Thursday, January 31, 2013

සිලිකන් නිම්නයේ වීර සොරු හෙවත් පරිගණකය මේසේ උඩට ආපු හැටි 1 කොටස


සිලිකන් නිම්නය ගැන අපි හැමෝම වගේ දන්නව. දන්නේ නැත්නම් මෙතනින් විස්තර දැන ගන්න පුළුවන්. සිලිකන් නිම්නය අපේ කාලයේ තාක්ෂණික වීරයෝ ඔක්කොගෙම වගේ උපන් ගම කියන්න පුළුවන්. ඒ සිලිකන් මහගෙදර හිටපු සාමාන්‍ය කොල්ලෝ දෙතුන් දෙනෙක් මුලු ලෝකෙම වෙනස් කරපු කතාව නොදන්න අයට දැන ගන්න සහ දන්න අයට වඩා විස්තර සහිතව දැන ගන්න නියම වීඩියො ටිකක මට හම්බ වුණා.



ඔන්න ඔය ලින්ක් දෙකෙ තියෙන වීඩියෝ ටික පුළුවන් නම් හොයා ගෙන බලන්න. අපිට හිතන්නත් බැරි දේවල් 1970 දශකය වගේ කාලෙක පුංචි කොලු ගැටව් ටිකක් කරපු හැටි බලන්න පුළුවන්. ඉස්සෙල්ල Pirates of Silicon Valley බලල පස්සෙ The Triumph of the Nerds: The Rise of Accidental Empires (මේකේ කොටස් 3ක් තියෙනවා. 3ම බලන්න) තමයි මම නම් බැලුවේ. කොහොම බැලුවත් එකයි. 

මේක යාලුවෙකුගෙන් මට ලැබුණ එකක් නිසා ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක්ස් දෙන්න විදියක් නෑ. හැබැයි හොඳ ටොරන්ට්ස් හොයා ගන්න අමාරු නෑ. මට කෝල් එකක් දීල ඔපිස් එක පැත්තේ ආවොත් පෑනකට ඔය ටික කොපි කරල දෙන්න පුළුවන් කැමති කෙනෙකුට..

හරි ඩවුන්ලෝඩ් කරල බලන්න විදියක් හරි එච්චර උනන්දුවක් හරි නැති අය වෙනුවෙන් මම සරලව පොඩ්ඩක් විස්තර කරන්නම්. 

කොම්පියුටර් කියන සංකල්පේ ගොඩක් පරණ දෙයක්. සාමාන්‍ය සැලකීම චාල්ස් බැබේජ් කියන කෙනා මුල්ම කොම්පියුටරේ හැදුව කියන එක. ඒ කියන්නේ 1812 දි විතර. මේ තියෙන්නේ සියවස් 2ක විතර තිස්සේ දියුනු වෙලා කාමර පුරා පැතිරුණ මේන්ෆ්‍රේම් යුගයෙන් ගෙදර මේසෙ උඩට කොම්පියුටරය කියන උපකරණය ගෙනාපු කතන්දරේ..

1970 ගනන් වලදි පරිගනක ලෝකයේ දැවැන්තයා වෙලා හිටියේ IBM සමාගම හැමෝම ආදරේට කිව්වේ BIG BLUE කියල. ඔවුන් පරිගණකය සැලකුවේ අතිශයින්ම සුදුසුකම් ලත් වැදගත් යැයි සම්මත මිනිසුන් කොට්ටාශයක් විසින් අතිශය වැදගත් කටයුතු සඳහා පමණක් භාවිතා කළ හැකි සම්භාවනීය යන්ත්‍රයක් විදියට. IBM කොම්පියුටර් ගැන අදටත් මිනිස්සුන්ගේ ඔලුවේ තියෙන්නේ ඒ වගේ හැඟීමක් (ටිකක පරණ පරම්පරා වල අයගේ). ඔවුන් ඒ සංකල්ප වලින් මිනිස්සුන්ව බ්‍රේන් වොෂ් කරල තිබ්බ කිව්වත් හරි..

1984 දි ස්ටීව් ජොබ්ස් විසින් ප්‍රකට සිනමා අධ්‍යක්ෂක Ridley Scott ගේ අධ්‍යක්ෂනයෙන් නිපදවමු මේ වෙළඳ දැන්වීමෙ ඔය අදහස නියමෙට තියෙනව. මෙම දැන්වීම අදටත් ලෝකයේ හොඳම වෙළඳ දැන්වීම් අතර තියෙනවා. 




හරි ඔන්න ඔහොම BIG BLUE ඒකාධිකාරයකට යටත්ව මේ පරිගණකය තිබිච්ච කාලෙ ගැටවර වයසේ හිටපු නර්ඩ් කොල්ලො ටිකක් කරපු හපන් කම් ටිකක් තමයි මෙච්චර දුරක් මේ ලෝකේ ගෙනාවේ. 

කොම්පියුටරේ වැඩ කරන හැටි ගැන උනන්දු වෙච්ච ගොඩක් අය ඒ කාලේ ඔය සිලිකන් නිම්නය කියන හරියේ හිටියා. අපේ නම් නිකන් පංචිකාවත්ත වගේ කියල හිතමු. එක එක ගැජට් කෑලී වලින් එක එක සර්කිට් අටෝ අටෝ වැඩ කරන කොල්ලෝ තරඟෙට වගේ තම තමන්ගේ මිතුරන් අභිබවන්න එක එක විදියේ ගැජට් හදපු අපූරු පළාතක් මේක.

ඔය කාලෙදි MITS Altair 8800 කියල කොම්පියුටරයක් ගැන ඒ කාලේදි යන්තම් අවුරුදු 16-18 වගේ වෙලා හිටපු බිල් ගේට්ස්,පෝල් ඇලන්,ස්ටීව් ජොබ්ස්,ස්ටීව් වොස්නියැක්,ස්ටීව් බෝල්මර් කියන අපේ වීරයෝ සෙට් එකට අහන්න ලැබෙනවා. මෙතන බිල් ගේට්ස්,පෝල් ඇලන්, ස්ටීව් බෝල්මර් කියන්නේ එක සෙට් එකකුත්

බිල් ගේට්ස්,ස්ටීව් බෝල්මර් 



බිල් ගේට්ස්,පෝල් ඇලන්



ස්ටීව් ජොබ්ස්,ස්ටීව් වොස්නියැක් කියන්නේ තව සෙට් එකකුත් විදියට තමා හිටියේ. ඒ කාලේදි Altair 8800 කියන්නේ සුපිරි භාන්ඩයක්. පොඩි පොඩි ස්විච් ටිකකුයි බල්බ් ටිකකුයි විතරක් තිබ්බට ඒක ඇතුළේ පරිගණක වල මූලික සංකල්ප කිහිපයක් තිබිල තියෙනවා. අන්න ඒ නිසයි මේ කොල්ලන්ට කාල ඉන්න බැරි වෙලා තියෙන්නේ. කොහොම හරි Altair 8800 එකක් ගන්න එක තමා ඔවුන්ගේ සිහිනය. තමන්ටම කියල පරිගණකයක්.

ස්ටීව් ජොබ්ස්,ස්ටීව් වොස්නියැක් 


මේ තියෙන්නේ MITS Altair 8800




ඔය කාලේ වෙනකොට COBOL, FORTRAN, BASIC වගේ පරීගණක භාෂා නිපදවල ඒවයෙන් මිනිස්සු වැඩ කර කර ඉඳල තියෙනවා. බිල් ගේට්ස් කියන්නේ අති දක්ෂ ප්‍රෝග්‍රැමර් කෙනෙක්. ස්ටීව් ජොබ්ස් ඒතරම්ම ටෙක්නිකල් නොවන නමුත් අනාගත දැක්මක් තිබ්බ අමුතුම විදියේ නිර්මාණශීලී චරිතයක්. කොහොම හරි ස්ටිව් ජොබ්ස් MITS සමාගමට ගිහින් ඒ කාලේ හැටියට ලොව පළමු පුද්ගලික පරිගණකය නිපදවපු Ed Roberts ගෙන් Altair 8800 එකක් සල්ලි වලට අරන් එනවා. හැබැයි බිල් ගේට්ස් කරන්නේ Altair 8800 පරිගණකයට දත්ත දාන්න පුළුවන් විදියේ වැඩසටහනක් BASIC වලින් ලියල ඔය MITS සමාගමට විකුණන එක.

මේ ඉන්නේ එඩ් රොබට්ස්



බිල් ගේට්ස්,පෝල් ඇලන් මයික්‍රෝසොෆ්ට් කියල සමාගමක් හදාගෙන ප්‍රොග්‍රෑම් ලියන අතරෙදි ස්ටිව් ජොබ්ස් එයාගේ යාලුවා ස්ටීව් වොස්නියැක් එක්ක තමන්ගෙම කියල පුද්ගලික පරිගණකයක් හදන්න සිහින දකිනවා. සිහින දකිනව විතරක් නෙවෙයි ඒ සිහින හැබෑ කරගන්න දිවා රෑ වෙහෙසෙමින් ගෙදර ගරාජ් එකේ හදාගත්ත 

APPLE COMPUTERS සමාගමේ වැඩ කරනවා.


ස්ටීව් ජොබ්ස් ටිකක අසාමාන්‍ය චරිතයක්. ඔහු සම්ප්‍රදායෙන් පිට තමයි හැම වෙලේම වැඩ කලේ.. ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙලා පිස්සුවෙන් වගේ ඒ දේවල් අදහන (අපි දන්න තේරවාදී ආධ්‍යාත්මික සංකල්ප නෙවෙයි). හරියට කුඩු ගහපු චරිතයක් වගේ පොරක්. ඔහු ජීවත් වුණේ මේ ලෝකෙ නෙවෙයි. හැමදේම සම්පූරණයෙන් ම වෙනස් පැති වලින් ඔහු දැක්කේ. ඔය කියන කාලෙදි මිනිහා කෑවේ පළතුරු විතරයි සහ රැවුල කොන්ඩේ 2කම වවාගෙන ආතල් එකේ හිටපු චරිතයක්.

අන්තිමට කොම්පැණිය දියුණු කරන්න ලෝන් එකක් ගන්න බැංකුවට ගියාම තමයි පොර තේරුම් ගන්නේ ඔය රැවුල් කොන්ඩ වවාගෙන ඉන්න චරිත වලට ලෝන් දෙන්න බැංකු කැමති නෑ කියන එක. කොහොම හරි සෑහෙන්න ගෙමක් දීල 1976 අප්‍රේල් මාසේ 1 ද පටන් ගත්ත APPLE COMPUTERS සමාගමේ පළමු නිර්මාණය වෙච්ච ස්ටීව් ජොබ්ස්,ස්ටීව් වොස්නියැක් විසින් අතින් සාදන ලද APPLE 1 පරිගණක වෙළඳ පොළට නිකුත් කරනවා. 

මේ තියෙන්නේ APPLE 1




Altair 8800 එකට වඩා APPLE 1 එක නැඟල යනව. පස්සේ ඒ ගැම්මෙන් ම APPLE 2 දක්වා ඔවුන් ඔවුන්ගේ පරිගණකය දියුණු කරල සෑහෙන ආදායමක් ලබල ඒ කාලේ හැටියට මිලියනපතියෝ බවට පත්වෙනවා.

මේ තියෙන්නේ APPLE 2


මේ මුල්කාලීන ඇපල් කොම්පියුටර් වල තිරයක් තිබිල නෑ, ඒ වෙනුවට ඔවුන් පාවිච්චි කරල තියෙන්නේ ටී.වී එක. හරියට අපි ඇන්ටෙනාවෙන් එන ජැක් එක ටී.වී එකට ගහල බලනවා වගේ තමයි මේ මැෂින් ටී.වී එකට ඒ ජාතියේ කොඇක්ෂියල් කේබල් එකකින් සම්බන්ධ කරල තියෙන්නේ.

මේ අතරේ බිල් ගේට්ස්,පෝල් ඇලන් සහ ස්ටීව් බෝල්මර් සෙට් එක කරන්නේ එක එක විදියේ සොෆ්ට්වෙයාර් හදන එක. ඇපල් ලක්ෂ ගනනින් හම්බ කරනකොට මයික්‍රෝසොෆ්ට් එක යාන්තම් ගැටගහගෙන දුවනවා. හැබැයි ඔවුන්ගේ ඉලක්කය පොඩි පොඩි සොෆ්ට්වෙයාර් කෑලි නෙවෙයි කෙලින්ම BIG BLUE ට සොෆ්ට්වෙයාර් දෙන්න. එතකොට බිල්ගේට්ස් ට වයස 17-18 ඇති.

ස්ටීව් ජොබ්ස් එක පැත්තකින් තමන්ගේ ඇපල් නිශ්පාදන වලට සොෆ්ට්වෙයාර් හාර්ඩ්වෙයාර් හදන අතරෙ, බිල් ගේට්ස් අනිත් පැත්තෙන් BIG BLUE එකට ප්‍රථම වරට ඔපරේටින් සිස්ටම් එකක් ලියන්නයි හදන්නේ. ඒ කාලේ වෙනකොට IBM සමාඟමත් පුද්ගලික පරිගණක හදන අදහස ගැන සැලකිලිමත්. ඔවුන් ඒ සඳහා ඔපරේටින් සිස්ටම් එකකට නිර්මාණ කරුවන් සොයන කාලයක් මේක. 

කොහොම හරි අමාරුවෙන් BIG BLUE එකේ ලොක්කන්ගෙන් ඇපොයිමන්ට් එකක් අරගෙන බිල් ගේට්ස් ස්ටීව් බෝල්මර් එක්ක යනවා BIG BLUE එකට. 

ඒ ටික නම් ෆිල්ම් එකේ බලන්නම වටිනවා...

බිල්ගේට්ස් IBM එකට ගිහින් කියනවා ඔයාලගේ කොම්පියුටර් වල දුවන්න මට ඔපරේටින් සිස්ටම් එකක් දෙන්න පුළුවන් කියල. ඒකේ නම DOS කියල ඔහු ඒ වෙනකොට ලියන්න හිතලවත් නැති ඔහුගේ සිහිනමය ඔපරේටින් සිස්ටම් එක IBM එකට විකුණනවා. 

ඊට පස්සේ තමා හොඳම හරිය. දැන් කොහොමද IBM එකට දෙන්න ඔපරේටින් සිස්ටම් එකක් ලියන්නේ. 

බිල් ගේට්ස්, බෝල්මර්, පෝල් ඇලන් එක්ක එකතු වෙලා ඕක හිතන අතරේ දි ස්ටීව් ජොබ්ස් යනවා එ කාලේ වෙනකොටත් laser printing, Ethernet,graphical user interface (GUI), සහ object-oriented programming කියන නිර්මාණ ලෝකයට හඳුන්වල දීල තිබුණු Xerox PARC සමාගමට. යන්නේ මොකටද කියල නිකමට හිතන්න පුළුවන් ද? ඔහුට ආරංවි වෙනවා මෙච්චර කාලයක් අකුරු ඉලක්කම් වලින් විතරක් වැඩ කරපු පරිගනකයට GUI දෙන්න පුළුවන් තාකෂණය Xerox PARC සමාගමේ තියෙනවයි කියන එක. ඒ විතරක් නෙවෙයි පරිගණක බාවිතය සම්පූර්ණයෙන්ම වෙනස් මගකට ගෙනාපු ලොව ප්‍රථම මවුස් එක නිර්මාණය කරන්නෙත් මේ Xerox PARC සමාගම.

මේ තියෙන්නේ 1979 දි Xerox PARC ස්ටීව් ජොබ්ස්ට තමන්ගේ GUI පෙන්නපු වීඩියෝ එක


ස්ටීව් ජොබ්ස්ගෙ සිහින යන්ත්‍රය හදන්න ඕනේ කරන තාක්ෂණය ඔහු Xerox සමාගමෙන් ලබා ගන්නවා. ඒ කියන්නේ ලොව ප්‍රථම වින්ඩෝස් සහිත පරිගණකය හදන්නේ Xerox සමාඟම.

ස්ටීව් ජොබ්ස් ඒ තාක්ෂණය තමන්ගෙ සමාගමේ නිර්මාණ වලට යොදාගන්න අතරේ බිල් ගේට්ස්ට එනව නියම අයිඩියා එකක්.. ඔය කාලෙදි Seattle Computer Products කියන සමාගමේ වැඩ කරන Tim Paterson කියන හාදය ලියන පොඩි ඔපරේටින් සිස්ටම් එකක් QDOS (Quick and Dirty Operating System) කියල. මේ කියන්නේ 1980 අවුරුද්ද. මට මතක හැටියට පෝල් ඇලන් යනවා මේ හාදය හම්බ වෙන්න. ගිහින් ඔහුගේ ඔපරේටින් සිස්ටම් එක $50,000කට මිලදී ගන්නවා. ඊට පස්සේ බිල් ගේට්ස් එයාගේ DOS එක ලියන්න පටන් ගන්නව අර QDOS එක මුල් කරගෙන.. 

හරි මේ කාලෙදි මේ වීරයෝ සෙට් එක විශ්වාස කරන එක ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. මේක කියල තියෙන්නේ පිකාසෝ

"Good Artists Copy, Great Artists Steal"

මේ තියෙන්නේ ස්ටීව් ජොබ්ස් පස්සේ කාලෙක දී ඔවුන් මේ සංකල්පය යොදාගත්ත හැටි කියන වීඩියෝ එකක්


මේ ඉන්ටර්විව් එක තියෙන්නේ The Triumph of the Nerds 3 වෙනි කොටසෙදි. 

ඊට පස්සේ එන්නේ මැකින්ටොෂ් යුගය සහ මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් යුගය. ස්ටීව් ජොබ්ස්ව ඇපල් සමාගමෙන් අයින් කරන එක... ස්ටීව් ජොබ්ස් මිනිස්සු ඉන්ටර්විව් කරන හැටි... ඇයි මේ කොම්පියුටර් සොෆ්ට්වෙයාර් ජොබ්ස් කරන කොල්ලෝ කොකාකෝලා බිබී,පීසා කකා පිස්සු හැඳිල වගේ ජීවත් වෙන්නේ.. ඇඩෝබ්,ඔරකල් ඉතිහාසේ.. තව හෙනට තියෙනවා.. 

දැන් ලිව්ව ඇති වගේ.මම හැමදාම ලියන විකාර අස්සේ පළවෙනි වතාවට මේ වගේ දෙයක් ලියන්නේ. කොහොමත් කොටස් 2ක් 3ක් ලියන්න වෙයි වගේ. ඒ අතරේ පුළුවන්නම් වීඩීයෝස් ටික හොයාගෙන බලන්න. 


17 comments:

  1. හොඳ විස්තරයක් සටහන් කළාට ස්තූතියි.

    ඇපල් - 1984 දැන්වීමේ පරිගණකය 1984 ට වෙනස් කියද්දී එය එදා ඇමෙරිකන් වෙළඳපොලට සෑහෙන්න හිත ඇදිලා ගිහින්. ජෝර්ජ් ඕවෙල් ලියපු 1984 ප්‍රබන්ධයේ දිග හැරෙන්නේ කිසිම කෙනෙකුට තනිවම හිතන්න අවසරයක් නැති ඒකාධිපති රාජ්‍යයකින් ගැලවෙන්න හදන වීරයෙක් ගැන.

    අද මෙහෙ වෙළඳපොලට අලුතින් ඉදිරිපත් කරපු බ්ලැක්බෙරි 10 දී තවමත් ඒ ඇමෙරිකන් උත්සාහය නොකඩවා කෙරෙන්නක් බව පැහැදිලි වූවා. හැමටම සරිලන දුරකතනයකට වඩා අද තම තමන්ගෙ පුද්ගලිකත්වයට ගැලපෙන්න හැඩගස්වා ගත හැකි දුරකතනයක් පිරිනමන්න නිර්මාණශීලී අය ගන්නා උත්සාහය දැක්කම ඔවුන්ට පමණයි පුද්ගලයාව අමතක වෙලා ගිහින් නැත්තේ කියලා හිතෙනවා!!!

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ ඔවුන්ගේ සාර්ථකත්වයේ රහසත් ඒකමයි. හැම වෙලේම මිනිස්සුන්ට අවශ්‍ය දේවල් උසස්ම තත්වයෙන් දෙන්න ඔවුන්ට තිබෙන අවශ්‍යතාවය තමයි ලෝකයේ බලවතුන්ගෙ තත්වයට ඔවුන් ව ඔසවා තබන්න හේතු වෙලා තියෙන්නේ.

      එහෙන් මෙහෙන් අටවලා කාගේ හරි ඇඟේ ගහල කීයක් හරි හොයා ගන්න ආකල්ප වලින් පිරිච්ච අපිට ගොඩක් දේවල් තියෙනව ඉගෙන ගන්න.

      Delete
  2. රහට ලියා තියනව ඈ!
    විවේචනය කර කර ඉන්නේ නැතිව දෙයක් කරන එක තමා නව නිපැවුම් වල මුල නේද?

    ආනන්දේ උසස් පෙල කරන ලමයි හතර දෙනෙක් එක්කහු වෙලා
    'නිම් වලල්ල' කියල චිත්‍රපටියකුත් හදල තියනව අදටත් විශිෂ්ඨ, 1970 වගේ කාලෙකදි

    ReplyDelete
    Replies
    1. ටිකක් උවමනාවෙන් බ්ලොග් එකේ මොනව හරි ලිව්වමයි.. කවදාවත් හිතල මතල ප්ලෑන් කරල ලියන්නේ නෑ නේ.. ඔහේ ලියනවා. ඒකයි මීට කලින් ලියපුව මෙලෝ රහක් නැත්තේ.. හි හි..

      කරන දේ හරියටම උපරිම ලෙසින් ම කරන එකත් වැදගත් අයියේ. අපේ රටෙන් බිහි වෙච්ච නිර්මාණ කවදාවත් එළියට නොයන්නේ අපි ටිකක් කරල ඉතිරි ටික ආන්ඩුවෙන් හරි වෙන කවුරු හරි කරයි කියල බලා ඉන්න එක වෙන්න ඇති. මේ වීඩියෝස් ටික පුළුවන්නම් බලන්න. පුතාල දෙන්නට පෙන්නන්න වටිනවා (ලාආආආවට 18+ සීන් එකක් විතර තියෙනවා Pirates of Silicon Valley එකේ )

      එක තැනකදි කියනවා බිල් ගේට්ස් බය එක දෙයක් වයසට යන එක කියල.. මොකද අවුරුදු 30 විතර පැන්නම අලුත් දේවල් හිතන හැකියාව ටික ටික අඩු වෙනවා කියන බය නිසා ඔහු ඊට කලින් පුලුවන් තරම් දේවල් කරන්න තමයි උත්සාහ කරන්නේ.. ඊට පස්සෙත් ඔහුට ඒ නිර්මාණශීලි කම තියෙන්න ඕනේ නිසා ඔහු මයික්‍රෝසොෆ්ට් එකට පුළුවන් තරම් තරුණ නිර්මාණශීලී අයවලු තෝරල ගන්නේ.

      ඉතිරි කොටසකින් ඔය දේවලුත් මම ලියන්නම්

      Delete
  3. නියම විස්තර ටිකක්.
    කියවා දැනුවත් වූවෙමි.

    ReplyDelete
    Replies
    1. පුළුවන් නම් වීඩියෝස් ටික හොයාගෙන බලන්න. මම ලියල තියෙන්නේ සමරිය විතරයි..

      Delete
    2. මේ කොටස දෙවෙනි වතාවටත් කියෙව්වා.
      සමරියක් උනත් ලස්සනට ලියලා තියෙනවා. මං අපේ වැඩපොලේ අයටත් මේ ලිපිය කියවන්න සැලැස්සුවා.

      Delete
  4. ගොඩක් දේ ඉගෙන ගත්තා. දන්නවද බිල් ගේට්ස් කියන්නේ උපතින්ම අඩුපාඩුවක් තිබුන කෙනෙක් කියලා ? ඩිස්ලේක්සියා මන් හිතන්නේ.. අඩුපාඩු ඇති අය තමයි ලෝකේ සම්පූර්ණ කරන්නේ ..

    ReplyDelete
    Replies
    1. බිල් ගේට්ස් විතරක් නෙවෙයි අයියේ ස්ටීව් ජොබ්ස් කියන්නෙත් ඒ වගේ සාමාන්‍ය නොවන චරිතයක්.. එකම වෙනස ඔවුන් ඒ නොහැකියාවන් හෝ දුර්වලතාවයන් ලෝකයේ සහ තමන්ගේ දියුණුවට යොදාගත්ත එක... කොහොමත් එක එක විදියේ අඩුපාඩු තියෙන අය ඊට විරුද්ධව වැඩ කරල ජය ගන්න සම්භාවිතාව වැඩියි හැමදේම සම්පූර්ණ කියල හිතාගෙන පොරවල් වගේ ජීවත් වෙන අයට වඩා.. වීඩීයෝස් ටික පුලුවන් නම් බලන්න..

      Delete
  5. ඕන් වැදගත් යමක් ලියාගෙන යනවා.. තව ඕනේ..

    ReplyDelete
    Replies
    1. වැදගත් දේවල් ලියන්න මට හෙන කම්මැලියි.. උදේ ඉඳන් රෑ වෙනකම් අපි ට්‍රයි කරන්නේ හෙන වැදගත් දේවල් කරන්නනේ.. අඩුම තරමේ බ්ලොග් එකේවත් හිතට එන දෙයක් ලියාගෙන ආතල් එකේ ඉන්න ඕනේ කියලයි මම නම් හිතන්නේ.. මේකේ ඉතිරි ටික ලියල දාන්නම්. ඊට පස්සේ ආයේ බැක් ටූ නෝමල්.. හික්...

      Delete
  6. හොද ලිපියක්. බිල් ගේට්ස්ගේ වයස 17-18 කාලෙද ප්‍රෝග්‍රැමර් කෙනෙක් වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. නෑ මම හිතන්නේ ඊටත් කලින්.. 17-18 වෙනකොට ඔහු තමන්ගෙම කියල සමාගමක් ආරම්භ කරන මට්ටමේ ඉන්නවා. වීඩියෝස් ටික කොහොම හරි හොයාගෙන බලන්න.

      Delete
  7. බිල් ගේට්ස් ප්‍රෝග්‍රැමින් ලියන්නෙ වයස 13 දී.

    ReplyDelete
  8. තව වසර 10 දී පරිගණක ඉතිහාසයට කවර දෑ අළුතින් එකතු වේවි ද?

    ReplyDelete
  9. නියම ලිපියක්.. මේක කියෙව්වයින් පස්සේ මාව ගොඩක් inspire වුනා.. අපේ රටේ ළමයින්ට පුංචි කාලෙ ඉදලම පරිගනක විද්‍යාවට හා ඉලෙක්ටොනික් විද්‍යාවට අාසා කරවන විදියෙ වැඩපිලිවෙලක් තිබුනා නම්, තව අවුරුදු 5ක් 10ක් යනකොට අපේම රටේ බිල් ගේට්ස්ලා මාර්ක් සකර්බර්ග් ලා දැකගන්න පුලුවන් වෙයි. හුදෙක් ඉගැන්වීම නෙවෙයි, මේ දැනුම අපේ රටේ සාමාන්‍ය දෙයක් විදියට, සිංහල භාෂාව , ගණිතය වගේම පත්කරලා , අපේ රටේ ළමයින්ගේ විඤ්ඤානයටම මේක කාවද්දන්න පුලුවන් නම්, සැබෑ දක්ෂයින් ඉදිරියට ඒන හැකියාව වැඩි වෙයි.

    ReplyDelete