ගිය සෙනසුරාද උදේ සුදුව මැරුණා . සුදුවා ගැන මම මිට කලින් ලියල තියෙනවා . ඌ මගේ හොඳම යාලුවා කියල මම කවදාවත් කියන්නේ නැහැ .. හැබැයි ඌ තමා මගේ පළමු යාලුවා.
සුදුවගේ නම චමින්ද , මම ජිවිතේට ඌට චමින්ද කියල කතා කරලා නෑ ..හැමදාම සුදූ , සුදුවා තමා .. ඌට සුදූ කිව්වේ මොන මගුලටදැයි අපි කවදාවත් අහලත් නෑ, හිතලත් නෑ ..
උගේ මරණය ගැන අහපු වෙලාවේ මට දැනුනේ දුකක් නෙමේ සංවේගයක් ! ඒ කියන්නේ යාලුවෙකුගේ මරණයට වඩා මේ ලෝකේ ඕනෙම කෙනෙක් මැරුණා කියල ඇහුවම දැනෙන හැඟීම වගේ දෙයක් .
මම අර සෙල්ලම් කාලේ පොස්ට් එකේ දී දාල තියෙන අපේ පරණ ගෙදර ඉන්න කාලේ ඉඳල සුදුලෑ පවුලයි , අපේ පවුලයි අඳුරනවා .. ඒ කියන්නේ අපේ අම්මයි තාත්තයි හපුතලේ ඉඳල බියගමට පදිංචියට ආපු කාලේ ඉඳල අපේ අසලවැසියෝ උනේ සුදුලයි, සුගත්ලයි .. මට මතකයි අපේ අම්මා කියනවා අම්මලට බොන්න තේ ටිකක් වත් හදා ගන්න විදියක් නැතිව ඉන්නකොට ඒ මිනිස්සු කෑම බිම ගෙනල්ල දුන්න හැටි ගැන .
මට සුදුව කියන්නේ ජිවිතේ මම හැමදාම දැනගෙන හිටිය එකෙක් වගේ .. ඒ කියන්නේ ඌව අඳුරගත්ත දවසක් මගේ මතකේ නැහැ ... ඌ මට වයස අවුරුදු දෙකේ තුනේ විතර ඉඳල මාත් එක්ක සෙල්ලං කරන්න ඇති .. ඌයි මායි එක වයසේ ..!
අපි දෙන්නා ගියේ එක ඉස්කෝලෙට, හිටියේ එකම පන්තියේ ..සෙල්ලං කලේ කෑවේ බිව්වේ එකට ..
හැබැයි ඌ මැරුණා කියල ඇහුවම මට සංවේගයක් එක්කම සහනයකුත් දැනුනා කියල මට හිතෙනවා!
සුදුවා කියන්නේ තනිකර බුලියෙක් ! ඌ මාව පොඩි කාලේ ඉඳල බුලි කළා කියන එක තමා මට ඌ ගැන තියෙන මතකේ
ඒක මට තේරෙන්න පටන් ගත්තේ ගොඩක් පහු වෙලා ... මට ඒක පොඩි කාලේ ප්‍රශ්නයක් උනත් , මම ගණන් ගන්නේ නැතුව හිටියා .. හැබැයි අවුරුදු 18-20දී තේරෙන්න ගත්තට පස්සේ මම ටික ටික උගෙන් ඈත් වුණා ..
උගේ ඒ බුලි කම මට විතරක් තිබ්බ දෙයක් නෙමේ ... ඌව ආස්සරේ කරපු ගොඩක් උන්ව ඌ බුලි කළා ..
ඒ දවස් වල අපේ පැත්තේ ගොඩක් මිනිස්සුන්ට තිබ්බේ එක්කෝ පොල් අතු ගෙවල් නැත්නම් යන්තම් කටු මැටි / ඔය මැටි ගඩොල් වලින් හදපු ගෙවල් .. ඒ කාලෙත් සුදුලට තිබ්බ සිමෙන්ති වලින් බැඳලා කපරාරු කරපු ගෙයක් ... පොඩි ගෙයක් නමුත් ඒක අනිත් ඒවට වඩා හොඳ ගෙයක්
සුදුලෑ තාත්තා වැඩ කලේ විදුලි බල මණ්ඩලේ .. මම හිතන්නේ මනු කියවන්නෙක් ලෙස පටන් අරන් ඊට පස්සේ ඉහලට යන්න ඇති .. නමුත් මොනවා කලාද කියල මම දන්නේ නැහැ .. හැබැයි ඔහුව තාමත් ගමේ හැමෝම දන්නේ ලයිට් බාසුන්නැහැ කියල .. ඉලෙක්ට්‍රික් වැඩ එහෙම හොඳට දන්නවා .
සුදුලෑ අම්මා ගෙදර හිටියේ .. සුදුලෑ අම්මා අපි පොඩි කාලේ හරි සැර නපුරු කෙනෙක් විදියට තමා අපිට පෙනුනේ .. කොයි වෙලෙත් රණ්ඩු වෙන , සුදුවට ගහන , බනින අර නපුරු කුඩම්මා කියන චරිතේ වගේ කෙනෙක් ... හැබැයි අපි ලොකු වෙනකොට සුදුලෑ අම්මා මාත් එක්ක ගොඩක් හිතවත් උනා .. මට ගොඩක් හොඳින් සැළකුවා .. ඇය මිය ගිය දවසේ මට ඇත්තටම ලොකු දුකක් පාළුවක් දැනුනා කියල මට අදටත් මතකයි !
සුදුවා බුලියෙක් වෙලා , සමාජෙට බරක් වෙච්ච , අකාලයේ අන්ත අසරණව සෑහෙන දුකක් විඳලා මැරෙන්න හේතුව ඒ දෙමව්පියෝ කියල තමා මට අදටත් හිතෙන්නේ ..
ඌයි මායි හැදුනේ එකම පරිසරයක , ආස්සරේ කලේ එකම යාලුවෝ , ගිය එකම ඉස්කෝලෙට , ඌට නැති වුණේ දෙමව්පියන්ගේ ආදරේ කියල විතරමයි මට හිතෙන්නේ .. සමහරවිට ජාන වලින් එන අවුල් තියෙන්න ඇති .. නැත්නම් කර්මය හරි සර්වබලදාරි වහන්සේගේ කැමැත්ත වෙන්න ඇති .. හැබැයි සියයට සියක් මට කියන්න පුළුවන් උගේ ජිවිතේට අඩුවෙන්ම ලැබුනේ කරුණාවන්ත කම , ආදරය , රැකවරණය ආදී මුලික මිනිස් අයිතිවාසිකම් කියල ..
ඌ අම්මගෙනුයි තාත්තගෙනුයි අමු තිත්ත කුණු හරුපෙන් බැනුම් අහද්දී ඌට වයස අවුරුදු 10ක් වත් නැතුව ඇති .. ඒ දෙමව්පියෝ ඌව හැදුවේ වදයක් විදියට සලකල .. සුදුවට හිටියේ අක්කා කෙනෙක් විතරයි .. මට හිටියෙත් අක්කා විතරයි .. අපේ ගෙදරයි උන්ගේ ගෙදරයි අහසයි අපායයි වගේ කියල තමා මට හිතුනේ ..
ඌ අඬපු හැටි මට මේ දැනුත් මැවිලා පේනවා .. O/L විබාගෙට කලින් දවසේ පන්සලට ගිහින් එන්න කියල ගෙවල් වලින් ළමයින්ට කියන එක සාමාන්‍ය දෙයක් නේ ..
සුදුවට ඒක උගේ අම්මා කිව්වේ " කාලකන්ණි වේ* ගේ පුතා පලයන් පන්සලට ගිහින් වැඳලා වරෙන් .. තෝව මරණව දැනගනින් .." මේ වචන මම උන්ගේ ගේ ඉස්සරහ ඌ එනකං ඉන්න ටිකට මට ඇහුන ටික .. ඌ ගෙදරින් එලියට බැස්සෙත් අම්මට අමු කුණුහරුපෙන් බැනගෙන .. හැබැයි ඌ මග දිගට අඬ අඬ ගිහන් බියගම ගනේවත්ත පන්සලේදී හොඳටම අඬුව .. මට ඒක ජිවිතේට අමතක නොවෙන සිද්ධියක් ..
උගේ ඉගෙනීම ගැන මම මොකුත් කියන්නේ නැහැ ..!
බියගම වෙළඳ කලාපෙට ආපු ගෑනු ළමයින්ට බෝඩින් කාමර හදන එක ඒ පැත්තේ මිනිස්සුන්ට හොඳ ආදායම් මාර්ගයක් .. සුදුලා එයාලගේ ගෙදරට පිටිපස්සෙන් තව ලොකු ගෙයක් හැදුවා ඔය කාලේ .. ඒ කියන්නේ අපේ ගෙදරයි උන්ගේ ගෙදරයි අතර ...
ඔය කෙල්ලෝ නාන ලිඳ තිබ්බේ අපේ ගෙදරට හොඳට පේන විදියට , මම මුලින්ම ගෑනු නිරුවත දැක්කේ ඒ කාලේ .. මොකද ඒ කෙල්ලෝ නාද්දී දිය රෙද්ද හදන්නේ අපේ ගේ පැත්ත හැරිලා ..
මම ඕවා බලල තේ ගහනකොට සුදුවා මම හිතන්නේ ඒ බෝඩිමේ හිටපු හැම කෙල්ලටම ගහන්න ඇති !.. ඒ අතින් ඌ ලෙජන්ඩ් එකක් !!!
මම දන්න විදියට A/L ඉවර වෙලා අවුරුද්දක් දෙකක් යනකම් අපි හොරෙන් වැල පීස් බලනකොට සුදුවා ඒ පැත්තේ හිටපු වයස 30,40,50 වෙච්ච ඇන්ටිලා කිහිප දෙනෙක් එක්කත් සෑහෙන සෙල්ලං දදා හිටියේ ..
ඔය කාලේදී සුදුලෑ ගෙදරට වෑන් එකක් ගත්තා .. ටොයෝටා හයිඑස් එකක් .. සැරයක් මගේ කොම්පුටර් එක කැඩිලා එක හදන්න බම්බලපිටියේ MC එකට එහා පැත්තේ unity plaza එකේ තිබ්බ PC හවුස් හරි මොකක් හරි ඒ දවස් වෙල හෙන ජනප්‍රිය කොම්පුටර් කඩේට ඌයි මායි සුදුලෑ අම්මයි ගියා ..
සුදුවගේ වයිෆ්ව යාලු කරගන්න ලියපු පළවෙනි ලව් ලෙටර් එක ඕකට ලියල දුන්නේ මම .. ඌ එක ඌ ලිව්වා වගේ ගිහින් දීලා කොහොමහරි ඒ කෙල්ලව යාලු කරගත්ත .. පස්සේ අපි දෙන්න ඒ කතාව උගේ වයිෆ්ට කියා කියා හිනා වෙවී හිටියා ..
ඌයි මායි O/L ඉවර වෙලා මියුසික් ක්ලාස් ගියා ඔය දෙල්ගොඩ හරියේ .. ඌ ගිටාර් ඉගෙන ගත්තා මම කීබෝඩ් , මට ඒ වැඩේ සෙට් උනේ නැති උනත් සුදුවා ඒ වැඩේ දිගටම කළා .. ඌ ලීඩ් ගිටාර් ගහන බෑන්ඩ් එකක් හදා ගත්තේ පස්සේ කාලෙක .. පස්සේ පස්සේ කලේ ඔය Sounds බඩු එහෙම කුලියට දෙන එක තමා .. මම හිතන්නේ මැරෙනකම් ම කලේ ඒක .. වෙන කිසි දෙයක් ඉගෙන ගත්තේවත් කවදාවත් රස්සාවක් කලේ වත් නැහැ ..
ආ වෙළඳ කලාපෙට කෙල්ලෝ අරන් හයර් දිව්වා වෑන් එකේ ..
සුදුවා බුලියෙක් හින්දා ඌට බජාර් එකේ කට්ටිය හිටියා .. ඌ වචන වලින් එහාට මිනිස්සුන්ව බුලි කරන ජාතියේ එකෙක් ..
අපේ ගෙදරයි උන්ගේ ගෙදරයි අතර දුර මීටර් 50-100ක් ඇති ඕනනම් .. මම කඩේට ගිහින් උන්ගේ ගේ පාස් කරලා එන ටිකට ඕක මාව අල්ලගෙන එක්කෝ කඩෙන් ගෙනාපු දේ බලෙන් අරන් කනවා .. ඊට පස්සේ මට ගෙදර යන්න ඇරලා මු මට ගල් වලින් ගහනවා .. ඒක විහිලුවට වරක් දෙවරක් කරපු දේකට වඩා අර හිංසා කරලා සතුටු වෙන්න කරපු වැඩක් .. මේ විදියේ වැඩ ඕනේ තරම් ඕක අපේ සෙට් එකේ සහ ඌව ආස්සරේ කරපු බොහෝ දෙනෙකුට කරලා තියෙනවා .. ඒ පොඩි කාලේ, පස්සේ ඒවා ඊට වඩා දුර දිග ගිය බව මට ආරංචි උණා ..
මම කොහොමත් A/L කාලෙන් පස්සේ ගමේ උන්ගෙන් ටික ටික ඈත් උණා .. සුදුවත් ඔය යන එනකොට එහෙන් මෙහෙන් හම්බුනාට වැඩි ගනු දෙනුවක් තිබ්බේ නැහැ .. මම ඌට සෑහෙන වතාවක් ඔය කුපාඩි වැඩ නතර කරලා මනුස්සයෙක් වෙයං කියල කියල තියෙනවා.. හැබැයි ඌට ඒ කාලේදී බජාර් එකේ ලොකු කකුල් සෙට් වෙලා හිටියා .. අපිව ගණන් ගන්න තරම් ඌට උවමනාවක් තිබ්බේ නැහැ ..
සුදුලෑ අම්මා නැති උනේ ඊට අවුරුදු 5-6කට පස්සේ .. එතකොට සුදුව බැඳලා හිටියේ .. සුදුලෑ අම්මා ඒ වෙනකොට පොඩ්ඩක් සතුටින් ඉන්න , හිත හොඳ කෙනෙක් විදියට තමා මට හිතුනේ .. උන්ගේ ගෙදරට ටෙලිපොන් හම්බ උනේ අපිට කලින් .. ඒ කාලේ මම මම ඔය එව්වා මෙව්වා තිබ්බ කෙල්ලන්ට දෙන්නේ උන්ගේ ගෙදර නම්බරේ .. සුදුලෑ අම්මා ඉතින් එක්කෝ එනවා වැට අයිනට ඇවිල්ලා කෑ ගහනවා "මෙන්න කෝල් එකක් එන්ඩෝ .."කියල .. එහෙම නැත්නම් දොර ගාවට ඇවිල්ලම කියනවා "අන්න ගෑනු ළමයෙක් කතා කරනවා ඔයා දුවල යන්න මම හෙමින් එන්නම්.." කියල .. හෙහ් හෙහ් ..
සුදුලෑ අම්මා, සුදුවටත් ඒ කාලේ වෙනකොට එච්චර බැන්නේ නැද්ද කොහෙද .. මම හිතන්නේ ඒ වෙද්දී අම්මලා තාත්තල උගේ හැටි දැනගෙන හිටියේ .. බැනල හදන්න ගියේ නැහැ ..
සුදුවා ගැන මට තියෙන්නේ අන්තිම මතක කීපයක් විතරයි .. එක දවසක් මම ඔය මැලේසියාවේ ඉඳල ලංකාවට ගිය දවසක මු මට කෝල් කළා . බිලද, කුඩු ගහලද මම දන්නේ නැහැ .. ඒ කෝල් එකෙන් පස්සේ මම ආයේ ඌ දැක්කේ 2023 ලංකාවට ගිහින් ගෙවල් පැත්තේ ඇවිදලා එන්න ගිය වෙලාවේ .. එතකොට ඌ හොඳටම අසනීප වෙලා හිටියේ .. දිය වැඩියාව වැඩිවෙලා .. මම ගෙදරට ගියා ඌව බලන්න , හොඳටම අමාරුවෙන් හිටියේ .. වයිෆ් හිටියේ නැහැ, ළමයි තුන් දෙනෙක් ද කොහෙද ඉන්නවා .. මුළු ගෙදරම චු ගඳයි , අපාය වගේ .. මූ ඇත්තටම වේදනාවෙන් ඉඳගෙන මට කිව්වා පොඩ්ඩක් මේ පිට අතගාපන්කෝ රිදෙනවා බන් කියල .. මම ටික වෙලාවක් පිට අත ගගා ඉඳල එන්න ආවා ..
2024 දෙසම්බරුත් මම ගියා සුගත්ලගේ ගෙදර රෑ කෑමට ... ඒ සැරේ සුදුව බලන්න යද්දී සුගත්ලගේ තාත්ත ගාමිණි මාමා කිව්වා "ඔයා යන්න එපා පුතේ අපාය වගේ විසබීජ ගොඩක් , යන යන මිනිසුන්ට කියල වැඩ ගන්නවා .. ඔයා යන්න එපා කියල .. මම එදා රෑ අනිත් ගොඩක් කොල්ලෝ හම්බවෙන්න උන්ගේ ගෙවල් වල ගිහින් ආපහු ආවා .. සුදුවව බලන්න ගියේ නැහැ ..
මම එත් සුගත් අතේ ඌට පණිවිඩ යැව්වා ඔය දියවැඩියාවට බෙහෙත් ගන්න මම දන්නා දොස්තරලා ගැන .. නමුත් ඌ ඒවා ගණන් ගන්නේ නෑ කියල සුගත් කිව්වා
ඊට මාස දෙක තුනකට පස්සේ සුගත් මැසේජ් එකක් දැම්මා සුදුවගේ කකුල කැපුවා බන් කියල ..
ඒ වෙද්දී සුදුවගේ වයිෆ් රට ගිහින් .. හැබැයි ඌව දාල ගිහින් නෙමේ .. ළමයි ටික හදා ගන්න හිතාගෙන ගිහින් තියෙන්නේ ..
ඊට පස්සේ ගිය සෙනසුරාද මැසේජ් එක ආවා සුදුවා මැරුණා බන් කියල .. ඌ සෑහෙන දුකක් විඳලා , මුළු ඇඟටම විසබීජ ගිහින් ඉස්පිරිතාලේදී මැරිලා තියෙන්නේ ..
සුගත් අන්තිමට කිව්වෙත් ඌ මැරුණේ විහින් බන් .. මැරිච්ච එක හොඳයි බන් කියල ..
ගෙවුණු සතියේ කීප සැරයක් මට ඌව මතක් වෙලා ඇඩුනා.. ඒ ඌ නැති දුක හින්දා නෙමේ . ඌ පව් කියල .. මට ඌ පොඩි කාලේ අම්මලට බයේ අඬපු හැටි මතක් වෙනවා .. උගේ මුනේ තිබ්බ අසරණ කම සමහර වෙලාවට මැවිලා පේනවා .. ඌ ලොකු වෙලා බජාර් එකේ මැරයෙක් වෙච්ච චරිතේ මම ආස්සරේ කරලා නැති හින්දා මට උගේ ඒ නරක රූපේ මැවෙන්නේ නැහැ .. හොඳටම රිදුනු අසරණ පොඩි එකෙකුගේ රුපයක් විතරයි මගේ ඔලුවේ තියෙන්නේ ..
නිවන/ ස්වර්ගය/ දෙව්ලොව කියල දේවල් මේ ලෝකේ තියෙනවනම් ඇත්තටම ඒවා අත්විඳින්න ලැබෙන්න ඕනේ මේ විදියට අපා දුක් විඳලා, මේ ජිවිතේ සතුට කියල දෙයක් විඳින්න නොලැබු න සුදුවා වගේ මිනිස්සුන්ට තමා. කෙළවර තියෙනවයි කියන අමාමහ සැනසීමවත් උන්ට ලැබෙන්න ඕනේ !
උඹට නිවන් සුව ලැබෙයි මචං !!!!















.jpg)



























