Thursday, November 26, 2020

කාල යක්ෂ - 9 - පුජකයා සහ මායාව


මෙතෙක් කතාව 

Sombrero චක්‍රාවාටය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 31.1 පමණ දුරකින් පිහිටි ඇත. එහි වූ පැරදිසෝ නම් වූ ලොවක පිහිටි පෙරදිග රාජ්‍යය නෙමින්දෙර් රජු විසින් පාලනය කරනු ලබයි. නෙමින්දෙර් රජු සාමකාමී, තාක්ෂණයට ලැදි, සිය ජනතාව සහ රටේ සංවර්ධනය ගැන සිතන පාලකයෙකි. රසායනික මුලද්‍රවය මත දිවෙන ආර්ථිකයක් ඇති පෙරදිග රාජ්‍යයේ මුහුදු බඩ සහ පහතරට ප්‍රදේශ මේ වන විට තාක්ෂණිකව ඉතා දියුණු මට්ටමකට ළඟා වී ඇත. 

තාක්ෂණයට සහ විද්‍යාවට ලැදි නෙමින්දෙර් රජු සිය රටවැසියාගේ හිතසුව පිණිස කැපවුනද, රටේ ව්‍යාපාරික ප්‍රජාව සහ ඇමති මණ්ඩලයේ සමහරක් රජුගේ දේශපාලනික සහ ව්‍යාපාරික තීරණ පිළිබඳව එතරම් ප්‍රසාදයක් නොදක්වයි. පැරදිසෝ ලෝකයේ අනෙකුත් දියුණු රටවල් අන්තර් චක්‍රාවාට වෙළඳාම සහ සංචාර මේ වනවිට පටන් ගෙන තිබුණු අතර පෙරදිග රාජ්‍යය තවමත් අන්තර් චක්‍රාවාට සංගමයේ සාමාජිකත්වය පවා ලබා නොගෙන සිටීම රජුගේ පාලනයේ ඇති දුර්වලතාවයක් බවට රාවයක් ද පැතිරෙමින් තිබේ. 

කඳුකරය හෙවත් හයිලැන්ඩර්වරු සාම්ප්‍රදායික ජිවන රටාවකට හුරු වුනු සහ නවීනත්වය ප්‍රතික්ෂේප කරන, රසායනික මුලද්‍රවය තැන්පත් නිධි සහ වෙළඳාම මුලික කරගත් ජනකොටසකි. ඔවුන්ගේ පාලකයා ක්‍රොෆින්ගර් වූ අතර ඔහු සහ නෙමින්දෙර් රජු අතර නෑ සම්බන්ධකමක් තිබුණද එය එතරම් සුහද නොවීය. අතීතයේ සිදුවූ දේශපාලනික අර්බුධ වලින් පසුව ඔවුන් ෆෙඩරල් ක්‍රමයකට රටේ කොටස් දෙක පාලනය කළෝය.

බොහෝ කාලයක් තිස්සේ ජනවහරේ මිත්‍යාවක් ලෙස පැවති ස්කෘලොක් නම් මායාකාර රජෙකු සහ අතිශය දියුණු පුරාණ ශිෂ්ටාචාරයක් පිළිවඳව කතා බහ නැවත කරළියට පැමිණෙමින් තිබේ. නෙමින්දෙර් රජු මේ කතා ප්‍රතික්ෂේප කලද, කඳුකර වැසියන් සහ ක්‍රොෆින්ගර් සිය නැතිවී ගිය පුරාණ දැනුම සෙවීමේ සහ ස්කෘලොක් ට නැවත පණදීමේ උත්සාහයක යෙදේ. ක්‍රොෆින්ගර් ගේ අනුදැනුම යටතේ ප්‍රයිකුල් නම් සෙනෙවියෙකු විසින් මෙහයවන 60000ක පමණ සේනාවක් ස්කෘලොක් ගේ සොහොන සොයා යන මෙහෙයුමක නිරතවෙමින් සිටින අතර ඔවුන් ඉතා කෘර, අමනුෂ්‍යමය බලවේග සමග සටන් කරමින් සිටින අතර මේ වන විට සේනාවෙන් තුනෙන් එකක්  පමණ මියගොස් ඇත.

මේ අතර සාමකාමී ලෙස පවතින පහතරට පෙදෙසේ නවීන ලේසර් සහ අධිතාක්ෂණික කිරණ පිළිබඳව විද්වත් තරුණියක වූ ද, නෙමින්දෙර් රජුගේ නෑයෙකු සහ ඔහුගේ දියණිය වූ නීෂා ගේ සමීපතම මිතුරියක වූ ඇලෙන්ඩි අතුරුදහන් වෙයි. මේ අතුරුදහන් වීමට සම්බන්ධව ඇලෙන්ඩි ගේ මිතුරන් වූ බ්‍රයිටෝ, කර්වියෝ සහ විටාසෝ පිළිබඳව රජුගේ හමුදාවන් විසින් තොරතුරු සොයා ගනු ලැබුවද, බලාපොරොත්තු නොවූ ලෙස සිදුවූ බ්‍රයිටෝගේ ඝාතනයත්, ඇලෙන්ඩිගේ නැවත අතුරුදහන් වීමත් නිසා ෆ්රිදොම් කන්දේ පිහිටි ස්ප්ලේන්දී මාළිගය තුල කලබලකාරී ස්භාවයක් දක්නට තිබේ.

නාඳුනන තුවක්කුකරුවෙකුගේ හදිසි කිරණ ප්‍රහාරයකින් මිය ගිය බ්‍රයිටෝ, මිය යෑමට පෙර ඇලෙන්ඩිට ස්කෘලොක් නම් රජුගේ කාලයට අයත් යයි සැලකෙන වීඩියෝ දර්ශන සහ ත්‍රිමාන හොලෝග්‍රෑම් දර්ශන පෙන්වමින් සිටින අතර රහසිගත සේප්පුවක වූ එම දත්ත බ්‍රයිටෝ ලබා ගත්තේ කෙසේද යන්න දැනගැනීමට පෙර හමුදා ඇඳුමින් සැරසුණු තුවක්කුකරුවන් දෙදෙනෙකු පැමිණ බ්‍රයිටෝව මරා ඇලෙන්ඩිව නැවත පැහැරගෙන යයි.

මේ පැහැරගැනීම සහ මරණය සම්බන්ධව මේ වන විට කර්වියෝ සහ විටාසෝ ව රජුගේ ආරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගෙන සිටින අතර කර්වියෝ මුර සෙබළෙකුට අල්ලසක් දී පැන යාමට මාන බලමින් සිටී.

රටේ ආර්ථිකයට සහ නිෂ්පාදනයට ඉතා වැදගත් වූ විකිරනශීලි අමුද්‍රව්‍ය සම්බන්ද වෙළඳ ගිවිසුමක් පිළිබඳව නෙමින්දෙර් රජු සහ ක්‍රොෆින්ගර් අතර සාකච්චාවක් සිදුවන අතර ක්‍රොෆින්ගර්ගේ යෝජනාවක් නිසා ඔවුන් අතර වචන හුවමාරුව උණුසුම් වී රජු කෝපයට පත්වෙයි.

රජු සිය පැරණි මිතුරෙකු හමුවීමට ගොස් ඔහුගේ සිත නිදහස් කර ගැනීමටත් සිදුවන යම්කිසි සංකීර්ණ සිද්ධි දාමයකට මුහුණ දීමට සුදානම් වන අතර මිතුරාගේ උපදෙස් මත රට තුල සිදුවන මෙතෙක් කල් ඔහු නොවැදගත් යයි සිතු දේ ගැන දෙවරක් සිතා බැලීමටත්  තීරණය කරයි.

නැවත පැහැර ගෙන ගොස් සිරබාරයේ සිටින අලෙන්ඩි එතනින් පැන යාමට තැත් කලද උත්සාහය අතර තුර නැවත හසුවෙයි.  සෙබලා සමග යන ඇලෙන්ඩි  තමා කිසිදාක බලාපොරොත්තු නොවුණු දසුනක් දකී.

මේ අතර  මායාකාරී බලවේග සමග සටන් වදින ප්‍රයිකුල් ගේ සේනාව වනය තුලදී තවත් කුරිරු ප්‍රහාරයකට ලක් වෙයි.    
   


"ඔහොමම නතර වෙනවා. " තියුණු කඩු තුඩක සියුම් වේදනාව ඇගේ පිට පෙදසට දැනු නාය.

පසුපසින් පැමිණි සෙබලා ඉවසීමෙන් යුතුව පැවසීය. 

"මම කොහෙද මේ ඉන්නේ ? හිටි තැනම නතර වුනු ඇලෙන්ඩි ඇසුවාය.

"ඒක  දැන  ගන්න  පුළුවන්.  යමු ඔහොම ඉස්සරහට... " ගොරෝසු සෙබල හඬ පැවසිය.

තවත් කාමර කිහිපයක්  සහ ශාලාවක් පසු කරමින්  ඇලෙන්ඩි  ඉදිරියට ඇදුණාය.  සෙබලාගේ කඩු  තුඩ තවමත් ඇගේ ශරීරය ස්පර්ශ වෙමින් තිබුණු හෙයින් ඇය ක්ෂණික තීරණ කිසිවකට යොමු නොවී සිදුවන දෙයට මුහුණ දීමට සිතා ගත්තාය.


ඉදිරියෙන් වූ විශාල දොරින් එලියට පැමිණි ඇයට  තවත් පරණ තාලයේ ගොඩනැගිලි කිහිපයක් සහ ඉදිරිපසින් වූ අමුතු හැඩයකින් යුත් තවත්  නවීන ගොඩනැගිල්ලක්  දිස් විය. ඉදිරිපස අංගනයේ පරණ තාලයේ මයින්ඩ් ජෙට් යානා කිහිපය සහ ගොඩබිම බර උපකරණ ගෙන යාමට යොදා ගන්නා විශාල ක්ලානා රථ කිහිපයක් ද  විය.  පසුපසින් පැමිණි සෙබලාගේ නියමයෙන් අමුතු හැඩයේ ගොඩ නගිල්ලට ඇතුළු වූ ඇය  ඉදිරියේ වුයේ  කිසිදිනෙක බලාපොරොත්තු නොවූ දසුනකි.

අද එතැන් සිට...

ඉදිරියෙන් වූ මහා ශාලාව තුල වුයේ දැවැන්ත ප්‍රතිමාවකි.  ප්‍රතිමාව ඉදිරියේ ඇය  කිසි දිනෙක දැක නොමැති අන්දමේ විචිත්‍රවත් ගිනිදැල්  පිටකරන අමුතු හැඩයේ ගිනි මැල  කිහිපයක්  විය. ශාලාව  පුරා බිත්ති වල ඉතා අලංකාරවත්  චිත්‍ර සහ විවිධ සිද්දි නිරූපණය වන  කැටයම් සහ මුර්ති වලින් වැසි තිබිණි.  ඇයට ඒ ප්‍රතිමාව කාගේදැයි අදහසක් නොවීය. නමුත් ශාලාව වටේ වූ චිත්‍ර වලින් නිරූපණය වී තිබුනේ බ්‍රයිටෝ ඇයට පෙන්වූ අතීතයේ සමහර සිද්දි විය හැකි බව ඇය අනුමාන කළාය.

" ඒ කියන්නේ මේ ප්‍රතිමාව ස්කෘලොක් ගේ ද ?" ඇය සිතුවාය. 

සෙබලා තව දුරටත් ඇය පිටුපසින් නොව ඇයගේ වම් පසින් සිටගෙන සිටියේය. 

"මම මේ කොහෙද ඉන්නේ ?" ඇය ඇසුවාය.

"ඒක දැන ගන්න පුළුවන්.    ඇතුලට ගිහින් අර දොරෙන් ඇතුලට යමු.

මහා ශාලාවේ  පිළිමයට  වම්පසින් වූ ද්වාරය දෙසට ඇය ඇවිද ගියාය. ශාලාව ඇතුලත ඇයට දැනුනු   මහේශාක්‍ය බව ඇය  නෙමින්දෙර් රජ මාළිගය තුළදී වත් අත් නොවිඳි මට්ටමේ විය.

ප්‍රතිමාව දෙස නැවත බැලු ඇයට  එහි වූ ගාම්භීර බව සහ  ශාන්ත  බාවය නිසා පෙර නොවූ හැඟීමක් සිය සිත තුල පහල වෙනු දැනුනි.

නමුත් ඇය  දොර දෙසට යත්ම ,  එයින් එලියට පැමිණි  සුදු පැහැති  දුහුල් ඇඳුමින් තරුණියන් 5 දෙනෙකු පමණ එක පෙලට පිළිමය  දෙසට ගමන් කරන්නට විය. ඔවුන් ඉතා සීරුවෙන් සහ ශාන්ත ගමනින්  යුතුව පිළිමය වෙතට යනු ඇය දුටුවාය.  සිදු වන්නේ කුමක් දැයි දැනගැනීමට ඇයට අවැසි වුවද පසුපසින් පැමිණි සෙබලාගේ සන් කිරීම නිසා ඇය දොර දෙසට ගියාය. තරුණියන් පෙළ ප්‍රතිමාව ඉදිරියෙහි වූ ගිනි මැල  ඉදිරිපිට වාඩි වනු පමණක් දොරෙන් ඇතුලට යාමට පෙර ඇය ඇස් කොනින් දුටුවාය.

ඇතුලත මනාව ආලෝකමත් කරන ලද කාමර කිහිපයක් සහ  ප්‍රතිමාව පිටුපසින් නැවත දකුණු පසට යා හැකි ආලෝකමත් අර්ධ වෘතාකාර කොරිඩෝවක් ද , හරියටම ප්‍රතිමාව පසුපස විය හැකි යැයි ඈ සැක කල තැන තවත් විශාල කාමරයක් ද විය. 

මුලින් දුටු කාමර පෙළෙහි පිරිසක් විසින් යාම දෙයකට සුදානම් වන, කලබල කාරී ස්වභාවයක් වූ අතර, එහි තරුණ ගැහැනුන් සහ ප්‍රතිමාවේ මෙන් වූ අමුතු ඇඳුම් ඇඳ  ගත්  හිස මුඩු පුද්ගලයින් කිහිප දෙනෙකුද ඇය  දුටුවාය.

සෙබලා ඇයට තව දුරටත් ඉදිරියට යන ලෙස අණ කළේය.

ප්‍රතිමාව පසුපස යැයි ඇය සැක කල කාමරය දෙසට ගමන් කල ඔවුන් එයට ඉදිරියෙන් වූ තවත් දොරක් ඉදිරිපස නතර විය .  එම විශාල කාමරයේ දොර දෙපස මුර සෙබළුන් දෙදෙනෙකු සිටි අතර,  එයට විරුද්ධ පසින් වූ ගොඩ නැගිල්ලේ අභ්‍යන්තරයට යා හැකි තවත් දොරක් ඉදිරියෙන් ඔවුන් නතර වී සිටියෝය. සෙබලා කිසිවෙකුට අමතා ඔවුන් පැමිණ සිටින බව දැන්වූ අතර, චිත්ත තරංග සෙන්සරය සහිත දොර විවර කිරීමට සෙබලාට අවසර නැති බව ඇලෙන්ඩි  වටහා ගත්තාය.  එතැන නතර වී සිටි නිමේෂයේ  ඇය ක්ෂණිකව පසු පස හැරී  තමන්ට පිටුපා පිහිටි කාමරය දෙස බැලුවාය.

ඇගේ ක්ෂණික චලනය නිසා කලබල වූ මුර කරුවන් ආයුධ පෙන්වීමට සැරසුනද, එසැණින්ම ඔවුන් යායුතු දොරද විවෘත වුයෙන් ඇයට  ආපසු හැරීමට සිදුවිය. නමුත් පිළිමය පසුපස වූ ඒ කුටිය තුල ඉතාමත් වැදගත් දෙයක් සිදුවන බව වටහා ගැනීමට ඒ නිමේෂය ඇයට ප්‍රමාණවත් විය.

දොරෙන් ඇතුළු වූ ඇය සිටියේ මුළු ගොඩනැගිල්ල  පුරාම පැතිරුණු විශාල කර්මාන්ත ශාලාවක් ඉදිරියේය.  ඇය ඉදිරියෙන් වූ ගරාදි වැටට පහලින් දහස් ගණන් රොබෝවන් සහ මිනිසුන් යුහුසුළුව වැඩ කරමින් සිටියෝය. තමා සිටින්නේ කොහිදැයි සිතා ගැනීමට නොහැකිව අන්දමන්දව ඇය ඈත පෙනෙන යන්ත්‍ර සුත්‍ර දෙස බලා සිටියාය.

අහා !!... ඔබයි එහෙනම් මේ ඇලෙන්ඩි!




අමුතු ඇඳුමක් ඇඳ සිටි ප්‍රතාපවත් හිස මුඩු  පුද්ගලයාගේ හඬින් ඇය තිගැස්සී ගියාය.

කලබල වෙන්න එපා. මම ජඩ්. මම ඔබට පැහැදිලි කරලා දෙන්නම්.  එන්න මාත් එක්ක.   මුර සෙබලා ඔහුට ආචාර කර පිටව ගිය අතර ඇය මේ අමුතු පෙනුමැති අලුත් මිනිසා පසුපසින් ඇදී ගියාය. පහලින් පෙනෙන අංගනයේ නිපදවන්නේ කුමක් දැයි දැන ගැනුමට ඇය උනන්දු වුවද යන්ත්‍ර මගින් නිපදවෙන විවිද කොටස් මිසක අවසන් නිර්මාණයක් සොයා ගැනීමට ඇගේ ඇස් අසමත් විය.   

"මෙතන කෙරෙන්නේ මොකක් ද කියල මම ඔබට කියන්නම් ... වැඩිය හිතන්න මහන්සි වෙන්න එපා... " 

තමාට පියවර කිහිපයක් ඉදිරියෙන් ඇවිද යන මේ මිනිසා තම සිතැඟි වටහා ගත්තාක් මෙන්  පැවසූ දෙය ගැන සැලකිලිමත් නොවී ඇය තව දුරටත් පහලින් පෙනෙන ශාලාව පුරා ඇස් කරකැවීය. 

තවත් පියවර කිහිපයක් යනතුරු ඇයට වැදගත් යමක් දැක ගත නොහැකි වුවද, මදක් ඔබ්බෙන් වූ කාමරයකට පිවිසෙන්නට මොහොතකට පෙර ඈතින් වූ පෙට්ටි ගොඩක්  සහ එම පෙට්ටි වල සටහන් වූ  රතු පැහැති වෘක හිස යාන්තමින් පෙනිණි.

"එන්න ඇතුලට", ජඩ් එකත්පසව සිට කල  සුහද ආරාධනය නිසා ඇයගේ අවධානය බිඳී ගියාය. තමා පිවිසීමට සැරසුණු කාමරය තුලින් වහනය වූ අපුරු සුගන්ධය සහ තැනින් තැන වූ කුඩා ගිනි දැල් සහිත අමුතු ලාම්පු වලින් ආලෝකමත් වූ කාමරය, පහලින් පෙනුණු අධිතාක්ෂණික ශාලාවට හාත් පසින් වෙනස් පරිසරයක් විය.

එහි බිම එලා තිබුනු තද වර්ණයෙන් ‍‍‍‍‍‍‍‍‍‍යුතු බුමුතුරුණු මත වූ පැතලි ආසන 4ක් විය. කාමරයේ බිත්ති යම් කිසි රටාවක් සහිත අකුරු සහ රූපාක්ශර වැනි සිතුවම් වලින් පිරී තිබිනි. එහි ඇතුලු බිත්තියෙ වූ වසා තිබුනු දොර හැරුනුකොට කාමරයෙහි වෙන කිසිවක් නොවීය. කුඩා ගිනි දැල් සහිත අමුතු ලාම්පු කාමරයේ කොන් වල තබා තිබුනි. 

"මම හිතන්නෙ ඔබට දැන් මහන්සි ඇති. ඒ වගේම මේ සිද්ද වෙච්ච දේවල් නිසා ඔබ කැළඹිලා ඇති. පොඩ්ඩක් ඉන්න යැයි පැවසූ ජඩ්, අත්පුඩියක් ගැසීය. 

කාමරයේ අඳුරු වහලය විවර වී තරමක වේදිකාවක් එහි හරි මැදට පහත් විය. 

"උඩට ගිහින් සූදානම් වෙලා එන්න. ඊට පස්සෙ අපි කතා කරමු." ජඩ් කාරුණික ලෙස පැවසීය.

******

වනය තුලින් මතුවූ පිසාච මැස්සන්ගේ ප්‍රහාරය ප්‍රයිකූල් ගේ හමුදාවට සෑහෙන ලෙස හානි කර තිබිනි. එක දිගට සිදුවූ අමනුෂ්‍යමය සිදුවීම් හේතුවෙන් සෙබලුන්ගේ චිත්ත ධෛර්යය ද හීන වෙමින් තිබිනි. 

"ප්‍රයිකූල්, මේ අහපන්, මේ ගමන අපිට මේ විදියට යන්න බැහැ. මේ සැරෙන් සැරේ ඉබේ මතුවෙන යක්ෂ ප්‍රහාර වලින් මිනිස්සු නිරපරාදෙ මැරෙන එක විතරයි වෙන්නෙ. මම කියන්නෙ අපි මෙතන කඳවුරක් ගහල, මිනිස්සුන්ට විවේකයක් දෙමු. කීප දෙනෙක් විතරක් ඉස්සරහට ගිහින් බලමු."

 සෙන්ට්‍රිනෝ කෝපයෙන් යුතුව පැවසීය.

අලුයම හිරු එලිය සමඟ වෙනදාට දකින සුන්දරත්වය වෙනුවට ලේ පෙරමින්, සිය අතපය, ඇස්, කන්, නාසා අහිමිව වේදනාවෙන් කෑ ගසන මිනිසුන් රැසක් අතරින් ඈත පෙනන කඳුවැටි දෙස ප්‍රයිකූල් බලා සිටියේය. ඔහුගේ එක කනක කොටසක් කැඩී පහලට එල්ලෙමින් තිබිණි. ඔහුට ඒ වේදනාව නොදැනෙන තරමට සිය සෙබලුන්ගේ කෑ ගැසීම සහ තැන තැන වේදනාවෙන් මැරී වැටෙන මිනිසුන්ගේ අවසන් සුසුම් අවට වාතය වෙලාගෙන තිබුනි.




"හ්ම්... උඹ කියන එක හරි. "

එපමනක් පවසා ඔහු හුන් තැනින් නැගිට තමාට මදක් එහායින් පණ අදිමින් සිටි අවාසනාවන්ත සෙබලාගේ ලයට සිය අසිපතින් ඇන, අසරණයාගේ වේදනාව අවසන් කර දැම්මේය.

"මේ අපි පැන්නෙ දෙවෙනි කඩුල්ල, පුරාවෘත්ත වල හැටියට තව එකක් තියෙනවා. "

"උඹ හිතන්නෙ ඔය කඩුලු තුන පැන්නට පස්සෙ අපිට ස්කෘලොක් ගෙ මිනිය හම්බ වෙයි කියල ද?"

"මම දන්නෙ මෙච්චරයි. මේ ඉතිරි වෙලා ඉන්න උන් ටික ඔක්කොම මැරිල ගියත් මේ වැඩේ නතර කරන්න අපිට බෑ. මම ඇස්ඩෝව්ස්ට පොරොන්දු වුනා මේ වැඩේ කරනවා කියල."

"උඹ කොහොමද දන්නෙ මේක මිත්‍යාවක් නෙවෙයි කියල? ඔය ස්කෘලොක් කියන මිනිහා ආයේ නැගිටියි ද නැද්ද කියල අපි කොහොමද දන්නෙ?"

"සෙන්ට්‍රිනෝ, උඹ දන්නවා මම කවුද කියල, උඹ දන්නවා මම වැඩ කරන හැටි. මම උඹත් එක්ක මේ ගමන ආවේ උඹ මං ගැන දන්න හින්ද. මම දන්නවා උඹ හිතනව ඇති මං මහ අනුකම්පාවක් නැති මිනිහෙක් කියල, මේ මිනිස්සු මැරෙන එක නවත්තන්න උඹටයි මටයි බෑ. මෙච්චර සේනාවක් ගෙනාවේ ඒ මැරෙන බව දන්න හින්ද. මැරෙන එකා මැරුනම ඉතිරි වෙන උන්ට අවසානේ දක්වා යන්න පුළුවන් වෙන්න ඕනෙ නිසා තමා මේ දහස් ගානක් සෙබලු ගෙනල්ලා මේ උගුල් වලින් ගැලවෙන්න හදන්නෙ. " ප්‍රයිකූල් පැවසීය.

"ඊළඟට, ස්කෘලොක් නැගිටියි ද නැද්ද කියන එක මට අදාල දෙයක් නෙමේ. රෙඩ් වුල්ෆ් එකෙන් අපිට එවපු දත්ත වල හැටියට ස්කෘලොක් ගෙ මිනිය ඔය කියන තැන තියෙනවා. එතෙන්ට යන්න කලින් අපිට මූන දෙන්න වෙන මේ යක්ෂ බලපෑම් වලක්වන්න ක්‍රමයක් තාම මේ සක්වලේ කාටවත් හොයා ගන්න බැරිවෙලා තියෙනවා කියල උඹට පේනව ඇතිනෙ. "

"හ්ම්ම්. අඩුම තරමේ මේ මිනිස්සුන්ට අපි පොඩි විවේකයක් දීලා යමු.  "

"හ්ම්ම්.. "  මෙතන එහෙනම් කූඩාරම් ගහපල්ලා. ඔය මලකුනු ටිකයි පණ අදින උන් ඔක්කොමයි අර ඈතට අරන් ගිහින් පුච්චල දාපල්ලා.

ප්‍රයිකූල් කෑ ගසා අණ දුන්නේය.

"අපි ළඟ තව ඉතිරි වෙලා තියෙන පෑස්සුම් පටි වලින් ඔය බේර ගන්න පුළුවන් උන්ව බේර ගන්න බලපල්ලා. "  ප්‍රයිකූල් ගේ අණ නොසලකා සෙන්ට්‍රිනෝ තම අනුකන්ඩ වල නායක සෙබලුන්ට කෑ ගැසුවේය.

අවඥාවෙන් සිය සගයා දෙස බැලූ ප්‍රයිකූල් සිය සන්නාහය ගලවා දමා සිය උරහිසින් වෑහෙමින් තිබුනු ලේ පහර පිසදා ගත්තේය.  සිය දක්ෂතාවය හෝ වාසනාව නිසා මස්සෙකුගේ ප්‍රහාරයකට ලක් නොවූ ප්‍රයිකූල්  අසිහියෙන් මෙන් ආයුධ වනමින් මායාකාරී මැස්සන් සමග සටන් කල තම සගයින්ගේ  කඩු පහර වැදී තුවාල වුනු  සෙබළුන් දෙස බලා සිටියේ තම කන සහ සිරුරේ තිබු අනෙකුත් කැපුම් පහර පිස දමමිනි. 

අඳුරු රාත්‍රියේ මහා වනය තුල තැනින් තැන මතුවූ පිසාච මැස්සන් ගේ ප්‍රහාර කෙතරම් ක්‍රෑර වුවේද යත්, බොහෝ සෙබළුන්ගේ ඇස් සහ කන් විදගෙන මොළය සොයා උන්ගේ රුදුරු දල පහර ඇදී ගියේය. දලත් සමග ඇතුලට ඇදී යන මැස්සා නැවත එලියට පැමිණියේ නැත. ඔවුන් තම ගොදුර මරාගෙනම මැරී ගියහ. අඳුරෙන් මතුවී  බිල්ලක් ගෙන අතුරුදහන් වන මේ යක්ෂ බලවේග වලට අසුවූ  සෙබළුන්ට බෙහෙත් කිරීමට සැරසෙන තම සගයා ගැන ප්‍රයිකූල්ට ඇති වුයේ විකාර කාරී හැඟීමකි.  මිය යන සංඛ්‍යාව නියතයක් බව දන්නා ඔහු මිය යන්නවුන් ගැන නොසිතුවේය. 

රාත්‍රිය මුළුල්ලේම වනය දෙවනත් කරමින් ඇසුනු මර හඬ සහ, අපායෙන් ආ යක්ෂ මැස්සන්ගෙ ක්‍රෑර ශබ්දය තවමත් ඔහුගේ හිස තුල දෝංකාර දෙමින් තිබිණි. රණ ශූරයෙකු, හිත් පිත් නැති මිනීමරුවෙකු ලෙස නමක් දිනා සිටි ඔහුගේ සිතද පසුගිය දින කිහිපයේ සිදුවූ මේ අමනුෂ්‍ය ප්‍රහාර හමුවේ සලිත වී තිබිණි.

ඔහු මෙය බාර ගැනීමට ප්‍රථමව තමාට මුහුණ දීමට සිදු වේයැයි ප්‍රවාද වල කියවුනු කතා දැන සිටියද, මේ තරම් දරුණු සහ ඒ ආකාරයෙන්ම ඒවා සිදුවීම කිසිසේත්ම බලාපොරොත්තු නොවීය. නමුත් මේ සිදුවන දෑ ඔහුගේ අවසන් අරමුණ ද ඒ ආකාරයෙන්ම ඉටුවන බවට සාධක ලෙස ඔහු සැලකුවේය. 

ප්‍රයිකූල් තමාට මීට පෙර බිය දැනුනු අවස්තා මතකයට නඟා ගැනීමට තැත් කලේය. ඔහුගේ සිත හේතුවක් නැතුව සලිත වූවා මිස බයක් ගැන ඉතිරි වූ කිසිවක් සොයා ගැනීමට හේ අපොහොසත් විය. මේ සලිත වී යෑම, ඉදිරියට තමාට මුහුණ දීමට සිදුවන දේ ගැනද, නැතහොත් මෙවැනි භයංකර බලවේග අවුස්සමින් තමා මේ කරන්නට යන ක්‍රියාව පිළිබඳවද යන්න ඔහුට පැහැදිලි නොවීය. නමුත් මින් පෙර නොදැනුනු ලෙස තමා කරනදෙය සහ තම සිත ගැන සංවේදී වීමට පටන් ගෙන තිබිණ.

ඇස්ඩෝව්ස් අමතා මේ ගැන නැවත කතා කිරීමට ඔහුට සිත් වුවද, බාරගත් වැඩක් ගැන පසුතැවිලි වීම ඔහුගේ ක්‍රමය නොවූයෙන් එම අදහස අත් හැර දැමීය.

තම ගමන් සගයා වූ  වෘකයා පිට වූ සැදෑලයෙන් ඉතිරි වතුර බහාලුම සහ එහි වූ රෙඩ් වුල්ෆ් කඳවුර සමග පණිවිඩ හුවමාරුවට යොදා ගත් ටෙක්සෝ පිටුව ගෙන තමාගේ ඉදිරි ගමන් මග සිතා බැලුවේය.  මෙතරම් තාක්ෂණිකව දියුණු වූ ලොවක වුවද, ප්‍රයිකුල් පරණ තාලයේ මිනිසෙකු විය. ඔහු මේ ටෙක්සෝව  භාවිතය පවා කලේ නුහුරෙනි.  ඔහුට තාක්ෂනය සුමට වැඩි විය.   ශක්තිය, ජවය, කෝපය  ඔහුව ප්‍රමෝදයට පත් කළේය.      

සෙමින් සෙමින් වැහි පොද වැටෙමින් අහස අඳුරු වී ගෙන අයුරු ඔහුට දැනුනේ මහා හඩින්  කෙටු අකුණක හඩ නිසාවෙනි. ඒ වෙන විට බාගෙට හදමින් තිබු කුඩාරම් දුටු ඔහු වැස්සෙන් බේරීමට තැනක් සොයා ගැනීමට සිතුවේ සියලු මළකුණු සෝදා හැරීමට තරම් ළඟ එන කුණාටුව ප්‍රබල බව දුටු හෙයිනි.

"සෙන්ට්‍රිනෝ ඔය වැස්සට කලින් මෙතෙන්ට වරෙන්. මට උඹට දෙයක් කියන්න තියෙනවා.  මදක් එපිටෙන් වූ  ගල් කුලක් යටට යමින් ඔහු කෑ] ගැසුවේය.   

මතු සම්බන්ධයි. 


12 comments:

  1. උඹ මේක ලියල ඉවර කරන්න ම ඔ්නෙ. අතරමඟ නවත්තන් නැතුව ආපහු ලියන එක හොඳයි.

    හෙන කුතුහලේ ඉතිං මේකෙ මොනවයිං මොනව වෙයිද කියල. එක වෙලාවකට ස්ටා වෝස් වගේ. තව වෙලාවකට කොනෑන් ද බාබේරියන් වගේ.

    ReplyDelete
    Replies
    1. නතර කරන්න නම් බලාපොරොත්තුවක් නැහැ. අලුත් විදියට බිසී වුනා පහුගිය දවස් ටිකේ. ඒකයි ලිව්වේ නැත්තේ. මම බ්ලොග් එකකට කියල බැලුවේ උඹේ කතාව විතරයි වගේ මේ ටිකේම... හෙහ් හෙහ් ..

      ස්ටා වෝස් සහ කෝනෑන් එකට ලියන්න ගිහින් නානවද කියලත් හිතෙනවා මට වෙලාවකට. හෙහ් හෙහ්

      Delete
    2. නෑ නෑ... එහෙම නෑමක් නෑ. මෙතන උඹට ඔ්නෙම දෙයක් ලියන්න පුළුවන්. ඔන්නං නිව්ටන්ගෙ නියම තුන මග ඇරල යන්න වුණත් පුළුවන්.

      Delete
    3. ගානට බැලන්ස් කර ගන්න ඕනේ කෝනෑන් ව ස්ටා වෝර්ස් එකට.

      The Mandalorian බැලුවද ? ස්ටා වොර්ස් ආයේ පණ ගහල ගන්න පුළුවන් කතාවක්

      Delete
    4. කියවන කොට මට නිකන් ඔළුවට ආව මන්ඩලොරියන්. පැතුම කියල. ඇසිමෝව් තමයි මගේ ඔළුවට එන්නේ.

      Delete
    5. ඊඊඊඊඊඊ... සීරීස් එකක් නෙව.

      Delete
  2. කොරෝනා නිසා වැඩ වැඩි වුණාවද
    පැරදිසෝ රටෙදි මඟ වැරදුණාවද
    පරිගණකය කැඩුණද, ලෙඩ දුන්නාද
    දැන් හරි නේද, ඉක්මන් කර ලියනවද?

    ReplyDelete
    Replies
    1. කොරෝනා නිසා ලැබුණු විවේකය අලුත් විදියට බිසී කර ගත්තනේ. ඒකයි ප්‍රමාදය .

      මේක ලියන්න ඕනේ කියල හිතෙන හැම වෙලේම, නිදී ගේ උනන්දු කිරීම මතක් වෙනවා හෙහ් හෙහ් ..

      Delete
  3. Mama hithuwa e katawath magin iwarayi kiyala.kalekin dakkama mara sathutak danune

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ජීවන්ත, මේ විදියට උනන්දුවෙන් බලන කීප දෙනෙක් ඉන්න එක ලියන්න ලොකු ශක්තියක් වෙනවා. ඉක්මනට ලියන්නම් ඉතිරි ටික.

      Delete