ඔය බාර් ඇතුලේ සිද්ධ වෙන කතා බහ වලට කතන්දර , චිත්‍රපටි වල එහෙම නම් සෑහෙන වටිනාකමක් තියෙනවා . හැබැයි ඇත්ත ලෝකේ ඕක ඔහොමද ? ඉඳල හිටලා බාල වයින් ෂොට් එකක් විතරක් දාන මට ඔය ගැන එච්චර අත්දැකීම් නැහැ .
ලංකාව බීම අතින් සෑහෙන ඉදිරියෙන් ඉන්න රටක් හින්ද මම මේ කියන්න යන අමුතු ක්ලබ් එක ලංකාවේ අයට සෑහෙන වැදගත් වෙයි .. ලංකාව සාක්ෂරතාව අතිනුත් ඉහලින් ඉන්න රටක් හින්ද මේක තවත් වැදගත් .. ඉඳල හිටලා හරි අපි වැදගත් දේවලුත් ලියනවා හරිද ? හෙහ් හෙහ් ..
මෙල්බන් හන්දියේ හිටපු Shay Leighton කියන හාදය එයාගේ යාලුවෙක් එක්ක දවසක් බාර් එකකට වෙලා පොතක් ගැන කතා කර කර ඉන්නකොට තවත් අමුත්තෙක් එයාලට සෙට් වෙලා .. ඊට පස්සේ මේ හාදයා ෆ්ලයර් ටිකක් හදල ඒ අවට තිබ්බ බාර් වලට , ජිම් වලට , සැලුන් වලට, ටැටූ ෂොප් වලට බෙදල දීලා ගෙදරින් පොඩ්ඩක් එලියට බැහැල බාර් එකට සෙට් පිරිමි අයට අලුත් අදහසක් දීලා මේ ක්ලබ් එක ගැන .
මේක පිරිමින්ට විතරක් වෙන් වෙච්ච ක්ලබ් එකක් .. ඒ කියන්නේ ගැහැණු පිරිමි බේදයක් නිසා වෙච්ච දෙයක් නෙමේ නමුත් ගෙවල් වල එදිනෙදා ජිවිත සටනේ මහන්සි වෙන පිරිමින්ට , තමන්ගේ පාලුවට ,තනිකමට පොඩි ෂොට් එකක් දාන ගමන් පොතක් කියවල ඒක ගැන කතා බහ කරන්න පුළුවන් වෙන්න හදපු ක්ලබ් එකක් .
මේ ක්ලබ් එක ටිකක් අමුතුයි . මේකේ බොහොම තද නීති ටිකක් තියෙනවා
ප්‍රධානම එක
1. No work talk හෙවත් තමන්ගේ ජොබ් එක ගැන කතා කිරීම තහනම් .. තහනම් කියන්නේ චුට්ටක්වත් කියන්ඩ බෑ .. ඔයා මොන පොරක් උනත් කමක් නැහැ .. අපිට වැඩක් නැහැ .
ඊට පස්සේ එක
2. Don't be a F**k head ඕක පැහැදිලි කරන්ඩ දෙයක් නැහැ මගේ හිතේ .. තේරෙන ඉංග්‍රීසියෙන් කිව්වොත් එහෙම නිකන් බොරුවට පොර වෙන්න හදන්න එපා කියන එක තමා ඔය සිංහලෙන්ම කියල තියෙන්නේ .. පොත් ගැන කියවල උනත් පොරක් වෙන්න දැඟලුවොත් ඔයාව අපි පන්නනවා කියල තමා ඔය කියන්නේ ..
3. ඊළඟ එක
හැම මාසේම පළවෙනි බදාදා හවස 7ට තමන්ගේ චැප්ටර් එකේ මීටින් එක තියෙනවා. ඒක වෙනස් කරන්ඩ බැහැ
4. ඊට පස්සේ එක
දැනට ඔක්කොම චැප්ටර්ස් 189 ක් තියෙනවා , එකෙන් 152ක් ඕස්ට්‍රේලියාවේ සහ ඉතිරි 37 chapters Canada, Hong Kong, New Zealand, Singapore, Myanmar, Spain, Sweden, the UK, and the USA යන රටවල තියෙනවා . වැදගත්ම දේ තමා මේ හැම රටකම ඉන්න අය කියවන්නේ එකම පොත සහ ඒ ඒ මාසේ බදාදා සෙට් වෙලා කතා කරන්නේ පහුගිය මාසේ කියවපු ඒ එකම පොත ගැන .
5. ඊටත් පස්සේ එක
පොත කියවන්නම ඕනේ කියල එකක් නෑ .. වැදගත් වෙන්නේ ක්ලබ් එකට ඇවිල්ලා කට්ටියත් එක්ක සෙට් වෙලා පොඩ්ඩක් කතා බහ කරලා යන එක .
පහුගිය අවුරුද්දේ ජුලි මාසේ දවසක මෙහෙ ඉන්න මගේ යාලුවෙක් ඔය ක්ලබ් එක ගැන දැනගෙන මට කතා කළා යන්ඩ .. මේ අමු සිංහලෙන් අවුරුදු 20ක් තිස්සේ තේරුමක් නැති මගුල් බ්ලොග් එකේ ලියන යක්ඛ පුතා සුද්දොත් එක්ක ඉංගිරිසියෙන් පොත් ගැන කතා කරන හැටි මම පෙන්නමි කියල අර පුරුස මෙව්වා එක අරගෙන ගියා බලන්ඩ .. ඒ කියන්නේ ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ මිටීමට තමා මම ඉස්සෙල්ලම ගියේ .
අපි දෙන්නව බොහොම ආදරයෙන් ඒ අය ක්ලබ් එකට පිලි ගත්තා .. මේ ක්ලබ් එක සම්පුර්ණයෙන්ම නොමිලේ , ඕනේ කෙනෙකුට ඔය කියන දවසට තමන් ඉන්න පළාතේ ක්ලබ් එක හොයාගෙන යන්න පුළුවන් ..
ක්ලබ් එකේ වැඩේ වෙන්නේ මෙහෙමයි
කට්ටිය එන එන විදියට ආචාර සමාචාර කරලා , හැමෝම වගේ ගිහින් බියර් එකක් , වයින් එකක් , නැත්නම් ඔය තමන් කැමති ජාතියේ මොනවා හරි බිමක් අරගෙන ඇවිල්ලා වාඩි උනාට පස්සේ මිටීම පටන් ගන්නවා .
හැම චැප්ටර් එකකටම ඉන්නවා චැප්ටර් ප්‍රසිඩන්ට් කෙනෙක් . එයා ක්ලබ් එකේ නීති ටික ඉස්සලම මතක් කරලා දෙනවා , ඊට පස්සේ ලෝකේ වටේ තියෙන අනිත් ක්ලබ් ගැන මොනවා හරි වැදගත් නිවුස් එකක් තියෙනවනම් ඒවා ගැන දනුවත් කරනවා , ඊට පස්සේ එනවා ඒ මාසේ චැලෙන්ජ් ඒක . ඒ චැලේන්ජ් වැඩේ මරු , එක එක මාසෙට පොඩි වෙනස් විදියේ වැඩ තියෙනවා කරන්න
මෙන්න මේ වගේ
- පරණ පොත් විකුණන කඩේකට ගිහින් පොතක් ගන්න
- පරණ පොත් කඩේකට ගිහින් ෆොටෝ එකක් දාන එක
- ගස් හිටවන්න තහනම් තැනක ගහක් හිටවන එක - එකියන්නේ නීති විරෝධී හෝ අනතුරුදායක තැන් නෙමේ .. පොලිසිය ඉස්සරහ , බස් හෝල්ට් එකක වගේ අහිංසක තැනක
- තමන්ගේ ෆෙල්ෆියක් අතින් අඳින එක
- එක්කෝ තමන් කාගෙන් හරි උදව්වක් ඉල්ලන එක , නැත්නම් තමන්ගේ ක්ලබ් එකේ හෝ වෙනත් ක්ලබ් එකක කෙනකුට උදව්වක් කරන එක
- දොස්තර ගාවට ගිහින් බ්ලඩ් ප්‍රේසර් චෙක් කරන එක
- තමන් කැමති කවියක් හොයල කට්ටිය ඉන්න තැනක කියන එක හෝ රෙකෝඩ් කරලා වීඩියෝ එකක් දාන එක
- තමන්ගේ පැත්තේ කනත්ත සුද්ද කරන එක
ඔය පහු ගිය අවුරුද්දේ අපි කරපු වැඩ වලින් ටිකක්
අවුරුද්දක් ඇතුලත ඔය චැලේන්ජ් ඔක්කොම කරන අයට ක්ලබ් එක ගානේ කොයින් එකක් දෙනවා .. ඒක සල්ලි දීලා ගන්න බැරි චැලේන්ජ් වලින්ම විතරක් ගන්න පුළුවන් එකක්
හරි ඉතින් ඔය විදියට ඊළඟ මාසේ චැලේන්ජ් එක ගැන කිව්වට පස්සේ හැමෝම තමන් පහුගිය මාසේ මොකද කලේ කියල විනාඩි 3-4ක් කතා කරන්න ඕනේ .. මෙතන තහනම් වචනය තමා රස්සාව හෝ , රස්සාවට සම්බන්ධ දේවල්. ඒ ඇර තමන්ගේ ගේ දොර ප්‍රශ්න ළමයින්ගේ ප්‍රශ්න ආදී ඕනේ දෙයක් කියන්න පුළුවන් , සරලව පහුගිය මාසේ මොකද උනේ කියල යාලුවෙකුට කියනවා වගේ කතා කරන එක , මේක ඇතුලේ ඉතින් එක එක කතන්දර තියෙනවා , අපි කරපු දේවල් , කරන්න බැරි වෙච්ච දේවල් වගේ ,
මේ ක්ලබ් එකේ අරමුණ තමා වැඩිහිටි පිරිමි අයට තමන්ගේ වයසේ වගේ අයත් එක්ක තමන් කැමති දේවල් කතා කරලා , හිතේ තියෙන දේවල් එලියට දාන්න පුළුවන් අවස්තාවක් දෙන එක . මේ කතා බහ බොහෝවිට විනාඩි 10ක් විතර එක්කෙනෙක් වෙනුවෙන් වෙන් වන අවස්ථා තියෙනවා .. එයාලගේ තියෙන ප්‍රශ්න ගැන හැමෝම අහල , උදව්වක් වශයෙන් මොනවා හරි කියනවා ..
වැදගත්ම දේ තමා ඔය අපි සෙට් උනාම , එක්කෝ මැද පාරක් ගහල , නැත්නම් ගොං ජෝක් එකක් දාල අර කතා කරන කෙනාව අපහසුතාවයට පත් කරන්නේ නැහැ .. වැදගත් විදියට කතා බහ කරනවා අර Don't be a F**k head කියන්නේ එහෙම වැදගත් විදියට හැසිරෙන එකට
හරි එදා ඉන්න සාමාජිකයෝ හැමෝම කතා කලාට පස්සේ බාත්රුම් බ්රේක් එකක් එහෙම අරගෙන කෑම ගන්න අය ඒවා ඕඩර් කරලා , බීම වීදුරුව එහෙම ආයේ රිෆිල් කරගෙන සෙට් වෙනවා පොත ගැන කතා කරන්න .
මේ ක්ලබ් එකේ කියවන්නේ නවකතා විතරයි . ඒවාත් බොහෝ විට පිරිමි චරිතයක් මුලික කරගත්ත කතා තමා , ෆැන්ටසි , Sci-Fi ශානර වල ඒවත් තියෙනවා .
පොත ගැන කතා කරන්නේ මෙහෙමයි
ක්ලබ් එකේ ප්‍රසිඩන්ට් ළඟ තියෙනවා ගිය මාසේ කියවපු පොතට අදාළ හැදුව ප්‍රශ්න 50ක් විතර , මේ ප්‍රශ්න එදාට හැම ක්ලබ් එකේම කතා කරන ඒවා .. එකම පොත ගැන , එකම ප්‍රශ්න ටිකක් ගැන තමා ලෝකේ වටේ තියෙන ක්ලබ් හැම එකේම එදාට කතා වෙන්නේ .
මේ ප්‍රශ්න නිකන් ආවට ගියාට අහන කතාවේ වීරයාගේ දුස්ටයාගේ නංගිගේ නම මොකක් ද වගේ ප්‍රශ්න නෙමේ ..
නිකන් හරියට කතාවේ වීරයා , දුස්ටයාගේ නංගි ට පැණි බූන්දි ගෙනත් දීම ඔබ සාධාරණීකරණය කරන්නේ කෙසේද වගේ .. අ . පො. ස A/L සිංහල දෙවෙනි කොටසේ ප්‍රශ්න ජාතියේ ප්‍රශ්න ... !
ඕවා ගැන ඉතින් මේ ඉන්න සුදු මහත්තුරු හරිම ලස්සනට කතා බහ කරන හැටි පළවෙනි දවසේ අපි දෙන්නා කට ඇරගෙන බලං හිටියා ..
ඒ කතා බහ බොහොම වැදගත්, විනොදශීලි විදියට ගෙනියනවා , කොයි වෙලාවකවත් කෙනෙකුගේ හිත රිදෙන විදියට කවුරුත් කතා කරන්නේ නැහැ ..
අපි ගිය පළවෙනි දවසෙම ඒ කතා වල , පොත් ගැන , ඒ චරිත ගැන එයාලගේ අදහස් ඇහුවම ඇත්තටම මම නම් අර සිංහලෙන් blown away උණා කිව්වොත් හරි ..
ඔය විදියට ආසන්න වශයෙන් පැය 2ක් විතර පොත ගැන සහ ඒ පොතේ සිදුවීම් වලට අදාලව එකිනෙකාගේ අත්දැකීම් ගැන එහෙම සෑහෙන රසබර සාකච්චාවක් යනවා ..
කතාව ඉවර උනාට පස්සේ ඊළඟ මාසය , ඒ කියන්නේ දැන් අගෝස්තු නම් සැප්තැම්බර් මාසයට කියවන්න තියෙන පොත ඕඩර් කරන්න අවස්තාව සමාජිකයින්ට ලැබෙනවා සහ , අගෝස්තු මාසය වෙනුවෙන් පොත ඕඩර් කරපු අයට ඒ පොත ලබා දීම සිද්ද වෙනවා .
මේ පොත ඕඩර් කරන්නෙ ඔන්ලයින් , නමුත් කැමති කෙනෙකුට කඩේකින් ගන්න හෝ Kindle වැනි ඉලෙක්ට්‍රොනික් ක්‍රමයකට පොත හොයාගෙන කියවන්න පුළුවන් .. ඕඩර් කරන එක අනිවාර්ය නැහැ .. නමුත් විනෝද ජනක දේ තමා , ඒ මාසය වෙනුවෙන් කියවන්නේ මොකක්ද කියල නොදැන තමා මේ පොත හැමෝම ඕඩර් කරන්නේ .. ඒ කියන්නේ අගෝස්තු මාසේ පලවෙනි බදාදා තමා හැමෝම දැනගන්නේ ඒ මාසෙට කියවන පොතේ නම , නමුට් ඒක කලින් මාසෙදි ඕඩර් කරන්නේ නම දන්නේ නැතුව
මේ පොත් බෙදා හැරීමේ කටයුතු ආදිය හරිම පිළිවෙලට සිද්ද වෙනවා . ක්ලබ් එකේ නිල ලාංචනය අලවපු පොතක් තමා එහෙම ඕඩර් කරන අයට ලැබෙන්නේ .
ඊට පස්සේ ඉතින් කට්ටිය තම තමන් කාපු බීපු දේවල් වල බිල ගෙවලා සන්තොසෙන් විසිරිලා යනවා ,
ඒ ඒ චැප්ටර් වල අය තමන්ගේ සමාජිකයින් සමග කටයුතු කිරීමට පහසු වෙන්න facebook ගෘප් හදාගෙන තියෙනවා වගේම Tough Guy Book Club එක වෙනුවෙනුත් page එකක් තියෙනවා .. නමුත් ඒක සමාජිකයින්ට විතරක් සීමාවුණු private එකක්
මම ගිය අවුරුද්දේ අගෝස්තු ඉඳල මේ වෙනකම් , එක මාසයක් ඇරුනම හැම මාසෙම ඔය මිටිමට ගියා , ඒ මාසේ පොත කියෙව්වා , මගේ කැඩුණු ඉංගිරිස් වලින් , මට හිතෙන දේවල් ඒ මිනිස්සු එක්ක කතා කළා , ඔවුන් දැන් කාලයක් දන්නා කියන හොඳ යාලුවෝ
දිල්ශානුයි මමයි බොහොම සුහදව අපිත් එක්ක ආස්සරේ කරන මේ අපුරු මිනිසුන් ඉන්න ක්ලබ් එකේ යාවජිව සාමාජිකයෝ බවට මේ වෙනකොට පත්වෙලා ඉන්නවා ..
මේ ඉන්නේ අපි සෙට් එක - ගිය මාසේ ආපු සෙට් එක
මේ ක්ලබ් චැප්ටර් එකක් ලංකාවේ නම් තාම නැහැ .. උනන්දු කෙනකුට පටන් ගන්න පුළුවන් .. නමුත් ඉංග්‍රීසි කියවන අය වෙන්න ඕනේ ..
සිංහල පොත් කියවන අයටත් ඉතින් මේ අදහස තියෙන වෙනම ක්ලබ් එකක් පටන් ගන්න පුළුවන් ඉතින්
කියවපු පොත් 12 ගැන තව පොස්ට් 12ක් හෝ ඔක්කොම දාල තව එකක් ලියන්නම්කො
ප . ලි
අදට මම මේ බ්ලොග් එක ලියන්න පටන් අරන් අවුරුදු 20ක් . දැකපු නැති කෙනෙක් ඉන්නවනම් මේ තියෙන්නේ පලවෙනි පෝස්ට් එක
විසි වසරක බ්ලොග් ලිවිල්ල ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න හිතාගෙන ඉන්නවා .. බලමුකෝ ඉතින් නේද ..


මුලින්ම අවුරුදු 20ක් තිස්සේ බ්ලොග් එකක් මේ විදිහට අඛණ්ඩව යාවත්කාලීන කරමින් ලියන එක ගැන සුභ පතනවා. අවුරුදු 20ක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයි. ඒකම ලොකු කැපවීමක්.
ReplyDeleteමේ ලිපියේ මුලින්ම මට “Chapters” කියන එක ටිකක් පැටලුණා. 😄 මම හිතුවේ පොතක chapters කියලා. පස්සේ තමයි තේරුණේ මේ කියන්නේ සංගමයේ විවිධ ශාඛා ගැන කියලා.
ලිපිය කියවන ගමන් මම මම ජීවත් වෙන යුරෝපයේ මේ වගේ සංගමයක් තියෙනවද කියලත් හොයලා බැලුවා. අවාසනාවට මට නම් එහෙම එකක් හම්බ වුණේ නැහැ.
ඇත්තටම හරිම interesting club එකක්. මම මේ ගැන කලින් කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. විශේෂයෙන්ම කාටවත් අපහසුතාවයක් ඇති නොකර, ගොන් ජෝක් නොකර, කතාබහක් මූලික කරගෙන එකිනෙකා එක්ක අදහස් බෙදාගන්න එක හරිම වටිනා දෙයක් කියලා හිතෙනවා.
ලංකාවේ අපේ සමහර කතාබහවල නම් වෙන්නේ වෙනම දෙයක්නේ. 😄 කතාවක් පටන් ගත්තම අන්තිමට හොයන්නේ අනිත් කෙනාගේ විස්තර, ඕපදූප, පෞද්ගලික දේවල්. හැබැයි ඒවාට වඩා ටිකක් ගැඹුරින්, මිනිස්සු ගැනත් ජීවිතය ගැනත් අදහස් ගැනත් කතා කරන්න පුළුවන් සංස්කෘතියක් තියෙන එක ඇත්තටම වටිනවා.
ඒ වගේම මාසෙකට පාරක් හරි මේ වගේ වැඩකට එකතු වෙන එකත් හිත සැහැල්ලු කරගන්න හොඳ ක්‍රමයක් කියලා මට හිතෙනවා.
හරිම රසවත් ලිපියක්. මම කලින් නොදැන හිටපු දෙයක් ගැනත් දැනගත්තා. දිගටම ලියමු. අවුරුදු 20 වගේම ඉදිරියටත් මේ බ්ලොග් එක අපිට කියවන්න ලැබෙන්න කියලා සුභ පතනවා!
මයියා , ස්තුතියි කොමෙන්ට් එකට . යුරෝපේ රටවල් කිහිපයක නම් තියෙනවා .
Deleteමමත් කැමති ඒ සුහද වැදගත් කතා බහට , පොඩි මඩ පාරවල් , බයිට් කරන දේවල් නැතුවම නෙමේ .. නමුත් හැම වෙලේම අනික් කෙනාට අපහසුවක් නොවෙන ගානට එනකම් විතරයි .
[මිනිස්සු ගැනත් ජීවිතය ගැනත් අදහස් ගැනත් කතා කරන්න පුළුවන් සංස්කෘතියක් තියෙන එක]
මේක තමා වැදගත්ම දේ .. මෙතන මට හම්බවුනු බොහෝ අය , හොඳ අවබෝධයක් සහ හොඳට පොත පත කියවන අය . ඕස්ට්‍රේලියාවේ මිනිස්සු හරියට කියවනවා .. බාලංස පන්තියේ ඉඳලම ළමයි හැමෝම පොත් කියවන්න ඕනේ ..
මමත් මේකට යන්නේ ඒකයි , හැමදාම ගෙවන ඒකාකාරී ජිවිතේට හොඳ වෙනසක් ලැබෙන දෙයක්
This comment has been removed by the author.
ReplyDelete“බිත්තිය” නමින් වසර විස්සක්
ReplyDeleteඅකුරු මල් පිදපු මල්ලි,
ඒ ගමන පුරාවටම
වෙහෙස දැරූ පැතුම් මල්ලි.
ඉඳහිට හෝ ඇවිද ඇවිත්
කියවා ගියෙමි මමත්,
විසි වසරක ඒ මතක
හදේ රැඳුණි නිහඬවත්.
දිනෙන් දින කාලය ගෙවී
අකුරු තවත් පිපේවා,
බිත්තියේ සුවඳ ලොවට
තවත් දුරට පැතිරේවා.
විසි වසරක් ගෙවුණාට
ගමන මෙතැනින් නොනැවතේවා,
තවත් විසි වසරක් ලියන්න
පැතුම් මල්ලිට හිත පහළ වේවා!
ස්තුතියි මයියා
Deleteලියන එක නතර වෙන එකක් නැහැ ඉතින් .. හිතුනොත් ලියනවා නැත්නම් නැහැ
මේක සමලිංගික පිරිමි හම්බෙන්න හදා ගත්තු ක්ලබ් එකක් කියලා කියනවනේ.
ReplyDeleteඔහේගෙ පළවෙනි පෝස්ට් එකටත් කොමෙන්ට් එකක් දාල තියෙනවනෙ කියල කො.කා. සභාපති හැටියට මට ඉමහත්ව සතුටු වෙන්න ඇහැකිනෙ.
ReplyDeleteජිම්පප්පල වගේ නාකි සුද්දො ආස්සරේ කරන්න තරං පැතුමත් නාකි උනා එහෙනං.
දැං අර ලොකු උනාම කරන්න හිතාගෙන හිටපු දේවල් අවුලක් නැතුව කරගත්තහැකිනෙ.
නාකියි කියල කිව්වට නාකිම නෑ .. සුද්දෝ ත් අපි වගේම හෙන අසරණ ජන කොටසක් කියල තේරෙනවා ඉතින් ඔය කතා බහ කරනකොට .. අපිට වඩා පොඩ්ඩක් සැපට හැදිලා ..
Deleteඒ පොස්ට් එකේ තියෙන කමෙන්ට් වලට මම රිප්ලයි දාලත් නැහැ
Lucky you !!!!!!
ReplyDeleteලංකාවේ එකක් පටන් ගන්න .. මම මෙහෙන් ඕනේ උදව්වක් දෙන්නම්
DeleteThank you!
Deleteසුබ පැතුම් පැතුමො! අවුරුදු විස්සක් මොන මොනා හරි ලියාපු එකම මදෑ..
ReplyDeleteමේ බුක් ක්ලබ් එක සුපිරි නෙව.. අර මයියා කියන්නා වාගේ අපේ මිනිස්සු කරන්නා වගේ පොඩි දේටත් කා කොටා ගන්නැතුන් මිනිස්සු ගැනත් ජීවිතය ගැනත් අදහස් ගැනත් කතා කරන්න පුළුවන් සංස්කෘතියක් තියෙන එකම තව දාහක් වටිනවා.
++++++++++++++++++
Deleteස්තුතියි බුරා .. බුරාව දැකීම සතුටක් .. ආයේ මොනවා හරි ලියමු ඉතින් .. ඉන්න කාලේ ලේසියෙන් කරන්න පුළුවන් වැඩනේ..
Deleteඕනෙම ක්ලබ් එකකට මේ වගේ නීති ටිකක් ගෙනල්ලා ඔය වැදගත් කතා බහ ඇති කරන්න පුළුවන් ..
ලංකාවෙත් ඇති මේ වගේ ක්ලබ් සමහරවිට
සුභ පැතුම්! පැතුම්. අවු 20 ක් කියන්නෙ සෑහෙන කාළයක්. ඒ කාලෙ සිංහල කොටපු "කපුටා" ගැනත් කමෙන්ට් දාලා තියනවා දැක්කා. 👌💐
ReplyDeleteඒක නේන්නම් .. අපි නාකි වෙලා
Deleteමේකෙ "පොපියුලර් පෝස්ට්" කැටගරියක් දානවද? කමෙන්ට් ගහ දිගේ බඩ ගන්න කම්මැලියි, අප්පා.
ReplyDeleteහොඳ අදහසක් .. මම හොයල බලන්නම් දාන හැටි .. මේ තීම් එකත් අවුරුදු 20ක් පරණ හින්ද ගොඩක් ගැජට් නැහැ ..
Deleteමේක වෙනස් කරන්න හිත හදා ගන්නත් බැහැ
දැම්මා .. හැබැයි පෙන්නන පෝස්ට් හරිම ඒවාද කියල ෂුවර් නැහැ .. සමහර විට feed එක රිෆ්‍රෙශ් වෙනකොට හරි යයි
Deleteතෑන්ක්ස්. හරි, මම ඒවා ටික බලන්නම්👌🙏
Deleteඑතකොට ඔය කලබ් එකේ බීල කස්ටිය ගෙදර යන්නෙ ඌබර් වලද?🤔
ReplyDeleteබොන්නේ බියර් හෝ වයින් .. ඒවාට වෙරි වෙන ඩයල් නෙමේ ඒ ගොල්ලෝ .. හාඩ් ලිකර් නම් කවුරුත් ගන්නේ නැහැ ඉතින්
Deleteපැතුම්ට සුභ පැතුම්. අවුරුදු විස්සක් තිස්සේ ලියනවා කියන එක අපුරුයි. නිකන්ම ලියනවා නෙමෙයි හිතන්න යමක් ලියනවා.
ReplyDeleteTough Guy Club එක වෙනස් ආරක්. එහෙම ඒවා fit වෙන අයත් ඉන්නවා. මොනවා උනත් පොත් කියවන එක හරි තේරුම් ගන්න එක හරි වැදගත් නේ. මම කැමතිම Don't be a F**k head කියන කෑල්ලට. ලාංකිකයන්ට ටිකක් අමාරුයි නේ මේ වැඩේ.?
ස්තුතියි නිහඩපාල , ඉංග්‍රීසියෙන් පොත් කියවන එක අපිට අමාරුයි ... මට සිංහල පොතක් දවසින් දෙකින් ඉවර කරන්න පුළුවන් උනාට ගොඩක් වෙලාවට මේ පොත් ඉවර කරන්න මාසෙම කියවන්න වෙනවා ..
DeleteDon't be a F**k head කියන කෑල්ල ඉස්කෝලේ ඉඳල උගන්නන්න ඕනේ සංකල්පයක් මම නම් හිතන්නේ .. :)
Congrats on 20 years.
ReplyDeleteස්තුතියි ඉයන්
DeleteOut of the two lankans which one is you?
ReplyDeleteඋස එකා
Deleteමූ මාව වල දාලා, අදට අවු 6 වෙනවා. මාව ගොඩ නොගත්ත ටෝව දීයාම කාපිය!
ReplyDelete- ස්කෲ ලොකයියා-
මේ ආණ්ඩුව යටතේ අපි ඔක්කොම යටගිය කේස් උඩට ගන්නවා ..අපි ඔය අනිත් අය වගේ නෙමේ
Deleteඅවුරුදු විස්සට . අපි නොලියන් කාලයේ ලිව්වා කෙනෙක් නේ ඔයා . මම අවුරුදු 13 තවම . ඔයා ඉන්ද්‍රනාත , ටැබූ සබ්ජෙක්ට්ස් , කකා (රසික ) , බෝධිනී එක්ක ල්ව්වේ නේද .
ReplyDeleteඔව් .. ඉන්ද්‍රනාත කියල නමක් නම් මට මතක නැහැ .. අනිත් අයව දන්නවා .. බෝධිනී යුනිකේත එන්නත් කලින් ඉඳල "බෝ" නමින් ලිව්වා මම හිතන්නේ .. කවි එහෙම .. මම ඒවා 2004 වගේ කාලේ කියවල තියෙනවා මතකයි
Deleteක්ලබ් එක මරු . අර චැලෙන්ජ් එක නම් නියමයි . මම ඒ කාලේ ගිය ෆ්‍රී මේසන් ලොජ් වල මිටින් වගේ . රිචුවල් නැතිව නිදහස් එකක් වීම හොඳයි . අපෙත් අදහසක් තියෙනව ලන්ඩන් වල එකක් කරන්න. මේක දැකල නෙමේ කිව්වේ. කාලෙක ඉඳන් තියෙන අදහසක් නන්දන වීරරත්න සහ තව කෙනෙක් එක්ක . . . සිංහල කට්ටිය එකතු කර ගන්න ටිකක් අමාරුයි.
ReplyDeleteලන්ඩන් වල ඇති එකක් .. ෆ්‍රී මේසන් ලොජ් වල මිටින් ගැන ලියල තියෙනවද ? මට මතක නැහැ කියෙව්වද කියල ..
Deleteමම හිතන්නේ Don't be a F**k head, No work talk දෙක ඕනෙම ක්ලබ් එකක් සාර්ථක කරගන්න වැදගත් වෙනවා කියල
ලොකු හපන්කමක්
ReplyDeleteඅවුරුදු විස්සක්
විස්ස පර නොවී
තවත් යමු දුරක්!
යමු යමු .. නිකන් ඉන්න එකේ මොනවා හරි ලියල දාන එකනේ
Deleteබසින්, පෙනීමෙන් ඉන්නා තැනින් වෙනස්
ReplyDeleteවුණත් මනුසතා පෙන්වයි ගතිය මිනිස්
කල්ලි ගැහෙන්නට - ගැහිලා වෙන්න සතොස්
හොඳ අදහසකි මේ; ගැබ් වුණු ගතිත් උසස්
කතාව ඇත්ත .. මිනිස්සු හැමෝම එකයි .. පහසුකම් විෂමතාව විතරයි වෙනස
DeleteDon't be a F**k head, No work talk මේ දෙක තමයි වැදගත්ම. තමන්ගෙ තරාතිරම නිසා ඉදිමෙන්නෙ නැතුව, හැමෝටම කියන්න කතා තියනවා කියල හිතලා, අත්දැකීම් බෙදාගන්න එක.
ReplyDeleteමට හිතෙන්නෙ අපේ සිංහල බ්ලොග් වලත් පරමාර්ථය වුනේ ඒක කියලයි.අපේ තරාතිරම පැත්තක දාලා, කියන්න තියෙන දේ ලියන එක. ඒත් "Don't be a F**k head" වැඩේ නං කවදාවත් වුනේ නෑ. ඔය සුහද හමුවීම් වලිනුත්, මේ සංකල්පයට යම් හානියක්(නොදැනීම වුනත්) වෙනවා කියන එකයි මගේ අදහස. ඒක මගේ පෞද්ගලික අදහස, මම වැරදි වෙන්නත් ඇහැකි.
සිංහල බ්ලොග් වල ඒ ලක්ෂණය තියෙනවා තමා .. කීප දෙනෙක් ඇරෙන්න ගොඩක් අය ගැන අපි වැඩි විස්තරයක් දන්නේ නැහැනේ .. ඔබ තුමා බස්සෙක් කියල විතරනේ අපි දන්නේ .. හෙහ් හෙහ්
Deleteඅනිත් එක F**k head චරිත ලියපු බ්ලොග් ටික කාලෙකින් නතර වෙලා ගියා ..
හමුවීම් නරක නැහැ ඉතින් .. ඒවා කරන්නේ වෙන විශේෂ දෙයක් ගැන සාකච්චා කරන්න නෙමේනේ ..
අළුත් අදහසක්! ටිකක් යාන්ත්‍රික ගතියකුත් එන්න ඉඩක් නැද්ද කියලා හිතෙනවා.
ReplyDeleteLitseeker, හොඳ පොයින්ට් එකක් .. අපි හිතනවා යාන්ත්‍රික වෙන එක අවුල් කියල . හැබැයි නීති ටිකක් පිළිවෙලට අනුගමනය කරන එකෙන් වඩා හොඳ ප්‍රතිපලයක් ලබා ගන්න පුළුවන් .. මේ ක්ලබ් එක නිකන් ඔහේ පොත ගැන කතා කරන්න කියල එකතු වෙලා අන්තිමට බයිලා ගහල ගෙදර යන ක්ලබ් එකක් වෙන්න බොහෝ විට ඉඩ තිබ්බා ඔය යාන්ත්‍රික නීති ටික නොතිබ්බ නම් ..
Deleteබටහිර සහ පෙරදිග අපේ චින්තනයේ තියෙන අවුලක් කියල තමා මට හිතෙන්නේ ඕක ..
අපේ රටවල් තාම තුන්වෙනි ලෝකේ ඉන්නත් බටහිර දියුණු වෙන්නත් එක හේතුවක් ඔය සරල නීති පද්දති හරියට පිලි නොපැදීම .. ඒක යාන්ත්‍රික වීම නෙමේ ,, වඩා හොඳ ප්‍රතිපලයක් ගන්න පුළුවන් බුද්දිමත් ක්‍රමයක් කියලයි අට හිතෙන්නේ
මේකට කෙලින්ම අදාල නොවන නමුත් මම ලඟදි ලබපු අත්දැකීමක් තියනවා. තොරතුරු සහ දැනුම එකතුකරන එකෙන් සම්පුර්ණයෙන්ම මිදෙන්න ඕනේ කියලා දින කිහිපයකට වනගත වුනා. ඒ ස්ථානයේ තිබුන එකක් තමයි දුරකථනය පහල කාර්යාලයේ තියලා කි.මිටර් දෙක තුනක් කන්ද මුදුනට නගින්න ඕනේ . පලවෙනි නීතිය තමයි එකිනෙකා අතර පෞද්ගලික විස්තර විමසන එක නවත්වන එක. තමුන් කව්ද කුමන තරාතිරමක කෙනෙක්ද ආවේ කොහේ ඉඳලද කියන විස්තර භාවනා යෝගීන් අතර හුවමාරු වෙන්නේ නැහැ.සුහද සිනහව ආචාර සමාචාර හැරුනහම වෙන කථා නැහැ. මමත්වය නැතිකරන පළවෙනි පියවර. දෙවෙනි පියවර හැමෝම එකම කාල සටහනකට යටත් කරන එක. මුලින් මේ කාල සටහන වදයක් වගේ පෙනුනත් සමාජයකට එහෙම වුවමනා බව පෙනුනා.එක වෙලාවකට හිතුනා එළියේ කාල රාමුවෙන් මිදෙන්න ආරණ්‍යයේ තවත් එකකට හිරවෙනවද කියල. Litseeker කියනවා වගේ යාන්ත්‍රික වෙනවද කියලත් හිතුනා. එත් එහෙම වුනේ නැතිනම් අපි ආයෙත් හිපියෝ වගේ වෙයි. සුරාව සහ දැනුම එක්ක පැතුම් යන club එකෙත් මේ කාරනා යම් විදිහකට තියනවා.
Deleteනිහඩපාල , මොකක් හරි අරමුණක් වෙනුවෙන් යන්න නම් එකට අදාළ විනයක් තියෙන්න ඕනේ නේ .. මේ ක්ලබ් එක මාසෙන් දෙකෙන් නතර නොවී 2012 ඉඳල මේ වෙනකම් රට රටවල් පුරා ව්‍යාප්ත වීමේ මුලික හේතුව ඒ යාන්ත්‍රික විනය කියලයි මම නම් හිතන්නේ
Deleteමේ විදිහෙම නැතත් පොඩි පොඩි කව වගෙ ඒවා තියෙනව නෙ. බුකියෙන් ග්රූප් වෙලා සමහර විශේෂ දවස්වලට විතරක් සැට් වෙන. ක්රියාකාරීත්වයනං මන්දගාමී මයෙ හිතෙ.
ReplyDeleteජය & සුභ පැතුම් විසිවසරට 🎉!
ස්තුතියි නමියා .. මේ ක්ලබ් එක පටන් අරන් තියෙන්නේ 2012 මේ වෙනකොට රට රටවල් කිහිපයක තියෙනවා කියන්නේ මේ අ ය කරන දේ හරියට කරනවා කියන එකනේ .. අපි පටන් ගන්න ඒවා ඔක්කොම බාගෙට නතර වෙන එකනේ වැඩේ
Deleteමේ ක්ලබ් එකේ අයිඩියා එකට මම මාර ආසයි... අර සන්නගෙ රෝයල් තැබ්බ්රොබේන් එක වගේ ත්රස්තමූලස්තානයක් නොවුනු මේ වගේ එකක් හැදෙනවනම් පංකාදුයි
ReplyDeleteස්තුතියි ලෙමන් , රෝයල් තැබ්බ්රොබේන් එකේ මොකද වෙන්නේ .. මම දවසක් ඒක බලන්න කියල ගියා .. පාලුවට ගිය බිල්ඩිමක් නම් තිබ්බා .. ඒක ඉතින් සන්නස්ගල සර් ට පොර වෙන්න හදපු එකක් කියල තමා මට නම් හිතෙන්නේ
Deleteලංකාවේ මේවගේ දෙයක් කරන්න පුළුවන් .. කවුරු හරි පටන් ගන්නයි ඕනේ
මේ වයසක පිරිමි සමලිංගික ඩයල් කියලා කියනවා
ReplyDeleteආවට ස්තුතියි ඇනෝ , මේකේ ඉන්නේ අනිත් හැමතැනම ඉන්නවා වගේ මිනිස්සු තමා .. කාගේවත් ලිංගේ කාටවත් අදාළ නැහැ
Deleteසමහර විට අවුරුදු විස්සක් එක දිගටම ලියැවුණු එකම සිංහල වියුණුව බිත්තිය වෙන්න පුළුවන්. සුබ පැතුම්!
ReplyDeleteස්තුතියි ඉකොනොමැට්ට
Deleteමෙහෙ තියෙනවා gay bar නං, මේ කියන විදිහේ එකක් මගේ ඔෆිස් එක ළඟ තියෙනව එකට යන්න පුළුවන් හැබැයි 50න් උඩ අයට විතරයි
ReplyDeleteමේ ක්ලබ් එකේ නම් 50න් උඩ කියල සීන් එකක් නැහැ .. 18ට වැඩි වෙන්න ඕනේ එච්චරයි .. හොඳ අදහස්/වැඩ තියෙන ක්ලබ් /සමති සමාගම් ඇති ඔය රටාවල
Deleteමේකයි මේකයි ඉතින් දැන් මේවා කිව්වාම හේරත්ගේ හිත රිදෙන්නත් පුළුවන්.
ReplyDeleteඒ රත් ලයිටින් හෙන ගොඩේ හපුතලය පැත්තෙ හෙළ කදුරුගමේ දුෂ්කර මේ ඕස්ට්‍රේලියාවට ගියා ගැන ලොකු දෙයක්ද ඒ වගේ සමලිං එකක් වලට ගිහිල්ලා අපිට දානවා පින්ත
පැතුං හේරත් සමලිංගික ඩයල් එකක් නේද
ReplyDeleteහොඳටම පරක්කු වෙලා මම ආවෙ. ඇත්තටම මේ වගේ ඒවට යන එක හොඳයි පැතුම්. මගේ නිරීක්ෂණයක් තමයි සාමාන්‍යයෙන් අපිට වෘත්තීය මට්ටමින් භාශාව හොඳට හසුරුවන්න පුලුවන් වුණත්, මේ විදිහට කලා නිර්මාණයක් ගැන, අපේ ජීවිත අත්දැකීම්, හැඟීම් ගැන කතා කරද්දි අපිට සමහර වෙලාවට ලස්සනට අදහස් කියවෙන්නෙ නෑ. එක්කො අපි ඉක්මණට ඉක්මණට කතා කරනවා; strong වචන පාවිච්චි කරනවා; නැත්නම් අපිට ඒ අවස්තාවට ගැලපෙන dynamics, tones ගන්න බෑ. නමුත් මේගොල්ලො ඉතාම නැවතිල්ලෙ, තැන්පත් විදිහට ලස්සන වචන දාලා, අනවශ්‍ය විදිහට හැඟීම්බර නොවී තමන්ගෙ අදහස් ප්‍රකාශ කරන්න දක්ශයි. එතකොට ඇත්තටම අහගෙන ඉන්න ආසයි වගේම අපිටත් අලුත් වචන, තැනට සුදුසු phrases එහෙම ඉගෙන ගන්නත් පුලුවන්.
ReplyDeleteඅවුරුදු විස්සට සුබ පැතුම් 🎉.
බුක් ක්ලබ් එක නම් ගොඩක් වටිනවා අයියේ මෙහෙත් පටන් ගන්න පුළුවන් නම්, සුබම සුබ පැතුම් අවුරුදු 20 ට. ගොඩ දවසකින් ආවේ. ගොඩක් දේවල් බුක් ක්ලබ්ස් එක ගැන දැනගත්තා.ස්තුතියි.
ReplyDelete