Thursday, March 10, 2011

ආදරණීය ඩ්‍රොයිඩයන්....

ANDROID ගැන මේ දවස් වල නොදන්න කෙනෙක් නෑ නේ (අපේ අම්මලගේ පරම්පරාවේ අය නැතුව). මමත් මේ අද ඉඳල පොඩි ANDROID ඇප්ලිකේෂන් එකක් හදන්න පටන් ගත්ත නිසයි මේ ලියන්නෙ හිතුනෙ. මම ANDROID ගැන දන්න දෙයක් නම් නෑ. තාම ඉගෙන ගන්නවා. 


ANDROID ලෝගෝ එක දැක්කම කෙනෙක් ව මතක් උණා. ඇත්තටම ඒක නිසයි මේක ලියන්න හිතුණේ... ටී.වී එකේ කාටුන් බලපු... මම හිතන්නේ ITN එකයි රූපවාහිනියයි විතරක් පෙනුන කාලේ වගේ ට්.වී එකේ කාටුන් බලපු අය ඉන්නවනම් මෙයාව මතක් වෙන්න ඕනේ... 


මේ ඉන්නෙ C3PO(See-Threepio). 


මේ ඉන්නේ ලෝකප්‍රසිද්ධ චරිතයක්. අපි හැමෝම දන්න Star Wars  කතා මාලාවේ ඉන්න දන්න කියන ඩ්‍රොයිඩයක්. 




මේ ඉන්නේ R2D2 (Artoo-Detoo). See-Threepio ගේ අතිජාත මිත්‍රයා.  මේකේ C3PO කියන්නෙ පිස්සු ලෝකයක් හැබැයි මේ බට්ටා R2D2 මොළ කාරයා. C3PO ගේ පිස්සු වැඩ වලට උදව්පදව් දෙන්නෙ වගේම ටිකක් හිතල බලල වැඩ කරන්නෙ මෙයා තමයි. එකම දේ මෙයාට තේරෙන්නේ මැෂින් භාෂාව විතරයි. ඒ කියන්නේ ඔය එක එක බීප් සද්ද වගේ දේවල්. මිනිස්සු එක්ක වැඩ කරද්දි මෙයාගේ සහයට ඉන්නෙ C3PO. මොකද මෙයාගේ යන්ත්‍ර භාෂාව තේරෙන්නෙ C3PO ට විතරයි.

ලියාගෙන යනකොට ලුක් ස්කයිවෝකර්ඩාත් වේඩාර් ,ඔබී-වන්-කෙනෝබි ඔය ඔක්කොම ඉතින් මතක් නම් වෙනවා. 


ඔක්කොම ගැන ලියන්න ගියොත් මේ ඩ්‍රොයිඩයන් ගැන මතක් වෙලා ලියන්න පටන් ගත්ත එකට නිකන් හරි නෑ වගේ නේ. කොහොම හරි  Star Wars ගැන අහලවත් නැති කාලේක ටී.වී එකේ මේ රොබෝල දෙන්න ඉන්න කාටූන් එක බලන්න හරි ආසවෙන් හිටපු හැටි මතක් වෙනවා.. පස්සේ කාලෙක  Star Wars  ෆිල්ම් එක බලද්දි තමා මෙයාල කවුද කියල හරියටම දැන ගත්තේ.  R2D2 සහ ANDROID ලෝගෝ එක අතර සම්බන්ධයක් තියෙනව ද කියල නම් මම දන්නේ නෑ. නමුත් ANDROID දැන් දැන් මොබයිල් මාකට් එක වේගයෙන් ආක්‍රමණය කරන්න හේතුව මිනිස්සුන්ගේ හිත ඇතුළේ ඉන්න මේ පුංචි රොබොට්ට ද කියල නිකමට වගේ හිතුණා. 


ANDROID Open source කියන එක වගේ තාක්ෂණික දේවල් පාවිච්චි කරන ගොඩක් මිනිස්සු දන්නෙ නෑ නේ..


කොහොමත් අපේ හැංඟිච්ච සිතුවිලි මාකට් කරන එක තමා මේ කාලේ ගොඩක් අය කරන්නේ... 







Friday, March 04, 2011

ජීවිතේ ගැන අපි දන්න බම්බුව

අපි ගොඩක් අය හෙන පොර ටෝක් දානවා (මමත් ඇතුළුව) ජීවිතේ අපි විඳල තියෙන දේවල් බැලුවම ඕව මොනවද කියල... අනිත් අයට හෙන උපදෙසුත් දෙනවා... (මමත් ඇතුළුව).... මේ පහළින් තියෙන වීඩියෝව මම මීට අවුරුදු 3-4 කට කලින් දැක්ක... මගේ ජීවිතේ සෑහෙන්න වෙනස් වුණා... මේක ඔනලයින් හම්බ වුණේ අද... තම තමන් දුක් වෙන දේවලුයි... අනිත් අයට උපදෙස් දෙන්න තරම් තමන් විඳල තියෙන දුක් ගැනයි දෙපාරක් (එක පාරක් හරි කමක් නෑ) විතර හිතල බලන්න මේක උදව් වෙයි කියල හිතුණ.

සතුට සහ දුක කියන්නේ තමන්ගෙම හිත මිසක් වෙන කිසිම දෙයක් නෙවෙයි කියන එක තේරුම් ගන්න මේක අපි කාට කාටත් උදව් වෙයි....



මේක නැවත මතක් කරල දුන්නෙ මෙන්න මෙයා .

Tuesday, March 01, 2011

රෑට නැති නුවණ උදේට ලබා දෙන ලස්සන වසීලිස්සා



                      අපේ පවුලේ පරම්පරා 3ක විතර ළමා කාලය සුන්දර කළ ලස්සන වසීලිස්සා පොත

ලස්සන වසිලිස්සා පොත කියවල නැති කෙනෙක් ඉන්නවනම් වයස තාරාතිරම ගැන හිතන්නේ නැතුව අදම ඒක කියවන්න කියල මුලින් ම කියන්නම්... මොකද ඉවාන් කුමාරය,බාබයිගා යකින්න,නිදිමන්තර කාර පූසා, නොමැරෙන කසෙයි රාක්ෂයා,රන්කෙඳි අස්සයා, අන්ද්‍රේ, සිමියොන්ලා 7 දෙනා, මාර්යා මොරෙව්නා  වගේ කට්ටිය අදුරන්නේ නැතුව මේක කියවන එක වැඩක් නෑ. අඩුම තරමේ නපුරු බිරියෝසා ගස් ගැනවත් දැනුමක් නම් තියෙන්නම ඕනේ.. හප්පා.. නැති රටේ ඉන්න නැවුං මස්සිනාව අමතක වුණා නේ... අනේ සොරි මචං...

 බාබායිගා යකින්න වංගෙඩියක් උඩ නැගල කොස්සෙන් පාර පිහදම දමා අහසින් යන්නේ මෙන්න මෙහෙම. මෙයාගේ නහය ගොඩාක් දිග නිසා රාක්කයක් උඩ තමා තියල තියෙන්නෙ... යටිපතුල් පොරවගෙන තමා නිදා ගන්නේ... ඔය ලොකුවට තියෙන්නෙ නපුරු බිරියෝසා ගහ.  ළඟට එන මිනිස්සුන්ගේ ඇස් උගුල්ලලා දානව ඔය ගහ. හරිම භයානකයි... වසිලිස්ස ඉතින් කාටත් කරුණාවෙන් සළකන නිසා නපුරු බිරියෝසා ගහත් මෙල්ල වුණා.


කුකුලෙකුගේ කකුලක් උඩ කරකැවෙන යකින්නගේ ගේ පොඩිත්ත. වටේටම තියෙන්නෙ මිනී ඔළු ගහපු වැට. වැට ගාව තියෙනවා නපුරු බිරියෝසා ගහක්.. සෙල්ලං නෑ... ගේ ලඟට ආපූ කෙනෙක් ලේසියෙන් යකින්නගෙන් ගැලවිලා නම් යන්නෙ නෑ... බොහෝම හිත හොඳ කරුණාවන්ත, බුද්ධිමත්, දක්ෂ අයට විතරයි බේරිලා යන්න පුළුවන්...ඒකත් යකින්න පවරන වැඩ ටික ඉවර කලොත් විතරයි...
නිදිමන්තර කාර පූසා තමයි පූසා... ඌ කියන නින්ද යන කතන්දර අහගෙන මෙලෝ මිනිහෙකුට ඇහැරගෙන ඉන්න බෑ... අනිත් එක පේනවනේ නපුරු කම, අන්ද්‍රේ යාන්තම් ගැලවුණේ එයාගේ බිරිඳගේ මොලේ නිසා තමා.  අන්දරේ ඉතින් අහිංසක මනුස්සයනේ හැබැයි එයාගේ ලස්සන නෝනා එහෙම නෑ.. එයා මායා කාරියක්...
    
ඉවාන් කුමාරය ලස්සන යෙලේනා කුමරියත් එක්ක රන්කෙඳි අශ්වයා පිටේ එන අපූරුව බලන්න එපෑ... අල්ලගත්ත ගිනි කුරුල්ලවත් කූඩුවේ දාගෙන... මොන සටනක් දීල ද මේ තුන් දෙනාව ලබා ගත්තේ... ඉවාන් කුමාරයට රජ්ජුරුවන් ගෙන් තියෙන කරදර ගැන නම් කියල වැඩක් නෑ...දැන් කාලේ වගේම තමා...ලස්සන කෙල්ලෙකුට ඉස්සරත් නිදහසේ ඉන්න නෑ... කොහොම උනත් අන්තිමට ඉතින් දුෂ්ටයට කෙල වෙනවා..


මේ ඉන්නේ නොමැරෙන කසෙයි රාක්ෂයා... මෙයාව කවදාවත් මරන්න බෑ... බොහෝම ලස්සන මාර්යා මොරෙව්නා ගේ ආදරේ වෙනුවෙන් නිර්භීත කුමාරයෙක් නොමැරෙන කසෙයි රාක්ෂයා එක්ක කරන දරුණු සටන්...  අන්තිමට මොකෝ වෙන්නේ කියන එක කියවලම තමා බලාගන්න වෙන්නෙ.... බාබායිගා යකින්න ගේ අස්ස ඉස්තාලේ ඉන්නව නේ කසෙයි ගේ අශ්වයට වඩා බලවත් අශ්වයෙක්...


ඕං රීං.... පුදුම අශ්වයා වරේන් කියල පාළු සොහොනකට ගිහින් මතුරල බලන්නකෝ... හැබැයි ඉතින් දෙමව්පියන්ට සළකන අය විතරයි ... මෝඩ ඉවාන් කොච්චර මෝඩ උණත් ගති ගුණ අතින් බොහෝම උසස්.. අන්තිමට ඉතින් තට්ටු ගානක් උඩට පුදුම අස්සයව පන්නල රටේ ලස්සනම කුමාරිව සිප ගන්න තරම් මෝඩ ඉවාන් දක්ෂයෙක් වෙනවා...


සිමියොන්ලා හත් දෙනා තරම් දක්ෂ වැඩ කාරයෝ මුලු ලෝකෙම නෑ... කියන පරක්කුවෙන් ඕනේ දෙයක් කරන්න එයාලට පුළුවන්...සිමියොන් වඩුවා,සිමියොන් නාවිකයා, සිමියොන් ගණන් කාරයා ඒ විතරක් යැ.. පුංචි සිමියොන්... පුංචි සිමියොන් දක්ෂ බටනලා වාදනයට.. නපුරු යුධ නායකයගේ නපුරු වැඩ මේ අයියල මල්ලිලා ගේ දක්ෂ කමින් පරද්දන හැටි කියල වැඩක් නෑ... අන්න කතා..

අලෝනුෂ්කා අක්කගෙයි ඉවානුෂ්කා මල්ලිගෙයි සහෝදර ප්‍රේමය, රතු එළදෙනගේ ආදරය, හිම සීයා නපුරු කුඩම්මට දෙන දඩුවම්... මෝඩ එමලිය මාළුවට අණ දි දී කරන පිස්සු වැඩ... දුප්පත් ඉවාන් ට ඉර,සුළඟ දුන්න තෑගි... රාජ අලියගේ පිහාටුවට මතුරන අහිංසක මර්යුෂ්කාගේ ආදරය, රිදී පීරිසිය සහ රත්තරන් හදවත

අනේ මන් ද මේ දැනුත් මම ඉන්නේ ඒ ලෝකේ වගේ...

පින්තූරයක් දාන්න බැරි උණාට නැවුං මස්සිනා ගැන නම් මොකුත් නොකියම බෑ.. පින්තූර දාන්නෙ කොහොම ද ඉතින් නැති දේක... කාට හරි කරන්න බැරි වැඩක් පවරන්න ඕනේ නම් මෙන්න වැඩේ... කියන්න ගිහින් නැති රටෙන් නැති දේ හොයාගෙන එන්න කියල... හික්.. හික්... ගිය මිනිහෙක් ආයෙ එන්නෙ නෑ... අපායට ගිහින් ඉන්නෙ කෙනෙක් ගේ දුක සැප හොයාගෙන එන්න පුළුවන් නැති රටෙන් නැති දෙයක් නම් කාටවත් ගේන්න බෑ...

කොහොම වුණත් ඉගෙන ගන්න තියෙන්නෙ එකම පාඩමයි.. රෑට නැති නුවණ උදේට පහළ වෙනවා... අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි..ඒ නිසා ඔය ඔළුවේ නට් බුරුල් වෙනකම දවස තිස්සේ හිත හිත දඟලන ප්‍රශ්නයක් ආවම රෑට නැති නුවණ උදේට පහළ වෙනව කියල 3න් පාරක මතුරල ගිහින් නිදා ගන්න... (ඊට පස්සෙ පහුවදාට ආයේ මුල ඉඳල හිතල අරක කොහොම හරි ගොඩ දාන්න..)

Friday, February 25, 2011

නිකන් ඉන්නකොට හිතෙන දේවල්...

අපට ඕනෑ වෙලාවක රැකියාවෙන් ඉවත් වීමට හැකි ලෙස ජීවත් වන්නට පුරුදු විය යුතුයැයි මේ ඊයේ පෙරේදා දවසක මට සිතුණි...

දැන් තියෙන විදියට නම් මට කීයටවත් කළ නොහැකි වැඩක් බව ඊළඟ මොහොතේම තේරුම් ගිය නිසා වැඩි දුර නොසිතා සිටියෙමි...

Wednesday, February 23, 2011

තත්වය වනාහි...

තත්වයක් නැති ජීවිතයක් තරම් සුන්දර දෙයක් මෙලොව තිබිය නොහැකිය... පවත්වාගෙන යාමට තත්වයක් නැති වූ විට අප්‍රමාණ නිදහසක් හිතට දැනෙනු ඇත... තත්වයක් රකින්නට නැති වූ විට ආදරයට සෙනෙහසට ඕනෑ තරම් ඉඩ ලැබෙනු ඇත... එක එක ස්වභාවයෙන් හා එක එක නම් වලින් වසා රැක ගන්නට හදන සමාජ තත්වය අපට ලබා දෙන දෙයක් නැත... අපට උපතින් ලැබී ඇති අපේ ජීවිතය අපට නැති කිරීම පමණකි තත්වය අපට ලබා දී ඇත්තේ...

හිත තුළ ඇති පුහුමානයට සමාජ තත්වය නම් වූ ලේබලයක් ගසා ඒ පුහුමානය සංතෘප්ත වන තුරු අපි  නොනැවතී දිව යයි... අවසානයේ අපට ලැබෙන දෙයක් නැත... තත්වය ලබා ගන්නට වෙහෙස වී දිය වී ගිය අපේම ජීවිත පමණක් ඉතිරි වනු ඇත...


අවසානයේ මිනිසුන්ගේ හිත තුළ ඉතිරි වන්නේ මියෙන මොහෙතේ ලබාගෙන සිටි තත්වය නොව... ජීවත් වන කාලය තුළ හිතට එකඟව කල කී දෑ පමණි.

ප.ලි.
නිදිමත වැඩි කමට ලියවුණු විකාරයක් ලෙස සලකන්න...

තත්තේ තියාගෙන ජීවත් වෙන්න ඉගෙන ගන්න... කාගෙන් වත් කතා අහන්නෙ නැතුව....
(කවුරු මොනව කිව්වත් අපිට මොකෝ අනේ...)

Friday, February 11, 2011

9 වෙනි වසර...

අවුරුදු 9ක් ගෙවී ගිහින්... කොච්චර දේවල් වෙනස් වෙලා ද? ඇත්තටම නම් කිසිම දෙයක් වෙනස් වෙලා නෑ... එදා දැනුන දුක අදත් ඒ වගේමයි....එකම දේ දුකට මූණ දෙන්න පුරුදු වෙලා ඉන්න එක විතරයි...හීනයක් වගේ හැමදේම...  හරියටම අවුරුදු 9ක් ගෙවී ගිය දවසේ ඒ දුක ආයෙත් අළුත් වුණා... හැබැයි අවුරුදු 9කට කලින් වගේ කෑ ගගහ ඇඩුවේ නෑ...එහෙම අඩන්න තරම් හිත බොළඳ වෙන්නෙ නෑ වගේ... හැබැයි කඳුලු නවත්තන්න තරම් හිත ගල් වෙලත් නෑ...

හිතට දැනුණේ අපි මොනවද මේ කරන්නෙ කියල... කල යුතු වැඩ කරන එක පැත්තක දාල බොරු ලෝකයක් ගොඩනඟන්න ඔහේ දුවනවා... අපි වෙනුවෙන් හැමදාම හිටපු, සැපේදි දුකේදී හැමදාම හිනා වෙලා හිටපු... මිනිස්සු වෙනුවෙන් අපි මොනවද කරල තියෙන්නෙ කියන එක හිතුණා... 

හිතල බැලුවොත් අපි හැමෝම එක වගේ... කතා කරන වෙලාවට හැමෝම කියන අනේ අපේ අම්මල තාත්තලට මීට වැඩිය සලකන්න ඕනේ... අපේ සීයල ආච්චිල ගැන බලන්න ඕනේ... කියන එක. හැබැයි කීයෙන් කී දෙනා ද ඒ මිනිස්සුන්ගේ හිතට සැනසිල්ලක් දෙන දෙයක් කරන්නේ... රටේ ලෝකේ මිනිස්සු වෙනුවෙන්... ඒ මිනිස්සුන්ගේ මානව හිමිකම් වෙනුවෙන්... ඒ මිනිස්සුන්ගේ ලෙඩ දුක් වෙනුවෙන් අපේ හිත් හරියට උණු වෙනවා.. හැබැයි අපේ වැඩිහිටි නෑදෑයෙක්...අසල්වැසියෙක් ගැන එහෙම හිතිල ඒ මිනිස්සු වෙනුවෙන් මොනවද කරල තියෙන්නෙ...

අපි හැමෝම හොඳ මිනිස්සු තමයි... හොඳ ගති ගුණත් අපිට තියෙනවා හැබැයි අපි ඒ හොඳ කම අපේ ළඟින් ම ඉන්න අයට හරි අඩුවෙන් පෙන්නන්නේ... එළියට බැහැල යනකොට නම් අපි හරි ආචාර සීලී, හැදිච්ච හොඳ මැනර්ස් දන්න අය. එළියෙදි හම්බ වෙන මිනිස්සුන්ට ඒ ඔක්කොම දේවල් වලින් සලකනවා... 

අපි ආසකරන දේ ලබා ගන්න.. අපි කැමති විදියට ඉන්න.. සමාජේ තත්වේ තියාගෙන ජීවත් වෙන්න අපි පිස්සු බල්ලෝ වගේ ඔහේ දුවනවා...අපි වෙනුවෙන් තමන්ගේ ආසාවල් පැත්තක දාල.. තමන්ගේ තත්වේ අමතක කරල අව්ව වැස්ස නොබල හෙවනැල්ල වගේ පස්සෙන් හිටපු මිනිස්සු වෙනුවෙන් පැයක් වෙන් කරන්න අපිට හරි අමාරුයි... ඒක අපේ වැරැද්ද ද නැත්නම් මේ සමාජේ වැරද්ද ද කියල හිතල බලන්න ඕනේ.. අනිත් අතට සමාජේ කියන්නේත් මේ අපිටම තමයි...

මට තාත්ත නැති වුණේ මීට අවුරුදු 9කට කලින්... මට තාත්තා වෙනුවෙන් මහ ලොකු දේවල් නම් කරන්න බැරි උණා.. හැබැයි මම ඉතින් තාත්තගේ හිත රිදවන්නේ නැතුව හිටියා... ඒක විතරයි මට කරන්න පුළුවන් වෙච්ච එකම දේ... 

අනේ අදත් තාත්තා හිටිය නම්.... 

මට තාත්තගේ ඔඩොක්කුවේ ඉන්න තිබ්බා... පිටිපස්සෙන් ගිහින් බෙල්ල බදා ගන්න තිබ්බා... ලොකූවට තිබ්බ බඩට දෙක තුනක් ගහන්න තිබ්බ... මොකක් හරි නමක් කියල හිනා වෙන්න තිබ්බා... දවල්ට උයල ඉතිරි වෙන දේවල් ඔක්කෝම එකට අනල කවන බත් කටක් කන්න තිබ්බා... තාත්තව ෆුට් සයිකලේ දාගෙන පැදගෙන යන්න තිබ්බා...මගේ චූටි බට්ටිව තාත්තට පෙන්නන්න තිබුණා... උගස් මෝලට අහුවෙලා නැති වුණ දකුණු අතේ ඉතිරි වුණ එකම ඇඟිල්ලෙන් අල්ලන් මගේ වෙඩින් එකට එක්කං යන්න තිබුණා... අපේ තාත්තා සතුටෙන් තියන්න මම හැමදාම කලෙත්... මට මගේ ජීවිතේ පුරාම කරන්න තිබුණෙත් ඔන්න ඔය වගේ දේවල් ටිකක් විතරයි... 

තාත්තා නැතිවෙලා හරියටම අවුරුදු 9ක් පිරෙන දවසේ ලොකු තාත්තත් අවසන් ගමන් ගියා... ලොකු තාත්තගේ මිනිය දිහා බලාගෙන ඉන්න කොට හිතුණේ අනේ මම මේ මනුස්සය වෙනුවෙන් මොනවද කළේ කියන එක...

දවසක් නිවාඩු දාල මල ගෙදර ගියා එච්චරයි...

අපේ වටේට... අපි වෙනුවෙන් හිටපු මහා සද්ධන්ත පවුරු එකින් එක ගැලවිලා යනවා... අපි ඒවට ඔහේ ගැලවිලා යන්න ඉඩ දෙනවා... මොකද අපි ගොඩක් බිසී නිසා...




Monday, January 24, 2011

මම කෙටියෙන්...

මම වස කම්මැලියෙක්
මට ඕනේ ඉක්මනට පැන්ෂන් ගන්න
පැන්ෂන් අරං නිකන් ඉන්න

ජීවත් වෙන එක ඉක්මනට ඉවර කරගන්න ඕනේ
ආයේ ජීවත් නොවෙන තත්වෙට කොහොම හරි පත්වෙන්න ඕනේ

ඔය අතරේ...
මට හෙන පොරක් වෙන්නත් ඕනේ...

හෙන පොරක් යනු -සරල ගතිපැවතුම් ඇති, ඇතිවෙන්න සල්ලි තියෙන, නවීන යාන වාහන 2ක්(SUV 1ක් සමඟ) වත් තියෙන, නවීන පන්නයේ ගෙයක් හෝ 2ක් (එකක් කොළඹට ආසන්නයේ) තියෙන, ගෙදර සිට කෙටි දුරක ඇති රස්සාවක් කරන, වැඩිය ස්ට්‍රෙස් නැති රැකියාවක් කරන, ඉතා හොඳ පවුල් ජීවිතයක් ගෙවන, ආගම දහමට ළැඳි, බණ භාවනා කරන, රට සවාරි යාමට හැකි නිහතමානී මනුස්සයෙකි.

කවද හරි නාසා එකට ගොස් අභ්‍යවකාශ ගත වීමේ ආසාවක් ද ඇත..

Thursday, January 20, 2011

2011 සහ මම සහ......

මේ අවුරුද්දෙ ලියන පළවෙනි එක. එක එක දේවල් ගැන වැඩකට ඇති නැති හැම දෙයක් ම පහුගිය අවුරුදු 5 තිස්සේ මම මේකේ ලිව්වා. ලියන්න ඕනේ කියල හිතෙන වෙලාවට හිතේ තියෙන මොකක් හරි දෙයක් ගැන ඔහේ ලියල දාන එක තමා ගොඩක් වෙලාවට කළේ... මේ අවුරුද්දේ ලිවිල්ලත් ඉතින් එහෙම ම වෙයි....
හැමදාම එක එක දේවල් ගැන ලිව්වට එක දෙයක් ගැන මම කවදාවත් මේකේ ලියල නෑ... එහෙම ලියල ඉවරයක් කරල දාන්න පුළුවන් විදියෙ දෙයක් නෙවෙයි ඒක... හැමදාම හැම මොහොතෙම හිතේ තියෙන හිතේ ඉන්න දෙයක් ගැන කොහොමද පොඩ්ඩක් ලියල ඉවර කරන්නේ...

පහු ගිය අවුරුදු පහේ මගේ ජීවිතේ වෙච්ච වැදගත් සිද්ධි ගොඩක් වගේ මම එක එක විදියට ලියල තියෙනවා. ඒත් මේ සිද්ධිය ගැන මම මොකුත් ම ලිව්වෙ නෑ... මොකද ඒක මට එක සිද්ධියක් විතරක් නොවන නිසා... ඒ සිද්ධිය තමා මගේ මුළු ජීවිතේම...

මගෙන් අහනවා ඇයි මං ගැන මොනවත් ලියන්නෙ නැත්තේ කියල... මම මොනව ලියන්න ද... බොහෝම ලස්සන හැඟීම් බර හෙනම රොමෑන්ටික් වචන ටිකක් දාල පුංචි කවි ටිකක්,පොඩි වාක්‍යයක් දෙකක් මටත් ලියන්න තිබුණා... එහෙම කළා නම් ගොඩාක් සතුටු වෙයි... හැබැයි ඒක එතනින් ඉවරවෙයි... ඊට පස්සේ ආයෙත් මම වෙන වෙන වල්බූත මේකෙ ලියයි... අර ලස්සන හැඟීම් බර රොමෑන්ටික් දේවල් ඔක්කොමත් ඒ වල්බූත ගොඩටම එකතු වෙයි...

මුලු ජීවිතේම මාත් එක්ක ඉන්න... ජීවිත කාලෙන් භාගෙකටත් වඩා මුලු හිතින් ම මට ආදරේ කරපු... මොන දේ වෙනස් වුණත් එක දශමෙකින් වත් මං ගැන තියෙන ආදරේ වෙනස් වෙන්නෙ නැති...හැබෑ ආදරේ වෙනුවෙන් ඕනේ දෙයක් කරන්න ලෑස්ති වෙලා ඉන්න.. සංසාරේ පුරාම මාත් එක්ක ඉන්න ඇති කියල මගේ හිතට අනන්තවත් දැනෙන...මගේ ලස්සන චූටි බට්ටිගේ ආදරේ ගැන මට එහෙම ලියල ඉවර කරන්න බැහැ....

තව ටික දවසකින් හැමදාම මාත් එක්ක ඉන්න එන ඒ අහිංසක ආදරේ  ගැන අද මේ පුංචි සටහන ලිව්වේ... පුංචි සිහිවටනයක් විදියට... 2011 සහ අපි දෙන්නා...