Monday, September 05, 2016

බඩු කඩා සතුටු වෙමු - DSLR Camera Lens එකක් සහ Action Camera එකක්...


         පාවිච්චියේදී බඩු කැඩීම සාමාන්‍ය දෙයක්. බඩු කැඩෙයි කියල පාවිච්චි නොකර සිටීම නම් ඉතින් විකාරයක්. බඩු කැඩෙන විදි ඉතින් බඩුවේ හැටියට වෙනස් වෙනවා. සමහර බඩු කැඩුනොත් කැඩුනමයි. සමහර බඩු මලාට කඩන්න බෑ. සමහර බඩු කැඩෙනවා හදනවා, ආයේ කැඩෙනවා ආයේ හදනවා. සමහර බඩු කැඩුනත් පරිස්සම් කරලා අරන් තියෙනවා. සමහර බඩු කැඩෙන්නත් කලින් විසි කරලා දානවා. බඩු වල හැටි ඔහොම තමයි.  බඩු කැඩෙන එක වෙනයි, බඩු කඩන එක වෙනයි. බඩු කැඩෙන එක ඔය හැමෝටම තේරුම් ගන්න පුළුවන් වුනාට බඩු කඩන එක තේරුම් ගන්න පුළුවන් උපතින්ම ඔය වයර් කීපයක් මාරු වෙච්ච අයට තමයි. ඒකෙ ආතල් එක කඩනකෙනාට උපරිමෙන් දැනෙනවා. ගෙදර මිනිස්සුන්ට කාලයක් යනකම් ටිකෙන් ටික දැනෙනවා.

එහෙම බැලුවම ඉතින් බඩු කියන්නේ හරි ආතල් ජනක දේවල් නේද..?

බඩු කැඩීම කියන්නේ හරිම විනෝද ජනක දෙයක්. බඩු රැකගැනීම විනෝදාංශයක් කරගෙන ඉන්න අයට ඕක කොහොම තේරෙනවද කියල මම දන්නේ නෑ. සමහරවිට එහෙම අයට නිකමටවත් හිතා ගන්න බැරුව ඇති.

ඔය පොඩි සෙල්ලම් කාර් ජාතියක් තියෙන්නේ පිටි පස්සට ඇදල අත ඇරියම හෙන වේගෙන් යන්නේ. ඒවගේ ඉස්සර මගේ ළඟ පොඩි කාර් එකක් තිබුනා පිටිපස්සේ පොඩි ප්ලාස්ටික් බොත්තමක් වගේ එකකට නූලක් ගැට ගහල එක ඇදල අත ඇරියම කාර් එක පිස්සු හැදිලා වගේ යනවා. මට ඒ දවස් වල හෙන ජොලි ඕක දැක්කම. ඒ කිව්වේ හරියටම මිට අවුරුදු 28-30කට වගේ කලින්.. (අඩේ මෙච්චර අවුරුදු ගානක් ගෙවිලා කියල ලියද්දි පොඩි මෙව්වා එකක් දැනෙනවා නේද... )

මම ඔය කාර් එකෙන් සෙල්ලම් කලාට මට ඕක ඇතුලේ මොනවාද තියෙන්න කියල බලා ගන්න බැරි වීම ප්‍රශ්නයක් වෙලා තිබුනේ ..

අනේ මන්ද  ඔය ඇතුලේ මොනවාද තියෙන්නේ කියල බලන්න එන ආසාව කොල්ලන්ට මෙච්චර වැඩියෙන් දැනෙන්න ඇයි කියල..  කුතුහලේ නේ.. නේද.. නැත්නම් ඉගෙන ගැනීමට තියෙන ආශාව වෙන්නත් පුළුවන්.. දැන් ඔය නව නිර්මාණ බිහි වෙන්නෙ ඔය ඇතුල බලන්න තියෙන ආශාව දුර දිග ගියාම නේ.. නව නිර්මාණ කිව්වම මිනිස් වර්ගයා  උනත් මේ වගේ බිලියන ගානක් දක්වා වර්ධනය  වෙන්න ඇත්තේ ඔය ආසාව නිසා.. ඒ අතින් ගත්තම කොල්ලන්ට එන ඔය ඇතුල බලන්න තියෙන ආසාව නැත්නම් මේ ලෝකේ මිනිසුන් රහිත තැනක් වුනත් වෙන්න තිබුනා. කොච්චර දරුණු ප්‍රශ්නයකින් ලෝකය බේරාගෙන තියෙනවා ද හැබෑටම අපි. 

කොල්ලෝ වශයෙන් අපිට කියන්න තියෙන්නේ ඒ අපේ උපන් හැටි.. ඒ ගැන අනුකම්පාවෙන් කල්පනා කරලා බලන්න කියල තමයි මට ඉතින් කියන්න තියෙන්නේ.. 

දැන් ඔය ඇබිත්තන් කාලේ ඇන මුරිච්චි ගලවල ඔය කාර් එකේ ඇතුල බලා ගන්න තේරෙන්නේ නෑනේ..හැබැයි ඉතින් මේකේ ඇතුලේ මොනවාද තියෙන්න කියල බලන කම් කොච්චර සෙල්ලම් කලත් ආතල් එකක් නෑ වගේ.. මේක නිකන් එහාට යනවා මෙහාට යනවා විතරනේ.. සික්.. වගේ හැඟීමක් තමයි තිබුනේ..  උදේ හවස මේකේ ඇතුල බලා ගන්නේ කොහොමද  කියල කල්පනා කර කර ඉන්න ගමන් එක දවසක් ගෙදර තිබ්බ පොඩි මිටියක් දැකල පොඩි නව අදහසක් ඔළුවට ආවා.. මොකද ඊට කලින් තාත්තා එහෙම මිටි වලින් ගහල වැඩ ගන්න හැටි මම දැකල තිබුනා.. ඉතින් දවසක් අම්මයි තාත්තයි පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනකම් ඉඳල ගෙදර එළියේ තිබ්බ පොඩි පේමන්ට් කෑල්ලේ ඔය කාර් එක එහාට මෙහාට තල්ලු කර කර ඉන්න ගමන් ඕනෑ දෙයක් වෙච්චාවේ කියල හිතල අර මිටිය අරගෙන අර අසරණ කාර් එක ගැන තිබ්බ සියලු ආසාවන් අතෑරලා දාල දුන්න මිටි පාරක්.. මට මතක විදියට පළවෙනි පාරෙන් කැඩුනේ නෑ.. දෙතුන් පාරක් ගහල තමයි කඩා ගත්තේ.. හම්මේ උඩ කැල්ල හතරට පහට කැඩිලා අර එන්ජින් ගැජමැටික් ටික දකිද්දී දැනුන සතුට.. හෙහ් හෙහ් ...

ඔන්න ඔහොමයි මම පළවෙනි බඩු කැඩීමේ ආතල් එක ලබා ගත්තේ.. එකෙන් පස්සේ මම හිතන්නේ අපේ ගෙදර අය සතා කවුද කියන එක තේරුම් ගත්ත..  මොකද කියනවනම් ඊට පස්සේ මට ගෙනාපු හැම සෙල්ලම් බඩුවම ගලවල බලන්න පටන් ගත්ත නිසා.. 

බඩු ගලවල බලන එකට වඩා ආතල් කඩන එක..  මම පස්සේ කාලෙක ඒ කියන්නේ මම රස්සාවට යන කාලේදී මම හිතන්නේ  ඒ වගේ පට්ට ආතල් එකක් ගත්තා.  එක වුනේ මෙහෙමයි. අපේ ගෙදර තිබුනා අර ලොකු ටොෆි බෝතලයක්. ඒ කියන්නේ කට පොඩියට රවුමට තියෙන කඳ අඩියක් විතර පළල ටොෆි බෝතල් තියෙන්නේ අන්න ඒකක්.. ඔය ගෙදර පිළිකන්නේ ඔහේ දාල තිබුනේ.. මම ඔය වෙලෙන් අල්ලපු මාළු පැටව ටිකක් කාලයක් එකේ දාල හිටියා.. උන් ටික හැබැයි දවස් දෙකතුනකින් මලා.. ඊට පස්සේ ඔහේ අයිනකට දාල තිබුනේ..

අපේ ලොකු අම්මා හැම ඉරිදාම වගේ අපේ ගෙවල් පැත්තේ එනවා.. ඔය සුදු අක්කලාගේ වත්තේ තිබ්බ කොස් ගහෙන් කොස් ගෙඩියක් කඩාගෙන අපේ අම්මත් එක්ක එකතු වෙලා එක සුද්ද කරලා උයල කාල.. ඔය ඔප දුප ටිකක් කියවල යන්න.. දවසක් ඔහොම ලොකු අම්ම ඇවිල්ල ඉන්නවා.. අම්මත් කුස්සියේ වැඩක් මමත් ඉතින් ආතක් පාතක් නැතුව ඔහේ කැරකි කැරකි ඉන්නවා..ඉරිදා දවස් වලට තියෙනවනේ අමුතු ගතියක්.. ඒ කියන්නේ කම්මැලිත් නෑ.. හැබැයි කිසි වැඩක් කරනත් බෑ.. නිකන් එලොවටත් නැති මෙලොවටත් නැති ගතියක්.. මම හිටියේ අන්න එහෙම මුඩ් එකක.. ඔහොම ඉද්දි අර පිළිකන්නේ බැම්මක් උඩ තිබ්බ බෝතලේ දැක්ක.. මේකෙන් මොකද කරන්න පුළුවන් කියල කල්පනා කර කර හෙමින් සැරේ උස්සගෙන ආවා.. 

"ලොකු අම්මේ මේ බෝතලෙන් ගන්න වැඩක් කියන්නකෝ.. ඔය හොඳ බෝතලයක් නේ.. සුද්ද කරලා ගත්ත නම් කොච්චර දේවල් කරන්න පුළුවන් ද ..? දැන් ඔය බෝතල් නෑ හොයා ගන්න.. ඔන්න ඕක හෝදලා ගන්න.. ඔය වැනි වැනි ඉන්න එකේ.. " 

"හ්ම්.. මම ඉතින් ඕක උස්සන් කුස්සියේ දොර කඩට ආවා.. කුස්සියේ දොරෙන් එළියේ ටිකට අපි කොන්ක්‍රීට් දාල තිබුනේ මඩ වෙනවට...අම්ම ඇතුලේ.. ලොකු අම්ම ඔය දොරකඩ හරියේ මොකක් හරි වැඩක් .. මම ඉතින් බෝතලේ උස්සන් ඇවිල්ල..

"ලොකු අම්මේ මම මේ බෝතලේ මෙතන අත ඇරියොත් මේක කැඩෙයි ද..? පිස්සුද කොල්ලෝ මේ කොන්ක්‍රීට් එකට අතාරින්න එහෙම එපා" ලොකු අම්මට කියල කට ගන්න හම්බ වුනේ නෑ... මම ලොකු අම්ම දිහා පොඩි වියරු බැල්මක් දැම්ම.. ඊට පස්සේ බෝතලේ මගේ ඔළුව දිහාට ඇඟිලි වලින් උස්සල හීනියට වගේ අත ඇරලා බැලුවා..

සලබලාන් හඬින් මිහිරි නාදයක් නගමින් විදුරු කටු හතර වටේ විසිරුණා.. අම්මෝ දැනුන සනීපෙ...හෙහ් හෙහ්

"ඔය කරලා තියෙන්නේ වැඩක්...  විදුරු කටු හැම තැනම... පිස්සු හැදිලද මන්ද.. අස්කරලා දානවා ඔය ඔක්කොම... "

මගේ එක හොඳක් තියෙනවා.. ඔහොම විනාස කාරි වැඩ කලාම මම ම ඒවා සුද්ද බුද්ද කරලා දානවා එතකොට අර බැනුන් අහන ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන්... හෙහ් හෙහ්

ඊට කලින් බඩු කැඩීමේ ආතල් එකට අහු වුනේ අපේ ගෙදර තිබුණු පරණ රේඩියෝ, බ්ලෙන්ඩර් ආදී උපරණ තමයි.. 

මෙන්න මේ වගේ රේඩියෝ එකක් තමයි තිබුනේ.

අපරාදේ කියන්න බෑ මුලික ඉලෙක්ට්‍රොකින දැනුම ලබා ගන්න කියාපු භාන්ඩේ... මට කරන්න කිසිම වැඩක් නොතිබිච්ච දවස් වලට මම කරන්නේ ඕක ගලවල ඇතුලේ කෑලි දිහා බලන එක.. අර ෆ්ලැට් ස්කුරුප්පු නියන් වලින් කරකවන්න පුළුවන් මෙන්න මේ වගේ variable resistor එහාට මෙහාට කරකවන එක එහෙම හරි ජොලි වැඩක්..  එහෙම කරකවල වෙන වෙන චැනල් අහු වෙනවද කියල බලපු එක තමයි කලේ.. 
මම හිතන්නේ මේ ආතල් එක නම් ගොඩක් අය අරන් ඇති..හැබැයි මම කවදාවත් tv එකත් එක්ක සෙල්ලම් දාන්න ගියේ නෑ...වැඩිම වුනොත්පිට  කවරේ ගලවල බලන එක තමයි කරන්නේ..  පස්සේ කාලේ ගත්ත ඩෙස්ක් ටොප් කොම්පියුටරේ නම් වැඩි හරියක් තිබුනේ හෙළුවෙන්.. ඒ කියන්නේ පිට කවරේ රහිතව.. 

ඔය ආතල් එක නැති වෙලා ගියා මුලින් ම ලැප්ටොප් එකක් ගත්තට පස්සේ.. ලෝන් එකක් දාල මාස් මතා ගෙවන්න ගත්ත ලැප් ටොප් එකත් එක්ක සොෆ්ට්වෙයාර් සෙල්ලම් කර කර බැලුවට හාඩ්වෙයාර් පැත්තට සෙල්ලම් දාන්න ගියේ නෑ.. මොකද කිව්වොත් කෙලවුනොත් පාඩුව මටම නිසා.. මම හිතන්නේ ඊට පස්සේ ඉඳල මට ඒ කඩා බිඳ දැමීමේ උණ ටික ටික හොඳ වුණා.. ඇත්තටම කිව්වොත් හම්බ කරන කොට පරිස්සම් කරන්න ඕනේ කියන හැඟීමත් ටික ටික එන්න ගත්ත නිසා.. හෙහ් හෙහ්..

ඊට පස්සේ ඉතින් ඔහේ ගත්ත බඩු පාවිච්චි කර කර කැඩුනොත් ඔහේ විසි කරලා දාන කම්මැලි , ධනවාදී , ප්‍රතිගාමී,අගතිගාමී, නුතන ජිවිතේ ගෙවාගෙන ගියා.. මෙලෝ රහක් නැතිව..

ඔන්න ඔය අගතිගාමී මෙලෝ රහක් නැති කල්කෙරුවාව හින්ද මොලේ පැත්තක් දැන් හරියට වැඩ කරන්නේ නෑ වගේ..  පුදුම මුස්පේන්තු කමක් තියෙන්නේ..

ඔය ගතිය යන්නත් එක්ක මේ ඊයේ පෙරේදා ආයෙත් ඇඩ්වෙන්චර් එකක් කරලා බැලුව.. හෙහ් හෙහ්

පහුගිය කාලේ ෆොටෝ ගහන ප්‍රසිද්ධ උදවිය ඒ සම්බන්ධ උපකරණ වලට සලකන්න ඕනේ ගැන හෙන ටෝක්ස් ටිකක් දීල තියෙනවා මම දැක්ක. මමත් දැන් කාලෙකට කලින් ක්‍රෙඩිට් කාඩ් එකෙන් ණය වෙලා ගත්තනේ ඔය DSLR කැමරා එකක්..  එකෙන් ගත්ත ෆොටෝ කෝ කියල අහන්න එපා.. මෙතන වැදගත් දේ කැමරාවක් ගැනීම නේ.. හෙහ් නුතන විදියට අපි ජිවත් වෙන්න එපැයි.. හෙහ් හෙහ්...


ඔය DSLR කැමරා වලින්  හරි  හමන්  වැඩක් ගන්න නම් ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි වගේ ලෙන්ස් ජාතිත් හැටක් විතරත් තියෙන්න ඕනේ.. කැමරාව උගස් තියන්න ඕනේ ලෙන්ස් ගන්න.. 


මගේ ගාවත් තිබුනා ඔහොම ගත්ත ලෙන්ස් එකක්.. ඒ කියන්නේ ඔය kit lens එකට අමතරව ගත්ත telephoto ලෙන්ස් එකක්.. ඒ කියන්නේ ඈත තියෙන දේවල් සුම් කරලා ගන්න පුළුවන් ලෙන්ස් එකක්..

වෘත්තීය මට්ටමේ telephoto ලෙන්ස් තියෙනවා අපිට නිකන් ගෙවල් දොරවල් උගස් තිබ්බත් ගන්න බැරි ගානට national geographic එකේ අය ගාව එහෙම තියෙන්නේ.. දැක්කම ආසාවේ බෑ..

මගේ ගාව නම් තියෙන්නේ අඩුම ගානට ගන්න පුළුවන් ඒ ජාතියේ ලෙන්ස් එකක්.. එකත් ඉතින් නරක නෑ අවාරෙට කජු වැටෙනවා වගේ ෆොටෝ අල්ලන මම වගේ අයට..

මේ තියෙන්නේ ලෙන්ස් එක


මේක sigma 70mm-300mm ලෙන්ස් එකක්.. මිලෙන් අඩු වුනාට වැඩක් ගන්න පුළුවන්..

දැන් ටික කාලෙකට කලින් අපි දෙන්න ඔය ගිය ට්‍රිප් එකකදී අපි දෙන්නගේ ෆොටෝ එකක් ගන්න කියල මගේ කැමරාව මම ඔය මුහුදු වෙරළක හිටපු චීන නංගි කෙනෙකුට දුන්න.. මොකද ට්‍රයිපොඩ් එහෙම අරන් යන්න මට ගොඩක් වෙලාවට අමතක වෙන නිසා සහ අපි දෙන්නගේ ෆොටෝ නෑ කියල බට්ටි නගා හැමදාම නාහෙන් අඬන නිසා ඔය කොහේ හරි ගියාම ළඟ පාත ඉන්නේ කෙනෙකුට කැමරාව දෙනවා ෆොටෝ එකක් අල්ලලා දෙන්න කියල.. 

ඉතින් කොහොම හරි එදා ඒ චීන නංගිට මම මේ ලෙන්ස් එක දාල කැමරාව දුන්න ටිකක් ඈතට ගිහින් අපේ ෆොටෝ එකක් ගන්න කියල..මගේ කම්මැලි කමට අනිත් ලෙන්ස් එක මාරු කරන්නේ නැතිව ඒ වෙලාවේ තිබ්බ ලෙන්ස් එක පිටින් ම මම කැමරාව දුන්න. මේ වගේ ලෙන්ස් ඔය අපේ පොටෝ අල්ලන වැඩ වලට එච්චර සුදුසු නෑ.. නංගිත් හරි හරි කියල හිනාවක් දාල කැමරාව අරන් ගිහින් ෆොටෝ නම් ගත්තා.. කොහොම හරි ඉතින් ආපහු කැමරාව මගේ අතට දීලා නංගි ගියා.  පස්සේ මම ෆොටෝ ගන්න බලද්දී මෙන්න ලෙන්ස් එක auto focus වෙන්නේ නෑ.. හෙහ් හෙහ්..


අවුල තිබුනේ auto focus මෝටර් එක කැරකුනත් ලෙන්ස් එක හිර වෙනවා. හරියට අර පිට පොට ගිහින් වගේ.. ඉතින් මොකෝ කරන්නේ කියල මම ඉතින් ඕක ඔහේ තියෙන්න ඇරියා.. මැනුවල් මෝඩ් එකට දාල ආමරුවෙන් ෆොටෝ ගත්තත් හරියට ෆෝකස් කරන්න බැරිව ගිහින් තිබුනේ.. 

හදන්න කියල කීප තැනකට අරන් ගියත් හැමෝම කිව්වේ ඔය ලෙඩේ ඔය ලෙන්ස් එකට කොහොමත් එනවා.. හදන එක තේරුමක් නෑ ඊට වැඩිය ලාබයි අලුත් එකක් ගන්න එක කියල.. ඒ කතාව හරි මේ ලෙන්ස් අලුත්වැඩියා කරන්න ලොකු ගානක් යනවා.. ලෙන්ස් එකක් අලුතින් ගන්න එක ඉතින් ලාබයි.. මම ඉතින් මොකද කරන්නේ කිය කිය ඔහේ ලෙන්ස් එක තියෙන්න ඇරියා මාස ගානක් තිස්සේ.. මොකද මම ෆොටෝ ගහන්නේ මාසෙකට එකක් වගේ නිසා එච්චර ලොකු පාඩුවක් දැනුනේ නෑ..

නමුත් ඉතින් ලෙන්ස් එකක් නැති වුනාම ෆොටෝ ගන්න තියෙන ආසාව ඩබල් ට්‍රිබල් වීම කියන ලෙඩෙත් හැදෙනවා..

ඔහොම අල්ලන් ඉඳල ඉතින් මේ ඊයේ පෙරේදා දවසක අපි ආයෙත් ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කළා.. ට්‍රිප් එකේ විස්තරේ  ගිහින් ආවට පස්සේ කියන්නම්කෝ..ට්‍රිප් කතාව ආවට පස්සේ ලෙන්ස් අවශ්‍යතාවය තදින්ම දැනෙන්න ගත්ත.. 

මට දැන් තියෙන ප්‍රශ්න තමයි ආයෙත් අඩු ගානට ඒ ජාතියම ලෙන්ස් එකක් ගන්න හිතෙන්නෙත් නෑ.. වැඩිය වැඩක් ගන්නේ නැති නිසා ලොකු ගානක් දීල හොඳ ලෙන්ස් එකක් ගන්න හිතෙන්නෙත් නෑ.. ඒ විදියේ ලෙන්ස් එකක් නැතිව හොඳ ෆොටෝ ගන්නත් බෑ.. ට්‍රිප් එක යන්න ලෙන්ස් එකක් ගන්නත් ඕනේ.. ලෙන්ස් රෙන්ට් කරන වැඩ වගේ ඒවා කරන්නත් ඒ හැටි හිතෙන්නේ නෑ.. හරිම උභතෝකෝටික ප්‍රශ්න වැලක්.. 

ඉතින් ඔහොම කල්පනා කර කර ඉන්නන කොට අර අමතක වෙලා යටපත් වෙලා තිබුණ කඩා බැලීමේ සියුම් ආසාව නැවත මතුවී ආවා.. හෙහ් හෙහ්..  ෆොටෝ ගහන ප්‍රසිද්ධ උදවිය නම් මේ ලෙන්ස් වලට දෙයියන්ට වගේ සලකන්නේ.. කෙනෙකුට අල්ලන්න දෙන්නෙත් අත් දෙක කහ දියරෙන් හොඳල තියෙනවා නම් විතරයි..මොකද කියනවනම් මේ ලෙන්ස් හරිම සියුම්.. අනිත් එක කාච වලට හානියක් උනොත් ඉතින් සොරිම තමයි.. ඉතින් පරිස්සම් නොකර බෑ.. මම නම් ඉතින් අපරාදේ කියන්න බෑ ඇතුලේ පුස් බැඳෙනකම් මට හිතෙන විදියට පාවිච්චි කළා..  (අන්තිමට සොරි වුණා..)

මම ඉතින් දැන් හොඳට කල්පනා කරලා බැලුවා.. ඔලුවෙ පුස් කාච්ච ගතිය යන්නත් හොඳයි නේද , කාගෙන් කියල තහනමක් ද ? මයි කාර් මයි පැට්‍රල් කියන්නෙත් මේකට නේද..ආදී වශයෙන් තීරණ රැසක් ගත්තා.. නතින් ටූ ලුස් නේද කියන එක තමයි අවසාන තීරණේ වුනේ..

අපි දැන් බලමු කොහොමද මේ හොඳට තියෙන DSLR Camera Lens එකක් කඩන්නේ කියල. කෙනෙකුට හිතෙන්න පුළුවන් මොකක් ද ඒ මෝඩ වැඩේ කියල. හැබැයි ඉතින් සමහර වෙලාවට මෝඩ කම් කරන එකේ හෙන ආතල් එකක් තියෙනවා. කිසි දෙයක්  නොකර බුම්මට්ට වගේ ඉන්නවට වඩා..


මේ තියෙන්නේ පිටි පස්ස.. දෙවෙනියට ගලවන්න ඕනේ ඇන ටික මුලින්ම ගලවල පටන් ගද්දිම වැඩේ අනා ගත්තා
මේ තියෙන්නේ උඩින්ම තියෙන කවරේ  ගැලෙව්වට පස්සේ පේන හැටි
මේ තියෙන්නේ දෙවෙනි රවුම ගැලෙව්වට පස්සේ..

මේ සියුම් පතුරු වලින් හදපු රවුම් වොෂර් ටික හරියට හදා ගන්න හෙන ගේමක් දෙන්න ඕනේ..


මේ තියෙන්නේ වොෂර් ටික අයින් කලාට පස්සේ ගැජමැටික් ටික..
චිප් වලට හයි කරලා තියෙන කේබල් ගලවන්නේ මෙන්න මෙහෙම.. ඔය චිප් එක දෙපැත්තෙන් තියෙන පුංචි කොකු දෙකට මේ වගේ පොඩි ට්විසර් එකක් දාල පොඩ්ඩක් අදින්න තියෙන්නේ.. නියපොත්තෙන් කරන්නත් පුළුවන්..


සර්කිට් එක ගලෙව්වහම මෙන්න මෙහෙමයි..

ඔය ඉතිරි වෙලා තියෙන ඇන දෙක තුනත් ගැලෙව්වම මෙන්න මේ විදියට ලෙන්ස් එක කොටස්  කරන්න පුළුවන්..
මේ තියෙන්නේ ලෙන්ස් එක හැදිලා තියෙන කොටස් 3.

ඔය විදියට කොටස් වශයෙන් ගැලෙව්වට පස්සේ මම කොයි එකටත් කියල ලෙන්ස් එකේ ඇතුල් පැත්තේ බැඳිලා තියෙන පුස් එහෙම ඔක්කොම සුද්ද කළා.. මොකද මෙහෙම ගලවන්නේ නැතුව ඒවා සුද්ද කරන්න බෑ..  

මේ වගේ වැඩ කරන්න කලින් සෑහෙන්න දේවල් ටික සුදානම් කර ගන්න ඕනේ කියල මේක ගලවද්දී මට තේරුනා. ඒ කියන්නේ ඔය ගලවන පොඩි ඇන වෙන වෙනම දාගන්න පොඩි භාජන තිබුනානම් වඩා හොඳයි.. මම ඔක්කොම ටික එකකට දැම්මේ. පස්සේ හයි කරද්දී හොඳ කට්ටක් කෑවා.. අනිත් එක තමයි යු-ටියුබ් එකේ තියෙන හොඳ වීඩියෝ එකක් බලාගෙන කරන එක.. මම වැඩේ පටන් ගද්දි එහෙම පටන් ගත්තේ හැබැයි ටික වෙලාවක් යද්දී එක බලන්න අමතක වෙලා අපි දන්නා විදියට වැඩේ කරන්න යනවා.. සමහර දේවල් නිවැරදි විදියට ගලවන්නේ කොහොමද කියල දැනගෙන හිටියේ නැත්නම් ඇතුලේ තියෙන සියුම් කෑලි කැඩෙන්න පුළුවන්... ඉතින් ඒ වගේ හොඳට විස්තර තියෙන වීඩියෝ එකක් බලන එක හෙනම වැදගත්..

ඊට පස්සේ මේ වගේ වැඩක් පටන් ගත්තම පැය දෙක තුනක් වෙන වැඩ වලට යොමු නොවී කරන්න පුළුවන් වෙන්න ඕනේ.. තේ බොන්න විනාඩි 10යි.. කන්න පැයයි.. කඩේ යන්න විනාඩි 20යි වගේ අතර මග වැඩ දාගෙන පටන් ගත්තොත් කෑලි කොහොමද තිබ්බේ කියල අමතක වෙනවා.. මට නම් අපරාදේ කියන්න බෑ.. ගලවනකන් කිසි කරදරයක් තිබුනේ නෑ.. හැබැයි ආයේ හයි කරගත්තේ පහුවදා.. හෙහ් හෙහ්..

මම නම් මේ කෑල්ලෙන් කැල්ල ගලවද්දී ෆොටෝ ගත්තේ ආයේ හයි කරද්දී පහසුවක් වෙන්න.. 

කොහොම හරි ගලවල පුස් පිහදාල ආයේ හයි කරන්න කලින් ප්‍රශ්නේ මොකක් ද කියල බැලුවා.. මට අවංකවම අවුල තියෙන තැන හරියට ෂුවර් නැති වුණා.. හැබයි ඔය auto focus කරන මොටරේට සම්බන්ධ පුංචි දැති රෝදේ මේ ප්ලාස්ටික් කැල්ල හිර වෙලා තියෙනවා දැක්කම මට පොඩි සැකයක් ආවා.. ඒ කියන්නේ මේ දැති රෝදෙන් කරකැවෙන ලෙන්ස් බැරල් එකේ දැති කිහිපයක් කැඩිලා ගිහින් ...  ඔය පහලින් තියෙන්න හිරවෙච්ච ප්ලාස්ටික් කෑල්ල... පස්සේ මම ඒ කැල්ල අයින් කරලා බැලුවා.. හැබැයි හරි ගියේ නෑ..


මේ තියෙන්නේ දැති රෝදේ හිර වෙච්ච ප්ලාස්ටික් කෑලල..

හයි කරන වැඩේ නිදහසේ කරගන්න බැරි වෙච්ච නිසා ඇන ගොඩක් මාරු වෙලා තමයි හයි කලේ.. හරි සියුම් ඇන තියෙන නිසා පැටලෙනවා.. මම 4-5 පාරක් විතර ගලව ගලව හයි කළා..

අන්තිමට හයි කරද්දී වැඩේ නිකන් එපා වෙන මට්ටම ඇවිල්ල.. අන්තිමට ඉතින් ඇන කීපයක් එහෙට මෙහෙට කරලා මම ලෙන්ස් එක එකලස් කරලා කැමරාවට දාල බැලුව.. වැඩේ හරි ගිහින් නෑ...  

ඊට පස්සේ ඔන්න ඔහේ තියෙන්න ඇරලා දවස් දෙකකට විතර පස්සේ ආයේ මුල ඉඳල ගලවල බැලුවා.. 

ඒ වෙලාවේ ගලවද්දී මම හිතන විදියට මගේ අතින් එක කොටසක් වැරදි විදියට ගැලවිලා ලෙන්ස් බැරල් එකක් ඇතුලේ තියෙන සියුම් ස්පර්ශක කම්බි ටිකක් ඇද වුණා.. ස්පර්ශක කම්බි කිව්වේ අර තෝරන් වල ෆ්ලෑෂර් කොටේ වගේ පොඩි සීන් එකක් තියෙන තැනක්.. පස්සේ අර ට්විසරේ දාලා හෙමිහිට ඒ ටික එජස්ට් කරන්න බැලුවත් වැඩේ හරි ගියේ නෑ.. කොහොම හරි සියුම් කම්බියක් කැඩිලත් ගියා..  ඒ කියන්නේ දැන් ලෙන්ස් එකේ ප්‍රශ්න දෙකයි.. ඔන්න ඔහේ කමක් නෑ කියල එකත් පුළුවන් විදියට අටවල ආයෙත් හයි කළා..

කලින් සැරේ වැරදිච්ච ඇන ටික හරි තැන් වලට දාල  පැය දෙක තුනක් නටල හයි කර ගත්තත් මේ වගේ වැඩක් කලාම  වෙන්න ඕනේ විදියටම අන්තිමට එක ඇනයක් ආයේ ඉතිරි වුණා.. හෙහ් හෙහ්.. මුල හරියේ එක තැනකදි ඒ ඇනේ දාන්න ඕනේ කියල මට තේරුම් ගියත් ආයේ ගලවන්න කම්මැලි කමට මම ඇනේ පැත්තක තියල ලෙන්ස්ක එක සම්පුර්ණයෙන් හයි කරලා කැමරාවට දාල බැලුවා.. 

කනගාටුවට කාරණේ කියන්නේ ලෙඩේ හොඳ වෙලා නෑ... කොටින් ම දැන් අර මුලින්ම තිබ්බ මට්ටමට වත් සුම් කරගන්න බෑ.. ෆොක්ස් එකත් හරියට වෙන්නේ නෑ... 

ඒ කියන්නේ දැන් ලෙන්ස් එක නිල වශයෙන් කැඩිලා... හෙහ් හෙහ් හෙහ්..

මට දැන් ආයේ මේ ජාතියේම ලෙන්ස් එකක් ගන්න හිතෙන්නේ නෑ.. මිට වැඩිය වෙනස් එකක් ගන්න ඕනේ උනත් ගොඩක් ලොකු ගානක් වියදම් කරන එකත් තේරුමක් නෑ ... මොකද මම ඒ හැටි ගොඩක් ෆොටෝ ගන්නේ නැති නිසා..

මම ඔය ලෙන්ස් එක ගලවන්න ගත්තේ අන්න ඒ නිසා. මේක කොහොම හරි ගොඩ දාගත්තොත් පස්සේ මට ඒ ජාතියේ ලෙන්ස් එකක් නැතිව වෙන එකක් ගන්න පුළුවන් නිසා.. අනිත් එක කාලයක් තිස්සේ පොඩ්ඩක් ඇහැ දාගෙන හිටපු  action camera  එකක් ලෙන්ස් එක වෙනුවට ගන්න  පුළුවන් නිසා.. හෙහ් හෙහ්.. මම මෙහෙම ගේ අස්සට වෙලා හිටියට හෙන action දාන සුර වීර පොරක්.. කොටින්ම කිව්වොත් action is my middle name වගේ... හෙහ් හෙහ්..  (වැඩියෙන් පාවිච්චි කරන්නේ first name, last name නේ..) අපේ ඊළඟ ට්‍රිප් එකේදී දාන action ටික රෙකෝඩ් කරලා තියා ගන්න එපැයි.. මොකද ඕව හැමදාම දාන්න බැහැනේ.. 

ඉතින් ඕව මේවා කල්පනා කර කර ඉඳල අද ගියා බලන්න ලෙන්ස්..  ඔය ලෙන්ස් හොයන අතරේ ඉතින් මේ අටෝරාසියක්  camera කැමරා අස්සේ ලාබෙට වගේ හොඳ  action camera එකකුත් සෙට් වුණා.. මේ දවස් වල ජනප්‍රියම බ්‍රෑන්ඩ් එක තමයි මේ Go Pro කියන්නේ.. හැබයි ටිකක් ගණන්.. ලංකාවේ මුදලින් නිකන් රුපියල් 50,000ක් වගේ වෙනවා.. ෆුල් ටයිම් ඇක්ෂන් දාන කෙනෙකුට නම් ඕව හොඳයි... මම වගේ අවුරුද්දකට සැරයක් විතර ඇක්ෂන් දාන කෙනෙකුට ඔච්චර එකක් මොකටද කියල මම මෙන්න මේක උස්සන් ආවා.. වැඩි ගානක් නෑ.. රුපියල් 10000ක් විතර... 


මේ කැමරා වල තියෙන විශේෂත්වය තමයි දිය යට මීටර් 30ක් විතර යනකම් යන්න පුළුවන් වීම, විවිද ආකාරයේ උපකරණ එක්ක පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් විදියට මවුන්ට් ජාති 60ක් විතර තිබීම, ප්‍රමාණයෙන් කුඩා වීම, භාවිතය ඉතා පහසු වීම.. වගේ දේවල්..

වීඩියෝ වල තත්වය 4K,Full HD, HD මට්ටමේ තියෙනවා.. 12MP ෆොටෝ ගන්න පුළුවන්.. ඔය මදැයි නේද.. තව wifi එකෙන් ෆෝන් එකටසම්බන්ධ වෙලා ෆෝන් එකෙන් කැමරාව පාලනය කරන්න පුළුවන් වගේ ආතල් ජනක වැඩත් තියෙනවා..  

කොහොම හරි ඉතින් අද ගිහින් ලෙන්ස් එක ගැනිල්ල පැත්තක දාල මේක තමයි උස්සන් ආවේ.. "කෝ ලෙන්ස් එකක් ගෙනාවේ නැද්ද..? අයියෝ ඉතින් දැන් ට්‍රිප් එකේ ෆොටෝ ගන්නේ කොහොමද.. මුහුණ බෙරි වෙයි..."

මොනවා උනත් සිය ආදරණිය බිරිඳගේ ලස්සන ෆොටෝ ගන්න එක සෑම ස්වාමි පුරුෂයෙකුගේ වගකීමක්.. (මම හිතන්නේ ඔය කැල්ල අර කසාද බඳින කොට රෙජිස්ටාර් ඉස්සරහ කියවන කොටසේත් තියෙනවද කොහෙද.. ඒ කියන්නේ මෙහි සිටින ............ යන අයගේ ලස්සන ෆොටෝ ගන්න බවට පොරොන්දු වෙමි කියල කෑල්ලක් තියෙනවා  නේද... ) මම ඉතින් ඔය වගකීම් හරියටම ඉටු කරන මනුස්සය  නිසා දැන් ඉතින් සල්ලි සල්ලි කියල බලන්නේ නැතිව ලෙන්ස් එකක් ගන්නත් එපැයි...

44 comments:

  1. හිටිං පැතුමෝ.. හිත නිදහස් කරගෙන ඇවිත් රසය විඳින්නං..

    ReplyDelete
  2. මොකක් හරි දෙයක් කෑලි කෑලි ගලවලා, ආයෙ හයි කරලා, ඉතුරු වෙච්චි ඇණ මුරිච්චි දිහා බලලා හිනාවක් දාලා නිකං ඉන්ට පුළුවන් නියම මකබාසෙකුටම විතරයි‍.. ඕවා සංසාරෙ පුරාවටම පුරාගෙන එන හොඳ පුරුදු.. හැමෝටම එහෙම ලේසියෙන් උරුම වෙන්නෙ නෑ.. :-D

    ReplyDelete
    Replies
    1. බුරා, මකබාස් වැඩ කරන කම් ආතල් වුනාට පස්සේ ගොඩ දාගන්න බැරි වුනාම උඩ බලාගෙන ඉන්න වෙනවා.. හෙහ් හෙහ්..

      Delete
  3. ඔය දේවල් ඔයිට වඩා සිම්පල් විදිහට හදන්න පුළුවන් ඇති. මම හිතන්නෙ ඔය තරම් ඇණ කාලි දාල හදන්නෙ ඔය විදිහට මක බාස් වෙන්නම තමයි

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද ඉයන් මේ ලෙන්ස් හදන්න මිට වැඩිය සරල ක්‍රම නම් තියෙනවා ද කියල... ගලවල බලද්දී හිතෙන්නේ මේ මිනිස්සු කොහොම මේවා ඩිසයින් කළා ද කියල.. කොහොම වුනත් හොඳ අත්දැකීමක්..

      Delete
  4. එහෙනං ඔහේට මගේ ලෙඩේ ඒ විදියටම තියෙනව වගේ.

    මාත් මොකක්හරි අලුත් බඩුවක් ගත්තොත් ඒකෙ ඇතුල බලනකල් ඉවසිල්ලක් නැතුව තමයි ඉන්නෙ. ලක්ෂ තුන හතරක් වෙන ප්‍රින්ටින් මැෂින් හිට අන්තිම පොඩි කෑල්ලට ගලෝල ආයෙ හයිකරල තමයි නවත්ත‍න්නෙ. වැඩේ කොච්චර ෆේමස් ද කියනවනං අන්තිමට ගත්ත ෆොටෝකොපි එක ගෙනාපු එකා ගැරන්ටි ඉවර වෙනකල් මැසිමට අත නොතියන බවට දිවුරා පොරොන්දු අරගෙන තමයි ගියේ. හැක්..

    ReplyDelete
    Replies
    1. හෙහ් මට ඔච්චරම කචල් නෑ.. මේක මේ ගැලෙව්වේ අවුරුදු දෙකක් විතර පාවිච්චි කරලා.. වෙන කරන්න දෙයක් නැතිම තැන..

      මම වැඩියෙන් ම ගලවල බලන්න කැමති ඔය මිකැනිකල් කෑලි තියෙන ගැජට් තමයි.. ඉලෙක්ට්‍රොනික් දේවල් වල ඉතින් තියෙන්නේ සර්කිට් විතරක් නිසා ගත යුත්තක් නෑ.. මේ ලෙන්ස් එකක ඇතුල බැලීමේ ආසාව නම් කාලයක් තිස්සේ තිබුනා.. දැන් යන්තම් එකත් සංතෘප්ත වුණා.. හෙහ්හෙහ්

      ප්‍රසන්න අයියට මැෂින් දෙන කොම්පැනි වලට දෙවි පිහිටයි...

      Delete
    2. අලුත් ඒව ගලෝනව වගේම අලුතෙන්ම ගන්න ඒවත් බය නැතුව ඇසෙම්බල් කරගන්න පුලුවන් වෙනව ඕව පුරුදු උනාම. මේ ඊයෙ පෙරේද මම ගත්ත කැනන් G1000 කියන ඉන්ක් ටෑන්ක් ගහන්න තියෙන ප්‍රින්ටර් එක මම විනාඩි ගානකදි ඇසෙම්බල් කරගත්ත. මම ඒක ගත්ත තැනිංම තව එකෙක් එකක් අරං ගිහිල්ල ඌ වැඩේ අනාගෙන කියල ෂොප් එකේ එකා මට ඇවිල්ල කියනව. හැක්..

      Delete
    3. දෙක තුනක් ගැලෙව්වම හැබැයි සෑහෙන විශ්වාසයක් එනවා නේද? අවශ්‍ය කරන බඩු මුට්ටු තියෙනවනම් ඉතින් මහ ලොකු දේකුත් නෙවෙයි.. එකම දේ ඉතින් ටික වෙලාවක් ගියාම අල්ලලා දාන්න හිතෙන එක තමයි.. හෙහ් හෙහ්..

      මම මුලින්ම වැඩට ගිය කොම්පැනියෙන් අපේ ඔය එක ප්‍රොජෙක්ට් එකකට ස්කෑනර් එකක් අලුතින් ගෙනාව.. සුද්දෙක් ගේ ප්‍රොජෙක්ට් එකක් සුද්දත් හිටිය ඔෆිස් එකේ..

      ස්කෑනර් එකේ තිබ්බ පොඩි පොඩි කෑලි ටික ඇසෙම්බල් කරගන්න ඕනේ කියල සුද්ද අපිට එක අල්ලන්නේ නැතිව ඉන්න කියල ගියා කැටලොග් එක අරන් එන්න.. ඌ ඒක අරන් එන ටිකට මමයි මගේ යාළුවෙකුයි ස්කෑනර් එකේ කෑලි ටික ඔක්කොම හදල කරන්ට් එක දීලා ඔක්කොම කරලා ඉවරයි.. සුද්ද හොල්මන් අපි කැටලොග් එක බලන්නේ නැතිව ඒක එසෙම්බල් කළා කිව්වම.. හැබැයි ඉතින් මහ ලොකු සංකීර්ණ දෙයක් නෙවෙයි තිබුනේ.. :D

      Delete
  5. මමනං කලර් ටීවී එක්ක ඔයවගේ සෙල්ලං කරන්න ගිහිල්ල තුන් හතර පාරක් කරන්ට් එක වද්දගෙන තියෙනව. මොකද කළු සුදු ඒවයෙ වගේ කලර් ඒවයෙ බෝඩ් එකට DC කරන්ට් එක නැතුව කෙලින්ම AC සම්බන්ධ කරල තියෙන නිසා.

    ReplyDelete
    Replies
    1. ඔය කරන්ට් භීතිකාව නිසා තමයි මම වැඩියත් අතපත ගාන්න නොගියේ.. අපි කරන්ට් එක ඕෆ් කරලා තිබුනත් ඔය පරණ tv වල තියෙන කන්ඩෙන්සර් වල කරන්ට් එක තියෙන නිසා මම පරිස්සම් වුණා..

      අනිත් එක තමයි tv එකේ තිබ්බ සර්කිට් එහෙම දැක්කම බය වෙන ගතියක් තිබුනේ.. හෙහ් හෙහ්..

      Delete
  6. කියල වැඩක් නැති ආතල් ජනක වැඩ!
    මම හිතා උන්නෙ මම ඔය වැඩේ කිං කියල මගෙ පුතා ලොකු වෙනකල්!!

    ReplyDelete
    Replies
    1. දැන් තියෙන්නේ පුතත් එක්ක එකතු වෙලා ගලවන්න හෙහ් හෙහ්.. මටත් අපේ අම්මයි තාත්තයි කවදාවත් ඕවට බාදා කලේ නෑ.. දුන්න එකම අවවාදේ තමයි ගෙදර කවුරුත් නැති වෙලාවට කරන්ට් වැඩ කරන්න එපා කියන එක..

      Delete
  7. මං වගේ තව අය ඉන්නවා කියලා දැන ගත්ත එක සතුටුයි.
    කොහොමත් ඔය වගේ වැඩක් කරන්න කලින් ටියුටෝරියල් එකක් බලන එක තමයි හොඳ.මමත් ඔහොම කරන්න ගිහින් අමාරුවේ වැටිලා තියනවා. අන්තිමට ලෙඩේ මොකද්ද කියලා දකිනකොට වෙන්න තියන සේරම වෙලා.

    ReplyDelete
    Replies
    1. මම ටියුටෝරියල් එකක් බල බල තමයි වැඩේට බැස්සේ.. ටිකක් වෙලා යද්දී අය්යෝ මේක සිම්පල් නේ කියල අර කියන දේ අහන්නේ නැතිව අපි මකබාස් වෙන්න ගත්තම තමයි කෙල වෙන්නේ.. හෙහ්

      කොහොම උනත් මේකෙන් නම් හොඳ පාඩම් ටිකක් ඉගෙන ගත්ත... :)

      Delete
    2. හරියටම හරි ඒක තමයි වෙන්නේ.

      Delete
  8. උනන්දුවටයි ආසාවටයි ගැලෙවුවට ආයි හයිකරන්න ගියාමනේ රගේ දැනෙන්නේ.

    මන් නම් ඔය වැඩ නොකරන ගැජමැටික් ගලවලා බලනවා. ආයි හයිකරද්දී කෑලි එලියේ ඉතුරු උනත් අවුලක් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ආයෙත් හයි කරන එක අමාරු වැඩක් තමයි.. හැබැයි මම ඉගෙන ගත්ත දේ නම් පුළුවන් තරම් පිළිවෙලට වැඩේ කලොත් එච්චර අමාරු නෑ.. ඒ කිව්වේ එක එක ලෙවල් වලදී ගලවන ඇන එහෙම වෙනම තියාගෙන.. ඕනනම් කොටස් කොටස් ගලවන්න කලින් තිබ්බ විදිය ෆොටෝ ටිකක් අරන් තියා ගත්තම සෑහෙන්න අවුලක් නැතිව කරන්න පුළුවන්...

      මම මේක 4 පාරක් ගලවලා හයි කළා.. ඇන වැරදිලා හෙහ් හෙහ්..

      Delete
  9. මට නං ඔය අමාරුව හොදවෙලා ගොඩක් කල් , දැං අවශ්‍යම වෙලාවක ඇරෙන්න මස් කරන්ඩ යන්නේ නැ , මොකද මට මහ කැත පුරුද්දක් තියනවා මොකක් හරි ටූල් එකක් නැත්තං යසට තියන ටූල් එකක් අවශ්‍ය එකට කන්වර්ට් කරන , අන්තිමට යෙදුන රමණයකුත් නැ හොදට තිබ්බ ගැජට් එකත් නැ ....හේ හේහ් ....දැං මේ දවස්ටිකේ නං ආයෙත් කොත්තමල්ලි වෙද කමට ආසා හිතිගන එන්නේ ඒකටම කප් ගහපු ඩයල් එකක් සැට්වෙලා හන්දා

    ReplyDelete
    Replies
    1. මම නම් ඔය ගලවපු එකක් කවදාවත් ආයේ වැඩ කරන්න හදල නැද්ද කොහෙද.. හෙහ් හෙහ් එකම සැරයක් බ්ලෙන්ඩරයක් ද කොහෙද හැදුව එච්චරයි..

      මමත් මේ හෙන කාලෙකින් මේ වගේ වැඩක් කලේ.. කම් ඕ ගෝ චිකාගෝ කියල හෙහ් හෙහ්... අන්තිමට චිකාගෝ තමයි වුනේ... :D

      Delete
    2. මුල් කාලෙ කතාවල තියන
      template හදපු.
      පරන බඩු කඩෙන් ගත්තු vacuum cleaner හදපු අටං දැන් රිටයර්ද?

      Delete
  10. ෆොටෝ ගන්නේ නැති අයට කැමරා ගන්න එපා කියලා නැහැනේ.ඒ නිසා මමත් අවුරුදු කිහිපෙකට කලින් ක්‍රෙඩිට් කාඩ් එකෙන් ණය වෙලා ගතතා කැමරාවක්.හැබැයි DSLR එකක් නම් නෙමේ.
    ඉස්සර මට තිබ්බ කුතුහලයක් තමයි ටීක් බෝල අස්සේ ලස්සනට තියෙන්නේ මොනවාද කියලා බලන එක.ඉතින් කරන්නේ ටීක් බෝල අහුවෙච්චි ගමන් තලනවා.දැන් නම් නිකම් දකින්නවත් ටික්බෝල නැහැ.

    ReplyDelete
    Replies
    1. ටීක් බෝල අපේ ගෙදර තියනවා මනෝජ් ඕන තරන්... එක එක තරමෙ පාට පාට ටීක් බෝල 250ක එකතුවක් පුතාට ගෙනත්..

      Delete
    2. ටීක් බෝල ඉස්සර නම් ඕන තරම් තිබ්බාට දැන් එහෙම දකින්න නැහැනේ.ඉස්සර ටීක් ගැහිල්ලත් ජනප්‍රිය සෙල්ලමක්නේ.

      Delete
    3. මනෝජ්, මටත් වෙලාවකට හිතෙනවා මේ DSLR එක නැතිව හොඳ සුම් රේන්ජ් එකක් තියෙන පොයින්ට් ඇන්ඩ් ෂුට් එකක් ගත්ත නම් හරි කියල.. දැන් ඉතින් බැඳ ගත්ත බෙරේ ගහනවා..

      ඇත්තටම මොනවාද ඒ තියෙන්නේ..? අපි ඕවට කියන්නේ ජිල් බෝල කියල..ඒ දවස් වල ජිල් ගහන එක නැගල ගිය සෙල්ලමක්...

      Delete
  11. ඉස්සර අපේ ගෙදර තිබ්බ බැටරි දාලා වැඩ කරන රේඩියෝ එක ගලවන පුරුද්දක් මටයි මල්ලිටයි දෙන්නටම තිබ්බා.. තාත්තගෙන් බැනුන් කෝටියයි.. පස්සේ තාත්තා අපිට ඕන දෙයක් කරගන්න දුන්නා.. හැබැයි ඒ වෙනකොට ඒ රේඩියෝ එකේ කාලෙත් ඉවරයි..

    මේ ලෙන්ස් එක ගලවලා ආපහු හයිකලා කියන්නේ පැතුම්ට සැහෙන ඉවසීමක් තියනවනේ..

    ReplyDelete
    Replies
    1. මට නම් ඕවගේ වැඩ කරන්න හිටියේ මම විතරයි.. අපේ අක්කටයි නංගිටයි ඔය වගේ ගජමැටික්ස් වැඩ පෙන්නන්න බෑ.. ඒ දෙන්න කලේ මගේ කාමරේ තියෙන කුණු ගොඩවල් ගැන බැනපු එක විතරයි.. හෙහ් හෙහ්..

      අපේ අක්කයි,නංගියි ඉස්සර කාමරේට එන්නෙම "අම්මෝ මේකේ ගඳ.. තමුසේ කොහොමද මේක ඇතුලේ ඉන්නේ..? මම අහන්නේ "මොන ගඳද? පිස්සු ද? ඉන්න බැරි නම් යනවා වද නොදී "හෙහ් හෙහ්..


      ඉවසීම නම් සෑහෙන දුරට තියෙනවා.. හැබැයි සමහර වෙලාවට හෙන පොඩි දේවල් වලට ඉවසීම බිංදුවට බහිනවා...

      Delete
    2. මමත් පොඩි කාලේ තමයි පැතුම් මල්ලිත් එක්ක එකතු වුනේ මේ වගේ වැඩ වලට.. ලොකු වෙනකොට මාත් ඔයාගේ අක්කලා අහලා තියන ප්‍රශ්නම ඇහුවා..ඒ උත්තරම මල්ලිගෙන් හම්බුනා..හිහී..

      ඉවසීම පොඩි දේවල් වලට බිංදුවටම යන එක නම් අපි ගොඩ දෙනෙක්ට තියනවනේ..

      Delete
  12. හැලපෙගෙ බ්ලොග් එකෙන් තමයි පාර අහු වුණේ. සෑහෙන්න සංතෝෂයි photography කරන කෙනෙක් හමුවීම. ලෙන්ස් එක ගලෝපු එක ගැන නම් කියන්න තියෙන්නෙ හදන්න බැරි එකක්, අත්දැකීමට ගැලෙව්වා නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි ලෙන්ස් එකක් ගැලෙව්වට පස්සෙ, ඒක අනිවාර්යෙන්ම calibrate කරන්න ඕනෙ හොඳින් auto-focus වෙන්න නම්. calibrate කරන උපකරණ සහ ඒ පිළිබඳ දැනුම තියෙන්නෙ ඒ ලෙන්ස් එක අයිති brand එකේ service center එකකට තමයි. නිකොන් නම් Nikon service center එකේ තියෙනවා. එහෙම නැතුව auto-focus issues හදන්න බෑ.
    Full frame කැමරා එකක් නම් තමයි ඔය 70-300 එකක්ම ඕන වෙන්නෙ. crop mode කැමරා එකක් නම් 55-300 එකෙන්, ඒ වැඩේම කර ගන්න පුළුවන්. අඩු මුදලට ගන්න නම් නිකොන් 70-300G version එක හොඳයි (VR නෙමෙයි), රු 15000 කට විතර ගන්න පුළුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. රොබට්, මම මේක හදන තැන් දෙක තුනකට අරන් ගියා.. හැමෝගෙම උත්තරේ වුනේ මේක හදනවට වඩා ලාබයි අලුත් එකක් ගන්න එක කියල.. පස්සේ තමයි මම ඔය වැඩේ කරන්න තීරණේ කලේ.. ඇත්තටම කොහොමද මේක වැඩ කරන්නේ කියල බලන්න සෑහෙන්න ආසාවක් තිබුන ..

      මම පාවිච්චි කරන්නේ canon aps-c එකක්, දැන් මේ ආයෙත් ලෙන්ස් එකක් ගන්න හිතා ගන්න බැරිව ඉන්නේ.canon 50mm ලෙන්ස් එකක් ගන්න හිතේ තියෙනවා. telephoto ලෙන්ස් එකකට තමයි අදහසක් නැත්තේ.. 55-250 එකක් තමයි අන්තිමට තීරණේ කලේ.. හැබැයි තාම හිතනවා.. Full frame කැමරාවක් නම් අරන් වැඩක් නෑ කියල හිතෙනවා මම එච්චර වැඩක් ගන්නේ නැති නිසා..

      Tamron 70-300 එක ගැනත් ඔළුවේ තියෙනවා.. අදහසක් තියෙනවනම් කියන්න..

      Delete
    2. වෘත්තිය ඡයාරූප ශිලිපියෙක් නෙවෙයි නම්, වැඩිපුර සල්ලි තිබොණොත් ඇර full frame එකක් ගන්න එක අපරාධයක්. මම Canon user කෙනෙක් නෙවෙයි, Nikon user. හැබැයි lenses ගැන නම් දන්නවා. 50mm (Canon 50mm f/1.8 STM) තමයි kit lens එකකට පස්සෙ ගන්න ඕනෙ පලවෙනි lens එක. ඒක බජට් lens එකක් වුණාට පට්ට quality, super sharp. හොඳම portraits ගන්න පුළුවන්, aperture 1.8 දාලා, ලස්සන bokeh එන විධියට, අලුතෙන්ම ගන්නවා නම් 15000ක් විතර වෙයි.
      Canon 55-250mm IS EF-S II එකත් හොඳ lens එකක්. මේකත් sharp pictures දෙනවා. Auto focus speed එකත් හොඳයි. මේක හොඳ out-door වැඩවලට, indoor concert වගේ දෙවල්වලටනම් එච්චර ගැලපෙන්නෙ නෑ, මොකද tele-end එකේ aperture එක 5.6 නිසා. Tamron නම් පාවිච්චි කරලා නෑ. හැබැයි third party lens ගන්න වෙලේ Canon එකක්ම ගන්න එක හොඳයි.

      Delete
    3. රොබට්, මම ඊයේ ගිහින් 50mm එක ගත්තා..ඒක නියමයි තමයි. Canon 55-250mm IS EF-S STM එක ගන්න තමයි මම හිතාගෙන ඉන්නේ.. මට තව හොඳ wide angel ලෙන්ස් එකක් දන්නවනම් කියනවද..?

      මම දැන් තීරණය කළා දිගටම canon lens ම ගන්න. ෆොටෝ ගොඩක් ගන්නවට වඩා හොඳ තත්වයේ ෆොටෝ කිහිපයක් ගන්න එක වටිනවා කියල ඔන්න දැන් තේරිලා තියෙන්නේ හෙහ් හෙහ්...

      Delete
    4. නිකොන් එකක් තියනවා බජට් ටෙලි ලෙන්ස් එකක් දන්නවද රොබට්? නිකොන්ම වෙන්න ඕනේ නැහැ .

      Delete
  13. අනේ දෙය්යනේ අර ලෙන්ස් එකට කරලා තියන හරියක්.......... මගේ බඩ දගලන්න ගත්තා එක දැක්කම. .

    ReplyDelete
    Replies
    1. සිංදු, සියලු ලෙන්ස් නැසෙන සුළුය කියල හිත හදාගමු ඉතින්.. හෙහ් හෙහ්

      Delete
  14. කරලා තියෙන අපරාදයක තරම ... ☺ ☺ ඒත් ඉතින්, My Car - My Petrol නේ ...

    ඔය Action Camera 1 ගත්ත තැන , බ්‍රෑන්ඩ් එක , මිල , වගේ පොඩි විස්තර ටිකක් කියන්න බැරිද,

    ReplyDelete
    Replies
    1. සඳරු, My Car - My Petrol තමයි ගලවන්න කලින් අන්තිම තීරණේ ගන්න උදව් කලේ.. හෙහ් හෙහ්..

      මම Action Camera එක ගත්තේ මැලේසියාවෙන්. මේක ඔය Chinese brand එකක්.. sports කියල.. ලංකාවේ නම් හොයා ගන්න තියෙනවද දන්නේ නෑ.. හොඳම දේ ebay එකෙන් ගන්න.. තාම පාවිච්චි කලේ නෑ.. පාවිච්චි කරලා බලලම වැඩි විස්තරයක් කියන්නම්..

      මෙන්න මේකේ තියෙනවා විස්තරේ
      http://www.fpvactioncamera.com/sj8000-real-4k-action-camera/

      Delete
  15. මම ඉස්සර ඔය කඩන ගලවන වැඩේට හෙනම බයයි.. ඒත් මෑතක ඉඳල පාවිච්චි කරන බඩු වැඩි හරියක් මගේම දාඩිය මහන්සියෙන් උපාය ගත්ත ඒවා වීම, සියලු සංස්කාරක ධර්මයෝ නැසෙන සුළුයි කියල තේරුම් ගැනීම හා නැතින්ග් ටු ලූස් කියල හිතට ආපු හැම වෙලාවකම ඕනේ ගැජමැටික් එකක් ගලෝනව.. ගොඩක් වෙලාවට මොකක් හරි කරලා ගොඩ දාගෙනත් තියෙනවා ඒත් සමහර ඒවාට පැතුම් ගේ ලෙන්ස් එකට උනා වගේම පාන්සුකුලේ දීලා පැත්තකට කරන්න වෙනවා.. ඒකෙත් පොඩි මෙව්වා එකක් තියෙනවා.. හිහ්.. සුපිරි පොස්ට් එක මේක..

    ReplyDelete
    Replies
    1. පාන්සුකුලේ දීලා පැත්තකට කරල සිහිවටනයක් වගේ අරන් තියාගෙන ඉන්නයි තියෙන්නේ.. දැන්නම් හැබැයි ඔය කැඩෙන බඩු උනත් ebay එකේ විකුණන්න පුළුවන්..

      තමුන් ගත්ත බඩු තමුන් පාවිච්චි කරලා තමන්ගේ අතින් කැඩුනම ගලවා බැලීමට පුර්ණ නිදහස තමන්ට තියෙනවානේ.. කැඩුන කියල වොරි වේවි ඉන්නේ නැතුව කැඩිච්ච එකෙනුත් යමක් ඉගෙන ගෙන ආතල් එකක් ගන්නයි තියෙන්නේ හෙහ් හෙහ්..

      (අලුතින් ගන්න යන වියදම් බලනකොට හැබැයි ආතල් කුඩු වෙනවා.. හෙහ් හෙහ්..)

      Delete
  16. වැඩේ කිට්ටුවටම ගිහින් නේ පරගම්මන ගිහිං තියෙන්නේ. පුස් සුද්ධ කළා නං එතන ඉඳල ප්ලාස්ටික් කෑල්ල අයින් කරලා ඊ බේ එකෙන් අඩුවට අවශ්ය දැති රෝද ගන්න තිබ්බ නේද?

    ReplyDelete
    Replies
    1. අපිට ඉතින් වැඩක් පටන් ගත්තම ඒක ඉවර කරනකම් ඉන්න බැරි කසන ගතියක් වගේ තියෙනවනේ මචං.. මේක ගලවල බැලුවට පස්සේ හිතෙන්නේ අය්යෝ මේක සුළු දෙයක් නේ.. දැන් හරි කියල.. හෙහ් හෙහ් ටිකක් ඉවසීමෙන් කල්පනා කරලා ඔය කිව්වා වගේ අවශ්‍ය කොටස් ගෙන්නලා හැදුවනම් ගොඩ දාගන්න තිබ්බ තමයි.. හෙහ් හෙහ්..

      ඔයා දන්නවනම් මට ගන්න හොඳ wide angel lens එකක් කියන්නකෝ.. canon aps-c එකකට..

      Delete
  17. හපොයු මොකට ගැලෙව්වද ඕව? ඊයේ පෙරේද ලැප්ටොප් එක ගලවල හයි කරද්දීත් ඇනයක් ඉතුරු වුණා. දැන් තියෙන විධිහට අලුතින් ගණන් එක ලේසියි. මං ළඟ පරණ DSLR ප්‍රක්ටික එකක් තියනවා. කරන්න දෙයක් නැහැ ඒකට.

    ReplyDelete
    Replies
    1. ගලවල බලන්න ආසාවට ගැලෙව්වේ.. බැරිවෙලා හරි ගොඩ දාගන්න පුළුවන් වෙයි කියල හිතල.. හෙහ් හෙහ්..

      ඇත්තටම මේවගේ බඩු හදනවට වඩා අලුතින් ගන්න එක ලාබයි..

      ඇණයක් ඉතිරි වුනේ නැත්නම් තමයි අපි කලබල වෙන්න ඕනේ.. :)

      Delete