Saturday, July 21, 2012

"ස" නතර කළ හේතුව

"ස" කියන අකුරට අලුත් අරුතක් ලබා දුන වික්ටර් රත්නායකගේ "ස" ප්‍රසංගය ඊයේ  අවසාන විය. 1973 සිට 2012 දක්වා 1450 වාරයක් ප්‍රදර්ශනය කළ මෙම ප්‍රදර්ශනය අවුරුදු 39කට පසු අවසාන කිරීමේ තීරණය ගැන අප බොහෝදෙනෙක් කම්පා වුණද එය අවසාන කළේ ඇයි දැයි වික්ටර් රත්නායක කළ ප්‍රකාශය ඇසූ කළ එය කොතරම් සාධාරණ දැයි මට සිතිනි. කළ යුතු දේ නම් එයැයි වටහා ගත් පසු "ස" නැති ශෝකය නැති වී ගියා සේ දැණිනි.

වික්ටර් රත්නායකගේ සිංදු වල මා කැමතිම සිංදු බොහෝ තිබුණද ඔහු මගේ ප්‍රියතම ගායකයා නොවීය. බොහෝ විට මෙපමණ කලක් මා "ස" නැරඹීමට නොයාමට හේතුව එය වන්නට ඇත. අමරදේව,අමරසිරි පීරිස්,සුනිල් එදිරිසිංහ,දිවුල්ගනේ,කපුගේ සහ වික්ටර් රත්නායක ලෙස මාගේ ප්‍රියතම අනුපිළිවෙල සකස් කළ හැක.

කෙසේ හෝ මෙපමණ කළක් "ස" නොබැලූ මා අවසාන "ස" බැලීමට මීට මාසයකට පමණ පෙර මිලදී ගත් ටිකට් එකේ පිහිටෙන් ඊයේ ලුම්බිණි රඟහලට ගියේ මගේ ප්‍රථම සහ අවසාන "ස" නැරඹීමටය. මීට අවුරුදු 39කට පෙර "ස" ආරම්භයේදී ලුම්බ්ණි රඟහලේ ජනෙල් දොරවල් කඩාගෙන ආ ජන ගංඟාව ගැන අසා තිබූ කතාව සත්‍ය බව ඊයේ එළිමහනේ සාදා තිබූ ශාලාව තුළ සහ ඉන්පිටත රැස්ව සිටි ජනතාවගෙන් පැහැදිලි විය.

අවසාන ප්‍රසංගය වුවද එහි වූයේ සරල තවත් එක් ප්‍රසංගයක් වැනි සැරසීම් සහ සාමාන්‍ය වේදිකාවකි. පුරුදු නිහතමානී කමින් 39 අවුරුද්දක් කරගෙන ආ ආකාරයටම ආරම්භ කර ගලා ගිය ප්‍රසංගය තුළ සාමාන්‍ය අවසන් ප්‍රසංග තුළ නොදකින චාම් බවක් මම දුටිමි.

ආරාධිත අමුත්තන් පිළිගැනීම්,පිළිගැනීමේ කතා, නිවේදකයාගේ ගුණ වැයුම්, ආරාධිත අමුත්තන්ගේ ගුණ වැයුම්,දේශපාලන ගුණ වැයුම් කිසිවක් එහි නොවීය. විකටර් රත්නායක සුපුරුදු ලෙස ගී ගැයුවේය.

ගී අතර ලබා ගත් විවේකයකදී වික්ටර් රත්නායක සරලව එක් වදනක් කීවේය. "පටන් ගත්ත හැමදේම අපි ඉවර කරන්න ඕනේ නේ. ඒක නිසා මේකත් ඉවර කරල දානවා". සුපුරුදු පරිදි ගීතවල හරය,නියම අයිති කරුවන්, ඒ හා බැඳුණු රසවත් සිදුවීම් අතරින්  පතර මතක් කරමින් සෑහෙන වේලාවක් ගලාගිය ප්‍රසංගයේ අවසන් හරියේදී නිවේදක ලෙස කටයුතු කළ වසන්ත රෝහණ මහතාගේ ආරාධනාවෙන් වික්ටර් රත්නායක "ස" නැවතීම ගැන පැහැදිලි කළේය.

ඔහුගේ ඒ පැහැදිලි කිරීම මට මතක හැටියට මෙසේය.

"ඒක පුද්ගල ප්‍රසංග තව ගොඩක් තියෙනවා. ගොඩක් ඒව අපි දන්නෙම නැතුව ඉවර වෙලා යනවා. එක්කෝ මිනිස්සු ඒව අත ඇරල දාන නිසා ඒවා නතර වෙනවා. නැත්නම් වෙනත් විවිධ ප්‍රශ්න නිසා පටන් ගත්ත අයම ඒවා නතර කරල දානවා. ලංකාවේ ඒක පුද්ගල ප්‍රසංගයක් විදියට මුලින්ම පටන් ගත්ත මේ ප්‍රසංගයට නියම විදියේ අවසානයක් මට පුළුවන් කාලේදි දෙන්න ඕනේ නිසයි මම මේ තීරණේ ගත්තෙ. පටන් ගත්ත කාළෙට වඩා මගේ හඩ වෙනස්. මමත් වෙනස්. තව කාලෙකින් මේ තත්වෙන් වත් මේ ටික කියාගන්න බැරි වෙයි. ඊට කලින් මේක මේ විදියට නතර කරල දාල ඉවර කරන්න මම කැමතියි."

ඇත්තටම මම ලිව්වාට වඩා රසවත් සහ හරවත් ලෙස ඔහූ ඔය අදහස කිව්වා. බොහෝම සරල අහිංසක හිනාවකින් යුතුව කරුණාවෙන් ඔහු ඒ දේ පැහැදිලි කළ ආකාරය නිසා ලත් අවබෝධයෙන් මෙතෙක් කලක් "ස" නොබැලූ එක අපරාදේ කියා සිතුනත් මින් ඉදිරියට "ස" නැතිවීම ගැන බොහෝ අයට දුකක් නොදැනෙන්න ඇති.

ආරම්භයේ සිට මේ දක්වා ප්‍රසංගය සඳහා උදව් කළ අයට වික්ටර් රත්නායක නම් ඒ නිහතමානී මහා මිනිසාගෙ අතින්ම සම්මාන ලබා දුන් අතර, ඔහු වෙනුවෙන් ලබා දුන් උපහාර සම්මාන අතර මතට දුමට ඇබ්බැහි වී ඔහු ගත කළ ජීවිතයෙන් මිදීම වෙනුවෙන් ශ්‍රී ලංකා අමද්‍යප සංගමයෙන් ඔහුට ලබා දුන් සම්මානයෙන් ඔහුගේ නිර්ව්‍යාජ ජීවිත ගමන ගැන අප සැමට සිතන්නට දේ ඉතිරි කළ බව නොකියාම බැරිය.

රු 500 ටිකට් ගත් අපට 1000 හේ අසුන් වල සිට ප්‍රසංගය නැරඹීමට අවස්තාව උදා කළ ඒ පින්වත් සැමට ස්තූතිවන්ත වෙමින් බට්ටි නංඟී සහ (මම  "අපි ඔක්කොම රජවරු" තාලය කාර් එකට තට්ටු දමමින්) ගෙදර ආවෙමු.

9 comments:

  1. මමත් මුලින් දුක් වුණා 'ස' නැවැත්වීම ගැන. එකම එක වතාවයි බලන්න වුණේ. එකවතාවක්වත් බලල නැති ගෑණිට පෙන්නගන්න ලොකු උවමනාවක් තිබුණා. මොනව කරන්නද ඉතිං. කොහොමත් වැලේ වැල් නැතිවෙලා නවත්තනවට වඩා දැන්ම නතර කරපු එක හොඳයි. වික්ටර් සින්දු කියන එක නතර කළේ නෑනෙ...

    අන්තිම ප්‍රසංගය හරි බලාගත්තු එක සෑහෙන්න දෙයක් කියල දැන් හිතෙනව ඇති නේද?

    ReplyDelete
  2. “ස“ දකුණේ අවසන් ප්‍රසංගය සහ මගේ දෙවන ප්‍රසංගය මාතරදී පහුගිය 8 වැනිදා අපි රසවින්දා..බන්දුල නානායක්කාරවසම් මහත්තයාගේ සංවිධාන ශක්තිය නිසා..ඇත්තටම නැවත වතාවක් ලංකාවේ ගීතකලාව කියන දේ සංවේදී විදියට මතක් වුන මොහොතක්

    ReplyDelete
  3. ගෞරවාන්විතව නිමා කිරීම ගැන මේ පාඩම බොහෝ දෙනෙක් වටහා ගත යුතු පාඩමක්

    ReplyDelete
  4. මම නම් ඔය ප්‍රසංගය බලල නැහැ සහෝ..:(

    ReplyDelete
  5. අපරාදේ 18 වෙනිදා නෙළුම් පොකුණේ බලන්ඩ යන්න කවුරුවත් සෙට් උනේ නෑ නෙව. එහෙම උනා නම් ගිහින් එන්ඩ තිබ්බා.

    අර කිව්වත් වගේ 'ස' ප්‍රසන්ගය නවත්තපු හේතුව අතීශයින්ම සාධාරණයි !

    දැන් ඉතින් අවර ගණයේ ප්‍රසංග වලට තටු ලැබුනා වගේ වෙයි. මේ වගේ වටින ප්‍රසංග අඩු වීමෙන් අන්තිමේදි වෙන්නේ ප්‍රේක්ෂකයාගේ රසවින්දනය මොට වෙන එක විතරයි !!!

    ReplyDelete
  6. අනිවාර්යෙන්ම ස මිනිස්සුන්ගේ හිතේ පැලපදියම් වෙයි හැමදාටම. මේ වගේ අවසානයක් හින්දා

    ReplyDelete
  7. යන්න ආසාවෙන් හිටියේ.. ටිකට් ගන්න බැරි උනානේ.. දවස් තුනේම ටිකට් ඉවර වෙලා තිබ්බා.. දුක තමා අප්පා..

    ReplyDelete
  8. වික්ටර් ඒ කියල තියෙන හේතුව වටහා ගන්න හැමෝටම පුළුවන් නම් එහෙම වටහාගෙන නියම කාලෙට බැහැල යන්න හැමෝටම හිතෙනවා නම් මේ ලෝකේ මීට වඩා හොඳ තැනක් වේවි..

    ReplyDelete
  9. hare :-),
    ඔව් අන්තිම එක බලපු එක නම් මාර වටිනව කියල හිතුණා. ඉස්සරහට තියෙන වික්ටර් සිංදු කියන ඒව බලන්න හිතා ගත්තා.

    Janaranga Wijaindu Dewasurendra,
    ඔව් අපිට මඟ ඇරිච්ච ලස්සන කාලෙක හිටපු මිනිස්සු කරපු කියපු දේවල් දකින කොට අවංකවම සතුටුයි.

    Hasitha,
    ගෞරවාන්විත කම ආවේ ඒකේ තිබ්බ සරල චාම් බව නිසා. වැඩි ගෞරව දෙන්න කියල බොරු වැඩ මොකුත්ම තිබුණෙ නෑ.

    හිරුහිමාවී,
    ටී.වී එකේ පෙන්නන වෙලාවකදි හරි බලන්න. වටිනවා.

    මධුරංග,
    තව හොඳ කලාකාරයෝ ඉන්නවනේ හොඳ ප්‍රසංග තියෙයි.

    අවතාර්,
    අවංකවම. බලන්න ආපු මිනිස්සුන්ගෙ හිත් වලට හොඳට දැනෙන්න ඇති.

    Pasan,
    මම නම් මාසෙකට කලින් ගත්තේ. නැත්නම් සොරි තමා.

    සරත් අයියා,
    හැමෝම කොහොම වුණත් අපි හරි අපි මේ කරන පොඩි පොඩි දේවල් වුණත් ඒ විදියට ඉවර කරන්න ඕනේ කියලයි මම නම් හිතා ගත්තේ.

    ReplyDelete