Friday, December 24, 2010

මගේ කෑම සතිය...

පසුගිය සතිය සහ ඉදිරි සතිය මම මගේ බඩ වෙනුවෙන් වෙන් කිරීමට සිතා ගතිමි... ලබන්නා වූ වසර තුළ බඩ ටිකක් අඩුකරගෙන ටිකක් පිළිවෙලක් වීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මෙතුවක් කල් එකට සිටි බඩට කළගුණ සළකනු පිණිස මේ තීරණය ගන්නා ලදී...

Thursday, December 23, 2010

මේ මොකක් ද?

මේ පින්තූරේ දැක්කම මොකක් ද මතක් වෙන්නෙ? මට මේ ෆොටෝ එක ගන්නකොට එකපාරටම මතක් වුණේ ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ ෆිල්ම් එක... හික් හික්... මේ තියෙන්නෙ කොත්මලේ පිහිටි මහවැලි මහා සෑයේ ඇතුළෙ ඉඳන් ගත්ත ෆොටෝ එකක්... අපේ කාලයේ විශ්මකර්ම වැඩක් කියල කියන්න පුළුවන්..


අඩි 150ක් විතර යට ඉඳල එන කොන්ක්‍රීට් කනු 32ක් උඩ තමා මේ දාගැබ හදල තියෙන්නෙ... දැන් කරන්නේ මේ කණු මතු කරගෙන වටේට පේසා වළලු සහ පහත මළුව හදන එක... ගිහිල්ල බලන්න වටින තැනක්.. මම සි.බො.හමුවීමයි හිතවත් බස් කරුවන්ගේ කිතුල්ගල ට්‍රිපයයි දෙකම කැන්සොල් කරල ගිය ගමනෙදි බලා ගත්ත එක තැනක් තමා ඕක... පවුලේ අයත් එක්ක තනිකඩයෙක් විදියට යන අවසාන ට්‍රිප් එක මේක වෙන්න පුළුවන් නිසා තමා බොහෝ දේ කැප කරල මේ ගමන ගියේ... ගිය ගමන නම් පාඩු නෑ..

ඇතුළත දර්ශනයක් (අපේ කට්ටිය සමඟ)
 මේ තියෙන්නෙ එළියෙන් පේන හැටි.. දේවතාකොටුව,කොත් කැරැල්ල වගේ දේවල් තාම ලෝහ වලින් කරල තියෙන්නෙ ඉවර කරල නෑ මම හිතන්නෙ...

Wednesday, December 15, 2010

මගේ උපන් දිනේ ගැන මම නොදන්න දේ...

මේක හරි අපූරූ වෙබ් සයිටයක්.. විස්තරේ දැන ගත්තේ මෙතනින්...
මිනිස්සු කොච්චර අපූරූ දේවල් කරනව ද...

Thursday, November 18, 2010

බෙල්ලට ඔළුව බරයි කියල දැනිල නැද්ද?

මට ඊයේ එකපාරටම මෙහෙම එකක් දැනුනනේ... ඉවසන්නම බෑ වගේ දැනුනා.. අතපය දිග ඇරල හිරි අරිනවා වගේ ඔළුව පොඩ්ඩක් ගලවල තියල බෙල්ලෙ හිරි අරින්න හිතුණා...ජීවිතේටම එහෙම හැඟීමක් නම් දැනිල නෑ...

අනේ මන් ද මොනව වේගෙන එනව ද කියල...

Wednesday, November 17, 2010

සැබෑ ආදරය පිහිටන්නේ "මම" යන දෘෂ්ඨිය මනුෂ්‍යයාගේ සිතින් සහමුලින් තුරන් වූ විටය

උපුටා ගැනීම - නිදහස් චින්තන ධාරාවේ බින්දු කිහිපයක්. ආචාර්ය ඊ.ඩබ්ලිව් අදිකාරම් තුමා ගේ සිතිවිල්ලක්

මේ මට හිතෙන දේ..

මම නැති විට ආදරය කරන්නේ කවු ද?ආදරය ලැබෙන්නේ කාට ද? කරන්නෙක් හෝ ලබන්නෙක් නැති නම් ආදරයක් පවතී ද? ආදරය කිසිවෙකුටත් අයිති දෙයක් නොවන බව වටහා ගත හැකි නම් මම නැති විට ආදරය කළ හැකි වනු ඇත. ගස් වැල් තුළ ආදරය ඇත. මම නැත. ගංඟා ඇල දොළ තුල ආදරය ඇත. මම නැත. මිහිකත තුළ ආදරය ඇත. මම නැත. අප තුළ මම ඇත. ආදරය.....

ආදරය ලෞකික බැඳීමක් පමණක් ලෙස දකින විට මම නොමැතිව ආදරය කළ නොහැකිය. ආදරය මට ලැබිය යුතුය. මම ආදරය කළ යුතුය. මම ආදරේ නම් මා විසින් මේ මේ දේ කළ යුතුය... මට ආදරේ නම් මට මේ මේ දේ ලැබිය යුතුය. ඒවා මට නොලැබෙන්නේ නම් හෝ මම ඒවා නොදෙන්නේ නම් මම ආදරය කරන්නේ නැත. මට ආදරය ලැබෙන්නේ ද නැත. මා වෙනුවෙන් කර ඇති දේ අනුව මට ඇති ආදරය මැනිය හැකිය. මම කර ඇති දේ අනුව මගේ ආදරය ද මනිනු ඇත. කරන දේ නැවතුන විට ආදරය ද නිමවේ.

ආදරය ආධ්‍යාත්මික බැඳීමක් ලෙස දකින විට කිසිවෙක් කිසිවෙකු වෙනුවෙන් කිසිවක් කළ යුතු නැත. කළ ද නොකළ ද ආදරය ඔවුනොවුන් තුළ පවති. ඔවුනොවුන් වෙනුවෙන් ජීවත් වේ.

මට හිතුන දේ හරි ද වැරදි ද දන්නෙ නෑ... නමුත් දෙදෙනෙකු අතර පවතින සැබෑ ආදරය යනු... Live, Let Live ලෙස මා ඉගෙන ගෙන ඇත.

සමාජ සම්මත විසින් ආදරයට වටිනාකමක් නියම කර ඇති හෙයින් නියම ආදරයක් කිරීමට සහ ලැබීමට නම් අපට කළ යුතු බොහෝ දේ ඇත...

දැන් මේක ලියන එක නවත්තල මට කරන්න තියෙන දේ ගැන හිතන්න ඕනේ...

Saturday, November 06, 2010

කිලෝමීටර් 158ක්,පැය 7.5ක් එක දිගට අම්මයි මමයි...

හොඳටම තෙමුණා... අපේ අම්මා ගැන කියන්න මට වචන නෑ... කිසි දෙයක් සිද්ද වුණේ නෑ වගේ ෆුල් ෆිට් එකේ මාත් එක්ක හිටියා...දැනුත් එහෙමයි...ඊයේ එහෙම එකක් වුණා ද කියල ගානක් වත් නෑ..ඒක ආදරේ ද ජීවිතේ තේරුම් ගැනීම ද කියල හිතා ගන්න බැහැ... අම්මගේ වයස 60යි...

ජීවිතේට මූණ දෙනව කියන්නෙ මෙන්න මේකට නේද කියල හිතුනා... හැමදේම හොඳට වෙනකම්, අපිට ඕනේ විදියට වැඩටික කෙරෙන කම් ජීවිතේ ගැන ලස්සන කතා කියන්න හැමෝටම පුළුවන්... බලාපොරොත්තු නොවෙන දේවල් නොහිතන වෙලාවට සිද්ද වෙනකොට නොසැලී වචනෙකින් හෝ අඩුම තරමේ හැඟීමකින් වත් වෙනසක් නැතුව මොකුත් වුණේ නෑ වගේ ඉන්න පුළුවන් වීමේ ගුණය පුරුදු පුහුණු වුණේ ජීවිතේට මුහුණ දීලම විතරයි කියලයි මම දන්නේ...ඒක ඉගෙන ගන්න වෙන ක්‍රම තියෙන්නෙ විදියක් නෑ...

අපේ අම්මට මේ ආත්මෙදිම මේ සංසාරෙ ඉවර කරගන්න පුළුවන් වෙන්න කියල විතරයි මම ප්‍රාර්ථනා කරන්නේ..ලබන ආත්මෙදිත් මගේම අම්ම වෙන්න කියන්න තරම් ආත්මාර්තකාමී වෙන්න බැහැ...මට කරන්න පුළුවන් එකම දේ මෙච්චර කාලයක් හිටිය වගේ අම්මගේ හිතට දුකක් නොදී බරක් නොවී ඉන්න එක විතරයි...අම්මට මේ සංසාරෙන් ගැලවිලා යන්න තියෙන බැඳීම් එකින් එක අයින් කරගන්න උදව් කරන එක විතරයි මම කරන්න ඕනේ... භෞතික සැප සම්පත් ගොඩ ගහල තාවකාලික සතුටක් දීල මගේ යුතුකම මම කලා කියල අතපිහ දා ගන්න එක මහ පුහු දෙයක්... සතුටු වෙන්න කිසිදෙයක් ඕනේ නෑ කියන එක අපේ අම්ම ඕනවටත් වඩා පෙන්නල තියෙනවා...තිබ්බත් සතුටුයි නැතත් සතුටුයි... 

කරන්න පුළුවන් උපරිමෙන් කරල අපිට දෙන්න පුළුවන් දේ දුන්න... හොඳ නරක කියන්නෙ මොකක් ද කියල විතරක් කියල දීල අපිට අපේ ගමන යන්න ඉඩ ඇරියා... අපිට හරියන කොටත් හිටියා වරදින කොටත් හිටියා... උපේක්ෂාවෙන් ඕනේ දෙයක් දිහා බලන්න ඉගැන්නුවා... රටේ ලෝකේ ඉන්න මිනිස්සු ගහන ගහන පදවලට නටන්නේ නැතුව තමන්ගේ තරමට තමන්ට පුළුවන් දේ කරගෙන ඉන්න විදිය ඉගැන්නුවා...  අපිට තියෙන දෙයින් හැමදාම සතුටු වුණා...අපිට මීට වැඩිය දේවල් කරන්න පුළුවන් කියන එක කියල දුන්න විතරයි... අපි ඒ දේ කලත් නොකලත් එකම හිතින් අපි එක්ක හිටියා දැනුත් ඉන්නවා ඉස්සරහත් ඉඳියි.

උපතින් කිසිදෙයක් නොලැබුණ හැමදේම උත්සාහයෙන් ලබා ගත්ත මිනිසුන් තුළ විතරයි ගොඩක් වෙලාවට මේ වගේ ගුණ පිහිටන්නේ... උත්සාහයෙන් ලබා ගත් දෙයිනුත් සෑහීමට පත්වෙලා සතුටු වෙන්න පුළුවන් වෙන්නෙ ජීවිතේ හරියටම තේරුම් ගත්ත කෙනෙකුට විතරයි කියලයි මම හිතන්නේ.

අම්ම තෙමෙනකොට මගේ ඇස්වලින් කඳුලු ආවා...ආයේ කවදාවත් අම්මට මෙහෙම වෙන්න දෙන්නෙ නෑ කියල හිතුවා.. හැබැයි අම්මගේ මුහුණේ තිබුණ සැහැල්ලුව දැක්කට පස්සේ මම මේ අඪන්නේ තේරුමක් නැතුව නේද කියන එක තේරුම් ගියා. මොකද කවදාවත් භෞතිකව දෙන දුක සැප කියන එක තීරණේ කරන්න අපිට බැහැ කියන තේරුම් ගියේ එතකොට... භෞතික දුක සැප හැම වෙලේම තියෙන්නෙ අපේ පාලනයෙන් තොරව... හැබැයි ආධ්‍යාත්මික දුක සැප හැම වෙලේම තියෙන්නෙ අපි ළඟ. ඒක කොන්ට්‍රෝල් කරන්න පුළුවන් එකම පුද්ගලය තමන් විතරයි.

ගෙදර ආවට පස්සේ "කිසි කරදරයක් නැතුව ආපූ එකනම් ලොකු දෙයක්" එච්චරයි කිව්වේ... ඊට පස්සෙ සුපුරුදු විදියට නාට්ටි ටික බලල කඩෙන් ගෙනාපු කොත්තු රොටියයි,ආප්පයි කාලා... හොඳට නිදා ගත්තා...

අම්මත් එක්ක ජීවිතේ ඔන්න ඔහොමයි...

හැම අම්ම කෙනෙක් ම මෙහෙම ඇති...

Wednesday, November 03, 2010

සමුගැනීම

මට ඉස්සර ඉඳලම හෙන ආසාවක් තියෙනවා ඉක්මනට පැන්ෂන් අරන් ඔහේ ගෙදරට වෙලා ඉන්න. පැන්ෂන් ගන්න ආස වුණාට මොකද තාම වැඩ කරන්න පටන් අරගෙනත් අවුරුදු 6 ක් විතර...අනේ අම්මෝ තව ඉතින් අවුරුදු කීයක් කියල වැඩට යන්නද... ඉක්මනට වයසට යාමේ වැදගත් කම පේනව නේ...

අද මේක ලියන්න හිතුණේ මම වැඩ කරපු කාලෙන් හරියටම 2/3ක් විතර හිටිය හැමදාම ආසාවෙන් වගේ වැඩ කරපු (හැමදාම උදේට පට්ට කම්මැලි වීම වෙනම කතාවක්)ආයතනයෙන් වැඩ කරපු අවසන් දවස ඊයේ වීම.

ලංකාවේ ඉන්න හැමෝම නම කිව්ව පමණින් දන්න කොම්පැණියක හොඳ (හොඳ කියන එකත් සාපේක්ෂතා වාදයට අදාලයි ඉතින්)රැකියාවක් අත ඇරපු එක තාම අපේ වට පිට ගෙවල් වල කට්ටිය ඔය නෑදෑ පරම්පරාව දන්නේ නෑ... අද හෙට ඕක දැන ගත්තම ඉතින් "අනේ අපරාදේ නෙ පුතේ අස් වුණේ... හරි ෂෝක් තැන නේ", "අච්චර හොඳ ජොබ් එකක් දාල ඔය ඉතින් කොහෙද යන්න හඳන්නේ.."  ඕවා තමා අහගන්න වෙන්නේ... ලබන් සතියෙ ඉඳන් ඩෙනිමකුයි ටී ෂර්ට් එකකුයි ගහගෙන 10ට විතර යනකොට ඔය වටේ ඉන්න වැඩිය ෆිට් නැති කස්ටිය ෂුවර් එකට හිතන්නේ මූට ජොබ් එක නැති වෙලා දැන් ඉතින් රස්තියාදු ගගහ ඉන්නව කියල... ඕව ඉතින් ඔහොම තමා.

කොහොම වුණත් කොම්පැණියෙන් අස් නොවී ඉන්න තිබුණනම් මමත් කැමතියි... හැබැයි අස් නොවී හිටියනම් මට ගෙදර ඉන්න බැරි වෙන සීන් එකක් වෙන්න තිබුණ තව ටික කාලෙකින්... ගෙදරද කොම්පැණියද වඩා වටින්නෙ කියල හිතල බලල තමා මේ තීරණේ ගත්තේ...

වැදගත් ම දේ තමා ජිවීතේ බොහෝ දේ ඉගෙන ගත්ත, බොහෝම හොඳ යාළුවෝ ටිකක් (බොරු පොෂ් නැති හිත හොඳ කොල්ලෝ කෙල්ලො ටිකක්) සෙට් වෙච්ච තැනක් වීම...

කොහොම වුණත් කිසිදෙයක් ගැන එපාවීමක් වත් කලකිරීමක් වත් හිතේ නැති එක නම් හිතට මාර සහනයක්... කොම්පැණියට කොහෙද වැරදුණේ...(නැත්නම් අපිට වැරදුණා ද)කියල තාම හිතාගන්න බැහැ (අපිට ඉතින් ඔය හෙන මැනේජ්මන්ට් තේරෙන්නෙ නෑ නේ). සමහර විට මේ දවස් වල පල්ලම් බැස්සට හෙට අනිද්දට ආයේ කන්දක් නඟියි (කොම්පැණි ගැන කතා කරන කොට කන්දයි පල්ලමයි මාරු වෙන හැටි පේනව නේද... හික්.. හික්)

කොහොම වුණත් සියරට දේ අගය කරන්න ඕනේ කියල හිතල අපි හිතුවට සියරට දේටත් අපිව අගය කරන්න පුළුවන් වෙන්න ඕනේ... සියර්ටට වැඩිය පිටරට අපිව අගය කරන කොට ඉතින් (අපි ඉතින් තාම පෘතග්ජනයෝ නේ අනේ)

මම ගෙදර හිටියට ඉතින් අම්ම වැඩනේ.. දැන් අම්මව එක්කගෙන යන්න ඕනේ... පස්සේ ලියන්නම්

අපේ කස්ටියට හිතෙන දේවල් සිංහලෙන් හරි කඩ්ඩෙන් හරි කඩුසිංහලෙන් හරි ලියල දාන්න. සිංහල මැෂිමේ දාල නැත්නම් මගේ මැෂිමේ පබ්ලික් ෂෙයාර්ඩ් එකෙ මම දාල තියෙනවා සිංහල යුනිකෝඩ් පැක් එක (අයි.පී එක 159)

නිකන් ඉන්න වෙලාවට මේ පැත්තේ ඇවිල්ල පොඩි කොමෙන්ට් එකක් දාල යන්න.ඒක හරි වටිනවා

මම සිංහල යුනිකෝඩ් ගැන හැමදේම ඉගෙන ගත්තේ ඔහෙට ආවට පස්සේ ... හික් හික් සිංහලෙන් ඇස්.ඇම්.ඇස් යවන්න හදල බැරි උණාට හෙන වැදගත් දේවල් ටිකක් ඉගෙන ගත්තා...

අවසාන වතාවට කේ.අයි.ටී (KIT) කියල කියන්නම්. කියන්නේ ඇත්තටම.. ඕනේ වෙලාවක ඕනේ දේකට මම එමි.(පේනවනේ නිවැරදි සිංහල භාවිතය.. හික්)

Thursday, October 21, 2010

සතුන්ට අපිව කොහොම පේනවා ඇත් ද?

පහු ගිය දවසක වැස්සට තෙමිච්ච හින්ද ආපු අදහසක් ද කොහෙද මේක... හිතන්න දේවල් එකසිය ගානට තියාගෙන මම ඉතින් මේ වගේ වැදගත් දේවල් ගැන හිතන්නත් පොඩි කාලයක් වෙන් කර ගන්නවා.

මට ආපු ප්‍රශ්නේ තමා බල්ලන් ගේ පූසන් ගේ කුරුල්ලන් ගේ ලෝකය ඇතුළේ මිනිස්සුන්ට තියෙන තැන මොකක් ද කියල. උන් කොහොම ද අපි ගැන හිතන්නේ... අපිව අඳුර ගන්නේ කොහොමද... මිනිස්සු කියන සතුන් ගැන බල්ලන්ගේ පූසන්ගේ කූඹින්ගේ ඊ.ටී.සී... ගේ දෘෂ්ටිකෝණයෙන් බලනකොට කොහොම පේනව ඇති ද?

බල්ලන්ට පූසන් ගැන හා පූසන්ට බල්ලන් ගැන ඇති හැඟීම් මෙන් මිනිසුන් ගැන මොනවගේ දේවල් හිතෙනව ඇත්ද නැත්නම් උන් ඔය වගේ සම්භාව්‍ය දේවල් හිතන්නේ නැතුව දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නව විතර ද?

ටික කාලෙකට කලින් එක පොඩි සිද්ධියක් වුණා මටයි අම්මටයි. කොයිවෙලාවේ කොතන බෝම්බයක් පුපුරයි ද කියල බයෙන් වැඩට යන්න ගිය දවසක අම්මයි මමයි ගෙදරින් එළියට එන්න හදන කොටම අපේ ගෙදර ළඟ පාරේ ඉන්න බල්ලෙක් (නිතර ඉන්න අයාලේ යන බල්ලෙක්) අපි දෙන්නට යන්න දෙන්නෙ නැතුව ඉස්සරහට ඇවිත් අපිට යන්න නොදී වටේ කැරකි කැරකි හිටියා. ඌ අපිට මොකක් දෝ කියන්න හැදුව වගේ.. කොහොම හරි අපි දෙන්න විනාඩි 5-10 ක් විතර ඉඳල ගියා. එදා නම් බෝම්බයක් පිපිරුවෙ නැද්ද කොහෙද.. කොහොම හරි මට පස්සෙ හිතුණා බල්ල එදා ට්‍රයි කලේ බල්ලගෙ මොකක් හරි ප්‍රශ්නෙකට අපෙන් උදව්වක් ගන්න ඕනේ වෙලා ඌ අපිට ඒක කියන්න ට්‍රයි කලා වත් ද කියල.

කොහොම වුණත් බල්ලට අපිට දෙයක් කියන්න හරි මොකක් හරි පණිවිඩයක් දෙන්න ඕනේ වුණා නම් ඌට අපි ගැන මතක් වෙන්න ඕනේ... අපි ගැන සිතිවිල්ලක් එන්න ඕනේ නේ.. අන්න ඒහෙම හිතෙන වෙලාවෙදි බල්ලගේ හිතේ ඒ මනුස්සය ගැන තියෙන්නේ මොනවගේ දේවල් ද...මොනවගේ ප්‍රතිරූපයක් ද

නිකමට වගේ හිතල බලනකොට පොඩි ෆන් ගතියක් තියෙනවා වගේ නේද? මගේ මේ ඔළුව පෙඟිච්ච          නිසා ද මන් ද මට මේව හිතෙන්නේ...

Tuesday, October 19, 2010

දුක හිතීම...

මට අද දුක හිතුණා... හේතුව දන්නේ නෑ...

Monday, October 11, 2010

කෙස් ගහෙන් මිස් වුණ NASA ගමන

මම ඔය රට යන වැඩේට එච්චරම කැමති නෑ... මෙන්න මෙහෙට වෙලා තියෙන දෙයක් කාල බීලා පවුලේ කට්ටියත් එක්ක දැහැමින් සෙමින් ජීවත් වෙන්න තමා ඉතින් මම කැමති. හැබැයි NASA එකට යනවා කියන්නේ පොඩි කාලේ ඉඳල මගෙ හිතේ තිබුණ ලොකුම ආශාව... ඉස්සර මගේ කාමරේ බිත්ති 4 පිරෙන්නම ගහල තිබුණේ NASA එකෙන් එවපු පින්තූර.  මීට අවුරුදු 2-3කට කලින් තමයි මම ඒ ටික බිත්තිවලින් ගැලෙව්වේ. කල වයස හරි ගිහින් ඔය එක එක වැඩ වලට ගේ රෙපයාර් කරන කොට තමයි හිතුණේ දැන් ලොකුයි නේ මේව දැන් සුදුසු නෑ කියලා. බොහෝම දුකින් ඒ ටික ගලවලා මම වගේ උණ තියෙන තව පොඩි එකෙකුට දුන්නා.
කොහොම හරි ඉතින් NASA එකට යන එක හීනයක් විතරක් වෙලා තිබුණේ මීට මාස 2-3ක් වෙනකම්.
 කෙටියෙන් කිව්වොත් මේකයි වුණේ. අනාගතේ ගැන ටිකක් සිරාවට හිතල බලල කරන්න තියෙන වැඩ ටික ගොඩ දාගන්න තියෙන එක විසදුමක් විදියට ඇම්.ඇස්.සී එකක් කරන්න කියල හිතාගෙන පිට රටකට යන්න සෙට් වුණා. ලංකාවේ අපි වගේ අයට බොහෝම හොඳට ගැලපෙන විශ්ව විද්‍යාලයක් හොයාගෙන බොහෝම අමාරුවෙන් පාඩම් කරල ඒකට යන්න කරන්න ඕනේ විභාග පාස් කරල රටේ නැති වැඩ කෝටියක් විතර කරල යන්න ඔක්කෝම සෙට් කර ගත්තා. ඇමරිකාවට යන්න ලැබුණ මේ චාන්ස් එකේ මම දැක්ක එකම ආතල් සීන් එක තමා NASA එක බලන්න යන්න පොටක් පාදා ගැනීම. වෙන මොකුත් නෙවෙයි NASA එකේ බෝඩ් එක ඉස්සරල ඉඳල පොඩි පොටෝ කෑල්ලක් අල්ල ගන්න තිබ්බනම් ඇති.
අපරාදේ කියන්න බෑ.. අර මට තිබ්බ මිලියනපතියෙක් වෙන සිහිනෙත් ඕං හරි ගියා. අපේ මාමට පිං සිද්ද වෙන්න වීසා එක ගන්නකං කියල මාව මිලියනපතියෙකුත් කලා. මම යි මගේ කෙලිපොඩ්ඩයි දෙන්නම එකම ක්‍රියාමාර්ගය අනුගමනය කරල කැම්පස් එකේ ඔක්තෝබර් වාරේට යන්න ඉත සිතින් සෙට් වුණා.
අපි එලෝ කෝටියක් දේවල් කලත් ඉතින් අන්තිමට සුද්දනේ වීසා එක දෙන්නේ. දෙවියන්ට බුදුන්ට වැඳල ගියා කෙලිපොඩ්ඩ ගියා ඉතින් හා හපුරා කියල වීසාව ගන්න. අපරාදේ කියන්න බෑ වීසා දෙන්න හිටපු සුද්දිත් බොහෝම ලස්සනට හිනා වෙලා වීසාව රිජෙක්ට් කලානේ. ඒ කැම්පස් එකට කලින් ගිය කවුරුත් ආයේ ඇවිත් නෑ  ඇම්.ඇස්.සී කරන්න වෙන කැම්පොස් එකක් හොයාගන්න කියලා. කාට කියන්න ද ඊට පස්සේ.... මම ඉතින් නාසා එක බලන්න ඕනේ කියල වීසා ඉල්ලන්නයෑ...
දැන් ඉතින් NASA ගැන හිත හිත උඩ බලාගෙන ඉන්නවා... හික්...

Monday, September 20, 2010

මගේ පොත කඩේ ඇත.

පොත් ප්‍රදර්ශනය බලන්න ගියා... එක පොතක් වත් ගත්තේ නම් නෑ... මගේ බිත්තිය කියවන හුදී ජනයාගේ හිත සුව පිණිස මගේ "පරිණාමයේ වේදනාව සහ වෙනත් කතා" පොතේ පිටපත් 15ක් පමණ ආරිය ප්‍රකාශකයෝ සහ තාරා ප්‍රකශන වෙත ලබා දුන්නා. මං ගැන අනුකම්පාවෙන් එම ප්‍රකාශන සමාගම් දෙක එම පොත් ලබා ගැනීම ගැන මාගේ ස්තූතිය. ඔවුන්ගේ කුටි සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාව ඉදිරිපිට ඇති තාවකාලික ගොඩ නැඟිල්ල තුළ තමා තියෙන්නෙ. හරියටම කිව්වොත් M.D ගුණසේන සමාගමේ කුටියට කෙලින් ම ඉස්සරහ තියෙන කුටිය තමා ආරිය ප්‍රකාශකයෝ. ගිය වෙලාවක නිකමට වගේ බලන්න. පොත ටිකක් පරණ වෙලා දැන්. ඉතින් කඩ ඇතුලෙදිත් සලකන්නේ කුඩම්මා තමා. ටිකක් හොයල තමා හොයාගන්න වෙන්නෙ.

Sunday, September 19, 2010

කියන දේ ඇසීම...

වැඩිහිටියෝ කියන දේ අහන්න ඕනේ කියන එක පොඩි කාලේ ඉඳන් අපිට උගන්නන දෙයක් නේ... ඕක හරියට කරන්නෙ අපි කීයෙන් කී දෙනා ද? කියන දේ ඇසිය යුතු ද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ වැඩිහිටියගෙ ස්වභාවය අනුව කියල තමයි මම නම් හිතන්නේ...

එක එක වැඩිහිටියෝ එක එක විදියනේ... තමන්ට අවංකවම ආදරෙන් තමන් ගේ සතුටට දියුණුවට අවවාද අනුශාසනා දෙන අය ඉන්නේ බොහෝම කලාතුරකින්... අම්මා තාත්තා කවදාවත් දරුවන්ට වැරදි අවවාද දෙන්නේ නෑ... ඒ අයගේ දැනුම් තේරුම් කම් අනුව ඒ අය දෙන අවවාද සමහර වෙලාවට අපිට පිළිගන්න බැරි වෙන්න පුළුවන් නමුත් එයාලා එහෙම කරන්නේ සැබෑවටම ආදරෙන් සහ අවංක සිතින්. වඩා වැදගත් වෙන්නේ අන්න ඒ අවංක කමයි ආදරයයි.

අම්මා තාත්තා ඇරුනහම අපිට ආදරෙන් අවංකව උපදෙස් දෙන අය ඉන්නවා හැබැයි ඒ උපදෙස් බොහෝ වෙලාවට එක දැක්මක් මත පදනම් කරගෙන විතරයි එයාල දෙන්නෙ.. උදාහරණෙකට ජොබ් එකක් ගැන උපදෙස් ගන්න කොට ගොඩක් වෙලාවට අම්මල තාත්තල කියන්නෙ කරදරයක් අමාරුවක් නැතුව පාඩුවෙ කරන්න පුළුවන් ජොබ් එකක් හොයා ගන්න කියල ඒක තමා ජොබ් එකක් කරන ඕනෑම මනුස්සයෙකුගේ හිත ඇතුලේ තියෙන එකම බලාපොරොත්තුව. නමුත් ඔය උපදේසේ වෙනත් වැඩිහිටියෙක් ඒ කිව්වේ අයියා,අක්කා,මාමා,නැන්දා,ගුරුවරු.. ඊ.ටී.සී... ඊ.ටී.සී... දෙන්නේ සමාජ සම්මත මත අනුව. ඒ කියන්නේ සල්ලි හම්බ කරන්න නම් මේවගේ එකක් තමා කරන්න ඕනේ... ඔයවගේ ජොබ් කවුරුත් ගනන් ගන්නෙ නෑ.. ඕව කරල තැනකට එන්න අමාරුයි... ඕව නේ.

ජීවිතේ ගැන එක එක්කෙනාගේ අවබෝධයේ වෙනස ගොඩක් වෙලාවට අපිට තේරුම් ගන්න අමාරුයි. මොකද අපි තාම ජීවීතේ හරියට තේරුම් අරගෙන නැති නිසා. ගොඩක් වෙලාවට අපි ඒ ඒ අයව තේරුම් ගන්න හදන්නේ එයාල භෞතිකව ලබාගෙන තියෙන දේ අනුව. එයාලගේ අභ්‍යන්තරය අපිට පේන්නේ නෑ.. එයාල අපිට ඒක පෙන්නන්නෙත් නෑ.

හැබැයි අපි ඇතුලත් පිටත් දෙකම හොඳට දන්න දෙන්නා තමයි අපේ අම්මයි තාත්තයි. මොකද එයාලට අපිට හංගන්න දෙයක් නෑ. අපිත් එක්ක උදේ හවස ජීවත් වෙන අපේ දුකට සැපට ඉන්න අය තරම් අපිට හරි යන දේ වෙන කාටවත් තේරුම් ගන්න බැහැ. අම්මල තාත්තල දෙන උපදෙස් අපේ සමාජ ජීවිතයට හරිම යන එක නොවෙන්න පුළුවන් මොකද එයාල අපේ වයසෙදි ජීවත් වෙච්ච සමාජෙයි දැන් සමාජෙයි හෙනම වෙනස් නිසා. නමුත් එයාලා ඒ දෙන අවවාද අපේ පුද්ගලික ජීවිතේට හරියටම හරි යනවා.

මේ මම මගේ 29 අවුරුද්දක් තිස්සේ ජීවත් වෙච්ච කාලේ තුළ ජීවිතෙන් ඉගෙන ගත්ත පාඩමක්.

හරි දැන් කියන්නම් මේ තකහනියේ මට මේ වගේ තවුසන්ඩ් ටෝක් එකක් දාන්න හිතුන කාරණේ..
මම මේ දැන් තමා The Sixth Sense බලල ඉවර කලේ. ඉස්සර ඉඳන් බලන්න හිටපු ෆිල්ම් එකක් වුණාට අද තමා බැලුවේ. අපේ Sixth Sense එක ගොඩක් වෙලාවට අපිට හරිම යන දේ අපිට කියනවා නමුත් අපි ඒක අහන්නේ නෑ. අපේ උපතින්ම තියෙන Sixth Sense එක සමාජ සම්මත විසින් යටකරන කරන එක තමා ගොඩක් වෙලාවට වෙන්නේ. තාවකාලිකව ඒ සමාජ සම්මත දිනනවා නමුත් අවසානයේ සැබෑ දිනුම පැරදුම තීරණය වෙන්නේ අපි කොච්චරක් දුරට අපේ Sixth Sense එක කියන දේ පිළිගන්නව ද නැද්ද කියන එක අනුව.

මේ ෆිල්ම් එකේ ඔහොම කතාවක් නෑ. මේක ඉන්න පුංවි ළමය මම වුණා නම් කොහොම ද කියල නිකමට වගේ හිතුවා. හික් හික්..

හරි, මම තාමත් ආසන්නතම හේතුව කිව්වේ නෑ..

මම පහුගිය අවුරුදු 2-3 ඒ කිව්වේ 2006-2009 වගේ කාලේ කරපු වැදගත්ම දේ තමා භාවනාව,ආධ්‍යාත්මික ජීවිතය, ජීවිතයේ සැබෑ හරය.. ඊ.ටී.සී...ඊ.ටී.සී හොයපු එක. (ඒව හොයන්න ගිහින් ඉතින් ඔය වෙන වෙන දේවල් කර ගන්න එක ටිකක් අතපසු වුණා... මේ දවස් වල ඒ අතපසු වීම් වලට වන්දි ගෙවනවා හී හී..) ඒ.එස් බාලසූරිය මහත්තයා, විජේසිංහ මහත්තයා,රත්නායක මහත්තය එක්ක හැම මාසෙකට දවසක් සම්පූර්ණයෙන් භාවනාව සහ ගැඹුරු අභිධර්මය ගැන ගම්පහ වතුරුගම පාරේ තියෙන සනාතන ධර්ම මධ්‍යස්තානේ ඉඳන් කරපු සාකච්චා මගේ ජීවිතේ මාර විදියට වෙනස් කලා.

ඔය සාකච්චා වලදි මුල්ම දවස් වල අපිට හෙනටම අල්ලලා ගියේ (අපි කිව්වේ මමයි අක්කයි අක්කගේ අයියා (මචා)) භූතයෝ සහ දෙවියෝ ගැන ඉගෙන ගත්ත දේවල්... කොහොම ද භූත කොටස් එක්ක සම්බන්ධ වෙන්නේ කියන එක තමා අපිට ඒ දවස් වල තිබ්බ එකම උණ. හික් හික්... බාලසූරිය මහත්තයා බොහෝම ලස්සනට අපිට අභිධර්මය කියල දෙන අතරේ එතුමාගේ අත්දැකීම් එහෙම කියනවා. ඒ කියන්නේ භාවනාවේ එක් එක් අවදි වලදි මුහුණ දෙන්න වෙන දේවල් ගැන. අපි ඉතින් හාර හාර අහනව ඔය භූත කතා. බාලසූරිය මහත්තයා ගොඩක් වෙලාවට ඒව අපිට කිව්වේ බොහෝම පරිස්සමින්...

අපිත් අරීන්නේ නෑ හැමදාම කොහොම හරි කතාව භූත පැත්තට හරවනවා..

ඔන්න ඔහොම කතා කර කර ඉන්න දවසක බාලසූරිය මහත්තයා කිව්වා.. භාවනාව දිගටම කරගෙන ගිහින් හිත හොඳට පුහුණු වෙනකොට ඔය දේවල් නිකන් ම දැනෙන්න පටන් ගනියි එතකම් ඒවට උත්සාහ කරන්න එපා ඒවා එච්චර හොඳ නෑ කියල... ඒවා හොඳ නැත්තේ මොකද කියන එක අද මට මේ ෆිල්ම් එක බලනකොට හොඳට තේරුණා.

වැඩිහිටියෙක් දෙයක් කිව්වහම අහන එකේ වැදගත් කම ගැන පොර ටෝක් එකක් දාන්න ඕනේ කියල හිතුණේ එතකොට. නැත්නම් මෙලහට තොවිල් නටල මළ කෙලියක් වෙන්න තිබ්බා නේද කියල හිතුණා.

Friday, September 10, 2010

උදෙන් ම වැඩට ඒම

අද මම 7.29 ට ඔෆිස් එකට ආවා. අද නිවාඩු දාන්න හිතාගෙන ඊයේ ගෙදර ගියේ හැබැයි අන්තිමට උදෙන් ම වැඩ. සුවර් එකට 1/2 ඩේ එකක් වත් දාන්න නම් ඕනේ අද. අද නිකන් වැඩ කරන්න හිතෙන්නෙ නෑ වගේ... (ගොඩක් දවස්වලට ඉතින් එහෙමනේ)

උදෙන් ම වැඩට එන එක හොඳ ද නරක ද?

මම හිතන්නේ ජීවිතේ සාර්ථක වෙන්න නම් උදේම අවදි වෙන එක වැදගත්. උදේම වැඩට එන එක සාර්ථක වෙන්න හේතුවක් ද කියල නම් මට ෂුවර් නෑ... මොකද මම අද ආපු වෙලාවෙ ඉඳල කළේ බ්ලොග් බලන එක.
හැබැයි වැඩ පටන් ගන්න විනාඩි 15කට විතර කලින් එන එක නම් වැදගත්. මම හැමදාම එන්නෙ වැඩ පටන් අරන් විනාඩි 15කට පස්සෙ නේ... ඒකත් ඉතින් අවුලක් ම නෑ.. පඩිය පොඩ්ඩක් අඩු වෙන එක විතරයි එකම පාඩුව. 

ඊයේ මගේ බෝත්ඩේ එක. අද උදෙන් ම වැඩට ආවා... මම හිතන්නේ මට උදෙන් ම වැඩ කරන්න පටන් ගන්න කල වයස දැන් තමා හරි ගිහින් තියෙන්නෙ... එකම අවුල හෙට සැටඩේ වීම තමා... හෙට උදෙන් ම නැගිටින එක නම් සෑහෙන්න බොන්න ඕනේ ප්‍රශ්නයක්...

කොහොම වුණත් ඉස්සරහට ටිකක් උදෙන් ම නැඟිටල වැඩක් පලක් කරල ටිකක් පිළිවෙලට ඉන්න ඕනේ... මේ තියෙන වැඩ ටික කරගන්න එහෙම නැතුව බැහැනේ හැබෑටම...

Tuesday, September 07, 2010

Object Oriented වඩුවා යනු...

An “object oriented” carpenter would be mostly concerned with the chair he was building, and secondarily with the tools used to make it; a “non-OO” carpenter would think primarily of his tools.

උපුටා ගැනීම

ජේම්ස් ගොස්ලින් ගේ ජාවා පිළිබඳ හැඳින්වීම - 1995

Saturday, August 28, 2010

Sunday, August 22, 2010

ඒ හුස්ම නොවැටුණි.

අප සැවොම බලා සිටි ඒ එක හුස්ම නොවැටුණි...
ජීවිතයේ කෙටි කලක් අප සමඟ සිට හදා ගත් පුංචි ලෝකයත් සමඟ අප අතැර ගිය බුද්ධික මල්ලියාට නිවන් සුව...

Monday, August 16, 2010

එක හුස්මක් වැටෙන තුරු...

ජීවිතේ අස්ථීර කම කොච්චර ද කියන එක කවදා හරි අත්විඳල තියෙනව ද? අපි හැමෝම දන්නවා මේ ජීවිතේ ස්ථීර නෑ කියන එක. හැබැයි තමන්ටම ඒක අත්විඳින්න ලැබෙන කම් ඒක මොනවගේ ද කියල හරියටම තේරුම් යන්නෙ නෑ.

මගේ නෑදෑ අක්ක කෙනෙකුගේ එකම පුතා

අපූරූ දරුවෙක් වයස 15-16 විතර, කඩිසර , දක්ෂ , ටෙකී , උනන්දු , කටකාර , පවුලේ හුරතලා වෙච්ච බොහෝම පැහැබර අනාගතයක් තියෙන කොල්ලෙක් කියල බය නැතුව කියන්න පුළුවන්.

දැන් ඉන්නෙ බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ.

කොළුකමට නැගපු ගසකින් වැටී මොළයට සිදුවූ දරුණු තුවාල නිසා ජීවිතයත් මරණයත් අතර සටනක මේ මොහොතේත්....

වෛද්‍යවරු කියන්නේ බලාපොරොත්තු තියාගන්න එපා කියලා. එයාට තනිවම එක හුස්මක් ගන්න පුළුවන් වුණොත් අපිට මොනවහරි කරන්න පුළුවන් කියන එක.

අපි හැමෝම ඒ එක හුස්ම වැටෙන තුරු බලාගෙන ඉන්නවා.