Friday, May 15, 2020

කාල යක්ෂ - 5 පුරාවෘත්තයේ පැවැත්ම



හතර වන කොටසට 


"හ්ම්ම්ම් ... ඔයා කියන්නේ මේ අපි දකින්නේ ස්කෘලොක් ගේ ලෝකය කියල ද ?"

"ඔව් මීට දවස් ලක්ෂ 20කට විතර කලින් පෙරදිග රාජ්‍යය මෙහෙම තිබිල තියෙනවා. මීට අමතරව අපි මේ කාලෙට අයිති තවත් අපූරු බඩුවක් හොයා ගත්ත"

"නෙම්සි , අංක 13 විවෘත කරන්න...

අංක 13 විවෘත කරන ලදී ...

සේප්පු බිත්තියෙන් මතු වූ ත්‍රිමාණ රුව දුටු ඇලෙන්ඩිගේ මුව විවර වීය... 

"මොකක් .... ඒ මොකක් ද ඒ ....? "

අද එතැන් සිට ...


එහි වුයේ රන් පැහැ ඇඳුමක් ඇඳගත් ප්‍රතාපවත් පුද්ගලයෙකු සිය දෑත තමා ඉදිරියෙන් වූ  හිස්  අවකාශයට  යොමු කර එකවරම යම් භාණ්ඩයක් මවන අයුරුය.  එය ඔවුන් කිසිදිනෙක දැක නොතිබූ  වර්ගයේ අවියකි.  රන් පැහැ අමුතුම ආකරයක්  ගත් මේ අවිය  කෙසේ ක්‍රියාත්මක වනවාදැයි ඔවුනට අවබෝධයක් නොතිබිණි . සියල්ලටම වඩා ඇලෙන්ඩි මවිත වුයේ  එය ඉබේ පහළවූ ආකරය දුටු විටය .


"අපි හිතන විදියට ඒ බැලස්ටිකා ප්‍රයිම් කියන වර්ගයේ අවියක්... " බ්‍රයිටෝ පැවසිය.


බැලස්ටිකා ප්‍රයිම් IV වර්ගයේ අවියක් 


"එතකොට ඒ හිටියේ ස්කෘලොක් ද ?   

"ඒ  ගැන හරි තොරතුරක් නැහැ ... එක්කෝ ඔහු වෙන්න පුළුවන් නැත්නම් ඔහුගේ සමීපතමයෙක් වෙන්න ඉඩ තියෙනවා.

"හ්ම්ම්.... මේ දේවල් දකින කොට නම් ඔයාගේ කතාව විශ්වාස කරන්න වෙනවා ..   ඇලෙන්ඩි කල්පනාකාරී ලෙස පැවසිය..

"ඒත්  කොහොමද ඔයාල මේවා හොයා ගත්තේ ... මෙච්චර කල් මේවා කොහෙද තිබුණේ .."

"අනිත් එක මේච්චර දියුණු ඉතිහාසයක් අපිට තිබුන නම් ඇයි දැන් කිසිම සාක්ෂියක් හොයා ගන්න බැරි විදියට ඒවා විනාශ වෙලා තියෙන්නේ ..?  "

"මේවා හොයා ගත්ත විදිය මම ඔයාට කියන්නම්... නමුත් වැදගත් වෙන්නේ ඒක නෙමෙයි . අපි කතා කරන මේ මොහොතේත් මේ ස්කෘලොක් ව නැවත ගේන්න මිනිස්සු දහස් ගානක් බිලිදෙන ඉතා භයංකාර පුජාවක් සිද්ද වෙනවා ..." 

"බිලි පුජා කියන්නේ මහා මිලේච්ච වැඩනේ ... මෙච්චර දියුණු ශිෂ්ටාචාරයක් ගොඩනගපු මනුස්සයෙක්ව නැගිට්ටවන්න ඒවා කරන්නේ මොකටද ? අනිත් එක මරණයෙන් නැගිටිනවා කියන්නේ කවදාවත් කරන්න බැරි වැඩක් නේ .."

"ඇලෙන්ඩි... ඒ ඔයාල අපි දන්න තරම තමා..."

"මම හොයා ගත්ත ...." ඔහුට කියන්නට හැකිවුයේ එපමණකි. 

සේප්පු කාමරයේ වසා තිබුණු දොර පසාරු කරගෙන ආ අධි බලැති ලේසර් කිරණයක් තරුණ විද්‍යාඥයාගේ හිස හරහා ගියේය . කපා හෙළු කෙසෙල් කඳක්  මෙන් බිම ඇද වැටුණු තරුණයාගේ  කණ අසලින් දුමක් නැගිණි.

සිදුවුයේ කුමක් දැයි සිතා ගන්නටත් පෙර දොර කඩාගෙන ආ ශක්තිමත් සෙබළු දෙදෙනෙකු විසින්  ඇලෙන්ඩිගේ කට වසා ඇයව කුදලා ගත්තෝය .

බ්‍රයිටෝ ... ඇලෙන්ඩි දඟලමින් කෑ ගැසුවාය ...කටින්  ශබ්ධයක් පිට නොවුවත් එලියට පනින්නට මෙන් ඉදිරියට නෙරූ ඇගේ ඇස් තම සගයාගේ නිසල සිරුර වෙත යොමුවී තිබිණි. ක්ෂණයක් තුල සිදුවූ මේ සියල්ල ඇගේ මොලයට එකවර දරාගැනීමට නොහැකි වූවාක් මෙනි . ශක්තිමත් සෙබළු දෙදෙනාගේ ග්‍රහණයෙන් මිදීමට ඇය ගත උත්සාහය නිසා ඇයට සිදුවූ දේ සිතීමට අවකාශයක් නොවීය.  එසැනින් ඇගේ ගෙලට දැනුනු සියුම් වේදනාවත් සමග සියල්ල අඳුරු වී යනු තරුණියට දැනුණි.

*********   


දැවැන්ත කළු වෘකයා පිට නැඟ ඉදිරියේ වූ මහ වනය දෙස බලා සිනා සුනු ප්‍රයිකූල් තම අත වූ කුඩා උපකරණයේ බොත්තම් කිහිපයක් තද කළේය.


දැවැන්ත කළු වෘකයා පිට සිටින ප්‍රයිකූල්


නැඟෙනහිර ඈත ක්ෂිතිජයෙන් තද රතු පැහැති ආලෝක කදම්භයක් නැඟී ආවේය..ඒ ඔවුනට සටනට පිටත් වීමට සිය මූලස්ථානයෙන් ලැබුණු සංඤාවයි…

ලේ වැකුණු අසිපත ලෙළවූ ප්‍රයිකූල් “යමල්ලා”යැයි අණ දුන්නේය. අසුන් පිට නැඟුනු සෙනෙවියෝ සිය සේනා ඉදිරියට මෙහෙය වූහ.. 30,000 ක සේනාවක් සමඟ ආදි කල්පික අඳුරු වනය තුල ඔවුන් කරන්නට සැරසෙන මේ සටනේ අවසානය කුමක් වේදැයි කිසිවෙකු නොදත්තෝය… වනයට මෙපිටින් වූ තැනිතලා නිම්න භූමියේ විසිරුණු 30,000 ක් පමණ වූ මළ කඳන් පෙර දින කිහිපයේ සිදු වූ සටන් වල දරුණු කම පෙන්නුම් කළේය…

විශ්වය පුරා පැතිරුණු ග්‍රහ ලෝක, ග්‍රහ මණ්ඩල තුල විවිධාකාරයේ සටන් ඇති වී නැති වී ගියේය..විශ්වයට සටන් යනු අරුමයක් නොවේ…නමුත් මේ සටනේ වෙනසක් ඇත..ඒ ඔවුන් සටන් කරන්නෙ කුමක් සමඟ දැයි මේ සෙබළුන් නොදැන සිටීමයි…සිය සතුරා කවුරුන්දැයි නොදැන සටන් කරන මේ සෙබළුන් දැන සිටි එකම දෙය කොයි මොහොතේ හෝ තමන් මිය යන බව පමණි. තමා මිය ගියේ සිය අතින්ම බව ඔවුන් වටහා ගත්තේ මිය ගිය පසු වීම මේ සටනේ ඇති කුරිරු බවයි..

ප්‍රයිකූල් සිය  වෘක වාහනය මත එල්ලා තිබුණු පැසෙන් ගත් බෝතලයෙන් උගුරු කිහිපයක් හලා ගත්තේය. ලේ රහ වන තෙක් කෑ ගසමින් සෙබළුන් මෙහෙය වූ ඔහුගෙන් දිස්වුයේ රුදුරු බවකි. 

තම අත වූ බෝතලය අසල සිටි සෙබලාට දිගු කල ඔහුට විඩාවෙන් සහ මර බියෙන් හෙම්බත් වී සිටින සිය සෙබළු ගැන චායා මාත්‍රික අනුකම්පාවක් සිය සිත තුල ඇතිවී නැතිවී යනු දැනුනේය. 


“ප්‍රයිකූල් අර කන්ද එහා පැත්තට රෑ වෙන්න කලින් යා ගන්න බැරි වුනොත් අපි අමාරුවෙ.” විඩාවෙන් හෙම්බත්ව පසු පසින් වැටී ගෙන එන සිය අසරණ සෙබළු දෙස අනුකම්පාවෙන් බැලූ සෙන්ට්‍රිනෝ පැවසුවේය. ඩුවෝගේ පිට නැඟුන ප්‍රයිකූල් කෙලින් බලා කිසිත් නොදොඩා සිටියේය.

“මේ මිනිස්සු අපි වෙනුවෙන් මෙහෙම කැප කිරීමක් කරන එක ගැන මට වෙලාවකට පුදුම හිතෙනව. අනිත් එක කිසිම දෙයක් නොලැබෙනව කියල පැහැදිලිවම දැන ගෙන තමන්ගේ ජීවිත මේ විදියට පරිත්‍යාග කරන මිනිස්සු මම නම් කවදාවත් දැකල නැහැ… ”

“ඒක එහෙම වෙන්නෙ නැහැ සෙන්ට්‍රිනෝ… මේ මිනිස්සු මැරෙන්නෙ නිකම් නෙවෙයි… ඔවුන් මැරෙන්නෙ වීරයින් විදියට…”

“හැම සෙන්පතියම යුද්දෙට යන තමන්ගේ සෙබළුන්ට කියන්නෙ ඔහොම තමයි. ඒත් යථාර්තය ඒක නෙවෙයි නෙ. වීරයෙක් විදියට මැරෙන්න නම් වීර කමක් කරල මැරෙන්න ඕනෙ. මට නම් මෙතන කිසිම වීර කමක් පේන්නෙ නැහැ.”

ප්‍රයිකූල් කිසිත් නොකියා ඈත බලාගෙන ගමන් කළේය. සවස් වෙමින් තිබිණි. මල හිරුගේ රශ්මියෙන් නැහැවෙමින් තිබුණු කඳු පෙල ප්‍රතාපවත් ලෙස හාත්පස වසා පැතිර තිබිණි. “ඉක්මන් කර පල්ලා” ඔහු සිය සේනාවට අණ දුන්නේය.

ආදි කල්පික දැවැන්ත වෘක්ෂලතාවන් පිරි කැලෑවේ කෙලවරින් වැටුණු මඟ ඔස්සේ ඉදිරියට ඇදෙන මෙම සෙබල පිරිස සිටියේ මැනවින් සන්නද්ධවය. ඔවුන් අත තිබුණේ අධි බලැති කිරණ තුවක්කු, තියුණු මුවහතින් යුතු වානේ අසිපත්, අධි බලැති පිපිරිම් සිදු කළ හැකි දුරස්ථ පාලක බෝම්බ ආදී ඕනෑම ආකාරයක සටනකට සුදුසු ආයුධය. එක් එක් සේනා කණ්ඩ භාර සෙන්පතියන් පැලද සිටි සන්නාහකයන් ඕනෑම වෙඩි උණ්ඩයකට ඔරොත්තු දීමට සමත් ඔනෑම කඩු පහරකට ඔරොත්‍තු දෙන අන්දමේ අතිශය සවිමත් ලෝහයන් ගෙන් සමන් විත විය.

මායාවන් ගෙන් කෙළ පැමිණ සිටි ස්කෘලොක් ගේ සොහොන් කොත සොයා යන මේ බියකරු ගමන සඳහා ඔවුන්ට මෙවැනි ආයුධ වල සහාය අත්‍යාවශ්‍ය විය.

කඳුකරය රහස් සඟවා ගෙන සිටින බව ඔවුන් දැන සිටියද ඒ රහස් කොතරම් බිහිසුනුදැයි සෙබළු දැන  ගත්තේ මේ සටනට එළැඹීමෙන් පසුවය. පුරාවෘත  යනු  සම්පුරණයෙන්  අසත්‍ය නොවන බව සහ පරම්පරා ගණනක් තිස්සේ මිනිසුන් විශ්වාස කරන සහ අදහන සමහර දේ  එසේ  රැකී ඇත්තේ ඒවාට මුලික වූ සිද්දි වල තිබුණු බරපතල කම නිසා බව ඔවුහු තේරුම් ගනිමින් සිටියෝය...

"උඹට  විශ්වාසද ඒ  මිදුම අස්සෙන් දැකපු ඇස් දෙක සතෙක් ගේ නෙමේ කියල ...?  

සෙබළ  පිරිසේ ගමන් කරමින් සිටි තරුණ සොල්දාදුවා පසෙකින් ගාටමින් සිටි තම සගයාගෙන් ඇසිය...  

"ඔක්ස්ෆෝ  පල්ලා ... ඒ ඇස් පණ තියෙන ඇස් නම් නෙමේ ..."

"මම දැක්ක ... මට එහා පැත්තේ හිටපු උස හාදය කීප සැරයක් වටේට කැරකෙනවා .. හරියට උගේ හෙවනැල්ල අල්ල ගන්න ... හෙවනැල්ලත්  එක්ක කතා කරන්න හදනවා වගේ ඌ කැරකුණේ .. මම හිටියේ  ඊට එහා පැත්තෙන් .... මම මගේ පස්සෙන් ආපු දඩ බල්ලට කඩුවෙන් ගහපු ගමන් මට ඇහුනා මහ අමනුෂ්‍ය සද්දයක් ... උඹ දැක්කනේ ආපු සත්තු ඔක්කොම නිකන් ආවේස වෙලා වගේ හිටියේ ... උන් ඔක්කොම මොකක් හෝ බලයකින් අපේ පස්සේ පැන්නුවේ ... මම ගහපු කඩු  පාරට බල්ලා ආයේ නැගිටින්නේ නැහැ කියල දැකපු ගමන් මම හැරුණා. එතකොටම අර හාදය  වටේට කැරකි කැරකි වෙඩි තියන්න ගත්තා ... "

"හැබැයි ඒ ලේසර් පාරවල් කොහේ ගියාද කියල මම දැක්කේ නැහැ ..." 

"එක පාරටම අදෘශ්‍යමාන අත් දෙකකින් බෙල්ල මිරිකනවා වගේ අර කොල්ලා දඟලන්න ගත්තා ....  උගේ අතේ තිබ්බ තුවක්කුව පත්තු වුනත් ඒවා ඔක්කොම එහෙ මෙහෙ ගියා මිසක් ඉලක්කයක් තිබුනේ නැහැ .. ටිකෙන් ටික කොල්ලව  පොළවෙන් උඩට උස්සල ගත්තා..  ඒ වෙද්දී වටේ තිබුණු මීදුම ගණ වෙන්න පටන් අරන් තිබුනේ .. මම  මගේ වටේ කවුරුත් පෙන්න හිටියේ නැති හින්දා ටක් ගාල පාත් වෙලා ළඟ තිබ්බ ගලකට මුවා වුණා... 

"ඉතින් ..." අනෙකා හුමිටි තිබ්බේය ...

"මම ඒ හාදයාගේ මුණ ඊට කලින් දැකල තිබුණා... කලින් දවසේ දවාලේ වතුර බොද්දි මම ඌව දැක්ක කියල මට මතක් වුණා ..." 

"ටික වෙලාවක් ඌ අත්දෙකෙන් බෙල්ල අල්ලගෙන දඟල දඟල හිටියා. එක පාරටම  බෙල්ල තදින් හිර වෙනවා වගේ කොල්ලා ඇඹරෙන්න ගත්ත ... ඒ එක්කම මිදුම අස්සෙන් මතුවුනේ ගින්දර පාට ඇස් දෙකක් ... චායාව වගේ ඒ ඇස් අයිති  මුහුණ මම දැක්කත් හරියට පැහැදිලිව පෙනුනේ නැහැ ... හැබැයි මගේ හිත එක පාරටම කිව්වා ඒ හිටියේ අර කොල්ලමයි කියල .. මොකද ඌට  තිබුනේ යටට බැහැපු හකු දෙකක් ... හරි හතරැස් වගේ .. මට ඒ මුහුණ මතක තිබුනේ ඒ හින්ද ... මීදුම අස්සෙන් මතු වුන චායාවත් ඒ වගේමයි ...


මීදුමෙන් මතුවූ චායාව 


"මොකක් ...?"

"උඹ කියන්නේ  ...  නපුරු ආත්මයේ  මරණය කියල ද ?"

"ඔව් ... ඔක්ස්ෆෝ  පල්ලා ... මට හිතෙන්නේ ඒ නපුරු ආත්මය කියල ... " 

"ඊළඟ මොහොතේ කොල්ල මැරිලා වැටුණා..."

"මාව හිතල වෙලා ගියා ... මම එහෙමම බිම දිගා වෙලා ශුද්ධ වූ මන්ත්‍රය කියන්න ගත්ත ..."

"ඔක්ස්ෆෝ  පල්ලා අපේ ආච්චි මට ඒක උගන්නපු වෙලාවේ මම අහගෙන හිටපු හින්ද හොඳට ගියා ... " 

"හ්ම්ම්ම් .... මමත් ඒ මන්තරේ දන්නවා ..."

"මම උඹට කියන්නේ  අපි මේ කරන වැඩේ අන්තිම භයානකයි...  ඔක්ස්ෆෝ  පල්ලා... මට ගෙදරට වෙලා මගේ දුවත් එක්ක ඉන්න පුළුවන් කම තියාගෙන මම මේ ගමන ආවේ .. මම ප්‍රයිකුල්ට සලකනවා . ප්‍රයිකුල්  නැත්නම් මගේ කෙල්ලගේ ජිවිතේ බේරෙන්නේ නැහැ ... ඒකට  සලකන්න  මම ගමන ආව මිසක් මේව මහ සහගහන වැඩ.."

"උඹේ නම මොකක්ද?  "

"මට කියන්නේ වැල් ජෝන් කියල .."

"එතකොට උඹ ...?"

"හ්ම්ම්... මම ... හයිලැන්ඩර්  නෙමේ .  මම සෙන්ට්‍රිනොගේ  කුලී  හමුදාවේ . උපන්නේ  හොවාග් වල ...  නම ඩාකි  "
 
"හාහ් ... හොවාග් වල උඹලත් දන්නවද  ශුද්ධ මන්තර ... මම හිතාන උන්නේ කඳුකරේ අපිට විතරයි භූත බලපෑම් තියෙන්නේ කියල ... " 

වැල් ජෝන් නොසැලකිලිමත් ලෙස සිනා සෙමින් පැවසිය. 


මතු සම්බන්ධයි... 


9 comments:

  1. මායා ලෝකයකට ඇතුල්වුණා වගේ
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක දියණිය, බලමු තව විස්තර ටිකක් ලියන්න මායා ලෝකේ ගැන.

      Delete
  2. අන්න ඒකයි. එකම තේමාවකට ගලාගෙන යන සිදුවීම් වලින් කතාව ගොඩ නැගෙනව. මටත් මාර පෝෂණයක් පැත්තගෙ මේ ලිවිල්ල....

    ReplyDelete
    Replies
    1. තාම ලියල තියෙන්නේ පිටු 200ක වගේ පොතක පලවෙනි පිටු 10-20 වගේ . කතාව ගොඩ නගන්න තියෙනවා තව සෑහෙන්න.

      බලමු හෙමිහිට ලියල.

      බොරු ලියන එකත් හෙන ආතල් වැඩේ නේද බන් .. හෙහ් හෙහ් ..

      Delete