Sunday, January 18, 2015

ප්‍රාග් ඓතිහාසික ගුහා සංචාරය - The Dark Cave

ගිය දෙසැම්බරයේ පවුලේ කට්ටිය ආපු වෙලාවේ ගිය පොඩි සංචාරයක සටහනක්. මැලේසියාවට එන ගොඩක් දෙනෙක් බලන්න යන ප්‍රසිද්ධ තැනක් තමයි මේ Batu Caves කියන්නේ . ක්වාලා ලාම්පුර් නගරයේ සිට කිලෝමීටර් 15-18 ක් විතර දුරින් තමයි මේ ප්‍රාග් ඓතිහාසික ගුහා සංකීර්ණය සහිත කඳු ගැටය පිහිටලා තියෙන්නේ . ඒ ප්‍රදේශය අයත් වෙන්නේ Gombak කියන දිස්ත්‍රික්කයට . ඒ වගේම තමයි මේ නම හැදිල තියෙන්නේ ඒ අසලින් ගලන ගංගාව නිසා කියල තමයි කියන්නේ . Batu Caves ගැන වැඩිදුර විස්තර විකිපිඩියාවෙන් බලාගන්න පුළුවන්

අපි මේ ගිය Batu Cave සංචාරයේදී මේ ගුහා සංකීර්ණය අයත් නමුත් සාමාන්යෙන් බොහෝ සංචාරකයින් නොයන තවත් ගුහාවක ඇවිදලා බැලුවා . 

 Limestone නමින් හඳුන්වන පාෂාණයෙන් සැදුනු Batu Caves ගුහා සංකීර්ණය අවුරුදු මිලියන 400ක් පමණ පරණයි කියල තමයි කියන්නේ. 1860-1870 දශක වලදී සොයා ගත්ත මේ ගුහා වලින් ප්‍රධාන ගුහාව පසුකාලීනව මැලේසියාවේ වෙසෙන හින්දු බැතිමතුන් විසින් තමන්ගේ පුජනිය ස්ථානයක් විදියට භාවිතාවට ගනු ලබනවා . බොහෝ සංචාරකයින් බලන්න යන්නේ මේ Temple Cave නම්වූ ඒ හින්දු පුජනිය ගුහාව .

බොහෝ අය මේ සුප්‍රසිද්ධ ප්‍රතිමාව එහෙම දැකල ඇති . මේ දේව රුපය මුරුගන් ලෙස ඔවුන් හඳුන්වනවා . 
 මේ තියෙන්නේ ඔය Temple Cave එක ඇතුලත දර්ශන කීපයක්.
මේ තියෙන්නේ ගුහාව ඇතුලත . ඔය වහලවල් වගේ තියෙන්නේ පොඩි පොඩි කඩ . දේව ප්‍රතිමා ආදිය විකුනන්න තියෙනවා .
මේ තියෙන්නේ ගුහාවට හිරු එලිය ලැබෙන විවරයක් 
මේ තියෙන්නේ ගුහා බිත්තියේ දර්ශනයක් 

කඳුගැටය සෑදී තියෙන්නේ මෙන්න මේ විදියට 

මේ කඳු මුදුනට නගින පඩිපෙලේ ඉහලට වන්නට තවත් මාර්ගයක් තියෙනවා මම මේ කියන්න යන Dark Cave එකට යන්න. අපි Temple Cave එකට ගිහින් එන ගමන් අපේ අක්කගේ දුවගේ බලවත් ඉල්ලීම නිසා තමයි මේ Dark Cave බලන වැඩේට සෙට් වුණේ. Dark Cave කිව්වම පොඩි ෆැන්ටසි සුරංගනා ගතියක් තියෙන නිසා වෙන්න ඇති එයාට ඒක බලන්න ඕනේ මයි කිව්වා . පස්සේ අපි 4 දෙනෙක් විතරක් ගියා අනිත් කට්ටිය පහලට බැස්ස . 

මෙතන ඉඳන් කතන්දරේ ෆොටෝ වලින් දාන්නම් .
මේ තියෙන්නේ Dark Cave එක ගැන තියෙන කෙටි විස්තරය . 

මේ ගුහාව මුලින් ම සොයාගෙන තියෙන්නේ 1878 දී Captain H. C. Syers සහ William T. Hornaday කියන දෙන්නා .

මේකේ හැටියට ලොව වෙසෙන දුර්ලභ ම මකුළු විශේෂය ජිවත් වෙන්නේ මේ ගුහාවේ (Trapdoor spider (Liphistius batuensis)) ඒ වගේම අවුරුදු මිලියන 100ක්  පමණ වයස සත්ව විශේෂ රැසක් මේ ගුහාව තුල ජිවත් වෙනවා . ඒ වගේම ලොව වැඩිම පර්යේෂණ වලට බාවිතා වෙච්ච ගුහාවක් සහ සුවිශේෂී වූ ගුහා නිර්මාණ වලට උරුමකම් කියනවා මේ ගුහාව. ඒ වගේම අතිශය සංවේදී විවිධත්වයෙන් අනුන පරිසර පද්ධතියක් නිසා මේ තුලට ඇතුල් වීමේ දී අනුගමනය කල යුතු දේවල් ගැනත් මෙන්න මේ විදියේ සඳහනක් තියෙනවා . 


 මේ තියෙන්නේ ගුහා සංකීර්ණයේ සිතියම . ඔය නිල්පාටින් ලකුණු කරපු මාර්ගය විතරයි දැනට මහජනයා සඳහා විවෘත කරලා තියෙන්නේ .

 මේ තියෙන්නේ ගුහාව  අපූරු ලෙස නිර්මාණය වෙලා තියෙන ආකාර පිළිබඳව විස්තර 
 ගුහාව තුල දකින්නට ලැබෙන කෘමින් ගැන විස්තර 
බෝතල් කරපු වවුලෙක් සහ වවුලන් ගැන විස්තර . මේ ගුහාව ඇතුලේ ලක්ෂ ගානක් වවුලන් ජිවත් වෙනවා .

ගුහාවට යනකොට අපිට දෙනවා පොඩි ටෝර්ච් එකකුයි හෙල්මට් එකකුයි . මේ තියෙන්නේ ගුහාව ඇතුලේ ගත්ත පින්තුර . කැමරා ෆ්ලෑෂ් බාවිතාව තහනම් නිසා අමාරුවෙන් ගත්තේ .

ගුහාවේ පොළව . ඔය වැටක් තියෙන්නේ මිනිසුන්ට ගමන් කරන්න හදපු මාර්ගය. කිසිම විටෙක ඒ මගෙන් එලියට අඩිය තැබීම තහනම්
 විවිධ විදියට නිර්මාණය වුනු ගුහා බිත්ති .
 මේ තියෙන්නෙත් ස්භාවිකව නිර්මාණය වුනු ගුහා පොලොව සහ ගුහාවේ බිත්ති එකිනෙකට සම්බන්ධ වෙච්ච තැනක් . මේ දේවල් ගැන ඔය භූ විද්‍යාව ඉගෙන ගත්ත අය  එහෙම දන්නවා ඇති .
මේකත් ඉහල ෆොටෝ එක වගේම තම එකක් . මේ දීප්තිමත් ආලෝකය වැටුනේ අපේ කණ්ඩායමේ ඔක්කොම ටෝර්ච් එක ගහල බලන වෙලාවක ගත්ත නිසා ..

 ගුහාව තුලින් ගලා එන ජලය එක්  රැස්  වූ  තැනක් . මේ ජලය එතරම් පිරිසිදු  නැති බවයි අපේ කණ්ඩායම රැගෙන ගිය පුංචි ගෑනු ළමයා පැවසුවේ .
 ප්‍රතාපවත් ගුහා බිත්ති .
 ගුහා බිත්තියක් හෝ පොලව හරියටම ෂුවර් නෑ ..
මේ ඉන්නේ අපේ කණ්ඩායමෙන් කොටසක් . ඔය ටෝර්ච් එක ගහගෙන විස්තර කරලා දෙන්නේ අපිත් එක්ක ආපු ගයිඩ් ළමය . හරි අපුරු ගෑනු ළමයෙක් . මැලේසියාවේ ඉන්න මුස්ලිම් ගෑනු ළමයි හරිම කඩිසර විදියට විවිධ රැකියාවල් කරනවා . මේ ළමය විහිළු තහළු කරමින් ඒ වගේම බොහොම හොඳට විස්තර පැහැදිලි කරමින් අපිව එක්කන් ගියා .
 ප්‍රාග් ඓතිහාසික වැස්ස ..
මේ ඉන්නේ අර කියපු මකුලුවද කොහෙද .. ෆොටෝ එක ගන්න දැඟලුව මිසක් අර ළමය කියපු දේ හරියට අහ ගත්තේ නෑ ...

මේ ඉන්නෙත් අර කියපු අවුරුදු මිලියන 100ක් වයස සතෙක් . නම් ගම් විස්තර ඒ හැටි ඔළුවට ගියේ නෑ . 

හැබැයි මේ ගුහාවේ සමහර තැන් වලට කිසිම ආලෝකයක් ලැබෙන්නේ නෑ. ඉතින් මේ ඉන්න ජීවින් ආහාරයට ගන්නේ ගුහාවේ වෙසෙන ලක්ෂ ගණනක් වූ වවුලන් ගේ වසුරු කියල තමයි ඒ ළමය කිව්වේ .

ගුහාව තුල සම්පුර්ණ ගමන කිලෝමීටර් 2ක් විතර වෙනවා . විනාඩි 45ක් විතර ගමනට ගතවෙනවා . මේ යන මාර්ගයේ එක තැනක් තියෙනවා කිසිම ආලෝකයක් වැටෙන්නේ නැති . අපි රැගෙන ගිය විදුලි පන්දම් නිවා දමුවම කට්ට කළු ඝන අන්ධකාරය සහ ගැඹුරු නිහඩතාවයක් තියෙන තැනක් . එතන විනාඩි කිහිපයක් නිහඩව කළුවරේ ගෙවපු එක තමයි මේ ගමනේ මට තිබුණු වඩා වැදගත්ම මතක සටහන . 

එකා පස්සේ එකා බොහොම පරිස්සමින් ටෝර්ච් එක ගහගෙන යන මේ ගමන අවසන් වෙන්නේ The Great Chamber  නමින් ඔවුන් හඳුන්වන ගුහාව අභ්‍යන්තරයේ ඇති ගුහාවට සුර්යාලෝකය ලැබෙන අපුරු විවරය සහිත ස්ථානයකින් . හරියට නිකන් ඔය ෆිල්ම් වල තියෙන ලස්සන දර්ශනයක් වගේ අපුරු තැනක් . ඒ වගේම අඳුරු ගුහාවෙන් එහා ලෝකය පෙනෙන නිදහස පිළිබඳව හැඟීමක් දැනෙන තේජවන්ත තැනක්   


Great Chamber එක

The Great Chamber එක තමයි ගමනේ කෙලවර . එතනින් එහාටත් යන්න හැකියාව තිබුනත් ඒවා තවම පොදු ජනතාව සඳහා විවෘත කරලා නෑ .. ආපසු ආ මග ඔස්සේ එලියට එන්නයි තියෙන්නේ .

මේ තියෙන්නේ ගුහාව ඇතුලේ ඉඳන් එනකොට අපි ඇතුලට ගිය ප්‍රධාන පිවිසුම පේන හැටි ... මිට අමතරව තවත් ගුහා කීපයක් මේ කඳු ගැටය ආශ්‍රිතව තියෙනවා . ඒවා ගැන නම් වැඩි විස්තරයක් දන්නේ නෑ . ඔබ මැලේසියාවේ සංචාරය කරනවා නම් බලන්න යන්න වටින තැනක් . හරිම පහසුවෙන් කෝච්චියෙන්ම යන්න පුළුවන් බොහොම සුළු ගානක ටිකට් එකක් අරන් . 

මේ අවුරුද්දේ මැලේසියාවේ තියෙන ඔය සංචාර වලට එන කට්ටිය වැඩිය නොයන තැන් කීපයක් බලන්න යන්න හිතාගෙන ඉන්නවා . ඒවා ගැනත් ලියන්න බලන්නම් (ගියොත්). සැමට සුබ අලුත් අවුරද්දක් සහ මෛත්‍රී පාලනයක් වේවා!

39 comments:

  1. අර පරණ සතා පුංචි පොකෙිරිස්සෙක් වාගේ

    ReplyDelete
    Replies
    1. පොකිරිස්සෝ හැදුනේ මුන්ගෙන් වෙන්න ඇති .. අවුරුදු මිලියන 100ක් විතර පරණ සත්තුනේ ..

      Delete
    2. ඔය වගේ එකෙක් මේ ලඟදි ගල් වලේ ගලක් උඩ ඉන්නකොටත් දැක්ක. house centipede කියල සර්ච් කලාම එන්නේ ඔය වගේ එවුං.. බලන්නකෝ...

      Delete
  2. අපේ "සිංහල බෞද්ධ" දෙවිවරුත් එතන ඉන්නවා දැක්කද ? හිනාත් එනවා. ඉන්දියන් දෙවිවරු සිංහල බෞද්ධ කරගෙන ලංකාවෙ..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඒවා ගැන කතා කරලා වැඩක් නෑ ... :)

      Delete
  3. මම ඔය උඩිං දාල තියෙන පිළිමය දැකල තියෙනව චිත්‍රපටි කීපයකම...
    ඒ ඇරෙන්න ඔය තරං විස්තරයක් දැනං අන්නෙ නෑ...
    ස්තූතියි.... අපි එක්කල බෙදා හදා ගත්තට

    ReplyDelete
    Replies
    1. ගිය වෙලාවක බලන්න යන්න .. ෆිල්ම් වලින් බල බල ඉන්නේ නැතුව ..

      Delete
  4. ටොම් සොයර් මතක් වෙන්නෙ.... හි හි....

    ReplyDelete
    Replies
    1. ටොම් සෝයර් කොහොමද මේකට ගෑ වෙන්නේ ..? පැහැදිලි කරන්න බලන්න .. මට මතක් වෙන්නේ නෑනේ

      Delete
    2. මට මතක විදියට ටොම් සෝයර් ඔහොම ගුහා අස්සේ රිංගමින් ත්‍රාසජනක ගමනක් යනවා.

      Delete
  5. බය හිතුනේ නැද්ද අෆ්ෆා...................

    ReplyDelete
    Replies
    1. කට්ටියක් ගියා නේ .. එතකොට අවුලක් නෑ .. මම ටිකක් කැමතියි මේ වගේ ඒවා බලන්න .. හෙහ් හෙහ් හැබැයි තනියම නම් යන්නේ නෑ .. :)

      Delete
  6. මමත් ඔතැනට ගියා...

    මේ ගුහාව හින්දු ආගමිකයින්ගේ පුජනීය තැනක්. සමහරු බාර වලට පවුල් පිටින් තට්ටේ ගාගෙන එනවා මම දැක්කා. මේ Dark Cave බලන්න යන්න මම පොලවේ පස් කකා රණ්ඩු කලත් මගෙත් එක්ක ගිය එකෙක්වත් මට ඉඩදුන්නේ නැහැ. ( මම ඔය ගුහාව ඇතුලේ මොන මලදානයක් කරලා නම රන්දයිද කියල හිතන්නත් ඇති... සාධාරණයි.. සාධාරණයි... හි.. හි..) නියමයි පැතුම්...

    ReplyDelete
    Replies
    1. අපේ අක්කගේ දුවත් යන්න ඕනෙම කියල කචල් එක දැම්ම නිසා තමයි අන්තිමට අපි ගියේ .. එකට ගිහින් එන්න පැය එකහමාරක් විතර යනවා .. අපි එනකම් ඉතින් ඉතිරි කට්ටිය බැන බැන පහලට වෙලා හිටියා .. :)

      Delete
    2. චඃ... ඒ කියන්නේ පැතුම්ගේ අක්කගේ දුවට සෑහෙන 'පවර්' එකක් තියෙනවා... අනේ අම්මප මගේ නම් උපන් දෝසයක්ද කොහේදෝ... හිටින්කෝ මම තනියෙම මැලේෂියා ගියපු දවසක යනවා ආයේ නෑ ඔය ගුහාවේ යන නොයන හැමතැනකටම... ( පපුවට තඩි ගසා ගනිමින්)

      Delete
    3. [අක්කගේ දුවට සෑහෙන 'පවර්' එකක් තියෙනවා] වෙලාවට අයියා මුලින් ම වැඩේ අත ඇරලා අච්චිලත් එක්ක පහලට බැස්ස .. නංගිට ෆුල් පවර් එක ලැබුනා .. අන්තිමට ඉතින් කෙල්ල දිනුවා .. හෙහ් හෙහ්

      කට්ටියගේ අපෘවල් අරන් ඕවගේ ගමන් යන්න බෑ .. පොඩි එකී අඬල සද්ද දාල ගොඩ දාපු නිසා මිසක් මට යන්න වෙන්නෙත් නෑ .. එක්කෝ හොරෙන් ගිහින් පස්සේ කියන්න ඕනේ .. නැත්නම් අර කිව්වා වගේ තනියම යන්න ඕනේ ..

      Delete
  7. නියමෙට තියෙනවා පොටෝ ටික.. අපේ නලියත් ගියා නේ ඔතනට...

    ReplyDelete
    Replies
    1. නලින් අයිය මේ ඩාර්ක් ගුහාවටත් ගිහින් තිබුනද ? ෆොටෝ ටික ගත්තේ සැහෙන අමාරුවෙන් .. වවුලෝ අවුල් වෙයි කියල ෆ්ලෑෂ් එක දාන්න දුන්නේ නෑනේ ...

      Delete
  8. මේ ලිපියත් සේයා සටහන් ගොනුවත් හරිම ලස්සනයි ! හරවත් !! ගොඩක් වටිනවා !!! ඔබට ගොඩක් ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට ස්තුතියි ..

      Delete
  9. මායා ලෝකයකට ගියා වගෙයි.

    ReplyDelete
    Replies
    1. ගුහාව ඇතුලේ තියෙන්නේ වෙනම ලෝකයක් තමයි මනොෂ් . ඒක ඒ විදියටම ආරක්ෂා කරන්න මේ අය සැහෙන්න මහන්සි වෙනවා .. ඒක අගය කල යුතු දෙයක්

      Delete
  10. අප්පේ ඇති යන්තම උඹ ඕකෙන් එලියට ආවා. ඕක ඇතුලේ අර ඔක්කාරෙට එන වවුල් ගඳ එන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ගඳ නම් හරියටම වවුලගේ ද කියල ෂුවර් නෑ බන් .. ඒ හැටි අවුලක් දැනුනේ නෑ මට නම් .. සැහෙන ලොකු ප්‍රදේශයක පැතිරිලා තියෙන නිසා වෙන්න ඇති ගඳ ඒ හැටි ප්‍රශ්නයක් වුනේ නෑ .. අවංකව කිව්වොත් උඹ මේ කියනකම් ගඳ ගැන මට කිසිම හැඟීමක් තිබුනේ නෑනේ .. හෙහ් හෙහ් ..

      මට නම් නිකන් මගේ කාමරේට ආයෙත් ගියා වගේ ... හෙහ් හෙහ් හෙහ්

      Delete
    2. ඔය කිව්වේ.. කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ කියනවා නෙව. මොකට සල්ලි දීල බලන්න ගියාද. පැතුම්ගේ කාමරේ වගේ අඳුරු , වවුල් ගඳ සමාන වෙන එකේ.. වව්ලන්ට උන්ගේ ජාතියේ උන්ගේ ගඳ දැනෙන්නේ නැහැ එක්කෝ සුවඳයි වගේ දැනෙනවා...

      Delete
    3. ජිවන සුවඳ කියන්නේ ඒකට ...

      Delete
  11. ඔය මුරුගන් ප්‍රතිමාව ලෝකයේ දෙවැනි උසම එක කියලයි කියන්නෙ...මෙතැන ඉස්සෙල්ලාම හින්දු ආගමික පූජා ස්ථානයක් උනා කියන්නෙ මේ ගල්ලෙන හොයාගත්ත කෙනා දැකකලු තිශූලයක සළකුනක් ගල්ලෙනේ තැනක ස්වභාවික ඒ හැඩතල මතුවෙලා

    බටුකේව්ස් මමත් කීප වතාවක්ම ගියා ඔය අඳුරු ගුහාවට රිංගුවෙ නෑ...ගෙවන ගානට එය වටින්නෙ නෑ කියලයි ජාලයේ කමෙන්ට් විදියට ගිය අය දාලා තිබුනෙ. තොරතුරු වලට ස්තූතිය.

    ReplyDelete
    Replies
    1. ඔය ත්‍රිශුලේ කතාව විකිපිඩියා වෙත් තිබුන මම දැක්ක ..

      ගානත් එක්ක බැලුවහම ඇති දෙයක් නෑ තමයි .. හැබැයි ඉතින් ඒ අත්දැකීම ගන්න කැමති කෙනෙකුට මම හිතන්නේ ඒ ගාන දීලා ගියාට පාඩු නෑ කියල ..

      Delete
  12. පළවෙනියටම තියෙන පිළිමේ නම් දැකලා තියෙනවා.. අනික් විස්තරනම් සමහරක් අළුත් මට..

    ReplyDelete
    Replies
    1. මේ තැන මැලේසියාවේ ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් තියෙන තැනක් .. ගොඩක් ප්‍රසිද්ධයි .. අනිත් ගුහාවට යන්නේ ඉතින් උනන්දු අය විතරයි ..

      Delete
  13. නියම ගමනක් !
    අපිට ඉතිං පිටරට ගමන් යෑම හීනයක් නෙව. ඊට කලින් ලංකාවේ යන්ඩ පුලුවන් හම තැනකම ඇවිදින්ඩයි හිතන් ඉන්නේ :)

    ReplyDelete
    Replies
    1. මදුරංගගේ ලංකාවේ ට්‍රිප් දැක්කම අපිට ඉරිසියයි ... පිටරට ට්‍රිප් යන එක අපිටත් හීනයක් වෙලා තිබ්බ බන් කාලයක් ... ඒවා මහා ලොකු දේවල් නෙවෙයි. තව ටික කාලෙකින් ඔයාලටත් යන්න ලැබෙයි ..

      Delete
    2. ලංකාවෙ කෙනෙක්ට ඉතාම අඩු වියදමකින් සංචාරය කරන්න පුලුවන් හොඳම රට මැලේසියාව කියලයි මට හිතෙන්නෙ...මේ වියදමෙන්ම ඉන්දියාවේ සංචාරය කරන්නට හැකි වුවත් මැලේසියාවේ දියුණුව සහ ප්‍රවාහන මාධ්‍ය / යටිතල පහසුකම් වල තියෙන සංවර්ධනයත් එක්ක මැලේසියාව තමයි ඉදිරියෙන් තියෙන්නෙ. ඉදිරි දවසක බැරි වෙන එකක් නෑ ගොයියො.

      Delete
  14. ස්තුතියි පැතුම් මේ විස්තරේ බෙදා ගත්තට. මේක සංරක්ෂණය කරන්න ඒ අය ගන්න මහන්සිය අගය කළ යුතුයි.

    ලංකාවෙ ඉතිං ඔය වගේ තැනක් බලන්න නං වවුල්පනේ තමයි යන්න වෙන්නෙ. මේ අහල පහල තිබිලත් මටත් තාම යන්න බැරි උනා.

    ReplyDelete
    Replies
    1. මේක සංරක්ෂණය කරන්න NGO එකකින් ද කොහෙද ... ඒ නිසා හොඳට කරනවා .

      වවුල්පනේ ගැන අහල තියෙනවා විතරයි . මෙලෝ දෙයක් දන්නේ නෑ .. ප්‍රසන්න අයිය කම්මැලි නැතුව ඔය මදුරංග වගේ ගිහින් පොටෝ කෑලි ටිකකුත් අල්ලලා අර රාජකීය බ්ලොග් එකේ ලියන්නකෝ ..

      Delete
  15. මේක කියෙව්වහම යන්නම හිතුන. මේ අවුරුද්දෙවත් බලන්න ඕනේ.

    ReplyDelete
  16. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15454-the-dark-cave

    ReplyDelete
  17. මම මාර්තු මාසෙ මැලේසියාවෙ ආපු වෙලාවෙ Batu Caves බලන්න ගියා. ඒත් dark Cave පැත්තට යන ගේට්ටුව වහල තිබ්බෙ

    ReplyDelete