Tuesday, October 23, 2018

නාසා එකෙන් ලියුමක්


හදිසියේම මේ කෙටි සටහන ලියන්න හිතුනේ පහුගිය දවසක අපේ ඉස්කෝලේ සියවෙනි සංවත්සරය වෙනුවෙන් තිබ්බ ප්‍රදර්ශනයෙදී ඉස්කෝලේ මල්ලි කෙනෙක් හදපු රොකට් එකක් ගැන ජනාධිපතිතුමා ටිකක් සීරියස් අරගෙන පොඩි ප්‍රසිද්ධියක් දීල තිබුණු නිසා.

ඒක ගැන විස්තර ටිකක් මේ පහත ලින්ක් වලින් බලාගන්න පුළුවන්

මේකේ තියෙනවා විස්තරේ
https://www.pressreader.com/sri-lanka/daily-mirror-sri-lanka/20181015/281539406922002

මේකෙත් කෙටියෙන් තියෙනවා
http://www.dailynews.lk/2018/10/15/local/165510/presidents-support-student-launch-rocket

මේක ගැන ජනාධිපතිතුමා ප්‍රසිද්ධියේ අගය කිරීමක් කළා
https://www.youtube.com/watch?v=7hwNjrokoTk


ඉකොනොමැට්ටා ලියල තිබ්බ මෙන්න මේ පෝස්ට් එකේ මීළඟ හඳ ගමන ගැන තිබ්බ සටහනක් දැකල මට මේ සිද්දිය මතක් වෙලා ඒක හදපු මල්ලිට(පුතාද මන්ද) නාසා එකෙන් උපදෙස් ටිකක් ගන්න පුළුවන් ද අහල පොඩි කොමෙන්ට් එකක් දැම්ම. සමහරවිට නාසා එකේ ඉන්න කාගේ හරි අවදානය ලැබෙන්න ඉඩ තියෙනවා. 

ඩිස්කවරි ෂටල් යානය ගුවන් ගත කරන අවස්තාවක් පින්තුරය නම් ගුග්ල් එකෙන්

ඒක තමා හදිස්සියේම මේක ලියන්න මට මතක් කරලා දුන්නේ...

මේ බ්ලොග් එකේ මම ඔය මගේ ඉස්කෝලේ කාලේ කතා කීපයක් ලියල තියෙනවා. අපි ඉස්කෝලේ ඉන්නේ කාලේ තමයි 80 වෙනි හෝ 85වෙනි සංවත්සරය තිබුනේ. ඕකට අපි කට්ටිය ටයිම් මැෂින් එකක් හදපු හැටි මම මේකේ ලිව්වා. ඔන්න බලන්න ඒ කාලේ යහපාලනේ තිබුන නම් ජනාධිපති තුමා මට ටයිම් මැෂින් එකක් හදන්න ලක්ෂ 100ක් දෙන්න ඉඩ තිබුනා.  අපේ වෙලාවට ඒ කාලේ එතුමා ජනාධිපති නෙමෙයි. 

මට පොඩි කාලේ තිබුන අභ්‍යවකාෂගාමියෙක් වෙන ආසාවක්. ඕක තිබ්බේ 5 වසර විතර වෙනකම්. ඊට පස්සේ එක ටිකක් අඩු වෙලා විද්‍යාඥයෙක් වෙන්න හිතුවා, 8 වසරේදී විතර ඉංජිනේරුවෙක් වෙන්න ආසාව ආවා. ඊට පස්සේ 10 වසරේදී වගේ ආකිටෙක් කෙනෙක්. ඔය විදියට ඇවිල්ල  11 වෙද්දී යාන්තම් A/L වලට මැත්ස් කරගන්න පාස් උනොත් ඇති මට්ටමට ආවා. A/L වලින් පස්සේ අනේ මේ යන්තම් කීයක් හරි හොයාගෙන ඉන්න ජොබ් එකක් තිබ්බ නම් මදැයි කියන අතිශය ගැඹුරු කාරණය මම තේරුම් ගත්තා. ඊට පස්සේ ඉතින් ඒකට අනුව මම දැන් ඔන්න ඔහේ කාල බීල වැටිලා ඉන්නවා. 

මම ඔය 6-7 වසර වගේ ඉන්න කාලේ මට තදටම අභ්‍යවකාශ පිස්සුව තිබුනා. ඇත්තටම තාමත් මට ඒක තියෙනවා. ෆේස්බුක් එකේ ලයිව් දෙන රොකට් ලෝන්ච් ගොඩක් ඒවා බලනවා. අපේ දේශකයත් ඔය සබ්ජෙක්ට් එකට උනන්දු හින්ද අපි දෙන්න ඔය ලයිව් යන අවස්ථා ගැන පොඩි පොඩි අප්ඩේට් එහෙම හුවමාරු කරගන්නවා. රොකට් එකක් උඩ යන එක හරි ආතල් ජනක වැඩක්. දැන් තාක්ශනේ  දියුණු නිසා අපිට ගෙදර ඉඳලම ඒවා බලන්න පුළුවන්නේ...

මම ඔය ඉස්කෝලේ ඉන්නකොට ඔය සබ්ජෙක්ට් එකට උනන්දු උනාට දැන් වගේ  විස්තර, ෆොටෝ, වීඩියෝ බලන්න තිබුනේ නෑනේ.. ඔය විජය පත්තරේ, නවයුගය, විදුසර පත්තරේ තමයි ඉතින් මොනවා හරි දෙයක් දැන ගන්න තිබ්බේ. ඔහොම ඉද්දි මට හරියට මතක නැති උනත් මතක විදියට අපිට විද්‍යාව උගන්නපු රංජිත් සර් හරි ඉංග්‍රීසි උගන්නපු සමන් සර් හරි දවසක් කිව්වා නාසා එකෙන් එයාලගේ මිෂන් ගැන විස්තර ලබාදෙන වැඩසටහනක් තියෙනවා. විශේෂයෙන් ඉස්කෝලේ ළමයින්ට එයාල විස්තර දෙනවා කියල කතාවක්. ඊට පස්සේ එකට ලියුම් දාන්න ඕනේ ඇඩ්රස් එකත් සර් දුන්නද කොහෙද...

මම ඉතින් එදාම ගෙදර ගිහින් රට ලියුම් කවරයක් හොයාගෙන, ඔය කාලේ මට ජර්මන් පෑනේ මිතුරෙකුත් හිටියා. ඉතින් රට ලියුම් යවන වැඩේ ටිකක් හුරු වෙලා තිබුනේ. ඒ පෑනේ මිතුරාගේ කතාව වෙනම ලියන්නම්කො

ඉතින් මම ලියුම් කවරෙක දන්නා විදියට ඉංග්‍රීසියෙන් ලියල, දීල තිබ්බ ඇඩ්රස් එකට ලියුමක් දාල දැම්ම. ලියුමක් දාල ලියුම් පෙට්ටියේ කටට හුවක් කිව්වේ නැත්නම් ලියුම යන්නේ නෑ කියල අපේ අම්මා මට ඒ දවස් වල උගන්නල තිබුනා. හෙහ් හෙහ්.. සිරාවට මම දවසක් එහෙම ලියුමක් දාල හුවක් කිව්වා. අපේ ඉස්කෝලේ ගාව තිබුනා උපතැපල් කන්තෝරුවක්. කැන්ටිම පිටිපස්සේ.. දැන්නම් තියෙනවද මන්ද.. මේ ලියුම නෙමෙයි වෙන ඔය මොකක් හරි ලියුමක් දාන්න ගිය වෙලාවක මම කොයි එකටත් කියල ලියුම දාල හයියෙන් හුවක් කිව්වා ලියුම් පෙට්ටියේ කටට... හෙහ් හෙහ් කොටින්ම ගෙදර ඇවිල්ල අම්මටත් කිව්වා වීරයා වගේ.. අපේ අම්මා තාම හිනාවෙනවා. එතකොට 8-9 වසරේ වගේ ඇති මම හිතන්නේ.. අන්න එහෙමයි අපි ඒ කාලේ...

ඉතින් ඔන්න ඔහොම කාලේ ගෙවිලා ගිහින් මට ඔය ලියුම් සීන් එක අමතකත් වෙලා තිබ්බ කාලෙක මෙන්න අපේ ගෙදරට ඇවිල්ල තිබුනා කහපාට අඩියක් විතර දිග අඟල් 8-10ක් පළල ලියුම් කවරයක්. 

To: මට
From: NASA Jet Propulsion Laboratory
           4800 Oak Grove Dr, Pasadena, CA 91109

ලියුම් කවරේ දැක්ක විතරයි අර ලියුම දාද්දි කිව්ව හුවට වඩා 10 ගුණයක් හයියෙන් කෑගහගෙන මම ගෙට දිව්වේ.

මේ අන්තර්ජාලෙයි, තාක්ෂනෙයි හින්දා අපිට බොහෝ දේවල් ලැබිල තියෙන එක ඇත්ත. හැබැයි මේ දියුනුව හින්ද දැන් තප්පරෙන් ලැබෙන දේවල් මිට අවුරුදු 15-20කට කලින් කට ඇරගෙන මාස ගානක් බලාගෙන ඉඳල, හිතේ තියෙන ආසාවල් අතැරලා දාල, ඔන්න ඔහේ පත්තර කෑල්ලක් බලාගෙන ඉන්නකොට, බලාපොරොත්තු නොවෙන දවසක, බලාපොරොත්තු නොවෙන වෙලාවක අතට හම්බවෙනකොට දැනෙන සතුට, ප්‍රීතිය, උත්කර්ෂය, ප්‍රහර්ෂය ආදී හැමදේම අපිට අහිමි වෙලා ගිහින් තියෙනවා. 

හරි ඉතින් දැන් අර ලියුම් කවරේ මොනවද තිබුනේ... 

අඩි 2ක් විතර පළල, අඩි 3ක් විතර උස ගණ කඩදාසියේ වර්ණයෙන් මුද්‍රිත අඟහරු ග්‍රහයාගේ ඒ කාලේ ගත්ත ෆොටෝ එකක් හෝ ඇඳපු එකක් ද මන්ද, ඊට පස්සේ සෞරග්‍රහ මණ්ඩලේ ගැන විස්තර තියෙන තවත් ඒ වගේම ලොකු පෝස්ටරයක්, මේකේ සෙනසුරුගේ ලස්සන ෆොටෝ එකක් තිබුනා මම හිතන්නේ, ඒ ඔක්කොටම වඩා ඒ දවස් වල මිෂන් වලට ගිය discovery shuttle  එකේ හරි endeavour shuttle එකේ හරි අරවගේම සයිස් පෝස්ටර් එකකුයි. තව ඔය මිෂන් ගැනයි, ග්‍රහයෝ ගැනයි වර්ණ ඡයා රූප තියෙන පිටු 20-30ක පොතකුයි... 

තව වෙන මොනවද ඉතින් ඕනේ.  

ඕවා ටික ආවට පස්සේ ඉතින් අර යටගිහින් තිබ්බ අභ්‍යවකාශ ගාමියෙක් වෙන උණ ආයේ හැදුනට ගණන් විද්‍යාව අමාරුයි කියල තේරෙද්දී ඒ උණ හොඳ වුනා. නමුත් ඒ පින්තුර දිහා බලාගෙන ඉන්න, මනෝ විකාර හදාගෙන කල්පනා කරන්න පටන් ගත්තා. ඔය ටික කාමරේ බිත්ති වල අලවල (මිට අමතරව ටයිටැනික්‌ නැවේ පෝස්ටර් එකකුත් ගහල තිබ්බ බිත්තියේ...)  දවල් හීන බලන්න පුරුදු වුනා...

ඕවා ආව දවසේ ඉදල අපේ පවුලේ ඔය සබ්ජෙක්ට් සම්බන්දයෙන් පොර වෙලා හිටියේ මම. නාසා එකෙන් ලියුම් එනවා කියන්නේ එසේ මෙසේ පොරක් නෙමෙයි නේ...

ඒ දවස් වල ගෙදරට එන මගේ යාලුවෝ, අල්ලපු ගෙවල් වල පොඩි උන්, නෑදැයෝ හොල්මන්.. පුදුම ආතල් එකක් තිබුනේ...

ඊට ටික කාලෙකට පස්සේ මම ආයෙත් අර ඇඩ්‍රස් එකට ලියුමක් දාල තව ඔය වගේම පෝස්ටර්, විස්තර පත්‍රිකා වගයක් ගෙන්න ගත්තා. ඉරේ ලොකු පින්තුරයක් ද කොහෙද ඒ සැරේ එව්වා. කොහොම හරි මම බැඳලා වෙන ගෙදරක පදිංචියට යනකම් ඔය පින්තුර ටික කාමරේ බිත්තිවල තිබුනා. පස්සේ මම ඒ ටික අපේ අල්ලපු ගෙදර ඇන්ජලෝ මල්ලිට දුන්නා. සමහරවිට මිනිහා ගාව තාම ඒවා ටික ඇති. මම කිව්වා තියෙනවනම් ෆොටෝ ටිකක් ගහල එවන්න කියල. හම්බුනොත් ෆොටෝ ටික දාන්නම්කො

ඉතින් මේ ඉකොනොමැට්ටගේ පෝස්ට් එකයි අර ඉස්කෝලේ මල්ලිගේ වැඩෙයි දැක්කම හිතුනේ නිකමට වගේ නාසා එකෙන් පොඩි ඊමේල් එකක්, නැත්නම් ඔය රොකට් යවන හැටි ගැන පොඩි උපදෙස් ටිකක් වගේ ගන්න පුළුවන් වෙයි ද කියන එක. නමුත් දැන් ඕනේ තරම් ඔය වගේ විස්තර තියෙන නිසා මට ඒ කාලේ නාසා එකේ ලියුම ලොකු දෙයක් වුනා වගේ ඒ මල්ලිට සමහරවිට ලොකු දෙයක් වෙන එකක් නෑ...

JPL එකේ ඒ විස්තර එවන වැඩ සටහන තාම තියෙනවද කියල මම දන්නේ නෑ... නමුත් ඔය සම්බන්ද උනන්දුවක් තියෙන පොඩි අයට පුළුවන් ඕනනම් ලියුමක් දාල බලන්න. ඇඩ්රස් එක මම ගුග්ල් එකෙන් බලල ඔතන දැම්මේ.. ඉස්සර මට ලියුම් ආවෙත් ඔය ඇඩ්රස් එකෙන් ම තමා.




18 comments:

  1. මේක අපිටත් ලොකු ආඩම්බරයක් නොවැ.. නාසා එකත් එක්ක ගනු දෙණු කරපු පොරක් අපි එක්කත් ගනු දෙනු කරනවා කියන්නේ මොන තරම් තත්ත්වයක් ද අපිට..

    මම්ත් ඔය වගේ ගනු දෙනුවක් කළා විද්‍යා ප්‍රබන්ධ ලේඛකයෙක් එක්ක. මම දවසක් මිනිහට ලියලා යැව්ව, පොත්වල වචන ලියනකොට දෙකට කඩලා, ඉරි ගහලා, කෑල්ලක් උඩ පේලියෙයි, අනිත් කෑල්ල යට පේලියෙයි එහෙම ලියන්න එපා එතකොට අපිට කියවන්න අමාරුයි කියලා.. එදා එදායින් පස්සේ මිනිහා ආගිය අතක් නෑ.. හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. නෙද්දකිං උඹ ශ්‍රේෂ්ඨ ලේඛකයෙක්ව පැලෙන්ම උගුල්ලල දාල. හැක්..

      Delete
    2. සෙන්නා, අපරාදේ තව ලියුම් ටිකක් දිගට දාන්න තිබ්බේ... එහෙම දැම්ම නම් මේ වෙද්දී නාසා එකේ ලියුම් බෙදන ජොබ් එකක් වත් කරන්න තිබ්බ.

      එහෙම උපදෙස් දෙන්න තරම් අවුල් විදියට ලියන පොරක් ලේඛකයෙක් වෙලා තියෙන්නේ කොහොමද හෙහ් හෙහ්

      Delete
    3. නයා, අපි එහෙමයි, දුටු තැන දුන්නා පාර..😜

      පැතුම්, ඒ පොත්වල වචන ප්‍රින්ට් වෙන හැටි. මම හිතුවෙ පොර හිතාමතා එහෙම ලියනවා කියලා.. ඒකයි පොර වගේ උපදෙස් දෘලා ඇරියේ.. "කොහෙද යන පිස්සෙක්" කියලා මගෙ ලියුම මිනිහා විසිකරලා දාන්න අැති හෙහ් හෙහ් හෙහ්..... 😀😀

      Delete
    4. හතර විලිලජ්ජාවේ පස්වෙනි එක.. හෙහ් හෙහ්

      Delete
  2. යකෝ බලාගෙන ගියාම පැතුම එසේ මෙසේ පොරක් නෙමෙයිනෙ. කොහොමද ගණං ටිකක් එහෙම දැනගෙන අබකවයාසගාමියෙක් උනානං හෙම.

    මේ ඒක නෙමෙයි, උඹ අර චැලෙන්ජර් එකටයි, කොලොම්බියා එකටයි මොනව හරි දේකට සම්බන්ධ වෙලා හිටියෙ එහෙම නෑ නේද? හැක්..

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න ඔය අභ්‍යවකාශගාමියෙක් වෙන එක ලේසියි බන්.. ඒ දවස් වල ඉස්කෝලේ උගන්නපු ගණන් වලට වඩා... කවුරු හොයා ගත්තු ගණන් ජාති ද මන්ද තිබ්බේ..

      කොලොම්බියා සීන් එක වෙන කාලේ මම ඔය ආසාව අතැරලා දාල ඔය ගෑනුලමයෙක් පස්සෙන් එහෙම ගිහින් පොඩ්ඩක් පොළොවේ පය ගහල ජිවත් වෙන්න ඉගෙන ගන්න ගමන් හිටියේ... මට හොඳට මතකයි ඕකේ හිටියා කල්පනා චව්ලා කියල ඉන්දියන් ගෑනු කෙනෙකුත්. චැලෙන්ජර් සීන් එක වෙද්දී මම පොඩි එකා බන්..

      හැබැයි ඉතින් නාසා එකෙන් මට අර ශටල් වල පෝස්ටර් එව්වත් හරි ඒවා කිසි අවුලක් නැතුව පැන්ෂන් යනකම් ම වැඩ කලානේ.. හෙහ් හෙහ්..

      Delete
  3. //අපේ දේශකයත් ඔය සබ්ජෙක්ට් එකට උනන්දු හින්ද// යකෝ දේශයකා සබ්ජෙක්ට් කාරයෙක්ද?

    ReplyDelete
    Replies
    1. දේශකයාට තියෙන සබ්ජෙක්ට් ඌටත් මතක නැතුව ඇති... ඒ තරම් සබ්ජෙක්ට් කාරයෙක් නේ ඕකා

      Delete
    2. සබ්ජෙක්ට් වුනාට ඔබ්ජෙක්ට්ස් නෑ

      Delete
    3. මගේ හොඳම සබ්ජෙක්ට් එක කොන්ක්‍රීට් බාස්.. හැක්

      Delete
  4. මගේ මිතුරෙකුත් නාසා එකෙන් ෆොටෝ ගෙන්නගත්ත. ඇත්තටම උන්ගෙ ක්‍රමය පට්ට. ළමයින්ට පොඩි කාලෙම ආසාවක් ඇතිවෙනව. උන්ටත් හොඳ ප්‍රචාරණයක් ලැබෙනව. අනාගතේ උන්ට ඕනි කට්ටිය හදන එක පොඩි කාලේ ඉඳලම කරනව.

    නාසා එක උන්ට ලියුමක් එවන හැමෝටම ඔය ටික එවනව කියල නොදැන හිටපු අපිට ඒක පට්ට මැජික් උනා. හැබැයි ඉතිං දැනගත්තට පස්සෙ අපේ ගොබ්බ කම ගැන අපිටම හිනා...

    ReplyDelete
    Replies
    1. Adeesha Jayanath,

      ඔව්, ලියුමක් දාන ඕනේ කෙනෙකුට විස්තර එවනවා. නාසා එකෙන් සහ ගොඩක් ඒවාගේ ආයතන වල පොඩි ළමයි උනන්දු කරන වැඩ ගොඩක් කරනවා.

      ඇත්තටම ඉතින් අපිටත් ආසාවක් උනන්දුවක් ඇතිවෙනවනේ ඒවා දැක්කම. අපි ඉතින් අපේ ආසාවල් ඔන්න ඔහේ තියෙන්න ඇරලා කීයක් හරි හම්බ කරන්න මහන්සි වෙනවනේ. නමුත් ඇත්තටම ඒ දේවල් වලට ආසාව සහ හැකියාව තියෙන අයට ඕනේ තරම් ක්‍රම හදල දීලා තියෙනවා දිගට කරගෙන යන්න.

      මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා.

      Delete
    2. ඔව් දිගින් දිගටම උනන්දුව පෙන්වන උන්ව උන් අත දීලා උඩට ගන්නවා ඇති...ලෝකෙ තියන හොඳම මොළ ටික එතනට එන්නෙ ඔහොම වෙන්නැති..

      Delete
  5. විස්තරේ කියවල දවස් දෙකක් උනත් පෝන් එකෙන් කමෙන්ට් එකක් කැටීමේ අපහසුවක් තිබ්බා.

    ඇමරිකාව දියුණු වෙන්නේ එහෙමයි. කව්රු මොන ගොන්පාට් ලියුං එව්වත් කරේජ් කරල ඒ ආයතන ලියුං එවනවා.

    ReplyDelete
    Replies
    1. පෝං එකෙන් අමාරුයි තමා. කොම්බුවයි, ඇලපිල්ලයි යෙදෙන 'ඔ', 'ඕ' ශබ්ධ එන වචන ලියන්නම බෑනෙ.. හැබැයි ඒක තියෙන්නේ බ්ලොගර් වලට විතරයි, වර්ඩ් ප්‍රෙස් වල අවුලක් නෑ..

      Delete
    2. දේශා, කතාව ඇත්ත. නාසා වගේ ආයතන නම් අනිවාර්යයෙන් මේ වැඩේ කරනවා. ඔය පොඩි ළමයි ලියල දාන ලියුම් වලට හරියට රිපල්යි කරනවා. මම දැක්ක පොඩි එකෙක් මේ ළඟදී එහෙම දාපු ලියුමකට හෙන සීරියස් විදියට උත්තරයක් එවපු සීන් එකක්.

      මම නම් ෆෝන් එකෙන් මලාට කොමෙන්ට් හෝ පෝස්ට් දන්නේ නෑ... අර හෙලකුරු එකෙත් ඔය අවුල් තියෙනවද?

      සෙන්නා, හෙලකුරු පාවිච්චි කරනවා නම් අර ධනිකට කිව්වා නම් හරි ඔය අවුල් ගැන. මම ෆෝන් එකෙන් සිංහල ලියන්නේ වට්සැප් සහ වයිබර් චැට් වල තමා ගොඩක් වෙලාවට. ඒවෑ නම් අවුලක් නෑ. බ්ලොගර් ගැන දන්නේ නෑ..

      Delete
    3. ඔව් වෙන කිසි එකක අවුලක් නෑ.. බ්ලොගර් එකේ හැර.. අනේ දන්නවනම් එයාට කියලා දාහන්... මෙහෙම අවුලක් තියනවා කියලා..

      Delete