන පැටර්න් එක අඳුරගෙන ඒක උඩ මේ වර්ණවත් ත්‍රිමාණ රූපය පරිගනකය මඟින් නිර්මාණය කිරීම තමයි මේකෙදි වෙන්නෙ.  හොඳට බැලුවොත් පෙනෙයි මේක ඇත්තටම නිර්මාණය වෙන්නේ ඒ පැටර්න් එකට මඳක් ඉහලින් කියල.  අපිට පරිගණක වැඩසටහන් මඟින් මේ දතත වෙනස් කරල ඕනෙ විදියට මේක හදා ගන්න පුළුවන්.


මේ කන්දක් වගේ හැදෙන එක අර පැටර්න් එක උඩ හැදෙනවා.  මම කොලේ එහෙට මෙහෙට කරන නිසා තමයි හැම වෙලේම ඒක නැවත නැවත හැදෙන්නේ. ඇඟිල්ලෙන් ඇනල කඩල දාන්නත් පුළුවන් ඔන්නම්.. හික් හික්...

ඔපිස් වෙලාවේ හදපු නිසා මගේ සුමියුරු ටකරං හඩිං මොකුත් කියන්න විදියක් නෑ.. අනිත් උන්ගේ සද්ද බද්ද නම් ඇහෙනවනේ..

ප්‍රොජෙක්ටර් සහ නියමාකාරයෙන් කැමරා භාවිතා කරල ඇත්තටම මේ දේවල් අපේ  මේසේ උඩ හෝ වෙනත් ඕනෙම මතුපිටක හදන්න පුළුවන් එහෙම කරන්න නම් ඉතින්  අපිටත් රජයෙන් සහයෝගය අවශ්‍යයි. හික් හික් (මම වැඩ තියෙද්දි මේව කරන එක ලොක්ක සද්ද නොකර බලාගෙන ඉන්න එකම මදෑ.. ඔය වීඩියෝ එකේ පිටිපස්සෙන් ලාවට පේන්න ඉන්නේ ලොක්කා තමයි. මම කරන හැමදේම පොරට පේනවා. මම ඉතින් මිනිහටත් බලාගන්න කියල මේවගේ දේවල් කර කර ඉන්නව. තාම පඩිය නම් යනවා පොතට.. අනේ මන්ද ඉතින් තව කී කාලයක් මිනිහා මේවා බලාගෙන ඉඳියි ද දන්නෑ.. හි හි හි..)

මේ වගේ ආතල් වැඩ වලට අමතරව මේ වර්ධිත යාතාර්ථය කියන දේ ගොඩක් වෙලාවට වෙළඳ දැන්වීම් වල,ක්‍රීඩා වැඩසටහන් විකාශය කරනකොට වගේ ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. ඔය ක්‍රිකට් මැච් බලනකොට ග්‍රවුන්ඩ් එක පුරා ඉරි එහෙම ඇඳල ගහපු ෂොට් එහෙම පෙන්නන්නේ මේ තාක්ෂනෙන්.

අනාගත ලෝකෙ බොහෝ දේවල් වල මේක තියෙයි. ඒ කියන්නේ මේ ක්‍රමේ පාවිච්චි කරල හදපු කන්නාඩියකින් දකින් දකින දේ ගැන විස්තර අපේ ඇස් ඉදිරියේ පෙන්නුම් කරන වගේ දේවල්. ගූග්ල් එකෙන් මේ ලඟදි හදපු Project Glass  කියන නිර්මාණය මේ ක්‍රමයේ සහ තවත් තාක්ෂණික ක්‍රම වල සංකලනයෙන් බිහි වෙච්ච තවත් අපූරු නිර්මාණයක්.

අපි කාටුන් වල ෆිල්ම් වල දකින බොහෝ දේවල් ඇත්ත ජීවිතේට එන්න තව වැඩි කාලයක් යන එකක් නෑ.






Sunday, June 17, 2012

කරනවනම් ජොලි වැඩක්...

මේක අපි ඕනේ කෙනෙකුට කරන්න පුළුවන් හරි ජොලි වැඩක්... නිතරම මඟ  තොටේ වැඩ වලට හිරවෙන නැත්නම් මිනිස්සු එක්ක වැඩි හරියක්  ගැවසෙන වෙලාවට වගේ ආතල් එකේ කරන්න පුළුවන් කාටවත් කරදරයක් නැති වැඩක්... වැඩි විස්තර ඕනෙ නෑ...

අවශ්‍ය ද්‍රව්‍ය..

මිනිසුන් සහිත තැනක ඔහේ චාටර් වෙන වෙලාවක්.. හොඳම තැන් ආණ්ඩුවේ කන්තෝරු වල පෝලිම්,බැංකු පෝලිම්,බස් පෝලිම්, ටවුමක් මැද්දේ කවුරු හරි එනකං ඉන්න වෙලාවක්, සභ්‍ය විදියට බස් එකේ වාඩි වෙලා හෝ හිටගෙන යන අවස්තාවක්, කම්මැලි පාටියක්... වගේ මෙලෝ රහක් නැති වෙලාවක් සහ කට්ටියක්...

කරන්නෙ මෙහෙමයි..

දැන් ඔය කලින් කිව්ව වගේ තැනක ඉන්න කොට අපිට දැනෙන්නේ මහ එපා කරපු හැඟීමක් නේ.. කොයි වෙලාවෙද මේක ඉවර වෙන්නෙ කියල බලාගෙන අපි හිටියට අපිට ඕනෙ වෙලාවට ඉවර වෙන්නෙ නෑනේ.. අන්න ඒ වෙලාවට තමයි මම නම් මේ වැඩේ කරන්නේ..

ඉස්සෙල්ලාම  හොඳට පේන මනුස්සයෙක් ව තෝර ගන්නව.. ලස්සන කෙල්ලෝ ඉන්නකොට මේ වැඩේ කරන්න යන්න එපා ඒ වෙලාවට මීට වඩා වැදගත් වැඩ තියෙනවනේ.. මේක හරියන්නේ වයසක හෝ මැදි වයස් වල අයත් එක්ක ඉන්න කොට.. අපේම වයසේ අය උනත් අවුලක් නෑ.. පොඩි උන් හිටියත් අවුලක් නෑ..

දැන් කරන්න තියෙන්නෙ ඒ මනුස්සය දිහා ෂේප් එකේ ටිකක් බලල මුහුණේ ඉරියව් වලයි හැසිරීම් වල ස්භාවයයි පොඩ්ඩක් බලල ඒ මනුස්සය වගේ එකෙක් ඉස්කෝලේ අපේ යාළුවන් අතර හිටියද කියල හිතල බලන එක.. නැත්නම් අපිත් එක්ක පොඩි කාලේ හිටපු එකෙක් නාකි වුනහම මේන් මේ වගේ ඉඳී කියල පොඩ්ඩක් සසඳල බලන එක...

අපිට තියෙන්නෙ එක් එක් මනුස්සය  වගේ හිටපු මම දන්න එකා(එකී) කවුද කියල මතක් කරල බලන එක..

ඒ කියන්නේ ගොඩක් අය පොඩි කාලෙදි කතා බහ කරන විලාසය, බලන විදිය, එහෙට මෙහෙට ඇවිදින විදිය.. ඇඳුම් අඳින විදිය වගේ දේවල් ලොකු වුණහමත් එහෙමම තියෙනවා කියල මට නම් තේරිලා තියෙනවා.. ගතිගුණ ලොකු වෙනකොට වෙනස් උනත් හැසිරීම් වල සියුම් තැන් තියෙනව 100% මැච් කරන්න පුළුවන්..

 මේකෙ ආතල් එක තියෙන්නෙ එහෙම මැච් වෙන කෙනෙක් ව දැක්කම සිරාවට මේ මනුස්සයත් අන්න අරූ වගේ ඉන්න ඇති නේ කියල ඒ මනුස්සය තුළින් අපේ යහළුවාව දකින්න හැකි වෙන එක. ඔන්නම් ඒ වෙලාවේදි ඉස්කෝලෙ කාලේ කරපු ආතල් දේවල් පොඩ්ඩක් මතක් කර ගන්න පුළුවන් ආතල් පොරකට මැච් වුනොත් එහෙම.. ඉස්කෝලෙත් හිටපු එපාම කරපු ඩයල් එකකට මැච් උනොත් කරන්න තියෙන්නෙ ටක් ගාල අනිත් මනුස්සය දිහා බලල මැච් වෙන එකෙක් ව හොයන එක...

පෝලිම් වල බස් වල එහෙම පොඩි උන් ඉන්නකොට කරන්න තියෙන්නෙ මේ පොඩි එකා ලොකු උණාම අපි දන්න මොකා වගේ වෙයි ද කියල මැච් කරල බලන එක...

10ක් ඉන්න පෝලිමක මේ වැඩේ කලොත් අඩුම තරමේ 3-4ක් වත් මැච් වෙන අය ඉන්නව. ඔහොම 3-4ක් මැච් කරල පොඩි ආතල් එකක් අරන් ඉස්කෝලේ කාලේට ආයෙත් ගිහින් එනකොට පෝලිම නිකම් ම ඉවර වෙලා තියෙනවා.. නැත්නම් බස් එක බහින හෝල්ට් එකට කිට්ටු කරල තියෙයි..

පෝලිම් හැදෙන්න හේතුවයි.. බස් වල කොට කොට යෑම් ගැනයි.... ඔපිස් වල ප්‍රස්නයි.... ගෙවල වල ප්‍රස්නයි කල්පනා කර කර හිත නරක් කරගෙන ආන්ඩුවටයි රටටයි මිනිස්සුන්ටයි හිතින් බැන බැන යන්නේ නැතුව මේ වගේ අහිංසක ආතල් එකක් ගන්න එකෙන් නොදැනීම දවස සතුටින් ගෙවන්න පුළුවන්..

කරල බලන්න.. එතකොට තේරෙයි මේ අපි අවට ඉන්න මිනිස්සු ඔක්කොම එකම වගේ අය කියල.. එකම වගේ ගති ගුණ තියෙන අපි හොඳට දන්න කියන අය නේ ද මේ හැම තැනම ඉන්නේ අපි මොකටද කාත් එක්ක වත් ගහ මරා ගන්නේ කියල හිතෙයි.. ගහ මරා ගත්තත් මූත් අර ඉස්කෝලේ දි වලි දාගෙන පස්සේ බුදු ෆිට් වෙච්ච එකා වගේ නේද කියල හිතල ඕනේ ගැටුමක් අල්ලල දාල නිකන් ඉන්න පුළුවන් වෙයි..

නැවතත් මතක් කරන්නේ ලස්සන ගෑනූ ලමයි ඉන්න පුද්ගලික ආයතන වල පෝලිම් වල,බස් වල,පාටි වල සිටින විට මෙවැනි කම්මැලි කාරී,  විකාර වැඩ නොකර තම තමන්ට ප්‍රයෝජනවත් වෙන වෙනත් වැදගත් කාර්‍යයන් වල නිරත වන්න.. තනිකඩ ගෑල්ලමයිනුත් සිරා කොල්ලන් ගැන මෙවැනි මෝඩ දේ නොසිතා ඒ ඒ අවස්තාවට ගැලපෙන සේ වැඩකටයුතු කර ගන්න.

Friday, June 01, 2012

ලැප්ටොප් එකේ මීයා පැනීමේ ගැටළුව

ලැප්ටොප් පාවිච්චි කරන ගොඩක් අය මේ ගැටලුවට මූණ දෙනව ඇති..(මම නම් හෙන නෑමක් නෑව).. අපි මොකක් හරි ලිපියක් හරි බ්ලොග් පෝස්ට් එකක් හරි ටයිප් කරනකොට එකපාරටම මවුස් පොයින්ටර් එක අපි බලාපොරොත්තු නොවන තැන් වලට පැනීම තමයි මේ ගැටළුව..  ලියපු ඔක්කොම කෙල වෙලා යන සීන් එහෙමත් මේක නිසා වෙන්න පුළුවන්... වැරදි තැනක් එබුනොත්..

මේකට ගොඩක් වෙලාවට හේතුව වෙන්නේ ලැප්ටොප් එකේ ටච් පෑඩ් එක අපි නොදැනුවත්වම ස්පර්ශ වීම. හැබැයි එහෙම ස්පර්ශනොවී මේ මීයා පැනීමේ ගැටළුව එන වෙලාවලුත් තියෙනවා.. මම පහුගිය දවස් ටිකේ මේක නිසා මහ වදයක් වින්දා.. කරන්නම දෙයක් නැති තැන පොඩ්ඩක් හොයල බලනකොට මම වගේම මේ මී ප්‍රශ්නෙන් පීඩා විඳින අය තව ඉන්නව කියල හොයා ගන්න ලැබුණා.. මේ ප්‍රශ්නේ සමහරවිට මෙහෙයුම් පද්ධතියේ හෝ නැත්නම් හාඩ් වෙයාර් වල ඇති දැනට හඳුනා නොගත් ගැටළුවක් වෙන්නත් පුළුවන් කියල සමහර අය කියල තිබුණා... අර ස්පර්ශයෙන් තොරවම පනින්නේ අන්න ඒ නිසා ලු...

කොහොම හරි මේකට විසඳුමක් විදියට මට මෙන්න මේ පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ල හොයා ගන්න ලැබුණා.. නොමිලේ බාගෙන දාගන්න විතරයි තියෙන්නෙ.. මීයා අපූරුවට  කීකරු වෙනවා (95% විතර කීකරුයි). මේකෙදි කරන්නේ අපි මොනව හරි ටයිප් කරන වෙලාවට ඔටෝමැටිකලිම ටච් පෑඩ් එක අක්‍රීය කරන එක.  මට නම් සෑහෙන්න ලොකු සහනයක් තියෙනව මේක දාගත්තට පස්සෙ.


Thursday, May 31, 2012

ලංකාව නරක ද?

ලංකාව මේ කියන තරම් නරක රටක් ද? නරක නෙවෙයි.. ජීවත් වෙන්න සුදුසු නැති රටක් ද? දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉඳල හිටල බ්ලොග් එකේ මොනව හරි ලියාගෙන ඉන්න මටත් නිකමට වගේ මේ දේවල් ගැන හිතල බලන්න හිතුණා... රටේ වෙන දේවල් දිහා අඟල් 14-15 ක තිරයක් ඇතුළින් බලාගෙන ඉන්න අපිට ගොඩක් වෙලාවට පෙන්නේ මේක මහ එපා කරපු තැනක් වගේ.. කට ඇරියොත්(ඇඟිලි ඉස්සුවොත්) කියන්නෙ (ටයිප් කරන්නේ) මේක මහ එපා කරපු තැනක්.. මේ විදිය හරි නෑ.. මේකේ ඉන්නෙ ඔක්කොම පිස්සො... මුන් ඉන්න කම් මේක හදන්න බෑ.. මීට වඩා අරහේ හොඳයි... ඔන්න ඔය වගේ අදහස්..

මෙහෙම වෙලා තියෙන්නෙ ඇයි...

දැන් මේ රට නරක නම් රට මීට වඩා හොඳින් තිබුණු කාලයක් මින් පෙර තිබී ඇති ද? රජකාලය අතහැර 1900න් පසුව ගැන හිතා බලමු..

සුද්දා යන කම් මේ රට සුද්දා නිසා නරක් වී  තිබුණා යැයි ඒ කාලයේ සිටි මිනිසුන් කියපු කතා නිසා එය සාධාරණ යැයි සිතිය හැකිය..

සුද්දා ගිය පසු ලොව සාධාරණම දේශපාලන ක්‍රමය යැයි මා දන්නා (මා දන්නේ නැත) ප්‍රජාතන්ත්‍රවාදය අපේ පාලනයට එකතු වී ඇත..

ඊට පස්සේ නිල්පාට කොල පාට රතුපාට සහ තවත් පාට වලින් අපි අපේ රට දෙස බලන්නට පුරුදු වී ඇත...

මම කුඩා කළ සිටම මේ රට දැක්කේ නිල්පාටටය.. ඒ අපේ තාත්තා නිසාය

මට හිතෙන විදියට අපි හැමෝම තාම මේ රට දකින්නේ පුංචි කාලේදි අපිට බලන්න පුරුදු කරපු පාට වලින් කියලයි... කොතරම් උගත්ව බුද්ධිමත්ම සාධාරණව බලන්න උත්සාහ කළත් ඒ පාටින් බලන්න අපි ආසයි වගේ...
එහෙම නැතුව දකින අයත් ඇති..

මම හිතන්නේ රටක ජීවත් වෙන්න රටේ දේශපාලනය එතරම් වැදගත් නෑ.. දේශපාලනය කරන අයට සහ ඒ අයගේ උදව් කාරයින්ට ඇර අනිත් අයට තම තමන්ගේ අධ්‍යාපනය සහ හැකියාවන්ට අනුව උපයාගෙන ජීවත් වෙන්න රටේ පාට මොකක් වුණත් වෙනසක් වෙන්නෙ නෑ

සර්ව සම්පූර්ණ සමාජයක් ගොඩනඟන්න වෙර දරන එක තේරුමක් නෑ.. එහෙම සමාජයක් කවදාවත් ලෝකේ ඇති වෙන්නෙ නෑ කියලයි මම හිතන්නේ..

හැම සමාජෙකම හොඳ නරක තියෙනවා... සමාජේ හොඳ කරන්න හෝ හොඳ වෙනකම් ඉන්න හදන එක අපේම කම්මැලි කම සාධාරණීකරණය කරන්න අපි හදාගත්ත දෙයක් වගෙයි මට හිතෙන්නේ...

අප ජීවත් වෙන සමාජය බාහිර උපද්‍රව වලින් රැක ගන්න එකට උත්සාහ කරන්න ඕනේ.. ඒවට කැප වෙච්ච පිරිසුත් ඕනැම රටක ඕනැම සමාජයක ඉන්නවා... ඉස්සරහටත් ඉඳයි..

මම කියන්න හදන්නෙ මේකයි..

රටේ ජීවත් වෙන සාමාන්‍ය පුරවැසියෙක් ගත්තොත් ගොඩක් වෙලාවට කරන්න තියෙන්නේ තමන් කරන රස්සාවෙන් තමන්ගේ පවුල ජීවත් කරගෙන ඉන්න එකනේ.. රටේ හෝ සමාජයෙ සිද්ධ වෙන තමාගේ පාලනයෙන් තොර දේවල් ගැන කණගාටු වීම හෝ ඒවා වෙනස් කරන්නට යන එකෙන් ඒ පවුලට හෝ පුද්ගලයාට සෙතක් වෙන්න තියෙන ඉඩ හෙන අඩුයි... කරදර ගොඩක් තමයි ගොඩක් වෙලාවට එන්නෙ..

බොහෝ රට වල ස්වභාවය එහෙමයි..

මම දන්න විදියට නිදහසෙන් පස්සේ ඇතිවෙච්ච බොහෝ දේශපාලන පක්ෂ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න තිබිච්ච අයිතිය නැති කළේ නෑ.. යුද්ධය සහ 89-90 කාල ඇරුණහම

යුද්ධ සහ අඳුරු කාල වලට දැනට දියුණු යැයි සම්මත හැම රටම වගේ මූණ දීල තියෙනවා..

මිනිස්සු හැමදෙනාටම තියෙන පොදු ප්‍රශ්න වලදි මිනිස්සු එකතු වෙලා ඒව විසඳන්න පාලකයින්ට බලපෑම් කරනවා.. ඡන්දෙදි ඒ දේ කරන්න අවස්තාවකුත් දීල තියෙනව..

ඡන්දත් නැති යුද්ධත් නැති අඳුරුත් නැති මේ වගේ කාලෙක දි අපි කරන්න ඕනෙ මොකක් ද?

අපේ වැඩක් කරගෙන ඉන්න එකනේ..

ඔය අපේ වැඩ කරගෙන ඉන්න හදනකොට එක එකාගෙ බලපෑම්, අවනීතිය,අසාධාරණකම් සිද්ද වෙන නිසා තමයි අපිට මේ රටේ සිස්ටම් එක  අවුල් කියන එක ඔලුවට එන්නේ.. ඊට පස්සේ අපි තියෙන සිස්ටම් එක හරිගස්සවන්න හරි ඒකේ වැරදි ගැන කණගාටු වෙවී ඉන්න එක හරි නැත්නම් හතරවටේ සිස්ටම් එකට බැන බැන යන එක හරි කරනව. අපේ වැඩේ පාඩුවේ කරගෙන ඉන්න බැරි වීමට අපෙන් වෙච්ච අඩුපාඩුව හොයනවට වඩා රටේ සිස්ටම් එකේ අවුල් නිසා එහෙම උනයි කියල හිතාගෙන ඉන්න එකට අපි කැමතියි.. ඒක ලේසියි..

අපි සර්ව සාධාරණ වෙලා ඉද්දිත් අපිට එක එකා කෙලවන්න හදනකොට මොකද ඉතින් කරන්නේ... අපි සර්ව සාධාරණයි නම් ඉතින් ඔය පොඩි පාඩුවක් අලාභයක් දරාගෙන වැඩිය පැටලෙන්නෙ කරන්නෙ නැතුව ඉන්න එක අපිට කරන්න පුළුවන් නේ.. එතකොට සිස්ටම් එකේ අවුල් වැඩිය පේන්නෙ නැතුව යනවා.. කෙලවන්න හදන එකාට උනත් හිතෙයි පස්සෙන් එලෝ එලෝ වද දෙන එක තේරුමක් නෑ කියල.

හරි බහුතරයක් ඉන්නෙ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න අයනේ.. එයාලට තියෙන ඊළඟ ප්‍රස්නේ බඩුමිල නේ.. මම නොදන්න කමට අහන්නේ.. ඉතිහාසේ කවදාවත් බඩුමිල කියන එක සිරාවට අඩුවෙලා තියෙනවද? පාන් 3.50 ට දුන්න වගේ ටෙම්පරි අඩු වීම් නැතුව..

සමස්තයක් විදියට අතීතේ ඉඳන් මේ දක්වා වෙලා තියෙන්නෙ හැමදේකම මිල ඉහල ගිහින් තියෙන එක..ඒක අපේ රටේ විතරක් සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි නේ..

ඉන්ධන සහ අනෙකුත් සම්පත්  ජනගහනය වැඩි වෙනකොට ක්ෂය වෙන එක වැඩිවීම නවත්තන්න මොන රටේ මොන පාලකයටවත් බෑ.. ඒ සම්පත් තියෙන රටවල් ඒවා වැඩි මිලට විකුණන එක අපිට නවත්තන්න බෑ නේ..

රටේ නාස්තිය දූෂණය වංචාව පගා ගැනීම් වැඩි යි... ඔය තියෙන්නෙ මොන පාට ආන්ඩුවක් රට කරන්න ආවත් විපක්ෂෙ ඉන්න අයට සදාකාලිකව කෑගහන්න තියෙන පොයින්ට් එකක්... මොකද බලය තියෙන අය ඒ බලයෙන් තම තමන්ගේ පවුල් වලට හිතමිතුරන්ට සලකන එක රජ කාලේ ඉඳන් තිබුණු දෙයක්... අඩු වැඩි වීම් සිද්ද වෙන්න පුළුවන් හැබැයි කවදාවත් එහෙම නැති කාලයක් නම් තිබිල නෑ.. කොයි රටෙත් එහෙමයි කියලයි මම හිතන්නේ..

ලංකාවේ නැද්ද උත්සාහයෙන් දියුණු වෙච්ච,නිදහසේ සතුටින් ජීවත් වෙන මිනිස්සු? යාන වාහන අරගෙන ගෙවල් දොරවල් හදාගෙන රස්සාවල් කරගෙන දරුවෝ හදාගෙන බොහොම සැපෙන් සාමෙන් ඉන්න මිනිස්සු නැද්ද?

එහෙම ඉන්න මිනිස්සු ජීවත් වෙන්නේ මේ අසාධරණ සමාජේ ඇතුළෙ නෙවෙයි ද? දුෂණයෙන් වංචාවෙන් අවනීතියෙන් යට වෙච්ච අහස උසට නඟින බඩු මිලක් තියෙන සමාජේ එහෙම මිනිස්සු ඉන්න විදියක් නැද්ද?

ඇත්තටම මේ සමාජේ ඔය කියන තරම් නරක නම් මිනිස්සු කවුරුත් සතුටින් ඉන්න විදියක් නෑ.. අසාධාරණව සල්ලි හම්බ කරන මිනිස්සු ඇර සාධාරණ රස්සාවක් කරගෙන ඉන්න වෙන කාටවත් හොඳ වහනයක් ගෙයක් දොරක් හදා ගෙන්න ඉන්න විදියක් නෑ..

හිකිස්....

පාර පුරා යන මැක්සා වාහනයි හතර වටේම තියෙන සිරා ගෙවලුයි ඔක්කොම එතකොට හොරුන් ගේ,අපරාධකාරයින්ගේ වෙන්න එපෑ..

පිට රට ගිහින් සල්ලි හම්බ කරන් එන්න ඕනේ...

අන්න ඒකේ හොඳ පොයින්ට් එකක් තියෙනවා.. මොකද අපේ රටට වඩා පිටරටවලදි අපිට හම්බ කරන්න පුළුවන්...

එකක් එහෙ හොඳට ගෙවනවා.. අනිත් එක අපි එහෙදි හොඳට වැඩ කරනවා.. මොකද අපිට ඒ රටේ පවතින සිස්ටම් වෙනස් කරන්න යන්න හිතෙන්නෙ නෑනේ.. ඒවයේ අඩුපාඩු වැරදි හොයල අපිට වැඩක් නෑනේ.. අපි අපේ පාඩුවේ රස්සාව කරගෙන කීයක් හරි හම්බ කර ගන්නවා..

ඒ රටවලදිත් පාඩුවෙ ඉන්න නොදී ලෙඩ දාන උන් ඕනෙ තරම් ඉන්නවා.. හැබැයි වැඩිය කචල් බචල් දාගන්නෙ නැතුව ඉන්න එක නුවනට හුරුයි කියල ඕනෙම මැටි මොලේකට ඒ රට වලදි තේරෙනවා..

බඩු මිල කොහොම ද.. පිස්සු හැදෙයි.. පුළුවන් හැම වෙලේම ලංකාවෙන් තමා කෑම ටික ඇඳුම් ටික ඔක්කොම ගන්නේ... මෙහෙ කොච්චර බඩු ලාබද... හිකිස්...

ඒ රටවල වංචා දූෂණ නෑ.. එහෙනම් ඇයි එකම බඩුව එහෙයි මෙහෙයි ගනන් දෙකක්.. මෙහෙ රුපියල් 50 පාන් ගෙඩිය එහෙ 500 වෙන්නෙ ඇයි..

ඒ රටවල් කොච්චර ලස්සන ද? පිරිසිදු ද? හැමදේම ක්‍රමානුකූලයි...  ඒ මිනිස්සු අවුරුද්දකට ටැක්ස් කොච්චර ගෙවනවද කියල නිකමට හොයල බැලුව ද? ඒ රටවල ආදායම් මාර්ග මොනවද කියල එහෙම දන්නවද?

ලේසියෙන් නිවාඩු නම් ගන්න බෑ... හිකිස්.. මෙහෙ වගේ නෙවෙයි...ඒ මිනිස්සු කම්මැලි නෑ.. වෙලාවට වැඩ.. අපි වගේ නෙවෙයි...

හිකිස් බිකිස්...

නිදිමත වේගෙන එන නිසා දැන් ඇති

මට කියන්න ඕනෙ වෙච්ච දේ මේකයි... මේ රටේ දියුණු වෙන්න ඕනේ තරම් අවස්තා තියෙනවා... අඩුපාඩු නැතුව නෙවෙයි නමුත් කාගෙන් වත් බාධාවක් නැතුව ඕනෙ තරම් හම්බ කරගෙන සැපෙන් සාමෙන් ජීවත් වෙන්න කිසිම අවුලක් නෑ... එකම දේ අපි දේවල් දිහා බලන විදිය පොඩ්ඩක් වෙනස් කර ගන්න එක...  අපි දකින ලෝකය වෙනස් වුණාම ඒ ලෝකයට හරි යන්න අපිත් වෙනස් වෙනවා... පිටරට වල යන එන එක වරදක් නෙවෙයි... හැබැයි එහෙම යන්න ඕනේ මේ රටට බැන බැන නෙවෙයි... අපේ තියෙන අඩුපාඩු නිසා හෝ අවංකවම අපිට සිද්ධ වෙන අයුතු දේ නිසා කලකිරිල යන අය ඉන්න පුළුවන් නමුත් ඒකෙන් කියන්නෙ නෑ මුලු රටම එහෙමයි කියල..

පිටරට වල ගිහින් අපි ජීවත් වෙන ආකල්ප වලින් මේ රට ඇතුලෙත් ජීවත් වෙන්න අපිට පුළුවන්... එහෙම ඉන්නකොට මෙහෙයි එහෙයි වෙනසක් දැනෙන එකක් නෑ... මෙහේ වඩා සැපවත් වෙයි.. මොකද අපිට අයිති හැම දේම හැම කෙනාම ඉන්නෙ මෙහෙ නිසා...


අවසාන වශයෙන් මෙන්න මේක පොඩ්ඩක් බලන්න

'ශී‍්‍ර ලංකාව දූපතක් වුණාට පුංචි විශ්වයක්!' - ශී‍්‍ර ලංකාවේ සිට ලොව හෙල්ලූ විද්‍යාඥයා, ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක්

ලෝකයේ ජීවත්වීමට හොඳම රට ශී‍්‍ර ලංකාව කියල අපේ මේ පුංචි රට තෝරා ගෙන අවුරුදු 51ක් ම අපේ රටේ ජීවත්වෙමින් අපේ රටට කීර්තියක් ගෙන දුන් ලෝකයේ විසූ කීර්තිමත් ම විද්‍යාඥයා, විද්‍යා ප‍්‍රබන්ධකයා, ජනපි‍්‍රය විද්‍යා ලේඛකයා, විද්‍යා න්‍යායාචාර්යවරයා, විද්‍යා දේශකයා තමා ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක්. අපේ ම රටේ ඉපදිලා, අපේ ම රටේ, අපේ ම සල්ලිවලින් ඉගෙන ගෙන, ‘මේ රටේ ජීවත්වෙන්න බැහැ’යි කියලා රට ඇරලා යන උගත්තු ඉන්න මේ කාලේ එතුමා අපට දුන්නේ මහඟු ආදර්ශයක්.

‘ලංකාව කියන්නෙ දූපතක් වුණාට පුංචි විශ්වයක්. මෙය දර්ශනීය තැන්වලින්, විවිධ දේශගුණයන් වගේ ම විවිධ සංස්කෘතීන්ගෙන් පිරිලා. ඔබ මේ රටට ගේන දේ අනුවයි, ඔබට රටෙන් යමක් ලැබෙන්නෙ. කොළඹ නගරයේ බටහිර පන්නයට හැඩ ගැහුණු, දූවිලිවලින් පිරුණු වීදිවලින් පිටට නොගිහින් හෝටලයට වෙලා හිටියොත් එක සතියකින් ම මේ රට ඔබට එපා වේවි. ඒත් ඔබ ජනයා ගැන, ඉතිහාසය ගැන, කලාවන් ගැන, සොබා දහම ගැන, ඒ කියන්නෙ ජීවිතයට වටින ඒ වගේ දේවල් ගැන උනන්දු නම්, ඔබටත් මේ රටේදි, මේ මට වගේ ම, සුන්දර දේ හමුවේවි. ඒවා අත්විඳින්නට ඔබේ මුළු ජීවිත කාලයමත් මදි බව ඔබට වැටහේවි.’ එතුමා බි‍්‍රතාන්‍ය ගුවන් සේවාවේ ප‍්‍රකාශනයකට ශී‍්‍ර ලංකාව ගැන ලිව්වෙ එහෙමයි.

ශී‍්‍ර ලංකාව තරම් ලස්සන රටක් ලෝකයේ තවත් නෑ 

‘සමහර විට ලංකාවෙ ඇති ආකර්ෂණයන් ඉක්මවා යන දේවල් ලෝකයේ එක එක රටවල ඇති. පැරණි නටබුන් අතරින් කාම්බෝජයේ ඒවා මීට වඩා ආකර්ෂණීය ඇති. ටහිටි දූපතේ මීට වඩා ලස්සන වෙරළවල් ඇති. බාලි දූපතේ මීට වඩා දර්ශනීය තැන් ඇති. (ඒත් මට නම් සැකයි). තායිලන්තයේ මීට වඩා සුහදශීලී ජනයා ඇති. ඒත් මා නම් හිතන්නෙ නෑ මේ හැම ආකර්ෂණයක් ම ඇති වෙනත් රටක් ඇතියි කියලා මේ ශී‍්‍ර ලංකාව හැර.’ එතුමා මෙහෙම ලිව්වෙ 1970 දි ශී‍්‍ර ලංකාව ගැන ලියවුණු තවත් පොතකටයි.



උපුටා ගැනුම මල්කැකුළු අඩවියේ පූර්ණ අනුමැතිය සහිතව



Friday, May 25, 2012

අයියලාවත් දන් දුනෙමි

දන් දීම නිකං දීම තෑගි දීම පිනට දීම අපි හැමෝම නිතර කරන දෙයක් නේ... වැඩි වැඩියෙන් දන් දෙන්න හැමෝම කැමතියි... කලාතුරකින් කෙනෙක් ඇරෙන්න යම් දෙයක් කෙනෙකුට දීමෙන් සතුටු නොවන කෙනෙක් නෑ..

සතුටු වෙන්නේ අවංකවම අත්හැරීම නිසා දැනෙන සැහැල්ලුව නිසාද අනිත් කෙනා තමාට වඩා අසරණ නිසා ඒ පුද්ගලයාව සතුටු කිරීමට තමාට හැකිවීම නිසා ද සියුම් විදියට හිත යටින් බලාපොරොත්තු වෙන උසස් බව ලබා ගෙන සතුටු වීමට ඇති ආසාව නිසා ද යන්න එතරම් වැදගත් නොවුනත් දන් දීම නිසා ඕනෙම කෙනෙක්ගේ හිතේ පොඩි සතුටක් දැනෙනවා...

මමත් ඉතින් පොඩි කාලේ ඉඳලම මගෙ ලඟ තියෙන එක එක දේවල් ඔය කාට හරි දීල දාන්න හරි කැමතියි... සෙල්ලම් බඩු,ඉලෙක්ට්‍රොනික් සර්කිට් කෑලි, පොත්, මැගසින්, සඟරා, ස්ටිකර්,චිත්‍ර ඕවා තමා පොඩි කාලේ දන් දුන්නේ.. (ලෝක ප්‍රසිද්ධ වෙච්ච සමහර ධනවතුන් වගේ පොඩි කාලේ ඉඳලම තියෙන දෙය යොදාගෙන යමක් උපයා ගැනීමට වඩා තියෙන සියල්ල නැති කර ගැනීමේ උපන් හැකියාව සහිත වීම නිසා වෙන්න ඇති)..

පස්සේ කාලේ කොම්පුටර් දන් දීම කළා... මුලින් ම තාත්තයි අම්මයි අරන් දුන්න එක එක්කෙනෙකුට දන් දුන්නා.. පස්සෙ මම පඩි අරන් හදා ගත්ත එක ආයේ දන් දුන්නා... ඊට පස්සේ ගත්ත ලැප්ටොප් එකත් දීල දැම්මා... ( මටම කියල කොම්පියුටරයක් නෑනේ හැබෑටම.. දැන දුවන්නේ කොම්පැණි ප්‍රොපටි වලින්...)  බයික් එක ගත්තම ඒ වෙනකම් පැද පැද පට්ට ගහපු බයිසිකල් එකත් දීල දැම්මා..  කාර් එක ගත්තට පස්සේ බයික් එක දීල දාන අදහස නම් ගොඩක් සැරයක් ඔලුවට ආවා... තාම දුන්නෙ නෑ... කාර් එකෙන් විතරක් ගොඩ දාන්න අමාරු ගමන් බිමන් තියෙනවනේ... (බට්ටි නංඟි නම් උඩින්ම කැමතියි මම බයික් එක කාට හරි දීල දානවට.. මමනේ දන්නේ කාර් එක එහෙ මෙහෙ පාර්ක් කරන්න ගියාම කන්න වෙන කට්ට..)

මේ ළඟදි මම තවත් මහා දානයක් දුන්නා... එකට වැටිල දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන අයියයි මල්ලියි වගේ කාලයක් තිස්සේ හිටපු හෙලිකොප්ටර් අයියාව මම දීල දැම්මා... ඇත්තටම කිව්වොත් මුලින් ම ගත්ත  එකයි... ඊට පස්සේ ගත්ත එකයි දෙකම දුන්නා...

මුලින් ගත්ත එක මා වැනි ම පිස්සුවක් සහිත රුවන් මාමාගේ හිතසුව පිණිසද.. දෙවැනි එක මට වගේම පොඩි කාලයක් හිමි... බට්ටි නංඟිලාගේ පවුලට හිතවත් රත්නපාල අයියාගේ පුතාගේ සතුට පිණිස ද වශයෙන් දීල දැම්මා...




අයියා දන් දීමට පෙර දින රාත්‍රියේ මල්ලී සම්ඟ ගත් අවසන් පොටෝ කිහිපය

ඇත්තටම මගේ හෙලිකොප්ටර් උණ දැන් සනීප වෙලා... ගේ ඇතුළේ ඉඳන් යවන්න කියල හිතාගෙන මේ ලඟදි ගෙන්න ගත්ත හෙලිකොප්ටර් මල්ලියා හරියට වැඩ කරන්නේ නැති වුණාට පස්සේ නිකං කම්මැලියි වගේ.. (සෝරෝට ඇමතුමක් දීල උපදේසයක් ගන්නවත් හිතෙන්නෙ නෑ වගේ...) මේ සතියෙවත් ආයේ ට්‍රයි එකක් දීල බලන්න ඕනේ...

ඔන්න ඔහොම තමා ඉතින් මගේ දන් දීම්... මේ ඊයේ පෙරේදා ගත්ත ඩී.ඇස්.ඇල්.ආර් කැමරාවටත් ඔය ආනිසංසෙම වෙයි තව ටික කාලෙකින්.. හික්ස් බිකිස්...

ඉස්සර මට කොම්පුටරයක්, මේ වගේ හෙලිකොප්ටර් ,සෙල්ලම් බඩු සහ ආස හිතෙන තව එක එක දේවල් ගන්න බැරුව ගෙදර ඔහේ ඉන්න වෙලාවට අනන්තවත් හිතිල තියෙනවා මට ඒව අරන් දෙන්නවත් කවුරු හරි හිටියනම් කියල... එහෙම කවුරුවත් නෑ කියල ෂුවර් එකටම දැන දැනත්..  දැනුත් ඉතින් එහෙම හිතන පොඩි එවුන් ඕනේ තරම් ඉන්නවනේ... එහෙම කරන්න බැරි දෙමව්පියොත් ඕනෙ තරම් ඉන්නවනේ... ඉතින් එහෙම හිතෙන පොඩි එකෙකුගේ හීනයක් හීනියට හරි සැබෑ කරල පොඩි ආතල් එකක් ගන්න එක වරදක් නෙවෙයි නේ...

රස්සාව කරල ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අරගෙන තව අමතර ආදායම් මාර්ග හදාගෙන සල්ලි කාරයෙක් උනාට පස්සේ දාන දීල නැති බැරි අයට උදව් කරල පින් කම් කරල ඉන්නම් කියල කල් දාන්නෙ නැතුව දෙන්න හිතෙන වෙලාවට දීල ඔන්න ඔහේ පාන් කෑල්ලක් කාල ඉන්න එක හෙන ආතල් මට නම්...

Saturday, May 19, 2012

පොටෝ එක

ගෙවුනු වසරේ අපේ සවාරි වලට අදාල පොටෝ එක.. ඇනිවසරිය දිනට සති කිහිපයක සිට සෑදීම අරඹා මා දන්නා සියළුම පොටෝසොප් වැඩ කිඩ දමා මගේ අතින් නිෂ්පාදනය වූ අපේ ඇනිවසරි පොටෝව. නිතර කැඩෙන සුළු ලැප්ටොප් වල දමා රැක ගැනීම ෂුවර් නැති බැවින් මතු කලෙක බලා සතුටු වනු පිණිස මෙසේ බ්ලොගයට දමනු ලැබේ...
                                    
 ඇනිවසරි දින ඔපිසියෙන් පැනගොස් ලබා ගත් ප්‍රින්ටය බට්ටී නංඟී විසින් අධික පරිස්සමට කොහේ හෝ හංඟා ඇති බැවින් මට නිතර දැක බලා ගැනුම පිණිස මෙසේ ජාල ගත කළෙමි...

Saturday, May 12, 2012

ගෙවුනු වසරේ අපේ සවාරි.. ඡායාරූප රහිතයි

අපි දෙන්නගේ ෆස්ට් වෙඩින් ඇනිවසරිය පහුවෙලා දැන් සති 2ක් විතර.. ඇනිවසරි ටුවර් එකට රවුමක් ගහල ගෙදර ආපු ගමන් කොම්පීටරේට කෙල වෙච්ච නිසා මොකුත් කර ගන්න බැරි වුණා.. අලුතින් හම්බවෙච්ච එකට අවශ්‍ය අඩුවැඩිය දාලා හදා ගත්තේ මේ ඊයේ පෙරේදා...

අපි දෙන්නගේම හීනයක් වෙලා තිබ්බ දඹුල්ල කණ්ඩලම හෝටල් ගමන ෆස්ට් ඇනිවසරි එකේදි යන්න පුළුවන් වෙච්ච එක ගැන හරි සතුටුයි... පොඩි කාලේ ඉඳල තිබ්බ හීන එකින් එක හෙමින් හෙමින් හැබෑකරගන්න පුළුවන් වෙන එක හරි ජොලි... හැමදේම අපි දෙන්නම මහන්සිවෙලා හම්බකරගත්ත දේවල් වලින් කරනකොට අවංකවම හිතට සැහැල්ලුයි සතුටුයි..

කණ්ඩලම හෝටලය ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.. ස්වභාවික පරිසරයට සිදුවෙන හානිය අවම කරගෙන හදපු විශිෂ්ට නිර්මාණයක්... මම හිතන්නේ සම්මාන පවා හම්බ වෙලා තියෙනවා පරිසරය සුරැකීම සම්බන්ධව...මීට අවුරුදු 10-15කට කලින් ඔය හෝටලේ හදපු කාලේ ඉඳල හෙන ආසාවක් තිබ්බ ඕකට යන්න.. ඒ කාලේ ඒව නිකං හීනම විතරක් වෙලා තිබුණේ..

කණ්ඩලමෙන් පස්සේ රුවන්වැලි සෑයටයි,ශ්‍රී මහා බෝධියටයි ගියා පහුවදා රෑ.. අනුරාධපුරේ ගිහින් හතරවටේ ඇවිදින්නේ නැතුව රුවන්වැලි සෑ මළුවේ ගේට්ටුව වහනකම් වාඩිවෙලා හිටියා... එහෙම ඉන්නකොට දැනෙන දේ ගැනත් ඉතින් වචන වලින් කියන්න අමාරුයි..

පහුවදා උදේම නැග්ගා සීගිරී.... ඒකත් අවුරුදු 10-15කින් තමා ගියේ.. උඩටම නඟිනකොට නම් නිකන් සුදුකොඩි, ගොක්කොල පේන ගතියක් දැනුනා .. හිකිස්...ඒතරම් ඇඟේ ෆිට්නස් නේ...

ඇනිවසරි ටුවර් එක එතනින් ඉවරයි...

වෙඩිමෙන් පස්සේ දවසේ අපි දෙන්නා කෙලින් ම ගියේ නුවර හුනස් ෆෝල්ස් හොටෙල් එකටනේ.. බැඳපු අලුත යන්න තියෙන සිරාම හොටෙල් වලින් එකක් ඒක.. ගිය අය දන්නව ඇති.. පුදුම ලස්සනක්...  බඳින්න ඉන්න අය පුළුවන් නම් ගිහින් ආවට කමක් නෑ.. ජීවිතේටම මතක හිටින තැනක් වෙයි..

හෝම් කමිමෙන් පස්සේ දවසේ සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව තායිලන්ත සවාරියකුත් ගිහින් ආවනේ... දවස් 5ක් තායිලන්තෙ නැවතිලා රට තොට බලල එන්න එච්චර ලොකු ගානක් ගියෙ නෑ.. ලංකාවේ හිටිය හෝටලේට එක දවසට ගෙවපු ගානින් අපි දෙන්න සාමාන්‍යයෙන් 3-ස්ටාර් වගේ හොටෙල් එකක දවස් 4ක් හිටියා... හරිම ලාබයි.. කිසිම අඩුපාඩුවක් නෑ.. එහෙ ගිහින් ඩ්‍රීම් වර්ල්ඩ් එකේ රවුමකුයි, මැඩම් ටුසාඩ් වැක්ස් මියුසියම් එකේ රවුමකුයි ගහල ගෙවල් වල අයටයි අපිටයි පොඩි පොඩි තෑගියි (මට හෙලිකොප්පරේ) අරන් එන්න අපිට ගියේ යන්න එන්න ටිකට් වලටත් එක්කම 120,000ක් වගේ (ගාන දැම්මේ යන කෙනෙකුට අදහසක් ගන්න)

ඒ ගමනෙන් පස්සේ අපි කීප සැරයක් හපුතලේ ගියා.. ට්‍රිප්ම නුනත් ට්‍රිප් තමා ඉතින්.. නෑදෑ ගෙවල් වලයි ප්‍රේමසිරි අයියගේ මළ ගේ, බුද්ධික මල්ලිගේ දානේ වගේ හේතු නිසා. දියළුම, බබරකන්ද දිය ඇලි බලල, දොලපාරවල් වලින් නාලා, අලි බලල, මඩවල උපාලි හාමුදුරුවන්ගේ මියුසික් තෙරපි විඳල ආපු නිසා ඒ ගමන් ටිකත් ඉතින් ට්‍රිප් ම තමා..

ඔය අතරේ අපි දෙන්නා ආයේ ගියා මේ ළඟපාත පොඩි හොටෙල් එකකට... ඒ කියන්නේ කොළඹින් 20-30 කි.මි වගේ දුරකින් තියෙන සෙරනිටි විලේජ් කියල ලස්සන පොඩි හොටෙල් එකක්... දවස ගෙවල එන්න මරු තැනක්.. වැඩි ගානක් නෑ.. පෙට්‍රල් වියදමත් එක්කම 5000කට අඩුවෙන් ගියේ අපි දෙන්නට.. හැබැයි රෑ හිටියෙ නෑ...

ඊට පස්සේ කතරගම ටුවර් එකක් සෙට් වුණා... පවුලේ අයත් එක්ක... ඒකෙදි ලෝක ප්‍රසිද්ධ නැව් එන්නැති වරාය එහෙමත් දැකබලා ගත්තා.. හැබැයි ඇත්තටම මම නම් ගලක් දැක්කෙ නෑ...  කවුරු මොනව කිව්වත්..

කලින් වැඩ කරපු කොම්පැණියේ සැට් එකත් එක්ක ගිය නුවර එළි ට්‍රිප් එකත් මරේ මරු...  නුවර එළියේ ගිහින් ඉට්ටෝබෙරි ෆාම් එකේ ට්‍රැක්ටර් ගමනත් මරු.. කොත්මලේ ජලාශේ තත්වෙත් බලාගෙන තමයි ඒ රවුම කැරකිලා ආවේ...

නුවර එළියේ ටුවර් එකට කලින් (ලියපු ඕඩර් එක නම් වැරදියි... ගනන් ගන්න එපා) මම හිතන්නේ කතරගම ටුවර් එකටත් කලින් ද මන් ද... අකුරැස්සේ ගිය වෙලාවෙදි අපි ගියා කඹුරුපිටියේ එකෝ විලේජ් කියල තව පොඩි ලස්සන හොටෙල් එකකට.. ගෙදර කට්ටියත් එක්ක හවස් වෙලා ගිහින් රෑ කෑම කාල එන්න හෙන අඩු ගානක් ගියේ.. ලස්සන තැනක්...

අහ් කියන්න අමතක වෙච්ච තව සිරා ගමනක් තියෙනවනේ.. බට්ටි නංඟිගේ කොම්පැනිය ගානේ ජෙට් ලයිනර් නැව් සවාරියකුත් සැට් උණානේ... නොමිලෙම... යන්න වටින ගමනක් ඒකත්... නැව් කියන්නෙත් හෙන සිරා වාහන ජාතියක්...

අපේ කොම්පැණිය ගානෙත් වත්තල පෙගසස් හොටෙල් ගමනකුත් සැට් වුණා.. හැක්.. බැඳල මාසයයි ද කොහෙද.. කෙහෙල් ගහට ඩි.එස්.එල්.ආර් කැමරාවෙන් ගැහුව වගේ... බීච් වොලිබෝල් ගහන්න ගිහින් මගේ වෙඩින් මුද්ද නැත්තටම නැති උණා එහෙදි... හිකිස්..  කොම්පැනියේ කට්ටිය කොම්පැනිය ගානේ මට අලුත් මුද්දක් අරන් දුන්න එකත් කවදාවත් අමතක වෙන්නෙ නෑ...  ඩේ ඇන්ඩ් නයිට් සේවය කළත් කමක් නෑනේ ඉතින්...

දැනට මතක් වෙන විදියට ඔන්න ඔහොම තමා අපි දෙන්න රවුම් ගැහුවේ... අවර් කාර් අවර් පැට්‍රෝල් නේ කියල අපිට හිතුනම ඉතින් ඔය වගේ රවුම් යනවා.. (බැංකු වල සතපහක් වත් නැති එක වෙනම කතාවක්)

බැඳල අවුරුද්දක් 2ක් යනකම් සල්ලි පොඩ්ඩක් නාස්ති කලාට කමක් නෑ ඔන්න ඔහේ.... (ඊට පස්සෙත් කමක් නෑ ඉතින්)... ඊලඟ මාසේ ගානට බැලන්ස් කරගන්න පුළුවන් නම් විතරක් (හිකිස්... බැරිම උනොත්  ක්‍රෙඩිට් කාඩ් තියෙනවනේ ඉතින් )

ඉන්න ඩිංඟ ජීවත් වී සැපෙන් ඉම්මු අපි නංඟී කියන පිස්සු පූසාගේ තියරියට වන්දනා මාන කරලනේ මම ඉන්නේ.. බට්ටි නංඟිත් ඉතින් මම ම තමා නේ...

ප.ලි
ගිය ගමන් වල පින්තූර සියල්ල මදර්බෝඩ් එකට කෙලවී ගිය මගේ පරණ ලැප්ටොපයේ බැවින් මේ අවස්තාවෙදී ලබා ගත නොහැක..

ප.ප.ලි
සල්ලි සල්ලි කියා බලන්නේ නැතුව අම්මාගෙන්,අක්කාගෙන් සහ දිමුතුවාගෙන් බැනුම්/ අවවාද අසමින් බට්ටි නංඟිගේ පූර්ණ අනුමැතිය සහිතව කන්ඩලම් ටුවරය යන්න ඔන්න මෙන්න තියා තකහනියේ මිලදී ගත් මගේ ඩී.ඇස්.ඇල්.ආර් කැමරාවේ පින්තූර සමඟ නැවත හමුවෙමු...

ප.ප.ප.ප.ප.ලි.ලි.ලි.ලි.ලී

කොහොමද නයාගෙ තරම.. හිකිස් බිකිස්...


Wednesday, April 04, 2012

සිංහල යුනිකේත සහ බ්ලොග් කරණයේ ඉතිහාසය ගැන...

ඉස්සෙල්ලාම කියන්න ඕනේ මෙවැනි මාතෘකාවක් ගැන ලියන්න මට කිසිම අයිතියක් හෝ මහා හැකියාවක් නැහැ..මේකේ ආරම්භය සහ විකාශනය ගැන මම දන්න දේවල් ටික ලියන්න ලියල දාන්නම්.. පහුගිය කාළේ කිහිප දෙනෙක්ම පරණ බ්ලොග් සහ මීට වසර 5-6කට කලින් කොහොමද මේ සිංහල යුනිකේත සහ බ්ලොග් කලාව තිබුණේ කියන එක ගැන උනන්දු වෙලා තිබ්බා.. ඉතින් දන්න දේවල් ටික ලියල දාන්න හිතුවා...මට මඟ හැරුනු පුද්ගලයින් සහ බ්ලොග් පිළිබ්ඳව මට වඩා මේ ගැන දන්නා කෙනෙක් විසින් අප සැම දැනුවත් කරයි කියල බලාපොරොත්තු වෙනවා..

සිංහල යුනිකේතයේ ආරම්භය ගැන නිල වශයෙන් දැන ගැනීමට දැනට ඇති හොඳම අඩවිය http://www.siyabas.lk/history ලෙස සළකන්න පුළුවන් මේක රාජ්‍ය මට්ටමින් දියුණු වෙච්ච තාක්ෂණයක්  ඒ නිසා බොහෝ වගකිව යුතු අය ඉන්නවා.  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මඟින් සිංහල යුනිකේත සංවර්ධනය සඳහා ලබා දී ඇති සහය සහ වර්තමානයේ දී ලබා දෙන සහය පිළිබඳව වැඩි විස්තර ලබා ගත හැක.

යුනිකේත භාවිතා කරන්නන් හට මුල් කාලයේ ඇතිවූ ගැටලු සහ ඒවාට විසඳුම් ලබා ගැනීම පිණිස පිහිටුවා ගත් සිංහල යුනිකෝඩ් සමූහය 2006 වසරේදී ආරම්භ කරන කළා.

සිංහල යුනිකේත සමූහයේ ආරම්භය සඳහා මුලීකත්වය ගැන ඇත්තේ අප සැවොම දන්නා කපුටා සිංහල අකුරු සෑදූ ඊ ෆියුෂන් සමාගමේ සාමාජිකයින් විසින්. සමූහයේ මූලිකත්වය ගෙන කටයුතු කළේ නිරංජන් මීගම්මන මහතා, කපුටා කට්ටියත් එක්ක හිටපු රන්දුනු සහෝදරයාවත් මතක් කළ යුතුයි.

මා සිංහල යුනිකේත සමූහය හා සම්බන්ධ වූ ආකාරය මෙහි සරලව දක්වා ඇත.

මුල්ම කාලේදි තිබිච්ච ගැටලු
  1. සිංහල යුනිකේත අකුරු වල ඉස්පිලි පාපිලි කොම්බුව ආදී දේවල නිවැරදිව නොපෙන්වීම, 
  2. ගොඩක් වෙලාවට  යුනිකේත අකුරු නිවැරදිව දර්ශනය නොවීමේ රෙන්ඩරින් ගැටලු තිබුණා. 
  3. අනිත් එක විවිධ බ්‍රව්සර් වලදි ආපු ගැටළු.. 
  4. ඊට පස්සේ වින්ඩෝස් ඔෆිස්,ෆොටො ෂොප් වගේ එදිනෙදා අපි පාවිච්චි කරන සොෆ්ට්වෙයාර්ස් වලදි ආපු ගැටළු...
  5. ඩෙස්ක්ටොප් පබ්ලිෂින්  වැඩ වලදි අතීතයේ පාවිච්චි කරපු විවිධ ෆොන්ට් වර්ග වෙනුවට යුනිකේත භාවිතා කිරීම සහ ඒ සම්බන්ද ගැටළු 
  6. ලිනක්ස් වල සිංහල පිහිටුවීමේදී සහ භාවිතයේදී ආපු ගැටළු 
  7. සිංහල භාෂාවේ ඇති සමහර අක්ෂර සහ ඒවායේ යෙදීම් ගැනත් කතා බහ වුණා.. ගොඩක් වෙලාවට අන්තර්ජාතික සම්මත සමඟ සිංහල භාෂාව සම්බන්ධ වීමේදී ඇතිවූ ගැටළු.
ඔන්න ඕවට විසඳුම් සාකච්ඡා කරන එක තමයි මුලික වශයෙන් අපි (මම කළේ බලන් හිටපු එක විතරයි) මේ සමූහයේදි කළේ..

සිංහල ටයිප් කිරීමේ ගැටළුවත් ගොඩක් දෙනෙකුට තිබ්බා.. ඒකට විසඳුම් වශයෙන්
  1. ගාර්ප් සිංහල යතුරු ලියනය
  2. අපි කවුරුත් දන්න විජේසේකර කී බෝඩ් එක 
  3. ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් හදපු එසැනින් පරිවර්තකය  
වගේ දේවල් භාවිතා කිරීම සහ ඒවායේ ගුණ දොස් විචාරය වගේ දේවල් සිද්ධ වුණා. මේ කාලේදී කොළඹ විශ්වවිද්‍යාලීය භෂා තාක්ෂ්ණ පර්යේෂණ ආයතනය විසින් යුනිකේත සම්බන්ධ බොහෝ අත්හදා බැලීම් සහ නව නිපැයුම් සිද්ධ කළා මම හිතන්නේ..
  1. ෆයර් ෆොක්ස් වලට හදපු ඉංග්‍රීසි සිංහල ශබ්ධකෝෂය ගොඩක් ම ජනප්‍රිය වෙලා තිබුණා..  මම හිතන්නේ දැන් නම් ඒක වැඩ නැද්ද කොහෙද.. මේක හැදුවේ අසංක වාසල කියල සහෝදරයෙක් මට මතක විදියට
  2. ඩනිෂ්ක නවීන් සහෝදරයා විසින් ෆයර් ෆොක්ස් සිංහල වර්ෂන් එකක් නිකුත් කිරීම.. 
  3. මලින්ත මල්ලි ගේ වර්ඩ්ප්‍රෙස් සිංහල සංස්කරණයක් නිකුත් කිරීම, 
  4. දසුන් සමීර මල්ලි ගේ ෆොන්ට්ස් සම්බන්ධ ගැටළු විසඳීම් එහෙම ගොඩක් තිබ්බා... 

මීට අමතරව තව බොහෝ අය විසින් විවිධ දේ කළා.. මම නම් කළේ සිංහලෙන් එක එක බයිල ලිය ලිය හිටපු එක තමා.. හැබැයි ඒ කාලේ මම දන්න කියන හැමෝගෙම මැෂින් වලට යුනිකෝඩ් දාල හීන් සැරේ පොඩි පොඩි පබ්ලිසිටි වැඩ කළා..

සිංහල යුනිකේත සඳහා විවිධ අකුරු වර්ග හැදීම ගැනත් අවධානය යොමු වෙලා තිබුණා.. මම හිතන්නේ කපුටා ෆොන්ට් එක හදපු ඊ ෆියුෂන් සමාගමේ කට්ටිය ඒ වෙනුවෙන් වැඩ කළා..

ජංගම දුරකතන සඳහා සිංහල යුනිකේත සහය ගැනත් අපි හෙව්වා බැලුවා.. (මම ඕකට සැට් උනේ CDMA වලට සිංහල දාන්න පුළුවන් ද බලන්න ගිහින් නේ)

සිංහලෙන් ලියන්න ආස නිසා මම මුලින් ම ගෙදර ගිහින් වර්ඩ් වල සිංහලෙන් ලිව්වා.. එහෙම ලියපු ලෝකෝපකාරය පොතේ පිටු කිහිපයක්  මම පස්සේ බ්ලොග් එකට දැම්මා.. ලෝකෝපකාරය ලියන්න හේතුව වුණේ ඒ දවස් වල මගෙ ළඟ ඔය විවිධ සිංහල මහාප්‍රාණ අකුරු තියෙන පොතකට තිබ්බේ ඕක විතරක් නිසා... ඕකෙ තියෙන එක එක අකුරු ලියන්න පුළුවන් ද බැරිද කියන එක ටෙස්ට් කරන්නත් එක්ක මම ඕක වර්ඩ් වල ටයිප් කළා..

සිංහලෙන් අකුරු ලියන්න ඇත්තටම ඒ දවස් වල මම නම් හෙන ආස කළා.. මොකද එක එක ෆොන්ට්ස් වර්ග දාගෙන අකුරු ගලප ගලප හොය හොය ලියනවට වඩා සිංහල යුනිකේත භාවිතාව මාර විදියට ලේසි වෙච්ච නිසා.. මට කොහොමත් විජේසේකර කී බෝඩ් එක එච්චර බැරි නිසා මම හුරු උනේ ගාර්ප් එකට.. එදා සිට අද දක්වා ගාර්ප් ම තමා.

සිංහල යුනිකෝඩ් සමූහයේ හෙන රසවත් දේවල් තිබ්බා.. ඒ කියන්නේ මුලින්ම සමහර අයට තිබ්බා කොම්පුටරේ සිංහලෙන් වැඩ කරන්න හදන එක මහ විකාරයක් අපී තාම ඉන්නේ දූපත් මානසිකත්වයේ ඒ නිසා මේව මහ තේරුමක් නැති වැඩ කියල තර්ක දාපු අයට උත්තර දෙන එක නැඟල ගියා... වලි හෝ ගාලා..

ඊට පස්සේ ආයේ එකක් තිබ්බා සිංහලට මුර්ධජ අකුරු අවශ්‍යද නැද්ද කියන එක ගැන කතාබහක්.. ඒකත් හොඳට නැඟල ගියා වගේ මතකයි.. වෙබ් අලෝචනා බ්ලොග් එක ලියන ආනන්දවර්දන මහත්තයා එයාගේ සයිට් එකේ කිසිම  මුර්ධජ  අකුරක් භාවිතා නොකරනව කියල ඒ දවස්වල  මුර්ධජ  නැතුව බ්ලොග් ලිව්වා.. තාමත් ඒක එහෙම ද කියල මම බැලුවෙ නම් නෑ.. නමුත් ඒ දවස් වල නම්  මුර්ධජ නැතුව බ්ලොග් ලිව්වා..

තව සිරාම සංවාදයක් ගියා ජැක්සන් ඇන්තනීගේ අබා ෆිල්ම් එක හදපු දවස් වල... මහාචාර්‍යය නලින් ද සිල්වා මහත්මයගේ චින්තන පර්ෂදයේ කට්ටියක් සෙට් වෙලා හෙන ටෝක්ස් දුන්නා.. ෆිල්ම් ඒකේ තිබිච්ච සිංහලට විරුද්ධ සමහර දර්ශන ගැනයි ෆිල්ම් එක ගැනයි..  බොහොම රසවත් කතා බහක් උනා ඒකත්.. 

 ඒ වගේම සිංහල යුනිකේත යොදාගෙන රාජ්‍ය මට්ටමින් වෙබ් අඩවි නිර්මාණයත් මේ වෙනකොට පටන් අරං තිබුණා... ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් මූලිකත්වය ගෙන පටන් ගත් නැණසල මධ්‍යස්තාන වල සිංහල යුනිකේත භාවිතය ප්‍රචලිත කිරීම, ශිල්ප සයුර  වැනි අධ්‍යාපනික වෙබ් අඩවි නිර්මාණය, ශිල්ප සයුරේ තේමා පාඨය ගැන අදහස් විමසිම් එහෙම සිංහල යුනිකේත සමූහයේ කතා බහ වුණා.. ඒ වගේම එම අඩවියේ මූලික වටයේ ටෙස්ටින් වලටත් අපි සහභාගි වුණා..

ඔය අතරේ එක් එක් අය පුද්ගලික් බ්ලොග් ලියන්න පටන් ගත්තා..

ගොඩක් ජනප්‍රිය වෙච්ච එකක් තමා වෙබ් අලෝචනා... ඒක ලියන ආනන්දවර්දන මහත්මයගේ සැබෑ නම මොකක් ද කියල මම නම් අද වෙනකන් දන්නෙ නෑ.. නමුත් ඒක හරි ජනප්‍රිය උණා...  තව ධම්මිකගේ බ්ලොග් සටහන් කියල එකක් ලිව්වා ධම්මික කියල මහත්මයෙක් සිංහල බ්ලොග් කියවනයේ අන්තිම පිටුවට ගිහින් බැලුවොත් ඒක තමා අන්තිමටම තියෙන්නෙ.. ඒ කියන්නේ මුලින් ම සින්ඩිකේට් වෙලා තියෙන්නෙ ඒක..

මට මතක හැටියට මලින්තගේ සටහන්, හර්ෂණ ගේ බ්ලොග් එක,ශ්‍රී ශානු ගේ බ්ලොග් එක,  ඒ දවස් වල ලියවුණා. සුපුන් සුදාරක මල්ලිත් සිංහල යුනිකේත සමූහයේ කටයුතු වලට ක්‍රියාකාරීව සහභාගි වුණා. කොත්තු සයිට් එක ඒ කාලෙත් තිබුණා සිංඩිකේටරයක් විදියට. හැබැයි ගොඩක් සිංඩිකේට් කළේ ඉංග්‍රීසි බ්ලොග්.. 

ඔය බ්ලොග් සහ සාකච්ඡා යන අතරේ මට මතක විදියට කාලිංගත් සිංහල යුනිකෝඩ් ගෘප් එකේ තාක්ෂණික ගැටළු සාකච්ඡා කරන්න එකතු වුණා. ඔය කතා බහ යන අතරේ මලින්ත මල්ලිගේ යෝජනාවකින් ද කොහෙද මේ සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය පටන් ගත්තා.. ඊට පස්සේ සිංඩිකේටරේ පටන් අරං ටිකෙන් ටිකෙ මේ බ්ලොග් ලියවිල්ල මේ අද දක්වා ඇවිල්ල තියෙනවා..

පස්සේ ටිරෝන් වික්‍රමරත්න කියල කෙනෙක් අපිත් එක්ක එකතු වුණා.. ගොඩක් තාක්ෂණික කරනු වලදි කතාබහට එකතු වෙලා පස්සේ සිංහලෙන් ලංකාවේ ඉතිහාසය ගැන වෙබ් අඩවියක් කිරීමේ අදහසක් ගෙනල්ලා ඒ වෙනුවෙන් වැඩ කළා. Lanka History Portal  කියල ගූග්ල් සමූහයක හදාගෙන අපි ගොඩක් දේවල් සාකච්ඡා කළා.. දවසක් නුවර ගිහින් පෙරාදෙණිය කැම්පස් එකේදී මීට් වෙලා අපි ඔය ඉතිහාස ප්‍රොජෙක්ට් එක ගැන සාකච්ඡා කළා (මම බයික් එකේ මුලින් ම නුවර ගියේ එදා හික්). ටිරෝන් ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා වැඩ කළා.. මලින්ත මල්ලි ලස්සන සයිට් එකකුත් ඩිසයින් කළා මතකයි.. චාමර පීරිස් ,වරුණ  එහෙම ඒ කාළේ මේ වෙනුවෙන් සම්බන්ධ වෙලා හිටියා.  ශ්‍රී ලංකාවට විජය කුමාරය එන්න කලින් ඉතිහාසය හොයල ඒක ලියන වැඩේ මම බාර ගත්තා.. රාවණා උණ හැදිල තිබිච්ච කාලේ නිසා..  හැබැයි වැඩි දෙයක් හොයා ගත්තේ නෑ.. ලංකා වත කියල මරු පොතක් හොයා ගෙන බැලුවා... හරි ලස්සන ප්‍රබන්ධ කතාවක්.. හැබැයි ඇත්ත නෙවෙයි..

අපිට වෙඩ් අඩවියට ගන්න ඕනේ වෙච්ච ඩොමේන් නේම් එක ගැනීමේ ගැටළුවක් නිසා ඒ වැඩේ ටිකෙන් ටික මඟ ඇරිලා ගියා.

මම දන්න විදියට 2006 සිට සිංහල යුනිකේතය සහ සිංහල බ්ලොග් ජනතාව අතරට ගෙන යන්න විවිධාකාර වශයෙන් සහයෝගය දීලා ඒ වෙනුවෙන් ඇප කැප වී වැඩ කරපු අය ගොඩාක් හිටියා... මෙතන ඒ අය හැමෝගෙම  නම් කියවෙලා නෑ.. මම අවංකවම ඒ අය ගැන දන්නෙ නෑ.. නමුත් එහෙම පිරිසක් සිටි බව විතරක් දන්නවා.

මට මඟහැරුණු  නම් සහ බ්ලොග් අඩවි තව ගොඩක් ඇති.. ඒ අයෙගෙන් අවංකවම සමාව ඉල්ලන ගමන් අපි නොදන්න විස්තර ලබා දෙන්න කියලත් මතක් කරන්නම්.

Monday, April 02, 2012

කුංෆූ බලන්න කැමති ද?

පහු ගිය දවස් ටිකේ ලියපු පෝස්ට් වලදි මතක් වෙච්ච නිසා මට මේක හොයල ඩවුන්ලෝඩ් කරන්න හිතුණා...  පළවෙනි සීසන් එකේ කොටස් කීපයක් මේ වෙනකොට ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි.. ටී.වී එකේ බලපු  කොලිටි එකම වගේ තියෙනවා.. කැමති අය බාගෙන බලන්න...

සීසන් 1

සීසන් 2

මේකේ තියෙන අදහස් ටිකක් තේරුම් අරං අපේ එදිනෙදා ජීවිතේට එකතු කරගන්න පුළුවන් නම් වටිනවා... අපි මේ හැමදාම දකින මිනිස්සු,දේවල් දිහා වෙනස් විදියට බලන්න හිතෙයි..

මේකේ කතාව ගැන පූර්ව හැඳින්වීමක් අනවශ්‍යයි කියල හිතුණා... ලියන්න කම්මැලි කම නම් නෙවෙයි..


Monday, March 19, 2012

Accept the way of others

මේ අදහස කොච්චර ලස්සනට මේකේ තියෙනවද...? අපි අවුරුදු බර ගානක් තිස්සේ මේවගේ  ගැඹුරු දේ ගැන දන්නවා... ඒ දන්න දේ ගැන ලොකු ආඩම්බරේකුත් තියෙනවා... හැබැයි මේ සරල දේ අපේ ප්‍රායෝගික් ජීවිතේදී ක්‍රියාත්මක කරන්න අපිට නොතේරෙන්නෙ ඇයි.. ?  ලෝකේ ගෝලාකාරයි මිනිස්සු විවිදාකාරයි කියල ලිස්සල යන අය අතරේ උපේක්ෂාවෙන් බලල තමන්ගේ අභ්‍යන්තරය ගැන පුංචි හරි වැටහීමක් ලබා ගන්න උත්සාහ කරන අය ඉන්නෙ හරි ස්වල්පයයි කියලයි මට හිතෙන්නේ...  එහෙම තේරුම් ගන්න තරම් විවෘත සිහියක් අපට නෑ වගේ... එදිනෙදා ජීවිතේදී අපිට කොච්චර මිනිස්සු හම්බ වෙනවද.. කොච්චර මිනිස්සු එක්ක අපි වැඩ කරනවද? යාළුවෝ, නෑදෑයෝ, ආදරේ හිතෙන අය, පේන්න බැරි චරිත, එපා කරපු උන්, සිරා පොරවල් ඔන්න ඔය වගේ එක එක විදියේ අය...

ඔය කැටගරි වලට අපි දාගෙන ඉන්න ඔක්කොම මිනිස්සු අපි වගේමයි කියල නිකමට හිතෙන්නෙ නැද්ද? එක එක්කෙනා ජීවිතේ ජීවත් වෙලා තියෙන විදිය අනුව, එයාලට ජීවිතෙන් ලැබිල තියෙන දේ අනුව, ජීවත් වෙච්ච සමාජය හා පරිසරය අනුව ඒ මිනිස්සු ඒ ඒ විදියේ චරිත වෙනවා... ඒ චරිත අපිත් එක්ක ජීවත් වෙනකොට එක එක විදියේ ගති ගුණ අපිට පේනවා... ඒ පෙනෙන දේ අනුව අපි ඒ මනුස්සය ගැන තීරණ ගන්න එක කොච්චර හරිද වැරදිද කියල හිතල බලන්න හිතෙන්නෙ නැද්ද.... එහෙම තීරණ ගතයුතු අවස්තා සහ නොගත යුතු අවස්තා ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ... එහෙම නොකලොත් අපි අමාරුවේ.. හැබැයි ඒක ඒ මොහොතට විතරක් සීමා කරල අවස්තාවට හරි යන විදියට හැසිරිලා හිත ඇතුලින් ඒ මනුස්සයව මැනල එයා ගැන අපි තීරණ අරගෙන ඒ මනුස්සයගේ පවුල,රැකියාව,කතා බහ,හැසිරීම් ඔක්කොම අපේ ඔලුවට අරගෙන.. සිතිවිලි ජාලයක් ගොඩනඟාගෙන ඉන්න එක හෙන තේරුමක් නෑ නේද..

අපි කොච්චර මිනුම් වලින් මිනිස්සු මැනල ඒ මිනිස්සු ගැන තීරණ අරගෙන ජීවත් වෙනවද..? එහෙම මිනිස්සු තේරුම් අරගෙන ජීවත් වෙන එක අනිවාර්‍යයෙන් ම කරන්න ඕනේ දෙයක්... එහෙම නොවුනොත් මේ සමාජේ අපිට ඉන්න අමාරුයි... හැබැයි ඒ මනුස්සය ගැන අපේ හිත ඇතුළේ  තියෙන්න ඕනේ හැඟීම හරිම සරල වෙන්න ඕනේ.. මේ යකා මෙහෙම කරන්න මේ නිසා මිසක් වෙන මොකුත් නිසා නෙවෙයි කියල සරල ව හිතල අර හිත ඇතුලේ ස්ටාර්ට් වෙන්න ට්‍රයි කරන සිතිවිලි එන්ජින් එක නතර කරල දාන්න පුළුවන් නම් අපිට මේ සමාජේ ඕනේම තැනක ඕනෙම කෙනෙක් එක්ක කිසි අවුලක් නැතුව ඉන්න පුළුවන්...

වැදගත් ම දේ අපි කාත් එක්ක හෝ ගත කරන මොහොත ඒ මනුස්සය සමඟ අදාල කාරණේට පමණක් සීමා කරගෙන ඉන්න එක.. අපි කාත් එක්ක හරි ඉන්න අතරේ අර සිතිවිලි එන්ජිම ස්ටාර්ට් කරගෙන මම කවුද මූ කවුද වගේ හිතන්න පටන් ගත්තම වෙන්නේ.. ඌ උගේ විදියට ඉඳල උගේ වැඩේ කරගෙන යයි.. අපි ඔක්කොම පැත්තක දාලා මෙහෙම කලේ ඇයි, මෙහෙම කරන එක හරිද වැරදිද.. හරි ෂෝක් අනේ, මට නම් පේන්න බෑ, මහ කපටියෙක්, නියම පොරක්, මම නම් එයා එහෙමයි කියල හිතුවා.. මට නම් ඔය වගේ මිනිස්සු එක්ක ඉන්න බෑ... ඊ.ටී.සී,ඊ.ටී.සී

මම හිතන්නේ මේ දේවල් අපි හැමෝම දන්නවා.. හැබැයි ප්‍රායෝගිකව කරන්නෙ නෑ.... ප්‍රායෝගිකව කලත් කරන්නේ බාගෙට.. හිත හදාගන්නව කියල අර ස්ටාර්ට් කරගත්ත එන්ජිම ටිකක් ලෝ ගියර් එකකට දා ගන්නව වගේ දෙයක් කරල තාවකාලිකව පොඩ්ඩක් සැනසෙනවා.. හැබැයි ආයෙත් අර සිද්ධියට මූණ දෙනකොට ටොප් ගියර් එකට ඔටෝ වැටිල හතර අතේ ගා ගන්නවා...

එහෙම නොකර ඔහේ යන්න අරින මිනිස්සු අපිට ජීවිතේ හම්බ වෙනවා.. ඒ වගේ අයත් එක්ක ජීවත් වෙන එක කොච්චර ලේසිද කියල අපිටම දැනෙනවා.... හැබැයි අපිත් අනිත් කෙනාට ඒ වගේ දැනෙන්න ජීවත් වෙන්න ඕනේ කියල හිතන්නේ නෑ... සරල කම ගැන කතා කර කර අපි සංකීර්ණව ජීවත් වෙනවා...

අපිට බැරි වුණානේ 70 ගණන් වල හදපු මේ කුංෆූ වගේ මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරවන්න පුළුවන් අදහස් තියෙන එක කතා මාලාවක් හදා ගන්න...

අපිට නියම සභ්‍යත්වයක් සහ සිස්ටාචාරයක් උපතින්ම ලැබෙන නිසා මේ වගේ දේවල් ගැන නිර්මාණශීලීව හිතන්න හිතෙනනෙ නෑ මම හිතන්නේ.. කොහොම හරි කරල පොෂ් විදියට ජීවත් වෙන්න කීයක් හරි හම්බ කර ගන්න විදියක් හොයන එක තමා අපි කර ගන්න ඕනේ...

Wednesday, March 14, 2012

ලංකාවට හඳ අහිමි වූ හැටි...

මේක දැක්කම මට නම් අවංකවම හිතා ගන්න බැරි වුණා... හැබැයි ඉතින් අපිට මේව ගැන තියෙන උණ ගොඩක් අයට නැති නිසා මෙහෙම දේවල් ඉතිහාසේ වෙලා තියෙන එක සාධාරණයි..   අපි හැමෝම බනින (මමත් එක්ක) ඇමරිකාව මේ ලෝකෙට කරන දස දහසක් විනාශ  අතරේ මුළු මිනිස් වර්ගයාටම වැදගත් වෙන වැඩත් කරනවා..    ආත්මාර්ථකාමීව තමන් ගැන විතරක් හිතාගෙන වැඩ කළාට  අනිත් අයත් එක්ක තමන්ගේ මහන්සියෙන් දියුණු කරගත්ත දේවල් බෙදා හදා ගන්න අවස්ථාත් තියෙනවා..  ඒකෙන් ඔවුන් වෙන වෙන සැඟවුණු වාසි ලබා ගන්න එක වෙනම කතාවක්... නාලක ගුණවර්ධන මහත්මයගේ මේ ලිපිය කියවල බලන්න... අපේ ඉතිහාසේ අපි නොදන්න දේවල් කොච්චර වෙලා ඇති ද කියල හිතුණා මට නම්..

කම්මැලි පෝස්ට් අංක 2...  අච්චර ලස්සනට ලියල තියෙන පෝස්ට් එකකින් අදහස් අරගෙන මගේ මෝඩ ආතල් ටිකක් දාල අලුත් පෝස්ට් එකක් ලියනවට වඩා සරලවම ලින්ක් එක දාල වැඩේ ගොඩ දාන එක කොච්චර ලේසි ද..

Tuesday, March 13, 2012

විශ්වයේ අන්තිම සිංහල වචනය...

මේක ගැන ගොඩක් දෙනෙක් අහල ඇති.. හැබැයි සම්පූර්ණ විස්තරය මමත් හරියටම දැන ගත්තේ අද..  වැඩි විස්තර මම කියනවට වඩා මෙතනින්ම බලා ගන්න එක හොඳයි..


Tuesday, March 06, 2012

ඔරායන් දැක්කෙමි

හෙන කාලෙකින් ඔරායන් දැක්ක. කලුවරේ ගලක් උඩ නිදාගෙන තරු පිරිච්ච අහස දිහා බලාගෙන ඉන්න එක කොච්චර ආතල් වැඩක් ද? මමයි මමයි අක්කයි දිමුතුවයි ගල් පර්වතේ උඩ හතර පැත්තට නිදාගෙන අහස බලන් හිටියා.. අනිත් 3දෙනා නම් ඇස් පියාගෙන ද කොහෙද ...මම නම් තරු බැලුවා..  තාරකා විද්‍යා උණ කවදාවත් හොඳවෙන එකක් නෙවෙයි..  ඉස්සර උත්තල කාචෙකුයි අවතල කාචෙකුයි බටේකට හයි කරගෙන දුරදක්න හදන් අහසේ තරු බැලුවා කවදා හරි අභ්‍යවකාශ ගාමියෙක් වෙනව කියල හිතාගෙන... දැන් මේ ගලක් උඩට නැඟල තරුවක් බලාගෙන ඉන්නවා.. සංසාරේ කිව්ව ලු...

Monday, March 05, 2012

වීරයෝ

වීරයෝ ගොඩක් ඉන්නවා.. එක එක කාලෙට මේ වීරයෝ වෙනස් වෙනවා.. ඉස්සර හිටපු වීරයෝ ගැන පොඩ්ඩක් ලියන්න හිතුනේ අද ටී.වී එකේ සිටුවර මොන්ට ක්‍රිස්ටෝ බැලුවට පස්සේ... රූපවාහිනය ඉපදුනේ මම ඉපදිලා අවුරුද්දකට විතර පස්සේ.. අපිට ටී.වී එකක් බලන්න හම්බවුණේ ඉපදිලා අවුරුදු 7-8ක් ගියාට පස්සේ.. ටී.වී එක දකින්න කලින් පොත පතින් කියවල තිබ්බ.. සුරංගනා කතාවල වීරයෝ ගැන.. ඊට පස්සේ තුන් යහළු වික්‍රමය,කල්ලන්දූවේ මුතු කොල්ලය,මඩොල් දූව වගේ පොත් වලින් තවත් වීර චරිත හම්බ වුණා... ඉස්කෝලෙදි ඉතින් දුටුගැමුණු,වළගම්බා,දසමහ යෝධයෝ වගේ පුරාණ වීරයෝ ගැන ඔළුවට දැම්මා..  පස්සෙ පස්සේ සැබෑ ලෝකයේ අය වීරයෝ වුණා.. ඒ කිව්වේ තෝමස් අල්වා එඩිසන්,මාර්කෝනී,ලොගී බෙයාර්ඩ් ඒවත් ඔය පොඩි පොඩි පොත පත කියවල දැන ගත්තේ...

ටික කාලෙකින් ටී.වී එකෙන් හිතා ගන්න බැරි විදියේ වීර චරිත දැක්කා.. මැගයිවර්,රොබින් හුඩ්,ටාසන්,නයිට් රයිඩර්,ස්ට්‍රීට් හෝක්,කාටුන් වල හිටපු ගලිවර්,හී මෑන්,මන්කි මෑන්.. හිතා ගන්න බැරි තරම් වීරයෝ විදියට අපේ පුංචි හිත් වලට කා වැදිල තිබුණා...

රොබින් හුඩ් ගේ දුන් සෙල්ලම්,ටාසන් වගේ වැල් වල එල්ලිලා යන්න.. ඊට වැඩිය දෙයක් තිබ්බෙ නෑ.. මේ තාක්ෂණික රැකියාවල් වලට එන්න අපේ හිත් යොමු කළේ මයිකල් නයිට් ද මන්ද... අපේ අක්කට ලැම්බට් කියන නම අද දක්වාම පවුලේම ජනප්‍රිය නමක් ලෙස මා විසින් රෙජිස්ටර් කළේ ඒ දවස් වල තිබ්බ ටයිම් ට්‍රැක්ස් කියන කතාවේ වීරයගේ නම.. සිරා සීන් එක කියන්නේ..කතාව පටන් ගන්න කලින් පොඩි පොඩි කමිං කෑලී දානකොට අක්ක කිව්ව ඔන්න ඔය කතාවේ ඉන්න වීරය නම් මමයි ඈ කියල.. හික් හික්.. වීරයගේ නම ඩැරියන් ලැම්බට්... එදා ඉඳන් මට අපේ අක්ක ලැම්බට් තමා..(අක්ක මේක බලන්නෙ නෑ.. ඒ නිසා අවුලක් නෑ)

පස්සෙ පස්සේ මනුතාපය,මොන්ට ක්‍රිස්ටෝ සිටුවරයා, කුංෆූ වගේ කතා මාලාවල් වලින් අපේ ජීවිත වලට වෙනස්ම විදියේ වීර චරිත ඇතුලත් කළා.. ජෝන් වැල් ජෝන් ගේ අසරණ කම.. අසරණ කම තුළින් ජීවිතය දිනන හැටි.. බඩගින්නට පාන් ගෙඩියක් හොරකම් කලත් ජීවිත කාලයක් දුක් විඳින්න සිද්ද වෙන්න පුළුවන් කියන පුංචි පාඩම් අපේ ඔලුවල තැන්පත් කළා.. ක්වායි චෑන් කේන් ගේ ජීවිතය,පළගැටියා,ගුරුතුමා.. සංකීර්ණ ජීවිත පාඩම් හරීම ලස්සන විදියට අපේ හිත්වලට කාවැද්දුවා... (කුංෆූ සීරීස් එක නම් ආයේ බලන්න නියම කාලේ දැන්)... මොන්ට ක්‍රිස්ටෝ සිටුවරයාගේ හිරෙන් පැනීම, ඔහුගේ කුමන්ත්‍රණ.. හැමදාම හිතේ තිබුණා....

ටී.වී එක දියුණු වෙලා තොරතුරු වැඩි වැඩියෙන් එනකොට.. චිත්‍ර පටි වලින් විජය,ජීවන්, බෘස් ලී,ආනෝල්ඩ්,ජැකී චෑන්,වෑන් ඩෑම්,චක්නෝරිස් අපිට හම්බ වුණා.. ඒ වෙනකොට ටාසන්,රොබින් හුඩ් ටිකක් යල් පැනල...
ආනෝල්ඩ්ගේ, බෘස් ලී ගේ පිංතූර කොල ගන්න එක තරම් වෙන ආතල් වැඩක් තිබ්බේ නෑ.. ඉස්කෝලේ ගාව ස්ටිකර් විකුණන සීයලගෙන් හොයන්නෙම ඕවා තමා...

ලව් සික් ඔළුවට ගහන් කාලේ එනකොටම මෙන්න ආවේ නැතෑ.. අමීර් කාන්,සලමන් කාන්,ෂාරුක් කාන්,අමිතා බච්චන්,ජැකී ෂරොෆ්,සංජේ දත්,මධුරි ඩික්සිත්(මගේ ප්‍රථම ප්‍රේමය),ශ්‍රී දේවී,ජූහි චව්ලා.. පිස්සු ගොඩයි..
ඉස්සර ගැමුණු විජේසූරිය රේඩියෝ එක්කෙ ඇඩ් එක කියවන්නේ..සුරූපී ශ්‍රී දේවි,ලස්සන අමීර් කාන් රඟන අලුත්ම චිත්‍රපටිය ආවා අවා ආවා.. කියල.. හික් හරි ආතල් අප්පා..

ඊට පස්සේ හින්දි ඉංග්‍රීසි ෆිල්ම් වලින් තව සෑහෙන්න වීරයෝ ටිකක් සෙට් වුණා.. පස්සෙ පස්සේ කාටුන් වලින් තවත් අමුතුම වීර චරිත හම්බ  උනා සුපර් මෑන්,ස්පයිඩර් මෑන්, බැට් මෑන්,හල්ක්, ප්‍රොෆෙසර් එක්ස්,එක්ස් මෙන් සෙට් එක,තන්ඩර් කැට්ස්,සිල්වර් හොක්ස් සිරාම ෆැන්ටසි ලෝකයක් මැව්වා... තාම මතකයි මම ත්න්ඩර් කැට්ස් එකේ තිබ්බ වාහන කඩදාසි වලින් හදන්න ට්‍රයි කරපු හැටි..(ඔරිගාමී හංසයෝ,ප්ලේන්,ගෙම්බෝ,නැව්,රුවල් නැව්) ඕව හදන්න තාම ආස හිතෙන්නේ ඒ නිසා වෙන්න ඇති..

අර්ජුණ,අරවින්ද,ගුරුසිංහ,මහානාම,වකාර් යුනිස්,අක්‍රම්,ලාරා,ඇම්බ්‍රෝස්,වොල්ෂ්,ආසර්ඩීන්,අනිල් කුම්බ්ලේ,තෙන්ඩුල්කාර් කාලයක් වීරයෝ වෙලා හිටියා.. .. 

උ.පෙ ට ගණන් කරන්න ගත්තට පස්සේ අයින්ස්ටයින් තරම් පොරක් හිටියේ නෑ... ආතර් සී ක්ලාක්,අයිසැක් ඇසිමෝව්,කාල් සාගන්,ඇලික්සි ලියනොෆ්, හික් හික්.. හල් 9000,ඩේව් බෝමන් අම්මට හුඩු අන්න පොරවල්.. 

පස්සේ ඉතින් බිල් ගේට්ස්, ජේම්ස් ගොස්ලින් (ජාවා හැදුවේ මෙයා) ට තමා දෙයියන්ට වගේ සැලකුවේ..
ඉගෙන ගෙන ඉවරයක් කරල රස්සාව කරනකොට ජීවිතේ බර ටිකක් දැනිලා දැන් ඉතින් සෙල්ලං නෑ වගේ කියල හිතෙනකොට හම්බ වුණා තවත් වීරයෝ ටිකක්... මහත්මා ගාන්ධි,බලංගොඩ ආනන්ද මෙත්‍රිය හාමුදුරුවෝ, ඒබ්‍රහම් ටී කෝවුර් (පස්සෙ මට එපා උණා), ඊ.ඩබ්ලිව් අදිකාරම් මහත්මයා, ජේ.ක්‍රිෂ්ණමූර්ති තුමා වගේ අය ගැන කියවනකොට සැබෑ වීර චරිත වල දැක්ක මවා ගත් ප්‍රතිරූපවලට වඩා ප්‍රතිරූප නැති අවිහිංසක චරිත වීරයෝ වුණා... 

ඉස්සරහට තව අලුත් වීරයෝ හම්බ වෙයි... හැබැයි ඒ ගොඩක් වීරයෝ මවාගත් ප්‍රතිරූප විතරයි කියන එක ගොඩක් වෙලාවට දැනෙන නිසා ඉස්සර තරම් හිතට වදින එකක් නෑ.. ඒ වෙනුවට මහමඟ යදින අසරණ මිනිස්සු ඇතුලේ තියෙන මනුස්ස කමෙන් වීරයෝ දකින්න තමයි දැන් හිත කැමති


Thursday, March 01, 2012

උපන් දින සුභ පැතුම් සහ නිවන් සුව පැතීම

මේවගේ දේවල් ගැන මම කතා කරන්න වැඩිය කැමති නෑ...  වඩා හරි දේ මේකයි කියල මතයක් ප්‍රකාශ කරල පොඩි ආතල් එකක් ගන්නවට වඩා.. තියෙන දේ තමන්ට හරියනවනම් ගත්තා නැත්නම් නිකා හිටියා තමා මගේ උපන් හැටි...

මේක ගැන ඔලුවට ඇවිල්ල දැන් ටික කාලයක් උනාට ලිව්වෙ නෑ... නමුත් කලින් පෝස්ට් එකේ තාත්තාගේ ජීවිතය සහ මරණය ගැන ලිව්වට පස්සේ මේකත් ලියල දාන්න හිතුණා...

වැඩි විස්තර නැතුව සරලව කියල දාන්නම්...ඉතා කලාතුරකින් ලැබෙනවායැයි කියන මිනිසත් බවක් ලැබී.. හොඳ නරක තේරේන සමාජයක ජීවත් වීමේ වාසනාව තියෙන අපි මේ ලබාගත් ජීවිතය තුළ ලබා ගත හැකි වටිනාම දෙය ලෙස සලකන නිවන් (අනෙකුත් ආගම් වලටත් අදාලව) සැප කෙනෙකුට ලැබේවා යැයි ජීවත් වන සෑම වසරකම සුභ පැතීම වරදක් ද..?

මිය ගිය පසු නැවත් ඉපදීමක් ගැන අප විස්වාස කරනවානම්.. නොදන්නා තැනක උපදින්න යන අපගේ නෑයාට,හිතවතාට සුභ උපන්දිනයක් මළගමෙදී පැතීම වරදක් ද..?

ප.ලි.

ඩෝන්ට් ට්‍රයි දිස් ඇට් හෝම්...

Wednesday, February 15, 2012

දස වසර

තාත්‍තා නැතිව දශකයක්... ජීවිතේ ගෙවිල යනවා... බොහෝ දේ වෙනස් වෙනවා... තාත්තා නෑ කියන එක දැනිච්ච වාර ගාන අනන්තයක් විතර ඇති... තාමත් ගොඩක් දවස් වලට රෑට මතක් වෙලා කඳුලක් දෙකක් එනවා... මොනව කරන්න ද මෙච්චර කාලයක් හිටපු එක ඉස්සරහටත් ඉන්නවා කියල හිත හදා ගන්නවා... මට අවුරුදු 20දි තාත්තා නැති වුණේ... වෙලාවකට මං කොච්චර වාසනාවන්තද කියල හිතෙනවා.. මොකද අවුරුදු 20ක් තාත්තා මාත් එක්ක හිටපු නිසා... එහෙම නැති ළමයි කොච්චර ඉන්න ලෝකයක් ද මේක...

තාත්තා ගැන ලියන්න මහා දේවල් නෑ... සරලව කිව්වොත් සිරා පොරක්... ඕනේ දේකට ඔට්ටු හරිම අහිංසක චරිතයක්.. ඉස්සර අක්කගේ යාළුවෝ තාත්තට කිව්වේ නයිට් රයිඩර් කියල... මයිකල් නයිට්ගේ වගේ කොන්ඩේ ක්‍රේල් නිසා.. හැබැයි මැරෙණකම් ම තාත්තා ගියේ ෆුට් සයිකලේ... තාම අපේ ලොකු තාත්තා පදින්නේ ඒ සයිකලේ...

මම නොදන්න කාලේ ඒ කියන්නේ මම නැති කාලේ හපුතලේ හේරත් කිව්වම පළාතම දන්න මනුස්සයෙක්.. ඒ අපි බියගමට එන්න කලින්..  බොහෝම කාලයක් දේශපාලනේ කරල හොඳට අත්දැකීම් තියෙන.. දැන් රටේ ලොකුම තැන් වල ඉන්න අයත් එක්ක එකට කකා බිබී රට රට වල ඇවිදල අත්දැකීම් ගොඩක් තිබුණා... ඉස්සර බුලත් විටක් කකා ඔය කතා කියනවා...

මම හිතන්නේ ඔය 70 ගණන් වල නිල්පාට ආණ්ඩුව පෙරළිලා කොල පාට ආණ්ඩුව ආවට පස්සේ ඒ දේශපාලන වැඩ ගොඩක් ඒවා අත ඇරල තමයි 83 දී විතර බියගමට ආවේ.. හැබැයි හැම මැයි දිනේටම පෙලපාලි ගියා... කට්ටියම සෙට් කරගෙන ඡන්දේ ඇහුවා... රැස්වීම් වල කතා කළා... ඔන්න ඔය වගේ වැඩ නම් අන්තිම කාළේ වෙනකම් කළා... මරු කටක් තිබ්බේ... ඕනේ තැනක ඕනේ කෙනෙක් එක්ක කතා කරන්න හැකියාව තිබ්බා...

මුලින් අමාත්‍යාංශ ලේඛම් කෙනෙක් වෙලා ඉඳල පස්සේ එම්.බී.බී.එස්  (මේසන් බාස්ට බදාම සප්ලයි) කළා..ඒ මම පොඩි කාලේදි... රස්සාවක් නැතිකාලේ උගස් වවල උගස් අඹරණ මැෂිමට අත අහු වෙලා වම් අතේ මහපට ඇඟිල්ල විතරයි මම උපදින කොට තිබුණේ.. ජීවත් වෙච්ච අවුරුදු 55න් අවුරුදු 30ක් විතර හැමදේම කලේ තනි අතින්... ඉස්සර හැමෝම තාත්තව දන්නව අත නිසා..

බයිසිකලේ ඉස්සරහ බ්‍රේක් පස්ස බ්‍රේක් මාරු කරල හදාගෙන තිබ්බේ අත නිසා..

මහ වැස්සේ තෙමි තෙමී ඉස්සර මාව දාගෙන පදිනවා... හැමදාම හවසට අම්ම වැඩ ඇරිල එන වෙලාවට,අක්ක හරි මම හරි පන්ති හරි ඉස්කෝලේ හරි ගිහින් එන වෙලාවට පාර අයිනට වෙලා බයිසිකලේ තියාගෙන ඉන්නවා..  බයිසිකලේ නැඟල යන එන වෙලාවට ලඟ ගෙදරක කෙනෙකුට ඕනේ දෙයක් කඩෙන් ගෙනත් දෙන්න හරි කැමතියි...

දර පැළීමේ ඉඳන් උයල කන්න දෙන්න පැයක් යන්න නැතුව ඇති... හැමදාම නොවරදින ලුණු මිරිස, මයියොක්ක මැල්ලුම්... දවල්ට උයල ඉතිරි වෙන ටිකට බත් දාල වලඳෙම අනල හවසට කවන බත් කටවල් ටික... හදල දෙන තේ එක...

පරණ ගෙදර ඉඳන් අලුත් ගේ හදන්න බ්ලොක් ගල් ඔක්කොම හැදුවේ තනියම.. මැෂින් නැතුව ලෑලී අව්වුවට කබොක් ගලුයි බදාමයි දාල හදපු බිත්ති වලට අදටත් ගහන්න පුළුවන් කොන්ක්‍රීට් ඇණ විතරයි...

හැමදාම හවසට මද පමණින් ගත්තට වලි නෑ.. සද්ද නෑ.. පෙළපාලී යනකොට කිය කිය ගිය සිංදු කෑලී කිය කිය බිමට කුෂන් කෑල්ලක් දාගෙන හාන්සි වෙලා ඉන්න එක තමා කරන්නේ... පන්සලේ පෝය දවසට බැහැල වැඩ.. දායක සභාවෙත් හිටියද කොහෙද....කවදාවත් සිල් එහෙම නම් අරන් නෑ මම හිතන්නේ..

මාවයි අක්කවයි ඔඩොක්කුවෙ තියාගෙන ඉන්න ඇති මැරෙන්න දවස් ගානකට කලින් වෙනකම් ම...

යන්න එන්න වාහනයක් නැති නිසා තාත්තව ඉස්පිරිතාලේ අරං ගියේ ත්‍රීවීල් එකේ.. අම්ම තනියම... මම එන්.අයි.බී.එම් යනවා අක්ක කැම්පස් එකේ... පොඩි සෙම අමාරුවක් කියල තමා මුලින් ම ගෙනිච්චේ..
ඉස්පිරිතාලේ හිටපු සති දෙකේම මම විජේරාමේ ඉඳන් මහ ඉස්පිරිතාලේට පයින් ගිහින් තාත්තව බැලුවා... එක දවසක් මම ගියාම පුතේ මගේ අතපයහරියට රිදෙනවා පොඩ්ඩක් අතගාන්න කිව්වා... මම ඉතින් හෙමින් අතගානකොට.. මාව බඳාගෙන ඇඩුවා...  මම හැම වෙලේම හිතුවේ තාත්තට සනීප වෙයි කියලා... පොඩි කාලේ ඉඳන් මට තිබ්බ එකම බය තාත්ත නැති වෙන එක... ඒකට මම ඒ කාලේදිත් බය වෙලා හිටියේ...

අපි 3න් දෙනා හවස 5ට තාත්තව බලල බස් එකේ යනවා... යනකොට 3න් දෙනාටම ඇඩෙනවා... ඒ දවස් වල වතුර නැතුව ලයිට් කපන කාලේ... මම ගෙදර ගිහින් බාත්‍ රූම් එකට ඉටි පන්දමක් පත්තු කරගෙන ගියා.. යනකොටම ඒක නිවුණා... එකපාරටම මට හිතුණා තාත්ත නැති වෙයි කියල.. ඊට පස්සේ ආයෙත් පත්තු කරගෙන යනකොට හිතුව මේ සැරේ පත්තු වෙලා තිබුනොත් තාත්තාට සනීප වෙයි කියල...ඒ සැරෙත් නිමුණා... මම කලුවරේ හොඳටම ඇඩුවා.. හැබැයි 3වෙනි සැරේ නිමුණේ නෑ... මම හිතුවා හැමදේම හරියයි මට පිස්සු කියලා...

ඊට දවස් 2කට පස්සේ තාත්තා නැති වුණා...

කොළඹ මහ ඉස්පිරිතාලේ ගේට්ටුව ඉස්සරහා පිස්සෙක් වගේ මම ඇඩුවා... යන එන මිනිස්සුන්ට දුක කිය කියා ඇඩුවා...

මම අඩන එක නතර වුණේ තාත්තව භූමිදානේ කරල ආවට පස්සේ...

මල ගෙදරට ආපූ ගමේ මිනිස්සුත් ඇඩුවා... එච්චරට ගමේ අයත් එක්ක හිතවත්

අපිට හිත හදාගන්න තිබුණ එකම දේ මැරෙන වෙලාවේ තාත්තගේ මූණේ තිබ්බ ලස්සන හිනාව... මම මෝවරියට ගිහින් මිනිය අඳුර ගන්නකොටත් ඒ හිනාව දැක්කා...

අපි අවුරුදු 10ක් හැම්දාම තාත්තව මතක් කරල දානේ දුන්නා... 7 දවසෙ දානෙටයි 3න් මාසේ දානෙටයි විතරයි පිට මිනිස්සු ගෙනල්ල කෑම ඉව්වේ.... ඊට පස්සෙ ඉඳන් දානේ වැඩ හැමදේම කලේ අපේ නෑදෑයෝ විතරයි...

අවුරුදු 10කට පස්සේ බොහෝ දේවල් වෙනස් වෙලා... තාත්තා නැතිවෙලා අවුරුදු 10 වෙන්න දවස් 5කට කලින් මම මගේ දෙවෙනි කාර් එක ගත්තා... අක්කා රට නියෝජනය කරමින් පිටරටවල යන මට්ටමේ රැකියාවක් කරනවා.. අපිත් එක්ක පොඩි කාලේ නොහිටපු අපේ නංඟත් හොඳ රස්සාවක් කරගෙන හොඳට ඉන්නවා.. අම්ම අපි වෙනුවෙන් කරන්න තිබ්බ හැමදේම කරල පැන්ෂන් අරං නිදහසේ ගෙදරට වෙලා ඉන්නවා...

අපි එක්කෙනෙකුටවත් භෞතික වශයෙන් තාත්තට සලකන්න බැරි වුණා...  හැබැයි අපි අපේ උත්සාහෙන් මේ දැන් ඉන්න මට්ටමට ආවා... එහෙම එන්න පුලුවන් වුණේ තාත්තගෙ තිබ්බ නිහතමානී ගතිගුණයි ඕනේ දේකට මූණ දිල හිත හදාගන්න තිබිච්ච හැකියාවයි අම්මගේ හරි උපදෙසුයි නිසා... වෙන කිසිම දෙයක් අපිට තිබ්බෙ නෑ... අපිට කාත් එක්කවත් තරඟයක් තිබ්බේ නෑ... ලබා ගන්න ට්‍රයි කලේ නෑ.. රැල්ලට යන්නෙ නැතුව පාඩුවේ අපේ වැඩේ කරගෙන හිටපු එක විතරයි හැමදාම කළේ...

මම මේක ලිව්වේ තාත්තට නිවන් සුව පතන්න නෙවෙයි... නිවන ලබන්න පුළුවන් ජීවත් වෙලා ඉන්න මේ ආත්මෙදි විතරයි කියන එක මම විස්වාස කරන නිසා තාත්තට සුභ උපන්දිනයක් පතන්නයි මට ඕනේ...

Thursday, January 26, 2012

නිවන්/මෝක්ෂය/ස්වර්ගය/ඊ.ටී.සී දකින ගස්...

එක ගහක් කවද හරි ආයේ හැදෙයි ද? ඒ ජාතියෙම වෙන ගහක් හැදෙයි.. නැත්නම් ඒකෙන් හට ගත් බීජයකින් හරි අංකුරයකින් හරි තව ගහක් හැදෙයි.. හැබැයි ඒ හැදෙන්නේ අර මුල් ගහ නෙවෙයි නේද..?  එක් වරක් ඉපදුන ගහක් නැවත මේ ලෝකේ ඉපදෙන්නෙ නෑ කියල ගන්න එක සාධාරණයි නේද..? (ඒ වගේ නේද..?)

ගස් කියන්නේ තමාට ජීවත් වෙන්න අවශ්‍යම දේ විතරක් ලබාගෙන තමන් සතු සියළු දේ අනුන්ට දීල හිටියද  නැද්ද කියල කාටවත් නොදැනෙන ලෙස මියැදිලා යන ජාතියක්..(ජීවී ද /අජීවී ද කියන තර්කය පොඩ්ඩක් අමතක කරල හිතුවොත්)

නිදහසේ ඉන්න වෙලාවක ගහක් ලඟට ගිහින් පොඩ්ඩක් බලන්න.. ගස් වල බොහෝ දේවල් වෙනවා.. ඒ කියන්නේ.. එක පැත්තකින් අළුත් කොල ලියලනව.. අනිත් පැත්තෙන් සමහර කොල දිරල යනවා.. තව තැනක මල් පිපිනෙවා.. තව අත්තක ගෙඩි හැදෙනවා... එක තැනක ලස්සන පොහොට්ටුවක් තව තැනක අකලට කුණු වෙච්ච හැකිලිච්ච මලක්... ලස්සන කුරුල්ලෝ ඇවිත් පැණි බොනව.. නැත්නම් ගෙඩි වල රස බලනවා... ඔය අතරේ.. කඩි,කූඹී, මැස්සෝ වගේ සත්තු පොඩි පොඩි අතු දිගේ එහෙ මෙහෙ යනවා.. ගහේ අතු වලට හානි කරනවා... ලොකු ලොකු ගස් නම් මිනිස්සුගෙන් වෙන හානී, වෙනත් සතුන්ගෙන් වෙන හානී , සමහර වෙලාවට පැත්තක් ලෙඩ වෙලා.. පුස් හැදිල තියෙන්නත් පුළුවන්..  සුළං හමනකොට එහෙට මෙහෙට වැනි වැනී.. අව්වට වේලී වේලී.. වැස්සට තෙමි තෙමී.... උපන් තැන ම මියෙන තුරා ඉන්නවා..  

මෙච්චර දේවල් වෙන ගහක් එයට වෙන කිසිම දෙයක් වලක්වන්න හෝ මඟ හරින්න උත්සාහ කිරීමක් කවද හරි දැකල තියෙනවද..?  අනිත් ගස් එක්ක තරඟ කරල තමාට වඩා වැඩියෙන් මල් හෝ ගෙඩි හෝ හට ගන්න තරඟයක් තියෙන ගතියක් දැකල තියෙනවද...(ඉර එලිය තියෙන දිහාට ඇදිල ගිහින් අතුපතර විහිදිලා යන්නේ පැවැත්ම වෙනුවෙන් මිසක් තරඟෙකට නෙවෙයි කියල හිතමුකෝ...) තමාට සහ තමා අවට සිදුවෙන දෙයින් නොසැලී තමන් මේ ලෝකෙට කරන්න කියල ආපූ වැඩේ කරල නිදහසේ මැරිල යනවා...

ගස් සහ අපි අතර තියෙන මහා වෙනස් කම් ගොඩ අතර මහා පුදුම සමාන කමක් තියෙනව කියල හිතෙන්නෙ නැද්ද...  අපි සහ ගස් නිදහසේ ඔහේ ඉපදෙනවා... මොකක් හරි හේතුවක් හෝ ආයුෂ අවසන් වීමෙන් ඔහේ මැරිල යනවා... ඔය දෙක අතරේ අපිට සහ ගස් වලට උපන් දා සිට බාහිරින් එන දේවල් වලට මුහුණ දෙන්න වෙනවා... 

බාහිරින් එන දේවල් වලට ඒ කියන්නේ ගස් වලට නම් අව්ව,වැස්ස,මැස්සෝ,කුරුල්ලෝ,පනුවෝ... අපිට නම්.. අම්මා තාත්තා ඇතුළු නෑදෑ පිරිවර සහ ඇසුරට වැටෙන අනෙකුත්  සියලු මිනිසුන් සහ සතුන්..
අභ්‍යන්තරෙන් එන දේවල් ගත්තොත්.. ගස් වල නම් මල්,ගෙඩි,කොල,සවිමත් කඳ,අතු... අපිට නම් රූපය, ලස්සන, ශක්තිය,හැකියාවල්.. ඔන්න ඕවා..

නිකන් හිතල බැලුවොත් බාහිර සහ අභ්‍යන්තර දේවල් නිසා වැඩියෙන් ම වෙනස් වෙන්නේ ගස් ද අපි ද... 
ඉපදෙනකොට ගහක් සතුව තියෙන නිර්මල ජීව ගුණය මැරෙන මොහොතෙත් ඒ ගස් වල තියෙනවා... අපි උපදිනකොට අපි සතුව තියෙන නිර්මල සිහිය නැත්නම් නිර්මල ජීවී ගතිය අපි මැරෙන කොට තියෙනවද..?

නිර්මල සිහියෙන්, නිර්මල ජීව ගුණයෙන් මැරිල (විනාශ වෙලා) යන දෙයක නැවත් හට ගැනීමක් තියෙන්න හේතුවක් නෑ නේද..?

අපි ඇතුලේ තියෙන නිර්මල සිහිය දකින්න නිකමට වගේ උත්සාහයක් දරල බලන්න හිතෙන්නෙ නැද්ද... 

නිදහසේ ගසක් යටට වෙලා සුව විඳමින් ඉන්න වෙලාවක නිකමට හිතල බලන්න... 

හැමෝගෙම අදහස් වලින් පොඩි සංවාදයක් ඇති කරගෙන පොඩ්ඩක් අපි ගැන හිතල බලන්න ට්‍රයි එකක් දෙමුද..? 

Tuesday, January 24, 2012

බලනවනම් ටී.වී සීරීස් එකක් හම්බ වුණා.. කියල වැඩක් නෑ පට්ට

මෙන්න මෙතෙන්ට ගිහින් බාගෙන බලන්න... 
http://helayekgen.info/2012/01/blog-post_24.html

මේ වීදුරුව පෙරළුනොත්...

මේ වීදුරුව පෙරළුනොත් කියල හිතුණ...
දුක හිතෙන එකක් නෑ...
මොකට දුක් වෙන්න ද... 
මොනව නැති වෙන්න ද...

2012 ඔබ සැමට සෞභාග්‍යමත් වසරක් වේවා...