Thursday, February 09, 2023

21 වසරක්


ඉරි වැටුණු සරමයි  අත්කොට ෂර්ට් එකයි , නැත්නම් අත්දිග ෂර්ට් එකයි කලිසමයි එක්ක කලුපාට ලෙදර් බෑග් එක. 

බයිසිකලේ  උදේ හවස ගමන් බිමන් ගිය, තනි අතින්  ගෙදර දොරේ හැම වැඩම කරලා, පුදුම රසට උයල, ගෙදරට එන ඕනේ කෙනෙකුට කන්න බොන්න නොදී ආපහු යන්න නො දුන්න , යාලුවන්ගේ, නෑයන් ගේ , ගමේ අයගේ , දන්න කියන ඕනේ කෙනෙකුගේ වැඩකට බෑ නොකියා උදව්පදව් කරපු, 

පොඩි දේටත් සංවේදී වෙන, ඇස්වලට කඳුළු ගලන , පොඩි දරුවන්ට පණ වගේ ආදරේ කරපු .. හවසට පොඩි ෂොට් එකක් දාගෙන ඇවිල්ල සාලේ මැද්දේ නිදාගෙන පෙළපාලි යද්දී කෑ ගගහ කියපු  සිංදු කියන .. යූ.ඇන්.පි කාරයෝ  , ජෙප්පෝ පෙන්නන්න බැරි,

ජිවත් වෙන්න විදියක්  නැතුව  වගා කරපු , උගස් අඹරන මැෂිමකට  වම් අතේ මහපට ඇඟිල්ල විතරක් ඉතිරි කරන්න ඉඩ දීපු,   කසිප්පු පෙරපු,  බදාම අනපු , තමන්ගේම කියල ගොඩනැගිලි කොන්ත්‍රාත් සමාගමක් පටන් ගත්තු , සල්ලි හම්බ කරන්න නොතේරුණු     

වයස අවුරුදු 35-40 ක් විතර වෙද්දී ලෝකේ රටවල් විසි ගානක විතර ඇවිදලා තිබ්බ , එවකට රටේ හිටපු අගමැති, මැති ඇමතිල එක්ක එකට කාපු බීපු , ඕනේ තැනක, ඕනේ දේශපාලකයෙක් එක්ක, දේශපාලන වේදිකාවක  බය නැතුව කතා කරලා, තමන්ට ඕනේ වැඩේ කරගන්න පුළුවන්,  තමන්ගේ  අත්සනින්  මිනිස්සුන්ට රස්සා අරන් දීපු,  

කවදාවත් බණක් බාවනාවක් නොකරපු, පන්සලේ හැම වැඩේම කරට අරගෙන කරලා දීපු , හැම පෝයටම පොල්  සම්බෝලයක් , පරිප්පු හොද්දක් හදාගෙන පන්සලට ගිහින් දානේ  බෙදපු .., කවදාවත් ගාථා නොකියන ,  දණ ගහල වඳින්නේ නැති,  ලොකු හාමුදුරුවන්ගේ හොඳම හිතවතා වෙච්ච.. 

හොර ගණයින්ට කුණු හරුපෙන් බනින..

හතර වරිගේ නෑයින් හැමෝගෙම ආදරය එක විදියට ලබපු , ආස්සරේ කරපු හැමෝම හැමදාම ආදරයෙන් මතක් කරන චරිතයක් වෙච්ච, වචන වලින් නැතුව ක්‍රියාවෙන් හැමෝටම ආදරය කරපු අවුරුදු 55ක් විතරක් ජිවත් වෙච්ච තාත්තා නැතිවෙලා අවුරුදු 21 ක් ගෙවිලා..

තාත්ත ගැන මේ ලියපු සමරිය ඇතුලේ  තව කතා ගොඩක් තියෙනවා .. ඒ වගේ ජිවත් වෙච්ච චරිතයක්  මට තාම හම්බවෙලා නැහැ. 

තාත්තා පර්ෆෙක්ට් කෙනෙක් නෙමේ … හැබැයි සිරා චරිතයක්… සංවේදී ගැහැණු ආදරයත් , දඩබ්බර පිරිමි  කමත් දෙකම තිබිච්ච, ඒ දෙකම හංගන්නේ නැතුව පෙන්නපු  කෙනෙක්…

ආගමික පොත පතින් , ගැඹුරු බණ වලින් සංකීර්ණ නිවනක් හොයන අපිට මිස් වෙච්ච සරල ජීවිතය තාත්ත ගෙව්වා කියල මට හිතෙනවා ..


31 comments:

  1. හේරත්ලැයි තාත්තා පුබ රත්නායක මහත්තය එක්ක දේශපාලනේ කරනවා මට මතකයි. තාත්තා හිටියා නං දැන් දේශපාලනේ කරන්න පුළුවන් උදිත් ලොකුබණ්ඩාර එක්ක.

    හේරත්ට අතීතේ අමතක නැති එක හොදයි. කොහොම උනත් හේරත් බේබදු කමට හුරු නොවී ඉගෙන ගෙන ඉදිරියට ඒම ගමටත් ආඩම්බරයක්.

    ඔය හැන්දෑවට අතපය වෙවුලනවට අරක්කු ඩිංගක් බුන්නට කමක් නැහැ. පුරුදු වෙන්න එපා ඒවාට.

    පුංචිබණ්ඩාර - වැලිහෙලගම

    ReplyDelete
  2. ඔහොම ආතල් එකේ ගතකරන ජීවිත වලට නිවන් දකින්න බණ ඕන නෑ.

    னයා.
    (එකවුන්ට් එකෙන් ලොග් වෙන්න දෙන්නෑ මේකට)

    ReplyDelete
    Replies
    1. ඔක්කොමත් හරි නයින්ගෙන් බණ අහන්න වුන එකතමා සංවේදජනකම කාරණය...

      Delete
    2. හීල් දානෙ නුවර-එලියෙන් වෙන්ටෑ :)? (පතෑං)

      Delete
    3. නයා, සෙන්නා සහ බස්සා.. ජිවිතේ හැටි ..

      Delete
  3. ෂා මාර චරිතයක් නෙව? තාත්තගෙ කතා ටිකකුත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ගොඩක් සිද්දි වල විස්තර මට මතක නැහැ දැන් ... ලංකාවේ හිටිය නම් පරණ නෑයෙක් ගෙන් අහගන්න වත් තිබ්බා ... අම්මටත් මතක සිද්දි විතරයි වැඩි විස්තර නැහැ

      Delete
  4. //අපිට මිස් වෙච්ච සරල ජීවිතය// අඩෝ ඒක තමා... මිස් කර ගන්න හොඳම නැති එක.

    ReplyDelete
    Replies
    1. සිහින ලොවක තතු මැවුණා කියවද්දී
      පුදුම වුණෙමි අවසානය එළඹෙද්දී
      මෙහෙව් මිනිස්සුත් හිටියා නෙව පෙරදී
      ඉන්න තිබුණෙ අප්පච්චී වත්මනෙදී

      Delete
    2. නමියා , කොම්පුටරේ ඉස්සරහ දවස ගෙවෙද්දී හුස්ම ගන්න එකත් මිස් වෙනවා බන්

      Delete
    3. [ඉන්න තිබුණෙ අප්පච්චී වත්මනෙදී] මේක නම් හැමදාම වගේ හිතෙනවා නිදී .. නැතිවෙලා ගෙවිච්ච අවුරුදු ගාන වැඩි වෙද්දී මතක් වෙනවා වැඩියි

      Delete
  5. තව ලියන්න . ආසාවෙන් කියවනවා. ඇත්තටම ඒ පරම්පරාවේ අයගෙ ජීවිත සරලයි . සුන්දරයි .

    ReplyDelete
    Replies
    1. ඔව් අනුරුද්ධ අපේ තාත්තගේ ජිවිතේ ෆිල්ම් එකක් වගේ ... කොටින්ම එයාව විරුද්ධ පාක්ෂිකයෝ වාහනෙකින් පැහැරගෙන යද්දී ඒ වාහනෙන් පැනල බේරිලා ගිය සිද්දියකුත් තියෙනවා .. ඒ සිද්දි වල අගමුල මට අහන්න කෙනෙක් නැහැ දැන් ... නමුත් ටික ටික හරි හොයල ලියල තියන්න ඕනේ

      Delete
    2. //ඇත්තටම ඒ පරම්පරාවේ අයගෙ ජීවිත සරලයි . සුන්දරයි//

      ඒ අපිට බාහිරින් බලද්දි ප්‍රෙන හැටි🤔

      Delete
  6. ඒ දවස් වල පී බී රත්නායක වගේ නමක් තියෙන ශ්‍රී ලනිප දේශපාලනඥයෙක් හිටිය වගේ මතකයි. ඒ ඔයාගේ තාත්තද? එහෙම නැත්නම් කේ බි රත්නායක දමන්ද

    ReplyDelete
    Replies
    1. අපේ තාත්ත හේරත්... එයා 70 ගණන් වල ඌව පළාතේ (වෙන්න ඇති ) හිටපු සෞඛ්‍ය (ද කොහෙද ) ඇමතිගේ ලේඛම් වෙලා හිටියා .. ඒ ඇමතිගේ නම මම දන්නේ නැහැ ..

      මේ ළඟදී නැතිවුණු දී.මු ජයරත්න එහෙම හොඳම මිත්‍රයෙක්... බණ්ඩාරනායක මැතිනි එක්ක එක දේශපාලන වේදිකාවල කතා කරපු උග්‍ර ශ්‍රී ලංකා කාරයෙක් ..

      නැගෙනහිර ජර්මනිය, බටහිර ජර්මනිය වෙන් කරපු බර්ලින් තාප්පෙ කැඩුණු තැනකින් එබෙන්න ගිහින් එහෙ පොලිසියට අහුවෙන්න ගිය මොකක් හරි සිද්දයකුත් ඒ දවස් වල කියනවා මට මතකයි .... හෙහ් හෙහ්

      අර ටෝච් ගහල අපි බලපු කැමරා නෙගටිව් කෑලි ගොඩක් ඒ දවස් වල ගෙදර තිබ්බා ..

      Delete
    2. BH Bandara නියොජ්‍ය ඇමති, වැලිමඩ වෙන්නොනි

      Delete
    3. මම මේ මොනවා ලීවද මන්ද පැතුම් හේරත් තාත්ත පි බි හේරත් නේ. තත්හ වැඩ කලේ පි බි රත්නායක ගව හෝ කේ බි රත්නායක ගාවද කියන එක තමා අහන්න ඕනේ වුනේ. //නැගෙනහිර ජර්මනිය, බටහිර ජර්මනිය වෙන් කරපු බර්ලින් තාප්පෙ කැඩුණු තැනකින් එබෙන්න ගිහින් එහෙ// ඒ කියන්න මේ සාපේක්ෂව මෑත කාලයේ 1991 -92 විතරනේ. තාත්ත එහෙ ඉගෙන ගත්තද

      Delete
    4. අජිත් අර උඩින් ඇනෝ කෙනෙක් දාපු කොමෙන්ට් එකේ කියල තියෙන රත්නායක කියන කෙනා ගැන මම මොකුත් දන්නේ නැහැ ... ඇනෝ විනොදෙට දාපු එකක් කියල හිතල මම ඒක මග ඇරියා ..

      තාත්ත පි බි හේරත් නෙමේ අජිත් .. ..එයාගේ නම සාරිස් හේරත් (ඒ කාලේ ප්‍රසිද්ධ හපුතලේ හේරත් කියල ) පි බි රත්නායක කතාවක් මම දන්නේ නැහැ .. අර ඇනෝ දාපු එකක් නේ .. මම දන්නේ නෑ ඒ ඇනෝ මොනවා කියනවද කියල ...

      තාත්ත ජර්මනියේ ගියේ ඉගෙන ගන්න නෙමේ.. මොකක් හරි දේශපාලන සමුළුවකටද කොහෙද .. බර්ලින් තාප්පේ සිද්දිය 80ට කලින් වෙන්න ඕනේ..
      ඔය සිද්දි තාත්ත කියපු කතා වලින් මට ලාවට තියෙන මතක විතරයි ..

      වැඩිදුර විස්තර හොයල බලන්නම්

      Delete
    5. [BH Bandara නියොජ්‍ය ඇමති, වැලිමඩ වෙන්නොනි] මට නම් කිසිම මතකයක් නැහැ ... ඕවා ගැන ආයේ හොයල බලන්නම් ..

      පෙබරවාරි 7 වෙනිදට තමා තාත්තා නැතිවෙලා අවුරුදු 21ක් වුනේ .. ඒකට ඔය මට මතක තියෙන ටික සමරියක් විදියට ලියල දැම්ම මිසක් වැඩි විස්තර හොයල බැලුවේ නැහැ ..

      Delete
  7. විස්තරේ හැටියට තාත්තා කියන්නේ මහා පුරුශයෙක්.. ඒ වගේ අය මහ හුඟක් කල් ඉන්න ඕනි නෑ ජීවිත කාලෙටම මතක තියෙන්න.

    ReplyDelete
    Replies
    1. තාත්ත ලොකුවට ඉගෙන ගත්ත උගත් කෙනෙක් නෙමේ .. නමුත් තැනට සුදුසු විදියට වැඩ කරන්න, කතා කරන්න හොඳ හැකියාවක් තිබ්බා .. අනිත් අය වෙනුවෙන් පෙනී සිටින්න , මිනිස්සුන්ට උදව් කරලා සතුටු වෙන්න කැමති චරිතයක් ..

      එයාගේ දියුණුව හෝ ආර්ථික දියුණුව ගැන එයාට ලොකු ප්ලෑන් තිබ්බේ නැහැ ..

      Delete
  8. තරමක් ලස්සන ලිපියක් පැතුම් මල්ලි

    ReplyDelete
    Replies
    1. ඇවිල්ල බලල යන එකට ස්තුතියි ඇනෝ

      Delete
  9. රනිල් ගැන ගොඩක් අය‍ අදහන බොරු අතරෙ මං විශ්වාස කරන බොරුවකුත් තියෙනවා. මං හිතන්නෙ නෑ රනිල් ගැන ඇත්ත අපි කිසි කෙනෙක් දන්නවා කියල. එහෙම කවුරුවත් ගැන දැනගන්න තරම් දේශපාලනයේදී සාවධාන වීමක් සිද්ද වෙන්නෙ නෑ කොයි පැත්තකින් වුනත්. ඒත් මෙහෙම දෙයක් තියෙනවා. හැමවෙලාවකම බහුතරය ඉන්න පැත්ත කියන්නෙ අනිවාර්ය ලෙසම වැරදි පැත්ත. අසංවේදී පැත්ත. වඩා අන්ධ වූ ඇදහිලිවන්ත පැත්ත.

    රනිල් ගැන මගේ බොරුව මෙහෙමයි. රනිල් කියන්නෙ තමන්ගෙ දේශපාලන ඉතිහාසය ඇතුලෙ කිසිම දවසක ජාතිවාදය, වර්ගවාදය වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක් නෙමෙයි. දේශපාලන බලය වෙනුවෙන් මේ තුරුම්පුව ලංකාවෙ අනිත් හැම කෙනෙක්ම පාවිච්චි කරලා තියෙනවා. ජවිපෙ මේක උඩින්ම පාවිච්චි කරපු පක්ෂයක්. අදත් ජවිපෙට මේ අන්තය අතාරින්න අමාරුයි. සජිත් ඕන වෙලාවක මෙතන හිටගන්නවා. ඒක තමයි ලංකාවෙ බලය දිනන ලේසිම ක්‍රමය.
    අනික ලංකාවෙ බහුතරයට රනිල් එක්ක තියෙන්නෙ පුද්ගලික ප්‍රශ්නයක්. උන් රනිල්ට කැමති නෑ. රනිල් විසින් උන්ව ඉන්ටිමේඩේට් කරනවා. අපහසුතාවයට පත්කරනවා. හීනමානයක් ඇති කරනවා. මං කැමතියි එහෙම පෞර්ෂයන්ට. අපිව පර්සනලි අවුල් කරන මිනිස්සුන්ට. ආදරෙන් බදා වැළඳගෙන පපුවෙන් කතා කරන හැගුම්බර මිනිස්සුන්ට වඩා අපිව එකසිස්ටන්ෂල් ක්‍රයිසිස් එකකට දාන මිනිස්සු අසිරිමත්.

    රනිල් ඉන්නෙ තනියම. රනිල් කියන්නෙ පක්ෂයක් නෙමෙයි. හැමෝටම තමන්ගේ පිරිස වැඩි කරගන්න කියන්න වෙන බොරු, ඇති කරගන්න වෙන එකගතාවලට වඩා තනියම තමන් පිළිගන්න ස්ථාවරයක පෙනී ඉන්න මිනිස්සුන්ට මං කැමතියි. මිනිස්සු තමන් ඉන්න පැත්තට ආවොත් මිස තමන් මිනිස්සු ඉන්න පැත්තට නොයන එළඹුමට මං ගරු කරනවා. ජවිපෙ මෙතනදි ඉතාම දුර්වලයි. ඊයෙ විවේචනය කරපු දේ වෙනුවෙන් අද පෙනී ඉන්න තරම් පෞර්ෂයෙන් දුර්වලයි. උදා විදිහට මෑතක වෙනකල්ම ජවිපෙ විශ්වාස කලේ සමලිංගිකත්වය රෝගයක් කියල. කාන්තාවන් මත්පැන් පානය කිරීම වැලැක්විය යුතුයි කියල. ආගම අබිං කියල. අයිඑම්එෆ් යන්නෙ නෑ කියල. රජයේ රස්සා වැඩි කරන්න ඕන කියල. තව බොහෝ දේවල්. අඩුම තරමෙ ඒ පෙනී හිටපු අතීත තැන ගැන විවේචනයක් හෝ නැතිව ජවිපෙ ආස්ථාන මාරු කරනවා. ඒක මානසික රෝගී තත්වයක්.
    මං කැමතියි හුදකලා වෙන මිනිස්සුන්ට. රංචුව විසින් ඔසවා ගන්න මිනිස්සුන්ට වඩා. ගෝටාබය වුනත් ජනාධිපති ධුරයෙන් ඉවත් වෙලා හුදකලා වුනු තැන පටන් මං මනුස්සයෙක් විදිහට ගෝටාට ආදරය කරනවා. ඒ වේදනාව හෝ හුදකලාව බෙදාගන්න පුළුවන් නම් ඒක කරනවා. හුදකලාව විසින් මිනිස් පැවැත්මේ ඉතා ගැඹුරු තලයන් ස්පර්ශ කරනවා.

    රනිල් කියන්නෙ හුදකලා මිනිහෙක්. ලිංගික අනන්‍යතාවයක් විදිහට මහා සමාජය විසින් හුදකලා කළ මිනිහෙක්. පොදු සංස්කෘතියට පිටස්තර සංස්කෘතියක් දැරීම නිසා හුදකලා කරන මිනිහෙක්. පොදු විශ්වාසයන් සමග අනන්‍ය නොවන නිසා හුදකලා කරන මිනිහෙක්. එතනදි රනිල්ව මට දැනෙන ප්‍රමාණය පොදු එක සමග අනන්‍ය මිනිහෙක් දැනෙන ප්‍රමාණයට වඩා වැඩියි.
    අනික මේ වෙලාවෙ රනිල් පිහිටන තැන. ඒක ඓතිහාසිකයි. ජනවරමකින් නැතිව ව්‍යවස්ථා වරමකින් ලැබුණු ධුරයක්. බංකොලොත් රටක්. පිස්සු කෙළින ජනතාවක්. තමන්ගෙ එකම හයියට ඉන්නෙ ඉතිහාසයක් පුරා තමන්ගෙ ප්‍රතිවාදියාම වුනු තැනක්. අවසාන අවස්ථාවක්.
    ඒක තනි මිනිහෙකුට සෙල්ලම් කරන්න ලේසි ගේම් එකක් නෙමෙයි. අනුර වගේ කෙනෙක් නම් කලිසමේ මුත්‍රා පහවෙන තරමෙ එකක්. ඒත් රනිල් තෝරගන්නවා උත්සාහ කරමින් මියැදීම යහපත් කියල. ඒක මිනිහෙක් විදිහට ජීවිතේ ගහන අවසාන කැරැල්ලක්. ඒ ගැන මට තියෙනවා ගෞරවයක්.

    ඉතිං ඔය විදිහට රනිල් ගැන මගේ බොරුව තව දුර යනවා.

    ReplyDelete
    Replies
    1. රනිල් ගැන මේ බොරුවට මම කැමතියි ... අර ඒ කාලේ හොයපු හිට්ලර් රනිල් වෙන්න ඇති .. හෙහ් හෙහ්

      Delete
  10. "උගස් අඹරන මැෂිම..." පැල්වත්තෙයි සෙවණගලයි වැඩ ඉතිං තාම එහෙම තමා... තාත්තා එයි එහෙකද හිඟුරාණෙද හිටියේ?
    අපි දෙන්නම තාත්තල ගැන නිතර අපේ බ්ලොග් වල ලියල තියනව නේද.... මගෙ ලියවිල්ල හැං මග හැරිලා... පැතුම් ලියන එක දැක්කම ආයෙ මටත් ලියන්න හිතුණා...
    ජය!

    ReplyDelete
    Replies
    1. තිස්ස අයියා දැක්ක කල් , පැල්වත්තේ මට මතක විදියට.. තාත්තගේ අයියා කෙනෙක් හිටියා එහෙ ..
      ආයේ ලියමු .. මමත් අවුරුද්දකට දෙතුන් සැරයක් හරි මොනවා හරි ලියනවා

      Delete