අපේ අම්මා ගැන මම ටිකක් කලින් පෝස්ට් වල ලියල තියෙනවා . හැම උපන්දිනෙම වගේ ගොඩක් වෙලාවට ගෙවෙන්නේ ඔය පොඩි කිරිබත් ටිකක් කාල , එක්කෝ අක්කල එක්ක කොහේ හරි ට්‍රිප් එකක් ගිහිල්ලා , නැත්නම් ඔය කඩේකින් කාල , ගෙදර අවට ඉන්න අම්මගේ නෑයෝ ටික එකතු වෙලා ඔය මොනවා හරි උයාගෙන කාල සෙට් වෙන අවස්ථාත් තිබ්බා . ගොඩක් උපන්දින හැබැයි නිකන්ම ගෙවිලා යන ඒවා .. අපේ අම්මලට ඕවා කොහොම උනත් වෙනසක් නෑ .
මේ සැරේ 75 නිසා අපි පොඩි වෙනසක් කළා . ඕස්ට්‍රේලියාවේ වෙසෙන අප තිදෙනාත්, නංගීත් ඇගේ ලොකු පුතාත් ඒ වෙනුවෙන්ම ලංකාවට ගියා. අක්කා ගෙවල් කිට්ටුව තියෙන හොටෙල් එකක් බුක් කරලා ඒ අවට සිටින අපේ සියලු නෑදැයින්ට ආරාධනා කරලා තිබ්බා . අම්මා දැනට ආශ්‍රය කරන ඇගේ පරණම මිතුරු මිතුරියෝ කිහිප දෙනෙකුත් එක්ක අපි පොඩි උත්සවයක් ලැස්ති කළා .
උපන්දිනේ දවසේ උදේ අම්මා දහවල් දානයක් ලැස්ති කරලා අම්මා නිතර යන එන පන්සලේ හාමුදුරු දෙනමට දානයක් දුන්නා . මේ දානේ දීම හැම මසකම වගේ වෙන දෙයක් .
උත්සවේ ෆොටෝ ටිකක් පහලින් දාන්නම් .
අපි උත්සවේ ගත්තේ රෑ . සෙනසුරාදා දවසේ හැමෝටම තියෙන වැඩ ටික ඉවර කරලා එන්න පහසු විදියට . මේ අවස්ථාවට අපි ආරාධනා කරපු හැමදෙනාම ඇවිල්ලා හිටියා . උත්සවය බොහොම සරල නමුත් ලස්සනට තිබුනා . නංගි සහ අපේ ළමා පිරිස විසින් අම්මා සහ අපේ නෑ හිත මිතුරන් එකට සිටින ෆොටෝ අලවපු පොතක් හදල ඒ හැමෝටම දුන්නා අම්ම ගැන එයාලට දැනෙන දෙයක් ලියන්න කියල . හැමෝම සිය අදහස් දක්වල තිබුණා.
අපේ අම්මගේ පවුලේ සහෝදර සහෝදරියෝ 5, අපේ අම්මා තුන් වෙනියා , ලොකු අම්මලා දෙදෙනාගෙන් එක්කෙනෙක් දැනට අවුරුදු කීපයකට කලින් නැති වුණා . අම්මට බාල මල්ලියි , නංගියි . ආච්චි නැති වුනේ 2022. සීයා නම් අපි පොඩි කාලේම පරලොව ගිහින්.
අපේ මාමා සෑහෙන උගත් , දක්ෂ කෙනෙක් . එයා තමා අපේ පවුලේ හැමෝගෙම රෝල් මොඩ්ල් එක වගේ ඉන්නේ . ලොකු අම්මලා දෙදෙනා එතරම් ඉගෙන නැතත් අපේ අම්මා සහ පුංචි මම හිතන්නේ A /L දක්වා පමණ ඉගෙන ගෙන තියෙනවා.
ඔය අවස්ථාවේදී මාමා , ලොකු අම්මා , සහ ඇවිල්ල හිටිය ගොඩක් අය තම තමන්ට අපේ අම්මා ගැන දැනෙන දේ , ඇය ඔවුන් වෙනුවෙන් කරපු දේ ගැන කතා පැවැත්තුවා . අවුරුදු 25කට පස්සේ මමත් රැස්ව සිටි 80ක් පමණ පිරිස ඉස්සරහ කතාවක් පැවැත්තුවා . මම මුලින්ම ඒ වගේ කතාවක් පැවැත්තුවේ මගේ පොත එලි දක්වන දවසේදී . එදාට පස්සේ ඔය ඔෆිස් වල කිහිප දෙනෙකු ඉන්න තැන කතා කරලා තිබ්බට මම කතා පවත්වල නැහැ .
ඔය අම්මගේ පවුලේ නෑදෑයෝ හරිම හොඳ සහ තවමත් කිසි අහිතක් නැතුව ඕනේ වෙලාවක ඕනේ කෙනෙක් වෙනුවෙන් ඉන්න පිරිසක්. මම හිතන්නේ මම කලිනුත් ඔය නෑදෑයෝ ගැන කියල තියෙනවා. එයාල එදිනෙදා කීයක් හරි හම්බ කරන රස්සාවල ඉඳල NASA එකේ වැඩ කරන කෙනෙක් දක්වා විවිද රැකියාවල් කරන අය . නමුත් ඕනේ වෙලාවක 50-60ක් පිරිස එකතු කරගන්න අපිට පුළුවන් . ඔක්කොම නෑදෑයෝ. කිසි අවුලක් නැතුව තමන්ගේ දේවල් කතා බහ කරලා නිදහසේ ඉන්න පුළුවන් පිරිසක් . මම හිතන්නේ එහෙම නෑයෝ හම්බවෙන්නේ කළාතුරකින්.
තාත්තගේ පැත්තේ අයත් එහෙම තමා . එයාල පදිංචිය දුරින් නිසා වැඩිය හම්බවෙන්නේ නැහැ .. නමුත් එයාලගේ ආදරය හිතවත් කම තවම එහෙමම තමා .
අපේ ආච්චි 5 වෙනි පරම්පරාවේ කුඩා දියණියක් දකින්න තරම් වාසනාවන්ත වුණා. අම්මගේ පවුලේ අය හරියට වැඩ කරනවා . එයාල වැඩ කරන්න කැමතියි . වැඩ කියන්නේ වදයක් විදියට සලකනවා මම කවදාවත් දැකල නැහැ . අපේ අම්මා අවුරුදු 30-40ක් රජයේ රස්සාවක් කළා . 60න් පැන්ෂන් ගියේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩ කරලා .
හැමදාම උදේට සාරියක් ඇදගෙන බස් එකේ හිර වේවි කොළඹ කොටුවේ වේල්ල විදියේ තිබ්බ කච්චේරියේ (කොළඹ දිස්ත්‍රික් ලේඛම් කාර්යාලේ) වැඩට ගිය හැටි මට තවම මතකයි. වේල්ල විදිය කියන්නේ ඔය කොළඹ තියෙන අපිරිසිදුම පැත්තක් . දැන්නම් අවුරුදු 10-15කින් ගියේ නැහැ . නමුත් ලොකු වෙනසක් වෙලා ඇති කියල මම හිතන්නේ නැහැ . වැස්සට මඩ ගොහොරු වෙන කොටුවේ පාරවල් වල, නාටාමිලාගේ කරත්ත අස්සෙන් හැමදාම අම්මා වැඩට ගියා . කවදාවත් රස්සාව වදයක් කියල හිතුවේ නැහැ ..
අම්මා ඔෆිස් වල අයත් එක්කත් හිතවත්ව කටයුතු කළා . ඉස්සර මම අම්මගේ ඔෆිස් එකට යනවා ඉස්කෝලේ නිවාඩු දවස් වලට . මම හිතන්නේ මම මුලින්ම කොම්පුටර් අත පත ගාන්න ගත්තේ ඔෆිස් එකෙදීද කොහෙද . ඒ පරණ කච්චේරි බිල්ඩින් එක එහෙම දැන් මතක් වෙනකොට හරි අමුතු හැඟීමක් දැනෙන්නේ .. යන්න ඕනේ ආයේ බලන්න අම්මත් එක්කගෙන
මම එදා ඔය කරපු කතාවේදී මතක් කරපු කරණු දෙක තුනක් ලියල දාන්නම් . එකක් තමා අපේ ගෙදර අම්මා හෝ තාත්තා කවදාවත් මට ගහල බැනල නැහැ . ඒ කියන්නේ ඉඳල හිටලා මොනවා හරි දඟ වැඩක් කලොත් දෙන ආදරණිය ෂොට් එකක් ඇරෙන්න තරහින් , වද දීමේ චේතනාවෙන් ගහපු බැනපු කිසිම අවස්තාවක් නැහැ . ගොඩක් වෙලාවට දෙමව්පියෝ හිතනවා කොල්ලෙක් හදනකොට ගහල බැනල රළුවට හැදුවට කමක් නැහැ කියල . හැබැයි මගේ අදහස නම් සුමට ලෙස හැදුනු පිරිමි ජිවිතේට වඩා ශක්තිමත්ව මුහුණ දෙනවා කියන එක . මම පෙනුමෙන් , සමාජ වැඩ වලදී එතරම් රළු , දැඩි චරිතයක් නොවුනට බොහෝ එවැනි චරිත ෆේල් වෙනකොට මම අවුලක් නැතුව ඉඳල තියෙනවා . මේකට හේතුව විදියට මම හිතන්නේ මට සමාජයෙන් approval එකක් validation එකක් අවශ්‍ය නොවීම වෙන්න ඇති . සමාජේ මට මොනවා කලත් මට ගෙදර යන්න පුළුවන් , අම්මයි තාත්තයි මට ඉන්නවා කියන දේ විතරක් මට හැමදාම තිබ්බා .
ඊට පස්සේ අපේ අම්මා මට කියපු දේවලින් මට කාවැදුණු දෙයක් තමා ඔයාට ඉන්නේ ඔයා විතරයි කියන එක . මේකේ අදහස ආත්මාර්ථකාමී වෙන එක නෙමේ , ජිවිතේට ශක්තිමත්ව මුහුණ දෙන්න පුරුදු වෙයන් කියන එක තමා මම තේරුම් ගත්තේ . ඔය ශක්තිමත් කම එන්න වැදගත්ම සාධක තමා ආර්ථික ශක්තිය සහ මානසික ශක්තිය. ඔය දෙක සමබරව හදා ගැනීම ඉතා වැදගත් . අපි කවුරුත් මිලියන පතියෝ නෙවෙයි නමුත් , අනුන්ට වදයක් නොවී , කෙනෙකුට අවශ්‍යතාවයකදී උදව්වක් කරගෙන ඉන්න පුළුවන් තැනක ජිවත් වෙනවා . ජිවත් වීම වදයක් වෙලා නැහැ
ඊළඟ කරුණ තමා අපිව ආගමකට හිර නොකිරිම . අපි බෞද්ධ , දාන මානාදී වැඩ ගොඩක් කරනවා . හැබැයි මට ආගම ගැන තද භක්තියක් , බයක් හෝ එවැනි කිසිම බැඳීමක් නැහැ . අපේ අම්මා ජිවත් වෙන්නෙත් එහෙම තමා . ඇය රැඩිකල් බෞද්ධ නෙමේ . නමුත් හැමදේම පහසුවෙන් කරගන්න පුළුවන් තරමේ බෞද්ධ කියල මට හිතෙනවා . අම්මා අපිව දහම්පාසල් යැව්වා , බෞද්ධ ජීවිතය ඇගේ ජිවිතයෙන් ගෙවලා අපිට පෙන්නුවා . එච්චරයි ඊට පස්සේ එයා උඹලට ඕනේ විදියකට හිටපල්ලා කියන නිදහස අපිට දුන්නා .
ඊළඟ එක තමා විවාහයෙන් පස්සේ මට දුන්න වැදගත් උපදෙසක් තමා "ඔය ළමය කියන දේ අහගෙන හිටපන් කියන එක " හෙහ් හෙහ් .. අම්මා දන්නවා එදා ඉඳන් මගේ හැටි .. ඔය ගැන විස්තර මම කතාවේ ටිකක් පැහැදිලි කලාට මේක කියවන ඔහෙලට මෙන්න මේක පොඩ්ඩක් කියෙව්වනම් ආයේ වැඩි විස්තර ඕනේ වෙන එකක් නැහැ හෙහ් හෙහ් .
බොහොම අමාරුවෙන් මේ අවුරුද්දට එකක් ලියල දා ගත්තා . බ්ලොග් එක නොලියන්න හේතු වෙච්ච තව ආතල් ජනක දේවල් ටිකක් එක්ක තව එකක් ලියන්නම්කො (මේ අවුරුද්දේ ද කියල අහන්ඩ එපා )




රෙජිස්ටරේ එක දාන්න, ඈ? ආයෙ හතර පස් පාරක් එඤ්ඤං.
ReplyDeleteඑල එල
Deleteහපුතලේ හෙළකදුරුගමුවේ හේරත්ලැයි අම්මට සුබ උපන්දිනයක්.
ReplyDeleteස්තුතියි ඇනෝ
Deleteපසු වී නමුත්, සුබ පතනෙමි අම්මාට
ReplyDeleteපැතුම් ඔබට තුති මේ තතු ලිව්වාට
ගියා පරණ linksවලටත් කියවන්ට
පැතුමුත් යකෙක් වග හෙළිවිණි එයින් මට
[පැතුමුත් යකෙක් වග] හෑ .. ඒ මොකද
Deletepost එකේ දීලා තියෙන පරණ ලින්ක්ස්වලට ගිහින් කියවපුමයි පැතුම් මට එහෙම හිතුණෙ.
Deleteඅම්මාට සුබම උපන්දිනයක්.
ReplyDelete//ගොඩක් උපන්දින හැබැයි නිකන්ම ගෙවිලා යන ඒවා .. අපේ අම්මලට ඕවා කොහොම උනත් වෙනසක් නෑ// අපේ අම්මලත් ඔයවගේ. දැන්නම් ජිවතුන් අතර නැහැ. ජීවිතේට උපන්දිනයක් අරන් නැහැ. ඒවුනත් මෙහෙම එකක් කෙරුවහම ඒගොල්ලෝ සතුටු ඇති . උත්සවයකටත් වඩා දරුවෝ නෑදැයෝ එකතුවෙන එකම සතුටක්.
ස්තුතියි නිහඩපාල .. ඕක කළා නොකලා කියල අම්මට කිසි ගානක් නැහැ කියල අපි දන්නවා .. නමුත් ඇගේ ජිවිතයේ විශේෂ දවසක් ටිකක් වෙනස් විදියට ගත කරන්න ඉඩ දීම හොඳ දෙයක් කියල හිතුණා .. නැත්නම් එදාටත් ඉතින් සුපුරුදු වැඩ ටිකත් එක්ක ගෙවිලා යනවනේ
Deleteඅම්මාට සුබ උපන්දිනයක්! 💐
ReplyDeleteඔහොම නෑඳෑ පරපුරක් ඉන්න එක වාසනාවක්.
ස්තුතියි බස්සා . අවංකවම . මට කවදාවත් නෑදෑයෝ ගැන වරදක් කියන්න වෙලා නැහැ .. අපි හිතමු ඉදිරි පරම්පරා වල අයත් ඒ සම්බන්ධකම් ඒ විදියට තියාගනියි කියල
Deleteආදරණිය අම්මාට සුබ උපන්දිනයක් , -"ඔය ළමය කියන දේ අහගෙන හිටපන් - මේක මරු උපදෙස
ReplyDeleteස්තුතියි අජිත් . ඔය වගේ සරල කෙටි උපදෙස් තමා දෙන්නේ .. ඇහුවට පාඩුවක් වෙලා නැහැ තාම නම් .. හෙහ් හෙහ්
Deleteඑතන ලස්සන තැනක් .
DeleteForty Years of Yes, Dear - Irish Marriage Song, Surviving The Wife While Keeping Sane
Deleteපැතුං අංකල් සහ පැතුං අංකල්ගේ නෝනා වෙන පැතුං නැන්දා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ කියලා හෙන පොයිය.
ReplyDeleteඒ උනාට බ්ලොග් සක්විති රසික හෙන්ද්‍රික් සූරියරච්චි ඕස්ට්‍රේලියාවේ ගියේ එකදාස් නමසිය අනුදෙකේ. ගුවන් නැවේ ඕස්ට්‍රේලියාවේ යනකොට රසික ආතාට ජී, පඩ, ශුක, ඔසප් පිට උනා කියලා කතන්දර බ්ලොග් එකේ ලියල තිබ්බා.
පැතුං නැන්දා මෙම බ්ලොක් එක බලනවා නං අංකල් ගොඩේ කියලා දන්නවා ඇති.
කෙසේ නමුත් සුවාරිස් ගේ කොලුවා
අම්මාට සුබ උපන්දිනයක්!
ReplyDeleteස්තුතියි ප්‍රා
Deleteසුබ උපන්දිනක් වේවා ඇයට!
ReplyDeleteබලාපොරොත්තු නොවුනත් මේ වගෙ දේවල් වෙන්ට ඕනැ... කස්ටිය එකතුවෙලා කයියක් ගහල, පාටියක් දාල පොඩි සාමුහික වින්දනයක් ලබන්න
බොහොම ස්තුතියි ඔව් නමියා , ඔය දාන මාන දෙන්න ගියාමත් අම්මල දවස් ගණන් මහන්සි වෙනවා .. අන්තිමට එයාලට දුකක් තමා .. මේ වගේ දේවල් කලාම එයාලගේ ජිවිත වලටත් වෙනසක් වෙනවනේ
Deleteඅනිවා... 🙌
Deleteඅම්මාට (belated) සුබ උපන් දිනයක්!
ReplyDelete"එයාල වැඩ කරන්න කැමතියි . වැඩ කියන්නේ වදයක් විදියට සලකනවා මම කවදාවත් දැකල නැහැ". අම්මගෙ මුහුණෙන් ඒ attitude එක පේනවා. Such a sweet lady.
ස්තුතියි Lotus ! වැඩකරමින් සිනාසෙන්න කියල ඉස්සර මොකක් හරි තිබ්බා
Delete"සමාජේ මට මොනවා කලත් මට ගෙදර යන්න පුළුවන් , අම්මයි තාත්තයි මට ඉන්නවා කියන දේ විතරක් මට හැමදාම තිබ්බා". ගොඩක් අයට නැති 'luxury' එකක් පැතුම්ට තිබිලා 👍
ReplyDelete"හැබැයි මට ආගම ගැන තද භක්තියක් , බයක් හෝ එවැනි කිසිම බැඳීමක් නැහැ". ඒක නම් ඇත්ත අප්පා. දැක්කනෙ අර peace walk එක හරියට කරගන්න දෙන්නෙ නැතුව, අපේ මිනිස්සු බිම වැටී ගෙන, තෙරපීගෙන, දඟලන දැඟලිල්ල. හාමුදුරුවන්ට හිතේ සතුටින්, සාමයෙන් ඒක ඉවර කරගන්න පුලුවන් වුණොත් හොඳයි.
[ගොඩක් අයට නැති 'luxury' එකක් පැතුම්ට තිබිලා] ඇත්ත . මටත් අක්කටත් ඒක නොඅඩුව ලැබුණා .
Deleteදැන් මේ ටිකක් නාකි වෙන්න පටන් අරන් ජිවිතේ ආපහු හැරිලා බලද්දී හිතෙනවා අපේ ජිවිත වලට ලැබුණු වටිනාම දේ ඒක කියල
ආගම් වලට බැඳුනම කවදාවත් තෘප්තිමත් වෙන්න බැහැ කියල මට හිතෙනවා . ආගමෙන් ලැබෙන වාසි නිසා හැමදාම පිං කිරීමට දැඟලිමත් , ඒවා කරගැනීමට නොහැකිවීම නිසා සිත් තැවුල් වලින් පටන් අරගෙන ඔය මොකුත් නොකරන ලෞකික මිනිසා කරන දේවල් ටිකම වෙනස් ස්වරූප වලින් කරනවා කියල තමා මට හිතෙන්නේ ..
ආගමික මිනිස්සු හැමෝම එකම වගේ කියල හිතෙන්නේ නැද්ද .. ආගම වෙනස් උනාට ..
"ආගමික මිනිස්සු හැමෝම එකම වගේ කියල හිතෙන්නේ නැද්ද .. ආගම වෙනස් උනාට .." ඔව් ආගමකට 'බැඳුණම' perform කරන්න වෙනවනෙ. People become performative from that point onwards. සුදු අඳින්න, දාන දෙන්න, තමන් හරි හොඳයි පිනට බරයි කියලා පෙන්නන්න. People tend to forget that the real practice should be in their hearts 😊.
Deleteදිනමිණ - April 29, 2026
ReplyDeleteමුල් ලියාපදිංචියක් නොමැති රථයකට අංක තහඩු නිකුත් කළැයි මෝටර් රථ ප්‍රවාහන හිටපු නියෝජ්‍ය කොමසාරිස් ගයනි කෞශල්‍යා විජේසිංහ අත්අඩංගුවට
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ.
නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැති රථයක් සඳහා අංක තහඩු නිකුත් කිරීමට අදාළව දූෂණය නමැති වරද සිදු කිරීම මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක ලෙස කටයුතු කළ වර්තමානයේ බත්තරමුල්ල, පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියක ලෙස කටයුතු කරන රාජපක්ෂගේ ගයනි කෞශල්‍යා විජේසිංහ යන තැනැත්තිය මෙලෙස අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් කොමිසම පැවසීය.
සුභාෂිණී සේනානායක
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙතනින් බලන්න.
28 – 8583කැබ් රථය, RMV ගයනි කෞශල්‍යා විජේසිංහ හිරේ යාම ගැන රටටම කී කතාව
ReplyDeleteඔබ 28 – 8583 දරන කැබ් රථය දන්නවාද? යම් දිනෙක ඔබ එය පාරේ දැක තිබෙනවාද? මෙය ලංකාවේ පාරවල්වල කිලෝමීටර් දසහස් ගණනක් ගමන් කර තිබෙනවා. දිනෙක මෙය ඔබත් දැකලා ඇති. ඒ වාහනය තමන්ගේ එන්ජිම හඩනංවමින් ඔබට යමක් කියන්න තැත් කරන්නට ඇති. එහෙත් ඔබට එය කිසිදා වැටහෙන්න නැතිව ඇති.
අනෙක් අතට, රටේ මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයෙකු අත්අඩංගුවට පත් වන්නට මේ කැබ් රියේ අංක තහඩුව හේතු වනු ඇතැයි කිසිවෙක් නොසිතන්නට ඇති.
28 – 8583
මෙම කැබ් රථයේ කතාව ආරම්භ වන්නේ නීති විරෝධී ලෙස කොටස් එකලස් කිරීමකිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන පරිදි, මෙම රථය සඳහා අවශ්‍ය කොටස් නීති විරෝධී ලෙස ගෙන්වා හෝ ලබාගෙන එකලස් කර තිබෙනවා. එහෙත් මෙලෙස එකලස් කළ වාහනයක් පාරට දැමීමට නම් ලියාපදිංචි අංකයක් අවශ්‍ය වෙනවා. අප නම්බර් ප්ලේට් එක කියන්නේ එයටයි.
මෙසේ කිරිම සදහා රථයේ සැබෑ අනන්‍යතාවය සඟවා, එහි චැසි අංක වෙනස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන සකස් කර තිබෙනවා. අනතුරුව එම ලේඛන ඉදිරිපත් කර, වාහනයේ කාර්මික තත්ත්වය තහවුරු කරන බර සහතික වංචනික ලෙස ලබාගෙන තිබෙනවා. චැසි අංක සංශෝධනය කිරීමේදී පවත්වාගෙන යා යුතු නිල ගොනුව නීති විරෝධී ලෙස සඟවා තබමින් විමර්ශන මගහැරීමට කටයුතු කර තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සමස්ත පද්ධතිය ගැන විමර්ශනයක් සිදු කරමින් සිටිනවා. දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක වන ගයනි කෞෂල්‍යා විජේසිංහ මහත්මිය නීත්‍යානුකූල ලියාපදිංචියක් නොමැති වාහනවලට අංක තහඩු නිකුත් කිරීමේ චෝදනාව මත අප්‍රේල් 28 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඒ අනුවයි.
වලංගු මූලික ලියාපදිංචියක් නොමැති බවට වාර්තා වන වාහනයකට අංක තහඩු නිකුත් කිරීම හා සම්බන්ධ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. ඇය දැනට බත්තරමුල්ලේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියක ලෙස සේවය කරන බව වාර්තා වෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙතනින් බලන්න.
පැතුං අංකල් ට සුබ උපන්දිනයක්
ReplyDelete