Monday, November 26, 2018

ත්‍රිමාන - 1 කොටස


“අධිරාජ්‍යයාණෙනි, දිය බල්ලන්ගේ ලෝකයේ දොරටු විවෘත කරගන්න ඊයේ අපට හැකි වුණා. දැන් ඔබතුමා එහි සැපත් වී දිය බල්ලන්ගේ ලෝවැසියන්ට ඔබගේ ආඥාවන් දැන්විය  යුතුයි.” පුරෝහිතයෙක් ලෙස ක්‍රියා කළ සේවකයා අධිරාජ්‍යයාට පිටුපා සිට පැවසීය.

“එසේය සේවකයාණෙනි” අධිරාජ්‍යයා දණක් බිමට නවමින් පැවසීය. සේවකයා නික්ම ගියේය. අධිරාජ්‍යයා නැගී සිටියේය.

සේවකයන්ගේ ලොවෙහි තත්වය මෙයයි. අධිරාජ්‍යයාට සියළු බලතල ඇත.  නමුත් ඔහු සිය අතවැසියන්ට ගෞරව කළ යුතු‍ය. එනම් මෙහි පිදුම් ලබන්නෝ දෙවර්ගයකි. ඒ පාලකයන් හා අතවැසියන්ය.

කිසිම සේවකයෙකුට සිය අධිරාජ්‍යයාගේ මුහුණ දෙස බලාගෙන කතා කිරීම සේවකයන්ගේ නීති වලට අනුව තහනම්ය. මෙහි සිටින සමහර සේවකයන් අධිරාජ්‍යයා එක් වරක් හෝ පියවි ඇසින් දැක නැත.

අධිරාජ්‍යයා සිය මාළිගාවෙහි වූ දැවැන්ත වෘක්ෂය වෙතට ගියේය. ගෙබිම පැන නැගී තිබුණ මුල් මත සිටගත් ඔහු පත්‍රයන් හිස මත තබා වෘක්ෂයේ ආශිර්වාය ලබා ගත්තේය. ඉන් අනතුරුව සිරිත් ලෙස සියලු කාර්යකය ක්‍රියාත්මක කර සිංහාසනය මත වාඩි විය. සියළු කාර්යකය මගින් දිය බල්ලන්ගේ ලොව පිළිබඳව මෙතෙක් අනාවරණය කරගත් කරුණු සියල්ල සිය වටකුරු හිස තුල තැන්පත් කරගත්තේය. ඉන් අනතුරුව සියළු කාර්යකය මගින් ලැබුණු විධානයකට අනුව එකම කලාව තුළ සිය සංඛ්‍යාතයේ පිහිටීම විචල්‍යය කරවමින් සේවකයන් කලින් සැලසුම් කල පරිදි දිය බල්ලන්ගේ ලොවෙහි අදාල ස්ථානයට ප්‍රක්ෂේපණය විය.

දිය බල්ලෝ අත් පොලසන් දෙමින්, හූ කියමින් සිය නව නායකයා පිළිගත්හ. දැනට සිටින නායක දිය බල්ලා සම්පුර්ණ රාජකීය ඇඳුමින් සැරසී සිය නව නායකයා පිළිගැනීමට සැදී පැහැදී බලා සිටියේය. ප්‍රක්ෂේපිත රුව සම්පූර්ණයෙන් සෑදුන පසු ප්‍රධාන දියබල්ලා මෙතෙක් වෙලා රැඳී සිටි සිය චිත්ත ශක්තී යානයෙන් බැස සේවකයන්ගේ අධිරාජ්‍යයා වෙත ගියේය.

අධිරාජ්‍යයාගේ රූපය ඔහුට තමාගේ ක්‍රමයට ආචාර කළේය. ඒ සමගම ඔහු සිය සියළු කාර්යකයේ වූ බොත්තම් කිහිපයක් තද කළේය. දියබල්ලන්ගේ නායකයා එහි සිට අධිරාජ්‍යයාගේ රුවට තමාගේ ක්‍රමයට ආචාර කළේය. එය සේවකයන්ගේ ලොවෙහි වූ සියළු කාර්යකයේ තැන්පත් විය.

“උතුමාණෙනි, ඔබ අපව සොයා ගත්තා. ඊයේ වනතුරු අප සිතා සිටියේ මේ විශ්වයේ අපි තනිවෙලා කියලා. නමුත් අපේ ලෝකයට අයිති මාන දෝරටුව විවෘත වෙලා ඔබේ ලොවේ අය මෙහාට පැමිණි විට අපි පුදුම වුණා. මුලින්ම මම ඒක විශ්වාස කළේ නෑ. නමුත් පෞරාණික දියබල්ලා පැහැදිලි කළා මේ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ තමයි මම විශ්වාස කළේ.” නායක දියබල්ලා පැවසීය.


“මමත් එහෙම තමයි. මගේ ප්‍රධාන අතවැසියානන් කෙනෙක් ඔබලාගේ ලෝකයට අයිති සංඛ්‍යාත පරාසය සොයාගෙන ඒ බව මට සැලකල විට මම ඒක විශ්වාස කළේ නැහැ. නමුත් ඔවුන් අපේ ලෝක අතර දොරටු විවෘත කරපුවහම මට ඒක විශ්වාස කරන්න සිද්ධ වුණා.”

“ඔබතුමාගේ අකමැත්තක් නැතිනම්  මම කැමතියි දැනගන්න ඔබතුමා මෙහාට ප්‍රක්ෂේපිත රුවක් පමණක් එවීමට හේතුව?”

“ඒක සම්බන්ධයෙන් මම දැන් කණගාටු වෙනවා. මගේ සේවක ජනතාව දන්වා සිටියා ඔබලා කෙබඳු පුද්ගලයන්දැයි නොදැන එහි යෑම අනතුරුදායක විය හැකියි කියලා. නමුත් මට දැන් පෙනෙනවා ඔබලා සාමකාමී මිනිසුන් බව.”



“එතකොට උතුමාණෙනි, ඔබතුමා ලැහැස්තිද  දැන් අපේ නව නායකයා වීමට” දියබල්ලා ඇසීය. අධිරාජ්‍යාය පුදුම විය.

“ඔබ මාව නායකයා ලෙස පිළිගන්නවාද? මම හිතුවේ මට යුද්ධ කරන්න වෙයි කියලා.” ඔහු පැවසීය.

“ඒක එහෙම විය යුතුයි. පෞරාණීක දියලබල්ලාගේ අදහස්වලට අනුව කවදා හෝ උපතින් දියබල්ලෙක් නොවන පුද්ගලයෙක් අපේ ලොවට පා තැබුවහොත් ඔහුව අපේ පාලකයා ලෙස පිළිගත යුතුයි. මේක අපේ පරම්පරාගත නීතියක්.”

නායක සේවකයා සිය හිස දෑතින් බදා ගත්තේය. එය සේවකයන් පුදුම වූ විට දක්වන චලිතයයි.

“ඇයි ඔබ බය වෙලා වගේ. බය වෙන්න කිසිම දෙයක් නැහැ.” දියබල්ලා පැවසීය.

“නැහැ බය වුණා නෙවෙයි. මට පුදුම හිතුණා. මට විශ්වාස කරන්න බැරිවූණා. ඒ වගේ වෙලාවේදී හිස බදා ගැනීම අපිට උපතින්ම උරුම වෙච්ච දෙයක්.” අධිරාජ්‍යයා පැහැදිලි ක‍ළේය.

“අපිට අපි ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා.” දියබල්ලා පැවසීය.

හදිසියේම අධිරාජ්‍යයාගේ ප්‍රක්ෂේපිත රූපය අස්වාභාවික ලෙස සෙලවී ගියේය. එය දුටු දියබල්ලා මඳක් වික්ෂිප්ත විය.

“ඔබ කොහොමද ඒක කළේ?”

“ඇත්තටම ඒක මම උවමනාවෙන් කළ දෙයක් නොවෙයි. දැන් අපේ ලෝකයට අඳුර වැටෙන්න ආසන්නයි. ඒ නිසා සූර්යාලෝකයේ ශක්තිය ක්‍රමයෙන් අඩුවීගෙන යනවා. ඉතින් මගේ ප්‍රක්ෂේපණයට සුළු සුළු බාධා ඇති වෙනවා.” දිය බල්ලා කිසිවක් නොකියා අසමින් සිටියේය.

“කොහොම වුණත් මට තව වැඩි වෙලාවක් ඔබත් එක්ක මේ විදියට සම්බන්ධ වෙලා ඉන්න අවසර ලැබිලා නෑ. වෘක්ෂයේ ශක්තිය සම්පූර්ණයෙන්ම වැය කරන එක තහනම් නිසා මම දැන් පිටව යනවා. මට බොහොම සන්තෝෂයි ඔබලව හඳුනගන්න ලැබීම ගැන. ඒ ව‍ගේම මම බලාපොරොත්තු වෙනවා. මින් ඉදිරියට අපේ ලෝක දෙක අතර සම්බන්ධයක් පටන් ගන්න පුළුවන් වෙයි කියලා. අනිත් එක මම ළගදිම අපේ ලෝක දෙක අතර ස්ථීරවම දොරටුවක් විවෘත කරන්නට කටයුතු කරන්නම්. එතෙක් අපේ ලොවට ඇතුල් වීමට මේ උපකරණය පාවිච්චි කරන්න යැයි අධිරාජ්‍යයාගේ ප්‍රක්ෂේපිත රූපය ඝණකාභ හැඩැති උපකරණයක් දියබල්ලාගේ අතට දුන්නේය.

“මේකේ තියෙන මේ සංකේත තුන ස්පර්ශ කිරීමෙන් ඔබලාට අවශ්‍ය විටෙක මාන දොරටුව විවෘත කළ හැකියි.”

දියබල්ලා ඒ මේ අතර හරවමින් ඒ දෙස පුදුමයෙන් බැලුවේය.  නමුත් ඔහුට ඒ පීළිබඳව අධිරාජ්‍යාය‍ගෙන් කිසිවක් දැනගැනීමට නොහැකි විය. මක් නිසාදයත් ඒ වන විටත් අධිරාජ්‍යයාගේ රුව මැකී යමින් තිබුන බැවිනි.

“ආදොන් මේ බලන්න. තවත් සංඥාවක්” හෝදොන් දර්ශක පැනලය දෙස බලමින් තම මිතුරාට පැවසීය. තිරයේ දකුණුපස ‍කෙලවරින් තවත් සංඥාවක් ලැබෙන බව දැක්වෙමින් තිබිණි.

“ඒ කියන්නේ තව ඒවා තියෙනවා. පොඩ්ඩක් ඒක තීව්‍ර කරන්න බලන්න.”

“ඒක සෑහෙන්න අමාරුයි. ඒ තරංග සෑහෙන්න විකෘති වෙලා. අපට අවශ්‍ය සංඛ්‍යාතය තෝරාගන්න අමාරුයි.” හෝදොන් උපකරණ සීරුමාරු කරමින් පැවසීය.

සිය අධිතාක්ෂණික පර්යේෂණාගාරයේ තිර වල සටහන් වූ සංඛ්‍යා වලින් පෙන්නුම් කල අනෙක් මානය කෙසේ වේදැයි දෙමිතුරන් තුල වුයේ උද්යෝගයකි. දියබල්ලන් හමුව සේවක ඉතිහාසය තුල ඔවුන් ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණයයි.


අධිරාජ්‍යායා සිය මාළිගාවේ වූ මහා වෘක්ෂය ඉදිරිපිට සක්මනෙහි යෙදුණි. ඔහුගේ සිත තුල සතුටකි. ලෝක දෙකක පාලකයා වීම.... එය ඔහුට සිතාගත නොහැකි අන්දමේ ත්‍යාගයකි.  එමෙන්ම විශාල වගකීමකි. නමුත් ඔහු සතුටිනි.

ද්විත්ව ලෝකයම එළිය කරමින් සූර්යයා පායා ආවේය. “අධිරාජ්‍යයාණෙනි, සුභ උදෑසනක්!” මාළිගයට පැමිණි සේවකයා පසුපස හැරී පැවසීය.

“ආදොන් හා හෝදොන් අපේ ලොවට දකුණු පසින් මඳක් ඇලව පිහිටා ඇති තවත් සමාන්තර ලොවක සංඛ්‍යාත පරාස ගණනය කරමින් සිටින නමුත් ඒවා එතරම් පැහැදිලි නැතැයි ඔවුන් කියනවා.” සේවකයා පැවසීය.

“අහා! එය ඉතාමත් සතුටට කාරණයක් සේවකයාණෙනි. ඔවුන්ට මාගේ සුභ පැතුම් පිරිනමන්න. ඔවුන් කෙබඳු මිනිසුන්ද?” සතුටට පත් අධිරාජ්‍යයා ඇසුවේය”

“ඒ ගැන තවම දැනගන්න විදියක් නැහැ කියලා ආදොන් පැවසුවා. අපේ සංඛ්‍යාතයන්වත් ඔවුන්ගේ ලොවට ඇතුල්  කරන්න බැරිවෙලා. ඒ ලෝකයේ සංඛ්‍යාත එතරම්ම විකෘති වෙලා. නමුත් ආදොන් හා හෝදොන් උත්සහය අතහැරලා නෑ” සේවකයා ඉවත බලා පැවසීය.

“හොඳමයි සේවකයාණෙනි, තවත් තොරතුරු ඇතොත් මට වහාම දන්වනු මැන. මම දැන් දියබල්ලන්ගේ ලොවෙහි පාලනයට අවශ්‍ය නීති රීති සකස් කරමින් ඉන්නේ. ඒ සියල්ල නිම වූ වහාම සේවක මණ්ඩලයට දන්වන්නම්.” අධිරාජ්‍යායා යටහත් පහත් ලෙස පැවසුවේය. සේවක විද්‍යාඥයා යන්න ගියේය.




*****************************************


දෙලොවටම පෑයු හිරු ඇමරිකානු ජනාධිපතිවරයාට තවත් කාර්යබහුල දවසක් උදාකරමින් පායා ආවේය.

ජනාධිපතිවරයා සිය අතෙහි තිබූ නවතම සංඛ්‍යාලේඛණ වාර්තා දෙස නැවතත් බැලුවේය. අසුනෙන් නැගිට සක්මනෙහි යෙදුනේය. කරන්නට කිසිවක් නැත. මුළු ලොවෙහි ඇති භාවිතයට ගත හැකි ගොඩබිම් වලින් 98.5% පමණ මේ වන විට ජනාවාස වී හමාරය. තව ඉතිරිව ඇත්තේ ලෝක උරුමයන් ලෙස සලකනු ලැබූ මහා වනාන්තර කිහිපයකුත් පහසුවෙන් තරණය කළ නොහැකි කඳුවැටි කිහිපයකුත් පමණි. සියළුම කාන්තාර ජනාවාස වී අවසන්ය. චන්ද්‍රයාගේ කොටසකටද මේ වන විට පදංචිකරුවන් යවා ඇත. අභ්‍යාවකාශයේ තැනූ අතිවිශාල නැවතුම්පොළවල් වලද මිනිසුන් පදිංචි වී ඇත. ඔවුන්ට සමහරවිට කෙදිනකවත් තම මාතෘභුමියට ආ නොහැකි වන්නට ඉඩ ඇත.


ජනාධිපතිවරයා හිස කැසුවේය. පෙරදා රාත්‍රිය අඩ නින්දෙන් ගෙවීමෙන් ඇතිවූ තෙහෙට්ටුව ඔහුගේ සිතීමේ ශක්තිය හීන කර දමා ඇත. ඔහුට කිසිවක් කරකියාගත නොහැක. විවිධ රටවලින් ආධාර ඉල්ලමින් පණිවිඩ දුසිම් ගණන් එවා ඇත. වැඩි වූ ජනගහණයට සාපේක්ෂව ආහාර සහ අනෙකුත් අවශ්‍යතාවලට අවශ්‍යය සම්පත් වල වැඩි වීමක් නොවුණි. ප්‍රචණ්ඩ ක්‍රියා,මිනිමැරුම්,හොරකම්, වංචා දූෂණ ආදිය අධික ලෙස ඉහළ ගොස් ඇති අතර මේ හේතුවෙන් ලොවපුරා බිලියන ගණනක් ජනතාව පීඩිතව සිටී. මේ අතර 3වන ලෝකයේ රටවල් ප්‍රධාන තැනක් ගෙන තිබුණි. ලෝකයේ බලවත්ම පුද්ගලයා ලෙස ජනාධිපති ස්ටීවන් ආර්.විලියම්ට මේ සදහා යමක් නොකර සිටීමට නොහැක. නමුත් ඔහුට කල හැකි දෙයක්ද නොවීය.

*****************************************

ප්‍රධාන දියබල්ලා සිය වායුපායානය සුවිසල් මැදුරක දොරකඩ අසල නැවැත්වීය. දියබල්ලන්ගේ ලොවෙහි ඇති එකම ප්‍රවාහන මාධ්‍යය මෙය වේ. එහි වෙසෙන සෑම දියබල්ලකෙුටම එවැනි වායුපායානය බැගින් ඇති අතර ස්වකීය සන්තානයේ ඇති අසීමිත ශක්තියෙන් ඉතා ස්වල්ප ප්‍රමාණයක් ඔවුන් තමන්ගේ රථයේ ඉන්ධන ලෙස යොදාගනී.

මාළිගාවේ දොරවෙත ස්වකීය මොළයෙන් නිකුත් වන ජෛව සංඥා කිහිපයක් එක්තැන් කර යැවූ දියබල්ලා ඉදිරියේ ඒ සුවිසල් දොර විවෘත විය. සේවකයන් හා සම්බන්ධය ඇරඹුණු පසු ඔහු මෙම දොරින් ඇතුළු වන ප්‍රථම වතාව මෙය වේ. ඔහු නොපැකිලිව ඉදිරියට ගියේය. තවත් දියබල්ලන් කිහිප දෙනෙක් මාළිගය තුල සිටි නමුත් ඔවුන් ස්වකීය නායකයා කෙරෙහි එතරම්ම සැලකිල්ලක් නොදැක්වීය. ඒ ඔවුනට දැන් නව නායකයෙකු සිටින නිසා නොව සදාකාලිකවම එය ඔවුන්ගේ පිළිවෙත වූ නිසාවෙනි.

නායක දියබල්ලා දෙතුන් වරක් වමට හා දකුණට හැරෙමින් මාළිගාවේ කොරිඩෝර ඔස්සේ ඇවිද ගියේය. අවසානයේ ඔහුට හමුවිය. දෙපසින් වූ දිගුවන් කැරලි ගැසුණු කොණ්ඩය නිසා කැපී පෙණුනු විශාල තට්ට හිස සහිත දිය බල්ලන්ගේ ලොවෙහි සිටින වයස්ගතම පුදුගලයා වූයේ මොහුය. අතිශය දීර්ඝ කාලයක් තිස්සේ ලබාගත් අතිවිශාල දැනුම් සම්භාරය නිසා එලොවෙහි ජිවත් වූ අතිශය සම්භාවනීය පුද්ගලයා වුයේ මෙම පෞරාණික දියබල්ලාය. නායක දියබල්ලා ඔහු ඉදිරියේ සිටියේය.


“ඔව් මොනවද මගෙන් දැනගන්න අවශ්‍ය?” පෞරාණිකයා සිතුවේය. දියබල්ලා තමා රැගෙන ආ ආගන්තුක වස්තුව පෞරාණිකයා අතෙහි තබා පෙර දින සැඳැවේ සිදුවූ සියල්ල නැවත සිතුවේය. ඒ දෙස අවධානය යොමුකර බලා සිටි පෞරාණිකයා අධිරාජ්‍යයා පැවසු සළකුණු ස්පර්ශ කර බැලුවේය.

අවකාශයේ වූ පදාර්ථවල ආසාමාන්‍ය පෙරලියක් ඇති විය. මොහොතක් ගත විය. ඔවුන් ඉදිරියේ අඩි 6ක පමණ විෂ්කම්භය සහිත නිමක් නොමැති උමං  මගක් වැනි, සැබැවින්ම තිබේද නොතිබේද යන්න පවා පැහැදිලිවම සිතාගත නොහැකි යමක් දර්ශනය විය.

“බාද්-ෆිල්-හා-ඩා!” නායක දියබල්ලා කෑගැසුවේය. (බාද්-ෆිල්-හා-ඩා යනු දියබල්ලන්ගේ ලෝකයේ අපේ නම් දෙවියාය.)

පෞරාණික දියබල්ලාල ඒ දෙස විශ්මයෙන් බලා සිටියේය. ඔහගේ ජීවිත කාලය තුලදී මෙවැනි දෙයක් දුටු පළමු වතාව මෙය විය.

“ඇත්තටම ඒ ගොල්ලෝ බොහොම දියුණු ජාතියක්” ඔහු කතා කළේය. 

“මම ඇතුළට යන්නද?” නායක දියබල්ලා ඇසුවේය.

පෞරාණිකයා මඳක් කල්පනා කර හිස සැලුවේය.

සිත තුළ වූ දෙගිඩියාවෙන් යුතුව දියබල්ලා මඳක් ඉදිරියට ගොස් උමඟ තුළට පා තබා ඉදිරියට එබුණි. ඔහු ඉදිරියේ වූයේ ගිනිගෙන දැවෙන කාන්තාරයකි. සම්පූර්ණ මුඩු බිමකි.

නායක දියබල්ලා මින්පෙර කිසි දිනෙක කාන්තාරයක් දැක නොතිබුණු අතර ඔහුගේ සිරුරේ ඉදිරිපසට මෙතරම් උණුසුමක්ද දැනී නොතිබුණි. මක්නිසාදයත් දියබල්ලන්ගේ ලෝකයේ කොතැනක හෝ කාන්තාර මුඩු බිම් නැත. සම ශීතෝෂ්ණ දේශගුණයක් සෑම දිනකම පවතින ලෝකයක දිවි ගෙවන ඔවුන්ට මෙවැනි උණුසුමක් දරාගත නොහැකි සේය. ඔහු වහා තමාගේ ලොවටම ඉදිරි පයත් ගෙන ආවේය.

“පුදුම උණුසුමක්........ ඒ ලෝකේ ඉන්න අය කොහොම ඉන්නවද මන්දා. ඒක හරියට අපේ පැරණි ලේඛණ වල තියෙන වැලි බිමක් වගේ” නායක දියබල්ලා පැවසීය.

“ඔබ එහි තව මොනවද දැක්කේ?” පෞරාණික දියබල්ලා සිතුවේය.

“දිගටම වැලි බිම විතරයි. උැතින් නිකම් ක්‍ෂේම භූමියක් වගේ දැක්කා. හැබැයි ඒකත් හරි කෘතිමයි.” නායක දියබල්ලා පැවසීය.

ඔහු වෙනදානම් මෙවැනි පැන වලට පිළිතුරු පැවසීමට සිය මුව වෙහෙස නොකරනනමුත් ඔහු තුල වූ තැතිගැස්ම ඔහුව ඔහුගේ ඒ ගොළුබවින් මුදවා ගත්තේය.

දියබල්ලෝ කලෙක ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කළ ඉතා අහිංසක ජන කොට්ඨාශයක් වූහ. එසමයෙහි ඔවූහු තමන්ට උපතින්ම ලැබී තිබුණූ ස්වකීය මනස පාලනය කිරීමේ ශක්තිය ප්‍රයෝජනයට නොගත්හ. නමුත් ශතවර්ෂ කිහිපයකට පෙර ඔවුන්ගේ ලොව තුළ ඇති වූ පුනරුද සමයෙන් පසු ඔවුන්ගේ දියුණුවට අඩිතාලම වැටුණි. ඔවුන් දියුණු වූයේ සීමා සහිතවය. දියබල්ලන්ට අවශ්‍ය වූයේ සිය මූලික අවශ්‍යතා නියමාකාරයෙන් සපුරාගැනීම පමණි. ඉන් එහාට වූ දියුණුවක් ලබාගැනීමට ඔවුන්ට හැකියාව තිබුණු නමුදු ඒ සඳහා උත්සහ නොකළහ. වසර සිය ගණනකට පසු සේවකයන්ගේ ලෝවැස්සන් දියබල්ලන්ගේ ලොවට ඇතුල් වන තුරුම ඔවූහූ තමන් විසින් තනාගත් පුංචි හුදෙකලා ලොව තුළ ස්වාභාවිකත්වයට ආදරය කරමින් ජීවත් වූහ. ඔවුන් අතර ගැටුමු ඇති නොවීය. එහි වූ සෑම දියබල්ලෙකුටම සම අයිතිවාසිකම් ලබාදී තිබුණි. කෙනෙක් තව කෙනෙකු පරයා වාසි ප්‍රයෝජන ලැබීමට උත්සහ නොකලෝය. සියල්ලෝම වෛරය, ක්‍රෝධය වැනි සිතුවිලි යටපත් කරගැනීමට පුරුදු වූහ. ඔවුන් තුල වූයේ එකිනෙකා කෙරෙහි වූ සෙනෙහසකි. ඔවුන් කිසිවෙක් කිසිවෙකුට කිසිදාක වෛර නොකළෝය. අවශ්‍ය තරමට පමණක් තාක්ෂණික අතින් දියුණු වූ ඔවුහූ සිය අධ්‍යාත්මික ගුණවගාව කෙරෙහි වැඩිපුර යොමුවූහ. සේවකයන්ගේ පැමිණීමෙන් පවා ඔවුන් වෙනස් නොවනු ඇත.

සේවකයන් යනුද දියබල්ලන් මෙන්ම අහිංසක ජන කොටසකි.ඔවුන්ට උදාවී ඇත්තේ දියබල්ලන්ට සිදුවූ දෙයෙහි ප්‍රතිවිරුද්ධ දෙයයි. එනම් පෙර ඉතා දියුණු ජාතියක් වූ සේවකයෝ දැන් අතිශය දුක්ඛිත තත්ත්වයකට පත්වෙමින් සිටිති.

එයට හේතුවී ඇත්තේ ඔවුන්ගේ අතීතයේ වූ අධිතාක්ෂයේ අතුරු බලපෑමයි. මීට වර්ෂ දෙතුන් සීයයකට පමණ පෙර සිට සේවකයන්ගේ ලොවෙහි කාන්තාරකරණය ආරම්භ විය. සේවකයන්ගේ ලොවෙහි පෙර විසූ පරම්පරාවලට අවශ්‍ය වූයේ ස්වාභාවිකත්වය ඉක්මවා යෑමටය. ඔවුහු දෙවියන් වීමට උත්සාහ දැරුහ. කාලගුණය පාලනය කළෝය. තාක්ෂණය භාවිතයෙන් වෘක්ෂලතාවන්ගේ වර්ධනය තමන්ට අවශ්‍ය පරිදි පාලනය කළෝය. වර්ෂාව තමන්ට අවශ්‍ය කලට නියමිත තැනට ලබාගැනීමට ඔවූහු සමත් වූහ. සැබැවින්ම ඔවුහූ ස්වාභාවධර්මය පාලන කළෝය. ස්වකීය මනුෂ්‍ය වර්ගයාට ලෙඩදුක් වලින් තොරව දිගුකලක් ජීවත් වීමට හැකි ක්‍රම ඔවුහූ සිය ඥාණ ශක්තිය මෙහෙයවා ලබාගත්හ. සැබැවින්ම ඔවුහු පරිපූර්ණ ලොවක ජීවත් වූහ.


නමුත් අවසානයේ ස්වාභාවධර්මය ඔවුන්ට එරෙහි විය. සේවකයන්ගේ පසහෙි තවදුරටත් බෝග හට නොගත්තේය. උල්පත් වලින් ජලය නොගැලුවේය. පරිසරයේ වූ ස්වාභාවික තුල්‍යතාවය බිඳ වැටිණි. එනමුදු ඔවුහු ස්වාභාවධර්මය සමඟ උරණ නොවූහ. පසු පරම්පරාවල් මුල් පරම්පරාවල ක්‍රියාකලාපයන්ගේ ප්‍රතිඵල භුක්ති විදින්නෝය. එ‍හෙත් එවුහූ නොසැලෙති. මෙය සේවකයන් තුල වූ වැදගත්ම ගතියයි. සිය පැරැණ්නන් විසින් රචිත තාක්ෂණයේ බලයෙන් ඔවුහු දිවි රැකගත්තෝය.


දැන් ඔවුන්ගේ මූලික අරමුණ වී ඇත්තේ විනාශ වී යන සිය ලෝකය රැක ගැනීමයි. ඒ සඳහා ඔවුහූ වෙනත් විශ්වයන් සොයමින් බහුමානයේ පිහිට පැතුවෝය. මේ වන විට එයින් යම් ප්‍රගතියක් ඔවුන්ට අත් වී ඇත. මක්නිසාදයත් ඔවුන්ට අවශ්‍ය තුරුලතා සරු පස් ආදිය දියබල්ලන්ගෙන් ලැබෙනු ඇත.

මිනිස් සම්පත සොයා ගැනීම ඔවුන්ගේ ප්‍රධානම අරමුණ වී ඇත. සේවකයන් නම් වූ මිනිස් කොට්ඨාශය විශ්වයෙන් අතුගෑවි යාම වැළැක්වීමටනම් එය අත්‍යවශ්‍යම වේ.

“අධිරාජ්‍යයාණෙනි, හෝදොන් හා ආදෝන් ඔවුන් සොයා ගත් අළුත් ලෝකයට යාම සඳහා දොරටුව විවෘත කර එහාට ඇතුල් වී තිබෙනවා. එසේම අද උදෑසන දියබල්ලන්ගේ ලොවේ සිට අපේ ‍ලොවට ඒමට ඔවුන් දොරටුව විවෘත කර තිබෙන නමුත් කිසිවෙක් එයින් ඇතුල් වී නැහැ.” එදින තුළ ඒ දක්වා සිදුවූ  අධිරාජ්‍යයාට දැන්වීමට තරම් වැදගත් කරුණු දැන්වීම සිය වෘත්තීය කරගත් එක් සේවකයෙක් අධිරාජ්‍යයා හමුවේ පැවසීය.


“හොදයි සේවකයාණෙනි, මා ද දියබල්ලන්ගේ ලොවෙහි කටයුතු සඳහා අප විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ග සම්පාදනය කර අවසානයි. වහාම ඒ බව දන්වා උත්තරීතර සේවක මණිඩලයේ නියෝජිතයෙකු මෙහි කැඳවාගෙන එනු මැනවි. අද සවස මම එය සේවක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් වෙමි.”

මොහොතකින් අධිරාජ්‍යයාගේ පුරෝහිත ලෙස කටයුතු කළ සේවකයා අධිරාජ්‍යයාගේ කුටිය වෙත පැමිණ ආපසු හැරී සිටියේය. ඒ දුටු අධිරාජ්‍යයා සිය වාර්තා යන්ත්‍රය සේවකයා අසල වූ මේසය මත තබා ආපසු හැරු‍ණේය. මෙවිට සේවකයා ඒ දෙසට හැරී යන්ත්‍රයට සවන් යොමා වාර්තාව ඇසීය.

“තව හිරු උදාවන් සතකින් පසු එළබෙන අටවන හිරු උදාවේ සිට අපි ඔබලාගේ පාලනය භාර ගනිමු. අප මෙහිදී පාලනය භාර ගැනීම යනු ඔබ සැම යුද්ධයකින් යටත් කරගත් කලෙක මෙන් මවිසින් නිකුත් කරන නියෝග අනුව ක්‍රියා කරන බව නොව අපේ විනාශ වී යන ලොව ජනාවාස කිරීම සඳහා හැකිනම් ඔබලාගේ ලොවෙහි වෙසෙන ජනතාවෙන් කොටසක්ත් ලබාගැනීම හා අපේ ලොවෙහි අප සතුව ඇති එකම සම්පත වන අපේ තාක්ෂණික උපකරණ සහ දැනුම ඔබ වෙත ලබාදීම වැනි අන්තර් ලෝක සම්බන්ධතා ක්‍රමවත් ලෙස පවත්වා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීමයි.”


අපට මෙහිදී ඔබගේ ලොවෙහි ඇති සරු පස් වලින් කොටසක්, සෑම වෘක්ෂ වර්ගයකින්ම එක් වෘක්ෂයක් පමනක් ලැබීම සෑහේ. ඉන්පසු ඒවා ක්‍ෂණික ලෙස වර්ධනය කරගත හැකි තාක්ෂණය අප සතුය. එබැවින් අපට ඔබලාගේ වෘක්ෂ හා පස් හැකි ඉක්මනින් ලබාගත හැකිනම් අපට දින 30ක් වැනි කාලයක් තුල අපේ ලොවින් වැඩි ප්‍රමාණයක් ජනාවාස කිරීමට සුදුසු තත්ත්වයකට පත් කරගත හැකිය. එසේම ඔබලාගේ ලොවෙහි සිදුකිරීමට ඇති ඕනෑම තාක්ෂණික කටයුත්තක් සඳහා අවශ්‍යය ඕනෑම උපකරනයක් ලබාදීමට අපට හැකියාව ඇත.”


“අධිරාජයයාණෙිනි මේ වාර්තාව ඉතාම සුදුසුයි. නමුත් අපට දියබල්ලන්ගේ ලොවෙන් මිනිසුන් මෙහි රැගෙන ආ හැකිවේයැයි මම හිතන්නේ නෑ. එහි සිටින මිනිසුන්ට අවශ්‍ය තරම් ඉඩ පහසුකම් තියෙනවා. අනිත් එක ඔවුන් කාලයක් තිස්සේ ගොඩනගගෙත් ලෝකය අතහැරලා මෙහෙට එන්න කැමති වේයැයි හිතන්න අමාරුයි.”


“එහෙමයි සේවකයාණෙනි, නමුත් අපේ ලෝකයේ ජනතාව සම්පූර්ණයෙන්ම වඳ වෙන්න කලින් අපි මිනිස්සු සොයාගත යුතුයි. ඊයේ මට වාර්තාවක් ලැබුණා ඊසාන දිග කොටසේ පිහිට කෙම්ක්‍රිස්ප්වල මිනිස්සු කිහිපදෙනෙක් ආහාර හිඟවීම නිසා මිය ගියා කියලා. දැන් මේ මුළු ලෝකෙම ජනගහණය 1000ටත් අඩුයි. ජනගහණ වර්ධන වේගය අවමයට ඇවිත්. මේ විදියට ගියොත් තව වැඩි කාලයක් අපිව ඉතුරු වෙන එකක් නැහැ. මිනිස්සු නැතිව හරි වෘක්ෂ ටිකක් අපට ලබාගන්න පුළුවන් වුණොත්........”


මතු සම්බන්ධයි...

ප.ලි

2001 වසරේ පොතක් ලෙස පළවූ මගේ විද්‍යා ප්‍රබන්ධ එකතුවේ තිබු කතාවකි.  ඉතිරි කොටස හැකි ඉක්මනින් ටයිප් කර පලකිරීමට බලාපොරොත්තු වෙමි. මේ ටික මිට වසර කිහිපයකට පෙර විද්‍යාව.com අඩවියේ පල කිරීම පිණිස ඒ අඩවිය කල මල්ලි විසින් ටයිප් කර තිබී මා සොයා ගත් කොටසයි. විද්‍යාව.com අඩවිය අකර්මන්‍ය වී ඇති නිසා ඉතිරි කොටස් සොයා ගැනීමට නොහැක. කතාව ටයිප් කිරීම අතිශය කම්මැලි ජනක වැඩක් වුවත් මම ඉතා කම්මැලි නොවන බැවින් මේ වසරාවසානයට පෙර ඉතිරි කොටස ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.


දෙවෙනි කොටසට



19 comments:

  1. Reminds me of Redwall series.
    https://en.wikipedia.org/wiki/Redwall

    ReplyDelete
    Replies
    1. ඒ පොත් කියවල නෑ ප්‍රා. අර Spider World සීරිස් එක මෙහෙ කොහෙවත් ගන්න නෑ.. ඇමසන් පිහිට තමා.

      Delete
    2. Watership Down කියවල තියනවද?

      Spiderworld Vol 1 හොයා ගත්ත අජිත්ගෙන්.

      Delete
    3. ඒකත් කියවල නෑ ලොක්කා.. මට හිතා ගන්න බෑ ප්‍රා.ජේ ඔච්චර පොත් ගොඩක් කියවන්නේ කොහොමද කියන එක. අනික මතක තියා ගන්න එක... මට නම් පහුගිය අවුරුදු 5 කියවපු ටිකවත් මතක නෑ වගේ... හෙහ් හෙහ්

      Delete
    4. මගෙ මතකෙත් හුඟක් දුර්වලයි. මට යන්තම් මතක කෑලි දාලා ගූග්ල් කලාම හරි නම, කතෘ එනවා. ඒකයි ට්‍රික් එක

      Delete
    5. හැබැයි ඉතින් පොත කියවල තියෙන්න ඕනෙනේ... මමත් දැන් ඩේලි කියවන පුරුද්ද පටන් අරන් තියෙන්නේ.. නිදාගන්න කලින් විනාඩි 10-15ක් කියෙව්වම ටක් ගාල සැපට නින්ද යනවා.

      Delete
    6. Leopards of Lenama කියන සීරියල් කිලර් පොත කියවල තියේද පැතුම්?

      Delete
  2. Replies
    1. Just a wow??? සුද්ද පාඩුයි

      Delete
    2. කම්මැලියොන්ගේ බාසාව කම්මැලියොන්ට තේරෙන්නේ නෑ කිව්වා? චා චා අලාබයි නේන්නම්!

      කොහොමට හිටපු එකෙක්ද ඈ ?

      Delete
    3. පොඩ්ඩක් හිටු, මම ගුග්ල් වොයිස් වලින් මේකේ ඉතිරි ටික ලියල දාන්නම්. කම්මැලි කමේ තියෙන වැදගත්කම තමා වැඩේ කරන්න තියෙන ලේසිම ක්‍රමේ හොයා ගන්න එක.. හෙහ් හෙහ්..

      කම්මැලි වී වැඩ කරන්න කියල පුරාණ සෘෂිවරු කියල තියෙන්නේ අන්න ඒකයි...

      Delete
  3. නියමයි මම සාමාන්‍යයෙන් මේ විදියේ විද්‍යා ප්‍රබන්ධ කියවන්න කැමැති නැති උනත් මේක මට අල්ලලා ගියා.ඉතුරු කොටසත් දාන්න කම්මැලි නොවී.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ්, හෙට අනිද්දම ලියල දාන්නම්කො

      Delete
  4. ඔය තියෙන්නෙ ලෙසටම.
    දියබල්ලෙක් දාල හරි මේ රටත් හදාගන්න වෙනව දැන්නං.

    ReplyDelete
    Replies
    1. දියබල්ලොද මනුස්සයෝය... ඕක හදන්න පිටසක්වලින් ගේන්නම වෙනවා. අල්ලස් කියන දේ දන්නේ නැති ජාතියක එලියන් කෙනෙක් ගෙන්න වෙනවා...

      Delete
  5. කම්මැලි කමට අතරින් පතර කියෙව්වේ. පස්සේ ආයි කියවනවා. ටයිප් කරන්න කම්මැලි නැත්නං මගේ වැඩ වගයක් තියේ කරල දියං

    ReplyDelete
    Replies
    1. ඉතිරි කොටසත් දැම්මම එක සැරේම කියෝපන්. අඩෝ මම දැන් ටයිප් කරන්නේ නෑ... ගුගුල් ඩොක්ස් වල වොයිස් ටයිපින් පාවිච්චි කරලා ලියන්නේ. ටයිප් කරන එක බෝරින් උනාම එකේ පොඩි ආතල් එකක් තියෙනවා. පස්සේ පොඩි එඩිටින් ටිකක් තියෙනවා හැබැයි. ට්‍රයි කරලා බලපන්.

      Delete
  6. බාද්-ෆිල්-හා-ඩා !!

    අර ඇමෙරිකන් කාරයෝ සේවකයන්ගෙ ලෝකයට ගිහින් ඒක ෆුල් අන්දොාස් කරනවා සිකුරුයි...

    මරු කතාව පැතුම් ආසාවෙන් කියෙව්වා....ඉතිරිය ඉක්මනට ඕනා.. අපිට මෙහෙම බලන් ඉන්න බෑ...

    ReplyDelete
    Replies
    1. ඔන්න දැම්ම සෙන්නා... හෙහ් හෙහ්..

      Delete