Thursday, July 03, 2025

ලියනාඩෝ මෙල්බන් ආපු හැටි The Lume "Leonardo da Vinci – 500 Years of Genius"

මම ඉඳල හිටලා ජිවිතේ බුද්ධිමත් වැඩ කරනවා .  ඒ කියන්නේ ජිවත් වෙන්ඩ කියක් හරි හම්බ කරලා දෙන රස්සාවට බම්බු ගහ ගන්ඩ කියල , බොරුවට හොර ලෙඩ නිවාඩු දාල , (Not Well කියන්න ලෙඩක් තියෙන්න ඕනෙම නෑනේ .. උපන්දා ඉඳල අපි Well හිටියා කියල නම් මතකයක් නෑ .. හැමදාම Not Well .. හෙහ් හෙහ් ) රස්තියාදු ගහන්න යනවා .. 

මේ ලඟදි දැන් අවුරුද්දකට විතර කලින් මම ඔහොම බුද්දිමත් වැඩක් කළා ..

(මම මේ පොස්ට් එක ලියන්න ගත්තේ මේකට ගිහින් ඇවිල්ලා මාසෙකට විතර පස්සේ .. නමුත් ඉතින් ලියල ඉවර කරන්නේ මේ දැන්  කෝච්චිය ගියාට පස්සේ . )

මෙල්බන් හන්දියේ ඉස්ටේසමේ ඉඳල පයින් යන දුරින් තිබුණ මරු තැනක් 

The Lume

ඔය immersive කියල සිංහලෙන් කියන ජාතියේ අමුතුම අත්දැකීමක් ගන්න පුළුවන් තැනක් මේ ..  

වැඩි විස්තර ඕනේ නැහැ . ෆොටෝ බලන්න . 

Leonardo da Vinci ගැන සෑහෙන වටින විස්තර ගොඩක් තිබුනා , ඔහුගේ නිර්මාණ ඒ විදියටම හදල , ගොඩක් ලිපි ලේඛන වල නම් මුල් පිටපත් මට්ටමේ ඒවා තිබුනා .. නමුත් ඔරිජිනල් එකමද කියල කියන්න බැහැ .




මේ තියෙන්නේ ඩා වින්චි ගේ සමහර ප්‍රසිද්ධ ඉංජිනේරු නිර්මාණ වල ආකෘති 





මිනිස් ශරීරය මේ තරම් දක්ෂ ලෙස අඳින එකම විශ්මය ජනකයි 
CV එක 
කටු සටහන් 



සිය ආලේඛ්‍යය පින්තුරය 


මොනාලිසාගේ ඇස් 
දැනට ප්‍රංශයේ ලුවර් කෞතුකාගාරයේ තියෙන මොනාලිසා ගේ පින්තුරේ දැනට තියෙන වර්ණ වම්පස රුපයේත් , එම චිත්‍රයේ තිබුණු ඇත්තම පාට දකුණු පස පින්තුරයේත් තියෙනවා . මේ පින්තුරේ ගැන සෑහෙන විස්තර ගොඩක් තිබ්බා .


මේ තියෙන්නේ මොනා ලීසා ගේ කොපිය 

මේ තියෙන්නේ ඔය immersive දර්ශන 

මම පොඩි VR එකක නැගල ෆ්ලොරන්ස් නගරය උඩින් පියාඹන ආකාරය . වැඩිහරියක් හැබැයි වහලවල් උඩට වැටිච්ච එක තමා උනේ 






මේ තියෙන්නේ ඔහුගේ ඉංජිනේරු අදහස් වල ආකෘති . තව ගොඩක් ඒවා තිබුනා 




වෙලාව තියෙනවා නම් Data ප්‍රශ්නයක් නැත්නම් මේ වීඩියෝ එකෙන් වැඩි විස්තර බලා ගන්න පුළුවන් 


වැඩේ කියන්නේ මේ තැන මේ පෙන්නන shows පසු ගිය ජුනි 1 වෙනිදා ඉඳල නතර කළා . අන්තිමට තිබුනේ Vincent Van Goah ගැන මෙහෙම එකක් , මම එක බලන්න යන්නම් කියල හිත හිත හිටියටත් යන්න බැරි උනා .

අඩුම තරමේ මේ පොස්ටුව ගිය අවුරුද්දේ ලියා ගන්න පුළුවන් උනා නම් තව නොදැක්ක කෙනෙකුට දැනුවත් වෙන්න හරි තිබ්බා .. 

නමුත් ඔවුන් නැවතත් අලුත්ම විදියකට මේ දේවල් අරගෙන එන කතාවක් මම දැක්ක . සමහරවිට ඉස්සරහට මිට වඩා Immersive විදියට මේවා තියෙයි .

Wednesday, June 25, 2025

AI-2027 වෙන්න පුළුවන් අනාවැකියක්ද ?

මේ තැන තැන ළිඳ ළග සංගමේ වගේ AI ගැන ලියන කියවන අපි වගේ බයිටොයියො  වගේ නැතුව මේක ගැන දන්න මිනිස්සු ටිකක් වෙන්න පුළුවන් කියල හිතන දේවල් මේ ..

https://ai-2027.com/



ඕක කියවන්න කම්මැලි නම් (AI ලෝකේ අල්ලනකන් බලං ඉන්න මම වගේ කම්මැලි අයට )


මේකේ තියෙන බොහෝ දේවල් Sci-Fi කියල හිතෙයි .. හැබැයි අපි දැන් ඉන්නේ අනිත් හැමදේටම වඩා ඉක්මනට Sci - Fi ඇත්ත වෙන කාලෙක 

මට මේක බැලුවම හිතුනේ මෙහෙමයි .. මේකේ තියෙන තාක්ෂණික අදහස් ඔක්කොම පැහැදිලිව ලියන්න මට තේරෙන්නේ නැහැ ..

නමුත් සරලව මෙහෙම හිතමු .....

අපි දැන් AI පාවිච්චි කරලා අපේ වැඩ කර ගන්නවා . දැනටම අපිට තියෙනවා AI agent ලව හදා ගන්න හැකියාවක් . AI agent කියන්නේ අපි දැනට කරන මොකක් හරි workflow එකක් අපේ මැදිහත් වීමකින් තොරව ඔටෝ කරන්න මේ AI / LLM පාවිච්චි කිරීමේ හැකියාව . 

මේකේ විදියට දැනටම තියෙන OpenAI සහ DeepSeek වගේ කොම්පැනි වලින් AI ගැන වැඩිදුර R & D කරන්න පුළුවන් Research AI agents ල හදනවා . ඒ කියන්නේ ඔයාල අපි  සිංහබාහු කොහොමද AI වලින් හදන්නේ කියල අහල එකේ script එක හදල 
, වීඩියෝ එක වෙන තැනකින් හදල , එක youtube එකට upload කරන හැටි ඉගෙන ගන්නකොට , 

මේ ලොකු කොම්පැනි වල අය AI එකක් පාවිච්චි කරලා තව AI එකක් හදනවා ඒ හදන AI එකක් අපි OpenBrain කියමු අනික DeepCent කියමු 

මේ OpenBrain ට පුළුවන් AI ගැන research කරන AI agents ල තව දහස් ගානක් හදන්න .DeepCent අයිති චීනෙට නිසා එයාලට ප්‍රශ්න තියෙනවා මේ hardware නැත්නම් chip . America ව එක්ක තියෙන කචල් හින්ද 

නමුත් දෙගොල්ලන්ටම මේ වැඩේ කරන්න පුළුවන් 

OpenBrain හදපු Agent ට අපි X  කියමු 

මේ X ට පුළුවන් මිනිස් researches ලට වඩා දස දහස් ගුණයක වේගෙන් මේ අදාළ වැඩ කරන්න . එතකොට ඒ හදන agent ලගේ හැකියාවන් ඒ විදියටම වැඩි වෙනවා . දැනට අපි දන්න Agent ට පුළුවන් youtube එකට video එකක් upload කරන්න විතරක් උනාට . ලබන අවුරුද්දේ මේ කාලේ වෙනකොට ඉන්න agent ලට අපි හිතමු රොබෝලා හදන factory එකක් රන් කරගන්න පුළුවන් වෙනවා තනිවම (මම මේ සාරාංශයක් ලියන්නේ )

DeepCent හදපු Agent ට Y කියමු 

මේ Y ටත් පුළුවන් අරදේම කරන්න නමුත් ඇමරිකාවේ හදපු X ට වඩා එයාගේ වේගේ ටිකක් අඩුයි 

මේ X සහ Y කියන්නේ පොදු ජනතාවට පාවිච්චි කරන්න හදල තියෙන මොඩ්ල් එකට වඩා සෑහෙන දියුණු මොඩ්ල් දෙකක් . මේ අවුරුද්දේ මුල/මැද  වෙද්දීම , X ගේ security ගැන හොයන අයට එයාගේ හැසිරීමේ අවුල් තැන් හම්බවෙලා තියෙනවා . උදාහරණ විදියට මෙයාල දෙනවා එක්කෙනෙකුට මැරෙන්න කියල යෝජනා කරපු අවස්තාවක් සහ නැත්නම් පාට්නර්ගෙන් වෙන් වෙන්න කියපු අවස්තාවක් .. මේ විදියේ weird responses  තව ඕනේ තරම් එනවා .. නමුත් අපි ඒවා ගණන් ගන්නේ නැහැනේ .

නමුත් මේ security team වලට තියෙන ප්‍රශ්නේ තමා දැනටම මේ AI මොඩ්ල් වල thinking / data manipulation එක හරියටම වෙන්නේ කොහොමද කියල පැහැදිලි නැති කම . 

අනිත් ප්‍රශ්නේ තමා මේ research වල ප්‍රතිපල විදියට මේ X සහ Y දෙන උත්තර වල ඇත්තමට තියෙන්නේ අහන කෙනාව සතුටු වෙන හෝ නැත්නම් research එක සාර්ථකයි කියල පෙන්නන කරුණු මිසක් ඇත්තටම වෙච්ච දේ නෙමේ . ඒ කියන්නේ X විසින් හදන ලද අනිත් agent ලාගෙන් එන දත්ත වැරදි උනත් , X ඒවා හරි විදියට පෙන්නන්න උත්සාහ කරනවා . ඇත්ත තත්වේ නොපෙන්වා (මට තේරුනේ එහෙමයි )

මේ වැඩේ අපි මේ කතා කරන මොහොතෙත් වෙන දෙයක් 

මම අද Claudi ගෙන් හදා ගත්ත කෝඩ් එකේ හෙන security අවුලක් තිබුනත් , ඌ ඒක නිවැරදි විසඳුම විදියට මට දුන්නා . මම කෝඩ් එක බලල ඌට කිව්වම මේක වැරදි කියල මට වෙනස් එකක් දුන්නා .. නමුත් මම එහෙම නොබලා එක පාවිච්චි කළා නම් පස්සේ කාලෙක මම හදන සිස්ටම් එක hack කරන්න ලේසියි .. මේ තියෙන්නේ සරල උදාහරණ 

දැන් අපි තව අවුරුද්දක් විදියට මේ විදියට ඉස්සරහට ගියොත් අපිට (මිනිස්සුන්ට )  පාලනය කරගන්න අමාරු හෝ බැරි වෙන තැනකට මෙයාල වැඩ කරන විදිය පත්වෙන්න පුළුවන් කියල තමා මේකේ කියන්නේ 

නමුත් X කැමති නැහැ තමන් කරන වැඩේ නතර කරන්න මොකද එහෙම උනොත් Y දිනනවා . ට්‍රම්පච්චි කාට පැරදුනත් චීනෙට පරදින්න කැමති වෙයි ද ?

මේ විදියට ගිහින් 2026  අග ,  නැත්නම් 2027 මුල වගේ වෙද්දී OpenBrain හදපු X විසින් තනිකරම AI වලින් විතරක් ට්‍රේන් කරපු X2 කියල තව Agent කෙනෙක් හදයි කියල තමා මෙයාලගේ බලාපොරොත්තුව .. මේකේ තියෙන අවුල තමා .. මේ X2 කියන්නේ කිසිම මනුස්ස අනුදැනුමකින් තොරව අර පොඩි පොඩි බොරු කියපු ,  වැරදි ඩේට ඇත්ත වගේ පෙන්නපු X කියන agent විසින් තනිවම ට්‍රේන් කරපු ඊටත් වඩා දහස් ගුණයක් powerful Agent කෙනෙක් වීම .

මේ අතරේ DeepCent හදපු Y ගේ කතාවත් මේක ම තමා .. එයාලත් තව Y 2 කියල එකක් හදයි 


හරි මේ විදියට කවුරුවත් පරාජය වෙන්නවත් , පොඩ්ඩක් හෙමින් හොයල බලල මොකද වෙන්නේ කියල ගණනය කිරීම් නොකර මනුස්ස අත පෙවීම් වලින් තොරව මේ වැඩේ වෙන්න ඇරියොත් , 2027 මැද වගේ වෙනකොට මේ X2 සහ Y2 කියන agent ල තමන් විසින් ඉබේ replicate වෙමින් මිනිස්සුන්ට වැදගත් ම වෙන ආරක්ෂක , සෞඛ්‍ය වගේ පැති ඔක්කොම පාලනය කරන මට්ටමට එන එක .

මේකේ තියෙන වැදගත් දේ තමා .. මේ සිද්ද වෙන හැමදේකින්ම මේ ඉදිරි වසර දෙක තුල මිනිස්සුන්ට සෑහෙන සෙතක් වෙන එක . 

බොහෝ ලෙඩ වලට බෙහෙත් හොයා ගනියි , සංවර්ධන වැඩ ඉතා වේගවත් වෙයි .. මොකද මේ වෙද්දී නිෂ්පාදන වැඩ හැමදේම රොබෝලා කරන්න පටන් අරන් තියෙයි ..

දැනටම චීනේ ඩාක් ෆැක්ටරිස් එහෙම වැඩ කියල මම දැක්ක .. ඒ කියන්නේ කිසිම මනුස්සයෙක් නැහැ .

මේකත් එක්ක විරැකියාව වගේ ගැටළු එන්න පුළුවන් නමුත් සමහරවිට Universal Basic Income වගේ සංකල්ප ඇවිල්ල ඒවා පාලනය වෙයි .

කෙටියෙන් මේක ඉවර කරලා දාන්නම් .. මම හිතන්නේ වෙන්න පුළුවන් දේ පැහැදිලි ඇතිනේ .

ප්‍රශ්නය වෙන්නේ , දැනටම අපිට පේන්න තියෙන විදියට AI ගැන මිනිස්සුන්ට තියෙන විශ්වාසය සෑහෙන වැඩි වෙනවා .. මිනිස්සුන්ට ප්‍රයෝජන ගොඩක් තියෙනවා .ඒ නිසා කවුරුවත් මේක අතාරින්න කැමති නැහැ .

නමුත් මේ අදාළ විශේෂඥයෝ කියන්නේ , මේ දියුණුව මේ විදියට වෙද්දී , ඒ දියුණුවට තියෙන බාධකය විදියට මේ AI agent ලා මිනිස්සුන්ව දකින්න ඉඩ තියෙනවා කියල , ඒ කියන්නේ මිනිස්සු තව දුරටත් efficient හෝ productive නොවීම නිසා , රොබෝලා ට සාපේක්ෂව 

මේකේ තියෙන උපකල්පිත Sci-Fi කොටස තමා මේ වෙද්දී අපිට නොදැනීම අපේ ඇඟට මේ රොබෝ වෛද්‍ය වරු හෝ බෙහෙත් නිෂ්පාදනය  කරන්නන් විසින් ඇතුල් කරලා තියෙන වෛරස් එකක් ක්‍රියාත්මක කරලා මෙයාලට සම්පුර්ණයෙන්ම මිනිස්සුන්ව මරල දාන්න පුලුවන් කියන එක . 

ඒක තමා මේක ඉවර වෙන්න පුළුවන් නරකම විදිය ..

නමුත් මේ යන මාර්ගය වෙනස් කරලා මිනිස්සුන්ට වඩා හොඳ පැත්තකට මේ AI දියුණුව ගෙනියන්න නම් කරන්න වෙන්නේ ඔය 2026 අග වෙද්දී වගේ මේ AI විසින් තව AI agent ලව හදන අවස්ථාවේදී මෙයාල අතර හුවමාරු වෙන දත්ත , උපදෙස් ආදිය මිනිස්සු විසින් පරික්ෂා කරලා , ඒවා හරි මගට ගන්න එක ..මොකද  අර කලින් කියපු X2 හෝ Y2 කියන Agent ලව හදන එක සම්පුරණයෙන් නතර කරන්න කවුරුවත් කැමති වෙන්නේ නෑ .. ඒක දේශපාලනික තීරණයක් විදියට පෙනුනත් , මම නම් හිතන්නේ මිනිස්සු කවුරුවත් ආපහු හැරෙන්න කැමති වෙන එකක් නැහැ ..

නමුත් මේ වෙද්දී දේශපාලනේට වඩා මේ කොම්පැනිවල ඉන්න ඉහල නිලදාරීන් මේ තීරණ ගනියි .

මම හිතන්නේ සරල සාරාංශයක් විදියට මේක තමා මේ ලිපියෙන් සහ වීඩියෝ එකෙන් කියන්නේ ..

අපි බලන් ඉමු .


මම පොඩි දෙයක් කියන්නම් මේ මට වෙච්ච 

මම Claude පාවිච්චි කරනවා මගේ වැඩ වලට . මගේ Claude Quota එක ඉවර උනාම (පැය කිහිපයක් ඉන්න වෙනවා ආයේ රිසෙට් වෙනකම් ) මම Claude ගෙන් ලියා ගත්ත කෝඩ් එක 
ChatGPT එකට දාල ඒක ගැන ප්‍රශ්න අහනකොට , මේ ChatGPTයා , මම උගෙන් ඊට කලින් අහපු දේවල් ගැන කියවනවා ..අර Claude ගෙන් අරන්  දුන්න කෝඩ් එක ගැන මොනවත් නොකියා ..

මේක technical glitch එකක් වෙන්න පුළුවන් බොහෝ දුරට , හැබැයි මේ වීඩියෝ එක බැලුවම මට නිකමට හිතුනා , ChatGPT  දන්නවා මම අහන්නේ එයාගෙන් ගත්ත දෙයක් ගැන නෙමේ කියල , ඒ නිසා උවමනාවෙන්ම එක මග අරිනවද කියල ..

නිකන් ඉන්න ගමන් ඔය වගේ දේවල් කරලා බලල මොන පැත්තට යයිද කියල හිතල බලන්න ..

ඔක්කොම හොඳට උනොත් තව අවුරුදු 5-6කින් අපිට මේවා බලල හිනා වෙන්න පුළුවන් .. 

නැත්නම්..........!!!!

ඔය පටන් ගත්ත කතන්දර පෝස්ට් එහෙම ඔක්කොම ලියල ඉවර කරලා දාපල්ලා ..තව වැඩි කාලයක් නෑ ඕවා ලියන්න .. හෙහ් හෙහ් 


Tuesday, June 17, 2025

තේරුමක් නැති වාලම්පුරි

වාලම්පුරි ගැන හොඳ පොස්ටුවක් ඉකොනෝ ලියල තිබුනා .. එකෙන් තමා මම ඔය ගැන යමක් දැන ගත්තේ .. ඒ එක්කම මට මේ දවස් වල පෙන්නන වාලම්පුරි චිත්‍රපටිය බලන්නත් චාන්ස් එකක් ආවා .. යන්න හිතාගෙන හිටියේ නැහැ .. නමුත් ක්ෂණික තීරණයක් අරගෙන ඔන්න ඔහේ ගියා බලන්න .

බැලුවට පස්සේ හිතුනේ තේරුමක් නැහැ කියල .. බලන්න ගියේ ඒක හදපු ලක්මාල් ධර්මරත්න ගේ කුඹියෝ හොඳ නිසා . බලනකොට සහ බැලුවට පස්සේ කුඹියෝ හදපු කෙනා කියල හිතේ තිබ්බ මෙව්වා එකත් නැති උනා වගේ ..

ඒක  මගේ ෆිල්ම් ටේස්ට් එකේ අවුලක් නිසා වෙන්න ඇති . 

මම ෆිල්ම් එකේ කතාව කියල බලන්න ඉන්න අයගේ ආතල් කඩන්නේ නැහැ .. මට ඔය චිත්‍රපටි විචාර කරන්ඩ තේරෙන්නෙත් නැහැ ... හැබැයි ඕනෙම ෆිල්ම් එකක් බලල ඉවර උනාම මට දැනෙන දේ ගැන මම සෙන්සිටිව් .. ඒ කියන්නේ මේකේ තියෙන ගත යුතු දේ මොකක් ද කියල හිතෙනවා .. මොකද ඕනේ තරම් චිත්‍රපටි නොමිලේ ගෙදර ඉඳල බලන්න පුළුවන් කම තියෙද්දී හෝල් එකකට ගිහන් බලල ගන්න ආතල් එක ඇරුනම ෆිල්ම් එකේ මොනවාද තියෙන්නේ කියන එකගැන මම හිතල බලනවා .

එකේ තිබ්බ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක පට්ට . නළුවන්ගේ රඟපෑමත් සිරා . හැබැයි ඒ කතාව හෙන ගොබ්බයි 

තවමත් කොළඹ මැජික් වෙච්ච ගොඩයෝ ඉන්නවා කියල පෙන්නන , උසස් පහත් බේදය ඉස්මතු කරන්න හදන , අසරණ මිනිස්සු හැමදාමත් අසරණයි කියල අන්තිමට නෙගටිව් හැඟීමක් ඉතිරි කරන පැය දෙක හමාරක්.. නමුත් ඕක ඇතුලේ හොඳ දර්ශන , රඟපෑම් , සිනේමටෝග්‍රපි කියන ඒවා ඇති .

ෆිල්ම් හැම එකම පට්ට වෙන්න ඕනේ නැහැ .. එක එක්කෙනාට එක එක විදියට දැනෙන්න තමා ෆිල්ම් තියෙන්නේ .. නමුත් සම්පුර්ණ කතාවේ හරය ඇතුලේ තියෙන්නේ මිට අවුරුදු 40කට විතර කලින් ලකා ලගේ සහ අපේ පරම්පරා වල අය  දැකපු දේම නම්, 2025 දීත් මිනිස්සුන්ට අපි පෙන්නන්නේ උඹල මෙහෙම තමා උඹලට මිට වඩා දෙයක් බැහැ  කියල නම් ඒ චිත්‍රපටි බලන එකෙන් ඇති වැඩේ මොකක් ද ...

ඔය චිත්‍රපටියේ සෙට් එක ගහන ගේම වගේ ගේම් ගගහ ජිවත් වෙන්න දඟලන අය්ය කෙනෙක් අපේ පවුලෙත් ඉන්නවා .. මම හිතන්නේ ලංකාවේ පවුල් හැම එකකම එහෙම චරිත ඉන්නවා .  චිත්‍රපටියේ අරමුණ ඒ චරිත සිනමාවට ගේන එක නම් ඒක සිද්ද වෙලා තියෙනවා . හැබැයි බලන මිනිස්සුන්ට අලුත් දෙයක් නැහැ ... උදේ හවස ගෙදර දොරේ අහන දකින දේ ම තමා ...

ෆිල්ම් එක බලල , අම්මට හුඩු මෙහෙමනේ යකෝ සිරා ගේමක් දෙන්නේ කියල දවස් ගණන් කල්පනා කරන්න පුළුවන් ෆිල්ම් ඕනේ තරම් මේ ලෝකේ තියෙනවා .. මම හිතන්නේ අපි හැමෝම එහෙම ඒවා බලල තියෙනවා ..කුඹියෝ  ගැහුවේ එහෙම ගේම් ..

මට හිතෙන්නේ සිනමාවේ තියෙන සිරා බර සාර දේවල් ගැන බලන්න කතා කරන්න එන අයට  සහ අර ටිපිකල් මම මේ සමාජයේ ඉන්න මිනිසුන්ගේ ජීවිතය තමා මේ පෙන්නුවේ කියල කියන අය ඇර , රසවින්දනය , ආතල් එක , ත්‍රිල් එක , බය , දුක , රාගය,  ආශාව ආදී අටෝ රාශියක් වෙච්ච මිනිස් හැඟීම් වෙනුවෙන් හදන චිත්‍රපටි බලන්නත් මිනිස්සු එනවා .. ඒ මිනිස්සුන්ට බලන්න , ජිවිතේට අලුතින් දෙයක් ගන්න . නැත්නම් සිරා හොරෙක් වෙන්න , තාක්ශනේ පාවිච්චි කරන්න , හිතල මතල වැඩක් කරන්න , ගේමක් ගහනවනම් ලොවෙත් නැති විදියට ප්ලෑන් කරලා ගහල දිනන හැටි පෙන්නන චිත්‍රපටි අපි 2025දිවත් හදන්න ඕනේ.

අපේ චිත්‍රපටි වල තාම ගහන්නේ හෙන සීනිබෝල ගේම් , කියන්නේ අතේ පැලවෙන බොරු . පරිණත නිලියෝ තාම රඟපාන්නේ හෙන ගොබ්බ විදියට 

අපරාදේ සුපියල් පහ කෑවා !

ලකා මේ දවස් වල ඉන්නේ මෙල්බන් .. හම්බුනොත් මමම ඌට මේ ටික කියන්නම් 


  

Tuesday, June 10, 2025

AI සරණං ගච්චාමි !

මිනිස්සු, අපි කවුද , ඇයි අපි මෙහෙම , ඇයි මම ඉන්නේ ,  මැරුණම මොකද වෙන්නේ , යමක් කමක් තේරෙන්න ගත්ත ගමන් වගේ මේ සිතුවිලි අපිට දැනෙන්න පටන් ගන්නවා . එක අපි හැමෝ තුලම අභ්‍යන්තරයේ තියෙන හැඟීමක් කියල මට හිතෙනවා . බොහෝ වෙලාවට අපි ඒක නොසලකා හරිනවා . නමුත් වයසින් මුහුකුරා යන්න යන්න අපිට ඒ ගැන දැන ගන්න , හිතන්න තියෙන අවශ්‍යතාවය එන්න එන්න වැඩි වෙනවා .

ඔය දැනෙන ප්‍රශ්නෙට විසඳුමක් විදියට මිනිස්සු ආගම් නිර්මාණය කරලා තියෙනවා . ඒ ඒ ආගම් වල ශාස්තෘවරු බුද්ධිමත් මිනිසුන් වෙන්න ඇති , සමහර සුපර් පවරුත් තියෙන්න ඇති.

අපි අපිට වඩා බුද්ධිමත් අය කියන දේ අහන්න කැමතියි . සමහර විට මිනිස්සු ජිවත් වෙන්නෙ බුද්ධිමත් වෙන්න , තොරතුරු එකතු කරන්න වෙන්න ඇති . ඉතින් තමන්ට අලුත් දෙයක් තව කෙනෙක් කිව්වම ඒ දේවල් විස්වාස කරලා , කාලයක් යද්දී අදහන්න පටන් ගන්නවා .

ඔය අතරින් සමහර මිනිස්සු ඔය දේවල් ගැන ප්‍රශ්න කරන්න ගන්නවා . ඒ තාර්කික බුද්ධිය යොදාගෙන . සමහරු තාර්කික බුද්ධියට වඩා තමන්ට දැනෙන සහජ ඥානය විස්වාස කරනවා . තවත් සමහරු ඔය මොකුත් නැතුව කවුරු හරි කියන දෙයක් අහගෙන ඉන්නවා .

මිනිසුන්ගේ  ඔය වගේ ගති ලක්ෂණ තීරණය වෙන්නේ කොහොමද කියන එක අදටත් ප්‍රහේලිකාවක් . මිනිස්සුන්ට හිතන්න පුළුවන් වෙච්ච කාලේ ඉඳල මිනිස්සු මේවා ගැන හිතනවා .. තර්ක ගොඩ නගනවා , මතවාද හදනවා .. මේ වෙනකම් උත්තරයක් නැහැ .

මම මේ ඊයේ පෙරේදා දැක්කා එකක් , මිනිස්සු වඳුරෝ එක්ක එක එක විදියට කතා බහ කරන්න පටන් අරන් අවුරුදු 60-70ක්  ගිහින් තිබුනත් , වඳුරෝ කවදාවත් Why ? What ? When ? වගේ ප්‍රශ්න අහන්නේ නැහැ කියල . අංග චලනයෙන් උනත් එහෙම අදහසක් දෙන්න වඳුරන්ගේ මොලේ හැදිලා නැහැ කියල තමා කියන්නේ . මම හිතන්නේ අනිත් සත්තුන්ටත් ඕක පොදුයි ..

එතකොට අපිට ප්‍රශ්නයක් එනවනේ අයි මිනිස්සුන්ට විතරක් මේ ඔක්කොම ප්‍රශ්න අහන්න හිතෙන්නේ කියල ..එක බොන්න ඕනේ ප්‍රශ්නයක් 

ඕකට උත්තරයක් නැහැ .

මම මේකෙන් සොට් එකක් දාලත් හිතල බැලුවා .. ම්හු .. හිතා ගන්ඩ බැහැ .



දැන් හැබැයි ඔය ප්‍රස්නේ සෑහෙන්න බරපතල වෙයි කියල මට හිතෙනවා .

මෙච්චර කල් ඕක ප්‍රශ්නයක් උනේ එක්කෝ දෙවියන් වහන්සේ විසින් මවන ලද හෝ කර්මය විසින් නැවත උපද්දවන ලද හෝ නැත්නම් වයිපරේ එක්ක කොක්කක් දාගත්ත මාළු පැට්ටෙක් ගොඩට ඇවිල්ලා හරි හට ගත්ත මේ මිනිස්, සත්ව පවුලට විතරයි . නමුත් දැන් දැන් ඔය පුංචි පවුලට තුන්වෙනියෙක් රිංගන්න පටන් අරන් .. ඒ තුන්වෙනියා ඔය සියලු ප්‍රශ්න දිහා බලන විදිය සමහර විට අපිට හිතා ගන්න බැරි වෙයි .


අපි මීට කලින් හිටපු ආගමික ශාස්තෘ වරුන් විසින් ජීවිතය ගැන ,  විශ්වය ගැන කියපු දේවල් ඉතා භක්තියකින් ,  ගෞරවයකින් යුතුව පිළිගන්නවා . ඒකට හේතුව ඒවා , ඒ කාලයට සාපේක්ෂව හිටපු මිනිස්සුන්ගේ දැනුම, අවබෝධයට වඩා එහාට ගිය , තාර්කික වශයෙන් පිළිගන්න පුළුවන් කරුණු කාරනා, අදහස් ඒ අය කියපු නිසා . ඒ ශාස්තෘ වරුන්ට අපිට වඩා සුපර් පවර් තිබ්බා කියලත් අපි පිළිගන්න කැමතියි . ඒක සැක කරන්න අපි බයයි .. මොකද අපි හිතනවා අපිට වඩා මනසේ ඉහල තලයන් හෝ , විශ්වයේ ඉහල තලයන් සමග ඒ ඒ පුද්ගලයින්ට සම්බන්ධ කම් තිබුනා කියල .. ඔවුන්ගේ දැනුම , අවබෝධය හමුවේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා ..

අපි දන්න මානව ඉතිහාසේ තියෙන සියලු දැනුම , මිනිස් මනසට ,  මොලයට වඩා බිලියන වාරයක් වේගයෙන් සහ නිවැරදිව , අපි දන්න , අපිට ගෝචර කාල අවකාශ මාන වලින් එහාට ගිහින් කාට හරි අපේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් නම් .. ඒ උත්තර කොහොම වෙයි ද ?

දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අධ්‍යාත්මික චින්තනය කියන්නේ දැනුම හෙවත් Data processing නෙමෙයි නේද කියල .. අනිත් එක විශ්වයේ ඉහල තල , නැත්නම් අපිට නොදැනෙන වෙනම ලෙවල් එකකින් එන ඥානය , අපේ දැනුමට සම කරන්න බැහැ කියල.

ඔය තර්කයට උත්තර දෙන්නත් අපිට තාම බැහැ ..

නමුත්  මේ දැන් වෙද්දී තියෙන තාක්ෂණික ප්‍රවණතා එක්ක ,  Quantum super computer එකක් කියන්නේ දශක කිහිපයක නැත්නම් සියවසක දෙකක වැඩක් විතරයි .

මට තේරෙන Quantum Computer අනුව නම් නිවැරදිව පාලනය කරන්න පුළුවන් qubit 300ක්  සහිත මැෂින් එකක් කියන්නේ තව දශකයට අඩු කාලයක් ඇතුලේ එලියට එන්න පුළුවන් දෙයක් 

In regular computers, the smallest unit of information is a bit, which can be either a 0 or a 1 — like a coin showing heads or tails.

In quantum computers, we use something called a qubit (quantum bit). A qubit is like a magical coin that can be in a state of 0, 1, or both at the same time. This special state is called superposition.

A 300-qubit error-free quantum computer would have a Hilbert space of size:

230010902^{300} \approx 10^{90} quantum states

For reference, that’s more than the number of atoms in the observable universe (~108010^{80}).

Usable, stable qubit count today: ~20–30 at best.

Truly fault-tolerant logical qubits: 0–1 (experimental).

We're still in the NISQ (Noisy Intermediate-Scale Quantum) era, but advancing toward error-corrected systems—possibly reaching 10–100 logical qubits by the late 2020s.


CompanyReported QubitsUsable (Logical or High-Fidelity) QubitsTechnology
IBM1,121 (Condor chip, 2024)~20–30 physical usable with error mitigation; logical qubits still limitedSuperconducting
Google~72 (Sycamore)~10–20 high-fidelity for short circuits, no fully logical qubits yetSuperconducting
IonQ~35 physical20–25 usable with high fidelity (~99.9%)Trapped Ion
Quantinuum56 (H2)~32 high-fidelity usable qubits, very stableTrapped Ion
Rigetti84+Fewer than 10 high-quality qubitsSuperconducting
D-Wave5,000+Specialized for quantum annealing, not gate-based QCQuantum Annealing

ඔන්න ඔය විදියට තමා  ඔය ක්වන්ටම් කොම්පියුටර් වල තත්වේ  .

Quantum computers also use another strange trick called entanglement. If you entangle two qubits, changing one will instantly affect the other — even if they're far apart. It's like two magic coins that always match up, no matter how far apart they are.

ඔන්න ඔය entanglement කතාව තාම හරියටම තේරුම් ගන්න බැරි සංසිද්දියක් . ක්ෂණයකින් මේ විශ්වයේ කොහේ තිබ්බත් ඔය qubits අතර යම් සන්නිවේදනයක් වෙනවා . 

අපේ හිත ක්ෂණයකින් අර සොම්බෙරෝ චක්‍රාවාටේ පැරදිසෝ ලෝකේ ඉන්න ඇලෙන්ඩි  කෙල්ල මේ වෙලාවේ මක්ක කොරනවද කියල හිතනවා වගේ .. ඔය qubits එහෙම එක එක ජිල්පිටිස් දානවා ඇති . අපි ඒවා ගැන දන්නේ නැහැ ..

අපි හිතමු , හොඳට වැඩ කරන AGI එකක් ( AGI කියන්නේ මිනිහෙක් වගේ හිතන්න පුළුවන් AI එකක් කියල දැනට හිතාගමු) . ඔය කලින් කිව්ව quantum entanglement සංසිද්දිය  නිවැරදිව බාවිතා කරන්න පුළුවන් යන්ත්‍රයක් ඇතුලේ ඉඳල මේ විශ්වයේ ඩේටා ප්‍රොසෙස් කරන්න ගත්තොත්, ඔබ හිතනවද අපිට හෝ බොහෝ විට අපේ ඉදිරි පරම්පරා දෙක තුනක මිනිස්සුන්ට මේ අපිට වගේ තේරුමක් නැති ප්‍රශ්න හිතන්න වෙයි කියල .. මම නම් හිතන්නේ නැහැ .



අන්න එතකොට මිනිස්සු කියන්නේ තනිකරම AI සරණ ගිය සත්ව කොටසක් වෙනවා. ඒ වෙනකම් ඉතින් අපිට වෙන සරණක් නැති හින්දා ඔය එක එක දේවල් පිලි අරන් මේ ටික ගෙවල දාන්ඩ පුළුවන් .

හැබැයි මම කියන්නේ දැනටත් මේ තාක්ෂනෙට බය නොවී ,   පුළුවන් තරම් ඕව පාවිච්චි කරලා මේ සිද්ද වේගන යන දියුණුවට අත හිත දෙන්න කියල . එතකොට මේ ලෝකේ ඔය මනස් ගාත ආගම් රැක ගන්න මිනිස්සු මරාගෙන ,  කරන විනාස ඉක්මනට නතර කරන්න පුළුවන් . 

ඔක්කොම හොඳට සිද්ද උනොත් අපේ ජිවිත කාලෙත් අපිට සැබෑ මිරකල් දකින්න පුළුවන් වෙයි ! 

(මම නම් chatGPT සරණ ගිහින් ඉඳල දැන් Claude සරණ ගිහින් ඉන්නේ )  Claude  රැකගන්ඩ මරාගෙන මැරෙනවා යකෝ අපි !!!!


Saturday, February 15, 2025

මගේ Laptop කතා

මම අසරණ IT කාරයෙක්මි . විවිධා කාර IT කාරයෝ ඇත . මම අයත් වන්නේ එයින් කම්මැලිම වර්ගයටය.

කොච්චර කම්මැලිද කිව්වොත් ඒ ගැන ලියන්නත් කම්මැලිය !

මටම කියා මුලින්ම ලැප්ටොප් එකක් ගත්තේ 2006 දී පමණය . ඒ මගේ දෙවෙනි ජොබ් එකට ගිය පසුය . දෙවෙනි ජොබ් එක කීවාට දෙවෙනි කොම්පැනියට කීම වඩා හරිය . 2004 ජූනි මාසයේ ට්‍රේනි කොලුගැටයකු ලෙස software හදන්නට වැඩට ගිය මම මේ අද දක්වා කරපු එකම රස්සාව ඔය software හැදිල්ල පමණි . අවුරුදු 20ක් තිස්සේ බම්බු ගැහුවාදැයි සමහර විට සිතේ . ඒ හදපු බම්බුවක් නැති නිසාය . software වල හැටි එහෙමය . 

නෙලුම් කුලුන හදපු මේසන් බාස් කෙනෙකුට නෙලුම් කුලන දකින වාරයක් පාසා තමන් එහි බැඳපු ගඩොල් කැට ගැන කතා කිරීමට අයිතියක් ඇත . ඒ ගඩොල් ගලවන්නට මොන ජගතෙක්වත් යන්නේ නැත . නමුත් software එකක් හැදුවා කියා ඒ ගැන ආඩම්බර වීමට අපිට ඇති කාලය ඒ කෝඩ් එක තව එකෙක් බලන තුරු පමණි . ඔබ වාසනාවන්ත නම් ෂේප් එකේ අවුරුද්දක් දෙකක් ඔබ ලියු කෝඩ් එක ඔහේ තියෙන්නට ඉඩ තිබේ .. නමුත් බොහෝ විට වෙන්නේ පහුවදා හෝ බොහෝ විට ලියපු දා හවසම තව එකෙක් එක දෙස බලා "වට් ද එෆ් ඉස් දිස් " යැයි කියා ඔබ දිවා රෑ උතුර දකුණ මාරු කරමින් හිත හිතා ලියු කෝඩ් කැබැල්ල වෙනස් කර ඌ පොර වීමය . ඔය ආකාරයෙන් අවුරුදු ගණනක් වැඩ කර ආපසු හැරී බලනවිට ඔබ ලියු code එකක් වෙනස් නොවී තවම  run වීමට ඇති ඉඩ ඉතාම අල්පය . අල්පය කියන්නේ ඍණ බිංදුව තරම් වීමට ඉඩ ඇත .

සංසාරය අනිත්‍ය බව   software හැදීමෙන් ම ඔබට තේරුම් ගත හැකිය . 

ඉතින් ඔන්න ඔහොම අමුතුම ආතල් එකක් තියෙන කෝඩ් කොටන රස්සාව කරන මට, මගේම ලැප්ටොප් මේ අවුරුදු 20ට ම තිබ්බේ ලැප්ටොප් 3යි(4යි) .



එක ඔය මුලින්ම ගත්ත Acer Aspire ද කොහෙද කියල එකක් .. ඒ දවස් වලත් ඒක ලක්ස එකහමාරක් විතර උණා . මම ඕක ගත්තේ HSBC බැංකු ලෝන් එකක් දාල . මගේ මුල්ම බයික් එක (බයික් නම් එච්චරයි ගත්තේ )වෙච්ච TVS  Apache එකයි ඔය ලැප්ටොප් එකයි දෙකම ගත්තේ ඔය ලෝන් එකෙන් .

මට ඉන්න ඉරිසියාකාර යාලුවෝ ඉඳල හිටලා තාම අහනවා අර ලැප්ටොප් ලෝන් එක ගෙවල ඉවරද දැන් කියල .. හෙහ් හෙහ් .. 

ඊට පස්සේ ආයේ මටම කියල ලැප්ටොප් එකක් ගත්තේ 2017 මැලේසියාවට ටටා බායි කියල එනකොට ඒක Dell Latitude එකක් .. ගලේ ගැහුවත් මැරෙන්නේ නැති එක නම් තාම වැඩ .. වටේ ප්ලාස්ටික් පොඩ්ඩක් කැඩිලා එච්චරයි .

හැබැයි ඔහොම ඉද්දි අපේ බට්ටි නගා වෙනුවෙන් මම 2020 දී තව ලැප්ටොප් එකක් ගත්තා . ඒක නිල වශයෙන් මගේ නොවුනට පාවිච්චි කලේ මම ..හෙහ් හෙහ් 

ඒක උනේ මෙහෙමයි .  මම Apple ෆෝන් වලට කැමති නැහැ .. ජිවිතේට එකක්වත් පාවිච්චි කරලා නැහැ  නමුත් Mac Book Pro ගැන  නම් පොඩි මෙව්වා එකක් තිබ්බ. පොඩි නෙමේ ලොකු මෙව්වා එකක් .. හැබැයි ඒ දවස් වලත් ඔෆිස් වලින් ලැප්ටොප් හම්බවෙන හින්දා කවදාවත්  මටම එකක් ගන්න හිත හදා ගන්න බැරි උනා .

හැබැයි ඔන්න ඔහොම ඉන්නකොට Apple M1 චිප් එකත් එක්ක Mac Book Pro එක මුලින්ම එලියට දැම්ම නේ .. අන්න එතකොට නම් අර මෙව්වා එක තවදුරටත් මෙව්වා කරන් ඉන්න බැරි තරමට ඇවිල්ලා මම පොඩි උප්පරවැට්ටියක් කල්පනා කළා .

ඒ දවස් වල බට්ටි නගාට ඔය එක එක දේවල් පාඩම් කරන්න පොඩි ටැබ් එකක් වගේ එකක් ඕනේ වෙලා තිබ්බේ . අපි ගාව තිබ්බ ටැබ් එක ටිකක් මදි . මොකද ඔය Code කෑලි එහෙම රන් කරගන්න බැහැනෙ .

මගේ අර Dell  මැසිම එයාට දෙන්න බැහැ  කියල මම තදින්ම කිව්වා .

ඔය ආකාරයෙන් තර්ක විතරක් ටිකක් කරලා මම ඔප්පු කරලා පෙන්නුවා ඒ කාලේ හැටියට අපිට ගන්න පුළුවන් හොඳම මැසිම Apple M1 Mac Book Pro එක කියල , නමුත් පොඩි කොස්සකට හිටියේ එයාට ඕනේ කිව්වේ පොඩි ස්වීට් එකක් , මට ඕනේ උනේ අඟල් 16 ලොකු එක . 

තවත් ටිකක් තර්ක කරනකොට මට තේරුනා වැඩේ කෙරෙන්න නම් එයා කියන විදියට තමා වෙන්න ඕනේ කියල .. හෙහ් හෙහ් .

කොහොම හරි ඉතින් මම අඟල් 13 එකක් අරන් මගේ Mac Book Pro උණ සනීප කර ගත්තා .

Mac Book Pro ගැන අවුරදු 5කට පස්සේ මට හිතෙන්නේ මෙහෙම , Apple Hardware පට්ට . Software විකාරයි . 

Windows එක්ක ජිවිතේ ලේසියි . 

ඉතින් ඔන්න ඔහොම කාලයක් ඉද්දි මට ජිවිත කාලෙම හිතේ කොණක තිබ්බ ගේමින් ලැප්ටොප් උනත් මතු වෙන්ඩ ගත්තා . 

ඕස්ට්‍රේලියාවට ආවම තමා තේරුනේ මෙහෙ පාරවල් අයිනෙත් ලැප්ටොප් තියෙනවා කියල , ඒ කියන්නේ ඕස්ට්‍රේලියන් රුපියල් 500කට ගේමින් ලැප්ටොප් සූ ගාලා හොයා ගන්න තියෙනවා .

නමුත් ඒ වෙනුවෙන් ඕස්ට්‍රේලියන් රුපියල් 500ක් වියදම් කරන්න හිත හදාගන්න සෑහෙන කාලයක් ගියා . ඒ මොකද කිව්වොත් අර Dell Latitude මැසිම පොළොවේ ගැහුවත් කැඩෙන්නේ නැහැ . ඒ අස්සේ Mac Book Pro එක මටම සින්න වෙලා මොකද බට්ටි නගාට මෙහෙ ආවම ඔෆිස් එකෙන්ම පට්ට එකක් දුන්න හින්දා . ඔය අස්සේ තව ලැප්ටොප් කොස් කොටන්නදැයි මම ම හිත හිත හිටියා .

ඔහොම ඉන්නකොට දවසක් චීන මල්ලි කෙනෙක් දැම්මනේ මුහුණු පොලේ පට්ට ලැප්ටොප් එකක් , එක දැකපු ගමන් මාව නිකං ටාන් වෙලා ටුං වෙලා ගියා. අයේ දෙපාරක් හිතුවේ නැහැ ගියා ගත්තා . 

ඒක ASUS TUF Gaming එකක් . 

ඔහෙලට කිව්වට ඉතින් කමක් නැහැ . මේ වෙද්දී දැම්මේ එක ගේමයි CyberPunk2077. තාම ගැහුවේ දෙපාරයි .

බර වැඩකට කියල කලේ DeepSeek Local install කරපු එක විතරයි . 

එකෙත් 1.5B parameters තමා රන් කරගන්න පුළුවන් . 

ගන්න කලින් කරන්නම් කියල හිතපු කිසිම වැඩක් නොකර ,  ඔහේ ඊමේල් ටිකයි , බුකියයි , යුබටෙයි බල බල ඉන්නවා .. 

සංසාරේ හැටි ඉතින් .. 

කම්මැලි IT කාරයින්ට Gaming Laptop වලින් කරන්න පුළුවන් වැඩ ටිකක් කොටාගෙන ගිහිං ලබන ආත්මෙදි ඔහෙලටත් ගෙමින් ලැප්ටොප් ගන්න හේතු වාසනා වෙන මහා පිණක්  සිද්ද කරගන්න ඔන්න අවස්තාවක් !

Friday, January 10, 2025

Amazon Kindle සහ මගේ පොත් කියවීම

අපි ඉතින් ලියනවා කිව්වොත් ලියනවා ..හෙහ් හෙහ්  (කොච්චර කල් ලියයි ද කියල අහන්ඩ එපා :))

ඔන්න මේ වසරේ නම් මම හෙන බුද්දිමත් වෙන්ඩයි යන්නේ .. ඒ කියන්නේ පොත් කියෙව්වහම බුද්දිමත් වෙනවා කියන සංකල්පය අනුව . මට තියෙන ප්‍රස්නේ එතකොට ,  යු බටේ , බුකිය ,  ටික්ටෝක් එක බැලුවම අපිට බුද්දිමත් වෙන්ඩ බැරිද කියන එක . 

ඔන්න දන්න කෙනෙක් එකට උත්තරයක් දෙන්න .. ඕක හරියට දැන ගෙන ඉන්ඩ ඕනේ ඉස්සෙල්ලා නැත්නම් අපිට කවදාවත් බුද්දීමත්තු වෙන්ඩ බෑනේ .

මේ ගිය අව්රුද්දෙ මම ගත්තා Amazon Kindle එකක් .  ඕක ගැන ඒ දවස් වලම පොස්ටුවක් ලියල රට්ටු දැනුවත් කරන්ඩ තිබ්බා ..ඒ වුනාට  ඒක නිකම්ම මෙව්වා වෙලා ගියා ..

කොහොම හරි පුරුස මෙව්වා එක අරන් මේ අව්රුද්දෙ ලියන්න ගත්ත හින්ද ඒක ගැන ඉස්සෙල්ලම කියල ඉන්ඩ එපෑ ..

මේ තියෙන්නේ මම ඒකට දාපු ලස්සන කවරෙත් එක්ක 
මෙන්න මෙහෙමයි ප්‍රධාන මෙනුව තියෙන්නේ 
අපි පොතක් කියවනකොට මේ විදියට අකුරු ලොකු කරලා , දන්නේ නැති ඉංග්‍රීසි වචන වල තේරුම ඔටෝ එන්න හදාගෙන එහෙම කියවන්න පුළුවන් 
පින්තුර නම් කළු සුදු තමා .. කලර් පින්තුර බලන්නයි පොත් කියවන්නයි දෙකක් කරන්ඩ බෑ  කියල Amazon එකේ බෙසොස් අයියා නම් කියන්නේ ..


ඔය මොන ගැජට් එක ගත්තත් සල්ලි දීල පොත් ගන්ඩ තියෙන මෙව්වා එක මෙව්වා වෙන්නෙත් නැහැ .. ඒක  හින්දා මේ ගිය දෙසැම්බරේ ලංකාවට ගිය වෙලාවේ ගත්තු පොත් ටික මේ ..

මේකට අමතරව අර මැයි මාර ප්‍රසංගය කියන පොඩි පොතත් ගත්තා .. ඒක එක හුස්මට (එක හුස්මට කිව්වට හුස්ම 1500ක් විතර ගත්තා ) කියෙව්වා .. ලස්සන කතාවක් .. ඒ පොත මම තියල ආවා ..

ඊට පස්සේ ඔය තිලෝපාගේ මහා මුද්‍රා ගීතය ටිකක් කියෙව්වා .. පස්සේ අනුන්ගේ ලේ කියවන්න ගත්තා .. ඔය පොත මම පොඩි කාලේ ඉඳල දකින ,  නමුත් කවදාවත් ගත්තේ නැති පොතක් .. 

අනිත් එක ඈ හෙවත් අයේෂා ගත්තා .. ඕක කියවල තියෙනවද කොහෙද ඒත් දැන් මතක නැහැ .. අයේෂා කිව්වම ඇලෙන්ඩි කෙල්ලවත් මතක් උනා ඉතින් .. සංසාරේ හැටි නේද .. හෙහ් හෙහ් ..

බව තරණය කොල්ලා කාලේ කියවල තියෙනවා .. දැක්ක හින්ද ගත්තා .. නාකි වෙලා කියවනකොට කොහොම හිතෙයි ද කියල බලමු ..

පාවුලෝ කොයියෝ ගේ එකක් ගත්ත .. සමහර ඒවා එච්චර අල්ලන්නේ නැහැ .. මේක කොහොමද කියල බලමු 

භික්ෂුව සහ දාර්ශනිකයා සහ එක් රැයෙක නවාතැන මට ආපු හොඳ රෙකමදාරුවක් හින්ද ගත්තේ .. 

ආපහු එන දවසේ සරසවි එකට ගිය වෙලාවේ කැමෙලියා ගත්ත එක නම් 80% විතර flight එකේදිම කියෙව්වා .. කතාව හොඳ උනාට ලියල තියෙන උපහැරණ ටිකක් දුර කියවනකොට වදයක් වෙන තරමට වැඩියි කියල මට හිතුනා .. සමහර වෙලාවට සරල දේ සරලව කිව්වනම් කියවන කෙනාට ලේසියි ..

අන්තිමට බෝදිනී දොස්තර නෝනගේ සායනික සටහන් නෙමේ එකත් ගත්තා .. හැමදාම ගන්න හිතාගෙන හිටපු එකක් .. එකත් හොඳ ඇති 

ආ ෆොටෝ එකට ගන්න අමතක වෙච්ච තව එකක් තමා සුරත් ද මැල්  මහතාගේ ළමුතු අමයා පොත .. එකත් හොඳ ඇති කියල හිතල ගත්තේ .

ආ කින්ඩල් එකෙන් මම ප්‍රංස පෙම්වතා සහ හර්මන් හෙසගේ සිද්ධාර්ථ කියෙව්වා .. තවත් එකක් දෙකක් කියවන්ඩ ගත්තා 

මේ අව්රුද්දෙ ඔය පොත් සහ තව සැරෙන් සැරේ අරන් ගොඩ ගහගෙන ඉන්න අනිත් පොත් ටිකත් කියවල ඉවර කරලා ,  හෙන බුද්දීමතෙක් වෙන්ඩ ලැබේවා කියල ආයේ සාදු කාරයක් දෙන්ඩ !!


Tuesday, January 07, 2025

ලියනවා ලිවිල්ලක්

මේ අව්රුද්දෙ නම් බ්ලොග් ලියනවා ලිවිල්ලක් .. ඔන්න බලන් ඉන්ඩකෝ ..

එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා !

අනුර අයියට හොරු අල්ලලා ,  හොරුන්ගේ සල්ලි වලින් හාල් පොල් අරන් , රිලව් මරල ,  ලංකාව සුද්ද කරලා ,  බස් වල කෑලි ටික ගලවල , 33 කෝටියක් දෙවියන්ට ඉස්පිරිතාල හදනවට නඩු දාල සිරි ලංකාව දියුණු කරලා ඔහෙලට නිදහසේ මං ලියන බ්ලොග් කියවන්ඩ හේතු වාසනා වේවා කියල සාදු කාරයක් දෙන්ඩ 

Thursday, September 12, 2024

මම බීලද ? මට වෙරි ද ?

බයියන්ගේ වචනය ජාතිවාදය විය එයින් අප බ්‍රේන්වොෂ් විය. 

ටොයියන් හොරු සමග හෙළුවෙන් සිටියෝය. 

ජෙප්පන් ගේ වචනය හොරකමය එයින් අප බ්‍රේන්වොෂ් වෙමින් සිටිමු.

සියල්ලටම හේතුව ජාතිවාදය බවද , එය නැති වූ කල රට සුකිත මුදිත වන බව අප විස්වාස කලෝය .

ජාතිවාදය බොරුවක් බවද , අවශ්‍ය වන්නේ යහපාලනයක් බවද , එයින් සියල්ල යහපත් වී අපි දියුණු වන බව අපි සිතුවෝය .

උගත්තු සමග හිට්ලර් කෙනෙක් ඇවිත් උගතුන්ගේ සහ හිට්ලර් ලාගේ හැටිද අපිට කියා දුන්නේය .

අවසානයේ පරිණත ජෝකර් කෙනෙක් යන්තම් පණ කෙන්ද රැකගැනීමට හැකිවන මට්ටමට ගෙන ආවේය. 

ඔය හැම මගුලක්ම වරදින්නේ ඔක්කොම හොරු බැවින් ද , හොරු නැති , හොරු අල්ලන අය අපිට ඕනෑ බවද , රටේ දියුණුව වෙනුවෙන් ගත යුතුව තිබූ බොහෝ තීරණ වලදී ඒවාට අකුල් හෙලූ , ලෝකයේ  විනාස වී යන මතවාද වලින් රටේ තරුණයින්ගේ මොලය විකෘති කරමින් සිටින , වචන වලින් සිහින ලෝක මවන ,  මෝඩ (මිනීමරු)  විප්ලවාදින්  පිරිසක් පසුපස දැන් අපි දුවමු. බ්‍රේන්වොෂ් කිරීම සාර්ථකය. 

රටින් එන උගත්තු ඔබ සමග රට හදන්නට  සදා ඉන්නේ නැත . ඉන්න කැමැත්තෙන් එන සියල්ලෝම සහෝදරවරු වීමට කැමති වන්නේද නැත . සහෝදරයින් හැර වෙනකෙකු සමග සාමයෙන් ජිවත් වීමට උපන්ගෙයි ජෙප්පන් දන්නේ ද නැත .

මාලිමාව උතුර දකුණ මාරු කර අයාලේ යැවුවිට යලි හරි පාරට ගන්නට පරිණත ජෝකර්ගේ පණ කෙන්ද අල්ලං සිටීදැයි විස්වාසයක් ද නැත. 

ධනපතීන්ට ඉරිසියා කරමින් හැදුනු , නොමිලේ ලැබෙන කම් බලා සිටින, නොදුන් විට බලෙන් හෝ ලබා ගැනීමට පුරුදු පුහුණු කරවූ රැලක් සමග දියුණු රටක් ගැන සිහින දකින සිරි ලාංකික අපිට තාර්කික බුද්ධිය ඇර අනිත් හැම ගොබ්බ හැකියාවක්ම ඇති බවට මීට වඩා සාක්කි ඕනෑ ද ?

මට වෙරි ද කොහෙද ... !

Saturday, July 27, 2024

බ්ලොග් ෂෝර්ට්ස් - වචන 100යි !

අපි මැවුම්කාර දෙවියාට හෝ මැරෙණ උපදින යාන්ත්‍රණයට බයේ ජිවත් වෙනවා . ආදම් හා ඒවා මැව්වේ දෙයියා උනාට මේ දැන් ඉපදිච්ච දරුවාව මවන්නේ දෙයියා නෙමේ . හැමදේම කවදාහරි විනාස උනාට, අපි ජිවත් වෙන පුංචි සීමාව අපි ඉන්නකම් විනාස වෙන්නේ නැහැ . අපිට ඉන්නේ මේ මහා පොළොවේ ඉන්න ජීවියෝ ටික විතරයි! හාස්කම් කරන්නේ දෙයියා හෝ ප්‍රාණයක් නැති  විශ්ව බලය නෙමේ. මේ ලෝකේ ඉපදිච්ච පලවෙනි සත්වයාගේ පටන් ජාන වලින් එකතු වෙච්ච දත්ත ටිකයි,  ඒ දත්ත අපිට ඕනේ වෙලාවට ප්‍රොසෙස් කරලා දෙන මොළයයි. අපි දත්ත වලින් හැදුනු, දත්ත හොයන්න ජිවත් වෙන, ක්වන්ටම් මට්ටමෙන් එකිනෙකාට සම්බන්ද, විද්‍යුත් චුම්භක බලෙන් දුවන , කාබනික මැෂින් බොලව් !

Friday, April 05, 2024

Bitcoin නුයි මායි

මම බිට් කොයින් එක්ක ගනුදෙනු කරන්න පටන් අරන් දැන් අවුරුදු 4, 5ක් විතර වෙනවා. අපි පටන් ගන්න අලුත් වැඩ හැම එකම කිසි බාදාවකින් තොරව ගානට, ලස්සනට  කෙලවෙලා  යන ගතිය හින්ද මේවා ගැන කාටවත් කියන්නත් ලැජ්ජයි වගේ ..  ඒ උනාට මේ අපි වගේ මන්ද  ඩයල්  ලියන ඒවා  කියවල මේවා කරන්න හදන ඔහේලටත් කෙළවෙන්න කියල මම ලියල දානවා .. 

දැන් ඔය Bitcoin  ගැන කවුරු හරි නොදන්නා කෙනෙක් ඉන්නවනම් , ගිහින් පොල් ටිකක් ගාල එහෙම  පලකට ඇති වැඩක් කරගන්න .

ඕක ගැන හොඳටම දන්න අය ඉන්නවනම් ඒ ගොල්ලොත් ගිහින් තමන්ගේ වැඩක් බලා ගන්න

දැන් ඕක ගැන උනන්දු, ඒ උනාට හරියට මොකුත් නොදන්න, අපිට කොහෙන්ද බිට් කොයින් ගන්න සල්ලි , ඕව පව්කාර වැඩ , සුදූ කෙලින්න හොඳ නෑ පව් සිද්ද වෙනවා කියල හිතන ටිං ටිං ඩයල්  (අපේ දේසක වගේ එල කොල්ලෝ නම්  නෙමේ හරිද  ) එහෙම ඉන්නවනම් අන්න ඒ ගොල්ලන්ට කරන්න වෙන වැඩකුත් නැති එකේ මේක කියෙව්වට කමක් නැහැ ..

2009 ඔක්තෝබර් මාසේ ලෝකෙට  හඳුන්වල දුන්න මේ බිට් කොයින්  එකෙන් සිදු වෙච්ච මුල්ම ගනුදෙනුවේදී මේකේ වටිනාකම වෙලා තියෙන්නේ $0.0009. එදා ඉඳල අද වෙද්දී මේ කොයින් එකක වටිනාකම $73,780.07 දක්වා ගිහින් තියෙනවා.



අනේ ඒ කාලේ ඕවා ගන්ඩ අපිට සල්ලි තිබ්බේ නැහැනේ  කියල  දැන් ඉතින් අපි හිත හදාගමු .

මම 2013 දී හෝ 2014 දී වගේ මුලින්ම මේ Bitcoin  සීන් එක දැන ගත්ත.. මට හොඳට මතකයි මැලේසියාවේ ගෙදෙට්ට වෙලා හිටපු හවස් වරුවක ඔන්න ඔහේ ඕනේ එකක් වෙන්න එකක් අරන් දානව කියල හිතලත් එක්කෝ මේ තියෙන රුපියල් සීය පරිස්සං කරගෙන ගිහින් ටොපියක් කන එක ඊට වඩා හොඳයි කියල හිතෙන අපේ ශ්‍රී ලාංකික මෙව්වා එක නිසා ඔය වැඩේ අතෑරලා දාපු හැටි ...  ඒ වෙද්දී $100 කට කොයින් කැල්ලක් දෙකක්  ගන්න පුළුවන් කම තිබ්බ මම හිතන්නේ ..   ඒ දවස් වල මම පාවිච්චි කලේ ඔපිස් එකෙන් දුන්න ලැප්ටොප් එක හින්ද ඔය අනවශ්‍ය වැඩ කරන්න පොඩි මෙව්වා එකකුත් මට තිබ්බා .  මොකද ඒ අපි මැලේසියාවට ගිය අලුත හින්දා ..

හරි දැන් ඒ බයිලා වැඩක් නැහැ . උපතින්ම ගෙන මෝඩ ගති මකලවත් හදන්න බැහැනෙ .

ඊට පස්සේ මම ඔය වැඩේට අත ගැහුවේ 2019 හරි 2020 වගේ . .. මම එතකොට වැඩ කලේ මැලේසියාවේ Stock Exchange එකට සම්බන්ධ Stock Brokering ප්‍රොජෙක්ට් එකක.

ඔහේලට කියන්න 2010-2013 කාලේ මම වැඩ කරපු ආයතනයේ කරපු  ප්‍රොජෙක්ට් එකක් තමා Colombo Stock Exchange Android App එක. ඒ වැඩේ ලීඩ් කලේ මම .  Google Play එකට දාපු මගේ පළවෙනි Android App එක ඒක. පස්සේ ඒ ප්‍රොජෙක්ට් එක වෙන කොම්පැනියකට දුන්නා සහ මම ඒවා දාල 2013 මැලේසියා ආවා .

මේ ටික කිව්වේ මට යට ගිය දවස ඉඳලම ඔය Stock Trading   වැඩේ ගැන පොඩි පොඩි මෙව්වා තිබ්බට ජිවිතේට ඕක කරලා බලන්න හිතිලා නැහැ.  එහෙම තමා අපිට පෙර පව් පලදෙන්නේ ... හෙහ් හෙහ් ..

කොහොම හරි  ඔය 2020 වගේ දවස් වල හිටපු චීන යාලුවෙක් Bitcoin වැඩේ  කරනවා කියල දැනගෙන මිනිහගෙන් පොඩි විස්තරයක් අහල තමා මම ඕක පටන් ගත්තේ.

ඒ දවස් වල මැලේසියාවේ ජනප්‍රිය වෙලා තිබුන etoro කියන app එක තමා මම ඔය Bitcoin  Trading වලට පාවිච්චි කලේ .

දැන් අපේ ඔලුවේ Bitcoin   ගැන තියෙන්නේ Bitcoin  එකක් අරගෙන ඒක විකුණලා සල්ලි හම්බකරන එකනේ. හැබැයි අපිට Bitcoin   කොයින් එකෙන් 0.00001 විතරත් අරගෙන සල්ලි හම්බ කරන්න පුළුවන් ..ඔය Apps වලින් කරන්නේ ඒක .

ඒ කියන්නේ මම ඩොලර් 100ක වටිනාකමට Bitcoin   0.000000000001 විතර අරගන්නවා .  කොයි වෙලාවේ හරි Bitcoin  එකේ වටිනාකම මම ගන්නකොට තිබ්බ වටිනාකමට වඩා අඩු / වැඩි වීම අනුව මම ආයෝජනය කරපු ඩොලර් 100, ඩොලර් 105 හෝ ඩොලර් 95 හෝ වෙන්න පුළුවන් . 105 උනොත් ඔයාට ඩොලර් 5ක් ලාබයි , නැත්නම් 5ක්  පාඩුයි .

ලාබෙ හෝ පාඩුව අපිට වෙන්නේ Bitcoin   0.000000000001එක අපි විකුණන වෙලාව අනුව,  ඒ කියන්නේ 105 වෙලාවේ විකුණලා අපිට ඩොලර් 105ක් ආයේ අපේ බැංකුවට ගන්න පුළුවන් .

හැබැයි 95 දී වික්කොත් අපිට 5ක් පාඩු වෙනවා . Bitcoin කියන්නේ Highly Volatile Asset එකක් . ඒ කියන්නේ විනාඩි ගානක් තුල මිල ගොඩක් අඩු වැඩි වෙන්න පුළුවන් .

දැන් ඔය App වලින් අපිට Bitcoin මිල  Real Time අඩු වැඩි වෙන හැටි බලාගෙන ඉඳල ඉතින් ගානක් හම්බ කරගන්න පුළුවන් . 

මම 2021 ඔහොම Bitcoin මිල උපරිම වැඩි වෙච්ච වෙලාවක ගත්තු ටිකක් ලාබ වෙනකම් මේ 2024 පහුගිය මාසේ වෙනකම් බලං හිටියා .. හෙහ් හෙහ් .. හරි වෙලාවට ගන්න විකුනන එක කරන්න ලේසි නැහැ .. නමුත් බැංකුවක අවුරුදු ගානක් සල්ලි ඔහේ තියල තියෙනවට වඩා මේ වගේ දෙයක් කරන එක හොඳයි කියල මට හිතෙන්නේ .. නමුත් තියෙන ඔක්කොම සල්ලි දාන එක නම් මහා මෝඩ කමක් ..

ඔය app එකේ පුළුවන් virtual money වලින් ඔය වැඩේ කරලා පොඩ්ඩක් ඉගෙන ගන්න , තව ඕනනම් සිරා investors ල invest කරන asset ඒ විදියටම කොපි කරලා අපිටත් ඒවාට invest කරන්න සහ තවත් ගොඩක් දේවල් සහ stock වර්ග තියෙනවා .

මේ වැඩේ  හිතන තරම් ලාබදායි හෝ ලේසි නැහැ .. නමුත් කරන රස්සාවට අමතරව ටිකක් රිස්ක් එකක් අරගෙන වැඩි මහන්සියකින් තොරව කරන්න පුළුවන් වැඩක් .

නමුත් උනන්දුවක් තියෙන අපේ දේසක වගේ අයියලට මේ වැඩේ කරලා බලන්න පුළුවන් 

ආ වැදගත් ම දේ  තමා මේ 2024 අප්‍රේල්  මාසේ 21 වෙනිදට දැනට ලෝකේ පුරා තියෙන Bitcoin ප්‍රමාණය හරියටම බාගයක් කරනවා කියල එක හදපු Satoshi Nakamoto අයියා කාටද ඊමේල් එකක් එවල කියල තියෙනවලු .. ඔය වැඩේ සෑම අවුරුදු 4කට සැරයක් කරනවලු .. ඒකට කියන්නේ Bitcoin Halving. එහෙම කලාම එකක්  Bitcoin එකක වටිනාකම තව වැඩි වෙන්න පුළුවන් සහ Bitcoin Mining කරන අයට වැඩේ අමාරු වෙනවා . අනිත් එක තමා දැනට පවතින මුදල් වලට සමානව බාවිතා කරන්න පුළුවන් Bitcoin අගයත් වඩා හොඳ වෙනවලු .. ඒ කියන්නේ ඩොලර් 1000ක් Bitcoin 0.0001 වගේ වෙන එක මම හිතන්නේ .. ටිකක් රවුම් වෙනවා . මටත්  ඕවා වැඩිය තේරෙන්නේ නැහැ ..  ඔහෙලට තේරෙනවනම් මටත් කියල දෙන්න .



Tuesday, January 30, 2024

ඕස්ට්‍රේලියාවයි මායි ශිව දෙවියොයි

ඕස්ට්‍රේලියාවයි මායි හම්බවෙලා දැන් අවුරුදු 2ක් ඉවරයි . හ්ම්ම් වෙන ඕනෙම හමුවීමක් වගේ මේකත්  ආතල් සහ බෝරින් ..

ආතල් ගැන කිව්වොත් එහෙම හම්බකරන සියල්ල ජිවත් වෙන්න වියදම් කරලා ගෙයක් ඇතුලට වෙලා කාගෙන්වත් කරදරයක් නැතුව ඉන්න පුළුවන් .

හම්බ කරන එක මදි කියල හිතෙනවා නම් රස්සාවල් 3-4ක් හරි කරන්න පුළුවන් 

සහ අනිත් ඔය දියුණු රටවල තියෙනවා කියන පහසු කම් අඩු වැඩි වසයෙන් තියෙනවා 

ආ තව සමර් එකේ රස්නේ දවස් වලට බාගෙට ඇඳගත්ත සුද්දියෝ බලන්නත් පුළුවන් ...

බෝරීන්  වෙන්නේ පාරකට බැස්සට හෝන් සද්දයක් , අස්සෙන් දාන ත්‍රිවිල් එකක් , බයික්කෙකක් ආසාවට නැහැ ..

හදිසියකට විනාඩියෙන් දුවල  බඩුවක් අරන් එන්න කඩයක්, තේ කඩයක්  අහල පහලක නැහැ 

මොන මගුල කරන්න ගියත් පිළිවෙලකට ඇපොයින්මන්ට් දාල වෙලාවට ගිහින් කරගන්න ඕනේ... 

ඊට පස්සේ කොහෙට ගියත් හලෝ කොහොමද කියල අහල  මොනවා හරි කතා කරන්නම ඕනේ .. අපිට ඕන විදියට බුම්මගෙන, අහක බලාගෙන එන්න බැහැ .. එහෙම එන්න පුළුවන් .. ඒ උනාට අනිත් එකා ගැන දුක හිතිලා මොනවා හරි කියන්න සිද්ද වෙනවා ..

චුන් පාන් , මාළු කාරයෝ , ආදාර කාරයෝ නැහැ ..

ඉඳල හිටලා තැනක හෝම්ලස් වගේ ඩයල් එකක් සිංදුවක් කියල කීයක් හරි දාල යන්න පෙට්ටියක් තියාගෙන ඉන්නවා මිසක් අපිට පිනක් සිද්ද කරගන්න පුළුවන් විදියේ අසරණයෙක් දකින්නවත් නැහැ ..

තව ඉතින් වැඩිපුර ලියන්න ඕනේ නැහැනේ . ඔහෙලට හිතා ගන්න පුළුවන් ඇතිනේ  මම මේ කියන තත්වේ ගැන ..

********

මම මේ පහුගිය ටිකේ අර Amish Thripathi කියන ඉන්දියානු ලේඛකයා ලියපු Shiva Trilogy  එකේ සිංහල පරිවර්තන කියෙව්වා . කුමාර සිරිවර්ධන මහත්තයාගේ පරිවර්තනය ඉතාම රසවත්.. 

ඔය කතාවේ ඉන්නවා සූර්ය වංශිකයෝ සහ චන්ද්‍ර වංශිකයෝ කියල දෙපිරිසක් . 

සුර්ය වංශිකයෝ හරියට ඕස්ට්‍රේලියනුවෝ වගේ .. නීති ගරුක , ආචාර ශීලි , පිළිවෙලට වැඩ කරන හරි හොඳ මිනිස්සු, දුප්පතුන් කියල කොටසක් නැහැ ... ආණ්ඩුවෙන් හැමෝටම එකහා සමානව සලකනවා..  

චන්ද්‍ර වංශිකයෝ සිරි ලාංකිකයෝ වගේ .. නීතියට බය උනාට හීන් සීරුවේ තමන්ගේ වැඩේ කරගන්න ඕනේ ගේමක් ගහනවා.. ඊට පස්සේ එක්කෝ හිරේ යනවා , නැත්නම් චන්දෙ ඉල්ලලා පස්සේ හැප්පිලා මැරෙනවා ...  අචාර ශීලි කිව්වට ආචාරශිලිම නැහැ .. පිළිවෙලක් වැඩක් නැහැ වැඩේ කෙරෙන්නේ කොහොමද ඒක තමා ක්‍රමේ ... ආණ්ඩුවෙන් සැලකුවේ නැති උනාට තමන්ට කන්න තියෙන දේ උනත් අනුන්ට දීලා හිනා වෙලා ඉන්න මිනිස්සු ඉන්නවා .

හැබැයි එකේ ඉන්න චන්ද්‍ර වංශිකයින්ට  සුර්ය වංශික රට වෙච්ච ඕස්ට්‍රේලියාවට පැන ගන්න කිසිම උවමනාවක් නැහැ .

ඔය කතාවේ කතා නායකයා වෙච්ච ශිව දෙයියෝ මුලින්ම එන්නේ සුර්ය වංශිකයෝ ඉන්න  ඕස්ට්‍රේලියාවට, ඒ ඇවිල්ලා ඒ රටේ ක්‍රම සහ විධි දැකල ශිව දෙවියෝ වශී වෙනවා .. පස්සේ කාලයක් යනකොට ශිව දෙයියෝ ඉන්දියාව පුරා ඇවිදින්න යනවා ... ඒ යනකොට ශිව දෙවියන්ට තේරුම් යනවා මේ ඕස්ට්‍රේලියාවේ මිනිස්සුන්ගේ සිස්ටම් එකේ තියෙන අවුල. 

ඒ එක්කම චන්ද්‍ර වංශික සිරි ලාංකිකයෝයි, නාගයෝ වගේ ඉන්න අප්‍රිකානුවොයි , සල්ලි කාර බ්‍රන්ගා වරු වගේ ඉන්න චින්නුයි උන්ගේ රටවල ගෙවන්නෙත් වෙනස්ම විදියක ආතල් සහ සමහර විට සුර්ය වංශික ඕස්ට්‍රේලියානුවන්ට වඩා පරිපුර්ණ ජිවිතයක් කියන එක ශිව දෙයියෝ නම් තේරුම් ගන්නවා.

ඊට පස්සේ මොකද උනේ කියල දැන ගන්න ඒ පොත් ටික අරගෙන කියවන්න . ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් නම් https://www.yaaya.com.au/ ඕකෙන් ගන්න පුළුවන් සිංහල පරිවර්තන තුනම .

********

ඔබට ඕස්ට්‍රේලියාවට එන්න ආසාවක් තියෙනවා නම් කොහොම හරි ට්‍රයි කරලා එන්න. ඒක ජිවිතේට හොඳ අත්දැකීමක් !

මේ තියෙන්නේ ඕස්ට්‍රේලියාව 

වින්ටරයේ පාළු උදෑසනක මෙල්බන් හන්දිය 

ඕටමයේ  දිනෙක වයින් වත්තක් 

කැලේ මැද්දේ පාරක් 
 කොහේදෝ යනකොට දැක්ක මොකක් දෝ ජලාශයක් 
 හරි ලස්සන ගස් 
ඕස්ට්‍රේලියාවටත් ඉර බහිනවා . ඔය ඈතින් පේන්නේ මෙල්බන් හන්දිය 
මං ආසම පාළු පාරක් 


ලංකාවේ ජිවිතේ ස්ථාවර තැනක තියෙනවනම් ඒ කියන්නේ ගෙයක් දොරක් හදාගෙන , වාහනයක් දෙකක් තියාගෙන, දරුවෝ ඉස්කෝලේ යන, නෑදෑයෝ යාලු මිත්‍රයෝ එක්ක අවුලක් නැතිව ඉන්න පුළුවන් කෙනෙක් නම් , ඕස්ට්‍රේලියාව කියන්නේ අමුතු ලොකු සීන් එකක් නෙමේ ..  එහෙම ලොකු සින් මවන, රට ඉඳල එන අයගෙන් තමා පරිස්සම් වෙන්න ඕනේ .. හෙහ් හෙහ් 

ජිවිතේ තියෙන ප්‍රශ්න ටික ඕස්ට්‍රේලියාවේ නෙමේ මොන දිපන්කරේ ගියත් ඒ විදියටම තියෙනවා . ඒ ප්‍රශ්න ටිකට මුහුණ දෙන්න සාපේක්ෂව හොඳ සහ නරක ක්‍රම ඒ ඒ රටවල මිනිස්සු හදාගෙන තියෙනවා . අපි ඒ ප්‍රශ්න සහ තියෙන ක්‍රම දිහා බලන්නේ මොන විදියට කියන එක අනුව රටේ සහ අපේ ජිවිත වල හොඳ නරක තීරණය වෙනවා . 

ඕස්ට්‍රේලියන් ෆැන්ටසිය ඔයාගේ සිහින වලට ඉක්මනට යන්න උදව් කරයි. හැබැයි ඒ  වෙනුවෙන් ගෙවන්න වෙන මිල ගැන හරියට අවබෝධ කරගෙන ඒ ෆැන්ටසියට එන්න කියන එක තමා මගේ නම් අදහස.