ආදරය, ප්‍රේමය ගැන එපා වෙනකම් අපි කතා කරනවා . ප්‍රේමය වෙනුවෙන් නොකරන දෙයක් නැති තරම් . සතා සීපාවා, ගහකොළ මේ හැමදේටම ප්‍රේමය අවශ්‍යයි.
මොකක් ද මේ ප්‍රේමය . කෙනෙකුට මේක ලෞකික බැඳීමක් කියන්න පුළුවන් . තවත් කෙනෙක් ජීවයේ පැවත්මට වර්ගයා බෝ කිරීමට අවශ්‍යය තව එක් දෙයක් විතරක් විදියට හදුන්වන්න පුළුවන්. තව කෙනෙක් බොහොම සරලව දෙදෙනෙකු අතර තියෙන ආදරය, සෙනෙහස විදියට මේක දකින්න පුළුවන් . මවක් සිය දරුවන් කෙරෙහි තියෙන ප්‍රේමය වඩා උතුම් විදියට තව කෙනෙක් දකින්න පුළුවන් .
කෙටියෙන් නම් ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ කියල අපිට කියන්න පුළුවන්.
එකිනෙකා තුල අන් අය ගැන ඇතිවෙන ප්‍රේමය , ආදරය එකම විදියට ඇති වෙන්න ඕනේ ද ? ඒ කියන්නේ ආදරය නම් මෙන්න මේ විදියයි කියල අපිට රාමු කරන්න පුළුවන් ද ?
උදාහරණයක් විදියට උදේ හවස වැඩට ගිහින් ගෙදර එන පියාගේ හෝ මවගේ ආදරය දවස තිස්සේ ගෙදර ඉන්න අම්මගේ හෝ තාත්තගේ ආදරයට වඩා හාත්පසින් වෙනස් ද ?
ගෙදර ඉන්න සැමියෙක්, බිරිඳක් අතර ඇතිවෙන ප්‍රේමය උදේ හවස වැඩට යන එන දෙපලක් අතර ඇති වෙන ප්‍රේමයට වඩා වෙනස් ද ?
වෙනස් වෙන්නේ හැසිරීම , කතා බහ , දක්වන සැලකිලි ආදිය මිසක් ඇත්තටම දෙන්න තුල තියෙන ආදරය ද ?
පොඩි එකෙකුට දක්වන ආදරය ලොකු කෙනෙකුට ඒ විදියටම පෙන්නන්න ගියාම පොඩ්ඩක් අවුල් වගේ නේද ?
ඒ වගේම පුංචි මනසක් තියෙන පොඩි දරුවෙකුට ඒ මට්ටමින් ආදරය දෙන්න අපිට ඉබේම පුළුවන් වෙනවා .
ලොකු වුනාම හම්බ වෙන සහකරුවාට හෝ සහකාරියට කරන ආදරයේ ස්භාවය සම්පුර්ණයෙන් වෙනස් . ඒ වෙනස් වෙන්නේ ආදරේ කරන විදිය මිසක් එකිනෙකා ගැන ඇතිවන ප්‍රේමය නෙවෙයි නේද ?
අපි බැඳීම හදා ගන්නේ අපිට හුරු වෙච්ච එහෙම නැත්නම් අපි අත්දැකපු දේවල් අනුව. බැඳීම කියන්නේ ලෞකික දෙයක් තමයි . නමුත් බැඳීම නැතිව ප්‍රේමය පවතිනවද ?
අපිට හිතෙන්නේ සැබෑ ප්‍රේමය නම් ඒ තුල බොහෝ ලෞකික දේවල් තියෙන්න ඕනේ කියල ...
ලෞකික දේවල් නැතිව ප්‍රේමයක් පවතින්න බැරි ද ?
ආදරය ප්‍රකාශ වෙන විදිය , හැසිරෙන විදිය , කරන ක්‍රියා නිසා අපි ප්‍රේමය ගැන තීරණ ගන්නවා . ඒක ප්‍රයෝගිකව හරි . බැඳීමක් සාර්ථක වෙන්න මේ දේවල් යම් ක්‍රමයකට සිද්ද වෙන්න ඕනේ .
නමුත් සමස්තව ගත්තම ඔබ අප මේ හැමෝම බැඳෙන ප්‍රේමය ඒ විදියට රාමු කරන්න පුළුවන් ද
විශ්වය තුල ප්‍රේමය තියෙනවා කියල හිතෙන්නේ නැද්ද ? මහා ප්‍රේමයක්..... මේ හැමදේම මේ විදියට පවත්වාගෙන යන්න . මේවා විනාශ නොවී පවතින මහා ප්‍රේමයක් කරුණාවක් මේ විශ්වය තුල තියෙනවා නේද කියල මොහොතකට හිතිලා නැද්ද ?
ඒක දෙවියන් වහන්සේගේ ප්‍රේමය විදියට කෙනෙක් දකින්න පුළුවන් , සමහරවිට සර්ව බලධාරියාගේ කරුණාව විදියට දකින්න පුළුවන් . එහෙම නැත්නම් කෙනෙකුට ස්වභාවධර්මයේ තියෙන මහා සැනසිලි දායක සුවය විදියට මේ ප්‍රේමය දකින්න පුළුවන්. වෙන කිසිම විදියකින් අත්දකින්න බැරි සැනසිලි දායක සුවයක් අපට නිසංසල පරිසරයක , මුහුදු වෙරළක ඉන්න කොට දැනෙන්නේ මේ සමස්ථ විශ්ව ප්‍රේමය නිසා වෙන්න බැරි ද ?
ඒ සැනසිලි බව අපි රාමු කරලා හදාගත් බැඳීම සහිත ප්‍රේමය අත්විඳින කොට අපිට දැනෙනවා ද ? නැත්නම් එක වෙනස් ද ?
අපි මේ විශ්වයේ තියෙන සමස්ත ප්‍රේමය කුඩා කොටස් වලට වෙන් කරගෙන තව කෙනෙක් සමග බෙදා ගැනීම නෙවෙයි ද ඇත්තටම කරන්නේ .?
සමස්ත විශ්වයම ප්‍රේමයෙන් පිරිලා තියෙද්දී අපි කුඩා කොටස් වෙන්කරගෙන ඒ වෙන් කරගත් කුඩා කොටස් වලට විවිධ නම් දීල විවිධ ස්වරුපයෙන් ඒක අපේ කරගන්න එක නෙවෙයි ද ඇත්තටම කරන්නේ. අපිට ඒ වෙන් කරගත්ත කුඩා කොටසින් එහා පවතින සමස්ත ප්‍රේමය දකින්න බැරි ද ?
සමස්ථ ප්‍රේමය දකින්න පෙර තමා තුල ප්‍රේමය කරුණාව තියෙන්න ඕනේ . ඒක අනිත් පුද්ගලයට දැනෙන්නත් ඕනේ . එක පුද්ගලයෙකුට විතරක් නෙවෙයි , පවුලට , සමාජයට , පරිසරයට ඒ ප්‍රේමය දැනෙන තරමට අපි තුල තියෙන කරුණාව , ආදරය දියුණු වුනාම අපිට සමස්ථ විශ්වයම මේ වගේ නේද කියල දැනෙයි .
ප්‍රේමති ජායතෝ සෝකෝ කියල අපි අහල තියෙනවා . ඒ කියන්නේ ප්‍රේමය නිසා දුක හට ගනී කියල. ඇත්තටම මේ කියන්නේ සැබෑ ප්‍රේමය ගැන ද නැත්නම් අපි වෙන් කරලා ගත්ත කුඩා කොටස තුල අපි බලාපොරොත්තු වෙන සහ අපි කලින් විශ්වාස කරගෙන හිටපු "මේක නම් මෙහෙම විය යුතුයි" යන දෘෂ්ටිය නිසා ඇතිවෙන දුකක් ගැනද ?
ඇත්තටම ආදරය, ප්‍රේමය මනුෂ්‍ය බැඳීම් නිසා ලස්සන වෙනවා . ඒ සුන්දර බැඳීම් හැමදාම සුන්දරව තියෙන්නේ අපිට ඒ බැඳීමෙන් එහා ගිය සමස්ථ ප්‍රේමය අත්දකින්න හැකි නම් නේද ?
බැඳීම තුලින් ප්‍රේමය හොයන්න ගියාම හැමදාම අපිට ඉතිරි වෙන්නේ දුක විතරයි . සමාජ සම්මත ප්‍රේමය අපිට ලැබෙනකම් අපි සතුටින් , ඒක වෙනස් වෙච්ච ගමන් සමස්ථ බැඳීමම දුකක් වෙනවා .
නමුත් මිනිසුන් බැඳීමත් එක්ක එකට එන දුක මිශ්‍ර වූ ප්‍රේමයට හැමදාම කැමතියි . ඔවුන්ට කවදාවත් විශ්වයේ පවතින නිකැළැල් ප්‍රේමය අත්දකින්න ඕනේ නෑ.
විශ්වයේ පවතින නිහැඬියාවට සවන් දෙන්න , ඒ නිහැඬියාවට සමවැදෙන්න අපිට පුළුවන් නම් මේ විශ්ව ප්‍රේමය අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි .
ඒ විශ්ව ප්‍රේමය කවද හරි අත්දකින කල් මගේ ආදරණිය සුදු ලස්සන කෙලි පැංචියේ මම ඔයාට ගොඩාරියක් ආදරෙයි ..!!!!
--------------------------------------------------------------------------------------------------------------------------
රජයේ අවවාදය
(සියල්ලට පෙර තුන් වේල ගෙදරින් කෑම ගැන හිතන්න )
ප්‍රේමය ගැන හදිසියේ ලියන්න හිතුනේ මොකද කියල මන් මේ කල්පනා කලේ? සිඳී අනෝ දැක්කනම් සින්දු පන්සියක් විතර දායි.
ReplyDeleteහේතුවක් නෑ ඉතින් .. හිටපු ගමන් ඔළුවට එන ඒවා ලියල දානවා .. සිංදු ඇනෝ මේ පැත්තේ එන්නේ නෑ වැඩිය .. මම සිංදු දාන්න පුළුවන් ඒවා ලියන්නේ නෑනේ මලාට .. :)
Deleteඋඹ ලියලා තියෙන හැම ප්‍රෂ්ණයක් ම ඇත්ත කියලා මටත් හිතෙනවා මොකද ඔය බොහෝ කාරණා අපි අද්දකින සහ විඳින සැනසෙන දේවල් නිස
ReplyDeleteඅපි මේවා අත්දැක්කට කවදාවත් හිතල බලන්නේ නෑනේ .. මෙතනින් එහා මොනවද තියෙන්නේ කියල ..
Deleteමේ පොස්ට් එක කියවනකොට මට නම් මතක් වුනේ මෙන්න මේ සින්දුව , මම ආසම සින්දුවක්
ReplyDeleteමේ ලොව යම් කිසිවකු..
මා හට පෙම් කල බව
එතකොට ඒ ගී රාවය..
හීන් හඩින් මට කියාවි
මා මල පසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව
නන්නාඳූනනා ඔබගේ
අත් අකුරින් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව
අඩ සඳ බැසගෙන යන සඳ
සීතල අදුරු රැයක
රෑහි හඬන රැව් අතරින්
එතකොට ඒ ගී රාවය
යාන්තමින් මට ඇසේවි. . .
මෙතනින් අහන්න , පද මහගම සේකර .. ගායනය අමරදේව
මාත් ආසම සින්දුවක්.
Deleteසිංදුව නම් මගෙත් නිතර ඇහෙන ලිස්ට් එකේ තියෙන එකක් . මට හැබැයි ඕනේ උනේ ඔය විදියට නැතුව මේ ආදරය ගැන අපිට දකින්න පුළුවන් ද කියන එක ගැන ලියන්න .
Delete"ප්‍රේමයෙන් මන රංජිත වේ"
ReplyDeleteදැනුයි තේරුණේ ඇයි මේ සින්දුව මතක් වුණේ කියලා
"ආලයෙන් වෙලී සැදී මේ ලතා"
නිවුස්වීක් සඟරාවක නමසිය අනූ ගනන් වල, මුල පිටුවෙම පින්තූරයක් එහෙමත් දාලා, කියලා තිබ්බා ආදරය කියන්නේ රසායනයික ශ්‍රාවයක්, ප්‍රතිකිරියාවක් විතරයි කියල
"කෝකිල හඬ කන් පිනවයි රන් ස්වරයයි"
මේ දවස්වල මම පින්තූර රාමු කරන උපකරණ සොයනව ඊ බේ එකෙන්
"නමුත් මිනිසුන් බැඳීමත් එක්ක එකට එන දුක මිශ්‍ර වූ ප්‍රේමයට හැමදාම කැමතියි . ඔවුන්ට කවදාවත් විශ්වයේ පවතින නිකැළැල් ප්‍රේමය අත්දකින්න ඕනේ නෑ."
මේකට නම් 100% එකඟයි - විශ්වය පැත්තට ඔලුව හරවගෙන ඉන්නකොට ඉන්නකොට ඉන්න කොට වෙන්න කලින් තේරෙනවා විශ්වය තියෙන්නේ මේ බඹයක් පමණ වූ ශරීරය තුලම කියලා.
නැද්ද හොඳයි!!
අර සින්දුව ඔයාගේ පෝස්ට් එක බලද්දී එකපාරට ඔළුවට ආවේ .. මේ දවස් ටිකේ ඒක ඔලුවේ තිබිල ලියවෙච්ච එකක් මේක ..
Deleteතිස්ස අයියත් එක්ක ප්‍රේමය ගැන කතා කරන්න මම තාම ළදරු වැඩියි .. හෙහ් හෙහ් ..
හැබැයි මට හිතෙන්නේ මේ බඹයක් පමණ වූ ශරීරය ඇතුලේ ඔක්කොම තියෙනවයි කියල හිතාගෙන ඉන්න එක තමයි අපිට තියෙන ලොකුම අවුල කියල . ඒ කියන්නේ අපි හැමදේම ඔය බඹය ඇතුලට රාමු කරගෙන ඉන්නවා කියල හිතෙන්නේ නැද්ද
මගේ බඹයයි එයාගේ බඹයයි වලින් එහාට ගිය තව අපි නොදකින ප්‍රේමයක් නැද්ද ?
ප්‍රේමයට, කිසිම අංශයකින්, කිසිම වර්ගයකින්, කිසිම හේතුවක් සඳහා රාමුවක්, සීමාවක්, මායිමක් නම් දාන්න බෑ තමයි.
ReplyDeleteඒ වගේම, ප්‍රේමයට අනන්ත ප්‍රබේද තියෙනවා. මවක් සහ දරුවෙක් අතර ඇතිවෙන ප්‍රේමය එක විදියක්, සැමියෙක් හා බිරිඳක් අතර ඇතිවෙන ප්‍රේමය, පෙම්වතුන් යුවලක් අතර ඇතිවන ප්‍රේමය, ලේලියක් හා නැන්දම්මා කෙනෙක් අතර ප්‍රේමය, සහෝදරයන් අතර ප්‍රේමය, යහලුවන් අතර ප්‍රේමය. මේ සියල්ල එකිනෙකින් වෙනස්. ඉතින් අපි මේ සියුම් වෙනස්කම් තේරුම් නොගත්තොත්, එතන මහා ප්‍රශ්න ගොඩක් ඇතිවෙනවා.
ඔව් මට ඕනේ උනේ ඔන්න ඔය වගේ දෙයක් ගැන කතා කරන්න තමයි . ඔය අපි දන්න ප්‍රබේධ වලින් ස්වායක්ත වෙච්ච අපිට අල්ලාගෙන මගේ කරගන්න බැරි විශ්වීය ප්‍රේමයක් තියෙනවා කියල හිතෙන්නේ නැද්ද ?
Deleteපේ‍්‍රමය ලොව හැම තැන ම ඇතී
ReplyDeleteහැමදෙනට ම හමුවෙලා ඇතී
එනමුදු පේ‍්‍රමය කිමැයි කියා
හදුනාගත් කිසි කෙනෙකු නැතී..............
විල්තෙර දියයට දියඹුන් නගනා
පේ‍්‍රමයෙ දිය උල්පත නිසලයි
සියපත විල මත පුබුදනමුත් යස
උල්පත හැමදාමත් නිසලයි
පේ‍්‍රමය හැමදාමත් නිසලයි
සුවිසල් රුක් ගොමු දෙරණත රදවන
පේ‍්‍රමය මුල් පස යට සැගවේ
නන් පල මල් දලූ පුබුදනමුත් ගස
මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
පේ‍්‍රමය කිසි කෙනෙකුට නොපෙනෙයි
ගායනය - චන්දන ලියනආරච්චි
මේක ලියාගෙන යනකොට මගේ ඔළුවට ආවේ ඔය මුල් පද ටික .. ස්තුතියි සිංදුව දැම්මට ..
Deleteඔය නොපෙනන ප්‍රේමය ගැන තමයි මට කියන්න ඕනේ වුනේ
චන්දන ලියනආරච්චි/යමුනා මාලිනී පෙරේරා/රෝහණ වීරසිංහ
Deleteස්තූතියි අරූ අයියේ, ඇත්තටම හොයාගන්න බැරුව හිටියේ.
Deleteප්‍රේමය ගැන විකාරයක් කියල.. අන්තිමට එක ඇත්තක් කියලා.. හැක්..
ReplyDeleteරජයේ අවවාද හැමදාම ඇත්ත තමයි යකෝ . උඹල කනකට ගන්නේ නැති වුනාට ..
Deleteමේක කියවනකොට මතක් වුන ඒ කාලෙ සතුට පත්තරේ ජනක රත්නායක ඇඳපු චිත්‍ර කතාවක්. කතාවේ නම මතක නැහැ. කැම්පස් කතාවක්. නිමල් හරි සුමේද හරි කොල්ල. නිමාලි කෙල්ල. තව කොළඹ කෑල්ලකුත් හිටිය. පොර බොක්සින්ග් ගහනවා. ඔන්න ඔහොම. කතාව ඉවර වෙන්නේ කෙල්ලව බැඳලා. නැගල ගියා ඒ දවස්වල. ජනක රත්නායක කතාව ඉවර කෙළේ
ReplyDeleteනිම්හිම් සෙව්වා මා සසරේ
හමුවී යුගයෙන් බැඳී යුගයේ
..කියන සින්දුවෙන්. එදා ඉඳල මන් ඒ සින්දුවට මාර ආසයි.
අජිත් ඒක "පාට පාට හීනයක්" නේද?
Deleteඔය වගේමයි මට මතක හැටියට සුසීමා කථාවටත් ජනක රත්නායක "සයුරු තෙරේදී අවන්හලේදී" සින්දුව දාගෙන තිබ්බා
නැගලම ගිය කථා තමා එව්වා නම්!
මම නම් ඒ කතා දෙකම බලල නෑ ...
Deleteහරියට හරි. ඒක තමයි. සුසිමත් හොඳ කතාව.
ReplyDeleteබොහොම බරපතල මාතෘකාවක් ලියලතියෙන්නෙ. ඒකෙ අහල තියෙන එව්වට උත්තර දෙන්න ඉතිං බ්ලොග් දහයක් ලියන්න වෙයි.හ්හ්ම්ම්ම්.. වටෙන් වටෙන් ඇවිල්ල තියෙන්නෙ ගෙදරටමනෙ.. (ඕක ඉතිං අපි නොදන්නවයැ !)
ReplyDeleteකෙල්ලට විසිතුනයි.. කොල්ලට දාහතරයි .. අපේ ප්‍රේමෙට ශතවර්ශ කාලකට ටිකක් වැඩියි.. තාමත් හොඳයි.. පොඩි පොඩි හික්කා පාරවල් වලට පස්සෙ තිබ්බට වඩා හොඳයි..
මේ දවස්වල අයිස් ගහන බව නම් පැහැදිලියි ඕං..
සරත් අයිය දන්න දේවල් ලියන්න . හැමෝම නොබැලුවත් මම වගේ වයර් මාරු වෙච්ච ඩයල් හරි බලයි .
Deleteහෙහ් හෙහ් ශතවර්ෂ කාලක් ගෙවපු අය ට ලියන්න බැරිය බ්ලොග් 100ක් ..
අයිස් නෑ ... දැන් දැන් නාන්න පටන් ගන්න හදන්නේ .. තව සති 2-3ක් යනකොට දිවා රාත්‍රී අදින්න වෙයි වගේ ..
වර්තමානය වෙද්දි ප්‍රේමය එක්කම කියවෙන වචන තමයි කාමය සහ මරණය..
ReplyDeleteහෙහ් හෙහ් ඒවා ගැන කතා කරලා වැඩක් නෑ සිරා ...
Deleteප්‍රේමය දැණෙනවා මිසක් ඒක පැහැදිලි කරන්න මට නම් තේරෙන්නේ නැහැ. දකින ප්‍රේමය, ඇසෙන ප්‍රේමය, දොඩන ප්‍රේමය....ඒ මොනවා ගැන කිව්වත්..ප්‍රේමය කියන්නේ විඳීමක්. එය වඩාත් ඇස්,මස්,නහර හා බද්ධ වෙන්නේ විඳීමෙන් පමණයි කියලා මට හිතෙන්නේ. අනිත් ඒවා බෝනස්..
ReplyDeleteඔව් මම කියන්න හැදුවෙත් එහෙම දෙයක් තමයි . ඒ දැනෙන දේ අපි වර්ග කරගෙන රාමු කරගෙන ඉන්නවා නේද කියල හිතුන ..
Deleteආදරයක් කියල කියන්න පුළුවන් (1)ලස්සන(2) සුදු (3)කෙලි පැංචි කියන විශේෂණ පද තුනම එයාට නොගැලපෙනදාටත් ආදරේ එහෙමම තිබ්බොත්.. කවුරුහරි එහෙම එකක් දැකල තියේද ?
ReplyDeleteඔය විශේෂණ නැතිව ඉන්නකොට හිතන්නේ ආදරේ නෑ කියල නේ .. හෙහ් හෙහ් ගැඹුරින් තියෙන දේවල් එලියට පෙන්න ඔය වගේ විශේෂණ ඉඳල හිටලා හරි දාන්න වෙනවා .. ආදරේ නම් ඉතින් මෙන්න මෙහෙමනේ ඉන්න ඕනේ කියල කන්ඩිෂන් වෙලා නේ ඉන්නේ ... විශ්ව ආදරේ බල්ලට ගියත් කමක් නෑ .... මාත් එක ඉන්නවනම් මෙන්න මෙහෙමයි .. හෙහ් හෙහ්
Delete