Wednesday, April 04, 2012

සිංහල යුනිකේත සහ බ්ලොග් කරණයේ ඉතිහාසය ගැන...

ඉස්සෙල්ලාම කියන්න ඕනේ මෙවැනි මාතෘකාවක් ගැන ලියන්න මට කිසිම අයිතියක් හෝ මහා හැකියාවක් නැහැ..මේකේ ආරම්භය සහ විකාශනය ගැන මම දන්න දේවල් ටික ලියන්න ලියල දාන්නම්.. පහුගිය කාළේ කිහිප දෙනෙක්ම පරණ බ්ලොග් සහ මීට වසර 5-6කට කලින් කොහොමද මේ සිංහල යුනිකේත සහ බ්ලොග් කලාව තිබුණේ කියන එක ගැන උනන්දු වෙලා තිබ්බා.. ඉතින් දන්න දේවල් ටික ලියල දාන්න හිතුවා...මට මඟ හැරුනු පුද්ගලයින් සහ බ්ලොග් පිළිබ්ඳව මට වඩා මේ ගැන දන්නා කෙනෙක් විසින් අප සැම දැනුවත් කරයි කියල බලාපොරොත්තු වෙනවා..

සිංහල යුනිකේතයේ ආරම්භය ගැන නිල වශයෙන් දැන ගැනීමට දැනට ඇති හොඳම අඩවිය http://www.siyabas.lk/history ලෙස සළකන්න පුළුවන් මේක රාජ්‍ය මට්ටමින් දියුණු වෙච්ච තාක්ෂණයක්  ඒ නිසා බොහෝ වගකිව යුතු අය ඉන්නවා.  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මඟින් සිංහල යුනිකේත සංවර්ධනය සඳහා ලබා දී ඇති සහය සහ වර්තමානයේ දී ලබා දෙන සහය පිළිබඳව වැඩි විස්තර ලබා ගත හැක.

යුනිකේත භාවිතා කරන්නන් හට මුල් කාලයේ ඇතිවූ ගැටලු සහ ඒවාට විසඳුම් ලබා ගැනීම පිණිස පිහිටුවා ගත් සිංහල යුනිකෝඩ් සමූහය 2006 වසරේදී ආරම්භ කරන කළා.

සිංහල යුනිකේත සමූහයේ ආරම්භය සඳහා මුලීකත්වය ගැන ඇත්තේ අප සැවොම දන්නා කපුටා සිංහල අකුරු සෑදූ ඊ ෆියුෂන් සමාගමේ සාමාජිකයින් විසින්. සමූහයේ මූලිකත්වය ගෙන කටයුතු කළේ නිරංජන් මීගම්මන මහතා, කපුටා කට්ටියත් එක්ක හිටපු රන්දුනු සහෝදරයාවත් මතක් කළ යුතුයි.

මා සිංහල යුනිකේත සමූහය හා සම්බන්ධ වූ ආකාරය මෙහි සරලව දක්වා ඇත.

මුල්ම කාලේදි තිබිච්ච ගැටලු
  1. සිංහල යුනිකේත අකුරු වල ඉස්පිලි පාපිලි කොම්බුව ආදී දේවල නිවැරදිව නොපෙන්වීම, 
  2. ගොඩක් වෙලාවට  යුනිකේත අකුරු නිවැරදිව දර්ශනය නොවීමේ රෙන්ඩරින් ගැටලු තිබුණා. 
  3. අනිත් එක විවිධ බ්‍රව්සර් වලදි ආපු ගැටළු.. 
  4. ඊට පස්සේ වින්ඩෝස් ඔෆිස්,ෆොටො ෂොප් වගේ එදිනෙදා අපි පාවිච්චි කරන සොෆ්ට්වෙයාර්ස් වලදි ආපු ගැටළු...
  5. ඩෙස්ක්ටොප් පබ්ලිෂින්  වැඩ වලදි අතීතයේ පාවිච්චි කරපු විවිධ ෆොන්ට් වර්ග වෙනුවට යුනිකේත භාවිතා කිරීම සහ ඒ සම්බන්ද ගැටළු 
  6. ලිනක්ස් වල සිංහල පිහිටුවීමේදී සහ භාවිතයේදී ආපු ගැටළු 
  7. සිංහල භාෂාවේ ඇති සමහර අක්ෂර සහ ඒවායේ යෙදීම් ගැනත් කතා බහ වුණා.. ගොඩක් වෙලාවට අන්තර්ජාතික සම්මත සමඟ සිංහල භාෂාව සම්බන්ධ වීමේදී ඇතිවූ ගැටළු.
ඔන්න ඕවට විසඳුම් සාකච්ඡා කරන එක තමයි මුලික වශයෙන් අපි (මම කළේ බලන් හිටපු එක විතරයි) මේ සමූහයේදි කළේ..

සිංහල ටයිප් කිරීමේ ගැටළුවත් ගොඩක් දෙනෙකුට තිබ්බා.. ඒකට විසඳුම් වශයෙන්
  1. ගාර්ප් සිංහල යතුරු ලියනය
  2. අපි කවුරුත් දන්න විජේසේකර කී බෝඩ් එක 
  3. ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් හදපු එසැනින් පරිවර්තකය  
වගේ දේවල් භාවිතා කිරීම සහ ඒවායේ ගුණ දොස් විචාරය වගේ දේවල් සිද්ධ වුණා. මේ කාලේදී කොළඹ විශ්වවිද්‍යාලීය භෂා තාක්ෂ්ණ පර්යේෂණ ආයතනය විසින් යුනිකේත සම්බන්ධ බොහෝ අත්හදා බැලීම් සහ නව නිපැයුම් සිද්ධ කළා මම හිතන්නේ..
  1. ෆයර් ෆොක්ස් වලට හදපු ඉංග්‍රීසි සිංහල ශබ්ධකෝෂය ගොඩක් ම ජනප්‍රිය වෙලා තිබුණා..  මම හිතන්නේ දැන් නම් ඒක වැඩ නැද්ද කොහෙද.. මේක හැදුවේ අසංක වාසල කියල සහෝදරයෙක් මට මතක විදියට
  2. ඩනිෂ්ක නවීන් සහෝදරයා විසින් ෆයර් ෆොක්ස් සිංහල වර්ෂන් එකක් නිකුත් කිරීම.. 
  3. මලින්ත මල්ලි ගේ වර්ඩ්ප්‍රෙස් සිංහල සංස්කරණයක් නිකුත් කිරීම, 
  4. දසුන් සමීර මල්ලි ගේ ෆොන්ට්ස් සම්බන්ධ ගැටළු විසඳීම් එහෙම ගොඩක් තිබ්බා... 

මීට අමතරව තව බොහෝ අය විසින් විවිධ දේ කළා.. මම නම් කළේ සිංහලෙන් එක එක බයිල ලිය ලිය හිටපු එක තමා.. හැබැයි ඒ කාලේ මම දන්න කියන හැමෝගෙම මැෂින් වලට යුනිකෝඩ් දාල හීන් සැරේ පොඩි පොඩි පබ්ලිසිටි වැඩ කළා..

සිංහල යුනිකේත සඳහා විවිධ අකුරු වර්ග හැදීම ගැනත් අවධානය යොමු වෙලා තිබුණා.. මම හිතන්නේ කපුටා ෆොන්ට් එක හදපු ඊ ෆියුෂන් සමාගමේ කට්ටිය ඒ වෙනුවෙන් වැඩ කළා..

ජංගම දුරකතන සඳහා සිංහල යුනිකේත සහය ගැනත් අපි හෙව්වා බැලුවා.. (මම ඕකට සැට් උනේ CDMA වලට සිංහල දාන්න පුළුවන් ද බලන්න ගිහින් නේ)

සිංහලෙන් ලියන්න ආස නිසා මම මුලින් ම ගෙදර ගිහින් වර්ඩ් වල සිංහලෙන් ලිව්වා.. එහෙම ලියපු ලෝකෝපකාරය පොතේ පිටු කිහිපයක්  මම පස්සේ බ්ලොග් එකට දැම්මා.. ලෝකෝපකාරය ලියන්න හේතුව වුණේ ඒ දවස් වල මගෙ ළඟ ඔය විවිධ සිංහල මහාප්‍රාණ අකුරු තියෙන පොතකට තිබ්බේ ඕක විතරක් නිසා... ඕකෙ තියෙන එක එක අකුරු ලියන්න පුළුවන් ද බැරිද කියන එක ටෙස්ට් කරන්නත් එක්ක මම ඕක වර්ඩ් වල ටයිප් කළා..

සිංහලෙන් අකුරු ලියන්න ඇත්තටම ඒ දවස් වල මම නම් හෙන ආස කළා.. මොකද එක එක ෆොන්ට්ස් වර්ග දාගෙන අකුරු ගලප ගලප හොය හොය ලියනවට වඩා සිංහල යුනිකේත භාවිතාව මාර විදියට ලේසි වෙච්ච නිසා.. මට කොහොමත් විජේසේකර කී බෝඩ් එක එච්චර බැරි නිසා මම හුරු උනේ ගාර්ප් එකට.. එදා සිට අද දක්වා ගාර්ප් ම තමා.

සිංහල යුනිකෝඩ් සමූහයේ හෙන රසවත් දේවල් තිබ්බා.. ඒ කියන්නේ මුලින්ම සමහර අයට තිබ්බා කොම්පුටරේ සිංහලෙන් වැඩ කරන්න හදන එක මහ විකාරයක් අපී තාම ඉන්නේ දූපත් මානසිකත්වයේ ඒ නිසා මේව මහ තේරුමක් නැති වැඩ කියල තර්ක දාපු අයට උත්තර දෙන එක නැඟල ගියා... වලි හෝ ගාලා..

ඊට පස්සේ ආයේ එකක් තිබ්බා සිංහලට මුර්ධජ අකුරු අවශ්‍යද නැද්ද කියන එක ගැන කතාබහක්.. ඒකත් හොඳට නැඟල ගියා වගේ මතකයි.. වෙබ් අලෝචනා බ්ලොග් එක ලියන ආනන්දවර්දන මහත්තයා එයාගේ සයිට් එකේ කිසිම  මුර්ධජ  අකුරක් භාවිතා නොකරනව කියල ඒ දවස්වල  මුර්ධජ  නැතුව බ්ලොග් ලිව්වා.. තාමත් ඒක එහෙම ද කියල මම බැලුවෙ නම් නෑ.. නමුත් ඒ දවස් වල නම්  මුර්ධජ නැතුව බ්ලොග් ලිව්වා..

තව සිරාම සංවාදයක් ගියා ජැක්සන් ඇන්තනීගේ අබා ෆිල්ම් එක හදපු දවස් වල... මහාචාර්‍යය නලින් ද සිල්වා මහත්මයගේ චින්තන පර්ෂදයේ කට්ටියක් සෙට් වෙලා හෙන ටෝක්ස් දුන්නා.. ෆිල්ම් ඒකේ තිබිච්ච සිංහලට විරුද්ධ සමහර දර්ශන ගැනයි ෆිල්ම් එක ගැනයි..  බොහොම රසවත් කතා බහක් උනා ඒකත්.. 

 ඒ වගේම සිංහල යුනිකේත යොදාගෙන රාජ්‍ය මට්ටමින් වෙබ් අඩවි නිර්මාණයත් මේ වෙනකොට පටන් අරං තිබුණා... ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් මූලිකත්වය ගෙන පටන් ගත් නැණසල මධ්‍යස්තාන වල සිංහල යුනිකේත භාවිතය ප්‍රචලිත කිරීම, ශිල්ප සයුර  වැනි අධ්‍යාපනික වෙබ් අඩවි නිර්මාණය, ශිල්ප සයුරේ තේමා පාඨය ගැන අදහස් විමසිම් එහෙම සිංහල යුනිකේත සමූහයේ කතා බහ වුණා.. ඒ වගේම එම අඩවියේ මූලික වටයේ ටෙස්ටින් වලටත් අපි සහභාගි වුණා..

ඔය අතරේ එක් එක් අය පුද්ගලික් බ්ලොග් ලියන්න පටන් ගත්තා..

ගොඩක් ජනප්‍රිය වෙච්ච එකක් තමා වෙබ් අලෝචනා... ඒක ලියන ආනන්දවර්දන මහත්මයගේ සැබෑ නම මොකක් ද කියල මම නම් අද වෙනකන් දන්නෙ නෑ.. නමුත් ඒක හරි ජනප්‍රිය උණා...  තව ධම්මිකගේ බ්ලොග් සටහන් කියල එකක් ලිව්වා ධම්මික කියල මහත්මයෙක් සිංහල බ්ලොග් කියවනයේ අන්තිම පිටුවට ගිහින් බැලුවොත් ඒක තමා අන්තිමටම තියෙන්නෙ.. ඒ කියන්නේ මුලින් ම සින්ඩිකේට් වෙලා තියෙන්නෙ ඒක..

මට මතක හැටියට මලින්තගේ සටහන්, හර්ෂණ ගේ බ්ලොග් එක,ශ්‍රී ශානු ගේ බ්ලොග් එක,  ඒ දවස් වල ලියවුණා. සුපුන් සුදාරක මල්ලිත් සිංහල යුනිකේත සමූහයේ කටයුතු වලට ක්‍රියාකාරීව සහභාගි වුණා. කොත්තු සයිට් එක ඒ කාලෙත් තිබුණා සිංඩිකේටරයක් විදියට. හැබැයි ගොඩක් සිංඩිකේට් කළේ ඉංග්‍රීසි බ්ලොග්.. 

ඔය බ්ලොග් සහ සාකච්ඡා යන අතරේ මට මතක විදියට කාලිංගත් සිංහල යුනිකෝඩ් ගෘප් එකේ තාක්ෂණික ගැටළු සාකච්ඡා කරන්න එකතු වුණා. ඔය කතා බහ යන අතරේ මලින්ත මල්ලිගේ යෝජනාවකින් ද කොහෙද මේ සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය පටන් ගත්තා.. ඊට පස්සේ සිංඩිකේටරේ පටන් අරං ටිකෙන් ටිකෙ මේ බ්ලොග් ලියවිල්ල මේ අද දක්වා ඇවිල්ල තියෙනවා..

පස්සේ ටිරෝන් වික්‍රමරත්න කියල කෙනෙක් අපිත් එක්ක එකතු වුණා.. ගොඩක් තාක්ෂණික කරනු වලදි කතාබහට එකතු වෙලා පස්සේ සිංහලෙන් ලංකාවේ ඉතිහාසය ගැන වෙබ් අඩවියක් කිරීමේ අදහසක් ගෙනල්ලා ඒ වෙනුවෙන් වැඩ කළා. Lanka History Portal  කියල ගූග්ල් සමූහයක හදාගෙන අපි ගොඩක් දේවල් සාකච්ඡා කළා.. දවසක් නුවර ගිහින් පෙරාදෙණිය කැම්පස් එකේදී මීට් වෙලා අපි ඔය ඉතිහාස ප්‍රොජෙක්ට් එක ගැන සාකච්ඡා කළා (මම බයික් එකේ මුලින් ම නුවර ගියේ එදා හික්). ටිරෝන් ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා වැඩ කළා.. මලින්ත මල්ලි ලස්සන සයිට් එකකුත් ඩිසයින් කළා මතකයි.. චාමර පීරිස් ,වරුණ  එහෙම ඒ කාළේ මේ වෙනුවෙන් සම්බන්ධ වෙලා හිටියා.  ශ්‍රී ලංකාවට විජය කුමාරය එන්න කලින් ඉතිහාසය හොයල ඒක ලියන වැඩේ මම බාර ගත්තා.. රාවණා උණ හැදිල තිබිච්ච කාලේ නිසා..  හැබැයි වැඩි දෙයක් හොයා ගත්තේ නෑ.. ලංකා වත කියල මරු පොතක් හොයා ගෙන බැලුවා... හරි ලස්සන ප්‍රබන්ධ කතාවක්.. හැබැයි ඇත්ත නෙවෙයි..

අපිට වෙඩ් අඩවියට ගන්න ඕනේ වෙච්ච ඩොමේන් නේම් එක ගැනීමේ ගැටළුවක් නිසා ඒ වැඩේ ටිකෙන් ටික මඟ ඇරිලා ගියා.

මම දන්න විදියට 2006 සිට සිංහල යුනිකේතය සහ සිංහල බ්ලොග් ජනතාව අතරට ගෙන යන්න විවිධාකාර වශයෙන් සහයෝගය දීලා ඒ වෙනුවෙන් ඇප කැප වී වැඩ කරපු අය ගොඩාක් හිටියා... මෙතන ඒ අය හැමෝගෙම  නම් කියවෙලා නෑ.. මම අවංකවම ඒ අය ගැන දන්නෙ නෑ.. නමුත් එහෙම පිරිසක් සිටි බව විතරක් දන්නවා.

මට මඟහැරුණු  නම් සහ බ්ලොග් අඩවි තව ගොඩක් ඇති.. ඒ අයෙගෙන් අවංකවම සමාව ඉල්ලන ගමන් අපි නොදන්න විස්තර ලබා දෙන්න කියලත් මතක් කරන්නම්.

29 comments:

  1. ඔය එන්නේ.. අපේ බිත්ති මහත්තයත් එසේ මෙසේ ගොබිලෙක් නෙවෙයි වගේ..

    ReplyDelete
  2. පැතුම් මල්ලි ගොඩක් ස්තුතියි ලිපියට. මමත් මුල් කාලෙ ඉඳලම සිංහල යුනිකේත වලට පුදුම උනක් තිබුණ කෙනෙක්. යුනිකේත වෙනුවෙන් කිසිම උදව්වක් කරන්න බැරි උනා ඒත් හැම වෙලාවෙම යුනිකේත ගැන කාට හරි කිව්වා. අන්තිමට මට කාඩ් එකකකුත් වැදුනා. කොහොම උනත් ඔයා ලියපු ටික ගොඩක් වටිනව. ඔයා කිව්ව වගේ මේ වෙනුවෙන් දරදිය ඇදපු අපි නමවත් නොදන්න බොහෝ දෙනෙක් ඇති. අපි ඒ අයවත් ඉතාම ආදරයෙන් මතක් කරමු. යමක් කරපු අයගෙ කළ ගුණ දකින එකත් ඒව අනෙක් අයට කියන එකත් කලාතුරකින් මිනිහෙකුට පිහිටන මහා ගුණයක්.උඹට ඒක තියෙනව. ජයවේවා.

    ReplyDelete
  3. i met u at kandy. remember waruna??

    nidhahasa blog :)

    ReplyDelete
  4. සරත් අයියා,
    මම එදා ඉඳන් අද වෙනකම් මේක ඇද ගෙනම් ආපු එක විතරයි කළේ වෙන කරපු දෙයක් නෑ..

    වරුණ,
    මට ඔයාව මතකයි.. ඒ දවස් වල ඔයා කැම්පස් එකේ ඉගෙන ගන්නව ද කොහෙද නේද? ඔයාගේ බ්ලොග් එකත් මම මේකට දන්නම් ගොඩක් පරණයි නේ

    ReplyDelete
  5. හොඳ ලිපියක්. මම 2008 ඉඳල බ්ලොග් බලන විදේශයක පදිංචි කෙනෙක්. මේ විස්තර එක තැනක ලියල තියෙනව මේ දැක්කමයි. අද තියන ලාමක බ්ලොග් එක්ක බලපුහම හරවත්ව ලිවෙන බ්ලොග් ඉතාම අඩුයි. පුදුම කලාතුරකින් තමයි වැදගත් සංවාදයක් දකින්න ලැබෙන්නේ.
    JH

    ReplyDelete
  6. දයියා,
    ඔයා දාපු කොමෙන්ට් එක මට ඊ මේල් එකෙන් ආවා නමුත් සයිට් එකේ පෙන්නන්නේ නෑ.. බොහොම ස්තූතියි..
    ඇනෝ,
    ස්තූතියි.. එක එක රස වලට කැමති අය ඉන්නවනේ..

    ReplyDelete
  7. උඹලා ඔහොම හරි ඇදගෙන ආපු නිසානෙ අද අපි මේ බල්ටි ගහන්නෙ

    ReplyDelete
  8. සිංහල බ්ලොග් ලෝකෙ පෙරළිය Big Mad Phill එක ගන නොලිව්ව එක නම් ලොකු අඩුවක්...

    ReplyDelete
  9. "මෙවැනි මාතෘකාවක් ගැන ලියන්න මට කිසිම අයිතියක් හෝ මහා හැකියාවක් නැහැ"
    2006 ඉදල බ්ලොග් ලියලත් මොකද මෙහෙම කියන්නෙ? මීට වඩා දිග විස්තරයක් තිබුනනම් මම නං කැමතියි. සිංඩි නැතිකාලෙ බ්ලොග් කියෙව්වෙ අහම්බෙන් එන අය වෙන්න ඇති නේද? ලිපිය කියෙව්වම හිතුනෙ ඒකාලෙ බ්ලොග් ලිවීම කොච්චර නීරස-අමාරු වැඩක් වෙන්න ඇතිද කියල. දිගටම ලියන්න ධෛර්ය පතනව!

    ReplyDelete
  10. ඇනෝ,
    අවංකවම ඒක අමතක වුණා. බ්ලොග් ලිවීමේ උපරිමය විදියට ඔක අපිට සලකන්න පුළුවන් මම හිතන්නේ..

    රාජ්,
    සිංහල යුනිකේතය සහ ඒකේ ඉතිහාසය ගැන ලියන්න ඕනේ ඒක හදන්න වෙහෙස වෙච්ච අය... සමස්ත බ්ලොග් ලිවීම ගැන එක බ්ලොග් එකක් ඔහේ ලියපු මට ලියන්න තියෙන අයිතිය ගැන හිතුණ නිසයි මම ඒක දැම්මේ... කාලයක් තිස්සේ ලිව්වට හැමදේම දන්නව කියල හිතන එක වැරදියි නේ.. මම ඉස්සර බ්ලොග් එක ලිව්වේ කාටවත් පෙන්නන්න නෙවෙයි.. මට හිතෙන දේ ලියන්න.. ලියන එක නීරස හරි අමාරු හරි වෙන්නේ වෙන අය මත අපි ලියන දේ තීරණේ වෙන්න ගියාම කියලයි මට නම් හිතෙන්නේ...

    ReplyDelete
  11. මෙච්චර කාලයක් උඹල ඕක ඇදගෙන ආව නිසානෙ අපි මෙහෙම බල්ටි ගහන්නෙ . . . ස්තුතියි මචං

    ReplyDelete
  12. ඕනයා, ඇද ගෙන ආවට නග්ගල අරං බල්ටි ගහන්න මිනිස්සු නැත්නම් වැඩක් නෑනේ.. මේක ඉතින් අපි හැමෝටම තමයි..

    ReplyDelete
  13. වටින ලිපියක්.තවත් කරුණු තිබුණ නම් හොදයි කියල හිතෙනවා.

    ReplyDelete
  14. ඉස්සරම ඒ කියන්නේ 2007 - 2008 කාලේ විතර මම යුනිකෝඩ් ගැන ැනං හිටියේ නෑ.. කපුටා සිංග්ලිෂ් කන්ව(ර්)ට(ර්) එකෙන් තමා සිංහල ටයිප් කරන්නේ.. ඒක සොෆ්ට්වෙයා(ර්) එකක්.. ඉංග්‍රීසියෙන් යට ටයිප් කලාම උඩ කොටසේ සිහලෙන් වැටෙනවා.. පස්සේ ඒක කොපි කරලා අරං අදාල සයිට් එකේ පේස්ට් කරලා ‍ෆොන්ට් එක මාරු කරනවා kaputadotcom කියලා.. මට අද වගේ ඔය සීන්නෙක මතකයි.. එහෙම අමාරුවෙන් ටයිප් කරපු සිංහල අද වෙනකොට යුනිකෝඩ් හරහා කොච්චර ලේසියෙන් සිංහලෙන් ටයිප් කරලා කමෙන්ට් එකක් එහෙම දාන්න පුවවන් ද කියලා දකින කොට ගොඩක් සතුටුයි...

    ඒ තත්ත්වෙට සිංහල දියුණු කරපු අයට බොහොම ස්තූතියි...!!

    ReplyDelete
  15. මම බ්ලොග් කෙරුවාවට ආවෙ 2008 මැදකදි. ඒ වෙන්කොටවත් ඒ ගැන හොඳ දැනුමක් තිබුණෙ නෑ. මොනව වුණත් යුනිකොඩ් ක්‍රමය නොතිබෙන්න අපට ලේසියෙන්ම කරන්න වෙන්නෙ පින්තූර විධියට සිංහල කියවන එක. මොන විධියකින් හරි සිංහල භාෂාව මේ විධියටවත් සම්මතයකට ඇවිත් ඩිජිටල්කරණය වුණ එකනම් මරු!

    ඔය තව නොලියවුණ කතා තියෙනවනං දැම්මට කමක් නෑ...

    ReplyDelete
  16. වටින විස්තරයක්....

    ReplyDelete
  17. මාත් ආවේ 2009 වසරේ පෙබරවාරි.

    ආනන්දවර්ධන මහත්මයා එක්ක කතා කල වෙලාවෙදි මතුකරපු අදහසක් තමයි මේවට එක ඉතිහාසයක් කියල ලියන්න බැහැ කියන එක. අන්තර්ජාලයේ එක එක කණ්ඩායම් එයාලට ආවේණික විදියට තමයි එක්රොක් උනේ.

    පැතුම්ට සුපුන් සුදාරක කියල නමක් මතක තියෙනවද දන්නැහැ.

    ReplyDelete
  18. සිංහල වලට හයිය උණු හැමොම ගැන සඳහන් වෙච්ච සම්පුර්ණ ලිපියක් විදියට මං මේක දකින්නෙ.. මෙච්චර කල් ඉතිහාසය ගැන ලියුන ඒවයි හුඟක් අය අඩුවෙන් ලියැවිලා තිබ්බෙ.. !
    ජය වේවා!!

    ReplyDelete
  19. නියම සටහනක්.
    මටත් මතකයි නිරන්ජන් ගේ වැඩ සටහන.
    අම්මෝ කාලේ යන ඉක්මන...

    ReplyDelete
  20. සමනලයා,
    ස්තූතියි... විස්තර වශයෙන් තව ඉතින් කියන්න තියෙන්නෙ සමූහ වල සිදුවෙච්ච කතා බහ තමා.. ඒවා ඔක්කොම දාල මේක ගොඩක් දිගට ලියන එක තේරුමක් නෑ කියල හිතුණා.. බලමු තව වැදගත් දේවල් තියෙනවනම් දාන්නම්.

    සෝරෝ,
    අනිවාර්‍යයෙන් සිංහල යුනිකේත මේ තත්වෙට ගේන්න මහන්සි වෙච්ච ගොඩක් අය හිටියා.. අපි අද මේ ආතල් ගන්නේ ඒ අයට පිං සිද්ද වෙන්න..

    hare :-),
    සිංහල අකුරු සහ භාෂාවේ ගැටලු සම්මත කර ගන්නත් ඒ දවස් වල කතා වුණා තමයි.. මතක් කළාට ස්තූතියි... ඒ ගැනත් මේකේ දාන්නම්..

    ඔබ නොදුටු ලොවක්,
    ස්තූතියි

    ගයාන් තාරක,
    සුදාරක මල්ලිගෙ නම මතක් කළ එකට ස්තූතියි.. මම පෝස්ට් එක වෙනස් කරල හැදුවා.. මම ගොඩක් ම උත්සාහ කළේ 2006-2007 වසර වලදී ලියවෙච්ච බ්ලොග් ගැන මේකෙ දාන්න.. බ්ලොග් නොලියා වැඩ කරපු තව ගොඩක් අය ඉන්නවා... අවංකවම එහෙම අය ගැන මම දන්නේ නෑ... අනිවාර්‍යයෙන් ම මේ දන්න දේවල් ටික ලියල දාපු සටහනක් මිසක් ඉතිහාසය මෙන්න මේකයි කියල කියන්න බෑ.. මොකද දියුණුව ආවේ විවිධ පැතිවලින් නේ..

    Bunny,
    ස්තූතියි.. හැමෝම තම තමන් දන්න තරමින් මේ වගේ සටහන් කළා නම් අපිට තව වැදගත් දේවල් දැන ගන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  21. Il mondo di una povera pazza, ස්තූතියි. මම හිතන්නේ නිරන්ජන් තාමත් ඒ වගේ වැඩ කරනවා.. බ්ලොග් එක පැත්තේ ගියාම මම දැක්කා

    ReplyDelete
  22. ඔයාට ලොකු දෙයක් අමතක වෙලා තියෙනවා.

    සිංහල යුනිකේත ගැන කථා කරද්දි කථා නොකරම බැරි තැනක් තමයි ඉක්ටා ආයතනය. මොකද ලංකාවෙ සිංහල යුනිකේත ප්‍රචලිත කිරීම සඳහා විශාල දායකත්වයක් එම ආයතනයෙන් දරනවා. යුනිකෝඩ් අකුරු නිර්මාණය පිළිබඳව වැඩමුලු, යුනිකෝඩ් අකුරු නිර්මාණය, දේශීයකරණය වූ මෘදුකාංග නිපදවීම, රාජ්‍ය ආයතන වල යුනිකොඩ් භාවිතය ඉහල නැංවීම සඳහා වැඩමුලු පැවැත්වීම, සිංහල බසින් වෙබ් අඩවි නිර්මාණය කිරීම, ජංගම දුරකතන වල සිංහල යුනිකෝඩ් භාවිතය වැනි බොහෝ දේ ඉක්ටා ආයතනයෙන් සිදුකරනවා

    වැඩි විස්තර සඳහා
    http://www.icta.lk/en/programmes/pli-development/104-local-languages-initiative-.html

    ReplyDelete
  23. සිංහලයා,
    බොහොම ස්තූතියි.. මම හිතන්නේ ඉක්ටා ආයතනයේ ඇති සම්බ්න්ධය මම ප්‍රථමයෙන් ම සඳහන් කර ඇති http://www.siyabas.lk/history යන සබැඳියේ සටහන් වෙලා තියෙනවා.. ඒ නිසයි මම ඒ ගැන වැඩිය නොලිව්වේ... මේ සටහනේ අරමුණ සිංහල යුනිකේතය ගැන මගේ අත්දැකීම් ගැන පොඩි සටහනක් තැබීම පමණයි... කෙසේ වෙතත් ඔබේ අදහස වැදගත් මම සඳහනක් දාන්නම්.

    ReplyDelete
  24. ඉතාම අගෙයි..විය යුතුම දෙයක් ඔබ කරලා තියෙන්නෙ ඔබට මගේ ගෞරවය..මම නොදන්නා බොහෝදේ දැන ගත්තා ඔබ නිසා

    ReplyDelete
  25. ඒ වගේම තමයි. සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමයට ආපු තාක්ෂනික ප්‍රශ්න වැඩි උන නිසා ටෙක් කතා කියල ගෘප් එකක් පටන්ගත්තේ..

    තව ගොඩාක් දේවල් හැමෝටම මතක් වෙන මතක් වෙන විදියට ලියන්න විකියක සටහන් කලා නම් හොදයි නේද?

    ReplyDelete
  26. බොහොම ස්තූතියි ඔබට

    වැඩ කරන බොහොම දෙනෙක් ඔබ හා සමානවම නිහතමානියි - පංගු පේරු ඔවුනට අවශ්‍ය නෑ

    ජය

    ReplyDelete
  27. තිස්ස අයියා,

    අවංකවම මම සිංහල යුනිකේත හෝ බ්ලොග් ලිවීම වෙනුවෙන් කරපු දෙයක් නෑ... කරපු එකමදේ රැඳිල ඉඳගෙන වෙන්නේ මොකද කියල බලන් හිටපු එක තමයි.. එදා අද හෙට හැමදාම එහෙමම ඉන්න තමා අදහස...

    ReplyDelete
  28. සිංහල බ්ලොග් අවකාශේ කරක් ගහන අයට ඒකේ ඉතිහාසය මේ විදිහට කියාදීපු විශිෂ්ඨ වැඩක් :)

    ReplyDelete
  29. මමත් බ්ලොග් ආවකාශයට ඇවිත් දැන් ටිකක් දවස් වෙනවා.. විස්තර දැනගත්තෙ නම් ්අද.. ස්තූතියි අයියණ්ඩියා!
    ජය!!

    ReplyDelete