මේ දවස් වල මට තියෙන පිස්සුව කිසිම දෙයක් නොකර නිකන් ඉන්න පිස්සුව. කාලෙන් කාලෙට හැදෙන පිස්සු වෙනස් වෙනවනේ...
පොඩිම කාලේ සෙල්ලං බඩු පිස්සුව (කවදාවත් හොඳ නොවන),
මට ඒ දවස් වල තිබ්බා වයින් කරල තිබ්බම පීපෝ පීපෝ ගාගෙන යන පොඩි කාර් එකක්,ඊට පස්සේ බැටරි දාල දුවන ඉබ්බෝ පේළියක්. හමුදා සෙට් එකක්, කොල පාටයි තැඹිලි පාටයි පස් අදින් ලොරියක්.. තව පොඩි පොඩි ඒව වගයක්... ඉබ්බෝ පේලිය නම් තාමත් ගෙදර තියෙනවද කොහෙද... පස් අදින ලොරියට තමා ඉස්සර ආසම.. දස වද දුන්නත් කැඩුනෙ නැති සිරාම ලොරිය ඒක නම්... ඕන ඔට්ටුවක් දැන් තියෙන ඒව එච්චර නම් හයිය නෑ.. මම 8-9 වසරෙදිත් ඒක උඩ නැඟල යනවා... පීපෝ පීපෝ කාරෙකේ එන්ජිම ගලෝල ඒකෙන් හෙන දේවල් ඉගෙන ගත්තා ඒ කාලේ.. පුංචි යකඩ දුන්නකින් එන්ජිමක් හැදිල තියෙන හැටි...
ටිකක් ලොකු කාලේ සෙල්ලං පිස්සුව යාළුවොත් එක්ක සෙල්ලං කරන එක තමා තිබ්බ ලොකුම පිස්සුව.
ඒ දවස් වල ප්‍රියතම සෙල්ලං
ටින් කැඩීම,
වයිම දැමීම,
රොබින් හුඩ්,
කිරිල්ල තුවක්කු යුද්ධ,
දුනු ඊතල සෑදීම,
කඩදාසි ඊතල යැවීම,
ටුවර් ඔෆ් ඩියුටි දැමීම,
ගස් මාරුවීම,
හැංඟි මුත්තම්,
ඩැකර් කැඩීම,
සෙල්ලං කඩ දැමීම,
එල්ලේ ගැසීම,
වොලිබෝල්,
ෆුට්බෝල්,
ක්‍රිකට්,
අනිත් වුන්ට ක්‍රිකට් පිස්සුව(මට එදා සිටම ක්‍රිකට් බැරිය) හැදිල මැච් ගහන්න පටන් ගත්තට පස්සෙ ටික ටික අනිත් සෙල්ලං අභාවෙට ගියා.
ඊට පස්සේ ඕං හැදුනා සර්කිට් පිස්සුව
ෆෝමිකා කෑලී,ඊයම් කෑලී,බවුත් එක,සර්කිට් බඩුත් එක්ක තමා වැඩි හරියක් හිටියේ. ඉස්සර අම්මයි තාත්තයි ගෙදරින් එළියට යන්නේ අපි එනකම් සර්කිට් වැඩ එහෙම කරන්න එපා කියලා (ගිය ගමන් ඉතින් මම වැඩ)
අපේ චූටි අයියා(ලොකු අම්මගේ චූටි පුතා)ට තදේටම තිබ්බ ඔය උණ.. මිනිහා ගාව තිබ්බ සෙනිත් සඟරා ගෙනල්ල එක එක ඒව හදන එක තමා ඉතින් වැඩේ..
ඔය කාලෙම චිත්‍ර අඳින පිස්සුවත් සෑහෙන තිබ්බා.
O/L කාලේදි විතර ඉතින් කාටත් හැදෙන කොමන් පිස්සුව හැදුනා.
ඒ අතර මට තිබ්බ තව පිස්සුවක් එක එක කෙමිකල්ස් මිශ්‍ර කර කර හැදෙන ඒවා බලන්න. ඒ කිව්වේ එහෙන් මෙහෙන් හොයා ගන්න පුළුවන් කෝස්ටික් සෝඩා,ආප්ප සෝඩා,විනාකිරි වගේ ඒව එකට කලවම් කර කර බලන එක. කොටින් ම අපේ අම්ම මට පිටකොටුවේ බංගසාල වීදියෙන් ද කොහෙද එක එක කෙමිකල් ජාති ගෙනත් දුන්න මගේ පිස්සුව වැඩි වෙනකොට.. තාමත් මගේ කාමරේ බිම තියෙනව ඔය එක එක ජාති දාල හැදිච්ච ඒවයින් බිම පිච්චිච්ච ලකුණු..
සිරාම වැඩේ තමයි මමයි,චූටි අයියයි එකතු වෙලා හයිඩ්‍රිජන් බැලුන් යවපු එක. අඩි 10-15 දිග ඉටිකොල බැලුම් පවා අපි උඩ යැව්වා. (හෙට අනිද්ද වෙලාවක ආයෙ එකක් යවල බලන්න ඕනේ)
සා.පේ කාලේ හැදිච්ච කොමන් පිස්සුව ඉතින් තව දශකයක් විතර තියෙනවනේ කොහොමත්. ඒක ගැන ලියල වැඩක් නෑ..
උ.පේ කාලෙදි ලව් සික් එකට බෙහෙත් පිස්සුව ඒ කියන්නේ.. කවි, නිසදැස්,කතා ඕවා තමා.
මට විද්‍යා ප්‍රබන්ධ පිස්සුව හැදුනෙත් ඔය කාලේ තමා. ඒ පිස්සුව නම් හැබැයි හෙනම වටිනවා
ලංකාදීපෙට,දිවයිනට,විදුසරට ලියන එකත් ටික කාලයක් පිස්සුවක් වෙලා තිබ්බා..
උ.පෙ කාලෙදි කොම්පුටර් පිස්සුව හැදුනා සැරේටම.. ඒක හැදුනාම වෙන දේවල් කවුරුත් දන්නවනේ...
(වෙලාවට උ.පෙ ට කලින් එකක් නොතිබ්බේ.. එහම වුණානම් අර මොකුත් නෑ)
ඊට පස්සේ ඉතින් අද දක්කාම කො.පි තමා
වැඩේ කියන්නේ කො.පි හැදුනට පස්සේ සිරාවටම වෙන එක පිස්සුවක්වත් හැදෙන්නේ නෑ... ඒ දවස් වල ජාලේ නැති නිසා හැබැයි අඩුම තරමේ ෆොටෝෂොප්,කොරල්ඩ්‍රෝ වලින් පොඩි පොඩි ආතල් වැඩ කලා තනියම ඉගෙන ගෙන...
හැබැයි කො.පි නිසා මගෙ චිත්‍ර පිස්සුව,සර්කිට් පිස්සුව,කෙමිකල් පිස්සුව 100%ක්ම නැතිම වෙලා ගියා.
ග්‍රැෆික් හදන එකට ආස වුණාට කෝඩ් කොටන්න ඊට වඩා ආසයි කියල හිතුණ නිසා අර පොඩි පොඩි ආතල් වැඩ කරන පිස්සුවත් එහෙම ම නැතිවෙලා ගියා
ඊට පස්සේ ඉතින් ඔය එක එක විභාගයි,ජොබුයි,කෙල්ලොයි තමයි ඉතින්...
සිරාවටම කිසිම පිස්සුවක් මට පහුගිය අවුරුදු 7-8 ඇතුළත හැදුනේ නෑ කියන්න පුළුවන් (ඉන්බිල්ට් තියෙන ඒව ඇර). කරපු එකම දේ ඉතින් කොම්පැණි වලට හම්බ කරල දීපු එකම තමා...
අහ්...හැබයි එකක් අමතක වුණා. ෆිල්ම් පිස්සුව. ඕක හැදුනේ කොම්පූටරේ ගෙදරට ගෙනාවට පස්සේ.. වීඩියෝ සෙන්ටර් එකේ අයියට පිං සිද්ද වෙන්න ණයටත් චිත්තර පටි බැලුවා ඒ දවස් වල. දවසට 4-5ක් සුවර්. පස්සේ පස්සෙ ඔපිස් වල උන්ගෙන් ටී.වී සීරීසුයි ෆිල්මුයි හම්බ වෙච්ච නිසා වීඩීයෝ සෙන්ටර් අයියව අමතක වෙලාම ගියා..
ඔය කාලේ කෙල්ලොත් නැතිව අන්ජබජල් වෙලා ඉන්නකොට ඉතින් ස්ටාර්ගේට්,හීරෝස්,ප්‍රිසන් බ්‍රේක් තමා පිහිටට හිටියේ..
දැන් ඉතින් 20වෙනි දස වස ඉවර වෙන්න ඔන්න මෙන්න.තව දවස් ගානකින් 30 වෙනි දසවස පටාන් ගත්තට පස්සේ කොහොමත් පිස්සු හදාගෙන බෑ...
හැදෙන පිස්සු ටිකත් එක්ක ජීවත් වෙන්න වෙනවනේ...
හැබැයි ඉස්සර තිබ්බ නිර්මාණශීලී(මොනව හරි කිරීමේ) හැකියාව නම් දැං බිංදුව වෙලා තියෙන්නෙ. ලියන කෝඩ් එකත් ගූග්ල්ගෙන් තමා ගොඩක් වෙලාවට ඉල්ල ගන්නේ.. හෙනම කලාතුරකින් තමා හිතල දෙයක් කරන්නේ.. තනිකර කොපිකැට් ම වෙලා...
දැන් ඉතින් අර දසවසකට වැඩි කාලයක් විතර තිබ්බ ලොකුම පිස්සුවත් හොඳවෙලා නිසා හිතට හරිම සැහැල්ලුයි..
සල්ලි හොයන පිස්සුව නම් පුළුවන් තරම් කල් හදා නොගන්න තමා හිතාගෙන ඉන්නේ.. කියන්න බෑ ඉතින්..
මේ දවස් වල අර මුල්ම කාලේ තිබ්බ සෙල්ලම් බඩු පිස්සුව ටිකක් විතර හැදිල තියෙනවා.. ඒක වැඩි දියුණු කරගන්න ඕනේ තව.
චිත්‍ර අඳින වැඩෙත් චුට්ටක් විතර පටන් ගත්තා..
සර්කිට් හදන එක ගැනත් හිතල බලන්න ඕනේ ආයෙත්...
වැඩකට ඇති දෙයක් ලිව්වේ නෑ මතක ඇති කාලෙකින්... පත්තරේකට දෙයක් ලියල ඒක පත්තරේ යනකොට දැනෙන ආතල් එක දැන් නම් මතකත් නෑ වගේ.. කොහොමත් දැන් එච්චර ආතල් එකක් නැතිවෙයි...
හැබැයි ඔය එකක් වත් ඉස්සර තරම් ආසාවෙන් උණකින් කරන්න හිතෙන්නෙ නැති එක තමා ලෙඩේ...
දැන් දැන් සම්පූර්ණයෙන් ම අපත ජීවිතයක් වෙත ඇදී යන බවක් පෙනී යන නිසා වහාම මොකක් හෝ සිරා පිස්සුවක් හදා ගත යුතුය.