Friday, February 11, 2011

9 වෙනි වසර...

අවුරුදු 9ක් ගෙවී ගිහින්... කොච්චර දේවල් වෙනස් වෙලා ද? ඇත්තටම නම් කිසිම දෙයක් වෙනස් වෙලා නෑ... එදා දැනුන දුක අදත් ඒ වගේමයි....එකම දේ දුකට මූණ දෙන්න පුරුදු වෙලා ඉන්න එක විතරයි...හීනයක් වගේ හැමදේම...  හරියටම අවුරුදු 9ක් ගෙවී ගිය දවසේ ඒ දුක ආයෙත් අළුත් වුණා... හැබැයි අවුරුදු 9කට කලින් වගේ කෑ ගගහ ඇඩුවේ නෑ...එහෙම අඩන්න තරම් හිත බොළඳ වෙන්නෙ නෑ වගේ... හැබැයි කඳුලු නවත්තන්න තරම් හිත ගල් වෙලත් නෑ...

හිතට දැනුණේ අපි මොනවද මේ කරන්නෙ කියල... කල යුතු වැඩ කරන එක පැත්තක දාල බොරු ලෝකයක් ගොඩනඟන්න ඔහේ දුවනවා... අපි වෙනුවෙන් හැමදාම හිටපු, සැපේදි දුකේදී හැමදාම හිනා වෙලා හිටපු... මිනිස්සු වෙනුවෙන් අපි මොනවද කරල තියෙන්නෙ කියන එක හිතුණා... 

හිතල බැලුවොත් අපි හැමෝම එක වගේ... කතා කරන වෙලාවට හැමෝම කියන අනේ අපේ අම්මල තාත්තලට මීට වැඩිය සලකන්න ඕනේ... අපේ සීයල ආච්චිල ගැන බලන්න ඕනේ... කියන එක. හැබැයි කීයෙන් කී දෙනා ද ඒ මිනිස්සුන්ගේ හිතට සැනසිල්ලක් දෙන දෙයක් කරන්නේ... රටේ ලෝකේ මිනිස්සු වෙනුවෙන්... ඒ මිනිස්සුන්ගේ මානව හිමිකම් වෙනුවෙන්... ඒ මිනිස්සුන්ගේ ලෙඩ දුක් වෙනුවෙන් අපේ හිත් හරියට උණු වෙනවා.. හැබැයි අපේ වැඩිහිටි නෑදෑයෙක්...අසල්වැසියෙක් ගැන එහෙම හිතිල ඒ මිනිස්සු වෙනුවෙන් මොනවද කරල තියෙන්නෙ...

අපි හැමෝම හොඳ මිනිස්සු තමයි... හොඳ ගති ගුණත් අපිට තියෙනවා හැබැයි අපි ඒ හොඳ කම අපේ ළඟින් ම ඉන්න අයට හරි අඩුවෙන් පෙන්නන්නේ... එළියට බැහැල යනකොට නම් අපි හරි ආචාර සීලී, හැදිච්ච හොඳ මැනර්ස් දන්න අය. එළියෙදි හම්බ වෙන මිනිස්සුන්ට ඒ ඔක්කොම දේවල් වලින් සලකනවා... 

අපි ආසකරන දේ ලබා ගන්න.. අපි කැමති විදියට ඉන්න.. සමාජේ තත්වේ තියාගෙන ජීවත් වෙන්න අපි පිස්සු බල්ලෝ වගේ ඔහේ දුවනවා...අපි වෙනුවෙන් තමන්ගේ ආසාවල් පැත්තක දාල.. තමන්ගේ තත්වේ අමතක කරල අව්ව වැස්ස නොබල හෙවනැල්ල වගේ පස්සෙන් හිටපු මිනිස්සු වෙනුවෙන් පැයක් වෙන් කරන්න අපිට හරි අමාරුයි... ඒක අපේ වැරැද්ද ද නැත්නම් මේ සමාජේ වැරද්ද ද කියල හිතල බලන්න ඕනේ.. අනිත් අතට සමාජේ කියන්නේත් මේ අපිටම තමයි...

මට තාත්ත නැති වුණේ මීට අවුරුදු 9කට කලින්... මට තාත්තා වෙනුවෙන් මහ ලොකු දේවල් නම් කරන්න බැරි උණා.. හැබැයි මම ඉතින් තාත්තගේ හිත රිදවන්නේ නැතුව හිටියා... ඒක විතරයි මට කරන්න පුළුවන් වෙච්ච එකම දේ... 

අනේ අදත් තාත්තා හිටිය නම්.... 

මට තාත්තගේ ඔඩොක්කුවේ ඉන්න තිබ්බා... පිටිපස්සෙන් ගිහින් බෙල්ල බදා ගන්න තිබ්බා... ලොකූවට තිබ්බ බඩට දෙක තුනක් ගහන්න තිබ්බ... මොකක් හරි නමක් කියල හිනා වෙන්න තිබ්බා... දවල්ට උයල ඉතිරි වෙන දේවල් ඔක්කෝම එකට අනල කවන බත් කටක් කන්න තිබ්බා... තාත්තව ෆුට් සයිකලේ දාගෙන පැදගෙන යන්න තිබ්බා...මගේ චූටි බට්ටිව තාත්තට පෙන්නන්න තිබුණා... උගස් මෝලට අහුවෙලා නැති වුණ දකුණු අතේ ඉතිරි වුණ එකම ඇඟිල්ලෙන් අල්ලන් මගේ වෙඩින් එකට එක්කං යන්න තිබුණා... අපේ තාත්තා සතුටෙන් තියන්න මම හැමදාම කලෙත්... මට මගේ ජීවිතේ පුරාම කරන්න තිබුණෙත් ඔන්න ඔය වගේ දේවල් ටිකක් විතරයි... 

තාත්තා නැතිවෙලා හරියටම අවුරුදු 9ක් පිරෙන දවසේ ලොකු තාත්තත් අවසන් ගමන් ගියා... ලොකු තාත්තගේ මිනිය දිහා බලාගෙන ඉන්න කොට හිතුණේ අනේ මම මේ මනුස්සය වෙනුවෙන් මොනවද කළේ කියන එක...

දවසක් නිවාඩු දාල මල ගෙදර ගියා එච්චරයි...

අපේ වටේට... අපි වෙනුවෙන් හිටපු මහා සද්ධන්ත පවුරු එකින් එක ගැලවිලා යනවා... අපි ඒවට ඔහේ ගැලවිලා යන්න ඉඩ දෙනවා... මොකද අපි ගොඩක් බිසී නිසා...




4 comments:

  1. sanwediy.
    passe diga comment ekak dannam

    ReplyDelete
  2. අපේ අම්මයි තාත්තයි නැතිවෙලා අවුරුදු අටක්.. එත් ඇතිවුණු හිස් තැන් දෙක එහෙමමයි.. මගේ පොඩි උන්ටත් සීයයි ආච්චියි හරියට අඳුනගන්න කාලයක් ලැබුනේ නෑ.. කොටින්ම ඒ දෙන්නම එක්කෙනා පස්සේ එක්කෙනා ගියා මම නොරට ගිහින් මාසයක් ඇතුලත. මම තාම විඳවනවා..

    ReplyDelete
  3. @lankapriya
    ජීවිතේ හැටි ඔහොම තමා කියල හිත හදා ගන්න එක තමා කරන්න තියෙන්නෙ... ඔය දේවල් අපිට වෙනස් කරන්න බැහැනේ...අපිට කරන්න පුළුවන් දේවල් මොනව ද කියල හිතල ඒ ඒ දේවල් දැන්මම ඒ අය වෙනුවෙන් කරන එක තමා හොඳම දේ... අපි මේ පිස්සු බල්ලෝ වගේ දුවන රේස් එක පොඩ්ඩක් නතර කරල හිතල බලන එකයි අපිට කරන්න පුළුවන්

    ReplyDelete